

ගඟ දෙසට වැටුණු කැලෑ පාරේ ඇවිද යන අපේ පයට පෑගෙන අඩියක් ගැඹුරු හිම තට්‍ටුව චිරි බිරි හඬ නගනවා. ශීත සෘතුව සඳහාම නිමකල ඝන පාවහන් හා ඊට යටින් එක මත එක ඇඳ ඇති උණුසුම් මේස් කුට්ටම් දෙකම විනිවිද යන අනුකම්පා විරහිත දැඩි සීතල දෙපා හිරිවට්ටනවා. නැවුම් ශීත වාතය පෙනහලු රිදවනවා. අද වෙනදාට වඩා දීප්තියෙන් බබලන උදා හිරුගේ දුබල කිරණ , සෙල්සියස් අංශක සෘන හතක රුසියානු සිසිරය තුලින් ඇදී විත් උඩට හැරවූ මගේ මුහුණ මත උණුසුමක ඡායාවක් දනවනවා. වරින් වර කුඩා වුන් සේ පාර දෙපස ඇති ගස් සොලවන අපි අතුපතර රැඳුනු හිම බිම හලා සතුටු වෙනවා.