Friday, February 1, 2013

41. ජාතික දිනයට පෙරවදනක්

මේ ජාතික දිනයටවත් ටික ටික ගෙවන්න හරි කොන්දක් ගමුද?

පාවෙලා වගෙ ආපු තද අඳුරු වීදුරු සහිත කලුපාට SUV එක හඬක් නොනගාම මළගෙදර ඉස්සරහ නැවැත්තුවා. දොර ඇරුනා. වායු සමනය කල බේජ් පැහැති රථ අභ්‍යන්තරයෙන් උස මහත මැදිවියේ පුද්ගලයෙක් එලියට බැස්සා.

මළගෙදර එලියෙ මා අවට ඉඳගෙන බුළත් හපමින්, දුම්වැටි උරමින්, පහත් හඬින් කතාකරමින් හිටපු මිනිස්සු දඩිබිඩි ගාලා නැගිට්ටා. ඒ මිනිස්සු නැගිටලා, ඔලුගෙඩි කසමින්, දියාරු හිනාවකුත් සමඟ , බයාදු, නිවට බැල්මකින් අර පුද්ගලයා දිහා බලාගෙන එකත්පස්ව ඉන්නවා දැක්කම මට ඇතිවුනේ වේදනාවක්.

අනේ අපේ මිනිස්සුන්ගෙ කොන්දවල් වලට මොකද වුනේ?

“කවුද ඒ? ඇමති කෙනෙක්ද?”

ඉඳගෙන හිටපු මා ලඟ හිටගෙන ඇඹරෙන පොරගෙන් මම ඇහුවා.
මොකද දේශපාලන කශ්ටිය දැක්කමත් අපේ හුඟ දෙනෙකුගෙ පශ්චාත් භාගයට කරන්ට් වදිනවනෙ.

“මහත්තයා, ඇත්තටම දන්නෙම නැත්ද?”

“නෑ. ඉතිං කවුද ඒ?”

“මහත්තයො,” පොර කියනවා. “එයා තමයි ලංකාවෙ ඉස්සෙල්ලම ටිකට් මැෂිමෙන් මාටියා ගහන ක්‍රමය හොයාගත්තෙ. එංගලන්තෙං ඔය මැෂින් ගෙනාවෙ මාටියා ගහන්න බෑයි කියලා ගැරන්ටියක් එක්ක…”

මට මල් පොකුරම පැන්නා.

“එහෙනං පට්ට හොරෙක්නෙ. ඉතින් මේ ඔක්කොමල්ලා දඩි බිඩි ගාලා නැගිට්ටෙ ඒකා එනකොට?”

“හුහ්, ඒ ගහපු ගැහිල්ලෙන් තමයි මහත්තයා නැගිට්ටෙ. අද කෝටිපතියෙක්. බස්ම තියෙනවා…”

“නොදකින් මෙහෙමත් නිවට…!!!” හිතුනත් මම කිව්වෙ නෑ. 

මම ටිකකින් නැගිටලා ගෙදර ආවෙ අපේ ජාතියම ගැන ඇතිවුනු පුදුම කළකිරීමකින්.

පස්ස නොසෝදනවා යයි අපි අවමන් කරන සුද්දන්වත්, අප්‍රිකානු සම්භවයක් ඇති කලු ජාතිකයන් ලඟවත්වත් දකින්න නැති මේ නිවටකම දකුණු ආසියාවෙ විතරද තියෙන්නෙ? අර මුලින් කී වර්ගයේ කලු හා සුදු මිනිස්සු හිටගන්නෙ, ඇවිදින්නෙ පවා, කොන්ද කෙලින් තියාගෙන. කතාකරන්නෙ ඕනෙම ලොක්කෙකුගෙ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන.

ඒකට අපේ කට්ටිය!

අපිත් එක්ක වැඩකරන විවිධ යුරෝපීය ජාතීන් හැරුනම වැඩිම පිරිස ඉන්දියානුවො. 

ඉන්දියානුවො එක්ක බලනකොට අපේ උන් හොඳයි. මේ පොරවලුත් හැම එකාටම සර් කියනවා. තමන්ගෙ යාලුවට, එතකොට තමන් එක්ක එකට වැඩ කරන සගයට, කාකාසට, කම්කරුවට, බාබර්ට, ටේලර්ට, බේකරි කාරයට, කොටින්ම කිව්වොත් ඕනැම කෙනෙකුට කතාකරන්නෙ ‘සර්’ කියලයි. ගිය අවුරුද්දෙ අපිත් එක්ක වැඩකරපු පන්ජාබ් ගුරුතුමිය වෛද්‍යවරයෙක් වුන තමන්ගෙම සැමියට කතා කරන්නෙ ‘සර්’ කියලා. නැති තැන අපිත් එක්ක කියන්නෙ ‘ඩාක්ටර්ජී’ කියලා. ඉතින් මෙයාලගෙ සර් කියන වචනේ කිසිම වටිනාකමක් නෑ. හරියටම ‘ඕයි’ කියනවා වගෙ.
අපිත් සමහරවිට ඊට දෙවෙනි නෑ නේද? අපි හැදිලා තියෙන්නෙ, අපිව හදලා තියෙන්නෙ කොන්ද පණ නැති ජාතියක් හැටියට නෙවෙයිද? වෙන රටවල වාහනයක් පොලීසියෙන් නැවැත්තුවාම පොලිස් නිළධාරියා වාහනේ ජනේලය ගාවට යනවා. රියැදුරා ඇතුලෙ ඉඳගෙනම වීදුරුව පහත් කරලා ලියකියවිලි ජනේලයෙන් එලියට දෙනවා. “අවශ්‍ය වුනොත් විතරයි, “Sir, please step out of the vehicle” කියලා ඉල්ලීමක් ලැබෙන්නෙ. ඒ වාහනය පරීක්ෂා කරන්න, නැතිනම් බීමතින් ඉන්නව වගෙ පෙනුනොත්. 

අපේ රටේ කොහොමද? කවුද වාහනෙන් බැහැලා යන්නෙ? කවුද සර් කියන්නෙ, කවුද බයාදු විදියට ඔලුව කසන්නෙ? කවුද නිවට හිනාවක් දාගෙන ඉන්නෙ? කවුද තමන්ගෙ අතේ වැ‍රැද්ද තියාගෙන හරි, නැතුව හරි ‘සර්, සර්’ කිය කියා බැගෑපත් වෙන්නෙ?

රජයේ කාර්යාලයකට යන්න. උදාහරණයක් විදියට, අධ්‍යාපන කාර්යාලයකට යන ගුරුවරයා මොන තරම් නිවට විදියටද කාකාස ඉඳලා අධ්‍යාපන අධ්‍යක්ෂ දක්වා නිළයන් ඉස්සරහ හැසිරෙන්නෙ? එක ලිපි කරුවෙක්, තව ලිපිකරුවෙක් ලඟට ගුරුවරයව යොමු කරන්නෙ, “අර ‘මැඩම්’ගෙන් අහලා බලන්න,” “අර ‘සර්’ ලඟට යන්න,” කියලා නෙවෙයිද? ඉතින් ඒ ‘මැඩම්’ හරි ‘සර්’ හරි ලඟට ගිය ගුරුවරයා, යාචකයා වගේ එකත් පස්ව හිටගෙන ඉන්න ඕනෙ. මොකද සමහර වෙලාවට ඉඳගන්න පු‍ටුවක්වත් නැති නිසා. පු‍ටුවක් තිබ්බත් ඒකෙ ඉඳගන්නෙ අග්ගිස්සෙ, හරියට ඉඳගන්නෙත් නෑ ඇන්දට පිට හේත්තු වෙන්න, බයාදු කමට. හුඟක් වෙලාවට තියෙන සැප පහසුකමින් අඩු පු‍ටුවත් ස්ථානගත කරලා තියෙන්නෙ පන්ති භේදය ඉස්මතුවෙන විදියට. ඔය මැනේමන්ට් කෝස් කරපු අය දන්නවා ඇතිනෙ වැඩි විස්තර. ඉතින් ඒ කියපු පු‍ටුවෙ ඉඳගෙන ඔලුවෙ පිටිපස්ස කස කස ලිපිකරුවන්ට පීචන් වෙන ගුරු මහත්තුරු නෝනලා අධ්‍යාපන කාර්යාලයකට ගියාම දකින්න පුලුවන් (මට නම්) හිත් රිදවන දර්ශනයක්. මේ කෙනෙකුට කතා කරනකොට ඔලුව කසන කාලකන්නි පුරුද්දනම් අපිට කොහෙන් ලැබුනද දන්නෙ නෑ!

බැගෑපත් නොවෙන, කොන්ද කෙලින් තියාගෙන ඇස් දිහා එක එල්ලේ බලලා කතා කරන පුද්ගලයාව සමාජය හඳුන්වන්නෙ ‘අලි ඔලුවෙන් ඉන්න’ එකෙක්, ‘ඔලුව උදුම්මවාගෙන’ ඉන්න ‘පුහු ආඩම්බර කාරයෙක්’ හැටියටයි. මට එක පාරක් ඔහොම ඉඳලා පොලීසියෙන් දඬුවම් ලැබිලත් තියෙනවා. ඒ කතාව පස්සෙ කියන්නම්.

වඳින එකත් ඔයවගේම කේස් එකක් නේද? මේක ටිකක් පරෙස්සමෙන් කතා කලයුතු දෙයක්. සිංහලෙන් කියනවානම්’ Now I’m walking on thin ice” 

වඳින එක අපි තියාගන්න ඕනෙ 'වැඳුම් ලැබිය යුතු' පුද්ගලයන්ට වඳින්න විතරයි. එහෙම නැතිවුනොත් ඒකත් අර ඉන්දියානුවන්ගෙ, පාකිස්තාන් ජාතිකයන්ගෙ ‘සර්’ කිවිල්ලට දෙවෙනි නෑ. ළමයෙක්, තමන්ගෙ අම්මට, තාත්තට, වෙනත් පවුලේ වැඩිහිටියන්ට, ගුරුවරයට, එතකොට පූජ්‍ය පක්ෂයට වඳින එක වෙනම කතාවක්. 

එතකොට ඔය ඉස්කෝලවල තෑගි උත්සවවලදි පවා අපි අපේ ළමයින්ට කියලාවෙනත් බාහිර පුද්ගලයන්ට වන්දන්නෙ අපිට තියෙන මොන අයිතියක්, මොන බලයක් නිසාද? 

මම මේ ලඟදි බලාගෙන රූපවාහිණී වැඩසටහනකදි තෑගි ගන්න ලමයි ලවා බිස්කට් කොම්පැණියක ලොක්කෙකුට දණගහලා වන්දවනවා. කවුද එහෙම කරන්න කියලා ළමයින්ව පොළඹවපු අහවලා? 

