Thursday, March 23, 2017

159. හදිසි අච්චාරුමය තත්වයක්...


 පිළිගැන්වීම: එළ ද බ්‍රා මෙන්ඩාට සහ පොඩි මෙන්ඩාට:

ඉස්කෝල නිවාඩුවෙ අන්තිම සතිය. ඉස්කෝලෙ යන්න වෙන සතිවලට දවස් දහයක් දොළහක් තිබුනට ඉස්කෝලෙ නිවාඩු කාලෙ සතිවලට තියෙන්නෙ දවස් දෙකයි නැතිනම් තුනයිනේ. මම මේ මිල්ඩ්යූරා වල ඉන්න ආච්චියි සීයයි බලන්න යන ගමන්.

මේක අර ආසන තිස් හයේ පොඩි ගුවන් යානයක්.  පාන් වලත් අයිනෙ කෑල්ලට කැමති, බස් එකක කෝච්චියක ගියත් අයිනට පොරකන මට, අයිනෙ සීට් එකක් හම්බවෙලා තියෙන්නෙ හොඳ  වෙලාවට.  ඒ මදිවට, බෝනස් එකක් හැටියට මට ඒකට අල්ලපු අනිත් සීට් එකත් ලැබෙන්න වගේ යන්නෙ. හොඳට අතපය දිගෑරලා ආතල් එකේ යන්න හැකි එහෙම වුනානම්.  මම හිතන්නෙ නෑ තවත් කවුරුවත් ආයෙ එයි කියලා ඒකට.  වැඩි හොඳට, මම ඒක උඩ රබර් වලින් හදපු ඇත්තම එකක් වගෙ පෙනෙන, පට්ට සිරාම සෙල්ලම් බලු බෙට්ටකුත් තියලා තියෙන්නෙ.

මේ තාක් කල් නම් අවුලක් වුනේ නෑ.  තව පොඩ්ඩකින් අපි ගුවන් ගත් වෙන නිසා වැඩේ ගොඩ වගෙ.   ඇරත්,   මට පිටිපස්සෙ තියෙන සීට් තුනම හිස්.

හයියෝ! කියනකොටම, මගෙ බලාපොරොත්තු  සුනු විසුනු කරමින්  කඩා පාත්වෙන කොහේදෝ යන වයසක උන්දැ කෙනෙක් සීට් පේලි දෙක අතරින් තියෙන කොරිඩෝව දිගේ ගාටමින් එනවා මේ පැත්තට. හයියෝ!

"අනේ එයා මට පිටිපස්සේ තියෙන සීට් එකට යන්ඩ.  අනේ එහෙම වෙන්ඩ. මාව පහු කරගෙන ඔහොමම යන්ඩ. ඔහොමම යන්ඩ.  ඉන් පස්සෙ ගුවන් සේවිකා කෙල්ල දොර වහයි. ඉන් පස්සෙ මට කචල්-බචල්, අවුල්-බවුල් නැතුව හිතේ සැනසිල්ලෙ, ආසන දෙකම අයිතිකරගෙන ලෙසටම  යන්න පුලුවන්.

ඒත් මොන! සිද්ද වෙන්නෙ හැමදාම මට වෙනවා වගේ, ඒකෙ අනිත් පැත්ත.

වයසක උන්දැ මා ලඟ නතර වෙනවා.  මට මේක අදහ ගන්න  බැ. ඇයි මේ මටම වෙන්නෙ?

"අනේ එපා! එපා! එපා!  යන්ඩ යන්ඩ. පිටිපස්සට යන්ඩ ඔහොමම හොඳ ආච්චිනේ!" මම හිතෙන් කෑගහනවා.

"සමාවෙන්න." මගෙ හිත ඇතුලෙ දුවන යුද්දය ගැන හාංකවිසියක් නොදන්න ඈ කියනවා, " මේ සීට් එකේ කවුරුහරි ඉන්නවද?"

"ආ...ම්ම්ම්ම්....අර්ර්ර්....  ඔ...ඔ...න්..නෑහ්." මම ගොත ගහනවා. "ඒ වුනාට මම...මම... මම නං කියන්නෙ ඔය සීට් එකේ ඉඳගන්න එකනම් එච්චර සුබ නෑ, ඒ මොකද ඒක එච්චර පිරිසිදු නෑ."

