Saturday, March 23, 2013

54. "දැන් ලඟද තාත්තෙ ?"

"තාත්තෙ"

"ම්ම්ම්?"

"දැන් ලඟද?

"තව නෑ."

"දැන්?"

"තව නෑ."

"දැන්?

"දෙයියංගෙ නාමෙට!!!", තාත්තා ගොරවනවා. "කට පියං ඉන්නවද?"

"හරි හරි තාත්තෙ," මම කියනවා. "ඔච්චර මල පනින්න දෙයක් නෑ!"
අපි මේ වෙනකොට මේ කාර් එක ඇතුලෙ දවස් දෙකක් ගමන් කරලා තියෙනව. අම්මයි තාත්තයි දෙන්නම පුපුරා හැලෙන්න ඕන්න මෙන්න.  මම මේ හිතලා මතලා ඒ දෙන්නව කේන්ති ගස්සනවා කියලා වරදවලා හිතන්නෙපා. ඒක වෙන්නෙ ඉබේටම.


අපි කැමති වුනත් නැතිවුනත් කාර් එකක දිග ගමනක් යක්නකොට අතරමග නවත්තන්න වෙනවනෙ, මගින් මගට.

මේ දෙන්න ඒකට කැමති නෑ!

ඉතින් මොනවද තියෙන විකල්ප?

බඩ ගින්නෙම මාව මැරෙන්න අරින එක?

මට කලිසමේ චූ යන කල් ඉන්න එක?


නැතිනම් පස්ස සීට් එක පුරාම මම වමනෙ දානකල් ඔහෙ යන එක?


ඔය මග වතාවක් දෙකක් නතර කරලා යන එක ඔච්චරම අප්සෙට්ද? ඊට වැඩිය අප්සෙට් නැත්ද මට ඔය දේවල් සිද්ද වුනොත්? 

මම ඇත්තටම උදව්වක් කරන්නෙ, පොඩ්ඩක් නවතිමුකො කියලා.
ඇත්තටම අම්මටයි තාත්තටයි ඔරොප්පු වෙන්නෙ, ඔරොප්පු වෙන්න ඕනෙ දේවල් වලට නෙවෙයි!

දැන් මේ පැය බාගයක් විතර තිස්සෙ කාර් එක ඇතුලට කො‍ටුවෙලා ඉන්න මැස්සා ගම්මු. මම මේ අපි ඔක්කෝගෙම යහපතට උගෙ කරදරෙන් මිදෙන්න හදන්නෙ.

මම වීදුරුව පාත් කරනවා.

ඕං මැස්ස පැන්නා!


ඌ හැංගිලා ඉන්නෙ, මම ආපහු වීදුරුව උස්සනකල්.


මූව එලියට ගන්න ඕනෙ කොහොම හරි.


ඔන්න මම මැස්සට කතා කරනවා, මම දන්න හොඳම මැසි භාෂාවෙන්.


"බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්..... බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්...... බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.....!"

ම්හුම්. තව සද්ද මදි.

"බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....... බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්..... බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්!"

"ඇන්ඩී.....!!!" තාත්තා බෙරිහන් දෙනවා. "ඔය සද්දෙ කරනකොට මට මේ වාහනේ එලවන්න බෑ. මගෙ අවධානෙ කැඩෙනව. වාහනේ හප්පන්නද ඕනෙ අපි ඔක්කොම මැරිලා යන්න?"

තාත්තා ඔයවගෙ මෝඩ ප්‍රශ්න අහන එක මට පේන්න බෑ. දැන් තාත්තා බලාපොරොත්තු වෙන්නෙ මොනවගෙ උත්තරයක්ද ඔය ප්‍රශ්නෙට?
"ඔව් තාත්තෙ, මට ඕනෙ වාහනේ හප්පන්න තමයි, අපි ඔක්කොම මැරිලා යන්න," කියලා කිව්වා නම් හරිද?

නමුත් මම එහෙම කියන්නෙ නෑ. මොකද මම එහෙම කිව්වොත් තාත්තා කාර් එක කොහෙ හරි හප්පා ගෙන, අපි ඔක්කොම මැරෙන්න ඉඩ තියෙන නිසා.

"හරි හරි තාත්තෙ," මම කියනවා. "ඔච්චර මල පනින්න දෙයක් නෑ!"