මෙතනදි මම කියනදේට කෙනෙක් එකඟ නොවෙන්නත් පුලුවන් බව මම දන්නවා. 

රජයේ කාර්යාලයකට ගිහින්, තමන් කරන්නෙ උතුම් ගුරු වෘතිය බවත් අමතක කරලා හැම එකාටම නිවට විදියට විරිත්තමින් ඔලුව කසමින් බැගෑපත්වෙන ගුරුවරුන් ගැන මට තියෙන්නෙ කලකිරීමක්. ළමයින් ලව්වා තම තමන්ගෙ ප‍ටු දේශපාලන හෝ වෙනත් අරමුනු මුදුන්පත් පමුණුවා ගන්නට ඕනැම එකෙකුට වන්දවන උන් ගැන මට තියෙන්නෙ තරහක්! ‘තමක් නිවට වෙනවා මදිවට අනාගත පරපුරත් නිවටයො කරන්න එපා යකුනේ!’ කියලා හදවත කෑ ගහන්නෙ ඔය වෙලාවට.
මේ ලියන මමත් ගුරුවරයෙක්. මම හැමදාම ළමයින්ට කිව්වෙ කොන්ද, බෙල්ල කෙලින් තියාගෙන, මූණ දිහා කෙලින් බලලා මිනිස්සුට කතාකරපල්ලා. කතා කරන කොට ඔලුව කසන්න එපා, කොටින්ම අත මූණ දිහාටවත් ගෙනියන්න එපා. නෝන්ජල් විදියට ඇඹරෙන්න එපා. අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක් හැටියට හැසිරියල්ලා කියලයි.

මේක තනියම ගුරුවරයෙකුට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මම මේ කියනදේ පොඩ්ඩක් හිතලා බලලා, තමන්ගෙ ලමයින්ට පෞරුෂ වර්ධනයට අවශ්‍ය මේ ලක්ෂනත් පොඩි කාලෙ ඉඳලා උගන්වන්න.

මතක තියාගන්න ළමයි දෙමවුපියන්ව අනුගමනය කරන බව. ලමයි ලඟ තියාගෙන තාත්තා ඔලුව කසකස පොලීස් නිළධාරියට බැගෑපත්වෙන එක හරියි කියලා ළමයත් ඉගෙන ගන්නවා. පස්සෙ ළමයට එහෙම කරන්න එපා කියලා අවවාද කලාට වැඩක් නෑ. ජාතියේ කොන්ද ගොඩනගන්න හෙට නෙවෙයි අදම පටන් ගනිමු.


අනික අර මුලින්ම කිව්වා වගෙ අපේ මිනිස්සු ගරු කරන්නෙ බාහිර ඔපයට මිසක් ගුණ සුවඳට නෙවෙයි. මම බස් එකෙන් බැහැලා කඩේකට ගියොත්, ඕනැවට එපාවට ඇල්මැරුණු ස්වරූපයෙන්, ‘අයියා’ කියලා කතාකරන කඩේ පොරම, මම වාහනේ කඩේ ඉස්සරහ නවත්තලා, සන්ග්ලාසස් දාලා ඒ කඩේටම ගියාම පස්ස පැත්තට කරන්ට් එක වැදුනා වාගෙ නැගිටලා, “සර් මොනවද බැලුවේ?” කියලා අහන්න්නෙ ඔලුව කස කසා. අනික වාහනේ අලුත්ම එකක් නොවුනත්, ෂෝට් එකකුයි, ස්කිනී එකකුයි ඇඳලා ගියාවුනත් “සර්” කෑල්ලනම් අනිවා, ඩෙෆා!!
අපේ රටේ විතරයි මම දන්න තරමින් වාහනයක් ගන්නකොට නයිට් නාමෙකුත් ඉබේ ලැබෙන්නෙ!!

හොඳයි. මම කොන්ද කෙලින් තියාගෙන හිටපු වරදට පොලිසියෙන් දඬුවම් කරපු හැටි කියන්නයි යන්නෙ ඊලඟට.

 මේ ඇත්තෙන්ම පහුගිය ජාතික දිනයට මට හිතුනු දේ. මේක මම පහුගිය පෙබරවාරි පළවෙනිදා 'මට හිතෙන හැටි' සහ 'HeyDude' බ්ලොග් වල එකවිට පළ කරපු ලිපියක්. මේ ලිපිය මම මෙවර ජාතික දිනයට පළ කරන්න ඉන්න ලිපියට පූර්විකාවක් විදියට, ජාතික දිනයට දවස් කීපයක් කලින්, අද වගෙ දවසක පළ කරන්න අදහස් කලා.

 

88 comments:

  1. අනේ මන්දා අපිට වෙලා තියන දෙයක් , එය වගේ දේවල් මම දින පතාම අත්විදිනවා. ඔව්වට විරුද්ධ වෙන හන්දම අහක යන කරදරත් ඇගට වැටෙනවා

    ReplyDelete
    Replies
    1. අඩේ මම එකවෙලා

      Delete
    2. පොඩී වෙනසක් හරි වේවි නේද අටම් කවුරු හරි ඉඳ හිටවත් මතක් කරනකොට?
      ඇයි උඹට එක වෙන්න බැරි?

      Delete
    3. "ඇයි උඹට එක වෙන්න බැරි?"

      ඔන්න ඕක තමයි පොයින්ට් එක. මේ දවස්වල මූ මූණු පොතේ අඬනව දැකල මට හිතුනෙ මූට මේ ටික කියල දෙන්න එකෙක් නෑනෙ කියල.

      Delete
  2. මිනිස්සු දැන් ඉස්සරට වඩා ටිකක් සංවිධානය එලා තියනවා. ගම වල පොදු ප්‍රශ්න වලදී දේශපාලකයන්ගේ බොරු පොරොන්දු වලට විරුද්ධව සංවිධානාත්මකව උද්ඝෝෂණ කරන්න දැන් මිනිස්සු බය නැහැ. අවශ්‍ය වන්නේ එවැනි දෑ අර්ථවත් සහ ක්‍රමානුකූල බවකින් කිරීම සඳහා කිසියම් මධ්‍යස්ථ මග පෙන්වීමක් පමණයි.

    මෙවර නිදහස් දා, ළමයි 500 ක් පමණ එන දහම් පාසලක, 'ලංකාවට නිදහස ලැබීම' ගැන දේශනයක් කරන්න මට ඇරයුමක් ලැබිලා තියනවා. මම දැන්ම හිතාගෙන ඉන්නවා ඉතිහාසයේ සිදුවූ ඇත්ත තත්වය කියනවා කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් විචාරක තුමා...ඒ දරුවන්ට නිසි මගපෙන්වීමත්, රට ගැන ආදරයත් ඇති කරන්න, වෛද්‍යවරු ඉංජිනේරුවො විතරක් බිහිකරන්න දගලන සමාජයක රටට වැඩදායී ගහකොළට, සතා සීපාවාට ආදරය කරන පුරවැසියෙක් වෙන්න කියන්න...

      Delete
    2. අන්න හරි. ඒ කතාව දෙන්න විචාරක කඳුලු පනින්න. පොඩි උන් හදන්න ලේසියි.

      Delete
    3. විචාරකතුමා කරන කතාව බ්ලොග් එකේ දාන්න පස්සේ, අපිටත් කියවන්න, අනාගතයටත් වැඩක් වෙන්න.

      Delete
    4. විචාරක තුමාගේ කතාව පල වෙනකම් අපි මග බලාගෙන.....

      Delete
  3. අපේ මිනිස්සු එකිනෙකාට ගරු කරන්න දන්නේ නෑ ඩුඩ් අයියේ. සැලකුම් ලබන්න විතරයි බලන්නේ. ඒක නිසා පෙලන්න පුළුවන් එකාව අවස්ථාව ආපු ගමන් දෙකේ කොලේට දාල පොර වෙන්න හදනවා. ඔය කාර්යාලයටක එහෙම වැඩක් කර ගන්න ගියාම මල පනින්නේ උන්ගේ ගෑස් බලන්න ගියාම. දැන් ඉන්න කෙල්ලෝ කොල්ලෝ නම් තරමක් දුරට හොඳයි. පහු වෙනකොට උන්ටත් රාජ උෂ්ණය ගහයිද දන්නේ නෑ. පොලිසිය නම් ඉතින් ෂෝයි නේ. කොහොම බෝවුනු ලෙඩක් ද මන්දා...

    ReplyDelete
    Replies
    1. //අපේ මිනිස්සු එකිනෙකාට ගරු කරන්න දන්නේ නෑ ඩුඩ් අයියේ. සැලකුම් ලබන්න විතරයි බලන්නේ//

      +++++

      ගුරුවරු ගැන මට හිතෙන්නෙ සමාජයේ ආකල්පය එච්චර හොඳ එකක් නෙමේ.

      ඇතැම් ගුරුවරුන්ගේ අප්‍රසන්න හැසිරීම් (අපි හැමෝටම වගේ එකක් හරි අත්දැකීමක් තියනවා කියලා මම හිතනවා ), දවසට පැය 6ක් විතරක් වැඩ කරනවා කියා තිබෙන (වැරදි )ආකල්පය, උපාධිධාරීන්ට රස්සාවල් දෙන්න ඕනෙ නිසා දීපු පත්වීම්, දේශපාලන අවශ්යතා නිසා දීපු පත්වීම් (උදා. දාහේ කෑලි ) නිසා සමස්ත ගුරු පරපුරම පීචන් වෙලා ඉන්නෙ. ඒ ආර්ථික අතින් උපරිමයටම පීචන් වීමට අමතරව. ඉතින් ඔවුන්ට අධ්යාපන කාර්යාලයකට සින්හයෙක් වගේ යන්න හය්යක් ලැබෙයිද? එහෙම සින්හ පාට් දාල අවුරුදු ගානක් කඹූරපු එකට ලැබෙන පාරිතෝශිතය පරක්කු උනොත්, එහෙම නැත්නම් තමන්ට ලැබෙන්න නියමිත එරියස් එක පරක්කු උනොත් ඒකෙන් කරන්න ඉන්න දාහක් දේවල් කරන්නෙ අහවල් එකෙන්ද?

      Delete
    2. @චන්දන: අන්න චන්දන ආයෙම පෙනුම වෙනස් කරලා. මේක හොඳයි. අපේ එවු අවස්ථාව ලබුනාම අනිකව පාගන නිසා තමයි මෙහෙම වෙන්නෙ.

      @ඇනෝ: ගුරුවරු ගැන සමාජයේ ආකල්පය ඉතාම අයහපත් බව මම දන්නවා. අධ්‍යාපන කාර්යාලේ ලිපිකරුවන් බොහොමයකගෙත් පරම හතුරා ගුරුවරයා. ඔව් ඔයා කිව්ව හේතුත් බලපානවා වෙන්න පුලුවන්. නමුත් ගුරුකමට සුදුසු නැතත් ඒ මිනිස්සුන්ටත් ලාංකිකයින් වශයෙන් කොන්දක් තියෙන්නෙ ඕනෙ නේද?

