Tuesday, March 25, 2014

107. බදුලු කෝච්චිය. 1 වන කොටස




වුරුදු ගානක් තිස්සේ පෙරුම් පුරලා, පෙරුම් පුරලා, ඒත් නිවාඩුවේ අන්තිම මොහොතේ පුරුදු විදියට කල් දදා හිටපු වැඩක් යන්තම් කලා ඔන්න ගිය නිවාඩුවෙදි. රේල් ගේට්‍ටු ගාවා වාහනේ නවත්තගෙන බලා ඉන්න ගානේ, තාර පාරට සමාන්තර රේල් පාරක කෝච්චියක් දුවන ගානේ උත්සන්න වෙවී තිබුණු ආසාවක් මේක. දැන් අපි බදුලු ගියේ එහෙදි කරන්න තිබිච්ච මහලොකු වැඩකට නෙවෙයි, මේ කෝච්චියේ බදුලු යන්න ආසාවට කියලා කිව්වාම, උඹලා ඇස් ලොකු කරල කට ඇරගෙන බලා ඉන්නේ  ඇයි, හරියට  මුන්ට නම්  පිස්සු කියලා වගේ? ඇයි උඹලා කවදාවත් කොහේවත් ගිහින් නැද්ද ගමනාන්තයට වඩා ගමන රසවිඳින්න?






ඔය ගමන ගියේම, අර වානේ රෝද වානේ පීලි වල දුවන කොට ඇහෙන "ටක ටකස්, ඩග ඩගස්" සද්දේ අහන්න. අර කෝච්චිය පහු  කරගෙන යන භූ විෂමතාව අනුව වෙනස් වෙන කෝච්චි එන්ජිමේ  ඝෝෂාව අහන්න.  කෝච්චිය බිම්ගෙයක් තුලින් දුවද්දී දැනෙන ඩීසල් දුම්  සුවඳ (හෙහ් හෙහ් සුවඳ, ඈ?) වගේම බිම් ගේ පහුවෙනකල් ලොකු පොඩි ගෑණු පිරිමි බේදයක් ඇතුව ජනේලයෙන් ඔලුව එලියට දාලා  නරි වගේ  හූ කියන්න. ඇත්තෙන්ම පොඩ්ඩක්වත් ලැජ්ජා හිතෙන්නි නෑනේ ඒ වැඩේට!  ගැඹුරු පාතාල උඩින් හදපු සුද්දන්ගේ කාලේ  පරණ රේල් පාලම් උඩින් යනකොට,  දැනෙන නිකං හරියට අහසේ පියාඹනවා වගේ රෝලර් කෝස්ටර් හැඟීම විඳින්න.  අර පොඩි කාලේ සිංහල පොත් වල විස්තර කරපු වලාසේලයෙන් සැරසුනු නිල් කඳු පන්ති. (නිල්? මටනම් කොළමයි පේන්නේ) පයිනස් වනාන්තර සහ ගලා එන සීතල මිහිදුම් වලා.  කොළ පැහැති තේවතු, එළවලු පාත්ති, කඩා හැලෙන දිය ඇලි, නිරතුරුව  වෙනස්වෙන මනස්කාන්ත භූමි දර්ශන. කඳුකරය පිස එන සීත නැවුම් වාතය අත්දකින්න විඳගන්න...

හරියටම ගමනට සතියකට කලින්, ගම්පහට ගිය වෙලාවක, අපි ගම්පහ දුම්රිය ස්ථානයට ගොඩවැදුනා. අපිට ඕනැ වුනේ බදුලු කෝච්චියේ නැරඹුම් මැදිරියේ ආසන තුනක් වෙන් කරගන්න. නැරඹුම් මැදිරිය තියා, සාමන්‍ය දෙවෙනි පන්තිය පවා මාසයකට කලින් වෙන් කරන්න ඕනේ.  ඔන්න මූණවල් ඇද කරගෙන අපි ආපහු හැරිලා එන්න හදනකොටයි කවුන්ටරේ හිටපු මිස්ට මැදගොඩ  කිව්වේ "ඔන්නම් තර්ඩ් ක්ලාස් රිසර්ව්ඩ් සීට්ස් තියෙනවා," කියලා.  සාමාන්‍යයෙන් තමන්ගේ සීට් එක ‍රැක ගන්න පවා සටන් වදින්න සිද්ද වෙන  තුන් වන පන්තියේ මැදිරියක තියෙන ආතල් එක මතක් වූ නිසා මේ ආරංචිය මගේ හිතට ඒ තරම්ම සතුටත් නොගෙනාවත්, වෙන කරන්න දෙයක් නැති නිසා, උන්න හැටියට මලා මදැයි කියලා,  අපි බදුල්ලට යාමට සහ ඒමට තුන් දෙනාට රු 2400ක් ගෙවලා ටිකට් ගත්තා. එක්කෙනෙකුට එක පැත්තකට හාරසීයයි, ඈ?

ගල් පාන්දරම පිටත් වෙන්න තියෙන නිසායි, ආපසු ගෙදර එනකොට කොයි තරම් රෑ වෙලා  බස් එක මිස් වෙලා කෝච්චි ගමනේ ආතල් කඩා ගැනීමේ අවදානමක් නැති නිසායි, වෑන් එකේ ගම්පහට ඇවිත් යාලුවෙක්ගේ ගෙදර දාලා යන්න මුලින් හිතුවත්, පස්සේ අපි ඒ අදහස වෙනස් කර.  මුළු ගමනටම පොදු ප්‍රවාහන මාධ්‍ය විතරක් යොදාගන්න අපි තීරණේ කලා. අනික අපි එන වෙලාවට, ඔය යාලුවන්ට ඇහැරවලා, බල්ලෝ බැඳලා, පොඩි උන් ඇහැරිලා හෙන ජරමර කරනවට වඩා ගම්පහ බස්ටෑන්ඩ් එකේ හිටගෙන නිදාගත්තත් සැපයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා.

මේ ගමන අපි කිසිදා නොගිය තරම් සැහැල්ලුවෙන් යන්න අපි හිතුවා. සියලුම ඇඳුම් ඒ කියන්නේ ආපහු ඇඳගෙන එන්න එක ඇඳුම් සෙට් එකකුයි, පිජාමා සෙට් එකකුයි, ටූත් පේස්ට්, බ්‍රෂ්  දාගත්තා ඇදගෙන යන්න පුලුවන්  රෝද ලොකු  බෑග් එකකට.  බැක්පැක් එකක් ගත්තා මගට ඕනේ වෙන වතුර, බිස්කට් වගේ දේ දාගෙන යන්න. කොටින්ම බදුල්ලට ගියාම ගිහින් නවතින්න තැනක් ගැන වද වුනේ නෑ. අවශ්‍ය වුනොත් ස්ටේෂන් එකේ බංකුවක් උඩ වුනත් නිදාගන්න ලැහැස්තියෙන් ගියේ.  ඉතින් ලැප්ටොප් නෑ. පින්තූර ගන්න එක  කැමරාවකුත්, ෆෝන් කැමරා දෙකකුත් විතරක් ගත්තා.  කොටින්ම ස්ටේෂන් එකේ ඕවා චාජ් කරන්නත් විදියක් නැති නිසා චාජර් ගත්තෙත් නෑ. මේ ගැන නම් අපිට පසුතැවිලි වෙන්න සිද්ද වුනා. ඇත්තෙන්ම අපි මෙතරම් සැහැල්ලුවෙන් කිසිම ගමනක් ගිහින් නෑ.


පාන්දරම අලාම් එකට අවදි වුන අපි ගමනට ලැහැස්ති වුනා.  ඔය උදේට අලාම් එකට ඇහැරලා වැඩට යන එක මරන්නා වගේ වැඩක් වුනත්, ඒ අලාම් එකටම ඇහැරිලා වෙනත් ගමනක් යන එක මාරම ආසා වැඩක් මම. අපි අවුරුදු දොළහකින් මෙහා නොලබපු අත් දැකීමක් වන,  එළිය වැටෙන්නත්  කලින්, ගෙදර දොරවල් වහල, බෑග් එකත් ඇදගෙන, බස් එකට නගින්න පාරට යෑම අපිට ඇති කලේ අමුතුම හැඟීමක්.  



අපි ගම්පහ දුම්රිය පොළට ලඟාවෙන කොටත් ඔන්න යාන්තම් අහස රතුපාට වෙලා, වටින් පිටින් එළිය වැටීගෙන එනවා.  කෑම ගැනවත් කිසිම විශේෂ වැඩ පිළිවෙලක් නොතිබුන අපි, එතනම තිබුන චූන් පාන්  එකකින් මාලු පාන්,  කිඹුලා බනිස් වගේ රංචුවක් ගත්තා. ස්ටේෂන් එකේ නිදියන එක වගේම, කෝච්චියේ විකුණන, ඒ තරම්ම පිරිසිදු නොවන කියලා හිතෙන, නමුත් උණු උණු කෑම කාලා ජීවත් වෙන එකත් මේ ගමනේ එක අංගයක්, ඕං.

ඉතින් ඔන්න මේ පෝස්ට් එකෙන් පටන් අරන්, ඉස්සරහට තව පෝස්ට් කීපයකින්, අපි ලබපු ආතල් එක උඹලත් එක්ක බෙදාගන්න තමයි මම මේ ලැහැස්ති වෙන්නේ. හැබැයි හැමදාම හිටගෙන කෝච්චියේ වැඩට යන උඹලගෙන් සමහරුන්ට නම් මේක වහක් වෙන්න පුලුවන්. ඒ වුනාට තවමත් අපි වගේ කෝච්චි පිස්සෝ කීප දෙනෙක් හරි ඇතිනේ මේක කියවලා අපි එහෙම වැඩක් කලේ ඇයි කියලා තේරුම් ගන්න පුලුවන්.
 




ස්ටේෂන් එකේ මිනිස්සු පිරිලා හිටියා.  අපිට පොඩිමැණිකේ දුම්රියට කො‍ටුවෙන් හෝ ගම්පහින් යන කැමති තැනකින් ගොඩ වීමට පුලුවන් කම තිබුනත් අපි ගම්පහ ‍තෝරාගත්තේ පැය බාගයක් පසුවෙලත් කෝච්චිය අල්ලා ගැනීමට හැකි නිසා. ඇත්තෙන්ම ඒ ඉතාම හොඳ තීරණයක්.

කෝච්චිය ආ ගමන් අපි දඩි බිඩි ගාලා නැග්ගා මිසක්, අපි වෙන් කරපු පෙට්ටිය මොකක්ද කියලා හොයලා බලන්න බැරිවුනා.  ඇත්තෙන්ම අපි නොදැන හිටියට, කෝච්චිය ගම්පහ නැවැත්තුවේ අපි තුන්දෙනාව ගන්න. ගාඩ් ලඟ තියෙනවා ඒ ගමනට  සීට් බුක් කරපු උන්ගේ නම් ලැයිස්තුව. ඒ අනුව තමයි ඒ මිනිස්සුන්ව ගන්න සාමාන්‍යයෙන් නවත්තන්නේ නැති ස්ටේෂන් වලත්  නවත්තන්නේ අපි වෙන් කරපු ආසන, එන්ජිමට පිටිපස්සෙ හිස්ව යද්දී, අපි බෑග් එල්ලගෙන මිනිස්සු පිරුණු වෙනත් මැදිරියක හිටගෙන ගියා ඊ ලඟ නැවතුමේ නවත්තනකල්.


