Saturday, September 28, 2013

94. Panic Attack! සිංහලෙන්!





PANIC ATTACK!


2013 අගෝස්තු 30: පැය2200


EY0279 (සංඥා නාමETD279) ගුවන් යානය ෆ්ලයිට් රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇත. මෙම Airbus A320 යානය පැය 2025ට මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලෙන් ගුවන් ගත වී විනාඩියට අඩි 2000ක නැග්මකින්  ඉහල නගිනු ලැප්ටොප් පරිගණක තිරයේ ලයිව් ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියෙන් අප බලා සිටියෙමු. යානය අඩි 40000ට ලඟා වූ පසු,  අන්තර්ජාල සම්බන්ධය විසන්ධි කර, රාත්‍රී ආහාරය ගැනීමට ගියේ, කිලෝමීටර් 3025ක් දුරින් පිහිටි අබුඩාබි ගුවන් තො‍ටුපළ දක්වා වූ පියසැරියට පැය හතරකුත් විනාඩි පහළොවක් ගතවන  නිසාය.අප මේ දිනවල කරන අයුරින්, 'Burn Notice' ක්‍රියාදාම කථා මාලාවේ තවත් කොටසක් නරඹමින් රාත්‍රී ආහාරය ගත් අප, ඒ නිමවා ගුවන් යානයේ ගමන නැරඹීමට පරිගණකය වෙත නැවත පැමිණියෙමු. නින්දෙන් අවදිකරවාගත් පරිගණකයට අන්තර්ජාලය නැවත සම්බන්ධ කර පි‍ටුව යාවත් කාල කලෙමි.

පුදුමයකි! ගුවන් යානය අගිය අතක් නැත!

අනතුරුව මා www.flightradar24.com වෙබ් අඩවියේ සෙවුම් තීරුවට ETD279 ඇතුලත් කර Enter යතුර එබුවද  ප්‍රතිඵලය පෙර සේම විය. ඉන් පසු මා කලේ, මාලේ සිට අබුඩාබි දක්වා ගුවන් මාර්ගය විශාලනය කොට (zoom in)  එම ම‍ඟෙහි වූ යන එන සියළුම යානා එකින් එක පරීක්ෂා කිරීමයි. එවිටද ප්‍රතිඵලය පෙර සේම විය. මේ රාත්‍රියේ, මේ මොහොතේ ගුවන් ගතවී තිබූ අට දහස් ගණනක් වූ ගුවන් යානා ප්‍රමාණය නිසාම, මම ඊ ලඟ පියවර ලෙස සෙවුම් පෙරණය යොදාගෙන Etihad යානා පමණක් දර්ශණය වන ආකාරයට තිරය සකසා, එක් එක් ගුවන් යානය නැවතත් පරීක්ෂා කලෙමි. 

ගුවන් යානය අතුරුදහන් වී ඇත.


කලබළ වූ බවක් ඉරියව් වලින් නොපෙන්වීමට මා සියලු ප්‍රයත්නයන් යෙදුවද, පවුලේ අනිත් සාමාජිකයන් දෙදෙනා නොඉවසිලිමත් වී ඇති බව මට අවබෝධවෙමින් පැවතුනි. Etihad ගුවන් සේවා අඩවියට ගිය මා ගුවන් යානය සෙවීමට උත්සාහ කලෙමි.

මෙම ගුවන් යානයේ යාවත් කාල කිරීම් නොමැත.

ඉන්පසු මා ගූගල් ආධාරයෙන් flightradar24.com ට සමාන වෙනත් සජීව ගුවන් ගමන් රේඩාර් වැඩසටහන් සොයා ඒවායින් පරීක්ෂා කර බැලුවද, මීට පැය එකහමාරකට පෙර අපගේ දියණිය  ‍රැගෙන ගුවන් ගතවූ EY0279 යානයේ සළකුණක් හෝ සොයාගත නොහැකි විය..  