      Delete
    3. කොන්දක් තියෙන්න ඕනෙ අනිවාර්යයෙන්ම. නමුත් ආර්ථික වශයෙන් පහල අඩියක ඉන්න ගමන් යම් සමාජ තත්වයක් ආරක්ශාකරගන්න හදන මේ මිනිස්සු බොහෝ දෙනෙක් කොන්ද කඩාගන්නවා ජීවිතයේ කොයිම හරි අවස්ථාවක, බොහෝවිට ඉතාම මානුශික කාරනාවලට. ඒ හැබයි හොර මැරකම් නුපුරුදු මිනිස්සු. ගුරුකමට රින්ගලා ඉන්න ගුරුකමට නුසුදුසු මිනිස්සු හැබැයි කොන්ද කඩා නොගෙන වෙන මාර්ග වලින් තමන්ගෙ වැඩේ කරගන්නවා. සැබෑ ගුරුවරුන්ගේ කොන්ද කඩලා තියන්නෙ ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටිය යුතු අධ්යාපන බලධාරින් ඇතුලු අපි! කොච්චර බැන්නත් හිටපු ජනාධිපතිනිය මේ මිනිස්සුන්ගෙ කොන්ද ටිකක් කෙලින් කලා 90 ගනන් වල එක පාරම පඩිය ඩබල් කරලා (ඒ වගේම අපහාසත් කලා ). ඊට පස්සෙ මොනවද ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය වෙනුවෙන් කරලා තියෙන්නෙ? තමුන්ගෙ කොන්ද කෙලින් කරගෙන ඉන්න ඕනෙ උනත් ප්‍රායෝගිකව එහෙම කරගන්න බැරුව අසරන වෙන ගුරුවරයෙක්ගෙන් ලැබියයුතු සේවය ලැබෙයිද?

      ඔබතුමා ලන්කාවේ වැඩකරද්දි ගුරුවරයෙක් හැටියට කොන්ද කෙලින් තියාගන ඉන්න ඇති කියලා හිතනවා. අත්දැකීම් ලියන්න අනිත් අයටත් ඉගෙන ගන්න.

      Delete
    4. ස්තුතියි ඇනෝ. මම හුඟක් ප්‍රශ්න වලට මූණ දීලත් තියෙනවා කොන්ද කෙලින් තියාගෙන හිටි නිසා. ඒ වගේම ජයග්‍රහණත් ලබලා තියෙනවා. 'කොන්ද කෙලින් තියාගෙන හිටපං' කියන දේ මට පොඩීම කාලෙ ඉඳන්ම පුරුදුකලේ මගේ තාත්තා. ඔහුත් කිසිදා කිසිවෙකුට කොන්ද නොනවපු ඒ නිසාම මහා ලොකු ආර්ථික වාසි අහිමි කරගත් පුද්ගලයෙක්. ඔහු කිසි කෙනෙකුට කොන්ද නමනවා බැගෑපත්වෙනවා මම මගේ ජීවිතේට දැකලා නෑ.

      ඔව් මම මේ ලිපිය ලියන්නෙත් මම කියලා තියෙනවා වාගේ කොන්ද කෙලින් තියාගෙන ඉඳලා පොලීසියෙන් දඬුවම් විඳපු අවස්ථාවක් ගැන ලියන්න හැඳින්වීමක් විදියට තමයි.

      Delete
  4. මේ ලගදි මම වැඩකරන තැන(USA wala) ක්‍රිස්මස් ඩිනර් එකක් තිබ්බා කොම්පැනිය ගානේ. අපේ මේසේ හිටියේ මමයි, තව අපේ යුනිට් එකේ 3දෙනෙකුයි, ලොකුම බොසුයි, Custodial (Janitor) 3දෙනෙකුයි. අපි එකට මේසේ ඉදන් කෑම කෑවේ.
    ලංකාවේ මේවගේ තත්වයක් එන්න තව කොච්චර කල් යයිද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ. මෙහෙත් එහෙමයි. අතුගාන මිනිහා බොස් ට සර් කියන්නෙ, නැවෙන්නෙ නෑ. ඇපි ඉස්කෝලෙ අතුගාන මනුස්සයා වාහනේකින් එද්දි ප්‍රින්සිපල් පයින් එනවා.

      අපේ ගොං පාට් වැඩියි.

      Delete
  5. ටික කාලයක් යනකොට අපෙ උන් උපදිනකොටම කොන්ද නැමිලා උපදීවි.. ඒ තරමට නැමිල්ල දරුණුයි.. ඔය නැමිල්ල ගැන ඇඳපු කුණුහබ්බ කාටූන් එකක් දැක්කා මතකයි..කුණුහබ්බ උනත් පබිලික් කරන්න වටින එකක්..

    ReplyDelete
    Replies
    1. සරත්ට පුලුවන්නෙ මට ඒක ඊමේල් කරන්න. ලාංකික කොන්දෙ පුදුම flexible ගතියක් තියෙන්නෙ.

      Delete
    2. ඔස්ටියෝපොරෝසීස් මචං ඔස්ටියෝපොරෝසීස් :D

      Delete
    3. ඔස්ටියෝපොරෝසීස් කියන්නෙ නැවෙන්නෙ නැතුව යන එක නෙවෙයිද ඉන්දික?

      Delete
  6. ඇයි සුදු ජාතිකයන් දැක්කාම ඔක්කොම පැත්තකට දාලා දුවගෙන හැටි. ඒකත් මට පේන්නේ ඔය කියන ජාතියේ කොන්ද නැමිල්ලක් හැටියටම තමයි. :)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්. දැන් සුද්දා එහෙම බලාපොරොත්තු නොවුනත් අපේ උන් ගාවා ඇති ඒ මානසිකත්වය එහෙමමයි.

      Delete
    2. අපෝ සුද්දට නැවෙන එක තරං මේ දකුණු ආසියාවෙ උන්ගෙ තියෙන තවත් බලු ගතියක් මම දැකල නෑ. අහල තීනවද වෙරිවැල් කෝරාල ගෙ කතාව?

      Delete
  7. මචං අපි රාජාණ්ඩු ක්‍රමයෙන් පාර්ලිමේන්තු ක්‍රමයට ආවට තාම මනස වැඩ කරන්නේ පරණ විදිහටම තමයි. තමන්ගේ චන්දයෙන් පත්වෙන මැති, ඇමති, ජනාධිපති මේ ඔක්කොම පත්වුනාට පස්සේ පේන්නේ උන්නැහේලාගේ පෙර කල පිනෙන්, පවුලේ උරුමයෙන් ලබාපු දේවල් හැටියට. බුද්ධාගමේ සංකල්ප සමාජගත වෙලා තියන විදිහත් ඔය ක්‍රමය පෝෂණය කරන්න දායක වෙලා තියනව කියලා මට හිතෙන්නේ (ඔන්න මාත් හීනි අයිස් තට්ටුවක් උඩ ). ලැබීම, නොලැබීම, කරුම, පින වගේ දේවල් වලින් අපි සමාජයේ ගොඩාක් විෂමතා සාධාරණීකරණය කරගන්නවා. කොන්ද ගැන කියද්දි දෙපිරිසක් ඉන්නවා.. එකක් ඔය කිව්ව හැමෝටම කොන්ද නමන කට්ටිය... තව කට්ටියක් ඉන්නවා උන් කතා කරනකොට හෙන චණ්ඩි, කෂේරුකාව නතරවෙන්න ඕනේ තැන නතර වෙන්නේ නැතුව පහලට නැට්ටක් වගේත් එල්ලෙනවා... කාටවත් කොන්ද නමන්නේ නෑ කියලා උන් කරන්නේ චන්ඩි බලයෙන් අනිත් එවුන් උන් ඉස්සරහ නම්මව ගන්නවා... ඔය දෙගොල්ලොම අන්තිමේ කරන්නේ නැමෙන සමාජයක් හදන එක තමයි. ඔය නැමිල්ල නවත්තන්න පුලුවන් වෙන්නේ මොන රස්සාව කලත්, මිනිස්සුන්ට යහමින් කාල ඇඳලා අතනොපා ඉන්න පුළුවන් නම් විතරයි... මනස වෙහෙසන ඉංජිනේරුවයි, කය වෙහෙසන කම්කරුවයි සමාන පඩි ගන්න දවසක තමයි ඔය ලෙඩේ හොඳටම හොඳ වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මේකට මම මොකුත් නොකියන්නෙ තිසර, ඊ ලඟ ලිපියේ අන්තරගතය මීට සමාන නිසා.

      Delete
  8. හරිම කනගාටුයි හෙන්රියෝ.

    කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන පොලිසියක් මේ කපේදි ලංකාවෙ හැදෙන්නෙ නැති වෙයි. ආන්ඩුවට කඩේ යන්න, ලොක්කන්ට කඩේ යන්න වෙනවා හැම එකාටම.

    ජය !

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න එපා බං. අපි ටික ටික වත් වෙනසක් ඇති කරන්න බලමු. මම මේ කියන්නෙ කෙහෙල්මල්; දේශපාලනයක් ගැන නෙවෙයි බං. ජාතියක පෞරුෂත්වය ගැන.

