Saturday, July 18, 2015

132. BMW සහ නයිටි කෑල්ලෙන් හෙලිවන අපේම හෙලුව

Image from http://pngimg.com/download/1706

මම  ලියන්න හිතාගෙන සිටි පොස්ට් දෙකක් බාගෙට ලියා වේලෙමින් තිබේ. එකක් හොන්ඩා XL125R ඩර්ට් බයික් එකක් ගැනය. එය ඇනහිට ඇත්තේ පාර්ලිමේන්තුව විසිරුවා හැර රට ඡන්දයකට සූදානම් පවතින නිසා යයි කිව්වොත් මා පිස්සෙකුට ගනං ගන්නා බව දනිමි. නමුත් කරන්නට දෙයක් නැත. සත්‍යය සමහරවිට විශ්වාස කරන්නට බැරි තරම් අමුතුය.

අනික එලොවටත් නැති මෙලොවටත් නැති  මගේ  ප්‍රථම ප්‍රේමයක් ගැනය.  මේ පෝස්ට් එක නම් ලිවීම අන්තිම දුශ්කර වැඩක් වී ඇත්තේ මාතෘකාවෙන්ම කියවෙන ආකාරයට එලොවටත් නැති මෙලොවටත් නැති ප්‍රථම ප්‍රේමයක් විස්තර කිරීමට අවශ්‍ය මගේ  වාග්මාලාවේ දුප්පත් කම නිසාය.

ඒ දෙකම මඳකට අත්හි‍ටුවා දමා මේ කොහෙවත් යන  අලුත්ම පෝස්ට් එකක් ලිවීමට සිත්වූයේ ගොසිප් මාධ්‍ය සහ මුහුණුපොතේ නැගලා යන මේ BMW එකක් පැදවූවායැයි කියන "ගොන් කෑල්ලක්" නිසාය.

මම සාමාන්‍යයෙන් මධ්‍යස්තව සිතීමට උත්සාහ දරන්නෙක්මි. මේ සිද්ධිය ගැනත් වෙනසක් නැත. නමුත් බොහෝවිට අදහස් ප්‍රකාශයෙන් වැලකී සිටින්නේ අදහස් නැතිකම නිසා නොව අනවශ්‍ය ලේබලයක් ගසා ගෙන එක ගොඩකට බලහත්කාරයෙන් තල්ලු කරනු ලැබ, සිරගතවීමකට අකමැති නිසාය.

මුහුණු පොතේ නඩු කාරයන් සහ නීතිඥයන් වැහි වැහැලාය. ඒ අපේ හැටිය. අපේ හෙමින් වැඩ නැත. රිය අනතුරක් සිදු වුවහොත් කැති, පොලු, අලවංගු ගෙන පාරේදීම කුණුහරපයෙන් නඩුව විභාග කර, වැරදි කාරයාට හොඳටම නෙලා වාහනයත් ගිණිබත් කර, ක්ෂනිකවම යුක්තිය පසිඳුවන ජාතියකි අපේ ජාතිය. ඊයේ නැරඹූ චිත්‍රපටයේ තේමා පාඨය මගේ සිතට නැගෙන්නේ  නිතැතිනි. One man's terrorist is another man's patriot. ත්‍රස්තවාදියා හා දේශප්‍රේමියා. ඔය දෙක මාරු වීමට මහ වෙලාවක් යන්නේ නැත. සමාජයේම පැතිකඩක් හා උප සංස්කෘතියක් වන මූණු පොතේ කියා වෙනසක් නැත.

මුහුණු පොත, කුහකයන්ගෙන් පිරුණු කුහක කමේ ‍තෝතැන්නක් නොවේදැයි මට සිතෙන්නේ පෞද්ගලිකව හඳුනන ඇතැමුන්ගේ status update සහ share කරනා post දු‍ටු විටය.  දෙමව්පියන් ගෙදරින් පන්නා දැමූ උන් මව් පිය අගය ගැන අනුන්ට බණ කියන පෝස්ට්  බෙදාගන්නා විට, ගෙදර බැළලීට ලැබුණු බළල් පැටවුන් දියේ ගිල්ලා මරා දැමූ උන් විදි බල්ලන්ට නිවාස හොයා දීමට දරන වෙහෙස දකින විට,  කට ගොන්නක් බීගෙන ගෙදර පැමිණි බිරිඳට තඩි බා දරුවන් බියගන්නන උන් පවුලේ සමඟිය සහ ආදරය ගැන උඩපැන like කරන විට, පොර ටෝක්ද අමුනා share කරන විට මට හිනහ යන්නේ පශ්චාත් භාගයෙනි.

ඇම්නීසියාවෙන් පෙලෙන උන්ගේ දේශපාලුවන්ට කඩේ යෑමේ පෝස්ට් දකින විට මට සිතෙන්නේ අපේ උන්ට සති දෙකකට වඩා මෙලෝ දෙයක් මතක් නැති බව අර කවුදෝ කී කතාව කොතරම් සැබෑවක්ද කියාය.

ඔය කොයි දේශපාලුවා ගැනත්, ත්‍රස්තවාදය ගැනත්, නීතිය ගැනත්, පෞද්ගලික විශ්ව විද්‍යාල ගැනත්, අමෙරිකානු විරෝධය ගැනත්, දෑවෑද්ද ගැනත්,  ඉස්ලාම්කරණය ගැනත්, හලාල් ප්‍රශ්ණ ගැනත් ආදී එකී නොකී ඒ ඒ කාලයට හිට් වන සමාජ දේශපාලන ප්‍රශ්ණ ගැන මටත් කීමට දේ ඇතත්, නිහඬව සිටින්නේ  තම මතයට විරුද්ධ වන්නන් නොඉවසන, එසේ කරන උන්ව බිම දමා, පාගා,  සපත්තු අඩියෙන් චප්ප කර, බිම උලා, නැත්තටම නැති කිරීමට ඩේටා ගැන නොසිතන උන් නිසාමය. දේශපාලයන ගැන කතාකර මියගිය අම්මාට, ප්‍රශ්ණයට කිසි සේත් අදාල නොවන බිරිඳට, සොහොයුරියට හෝ දියණියට පට්ට කුණුහරපයෙන් බණිනු අසා සිටීමට නොපැකිලෙන්නන් නිසාමය.

නව පරපුරේ යයි සිතිය හැකි උගත් බුද්ධිමත් සහ තරුණ කැල දරණ යල්පිනූ, නූගත්, අමන අදහස්   ගැන මම කම්පා වී නිහඬ වූයේ වරක් දෙවරක් නොවේ.

ඔය කියන වීඩියෝව මේ කියවන හැමදෙනාම දැක ඇතැයි සිතන නිසා මෙහි ඇලවීම මෝඩ කමකි. ඒ නැතත් අනුන්ගේ වීඩියෝ මගේ මෙන් අලවා ගැනීමට මට අයිතියක්ද නැත.

මේ වීඩියෝව නැරඹූ මට සිතුනේ මේ කාන්තාව කතා කරන ආකාරය සැර පරුෂ වැඩි බවත්, වාග් මාලාව ඉතාම ක‍ටුක බවත්ය. මෙවැනි ගැ‍ටුම් කැමරාවට හසු නොවී අනන්තවත් සිදුවන්නට ඇත.

ඉන්පසු මුහුණු පොතේ සහ ගොසිප් මාධ්‍ය වලට තලු මරමින්, වමාරා කන්නට තරම් රසවත් සිද්ධියක් සේ නැගලා යෑමකට ලක් වූ මෙම ප්‍රවෘතියේ අතුරු ඵල ලෙස අර කාන්තාවගේ සිද්දිය යට කර මතුවූයේ අපේ උන්ගේ බාල බොලඳ කම් සහ නිරුවතය.

මේ සිද්ධිය රස විඳින උන් මතු කල මේ අදහස් ගැන මට ඇතුවූයේ විමතියකි.

කාන්තාව BMW එකක පැමිණීම:

 මෙය බොහෝදෙනෙකුට දිරවාගත් නොහැකි වූයේ පන්ති වෛරය නිසාය. මෙහිදී ආකල්ප කිහිපයක් දැකිය හැක. BMW වල යන උන් මනා කල්කිරියාවෙන් යුක්ත උන් විය යුතුය.  BMW යනු අසාධාරණයෙන් හම්බකර, අනුන්ට හයිකාරකම් පෙන්වන, හිස උදුම්මවාගත්, මනුස්සකම් නොදන්නා උන්ගේ පෙලැන්තියට අයත් වාහනයකි. ලද හැම අවස්ථාවේදීම උන්ට පාඩමක් ඉගැන්වීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවන් මග නොහැරිය යුතු අතර අර පාරේදී වාහන ගිණිතියා අප විසින් පියවන්නේ අර මේ කියනා පන්ති පරතරයයි.

