Wednesday, March 27, 2013

58. ක්ලීන් ස්වීප් ඉග්නේෂස් Clean Sweep Ignatius: Part 1


නයිජීරියාවේ මුදල් ඇමති ධූරයට ඉග්නේෂස් අගාර්බි පත්වීමේ පුවත ගැන උනන්දුවක් දැක්වූවේ අතලොස්සක් දෙනා පමණි. නිර්දය විවේචකයෝ කී ලෙසම පසුගිය වසර දාහතක කාලයක් තුල පත්වූ දාහත් වැනි මුදල් ඇමති ඉග්නේෂස් වූ විට එය අරුමයක්ද?

සිය මුල්ම පාර්ලිමේන්තු ප්‍රතිපත්ති ප්‍රකාශයේදී, රාජ්‍ය අංශයේ ඔඩුදුවා තිබූ දූෂණ, අල්ලස් හා අක්‍රමිකතා මුලුනුපුටා දැමීමට පොරොන්දුවකුත්,  දූෂිත නිලධාරීනට අනතුරු හැඟවීමකුත් කල ඉග්නේෂස්, කතාව නිමකලේ, තමන් නයිජීරියාවට "ෆුල් සුද්දයක්" දෙන්න අදහස් කරන බව පවසමිනුයි.

පසුගිය මුදල් අමාත්‍යවරුන් දහසය දෙනාගේම කතා අසා වෙහෙසට පත්ව සිටි ජනතාවට අලුත් යමක් මෙම කතාවේ නොමැති බව ප්‍රධාන කතෘ තීරණය කල බැවින්දෝ, 'ලාගෝස් ඩේලි මේල්' පුවත්පතේ මේ ගැන සඳහනක් වත් නොවීමෙන්ම කතාව ඇති කල බලපෑම සිතාගත හැකිය.

කෙසේ හෝ මෙම ඇල්මැරුණු ප්‍රතිචාරවලින් කෙසේවත් නොසැලුනු ඉග්නේෂස්, මහත්වූ උද්‍යෝගයෙන්, ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් තම ධූරයේ වැඩ ඇරඹීය.

පත්වීමෙන් දින කීපයකට පසු, ධාන්‍ය ආනයන ගණුදෙනුවක් සඳහා ව්‍යාජ ලේඛණ සකස් කර කො‍ටුවූ අමාත්‍යාංශයේ සුළු නිලධාරියෙකු දඟගෙයි ලෑමට හේ සමත් විය.

ඉන් අනතුරුව ඉග්නේෂස්ගේ අලුත් කොස්සේ කෙඳිවලට හසු වූයේ, විනිමය නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවට ලක්වූ ලෙබනන් ජාතික ආයෝජකයෙකි. ඔහුව රටින් නෙරපා දමනු ලැබුවේ අධිකරණ ක්‍රියාමාර්ගයකින් පවා තොරවය.

හරියටම ඉන් මසකට පසුව, ‍රැකියාවට අදාල වරප්‍රසාදයක් ලෙස ලාගෝස් වැසියන් පවා විශ්වාස කල අල්ලස් ගැනීමේ චෝදනාවට පොලිස්පතිවරයා  අත් අඩංගුවට ගැනීමට හැකිවීම,  ඉග්නේෂස් පවා සැලකුවේ  තමා ලද පෞද්ගලික ජයග්‍රහනයක් ලෙසය.

ඉන් සිව් මසක් ඇවෑමෙන් පොලිස්පති වරයා
දහ අට මසක සිර දඬුවමක් නියමවීමෙන් අනතුරුව මුල් වරට ඉග්නේෂස් 'ලාගෝස් ඩේලි ටයිම්ස්' පුවත්පතේ මුල් පි‍ටුව ආක්‍රමණය කලේය. එම පුවත්පතේම මැද පි‍ටුවේ එක් නායකයක් ඉග්නේෂස්ව හඳුන්වා තිබුනේ වංචනිකයන් බිය විය යුතු, 'යසට අතුගෑවෙන අලුත් කොස්සක්' හෙවත් 'Clean Sweep Ignatius' යනුවෙනුයි.