      Delete
  9. aththatama lankaweth drive karanakota polisiyen nawaththuwama wahanen bahala yanna oni na.mama godak welawata sudu ira kapala ahu wenawa.kawadawath car eken bahinne na.polisiyen unath langata awith dannawane madam waradda..dennako licence eka kiyalai kiyanne.illanna deyak na,mama waradda karapu bawa danna nisa eyala enakotama badu ready karan inne.
    ithin mamath dakala thiyenawa wahanen bahala polisiyen hoyagena yana udawiya.Dude danne nathuwada manda ehema oluwa kasa kasa magata yanne thamange athe waradda thiyagena kelin katha karanna bari aya.ekko licence na..ekko wahane docs na..ekko beela inne e wage hethu.godak aya danne na prashnayak athi wena thak kal lankaweth polisiyen bohoma wadagath widiyata katha karanawa.e ayath ekka atha yatin ganudenu karana ayata thamai e e widiyata salakanne.udaharanayak widiyata bus driver kenek waraddakata alluwama "bahinna sir bus eken " kiyanne na."bahapiya paraya" kiyanawa mage kanatama ahila thiyenawa.ithin ara parayath bahala gihin bus ayithikarayata call karala polis ralahamita ganak denawa.parata bassama Konda gana athdakeem thamai e..
    dan lankawe duppath minissu unath issara wage amathila, manthrila,hamu la dakkata oluwa kasanawa adui.mama dakala thiyenawa ganan gannewath na.thamange paduwe innawa.eyala passen oluwa kasagena konda namagena yana pirisak edath adath hetath dakinna puluwan,Dude ta athdakeem adu athi lankawe gam palathakata giyoth dakinna puluwan ape minissu dan godak swadeenai..rassawak nathuwa para ayine rasthiyadu gahana minissu adui.
    ammo meka liyala iwara karanna ba..samawenna appa me tharam diga comment ekak dammata.
    Nirosha

    ReplyDelete
    Replies
    1. අත්තටම ලන්කවෙත් ඩ්‍රිවෙ කරනකොට පොලිසියෙන් නවත්තුවම වහනෙන් බහල යන්න ඔනි න.මම ගොඩක් වෙලවට සුඩු ඉර කපල අහු වෙනව.කවඩවත් cඅර් එකෙන් බහින්නෙ න.පොලිසියෙන් උනත් ලන්ගට අවිත් ඩන්නවනෙ මඩම් වරඩ්ඩ..ඩෙන්නකො ලිcඑන්cඑ එක කියලඉ කියන්නෙ.ඉල්ලන්න ඩෙයක් න,මම වරඩ්ඩ කරපු බව ඩන්න නිස එයල එනකොටම බඩු රේඩ්ය් කරන් ඉන්නෙ.
      ඉතින් මමත් ඩකල තියෙනව වහනෙන් බහල පොලිසියෙන් හොයගෙන යන උඩවිය.ඪුඩෙ ඩන්නෙ නතුවඩ මන්ඩ එහෙම ඔලුව කස කස මගට යන්නෙ තමන්ගෙ අතෙ වරඩ්ඩ තියගෙන කෙලින් කත කරන්න බරි අය.එක්කො ලිcඑන්cඑ න..එක්කො වහනෙ ඩොcස් න..එක්කො බීල ඉන්නෙ එ වගෙ හෙතු.ගොඩක් අය ඩන්නෙ න ප්‍රශ්නයක් අති වෙන තක් කල් ලන්කවෙත් පොලිසියෙන් බොහොම වඩගත් විඩියට කත කරනව.එ අයත් එක්ක අත යටින් ගනුඩෙනු කරන අයට තමඉ එ එ විඩියට සලකන්නෙ.උඩහරනයක් විඩියට බුස් ඩ්‍රිවෙර් කෙනෙක් වරඩ්ඩකට අල්ලුවම "බහින්න සිර් බුස් එකෙන් " කියන්නෙ න."බහපිය පරය" කියනව මගෙ කනටම අහිල තියෙනව.ඉතින් අර පරයත් බහල ගිහින් බුස් අයිතිකරයට cඅල්ල් කරල පොලිස් රලහමිට ගනක් ඩෙනව.පරට බස්සම ඛොන්ඩ ගන අත්ඩකීම් තමඉ එ..
      ඩන් ලන්කවෙ ඩුප්පත් මිනිස්සු උනත් ඉස්සර වගෙ අමතිල, මන්ත්‍රිල,හමු ල ඩක්කට ඔලුව කසනව අඩුඉ.මම ඩකල තියෙනව ගනන් ගන්නෙවත් න.තමන්ගෙ පඩුවෙ ඉන්නව.එයල පස්සෙන් ඔලුව කසගෙන කොන්ඩ නමගෙන යන පිරිසක් එඩත් අඩත් හෙටත් ඩකින්න පුලුවන්,ඪුඩෙ ට අත්ඩකීම් අඩු අති ලන්කවෙ ගම් පලතකට ගියොත් ඩකින්න පුලුවන් අපෙ මිනිස්සු ඩන් ගොඩක් ස්වඩීනඉ..රස්සවක් නතුව පර අයිනෙ රස්තියඩු ගහන මිනිස්සු අඩුඉ.
      අම්මො මෙක ලියල ඉවර කරන්න බ..සමවෙන්න අප්ප මෙ තරම් ඩිග cඔම්මෙන්ට් එකක් ඩම්මට.
      ණිරොශ

      Delete
    2. me monawada me wenne?
      mathalanda me ?

      Delete
    3. මාතලං ට වෙලාව වැඩි වෙලා... හිහි හුහු...

      Delete
    4. නෑ බන් මට මේක කියවගන්න පුදුම දුකක් විඳින්න උනේ. ඉති කියවලා ඉවරවෙලා අනිත් අයගෙ පහසුවටත් එක්ක මෙතන දැම්මා

      Delete
    5. නිරෝෂා කියන කාරනාව ඇත්ත. නමුත් මම පොලීසිය ගැන විතරක් නෙවෙයි කියන්නෙ. මේක සමාජයේ මුල් බැහැගත්ත දෙයක්. ලංකාවේ ක්‍රමය වාහනෙන් බැහැලා යන එක තමයි නිසා අපිට ඒකට යමක් එක පාරම කරන්න අමාරුයි තමයි ගැ‍ටුමක් ඇති කර නොගෙන. නමුත් අඩුගානෙ ඔලුව කසලා කොන්ද නවලා බැගෑපත් වෙන්න අවශ්‍ය නෑ කොහොමත්.

      දැන් දැන් ඉස්සරට වඩා ආචාරශීලීව කතා කරනවා මමත් දකිනවා.
      නිරෝශා අර අන්තිමට කියලා තියෙන විදියට වෙනසක් ඇත්තටම තියෙනවා නම් ඒක මට ලොකුම සතුටක්. මගේ බලාපොරොත්තුවත් ඒකමයි.

      Delete
    6. මාතලන් අර පන්දම ගෙනිච්ච අන්ධය වගේ හොඳ වැඩක් කරල තියෙන්නෙ!

      Delete
    7. මාතාඩ වැඩ නෑලු. අනික මිනිහ හිතන්නේ නිරෝෂත් පවනි තරංග කෙනෙක් කියල නෙව. හැක්

      Delete
  10. මට අහන්න තියෙන එකම පුරස්නේ තමා අපි ඉපදිච්ච දවසේ ඉදල අපට කොන්ද හදල දෙන්න කී දෙනෙක් මහන්සි උනාද? ඇත්තටම පරමාදර්ශි ඒ වගේ චරිත අපිට හම්බ වෙනවද? අපි ඔවුන්ගෙන් ප්‍රමුද්දීපනය වෙලා අපේ කොන්ද හදාගන්නවද? නෑ.. ඔය කොදු ඇට පේලිය කෙලිං තියාගන්න කියපු හාදයෝම තමා ටික දවසක් යනකොට තෙල් ගාල ඒක නැමෙන්න සලස්වන්නේ. කනගාටුයි ඩුඩේ ඉන්දියන් කාරයෝ නං තමන්ගේ සංස්කෘතියේ හැටියට පුරුදු වෙලා ඉන්නේ.. ඒත් අපි.. නිකමට හිතන්න.. මහා භයානක එස්එෆ් වාදියෙක් උනත් මහරජා පාරේදි කරට අත දැම්මොත් කොන්ද කඩාගන්නේ නැත්ද කියලා.. ඒක තමා සත්‍යය. අපිට අභයන්තරව කොන්දට සංවේදි හැගීම් නෑ.. ඒ තරං පහත්.. අම්මප මටත් හිතෙනවා මේ ගැන ලියන්න.. උඹ ලියපු එක හොදා බොක්කටම වදින්නයි, බුරි උල් වෙන්නයි දෙන හින්දා. නියමයි ඩුඩෙ

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියමුකෝ දේශක. අඳුරට ශාප කරමින් නොඉඳ එක ඉටිපන්දමක් හෝ දැල්වීම තමයි මමත් කරන්න හැදුවේ.

      Delete
    2. අංකල් කොගේ මේල් ඇඩ්ඩරස් එක හරියට දිපං මටග බොට දෙකක් කියන්න්

      Delete
  11. ඩූඩි මතුතරක අදහසට මමත් 100%ක් එකඟයි..
    ඒත් කියලා තියන ශෛලිය හා වචන ගැලපීම ගැන නම් පැහැදීමක් නැහැ..
    මොකද මමත් නිතරම අනිත් අයට සර් කියලා කතා කරන කෙනෙක්..එහෙම වෙන්නෙ හේතු කීපයක් නිසා..

    1. බොහෝ වෙලාවට මම වැඩ කරන්නෙ සමාගම්වල තීරණ ගන්න හා තීරණ ගැනීමට බලය ඇති උදවිය සමඟ (Decision Making Power)එයාලට සර් කියන්නෙ එයාලගේ තීරණ හා අදහස්වලට මම ගරු කරනවා කියන්න
    2. සර් කිව්වාම වැඩේ කරගන්න ලේසී නිසා..හරියට සර් කියන එක ලිහිසි තෙල් වගේ..වැඩේ හරියට කරගන්න පුළුවන්..එතකොට ඒක නිවට කමක්ද කියන එක මට සුවර් නෑ..පොඩ්ඩක් ට්‍රයි කරන්න පොලිසියේ අයත් එක්ක.
    3. සර් කියලා කතා කරන්න වටින මිනිස්සු ඇත්තටම ඉන්න නිසා..එයාලා තමන් කරන්න ඕන රාජකාරිය ගැන ලොකු වැටහීමක් තියන මිනිස්සු..
    4. මිස්ටර් අහවලා කියලා කතා කරන්න නම දන්නැති හෝ මතක නැති නිසා..

    ආයෙත් මතක් කරනවා මේ ලිව්වෙ ඩූඩ්ගේ අදහසට 100%ක් එකඟ වෙලා..වචන පාවිච්චිය හරිම පුද්ගලබද්ධයි..(Subjective)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, රූ. මම පෝස්ට් එකක් ලිව්වාම 100%ක් මාත් එක්ක එකඟවෙන්න ඕනෙ කියලා එකක් නෑ. මම ලියන්නෙ මට හිතෙන දේනෙ. මගේ මතයට වඩා විරුද්ධ මත තියෙන්න පුලුවන්. :)

      Delete
  12. හොඳම හොඳ ලිපියක් ඩූඩ්..

    වැඩිහිටියන්ට වඳින එකනම් මමත් දරුවට පුරුදු කරවනවා.. හැබැයි ඔය කියනවා වගේ ලෝකෙ ඉන්න හැම යකාටම වන්දවන්නනම් මගෙත් අදහසක් නෑ.. ඒත් තර්කයක් තියනවා දෙමාපියන්ට වුනත් වදින්න ඕනා නෑ කියලා..

    මේ ඉන්දියානුවන්ගෙ සර් කීම ගැන පුංචි කතාවක්..

