Wednesday, August 28, 2013

91. පච්චේ - BORN TO DIE - Part 2

"නියම අදහස!"
 

(මේ නියම අදහස මොකක්ද කියලා හිතාගන්න බැරි අය කරුණාකරලා ගිහිල්ලා පළවෙනි කොටස කියවලා එන්න මෙතනින්.)

"හරි, මම ගිහින් එකක් හදාගෙන එන්නං විනාඩියෙං." ලික් කියනවා.

"මහ්ම්, මෙතනට ගේන්නෙපා," මම කියනවා.  "අවුලක්  නැතිනම් ගෙට ගිහිල්ලම බොමු. අද මාර රස්නයක් තියෙන්නේ එළියේ."

දෙන්නම මූණට මූණ බලාගන්නවා.

Friday, August 23, 2013

90.පච්චේ - BORN TO DIE



මෙදා පොටේ දුන්න බැටේ, ඈ. ඔන්න ඉඳලා ඉඳලා අන්තිමේදි වැඩේ  ගොඩදාගත්තයි කියහංකෝ.

මම මේක කරගන්න කාලයක් තිස්සේ පෙරුම් පුරලා, පුරලා, කල් දාලා, දාලා, අන්තිමේදි අද උදේ වැඩේ කලා ඕං.

දැන් මටත් පච්චයක් තියෙනවා.

Thursday, August 15, 2013

89. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

Dude the Superstar
 “අඩේ හෙන්රි උඹ කිව්ව බං සින්දු ටිකක් එදා රෑ…, අපේ ඉල නෑ හිනාවෙලා.” මාත් එක්ක, අම්පාරෙ නගරෙට මහියංගන පදියතලාව මාර්ගය සම්බන්ධ වෙන තැන, බාගෙට හිඳුනු ජලාශය ගාවා තිබ්බ දිග බංකුවක් උඩ වාඩිවෙලා හිටපු උමේෂ් කිව්වා.

“මොන සින්දුද? මම කියන්නෙ මේ … කාගෙ සින්දුද?” දුම්වැටියක් උරමින් කකුල් දෙකම බංකුව උඩට අරං පහසු ඉරියව්වකින් හිටපු මම ඇහුවා.

“ජෝතිපාලගෙ සින්දුලු බං.”

“අනේ පලයං. මම ජෝතිපාලගෙ සින්දු එකක්වත් හරියට දන්නෙ නෑ.”

“හහ්, ඒ වුනාට බං ජෝතිපාලගෙ සින්දු කියන්නෙයි කිව්වාම තමයි උඹ පටං ගත්තෙ .උඹ කියනවා, කියනවා, නොන් ස්ටොප්”

“ඇත්තටම  මට මතක නෑ බං.”

“උඹව නවත්තන්නම බෑ. අනිත් එක ඒ සින්දු මොන බාසාවද කියලා කියන්නත් බෑ. උඹ කියාගෙන, කියාගෙන යනවා. හරිම අමාරුවෙන් අන්තිමට නවත්තා ගත්තෙ උඹට වැඳලා වගේ”

Wednesday, August 7, 2013

88. කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල.


පහුගිය පෝස්ට් එකේ දාපු කතාව පැත්තක තියෙද්දි උඹලා හුඟ දෙනෙකුට ඕනෙ වුනේ අර පොත මොකක්ද කියලා දැනගන්න.  ඒ නිසාම, මට කාලෙකට කලින් ලියපු මේ කතාව මට මතක් වුනා. මේ කතාව කියවපු සරත් ලංකාප්‍රිය නම් කතා නායකයව  පෞද්ගලිකව හඳුනනවා වෙන්න ඇති කියලා සරත් එදා දාපු කමෙන්ට් එකෙන් මට හිතුනා. මට ඒක හරියට ම කියන්න අමාරුයි.

අපි හුඟ දෙනෙක් කරන රස්සාව ගෙදර ගෙනියන්නේ නැති වුනාට සමහර රස්සාවල් සමාජය විසින් 24/7 රස්සාව කරන පුද්ගලයගේ කරේ පටවලා තියෙන්නේ.  නීතිය, අධ්‍යාපනය එයින් සමහරක්. ඒකේ හරි වැ‍රැද්ද කෙසේ වෙතත්, මේක පෞද්ගලික නිදහසට නම් බාධාවක්.

උඹලා කවුරුහරි ගුරුවරුන්ගේ ළමයි නම් මම කියන දේ උඹලට තේරෙනවා ඇති. අම්මා, තාත්තා ගුරුවරු වීම නිසා අහිමි වෙන දේවල් අතර, නිදහස ඉහලින්ම වැජඹෙනවා. ගුරුවරුන්ගේ ළමයින්ට ඉස්සෙල්ලම කොක්ක අදින්නේ ගුරුවරු.

"ෂික්! බලන්න නිර්මලා, ඔයාගේ අම්ම ටීචර් කෙනෙක් වෙලත් ඔයා හැසිරෙන හැටි! බලන්න අර චරිත් කියන එකා කියපු කතාව.  ඒ වුනාව උගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු!"

මම ගුරුවරයෙක් නිසා ඩෙනිම් ඇඳගෙන උගන්නන එකත් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඇත්තෙන්ම, මම ජීවිතේට අපේ ගමේ ඉස්කෝලෙක උගන්නන්න හිතුවේවත් නැති ප්‍රධාන හේතුවක් මට ෂෝට ගහගෙන කැමති විදියක පාරේ යන්න තිබ්බ නිදහස මට ඕනේ වීම.

හරි. දැන් යමු කතාවට.