කාන්තාව ඇඳ  සිටින්නේ නයිටියකි:

පජාමා ඇඳගෙන තමන්ගේ වාහනය පැදවීම වරදක් දැයි යන ප්‍රශ්ණය මොහොතකට අමතක කරමු. මේ නයිටි කතාව ෂෙයා කරන වුන් වෙනදාට ෂෙයා කරන, වර්ණනා කරන ලස්සන කෙල්ලන් හැඳ සිටින ඇඳුම් දෙස බැලූවිට  කුහකත්වයේ ලොකූ කතාවක් එහි අන්තර්ගත බව පෙනේ.  මුස්ලිම් ගැහැණුන්ගේ බුර්කාවට ඔරවන වුන්, කැමති ඇඳුමක් ඇඳීමට උන්ට ඇති  මානුෂික අයිතිය ගැන වද වන උන්, මෙහිදී හැසිරෙන ආකාරය ජුගුප්සාජනකය.  අප කොයිදේත් ගන්නේ වැරදියට බව මෙහිදී හොඳින් පැහැදිළිවේ. නිදහස් සමාජ වල ජීවත් වන්නන්ට නාන්නට නාන ඇඳුමත්, සාදයට, පල්ලියට, රාජකාරියට, සම්මුඛ පරීක්ෂනයට, ක්‍රීඩා කිරීමට, නිදහසේ ඉඳීමට, ඊට ගැලපෙන ඇඳුමත් ඇඳීමේ පුරුද්දක් ඇත. මුස්ලිම් කාන්තාවන් බුර්කාව ඇඳගෙන වතුරට බැස පිහිණීම දු‍ටු නිදහස් සමාජයකින් ආ එකෙක් වරක් මගෙන් ඇසුවේ "Did they accidentally fall into water? (අර මනුස්සයා වතුරට වැ‍ටුනද)" කියාය. අපි ඉන්නේ ඔය දෙකටම අතර දෝලනය වෙමිනි. නෑමට ගැලපෙන්නේ නාන ඇඳුමක් වුවත් ගනකම ටීෂර්ට් දිග කලිසම් ඇඳගෙන ඇළදොල වල නෑමට අපේ ගැහැණුන්ට සිදුවී ඇත්තේ ඇයි දැයි නිකම් සිතා බලන්න. අර කාන්තාවගේ ඇඳුම ගැන ප්‍රකාශ නිකුත් කිරීම කොතරම් කුහකද?

උරහිස වටා හීනි පටි දෙකකින් රඳවා ඇත්තේ නයිටි පමණක් නොවන බව අන්තර්ජාලයේ මඳක් සැරි සැරීමෙන් දැනගත හැක.  තම ගැහැණුන් ගෝනි බිල්ලන්සේ වසාගෙන යන මුස්ලිම් පිරිමින්ට ගරහන අපත් අපේ ගැහැණුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේත් එයම නොවේද?

ඇය වේසියකි, ගොන් කෑල්ලකි. BMW ගොන් කෑල්ලකි: මේ තීරණවලට එළඹී ඇත්තේ වෛද්‍ය පරීක්ෂනයකින් හෝ ඇගේ ජීවන රටාව පෞද්ගලික රහස් පරීක්ෂක ඒජන්සියක් ලවා විශ්ලේෂණය කර නොවේ. මේ සිද්ධිය සමාජගත් නොවූවානම් ඇය වේසියක් හෝ ගොන් කෑල්ලක් වන්නේ නැත. මේ අධම ප්‍රකාශයට මූල බීජය, ඇගේ ඇඳුම  අර නයිටියක් මෙන් අපේ සුචරිතවාදීන්ට පෙනෙන පටි ගවුමක් වීම  සහ මෝටර් රථය අපි හුඟ දෙනෙකුට කිසිදා ලඟාවිය නොහැකි ඉලක්කයකැයි අපම තීරණය කර ඇති සහ අතහැරදමා ඇති BMW රථයක් වීමය

ඇය ඇන්ටි කෙනෙකි: මේ නම් පාකිස්තානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාවේ රටවල් තුන හතරක දැකිය හැකි එක්තරා මානසිකත්වයකි.  ආගන්තුකයන්ට ඇන්ටි හෝ අංකල් කීම ඔවුන්ට ගෞරවයක් සේ කරන්නක් නොවේ. ඔවුන් අපගේ කල්ලියෙන් පි‍ටුදැකීමට හෝ ඔවුන් සිටිය යුතු යයි අප සිතන නිසි ස්ථානයේ තැබීමට යොදන මානසික උපක්‍රමයකි. මේ අදහස සැබෑ බව. මේ සිද්ධියෙන්ම සනාථ වේ. (ඇන්ටි අංකල් ආසියනු මානසිකත්වය  ගැන අපි වෙන ලිපියකින් කතා කරමු)

මේ අදහස් වලට එකඟ වෙමි:

අර පොලිස් නිලධරියාගේ හැසිරීම ප්‍රසංසනීයය. ඇත්තෙන්ම ඔහුගේ හැසිරීම මා ඉහලින් අගයමි.  ඔහු කිසි විටෙක කාන්තාවගේ ඇඟට අත තබනවා හෝ පරුෂ ලෙස කතා කරනවා හෝ අර අප බලාපොරොත්තුවන ලංකාවේ 'පොලිස් කාරයෙකු' සේ හැසිරෙනවා මම නොදු‍ටුවෙමි.  ඔහු මහත්මයෙකු සේ හැසිරුනි.

කාන්තාව කතාකල ආකාරය හා හැසුරුණු ආකාරය අනුමත කල නොහැක. මේ ගැන මට විවාදයක් නොමැත. ඇත්ත වශයෙන්ම කතා කල යුතුව තිබුනේ මෙතනට කිසිසේත්ම අදාල නොවන BMW රථය ගැන හෝ නයිටියක් ගැන නොව, මේ ගැනය.

සත්‍යයක් ඇතත්  මෙතනදී සඳහන් කිරීම අනවශ්‍යයයි මා සිතන පගා මරුවන් වන දේශපාලනඥයන්, හොරුන් තක්කඩින් ආරක්ෂා කරන  තුට්‍ටු දෙකේපොලිස් කාරයන් ගැන කල ප්‍රකාශයෙන්, මාත් ඇතුලුව බොහෝ දෙනෙකු කරන, ටික දෙනෙකු කරන වරදට සංහතියටම ලේබල් ඇලවීම මනාව සිදුවේ. මෙයත් BMW රථය ගැන හෝ නයිටිය  සේම කිසිසේත් මෙතනට අදාල නොවේ.

පහත පලවන්නේ කිසිවෙකු නොදු‍ටු හෝ නොදැක්කා සේ සිටීමට ‍තෝරාගත් කරුණුය

ඔබ මේ වීඩියෝව සැලකිල්ලෙන් නැලඹුවා නම් කාන්තාව පොලිස් නිලධාරියාගේ හෙල්මටය පැහැරගෙන ඉවතට ගිය පසු පොලිස් මහත්මයාගේ සගයා වන අනිත් 'පොලිස් කාරයා' ඇයට පයින් ගසා හෙල්මටය ලබා ගන්නා ලෙස පොලිස් මහත්මයාට තදින් කියන ආකාරය ඔබට නෑසුනා විය නොහැක. පොලිස් මහත්මයා අමාරුවෙන් ‍රැස්කල කිරි කලයට වහාම ක්‍රියාත්මක වන පරිදි ගොම බිඳුවක් එක්වීම කිසිවෙකු දු‍ටුවේ නැත්තේ ඇයි?

කාන්තාව ස්ථානයෙන් ඉවතට රිය පදවාගෙන යාමේදී වෙනත් වාහනයක හෝ දේපලක හෝ පුද්ගලයෙකුගේ නොගැටී වාහනය පසු පසට ගැනීමට වෙහෙස ගනිද්දී ඇයට තවත් අමාරුවේ දැමීමට හෝ පළි ගැනීමට පොලිස් යතුරු පැදිය තිබුණු ස්ථානයේම රඳවාගෙන එහි ගැටීමට ඉඩදී "ඕකිට හොඳ පාඩමක් ඉගැන්වීමට" තිබූ  අවස්තාව අතහැරි  පොලිස් නිලධාරියා යතුරු පැදිය ඉවතට ගෙන ඇයට ඉඩ සැලසූ මහත්මා ක්‍රියාව කිසිවෙකු දු‍ටුවාද?

අර කාන්තාව මවකි. අර දරුවාත් ‍රැගෙන වේසාකමේ ගියාවිය නොහැක. ‍රැකියාවත්, දිවා සු‍රැකුම් මධ්‍යස්ථානත්, දරුවනුත් සමඟ ඔය ආකාරයට අපිත් කාපු කට්ට මා නම් කෙසේ අමතක කරන්නද!

ඇය පටිගවුමක් නො ඇඳ රෙද්දයි හැට්ටයි හෝ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ජාතිය ඇඳුම යයි සැලකිය හැකි අර දිග සායත් බ්ලවුසයත් හැඳගෙන , BMW රථයක නොගොස් මරුටියක හෝ ත්‍රිරෝද රථයක  ගියානම් මේ කාන්තාවම පොලීසියත් සමග මේ කට ගැසූ ආකාරයටම මුහුණු පොතේ හා ගොසිප් මාධ්‍ය වල විහාර මහා දේවියක්  වීමට ඉඩ තිබුනි.


 Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers. 

102 comments:

  1. පැය ගානක් තිස්සේ ඔට්‍ටු වෙලා හදපු Access රිපොර්ට් එකට කෙලවුනට පස්සේ (බිල් ගේට්ස්ට් අමතක වෙලාද උවමනාවෙන්ද මංදා පොර රිකවරි මෝඩ් එකක් දීලම නෑනෙ. ) ඔළුව ටිකක් රිලැක්ස් කරගන්න බ්ලොග් එකට ඔළුව දැම්ම, අම්මට සිරි ඩුඩා වටේටම නෙලලා කවදාවත් නොලියපු ජාතියෙ පොස්ට් එකකින්. ඩූඩ්ට, පරිවර්තන, අනුවර්තන, රස කතා, විහිළු කතා විතරක් නෙමේ දේශපාලන හා සමාජ විවරනත් එකෙන්ම පුළුවන් බව නියමෙට ඔප්පු කරලා තියනවා මේකෙන්..

    ඔය කියන කතාව මම ගොසිප් සයිට් එකක දැක්කා, මම කියවනන්වත් ගියේ නෑ වැඩක් නැති නිසා. හෝම් පේජ් එකේ පෙන්නන මුල ටිකෙන් මම දැක්කා ඔය කියන මනුස්සයා ළමයට කිරි දිදී කාර් එක එලවපු කතාවක්.. මට හිතුනේ එක දෙයයි, "යකෝ යකඩ ගෑනියෙක්නෙ ඒකි" කියලා විතරයි. ඊට පස්සෙ ඩූඩ් ගේ මේ පොස්ට් එක දකිනකම්ම ඔය සිද්ධිය මගේ ඔළුවෙන් අයින් වෙලා තිබුනේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා ප්‍රසංසාවට. මම දේශපාලන පොස්ට් නොලියන්නේ stereotype වෙන්න බැරි නිසා. සමහරවිට No comment කියන්නේ ඉතාම ප්‍රභල ප්‍රතිචාරයක්.

