Thursday, March 28, 2013

59. ක්ලීන් ස්වීප් ඉග්නේෂස් Clean Sweep Ignatius: Part 2



පළමු කොටස මෙතනින්...

ජිනීවා වෙත ලඟාවීමෙන් අනතුරුව, අප්‍රකට හෝටලයක නවාතැන් ගත්  ඉග්නේෂස්  පැය අටක සුව නින්දක් ලැබීය. පසුදා උදෑසන ආහාර වේල ගන්නා ගමන්ම තමා නයිජීරියාවේදී කල ගවේශනයේදී සිය අත් අකුරින්ම පිළියෙල කරගෙන තිබූ බැංකු ලැයිස්තුව නැවත අධ්‍යයනය කලේය.

ඔහුගේ හෝටල් කාමරයේ කවුලුවෙන්ද දිස් වූ, ප‍ටු ම‍ඟේ භාගයක්ම යටකර ඉදිකර තිබූ Gerber et Cie බැංකුවෙන්ම වැඩ ඇරඹීමට ඉග්නේෂස් තීරණය කලේය. හෝටලයෙන්ම දුරකථන අංකය නිවැරදිදැයි පසක් කර ගත් ඔහු බැංකුව ඇමතීය. බැංකුවේ සභාපති, මධ්‍යාහ්න දොළහට ඔහුව මුණ ගැසීමට එකඟ විය.

පට්ට ගැසූ බ්‍රීෆ්කේසයක් අතින් ගත් ඉග්නේෂස්, නියමිත වෙලාවට විනාඩි කිහිපයකට පෙර බැංකුවේ කිරිගරුඬින් නිමකල පිළිගැනීමේ ශාලාවට ගොඩ වැදුනි.

"වෙලාවට වැඩකරන නයිජීරියන් කාරයෙක්!"  ඔහුගේ පැමිනීම අපේක්ෂාවෙන් එහි  ‍රැඳීසිටි අළු පැහැ ඉස්තරම් ඇඳුම් කට්ටලයකින්ද සුදු කමිසයකින් සහ  සහ අළු පැහැ සිල්ක්  ටයි පටියකින් හැඳ සිටි බැංකු නිලධරයා ඔහුව පිළිගනිමින් සිතීය.

හිස නමා ඇමතිවරයාට ආචාරකල තරුණයා, තමා බැංකු  සභාපතිගේ පෞද්ගලික ලේකම් බව පැවසීය. ඉන් අනතුරුව ඉග්නේෂස්ව සභාපතිවරයා වෙත කැඳවාගෙන යාම සඳහා දොර විවෘත කරගෙන රඳවාගෙන සිටි විදුලි සෝපානයට දෙදෙනාම ගොඩ වූහ. සෝපානය එකොලොස්වන මහලට ලඟාවන තෙක්ම දෙදෙනා අතර පැවතියේ ගැඹුරු නිහඬතාවයකි.

සභාපතිගේ දොරට තරුණ නිළධරයා ඉතාම මෘදුව තට්‍ටු කල විට කාමරය තුලින් "Entrez," යනුවෙන් පිළිතුරු ලැබිණි. දොර විවරකල නිළධාරියා ඉග්නේෂස්ට  ඇතුලු වීමට සන් කලේය.

"නයිජීරියාවේ මුදල් ඇමති, සර්,"  තරුණ නිළධාරියා පැවසීය.

අමුත්තාට ආචාර කිරීම සඳහා බැංකු සභාපතිවරයා සිය අසුනෙන් නැගිට ඉදිරියට පැමිණියේය. ඔහුද අළු පැහැ ඉස්තරම් ඇඳුම් කට්ටලයකින්ද සුදු කමිසයකින් සහ  සහ අළු පැහැ සිල්ක්  ටයි පටියකින් හැඳ සිටි බව ඉග්නේෂස් දු‍ටුවේය.

"සුභ දවසක් ඇමතිතුමා,  අපි  වාඩි වෙලා කතා කරමු." කී සභාපතිවරයා ඉග්නේෂස්ව සුවිසල් කාමරයේ අනිත් පස වූ  වීදුරු ලෑල්ලක් සහිත මිටි මේසය වටා පිළියෙල කර තිබූ සුව පහසු අසුන් කරා කැඳවාගෙන ගියේය.

" මම දැනටම කෝපි ඇණවුම් කරලා තියෙන්නෙ. ඔබතුමා කෝපි බොනවනෙ?"