සජීවී ප්‍රවෘත්ති චැනලයක Breaking News නැරඹීමට උපන් හදිසි ආශාව මා යටපත් කරගත්තේ බිරිඳත්, පුතාත් කලබළ විය හැකි නිසාය. වරක් ඉශාර ගුණවර්ධන මග පෙන්වූ, ගුවන් අනතුරු ගැන වහාම දැනගත හැකි වෙබ් අඩවියද මම බලෙන්ම අමතක කර දැමීමට උත්සාහ කලෙමි.

නිවසේ සියළු දෙනාම තම තමාගේ හැඟීම් යටපත් කරගෙන සිටින සෙයක්  පෙනුනි. මේ ආකාරයේ ලයිව් ෆ්ලයිට් රේඩාර් වැඩ සටහන් වල ඇති විශ්වාසනීය භාවය ගැන සැක පළකල අප, නින්දට යාමට සූදානම් වීමු.

ඇඳේ ඒ අතටත් මේ අතටත් පෙරළෙමින් කල් ගත කල මා අසලකට වත් නිදි දෙව් දුව නොපැමිණියාය. මෙම ගුවන් ම‍ඟේ වැඩිම කොටස වැටී ඇත්තේ මුහුද මතිනි. ඒ මදිවාට, මේ රාත්‍රී ගුවන් ගමනකි. මා මෙසේ සුව පහසුව ඇඳක වැතිර සිටියදී,  මගේ දියණිය මේ මොහොතේද අප ගැන සිතමින්, ඝණ අඳුරේ, කුණා‍ටු මුහුදක, රළ හා පොර බදමින්, ගුවන් යානයේ සුන් බුන් අතර පිහිණමින් නොගිලී සිටීමට සටන් කරමින් සිටින්නේ  දැයි දන්නේ දෙවියන් පමණි. ඒ ඇයි දිවි ‍රැකගෙන සිටියොත්ය. මිනී කන මෝරු! ඇය අවට මුහුදේ පාවෙන  වහා ගිණිගන්නා සුළු ජෙට් ඉන්ධන ටොන් ගණනක්!

ජීවිතාරක්ෂක කබා ඇඳ ගැනීමටවත්  ඔවුන්ට කල් තියෙන්නට ඇත්ද? නැතිනම් මෙය ඒ තරම් ක්ෂණිකව සිදුවුනා වත්ද? ගුවන් අනතුරුවලින් සැලකියයුතු ප්‍රමාණයකට හේතු වන්නේ අයහපත් කාළගුණයයි. අනික, මිනිස් අතපසු වීම්. මා නරඹා ඇති Air Crash Investigations වැඩ සටහන් වල සියලුම කොටස් මාගේ ඇස් ඉදිරිපිට නැවතත් දර්ශනය වන්නට විය. වරක් එක් ගුවන් යානයක් බිම වැදී අණතුරට පත්වූයේ නඩත්තු කටයුතු වලදී ඇල්ටිටියුඩ් සෙන්සරය මත ඇලවූ  මාස්කිං ටේප් කැබැල්ලක් ඉවත් කිරීමට අමතක වීම නිසාය. තවත් වරෙක, නියමුවා ලීටර් සහ ගැලුම් පටලවා ගැනීම නිසා ගුවනේදී ඉන්ධන අවසන් වූ යානයක් අනතුරට ලක්විය. නියමාකාරයෙන් නොවැසුනු දොරවල්,  නැවත අලුත්වැඩියා කල පැරණි අමතර කොටස්, ලෝහවල සියුම් ඉරි තැලීම්,  සිරවී අක්‍රීය වුනු යානාවේ පාලක මතුපිටවල්, වායු සමීකරණ කුටීරවල ඇතිවූ හදිසි ගිණි ජාලාවල්! දෙවියනි... වැරදී යා හැකි දේ කොපමණ නම් ඇත්ද!!



ඇය පිටත් වී යාමට මඳකට කලින්, ඇයගේ ගුවන් ගමන් බලපත්‍රයේ අන්තිම පි‍ටුවේ ඇතුල් පැත්තේ, 'මරණය හෝ හදිසි අනතුරක් සිදුවුවහොත් දැනුම් දෙන්න' යන කොටස මගේ අත් අකුරෙන් මගේ විස්තර පිරවීමට හිත දුන්නේදෛවයේ සරදමක්  නිසාද?