"මේ, මට ඔය මල පනින කතාව කියන්නෙපා. මට යකා නගිනව ඔය කතාවට." තාත්තා බෙරිහන් දෙනවා.

"හරි හරි තාත්තෙ," මම කියනවා. "තාත්තටත් පනින්නෙ මලෙත් හොඳ එකනෙ!"

තාත්තා කොන්ද කුදු කරගෙන, ස්ටියරිං වීල් එක අල්ලාගන්නවා කිටිකිටියේ, ඇඟිලි පුරුක් සුදුමැලි වෙන්න. තාත්තගෙ බෙල්ල පිටිපස්සෙන් මතුවෙන දාඩිය බිබිලි දිලිසෙන්න ගන්නවා.

තාත්තා පරාජය භාර ගන්නවා. 

ඇත්තට මම වගෙ ස්මාට් පුතෙක් එක්ක ජීවත් වෙන එක තාත්තට ලේසි නැතිව ඇති. කට ගහලා තමන්ට දිනන්න බැරි බව දැනගත්තම කොච්චර අප්සෙට් ඇත්ද?

මැස්සා මගෙ ඇස් ඉස්සරහින් පියාඹනවා. මූ ඉල්ලන්නෙම ගේම. හරි පුතා. උඹ හරි පොර ලඟට ඇවිත් තියෙන්නෙ.

මට මතක් වෙනවා මම බලපු චිත්‍රපටියක ජම්බෝ ජෙට් එකක දොර අහසෙදි ඇරිලා, ඇතුලෙ හිටිය උන් ඔක්කොම ඇදිලා යනවා එලියට, ඒකෙන් ඇතිවෙන වැක්යූම් එකෙන්. මට එච්චර බලගතු වැක්යූම් එකක් නම් ඕනෙ නෑනෙ. මම කාර් එකේ දොර ඇරල වැහුවොත් ඇතිවෙන වැක්යූම් එකේ මැස්සව එලියට ඇදිලා යයි.

මම හැකි තරම් හෙමීහිට, දොරේ අගුල පරීස්සමෙන් අරිනවා, නොකර සද්ද!

ඊට පස්සෙ දොර අරිනවා, වහනවා!

අරිනවා, වහනවා!

අරිනවා, වහනවා!

"මොකක්ද මනුස්සයො ඔය කරන්නෙ?" තාත්තා ගුගුරනවා.

"මම මේ වැක්යූම් එකක් හදනවා," මම කියනවා.

"මොකක්?"

"වැක්යූම් එකක්! මම මේ මැස්සව කාරෙකෙන් එලියට දාන්න හදන්නෙ."

"වහනවා ඔය දොර මගෙ යකා අවුස්සන්නෙ නැතුව!  අල්ලන්නෙ නෑ දොර!" තාත්තා කෑ ගහනවා. "මම ආයෙ කියන්නෙ නෑ. ඊලඟ පාර කාරෙක නවත්තලා ඇදලා දානවා එලියට, පයින් එන්න. තේරුනාද?"

"තාත්තෙ, ඒ වුනාට..."මම කියනවා.

"අරින්නෙපා කට. තේරුනාද?"

"හා තාත්තෙ."

තාත්තගෙ ඇඟිලි පුරුක් සුදුම සුදුයි ඒ ගමන. තාත්තා ස්ටියරිං වීල් එකකොච්චර තදින් මිරිකාගෙනද කිව්වොත්, ඇඟිලි වල ඇට, හම ඉරාගෙන මතුවෙයිද කියලා බයත් හිතෙනවා.

ඔන්න ආයෙම අර මැස්සාගෙ සද්දෙ. ඒ පාර මගෙ පිටිපස්සෙන් ඇහෙන්නෙ.

වැක්යූම් කරන වැඩෙත් හරි ගියේ නෑනෙ. මම හැරෙනවා පිටිපස්සට. මැස්සා පේන්න නෑනෙ. පොඩ්ඩක් ඉන්න - මේ සද්දෙ එන්නෙ එලියෙන්නෙ!




මම සීට් බෙල්ට් එක ගලවලා, ආපහු හැරිලා, දණ ගහ ගන්නවා සීට් එක උඩ .

