Monday, June 20, 2016

151. අසිහිය / PIT STOPS ON THE HIGHWAY

Never Leave Home Without Them!
ටූටී ඉවර බව හඟවන රතු එලිය පත්තු වෙන්න ගත්තේ කිලෝ මීටර් පහකට විතර කලින්. අනතුරු හැඟවීමට රතු එලියක් නැතුවත් ටැංකියේ පෙට්‍රල් මට්ටමත්,  ඒ වගේම සාක්කුවේ  සල්ලි මට්ටමත් අති භයංකාර විදියට පල්ලම් බැස ඇති බව මම දැනගෙනයි හිටියේ.  ඊ ලඟ පඩි දිනයට කිට්‍ටුව අතේ සතේ නැතුව යන එක,  සේවයට සරිලන වැ‍ටුපක් නොලැබෙන අපි වගේ රටවල සාමාන්‍ය දෙයක්.


මගේ කුඩා Yamaha RD50SP මෝටර් සයිකලය ගිරාඳුරු කෝට්ටේ ඉන්ධන පිරවුම් හලට හරවා.  කහපාට පෙට්‍රල් පොම්පය ලඟ නවත්තපු මම පෙට්‍රල් වලට අමතරව ටූටී ලීටරයකුත් ඉල්ලුවා. පොම්ප ක්‍රියාකරු ටූටී බෝතලයක් ගේන්න තව සගයෙකුට පැවරුවා. මම ටූටී වලට කලින්ම මුදල් ගෙවලා හිටියා.

"කීයකද?"


පොම්පේ ස්විචය පහතට දමපු පොම්පකරු ඇහුවා. 
මම අධි වේගෙන් හිතෙන් ගණන් හැදුවා.

"ලීටර් තුනයි"

ඩිජිටල් යතුරු පුවරුවට ඇන, ගාණ සටහන් කල පොම්ප කරු, නොසලය පෙට්‍රල් ටැංකියට එබුවා.  පොම්පය දුවන අතරෙදිම මම මුදල් ගෙවලා දැම්මා. සන්තෙකේටම ඉතුරු වුන සල්ලි තව පෙට්‍රල් ලීටර් එකහමාරකට නම් යාන්තම් ඇති බව දැකලා මගේ හිත  බර වුනා.  ෂිහ්! මම තොල් මැතිරුවා.

පෙට්‍රල් නොසලය ටැංකියෙන් එලියට ගත් සැනින් මම පෝලිමෙන් ඉවත්ව මහා නොන්ක්‍රීට් පියස්ස යටම වෙනත් ඉඩ තියෙන තැනකට බයිසිකලය ගත්තා. පොද වැස්සක් පටන් අරන්.  ටූටී ගේන්න ගිය පිරවුම්හල් සේවකයා ගෙනත් දුන්න ටූටී කෑන් එක අතට ගත් මම ලැබුණු ඉතුරු මුදල්  ජීන්ස් සාක්කුවට ඔබා බයිසිකලම මත ඉඳගෙනම මුද්‍රාව කැඩූ කෑන් එක ටැංකියට ඇලකලා. තෙල් ටැංකියට පිරෙන ග්ලග් ගලග් හඬ නැවතී ටිකවෙලාවක් යන තෙක්ම මම  ඉවසාගෙන සිටියේ අන්තිම බිඳු කීපයත් ටැංකියට වෑහෙන තෙක් අරපිරිමැස්මෙන්. අවසානයේදී හිස් බඳුන කුණු බක්කියට විසි කර දැමූ මා, පයින් ඇන එන්ජිම පණගන්වාගෙන, වාහනය දෙහිඅත්තකණ්ඩිය මහියංගනය මහා මාර්ගයට නැවත ඇතුල් කර, පොද වැස්සේම මහියංගණය දෙසට ධාවනය කලා.

මගේ ගමනාන්තය වුනේ, පඩියට අමතරව කීයක් හෝ උපයාගැනීමට බිරිඳත් මාත් දෙදෙනාම බාහිර ඉංග්‍රීසි උපදේශකවරුන් ලෙස සේවය කල, හසලක රජයේ කාර්මික විද්‍යාලයයි. අප දෙදෙනා වෙනස් දවස් යොදාගෙන තිබුනේ දරුවා බලාගැනීමේ  ප්‍රශ්ණය නිසයි.  හසලක පාසැලක සේවය කල ඈ පාසැල නිමවී කාර්මික විද්‍යාලයට ගොස් දේශන පැවැත්වූවා. දෙහිඅත්තකණ්ඩියේ සේවය කල මට එහි යාම දිස්ත්‍රික් තුනක් හරහා කෙරෙන වෙනම දිගු ගමනක් වුනා. මහනුවර දිස්ත්‍රික්කය තුල පිහිටි හසලකට, අම්පාර දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකණ්ඩියේ සිට යාමට සිදුවූයේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ගිරාඳුරුකෝට්ටේ හරහා.  


එක්දාස් නවසිය අනූඑකේදී ගුරු වැ‍ටුපත් සමඟ සසඳද්දී, දීපාට දිනකට බස් වියදම පමණක් රුපියල් හතලිහක් වැනි අධික ගණන වීම ආර්ථිකයට එල්ල කලේ මරු පහරක්. ඇත්තෙන්ම දිනක් නිවාඩු දැමීමෙන් සෑහෙන මුදලක් ඉතිරි වුනේ  නිලධාරීවාදයට පින්සිදුවෙන්නටයි.


See the route stretches through three districts, Ampara, Badulla and Central, and through three provinces Eastern, Uva and Central. Sit back and enjoy the ride, dudes.

මෝටර් සයිකල් එන්ජිම හදිසියේම වරක් ගැස්සුනා. මොහොතකින්, දෙවනවරටත් ගැස්සුනා. ඉන් පසුව කහිමින්, හුස්ම හිරවී දඟලා නිහඬ වුනා.

"පිස්සුනංකෙළින්නෙපා මගෙ බුදු එන්ජිම."

පොද වැස්ස මේ වන විට නව යොවුන් වියට එළඹ තිබුනා.

"මොකක්ද වෙන්න ඇත්තෙ?"

ආසනයේ මත හිඳගත්වනම මම දෙපා බිම ගසා, බයිසිකලය දෙපසට ගස්සා ටැංකිය තුල පෙට්‍රල් බස බස ගා කැලතෙන හඬට ඇහුම් කන් දුන්නා. ඉන් පසු නැවී දකුණුපස පැති කවරය පසුපස ආසනය යටට වනසේ සවිකර ඇති සුදු ප්ලාස්ටික් ටූටී ටැංකිය  දෙස එබී බැලුවා.

"මොනවා? ටැංකිය හිස්! යකෝ එතකොට මම දැං අරං දැම්ම  ටූටී ලීටරේට මොකද වුනේ? හුටා! කෙළලා නේද තාප්පෙටම!"

මම වහාම පෙට්‍රල් මූඩිය ඇර, ටැංකිය  ඇතුලට එබී, කිසිසේත්ම පිරිසිදු පෙට්‍රල් විය නොහැකි අඳුරු පැහැයට කැලතෙන  ද්‍රාවනය  දෙස තැතිගැන්මෙන්  බලා සිටියා. මම වෙන කල්පනාවක් පිට , ටූටී ලීටරයක් පෙට්‍රල් ලීටර් තුනකට මිශ්‍ර කරලා.