වයසක උන්දැ නැවිලා  සීට් එක අතගාලා බලනවා.  ඔන්න එයාට බලුබෙට්ට අහුවෙනවා. එයා ඒක අතට අරන් හොඳට අතගාලා බලනවා.

"මේ සීට් එකේ තියෙන්නෙ රබර් බලු බෙට්ටක් විතරනෙ. " ඈ කියනවා.  "මම හිතන්නෙ මේක මේ කවුරුහරි පොඩි ඉලන්දාරියෙක් කොලු කමට කරපු පොඩි තක්කඩිකමක්."

එහෙම කියන ඈ බලුබෙට්ට ඉස්සරහ සීට් එකේ තියෙන දැල් සාක්කුවෙන් ගත්තු වමනේ බෑග් එකට දානවා.

මෙයා නම් මාරම ආච්චි කෙනෙක් තමයි.  සිරාම බුලට් බඩුවක්.  එයා කොහොමද දැනගත්තේ ඒක රබර් බෙට්ටක් බව?  ඕක සල්ලිවලට ගන්න පුලුවන් හොඳම වර්ගයේ, උසස්ම ප්‍රමිතියෙ ISO 9002 බලු බෙට්ටක්.  කොටින්ම ඕකට මගේ බල්ලත් ‍රැවටෙනවා කියහංකෝ.

"ඒ කියන්නෙ මට මෙතන ඉඳගන්න පුලුවන් නේද?" ඈ අහනවා. " ඔය දරුවට ප්‍රශ්ණයක් නෑනේ?"

මට ඕනෙ, " මොකද ප්‍රශ්ණයක් නැත්තෙ?  ප්‍රශ්ණයක් තියෙනවා.  පව් නොදී මාරු වෙන්නකො මෙතනින්.  අර ඕනෙ තරම් සීට් තියෙන්නෙ වදේ අර පිටිපස්සෙ.  ගිහිං ඒවයින් එකක ඉඳගන්නකෝ වද නොදී.  මෙතනටම රිංගන්න හදන්නෙ වාතයක් වෙන්න." කියලා.

නමුත් මම කොහොමද එහෙම කියන්නෙ.  මේ වගේ වයසක ආච්චි කෙනෙකුට කොහොමටවත් එහෙම කියන්න බෑ.  ඒක කැත වැඩක්.  ඒ තියා, දැන් මට නැගිටලා පිටිපස්සෙ සීට් එකකට යන්නත් බෑ ගසලා බසලා දාලා, මොකද මේ මනුස්සයාගෙ හිත රිදෙන්න පුලුවන් නිසා. එයා තට්ට තනියෙම ජීවත් වෙන , කාත් කවුරුවත් නැති කෙනෙක්ද කවුද දන්නෙ? .  මම එහෙම කලොත්  එයාට ඒක දරාගන්න බැරිවේවි.  යනව නම් යන්න ඕනෙ වෙන කවුරුත් නෙවෙයි මේ ආච්චිම තමයි.

ඈ වාඩිවෙලා, ඇගේ අත්බෑගය සීට් එක යට තියලා හරිබරි ගැහෙනවා.

මේ ගැන මොනව හරි පියවරක් ගන්නවනම්, නොපමාව ගන්න වෙනවා. මොනවහරි කරනවානම් කරන්න වෙන්නේ මේ දැන්. පස්සෙ නෙවෙයි.

ඔන්න ගුවන් යානාවේ දොර වහලා අගුල් දාන ගුවන් සේවිකාව  අර සුපුරුදු, කවුරුවත්  අහන් නොඉන්න,  පිළිගැනීමේ කතාව පවත්වනවා.  හදිසි දොර‍ටු තියෙන තැන්,  ජීවිතාරක්ෂක කබා, ඔක්සිජන් මාස්ක් පාවිච්චි කරන හැටි...
ඒක ඇ‍ඟේ ලේ වතුර වෙන පිළිගැනීමේ කතාවක් හරියට අහං හිටියොත්. නමුත් ඒකෙන් මට අදහසක් පහල වෙනවා.

එන්ජින් ක්‍රියාත්මක වෙලා යානය හරහා ඒවයේ දෙදරිල්ල යන්තමින් පැතිරිලා යනවා.

"මේක වැඩිය ගැස්සෙන්නෙ පෙරලෙන්නෙ ගියොත් හොඳයි," මම කියනවා. "මොකද මට මේ අහස්යාත්තරාවල ගමන් එච්චර අල්ලන්නෙ නෑ.  මට බිම ඉන්නකොට අහස්යාත්තරාවක් මතක් වුනත් වමනේ යනවා කිව්වාම!"

