Showing posts with label සමාජය. Show all posts
Showing posts with label සමාජය. Show all posts

Saturday, October 1, 2016

157. “ඌ අපේ බැජ් එකේ එකෙක් මචං.” එන්න ගොඩ දාන්න ඉංග්‍රීසි!



“ඒයි, මටත් ඉංග්‍රීසි ටිකක් කියාදීපංකො.”
 
“ඒ මොකද උඹට හිතුනෙ මේ හදිස්සියෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න?”

 “කඩ්ඩ බැරුව සෑහෙන කේස් වෙනවා බං. දැං අපේ පොඩි උං හෝම්වර්ක් එකක් ඇහුවත් ගොඩ දාගන්න බැරි වුනාම ඒකත් හෙන ප්‍රශ්ණයක්නෙ. ඔය වගෙ එකී නොකී ප්‍රශ්ණ වැලයි බං.”

Monday, September 19, 2016

156. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!


පෙරවදන:

මම කාලෙකට ඉස්සෙල්ල හිතුවා අපි සිංහල කතා කරනකොට මැදට දාන ඉංග්‍රීසි වචනවල අවභාවිතාව අඩු කරන්න යමක් කරන්න. මම ඒ කාලෙ පාරෙ යනකොට අනිත් උන් වාහන එලවන හැටි දැකලා කේන්ති ගන්නව. ඒ එක්කම උන්ට උගන්නන්නත් උත්සාහ කරනවා.

කාලයක් ගිහින් ඒ හරක් විකුණලා දැම්මේ ඒක කරන්න පුලුවන් වැඩක් නොවෙයි කියලා තේරුණ නිසා. දැන් මම පාරෙ යද්දි, ඒ කියන්නෙ වාහන එලවද්දි, අනිත් උන්ව හදන්න යන්නෙවත්, උන්ට උගන්නන්න යන්නෙවත් නෑ.  කේන්ති ගියාට කේන්තිය පෙන්නන්න යන්නෙ නෑ හැකි තාක් දුරකට.

දැන් මගෙ මිෂන් එක පණ බේරාගෙන, වාහනේ තලා නොගෙන ගෙදර එන එක විතරයි.

නොමිලේ ඉංග්‍රීසි වලටත් වුනේ ඔය කල දසාවමයි.

Tuesday, July 19, 2016

153. ඉබියතුරු ලෑ ආදරය - Lovelocked Padlocks - the Love Token Hardware - අප දු‍ටු රුසියාව 1

 





 


ගඟ දෙසට වැ‍ටුණු කැලෑ පාරේ ඇවිද යන අපේ පයට පෑගෙන අඩියක් ගැඹුරු හිම තට්‍ටුව චිරි බිරි හඬ නගනවා.  ශීත සෘතුව සඳහාම නිමකල ඝන පාවහන් හා ඊට යටින් එක මත එක ඇඳ ඇති උණුසුම් මේස් කුට්ටම් දෙකම විනිවිද යන අනුකම්පා විරහිත දැඩි සීතල දෙපා හිරිවට්ටනවා.  නැවුම්  ශීත වාතය පෙනහලු රිදවනවා. අද වෙනදාට වඩා දීප්තියෙන් බබලන උදා හිරුගේ දුබල කිරණ , සෙල්සියස් අංශක සෘන  හතක  රුසියානු සිසිරය තුලින් ඇදී විත් උඩට හැරවූ මගේ මුහුණ මත උණුසුමක ඡායාවක් දනවනවා. වරින් වර කුඩා වුන් සේ  පාර දෙපස ඇති ගස් සොලවන අපි අතුපතර ‍රැඳුනු හිම බිම හලා සතු‍ටු වෙනවා.

Wednesday, April 6, 2016

150. තිලකසිතෙන් බිහිවුන කෙටිම කෙටිකතා සංග්‍රහය.

හැඳින්වීම

තිලකසිතේ පළවුනු පළතුරු ගෝනිය හා තිබොල්කැටිය ඉස්කෝලේ -සමන් මතක 2 බ්ලොග් සටහනේ තිබුණු මේ කොටස තමයි මගේ මේ සටහනේ inspiration එක

' බලපන් ඔය සුපර් මාර්කට් වල ඇවිදින වැඩිහිටි පිරිමි විශේෂයෙන් ලංකාවේ හා ඉන්දියාවේ උන්. උන් බලන්නෙම දරුවන්ට හෝ ගෑනුන්ට සුදුසු යමක්. රස කැවිල්ල්ලක්, සෙල්ලම් බඩුවක්, සෙන්ට් කුප්පියක්  දැක්කොත් නතර වෙලා බලනවා. උන් ජීවත් වෙන්නෙම දරු පවුල වෙනුවෙන්. මේ ඉන්න දුෂ්කර  කාලෙත් උන් තමන්ට කියල කිසි දෙයක් ගන්නේ නෑ '

Friday, July 31, 2015

135. හි… හි… ඔයාගෙ කටත් ඇරිලා, හෙන්රී!



හායි, හෙන්රී!

හායි, අමාලි!