ඉග්නේෂස් හිස සලා, සිය බ්‍රීෆ්කේසය බිම තබා  සැප පු‍ටුවක අසුන් ගෙන සුවිසල් වීදුරු ජනේලයෙන් පිටත දර්ශනය නැරඹීය. කාමරයට ඇතුල්වූ තරුණ සේවිකාවක් කෝපි පිළිගන්වා අවසන් වන තෙක් ඉග්නේෂස් ජනේලයෙන් පෙනුන මනරම් වතුර මල ගැන වර්ණනාවක් කලේය.

තරුණ සේවිකාව කාමරයෙන් පිටතට ගිය වහාම ඉග්නේෂස් වැඩ ඇරඹීය.

"අපේ රාජ්‍ය නායකයා මගෙන් ඉල්ලා හිටියා තමුන්නාන්සෙලගෙ බැංකුවට ඇවිත් තරමක් අමුතු ඉල්ලීමක් කරන්න කියලා," ඉග්නේෂස් කීය. සභාපතිගේ හෝ ලේකම්ගේ මුහුණේ ඉරියව්වල විශ්මයට පත්වූ බවක සේයාවකුදු නොවීය. " තමුන්නාන්සෙලාගේ බැංකුවේ අංකිත ගිණුම් පවත්වාගෙන යන නයිජීරියානු පුර වැසියෝ කවුද කියලා හොයා ගැනීමේ වගකීම එතුමා මට පවරලා තියෙන්නෙ."

මේ ඇසුනු වහාම සභාපතිවරයා කටහඬ අවදි කලේය.

"මට අවසරයක් නෑ..."

"පොඩ්ඩක් ඉන්න  සභාපතිතුමා මම  මගේ  කතාව කියනකල්.  මුලින්ම කියන්න ඕනෙ මම ඇවිල්ලා ඉන්නෙ නයිජීරියානු රජයේ සම්පූර්ණ බළතල ඇතිව බව." කී ඉග්නේෂස්, සිය කබායේ ඇතුලත සාක්කුවේ වූ කවරයක් එලියට ගෙන, සභාපති වරයාට දිගු කලේය. එය අතට ගත් සභාපති එතුල වූ  ලිපිය ඉවතට ගෙන ප්‍රවේශමෙන් කියවන්නට විය.

මඳ වේලාවකින් ලිපිය කියවා හමාරකල සභාපතිවරයා උගුර පෑදුවේය.  "සමාවෙන්න ඇමතිතුමා, මේ ලිපිය අපේ රට තුල වලංගු වෙන්නෙ නෑ," යි කී හෙතෙම, ලිපිය ප්‍රවේශමෙන් නැවත කවරයට රිංගවා එය ඉග්නේෂස් අතට දුන්නේය. " තමුන්නාන්සෙට නයිජීරියානු රාජ්‍ය නායකතුමා විසින් ඇමතිවරයෙකු හැටියටත්, තානාපතිවරයෙකු හැටියටත්  පූර්ණ බලතල පවරා ඇති බවට කිසිම සැක සංකාවක් මට නෑ ඇමතිතුමනි. නමුත් ඒ නිසා බැංකුවේ නීතිවල හෝ රහස්‍යභාවයේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ. මොනයම්ම අවස්ථාවකදීවත් බැංකුව, ගිණුම් හිමියන්ගේ අවසරයෙන් තොරව ඔවුන්ගේ කිසිම තොරතුරක් අනාවරණය කරන්නේ නෑ, කිසිම හේතුවක් නිසාවත්. තමුන්නාන්සෙට මීට වඩා සහයෝගයක් දක්වන්න නොහැකිවීම ගැන ඇත්තෙන්ම මම ඉතාම කණගා‍ටුවෙනවා. නමුත්  මේ තමයි බැංකුවේ දැනට සහ ඉදිරියේදීත් බලපවත්නා නීතිය."

මෙසේ කී සභාපතිවරයා සාකච්ඡාව අවසන් බැව් සිතා අසුනින් නැගී සිටියේ  'ක්ලීන් ස්වීප් ඉග්නේෂස්' ගැන ඔහු හරි හැටි දැන නොසිටිය නිසා විය යුතුය.

"මගේ රාජ්‍ය නායකයා...," ඉග්නේෂස් මෘදු හඬින් පැවසීය, "...මට පූර්ණ බලතල දීලා තියෙනවා, මින් මතුවට නයිජීරියාව සහ ස්විට්සර්ලන්තය අතර ඇතිවන ඕනෑම මූල්‍ය ගණුදෙනුවකදී,  අතරමැදියා ලෙස ක්‍රියාකරන්න තමුන්නාන්සේගේ  බැංකුවට අවස්ථාව ලබා දෙන්න."