    අපේ කම්පැණියට ආවා එක ඉන්දියානුවෙක්. එයා උපාධියක් එහෙම තියන ටිකක් දැන උගතෙක් කියලා තමා පෙන්නුවෙ.. මිනිහා ආපු මුල්ම දවස් වල හැමෝටම සර් කිව්වා.. කාකාසට හිටන්.. ඊට පස්සෙ මිස්ටර් වුනා.. ඊට පස්සෙ මිස්ටර් හැලිලා නිකන්ම නමෙන්ම ඇමතුවා... පස්සෙ කම්පැනියෙ උසස් නිළධාරීන්ටත් ප්‍රසිද්ධියෙ කෑගහන්න පටන් ගත්තා.. අන්තිමට ගියා..

    මම ලේසියෙන් කාටවත් සර් කියලා අමතන්නෑ...කම්පැණියෙත් ඉහල උසස් නිළධාරීන් දෙන්නෙකුට පමණයි එහෙම අමතන්නෙ. මෙහෙදි ඒකට තව විශේෂ හේතුවක් තියනවා.. ඉන්දියානුවෙකුට සර් කියලා ඇමතීම හරිම භයානකයි.. ඊට පස්සෙ ඌ කරේ යන්න හදන්නෙ..

    ReplyDelete
    Replies
    1. අර යකා නවතින්න ඕනෙ තැන දැනගෙන ඉඳලා නෑ වගේයි. සෙන්නෝ. තනතුරකට ගරු කරන්න සර් කියන්නමවත්, නෝන්ජල් කම සහ යටහත් පහත් භාවය පෙන්නන්නම ඕනෙ නැති බවත් තමයි මම කියන්න හදන්නෙ.

      Delete
  13. ඇත්තටම අපේ ජාතිය මහ නිවට ජාතියක්. දැන් මේ වැඳිල්ල ඉට්ටයිල් එකක් වෙලා. සුද්දෝ හිනාවෙනවා මේවා දැක්කම. වඳින එකා නෙමෙයි වැඳුම් ලබන එකාත් කොන්දක් නැති එකෙක්. මම නම් කෙලින්ම කියන්නේ මට වඳින්න එපා කියලා. වඳින්නම ඕන නම් අම්මටයි තාත්තටයි වැන්දම හොඳටෝම ඇති. ඒකත් නොකරනවනම් තමයි වඩා හොඳ. වඳිනවට වඩා කිස් එකක් දුන්නම, හග් එකක් දුන්නාම කොච්චරනම් ෆීලින්ග් එකක් එනවද...? මේ වනචාරි ගති නැතිවීම කෙසේ වෙතත්, වර්ධනයකුයි සිඳුවෙන්නේ, ඒ කියන්නේ අපි අගාධයකට ගමන් කරනවා කියන එකයි.. අන්තර්ජාලයෙත් කරන්නේ හනමිටි කරේ තියාගෙන යන එකයි. පිරිස නිදන්නවා උනාට. කරේ එල්ලන් යන්නේ ලැප් එක විතරක් නෙමෙයි. ඔළුව උඩ දර මිටියකුත් ගෙනියනවා...

    ReplyDelete
    Replies

    1. මෙහෙමයි මම ඕක දකින්නෙ මචං. අපේ සිරිත් විරිත් ‍රැකගන්නත් පුලුවන් කොන්දත්, ප්‍රතිපත්තිගරුක භාවයත් ‍රැකගෙනත්. මම මේ ලිපියෙම ඕක කිව්වෙ ඒකයි.

      Delete
    2. ඉතිං මාතලන් අම්මට තාත්තට වැන්ඳට පස්‌ෙස් අනිවාර්යයෙන් නළලට කිස් එකක්, කම්මුලට කිස් එකක් හම්බුවෙනවාමනේ.... නැද්ද මං අහන්නේ... ඕනෙවට වඩා අන්තෙට යන්න ඕනේ නෑ කිසිම දේක..

      මං පරක්කුයි ඩූඩ් අයියේ අද.. ඒක නිසා කමෙන්ට් කරන්නේ නෑ මේකට... මාත් සර් නොකියන කෙනෙක්... ඒක විතරක් කිව්වම ඇති...

      Delete
  14. බොහොම වටිනා ලිපියක් ඩූඩ්. මගේ අදහසත් දරුවන් කාටවත්ම වැදිය යුතු නැහැ කියන එකයි.මේ වන්දනාමානය නිසාම තමයි ආත්මාභිමානය නැත්තටම නැතිවෙලා තියෙන්නේ.එසේම රාජකාරිමය තත්ත්වයන් තුළ අනෙකකුට සර් යන වදන මගේ වෘත්තියට අනුව අප යොදාගන්නේ නෑ. අප අමතන්නේ තනතුරුනාමයට ගෞරවාර්ථයක් දීලයි.
    උදා - ඇමතිතුමා, සභාපති තුමා, යනාදී වශයෙන්...ඒත් තාමත් ගුරුවරුන්ට නම් සර් යන ඇමතුම කරනවා.

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවා නලීන් මේකෙ යම් වැදගත්කමක් ඇති කියලා. ගැ‍ටුමුත් ඇති කර නොගෙන, ආත්ම ගෞරවයත් ‍රැකගෙන අවශය දේත් කරගන්න පුලුවන් වීම තමයි දක්ෂකම.

      Delete
  15. අපේ හෙන්රි සර් අද නියම පාඩමක් නොවැ බ්ලොග් පන්තිකාමරය තුල කියා දීලා තියෙන්නෙ... කථාව ඇත්ත...ඕන්න මමත් එකගයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා. ඇත්තෙන්ම මේ ලිපිය නම් අවුරුද්ද්දක් පරණයි. නමුත් මේක ඊ ලඟ ලිපියට පූර්විකාවක් විතරයි.

      Delete
  16. එක දවසක් අපේ ප්‍රධාන පාරෙ ට්‍රැ‍ෆික්පොලෝසිය ආදායම් බලපත්‍ර,රක්ෂන සහතික බලනව.මට නම් මල පනින්නෙ අත දාල නැවැත්තුවම.. එහාට යනකොට නැවැත්තුව ඔක්කොම බලල ....ඌ දෙන්නෙ හරියට උගේ පාරෙ අපි යනකොට නවත්තල බැලුව වගේ.
    ආයිත් ආපහු එනකොටත් නැවැත්තුව..ගෙදර කට්ටියක් ඇවිල්ල ..අයිස්ක්‍රීම් එකක් අතේ.
    මම ලඟින්ම නැවැත්තුව ..අයින් කරල නවත්තල අරව..මේව.ගේන්නලු..

    මම කිව්ව ඇයි රාලහාමි..යනකොට බලපු ඒව මේ ඩින්ගට එක්ස්ෆයර් වෙලාද කියල..
    මූ මාව කන්න වගේ බලල.. ගන්නව ගන්නව කියනව...මොනව කරන්නද පෙන්නල ඉවර වෙලා..

    මුන්ගෙ අම්මල මතක් කර කර ආවෙ.

    අනික...කොන්ද ගැන අනික් කාරනය,
    අර මැරවින් ගැන බලන්න ...සාමාන්‍ය රජයේ සේවකයො,පොලිස් නිලදාරී, ආදී සේවකයො ඉස්සරහ....මාර විදියට කොන්ද කෙලින්,
    ඒත් රජතුමාගෙ ගාවදි....කෂේරුකා සියල්ල ඇඹරෙනව.

    උස්තැන් දැක හැකිලෙන්නේ ..මිටිතැන් දැක පුප්පන්නේ..
    නිව‍ටුන් බව සිතමින්නේ...මගේ පුතා ලොකු වෙන්නේ...

    ඇස්.මහින්ද හාමුදුරුවෝ..

    ReplyDelete
    Replies
    1. සූටි දෙයක් හැලිල...අර පොලිස් කාරය මාව දෙවැනි සැරෙත් නවත්තපු වෙලාවෙ.ආයිත් ඔක්කොම බැලුවෙ..සර් කියපු නැති නිසා.

      Delete
    2. >>උස්තැන් දැක හැකිලෙන්නේ ..මිටිතැන් දැක පුප්පන්නේ..
      නිව‍ටුන් බව සිතමින්නේ...මගේ පුතා ලොකු වෙන්නේ...<<

      මෙතන උඹ කියපු ඔක්කොම දේ තියෙනවා වීයා. ස්තුතියි.

      Delete
  17. අර ටිකට් මැසිමේ මාටියා ගහන කතාව මමත් අහලා තියනවා. මම අහපු විදියටත් එංගලන්තෙ ඉඳන් ඔය මැෂිම ඒ කාලේ ගෙන්නනකොට කට්ටිය ආයේ මාටියා ගහන්න බෑයි කියලා ගැරන්ට් කරල ලොකූ පොර ටෝක් දුන්නලු. ඒත් ලංකාවේ කවුද අයියා කෙනෙක් මැසිමෙන් හොර කරන්න කරලා තියෙන්නේ එකම පොඩි දෙයක්ලු. ඌ මැසිමේ මොකක්ද කෑල්ලක් අස්සට ගැහුවාලු ගිනිකූරක්.. ඊට පස්සේ ඉඳන් මැසිමත් හොරටලු වැඩ... ඩූඩ් කිව්වෙත් මේක ගැනමද?

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දේවල් කීපයක් වුනාද මම දන්නෙ නෑ තොටියා. නමුත් ඔය කියන පුද්ගලයා නම් මම දන්නවා. ඔය කතාව ඔය විදියටම ඇත්තටම සිද්ධ වුනා.
      ගිණිකූරක්ද හැට්ට කට්ටක්ද කියලා මටත් මතක නෑ.

      Delete
  18. බෝක්කුවක් බෝක්කුවක් ගානෙ රස්තියාදු ගගහ හිටපු එවුංව ලොකු පුටු වලට යවල උං පස්සෙං "සෑර්...! සෑර්...!!" කියාගෙන ඇවිදින එකනං මටත් පෙන්නන්නම බැරි වැඩක්.

    ReplyDelete
    Replies
    1. සෑර් සෑර් කියලා අනිත් උන්ට කියලා කියවාගන්න කැමති පුස්සො තමයි පරිකල්පන.

      Delete

  19. කියන්න ඕනේ ටික සහසුද්දෙම්ම කියල තියෙනවා .
    කමෙන්ට් කරපු අයත් ඒ දේවල් ගානට කියල තියෙනවා.
    මාත් එහෙමයි එක එකාට සෑර් ගාන්න යන්නේ නැහැ මිස්ටර්
    මිසක් .හැබැයි අනිවර්යේම්ම පුද්ගලයන් අතර පරතරය තියා
    ගන්නවා.ඒක හරිම වැදගත් .නැත්නම් සෑර් මචන් වෙලා
    බන් බොලන් වෙලා ගූ හැත්තෑවක් වෙනවා .හොදම දේ හැම කෙනා
    එක්කම සුහදශීලීව තමන්ගේ සීමාව තියන් ඉඳීම .