"මොකක්ද කිව්වේ?"  ඈ අහනවා. "පොඩ්ඩක් හයියෙන් කියන්න වෙයි."

මම ඇගේ ‍රැලි වැ‍ටුනු කණට ලංවෙලා බෙරිහන් දෙනවා.

"මම කිව්වේ  මට අහස්යාත්තරාවල යන්නම බෑ.  මට හෝ ගාලා වමනෙ යනවා සෙනිකවම."

ආච්චි හිනාවෙනවා.

"ෂෝක්නෙ පුතේ, " ඈ කියනවා.  "අපි දෙන්නට දෙන්න බලාගන්න හැකි එහෙනම්.  මොකද මටත් එහෙමයි. "


කාල වරෙංකො. නියමෙනුත් නියමයි.  ආච්චිඅම්මා මගෙ සීට් එකට කෙලියා මදිවට දැන් මගෙ ඇඟ පුරා හෝටලේකුත් දාන්නයි යන්නෙ."

එකවරම තරමක් දෙදරන ගුවන් යානය ගොරවමින් ඉදිරියට ගමන් කරන්න ගන්නවා.

ගුවන්ගතවීම තමයි ගුවන්ගමනක  මගේ ප්‍රියතම කොටස.

ගුවන් නියමුවගෙ කටහඬ ශබ්ද විකාශනවලින් ඇහෙනවා.  "සුභ උදෑසනක් ඔබ සැමට. මුලින්ම   දකුණු ඕස්ට්‍රේලියානු ගුවන් සේවයේ අප සමග පියාසර කරන ඔබට ස්තුතියි. මිල්ඩ්යූරා වෙත පියාසර කරන මාර්ගයේ ඉදිරිය මේ සුන්දර උදෑසන  ඉතාම යහපත් කාලගුණයක් පවතින බවයි කියවෙන්නෙ.  අප පැයට සැතපුම් තුන්සීයක වේගයකින් අඩි දහසය දාහක් ඉහලින් පියාසර කරන්න බලාපොරොත්තු වෙනවා. පසුපසින් හමන සුලඟ නිසා අපට පැයකට අඩු කාලයකින් ගමනාන්තයට ලඟා විය හැකි වේයයි බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට සුව දායක ගුවන් ගමනක්."

"මොකද එයා කිව්වේ?" වයස උන්දැට දැනගන්න ඕනෙ. "මොකද පුතා එයා කිව්වෙ?"

"එයා කිව්වා කාලගුණ වාර්තාව අන්තිම නරකයිලු.  ඉස්සරහ පැයට සැතපුම් තුන්සීයක වේගයකින් හමන සුළි කුණා‍ටු, අඩි දහසය දාහක් ඉහලට පැතිරිච්ච ටෝර්නේඩෝ වගේ බයානක තත්වයක් තියෙනවලු.  ඒක හන්දා හයියෙං අල්ලගෙන  තමං ඉඳගෙන ඉන්නේ වමනේ  දාන කෙනෙක් ලඟ නොවේවා කියලා ප්‍රාර්තනා කරගෙන යන්නලු.  එයා කිව්වා  දැනට තමන් වාඩිවෙලා ඉන්නෙ එහෙම කෙනෙක් ලඟනම්, තව ටිකකින් මේක ඉහල නැගීම නතර වුනාම නැගිටලා වෙන සීට් එකකට මාරු වුනාට කිසි ප්‍රශ්ණයක් නෑලු."

"මම නම් වෙන තැනකට යන්නෙ නෑ," ආච්චි කියනවා.  "මම ඔයා වගේ ලොකු, හයි හත්තිය තියෙන පිරිමියෙක් ලඟ වාඩිවෙලා යන්න ලැබීම ගැන දෙවියන්ට ස්තුති කරනවා.  ඔය කියනවා  වගේ කාලගුණ තත්වයක් යටතේ තනියෙම සීට් එකක ඉඳගෙන යන්න මම පරාණ බයයි."