"අප ගැන තබපු ඒ විශ්වාසය ඇත්තෙන්ම අපිට ආඩම්බරයට කරුණක් ඇමති තුමා," නැවතත් අසුන් ගැනීමට තැත් නොකල සභාපති වරයා කීය. "නමුත් අපේ ගණුදෙණුකරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියට ඉන් බලපෑමක් ඇති නොවෙන බව  තමුන්නාන්සේ  තේරුම් ගනීවි කියලා  මම විශ්වාස කරනවා."

ඉග්නේෂස් ඉන් කැළඹුනු බවක් නොපෙන්වීය.

"එහෙනම් ගර්බර් මහත්මයා, මට ඉතාම කණගා‍ටුවෙන් ඔබට දැනුම් දෙන්න සිද්ධ වෙනවා,  නයිජීරියානු පුරවැසියන් ගැන තොරතුරු ලබා ගැනීමට අප රජය, ඔබෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන්, ඔබ සතු‍ටුදායක  මට්ටමේ සහයෝගයක් නොදැක්වීම ගැන, මට අපේ  ජිනීවා තානාපති මාර්ගයෙන් ඔබේ විදේශ කටයුතු කාර්යාංශයට,  නිල වශයෙන් දැනුම් දෙන්න සිදුවෙන බව."

තම වචන වල බැරෑරුම්බව බැංකුකරුවන් දෙදෙනාට අවබෝධවීමට මඳ විරාමයක් තැබූ ඇමතිවරයා මෙසේද කීය.

"එවැනි අපහසුතාවයක් ඇතිවීම වලක්වා ගන්න , ඇත්ත වශයෙන්ම ඔබට කරන්න ඇත්තෙ, Gerber et Cie බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන නයිජීරියානුවන්ගේ නම් ලැයිස්තුව  මට ලබාදීම පමණයි.අපේ තොරතුරු වල මූලාශ්‍ර, අපි මොනයම්ම හේතුවක් නිසාවත් හෙලි නොකරන බවට මට සහතික වෙන්න පුලුවන්."

"ඔබතුමාට කිසි ප්‍රශ්නයක් නැතිව ඒ නිල දැනුදීම කරන්න පුලුවන් ඇමති තුමනි. මට හොඳටම විශ්වාසයි  ස්විට්සර්ලන්ත නීතිය යටතේ,  විදේශ කටයුතු කාර්යාංශයට එවැනි අනාවරණයක්  කරන ලෙස ස්විස් බැංකුවකට බලපෑම් කිරීමේ  බලයක් නොමැති බව, අපේ ඇමතිතුමා තමුන්නාන්සෙලාගේ තානාපතිතුමාට ඉතාම  කාරුණික හා රජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් පැහැදිළි කරලා දේවි කියලා."

"එහෙමනම්, මම අපේ වෙලඳ කටයුතු අමාත්‍යාංශයට නියෝග කරනවා, මේ නම් ලැයිස්තුව අපට ලබා දෙන තෙක්, ස්විස් ජාතිකයන් සමඟ  නයිජීරියාවේ ඇති සියලුම  අනාගත ගණුදෙණු අත්හිටවන්න කියලා."

"ඒක තමුන්නාන්සෙලාගේ වරප්‍රසාදයක්." කිසිසේත් නොසැලුනු සභාපතිවරයා කීය.

"ඒ වගේම, තමුන්නාන්සෙලාගේ පුරවැසියෝ නයිජීරියාවේ දැනට කරගෙන යන කොන්ත්‍රාත් කටයුතු නැවත සලකා බලන්නට අපිට සිද්ධ වෙන්න පුලුවන්. ඊට අමතරව, ගිවිසුම්වල වන්දි ගෙවීම් සම්බන්ද ඡේද  නොසලකා හරින ආකාරයට වැඩ සිද්ධ කිරීමට, මම පුද්ගලිකව වග බලාගන්නවා."

" තමුන්නාසෙට හිතෙන්නෙ නැද්ද ඒක නම් එච්චර ඥානවන්ත ක්‍රියාවක් නෙවෙයි කියලා?"