 ඉන්පසු
සිදුවූ අත් අඩංගුවට පත්වීම සිදුවූ වැලෙන් අනතුරුව, රාජ්‍ය නායකයා වූ ජෙනරල් ඔටෝබි පවා, ඔහුගේම මුදල් ඇමතිවරයාගේ දැඩි සුපරික්ෂාවට ලක්වෙන බවට දූෂමාණ ආරංචි පැතිරිනි. මෙහි ප්‍රතිඵලය වූයේ ඉග්නේෂස්ගේ 'මිස්ටර් ක්ලීන්' ප්‍රතිරූපය තව දුරටත් වර්ධනය වීමයි.

වටිනාකම ඩොලර් මිලියන සියය ඉක්මවන සියලුම විදෙස් කොන්ත්‍රාත් පෞද්ගලිකව තියුණු විෂ්ලේෂණයට ලක්කර අනුමත කිරීම ඉග්නේෂස් සියතට ගත්තේය. ඔහු මෙහිදී ගත් හැම තීරණයක්ම සතුරන්ගේ තීක්ෂණ විමසුමට බඳුන් වුවත්, කිසිම දූෂණයකට ඉග්නේෂස්ගේ නම පටලැවීමට කිසිවෙකු අපොහොසත් විය.

ඉග්නේෂස් මුදල් ඇමති ලෙස දෙවන වසරේ වැඩ ඇරඹි කල 'දෙඤ්ඤං-බැටේ-විචාරකයන්' පවා ඔහු ගැන සුභවාදී ප්‍රකාශ කිරීමට පටන් ගත් අතර ජෙනරල් ඔටෝබි හදිසි හමුවක් සඳහා ඉග්නේෂස්ට කැඳවීමට තරම් විශ්වාසය පල කලේය.

ඩෝඩන් හමුදා බැ‍රැක්කයේ පිහිටි රාජය නායක නිළ නිවස්නයට මුදල් ඇමතිව සාදරයෙන් පිළිගත් ජෙනරල් ඔටෝබි, සිය කාර්යාල කාමරයට කැඳවාගෙන යන ලදුව, පහල යුධ අභ්‍යාස භූමිය හොඳින් දර්ශණය වන විශාල කවුලුවක් අසල ස්ථානගත කර තිබූ සැප පු‍ටුවක ඉග්නේෂස්ට අසුන් පැනවීය.

"ඉග්නේෂස්, මම ඔහේගෙ අලුත්ම අයවැය වාර්තාව කියවලා ඉවර වුනා විතරයි. තවමත්  විදේශ සමාගම් විසින් අතරමැදියන්ට පගාව දීමෙන්  විතරක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව  අවුරුදු පතා ඩොලර් මිලියන ගනනක් පාඩු විඳින බවට ඔහේ කරලා තිබ්බ ප්‍රකාශය කියවලා මට යකා නැගලා ඉන්නෙ. මේ සල්ලි මොකාගෙ සාක්කුවකට වැටෙන්නෙ කියලා අදහසක් හෙම තියෙනවද ඔහේට? මට අන්න ඒකයි දැනගන්න ඕනෙ."

අසුනේ සෘජුව හිඳගත් ඉග්නේෂස් රාජ්‍ය නායකයාගේ මුහුණ දෙස එක එල්ලේ බැලීය.