මෙපමණ වෙලා ධාවනපථයේ කෙලවරට හෙමින් හෙමි ටැක්සි කල ගුවන් යානය, සම්පූර්ණ වටයක් කරකැවිලා දිග ධාවන පථය දිහාට මුහුණ හරවලා හරිබරි ගැහෙනවා. ඉන් පස්සෙ එන්ජින් සැර දමාගෙන ඉදිරියට දුවන්න ගන්නවා. රෝද ධාවන පථයෙන් නික්මිලා සෑහෙන ආනතියකින් යානය  ඉහලට ගමන් කරද්දි මාව ආසනයටම කිමිදිලා යනවා මට දැනෙනවා.

ගුවන් නියමුවා හරි තමයි.  ඒ මම අත්විඳලා ඇති, කිසිම ගැස්සීමක්, පෙරලීමක්, දෙදරීමක් නැතුව, පිහා‍ටුවක් වගේ සැහැල්ලුවෙන් ගුවන් ගත වෙච්ච,  හොඳම ගුවන් ගතවීම් වලින් එකක්.  නමුත් මම ආසනයේ එහාට මෙහාට වැනෙමින්, දඟලමින් ගැහෙමින්, ආසන ඇඳි සොලවමින් එය එහෙම නොවන බව වයසක උන්දැට ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා.

"ඌ...හ්හ්", මම කෙඳිරි ගානවා, "ඕ...හ්ග්ක්,  මට දැනටමත් වමනේ යන්න එකවා.  ඔයා සීට් එක මාරු කලා නම් හොඳ නැද්ද?"

"අනේ නෑ පුතේ," මගේ අත ගෙන  ඇගේ අත් වලට මැදි කරගන්නා ආච්චි කියනවා. "මම ඔයාව බලාගන්නම්. කිසි දේකට බයවෙන්න එපා පුතේ මම ලඟ ඉන්නකල්."

දෙයියනේ. ඇයි මටම මෙහෙම වෙන්නේ?  මම මොන වරදක් කලාටද?  දැන් ඕං එයා මගේ බාරකාරයා වෙන්න යනවා. එච්චරයි අඩු. එච්චරමයි අඩු.

මේ වගේ වෙලාවට අති විශේෂ  සංග්‍රාමික උපක්‍රම අවශ්‍ය වෙනවා.

ඒකට  මේ ඔක්සිජන් මුහුණු ආවරණ, ජීවිතාරක්ෂක කබා එකකින්වත් සත පහක  වැඩක් නෑ.

මේ උදාවෙලා තියෙන්නෙ හදිසි අච්චාරුමය තත්වයක්.

මට කොහොමත් අච්චාරු පේන්නෙ වමනේ වගේ. අච්චාරු වලයි වමනෙ වලයි වෙනස අච්චාරු භාජනේක නැතිනම් බෝතලේක එන එක විතරයි.

ඒ ඇර අච්චාරු පෙනුමෙන් වමනෙ වගෙ.
ගඳින් වමනෙ වගෙ.
රසෙනුත් වමනෙ වගෙ
අච්චාරුවලට වඩා වමනෙ වලට සමීප දෙයක් තියෙනවා නම් මේ ලෝකෙ ඒ කස්ටර්ඩ් විතරයි. මම කස්ටර්ඩ් ගැන කතා කරන්නත් මේ වෙලාවෙ අකමැති එහෙම කලොත් මට  ඇත්තටම වමනෙ යන්න පුලුවන් නිසයි.

කොහොමින් කොහොමින් හරි, මම  මේ වගේ හදිසි තත්වයක් උදාවුනොත් ඒකට මුහුණ දෙන්නම නිතරම අච්චාරු බෝතලයක් අරගෙන යනවා. හෙහ් හෙහ් හෙ. පුදුමයි නේ? නමුත් ඇත්තයි. ඔය පෙර සූදානම තියෙනව නේද?  ඒක...

මම හෙමිහිට ආච්චිගෙ දෑතට මැදිවෙලා තියෙන මගෙ අත මුදාගන්නවා.

"දැන් හරි ස්තුතියි," මම ඈට ස්තුති කරනවා. "මට එක පාරටම හොඳටම හොඳයි වගෙ තේරෙනවා."

"බොහොම හොඳයි. හැබැයි යන්තම් හරි අසනීප ගතියක් දැනුනොත් මට නොකිය ඉන්න එපා, පුතා."