මම ඔයාගෙ නම ස්කයිප් එකේ නිකමට සර්ච් කරලා බැලුවා. මෙන්න ඉන්නවා යාලුවා!

ස්කයිප් දෙවියන්ට ස්තුති වේවා! හෙහ්, හෙහ්…කොච්චර කාලෙකින්ද, නේ?

ඉතින්, කොහොමද හෙන්රි?

ඉන්නවා, අමාලි. වරදක් නෑ. ඔයා කොහෙද ඉන්නෙ? මේ කැනඩාවෙ ඇඩ්‍රස් එකක් වැටෙන්නෙ?

ඔව් අනේ. මම කැනඩාවල තමයි ඉන්නෙ. ටොරොන්ටෝ වල, යූ එස් බෝඩර් එකේ වගෙ. ඔයාලත් එක්ක ටීචිං කලානෙ ලංකාවෙ.  ඊට පස්සෙ ඔයා ට්‍රාන්ස්ෆර් උනානෙ.

ඔව්, ඔව්. මම ගියානෙ එතනින්, ඉතින්?

ඊට පස්සෙ හුඟක් දේවල් උනා. කෙටියෙන් කිව්වොත්, මට ඩේවිඩ් මුණ ගැහුනා.

ඒ කියන්නෙ, ඔයා දැන් බැඳල හෙම ඉන්නෙ?

අනේ ඔව්, හෙන්රි. ඩේවිඩ් කැනේඩියන්.

අහා. ඉතින් හොඳයිද ඔහේ ජීවිතය?

හපොයි ඔව්, හෙන්රි.  මම ආසම, මේ ‍ෆ්‍රීඩම් එකට. මෙහෙ කැමති ඇඳුමක් අඳින්න පුලුවන්.  ගෑණියෙක් කියලා නෑ, කැමති දිහාවක, කැමති වෙලාවක, යන්න එන්න පුලුවන්.  ලංකාවෙදි වගේ, අනිත්  උන් රබර් ඇහැ දාන්නෙ නෑ. අපේ ලංකාවෙ උන්ගෙ ඇටිටියූඩ් නම් ඉතින් හදන්න බෑනේ, හෙන්රි. හරියට ලිං ගෙම්බො වගෙ ඔහේ ඉන්නවානෙ!

හ්ම්ම්… ඒ කතාවෙ නම් ඇත්තක් තියෙනවා තමයි.

ඔව් අනේ. මේ කපල්ස් පාරෙ යන ගමන්, නැවතිලා කිස් කලාට, කවුරුවත් බලන්නෙවත් නෑ, කැත විදියට. දැක්කෙ නෑ වගෙ යනවා. කොහොමද ලංකාවෙ හෙම එහෙම කලොත්? ඕකනෙ කොල්ලො, කෙල්ලො චාන්ස් එකක් ලැබිච්ච ගමන්, ගෙස්ට් හවුස් වලට රිංගන්නෙ. ඕකනෙ ධර්මද්වීපයෙත් කාම අපරාධ වැඩි.

ඕවා කතාකරල වැඩක් නෑ, අමාලි. ඉතින් ඔයාට බබාල හෙම ඉන්නවද?

හි… හි… හි…!

ඇයි හිනා වෙන්නෙ?  මම හිනා යන දෙයක් කිව්වද?

දෙන්නෙක් ඉන්නවා. කෙල්ලයි කොල්ලයි. උන් දැන් බබාලා නෙවෙයි, අනේ . මහ උන්. ඇයි අනේ, ඒ දෙන්න මගෙ කලින් මැරේජ් එකේනෙ. ඔයා  අර ඉස්කෝලෙ ඉන්නකොට, ස්ටාෆ් එකත් එක්ක, බර්ත්ඩේ වලටත් ඇවිල්ල තියෙන්නෙ!

හුටා, හුටා, ඇත්ත නේන්නම්. එතකොටත් එයාලා සෑහෙන ලොකුයිනේ?

ඒකනෙ. දෙන්නම බැඳලා දැන්.

හප්පට සිරි! අපි දන්නෙම නැතුව වයසට ගිහින් නේ? එයාලත් ඔහෙන්ද බැන්දෙ, නැතිනම් ලංකාවෙ අයද?

මෙහෙන් මෙහෙන්. දෙන්නම බැන්දෙ කැනේඩියන්ස්ලා.

ආහා!

 දූට නම්, අපරාදෙ කියන්න බෑ, හරීම ෂෝක් හස්බන්ඩ් කෙනෙක් හම්බවුනා හෙන්රි. ඔයාට කියන්න, උදේට ඉස්සෙල්ලම ඇහැරෙන්නෙ, ඒ කොල්ලා, බ්‍රයන් තමයි. ඊට පස්සෙ කිචන් එකට ගිහින් බ්‍රෙක්ෆස්ට්, කොෆී හෙම හදාගෙන, ට්‍රේ එකේ තියාගෙන ඇඳට ගෙනල්ලාලුනේ කෙල්ලව ඇහැරවන්නෙ.

ෂෙහ්.. මොන සැපද, ආ?