නිල් පාට ගාපු මේ කෝච්චිය චීනේ හදපු පවර් සෙට් එකක්.  ඇත්තෙන්ම මේ කෝච්චිය අපි හිතුවට වඩා හුඟාක් හොඳ තත්වේ තිබුනා. විශේෂයෙන්ම ටොයිලට්.  මැදිරි ඇතුලේ පිරිසිදුකමත් සතු‍ටු දායකයි, තවම නම්.






ඔන්න එහෙනම් අපි පිටත් වෙනවා. ෆුට් බෝඩ් ගියාට කමක් නෑ හයියෙන් අල්ලගෙන. බෙල්ල ඈතට දික්කරන්න එපා ඈ. මම පුලුවන් තරම් පින්තූර වලින්ම කතාව කියන්න ට්‍රයි කරන්නම්.







මීලඟට 108. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.



 





Originally published @ HeyDude in English Language.  
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

136 comments:

  1. බොලාට කියන්න අපිත් ඔය ආතල් එක ගන්න ඕන නිසාම එකපාරක් සිරීපාදෙ යන ගමං බණ්ඩාරවෙලට බස් එකේ ගිහිල්ල එතන ඉඳං හැටන් වලට කෝච්චියෙ ආව. තනිකරම ෆුට් බෝඩ් එකේ ගියේ බියර් ගගහ.බැස්සට පස්සෙ තමං හුළං වැදීගෙන ආපු එකේ රඟේ තේරුනේ.

    ට්‍රිප් එකක යනවනං මාත් කැමතිම සැහැල්ලුවෙන් යන්න. ගෙදර ඉන්නව වගේ අැඳුං හිරකරගෙන ඉන්නනං ට්‍රිප් යන එකේ තේරුමක් නෑනෙ.

    මොකද අර ජෝඩුව ඉන්න ෆොටෝ එකේ දෙන්න නිකං බයවෙලා වගේ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ...කවුරු හරි දෙන්නට..." ඔහොම හි‍ටු තොපේ පින්තූරයක් ගන්න" කියල බලෙන්ම අරන් තියෙන්නෙ..!

      Delete
    2. අනේ බං ප්‍රසන්න, අපිත් ඔය විදියටම සිරීපාදේ ගිහින් ආවා එක වතාවක් කොල්ලෝ කාලේ. නමුත් ඔය වගේ සිද්ධි තව හුඟක් තියනවා වුනත් දැන් ලියන්න පුලුවන් තත්වයක් නෙවෙයිනේ තියෙන්නේ. ඒ මොකද, මේ බ්ලොග් ලියන අපෙන් පරමාදර්ශී චරිත බලා පොරොත්තු වෙනවනේ සමහරු. කොලු වැඩ, බලු වැඩ, ඩෝප් සීන් සහ තවත් සීන් ලියන්නම බෑ. දැන් ඔක්කොම ඒ වගේ සීන් අයින් කරලා ඩී-නයි කරලා ගත්තාම, ලියනන් තියෙන්නේ මම පොඩි කාලේ එකම එක වතාවක් සිල් ගත්ත එක විතරයි. ඒකත් හරියට කරන්න බැරි වුනා, පේර ගහේ ඉඳලා හාමුදුරුවෝ මාව කලින්ම සිල් පවාරනය කරලා ගෙදර එව්වා.

      උඹලටත් මගේ මූණ පේන්න බැරි හැටියක්. යකෝ ඔය ප්‍රතාපවත් බව.

      Delete
    3. හැක්....ප්‍රතාපවත්...? ආ ඔව් ඔව් ඒ බව තමයි....

      Delete
    4. සරත් මෙච්චරකල් ප්‍රතාපවත් බව කියන වචනෙ අහල තිබුණට ඒකෙ අර්ථය දැනගත්තෙ අද නේද? :D

      Delete
    5. කියලා වැඩක් නෑ ප්‍රසා. ඕං සේර්ලව ආස්සරේ කොරන එකේ තියෙන වාසි.

      Delete
    6. මට මතක් උනේ බන්දු සමරසිංහව.

      Delete
  2. එහෙනම් ඩුඩ් අයියා සහා පවුල උදෙසාම කෝච්චිය ගම්පහ නතර කල.:D බ්ලොග් කරුවෙක් විදියට එක කොයි තරම් අඩම්බර වෙන්න හේතුවක් වුණත්.ඩුඩ් අයියාගේ නිරහංකාර කමට ඊගාව ස්ටේශමට වෙනකන් හිටගෙනත් ගියා නේ...:D

    ReplyDelete
    Replies
    1. පුලුවන් වෙලාවටවත් ආඩම්බර වෙයල්ලා. එහෙම පුලුවන් වෙලාවල් අඩුයි. හෝස් පවර්ම කීයක්ද!

      Delete
  3. මට මතකයි කලින් පොස්ට් එකක ලිස්ට් එකේ මේ ගමන ගැනත් තිබුනා. එදා මමත් කමෙන්ට් කළා නොවැරදීම යන්න කියලා. හරිම සතුටුයි... මොකද මමත් ආසම ගමනක්. ඇත්තටම නැරඹුම් මැදිරිය වෙන්කර ගන්න අමාරුයි තමයි, රජයේ සේවකියින්ට ලැබෙන වාර්ෂික ගමන් බලපත්ර නිසා විශේෂයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ම නිවාඩු දවස්වලට ඕක වෙන් කරගෙන ඉවරයි. අපිත් යන්නේ එහෙම හඳුනුම්කමකින් වෙන් කරවාගෙන..
    ඔයාගේ ගම්පහ දුම්රිය ස්ථානයේ පොටෝ එක නම් දැන් වටිනවා, මොකද මේ දවස් වල ඒක කඩලා නවීකරනය කරනවා.

    ReplyDelete
    Replies
    1. අපිත් රජයේ සේවකයෝ වෙලා හිටියා සුභා, නමුත් ඒ වොරන්ට් එකෙන් ඒ හැටි වැඩක් ගන්න බැරි වුනා.
      ඇත්තට! ගම්පහ ස්ටේෂන් එක නවීකරණය කරනවද? ඔය ෆෝටෝස් අරගත්තෙ මේ පහුගිය දෙසැම්බර්. ස්තුතියි ආරංචියට. මට පේන්නේ ඔයාත් ගම්පහ වගේ.

      Delete
  4. ඇත්තට මාර ආසාවෙන් ඉන්නවා මාත් බදුලු බණ්ඩාරවෙල පැත්තෙ පොඩි රවුමක් දාන්න. කොහෙද ඉතිං?? :((

    කොහොමත් ගමනෙ බිමනෙ ඉදන් හැම දේම සරල, සැහැල්ලු වෙන තරමට සතුට වැඩියීනෙ

    බලමු මේ ටික කියවලා ඉවර වෙත්දි බදුලු යන ආසාව දෙගුණ තෙගුණ වෙලා කෝච්චියෙම යන්න හිතෙයිද දන්නෑ. :))

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් කියන්නේ ඇයි බං? කෝච්චි තියෙනවානම්, රේල් පාරත් තියෙනවානම්, ටිකට් එකත් මහ ගානක් නෙවෙයිනම් පලයල්ලකෝ. උඹට කම්මැලිකම ගහලා තියෙන්නේ අර යකඩ අස්සයා නිසා. ඒක ගෙදර දාලා පලයං.

      Delete
    2. අපෝ නෑ ඩූඩ් අයියෙ… දැන් යකඩ අස්පයෙක් තියා මට කියලා යකඩ කෑල්ලක්වත් නෑ. පොදු ප්‍රවාහනේ පිහිට තමා. :))

      මේකනෙ කේස් එක. කෙල්ල පොඩි නිසා වයිෆ් පොඩ්ඩක් ඔය වගේ ගමන් වලට ටිකක් පස්ස ගහනවානෙ. ඒකයි අවුල. :(

      Delete
  5. මමත් දවසක් ගියා බනියා එක්ක ලව් කරන කාලේ හැබැයි ගතියක් නැහැ මට නම් සද්දේ වැඩියි තෙරපීම වැඩියි. ලංකාවේ බස් හොඳයි කියල හිතෙනවා කෝච්චියට වැඩිය. හරියට වාතවෙන්න වුනා වැලිගමට යනකල් (දානේ ගෙදරක ගියේ)

    ReplyDelete
    Replies
    1. එකක්, උඹලා යන්න තිබ්බේ කඳුකරේට. අනික මේ වගේ සීට් කලින් බුක් කරගෙන. එහෙම්න වුනානම් උඹ වාදනය කරන්නේ වෙනත් තාලයක් මේ වෙනකොට. එහෙම කරලා බලාපං.

      Delete
  6. අනේ... ෂෝක්... මමත් හරිම ආසයි කෝච්චියේ ගමන්වලට. අපි නිතරම නොයන නිසා වෙන්නැති....

    ReplyDelete
    Replies
    1. අපි නිතර නොයන නිසා වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුලුවන්. සමහර දේවල් වලට අපි කොහොමත් ආදරය කරනවා.

      Delete
  7. මටත් හරි ආසාවක් තියෙනව පොඩි දෙන්නව ඔයවගෙ ගමනක් එක්ක යන්න්න.එත් පොඩි වැඩි නිසා කරදර වැඩියි.එකනිසා පොදු ප්‍රවාහනෙ ටිකක් අමාරුයි

    ReplyDelete
    Replies
    1. අමාරු නෑ බං. අපෙ ගියාවගේ සීට් බුක් කරලා ගිහින් බලාපං. අපිත් එක්කත් ගියා පොඩි එකියක් අපිට ඉස්සරහ සීට් එකේ. එක පාරක් වමනේ දැම්මා කාලා වැඩි වෙලා. එච්චරයි.