මගේම දියණිය දිවි ‍රැක ගැනීමට සටන් කරද්දී ගෙදරට වී සුරක්ෂිතව, සුව පහසුව නිදා ගැනීමට උත්සාහ දැරීමද බලවත් වරද කාරී හැඟීමක් මතුල ඇති කලේය.

නැති නම්, යම් දෝශයක් සොයා ගත් නිසා. ඔවුන් ආපසු හරවාගෙන පැමිණ මාලේ හදිසි ගොඩ බැසීමක්වත් කලාද?

මේ සියල්ලේම ආරම්භය වූයේ ඇය ගිම්හාන නිවාඩුවට රුසියාවේ සිට මාල දිවයින කරා පැමිණීමත් සමඟය.

  
2013 ජූලි 05,  සිකුරාදා: පැය1450:

මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලේ පැමිණීමේ පර්යන්තයේ LCD තිරයන් දෙස මා නෙත් යොමාගෙන සිටියෙමි. ඇය ‍රැගත් අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවයට අයත් EY278 යානය ගොඩබැසීමට නියමිතව ඇත්තේ පැය 1455ටය. ඒ සඳහා තව ඇත්තේ විනාඩි පහක කාලයකි. අහස කලු වලාවන්ගෙන් බරව පැවති අතර කාළගුණය ඉතා අයහපත් විය. එක් වරම ධාරානිපාත වර්ශාවක් ඇද  හැලුනි.

LCD තිරයේ වේලාව 1455 ලෙස සටහන්විය. ගුවන් යානය ප්‍රමාදය. මම නොඉවසිලිමත් වීමි.

නිකරුනේ කලබලවීම මගේ සහජ දුබලතාවයකි.




මට ඉමහත් සහනයක් ගෙන දෙමින් 1459ට ගුවන් යානය ගොඩ බෑ බව (LANDED) තිරයේ සටහන් විය.

රේගු කටයුතු සඳහා සෑහෙන වේලාවක් ගත කල ඇය අවසානයේදී ස්වංක්‍රීය දොර තුලින්  ගමන් මලු ට්‍රොලියක්ද සමඟ  මතුවූවාය.



මොස්කව් සිට අබුඩාබි දක්වා පියාසර කර තිබූ ඇය,  අබුඩාබි සිට මෙහි පැමිණීමට පෙර එම ගුවන් තො‍ටුපළේ පැය ගණනාවක් ගතකර තිබුණි.

අප ට්‍රොලියත් තල්ලු කරගෙන ගුවන් තො‍ටුපළෙන් පිටතට ගමන් කරමින් සිටියදී හදිසියේ ලැබුණු SMS පණිවිඩය කියවීමට ඇය මඳකට නතර වූවාය. එය ඇගේ මිතුරන්ගෙනි. "We saw you landing." පණිවිඩයෙන් කියැවිනි. ඇගේ මිතුරන් ෆ්ලයිට් රේඩාර් ආධාරයෙන් ඇයගේ යානය ගොඩ බසිනු නරඹා තිබුනි.

ඉන් දින කිහිපයකට පසු ඇයත් සමඟ අප සේවය කරන දූපතට පැමිණියේ පැය 13ක මුහුදු ගමණකින් අනතුරුවය.

නිවාඩුවේ ගතවූයේ සිතාගත් නොහැකි වේගයෙනි.

දින සති අප අතැඟිලි තුලින් රිංගා ගියේ සියළුම යහපත්දේද අවසන් වේ යන කියමන සැබෑ කරවමිනි. අවසනදී ඇය ආපසු යා යුතු දිනයද ලංවිය.

2013 අගෝස්තු 30:

ඇගේ ආපසු ගමන සඳහා මෙවර ආසන්න දූපතක පිහිටි අභ්‍යන්තර ගුවන් තො‍ටුපළට ඇය හැරලීම සඳනා අප අධිවේගී බෝට්‍ටුවක් කුළියට ගතිමු. එවිට ඇයට පැය දහතුනක මුහුදු ගමන වෙනුවට පැයක කාලයකින් මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපළට ලඟාවිය හැකිය. අභ්‍යන්තර  ගුවන් සේවාවක් මගින් ක්‍රියාත්මක වන මෙම de Havilland Dash 8 වර්ගයේ  කුඩා මගී යානාව නිල් අහසේ නොපෙනී යන තෙක් බලා සිටි අප තිදෙනා ආපසු බෝට්‍ටුව වෙත පැමිණියේ බරවූ හදවත් වලිනි.