ඔව් අනේ, බ්‍රයන් ගෙදර ලොන්ඩ්‍රි ඔක්කොම  කරන්නෙ හරිම සතුටින්ලු. මගෙ කෙල්ලට ඇඟිල්ලක් උස්සලා කරන්න වැඩක් නෑලු. අන්න ඒකයි මේ රටවල තියෙන ලිබරල් ඇටිටියූඩ්  එකේ වෙනස. ගෑණු පිරිමි වෙනසක් නෑ. සමාන අයිතිවාසිකම්. කෙල්ල ඉතින් ලන්ච් එක හදලා, ගේ පොඩ්ඩක් අස් පස් කරලා ඉන්නවලු.  අනේ බ්‍රයන් හවස වැඩ ඇරිලා ගෙදර ඇවිත්, ඩිනර් එකත් ප්‍රිපෙයා කරනවලු. ඊට පස්සෙ කැන්ඩල් ලයිට් ඩිනර් එකක් සෙට් කරනවලු, අනේ.  බලන්න හෙන්රි, කොච්චර රොමෑන්ටික්ද කියලා.

මට මොකුත් කියන්න වචන මතක් වෙන්නෙ නෑ අමාලි.

ඔයාට කියන්න, ඩිනර් එකට පස්සෙ, මේසෙ ක්ලියර් කරලා, ඩිෂස් සෝදලා තියන්නෙත් බ්‍රයන්ලු. මගෙ කෙල්ල නම් හරිම ලකී. දාහකින්  හොයාගන්න බැරි කොල්ලා අනේ, සුද්දෙක් වුනාට.

එතකොට පුතා?

පුතා ගැන නම්, මම කතා කරන්නවත් කැමති නෑ, හෙන්රි.

ඇයි අමාලි, මොකද අප්සෙට් එක?

ඉහි… ඉහි…! අනේ මගෙ කොල්ලා ගැන තමයි මට දුක. ඌ අමාරුවෙ වැ‍ටුනා මේ කොහේවත් යන කැනේඩියන් මළ හෝන්තුවක් කරේ එල්ලාගෙන.

ඇයි ඉතින් එහෙම කියන්නෙ?

අනේ හෙන්රි ඔයාට කිව්වාම මොකෝ, අර මල හෝන්තුව, මූසල කමට පස්ස පැත්තට අව්ව වැටෙන කල් දපනවා, මළකඳ වගෙ. අපේ එකාට තමයි, වහලා වගෙ, උදේම නැගිටලා ගිහින්, බ්‍රෙක්ෆස්ට් එකයි, කොෆී එකයි හදලා, අරකිට ඇඳට ගිහින් දෙන්න වෙලා තියෙන්නෙ. මල විකාර! ඉතින් ගේකට ශ්‍රියා කාන්තාව වඩීද?  ඌ තමයි ගෙදර රෙදි ඔක්කොම හෝදන්නෙ, මදින්නෙ ඔක්කොම, ඩෝබි වගෙ. අරකිගෙ අතපය වලට හෙන ගහලද මං අහන්නෙ!

ඒ ඔක්කොමත් හරි. අපේ ගොනා, ඔෆීස් එකේ අච්චර මැරිලා, මැරිලා, ගෙදර ආවම අර නෝනා මහත්තයට කෑම ටිකත් හදලා දෙන්න ඕනෙලුනෙ. ඒ ඔක්කොමත් හරි ඉටිපන්දං එලියෙන් කෑවෙ නැත්නම්, අරකිට ගිලෙන්නෙත් නෑලුනෙ. අනේ මගෙ කට! අපි නොදන්න රොමෑන්ටික් ඩිනර්!  මට නම් හොඳ කුණුහබ්බ කටට එනවා ඕවා ඇහෙනකොටත්, හෙන්රි!  අනේ ඒ කරලත්, අපේ හරකා තමයි වලං ටික හෝදන්නත් ඕනෙ.

අනේ මගෙ අහිංසක කොලුවා අහුවුනා පරට්ටියෙකුට! ඉහි ඉහි …හලෝ හලෝ හෙන්රි, හෙන්රි!  ඔයාගෙ නෙට් කනෙක්ෂන් එක ස්ලෝද මන්දා ඔයාගෙ පික්චර් එක ‍ෆ්‍රීස් වෙලා…හි… හි… ඔයාගෙ කටත් ඇරිලා…! හි… හි…හරි කැතයි හෙන්රි ඔයාගෙ කට ඇරිලා තියෙන විදිය නම්! හි… හි…!

මෙය මා අසා ඇති විකට කතාවක් මත පදනම් වූ  නිර්මාණයක් පමණි.



Originally published @ මට හිතෙන හැටි.

අනිත් බ්ලොගේ පල කරපු එව්වා හිමීට මේ බ්ලොගට ඇදලා මකුළු දැල් කැඩීමෙන් ශේප් වීම පිලිබඳව ඇගේ බලවත් මෙව්වා එක පල කල මෑතදී විවාහප්‍රාප්ත බස්සි Y.A.S.Hon. මැතිණිය ලියූ හතරරියන්ගේ කින්ඩි හිනාවේ අන්තර්ගතය සහ ප්‍රතිචාර දැකීමෙන් දෛවයේ සරදමකට මෙන් එම වැ‍රැද්දම නැවත කිරීමට සිත් වූ වගයි.