    ඔය අතරේ වෙනමම න්‍යායක් ඕනේ වෙනවා ඩුඩ් අයියේ මෝඩයෝ
    එක්ක ගනු දෙනු කරද්දී .විශේෂෙන් ඒ වෙලාවට බල්ලටත් සෑර් කිව්වම
    එකෙම්ම වැඩේ ඉවරයි.

    දන්නවනේ බල්ලන්ට සෑර් නොකිව්වොත් වෙන දේ ?
    මොකද වැදගත් සමාජයේ ජීවත් වීමත් , බලු සමාජයේ ජීවත්
    වීමත් කියන්නේ පැහැදිලිවම දෙකක් .ඒ දෙකේ වෙනස අඳුනන්
    ජීවත් නොවුනොත් විනාසයක් වෙනවමයි ..

    ප්‍රශ්නේ තියෙන්නේ එන්න එන්න ගුණ ගරුක කම් වලට තැනක් නොදෙන ,
    වන්දි බට්ටයන්ට ගිය රටක් බිහි වීම ..මේ යන ගමන එක්ක අපිට පැවැත්මක්
    නැහැ .නුසුදුස්සෝ නුසුදුසු තැන් වලට ඇවිත් ඉවරයි අයියේ ...ආයේ
    සම්මද්ජාතියකට මේක ගොඩ ගන්න පුළුවන් කියල මාත් හිතන්නේ නැහැ.
    නමුත් මාත් මේ වගේ දේවල් ගැන ලියනවා.ඒවට මහ දෙයක් කරන්න බැහැ
    කියලත් හොදටම දන්නවා .ඒත් ලියනවා.හිත හරි නිදහස් ඔතොකොට...

    මේවා ගැන කියන්න නම් ගොඩක් දේ පුළුවන් .ඒත් මටම එපා වෙලා මේ
    දේවල් දැන්.දේශපාලනේ , නීතිය ගැන දාන්නේ නැහැ කියල මටම පොරොන්දු
    උන බ්ලොග් එක දැන් දේශපාලන ලේබල් වැදිල සමහරු එන්නෙත් නැහැ ...

    ReplyDelete
    Replies
    1. ඒ කියලා ඒවා නොලිය ඉන්න එපා. නැත්නම් මේකත් බුකිය වගේ වෙයි.

      Delete
    2. සහන්, මාතලන් කියන එකම තමයි මටත් කියන්න තියෙන්නෙ. එහෙමයි කියලා නොලියා ඉන්න එපා.
      අර තමන්ගෙ වැඩේ කොහොම හරි කරගන්න බල්ලටත් සර් කියන එක අපි නොකල යුතුම දෙයක්.

      Delete
  20. අබාන්ස් ඒ වැඩෙත් පටන් අරන්ද මචං? මේ ලිපිය නිසා තමයි මා උඹගේ බ්ලොගයේ නිත්‍ය පාඨකයෙක් උනේ පසුගිය වසරේ පටන්. මේකෙන් කියවෙන දේවලුත් උඹගේ පෙර සටහන් දෙකේත් (FAQ 1/2) අතර පොඩි සම්බන්ධ කමක් මට නම් පේනවා. යටහත් පහත් කම හා ගෞරවය කියන්නේ දෙකක් කියලා බොහෝ දෙනා සලකන්නේ නැහැ. ලංකාවේ හොඳ ගුරුවරුන් ගැනත් සමහර බ්ලොග් වල ලියන්නේ "ඌ නම් මාර සොමි පොරක්" කියල. ඒ අතරේම කියනවා බටහිර නැති ගුරු ගෞරවයක්, සදාචාරයක් අපට තියනවා කියා. උඹ උගන්වන පාසල් වල තියන නීති මා නම් සලකන්නේ, සමාජයේ ඉදිරි පියවරක් වශයෙන්. ගුරුවරුන්ට අමාරු තමා. නමුත් මචන් ඔය කියන දෙකට නැමෙන මිනිසුන් බිහිවනවා අඩුයි, ඒ වගේ පරිසරයක් තුල. අප ගෙදරින් එලියට බහින්නෙම දෙකට නැවිලා කාට හරි වැඳ ගෙන. ඒ නැවිල්ල පාර දිගටත්, බස් රථයේ කොන්දාටත්, පාසලේ දීත්, ආපසු ගෙදර එන විටත්, නින්දට පෙරත් ආදී වශයෙන් ඉවරයක් නැහැ. ඉතින් මචන් කෙලින් වෙලා (කොන්ද) තියන වෙලාවල් අඩුයි.

    ReplyDelete
    Replies

    1. ස්තුතියි රයිගම්. ගියපාරත් දාපු නිසා එකෙක් හරි පෝඩ්ඩක් හරි වෙනස් වෙන්න හිතුවා නම් ඒකමයි මගේ අරමුණ. කිසිම දේකින් 100%ක් ප්‍රතිඵල බලාපොරොත්තු වීමත් මෝඩ කමක්නෙ. ලොකුම ප්‍රශ්ණෙ මචං ජම්මෙට වඩා පුරුද්ද ලොකුවීමනේ.

      Delete
    2. එකෙන්ම අයියන්ඩි එකෙන්ම..

      Delete
  21. අයියන්ඩි මට අනිත් උන් ගැන නම් ගැරන්ටි දෙන්න බෑ. මොකද ඔය කෙලින් කතාව කෙලින් වැඩ හරි දේ කිරීමකියන ඒවා ගැන කතා කරලා වැරදි කාරයා වෙච්ච අවස්ථා එමටයි. පුදුමේ කියන්නේ කොන්ද නමන එකා හරි කියලා කොඩිය උස්සන එවුන් තමයි වැඩි පුරම ඉන්නේ. මම වෙනස් වුනේ නෑ මම මගේ කෙරේමේ තවමත් අල්ලගෙන යනවා. හැබැයි අනිත් එකාලා එක්ක ඔය දේවල් කතා කොරන එක නම් නැවත්තුවා. කතා කීපයක්ම මතක් උනත් කියන්න කැමැත්තක් නෑ. මේවා මැජික් වෙන උදවිය සරා පම්පෝරි ගහනවයි කියන නිසා. මොකටෑ මගේ ලෙවල් ඒක මා ලඟ තිබුනාවේ නේද...? හැබැයි ඔබේ උත්සාහයට මගේ ආචාරය.....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බං. ඒත් පම්පෝරියක් වගේ නොපෙනෙන්න සීනි / චොකලට් තවරන්නත් පුලුවන්. මම දන්නවා. අපි අපිම හදාවත්ත සීමාවල් වලට කො‍ටුවෙලා. ඇත්තෙන්ම නයි වගේ පෙනේවි කියලා සැකය නිසා සමහර පෝස්ට් දාන එකත් ප්‍රශ්ණයක් වෙලා තියෙනවා වගේ.

      Delete
  22. ඇත්ත ඩුඩ්...මේ කතාව නම් සහතික ඇත්ත..... තමන්ගෙ වැඩේ කර ගන්න විතරක් නෙමෙයි, හොද නම ගන්නත් මිනිස්සු හරිම නෝන්ජල් වෙනවා...ඒවා දැක්කමත් කේන්ති එනවා....

    මේකෙන්වත් එයාලා හැදෙනව නම් හොදයි... හරිම වැදගත් පෝස්ට් එකක් ඩුඩ්.... :D :D :D

    thumbs up!!!

    ReplyDelete
    Replies
    1. අන්න හරි. හොඳ මිනිහා වෙන්න සපත්තු ලෙවකන උන් වැහි වැහැලා, ඒ ගමන්ම අනිත් උන්ගේ බෙල්ලත් කපනවා දියරෙද්දෙන්.

      Delete
  23. ශෝචනීය තත්වයක්.ලංකාව වගේ රටක් නම් මේ වගේ තත්වයකින් කවමදාකවත් ගොඩ ඒමක් නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා නිශාන්. අපිටත් පුලුවන්.

      Delete
  24. කියල තියෙන කතාව නම් ඇත්ත. වැදිය යුත්තන්ට අමතරව හැමෝටම වදින්න ගියාම ඒ වැදීමේ අගයක් නැති වෙනවා.බාල්දු වෙනවා.....

    ReplyDelete
  25. ඔය කොල්ලටයි බල්ලටයි හැම එකාටම සෑර් සෑර් කියන එක මටත් පේන්න බැරි වැඩක්. එහෙම උනාම ඇත්තටම ගරුකටයුතු මනුස්සයෙකුට කියන්න දෙයක් නැතුව යනව. ඩූඩ්, අපේ සමාජය මහ පුදුම එකක්. නමට නම් ධර්මද්වීපය. කරන තරම් කරන්නෙ අලුගුත්තේරු වැඩ. මිනිස්සුත් වැඩිපුරම ගරු සැලකිලි කරන්නෙ ලොකුම මැරයට - කුපාඩියට - අපරාධකාරයට. හොඳ මිනිස්සුන්ට වැඩිය තැනක් නෑ, නොසලකා හරිනව.

    රාජ්‍ය සේවය ගැන නම් කතාකරල බැඩක් නෑ, වෙලාවකට හිතෙනව මුන්ව මට්ටු වෙන්නත් එක්ක පුද්ගලික අංශයට දීල දානවනම ඉවරයි කියල. පොලිසිය නම් කොට්ට උරේ කනපිට ගැහැව්ව වගේ කනපිට ගහන්න ඕන, උන්ගෙ තියෙන්නෙ මිලිටරි පාට්.

    ReplyDelete
  26. ඩුඩ් අයියා හැමදාම අපිට දෙන්නේ වැදගත් උපදෙසක් සහ වැදගත් කාරනා.පිදිය යුත්තන් පුදනවා නම් මේ ප්‍රශ්න නෑ නෙ.අනිත් එක තමා බාලයෝ ඇසුරු කරන එක නවත්තන එක.අපි එක එකාට නැවෙන්න ඕනෙ ජාතියක් නෙමේ.කොන්ද කෙලින් තියං අපේ පාඩුවේ වැඩ ටික කරන් හිටියා නම් හරි

    ReplyDelete
  27. පළවෙනි සිද්ධිය මමත් ඩූඩ් වගේම එක එක මිනිස්සුන්ට කොන්ද නමන්න කැමති නෑ... මම හිතන හැටියට ඒක අහංකාරකමක් නෙමෙයි.. මොකද මම කියන්න තියෙන දේ කෙලින් කියනවා.. ඇතිතැන සනසලා නැතිතැන වනසන්නේ නෑ.. නෑයෝ වගේම සමහරුත් මම මහා අහංකාරයෙක් කියලා කියනවා වෙන එකක් පවා තාත්තාත් "අපෝ.. උඹගෙ මහ ලොකු අහංකාරකම. අම්මා වගේම තමා" :)

    සිද්ධි කීපයක් මතක් උනා..