      උඹට වෙලා තියෙන්නේ වෑන් එකට ඇඩික්ට් වීම. හිත හදාගෙන බස් එකක කෝච්චියක යන්න හරි අමාරුයි. මට හොඳට තේරෙනවා ඕක. මටත් හිත හදාගන්න අවුරුදු ගානක් ගියා. :D

      Delete
  8. මාත් ඔහොම ගමනක් යන්න ආසාවෙන් හිටියෙ.. කොහොම හරි බයික් එකේ ගිය ට්‍රිප් එකේදි පොඩ්ඩක් ඒ ආසාව සපුර ගත්ත... ඒත් තව ඉතුරු වෙලා තියෙනව.. මේ අවුරුද්දෙ ඒ වගේ ට්‍රිප් එකක් යන්න පුළුවන් උනොත් ගිය පාර අරන් ගිය තරම් වත් බඩු අරන් යන්නෙ නෑ කියල හිතං ඉන්නෙ... හි හි

    ReplyDelete
    Replies
    1. මේක බයික් එකේ හරි වෙනත් වාහනයක යනවා වගේ නෙවෙයි හිරු. අපිත් ඒ විදියට ඔය හැමතැනම ගිහින් තියෙනවා. නමුත් මේක පුදුමාකාර නිදහස් හැඟීමක්. එහෙන් මෙහෙන් රිංගන බයික් කාරයෝ(අපි වගේම) ත්‍රී වීලර්, ප්‍රයිවට් බස්, පාර හරහා පනින මිනිස්සු, මොකුත් නෑ හිතට නිදහස්. පොලිස් කාරයෝ නෑ. ඔන්නම් ටූත් බ්‍රෂ් එකක් විතරක් අරගෙනත් යන්නත් පුලුවන්. නැතිනම් එහෙම ඕනෙත් නෑ. :D

      Delete
    2. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
  9. ට්‍රිප් යද්දි කව්ද අප්පා මහ ගොඩක් බඩු උස්සන් යන්නෙ නැද්ද...
    බදුලු ගමන සතුටු දායක ලෙස නිම වෙන්ට ඇති කියල මම විශිවාස කරනව... නැත්තං මේ වගේ රහට ලියන්නෙ නෑනෙ..
    මමත් කෝච්චියට පට්ට කැමති එකෙක්
    ඇත්තටම කෝච්චියෙ ආතල් එක දන්නෙත් ගන්නෙත් ඒකෙ ආතල් එකට ඇත්තටම බොක්කෙන්ම ලව් කරන උං විතරයි.. නැද්ද මං අහන්නෙ...
    දැං පොඩි මැණිකෙ පවර් සැට් කොරල තිබුණට ඉස්සර තිබ්බ පකිස්තාන් පෙට්ටි තියෙන කොච්චියෙ තමා යන්න තිබුණෙ... සැප කණේ...
    මේ පිංතූර සැට් එකේ පොල්ගහවෙල පැත්තෙ පිංතූරයක් නැති එක තරයේ හෙලා දකිනව...
    ඔව්.... ඉදගෙන

    ReplyDelete
    Replies
    1. >>ඇත්තටම කෝච්චියෙ ආතල් එක දන්නෙත් ගන්නෙත් ඒකෙ ආතල් එකට ඇත්තටම බොක්කෙන්ම ලව් කරන උං විතරයි.. නැද්ද මං අහන්නෙ...<<

      බොක්කෙන්ම එකඟයි ඒ කතාවට. මාත් කෝච්චි වලට පෙම් බඳින්නෙක්.

      හිටහං. පොල්ගහවෙල ඒවා තියෙනවා. ඊ ලඟට දාන්නම්.

      Delete
  10. // අපි බෑග් එල්ලගෙන මිනිස්සු පිරුණු වෙනත් මැදිරියක හිටගෙන ගියා ඊ ලඟ නැවතුමේ නවත්තනකල්. //

    ඇයි ඒ?? මම ගියපු කාලෙනං ඉස්සරහ ගාඩ් පෙට්ටියෙ ඉඳල පිටිපස්සෙ අවසාන පෙට්ටියෙ ගාඩ් කැබින් එක වෙනකල්ම යන්න පුලුවන්. එකම දේ තීන්නෙ අර වෙන්කල ආසන තීන පෙට්ටි හරහ යන්න ඒවගෙ මුරට ඉන්න උදවියට මොනා හරි වැලිඩ් රීසන් එකක් දෙන්න වෙන එක විතරයි.

    //චීනේ හදපු පවර් සෙට් එකක්//

    මේක හරි යෙදුමක්ද කියල ගිහාන් වික්ස් මලයගෙන් අහගන්න තිබ්බ. මම දන්න විදියට පවර් සෙට් කියන්නෙ එන්ජින් එකත් එක්ක සම්පූර්ණ කෝච්චියක්. ඒව පාවිච්චි කරන්නෙ ලඟ ධාවනයට විතරයි.


    කොහොම උනත් කමක් නෑ, ඉතුරු ටික ඉක්මනට දාහන්. මාත් ඔය කෝච්චියෙ වාර ගාන අමතකවෙන තරමට බදුලු ගිහින් තීනව. හරිම සුන්දර ගමනක්. හැබැයි අන්තිමට ගියෙ ඔබ්සවේෂන් සැලුන් එකේ උනාට ඒ ගමණ හරි අපරාධයක් උනා. මොකද අපි කොල්ලො ටික බීපු බීමට ගම්පොළින් එහාට උන දේ මතක නෑ, අන්තිමට බදුල්ලෙන් බැහැල අර කණුපැලැල්ල පාරෙ පොඩි ඇලකින් නෑවම තමා සිහිය ආවෙ. ඒ මදිවට අවසිහියෙන් නිසා කැමරාවට දාපු ෆිල්ම් රෝලත් අවුල් ඒ නිසා එකම එක ෆොටෝ එකයි කෝච්චියෙ ගතිපුවගෙන් තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. //චීනේ හදපු පවර් සෙට් එකක්//
      මෙතනට ගිහින් බලන්න..(මම හරියට ලින්ක් දෙන්න නම් දන්නේ නැහැ.)

      http://locolanka.blogspot.com/2014/02/s12.html#more

      Delete
    2. >>ඇයි ඒ?? මම ගියපු කාලෙනං ඉස්සරහ ගාඩ් පෙට්ටියෙ ඉඳල පිටිපස්සෙ අවසාන පෙට්ටියෙ ගාඩ් කැබින් එක වෙනකල්ම යන්න පුලුවන්. එකම දේ තීන්නෙ අර වෙන්කල ආසන තීන පෙට්ටි හරහ යන්න ඒවගෙ මුරට ඉන්න උදවියට මොනා හරි වැලිඩ් රීසන් එකක් දෙන්න වෙන එක විතරයි.<<

      අපි බං මේ ගියේ අවුරුදු දොළහකට විතර පස්සේ. මුලින්ම අපි අපේ පෙට්ටියට නෙවෙයි නැග්ගේ කියලා දැනගන්නත් ටිකක් වෙලා යනවා. ඊට පස්සේ ඒක කොයි පැත්තෙද තියෙන්නේ කියලා ඊටත් වැඩිය වෙලාවක් යන්නේ, අහල පහල ඉන්න උන්ගෙන් ඇහුවාම උන් දක්වපු සතුරු ආකල්පය නිසයි. තර්ඩ් ක්ලාස් වුනත් සීට් රිසර්ව් කරලා යන උන්ට සාමාන්‍ය පෙට්ටි වල යන උන් කැමති නෑ. උන් අපි දිහා බැලුවෙත් අමුතු සත්තු ටිකක් දිහා බලනවා වගේ. වචනෙකින්වත් උදව්වක් කලේ නෑ. ඒක එක්තරා හීනමානයක් සහ ඊර්ෂ්‍යාවක් කියලයි මට හිතුනේ.

      ඊ ලඟට ඔය දොර අරින්නේ ගාඩ්. ගාඩ් හිටියේ ගාඩ් රූම් එකේ. ගාඩ් රූම් එක තිබ්බේ එන්ජින් එකේම පිටිපස්සේ. පොර හැමතිස්සෙම දොර ලඟ නෑ. ඉඳලා හිටලා ගිහින් දොර ඇරලා අපි වගේ අතරමං වෙච්ච උන්ට දොර අරිනවා. හොඟක් හිටියේ ‍ටුවරිස්ට්ලා.

      ගාඩ් දොර අරිකකොට අපි බැහැලා ගිහින් හරි පෙට්ටියට නැගලා ඉවරයි.

      මේක චීනේ හදපු පවර් සෙට් එකක් තමයි. මේක ෆුල් සෙට් එකක්. එකම පාටින් තියෙන්නෙත් ඒකයි. ඔය සුභා දාපු ලින්ක් එක හරියට හරි.

      ඒ එකම එක ෆෝටෝ එකේ මොනවද බං තිබුනේ?


      Thanks Subha. It was very helpful.

      Delete
    3. කතා කරල වැඩක් නෑ. ඒ එකම පින්තූරෙ තිබ්බෙ රේල් පාර අයිනෙ මාන පඳුරු වගයක්. මොකද මම රීල් එක දාල කැමර එක අපේ නන්ගිට හරි වයිෆ්ට හරි දුන්න. උන් උඩ පැන පැන ඈත පෙන ලස්සන එව්ව හෙනට ෆොටෝ ගහල :P

      සුභාට බොහොම ස්තූති දාපු ලින්ක් එකට. මේ පාර ගියාම පොඩි උනුත් අරන් යන්න ඕන ආයි බදුලු ගිහින් එන්න.

      මම මුලිම්ම අසූ හතරෙදි විතර ගිහින් ස්ටෙෂන් එකේ ඉඳල බදුලු ටවුමට එන පාරෙ තීන පාළම ගාවින් පහලට බැහැල එතන දූපතක් හදාගෙන වේගයෙන් ගලා ගියපු බැහැපු බදුලු ඔයේ සීතල වතුර නෑව. පාට පාට රවුම් ගල් කැට ගෙදරත් ගෙනාව. අන්තිමට ගිය ගමන බදුලු ඔයේ කකුල් හෝදන්නවත් යන්න අප්පිරිය හිතුන තිබ්බ කුණු ජරාව දැකල. ඒත් ඉතින් ඒ කුණු ගහගෙන එන දුන්හිඳ පාමුල ගිහින් අපූරුවට සීතල වතුර නෑව!

      Delete
    4. ඉන්දික අයියා. මේක චීන පවර් දෙට් එකක්. සුභා දාලා තියෙන්නේ ලින්ක් එක. :)

      Delete
  11. ඉරිසියාවේ බෑ බොලව් ...... වෙන මුකුත් ලියන්න හිතෙන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. මොකෝ කියන්නෙ...අවුරුදු පහුවෙලා මේ ගමන ගිහිං එමුද ?

      Delete
    2. ඈ....................උඹ එනවද....?

      Delete
    3. බ්ලොග් ලියන එවුවො ඔක්කොම සෙට් වෙලා කෝච්චියක් වෙන්කරගෙනම යමුද ගමන.

      Delete
    4. හොඳ අදහස. ඒ වුනාට කෝච්චියක් තල්ලු කරනවටත් වඩා අමාරුයි ස්පෙයාවීල් එක දාගන්න හෙම වුනොත්. :-O

      Delete
  12. මං නණ්ඃ හෙන ආසයි. ඔය පැත්තෙ කෝච්චි ගමන කොහොමත් සුන්දරයි. අර ප්‍රසන්නල වගෙ අපිත් කෝච්චියෙ ගිහින් තමයි සිරීපාදෙ යන්නෙ. එක වතාවක් බඩු ගෙනියන කෝච්චියකත් යන්න වුනා. පට්ට පරක්කුයි ඒක. ඒත් අපිට ඒවයෙ ගාණක් තියන එකක් යෑ. පාර අයින් වල පහල එලවලු කොටු, සමහර වෙලාවට වැටෙන පොද වැස්ස... මැවිලා පෙනේවි රූපේ :)

    ReplyDelete
    Replies
    1. 'නණ්ඃ' නොවේ 'නම්'

      Delete
    2. >>මැවිලා පෙනේවි රූපේ<<

      කොව්වර නරක වුනත් මමත් මාර ආසයි කෝච්චියේ ෆුට්බෝඩ් එකේ ඉඳගෙන යන්න.

      Delete
  13. මටත් මැලේ අයියට වගේ ඉරිසියාවේ බෑ ඉදගෙන :( ට්‍රේන් එකේ යන බදුලු ගමන නම් නියමයි

    ReplyDelete
    Replies
    1. සීට් එකක් බුක් කරගෙන ගියොත් හිටගෙන යන්න ඕනෙත් නෑ, ආතල් එකේ ගියෑකි ඉඳගෙන.