"එයින් සෑහෙන ප්‍රමාණයක් පෞද්ගලික ස්විස් බැංකු ගිණුම් වලට බැර වෙන බවට නම් මට සැකයක් තියෙනවා. නමුත් ඒක ඔප්පු කරන්න අවශ්‍ය සාක්ෂි දැනට මා ලඟ නෑ"

"එහෙමනම් ඒ සාක්ෂි ලබා ගන්න අවශ්‍ය ඕනෙම ක්‍රියාමාර්ගයක් ගන්න අමතර බලතල මම ඔහේට පවරනවා," ජෙනරල් ඔටෝබි කීය. "මේ තක්කඩි ටික කො‍ටුකර ගන්න අවශ්‍යයි කියලා ඔහේට හිතෙන ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කලාට වරදක් නෑ. මේ  වැඩේට අත ගහන කොට,  කිසි කෙනෙකුගෙ තරාතිරමට, බලපුලුවන්කාරකම් වලට බය වෙන්නවත් බුරුලක් දෙන්නවත් අවශ්‍ය නෑ."

"මේ වගේ භාරදූර වැඩකට අත ගහන්න නම් මට ඔබතුමාගේ අත්සන යොදලා බලය පවරපු ලිපියක් අවශ්‍ය කරනවා, ජෙනරල් තුමනි."

"එහෙන්ම නම් අද හවස හය වෙනකොට ඒ ලිපිය ඔහේගේ මේසෙ උඩ තියෙවි." රාජය නායකයා කීය.

"ඒ වගේම, මට විදේශගත වෙද්දි, පූර්ණ බලතල සහිත තානාපති වරප්‍රසාද ලැබෙනවානම් තමයි ලේසි."

"කිසි ප්‍රශ්ණයක් නෑ."

"එහෙනම් ස්තුතියි, ජෙනරල් තුමනි," හමුව අවසන් බව වටහාගත් ඉග්නේෂස් හුනස්නෙන් නැගිටිමින් පැවසීය.

"මේකත් අවශ්‍ය වේවි ඔහේට," දෙදෙනාම කුටියේ දොර වෙත ගමන් කරද්දී ජෙනරාල්වරයා පැවසීය. ඇහි බැම ඔසවා ජෙනරල් දෙස බැලූ ඉග්නේෂස්, ජෙනරල්වරයා අත්ල මත තබාගෙන තමන්ට පෑ කුඩා ස්වයංක්‍රීය පිස්තෝලය දු‍ටුවේය. "...මොකද, මට සාධාරණ සැකයක් තියෙනවා ඔහේටත් මට තරම්ම සතුරන් සංඛ්‍යාවක්  මේ වෙනකොට ඇතිය කියලා."

නුහුරු බවක් පාමින් පිස්තෝලය අතටගත් ඉග්නේෂස් එක කබා සාක්කුව තුල රුවාගනිමින් පහත් හඬින් ස්තුති කලේය. නිහඬ සමු ගැනීමකින් අනතුරුව, ඉග්නේෂස් ‍රැගත් රිය අමාත්‍යාංශය බලා පිටත් විය.

නයිජීරියානු
හ බැංකුවේ අධිපතිගේ අනුදැනුමකින් හෝ වෙනත් ජ්‍යේෂ්ඨ සිවිල් නිලධාරීන්ගේ බලපෑමකින් තොරව, ඉග්නේෂස් සිය නව වැඩ පිලිවෙල ඇරඹුවේ ඉමහත් කැපවීමෙන් හා උනන්දුවෙනි. ‍රැය නිදි වරාගෙන ඔහු කල විමර්ශණ කටයුතු වල ප්‍රතිඵල හේ රහසක්ව තබාගත්තේය. තුන් මසක් ඇවෑමෙන් ඔහු දඩයම පටන් ගත්තේය.

හදිසි විදේශ සංචාරයක් සඳහා බොහෝ නයිජීරියානුවන් නිවාඩු සඳහා රටින් පිටවන  අගෝස්තුවම ‍තෝරාගැනීමට ඉග්නේෂස් සැලසුම් කලේ කිසිවකුගේ සැකයට බඳුන් නොවීම සඳහාය.