රළු මුහුද කලඹාගෙන රල මතින් පනිමින් ගමන් කල අධිවේගී බෝට්‍ටුව අපගේ දූපතට ලඟාවීමෙන් අනතුරුව, කුළී රියකින් නිවහන බලා යද්දී, දුරකථනයෙන් කතාකල දියණිය ඇය මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළට ලඟා වූ බව කීවාය. නිවී සැනසිල්ලේ, අබුඩාබි බලා ය
යානයට යා හැකි ලෙසත්, අන්තිම මොහොතේ අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාද වීමෙන් හෝ අවලංගු කිරීමෙන් ඇතිවිය හැකි ගැටළු මඟ හැරීම පිණිසත්, ඇය අවශ්‍ය වේලාවට වඩා පැය කිහිපයක් කලින් එහි ලඟාවීමට කැමති වූවාය.

රාත්‍රියේ ගමන් කරන EY 0279 දරණ යානයෙන් අබුඩාබි බලා ගමන් කරන ඇය,  අබුඩාබි සිට මොස්කව් 'දොමොදෙදෝවෝ' ගුවන් තො‍ටුපළ කරා ගමන් කරන EY0069 යානය පැමිණෙන තෙක් පැය ගණනාවක් එම ගුවන් තො‍ටුපළේ ‍රැඳී සිටීමට නියමිතව තිබුණි.

මෙම එයාබස් A320 යානය පැය 2025ට මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලෙන් ගුවන් ගත වී විනාඩියටඅඩි 2000ක නැග්මකින්  ඉහල නගිනු ලැප්ටොප් පරිගණක තිරයේ ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියෙන් අප බලා සිටියෙමු.

අතුරුදහන් වී ඇත්තේ මාලේ සිට අබුඩාබි දක්වා ගමන් කල මෙම ගුවන් යානයෛ මෙම ගුවන් යානයයි.



2013 අගෝස්තු 30: හිමිදිරි උදෑසන: 

නින්දත් නොනින්දත් අතර පාවෙමින් සිටි මා හදිසියේම පාන්දර හතරට අවදිවී ඉද්ද ගැසුවාක්මෙන් ඇඳේ ඉඳගතිමි. වහාම ඇඳ අද්දර මිටි ස්ටූලය මතවූ ලැප්ටොප් පරිගණකය පණගැන්වූ මා සියල්ලටම පෙර Yahoo Mail විවෘත කලෙමි. ඊට කලින් මතුවූ යාහූ මෙසෙන්ජර් දැනුම් දීමෙන් කියැවුනේ නව ලිපියක් ලැබී ඇති වගයි. ලිපිය තිරයේ මතුවන තෙක්   නොඉවසිල්ලකින් පසු වූ මම "අනේ ඒ මේල් එක එයාගෙන් වෙයං!" යි මැතුරුවෙමි.

ඔව්. ඒ ලිපිය ඇයගෙනි.



"Arrived safely in Abu Dhabi:


(අබුඩාබි වලට නිරුපද්‍රිතව ලඟා වුනා.)

got the food coupon too. got a sheet too.now found a nice place to stay.took everything from the flight. didn't leave anything behind angels. going to set many alarms don't worry. i will send a message when i go to Moscow. dont worry ok. will send another mail  if net works before i go. gave rice in  the flight.  ate and  very full now. brought the biscuits and things in the bag.



dont worry and jump up. im fine ok


මට දැනුන සහනය කොතරම්ද යත් මම ප්‍රීතියෙන් උඩ පැන්නෙමි.  වහාම බිරිඳවත් පුතාවත් නින්දෙන් අවදි කල මා සුභාරංචිය ඔවුන්ට පැවසුවෙමි. ඇත්තෙන්ම නිදා සිටින කෙනෙකු අවදි කර යහපත් ආරංචියක් පවසන්නට හැකි වීම ඉතාම සුන්දර අත්දැකීමකි. රාත්‍රියේ (හෝ උදෑසන) ඉතිරිය අප සිතේ සැනසුමෙන්, ප්‍රීතියෙන් ඉපිළෙමින්  නිදා ගතිමු.