      Delete
    2. //මට හිතුනේ එක දෙයයි, "යකෝ යකඩ ගෑනියෙක්නෙ ඒකි"//

      හිහ් හිහ :D මටත් ඕකම හිතුනා සෙන්නෝ.

      හැබැයි අර වීඩියෝ එක බලනකොටනම් ඔහොම කිරි දීපු කතාවක් කියවුනේ නෑ නේද? අනේ මන්දා.

      Delete
    3. මම දැනුයි වීඩියෝ එක බැලුවේ...

      මේ ගෑනු කෙනා තනිකරම වැරදියි.

      ලංකාවේ ළමයින්ව ඉස්සරහා ගෙනියන්න ( මම අනුමාන කරනවා ඉස්සරහා ගෙනිච්චෙ කියලා. මොකද මෙහෙම හිටියේ කියනවා මිසක් කොහොමද හිටියේ කියලා කිව්වේ නෑ ) බෑ කියලා නීතියක් තියනවද මංදා! ලෝකෙ හුඟක් රටවල එහෙම නීතියක් තියනවා. ලංකාවේ එහෙම නීතියක් තියනවනම්, පොලීසිය ඒ නීතිය ක්‍රියාත්මක කළානම් ඒයා කොහොමද එහෙම කතා කරන්නෙ ?

      මේක තනිකරම වැරදි ආදර්ශයක්. හැමෝම මෙහෙම පොලීසියට චන්ඩි පාර්ට් දාන්න ගියොත් අපි කොහෙන් නතර වෙයිද ?

      ඩූඩ් මොනවා කිව්වත් මටනම් හිතෙනවා එයා පොලීසියට පෙන්නුවේ BMW එකේ හයිය. පංති කතාව අපි පොඩ්ඩකට අමතක කලත් BMW එකෙන් නියෝජනය වෙනවා බලපුලුවන්කාර කම. අපි මොන විදිහට ප්‍රශ්නෙ දිහා බැලුවත් ඒක මේ සමාජයේ එක මිම්මක් වෙලා ඉවරයි. ඒ බලපුලුවන් කාරයෝ හිතනවා තමුන් මේ රටේ නීතියට ඉහලින් ඉන්නේ කියලා. ඉතින් එයාලට පහලින් තියන නීතිය එයාලට ක්‍රියාත්ක වුනාම එයාලට කේන්ති යනවා. ඒක තමා ඒ මනුස්සයා පෙන්නුවේ. දැන් ඉස්සරහට පොලිසිය BMW එකක් නවත්වනන් කලින් දෙපාරක් හිතනවා. ආයේ ඒකෙ දෙකක් නෑ. එතකොට ඒ නීතිය සැමට සාදාරණද ?

      අන්තිමට, මහා ලොකුවට නීතිය රකින්න ඕනා කියන හැමෝම නීතිය තමන්ට ක්‍රියාත්මක වෙනකොට හැසිරීම ඔහොම තමා. ලංකාවේ නීතිය යනු තමන් හැර අන් සියල්ලන් සඳහාම වූවකි.

      ලියන්න කියලා හිතාගෙන ඉඳලා අමතක වෙලා තිබුන කතාවක් මතක් වුනා. ලියල දාන්නම්..

      Delete
  2. well said dude!!!
    trust me, first I saw your heading I thought that you're also a common guy who's living in stone age.
    sorry for my first thought, thank u something like this
    Rohan

    ReplyDelete
    Replies
    1. Thanks very much Rohan. Yeah, the heading is a bit misleading and stereotypical.

      Delete
  3. හැමදා නියන් එකදා වැහිවළාවේ කියන්නෙ ඕකට වෙන්න ඕන මගෙ හිතෙ. හෙන්රි අයියා වනල තියෙනව මදිනොකියන්න. ඔය සෙන්නා කියනව වගේ ඒ පැත්තත් කවර් කරන්න පුළුවන් නෙව අපූරුවට.


    අනේ මන්දා. මේ සිද්ධිය ගැන ඉතින් අයෙ දැන් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අවසානයෙ අපි හැමෝම නීතියට යටත් වෙන්න වෙනව, එහෙම නැතිවුනු දවසක ශිෂ්ඨාචාරය විනාශවෙලා යාවි. අනිත් රටවල මිනිස්සු ගැන මම දන්නෙ නෑ, (එයාලත් එහෙම වෙන්න ඕන-එකම අච්චුව නිසා) ලංකාවෙ මිනිස්සු නම් වෙලාවකට ඕනවටත් වඩා හොඳයි, වැදගත්, ශීලාචාරයි, ආචාරශීලීයි ශිෂ්ඨයි - තවත් වෙලාවකට අමු තිරිසන්නු. මේ ලියන මම උනත් එහෙම වෙන්න පුළුවන්, මොකද ඒක පේන්නෙ අනිත් අයට නිසා. අපි හැමෝම සුදුත් නැති කළුත් නැති චරිත මම හිතන්නෙ, අවස්ථාවට අනුව අපි ඇතුළෙ ඉන්න මහත්මයා ඉදිරිපත්වෙනව - එහෙමත් නැත්නම් යක්‍ෂයා එළියට පනිනවා. ඒ ගැන ඊට වඩා කියන්න මට තේරෙන්නෙ නෑ.

    මූණු පොත නම් මන්දා - මම දැකල තියෙනව ඩූඩ් දේශපාලනය ගැන ලියන ලිපිවලට කමෙන්ට් කොටන්න අකමැත්තක් දක්වනව කියල. රතූගෙ බ්ලොග් එකේද කොහෙද ඔයාම එහෙම සඳහන්කරල තිබුන වගේ මතකයි කාලෙකට කලින්. සමහර බ්ලොග්වල ඇතිවුනු තත්ත්වයන්, කමෙන්ට් දමපු අදහස් දක්වපු අයට නිර්ණාමිකව ලැබෙන ප්‍රහාර වගේ දේවල් නිසා මමත් හුඟක් කලකිරුණු අවස්ථා තිබුනා. මම නම් ඒ හැම දේකින්ම පාඩමකුත් ඉගෙනගත්තය කියල මම හිතනව. කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නෙ ඉතිං ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් විතරක් නෙමෙයි මාත් කොමෙන්ට් දාන බ්ලොග් වල දේශපාලනය ගැන ලියල තියෙනවනං ඒවයින් ලිස්සල යනව. හැබැයි කවුරුවත් බැනල නෙමෙයි.

      Delete
    2. @DDT:ඔව් බං. අපි හූඟ දෙනෙකුට විරුද්ධ මත දරාගන්න බෑ. Dissent is not tolerated. ඒ වගේම ලේබල් අලවන්න ආරක්ෂක ආවරණය ගලවගෙන ඉන්නේ.

      උඹට මතකද අර දේදුණු ප්‍රොෆයිල් පික් එකට වෙච්ච දේ?

      මම පෞද්ගලිකව සමලිංගිකයන්ට කැමති නෑ. මට ඒ සංකල්පය දිරවගන්නත් අමාරුයි. රිකී මාටින් සමලිංගිකයි කියන්න කලින් මම ඉතාම කැමතිව සිටි ගායකයෙක්. නමුත් මට දැන් රිකී මාටින්ගේ සින්දුවක් ඇහෙනකොට ඕක මතක් වෙන නිසා වැඩිය අහන්නෙත් නෑ.

      මෙතනදි මම දන්නවා මම වැරදියි කියලා. නමුත් ඒක මගේ පෞද්ගලික මතය.

      සමලිංගික විවාහ නීතිගත කරපු එකට සහයෝගය පලකිරීමක් හැටියට අර දේදුණු පාට ප්‍රොෆයිල් පික් එක දාගත්ත එවුන්ට මූණු පොතේසලකපු හැටිඋඹ දකින්න ඇති.

      අපේ FB පොරවල් කියන හැටියට ලංකාවේ උන් ඒක දාගත්තේ ඉංග්‍රීසි තේරෙන්නේ නැති නිසා. ඒ කියන්නේ ලංකාවේ උන්ට ඉංග්‍රීසි තේරෙන්න විදියක් නැති බවට අපි ඇලෙව්වා ලේබලයක්.

      ඊ ලඟට ඔය ප්‍රෆයිල් පික් දාගත්ත උන් එක්කෝ සමලිංගිකයෝ වෙන්න ඕනේ නැතිනම් සමලිංගිකකමට සපෝර්ට් කරන උන් වෙන්න ඕනෙ කියලා ඇලෙව්වා තව ලේබලයක්. සමහරු එහෙම වෙන්න ඇති. නමුත් හැමෝම කලේ ඒ නිසා නෙවෙයි කියලා තේරුම් ගන්න මුන්ට බැරි වුනා.

      ඇත්තෙන්ම ඔය පික් එක වෙනස් කරපු එවුන් හුඟ දෙනෙක් එහෙම කලේ තමන් පෞද්ගලිකව අකමැති වුනත් යම් ජනකොටසක් තමක්ගේ අයිතියක් ලබාගැනීමට කටයුතු කරලා ජයග්‍රහණය ලැබීමේ ප්‍රජාතන්ත්‍රවාදී පියවරට කියලා තේරුම් ගත්තේ කීයෙන් කී දෙනාද.

      @Praසන්ன:උඹත් ඒ ජාතියේ කියලා මම නෝට් කරලා හිටියේ මලයා. දේශපාලනය කියන්නේ මොනවගේ ගඳ ගහන අසූචි වලක්ද කියලා තේරුම් ගැනීම සහ අමතක් නොකිරීම තමයි ඕකට හේතුව

      Delete
    3. ප්‍රසන්න අයියෙ, මම අදහස් කළේ කවුරුවත් බනින නිසා හෝ නිර්නාමිකව අපහාස කරනවය කියල කමෙන්ට් නොකිරීම වගේ දෙයක් ගැන නෙවි. මම නම් වර්ගකිරීමක් නැතුව ඕනම එකක් කියවනව වගේම කමෙන්ට් කරන්න හිතුනොත් ඒකත් කරනව. සමහර වෙලාවට ඉතිං ලිපි කියවල කමෙන්ට් නොකර යන වලාවලුත් තියෙනව.