තමන්ගෙ ආසන පටි ඉවත් කරන ගුවන් සේවිකාව මගීන්ට සත්කාර කිරීමේ මහා මෙහෙයුමට දුවනවා.  මේ ගමනට සාමාන්‍යයෙන් ගතවෙන්නෙ පැයක විතර කාලයක්.  අපට තේ, කෝපි, පළතුරු යුෂ, සිසිල් බීම, රසකැවිලි දීලා ඉවර වුනු ගමන්ම ඇයට  ඒවයෙ ඉතුරු-බිතුරු එකතු කරගෙන ඒවා ආපහු අහුරලා, දුවලා ගිහින් ආපහු තමන්ගෙ ආසනේ වාඩිවෙලා, ආසන පටි තද කරගෙන ගොඩ බෑමට ලැහැස්ති වෙන්න වෙලාව ඇවිල්ලා.

ඔන්න එයා අපි ලඟට එනවා.

ආච්චි කුකීස් එක්ක තේ ඉල්ලනවා.  මටත් තියෙන හැම කෑමෙන් සහ බීමෙන්ම එක එක ඉල්ලන්න ඕනෙ.  ඒ වුනත් මගෙ 'වමනේ මෙහෙයුමට' ඒක බාදාවක්.  ඒ නිසා මම දැනටමත් කෑම සුවඳට කුලප්පුවී ඇති මගේ ආමාශය අඬාවැටෙද්දි, කෑම කන්න පිරියක් නැති බවත්, වමනෙ යාවි යයි බියක් තියෙන බවත් මහලු කාන්තාවට ඒත්තු ගන්වන්න උත්සාග ගන්නවා.

"වමනෙ යන්න පුලුවන් නිසා, මට  මොකුත් කන්න බයයි", මම පපු කැණතු උණුවෙලා යන  අන්ත අසරණ විදියට  ගුවන් සේවිකාවට කියනවා "මට වතුර ටිකක් විතරක් දෙන්න."

ඈ ටිකකින්  ආපසු එනවා.  ආච්චී ඇගේ තේ කෝප්පයට සීනි සහ කිරි එකතු කර දිය කරන අතරේ මම  හොරෙන්ම මගේ ගමන් මල්ලෙන් අච්චාරු බෝතලය අතට ගන්නවා.

මේ වැඩේට පස්සෙ නම් ආච්චිට මා ලඟ ඉඳගෙන යන එක එපා වෙයි.

මා ලඟ නෙවෙයි, මම යන අහස්යාත්තරාවකට වත් ආයෙ ගොඩ වෙන එකක් නෑ.

මම නොගියත්, පණ තියෙනකල් අහස්යාත්තරාවකවත් ආයෙ නොයන්නම වැඩේ දෙන්නම් මම.

අහස්යාත්තරාවක සද්දෙ ඇහුනත් සෙනිකවම කබ්බා සෙට් වෙන ගානට ලෙසටම වැඩේ දෙන්නම්.

හෙහ් හෙහ්... කොටින්ම,  ඕවිල් රයිට්,  විල්බර් රයිට් කිව්වත් 'ඕක්' ගාලා වමනේ දාන ගානට වැඩේ දෙන්නම්.

ඉදිරියට නැවිලා ආච්චිට නොපෙනෙන විදියට යානයේ ජනේලය පැත්තට මුහුණ හරවන මම අච්චාරු බෝතලේ පියන හොරෙන්ම අරිනවා. ඉන් පස්සෙ එක අතක ඇඟිලි වලින් නහය මිරිකාගෙන අච්චාරු බෝතලේ කටට ඇල කරනවා.  බින්දුවක්වත් ගිලෙන්නෙ නැතිව කට අච්චාරුවලින් පුරවාගන්න මම උත්සාහ කරනවා. හැමෝම කියනවා වගේ , මගෙ කට ලොකු වැඩි නිසාමදෝ, අච්චාරු බෝතලෙන් බාගයක් විතර කටට ගන්න මට පුලුවන් වෙනවා

බෝතලේ පියන වහන මම බෝතලේ හිමීහිට මල්ලට රිංගවනවා.  ඉන් පස්සෙ ආපහු ආසනේ ඇන්දට හේත්තු වී බඩ දෑතින්ම බදාගෙන හඬ නගා  කෙඳිරි ගාන්න ගන්නවා.

"මොකද පුතා?" ආච්චි අහන්වා.

කටෙන් එකක් අච්චාරු නිසා මට උත්තරයක් දෙන්න බෑ.

මම වඩා තදින් කෙඳිරි ගානවා.

"වමනේ බෑග් එක ඕනෙ වේවිද?" ඈ අහනවා. මම හිස වනනවා.