සිය පෞද්ගලික ලේකම් ඇමතූ ඉග්නේෂස්, තමාටත්, බිරිඳටත්, දරු දෙදෙනාටත්, ෆ්ලොරිඩාවේ ඕර්ලැන්ඩෝ වෙත ගුවන් ටිකට් පත් මිලදීගන්නා ලෙසත්,  සම්පූර්ණ වියදම තමාගේ පෞද්ගලික ගිණුමින් හර කරන ලෙසත්  අණ දුන්නේය.

ෆ්ලොරිඩාවට ලඟාවූ නයිජීරියානු ඇමති පවුල මැරියට් හෝටලයේ නවාතැන් ගත්හ. කිසිම පූර්ව දැනුම් දීමකින්  තොරව  සිය බිරිඳ ඇමතූ ඉග්නේෂස්, තමා හදිසි රාජකාරි කටයුත්තක් සඳහා දින කීපයකට නිව් යෝක් බලා පිටත් වන බවත්, නිවාඩුවේ ඉතිරි දිනයන් පවුල සමඟ ගත කිරීමට ඒ නිමවා පැමිණෙන බවත් දැනුම් දුන්නේ ගහෙන් ගෙඩි එන්නාක් මෙනි.

සිය පවුල ඩිස්නිලන්තයේ  විනෝද වීමට කටයුතු පිළියෙල කල ඉග්නේෂස් පසුදා උදෑසනම නිව් යෝක් බලා පියාසර කලේය. ලා ගාර්ඩියා ගුවන් තොටේ සිට කෙනඩි ගුවන් තොට දක්වා දුර  ටැක්සියකින් ගමන් ගත් හෙතෙම, විවේක කාමරයට වැදී ඇඳුම් මාරු කරගත්තේය. ඉන් අනතුරුව ගාස්තුව මුදලින් ගෙවා ජිනීවා දක්වා යාමට හා ඒමට සංචාරක පන්තියේ ටිකට් පතක් වෙන කරගත් ඔහු, කිසිවෙකුගේ අවධානයට ලක් නොවීම ස්විස් එයාර් යානයට ගොඩවිය.



෴ *මතු සම්බන්ධයි* ෴


 සමහරුන් ආඩම්බර කාර උද්ධච්චයකු ලෙස හඳුන්වනු මා අසා තිබුනත්, බ්‍රිතාන්‍ය ලේඛක Jeffrey Archer මගේ ප්‍රියතම ලේඛකයෙකි. ඔහුගේ කෙටිකතාවල ඇත්තේ වේගයෙන් ගලායන ගතියකි. එමෙන්ම කෙටිකතාව කියවා අවසන් වූ වහාම එය තව අයෙකුට කියන තෙක් ඉස්පාසුවක් නැති ගතියද  මම ඔහුගේ කතා ප්‍රිය කරන තවත් හේතුවකි. සිර දඬුවම් පවා විඳ ඇති ජෙෆ්‍රි මනා ඇසූ පිරූ ඇත්තෙකු වීම  අරුමයක් සේ මට නොහැ‍ඟේ.

41 comments:

  1. ඉක්මනට ඉතුරු ටික දැම්මනම් උනුහුම යන්න කලින්

    ReplyDelete
  2. කිව්වම මොකද මට මේ Jeffrey Archer කියවන්න ලැබිලාම නැහැ.
    ඔබට පින් නොදැන සිටි එහෙත් දැනගතයුතු කෙනෙක් මුණගැස්සේව්වාට.