      @ Dude,

      මම FB නෑ අයියෙ, ඒත් ඔය සිද්ධිය ගැන අතන මෙතන තිබුනු කතන්දර දැනගන්න ලැබුනා. ඔය සමලිංගික හෝ විෂමලිංගික කියන එක ගැන මගේ නම් ඒ හැටි තැකීමක් නෑ හෙන්රි අයියෙ. අනිත් මිහිහට කරදරයක් නැත්නම් කවුරු කොහොම හිටියහම අපිට මොකද.

      Delete
    4. //දේශපාලනය කියන්නේ මොනවගේ ගඳ ගහන අසූචි වලක්ද කියලා තේරුම් ගැනීම සහ අමතක් නොකිරීම තමයි ඕකට හේතුව//

      අපි හැම එකාගෙම ඇතුළෙ දේශපාලන සත්ත්වයෙකුත් ඉන්නවළුනේ. ඉතිං අශූචි වලක් දැක්කම නිකන් ඉන්නෙ කොහොමෙයි. ඌරන්ට මොන සෞඛ්‍යද අනේ. හෙහ් හෙහ් ....

      Delete
    5. මට අදයි හෙන්රි ඔබගේ මාරු ලිපිය බලන්න ලැබුනේ...සිත් ඇද ගෙන ලිවීමේ කලාව ඔබ හොදට දන්නවා....කියවන්න ආසයි.....මේක මාර විදියට ගලපා ලිය තියෙනවා..බොහෝ දෙන නොදකින නොදන්නා හෝ දැනගත්තත් කුහක කම ඉස්මතුවෙන චරිතාංග රග දක්වනවා...මගේ අදහස් ටිකක්..මම e mail කරනවා... ඒ ගැනත් හිත බලන්න....ඔබගේ හැකියාව...ඉහලයි.

      Delete
  4. හෙන්රි, ඔබ අහලක පහලහ හිටියානම් මා ඔබට ලොකු හග් එකක් දෙනවා. මේ සමබර, සාධාරණ, අගතියෙන් තොර ලිපිය පිළිබඳව. මා හිතන්නේ නැහැ මෙවැනි සමබර ලිපියක් පුවත්පතකවත් පලවේයයි කියා. ඇත්තෙන්ම ශුද්ධවන්තයන් සහ ශුද්ධවන්තියන් හෙළුවෙන් වනද්දී (මෙතන හෙළුව කිව්වේ හෙළ බස නොවේ නිරුවත) ඔබ ඔවුන් වෙත කැඩපතක් පා, මේ බලපල්ලා උඹලා ඉන්නේ හෙළුවෙන් යන්න මොනවට පැහැදිලිකර තිබෙනවා.

    ඔබට හදවතින්ම ස්තුති කරනවා මේ ලිපිය වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. විචාරක ඔබටත් හදවතින්ම ස්තුතියි මේ ප්‍රතිචාරයට.

      ...And hug you back elder brother.

      Delete
  5. හෙන්‍රි බොස්. .. අත් දෙකම උස්සලා එකඟයි !!

    ReplyDelete
    Replies
    1. හෙ හෙ. උඹේ ප්‍රොෆයිල් එකේ කතාව සුදීකගෙන දැනගත්තා විතරයි. පින්තූරේ මොකෝ උඹ සින්දු ඇනෝ එක්ක මාරුකරගත්තේ?

      Delete
    2. ප්‍රොමෝෂන් එකක් හම්බුනා නෙවැ හෙන්‍රි අයියෙ :D
      ෂෝක් බං ……

      Delete
  6. //දෙමව්පියන් ගෙදරින් පන්නා දැමූ උන් මව් පිය අගය ගැන අනුන්ට බණ කියන පෝස්ට් බෙදාගන්නා විට, ගෙදර බැළලීට ලැබුණු බළල් පැටවුන් දියේ ගිල්ලා මරා දැමූ උන් විදි බල්ලන්ට නිවාස හොයා දීමට දරන වෙහෙස දකින විට, කට ගොන්නක් බීගෙන ගෙදර පැමිණි බිරිඳට තඩි බා දරුවන් බියගන්නන උන් පවුලේ සමඟිය සහ ආදරය ගැන උඩපැන like කරන විට, පොර ටෝක්ද අමුනා share කරන විට මට හිනහ යන්නේ පශ්චාත් භාගයෙනි.//

    මා මූණු පොතේ නම් නැහැ බං . But මාත් like (this bit) .

    මචං අමතක කරන්න එපා අප ඉන්නේ, තාත්තලා වැරදි කෙරුවොත්, එයාලට දාව උපදින දරුවන්වත්, වඳ පිදුණ කෙහෙල් මොටෙයි මෙන් උදුරලා දමන්න යෝජනා කරන සමාජයක. උම ලෝකේ කොයි රටක ඉගැන්වුවත්, ගුරුවරයෙකු වීම ගැන මා සතුටු වෙනවා! Cheers !

    ReplyDelete
    Replies
    1. රයිගම්, උඹ සමහර වෙලාවට මාව අධිතක්සේරු කරනවා මේ රස්සාව නිසා. මට එහෙම හිතෙනවා. :)

      Delete
    2. මගේ ලෝන්ග් හෙල්ඩ් බ්ලිෆ් එකක් තියනවා මචං. ඇත්තට අද වන විට කන්වික්ෂන් එකක්. ඒ තමයි, රටක් හදන්න අවශ්‍ය නම්, පටන් ගන්න ඕනේ පාසල් දරුවන්ගෙන්. ඒ කියන්නේ අද පටන් ගන්න දෙයෙ ප්‍රතිඵල ලැබෙන්නට අවුරුදු 20 ක් යනවා. නිමි භාණ්ඩ වන වැඩිහිටියන් වෙනස් කිරීම කරන්න හැකි දෙයක් නොවේ. මෙන්න මේක තේරුම් ගත්තු කෙනෙක් ආසියාවේ හිටියා. මිනිහා නම් ඒකාධිපතියා. ලඟදි මිය ගිය ලි ක්වාන් යූ .

      Delete
  7. හෙන්රි
    ඉතාමත් අගනා (විචාරයක්/විවරනයක්/පැහැදිලි කිරීමක්/කනට ගැසීමක්) . හරි එක දාගෙන බලන්න. අර පොලිස් මහත්තයා කාන්තාවකට සලකන්න සුදුසු හැටි දන්නවා නැතිනම් කාන්තා පොලිස් නිලධාරියෙක් නොසිටි නිසා යන්න ඇරියා වෙන්නත් පුලුවන්.මූනු පොත ගැන නම් කියල වැඩක් නෑ.අපේ වයසේ අය නෙමෙයි මේ තරුන අය හිතන හැටි දැක්කහම පිස්සු හැදෙනවා. මධ්‍යස්ත අදහස් වලට ඉඩක් එතන නෑ. ලංකාව මිනිස්සු නීතියට ගරු කරන්න ඉගෙන ගන්න ඕනෑ මට හිතෙන හැටියට.
    Padhmakumara

    ReplyDelete
    Replies
    1. හරි එක ‍තෝරාගත්තා කුමාර. ස්තුතියි . යන්න හැරියත්, අත් අඩංගුවට ගත්තත් පොලිස් මහත්මයා නීති ගරුකව මේ වෙලාවෙදි හැසිරුනා කියලා මම දැක්කා.

      වෙනත් තැනක වෙනත් අවස්ථාවක වෙනත් දෙයක් වෙන්න පුලුවන්.

      Delete
  8. උඹ කියන ඔක්කෝම වගේ හරි... ඔතන ඔය සිද්දිය විවේචනය කරන උන්ගේ තියෙන්නේ අමු වෛරය. එකක් තමයි සංසාරෙදි බී එම් එකක් ගන්න වෙන්නේ නැති එක. අනික උනුත් ඔය ඇඳුමට මනාප උනාට. තමන්ගේ ගෑනියෙකුට ඕකක් අන්දගෙන යන්න තරම් ශක්තියක් නොතිබීම.

    අනිත් කාරණය මම හැමදාම කියන එක. ඔය කාන්තාව, ක්‍රියාව හා විවේචකයන් සියළු දෙනාම අමු ගෝත්‍රිකයන් වීම.

    නැත්නම් ඉතින්, බී ඇම්, බෙන්ස්, අව්ඩි අරගෙන කතරගම දුවන්න ඕන නෑ නේ. ඒවයේ ටයි කෝට් දාගෙන ගියාට ඒ යන්නේ අමු වැද්දෙක් කියලා උන් දන්නෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං මාතා. කියන්නේ එකක් කරන්නේ එකක්. ලෝකෙස පරකාසේ ගෙදරට මරගාතේ.

      Delete
    2. ///බී ඇම්, බෙන්ස්, අව්ඩි අරගෙන කතරගම දුවන්න ඕන නෑ නේ.///

      දෙහි , මිරිස්, ලූනු, උම්බලකඩ වාහනේ බෆර් එකේ එල්ල ගෙන :-D

      Delete
  9. ඔය කියන වීඩියෝව දැක්කේ නෑ. අපරාදේ. ඊලඟට කමෙන්ට් එකට හිතට ආපු එක දාන්නේ නෑ. බයේ... :-D

    අර 'ප්‍රථම ප්‍රේමය' ගැන එකත් ලියමු නේද?

    ReplyDelete
    Replies
    1. වීඩියෝව බලන්න පොඩ්ඩි.

      ඒක වයිරල් එකක්.