    ඔන්න මම චිකන් පොක්ස් හැදිලා මෙඩිකල් එකක් ගන්න ප්‍රාදේශීය සභාවට යනවා.. එතන ඉන්න දෙස්පාළු හෙංචයියෝ ටික බලන් ඉන්නෙ මහත්තයා කියෝගන්න.. උන් අර මහත්තයා මේ මහත්තයා ගාවට යන්න කියන නම් මම මහත්තයා කෑල්ල නොදමා කියද්දි මාව කන්ඩ වගේ හිටියෙ..

    "එතකොට ඔය ඉස්කෝලවල තෑගි උත්සවවලදි පවා අපි අපේ ළමයින්ට කියලාවෙනත් බාහිර පුද්ගලයන්ට වන්දන්නෙ අපිට තියෙන මොන අයිතියක්, මොන බලයක් නිසාද? " මම නම් ගෞරවයක් ලබන්ඩ සුදුසුයි කියලා හිතෙන මිනිසුන්ට ඇර අනික් අයට වඳින්නේ නෑ.. ගෞරව ලබන්ඩ සුදුස්සන්ට දෙනෝ දාහක් හරි මැද්දෙ බිම පෙරළිලා වඳින්න මට පුළුවන්.. ඒත් බොරු ඔපේට ඔය එක එකාට මම ජීවිතේට වැඳලත් නෑ.. වඳින්නෙත් නෑ.. මටත් ඔය වගේ මිනිසුන්ට වන්ඳනකොට ඇතිවෙන්නෙ තරහක්.. මට මතක් උනේ බන්දුල ගොයියට වඳින්න බෑ කිව්ව පොඩි එකාව..

    "අනික අර මුලින්ම කිව්වා වගෙ අපේ මිනිස්සු ගරු කරන්නෙ බාහිර ඔපයට මිසක් ගුණ සුවඳට නෙවෙයි" හොඳම උදාහරණයක්..
    ඔන්න මම දවසක් ගෙදරට ඇඳන් හිටපු ඇඳුම පිටින් කබල් සෙරෙප්පු දෙකකුත් දාගෙන, කබල් බයිසිකලයක නැගලා, යනවා ෆුඩ්සිටි. බයිසිකලය හේත්තු කරලා ඇතුළට යන්න හදනකොට සිකුරිටි
    "මේ ඕයි, ඔය කබල මෙහෙන් දානවා. අන්තිමට ඕක නැතිවෙලා තමුසෙ මාව කන්න යයි"

    ටික දවසකට පස්සෙ මම වැඩ ඇරිලා යනවා ෆුඩ්සිටි. හැබැයි පයින්.
    මම :"මේ මෙතනින් අහවල් කොම්පැනියෙ බිල් ගෙවන්න පුළුවන්ද?"
    ඒ සිකුරුටිම : "දන්නේ නෑ සර්. සර් ඔහොම ඉන්නකො මම අහලා කියන්නම්"


    ReplyDelete
    Replies
    1. කෙනෙකුට මහත්තයා කියලා ආමන්ත්‍රනය කරන එකයි කෙනෙක් ඉස්සරහා කොන්ද නමනවා කියන එකයි එකක් නෙමේ දෙකක්. කියන්න අමාරුමනම් මිස්ටර් කියලා කිව්වම ඉවරයි.

      Delete
  28. මෙතන කියන්න දේවල්නම් එමටයි. සමහර විට අපි පිටරටක ඉඳන් බලනකොට ඔය දේ පේනවා වැඩියි. තව එකක් මෙහේ රැකියා ගරුත්වය හරි ලොකුවට හිතනවා ඒ වගම පෙන්නන්න හදනවා . අපේ රැකියා ප්‍රදානියා ඉල්ලීමක් කලා ඒ ගරුත්වය දෙන්න කියලා හැබැයි එතනනම් මම වැරැද්ද්ක් දැක්කෙ නෑ. සර් කියන්න ඇත්තෙන්ම මගෙ දිව නැමෙන්නේ මට උගන්නපු නැත්නම් මම හොදින්ම ගුරුවරයෙකු බව දන්න කෙනෙකුට විතරයි. හැබැයි සිංහලෙන් නැතත් මිස්ටර් කෑල්ලනම් ඕනම කෙනෙකුට එල්ලනවා

    ReplyDelete
  29. නියම ලිපියක් ඩූඩ්. කියල තියෙන එවට මාත් සම්පූණයෙං එකඟයි.
    මාත් කැමතිම නැති දෙයක් තමයි ඔය මැති ඇමතිල එනකොට මනිස්සු නැගිටින එක. ඒ මිනිස්සු එතන ඉනනෙ තමං දීපු ඡන්දෙං කියල හිතන්න බැරිද.

    ReplyDelete
  30. //වඳින එක අපි තියාගන්න ඕනෙ 'වැඳුම් ලැබිය යුතු' පුද්ගලයන්ට වඳින්න විතරයි.//

    සම්පුර්ණ ඇත්ත ඩුඩ්, මම නම් ස්වාමින් වහන්සේ කෙනෙක් හෝ මගේ ගුරුවරයෙක් කොතන හමු උනත් දන ගහල වඳිනවා.

    මේ මට උන සුළු සිදුවීමක්.

    මම මිට වසර කීපයකට කලින් පුද්ගලික රුපවාහිනී සේවාවක සේවය කළා. කිසිම දිනක අධ්‍යක්ෂ මණ්ඩලයේ කෙනෙක්ට සර් කිවේ නැහැ. Mr. ..... කියලා කතා කල අතර Managing Director ට MD කියලා කතා කළා. දවසක් මම යනකොට මොකක්ද හේතුවකට අපේ නැටුම් උගන්නපු සර් ඇවිත් lobby එකේ වාඩිවෙලා ඉන්නවා. මේ සර් සරම බැනියම ඇඳපු කෙනෙක්. මම දණගහල වැඳලා සර්ට මව අදුන්වලා දීලා ටිකක් කතා බහ කරලා ගියා.

    ඕක දැකපු තවත් නිලදාරියෙක් පස්සේ මට කියනවා, "ඔයා MD ටවත් සර් කරන්නේ නැහැ හැබැයි අර කිළුටු සරම ඇඳ ගෙන හිටපු මිනිහට ඔක්කොම ඉදිරියේ වැඳලා අපේ ආයතනයටත් අපහස කළා" මලේ හොඳම එක පැනපු මම ඔක්කොටොම ඇහෙන්න මෙහෙම කිවා " යකෝ ඒ මට උගන්නපු උත්තමයෙක් දැන් මේ ටයි පොල්ලක් එල්ලගෙන ඉන්නේ ඒ උත්තමයෝ හින්ද තමයි. ඒ වගේ කෙනෙක්ට හැර සර් කියන්නවත් වඳින්න වත් වෙන එකෙක් මේකේ නැහැ කියලා"

    ඔය කතාව MD ගේ කනටත් ගිහින් තිබුනා. පසුව ඔය ආයතනයෙන් කැපෙන්නත් ඔය සිදුවීම හේතුවක් උනා.

    අපේ පොඩි එකා කල වැඩක් තියෙනවා පස්සේ පොස්ට් එකකින් දැන්නම්.

    ඩුඩ් උඹේ කොන්ද කෙලින් තියාගන්න උගන්නපු උඹේ තාත්තටත් මගේ ආචාරය

    ReplyDelete
  31. මම නම් අහල තිබ්බෙ අර ටිකක් කඩන මැෂිමට ශොට් එක දුන්න බුවාව අදාල කොම්පැනියටම ගත්ත කියල. උට හිතෙන්න ඇති ඒකට යනවට වඩා හොඳයි මාටිය ගහන එක කියල. අද ඉඳල පිලිවෙලකට උඹේ පරන පෝස්ට් ටිකත් කියවන්න ඕන. බලමු අපේ ළමයෙකුටවත් ඔය ටික කියල දෙන්න. වෙන එව්වො අපි කියන දේවල් අහනව කියලය.
    -අන්තිම පේලියෙ උකුස්සා-

    ReplyDelete
  32. ගොඩක් වටිනවා ඩූඩ් මේ කථාව. අපේ රටේ තාම මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ තමන්ගේ කියලා ආත්ම අභිමානයක් තියෙන බව. අපේ ස්ටාෆ් එකේ කට්ටියත් එහෙමයි.සමහර විට ඉඳගෙන ඉන්න පිරිසක් පසු කරලා ටොයිලට් එකට ගියත් නැගිටිනවා ආයේ එද්දිත් නැගිටිනවා. අමාරුවෙන් බෙහෙත් ගන්න ආපු ලෙඩ්ඩුත් එහෙමයි අපිව දැක්කම නැගිටිනවා. මම අහනවා හැම තිස්සෙම ඇයි දකින දකින සැරේට නැගිටින්නේ කියලා. මටනම් ඒක වදයක්. අපි නැගිටින්නේ අපි ළඟට යම් කෙනෙක් පැමිණ අප අසල හිටගෙන කතා බස් කලොත් පමණයි. එක්කෝ ඒ පුද්ගලයාට ඉඳගන්න කියන්න ඕනේ නැත්නම් අපි නැගිට කතා කරන්න ඕනේ. බොහෝ අමාත්‍යාංශ වල එහෙම සිද්ධ වෙන්නේ නෑ. හිටගෙන දෙකට තුනට නැවී කතා කරන්න වෙනවා. වැටිය ඕනේ නෑ අපේ රෝහලේ ඉන්න ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔෆිසර්, එයත් එහෙමයි අපි ගිහින් හිටගෙන කතා කරන්න ඕනේ ඉඳගන්න කියන්නේ නෑ. මම නම් පුටුවක් ඇදලා ඉඳගෙන තමයි කතා කරන්නේ. ගොඩක් අයට තමන් ගැන හීනමානයක් පවතිනවා. ඒ හීනමානය නිසා තමන්ගේ තත්වය උසස් කරගන්න විවිධ දේ කරනවා. පහළ අයව තලා පෙලා පගාගෙන සිටීමද එහි ප්‍රතිඵලයක්.