      Delete
  14. හහා අපිත් කෝච්චි පිස්සුව නිසාම ගියා ඔහොම ගමනක් නුවර. :D බදුලු කෝච්චියෙ ගමනත් යන්න ඕනෙ කෝම හරි. ඩූඩ්ගෙ කතාව කියෙව්වම ආය ඉතින් ගියා වගේ තමයි. :)

    ReplyDelete
    Replies

    1. ගමන ගියා වගේ කිව්වට යනකල්ම එහෙම නෑ. ගිහිල්ලම බලන්නකෝ.

      Delete
  15. හැම පින්තූරෙටම සන්නාමය යෙදුවෙ උස්සයි කියලද ? ගම්පහ කියන්නෙ මගේ අඩවිය නොවැ..මේ ඉස්ටේසුමෙන් තමයි ලංකාවෙ රාජකාරි කරපු අවුරුදු 8 කට ආසන්න කාලයක් එහා මෙහා ගියේ...කොච්චර නම් මතක සමුදායක් මතක් වුනා කියලද මේ ඡායාරූපය දකිද්දි...ඒ අතර ගවුම් / සාරි එහෙමත් කීපයක් තිබුනා.

    මගේ මියගිය කිරිඅම්මගෙ යාලුවෙක් හිටියා දුම්රිය රියදුරු පුතෙක් හිටිය. ඒ පුතා වයසක උන්දැලට බදුලු යන්න වතාවක් රාත්‍රී 9 තැපැල් දුම්රියේ නිදන මැදිරිය වෙන් කරලා දුන්නා...මම ඉතිං ඔය ගමන ගිහින් නැති නිසා ආච්චි මාවත් මේ නඩේට ඇතුල් කලා...තවත් ආච්චි කෙනෙක් එයාගෙ තරුණ මිනිබිරියක් නඩේට එකතු කලා...දැන් මට පාලුවක් නෑ..

    අනේ මම මෙතෙක් ගිහිල්ලා තියෙන අති සුන්දර ගමන තමයි දුම්රියේ බදුලු යෑම. පාන්දර 5 ට විතර තේ වතු අද්දරින් කෝච්චිය යද්දි තේ කොළ සුවද හොදට දැනෙනවා...තේ වේලලා කුඩු කරන මැෂින් සමහර විට ඒ වෙද්දිත් ක්‍රියාත්මකව තිබුනද දන්නෙ නෑ....අපේ සිරි ලංකාව මොන තරම් ලස්සනද කියලා දැක බලාගන්න නම් සෑම කෙනෙක්ම මේ ගමන වරක් හරි යා යුතුමයි.

    මට ඉතිං සංවේදී මතකයකට තියෙන්නෙ මේ ගමන ගිහිං එනකං තමන්ගෙ ඇහැක් වගේ මාව බලාගන්න නැසී ගිය කිරිඅම්මා කටයුතු කරපු ආකාරය...උන්දැට නිවන් සැපම ලැබෙන්න ඕනෙ.....

    ReplyDelete
    Replies
    1. >>හැම පින්තූරෙටම සන්නාමය යෙදුවෙ උස්සයි කියලද ?<<
      උස්සයි නෙවෙයි බං. උස්සලා මටම ඊ මේල් වල එවනවා මගේම ෆෝටෝ. මට ඒකයි කාලම එන්න බැරි. අර කිඹුලා කනවට වඩා කොහොල ක‍ටු ඇනෙන එක අමාරුයි කියනවනේ.

      අර උඹ ගිය ගමන නම් ඉතින් චිත්ත රූප මැවෙනවා, සිරා.

      ඔව්. උඹ හරි. හැම ලාංකිකයෙක්ම යන්න ඕනේ ගමනක්, මේක.

      උන්දැට නිවන් සැප ලැබෙන්න ඕනෙ.

      Delete
  16. දෙන්නා 'ඇර - ගන්' මූඩ් එකේ ඉන්නකොට පොටෝ එක ගත්ත එකාට මම ළඟ හිටියනම් සීනි අහුරක් දානවා කටට. ඉතිං මොකෑ ඔය දෙන්නා දෙපැත්තට වෙලා කැමරාවට ඔරවන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ කියන්නේ. දැන් අර මුල් ඇඳුම නොහොත් නිළමේ ඇඳුම ඇඳගෙන ඔහොම බුකවගෙන හිටියානම් ඔන්න ඒක ප්‍රෞඪත්වය, ප්‍රතාපවත් බව අරක මේක. මේ ඩෙනිමක් ගහල එහෙම හිටියොත් ඒක මලබද්ධය. ඔන්න ඕක තමයි ස්වෝත්තම වාදය කියන්නේ.
      Just kidding!

      Delete
  17. ඩූඩ්....මම ... බදුලු කෝච්චියට/ගමනට කොයි තරම් ඇලුම් කරනවද කියනව නම්...........අපේ හනිමුන් එක ගියේ කෝච්චියේ..හැටන්..දික් ඔයට...!
    වෙනස්ම අත්දැකීමක් උනා...ලියන්නත් හිතයි..පොටෝ තමයි අඩු.

    ReplyDelete
    Replies
    1. මම මෙච්චර කල් හිතා හිටියේ කෝච්චියෙ දුම් බොන්නයි, මත් පැන් බොන්නයි වගේ, ලිංගික ක්‍රියාවල යෙදෙන්න තහනම් කියලයි. දැන් බලාගෙන යනකොට කෝච්චියේ හනිමූන් එක කරන්නත් පුලුවන් නේ?

      මචං හනිමූන් ෆෝටෝ නම් දාන්න කලින් අර සෙටිංස් වලට ගිහින් adult content ටික් කරලා හිටහං. නැත්නම් රිපෝට් කරයි අපේ අයියලා. දන්නවනේ ඉතිං.


      ලියහංකෝ බලන්න. ස්පෑම් වුනොත් එහෙමයි.

      Delete
  18. //මේ කෝච්චියේ බදුලු යන්න ආසාවට කියලා කිව්වාම, උඹලා ඇස් ලොකු කරල කට ඇරගෙන බලා ඉන්නේ ඇයි, හරියට මුන්ට නම් පිස්සු කියලා වගේ? ඇයි උඹලා කවදාවත් කොහේවත් ගිහින් නැද්ද ගමනාන්තයට වඩා ගමන රසවිඳින්න?//

    හප්පේ මොකද නැත්තේ...අපිත් ඔය අසිරිය විඳින්න ඔය වගේම බදුලු කෝච්චියේ නැරඹුම් මැදිරියේ ගියා එක දවසක්. හැබැයි බණ්ඩාරවෙලින් බැස්සා (මට මතක හැටියට). හරිම ලස්සන ගමනක්. ආපහු එන්නත් ටිකට් තිබුනත් ගමන ටිකක් හෙමින් නිසා ආපහු ආවේ බස් එකේ.

    ReplyDelete
    Replies
    1. අපරාදෙනේ සයුරි බස් එකේ ආපහු ආවේ. මොන හදිස්සියක් කියලද? බස් එක මෙලෝ රහක් නැති වාහනයක්නේ. ඔව් මම කාලා බලලා තියෙනවා. :D අපි නම් ගමක් ගියාම ෂෝට් කට් වල නෙවෙයි යන්නේ. scenic route එකේ.

      Delete
  19. ඔය වගේ ගමනක් යන්ට තියෙනවා නම් කොච්චර හොඳද කියලා හිතුණා....මොකෝ අර ප්රධාන නලුවා සහ නිලිය සීරියස් විදියට පින්තූරෙට මූණ දීලා ඉන්නේ?

    මම දුවගෙන ආවේ Murder on the Orient Express වගේ කතාවක් බලන්ට. ඒත් මේක ඊට වඩා ලස්සණයි. :D

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්ණෙට ඕන්න මම දෙපාරක් උත්තර දීලා තියෙන්නේ උඩ.

      ඔයා ආසද ඒ කතාවට? ඇගතා ක්‍රිස්ටිගේ කතාව නේද ඔය? අපි ඕක බැලුවා එකපාරක් එම්පයර් එකේ. අපරාදේ සල්ලි කියලා හිතුනා මටනම්. පට්ට බෝරිං.

      Delete
  20. කෝච්චිවල නිකම් ගමන් ගිහින් තිබ්බට කවදාවත් ට්‍රිප් එකක් නම් ගිහින් නෑ... අපේ ගෙදර අයත් බදුලු කෝච්චියේ නැරඹුම් මැදිරියේ ට්‍රිපක් ගිහින් තිබුණා ළඟදි... ඒකෙ වග විස්තර කියනකොට මේ ගමන යන්නමයි හිතුනෙ.... මේක දැක්කම තවත් ආස හිතුනා...

    ReplyDelete
    Replies
    1. උඹ පෝස්ට් එක කියෙව්වේ මට හිතෙන හැටි බ්ලොගෙන් නම්, ආයෙත් කියවපං මිහිරි (උඹලගේ අම්ම කියනව වගේ). ඒකේ ඡේද හෙන ගොඩක් අඩුව පබ්ලිෂ් වෙලා තියෙන්නේ.

      Delete
  21. කෝච්චියෙ දෙසැරයක් ගිය ගමන් මතක් වෙනව ලිපිය කියෙව්වම,,,
    දවස් දෙකක්ද කොහෙද නවදිල්ලි සිට ලාහෝර් වලට ගිය ගමනත් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ කෝච්චි ගැන අර කාලයක් බ්ලොග් ලිව්ව ජනූස් ලියලා තිබ්බා ලස්සන කතා ටිකක්.

      Delete
  22. ලංකාවේ තියෙන සුන්දරත්වය උපරිමයෙන්ම විඳින්න පුළුවන් ගමනක්. පැය කීපයක් ඇතුලත් භූ විශමතා ලක්ෂණ කීයක් නම් අත් විඳිනවද..? අපේ මිනිස්සු නොදන්නවා උනත්. බොහෝ විදේශකයින් සුන්දරම ස්ථානයන් වන, ඔහිය, ඇල්ල, හපුතලේ, බන්ඩාරවෙල, නානුඔය අතරේ හරි පොඩි ගමනක හෝ යෙදෙනවා. සුද්දගෙ කාළේ නම් නුවර එළියටම කෝච්චිය ගිහින් තියෙනවා. නුවර එළියේ හැටන් නැෂනල් බැංකුව තියෙන්නේ එදා නුවර එළියේ ඉට්ටේසමේ.

    ReplyDelete
    Replies
    1. >>සුද්දගෙ කාළේ නම් නුවර එළියටම කෝච්චිය ගිහින් තියෙනවා.<<
      මොකක් ද මචන් මේ හරුපෙ ....???
      උඹේ මවයි,පියයිද බං ....????
      ඔහිය මට සුන්දරම තැනක් ලංකාවෙ ...

      Delete
    2. හැබෑටම? මම ඒක දැනගෙන හිටියේ නෑනේ. එතකොට කවුරු හරි රේල් පීලි ටිකත් විකුනගන්න ඇති ඒ දවස් වලම. සිල්පර කොට ගැන අහලා වැඩක් නෑනේ.