Saturday, July 18, 2015

132. BMW සහ නයිටි කෑල්ලෙන් හෙලිවන අපේම හෙලුව

Image from http://pngimg.com/download/1706

මම  ලියන්න හිතාගෙන සිටි පොස්ට් දෙකක් බාගෙට ලියා වේලෙමින් තිබේ. එකක් හොන්ඩා XL125R ඩර්ට් බයික් එකක් ගැනය. එය ඇනහිට ඇත්තේ පාර්ලිමේන්තුව විසිරුවා හැර රට ඡන්දයකට සූදානම් පවතින නිසා යයි කිව්වොත් මා පිස්සෙකුට ගනං ගන්නා බව දනිමි. නමුත් කරන්නට දෙයක් නැත. සත්‍යය සමහරවිට විශ්වාස කරන්නට බැරි තරම් අමුතුය.

අනික එලොවටත් නැති මෙලොවටත් නැති  මගේ  ප්‍රථම ප්‍රේමයක් ගැනය.  මේ පෝස්ට් එක නම් ලිවීම අන්තිම දුශ්කර වැඩක් වී ඇත්තේ මාතෘකාවෙන්ම කියවෙන ආකාරයට එලොවටත් නැති මෙලොවටත් නැති ප්‍රථම ප්‍රේමයක් විස්තර කිරීමට අවශ්‍ය මගේ  වාග්මාලාවේ දුප්පත් කම නිසාය.

ඒ දෙකම මඳකට අත්හි‍ටුවා දමා මේ කොහෙවත් යන  අලුත්ම පෝස්ට් එකක් ලිවීමට සිත්වූයේ ගොසිප් මාධ්‍ය සහ මුහුණුපොතේ නැගලා යන මේ BMW එකක් පැදවූවායැයි කියන "ගොන් කෑල්ලක්" නිසාය.

මම සාමාන්‍යයෙන් මධ්‍යස්තව සිතීමට උත්සාහ දරන්නෙක්මි. මේ සිද්ධිය ගැනත් වෙනසක් නැත. නමුත් බොහෝවිට අදහස් ප්‍රකාශයෙන් වැලකී සිටින්නේ අදහස් නැතිකම නිසා නොව අනවශ්‍ය ලේබලයක් ගසා ගෙන එක ගොඩකට බලහත්කාරයෙන් තල්ලු කරනු ලැබ, සිරගතවීමකට අකමැති නිසාය.

මුහුණු පොතේ නඩු කාරයන් සහ නීතිඥයන් වැහි වැහැලාය. ඒ අපේ හැටිය. අපේ හෙමින් වැඩ නැත. රිය අනතුරක් සිදු වුවහොත් කැති, පොලු, අලවංගු ගෙන පාරේදීම කුණුහරපයෙන් නඩුව විභාග කර, වැරදි කාරයාට හොඳටම නෙලා වාහනයත් ගිණිබත් කර, ක්ෂනිකවම යුක්තිය පසිඳුවන ජාතියකි අපේ ජාතිය. ඊයේ නැරඹූ චිත්‍රපටයේ තේමා පාඨය මගේ සිතට නැගෙන්නේ  නිතැතිනි. One man's terrorist is another man's patriot. ත්‍රස්තවාදියා හා දේශප්‍රේමියා. ඔය දෙක මාරු වීමට මහ වෙලාවක් යන්නේ නැත. සමාජයේම පැතිකඩක් හා උප සංස්කෘතියක් වන මූණු පොතේ කියා වෙනසක් නැත.

මුහුණු පොත, කුහකයන්ගෙන් පිරුණු කුහක කමේ ‍තෝතැන්නක් නොවේදැයි මට සිතෙන්නේ පෞද්ගලිකව හඳුනන ඇතැමුන්ගේ status update සහ share කරනා post දු‍ටු විටය.  දෙමව්පියන් ගෙදරින් පන්නා දැමූ උන් මව් පිය අගය ගැන අනුන්ට බණ කියන පෝස්ට්  බෙදාගන්නා විට, ගෙදර බැළලීට ලැබුණු බළල් පැටවුන් දියේ ගිල්ලා මරා දැමූ උන් විදි බල්ලන්ට නිවාස හොයා දීමට දරන වෙහෙස දකින විට,  කට ගොන්නක් බීගෙන ගෙදර පැමිණි බිරිඳට තඩි බා දරුවන් බියගන්නන උන් පවුලේ සමඟිය සහ ආදරය ගැන උඩපැන like කරන විට, පොර ටෝක්ද අමුනා share කරන විට මට හිනහ යන්නේ පශ්චාත් භාගයෙනි.

ඇම්නීසියාවෙන් පෙලෙන උන්ගේ දේශපාලුවන්ට කඩේ යෑමේ පෝස්ට් දකින විට මට සිතෙන්නේ අපේ උන්ට සති දෙකකට වඩා මෙලෝ දෙයක් මතක් නැති බව අර කවුදෝ කී කතාව කොතරම් සැබෑවක්ද කියාය.