මෙන්න එනවා, විකාර පෙනුමක් තියෙන බුවෙක්. කලු පාට හාලි ඩේවිඩ්සන් ලඩියක් පැදගෙන. රතු දිග ‍රැවුලයි, ඔලුවෙ නවපු අත හෝදන කෝප්පයක් වගෙ හෙල්මට් එකයි, පරණ තාලෙ ප්ලාස්ටික් මෝටසයිකල් ගොගල්ස් ජෝඩුවයි දැක්කම මැස්සෙක්ම තමයි මතක් වෙන්නෙ. මෝටර් බයික් එකේ හඬත් මැස්සෙක්ගෙ හඬක් වගෙ තමයි, වෙනස මැස්සට වඩා සද්දයි.

ඔන්න එතකොටම මැස්ස පියාඹනවා කාරෙකේ පස්ස වීදුරුව දිගේ.
දෙන්නං උඹට!

මම හදන්නෙ මූව වමත ගො‍ටු කරල අල්ලගෙන, ජනේලෙන් එලියට විසි කරන්න.

ඇත්තෙන්ම ඒක තමයි කරන්න හැදුවෙ.නමුත් මැස්සගෙ තියෙන්නෙ වෙනත් අදහසක් වගෙ. මේකා වීදුරුව දිගේ ඒ පැත්තටත් මේ පැත්තටත් රූට්ටන්න ගන්නවා. මමත් අත ගො‍ටු කරගෙන මැස්සව අල්ලන්න උත්සහ කරනවා. එතකොටම මට පේනවා අර බයිකර් මට අත වනනවා.
බුවා හිතන්නෙ මම බුවාට අත වැනුවා කියලා.!
මමත් අත වනනවා.

බුවා ආපහු අත වනනවා.

මම ආයෙ අත වනනවා.

බුවාත් ආයෙම අත වනනවා

ඔන්න අපි දෙන්නම හෙන ‍ෆිට් දැන්.

"නවත්තනවා අතපය වැනිල්ල," තාත්තා කියනවා. "වාඩි වෙලා දාගන්නවා සීට් බෙල්ට් එක ආපහු."

"ඒ වුනාට එයා තමයි ඉස්සෙල්ලා අත වැනුවේ," මම කියනවා.

"මේ අහනවා, ඔය බයිකර්ස්ලව අවුස්සාගන්න එපා," තාත්තා කියනවා. "මට මේ තියෙන කරදර ඇති."

"මම මිනිහව අවුස්සා ගන්නවා නෙවෙයි - යාලු ‍ෆිට් එකට අත වැනුවා විතරයි."

"ඉඳ ගන්න නේද මං කිව්වෙ!"

"හරි හරී, ඔච්චර මල පනින්න දෙයක් නෑ!"

මම අවසන් වතාවට බයිකර්ට අත වනනවා. නමුත් මේ පාර බුවා මාව දකින්නෙ නෑ බයික් එක පිරවුම් හලකට හරවන නිසා.
හොඳම යාලුවෙක් අහිමි වුනා වගෙ පාලු හැඟීමක් මගෙ හිතට එනවා.
එතකොටම ඇහේ කොනට මම යමක් දකිනවා.

මම උඩ බලනවා. මැස්සා වහලෙ! මූට ඕනෙ මාව ඔරොප්පු කරන්න. ඔන්න පටං ගන්නවා අර කුනුකුනුව.

"ඇන්ඩි," තාත්තා කියනවා, "දැන් නම් සීමාව පැනගෙන එන්නෙ!"

"ඔය මම නෙවෙයි," මම කියනවා. "ඒ මැස්සා!"

මේ මැස්සව ඉවරයක් කරලා දාන්න වෙනවා වහාම, මූ මාව ඉවරයක් කරන්න කලින්!

මම අත අල්ල ගොටු කරගෙන ඉස්සරහට බර වෙනවා.
මැස්සා පනිනවා වමට.

මම ආයෙම උත්සාහ කරනවා.

මැස්සා පනිනවා දකුණට, එතනින් ඉස්සරහා වීදුරුවට, "හූ හූ අල්ලයි මගෙ..." කියාගෙන.

මම ගලවනවා සීට් බෙල්ට් බකල් එක, පනිනවා ඉස්සරහ සීට් එකට. මැස්සා කො‍ටුවෙනවා මගෙ අතට, ගුවනෙදි.