මං වගේ බූරුවෙක්! මම මටම සාප කරගත්තා. ටූටී  ටැංකියට ටූටී දාන්න හරි නම් බයිසිකලයෙන් බැස ආසනය  ඉහලට එසවිය යුතු වුනත්, මම ටූටී දැම්මේ ආසනෙයේ ඉඳගෙනම නේදැයි මට මතක් වුනේ ඒ වෙලාවෙයි. කාලා වරෙංකෝ! දැන් මේ තෙල් අධික පෙට්‍රල් පිච්චිලා, ස්පාර්ක් ප්ලග් වල ඉලෙක්ට්‍රෝඩ් තුඩු දෙක අතරේ කාබන් ඉල්ලමක් බැඳිලා, අධිසැර  ගිණි පුලිඟුව අකා මකා දමන නිසා එන්ජිම නැවතිලා.
පැති කවරය පන්නා ඒ තුල වූ ආවුද කට්ටලය ගත් මම, ප්ලග් බොක්ස් එක ආධාරයෙන් ප්ලග් එක ගලවා අතට ගත්තා. හිතුවා වගේම ඉලෙක්ට්‍රෝඩ තුඩු අතර කාබන් කුට්ටියත් සෑදී තෙල් වලින් තෙතබරියම් වී තිබුනා. මම කුඩා කියත් පටි කෑල්ලකින් තුඩු හැකිපමණ පිරිසිදු කර ආවුද ඔතා තිබූ රෙදි කැබැල්ලෙන් තෙල් පිසදා ඉවත් කලා. ඉන් පසුව ප්ලග් කැප් එකට ප්ලට් එක රිංගවා ප්ලග් එකේ  යකඩ බඳ එන්ජිමේ ගාවා එන්ජිම කික් පැඩලයෙන් කැරකෙව්වා. ටික්-ටික්-ටික් හඬ නගමින් මතුවූ නිල් පැහැති ගිණි පුලිඟු දැක සැනසුම් සුසුමක් හෙලූ මා, ප්ලග් එක නැවත සවිකරගෙන , ආවුද කට්ටලයත් අසුරා තිබුණු තැනම රඳවා බයිසිකලය පණගන්වාගෙන නැවත පිටත් වුනේ හසලකට ලඟාවීමට පෙර, මේ ආකාරයටම මේ ප්‍රතිකාරය තවත් නොදන්නා වාර ගණනාවක් සිදු කරන්නට සිදුවෙන බව සිහි කරමිනුයි.

මෙවැනි අවස්ථාවක කල හැකි එකදෙයක් නම්, අවම වශයෙන් තවත් පෙට්‍රල් ලීටර් තුනක් පමණ ටැංකියට පුරවා ද්‍රාවණයේ සාන්ද්‍රනය අඩුකර ගෙන අතරමග නතරවීම් සීයට පණහකින් පමණ අඩුකර ගැනීමයි. නැතිනම් ටැංකිය හිස් කර අලුතින් පෙට්‍රල්  පුරවා ගැනීමයි.  එවිට ටූටී ප්‍රශ්ණයත් නැවත බලපානවා.  මේ විකල්ප දෙකටම ඉන්ධනහල් අතර ඇති අධික දුර ප්‍රමාණයට අමතරව, මා අත ඉතිරි වී ඇති මුදල් ප්‍රමාණයත් තදින්ම බලපෑවා. මා අත ඉතිරිවී තිබූ මුලු මුදලම සූරාගත්තත් තව පෙට්‍රල් ලීටර් එකහමාරකට යන්තම් සෑහුනත්, පාලු පාරක කෙරෙන මෙවැනි දුර ගමනකදී එවැනි අවදානමක් ගැනීම නුවණැති ක්‍රියාවක් නොවේ. 



Two stroke නැතිනම් දෙපහර එන්ජින් වලට,  පෙට්‍රල් වලට ලිහිස්සි තෙල් මිශ්‍ර කර භාවිතා කරන බව ඇත්ත.  විශේෂයෙන්ම පැරණි මෝටර්සයිකල් එන්ජින්වලත්, ඉන්දියානු ත්‍රිරෝද රථවලත් කෙලින්ම පෙට්‍රල් ටැංකිය තුලට එක්තරා අනුපාතයකින් ලිහිස්සි තෙල් මිශ්‍ර කලත්,  විශේෂ ලිහිස්සි තෙල් වූ ටූටී සඳහා වෙනම ටැංකියක් තිබෙන  නවීන දෙපහර එන්ජින් මෝටර්සයිකල්වල, එන්ජිමෙන් දුවන තෙල් පොම්පයක් මගින් තෙල් දුමාරයක් සේ ඉන්ලට් මැනිෆෝල්ඩය තුලට විදිනවා . පෙට්‍රල් වල තෙල් මිශ්‍රවී තිබීම එවැනි එන්ජිමකට දරාගත හැකි වුවද, එසේ විය යුත්තේ යම් අනුපාතයකටය. ඒ අනුපාතය කිසිසේත්ම 3 :1 නම් වෙන්න බෑ. මා මෙවැනි ගොන්, තකතීරු, වැඩක් කලේ ඇයි? මා දිගින් දිගටම මා කල අමණකම ගැන පසු තැවෙමින්, මටම දොස් පවරමින් වැස්සේම රිය පැදවූවා.

සිතූ පරිදිම, මඳ දුරක් ගමන් කල එන්ජිම නැවතත් කැස නතර වුනා.  අවම වශයෙන් දැන් රෝගය හඳුනාගෙන, ප්‍රතිකාරය දැන සිටි නිසා, වැස්ස බාධාවක් වුවත්, පෙරට වඩා අඩු කාලයකින් නැවත පිටත් වෙන්න හැකි වුනා.  අවසානයේ දහඩියෙන් සහ වැස්සෙන් තෙතබරිතව, මජං තවරාගෙන, හසලක කාර්මික විදයාලයට ලඟාවනවිට, කී වරක් නම් මග නතරවූයේදැයි මට අමතක වී තිබුනා.  දේශන පැවැත්වූ මුලු කාලය තුලම, ආපසු ගමන කොයි තරම් දුශ්කර වේදැයි සිතමින්  ලතැවුනත්, ගුරුමණ්ඩලයේ සගයෙකුගෙන් අතමාරුවක් කරගැනීමට හිත හදාගැනීමට මගේ ආත්ම ගෞරවයත්, ආත්මාභිමානයත් 'කන්ඩ නැතත් බෙට්ට කෙලින් මල්ලි', යන පුරාණ ඉරිසින්නාන්සේ කෙනෙක්ගේ ආප්තෝපදේසයට අනුව ක්‍රියාකල මගේ හිතත් මට ඉඩ දුන්නෙම නෑ

ආපසු පිටත් වන විට ධාරානිපාතයක් බවට පෙරලී තිබූ වැස්ස, අලුත් වැඩියා නැවතුම් අතිදුෂ්කර කාර්යයක් බවට පත් කලා.  රෑ අඳුරත්, වලාකුලින් බර අහසත් නිසා කරන දේ කලේ අතේ හුරුවට.  ප්ලග් එක පිස දමන ආවුද ඔතා තිබූ රෙදි කෑල්ල තෙල් වලට අමතරව වැස්සෙන් දියබත්වී තිබූ නිසා කලිසම් සාක්කුවල ඇතුල් පැත්තත්, අවසාන තුරුම්පුව සඳහා ඉතිරි කරගෙන තිබූ මේසුත් පාවිච්චි කිරීමට කලා.