  2013 අගෝස්තු 30: පැය0700:


උදෑසන, ඇය මොස්කව් ගුවන් යානය පැමිණෙන තෙක් අබුඩාබි ගුවන් තො‍ටුපළේ ‍රැඳී සිටිනා අතරතුර මම නැවතත් ෆ්ලයිට් රේඩාර් වැඩසටහන වඩා හොඳින් ගවේශනය කලෙමි. පෙරදා රාත්‍රියේ මා නොදු‍ටුවත්, ගුවන් ගතවී ඇති යානා ලැයිස්තුව කියවද්දී ඒවායින් සැලකියයුතු ප්‍රමාණයක් ඉදිරියෙන් missing (අතුරුදහන් වී ඇත) යනුවෙන් සඳහන් වී ඇති බව දක්නට ලැබිණි. මෙම වැඩ සටහනේ ගුවන් යානාවක් ඉදිරියෙන් missing යනුවෙන් සඳහන් වීම කලබල නොවිය යුතු සාමාන්‍ය දෙයකි


පැය 0845ට, ඈ පැය පහකුත් විනාඩි 25ක් ගතවන, කිලෝමීටර් 3707 ක දුරකින් පිහිටි මොස්කව්  දක්වා ගමනාරම්භ කලාය. තිරය විශාලනය කල අප (zoom in)ඇය ‍රැගත් යානය  ධාවන පථ අංක2121න් ගුවනට නැගෙනු බලා සිටියෙමු. යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වූවද පෙර මෙන්  බියවිය යුතු නැති බව අවබෝධ කරගත් අප, යානය සාමාන්‍ය පියාසර උසට නැග පොළොවට සමාන්තරව ගමන් අරඹන තෙක් බලා සිට, එදිනෙදා සාමාන්‍ය වැඩ පළවල නිරත වූයෙමු. .











පැය 1400ට අප නැවතත් EY0069 යානයේ  ගමන් මග පරීක්ෂා කල විට එය මොස්කව්හි දොමොදෙදෝවෝ ගුවන් තො‍ටුපළ වෙත ළඟාවෙමින් පැවතුනි.ධාවන පථය මතට  යානය පතිතවූ යානය වේගය අඩු කරත්ම මගේ දුරකථනයට ලැබුනු SMS පණිවිඩයකි.

“Angels, landed in Moscow just now. Still in the aircraft. Taking all the hand luggage. Don’t worry."


We stopped worrying.   

The eagle has landed.


වරක් මගේ පුතාගේ ෆේස්බුක් පි‍ටුවේ වූ මේ සටහන මගේ සිතට  නැගුනේ නිරායාසයෙනි.

PS: This is not a story about aviation, 
but parenting.

ප ලි: බැලූ බැල්මට මේ ගුවන් ගමන් ගැන කතාවක් සේ පෙනුනද, මේ සැබැවින්ම දෙමාපිය සෙනෙහස පිළිබඳව වූ කතාවකි.
 
Originally published @ HeyDude in English Language. 
 Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.




49 comments:

  1. ඩුඩ් අය්යේ ඉංග්‍රීසි එකයි,සිංහල එකයි දෙකම කියෙව්වා.මං කොළඹ වැඩකරනකාලේ [2008-2010] බෝම්බයක් එහෙම පිපිරුනාම අපේ තාත්තා විගහට කොල්කරනවා.මං ආන්සර් කලාම "නෑ නිකන්" කියලා ෆෝන් එක තියනවා.ඒත් මං දන්නවා කෝල් කලේ මං ජීවත්ව ඉන්නවද නැත්ද කියලා බලන්න කියලා.මේක මට විතරක් වුනු දෙයක් නොවෙයි.අපි පහුකලේ එහෙම කාලයක් කියන එක දැන් ගොඩක් දෙනෙකුට මතක නැහැ

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං තාත්තලා අම්මලා. කොන්දේසි විරහිත ආදරය.