    පරිවර්තනය ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්නට දෙයක් නැත.සුපිරිය .
    මෙය කියවාගෙන යත්දී මට මතක් වුනේ අචිබේ ගේ Man of the people හි දයාසේන ගුණසිංහ මහතාගේ පරිවර්තනයයි (පොදුජනයගේ මිනිසෙක් )
    ආඩම්බරකාර කමත් උද්දච්ච කමත් මිනිසෙකුගේ පුද්ගලික ගතිගුණයන් මිසක්කා එය ඔහුගේ සාහිත්‍ය කෘති රසවින්දනයට ප්‍රශ්නයක් කරගතයුතු නැති බව තමා මට හිතෙන්නේ
    සුබපැතුම්

    ReplyDelete
  3. අප්‍රිකන් කතාවක් නිසා මම හිතුවෙ චිනුආ අචබෙගෙ එකක් කියල.
    //කියවා අවසන් වූ වහාම එය තව අයෙකුට කියන තෙක් ඉස්පාසුවක් නැති ගතියද//
    මේක මටත් තියනව. මම හිතුවෙ ඒක මට විතරක් තියන ලෙඩක් කියල. ඒ වගේම ඒකෙන් ගන්න තියන අනිත් දේ තමයි බාගයක් කියවපු එකා ඊලඟ කොටස කියවන්න කොච්චර නොඉවසිල්ලෙන්ද ඉන්නෙ කියන එක.උඹ ඒ පැත්ත හිතුවෙ නැත්තෙ ඇයි?

    ReplyDelete
  4. මගේ ඩෙනිම ක්ලීන් ස්වීප් කරන්න ඉස්සෙල්ල ඊගාව කෑල්ලත් දාමු.

    ReplyDelete
    Replies
    1. ඕනි උනොත් මාත් ඉන්නවා සපෝර්ට් එකට.

      Delete
  5. මම කියෙව්වේ මාතෘකාව බලන්නේ නැතුව. අන්තිමට එනකම් මට හිතුනේ මේක සිරා කතාවක් කියලා...සිරාවටම මාර රහයි. ඊගාව කොටස ඇස් දෙකෙන් කන්න මම පෙරේතකමෙන් බලාගෙන ඉන්නවෝ

    ReplyDelete
  6. මං හරි ආසයි මේ වගේ කතන්දර වලට

    ReplyDelete
  7. මම හිතුවේ මේක ඇත්තම කතාවක් කියලා. වෙනදා වගේම උඹේ පරිවර්තන උපරිමයි මචන්.

    ReplyDelete
  8. නයිජීරියවෙ ඉතින් මේ වගේ ඇමතිවරු ඉන්න පුලුවං නවකතාවක විතරයිනෙ.. අර මගෙ එක කතාවල්ක් තියෙන්නෙ වංචාලන්තය නොහොත් පගාලන්තය කියල ඔය රට ගැන.. වැඩි දෙනෙක් කියවලා නං නැ.

    ReplyDelete
  9. මේක මම කියවලා තිබුනා හොහෙන් හෝ.. ඒත්... දැණුයි බොක්කටම වැදුනේ....

    ReplyDelete
  10. හාං ! මෙයා මේ පහුගිය දවස්වල තැතනුවෙ මේකටයි එහෙනම්. ඒත් මම හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට ප්‍රතිඵල පිටවෙයි කියල. ඉක්මනට ඉතිරි කොටසත් දාන්ටකෝ, මට මේ කෑලි කෑලි කියවන එක මහ එපාම කරපු වැඩක්. මේකට ෆොටෝ කෑල්ලක් අල්ලල බේරුනාට ඊළඟ කොටසට ලස්සන චිත්තරේකුත් තියෙයිනේ.

    Jeffrey Archer හිරෙත් ගිහිපු පොරක්ද? ඒක වෙන්න ඇති මිනිහ හිරගෙවල් කතන්දර ලියන්න වැඩිපුර පෙළඹවීමක් තියෙන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. අපේ ප්‍රතිචාරය එනකන්වත් ඉස්පාසුවක් නැතුව හිටපු පොරක්! :)

      Delete
  11. දැන් මේක ප්‍රබන්ධයක්ද ? නයිජීරියාව තියන තත්ත්වෙත් එක්ක බලපුවම ප්‍රබන්ධයක් වෙන්න තියන ඉඩ බොහොම වැඩියි... මොනවා වුනත් ලස්සන කතාවක් ලෙසටම පරිවර්තනය කරලා..