නැවත් ගිරාඳුරු කෝට්ටේට ලඟාවනවිට කලයුතු දේ ගැන ඒ වනවිට මම කලින්ම තීරණය කරගෙනයි හිටියේ.  කෙලින්ම ඉන්ධන හලේ පෙට්‍රල් පොම්පයක් වෙත ගිය මම අතේ තිබූ සියළුම මුදල් වලට පෙට්‍රල් පුරවා ගත්තා.  ඒ දල වශයෙන් ලීටර් 1.45 පමණ වගේ වුනා, පිරවුම් හලේ කොන්ක්‍රීට් ආවරණය යට නොතෙමී හිඳිමින්,  දීප්තිමත් විදුලි පහන් එලියේ පිහිටට අමතරව සේවකයෙකුගෙන් ඉල්ලාගත් අලුත්ම වියළි රෙදි කැබැල්ලද උපයෝගී කරගෙන මම අවසන් වතාවටත් ප්ලග් පිරිසිදුකර සවිකර ගත්තා.

කික් ස්ටර්ටරය පයින් පහත් කල වහාම එන්ජිම කීකරුව පණ ගැන්වුනේ සිතට සතුටක් ඇති කරවමින්.  මෙවර එක වරක් හෝ මග නතර නොවී කෙලින්ම ගෙදර ඒමට මට හැකිවූයේ, එකක්, මුලින් පිරවූ තෙල් මිශ්‍රිත තෙල්වලින් සෑහෙන ප්‍රමාණයක් ඒ වනවිට අවසන්වී තිබූ නිසාත්, එනිසාම අලුතින් පිරවූ පෙට්‍රල් නිසා පෙට්‍රල් තෙල් අනුපාතයේ සිදුවූ අධික වෙනස නිසාත්, ප්ලග් වලට වඩා කාර්යක්ෂම දහණයක් පවත්වාගෙන යාමට ඉඩ ලැබුණු වෙන්න ඕනෙ.

අන්තිමේදි ගෙදර (ගුරු නිවාසෙ) ඇවිත් තෙත ඇඳුම් ගලවලා දාලා, මජං සෝදලා දාලා නාගෙන සාලෙ වියළිවට, උණුසුමට ඉඳගෙන තේ එකක් බොනකොට මට  ඇතිවෙච්ච සුවය කියන්න වචන නෑ.





Originally published @ HeyDude in English Language. Simulblogged @ මට හිතෙන හැටි



.

91 comments:

  1. Yamaha RD50 මරු බයික් එක චයිනීස් කොපි හිටං ආවා , එක එක වැඩදාල හදන්ඩ පුලුවන් භාන්ඩේ , අපේ කාලේ වෙනකොට ඔව්වයේ ගණන් හෙනට බැහැල , කොල්ලෝ ගත්තේ මොඩිපයු කරන්ඩමයි , ඒක්ක ම එම්බී 5 එම් බී8 එහෙම ජනප්‍රීය උනා , තව ආවා එම් ආර් 50 කියල ට්රේලක් ඒකට තිබුනෙත් ඔය එන්ජිමමයි, ඒ කාලේ ඔය බයික් අපේ හීන , තව ඉතින් මාර උනක් තිබුනා dax එකක් හරි මෙනුවල් ගියර් චැපියක් හරි ගන්න එක. චැලියක් නං පන්දාහට ගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. උඹ හරි අටං. MR50 එකෙත් ආවේ ඔය එන්ජිමම තමයි. මගෙ හීන බයික් එක ඕක නෙවෙයි. අර යටම පින්තූරෙ තියෙන සිල්වර් පාට එක. ඒ කාලෙ ඒකට යන්න වත්කමක් නැති නිසා ගන්න පුලුවන් වෙච්ච එක ඕක. මේක SP නිසා මේකෙ වටිනාකම වැඩියි. ඒ කියන්නෙ Special Edition එකක්ලු. එහෙම කියන්නෙ මම නෙවෙයි. Classic Bikes වෙබ් අඩවි. මම ඕක ගත්තෙත් මොකුත් වෙනසක් නොකර as it is නැවෙන් බාලා යාඩ් එකට දාපු ගමන්ම පුංචි බො‍රැල්ලෙ Star Agencies එකෙන්.

      Delete
  2. අපි නං පැද්දේ යමා රේල බයික්... ලෙඩක් ආවොත් පට්ටිය හංදියේ සේන අයියා ගාවට තමයි ගියේ.. බයික් කාපර්.. තාමත් පුතා වැඩේ කරනවා... ලස්සන දූලා දෙන්නෙකුත් උන්නා.. කොහෙද අපි සිකැරට් බොනවය තාත්තා වගේම කියලා බැහැයි කියලා කිව්වනේ...

    ReplyDelete
    Replies
    1. මම මුලින් XL125 එකක් ගන්න හිටියේ. පස්සෙ සිදුවුන සිදුවීමක් නිසා හිත හදා ගන්න ලේසි වුනා. ඒක ගැනත් බාගෙට ලියලා තියෙන්නෙ.

      Delete
  3. හෙන්‍ රි මම කොලොන්ගොඩ ඉන්නකොට හසලක රජයේ කාර්මික විද්‍යාලය පහු කරගෙන යනවා ; ඒකාලේ ඔබව දන්නවනම් එනවා බලන්න

    ReplyDelete
    Replies
    1. ඔය හසලක ගැන රුවන් කියන ගානෙ මට ඔය විස්තර මතක් වෙනවා. දීපා මිණිපෙත් වැඩ කලා. ඉන් පස්සෙඔය පාර අයිනෙ තියෙන ලොකු ඉස්කෝලෙ.
      ඒ කාලෙ මොන බ්ලොග්ද! :D

      Delete
    2. ගුරුළුපොත රෙස්ට් හවුස් එකට ගිහින් තියනවද? mysterious ලුක් එකක් තියෙන්නෙ

      Delete
    3. ගුරුළුපොත කිව්වාමත් මහ අමුතු ගුප්ත ගතියක් මට දැනෙනවා. නෑ මම නම් ගිහින් නෑ Pra Jay

      Delete
  4. මම හිතන්නෙ හෙන්රි අයියට වාහන අපලයි වගේ.

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ. ඔය ලියන්නෙ හොඳින් ඉවරවෙච්ච ඒවා නෙවෙයිනෙ. මොකක්හරි මතක හිටින දෙයක් වෙච්ච ඒවා විතරයි. ඔය ගමන කිසිම ඉන්සිඩන්ට් එකක් නැතුව සිය වතාවක් යන්න ඇති. ඔය බයික් එකේ තුන්දෙනා දාලා බෑග් උස්සගෙන වංගු දහ අටේ ඇවිත් ගම්පහ දිස්ත්‍රික්කෙට එනවා කිසි අවුලක් නැතුව. ඒ නිසා එහෙම අපල නෑ. හැබැයි පොලිස් අපල තියෙනවා යම් තාක් දුරකට. ;)

      Delete
  5. පුදුම අවසිහියක් නෙව!