"HOWZAT?" මම ප්‍රීති ඝෝෂා කරනවා.

මගෙ ඔලුව අම්මගෙ උකුලෙ, මගෙ කකුල් කාරෙකේ ස්ටියරිං වීල් එක අස්සෙ පැටලිලා.

තාත්තා හිටගන්නවා බ්‍රේක් පෙඩලය උඩ. කාර් එක ගැස්සිලා නවතිනවා.

'බහිනවා එලියට!" තාත්තා කියනවා.

"තාත්තෙ, ඒ වුනාට මගෙ නෙවෙයි වැ‍රැද්ද," මම කියනවා. "මැස්සගෙ."

"කාගෙ වැ‍රැද්ද වුනත් කමක් නෑ." තාත්තා කියනවා. "හ්ම්හ්, එලියට!"

"ඔන්න බලන්න තාත්තෙ!"

මම මෙපමණ වෙලා මැස්සව ගුලි කරගෙන හිටපු අත දිගහරිනවා තාත්තට මැස්සා පෙන්නන්න. වැරදි කාරයා කවුද කියලා ඔප්පු කරන්න. නමුත් මගෙ අත හිස්. ඔහෙ ඇති මැස්සෙක් නෑ. මූ අන්තිම මොහොතෙ, වෙට්‍ටුවක් දාලා මාරුවෙලා. ෂික්! මැස්සෙකුට පැරදීම ගැන මට ඇති වෙන්නෙ තරහක්.

"එලියට," තාත්තා කියනවා.

තාත්තා සිරාවටමද මේ කියන්නෙ? බොරු වෙන්නැති.

"අනේ සොරි, තාත්තෙ... මම හැදුවෙ මැස්සව කාරෙකෙන් එලියට දාන්න... මොකද ඌ හිටියා නම් ඇක්සිඩන්ට් එකක් වුනත් වෙන්න පුලුවන් නිසා..."

"ඇක්සිඩන්ට් එකක් වුනොත් ඒ කවුරුවත් නිසා නොවෙයි, තමුසෙ නිසා තමයි!," එයා කියනවා. "හම්හ් එලියට!"

"අනේ අම්මේ..." මම බැගෑපත් වෙනවා. " ඔයා දෙනවද තාත්තට එහෙම කරන්න?"

"මේ ඔයාගෙම යහපතට." අම්මා කියනවා. "ඔයාත් පාඩමක් ඉගෙනගන්න ඕනෙ."

මම දොර අරිනවා.

"ඔය දෙන්නටම පස්සෙ දුක් වෙන්න වෙයි," මම කියනවා, "ඔය දෙන්නා ආපහු එනකොට ගිජු ලිහිණියෝ මගෙ ඇට ක‍ටු සූප්පු කරලා තියෙනවා දැක්කාම."

"ඕස්ට්‍රේලියාවෙ ගිජු ළිහිණියො නෑ."

"එහෙනම් කුකබුරාලා"

"ඔය දොර වහනවා," තාත්තා කියනවා. "ඔය රස්නෙ ඇතුලට ගහනවා"
තාත්තත් එක්ක හරි වැ‍රැද්ද කතා කරලා වැඩක් නෑ.
මම කාරෙකෙන් එලියට බැහැලා දොර හෙමීහිට වහනවා.


කාරෙකේ රෝද එක තැන කැරකෙන්න රේස් කරපු තාත්තා, ඉගිලිලා යනවා, වැලි දූවිලි බොරලු වැස්සකින් මාව නාවමින්. මම ඇස් පිහදාලා කාර් එක හොයනවා. දැනටමත් ඒක නොපෙනී ගිහින්.

මට මගෙ සපත්තුව දිහෑ බැලෙනවා. දරුණු පෙනුමක් තියෙන, විශාල, රතු, බුල් ඈන්ට් වර්ගයෙ දිමියෙක් මගෙ සපත්තුවට නැගලා. මම ඌව ගසලා දානවා. ම්ම්ම්, මම ඌව අල්ලාගත්තොත් මොකද, පස්සෙ මට කන්න දෙයන් නැතුව ගියාම ඌව ඕනැ වෙන්නත් පුලුවන්.