      Delete
    3. ඔව් හෙන්‍රි. නානුඔය උඩුපුස්සැල්ලාව රාගල මාර්ගය කියල තමයි මේක හඳුන්වල තියෙන්නෙ. මේක පටු අඩි දෙකහමාරෙ රේල් පාරක්.

      මම දන්න තරමට ඉන්දියාවෙ විතරයි පොදු ප්‍රවාහන සේවාවක් විදියට මේ සයිස් එකේ මාර්ගයක් පවත්වාගෙන යන්නෙ. ඒකත් මේ වගේම කඳු අතරින් ඩාර්ලිජින් වෙත යන ලස්සන අවධානම් ගමනක්. විශේෂය ඉන්දියාවෙ මේ ගමන යන්න තාම තීන්නෙ ගල් අඟුරු කෝච්චි.

      ලංකාවෙ තිබ්බ මේ නානු ඔය - රාගල පාර 1948දි වහල දානව. අද තිබ්බනම් ලෝකෙ තීන වටිනම දුම්රිය චාරිකාවක් වෙන්න තිබ්බ.

      නුවරෑළිය රේස්කෝස් එක ගාව තාම පරණ රේල් පාළමක් තීනව. පරණ ස්ටේෂන් එක අද තියෙන්නෙ නුවර එළිය බස් ඩිපෝව විදියට.ඒකෙ වේදිකා එහෙමත් තාම බස් ඩිපෝ එක ඇතුලට ගියෝත් බලාගන්න පුලුවන්.

      https://www.flickr.com/photos/23268776@N03/8977914047/in/photolist-eFma4v-9vFsbN/

      මේකෙන් අයින් කරපු කෝච්චි පෙට්ටියක් තාම තීනව ටී ෆැක්ටරි හෝටලේ රෙස්ටෝරන්ට් එකක් කරල.

      තව මට නම මතක නෑ, ඒක් ස්ටෙෂන් එකක් රාගල පාර අයිනෙම වයින් ස්ටෝර් එකක් කරල තීනව :D

      Delete
    4. කෝච්චි බ්ලොගේ බලපං. එකේ විස්තර ඔක්කොම තියෙනවා.

      Delete
    5. @ ඉන්දික ...thnx විස්තරයට මචං ....

      Delete
    6. "නුවර එළියේ හැටන් නැෂනල් බැංකුව තියෙන්නේ එදා නුවර එළියේ ඉට්ටේසමේ."

      ඒ තියෙන්නේ නුවරඑලිය ඩිපෝව!!

      "මේකෙන් අයින් කරපු කෝච්චි පෙට්ටියක් තාම තීනව ටී ෆැක්ටරි හෝටලේ රෙස්ටෝරන්ට් එකක් කරල. "


      ඒ තියෙන්නේ කැළණිවැලියේ දුවපු පෙට්ටියක්

      Delete
    7. ප්‍රසන්න,
      link එක නම් සුපිරියි අයියේ.. බොහොම ස්තුතියි..

      Delete
  23. මටත් නිල් ඩෙනිමක් තිබ්බ නං යනවා.. බදුල්ලේ.. හැක්..

    ඊළග කැල්ල පොටෝ කතාවක් කරමුද??

    ReplyDelete
    Replies
    1. ඔව් ඕව්. නිල් ඩෙනිමක් නැතිනම් පොල්ගහවෙලින් එහාට යනන් දෙන්නේ නෑ තමයි.
      උදේම බීලනේ මේකා. :-O

      Delete
    2. මතක ඇතුව බොක්සර් කොටෙත් ඇදගෙන වරෙං සුදෝ.....

      Delete
  24. මාත් ඔය ගමන කීප වාරයක්ම ගිහින් තියෙනවා පොඩි කාලෙ. නැරඹුම් මැදිරියේ යද්දි කෝච්චිය පිටිපස්සට යනවා වගේ දැනෙද්දි මට ඒ කාලෙ ඒක අමුතුම අත්දැකීමක් උනා. මේ ළඟදිත් ගෙදර අය එක්ක ආයෙත් කෝච්චියේ ඔය ගමන යන්න හැදුවත් මාසෙකටවත් කලින් ටිකට් වෙන්කරගන්න ඕනි කියල දැන ගත්තම ඒ අදහස අතැරගන්න උනා :(

    ReplyDelete
    Replies
    1. ඉතින් මාසෙකට කලින් ටිකට් වෙන කරගන්නකෝ. ඕක දැන් කරන්න පුලුවන් ෆෝන් එකෙන්. මොබිටෙල් හොට් ලයින් එකක් තියෙනවා මම හිතන්නේ.

      Delete
  25. මාත් යන්න හිතන් ඉන්නවා බලමු ,ලංකාවේ ලක්සනම රෙල් පාර කයලා නේ කියන්නෙ ,ඒ කියන්නෙ පාර නෙවෙයි මගදිගට බලන්න දෙවල් තියෙනවා කියලා

    ReplyDelete
    Replies
    1. මට නම් ලංකාවේ ලස්සනම පාරක් තමයි මේක. මම මාර ආසයි ඕකේ රේල් හයික් එකක් යන්න. කොහෙද ඒක සෙට් කරගන්න අමාරුයිනේ.

      Delete
  26. මට ප්‍රශ්ණ දෙකක් තියනව..මෙන්න අංක එක..

    මොකද බං අර උඹල දෙන්නගෙ මූණු? අර මොනවද කාපු රිලව් වගෙ :D

    ( වැදගත් - -මම අදහස් කලේ කුඩු මිරිස් කාපු රිලව් වගේ කියන එක හොඳද? )

    " කවදාමේ ගෝත කරුමෙං ගැලවෙන්ටද අප්පා? "උඹේ මූණෙං මට පේන්නෙ මල්ලි උඹ එහෙමයි හිතන්නෙ..

    දීපගෙ මූණෙං කිව්වැකි එතුමී හිතන්නෙ මෙහෙම කියල......" මේ බ්ලොග් එකක් කියල මඟුලක් ලියන්ට අරගෙන මේ මිනිහගෙං තියන වදයක්.යස අගේට ගෙදරට වෙලා රිලැක්ස් එකේ ඉන්ට තිබ්බ එකනෙ මේ බෑ කියද්දි ඇදගෙන ආවෙ බ්ලොග් පෝස්ට් එකකට හොඳ කතාවක් හොයාගන්ට ඕනය කියල. අම්මාපල්ල අපෙ තාත්ත කොච්චර නං ඒ කාලෙ කිව්වද? දුවේ ඔය මිනිහගෙ මූණ නං මට අල්ලන්නෙම නෑ.. කියල..කොහෙද ඉතිං කරුමයක් තියේනං ගෙවන්ටම එපාය "

    මෙන්න මල්ලි ප්‍රශ්න අංක දෙක.....

    මම මේ හරිම ආසාවෙන් ඉන්නෙ ඊලඟ කෑල්ල දානකල් උඹ කෝච්චියෙ ඕල්ටර්නේටරේ බුරුල් කලේ කොහොමද කියල බලාගන්ට. ඇත්තටම බං උඹ ඔය ගමන යන්ට කලියෙං කාගෙං හරි අහ ගත්තද ඕල්ටනේටරේ තියන තැන? අනික තැන අහගත්තමයි කියමුකො ඒත් උඹ කොහොමද බං ඩ්‍රයිවර්ට මාට්ටු නොවී ඕක කලේ? අම්මාපල්ල උඹ තමයි දවසකටවත් පුතය. හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. මොකක්ද බොලේ මේ ඕල්ටනේටර් කතාව.

      Delete
    2. අංක එකට උඩ උත්තර දීලා තියෙනවා. උමලගේ මූණු මොනවා කාපු රිලව්ද කියලා බලන්නවත් උඹලා ෆෝටෝ එකක් දානවයැ?

      අංක දෙක: මම මේවට සැලෙන්නේ නෑ මල්ලි. අර කාලෙකට පස්සෙ ඇවිත් එකෝම එක කොමන්ට් එකක් දාපු නවමට උඹ මෙහෙම කිව්වාම ඌ සැලුනේ නැත්නම් මම මොකටද මේකට සැලෙන්නේ.

      මේන්න උපුටා ගැනීම http://ranrandil.blogspot.com/2014/03/249-14.htmlගෙන්

      Nawamamawatha,

      අම්මට උඩු නයා..මේ අපේ නවමාබිදානයා නේද? කොහෙද බොල ගිහිල්ල හිටියෙ? තෝ නැතුව අම්මාපල්ල මර පාලුවෙං මම හිටියෙ..කොටිම්ම පිස්සං කොටුවෙං පැනල ගෙදර ආහම බං අර එක පිස්සෙක්වත් නැතිඋනාම වටේ ඉන්න එවුං ඔක්කොම හොඳ සිහිය තියෙන එවුං උනාම දැනෙන්නෙ හිතට මහ පාලුවක්..අන්න ඒ වගේ කොල්ලො..මයෙ අම්මාපල්ල ඇත්ත.

      යකෝ අවුරුද්දකටත් වැඩිය උනා නේද?.... අන්තිමට බොට මතකෙයි අපි දෙන්න අර දවල්ට කන්ට ගියා. උඹ අර මාව එක්ක ගියෙ " අයියෙ යමං නියම තැනක් තියනව දවල්ට කන්ට ඔන්න උඹ ගෙවන්ට එහෙම සූජානං වෙන්ට එපා බිල මයෙ ගානෙ "කියල.

      ඒ කරල කාල ඉවරවෙලා මතකෙයි උඹ සාක්කුවට අත දාල " හුටා අයියෙ මයෙ පර්ස් එක දාල ඇවිල්ල නෙව ඔපීසියෙ. මොකෝ කොරන්නෙ දැං? " කියල ඇස් දෙකත් ලොකු කොරාන මා දිහාවෙ බලා උන්නු හැටි..

      ඒ වංගියෙ මම කිව්ව " කමක් නෑ බං ඒකෙ අවුලක් නෑ මම ගෙවඤ්ඤම් " කියල.

      ඒ පාර උඹ කියපි " අයියෙ චූටි මැණිකෙ අද ගෙදර එනකොට රෑ වෙනව මම හිතාගෙන හිටියෙ මෙතනිම්ම රෑට කෑම දෙහෙකුත් අරංයන්ට "කියල.

      " හරි මල්ලි අවුලක් නෑ. තව දෙකක් ගනිං "ඔන්න මම කිව්ව.

      " අයියෙ මේ…"ඒ පාර උඹ ආයෙම කෙඳිරි ගෑව.

      " ඇයි බං?..."මම ඇහුව..

      " ගෙදර බල්ලෙකුත්නං ඉන්නව. නෑ එක්කො ඌට ඕන නෑ.. "

      " නෑ.නෑ, බං එහෙම හරි නෑනෙ බල්ල උනත් ඌත පණ තියන සතෙක්නෙ. ගනිං ඌටත් එකක්. "

      ඒ පාර උඹ බල්ලටත් එකක් ගත්ත. අම්මපා මට ඒ දවස මයෙ පණ තියනකල් අමතක වෙන එකක් නෑ..හෙහ්,හෙහ්,

      Delete
    3. අඩේ බං කිව්වත් වාගෙ ඊට පස් සෙ නෑ නවමගෙ හාවක් හූවක්..මේකා පැන්න වත්ද උංගෙ ඔපිස් එක පිටිපස්සෙං බේරෙ වැවටවත්...නෑ එහෙම වෙන එකක් නෑ. ඕකට ඔව්වයෙ ගාණක් නෑ. අර චූටි මැණිකෙගෙ තාත්ත ඕකට පස් පඩංගුවෙ බයින විදිහට මෙව්ව මොනවද? නතිං...