    ReplyDelete
    Replies
    1. එකපාරක් වැරදිලා පෙට්‍රල් කාර් එකට ඩීසල් ලීටර් කීපයක් වැදුන. සුමානයක් පිටිපස්සෙන් කලු ක්ලවුඩ් කවර් එකක් තිබුන

      Delete
    2. වැරදිලා වැදුනා. මටත් ඕකමයි වුනේ.

      Delete
  6. අපේ ගෙවල් ළඟ Honda Grace (2016) කාරෙකකට, ඒකෙ අයිතිකාරයාගේ පුත්‍ර රත්නය විසින්, වතුර කියලා හිතාගෙන, වයිපර් වතුර ටැංකියට බැටරි ඇසිඩ් දාලා. සම්පූර්ණ ටැංකිය, ඉදිරිපස පසුපස වින්ඩ්ස්ක්‍රීන් වලට වතුර විදින මෝටර්, එම නල පද්ධතිය, ජපානයෙන් ගේන්න ඕනේ. හරී සනීපයි.

    ReplyDelete
  7. මොන වාහනය හම්බවෙලා පැද්දත් බයික් එකක තියන සුන්දර කටුක ආතල් එක වෙන වාහනයක නෑ.
    අපේ බොසා කියනව වගේ ඇත්තටම මෙට්ටෙ උඩ තියන්න බැරි කූඩැල්ලො. මගෙ GN 125 එක වික්කා , ආයෙ වෙන එකක් ගන්න ඕනෙ. 2T දාන බයික් වලටනම් මගෙ කැමැත්තක් නෑ..

    ReplyDelete
    Replies
    1. මමත් කැමති නෑ බං. මට ඒ වෙලාවෙ ගන්න වත්කමක් තිබ්බේ ඕක විතරයි. මම ආසා four stroke එන්ජින් වලට. ඒ වගේම ඩීසල් එන්ජින් වලට විශේෂ ආදරයක් තියෙනවා.

      Delete
  8. බොරු කියන්නේ මොකටද මාර අපහසුවකින් පෝස්ට් එක කියෙව්වේ.. මම ඔය මග දිගට කරන ගැරේජ් බාස් වැඩ වලට විතර අකමැති නැතුව ඇති මොහොකටවත්.. ගෙදර ඇවිත් නාල තේ එකක් බොනවා කියනකොට මට ඇති වෙච්චි සනිපයත් කියලා වැඩක් නෑ.. :)

    ReplyDelete
    Replies
    1. මාර අපහසුවකින් කියෙව්වා කිව්වාම මම බැලුවා මේකගෙ ඇස් වල අමාරුවක් හරි බ්,ඔග් එකේ යුනිකෝඩ් අවුලක් හරි කියලා.
      ඔය බයික් එක එහෙම මග දිගට ලෙඩ දෙන්නෙ නෑ. මේක නම් තනිකරම මගෙ වැ‍රැද්දනේ. ඒ ඇර ඔය ටයර් එකක් ගියොත්, නැතිනම් ක්ලච් කේබල් එක කැඩිලා ගියොත් ඇර වෙන කිසිම ලෙඩක් දීලා නෑ මගදි.

      Delete
  9. හි හි මටත් මුලින්ම තිබුනේ චැපියක් ........... එකෙන් කරපු වැඩ හා ගත්තු වැඩ ගැන කිව්වොත් ..........අහෝ දුකකි ඉරකි තිතකි

    ReplyDelete
    Replies
    1. මට හිතා ගත්තෑකි. කාර් එකක, පිකප් එකක, ලොරියක, වැඩ ඔක්කොම කරනවා ට්‍රැක්ටර් එකක් වගෙ හාන මඩවන ඒවා ඇරෙන්න නේද?

      Delete
  10. නියම කල්පනාවකින්නෙ වැඩේ කරල තියෙන්නෙ. ලීටරේකට මිලි ලීටර් විස්සක් විතර දාන එකේ ඔහොම දාල ඔය තත්වෙන් බේරිච්ච එක මදැයි.
    මටනං ඔය ටූටී ස්පාක් ප්ලග් කේස් එන්නෙ අර තණකොල කපන බ්‍රෂ් කටර් එකේ තමයි.

    දැන්නං ඒ බයික් එකට දෙන්න ඕන දෙතිස් වදේම දීල වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකද බං අනුපාතය? උඹ කියන්නෙ ත්‍රී වීලර් වලට එන ගානද?

      දෙතිස් වදේම දීල නෑ බං. මගෙ කොල්ලා ඕක හදමු කියලා වද දෙනවා. වෙලාව තමයි හිඟ. සයිලන්සර් එක බිම තියෙන්නේ. ආයෙ සීට් එක ඉරිලා. ඔය stickers, paint ඔරිජිනල් ඒවා

      Delete
    2. ත්‍රීවීල් වලටයි, මම කියපු මැසිමටයි දාන්නෙ එහෙම තමයි.
      ඉස්සෙල්ලනං කෑන් එකක් තියාගෙන මමම කලවං කළා. දැන්නං ෂෙඩ් එකෙන්ම දාගෙන එනව.

      Delete
  11. බයිසිකල් වලින් මම කැමතිම එකවුනේ CG 125. ඔය මහවැලියේ එහෙම 17500 දුන්නේ මුලදි.එයින් එකක් තමයි අරන් පැද්දේ. අනිත් ඒවයේ වගේ ඔවර්හෙඩ් කෑම්, ටයිමින් චේන් එහෙම නැතිනිසා ලෙඩ අඩුයි.කික් කරන්න ටිකක් පුරුදු වෙන්න ඕනෑ.තිබුන එකම අවුල තමයි ඉග්නිශන් කොයිල් එක හිටපු ගමන් පිච්චෙන එක. හෙන්රි ඔයවගේ වාහනේක යනකොට මගදි වෙන අකරතැබ්බ වලිනුත් ජොලියක් තියනව නේද? හැබැයි එහෙම වෙන්නේ තමන්ට හදා ගන්න පුලුවන්නම් විතරයි.ඉස්සරම මගේ කසින් කෙනෙක් ගත්තා මිනිහගේ පලවෙනි වාහනේ හැටියට VW Combi වෑන් එකක් 6 Volt සිස්ටම් එකක් තියන..EL 9783 තවම නොම්බරය මතකයි. හැබැයි මතක ඇති දවසක ඒක ස්ටාටර් මෝටරෙන් ස්ටාට් කරල නෑ.එක්කො තල්ලු කරලා නැතිනම් ක්‍රෑන්ක් හැඬල් එකෙන්.ඉතින් මිනිහට කොහේ හරි යන්න ඕනනම් තව තුන් හතර දෙනෙක් ඕනෑ. බොහෝ වෙලාවට රෑට එන්නේ ටොර්ච් එකක් ගහගෙන.

    ReplyDelete
    Replies
    1. මම කැමතිම වුනේ CM125T Custom එකට. CG125 වලට නම් මම එච්චර ආසා නෑ, නමුත් ඒකෙ තියෙනවා අපේ තාත්තා ගාවා තිබ්බ BSA C15 එකේ එන්ජින් බීට් එකට පොඩි නෑ දෑ කමක්. එක පාරක් ඔය එකක් හොරෙන් පැදලා කික් කරන්න ගිහින් කකුලෙ හමත් ගැලවිලා මාර දුකක් වින්දා.
      මහවැලියෙ උන්ට ඕක දුන්නා තමයි හැබැයි සමහරු ගාවා CD125 හරීයට තිබ්බා. මම හිතන්නේ ණය දුන්නාම කට්ටිය ඒවා ගන්න ඇති.