අම්පාරේ ඉස්කෝලෙක වැඩ කරපු විදුහල්පති සුපිරිපාලතුමා සුපිරිම ඩයල් එකක් තමයි. මම හිතන්නෙ, ගම නම් මොර‍ටුව හරි පානදුරේ හරි. සුපිරිපාලතුමා මගෙ ප්‍රින්සිපල් නොවුනට, මට නිතර මුණ ගැහෙනෙවා, මොකද, මම උමේෂ් මුණ ගැහෙන්න නිතර ඒ ඉස්කෝලෙට යන නිසා .

Saturday, August 3, 2013

87. මචං බාප්පලා සහ 'ප‍ටුන'

පහුගිය පෝස්ට් එකේ මම හිරු, DDT, AKM, රෙහානි,  සහ සයුරිට දීපු පොදු පිළිතුරක  මෙන්න මේ කොටස අඩංගු වුනා.

>>මගේ මචං බාප්පලා සෙට් එකේ බාලම එකා මට වඩා අවුරුද්දක් බාලයි. මම ඌටයි ඊ ලඟ එකාටයි මචං කියනවා. උගේ ඊ ලඟ අයියට අයියා කියනවා, වැඩිමල්ම එකාට බාප්පා කියනවා. අපිට වඩා අවුරුදු කීයක් වැඩිමල් වුනාමද අයියා ඉවරවෙලා, මාමා පටන් ගන්නේ කියන එක ඇත්තෙන්ම ගැටළුවක්. ලොක්කට මම අයියා නොකියන්නේ ලොක්කා මට අවධාරනය කරලා පුතා කියන නිසයි. හෙහ් හෙහ්.<<

ඉතින් මට මතක් වුනේ මචං බාප්පලා ගැන මම අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා මට හිතෙන හැටි අඩවියට ලියපු මේ කතාව

මචං බාප්පලගෙ පවුලට තිබ්බා ව්‍යාපර කීපයක්ම. මුලින්ම ඔය ඔක්කොම තිබ්බෙ එක වහලක් යට. පිළිවෙලින්, ටේලර් සාප්පුව, පත්තර ඒජන්සිය සහ මුද්‍රණාලය. (මුද්‍රණාලය කියන එකට මට මැවෙන චිත්ත රූපය අර ඉස්කෝලෙදි චිත්‍ර පාඩමට, බ්ලේඩ් එකකින්  දෙකට කපලා, ඩිසයින් එකක් හාරලා, ඒකේ පාට ගාලා මෝස්තර මුද්‍රණය කරපු අර්තාපල් මුද්‍රණ අලය.) ඔය කඩ පේලියම තිබ්බෙ මහජන පුස්තකාලයට යන ලේන් එකේ.


මේ මචං බාප්පලාට උඩ ඉඳලා පහලට, ලොක්කා, සුද්දා, පොඩ්ඩා සහ චූටි කියලා අපි කිව්වට ගමේ මිනිස්සු කිව්වෙ ලොකු රාළහාමි, සුදු රාළහාමි, පොඩි රාළහාමි සහ චූටි රාළහාමි කියලා. 

ඔතන පත්තර ඒජන්සිය තිබ්බ නිසා paper route දෙකේ යන paper boys ල දෙන්නෙකුත් ඉන්නව. එකෙක් දවසක් කන පාත් වෙන්න ගහලා මචං බාප්පලට අදටත් වලංගු වෙන්න දුන්නනෙ චරිත සහතිකයක් කඩේ ඉස්සරහට ඇවිත් මය හයියෙන්, "මුං මහ _කේ රාළහාමිලා", කියලා. මේක අදත් කට්ටිය කිය කියා රස විඳිනවා. කතාව ඇදුනොත්, "මොනාද රාළහාමි, මේ කාපු බීපු වෙලාවට කියන දේවල්", කියල පොර හිනාවක් දාල ෂේප් වෙනවා.

ඉතිං ඉස්සර ඉඳන්ම 'කියවලා සම්පූර්ණ මිනිස්සු වෙන්න' කියලා හිතාගෙන අපි පුස්තකාලයට රිංගලා බුද්ධියේ නිම් වලලු පුලුල් කරනවා. ඇත්තටම පොත පත් කියවන්නත්, ඒ හා සමානවම පුස්තකාලයට එන නංගිලාට බැල්ම දාන්නත් යන දෙවැදෑරුම් කාරණාම නිසා තමයි අපි නිතර ඔතන වන්දනාමාන කලේ. ඒ මදිවට, සටහන් පොතකුත් අරගෙන ගිහින්, පුස්තකාලෙ ලොකු රිෆරන්ස් පොත් පෙරලගෙන, සටහන් ගන්න බවකුත් පෙන්නනවා. නමුත් ලංවෙලා බැලුවොත් ඇඳලා තියෙන්නෙ කුරු‍ටු. මේ වගෙ.



 

අනිත් හැම පුස්තකාලයකම වගෙ මේකටත් 'පිටතින් ගෙනෙන පොත් මෙතනින් තබන්න' කියලා දැන්වීමක් ගහපු රාක්කයක් තියෙනවා. මොන හේතුවකට හරි අපි ඕකට කැමති නෑ. අපි කරන්නෙ එන ගමන්ම අපේ පොත් අර මචං බාප්පලගෙ කඩේ තියලා එන එකයි. ඒ ගමන්ම එතනත් ටිකක් වල බැහැලා, කැහි කූරක් දෙකක් ඇදලා, තෙල බෙදලා තමයි ඉතින් යන්නෙ.