      Delete
    4. ඩූඩ් අයිය කොහොමද ඒකටත් එක්ක අපෙ මුණු

      Delete
  27. උදේ පාන්දර ඇහැරලා ගමනක් පිටත් වෙන එක හරිම සුන්දර අත්දැකීමක් තමයි..

    ඩූඩ්ට මතකද මම ලියපු පොළඟ පරාදයි කතාව. ඒකෙ අපි බදුලු ගියෙත් කෝච්චියේ.. රාත්‍රී තැපැල් දුම් රියෙ. හැබැයි හිටගන යන්නවත් ඉඩ නැති තරම් සෙනග. පස්සෙ කොහොම හරි දඟලල දඟලල දොරක් අයිනට පැන ගත්තා. ඒ සී කළා වගේ තමා.

    මම හිතන්නේ සුද්දොත් ට්‍රිප් යන්නේ ඔය වගේ වැටුන තැනක වැටිලා නිදා ගන්න බලාගෙන. හැමපහසුකමක්ම බලාගෙන ට්‍රිප් ගියාම චොර වෙනවා..

    ආසයි ඔහොම ට්‍රිපක් යන්න. ඒත් වගකීම් වැඩියි බන්. ඒක හින්දා දැම්ම බැරිවෙයි..

    ReplyDelete
    Replies
    1. හරිම සුන්දර දෙයක් තමයි සෙන්නා. හැබැයි යන ගමන අනුව. මෙහෙ ඉඳලා ගෙදර යන්න ඉදෙන් නැගිටින එක සුන්දර අත්දැකීමක්. ගෙදර ඉඳලා මෙහෙ එන්න නැගිටින එක මරන්නා වගේ වැඩක්.

      වගකීම් ඉවර වෙච්ච දවසක ට්‍රිප් යන්න හිටියොත් යන්න වෙන්නේ නෑ සෙන්නා.

      Delete
  28. ගම්පහ ස්ටේෂන් එක කාලෙකට පස්සෙ දැක්කා,උඹල තාම මීරිගම හරියෙනේ බං,ඔය කුඹුරු යාය පැල එහෙම මට මතක හැටියට.බදුලු යද්දි රෑ වෙනව බං,මං පොඩ්ඩක් නිදාගන්නව බදුල්ලට ගියාම ඇහැරෝපන්.

    ReplyDelete
    Replies
    1. උඹ මාර පොරක්නේ හැලපේ. මෙතන ගමනාන්තයෙන් ඇති වැඩක් නෑ, ගමන මිසක්. :D

      Delete
    2. //ගමනාන්තයෙන් ඇති වැඩක් නෑ, ගමන මිසක්//

      පට්ට කතාව. හුඟක් මිනිස්සු ජීවිතේ වරද්ද ගන්නෙ ඔන්න ඔය ටික තේරුම් නොගෙන...

      Delete
    3. සහතික ඇත්ත....ගමනාන්තය සහ ගමන....මේක ජීවිතයට සම්බන්ධයි.

      Delete
  29. මමත් ගෙහුං තියෙනවා ඔය ගමන, පටන් ගත්තේ වේයන්ගොඩින්. හැබැයි රෑ, ඒකියලා විනෝදේ අඩුවක් තිබුනේ නෑ. අපි තුන්දෙනා විතරනේ. ඊලඟ ගමන උදේ ගෙහුං බලන්ට ඕන.

    ReplyDelete
    Replies
    1. ආයෙම පලයං උදේක. රෑට කිසි දෙයක් පේන්නේ නැති හන්දා කිසි වැඩක් නෑ.

      Delete
  30. මරු ට්‍රිප් එකක් තමයි ඕක..කොච්චර ගියත් එපා වෙන්නෙ නැහැ බන්..

    ReplyDelete
    Replies
    1. ඔව්, උඹේෂ්. එපා නොවෙන අත්දැකීමක්.

      Delete
  31. "දුම්රිය මාර්ගයේ වැඩ කරන්නන්ට වැදී තුවාල විය හැකි යම්කිසි දෙයක් දුම්රිය ජනේල වලින් පිටතට විසිකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි." අලුත් කෝච්චි වලත් ඒක ගහලා තියෙනවද..? :)

    ReplyDelete
    Replies
    1. කෝච්චියක් යන වෙලාවට දුම්රිය මාර්ගෙ වැඩකරන එවුවො ඒ කෝච්චියට අහුුවෙන්නෙ නැද්ද? :D

      Delete
    2. මට ඒක හොඳට මතක තියෙන්නේ සමහර පෙට්ටිවල ඒක සූරලා හදලා තියෙනවා ""දුම්රිය මාර්ගයේ වැඩ කරන්නන් දුම්රිය ජනේල වලින් පිටතට විසිකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි." කියලා :D

      Delete
    3. ඇයි "හදිස්සියක් නම් දම්වැල අදින්න". අපි කෝච්චියේ යන්නේ නැති වෙලාවටත් ඕක කියනවා.

      Delete
    4. ඒ දැන්වීම නම් දැන් නෑ මම හිතන්නේ. මම කියන්නේ මේ කෝච්චියේ. මට ඔය ජනේල කියන එක පේන්නෙම ජතේල කියලා.

      Delete
  32. අවුරුදු ගානකට ඉස්සර මාස හයකටත් කලින් ඉඳලා බුක් කරලා අපිත් ගියා නැරඹුම් මැදිරියෙ බදුල්ලට...ඒක නම් අමතක නොවනම ගමනක් අප්පා...ආයිමත් යන්ඩෝනි..

    ReplyDelete
    Replies
    1. ඉතින් ආයෙ පලයං හොම්බ දිග කැමරාවත් අරන්.

      Delete
  33. ඩූඩ් අයියා අපේ ගමටත් ඇවිත් තියෙන්නේ කෝච්චියේ , හැබැයි මමනම් ගෙදර යන කවදාවත් කෝච්චියේ ගියේ නෑ. බස් එකේ පැය හයක් යන එක පැය දොළහක් යන එක අනිවා නේ .. හැබැයි යාලුවෝ අපේ ගෙදර යනකොට මුන්ට යන්න ඕනෙම කෝච්චියේ ,මම බස් එකේ ගිහින් ස්ටේෂමට එනවා අරුන්ව එක්ක යන්න..හැබැයි දවසක් බැච් එකේ කෙල්ලෝ ටිකක් අපේ ගෙදර ආපු දවසේ නම් උන එක්ක කොච්චියේ ආවා ,නැත්තම් පවුනේ අප්පා කියලා

    ReplyDelete
    Replies
    1. ඉවාන් ඉන්නේ බදුල්ලෙද? උඹලට වෙලා තියෙන්නේ දෙවේලේ දකින කුකුලගේ කරමලේට වෙච්ච දේ.

      Delete
  34. ශා….මම ආවහමත් යමු…..හරිම ශෝක්…. :))

    මෙහෙ කෝච්චිත් හරිම සැප පහසුයි….. y-)

    අපේ පවුල කවදත් ඉතින් ගමන් යන්න හරිම කැමතියිනෙ c-)

    ලස්සන ෆොටෝස්…..තුන් දෙනාම හරිම විනෝදෙන්….. w-)

    ReplyDelete
  35. ඔව් ඩුඩ් ගොඩක් අත ඇරිල තමයි....මම ඊයේ කියවලනෙ අද ක්කමෙන්ට් කලේ......ඔයගොල්ලන්ගෙන් ඉගෙන ගෙන මමත් හරිම අකමැතියි කාටවත් කරදරයක් වෙන්න :D

    ඉක්මනටම ඉතුරි ටිකත් ලියන්න....ලස්සනට ලියල තියෙනව h-)

    ReplyDelete
    Replies
    1. ඔව්, යං. ඔව් ලෝකේ දිගම කෝච්චි ගමන තියෙනේ ඔහේ නේද. මොස්කව් සිට සයිබීරියාව හරහා ව්ලැඩිවොස්ටොක් දක්වා යන. Trans Siberian
      ඒ ඡේද ටික නැතුව කියෙව්වාම මොනවගේද කියලා මම කල්පනා කලේ.

      Delete
  36. වතාවත් අයියා මාවයි බබාවයි එක්කරං බදුළු ගියා කෝච්චියේ. ආයෙත් යන්න හිතුනා මේක කියවද්දි.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔය ඉන්නේ සරා. ආයේ යන එකනේ තියෙන්නේ.

      සරා නැතිව හිටිය කාලේ, නංගි බබත් අතුරුදහන් වෙලා හිටියනේ.

      අඩේ දැන් සිංහල ෆොන්ට් එක තියෙනවා නේ?

      Delete
  37. කෝච්චියේ ගමනට මමත් හරිම ආසයි. අපේ ගෙදරට යන්න ඕනේ කොළඹ මාතර මුහුදුබඩ මාර්ගය දිගේ. නවීකරණය කරපු මුහුදුබඩ මාර්ගයේ බස් වලට වඩා ඉතා ඉක්මනට දුම්රියෙන් යන්න පුළුවන්, බස් වලට වඩා වියදමත් අඩුයි, ඉතින් දැන් හැම කෙනෙක්ම යන්නේ දුම්රියේ. කොච්චර තද බද උනත්, "හිටගෙන ගියත් සැපයි" කියල හැමෝම කෝච්චියේ යන්න පටන් අරන්.
    ඇත්තටම දැන් දුම්රිය සේවය දියුණුයි. අලුත් සාගරිකා, රුහුණු කුමාරි, ගාලු කුමාරි දුම්රිය ඉතා පිරිසිදුයි. රස්තියාදුවක් නැහැ, හරිම ඉක්මන්.
    අපේ තාත්තට වොරන්ට් තිබුණු නිසා අපිත් දියතලාවේ, අනුරාධපුරයේ ඇවිද්දා දුම්රියෙන්, නමුත් බදුලු යන්න නම් බැරි වුනා. කැම්පස් එකේ යාළුවො නම් ගොඩක් කල් ඉඳන් කිය කිය ඉන්නවා කෝච්චියේ බදුලු යමු කියල, මේක දැක්කම ආසාව වැඩි උනා වගේ.
    හැමෝම කියනවා වගේ, ඔබ දෙපලට හරිම මහන්සි පාටයි අර පින්තූරේ :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මානවිකා. අපි කල්පනා කලා හැම නිවඩුවටම එක කෝච්චි ගමනක් යන්න. මුහුදුබඩ මාර්ගයෙත් යන්න ඕනේ. නමුත් බදුලු පාර තමයි මගේ ප්‍රියතම.