      අතරමගදි වෙන අකරතැබ්බ වල ජොලිය තියෙන්නේ ඒ වෙලාවට නම් නෙවෙයි මචං. පස්සෙ කාලෙක. වෙච්ච වෙලාවට නම් ඕන්නෑ.

      VW කතාව මරු

      Delete
  12. මම මුලින්ම පැද්දේ Honda Super Cup 70, Honda MD70, Honda MD90, Honda CB125, (මේ ඔක්කොම තාත්තගේ බයික්, හැබැයි ගෙදර දොරේ වැඩ වලට සහ කඩේ යන්න ගෙනියන්න තහනමක් තිබ්බේ නැහැ. ලයිෂන් නැතෙයි කියල අපිට පදින්න එපා කියලත් නැහැ.) මටම කියල අරගෙන දුන්නු මුල්ම බයික් එක Honda XL125, ඊළඟට යාළුවන්ගෙන් ලෝන් දාල හෙන රෝල් ටිකක් දාල Suzuki GSXR 250 එකක් ගත්තා XL එක තියෙද්දීම, පස්සේ ඒක විකුණලා සහ අම්මගෙනුත් සල්ලි ඉල්ලගෙන ණය බේරුවා...
    ඊට පස්සේ ගත්තු ජීප් කබලක් විකුණ ගන්න බැරුව ආපු ඔෆර් එක ආවේ Suzuki Dgebel 200 එකක් සහ අතට මුදලක්, ඒ බයික් එක මගේ බයික් ආසාව හොඳ කලා...
    එක්කෝ රේස් පැදලා පෙරලිච්ච එකක්, එහෙම නැත්තං හැප්පිච්ච එකක් කියල තේරුනේ පහුවෙලා...
    ඒ මදිවට පාරේ අයිනේ බොහොම හෙමින් ගියපු වෙලාවක වංගුවකදී කෙළගෙන ඇවිත් මගේ බයික් එකේ ඉස්සරහ බ්රේක් ලිවර් එකේ වද්දපු මැටි පල්සර් කාරයෙක් නිසා බයික් එකයි මාවයි උඩින් ගිහින් තාර පාරේ අතපය ගෙවාගෙන යන භාග්‍යත් හිමි කරලා දුන්නේ ඒක...
    මාස ගානක් සහ තාමත් දුක් විඳිනවා ඒකෙන්. ඒ එක්කම ඒක ආපු ගාණට දීල දැම්මා...

    පස්සේ යාලුවෙක්ගේ ගෙදර ගියපු වෙලාවක දැකපු Honda MBX 125 එකක් ගත්තා 2008 දී හරි 2009 දී හරි ගමේ ගියාම එහෙමෙහෙ යන්න...
    ඒක යාළුවා බ්‍රෑන්ඩ්නිව් අරගෙන තියෙන්නේ 1990 ගණන් වල...
    දැන් නිකන් තියෙන්නේ කිව්වම ගාන ඇහුවා, 15,000/- යි කියපු නිසා ගත්තා...
    බයික් එක පෙනුම අවුල් උනාට හොඳට තිබුනා, නමුත් මම දුර එහෙම ගියේ නැහැ...
    ඒකෙ ටුටී දාන්න වෙනම ටැංකියක් තිබ්බා, නමුත් ඒකට ටුටී දැම්මම පිච්චනවා වැඩි නිසා පස්සේ කළවම කරලා දැම්මේ...
    ඒක ගෙදර නිකන් තියෙනවා දැකල මල්ලිගේ යාළුවෙක් අරගෙන ගිහින්, දැනට අවුරුදු දෙකකට විතර කලින් දවසක ඒක අපේ ගමේ කොල්ලෙක් පදිනවා දැක්කා...
    උන් බයික් එකෙන් ගිහින් මොකක්හරි කඩප්පුලි වැඩක් කරයි කියල හිතිච්ච නිසා බයික් එක ගෙදරට ගෙනත් දාන්න කිව්වා. කොහෙද අද වෙනතුරුත් බයික් එක ගෙනත් නැහැ...

    දැන්නම් බයික් පදින්න කිසිම ආසාවක් නැහැ...

    ReplyDelete
    Replies
    1. උඹේ සම්පූර්ණ මෝටර් බයික් ජීවිත කතාවම මෙතන තියෙනවනෙ බං
      Honda MBX 125 කියන්නෙ liquid cooled එකක් නේද?
      මම නම් තාම බයික් පදින්න ආසයි. ඒකෙ තියෙන්නෙ වෙනම රසයක්.

      Delete
    2. ගියර් පහක් නේද , කුනු ගොඩක් ඒක

      Delete
    3. Dude:
      liquid cooled වගේ තමයි මතක, දැන් ලංකාවේ බයික් එකක් පදිනවා කියන්නේ ජීවිතය මරණය අතර ගේමක්...
      මම බයික් පැද්දේ ස්පීඩ් ත්‍රිල් එකට, දැන් ඒක වාහනෙන් ගන්නවා... ;)

      අටමෝ:
      කුණු ගොඩක්ද කියල දැනගන්න තරම් කාලයක් ඒක පැද්දේ නැහැ බං...

      Delete
  13. / Never Leave Home Without Them! /

    හුටා..මම පේරාදෙණියෙ ඉඳල මරදානට සහ මරදානෙ ඉඳල ආපහු පේරාදෙණියට කෝච්චියෙ ගියා හැම සතියටම හය පාරක් අවුරුදු දෙකක් තිස්සෙ. නිකම්මනෙ ගියෙ..ඔය බවක් දන්නව නං කෝච්චි ඇන්ජිමේ ස්පාර්ක් ප්ලග් එකක් සාක්කුවෙ දාගෙන යනව ( එව්වයෙ ස්පාර්ක් ප්ලග්ස් තියනවද නම් අනේ මන්ද )

    / බිරිඳත් මාත් දෙදෙනාම බාහිර ඉංග්‍රීසි උපදේශකවරුන් ලෙස සේවය කල, හසලක රජයේ කාර්මික විද්‍යාලයයි. /

    ඒයි අඩේ..මගෙ අතිජාත මිත්‍රයෙක් ඕකෙ ලෙක්චර්ස් කලා 93/94 වගෙ කාලෙ. බොලා දෙන්න ඒ කාලෙත් ඕකෙ ඉගැන්නුවය? ඉඳපං මගෙ යාලුව ඉන්නව ෆේස් බුක් එකේ. මම අහන්නං උඹ දන්නවද කියල.

    ReplyDelete
    Replies
    1. ඒවා මං හිතන්නෙ වංගෙඩියක් විතර වෙයි එකක්. මං කිව්වෙ කෝච්චි ප්ලග් ගැන. සාක්කුවෙ දාගෙන ගියෑකි එකක් දෙක වගෙ නං, මොකද ඔක්කොම සවුත්තු වෙන්නෙ නෑනෙ එක පාර. එහෙම වුනොත් වෙන කෝච්චියකට අත අල්ලලා නවත්තගෙන තමංගෙ ගමන යන එකනෙ.

      අපි 92 දි කොළඹ මචං. අර පොර එන්න ඇත්තෙ අපේ පුරප්පාඩුවට වෙන්නත් ඇති.