"තමුන්නාන්සෙ දැනගත්තොත් හොඳයි, මම ඒවගේ තීරණයක් ගන්න කිසිසේත්ම පසුබට වෙන්නෙවත්, පසුතැවිලි වෙන්නෙවත් නැති බව. මට ඔය නම් ලැයිස්තුව අතට ගන්න වැඩේදි තමුන්නාන්සෙලාගේ රට බිමටම වට්ටන්න සිදු වුනත් මම නෙවෙයි ඒ ගැන පසුතැවිලි වෙන්නේ."

"හොඳමයි, ඇමතිතුමා," සභාපතිවරයා කීය. " ඒ කොයි හැටි වෙතත්, රහස්‍යභාවය ගැන බැංකු ප්‍රතිපත්තිවලටවත්,  ආකල්පයටවත් එයින් කිසිම වෙනසක් සිද්ධ වෙන්නෙ  නැහැ."

"තමුන්නාන්සෙලාගේ ප්‍රතිපත්තිය එහෙමනම්, මේ අදම මම ජිනීවාවල ඉන්න අපේ තානාපතිට අණදෙනවා තානාපති කාර්යාලය වහලා දාන්න. ඒ එක්කම ලාගෝස් වල ඉන්න ස්විස් තානාපතිව අපට පිළිගත නොහැකි පුද්ගලයෙක් හැටියට නම් කරනවා. ඔව්, Persona non Grata!"

සාකච්ඡාව ඇරඹීමෙන් පසු ප්‍රථම වරට සභාපතිවරයා බැම එසැවීය.

"ඒ විතරක් නෙවෙයි. අපේ රාජ්‍ය නායකයාට තමුන්නාන්සෙලාගේ බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඇතිවූ අප්‍රසාදය මුලු ලෝකයටම පළකරන්න අපි ලන්ඩන්වල පුවත්පත් ජාත්‍යන්තර සාකච්ඡාවක් පවත්වනවා. ඒ වගේ ප්‍රසිද්ධියකට පස්සෙ මට විශ්වාසයි මේ බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන ගණුදෙණුකරුවෝ වැඩි දෙනෙක් , ගිණුම් වසා දානවා වගේම, මේ වෙනකල් මේ බැංකුව ආරක්ෂිත තැනක් කියලා හිතා හිටි තවත් සමහරු වෙනත් විකල්ප හොයා ගන්න උත්සාහ කරාවි කියලා."

ඇමතිවරයා මඳක් බලා සිටියත් සභාපතිවරයා මුනිවත ‍රැකීය.

"වැඩේ සිද්ද වෙන්නෙ එහෙම නම්, මට වෙන කරන්න දෙයක් නෑ," ඉග්නේෂස් හුනස්නෙන් නැගිටිමින් කීය.

ඉග්නේෂස් අන්තිමේදී සමුගන්නට යන්නේ යයි සිතා සැනසුම් සුසුමක් හෙලූ සභාපතිවරයා,  ඔහුට සමු දීමට සුරත දිගුකල මුත් සිදුවූයේ වෙනත් දෙයකි. සිය කබා සාක්කුවට අත දැමූ ඉග්නේෂස් ඉන්  කුඩා පිස්තෝලයක් පිටතට ගනු  ඔහු බලා සිටියේ සංත්‍රාසයෙනි.

පිස්තෝලය අමෝරාගත් ඉග්නේෂස්,  පියවර කිහිපයක් ඉදිරියට පැමිණ අවියේ කට  සභාපතිගේ  හිසට තබා තෙරපූ විට බැංකුකරුවන් දෙදෙනා හුන් තැනම ගල් ගැසුනහ.

"මට ඒ නම් ලැයිස්තුව  ඕනෙමයි මිස්ටර් ගර්බර්. දැන් ඔහේට තේරෙන්න ඕනෙ මම ඒක ලබාගෙන  මිසක් පස්ස බලන්නෙ නැති බව. මට මේ දැන් ඒවා නොදුන්නොත් ඔහේගෙ ඔලුව  කුඩුවෙන්න වෙඩි තියනවා, තේරුණාද ඔහේට?"

සභාපති යන්තමින් හිස සැලීය. ඔහුගේ නලල් තලයෙන් දහඩිය බිඳු මතුවිය.

"ඊ ලඟට වෙඩි කන්නෙ අර හාදයා," පියවර කීපයක් ඔබ්බේ සෙල් රුවක් මෙන් නොසැලී සිටි තරුණ නිලධරයාව හිසෙන් පෙන්වූ ඉග්නේෂස් තර්ජනාත්මක ස්වරයෙන් කීය.