      ප්‍රථම ප්‍රේමයක් ගැන පෝස්ට් එක ගැන පෝස්ට් එක ගැන කිව්වොත් I'm working on it.

      Delete
  10. පට්ට ලිවිල්ල ගුරෝ......... ඇයි මේ අපිට හිතෙන මේ ඇත්ත විදියට අනෙක් ගොඩක් එවුන්ට නොහිතෙන්නේ කියලා මටත් හිතා ගන්න බැ.... ඒ වගේම තවත් දෙයක් ඒ ගැනු කෙනා කථා කරන විදියත් මට එක පාරටම විරුද්ද වෙන්න බේ මොකද වීඩියෝ එක තියෙන්නේ සිද්දියේ මැද්දක ඉඳලා..... සමහර විට බොහොම හොඳින් ආරම්භ උන කතාවක් අපේ ජාතික වීර පොලිස් මහත්මයන්ගේ අයුතු යෝජනාවක් නිසා (මම කියන්නේ පොඩි පගාවක් දීලා ශේප් එකේ යන්න නෝනා කියනවා වගේ කතාවක් නිසා ) ඔය තත්වයට වෙනස් උනාද දන්නේ නැනේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් මැලේ. උඹ කියන දේ ඇත්තක් තියෙන්නත් බැරි කමක් නෑ. වොයිස් කට් කියන්නෙත් කිසිම විශ්වාසයක් තියන්න බැරි දෙයක්. කොහොම හරි මම මේ පෝස්ට් එක ලිව්වේ වීඩියෝවෙන් දකින්න පුලුවන් දේ ගැන විතරක් හිතලා.

      Delete
  11. අපේ හෙමින් වැඩ නැත. රිය අනතුරක් සිදු වුවහොත් කැති, පොලු, අලවංගු ගෙන පාරේදීම කුණුහරපයෙන් නඩුව විභාග කර, වැරදි කාරයාට හොඳටම නෙලා වාහනයත් ගිණිබත් කර, ක්ෂනිකවම යුක්තිය පසිඳුවන ජාතියකි අපේ ජාතිය ++++++++++++++

    ReplyDelete
    Replies
    1. මේ ගතිය තියෙන එකම රට අපේ රට වෙන්න බෑ නේද Trans Sylvania?

      Delete
  12. මේ වීඩියෝව එලියට පැන්න ගමන් මේ කාන්තාව වීරෝධාර ගනයට දාලා කථා කලා සමහරු...දැන් අලුත්ම මාධ්‍ය වාර්තා වල තියෙන්නෙ ඇය මව්කිරි දෙන ගමන් රථය පැදෙව්වා කියලා දකුණු අතින් සුක්කානම අල්ලගෙන...ඒ අර්ථයෙන් බැලුවාම මේකි ගෑණියෙක්ද කියලා මට හිතෙනවා. අම්මා කෙනෙක් කිරි දරුවෙක්ට මේ තරම් අකාරුණික විදියට සලකනවද...රථය නවත්තලා මේ කාරිය කරන්න තිබුනෙ නැද්ද...නැත්තං තමන්ගෙ ස්වාමියාට රථය පදවන්න දෙන්න තිබුනෙ නැද්ද...මේ කාරණා බැලුවාම මේ කාන්තාව පවුලේ ගෘහ මූලිකය...සැමියා යටහත් පහත් බුවෙක් කියලා හිතෙනවා...සැමියා පොලිසියට කිව්ව විදියට ඇයට මානසික ආබාධයක් තියෙනවා...එතකොට ඇය පිස්සියක්....හැක්...

    ReplyDelete
    Replies
    1. මාධ්‍යවල යන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ සිරා. කොයි කතාවත් තමන්ට යන්න අවශය තැනට යන්න මිනිස්සු අදින වාහනයක් කරගන්න කට්ටිය ඉන්නවනේ.

      Delete
    2. පොලිස් පරීක්ෂණ වලින් තමයි මම කියපු කාරනා මතු වෙලා තිබුනෙ..ඇය 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කලා...මානසික ආබාධයක් සහිත කෙනෙක්ට රිය පැදවීමට ඉඩ දීම ගැන සැමියාගේ ප්‍රකාශයෙන් පසු ඔහුට වෙනමම දඩ නියම කොට තිබුනා.

      Delete
  13. රත්නපුර බට්ටිට සහ මැය​ට පොලිසිය සැලකුවේ දෙයාකාරයකට නේද ? හේතුව BMW ද ?

    ReplyDelete
    Replies
    1. අහෝ BMW ඔබ අප ගැන දනී නම්!

      Delete
  14. ඩුඩ් ඔබ මතු කර ඇති දෙය ගැන නම් විවාදයක් නොමැත .

    ඒත් මට පොලිසිය ගැන දුක හිතුනා ... මීට සති කීපයකට පෙර පොලිස් මුලස්ථානයට ගිය කොල්ලෝ දෙදෙනෙක් එතැන සිටි පොලිස් කතකට ලයින් එකක් දමා , ඇගේ අත බලෙන් ඇද ඔහුගේ දුරකථන අංකය ලියා ගිය කතාවක්ද , ඉන් පසු අය බලහත්කාරකමක් පිළිබද පැමිණිල්ලක් දැමු බැව් ද කියෙව්වෙමි ..කොහොම හිටපු පොලිසියක්ද ...මට දුක සිතිනි

    ReplyDelete
    Replies
    1. අපරාදෙ, ඒ කොල්ලො දෙන්නට ආයුද පෙන්නන්න යන්න තිබ්බ චාන්ස් එක මිස් වෙලානෙ. :D

      Delete
    2. හාහාහා

      උන් දෙන්නත් හරක් ...නැත්නම් නොම්බරෙත් ලියලා එන්න

      Delete
    3. හෙහ් හෙහ්, සමාන්තර විශ්වයන් ගැන මම 'විශ්වාස කරන්න' ගත්තේ සිනමාව සහ ටෙලි සීරීස් නිසයි. දේශපාලන ලිපි ලියන්නත් සමාන්තර විශ්වය හුඟක් උදව වෙනවා.

      Delete
  15. පැහැදිලිවම ඒ පොලිස් නිලධාරියා හැසිරුනු ආකාරය නම් පැසසිය යුතුමයි. නියම මහත්මා පොලිස් සේවයක හෙවනැලි තවම ඉතුරු වෙලා තියෙනවා ටික ටික හරි. පොලිස් සේවයේ නිරත වෙලා ඉන්න නිලධාරීන් සියළු දෙනාම මෙලෙස හැසිරෙනවා නම්......

    ReplyDelete
    Replies
    1. අපේ ඒ සිහිනය සැබෑ වේවා වගේ අහිංසක පැතුමක් පතමින්... :)

      Delete
  16. පොලිස් කාරයා ගැන නං ලොකු ගෞරවයක් ඇති උනා. මං හිතන්නෙ ඒ ගැනු මනුස්සයා මොකක් හරි ප්‍රශ්නයකට ඉන්න ඇත්තේ ඒකයි ඔය විිදියට හැසිරුනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං දේශා. නමුත් මේකෙන් වුනේ ප්‍රශ්ණේ විසඳුන එක නෙවෙයිනේ. පැටව් ගහපු එකනේ.

      Delete
  17. බට්ටී එරෙහිව බී.එම්.ඩබ්ලිව් අක්කා හෙවත් පන්ති වෛරය හෙවත් එච්වන්එන්වන් ආසාදිතයින් බුකියේ පිණුම් ගැසීම.
    ක්‍රිස්ටල් ක්ලියර් රිවීව් ඩූඩ්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධු මාධවී. ප්‍රවාහයට හසුවී ගසාගෙන යාමට ඉඩ නොදී පඳුරක එල්ලුනා බං.

      Delete
  18. නියමයි, මේක කියෝගන එනකොට ඩූඩ් ලියපු එකක්ය කියල හිතාගන්න බැරි උනා.

    කාර් එකට ගහල හරි හෙල්මට් එක ගන්න කියනව වගේ මට ඇහුනෙ.
    ඒ වගේම මාත් කල්පනා කළේ පොලිස් බයික්කෙ කාර් එක පස්සට ගන්න බැරිවෙන්න පිටිපස්සෙන් නවත්තන්නැතුව කාර් එකට යන්න ඉඩ දීල බලා හිටියෙ අැයිද කියන එක.

    ඉස්සෙල්ල DDT ට දාපු එකත් එක්කමයි මේක දාන්න හිටියෙ. ඒත් අරක දැම්මට පස්සෙ කොමා ගාවින් නැගිටල යන්න උනානෙ.

    ReplyDelete
    Replies
    1. උඹට එහෙම ඇහෙනවද ප්‍රසන්න? ආයෙත් අහලා බලන්න ඕනේ එහෙනම්.

      ස්තුතියි මලයා.

      Delete
    2. මටත් ඇහුනෙ නම් කාර් එකට පයින් ගහල අරන් එන්න කියනවා තමයි.

      Delete
  19. අනේ බං අර XL R එක ගැන ලියහංකො .. බයික් කීවොත් කන්න ඕනත් නෑ . ඕ යේස්

    ReplyDelete
    Replies
    1. උඹ ඔච්චර බයික් වලට ආස නිසා මට මේ කමෙන්ට් එක මතක් වුනා

      surangamlrJuly 6, 2015 at 2:52 AM

      ආච්චම්මගෙ වාත නලා හඬද? ඒක බොහෝවිට සමාන වන්නේ යමහ ඩීටී 125 ට්‍රේලක් සද්දෙකට

      Source:
      http://yanhella.blogspot.com/2015/07/circle-pilgrimage-5.html?showComment=1436176364876#c2186743948671453937

      Delete
    2. DT125 කියන්නේ කාලයක් මගේ සිහිනයක්. ඒ සල්ලි අතේ නැති කාලේ.. සිහිනය සෑබෑ කරගන්න පුළුවන් තරමට සල්ලි අතේ ගැවසෙනකොට සිහිනය වියැකිලා ඉවරයි..