      Delete
    2. උඹලගෙ පුරප්පාඩුවට ආව වෙන්ට බෑ..ඌ ඉංග්ලිෂ් නෙවෙයි. ඌ කලේ මම හිතන්නෙ බිල්ඩිං කන්ස්ට්‍රක්ෂන් ද කොහෙද...එන්.සී.ටී. කෝස් එකට.

      Delete
    3. There are no spark plugs in diesel engines.

      Delete
    4. @දමිත්: විහිළුවට බං කිව්වෙ. රවියත් එක්ක සීරියස් දෙයක් කතා කරන්න පුලුවන්ද?

      Delete
  14. රථ ගාය තියන නිසා හොඳයි.
    ගස්ලබ්බත් වැස්සෙ බයික් එකේ යන්න ආසයි.වලාකුල පටන් ගන්නවා ඉවර වෙනවා හොඳට දැනෙනවා නෙ.වැස්ස ලං වෙලා ගෙවල් වල මිනිස්සු කලබල වෙන හැටි,වැස්සට පාර අයිනෙ මිනිස්සු එකතු වෙලා ඉන්න හැටි බල බල පාඩුවෙ යන්න පුළුවන්.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹ දනින්නෙ වෙනත්ම මානයක්. හැබෑ නේන්නං.

      Delete
  15. හයියෝ මමත් ගිරාදුරු කෝට්ටේ හිටියා දෙදාස් ගණන්වල මුල හරියේ පෙට්‍රල් සේද එක ළග ටයර් කඩේ අපේ මාමගේ, නැන්දා වැඩකරේ ගිරාදුරුකෝට්ටේ ඉස්පිරිතාලේ...
    sinhalabloggala.

    ReplyDelete
    Replies
    1. ඇත්තට? එහෙනං අපි අවුරුදු දහයකින් විතර මිස් වෙලා තියෙන්නේ ලලිත්. අපි 1992 දෙ කොළඹට ආවා.

      Delete
    2. ඒ කියන්නේ ගිරාඳුරුකෝට්ටේ ගම් උදාව තියෙද්දී එහේද උන්නේ? හම්මේ ඒ දවස්වල අපි බදුල්ලේ ඉඳන් ගිරාඳුරුකෝට්ටේ ට්‍රිප් යන්නේ දැන් කොළඹ දියත උයන බලන්න යනවා වගේ.. හයමාසයක් අවුරුද්දක් ඉතර යනකොට එහෙම්මම සෝදා පාලු වෙලා ගියා මයේ හිතේ..

      Delete
    3. හුටා 92 මම A /L ,
      ගම් උදාවෙන් පස්සේ..

      Delete
    4. මම එතකොට එක වසරෙ හෙන්රි මාමෙ.

      Delete
  16. අනේ ඔය යකඩ ගොඩවල් ගැන මගේ නම් කිසිම උනන්දුවක් නෑ. :) කොහොම හරි ඉතිං දෙන දෙයියො ගානට මිම්මට සෙට්කරල අත දිගෑරල දීල තියෙනව මදි නොකියන්න, මදි පාඩුවට වැස්සකුත් සෙට්කරලම.

    ReplyDelete
    Replies
    1. ඒකට අපි. යකඩ ගොඩවල් වලට මාරම ආසයි. උඹ මහාම අමුතුම චරිතයක් කියලා මම දැනගෙන හුඟක් කල්.:D

      Delete
  17. ඊයේ දෙහිඅත්තකන්ඩ්යේ ඉදලා ආවෙ මේ සැරේ මමත් එක්ක පොඩි මෙන්ඩ ගියා එන ගමන් හසලක ගාම්නිගේ පිළිරුව ගාව නවත්තලා කියලා දුන්නා.

    ReplyDelete
    Replies
    1. උඹ මොකද බං ඒ පැත්තෙ කරන්නෙ?
      අනික ඒ පිළිරුව ගාවා නවත්තලා පොඩි මෙන්ඩට 'ජාතිවාදය' කියාදීපු එකෙන් "ජාතීන් අතර සංහිඳියාව" මෙව්වා වුනාද දන්නෙ නෑ නේ?

      Delete
    2. මූ ගිහිල්ල දෙහිඅත්තෙ කෙල්ලන්ට එල ද බ්‍රා අන්දනවලු. ඔය කිවුවට වැඩිහරියක් ගලෝනව කියල තමයි ආරංචිය. හැක්..

      Delete
    3. මම සතියට දවස් 3 ක් එහෙ ඉන්නේ . මේ සැරේ යනකොට සදුයි පොඩ්ඩයි එක්කරගෙන ගිය.
      එතන නවත්තලා පැයක් විතර සම්ම්පුර්ණ විස්තරය කියලා දුන්නා, මිනිහා කට ඇරගෙන අහගෙන හිටියේ.දැන් දන්නවා Ben 10, Super Man ට වඩා වීරයෝ ඉන්නවා කියලා. අනික එයා දැන් දන්නවා අනිත් අයගේ ජිවිත බේරගන්න තමන් ගේ ජීවිතය කැප කරපු මිනිස්සු හිටපු බව. මට ඕනේ උවමනා පොඩ්ඩා මිනිහෙක් කරන්න මිසක් ලොක්කෙක් කරන්න නෙමයි.
      ප්‍රසා,
      ඒ මිනිස්සුන්ගේ ජිවිත දුෂ්කරයි ඒ උනාට සුන්දරයි. උබ දන්නවද ඒ කර්මාන්ත ශාලාවෙන් මාසෙකට වැඩ කරන අයට කෝටි 6ක් පඩි ගෙවනවා ඒ සල්ලි හුවමරු වෙන්නේ ඒ නගරයේ ගම් වල. ඒ මිනිස්සුන්ගේ ජිවිත ඒක දශමයකින් හරි හොද කරන්න මමත් දායක වෙන ඒක ගැන මට තියනේ ආඩම්බරයක්

      Delete
    4. මෙන්ඩා, ඒක ඇත්ත බව මම දන්නව. මොකද හැල්මෙ දුවන නගරවල ජීවත්වෙන මිනිස්සු මනුස්සකං අරව මේව හැම දෙයක්ම අමතක කරල සල්ලි පස්සෙ දුවද්දි ඔය වගේ ගම් වල ඉන්න මිනිස්සු දුක් මහන්සියෙන් තමංගෙ අතට හම්බවෙන කීයෙන් හරි සතුටෙන් ජීවත් වෙන්න දන්නව. උඹ වගේ මනුස්සයෙක් එ් වගේ තැනක වැඩකරනවයි කියන එක ආඩම්බරයක් තමයි.

      Delete
    5. මාසෙකට වැඩ කරන අයට කෝටි 6ක් පඩි ගෙවනවා //
      මෙන්ඩා, පඩි දවස කවදද දන්නෑ නේ?

      Delete
    6. රාජ්, උඹට තනියෙන් ගේම දෙන්න දෙන්න බෑ. මාවත් හවුල් කරගනිං.

      Delete
    7. කමක් නෑ ප්‍රසා ඉන්නවනං මගේ කොටස ස්වයංක්‍රියවම ලැබෙනවා නෙහ්..

      Delete
  18. ඕක අයිය නම් ඔහොම හරි ගොඩ දා ගත්ත. කාර්මික දැනුම අඩු මම වගේ කෙනෙක්ට වුනා නම් මොකක් කරයිද කියල මම කල්පනා කලේ.