"මේ බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන හැම නයිජීරියානුවෙකුගෙම නම් මට වහාම අරන් දෙනවා හොඳයි." තරුණයා දෙස බලමින් පහත් හඬින් කී ඉග්නේෂස්,  "නැතිනම් ඔහේගෙ සභාපතිගේ  මොළ කෑලි මේ බිම් එලලා තියෙන වටිනා, ලස්සන,  බුමුතුරණය පුරාම විසිරේවි. වහාම! ඔහේට ඇහුනද?"යි තියුණු හඬින් නැවත අණ කලේය.

තරුණයා වික්ෂිප්තව සභාපති දෙස බැලීය. බියෙන් වෙව්ලමින් සිටියද සභාපතිගේ වචන පැහැදිළි විය.

"Non, Pierre, jamais."

"D'accord," සහායකයා කෙඳිරීය.

"මම ඔහේලට දෙන්න පුලුවන් හැම අවස්ථාවක්ම  දුන්නා." කී ඉග්නේෂස් පිස්තෝලයේ ආරක්ෂිය ලීවරය  පැන්නීය. සභාපතිගේ මුහුණ දිගේ දහඩිය ගංගා ගලා බැසීමට පටන් ගත් අතර, සහායකයා වෙඩි පහරට බියෙන් මුහුණ ඉවතට හැරවීය.

"පංකාදු පහයි." කී ඉග්නේෂස් පිස්තෝලය සභාපතිගේ හිසෙන් ඉවතට ගෙන  ආපසු සිය අසුන වෙත පිය මැන්නේය. බැංකුකරුවන් දෙදෙනාම තවමත් කතාකර ගත නොහැකිව, වෙව්ලමින් පසුවූහ.

ඇමතිවරයා සිය ආසනයේ පසෙක බිම  තිබූ හම ගිය බ්‍රීෆ්කේසය ගෙන තමා ඉදිරිපිට තිබූ මිටි වීදුරු මේසය මත තැබීය. ඔහු එහි අගුල් දෙක පැන්නූ වහාම එහි පියන ස්වයංක්‍රීයව ඉහලට එසවුනි.

බ්‍රීෆ්කේසය තුල කදිමට පිළිවෙලට අසුරා තිබූ ඩොලර් සියයේ නෝට්‍ටු මිටි දෙස බැංකුකරුවන් දෙදෙනා  දෑස් විසල් කොට බැලූහ. කිටි කිටියේ අසුරා තිබූ මුදල් නෝට්‍ටුවල වටිනා කම සමහරවිට ඩොලර් මිලියන පහ ඉක්මවනු ඇතැයි සභාපති සිතෙන් ගණනය කලේය.

"දැන් මට කියන්න බලන්න මහත්වරුනි, මේ බැංකුවේ අලුත් ගිණුමක් විවෘත කරන හැටි." ඉග්නේෂස් කීය.

෴ *නිමි* ෴

මගේ ප්‍රියතම ලේඛකයෙකු වන  බ්‍රිතාන්‍ය ජාතික Jeffrey Archerගේ කෙටි කතාවල ඇති තවත් සුවිශේෂිත ලක්ෂනයක් වනුයේ ඒවායේ ඇති අනපේක්ෂිත අවසානයන්ය. මා ගියවර සඳහන් කල ආකාරයට කෙටිකතාව කියවා අවසන් වූ වහාම එය තව අයෙකුට කියන තෙක් ඉස්පාසුවක් නැති ගතියට එයද ප්‍රභල හේතුවක් විය හැකියයි මට සිතේ.

ඔබේ ප්‍රතිචාර වලට මා පිළිතුරු සැපයීම ප්‍රමාද කලේ මේ කතාවේ රසවින්දනයට එය බාධාවක් වේයයි සිතූ බැවිනි.


෴ *** ෴

ප. ලි.:

මේ චිත්‍රයේ කතා වස්තුව:

 

මේ පෝස්ට් එකට මුලින්ම දාපු චිත්‍රය තමයි මේ තියෙන්නෙ. මම ඒක වෙනස් කරලා පස්සෙ දාපු චිත්‍රය තමයි උඩම තියෙන්නෙ. ගර්බර් කාරයා බර්බර් ගාපු නිසාම නෙවෙයි බුවාව පොඩ්ඩක් තරුණ කරලා බය කරලා ඇන්දෙ. මගේ සහෘදයො කිව්ව දේවල් අහලා. ඇත්තෙන්ම මගේ ලිපි කියවලා රස විඳින වගේම මගේ චිත්‍ර රස විඳින රසිකයො පිරිසකුත් ඉන්න එකමට ආඩම්බරයක්.මෙන්න 

මේවයි යාලුවෝ කිව්වේ.