ඊ...යා!  දිමියො කන්නෙ මොකටද? අම්මයි, තාත්තයි කොයිවෙලේ හරි ආපහු ඒවි. මේ දැන් වුනත්! වැඩිම වුනොත් විනාඩි පහකින්. ඔය මාව බය කරන්නනෙ.

මම ඇවිදගෙන යනවා.

ඇත්තෙන්ම මේකත් නරක නෑ. පිරිසිදු වාතය. නිල් අහස.
අම්මගෙයි තාත්තගෙයි බර බරේ නෑ.

විනාඩි පහක් ගතවෙනවා.

තවත් විනාඩි පහක් ගතවෙනවා.

තවත් විනාඩි පහක් ගතවෙනවා.

කෝ එයාලා?

මම බිම ඉඳගන්නවා.
මට තියෙන්නෙ බිම වැටිලා මැරෙන එක, අම්මටයි තාත්තටයි හොඳ පාඩමක් උගන්නන්නත් එක්ක.

ප්‍රශ්නෙකට තියෙන්නෙ, ඒකට ටිකක් වෙලා යන්න පුලුවන්, මොකද මම හොඳ සනීපෙන් ඉන්න නිසා දැනට....

ඇන්ඩිට මොකද වෙන්නෙ? ඊලඟ කොටසින්.

මේ ඕස්ට්‍රේලියානු යොවුන් කතා ලේඛකයෙකු වන Andy Griffiths ලියපු, අමෙරිකා එක්සත් ජනපදයේ පළකරපු,  පිස්සු, කුජීත, චාටර්, පට්ට, පජාත, වැඩ අඩංගු පොත් සීරීස් එකකින් එකක් වන Just Annoying කියන කෙටිකතා පොතේ පළවෙනි කතාව මම ඔබ වෙනුවෙන් සිංහලට නැගූ හැටියි. මේ පොත් වෙන කිසිවෙක් පරිවර්තනය කරලා තියෙනවද කියලා මම දන්නෙ නෑ.  ඇන්ඩිගෙ ලිවීමේ ශෛලියට  මම නම් හරි කැමතියි. මම මුලින්ම කියෙව්වෙ ප්ලාස්ටර් එකක් ගැන කතාවක්. ඇත්තටම මගෙ පුතා ඇන්ඩිගෙ පොත් එකතු කරන රසිකයෙක්.
ඇන්ඩිගෙ පොත් වල චිත්‍රත් ඔය සම්ප්‍රදායික චිත්‍ර නෙවෙයි. අපි ඔය පොතක් ගත්තාම වාටිවල එක එක ඒවා කුරු‍ටු ගාන්නෙ. ඇන්ඩිගෙ පොත්වල් චිත්‍ර තියෙන්නෙත් වාටිවල. ඕන්නම් පස්සෙ පින්තූරෙකුත් දාන්නම්කො.
එතකොට ඇයි මම සම්භාව්‍ය යයි සම්මත ලේඛකයෙකුගෙ  සම්භාව්‍ය යයි සම්මත පොතක් පරිවර්තනය නොකර ඇයි මේවගෙ කතාවක් පරිවර්තනය කරන්න මහන්සි වුනේ?
උත්තරය සරල එකක්. මම මේ කතාවල්වලට ආසා නිසා. ඔබත් කැමති වෙයිද කියලා බලන්න.
Andy Griffiths ගැන වැඩි විස්තර www.andygriffiths.com.au වලින් බලන්න පුලුවන්.

ප. ලි: මට ටෙස්ටිං ටෙස්ටිං කියලා දාලා ඇති වෙලා. ඒ නිසා මම හිතුවා මට හිතෙන හැටි  වල පලවෙච්ච මගෙ පළවෙනි ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් පරිවර්තනය මෙතන දාන්න.

20 comments:

  1. එදා වගේම දැනුත් කියන්න තියෙන්නෙ ඩුඩ් මේ පරිවර්තනම නම් හරිම ඉහලයි....ඒ වගේම චිත්‍ර හරිම ලස්සනයි.... an all time classic I call it...:D :D :D

    ටෙස්ටින් වලට වඩා හොදයි තමයි ...හිහ් හිහ් හිහ්

    ReplyDelete
  2. [hi="yellow"]මාත් හිතුවා ටෙස්ටින් වලට වඩා නම් හොඳ වෙයි කියලා. :)[/hi]Thanks!