      Delete
    3. සෙන්නයියෙ DT 125 එකට වඩා ඒකෙ DT 125 R එකට තමා ඉස්සර ආස.. ඒකෙ ටේල් එක උඩටනෙ තියෙන්නෙ නම්බර් ප්ලේට් එක ලඟිං.. මට යාංතං 20 ක් වෙද්දි TZR එකක් ඉල්ලල නොකා නොබී .උපවාස කරා .පස් කෑවා ..හැක් . කෝමහරි 21 වෙද්දි එකක් ගත්තා :D

      Delete
    4. මට එච්චර චෑන්ස් තිබුන්නෑ පත්තර මලේ.. මම අර මගේ බයිසි මොටෝ පෝස්ට් එකේදිත් කිව්වා වගේ අපි ඉල්ලනවා තියා ඒ ගැන හිතුවෙවත් නෑ. මොකද දන්නවා අරගනන් විදිහක් නෑ කියලා.. ඒවා ඉතින් අසංතෘප්තව වියැකුණු ආශා ගොඩට වැ‍ටුනා... දැන්නම් ඕනා වුනත් ගන්න DT නෑ මයෙ හිතේ...

      Delete
    5. TZR and DT have same engine. My first byk was DT125R.

      Delete
  20. අපි කුහකයෝ වන්නෙමු

    ReplyDelete
    Replies
    1. අඩු වැඩි වශයෙන් අපි කවුරුත් එහෙම වෙන වෙලා ඇති ශණි.

      Delete
  21. ඉස්සෙල්ලම මේ ලිපිය කියෙව්වේ wordpress වල. එතන දාපු කොමෙන්ටුව මම මෙතැන අලෝනවා.
    //
    හත්වලාමේ… මේ කවුද? මොනවද කරන්නේ??

    නියමයි ඩුඩ් , මම 200% එකඟයි. කෙලින්ම මෙහෙම කිව්ව එක නම් නියමයි. මේ වගේ වෙනත් දේවල් ගැනත් ලියනවා නම් වටිනවා. මොකද යමක් විවේචනය කරනවා කියන එක සංයමයකින් කරන්න හැමෝටම බැහැ. ගොඩක් අය ‘පොරවල්’ වන්නේ විවේචන වලදී තමන්ගේ කුණුහරප වල දිග පළල අනික් අයට තේරෙන එක ගැන මාරම කික් එකකින්.

    ප.ලි. අර සමහර දේවල් නොලියවෙන හේතුව පාර්ලිමේන්තුව විසිරුවපු එක කියන හේතුව මට නම් පිළිගන්න පුළුවන්. මටත් ඔය ලෙඩේ නේ තියෙන්නේ! කාටවත් කියන්නෙපා හරිද?
    //


    ඊට අමතරව එතැන ඔබ අහපු ප්‍රශ්නෙට මම මෙතන උත්තරේ ලියන්නම්.

    මම ඔහොම ලියන්න කියල හිතල අතාරලා දාපු පෝස්ටු වලට වයස අවුරුද්දක් වෙනවා. මට නම් ලේබලයක් වැදුනා එක්තරා පුද්ගලයෙක් විසින්. මම ඔහුට ස්තුතිවන්ත වෙනවා මාව එක 'ගොඩකට' දාපු එකට. මොකද මම 'එක ගොඩකට' අයිති නොවී තියාගන්න සැලකිලිමත්. ඔහු මට දීපු උදව්වෙන් මම මගේ හිතන විදිය ආයේ ආයෙ විමර්ශනය කරලා බැලුව. ලොජිකලි කිසි අවුලක් නැති උනාම සතුටක් දැනුන. මම නම් මිනිස්සුන්ගේ සිතුවිලි මත මගේ සිතුවිලි ගොඩනගන්නේ නැහැ. ඒකෙන් මම 'රැඩිකල්' කියල නෙවෙයි කියන්නේ. මම සම්ප්‍රදායික කෙනෙක්.

    පෝස්ටුව ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. එයින් කොටස් ඉහලින් දාපු කොමෙන්ටු වල තියෙනවා. මම මේ පෝස්ටුවට මුල් වෙච්ච මේ වීඩියෝව ගැන යමක් කියන්නම්. මම ඕක දැක්කේ මුලින්ම ප්‍රවෘති වල. ( මගේ FB ඉඩමේ වල් වැදිලා. ඉඳල හිටලා යන්නේ.. ගොඩේ කෙල්ලෙක් නේ මම!) දැකපු ගමන් මට කියඋනේ 'මේවත් නිවුස් ද?' කියලා. මේවා නිවුස් නෙවෙයි, ඕප - දුප. ඕප-දූප වලට උත්තර දෙන්නේ තවත් ඕපාදුප කාරයින් සහ එයින් විනෝදය ලබන පිරිස්. කොටින්ම මම ඔය වීඩියෝව ඉවරවෙනකල් නැහැ. නමුත් දුටුව කොටසේදී ඒ පොලිස් නිලධාරියාගේ හැසිරීම නම් අගය කරන්න වටිනවා. තමුන්ට මොනයම් මොහොතකදී උනත් බෙරිහන්දීගෙන එන කෙනෙකුට දක්වන්න ඕනේ ප්‍රතිචාරය ඔහු විසින් පෙන්වලා දීලා තියෙනවා. ( පොලිස් නිලධාරීන් පමණක්ම නොවේ)

    මේ සිද්ධියේදී පමණක් නොවේ, ගොඩක් තැන් වලදී අපි පැස්බරුන් වගේ ඔලුව හංගගෙන පස්ස පැත්ත එළියේ දාගෙන තමයි වැඩකරන්නේ. මම කැමතියි ඩුඩ් මෙහෙම ලියනවට. මේ සංයමය අපිට විවේචන වලදී අත්‍යවශ්‍යයි. කුණුහරප වලින් ලිවිම වීරකමක් නෙවෙයි, ලැජ්ජා වියයුතු කාරනාවක්.

    ReplyDelete
    Replies
    1. ඕපා දූප වල තියෙන්නේ උම්බලකඩ කෑල්ලක් හපනකොට දැනෙන රසයක් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ එක්තරා කුණුරසයක්, නමුත් ඒකෙත් යම් මිහිරක් තියෙනවා සමහරවිට ඔය මූලික රස අභිබවා යන.

      අර ගොඩවල්වලට දැමීම ගැන උපේක්ෂා දරන මතය, මම අදහස් කරන්නේ නිර්භීත බව හරි වෙන්නැති. නමුත් මට ඒක මහා අප්‍රසන්න දෙයක්. උදාහරණයක් හැටියට ... එක්කෝ උදාහරණ ඕනෙ නෑ. :O

      Delete
    2. ඕපා-දුප වල තියෙන්නේ උම්බලකඩ වගේ දෙයක් තමයි. එකනේ ඔතරම් ඒ වගේ සයිට් ජනප්‍රිය.

      මම නිර්භීතයි කියල කිව්වා පලවෙනි සහ අවසාන එකා ඩුඩ් වෙන්න ඇති. පොඩ්ඩක් ඉන්න මම හිනාවෙලා එන්නම්...

      Delete
  22. 1. මානසික වියවුලකින් යුක්ත කාන්තාවකට ලැයිසන් දෙන්න DMt එකට පිස්සු විය හැක
    2. මානසික ප්‍රශ්නය ඉදිරියට දමා සේවාදායකයා බේරීම සුලභ ලෝයර් ගැටයක් පමණි.
    3. ඒ කාන්තාවට සිය ළදරුවාට කිරි දෙන්නට අවශ්‍යම වී නම් පාරේ පසෙකට කර එම කර්තව්‍ය කරන්නට තිබිණ. මන්ද යත් සිදුවන සුළු අතපසුවීමකින පවා දෙදෙනාගේම ජීවිත අවධානමේ වැටිය හැකි බැවිණි.
    4. ඇය එහි දොස් පවරනාකාරය කිසිසේත් අනුමත කළ නොහැක. පොලිසිය යනු මොන මට්ටමේ ජීවින් සිට්න තැනක වුව. එම වචන අති අමානුෂීයය.
    4. BMW කතාව හෝ ඇගේ ඇදුම නොසලකා හැරිය විට ඈ පිළිබද මට කියන්නට ඇත්තේ හෙන්රි අය්යා කියන කතාවට විරුද්ධ දෙයකි

    අර පොලිස් නිළධාරියා අර තරම් හොදින් කතා කරන විට පවා ඈ කතා කරන අයරින් පෙනෙන්නේ ඇය සතු ඉහළ මට්ටමේ සමාජ තත්වයක් හො මානසික රෝග තත්වයක් නොවේ. ලංකාවේ පාරේ ගමන් කරන බහුතරයක් මෝටර් රථ භාවිතා කරන්නන්ගේ ඇති ගොරෝසු ආත්මාර්තකාමී මානසිකත්වයයි. අරපරිස්සමින් වාහන පැදවීනම් ඇය යන මං ඇවිරීමට පොලිසියට උවමනා නොවේ. ඒ නැතත් ඇගේ හැසිරීම අර නිළධාරියාට සාපේක්ෂව වත් වෙනස් කර ගන්න තරම් සාමාන්‍ය සංවේදීතාවක් දැක්වී නම් ඇයගේ ඇදුම පැළදුම හෝ bmw කාරය මේ තරම් ප්‍රවෘතියක් නොවනනේය.

    ReplyDelete
    Replies


    1. ස්තුතියි මහේෂ්. මට තියෙන්නේ මේ කාන්තාව ජජ් කිරීමේ ප්‍රශ්ණයක් නෙවෙයි මහේෂ්. කාන්තාව කතාකරන, හැසිරෙන, ක්‍රියාකරන ආකාරය මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ කියලා මම කිව්වනේ.