ඔය කොයි දේශපාලුවා ගැනත්, ත්‍රස්තවාදය ගැනත්, නීතිය ගැනත්, පෞද්ගලික විශ්ව විද්‍යාල ගැනත්, අමෙරිකානු විරෝධය ගැනත්, දෑවෑද්ද ගැනත්,  ඉස්ලාම්කරණය ගැනත්, හලාල් ප්‍රශ්ණ ගැනත් ආදී එකී නොකී ඒ ඒ කාලයට හිට් වන සමාජ දේශපාලන ප්‍රශ්ණ ගැන මටත් කීමට දේ ඇතත්, නිහඬව සිටින්නේ  තම මතයට විරුද්ධ වන්නන් නොඉවසන, එසේ කරන උන්ව බිම දමා, පාගා,  සපත්තු අඩියෙන් චප්ප කර, බිම උලා, නැත්තටම නැති කිරීමට ඩේටා ගැන නොසිතන උන් නිසාමය. දේශපාලයන ගැන කතාකර මියගිය අම්මාට, ප්‍රශ්ණයට කිසි සේත් අදාල නොවන බිරිඳට, සොහොයුරියට හෝ දියණියට පට්ට කුණුහරපයෙන් බණිනු අසා සිටීමට නොපැකිලෙන්නන් නිසාමය.

නව පරපුරේ යයි සිතිය හැකි උගත් බුද්ධිමත් සහ තරුණ කැල දරණ යල්පිනූ, නූගත්, අමන අදහස්   ගැන මම කම්පා වී නිහඬ වූයේ වරක් දෙවරක් නොවේ.

ඔය කියන වීඩියෝව මේ කියවන හැමදෙනාම දැක ඇතැයි සිතන නිසා මෙහි ඇලවීම මෝඩ කමකි. ඒ නැතත් අනුන්ගේ වීඩියෝ මගේ මෙන් අලවා ගැනීමට මට අයිතියක්ද නැත.

මේ වීඩියෝව නැරඹූ මට සිතුනේ මේ කාන්තාව කතා කරන ආකාරය සැර පරුෂ වැඩි බවත්, වාග් මාලාව ඉතාම ක‍ටුක බවත්ය. මෙවැනි ගැ‍ටුම් කැමරාවට හසු නොවී අනන්තවත් සිදුවන්නට ඇත.

ඉන්පසු මුහුණු පොතේ සහ ගොසිප් මාධ්‍ය වලට තලු මරමින්, වමාරා කන්නට තරම් රසවත් සිද්ධියක් සේ නැගලා යෑමකට ලක් වූ මෙම ප්‍රවෘතියේ අතුරු ඵල ලෙස අර කාන්තාවගේ සිද්දිය යට කර මතුවූයේ අපේ උන්ගේ බාල බොලඳ කම් සහ නිරුවතය.

මේ සිද්ධිය රස විඳින උන් මතු කල මේ අදහස් ගැන මට ඇතුවූයේ විමතියකි.

කාන්තාව BMW එකක පැමිණීම:

 මෙය බොහෝදෙනෙකුට දිරවාගත් නොහැකි වූයේ පන්ති වෛරය නිසාය. මෙහිදී ආකල්ප කිහිපයක් දැකිය හැක. BMW වල යන උන් මනා කල්කිරියාවෙන් යුක්ත උන් විය යුතුය.  BMW යනු අසාධාරණයෙන් හම්බකර, අනුන්ට හයිකාරකම් පෙන්වන, හිස උදුම්මවාගත්, මනුස්සකම් නොදන්නා උන්ගේ පෙලැන්තියට අයත් වාහනයකි. ලද හැම අවස්ථාවේදීම උන්ට පාඩමක් ඉගැන්වීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවන් මග නොහැරිය යුතු අතර අර පාරේදී වාහන ගිණිතියා අප විසින් පියවන්නේ අර මේ කියනා පන්ති පරතරයයි.

කාන්තාව ඇඳ  සිටින්නේ නයිටියකි:

පජාමා ඇඳගෙන තමන්ගේ වාහනය පැදවීම වරදක් දැයි යන ප්‍රශ්ණය මොහොතකට අමතක කරමු. මේ නයිටි කතාව ෂෙයා කරන වුන් වෙනදාට ෂෙයා කරන, වර්ණනා කරන ලස්සන කෙල්ලන් හැඳ සිටින ඇඳුම් දෙස බැලූවිට  කුහකත්වයේ ලොකූ කතාවක් එහි අන්තර්ගත බව පෙනේ.  මුස්ලිම් ගැහැණුන්ගේ බුර්කාවට ඔරවන වුන්, කැමති ඇඳුමක් ඇඳීමට උන්ට ඇති  මානුෂික අයිතිය ගැන වද වන උන්, මෙහිදී හැසිරෙන ආකාරය ජුගුප්සාජනකය.  අප කොයිදේත් ගන්නේ වැරදියට බව මෙහිදී හොඳින් පැහැදිළිවේ. නිදහස් සමාජ වල ජීවත් වන්නන්ට නාන්නට නාන ඇඳුමත්, සාදයට, පල්ලියට, රාජකාරියට, සම්මුඛ පරීක්ෂනයට, ක්‍රීඩා කිරීමට, නිදහසේ ඉඳීමට, ඊට ගැලපෙන ඇඳුමත් ඇඳීමේ පුරුද්දක් ඇත. මුස්ලිම් කාන්තාවන් බුර්කාව ඇඳගෙන වතුරට බැස පිහිණීම දු‍ටු නිදහස් සමාජයකින් ආ එකෙක් වරක් මගෙන් ඇසුවේ "Did they accidentally fall into water? (අර මනුස්සයා වතුරට වැ‍ටුනද)" කියාය. අපි ඉන්නේ ඔය දෙකටම අතර දෝලනය වෙමිනි. නෑමට ගැලපෙන්නේ නාන ඇඳුමක් වුවත් ගනකම ටීෂර්ට් දිග කලිසම් ඇඳගෙන ඇළදොල වල නෑමට අපේ ගැහැණුන්ට සිදුවී ඇත්තේ ඇයි දැයි නිකම් සිතා බලන්න. අර කාන්තාවගේ ඇඳුම ගැන ප්‍රකාශ නිකුත් කිරීම කොතරම් කුහකද?

උරහිස වටා හීනි පටි දෙකකින් රඳවා ඇත්තේ නයිටි පමණක් නොවන බව අන්තර්ජාලයේ මඳක් සැරි සැරීමෙන් දැනගත හැක.  තම ගැහැණුන් ගෝනි බිල්ලන්සේ වසාගෙන යන මුස්ලිම් පිරිමින්ට ගරහන අපත් අපේ ගැහැණුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේත් එයම නොවේද?

ඇය වේසියකි, ගොන් කෑල්ලකි. BMW ගොන් කෑල්ලකි: මේ තීරණවලට එළඹී ඇත්තේ වෛද්‍ය පරීක්ෂනයකින් හෝ ඇගේ ජීවන රටාව පෞද්ගලික රහස් පරීක්ෂක ඒජන්සියක් ලවා විශ්ලේෂණය කර නොවේ. මේ සිද්ධිය සමාජගත් නොවූවානම් ඇය වේසියක් හෝ ගොන් කෑල්ලක් වන්නේ නැත. මේ අධම ප්‍රකාශයට මූල බීජය, ඇගේ ඇඳුම  අර නයිටියක් මෙන් අපේ සුචරිතවාදීන්ට පෙනෙන පටි ගවුමක් වීම  සහ මෝටර් රථය අපි හුඟ දෙනෙකුට කිසිදා ලඟාවිය නොහැකි ඉලක්කයකැයි අපම තීරණය කර ඇති සහ අතහැරදමා ඇති BMW රථයක් වීමය

ඇය ඇන්ටි කෙනෙකි: මේ නම් පාකිස්තානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාවේ රටවල් තුන හතරක දැකිය හැකි එක්තරා මානසිකත්වයකි.  ආගන්තුකයන්ට ඇන්ටි හෝ අංකල් කීම ඔවුන්ට ගෞරවයක් සේ කරන්නක් නොවේ. ඔවුන් අපගේ කල්ලියෙන් පි‍ටුදැකීමට හෝ ඔවුන් සිටිය යුතු යයි අප සිතන නිසි ස්ථානයේ තැබීමට යොදන මානසික උපක්‍රමයකි. මේ අදහස සැබෑ බව. මේ සිද්ධියෙන්ම සනාථ වේ. (ඇන්ටි අංකල් ආසියනු මානසිකත්වය  ගැන අපි වෙන ලිපියකින් කතා කරමු)

මේ අදහස් වලට එකඟ වෙමි:

අර පොලිස් නිලධරියාගේ හැසිරීම ප්‍රසංසනීයය. ඇත්තෙන්ම ඔහුගේ හැසිරීම මා ඉහලින් අගයමි.  ඔහු කිසි විටෙක කාන්තාවගේ ඇඟට අත තබනවා හෝ පරුෂ ලෙස කතා කරනවා හෝ අර අප බලාපොරොත්තුවන ලංකාවේ 'පොලිස් කාරයෙකු' සේ හැසිරෙනවා මම නොදු‍ටුවෙමි.  ඔහු මහත්මයෙකු සේ හැසිරුනි.

කාන්තාව කතාකල ආකාරය හා හැසුරුණු ආකාරය අනුමත කල නොහැක. මේ ගැන මට විවාදයක් නොමැත. ඇත්ත වශයෙන්ම කතා කල යුතුව තිබුනේ මෙතනට කිසිසේත්ම අදාල නොවන BMW රථය ගැන හෝ නයිටියක් ගැන නොව, මේ ගැනය.

සත්‍යයක් ඇතත්  මෙතනදී සඳහන් කිරීම අනවශ්‍යයයි මා සිතන පගා මරුවන් වන දේශපාලනඥයන්, හොරුන් තක්කඩින් ආරක්ෂා කරන  තුට්‍ටු දෙකේපොලිස් කාරයන් ගැන කල ප්‍රකාශයෙන්, මාත් ඇතුලුව බොහෝ දෙනෙකු කරන, ටික දෙනෙකු කරන වරදට සංහතියටම ලේබල් ඇලවීම මනාව සිදුවේ. මෙයත් BMW රථය ගැන හෝ නයිටිය  සේම කිසිසේත් මෙතනට අදාල නොවේ.