      Delete
  38. අඩේ කොහෙද උඹ මේ දාන පොටෝ දැක්කම කියන්ට ආපු එව්වත් අමතක වෙනව නෙව. :D

    අපි කලින් හිටියෙ අපෙ උන්දැගෙ ඉස්කෝලෙ ගුරු නිවාසෙ. ඒකෙ මිදුලට බැස්සම මචං මේ ඉස්සරහ අත දික්කලා වගෙ පේනව බදුල්ල කෝච්චි පාර. ඒ කාලෙ උඩරට මැණිකෙ කොළඹ ඉඳල බදුලු යද්දි ඇවිල්ල නවත්තන්නෙ හරියටම අපෙ ක්වාටර්ස් එක ඉස්සරහ. ඊට පස්සෙ ගහනව විනාඩි දෙකක විතර හෝන් එකක්. ඒ කරල රිවස් කරනව පේරාදෙණිය ස්ටේෂන් එකට. ඊටත් පස්සෙ මිනිස්සුත් පටවගෙන ආපහු යනව හූ කියාගෙන බදුලු. " උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක "

    ඔය වෙලාවට ගෙදර හිටියොත්, ඒ කියන්නෙ දවල් දොළහට වගෙ... මම අනිවාර්යයෙන් ඔය සීන් එක බලන්ට එනව මිදුලට.අපෙ උන්දැ මට ඒක මේක කියනව. " ඔයාට ඉතිං ඔය උඩරට මැණිකෙ රිවස් කරන එක බැලුවෙ නැත්තං නින්ද යන්නෙ නෑනෙ. " හෙහ්, හෙහ්,

    පොඩි මැණිකෙ ( කොටුවෙන් මම හිතන්නෙ උදේ හයට වගෙ එන්නෙ...) ඔය සෙල්ලං දාන්නෙ නෑ. කෙලින්ම නුවර ගිහිල්ලයි ආපහු එන්නෙ. උඹ පේරාදෙණියෙ කාලයක් හිටපු නිසා මම හිතන්නෙ උඹට තේරෙනව ඇති මම කියන්නෙ මොකක්ද කියල..

    දැනට අවුරුදු හය හතකට ඉස්සරවෙලා ඔය සීන් එක නැවතුනා. පේරාදෙණිය- පැණිදෙණිය පාර හරහා ඕවර්හෙඩ් බ්‍රිජ් එකක් දාල පොඩි ප්ලැට්ෆෝම් එකක් හදල බදුල්ලට යන මඟීන් ඒ පාලමෙන් ඇවිල්ල කෝච්චියට නගින්ට කටයුතු සැලස්සුව දුම් රිය දෙපාර්තමේන්තුවෙන්. තවම මම හිතන්නෙ ක්‍රියාත්මක වෙන්නෙ ඒ වැඩ පිළිවෙල වෙන්න ඕන. මේ පාර කොහොමද උනේ මචං?.... උඹල ගිය කෝච්චිය පේරාදෙණිය ස්ටේෂන් එකට රිවස් කලේ නෑ නේද?

    හැබැයි කොහොම උනත් ඒ පාලං වැඩෙං බදුළු කෝච්චි ගමනෙ එක නොමියෙන මතක සටහනක් අහිමි උනයි කියලයි මට හිතෙන්නෙ. අර උඩරට මැණිකෙ එක දිගට හෝන් එක ගහල ඊට පස්සෙ පේරාදෙණිය ස්ටේෂන් එකට රිවර්ස් කරන එකේ තියනව පට්ට රොමෑන්ටික් ගතියක්. ඒක හරියට අර දෙමෝදර ස්ටේෂන් එක යටිං ආපහු කෝච්චිය යනව වගෙ එකක්.

    ReplyDelete
    Replies
    1. ///ඔයාට ඉතිං ඔය උඩරට මැණිකෙ රිවස් කරන එක බැලුවෙ නැත්තං නින්ද යන්නෙ නෑනෙ. " හෙහ්, හෙහ්,/////
      උඹට ඉතින් මැණිකේ කෙනෙක් රිවස් කරනවා නම් ඒක උඩරටද පහතරටද කියලා අවුලක් නැහැනේ නේද?

      Delete
    2. අපි ගියේ පොඩිමැණිකෙගේ මචං. ඒක කෙලින්ම නුවරට ගිහින් ආපහු එනවා. උඹේ කමෙන්ට් එකෙන් සුපුරුදු විදියට පෝස්ට් එකේ රස වැඩි වුනා.

      උඹටත් ඉතින් මැණිකේ කෙනෙක්ගේ පස්සක් දැක්කොත්...

      Delete
    3. උඩරට මැණිකේ රිවස් කරන එක මමත් දැකලා තියේ... :D

      Delete
  39. රජදහනි කියලා එකක් ගැන මම පොස්ට් එකක් දැම්ම මතක ඇති. පහුගිය වතාවේ ඇල්ල ඉඳලා කොළඹට ආවේ ඒකෙ. එක ගමනක් නම් කෝච්චිය ඔහියේ කැඩිලා හිටියා එලි වෙනකං.

    ReplyDelete
    Replies
    1. රාජධානි එක ගැන මම කියෙව්වා බ්ලොග් එකක. ඒක කැඩිලා හිටියා? හපොයි!

      Delete
  40. මොනව උනත් මේ කතාව මුල ඉදන් අගට යනකම් බලන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් අයිය ඇත්තටම ඔය ගමනට සාමාන්‍යෙයන් දින කීයක් විතර ගියාද. මං මේ අහන්නෙ අපිටත් යන්න පුළුවන්ද කියල බලන්න.මොකද මොනව කරන්නත් අපිට කාලෙ එපැයිනෙ

      Delete
    2. වැව්, උඹටත් යන්න පුලුවන්. ඇත්තටම තර්ක් ක්ලාස් එකේ කිසි අවුලක් නෑ බුක් කරලා ගියාම. අපි නම් බං පිස්සු ගමන්නේ යන්නේ. ඔය විස්තර කරලත් තියෙන්නේ. අද ගියා. හෙට ආවා. අපිට වෙන වැඩක් තිබ්බේ නෑ. ගමන විතරය අපි බලාපොරොත්තු වුනේ.

      Delete
  41. ඊරිශියාව කියන්නේ ලෙඩක් කියලා මම දන්නවා. ඒ වුනාට තොපි මෙහෙම ඒවා දානවද නරියෝ?

    මම අවුරුදු දහයකින්වත් කෝච්චියක ගිහින් නෑ වෙන්න ඕනේ. නානුඔයට විතරයි ඔය වගේ කොච්චියෙන් ගිහින් තියෙන්නෙත්. අප්පා ඒක නම් පට්ට ෆන් ටුවර් එකක්. රෑ අපි ගියේ මේල් එකක වෙනන් ඕනේ. සීට් බුක් කරලා. පෙට්ටියම අපිට. එනකොට නම් ඔබ්සර්වේසන්. මට වඩා මගෙ මෙහේ යාළුවෝ එක්ක තමයි කෝච්චියේ බොහෝ මිනිස්සු හිතවත් වුනේ. උදේ පාන්දර කෝච්චියෙන් බැහැලා නුවර එලියට අපිට ට්‍රාන්ස්පෝට් දුන්නෙත් තරුණ දෙමළ දොස්තර කෙනෙක්. එයාලගේ ගෙදරින් බීපු රසම රස කිරි එක මට ජීවිතේටවත් අමතක වෙන්නේ නෑ. එයාලගේ ගෙදර අය ඒ කාලේම ලංකාවෙන් ගියා. හප්පා මතක කෝටියයි.
    ආයෙ අකවදාහරි යන්න ඕනෙ අගමනක් තමයි මේ ...

    ReplyDelete
    Replies
    1. Join the club, Rangi. අපිත් අවුරුදු දොළහකින්වත් කෝච්චියක ගිහින් තිබ්බේ නෑ. ඉතින් ආයෙ ලංකාවට ගියාම පලයංකෝ මේ අහිංසක මට ඉරිසියාකරකර ඉන්නේ නැතුව.
      ඇත්තෙන්ම මේ ගමන උඹ ගිහින් මම විස්තරේ කියෙව්වත් මටත් පට්ට ඉරිසියා හිතෙයි තමයි. Some good things in life are not that much expensive or hard to get.

      Delete
  42. මචං.. උඹ අර ගම්පහ ස්ටේෂන් එකේ ෆොටෝ එක අරන් තියෙන්නේ "පරණ ගාඩර්" එකේ ඉඳලා නේද? අපි දන්න කාලේ ඉඳලා හැමෝම ඕකට කිව්වේ 'ගාඩර්', කොහෙන්ද ඒ වචනේ ආවේ දන්නෙ නෑ. එක්දාස් නමසිය ගණන්වල ගම්පහ කෝච්චි දෙකක් එකට හැප්පුණා. එකක් නවත්තලා තියෙද්දි තව එකක් ඒකෙ ඩ්‍රයිවර්ට නින්ද ගිහින් ඇවිත් පිටිපස්සෙන් හැප්පුණා. ඕක සිද්ධවුණේ මහ පාන්දරක, ස්ටේෂමේ ඉඳලා කි.මී. 1-2 වගේ ඉන්න අපිටත් ඒ සද්දේ ඇහුණා. එකකොච්චියක් උඩ ගිහින්, ගාඩර් එකෙත් වැදිලා, ඒක හදන්න උණා ආයෙත්. ගම්පහ රේල්ගේට් එක ලඟත් අනතුරු බරගණනක් සිද්ධවෙලා තියනවා. මගේ පන්තියේ හිටපු යාලුවෙකුත් මැරුණා.

    අපේ තාත්තගෙ මුල්ම ජොබ් එක රේල්වේ එකේ... මුල්කාලේ වැඩ කලේ නානුඔය. ඉතින් බදුලු කෝච්චියේ යන එන එක අපිට බොහොම සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බ කාලයක් තිබුණා. හැබැ‍යි නානුඔයට විතරයි. මම කෝච්චියේ බදුලු ගිහින් තියන එකම ගමන ගියේ 'හිටාචි' එකේ, ගම්පහ ඉඳන් බදුල්ලට, ඒ 2004 වගේ. අපේ තාත්තලට ලැබෙන වොරන්ට් එක නිසා, අපි බොහෝ වෙලාවට ආවෙ ගියේ ඔබ්සර්වේශන් ඩෙක් එකේ. ගම්පහ ඉඳන් නානුඔයට 2011දිත් ගියා, පුතාත් එක්කම. ඌ ගමන සෑහෙන ආසාවෙන් ගියා. ඒ වගේම, තත්තගේ මිත්‍රයෙක් හිටියා එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක්, ඒ නිසා මම කෝච්චියේ එන්ජිමේත් කීප සැරයක් ගිහින් තියනවා. උඹ නිදන මැදිරි වල ගිහින් තියනවද? හ්ම්ම්, මතක් වෙන දේවල් ඉවරයක් නෑ බං...