    ReplyDelete
  3. රියට අත ඇල්ලු මගියා සහ මේ පොස්ට් එකෙන් තමයි මම උඹේ බ්ලොග් එකට වහවැටුනේ. මේ ලිපිය මගේ පොඩි එකාගේ කැමතිම එකක්. ඌ පොඩි කාලේ ඉඳන්ම ගමනක් යන්න පටන් ගත්ත වෙලේ ඉඳන්ම අහන්නේ [co="red"]දැන් ලඟද තාත්තේ[/co] කියලා. තාමත් එහෙමමයි. ඒ නිසාම මම මේ පොස්ට් එක ඌට පෙන්නුවා

    ReplyDelete
  4. මචෝ මේ අප්ඩේට් වෙන්නේ නැති එක අනිවා ටෙම්ප්ලේට් එකේ කචාල් එකක්. බලපන් කොමෙන්ට් කෝඩ් වැඩකරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේක ටෙම්ප්ලේට් එකේ ප්‍රශ්ණයක් නෙවෙයි මචං. කෝඩ් වැඩ නොකරන්නෙ ටෙම්ප්ලේට් එක වෙනස් කරපු නිසා. ටෙම්ප්ලේට් එකක් නෙවෙයි කීපයකට වෙනස් කලා, නමූත් අප්ඩේට් නොවෙන්නෙ ප්‍රශ්ණෙ ඒකම නොවන නිසා. උඹ මේ කමෙන්ට් එක දැම්මෙත් අලුත් ටෙම්ප්ලේට් එකේනෙ.

      අපරාදෙ මගෙ පරණ ටෙම්ප්ලේට් එක! ඒක හදාගන්නත් සෑහෙන කට්ටක් කෑවා.

      මේ වැඩේ කරපංකො පුලුවන්නම්. උඹේ බ්ලොග් රෝල් එකේ එල්ලපං HeyDude.

      http://dude-heydude.blogspot.com

      දැන් මම කරන්න යන්නෙ, අලුත් පෝස්ට් වලට ලින්ක් එකක් HeyDude වල දාන්න. එතකොට ඒක අප්ඩේට් වුනාම කට්ටියටම දැනගත්තෑකි මගේ ඩෙනිමේ අලුත් පෝස්ට් එකක් දාපු බව.

      http://dude-heydude.blogspot.com/

      Delete
    2. මේ දෙකෙන් කොයිකද එල්ල ගන්න ඕනි?

      Delete
    3. හික් හික්.
      ඩෙනිම තියෙන්න ඇරපං. ඔහොම තිබිලා ඒක නිකම්ම හරියන්නත් ඉඩ තියෙනවා.
      ඔය දෙකෙන් එකක් එල්ලාගනිං. (උඹේ ඇස් පෙනීමත් දුර්වලයි නේ, වයසටද කොහෙද?)

      මම තව පොඩ්ඩකින් appeal එකක් දාන්න යන්නේ.

      Delete
    4. මම එක මුල ඉඳන්ම එල්ලලා තියෙන්නේ.

      Delete
  5. මගේත් ඔය ප්‍රශ්ණේ නිසා බ්ලොග් ලිවිල්ල එපා වෙලා, මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා මම ඒ අය ගැන නොදන්වා ලියලා..හැබැයි සමහර වෙලාවට හරියනවා අයියේ, මට හිතෙන්නෙ අපි දෙන්නට විතරක් කරන වෙනස්කමක්...
    කතාව ආසාවෙන් කියෙව්වා. මම කරන වැඩේ අයියාගේ බ්ලොග් එක දවසගානෙ චෙක් කරන එක, නැත්නම් පොස්ට් මග ඇරෙනවනෙ..

    ReplyDelete
    Replies
    1. නදිනි ඔය ප්‍රශ්ණෙ තියෙන අය තව ඉන්නවා. ඕකට විසඳුමක් ජාලෙන් හොයාගන්නත් නෑ. හැම තැනම තියෙන්නෙ ඔය ප්‍රශ්ණෙ ගැන කියපුවා මිසක් විසඳුමක් ගැන නෙවෙයි.