සමාවෙන්නොනේ මෙහෙම කියනවට.. අර චිත්‍රෙ නම් ටිකක් හැගීම් ප්‍රකාශනය අතින් ටිකක් දුර්වලයි වගේ..
ක්සැන්ඩර් - මට හිතෙන හැටි

චිත්‍රෙ ගැන කියන්න බැරිඋනා. මිනිහනං වෙඩිකන්න ආසාවෙං වගේ ඉන්නෙ. :D
Praසන්ன - මගේ ඩෙනිම


මේ වැඩ අස්සෙ චිත්‍රයකුත් ඇඳල දැම්මට ස්තූතියි, මම හෙන්රි අයියගෙ පෝස්ට්වල කැමතිම අංගය ඔයාගෙ චිත්තරේ. මොකද එහෙම තමංගෙම අතින් ඇඳපු චිත්‍රයක් පළකරන්න පුළුවන් අය අපි අතරෙ ඉන්නෙ අතලොස්සක්නේ. අපරාදෙ කියන්නෙ කළු ජාතිකයගෙ අතයි සුදු ජාතිකයගෙ මූණයි නම් කැපී පේන්න ඇඳල තියෙනව. අපේ සුදු ජාතික බැංකු සභාපතිගෙ මුහුණෙ තැතිගැන්වුනු පෙනුම මදිවගේ නේද? මස් පිඬුවලින් ඒ ගතිය ගන්නත් අමාරු ඇතිනේ, මූනෙ මස් එල්ලල වැටෙන තරමට. ඔන්න ටිකක් පුදුමයට පත්වුනු පෙනුමක් නම් තියෙනව. අනෙක් දේ මට කොච්චර උත්සාහ කළත් ඔය විදියට ඇස්වල පෙනුම මට අවශ්‍ය විදියට අඳින්න බෑනේ. ඒ ගැන පොඩි උපදේශයක් දෙන්න බැරිද.
DDT- මගේ ඩෙනිම

මම හරි කැමතියි උඹලා මගේ චිත්‍ර ගැන මේ වගේ විවේචන ඉදිරිපත් කරනවට.
ඔන්න මුලින්ම මම වෙන චිත්‍රයක් ඇන්දා පට් ගාලා. ගර්බර් කාරයව තව ටිකක් තරුණ කලා. අතින් පයින් යනවෑ. මොකද ප්ලාස්ටික් සර්ජරි කරන එකක්යැ? පොරව හොඳටම බය කලා. කලිසමේ බඩු යන සයිස් එකටම!

උඹලට කියන්න මම මේක ඇන්දේ ‍රැවුල කපන කන්නාඩියක් මේසෙ උඩ තියාගෙන  ඒක දිහා බලාගෙන ඇස් ලොකු කරලා කට ඇරලා හෙම තමයි. හැබැයි ඒ විදියටම නොවෙන්න වෙනස් කම් කලා.

අර DDT අහලා තිබ්බ දේට හොඳ උපදේශයක් නම් අන්න එහෙම තමාවම බලාගෙන අඳින්න උත්සාහ කරන එකයි.


දැන් ඊ ගාවට පරණ චිත්‍රය ගැන කිව්වොත් ඒක මෙහෙමයි වුනේ.


උඹලා දකින්න ඇති, ඉග්නේෂස් ආපු වෙලාවේ ඉඳලා ගර්බර් නියම ජෙන්ටා වගේ, ඒ වගේම හරිම කූල් පිට ඩිප්ලොමැටික් විදියට තමයි හැසිරුනේ. ඉග්නේෂස් මොනවා කිව්වත් පොර නෙවෙයි සැලුනේ. අන්න ඒක නිසා තමයි පිස්තෝලෙ කනට තිබ්බත් ගර්බර් පුලුවන් තරම් හැඟීම් නොපෙන්නා හිටියේ පිටට. ඇතුලෙන් කලබල වෙන එක ඇත්ත. ඕකට කියන්නෙ පෝකර් ෆේස් කියලා. පොර පස්සෙ හොඳටම බය වෙන එක සාධාරණයි, මොකද මිනිහා උගත් ඒ වගේම ධනවත් බැංකු කරුවෙක් මිසක් ‍රැම්බෝවත්, ටර්මිනේටර්වත් නෙවෙයිනෙ. අන්න ඒක වෙන්න ඕනෙ මගේ අතින්
පොරව එහෙම ඇඳුනේ.