    ReplyDelete
    Replies
    1. පාරෙ වාහන එලවන හැම එකාටම කාර්මික දැනුම නෑ ගිමන්. එහෙම තිබුනොත් ඉතිං හොඳයි, නැතිනං ඒත් හොඳයි. කාර්මික දැනුම තිබුනත් දවල් කාලෙක නං ලඟම තියෙන ගරාජ් එකකට ගිහින් ආධාර ඉල්ලන එක තමයි ලේසිම.

      Delete
    2. ඒ වුනත් මෙහෙම කතා අහනකොට මොනව හරි ටිකක් දැනකියාගන්න ඕනෙ කියන භීතීකාවක් ඇති වුනා. මනුස්සවාසයක් නැති හරියක අකරතැබ්බයක් වුනොත් මොනා හරි කරල ගොඩදාගන්න වෙනවනෙ.

      Delete
  19. මෙහෙම පරිප්පුවක් නම් කාල නැහැ. බොහොම තරුණ සන්දියේ වෙන කෙනෙක් එක්ක හෙල්මට් නැතුව පිලියන් එකේ ගිය ගමනක් තියෙනවා. ඒක පදවපු කෙනාටත් එච්චර පුරුදු නැති නිසා හිමින් ගියේ. මම කලේ පොලිස් මහත්මයෙක් දැක්කම කකුල් දෙක බිම ගහලා හිටගන්නවා. එතකොට මම නැතුව බයික් එක යනවා. පොලිස් මහත්තය ගාවින් පයින් යන ගමන් හිනාවක් එහෙම දාලා ආයිමත් ගිහින් නගිනවා. අවාසනාවකට බයික් පැදීමේ පිස්සුවක් ඒකාලේ තිබුණේ නැහැ. තිබුණනම් අද ජීවතුන් අතරත් නැහැ. ඒකාලේ කට ඉඹින ක්‍රමයක් නොතිබුණ නිසා කෙලින් ඉන්න බැරි තරමට වැදුණත් උස්සගෙන ගිහිල්ල ඩ්‍රයිවින් සීට් එකේ වාඩි කලොත් හප්පා ගන්නෙ නැතුව කාර් එලවන්න නම් විශේශ හැකියාවක් තිබුණා.

    ReplyDelete
  20. ටූ ස්ට්‍රෝක් එන්ජින් … මැකින්ටෝ කරන්ට් …

    අඩේ ඇහුනත් සනීපයි ඩුඩයියෙ !!!

    ReplyDelete
    Replies
    1. කරන්ට් එක වද්දගෙන බලහං. එතකොටයි සනීප වෙන්නෙ. හැක්..

      Delete
    2. වැදුනා ප්‍රසන්න අයියෙ එකපාරක්. අම්මෝ ##න කරන්ට් එකක් නෙවැ බං එන්නෙ. ප්ලග් ටොප් එක ගලෝලා කම්බියෙන් ප්ලග් එකට කරන්ට් එක පනින හැටි බලං ඉන්න එකත් පුල් ආතල් වැඩේ බං :D

      Delete
    3. බලන්ඩ පුතා ටෙස්ලා කොයිල් එක...

      https://www.youtube.com/watch?v=FY-AS13fl30

      Delete
    4. @ ඉයන්: උඹ රෝද දෙක 2X2 ලෝලියෙක් මිසක් රෝද 2 ලෝලියෙක් නෙවෙයි වගේ.

      @පත්තර මල්ලි: අන්න බයික් ලෝලියෝ. වාහනයක් ගැන කතා කරනවාඅ නං කන්න ඕනෙත් නෑ, නැද්ද?

      Delete
  21. සෑර් ආයි දැක්කම අම්ම අප්ප දැක්ක වගේම සන්තෝසයි.. ඈ..

    ඒක නෙමෙයි බං ඔය විකාර වැඩේ එක පාරක් මම කරා.. ඊට වෙනස් එකක්. අර රේඩියේටර් තියෙන මස්සිනිගේ තඩි බයික් එකක් අරන් මාළිගාවත්තේ ඉදල නුගේගොඩ ගියා. ඒ කාලේ හැටියට රුපියල් දෙසියක තෙල් ගැහුවම තුන් හතර පාරක් යන්න බැරියැ. ඒත් ඕකේ ස්ටාර්ට් හොර නිසා මස්සින කිව්වේ තෙල් ටැංකියට යටින් තියෙන චෝක් එක ඇදල ඉස්ටාට් එක දෙන්ඩ කියලයි. ඉතිං දුන්නා හැබැයි ඒක ආයි දාන්න අමතක උනා.. නුගේගෝඩ ගිහිල්ලා ආයි එනකොට ගේ ගාවදිම හුටස්.. පැට්‍රල් ඉවරයි.. මස්සිනාට කිව්වම මිනිහා බලල කිව්වා අගල් බාගෙන් යන්න ඕන සප්ලයි එක අගල් දෙකෙන් යැව්වව ඉක්මනට ඉවර වෙනවා තමා කියලා..

    එදා තවත් මරු වැඩක් උනා බං. නුගේ ගොඩ ගිහිල්ල අර රේඩියේටර් එකට වැඩි හොදට කියල මං වතුර පිරෙව්වො.. ටික වෙලාවක් ගියාම මක්කද මන්දා නිල් පාටට බේරෙනවා.. සැහෙන්න කාලයක් ගිහිල්ල තමා දැනගත්තේ කූලන්ට් දාපු එකකට එදා මං වතුර දාලය කියලා.. හැක්..

    නියමයි ඈ.. මොකා උනත් උඹ ටීචර් කෙනෙක් විදියට අර වගේ ඉරිසිකාරයෝ කියන ආප්තෝපදේශ ගන්න නාකයි. .හැක්.. (අද නං බබෝ වැරදි අහුඋනා. එක තැනක නොක්ක්‍රීට් කියලත් තිබුනා)

    ReplyDelete
    Replies
    1. එක තැනක මස්සිනිගේ කියලත් තිබුණ. හැක්..

      Delete
    2. චෝක් එක ඇදං ගියාම මගදි ට්‍රැ‍ෆික් වල එන්ජිම ස්ලෝ කරන කොට හෙම නැවතුනේ නැද්ද බං. උඹ කෙලගෙන යන්න ඇති එක හුස්මට.
      කූලන්ට් දාපු එකකට වතුර දැම්මට එච්චරම අවුල නැත්තෙ ඒක ඩ්‍රේන් කරලා වතුර දාන්න පුලුවන් නිසා. ඒක පෙට්‍රල් ඩීසල් ටැංකියකට වතුර දැම්ම වගේ හෙන කේස් එකක් නෙවෙයි.

      ඈ බං උඹ මොකද හිතන්නෙ මම වැරදීම් වලින් තොර පොරක් කියලා? මට වැරදි වෙනවා අනන්ත. වැරදි එක නම් හම්බවුනේ ඒක ජයග්‍රහණයක්.

      ඒක හදන්නම පස්සෙ. තැංකූ ඈ.