    දැන් කුතුහලයේ දල්ලෙ ඉන්නෙ.

    ReplyDelete
  12. බ්‍රිතාන්‍ය ලේඛක Jeffrey Archer මගෙත් ප්‍රියතම ලේඛකයෙක්! එයා ටිකක් ආඩම්බරකාරයෙක් බව නම් ඇත්ත. ආඩම්බරේට වඩා කවුරුත් ගනන් ගන්නේ නැති ගතියක් (උද්දච්ච??? ) තියනවා කියලයි මට හිතෙන්නේ. ඒත් මම මේ ලඟදි කොහෙදි හරි දැක්කා අපි උගත් නම් හරි බුද්ධිමත් නම් හරි පෝසත් නම් හරි ඒ ගැන කීවට කමක් නෑ කියලා ...:D:D

    එහෙම කියන්ට හොඳ නෑ කියලා සමාජය හදාගත්තට ඇත්ත කතා කලාට ප්‍රශ්නයක් නැති බව තමා තේරුම් ගියේ. ඒ කතාව මෙයාට නම් හොඳටම අදාළ කරගත්තු හැකි.:)

    මම නම් කැමතිම මෙයාගේ Kane and Abel පොතට. Honor among thieves, The eleventh commandment, First among equals. වගේ පොතුත් ලස්සනයි . ඒවා කියෙව්වාම මේ වගේ පොත් ලියන්ට පුලුවන්ද කියන හැඟීම මගේ හිතට ආවා.

    හොඳ වැඩක් ඩූඩ්...

    ReplyDelete
  13. මේක ප්‍රබන්ධයක්ද හෙන්රි...මන් හිතුවෙම ඇත්ත කතාවක් කියලා..මොකද මේ වගේ වීරයො අපි හම වෙලාවෙම පතනවනෙ..අනේ අපිටත් හිටිය නම් කියලා...

    ReplyDelete
    Replies
    1. ඇයි බොලන් ඔය ඉන්නෙ...ඔයිට වඩා මොනවද ?

      Delete
  14. එළ කියලා තමයි කියන්න තියෙන්නෙ... මමත් අවසානයට යනකල්ම හිතාගෙන හිටියෙ ඇත්ත කතාවක් කියලා.. බොහොම ලස්සනට පරිවර්තනය කරලා තියෙනවා... වැල් වටාරම් නැතිව කෙළින්ම කියලා තියෙනවා... මම ඔය ශෛලියට ආස වුනත්, මට ලියනකොට වටේ වැල් වටාරම් ලියන්න වෙනවා.. මේ ලිය ලියා ඉන්න කතාව දිග වෙන්නෙත් ඔය හේතුවමයි...
    නියමෙට ලියලා තියෙනවා... එල !

    ReplyDelete
  15. ලියල තියන විදිය නම් පස්ට.ඉග්නේෂස් වගේ කෙනෙක් නම් දැන් ලංකාවට තදින්ම අවශ්‍ය කර තිබේ කියල තමයි හෙන්රි කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  16. මේ වගෙ කතාවලට මම හරිම කැමතියි නේ. මම හිතුවෙ ඇත්තම කතාවක් කියලා. ඉතුරු කොටසත් ඉක්මනටම දාන්න.

    ReplyDelete
  17. අඩේ...ඉක්මනටම දාන්න අයියේ අනිත් කොටස..

    ReplyDelete
  18. මේක කොටස් දෙකකට කැඩුවේ අපරාදේ අප්පා. ඒ තරම් නියමයි. මත අගට එනකං හිතන් හිටියේ සතයක් කියල. සතයක් නොවෙයිද?

    ReplyDelete
  19. මං මේක කියෝන ගමනුත් හිතුවේ මේ වගේ කෙනෙක් අපේ රටේ හිටියොත් එයාට මොන වගේ තත්ත්වයක් ඉහලින් හම්බ වෙයිද කියලා. ඒත් මේක ප්‍රබන්ධයක් කියලා දැනගත්තු ගමන් එව්වා මෙව්වා පටලෝලා කතාවෙ ලස්සන නැති කරන්නේ මොකටද කියලා හිතුණා.