පහත පලවන්නේ කිසිවෙකු නොදු‍ටු හෝ නොදැක්කා සේ සිටීමට ‍තෝරාගත් කරුණුය

ඔබ මේ වීඩියෝව සැලකිල්ලෙන් නැලඹුවා නම් කාන්තාව පොලිස් නිලධාරියාගේ හෙල්මටය පැහැරගෙන ඉවතට ගිය පසු පොලිස් මහත්මයාගේ සගයා වන අනිත් 'පොලිස් කාරයා' ඇයට පයින් ගසා හෙල්මටය ලබා ගන්නා ලෙස පොලිස් මහත්මයාට තදින් කියන ආකාරය ඔබට නෑසුනා විය නොහැක. පොලිස් මහත්මයා අමාරුවෙන් ‍රැස්කල කිරි කලයට වහාම ක්‍රියාත්මක වන පරිදි ගොම බිඳුවක් එක්වීම කිසිවෙකු දු‍ටුවේ නැත්තේ ඇයි?

කාන්තාව ස්ථානයෙන් ඉවතට රිය පදවාගෙන යාමේදී වෙනත් වාහනයක හෝ දේපලක හෝ පුද්ගලයෙකුගේ නොගැටී වාහනය පසු පසට ගැනීමට වෙහෙස ගනිද්දී ඇයට තවත් අමාරුවේ දැමීමට හෝ පළි ගැනීමට පොලිස් යතුරු පැදිය තිබුණු ස්ථානයේම රඳවාගෙන එහි ගැටීමට ඉඩදී "ඕකිට හොඳ පාඩමක් ඉගැන්වීමට" තිබූ  අවස්තාව අතහැරි  පොලිස් නිලධාරියා යතුරු පැදිය ඉවතට ගෙන ඇයට ඉඩ සැලසූ මහත්මා ක්‍රියාව කිසිවෙකු දු‍ටුවාද?

අර කාන්තාව මවකි. අර දරුවාත් ‍රැගෙන වේසාකමේ ගියාවිය නොහැක. ‍රැකියාවත්, දිවා සු‍රැකුම් මධ්‍යස්ථානත්, දරුවනුත් සමඟ ඔය ආකාරයට අපිත් කාපු කට්ට මා නම් කෙසේ අමතක කරන්නද!

ඇය පටිගවුමක් නො ඇඳ රෙද්දයි හැට්ටයි හෝ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ජාතිය ඇඳුම යයි සැලකිය හැකි අර දිග සායත් බ්ලවුසයත් හැඳගෙන , BMW රථයක නොගොස් මරුටියක හෝ ත්‍රිරෝද රථයක  ගියානම් මේ කාන්තාවම පොලීසියත් සමග මේ කට ගැසූ ආකාරයටම මුහුණු පොතේ හා ගොසිප් මාධ්‍ය වල විහාර මහා දේවියක්  වීමට ඉඩ තිබුනි.


 Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers. 

Saturday, January 25, 2014

104. ලදුදෙ භංගවේවා! DOWN WITH SLR! සලංපෙසං සටනට මගේ ඩෙනිමේ සහය!

නිවාඩු කාලේ කියන්නේ සංචාරයටම කැපවෙච්ච කාලයක්නේ. මේ නිවාඩු කාලෙත් අපි සතර දිග්බාගේ ඇවිදිනකොට දැකපු අමුතු ජාතියේ සටන් පාඨයක් අපේ ඇහැට යොමු වුනා. මේක උතුරු, උතුරු මැද, මධයම, වයඹ, දකුණු, බස්නාහිර වගේ හැම පළාතකම දකින්න ලැබුන නිසා අපි මේ ගැන කරුණු විමසපුවාම තමයි අපිට මේ පට්ට අසාධාරණේ ගැන දැනගන්න ලැබුනේ.

පේරාදෙණිය හන්දිය

Friday, February 1, 2013

41. ජාතික දිනයට පෙරවදනක්

මේ ජාතික දිනයටවත් ටික ටික ගෙවන්න හරි කොන්දක් ගමුද?

පාවෙලා වගෙ ආපු තද අඳුරු වීදුරු සහිත කලුපාට SUV එක හඬක් නොනගාම මළගෙදර ඉස්සරහ නැවැත්තුවා. දොර ඇරුනා. වායු සමනය කල බේජ් පැහැති රථ අභ්‍යන්තරයෙන් උස මහත මැදිවියේ පුද්ගලයෙක් එලියට බැස්සා.

Saturday, January 19, 2013

38. මං කවුරු වෙන්නද ආසා...