ඈ වහාම ඇගේ ඉදිරිපස ආසනයට අයිති වමනේ බෑග් එක ඇදලා අරන් මට දෙනවා. ඔව් මගේ බලු බෙට්ට තියෙන බෑග් එක තමයි.

ඉදිරියට නැවෙමින්, දිග හැරෙමින් කම්මුල් පුම්බමින් ටික වේලාවක් රංගනයක  යෙදෙන මම කඩදාසි බෑගය තුලට වමනය කරන්න යන බව පෙන්වමින් කටේ පුරවා තිබුනු අච්චාරු දිය ඇල්ලක් ආකාරයට එලියට පිඹිනවා. නමුත් ඉන් වැඩි කොටස බෑග් එකෙන් පිටතට එල්ල කිරීමට මම වග බලාගන්නවා. නිකට දිගේ බේරී යන තව කොටසක්   ටී-ෂර්ට් එකට වැගිරෙනවා

"අනේ අසරණයා. "ආච්චි අණුකම්පාවෙන් කියනවා." අනේ පව් දුප්පත් අසරණයා"

"දැං හරි, දැන් හොඳයි වගෙ."

"වැඩේ කියන්නෙ පුතා මට පොඩ්ඩක්වත් අමාරු නෑනේ. මේක මම ගිහින් තියෙන හොඳම ගුවන් ගමන් වලින් එකක් කියන්න පුලුවන්.  ඔයාගෙ බඩ බොහෝම ලාමක එකක් වෙන්න ඕනෙ."

"ඔව්, හරිම ලාමකයි. දැන් මට ඒ ගමන බඩගිණියි."

"අයියෝ පුතා අපරාදෙ.  දැන් මොනවත් ඉල්ලන්නත් ප්‍රමාද වැඩියි."

"ඒකට කමක් නෑ.  මම කෑම ගෙනත් තියෙන්නෙ.  මට පුලුවන්ද ඔයාගෙ තේ හැන්ද පොඩ්ඩ්කට ඉල්ලගන්න?"

'හපොයි මොකෝ බැරි? මෙන්න,"

මම හැන්ද අතට ගන්නවා.  දැන් තමයි ඒ කවුරුත්  පුල පුලා බලා සිටි මොහොත. ඔන්න දැන් ආච්චි  සීට් එක දාලා පස්සට රොකට් එකක් හයි කලාවගෙ  පණ එපා කියලා දුවන මොහොත.

මම වමනේ බෑග් එකේ කට සීරුවට ඇරලා හැන්දෙන් එකක් පුරවලා අච්චාරු එලියට ගන්නවා.  ඉන් පස්සෙ අච්චාරු හැන්ද නහයට ලං කරලා දෙතුන් වතාවක් සුවඳ බලලා අන්තිමට ගැඹුරු හුස්මක් ගන්නවා.

"ආආආහ්", මම හිනාවෙමින් කියනවා, "මම කොහොමත් කෑම කන්න කැමති මෙහෙම නැවුම්වටයි, උණු උණුවටයි. ඒ මගෙ හැටි..."

මම කට හෙමින් ඇරලා වමනේ හැන්ද කටට දාගෙන කට වහගන්නවා. ඉන් පස්සෙ හෙමිහිට හැඳිමිටෙන් ඇදලා හැන්ද එලියට ගන්නවා. ඉන් පස්සෙ හැන්ද හොඳින් ලෙව කනවා.ඉන් පස්සෙ ඇස් පියාගන්නවා

මම හෙමීහිට ඇස් ඇරලා බලනවා.  මම බලාපොරොත්තු වෙන්න අල්ලපු ආසනය හිස්ව තියෙනව දකින්න.  මම බලාපොරොත්තුවෙන්නෙ ආච්චි පුලූවන් තරම් ඈතට දුවලා අනිත් මගීන්ටත් මගෙන් පුලූවන් තරම් ඈතින් ඉන්න කියලා අවවාද කරනවා දකින්න.

නමුත් මගෙ ලඟ ආසනය හිස් නෑ.

ආච්චි තවම ඒකෙ ඉන්නවා. තවම මා දිහා බලාගත්තු ගමන්. ඒ ශාන්ත දාන්ත කරුණාවන්ත බැල්මෙන්.

"රසද පුතා?"

"රසම රසයි. මම කියනවා. උඩට එනවට වඩා රසයි ආපහු පහලට යනකොට."

"ඇත්තද?" ආච්චි කියනවා. "අනේ ලොකූ දෙයක්.  තව ටිකක් කන්න පුතා."