      Delete
  22. හෙන්රිගේ ඒ වෙලාවේ හැගීම් තේරුම් ගන්න අමාරු නෑ මට. මොකද මටත් ඔහොම දෙයක් වුනා. අපි තුන් දෙනා විතරක් ගිය වාහනේ නකල්ස් රක්ෂිතයේ උසම කන්දක් උඩ නතර වුනා. පුතා පොඩියි. අන්තිමේ සීතලයි, මීදුමයි, බඩගින්නයි, අදුරයි, නොදන්න සත්තුන්ගේ සද්ද බද්දයි එක්ක කැඩුනු වාහනේ එක්ක ගෙදරට කිලෝමීටර් දෙතුන් සීයක් ඈතින් අපි තුක් දෙනා විතරයි.

    හෙන්රි විශ්වාස කරයිද මන්දා, අන්තිමෙි අපට පිහිටට ආවේ කවුද දන්නවද? බ්ලොගර් කෙනෙක්. පොර යාලුවෙක් එක්ක පට්ට සිතලේ බයික් එකේ පැය දෙකක විතර ගමනකින් පස්සේ අපිව හොයාගෙන ආවා. එතන ඉදලා කන්ද පල්ලෙහා ටවුමට අපිව එක්කගෙන ආවේ එතනින් අහම්බයෙන් ගිය ඩබල් කැබ් එකක් මහත්තුරු දෙන්නෙක්!

    ඒක නිසා මට හිතාගන්න පුලුවන් ඔය අමාරුව සහ අන්තිමේ තේ කෝප්පයත් එක්ක දැනුනු සැහැල්ලුව!

    ReplyDelete
    Replies
    1. හොදි ඕනෙ නෑ නේ? එහෙම අත්දැකීම් ලැබෙන වෙලාවට අසරණ වෙන තරමට තමයි පස්සේ කියනකොට ආතල් එක වැඩි.

      Delete
  23. වාහන වල කාර්මික කොටස් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ.නමුත් ඉතින් වෙලා තියෙන අලකලන්චියේ ත්‍රාසජනක බව එනම් හිතා ගත්තහැකි. මොබයිල් ෆේස්බුක් එනම් මනම් තිබ්බ එකකක්ය. හෙන්රිස් බයික් හෙන්රිස් පෙට්‍රල් මිසක්

    ReplyDelete
    Replies
    1. වාහන කාර්මික කොටස් ගැන මෙලෝ දෙයක් නොදැනත් දන්න කෙනෙකුට තරම්ම ත්‍රාසය දැනුනා නම් අන්න ඒකයි වැදගත්.

      Delete
  24. /*ගුරුමණ්ඩලයේ සගයෙකුගෙන් අතමාරුවක් කරගැනීමට හිත හදාගැනීමට මගේ ආත්ම ගෞරවයත්, ආත්මාභිමානයත්...*/
    උඹ නං ජාති බං , ඔච්චර දෙයක් මට උනොත් නං අහල පහල එකෙක්ගෙන් ඉල්ලං එන එකම තමයි කොරන්නෙ. ඒ අතින් කොච්චර අමාරු උනත් උඹ උඹේ ආත්ම ගෞරවය පාවල නොදුන්නා එක නං අගය කොරන්න වටිනව...

    /*'කන්ඩ නැතත් බෙට්ට කෙලින් මල්ලි'*/
    ඒක පට්ට කතාව බං , මතක තියාගන්නෝනෙ :) :)

    ඔය යමහ වන්ඩි මරු බං ඒත් දැන් එන ඉන්දියන් යමහ එව්වට නං මගෙ ඒ හැටි මනාපයක් නැහැ ඉතින් , මං පට්ට ආසා භාණ්ඩයක් තමයි හොන්ඩ 125 බෙන්ලිය. මගෙ ඇඟේ හැටියට නං ඒක වාවගන්න බෑ ඉතින් ඒත් දවසක් අමාරුවෙන් පැදලා බැලුව හිතට ඇල්ලුව ....

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඕක බොරු මහන්තත්ත කමක් වෙන්නත් පුලුවන්. ඒත් එහෙම ඉල්ලන්න හිතෙන්නේ නෑ. අපි ජීවිතේ අන්තිම දිශ්කර කාලවලදි වුනත් තියෙන හැටියට ජීවත් වුනා මිසක් ඉල්ලන්න උදව් ගන්න ගියේ නෑ.

      ඔව්. ඔය බයික් එක දුර්ලභ ක්ලැසික් එකක් කියලා මගේ කොල්ල ජාලෙන් හොයාගත්තා.
      මම ආසා CM125T Custom එකට. මම දැන් මහත හන්දා ඒකත් පොඩියි කියලා හිතෙනවා බං.

      Delete
  25. ඔය දේවල් පස්සේ මතක් කරනකොට පොඩි කික් එකක් තිබ්බත් ඒ වෙලාවේ නම් හොදි ඕනෑම නැහැ.අපේ මල්ලි ගාව තිබ්බ 2T දාන FZR බයික් එකක්.මිනිහා 2T නොදා පැදලා එකට මොනවා හරි වුනා.

    ReplyDelete
    Replies
    1. හප්පේ ලයිව් යනකොට ඇ‍ඟේ ලේ නෑ.
      පස්සේ ඒක ආතල් කතාවක් වෙනවා.

      මොනව වෙන්නද එන්ජිම සීස් වෙන්න ඇති.

      Delete
  26. වෙලාවට බයික් ඔපරේෂන් එකට ඕන අඩුමකුඩුම ටිකත් අරං ගියේ. සබ්ජෙක්ට් එක දැනගෙන හිටපු නිසා මීටරෙන් වැඩේ ගොඩදාලා.. අපි වගේ කෙනෙක්ට උනා නම් සදා සොත්ති තමා. බයික් එක තල්ලු කරන් වැස්සෙම ගරාජ් හොයන්න තමා වෙන්නෙ. මිකැනික් සබ්ජෙක්ට් එකත් කොඤ්ඤං කොඤ්ඤං ඉගෙන ගත්තනම් වටිනවා කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. එහෙමම හුඟක් දේවල් තිබුන්නෑ තොටියා. සාමාන්‍යයෙන් ටූල් කිට් එකේ තියෙන ආවුද කීපය තමා තිබුනේ.
      තොටියෝ, ඔරුවෙ ගියත් කමක් නෑ. ජැක් එක අරං යන්න. ජැක් ලීවරේ තියෙනවද බලන්න. තව ස්පෙයාවීල් එකේ හුලං තියෙනවද බලන්න. ඒ ඔක්කොටම කලින් ටයර් එක මාරු කරගන්න දන්නවා නේද කියලා සහතික වුනානම් මොකද?

      Delete
  27. මොන දේ උනත් බෙට්ට කෙලින් ,මන් ගත්තේ එක ,වැරදීමකින් ලොකු ගානක් නැතිවෙලා හිතේ අමරුවෙන් ඉන්න කොට ජිවිතේ ජිවත් වෙන්න (අනුන්ට අත නොපා )පොඩි kick එකක් ආවා ,මොන දේ උනත් හිතේ හයිය නැති උනොත් අපි ඉවරයි :)

    ReplyDelete
    Replies
    1. F16, kick ඒක ගත්තා නම්, මේ අමාරු අවස්තාවෙ වචනෙකින් හරි උදව් වෙන්න පුලුවන් වුනානම් ඒකම ඇති. ඔය කුණා‍ටු පහවෙලා යනවා. තව අවුරුද්දකින් අපිට තියෙන්නේ ඔය ප්‍රශ්ණෙ නෙවෙයි වෙන එකක්

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>