මේ චිත්‍රය මම ග්‍රැ‍ෆික් ටැබ්ලට් එකේ අතින් ඇඳලා පස්සෙ ෆෝටෝෂොප් ඉෆෙක්ට් එකක් දාලා තියෙන්නෙ. ගිය පාර අතින් ඇඳපු ඩයස්ගෙ චිත්‍ර ගැන හුඟ දෙනක් කතා කල නිසයි මේක ලිව්වෙ.

"අවුරුදු පහළොවක්ම බ්ලොග් ලිව්වට පස්සෙයි ඕං මට ලියන්න  හැකියාවක් නැති බව මම දැනගත්තෙ?"

"ඈහ්, එතකොට මොකද කලේ? බ්ලොග් ලිවීම අතෑරියා?"

"මගුලක් කතා කරනවා? ලිවීම අතාරින්නෙ කොහොමද? ඒ වෙනකොට මම හෙන ජනප්‍රිය බ්ලොගර් කෙනෙක් වෙලා ඉවරයි."

මේක මම අහලා තියෙන පොඩි විහිලු කතාවක් වුනාට, මට වෙලා තියෙන දේත් එක්ක මේකෙ යම් අදාලත්වයක් තියෙනවා.


(මේ ලිපිය ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනින් යන්න.)


Saturday, January 12, 2013

35. අහසයි, පොළවයි.


මම ව්‍යාපාරිකයෙක් නොවෙයි. මම වෛද්‍යවරයෙකුත් නෙවෙයි. ඒ වුනත් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඔය කොයි කාගෙත් වෘතීය සංවර්ධනයට යොදාගන්න හැකි අදහස් මා ලඟ තියෙනවා.  මම ඔය කාණ්ඩ දෙක පමණක් පහසුවට සඳහන් කලත් පරාසය ඔයිට වැඩියි.

මේ උදාහරණයක්.

මේ ව්‍යාපාරිකයො දෙන්නා රටවල් දෙකකින්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔවුන් තමන්ගෙ රටේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන බවක් හෙම.

Thursday, January 10, 2013

34. සහාය ගැල් කරුවාට යාලු කම පරදුවට තබා මලෙන් ලියමි

ඔබ සමහරෙකුගේ යෝජනා සලකා බලා මෙම ලිපිය ඉවත් කරන ලදි.
එහෙත්…
මෙම ලිපිය ලිවීමේදී සිද්ධිය මිස අනන්‍යතාවය හෙලි වෙන අයුරුන් කටයුතු නොකලෙමි.
අනික, මේ සිද්ධියේදී මතුකලේ, පෙමින් වෙලී සිටියදී නිරතුරුව අනෙකා ගැන තොරතුරු සොයාබලන පෙම්වතුන්, පසු කලකදී සම්පූර්ණ වටයක් ආපසු හැරී එකිනෙකා නොසලකා හරින කාලකන්නි ක්‍රමය ගැනයි.

මෙය මොවුන් දෙදෙනාට පමනක් පොදුවූ දෙයක් නොව සමාජයේ සුලභව දැකිය හැකි දෙයක් නිසා යම් අයෙකුගේ ඇස් ඇරවීම පිණිස මෙම ලිපිය ඉවහල් වේ යයි උදක් සිතුවෙමි.

Sunday, December 16, 2012

30. බාස් කතා. මේසන් බාස්.


නවම් ගොයියයි, පන්සල් හන්දියයි අපේ ගෙදර ආපු දවසක ඇහුවා ඈ බං අයියෙ, අර කෑලි බෑලි හයි නොකර බිත්තියට හේත්තු කරලා තියෙන්නෙ මොකෝ කියලා. මම කිව්වාම ඕකට 2006 ඉඳන් බාස් කෙනෙක් අල්ලගෙන කරන්න වෙලාවක් හම්බවුනේ නෑ කියලා, දෙන්නම කියපු දෙයක් තමයි අනේ බං , මේ පාර වත් ගෙදර ආවාම ඔක්කොම පැත්තක තියලා බාස් කෙනෙක් අල්ලගෙන ඔය ටික හයි කරාපං කියලා.

 ඕන්න මේ පාර වැඩේ දෙන්නම හිතාගෙන තමයි ආවේ.

Saturday, December 1, 2012

27. ඔබ කවුරුද, නුදු‍ටු සබඳ?


බොල්ලෑගල පල්ලම පසුකොට, බොල්ලෑගල කඩ වීදිය හරහා කොළඹ දෙසට යන සෑම විටෙකම මගේ දෑස් නොවරදවාම සොයනා, දශක කිහිපයක් තිස්සේ යටි සිතට කාවැදුනු සුපුරුදු මං සලකුණක් විය.

යමක් යටි සිතට මෙතරම් කාවැදීමට හේතු කිහිපයක් විය හැකි අතර, ඒවා යහපත් හෝ අයහපත් යන දෙවර්ගයටම අයත් විය හැක.

මා මේ කියනා මං සලකුණ නම්, පාර අද්දර වූ නිවෙසකි.

එහි ජීවත් වූ පුද්ගලයා, මා කිසි දිනෙක දැක, කතා බස් කර නොමැති වුවත්, මුණ ගැසුනොත් අසන්නට තිබූ පළමු පැය නම්, ඔහු ඒ දේ කලේ ඇයිද යන්නය.