      Delete
  2. උඹ බලලා තියනවද, Air Crash Investigations එකේ Helios 522 අනතුර ගැන. Preasurisation System එක ටෙස්ට් කරන්න මැනුවල් පොසිෂන් එකට දාලා ආයෙත් ඔටෝ පොසිෂන් එකට දාන්න අමතක වීමෙන් ඔක්කොම මගීන් එක්ක ප්ලේන් එක කඩා වැටෙනවා. ඇඟ හිරි වැටෙනව එහෙම දේවල් කියෙව්වහම.

    තාම මගේ ළමයි තනියම ගමන් බිමන් යන්න තරම් ලොකු නැති නිසා, මට මේ අත්දැකීම තියෙන්නෙ මගේ දෙමාපියන් සම්බන්ධයෙන්. මම තනියම බෝඩිමේ ඉන්නකොට, අම්මලා මාව බලන්න එන බව දන්වලා තියන දවස් වලට ඉතින් උදේ ඉඳලා බලන් ඉන්නවා. කියපු වෙලාව පහුවෙනකොට ඉතින් හිත නොසන්සුන්. එක එක දේවල් හිතට එනවා. අපේ පවුලේ කස්ටිය ඒ කාලේ රටේ හැම තැනම විසිරිලා හිටිය නිසා අම්මයි තාත්තයි නිතරම පාරේම තමයි. කියපු වෙලාව පහුවෙනකොට, හදිසි අනතුරු, බෝම්බ, පැහැරගැනීම්, ගං වතුර, පිට සක්වල ජීවීන් විසින් පැහැර ගැනීම් වගේ දේවල් ඔලුවට එනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කතාවෙද අර ප්ලේන් එකේ ටේල් එකේ රෙඩ් ඉන්ඩියන් ඔලුවක් ඇඳලා තියෙන්නේ? මට ඒ වගේ මතක.

      ඇයි උඹට මතකද රෂියන් පයිලට් කෙනෙක් නයිට් ෆ්ලයිට් එකකදි එයාගේ පුතාව ෆ්ලයිට් ඩෙක් එකට ගෙන්නගෙන පොඩි එකාට ප්ලේන් එක අරං යන්න දීලා ක්‍රෑෂ් වෙච්ච එක?

      ළමයි ඇහේ මූණේ තියන් හැදුවට කවදාහරි තනියෙම යන්න සමාජයට මුදා හරින්න වෙන දවසක් එනවා. මේ ළමයත් තනියෙම ඉස්කෝලෙ නොයැව්වත් අන්තිමේදි තට්ට තනියෙම ඔය තරම් දුර යන්න දෙන්න සිද්ද වුනා. හැබැයි ලෝකෙ වටේ ගියත් බයක් නෑ. නමුත් තමන්ගෙම රටේ තනියෙම කොහේවත් යවන්න බැරි තත්වයක්නේ තියෙන්නේ.

      >>පිට සක්වල ජීවීන් විසින් පැහැර ගැනීම් වගේ දේවල් ඔලුවට එනවා.<<
      මේ කෑල්ල මරු බං. උඹ මටත් එහාට හිතනවා. සමහර විට X Files අජීරණේ වෙලා වෙන්නැති. :))

      Delete
  3. හුගක් අය නොදන්නා පැතිකඩක් කතාවක් ලෙසට ඉදිරිපත් කිරීම හරිම අගෙයි.
    දුවයි,පුතයි ගෙදර එන්න විනාඩි පහක් ප්‍රමාද නම් කෝල් කරන එකමයි මගෙත් වැඩේ.
    ඔය භය වෙන එක ගැන කියල වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් මේක හුඟක් පොදු තත්වයක්. නමුත් ළමයින්ට මේක හෙන ඇණයක් වගේ පේනවා. දෙමව්පියෝ තමන්ගේ ආරක්ෂාව ගැනවත් වද වෙන්නේ නෑ මේ තරම්. ඇයි මචං මාධ්‍ය වල යන දේවල් ඇහුවම බය හිතෙන්නේ නැද්ද?

      Delete

  4. මතු දිනෙක අපිටද උදා විය හැකි ඔය දිනය අපි දැනටම බිය වන්නෙමු.