අනික ඔයවගේ විශාල බැංකුවක්  හිමි, ඒකෙ සභාපතිත්වය දරණ පොරක් තරමක් වයස වෙන්නත් ඕනෙ. ඒකයි පොරව වයස කරලා, බෙල්ල යටින් මස් පොඩ්ඩක් එල්ලෙන්න දැම්මේ.

කෙසේ හෝ වේවා, ඔන්න දැන් බුවාව වෙනස් කලා.

෴ *** ෴


Jeffrey Archer  රචනා කල A Twist In The Tail කෙටිකතා සංග්‍රහයේ පළවූ Clean Sweep Ignatius කෙටි කතාවේ සිංහල අනුවාදයයි.

Simulblogged @  මට හිතෙන හැටි for WordPress Lovers.

෴ *** ෴

Wednesday, March 27, 2013

58. ක්ලීන් ස්වීප් ඉග්නේෂස් Clean Sweep Ignatius: Part 1


නයිජීරියාවේ මුදල් ඇමති ධූරයට ඉග්නේෂස් අගාර්බි පත්වීමේ පුවත ගැන උනන්දුවක් දැක්වූවේ අතලොස්සක් දෙනා පමණි. නිර්දය විවේචකයෝ කී ලෙසම පසුගිය වසර දාහතක කාලයක් තුල පත්වූ දාහත් වැනි මුදල් ඇමති ඉග්නේෂස් වූ විට එය අරුමයක්ද?

Monday, March 25, 2013

57. “දැන් ලඟයිද තාත්තෙ?” Part Two

මට ඈතින් ඇහෙනවා එන්ජිමක ගුමු ගුමු හඬක්.

මම මොකක් ගැනද මේ කතා කරන්නෙ කියලා නොතේරෙනවා නම්, මෙතන කොටලා, “දැන් ලඟද තාත්තෙ?” පළවෙනි කොටස කියවලාම එමුකො.

ආහා!!! මම බලනවා මගෙ අත් ඔරලෝසුව දිහා. ඒ ගොල්ලනට එහෙනම්, විනාඩි පහලොවක්ම ගියා පරාජය බාර අරන්, ආපහු මාව ගන්න එන්න, ආ?

මේකෙන් මට ඉගෙන ගන්න තියෙනවා හොඳ පාඩමක්!

නමුත් දැන් දැන්, ඒ එන්ජිමේ ගුමු ගුමුව, මම බලාපොරොත්තු වුන හඬට වඩා වෙනස්. ටිකක් ගැඹුරු , උගුරෙන් එන හඬක්!

තාත්තගෙ කාරෙකේ හඬ නෙවෙයි!


බයිකර් මෑන්!!!

Sunday, March 24, 2013

56. YEAH I DID IT! චන්දන උඹට ස්තුතියි!


මගේ බ්ලොගර් අවුල දැන් කවුරුත් දන්නවනෙ. දන්නෙ නැති අය මෙතනින් ගිහින් බලන්නකො මගේ SOS පෝස්ට් එක. :)

සරළව කිව්වොත් පබ්ලිෂ් කරන  අලුත් පෝස්ට්  රීඩර් වල වත් මගේ හෝ උඹලගේ බ්ලොග් රෝල් වලවත් අප්ඩේට් වෙන්නෙ නෑ, අඩියට වෙලා පරණ පෝස්ට් එකක් පෙන්නගෙන ඉන්නවා.

මම කරපු දේවල් මෙන්න:

Saturday, March 23, 2013

55.HELP! ඔන්න උඹලා උදව්වක් කරනව නම් වෙලාව! HELP!


මගේ ඩෙනිමට අලුත් පෝස්ට් අප්ඩේට් නොවෙන ලෙඩක් හැදිලා.

e-mail subscribe කරලා තියෙන අයට පෝස්ට් එක ගැන  notification e mail  එක එනවා.

නමුත් Google Reader එකේ වත් බ්ලොග් රෝල් වල වත් අප්ඩේට් වෙන්නෙ නෑ.

54. "දැන් ලඟද තාත්තෙ ?"

"තාත්තෙ"

"ම්ම්ම්?"

"දැන් ලඟද?

"තව නෑ."

"දැන්?"

"තව නෑ."