    ඇත්තටම හෙන්රි අයියේ, මේක ප්‍රබන්ධයක් කියලා හිතුනෙම නෑ අගට එනකම්ම. ඒ තරම්ම ලස්සනට ජෙෆ්රි ලියලා තියෙනවා, ඔයා පරිවර්තනය කරලා තියෙනවා.

    මේ ලිපියේ සෙන්නගේ ඌරුවත් ගෑවිලා තියෙනවා වගේ.

    ReplyDelete
  20. මෙතැන කමෙන්ට් දාන්න යන්ෙන් නෑ. ඉතිරි ෙකාටසත් කියවලාම දමන්නම්. ඒ් තරම් අාසයි ඒය කියවන්න.

    ReplyDelete
  21. මේ කතාව මම කියවගෙන ගියේ එක හුස්මට.....ඒ අතරේ මම මගේ යාලුවෝ කීප දෙනෙකුටත් ඒ වෙනකල් මම කියවපු ටික කිව්වා.... පස්සෙයි දැක්කේ ඩුඩ් ඒ ගැන ලියල තියෙනව....

    ඒකෙන්ම ඔප්පු වෙනව ඩුඩ් කියපු එක ඇත්ත....ගේ කතාවල ඒ රසය තියෙනව

    අනික පරිවර්තනය හරිම ඉහලයි....කිව්වත් වගේ මේක අර ඇන්ඩිගේ පරිවර්තනයට වඩා වෙනස්...දෙකේම තියෙන්නෙ එකිනෙකාට අවේනික වුන ලස්සනක්.....

    හරිම ඉහලයි ඩුඩ්..... ඉතිරි කොටසත් ඉක්මනටම ලියන්න

    ReplyDelete
  22. කතාවත් එක හුස්මට කියවගෙන ගියා. එත් මම කියවද්දී මම කල්පනා කලේ මේ කියන්නේ අපි දන්නා මම ඉන්න අල්ලපු රටේ විස්තරද කියල. ඒ රටේ දුෂණ ගැන ඉතින් අවුරුදු ගණන් කියවන්න පුළුවන්.

    ReplyDelete
  23. හැමතැනම පේන්ඩ ඉන්න හෙන්රි බ්ලොග්වෝකර් ද ඩූඩ්ව ඇයි මට මෙහෙදි පේන්නැත්තෙ ?

    http://pahanyaaya.blogspot.ae/

    ReplyDelete
  24. ඉතුරු ටික ඉක්මනටම දානකං බලාගෙන ඉන්නෙ කමෙන්ට් එකක් දාන්න.

    ReplyDelete
  25. වේගවත් ගලා යාමේ ගතිය පරිවර්තනයෙත් තියෙනවා!

    ReplyDelete
  26. Jeffry Archer ගෙ එකම එක පොතයි මම කියවලා තියෙන්නෙ.Kane & Abel ඒක නම් හොඳයි කියලා හිතුනා.

    ඩූඩ්ගෙ පරිවර්ථනය නම් වෙනදා වගේමයි..බලමු ඊ ලඟ කොටස..

    ReplyDelete
  27. නියමයි නියමයි... දෙන්න දෙන්න.. ඉක්මණට ඉක්මණට... අනිත් අනිත්.. කොටස කොටස :D

    අපේ රටේ නැද්ද ඔහොම ඈයෝ.. :)

    ලස්සන කතාව. කලින් පෝස්ට් එකේදී කියල තිබුනේ කාගේද කමෙන්ට් එකකට, "ඊ ළඟ කතාවේ භාෂාව සම්පුර්ණයෙන් වෙනස්" කියල. ඒ මේක නේද..?