      මට තියෙන්නේ අපේ කට්ටිය ප්‍රශ්ණයේ වැරදි තැනින් අල්ලාගැනීමයි. එතන ඇති කුහකත්වයයි. ඒ පොට වරද්දාගැනීම මේ වීඩියෝවට විතරක් අදාල දෙයක් නෙවෙයි. දිගින් දිගටම දකින්න හැකි දෙයක්.

      අර උඩ ඩීඩීටීගේ කමෙන්ට් එකක් යටින් මම ලියලා තියෙන දේදුණු ප්‍රොෆයිල් එක පොඩ්ඩක් බලන්නකෝ

      Delete
  23. ඩූඩ් මේ සිදුවීමත් කියවලා තියෙනවා අර ටයිල් රටා කියවන විදියටම.. මේක කියවනකොට තමයි මටනම් ඔය ගැන වැටහීමක් ආවේ.. BMW අක්ක.. BMW අක්ක.. කිය කිය කස්ටිය කතා වුනාට ඒ ගැන ලොකුවට හිතන්න බැරි උනා මටනම්..

    ReplyDelete
    Replies
    1. කල්‍යාන මිත්‍ර බොහෝ දුරට හරි. මම සමහරවිට ඇතැම්දේ ගැන ඕනෙවට වඩා දිගින් දිගට හිතනවාද කිය්යලත් මට හිතෙනවා. ඒ නිසාම මට වෙනස් පැති පේන්න ගන්නවා.

      උඹට කියන්න අර ADDIC සංවිධානයෙන් සිගරට් බීමට එරෙහිව යොදාගන්න තැලිච්ච සිගරට් එක දැකලා තියෙනවද? අන්න ඒක ගැන මට කියන්න තියෙන්නෙත් ඔය වගේම දිග කතාවක්.

      Delete
  24. අයියේ මාත් වීඩියෝ එක බැලුවා fb එකේ වීරයෝ ශෙයා කරලා තිබුණු තැනකින්. වීඩියෝව ගැන ඔබ එකතුකරලා තියෙන සියළු අදහස් වලට එකඟයි. ගැහැණු කෙනා කතා කරන වචන නොගැලපෙන බව සහ වටේ ඉන්න අය බලාගෙන ඉන්න එක ගැන මට පුදුම කේන්තියක් ආවා . "වාරියපොළ තරුණිය මතක් වුණා,එකම දේ කීපවරක් කියමින් කතා කිරීමට වටේ හිටපු ප්‍රේක්ෂකයෝ රුකුලක් වුණා මට දැනුන විදියට. ඒ වගේම ඇයගේ හැසිරීම තුල මට පෙනුණේ ඇය ධනවත් නමුත් උගත් කාන්තාවක් නෙමේ කියන එක. පොලීසියේ ඉවසීම අප නොදැකපු කැමරා ෆෝන් සහ ෆේස් බුක් වගේ සමාජ ජාල වලට අහුවෙන්න තියෙන බය නිසා ඇති වෙච්ච එකක්ද කියලත් හිතුණා. ...

    අර ලව් කතා පස්සේ ලියන්න මේක ගොඩක් හොඳ පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, දැන් කොයි මොහොතේ කැමරාවලට හසුවෙයිද දන්නේ නැති නිසා කවුරුත් පරිස්සම් වෙනවත් ඇති තමයි.

      මම මතු කරන ප්‍රශ්ණය මේ වීඩියෝවට විතරක් අදාල දෙයක් නෙවෙයි ඔමා. ඒවා සමහරක් සමාජයේ මුල් බැහැගත්ත සමහර ආකල්ප. මෙතනදි ඒවා නැවත එලියට ආවා විතරයි.

      Delete
    2. //මම මතු කරන ප්‍රශ්ණය මේ වීඩියෝවට විතරක් අදාල දෙයක් නෙවෙයි ඔමා// ඒ බව පැහැදිළියි අයියේ හොඳටම ,ඔයාගේ මේ සමබර ලිපිය තුළ.

      //තම ගැහැණුන් ගෝනි බිල්ලන්සේ වසාගෙන යන මුස්ලිම් පිරිමින්ට ගරහන අපත් අපේ ගැහැණුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේත් එයම නොවේද?//

      බ්ලොග් කියවන පිරිස හරිම අඩුයි ඒ ගැන ගොඩක් කනගාටුයි :( මේ වගේ දේවල් මිනිස්සුන්ට මගහැරෙනවා

      Delete
  25. මේගැන අදහස් දිගටම කියවෙලා තියෙනවා, සමාජය හැමවිටම ඊනියා සුචරිථවාදී කඩතුරාවෙන් වැහිලා තියෙන්නේ ඩුඩ්

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් සමහර වෙලාවට මේ ගැනත් වැඩිපුර කතාකරන්න ගිහින් මම ධනපතියන්ගේ සපත්තු ලෙවකන එකෙක් හැටියට හංවඩු ගැහෙන්නත් බැරිකමක් නෑ.

      Delete
  26. ගොඩක් අයගෙ එස් ඇරෙන්න මෙහෙම ලියන එකත් වටිනවා.
    අයියා කියල තියෙනවා වගේ, දැන් උසාවිය, පොලීසිය, පාර්ලිමේන්තුව ඔක්කොම තියෙන්නෙ මූණු පොතේ. හැබැයි ඉතිං දැන් මිනිස්සු වැරදි කරන්න කලින් ටිකක් වටපිට බලන්න තරම් වත් බය වෙයි.

    ReplyDelete
    Replies
    1. අපි මිනිස්සුන්ව ජජ් කරන්න මොහොතක්වත් පමා වෙන්නේ නෑ. ඒක නරක දෙයක් බවවත් බහුතරයකට අවබෝධයක් නෑ.

      Delete
  27. මුලින්ම කියන්න ඕන.. සිද්ධිය ගැන කියෙව්ව, නමුත් වීඩියෝ එක බැලුවේ නැහැ, උවමනාවෙන්ම..
    මේ ගැන මමත් ලියන්න හිටිය, ඇත්තටම කම්මැලි නොහිතුනොත් අද හෙට ලියනව.

    මට හිතෙන්නෙ මෙහෙමයි..

    අපි ඒ කාන්තාව කතා කරපු විදිය වැරදියි කියනව. ඇය කෙනෙකුට කතා කරන්න නොදන්නා කෙනෙකු යයි කියනව. නමුත් (ඔබ පවසා ඇති අයුරින්, ගොසිප් කොමෙන්ටු වල) අපි ඇයට වේසි කියල බනිනව. එතකොට? අපිත් කෙනෙකුට ගෞරව කරන්නට නොදන්නා, ගෝත්‍රික පිරිසක් බව, අපිත් ඇය වගේම (වීරයන්ගේ කොමෙන්ට් වලට අනුව) නැහැදිච්ච බව අපි විසින්ම ඔප්පු කරනවා නේද?

    සුපිරි පන්නයේ SUV වල යන වැදගත් මහත්වරුන් වුවත්, ඇතැම් අවස්ථා වලදී ගැටුමකදී ඉතා පරුෂ වචන වලින් කතා කරනවා මම අසා තිබෙනවා. ඔවුන්ට කිසිත් නොකියන අපේ මහත්වරුන් ඇගේ ක්‍රියාව දැක කෝප වී ඇත්තේ, ධනවත් ශක්තිමත් බලවත් පිරිමියෙකුව වඩා ගැහැනියකට පහර ගැසීම පහසු නිසාද? නැත්නම් ගැහැනියක් වශයෙන් ඇය BMW එකක් පැදවීම බලන් ඉන්න බැරි නිසාද? නැත්නම් ධනවත් අය එක්ක අපේ තියන නොසන්සිඳෙන පන්ති කෝන්තරය නිසාද?

    නයිටිය ගැන නම් කතා කරන්න අකමැතියි. ඉස්ලාම් ආගමේ කාන්තාවන්ගේ නිදහස ගැන බොහෝ සානුකම්පිත වන අපේ මිනිස්සු (පිරිමි සහ ගැහැණු දෙගොල්ලොම), නිරුවතින් පටාචාරාට බුදු හිමි ලඟට ගොස් බන අසා රහත් වීමට ඉඩ ලැබුණු ආගමක් අදහන අපේ මිනිස්සු (පිරිමි සහ ගැහැණු දෙගොල්ලොම), ඇඳුම් අනුව අනිත් අයව වර්ග කරන හැටි ගුජුප්සාජනකයි.

    කිරි දෙමින් වාහනයක් පැදවීම අනතුරුදායකයි, නමුත් අපි හිතමු රථය පදවූවේ ඇගේ සැමියා කියල. එතකොට ඇයට පොලිස් නිලධාරියා හමුවීමට වාහනයෙන් බහින්නට සිදු වෙන්නේ නැහැනෙ. වීඩියෝ එකකට හසුවී ලෝක ප්‍රසිද්ධ වන බව නොදැන සිටි ඇය, සමහර විට ගමනාන්තය දක්වා රථයෙන් එලියට එන්නට නොපතන්නට ඇති. ඉතින් පහසු ඇඳුමක් ඇඳන් එන්නට ඇති.

    අනිත් අයට ගරු කරන්නට හා නිහතමානී වන්නට, අපි ජාතියක් වශයෙන් මීට වඩා පුහුණු විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. //නමුත් අපි හිතමු රථය පදවූවේ ඇගේ සැමියා කියල. // මෙතන වැරදි වටහාගනීමක් සිදුවිය හැකියි. මම අදහස් කල දේ මෙහෙමයි.

      1. උපකල්පිත අවස්තාවක්.
      රථය සැමියා පදවනවා. ඇය නයිටිය ඇඳන් එහා අසුනේ දරුවට කිරි දෙමින් ගමන් කරනවා. ගැටළුවක් නැහැ.

      2. උපකල්පිත අවස්ථාවක්. (ගමන ආරම්භයේදී ඇය බලාපොරොත්තු වන අවස්ථාව)
      ඇය රථය පදවනව. ඇය නයිටිය ඇඳන් දරුවට කිරි දෙමින් ඉන්නව. පොලිසිය හා කිසිදු ගැටුමක් ඇති වන්නේ නැහැ, ඉතින් ගමනාන්තය දක්වා ඇයට රථයෙන් එලියට බසින්නට සිදු වන්නේ නැහැ. ඉතින් ගැටළුවක් නැහැ.