      ඔයා මගෙ HeyDude බ්ලොග් එක ඔයාගෙ බ්ලොග් රෝලට ඇඩ් කරන්නකො. එතකොට හරි.

      Delete
  6. අයියෝ .... මේ මොකක්ද අනේ මේ වෙලා තියෙන්නෙ, මම මේ අහන්න හැදුව විතරයි අර යසට තිබුනු වස්තර කඩමාල්ලට මක්කැයි උනේ කියල. ඉතිං අපේ බ්ලොගර් විශාරද සහෘදයොන්ගෙන් තවම හෙලුප් එකක් ලැබුනෙ නැතෙයි.

    අයියට බ්ලොගර් එපා කරල ආපහු වර්ඩ්ප්‍රෙස්වලටම දුවන්න අටවපු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද මන්දා.

    අනේ මේක ඉක්මනට ගොඩදාගෙන කලින් වගේ ලියන්ඩකෝ අප්පා. (එහෙම කිව්වම හිතන්න එපා දැන්, මම මේක ගොඩදාගන්න මෙච්චර මහන්සි වෙද්දි මූ හිතක් පපුවක් නැති ගොන් වස්සෙක් වගේ මෙහෙම කියන හැටි කියල. කොහොම උනත් ඔය අප්ඩේට් වෙන්නෙ නැති අවුල බ්ලොග්වල හිටී ගමන් පෝස්ට්වලට උනාට ආයෙත් ඒක ඉක්මනටම හරියනව මම දැකල තියෙනව)

    ReplyDelete
  7. ඩූඩ් කියපු දේ කලා. ඩූඩ් උදව්වක් හැටියට කීවට, ඒක උදව්වක් වන්නේ අපටමයි. නැත්නම් මෙවන් රසවත් පෝස්ට් නිකම්ම මිස් වෙලා යනවනේ... එතකොට ඉතිං අපිටමනේ පාඩුව.

    නියම සිංහලෙන් කියවන්න ලැබුණ පරිවර්තනයක්.. ඊළඟ කොටස කියවන තුරු ඉවසුමක් නෑ.

    ස්තුතියි!

    ReplyDelete
  8. නියම කතාවක්. කුකබුරා කියන්නෙ මොකෙක්ද. මංනං දන්නෙ ඒ නමිං තියෙන බැට් එකක් විතරයි.

    ReplyDelete
  9. මම නං හිතන්නේ ඩුඩ් අයියේ ප්‍රශ්නේ හරි ගිහින් වගේ. මගේ රීඩර් එකේ මේ බ්ලොග් එකේ කතා තුනක් එක දිගට අප්ඩේට් වෙලා.

    මේ කතාවට මම පට්ටම ආසයි. කියලා වැඩක් නෑ. මම ඩුඩ් අයියගේ පරිවර්තනයක් කියවන්න කොච්චර ආසයිද කිව්වොත් "අයි හෑව් නෝ වර්ඩ්ස්"

    ReplyDelete
  10. මේ ස්ටයිල් එක මාර ගති. අයි ලයික් ඉට්.

    ReplyDelete
  11. මේවා මට මග හැරිලා. දෙක දෙනවා නේද අයියන්ඩි.ඔහ්.. වැරදි වැටහීමක් ගන්න එපා. මම කිවුවේ මේ කතාව ගැන....

    ReplyDelete
  12. ටික කාලෙකට පස්සෙ ආයිත් ඉස්තරම් පරිවර්තනයක්.. දැං මට ඔය පොත හොයං කියවන්න ආසයි..

    ReplyDelete
  13. මේක ගිය අවුරුද්දෙ ලියපු එක නේද?

    ReplyDelete
  14. මේක කලිනුත් කියෙව්වා මතකයි. ඒත් මචං නැවත කියවනකොටත් රසයේ අඩුවක් නෑ. පොඩි එවුංගෙ ලෝකය අපූරුවට නිරූපනය කරලා තියෙනවා. උඹේ පරිවර්තනයත් එලම තමයි !

    ReplyDelete
  15. මේ කතාව මං කොහෙදි ද කියෙව්වේ එතකොට.. වර්ඩ් ප්‍රෙස් එකේදී වෙන්න ඇති.. හ්ම්ම්..

    …ලස්සන කතාව ඩූඩ් අයියේ.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>