    ReplyDelete
  28. සුපිරි පරිවර්තනේ.... නියම ටොපික් එක. අනේ ඉතින් අපේ රටේ වගකිවයුත්තොත් මේ බ්ලොග් බලනවනම්....

    ReplyDelete
  29. අන්තිම කමෙන්ට් ටික නොබලාම ලියන්නේ. කෙල්ලව ලෑස්ති කරන්න තියෙනවා. දෙයියනේ මේක පරිවර්තනයක් නොවුනානම්? ඩුඩා මේක ඒ තරම් හොඳට පරිවර්තනය කරලා. දැන් ඉතින් අනිත් කොටස එනකම් බලන් ඉන්න එපැයි.

    ReplyDelete
  30. දැන් හෙන්රි අයියේ මම මේක කියවන්න පටන්ගන්නකොටම මුදල් ඇමති කෙනෙකුගේ කතාවක් තිබුණා. ඊට පස්සේ දේශපාලනේට ටිකක් ළඟින් යන බරසාර වචන ටිකක්. මට හිතුණා මෙන්න බොලේ මේකත් කැමති නැහැයි කැමති නැහැයි කියෝ කියෝ පොලිටිකල් ලියනවා කියලයි. ඒත් ටිකක් කියෝගෙන එනකොට මම මේකේ ප්‍රබන්ධ ගතියෙන් මත්වුණා. මගේ සුබපැතුම් මචං. ඉක්මණට අනිත් ටිකත් දාපන්.

    ReplyDelete
  31. ඇත්ත කතාවක් කියලා හරිම සතුටකින් සහ නයිජීරියාවේ මෙහෙම වෙන්න පුලුවන්ද ..නැත්නම් සික් මගේ ලෝකේ ගැන ඇති දැනුම කොච්චර පොඩිද කියා සිතමින් කියෙව්වේ ....

    ReplyDelete
  32. මම උඹලාට උත්තර නොදෙන්නෙ මගේ තියෙන ලොකු කමකට නෙවෙයි. සමහර කමෙන්ට් වලට උත්තර දුන්නොත් ඊ ලඟ කොටසේ, ඒ කියන්නෙ අන්තිම කොටසේ ආතල් එක කැඩෙනවා. සිංහලෙන් කිව්වොත් without compromising the climax of the last episode. සමාවෙයල්ලා ඈ?

    ReplyDelete
  33. අනේ අපිට කවදා පහල වෙයිද මේ වගේ ඇමතිලා.

    ReplyDelete
  34. ඉක්මනට දාන්න අනිත් කොටස.. (මේ මගේ පළමුවැනි කොමෙන්ටුව බ්ලොග් එකක.. ඒ තරම් ආස හිතුන මේකෙ ඊළඟ කොටස කියවන්න)

    ReplyDelete
  35. මම හිතුවේ ඇත්ත කතාවක් කියලා... ඉක්මනින් අනිත් කොටස දමන තුරු බලාගෙන ඉන්නවා...

    ReplyDelete
  36. ඩුඩ්,

    බදින්න ඉස්සර මම මේ author ගේ නවල්ස් බලලාම නෑ අප්පච්චි කියවනවා දැක්කත්. ඔයා නිසා තමයි මම මෙ Jeffery Archer ගෙ පොත් කියවන්න පුරුදු වුනේ.

    ReplyDelete
  37. ඩුඩ්,

    ඕහ්! ඊලග කොටස දානකල් යාළුවන්ගේ කමෙන්ට් වලට උත්තර දෙන්න විදිහක් නැනේද?දෙවනි කොටස දැම්මාම ඔයාගේ යාළුවන්ට තේරෙවි ඇයි ඔයා මේ පොස්ට් එකේ උත්තර දිලා නැත්තේ කියලා. D

    ReplyDelete
  38. පරක්කු උනා අයියේ කියවන්න, ඊලග එකත් කියවලම කමෙන්ට් කරන්නම්..

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>