    අද අපේ රටේ අධ්‍යාපනික වශයෙන් ඉහළට ගිය අය මුල් පුටුවල නෑ. ඔක්කොම දේශපාලනික උල්පන්දම් නිසා. මම හැකිතරම් උත්සහ කරන්නේ කොහේ හරි ගිය විටක මගේ තත්වය හෝ රැකියාව නොකියා කාර් යය කර ගැනීමට නමුත් අපේ රටේ ඒ දේට කිසිම ඉඩක් නෑ. මම ඩොක්ටර් කෙනෙක් කිව්ව ගමන් අර සැර පාට් දාපු කෙනා හතර පහට නැමිලා අනේ ඩොක්ටර් ඇයි ඒක කලින් කිව්වේ නැත්තේ. මෙච්චර රස්තියාදු වෙන්න ඕනෙ නෑනේ. කියමින් මිනිත්තු කිහිපයකින් සියල්ල ඉටු කර දෙයි. මම නිතර අහන දෙයක් තමයි. මගේ වෘත්තීය ඉදිරියට දමන්නේ නැතුව කොහොමද මම හොඳින් වැඩක් කරගන්නේ කියලා. ඇතැම් තැන් වලදී මම ඔවුන්ගේ මූණටම කියා තියෙනවා "මම වෛද්‍යවරයෙක් වුන නිසා ඕගොල්ලො මට මේ දේ ඉක්මනින් කරලා දුන්නා ඒත් සාමාන්‍ය මනුස්සයෙක් කොයි තරම් රස්තියාදු වෙනවාද" කියා. අත්දැකීම් නම් එමටයි. අපේ වෘත්තියේ සර් හෝ මැඩම් කියා කියන්නේ අපේ ගුරුවරුන්ට සහ අප යටත් වන විශේෂඥයින්ට පමණයි. ඒ එසේ නොකිව්වානම් ඇතැම් විට ප්‍රශ්ණ ඇති වෙන නිසා. අපේ වෛද්‍යවරුන්ගෙන් කෙනෙක් රෝහල් අධිකාරී පැමිණි විට නොනැගිටි නිසා ප්‍රශ්ණයකට මුහුණ පෑවා. නමුත් පිටරටක සිට මෙහි පැමිණි වෛද්‍යවරයෙක් කීවේ ඒ රටවල කොයි කවුරුත් දොස්තරලා මිස්ටර් හෝ මිසිස් කියා කතා කරනවා හැරෙන්න සර් මැඩම් කියන්නේ නැති බවයි. තවමත් අපේ රටේ යටත් විජිත වහල් මානසිකත්වය පවතිනවා. ඒකාලේ ඉඳන් කොන්ද නමලා පුරුද්දට තාම එහෙමමයි. අර මහින්ද හාමුදුරුවන්ගේ කවියකත් තිබ්බේ , ඔක්කෝටම වඳින හැටි බල බලා ඉඳ, ලක්මව අඬන හැටි උඹටත් පෙනෙනවද ? කියලා. කවදා ඔබ පෙන්වා ඇති නිවහල් චින්තනයක් මේ රටේ පහල වෙයිද ?

    ReplyDelete
  33. අයියගේ කතාව සහතික ඇත්ත. මං සර් කියල ඇත්තේ මගේ ජීවිත කාලේදී බොහොම අඩුපිරිසකටයි. ක්කොම්පනියේ ජෙමාටත් මම කියන්නේ මිස්ටර් ඉමාද් කියල නම කියල. මේ ගැන මටත් පොස්ට් එකකට කරුණු එකතු උනා. ඒවා වෙනම දාන්නම් කෝ.

    ReplyDelete
  34. I could not resist visiting your blog.The post and the comments are equally interesting. I too don't like to call people 'sir' unnecessarily and I don't like politicians making our students worship them too. They are given a book or a bag and our children kneel down before them like beggers. Respecting elders is o.k but losing self dignity before others is unacceptable.

    ReplyDelete
  35. @
    AnonymousFebruary 2, 2013 at 10:05 ඵ්M

    නියම මහත්මයෙකුට මහත්මයා කියන්න මම දෙපාරක් හිතන්නේ නෑ සහෝ.. ඒත් දෙස්පාළුවන්ට පන්දම් අල්ලලා අල්ලලා ඒ පුටු වලට රිංගගෙන සුදුසුකම් ඇති එවුන්ට ඒ අවස්ථාව අහිමි කරපු ඒ වගේ උන්ට මහත්මයා කියනවා කියන්නේ හැබෑ මහත්වරුන්ට කරන අගෞරවයක්...

    ReplyDelete
  36. රත් වුන ලේත් එක්ක දාපු කමෙන්ට් එක වැටිලා නැහැ.මගේ පැත්තෙන් වුන තාක්ෂණික දෝෂයක්.

    කොන්ද නොනමන ජාතියක් විදියට අපේ ළඟ ඉන්න කෙනවවත් පුරුදු කල ගත්තොත් කාලයක් යද්දී මේ නිවට කම නැති කරගන්න පුළුවන්.

    ඒ හැටි අධ්‍යාපනයක් නැති අප්‍රිකානු මිනිසුන් වත් කවදාවත් මේ විදියේ නොන්ජල් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවනම් ආයතනයේ ප්‍රධානියාත් එක්ක කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් අධ්‍යාපනයක් අර උගත් නැති අප්රිකානුවා ළඟ තියෙනවා. පපුව 32 මැනලා පොලිස් සේවයට බඳවා ගන්න මනුස්ස කමක් නැති ලංකාවේ පොලිස් නිලධාරීන් ඉස්සරහ සමාජයේ වැදගත්යයි සම්මත පිරිසත් ඇඹරෙන වෙලාවල් තියෙනවා ඒ තමන් කරපු වරද යට ගසා ගැනීමට.

    ReplyDelete
  37. ඔය කොන්ද නැමිල්ලේ තරම දකින්න අපි පිට රටකටම යන්න ඕනා ඩූඩ්

    ReplyDelete
  38. හෙන්රි අයියගේ කතාවට එකඟයි. ඒ වගේම ගොඩක් කමෙන්ට්ස් වලටත්. ඒත් දෙමව්පියන්ටත් වැඳීම වැරදියි කියන එකනම් පිළිගන්න අමාරුයි. "පිදිය යුත්තා පිදිය යුතුමය" කියලා කතාවක් තියෙනවනේ. හාමුදුරුවරුන්ට වඳින එක ගැනනම් දන් කාලේ හැටියට සලකා බැලුවට කමක් නෑ.

    හෙන්රි අයියා කියන්න උත්සාහ කලේ පුහු මානසිකත්වයෙන් ගෞරව ලබාගන්න දඟලන අය ගැන වගේම හැම එකාටම සර් කියා කියා පස්සෙන් යන එවුන් ගැන මිසක්, පිදුම් ලැබිය යුත්තා පිදුම් ලැබීම ගැන ප්‍රශ්ණයක් ඇති කර ගෙන නෙවෙයි කියලයි හිතෙන්නේ.

    ඔය වගේ සිද්ධියක් අපේ සිංහල පොතේ ඉස්සර තිබුණා. (දැන්නම් සිලබස් වෙනස් කරලා හින්දා තියෙනවද දන්නෑ.) ගමේ වලව් පැලැන්තියට අලුතින් එක්වෙලා හාමුදුරුවෝ කියලා කියාගන්න සල්ලි වියදම් කරපු මිනිහෙක් නෝන්ඩි උණු සිද්ධියක් ගැන අන්දා කියලා පොරක් කියන සිද්ධියක් ගැන.

    ReplyDelete
    Replies
    1. හැමෝම බනිනවා පොලෝසියට. (මාත් ඇතුළුව) හැබැයි පොඩ්ඩක් හිතන්න, ඔය රස්සාවට එන හැමෝම රටට වැඩක් කරන්න හිතාගෙන එන අය. ඒ වගේම මුලදී වැඩක් පෙන්නන අය. ලොකු ජාවාරමක් අල්ලපු ගමන් පොරට ස්ථාන මාරු. විනය පරීක්ෂණ. කසිප්පු කාරයෙක් අල්ලලා මාසෙකට තියෙන "නඩු ටාර්ගට්" එක කවර් කරන හිටියම උසස් වීම්. තව මොකෙක් හරි එකෙකුට පන්දමක් ඇල්ලුවොත් තවත් ගොඩ. ඒ මදිවට අල්ලන්නෙ නැතුව ඉන්න ජාවාරම් කාරයන්ගෙන් ලැබෙන මාසික වේතනය. ඔය යථාර්තය තේරුම් යනකොට අලුතින් සේවයට එන අවංක සේවකයාගේ "අ"යන්න හැලෙනවා.

      ඒ වගේම තමයි ඒ මනුස්සයා හදන්නෙත් තමන්ගේ කොන්ද කෙලින් තියාගන්න. පොඩි එකෙක්ව අල්ලලා කූඩුවට දැම්මම රෙස්පෙක්ට් විදියට ඉන්න පුළුවන්. ඒත් ඇමැත්තෙකුගේ වන්දි බට්ටයෙක් ඇල්ලුවොත්.... ඇර පොලිස් කාරයා දෙකේ කොලේට වැටෙනවා. ඊට පස්සේ අරූටත් සර් කියන්න වෙනවා. ඒ නිසා ඇඟට ගුණ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක.

      මේ සිද්ධිය අපේ රටේ ඕනෑම වෘත්තියක් සඳහා අදාළ කර ගන්න පුළුවන්.

      දවසක් මම ප්‍රාදේශීය සභාවක ඉද්දි සභාපති ආවා. ඔක්කොම නැගිට්ටා. මං එහෙම්මමයි. අරූ මං දිහා කන්න වගේ බලාගෙන ගියා. ඔන්න ඕකයි තත්ත්වය.

      Delete
  39. ඩුඩ්,

    මේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන අය හුගක් වෙලාවට අනික් අය අතර එතරම් ජනප්‍රිය නැති බව කැපිලා පෙනෙන ලක්ෂණයක්.

    මොකද හුගක් දෙනෙක්ට කොන්ද කෙලින් තියා ගන්න බැරි, තම තමන්ගේ පුද්ගලික වාසි සදහා හා තමන් කරන කියන දේවල් වල ප්‍රතිපත්තියක් නැතිකම.

    ReplyDelete
  40. මේ තියෙන්නේ අර කතාවට ලින්කුවකුත් මම අග ඉඳන් මුලටනේ කියවං ඇවිත් තියෙන්නේ

    ReplyDelete
  41. වචන නෑ මේක කොච්චර එළ ලියමනක්ද කියන්ඩ.

    අපේ රටේ විතරයි මම දන්න තරමින් වාහනයක් ගන්නකොට නයිට් නාමෙකුත් ඉබේ ලැබෙන්නෙ!!

    මට මේකට පට්ට හිනා.

    අපේ රටේ ඉන්න පිනාලගෙ අවස්ථානුකූලව වෙනස් වන ප්‍රතිපත්ති කියන දේ නැති වෙනකං ලංකාව එතැනමයි. අලුත් පරම්පරාවනම් දැං ටිකක් හොඳයි.

    බ්ලොග් එක මුල සිට කියවන ගමන්. කමෙන්ට් එකක් නොදා ඉස්සරහට යන්නම හිතුනෙ නෑ. ජය වේවා!!

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>