    නානුඔයෙන් ආවට පස්සෙත්, නිවාඩුවක් ගත කරන්න යනවා කියනකොටම අපිට හිතෙන්නේ නානුඔය ගැන. බදුලු පැත්තට යන කොච්චියක් නානුඔය නැවැත්තුවහම කෙලින්ම ඉස්සරහා තියෙන්නේ තරමක කන්දක්. ඒ කන්ද උඩ තමයි රේල්වේ ක්වාටර්ස් තියෙන්නේ. එතන ඉන්නකොට කෝච්චිය එන එක සෑහෙන දුරක ඉඳන් පේනවා. මොකද ඒ හරියේ කෝච්චිය යන්නේ රවුමක වගේ. එළියේ ඉඳගෙන කෝච්චි දිහා බලන එකලු මගේ පොඩි කාලේ එකම විනෝදාංශෙ. දැනටත් පොඩි එකා එක්ක තෝමස් ට්‍රැක් හදන එක මම හරිම ආසාවෙන් කරන්නේ. වැඩ කෑලි දාලා ට්‍රැක් එකක් හැදුවහම මාර සන්තෝසයක් දැනෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ගාඩර් එක? ඇහුවමයි ඔය පාලමට එහෙම කියනවා. වෙන්නත් ඇති මචං. මම ගම්පහ ඉස්කෝලේකට ගියානම් සමහරවිට දැනගෙන ඉන්න තිබ්බා.

      අපිත් මීට කලින් අන්තිමට ගිය ගමන, ඒත් බදුල්ලට, මම හිතන්නේ 2000ද කොහෙද ගියේ ඔය හිටාචි එකම රිසර්ව් කරලා දීපලගේ ස්ටාෆ් එකේ කට්ටියත් එක්ක.

      Train watching කියලා විනෝදාංසයක් තියෙනවා නේද මචං. මමත් මාර ආසයි ට්‍රේන් ට්‍රැක් එක හදලා සෙල්ලම් කරන්න. පිස්සු නේ?

      Delete
  43. ඩූඩ්......ලංකාවේ කෝච්චි මම අවසානෙට දැකපු කාලෙට වඩා හරි පිලිවෙලයිනේ බං. සෑහෙන්න වෙනසක්. මම ආසම තැනක් තමයි දියතලාව ස්ටේෂන් එක. ගිය කාලයක් මතක නැතිවුනාට..සමහර සිද්ධි මතකයි.ලස්සණ ෆොටෝ ඩූඩ්. මටත් අහන්න හිතුන ප්‍රශ්නේ අහන්නේ නැහැ...කට තියන් ඉන්න බැරි එවුන් මට ඉස්සෙල්ලා අහලා නිසා....

    හැලපේව කූද්දපන් බහින්න ඉස්සෙල්ලා ඌ තාම නිදිද කොහෙද....

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම පිළිවලයි බං. හැබැයි තවම රේල් පාරේ කුණු විසිකරලා තියෙන එක නම් තියෙනවා ඉඳ හිට. ඔය පින්තූර වලත් පේන්නේ. ඒ හැර සෑහැන දියුණුවක් මමත් දැක්කා.

      ඌ බීලාද කොහෙද නිදි. මම හිතන්නේ බදුල්ලෙදි ඇහැරවන්න කිව්වේ බාර් එකට දුවන්න වෙන්නැති.

      Delete
  44. සුන්දර ගමනක්. මම නම් නුවරින් එහාට කෝච්චියේ ගිහින් නැහැ

    ReplyDelete
    Replies
    1. මහා කලු සිංහලයෙක් වෙච්චාම යන්නම ඕනේ ගමනක්නේ. වහාම පලයං. ගමනටම රුපියල් අටසීයයි කෝච්චියට.

      Delete
  45. අපිටත් පිස්සු හින්දා රෑ බදුලු කොච්චියේ නැගල පට්ටිපොලින් බැහැල එතන ඉඳන් හපුතලේට පයින්ගියා නේව දවසක් මේ තියෙන්නේ ඒ විස්තර http://raj-rajmyblog.blogspot.com/2013/04/blog-post.html හැබැ මට මතකයි පොඩිකාලේ පාලුගම ඉස්කොලේ තාත්තලගේ ස්ටාෆ් එකත් එක්ක බන්ඩාරවෙල වෙනකං කොච්චියේ ගිය ට්‍රිප් එක ඒ කාලේ ඉස්කොලේ ප්‍රින්සිෆල් වෙලා හිටියේ අර ඉන්දොලේ නැතිවුන හමුදා නිලධාරියගේ පියතුමා ඔබතුමාට ඔහුව දන්නවද කියන්න මම දන්නැති උනත් ඒ ට්‍රිප් එක හරීම ප්‍රිතිමත් එකක් කියලා මට බොඳවුන මතකයක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් මම දන්නවා ලෙස්ලිව. මගේ හොඳම යාලුවක්. එයාගේ තාත්තව නම් මම දැකලා තිබ්බට ආශ්‍රය කරලා නෑ.

      හරිම සුන්දර මතකයක් වෙන්න ඕනේ උඹලගේ කෝච්චි ගමන, විශේෂයෙන්ම අර පයින් ගිය කොටස.

      Delete
  46. මහ රෑ 11.33 වෙලාව. මතක තියාගෙන ඉදලා කියවන්න ආවේ බදුලු කෝච්චිය ගැන. තුන් පාරක් බදුලු ගිහින් තියෙනවා කෝච්චියේ... මට හොඳටම මතක බදුල්ලට පැයක් දෙකක් තියෙද්දි පයින් ඇවිදගෙන යන ගානට හිමීට කන්දක් මුදුනේ තැනිතලාවක් අදින හරිය... හරිම ලස්සනයි. තැනිතලාවේ අලි පැටැව් සයිස් ගල් කදු තණ බිමේ මතුවෙලා තියෙනවා ඒ හරියේ.....

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ වෙලාව හරි බව උඹේ කමෙන්ට් එකෙන්ම තේරෙනවා.
      දුම්රිය චාරිකාවක රසය විඳින්න හැකි කලාකාමී හදවතක් තියෙන එකෙක් බව මම දන්නවා. තවත් කෙනෙකුට ඕක නිකම්ම සිද්ධියක් විතරයි.

      Delete
  47. කෝච්චි ගමනේ අමුතුම ආතල් එකක් තියෙනවා. ලංකාවෙ එහා කොනේ ඉඳලා මෙහා කොනට අදටත් මාසෙට සැරයක් දෙකක් කෝච්චියේ යන එන කෙනෙක් විදියට මට නම් කියන්නේ කෝච්චියේ තියෙන නිදහස් බව බස් එකේ කීයටවත් ගන්න බෑ කියලයි. ඔක්කෝමත් හරි 'පෙරිය පොරච්චීන' වෙන්නෙ ගල් පාන්දර නැගිටින එක තමා ..

    ReplyDelete
    Replies
    1. කෝච්චියේ මිනිස්සු පිරිලා හිටියත් ඒ නිදහස දැනෙනවා නේද? බස් එකක ඊට වඩා ගැස්සිලි පැද්දිලි එහාට මෙහාට විසිවීම් වැඩියිනේ. අනික ටොයිලට් එකක් තියෙන එකත් හිතට ලොකු සහනයක්

      Delete
  48. බ්ල්ලොග් එක ඔපීසියෙදිම හොරාට බැලුවට කොමෙන්ට් එකක් කොටාගන්න හැටියක් තිබුනෙ නැහැනේ. ඕං දැන් තමා වෙලාවක් හම්බවුනේ.

    "මේ කෝච්චියේ බදුලු යන්න ආසාවට කියලා කිව්වාම, උඹලා ඇස් ලොකු කරල කට ඇරගෙන බලා ඉන්නේ ඇයි, හරියට මුන්ට නම් පිස්සු කියලා වගේ? ඇයි උඹලා කවදාවත් කොහේවත් ගිහින් නැද්ද ගමනාන්තයට වඩා ගමන රසවිඳින්න?"

    මේක තමා සිරාම කතාව. කෝච්චියෙ ගමනෙ තියෙන ආතල් එක ඉතිං ආතල් එකක් විදියට තේරෙන්නේ එහෙමත් කෙනෙක්ට තමයි. ඩූඩ් කියන්න වගේ සමහර එවුන්ට නං විකාරයක්. ඒත් ඒක මට නං ලොකු ආතල් එකක්. මේ වෙද්දි මම කෝච්චි පෙට්ටි වල විතරක් නෙමේ ඩ්‍රයිවර් කැබින් එකේ, ගාඩ් පෙට්ටියේ, නැරඹුම් මැදිරියේ තිංග මැදිරියේ, බඩු පෙට්ටියේ විතරක් නෙමේ දුම් කාගෙන ගල් අඟුරු එන්ජිමෙත් ගිහිල්ලා තියනවා. ආහ් ඇයි ඔය නිල් යකාගේ එන්ජිම තියෙන කාමරේ ඇතුලෙත් මම ගිහිල්ලා තියෙනවා.

    ඒවා ඉතින් අපිටනං පට්ට ආතල් :D

    ඩූඩ්ගෙ ගමනනං පට්ට සිරා ටොප්.!!!!

    ReplyDelete
  49. කාගේ කමෙන්ට් තිබ්බත් අපේ කෝච්චියගෙන් කමෙන්ට් එකක් නැතුව මේකට ලොකූ අඩුපාඩුවක් තිබ්බේ. මමත් අර උඹ කිව්ව තැන්වල යන්න මාර ආසයි. ගාඩ් රූම් එකේ නම් ගියා. එන්ජිම තියෙන කම්පාට්මන්ට් එකටත් එබිලා බැලුවා. ඩ්‍රයිවර්ගේ කැබින් එකේ නම් යන්න බැරි වුනා. ඒකත් කරන්නම ඕනේ දෙයක්

    බොහෝම ස්තුතියි චන්දිකයා. :D

    ReplyDelete
  50. [box] කියවන්න ගත්තා.[/box]

    ReplyDelete
    Replies
    1. කියවන්නද, බලන්නද?

      Delete
  51. ඔන්න මං අද තමයි මේ සීරීස් එක කියවන්න යන්නෙ. මාත් ගුරු ගෙදර ගියා බදුලු කෝච්චියෙ නානු ඔය දක්වා. හෙන්රි ලියල තියෙන

    (වානේ රෝද වානේ පීලි වල දුවන කොට ඇහෙන "ටක ටකස්, ඩග ඩගස්" සද්දේ අහන්න. අර කෝච්චිය පහු කරගෙන යන භූ විෂමතාව අනුව වෙනස් වෙන කෝච්චි එන්ජිමේ ඝෝෂාව අහන්න. කෝච්චිය බිම්ගෙයක් තුලින් දුවද්දී දැනෙන ඩීසල් දුම් සුවඳ (හෙහ් හෙහ් සුවඳ, ඈ?) වගේම බිම් ගේ පහුවෙනකල් ලොකු පොඩි ගෑණු පිරිමි බේදයක් ඇතුව ජනේලයෙන් ඔලුව එලියට දාලා නරි වගේ හූ කියන්න.)

    ඔය දේවල් මාත් ඒ විදියටම රස වින්දා.

    ReplyDelete
    Replies
    1. ඒ විදියටම පොඩි දේවලින් ලොකු රසයක් ලබපු අය හුඟ දෙනෙක්ගේ කමෙන්‍ටුත් නිල් මානෙල් කියවන්න ඇති මම හිතන්නේ.

      Delete
  52. ඕන් අග කොටස බලල දැන් මුල ඉඳන් බලන්ට යන්නෙ.

    ReplyDelete
    Replies
    1. රයිටෝ. උඹේ කමෙන්ට් එක නොදැක පාලුවේ හිටියේ අපි හුඟ දෙනෙක්.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>