      Delete
    2. මෙතන මේ ප්‍රශ්ණය මෙච්චර දුරදිග ගියේ කටේ පාලනයක් නැතිකම නිසා. ඒ කාන්තාවත් අදාල නොවන දේ කියලා බණිනවා. ඒ කාන්තාව විවේචනය කරන අයත් අදාල නොවන දේ කියලා විවේචනය කරනවා.

      අර කියමනක් තියෙන්නේ My mouth writes checks that my butt can't cash කියලා.

      Delete
  28. නියමයි මචං.... උඹ සද්ද නැතුව හිටියට, ඔපීනියන් එකක් නැති එකෙක් නොවන වග නම් මම දැනගෙන හිටියා.

    මිනිස්සු එක අවස්ථා වලදී ක්‍රියා කරන හැටි බලලා, ඒ මිනිස්සු ගැන චරිත සහතික දෙන්න අමාරුයි. අපි බලන්න ඕනේ ඒ සිද්ධියේදි අපිට පැහැදිලිව පේන්න තියන ටික විතරයි. ළමයෙකුට කිරි දීමේ වගේ සිද්ධියක් නම්, අම්මා කෙනෙක් ඉමෝෂනල් වෙන එක පුදුම දෙයක් නෙමෙයි. ඒ වගේම බී.එම්.ඩබ්ලිව් එකක ආපු ගෑණු කෙනෙක් මේ විදිහට කෑ ගහනකොට පොලිස් නිළධාරියත් පොඩ්ඩක් බය වෙන එකත් පුදුම දෙයක් නෙමෙයි. මේ ගැහැණු කෙනා විහාර මහා දේවිය වෙන්න තිබුණා වගේම, එතන හිටියේ ඒ 'විහාර මහා දේවිය' නම් මේ පොලිස් නිළධාරියාගේ හැසිරීමත් මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒවා අනුමාන... අපිට පැහැදිලිව පේන්න තියන ඒවා අනුව උඹ කියපු දේ වලට 100% එකඟයි. අපේ ගොඩක් අය 'ප්‍රශ්නය' අඳුනගන්න දන්නේ නෑ. ප්‍රශ්නය වටේ තියන වෙන වෙන ජාති ගැන තමයි කතා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං.

      ඒක ඇත්ත. ඒවා ඔක්කොම අනුමාන. මේ වීඩියෝව බලලා තේරුම් ගන්න දේගැන ලිව්වා විතරයි. මට ඇත්තටම කියන්න ඕනේ මේ ලඳ ගැනවත්, ඇගේ ඇඳුම ගැනවත්, කාර් එක ගැනවත් නෙවෙයි. "උඹ ඔහොම පත්තිනි අම්ම්වගේ දැන් කතා කලාට උඹලෑ අම්ම ඒ දවස්වල කරපු කෙලි අපිනේ දන්නේ, #$#!" වගේ ග්‍රාම්‍ය තර්ක ගැනයි. :D

      Delete
  29. ආය ඉතිං කමෙන්ට් එකක්වත් දාන්න දෙයක් ඉතුරැ කරලා නෑ..මගේ හිතේ ඇතිවුන සිතුවිලි ටිකම ලියලා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. උඹ අඩුගානේ කියහං ඒ මනුස්සය ඇඳං ඉන්නේ නයිටියක්ද කියලාවත්. :D

      Delete
    2. එහම හිතන එවුන්ට මම විවෘත ආරධනයක් දෙනවා අපේ Company Party එකට ඇවිත් බලන්න කියලා..

      Delete
    3. මෙන්ඩා ...
      ඔය කම්පනි පාටියෙ බොන්න එහෙම දෙනවද ..???

      Delete
    4. හැහ්...බ්‍රෑන්ඩි බෝතලේ කඩලා ටෙබල් එක උඩ තියලා ගහනවා අපේ කෙල්ලෝ තුන් දෙනා.

      Delete
    5. අඩේ ඒ කියන්නෙ අපිට මදිවෙන සීන් එකක් තියෙන්නෙ නෙහ් .. හැක හැක

      Delete
    6. මගේ කෙල්ලෝ කවදාවත් බිලා ගේම ඉලන්නෙ නෑ..වුන් බ්ව්වාම වෙනදට වඩා ආදරනියයි.

      Delete
  30. බීඑම්ඩබ්ලියු වීඩියෝවෙ හැංගිච්ච පෙන්නුවට වැඩිය වටිනව උඹ උඹ ගැන පෙන්නල තියන එක. (ලිපිය එක්ක එකඟයි)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්. ඒ කියන්නේ ආත්ම විවරණයක්. මට එහෙම හිතුනෙම නෑ.

      Delete
  31. ඔය කියල තියෙන්නේ ..හරියටම හරි ඩුඩ් . මටත් හිතුනේ එහෙම තමයි. ඔය ඉතින් අපේ සිස්ටම් එකනේ. මතන ගැටෙන්නේ අපේ සිස්ටම් එකේ පැලපදියම් වෙච්ච මත කීපයක් .
    දේශපාලනය ලිපි ගැනත් මගේ අදහස ඩුඩ් ට එකඟයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්. ඒ සිස්ටම් එකේ පැළපදියම් වෙච්ච මත තමයි.

      Delete
  32. ඊරිසියාව.... වෙන මුකුත් නෙමෙයි ඊරිසියාව ...... ඒ ගෑනු කෙනා කරපු දේ හොඳයි කියනව නෙමේ ..... ඒත් කිසිම දෙයක් හොයන්නෙ නැතුව දාපු කමෙන්ට්ස් නං අප්පිරියයි ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඇනොපිලිස්. ගෑණු කෙනා කරපුදේ හරි කියලා මමත් කිසිම තැනක කියලා නෑ. පොලිසියෙන් නවත්තලා දඩ කොලයක් ලියන එක වැරදියි කියලත් නෑ. මම කියන්නේ ගෑණු කෙනාට පහර දෙන්න බනින්න මේ වෙනත් මෝඩ තර්ක ගේන එක.

      Delete
  33. නියමයි ඩූඩ්.

    අපේ මිනිස්සුන්ට වැරැද්ද පේන්නෙ ඒ මනුස්සයගෙ නෙමෙයි, BMW එකේ. මතකද ගප්පියගෙ කාර්ටුන් එකේ සිද්ධිය. කතා කරල වැඩක් නෑ. කලකිරෙනවා මේ මිනිස්සුන්ගේ අදහස් දැක්කම.

    අර වීඩියෝවෙ අනිත් පොලිස්කාරයා කියන්නෙ "කාරෙකට පයින් පාරක් ගහලා හෙල්මට් එක ආපහු ගන්න." කියලා.

    ඒ මනුස්සයා ඉන්නෙ අවුරුදු හතක දරුවව ක්ලාස් එකෙන් අරන් එන ගමන්, මාස දෙකක් වයස දරුවව උකුළෙ තියාගෙන පරක් කරන ගමන්. වැරදියි තමයි වැඩේ. ඒත් ඕක විවේචනය කරන මිනිස්සුන්ට මානුෂිකත්වයක් ඇත්තෙම නැද්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. වැ‍රැද්ද වැ‍රැද්දමයි. අර "අපි නොදන්නවැයි උඹලෑ අම්මලා ඒ කාලේ..." ජාතියෙ මොට ආයුධ වලින් පහර දීමයි මගේ තර්කය.

      Delete
  34. නියමයි ඩුඩ්යියා.අපේ සමාජය හරිම ප්‍රථාමික සමාජයක් කියලා පේන්නේ මේ වගේ වැඩ වලින් තමයි.මේක බොහෝම මධ්‍යස්ථව බලලා තියෙනවා ඩුඩ්යියේ.
    u reporter ලා දැන් හැමතැනමනේ :D

    ReplyDelete
    Replies
    1. Nowadays the phones are smart. People are not.

      Delete
  35. නියමයි. මේ ටික කවුරු හරි කියපු එක ගැන බොහොම සන්තෝස වෙනවා

    හැබෑට අර පොලිස් මහත්තයා වීඩියෝ කරනවා කියල දැන ගෙන එච්චර විනීතව හැසිරුනාය කියල හිතුනේ මට විතරමද?

    ReplyDelete
    Replies
    1. නෑ..මටත් හිතුනා..
      ඇත්තටම එහම නෙමෙද වුනේ

      Delete
    2. එහෙම වුනත් ඒකේ වරදක් නෑ බංස්ලා. පුද්ගලයා නෙවෙයි ක්‍රියාවයි වැදගත්. මෙතනදි විනීතව හැසිරුනානම් ඒකයි අදාල වෙන්නේ නැද්ද?

      Delete
  36. අවංකවම එකඟ වෙන්න පුළුවන් ලිපියක්. වෙන මොනවත් කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ මට :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි කමෙන්ට් එකට.

      Delete
  37. මටනං තේරෙන විදිහට මේ කාන්තාව ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ. ඒකයි එයා ඔය විදිහට හැසිරෙන්නෙ. හිතේ තියෙන ආවේගය ඇය පිටකලේ අහුවෙච්ච පොලිස් නිලධාරියා පිටට. හොයන්න වටින්නෙ ඇයට මේ තරම් කේන්ති යන්න හේතුවයි. ඇයට දරුවෙක් උකුලෙ තියාගෙන රිය පදවන්න සිද්ද වෙච්ච හේතුවයි.

    අනුකම්පායි. ඇය, ඇගේ දරුව විතරක් නෙවෙයි අර පොලිසියෙ රාලහාමි ගැනත්. ඇයට සල්ලි තිවුනට රැකවරණයක් නැතුව ඇති. රැකවරණයක් නැති කෙනාට කේන්ති යනව වැඩියි.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>