"මොකක්?"

ආච්චි කිව්වානම් අපි ඇඳුම් ගලවලා දාලා කොරිඩෝව දිගේ ඉහලට පහලට දුවමු කියලා මම එච්චර පුදුම වෙන්නෙ නෑ.

"හ්ම්ම්, ඔව්.  තව ටිකක් කන්න ඕනෙ."

තව හැන්දක් කන මම සද්දෙට ගුඩුස් එකක් යවනවා.

"සමාවෙන්න," මම කියනවා.

"ඒකට කමක් නෑ.  ආච්චි පිළිතුරු දෙනවා. "සමහර රටවල් වල කෑම කාලා ගුඩුස් ඇරියාම ඒක කෝකියට කරන ප්‍රසංසාවක් හැටියටලු සැලකෙන්නෙ. "

මේ ආච්චි නම් මාරම චරිතයක් තමයි.  ආච්චි මේක සාමාන්‍ය දෙයක් හැටියට සලකනවා නම් ආච්චිගෙ ගෙදර කෑම වෙලාව ගැන හිතන්නත් මට බය හිතෙනවා.

මේක නිකං සාමාන්‍ය මට්ටමෙන් කරලා බෑ. සිරාවටම කරන්න ඕනෙ

බෑග්  එක ඇරලා තව වමනේ හැන්දක් ගන්න මම මේ පාර ඒක කටට නොදා ඔලුව මුදුනට වක්කර ගන්නවා.

මේක කොණ්ඩෙටත් හොඳ ෂැම්පූ එකක්ලු.

ආච්චි ඔලුව වනලා එකඟ වෙනවා.

මම තව හැන්දක් එකෙන් ගන්නවා. අරන් ඒක අනිත් අතින් අරන් මූණ පුරා ගාගන්නවා.  කම්මුල්වල කණ්වල බෙල්ලෙ ...

මේක හොඳම බියුටි ක්‍රීම් එකක්." මම කියනවා. "ඔයාට අප්පිරියාවක් වගේ දැනෙනවද මන්දා?"

මඳ සිනහවක් මුවට නගාගත් මහළු කාන්තාව මා දිහා ඔහේ බලාගෙන ඉන්නවා.

"අපොයි නෑ. මට හිතිලා තියෙන්නෙ මේ බියුටි ක්‍රීම් එකක් හැටියටත් පාවිච්චි කරන්න පුලුවන් ඔය කියන කෑම පොඩ්ඩක් මූණෙ ගාගෙන බලන්න.

අන්න එතකොට තමයි මට වැඩේ තේරෙන්නෙ.

මම ඇඟිලි තුනක් ඇගේ මුහුණ ඉස්සර වනනවා.

"මෙතන ඇඟිලි කීයද?

"දන්නෑ පුතා. මම අන්ධයි. ඇයි අහන්නෙ?"

"නෑ මේ නිකං." මම අච්චාරු වලින් හමන සැර ගඳින් හුස්ම හිරවෙන අතරෙ කියනවා. මේ ගඳ මගෙ හමෙනුයි කොණ්ඩෙනුයි සම්පූර්ණයෙන් ඉවත් කරගන්න මාස ගානක් යන බව මම දන්නවා.

"නෑ, නිකං ආච්චි ඇහුවේ. නිකම්ම නිකං. ඒ වුනාට මට ආයෙම සිරාවටම වමනෙ යන්න වගෙයි."

"අනේ අසරණයා. " තව වමනෙ බෑග් එකක් මගෙ අතට දෙන ආච්චි අණුකම්පාවෙන් කියනවා." අනේ පව් දුප්පත් අසරණයා"

 Andy Griffiths ලියූ Just Joking කෙටිකතා සංග්‍රහයේ පළවූ Emergency Spew Relish කෙටිකතාවේ අනුවාදයක් වැනි දෙයකි.

මේ ඇන්ඩිගෙ තවත් කතා:

 "දැන් ලඟද තාත්තෙ ?"
 කැරපොත්තා / Cockroach
 මළා හා සමානයි. / Playing Dead.
 මාරක කේක් වට්ටෝරුව - Cake of Doom
බෝම්බයද? ඔබද? BEAT THE BOMB!
පච්චේ - BORN TO DIE
ප්ලාස්ටරේ / Band-Aid
කුණු! - Trash!
මඩ-Mudmen