"දැන්?

"දෙයියංගෙ නාමෙට!!!", තාත්තා ගොරවනවා. "කට පියං ඉන්නවද?"

"හරි හරි තාත්තෙ," මම කියනවා. "ඔච්චර මල පනින්න දෙයක් නෑ!"
අපි මේ වෙනකොට මේ කාර් එක ඇතුලෙ දවස් දෙකක් ගමන් කරලා තියෙනව. අම්මයි තාත්තයි දෙන්නම පුපුරා හැලෙන්න ඕන්න මෙන්න.  මම මේ හිතලා මතලා ඒ දෙන්නව කේන්ති ගස්සනවා කියලා වරදවලා හිතන්නෙපා. ඒක වෙන්නෙ ඉබේටම.

Thursday, March 14, 2013

53. ඩයට් කෙරුවාව ගැන ඔබ (නො)දත් දේ.

 


ආතතිය අඩු කරන ආහාර සැලැස්මක් 
/ STRESS DIET.


උදෑසන ආහාරය:

දොඩම් ගෙඩියකින් භාගයක්
කර කරන ලද දුඹුරු පාන් පෙත්තක්
යොදය ඉවත් කරන ලද කිරි මිලී 300ක්
කැෆේන් රහිත කෝපි.

Friday, March 8, 2013

52. සැබෑම වෙනසක්! Parallel Blogging!

අපි වරක් කියෙව්වා පොතක් Men Are From Mars, Women Are From Venus ද කොහෙද කියලා. දෙගොල්ලන්ගෙ තියෙන ජානමය වෙනස් කම් ගැන.

මේ ඒ පොතෙන් නොවුනත් මේත් දෙගොල්ලන්ගෙ මොළවල ඇති වෙනස් කම් ගැන Allen Pease ගෙ The Ultimate Book of Rude and Politically Incorrect Jokes කියන පොතේ තිබිච්ච පින්තූරයක්. ඒ පොතේම ඕනෙ නම් ෆෝටෝ කොපි කරලා යාලුවන් අතර බෙදා ගන්න කියලා කියලා තියෙන නිසා කොපි රයිට් ප්‍රශ්ණත් නෑ.

එහෙනම් මෙන්න වෙනස.


Female Brain ගැහැණු මොළය

Wednesday, March 6, 2013

51. ලොකු අයියයි, ටිකිරි මොලෙයි

මට බ්‍රේක් හදන්න බැරිවුන හන්දා හෝන් එකේ සද්දෙ පොඩ්ඩක් වැඩි කලා, ඕං!
ලොකු අයියා කිව්වෙ මගෙ නැන්දගෙ පුතා. අපේ ගෙදර නං ලොකු අයියා මමනෙ.ලොකු අයියා නාහෙට නාහන එකෙක් කියලා තමයි වැඩිහිටියො නං කිව්වෙ. නමුත් ලොකු අයියගෙ තවත් පැති තිබුනා කියලයි මට නං හිතෙන්නෙ. ඇත්තටම දවසක් මට බඩේ අමාරුවක් හැදිලා මාව කරේ තියාගෙන ගෙදර ගෙනාවා මට මතකයි.

Monday, March 4, 2013

50. ගතානුගතිකත්වයෙන් ඔබ්බට.

රයිගම හන්දිය ලියලා තිබ්බ ඇඟට ඇල්ලුවාම දෙදරන පොඩි ටෝර්ච් එකක් කියන පෝස්ට් එක ඇත්තෙන්ම ජනසංසදයෙ පළ වෙලා තිබ්බ තවත් ලිපියකට ප්‍රවේශයක්.

රයිගම කරපු වැඩේ හරිය කියලා මට හිතුනේ, මේ වෙනකොටත් ජනසංසදේ ඒ පෝස්ට් එක කියවලා තියෙන්නෙ කීදෙනෙක්ද කියලා බැලුවාමයි. ඇත්තෙන්ම ජනසංසදය කියන්නෙ මම නිතර ගැවසෙන බ්ලොග් අඩවියක් නෙවෙයි. ඒක ලියන්නෙ කවුද කියලාවත් මම දන්නෙ නෑ. ඒ නිසා පෞද්ගලික දැන හැඳුනුම් කමක් කොහෙත්ම නෑ. ඒ එක්කම මේ සාකච්ඡාව මෙහෙයවපු ජයසිරි අලවත්ත මහතා ගැන මම මෙලෝ දෙයක් දන්නෙ නෑ.