    මට පෙනුන විදියට මේ කතාවේ ,දෙමපියන් ගැන , ගුවන් ගමන් ගැන වගේම සූප සාස්ත්රය ගැනත් තියෙනවා. how to boil eggs in your heart.

    all's well that , ends well නේ

    ReplyDelete
    Replies
    1. Be afraid. Be very afraid! :-O
      JP සූප සාත්තරේ ගැනත් තියෙනවා කිව්වාම මම මඳකට හොල්මං වුනා. හරියට හරි! :))

      Delete
  5. මට මතක් උනෙ මචන්,සුනාමි ආපු දවසෙ මගෙ නන්ගිල දෙන්නම මාතර ගිහින්.කාටවත් එ දවස්වල මොබයිල් ෆොන් නැ.තිබුනත් සිග්නල් වැඩකලෙ නැ.එදා අම්ම විදපු දුක, අයියයි මායි එයාලව හොයපු හැටි.ලිපියක් ලියන්නම්කො එ ගැන.

    ReplyDelete
    Replies
    1. දමිත්ගේ මේ කමෙන්ට් එක දැකලා තමයි මම දැනගත්තේ දමිත්ට අලුත් බ්ලොග් එකක් තියෙනවා කියලා.

      මෙන්න අනිත් හිතවතුන්ට ලින්ක් එක. නිකං එකක් නෙවෙයි හයේ හතරේ බඩුවක්! :D

      හය හතර

      Delete
  6. මේක ඔන්න කතාව කියවල මට හිතුන දේ ඔන්න ආ....... දෙමව්පියන්ගේ අසීමිත ආදරේ (බොහෝවිට මේක දරුවන්ට මහම කරදරයකි.) දරුවන්ට තේරුම් යන්නේ ඔවුන්ද ඒ වයසේම දරුවන් ඉන්න දෙමව්පියන් වූ පසුවය.. එවිට තම හදවතේ ගැබුරුම තැනින් එන ස්තුතිය පුදකරන්න (බොහෝ විට) ඒ දෙමව් පියන් දරුවන් ලග නැත ...... හෙන්රි සහේ ඔයාගේ දෙමව්පියෝ දැන් ඉන්නේ කොහෙද ඔය අවස්ථාවේදී ඔයාට එයාලව කි සැරයක් මතක් උනාද ?

    ReplyDelete
    Replies
    1. දැන් ඒ දෙන්නම නෑ මැලේ රාළ. යම් ජයග්‍රහණයක් ලබපු වෙලාවටත් මතක් වෙනවා ඒ දෙන්නව. අනේ එයාලා හිටියානම් කොච්චර සතු‍ටු වෙයිද අද කියලා. :(

      Delete
  7. මට හිතාගන්න පුඵවන් ඩූඩ් එදා පත්වෙලා හිටපු මානසික තත්වය පිළිබඳව....

    ඥාතියෙකුගේ එහෙමත් නැත්නම් හිතවතකුගේ දැනගතයුතුම තොරතුරක් අවශ්‍යම වෙලාවේදි දැනගන්නට නොහැකිව දෙගිඩියාවෙන් පසුවන ඕනෑම කෙනෙකුගේ ව්‍යාකූල සිතෙහි ඇතිවන සිතුවිලි සියල්ල, අර අවසානයේ දක්වා ඇති "චාට්" එකට සමාන රූපයකට සාරාංශගත කරන්නට පුලුවන් වේවි නේද....

    ඩූඩ්ගේ දියණියගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම පුලුවන් නේද? පයි චාට් එක පිරෙන්න දාන්න පොසිබිලිටීස් තියෙනවා. මේ ෆේස් බුක් එකෙන් ගත්ත එක වුනත් අපි හුඟ දෙනෙක් සම්බන්ධව ඇත්තම ඇත්තයි කියලා මට හිතෙනවා. අපේ පුතා කියන්නේ "You always start with the worst case scenario,"කියලා.

      බොහොම ස්තුතියි ගමේ හිතවතා ඒ පැතුමට.

      Delete
  8. කෙටි කාලෙකදි ෆෝන් එකට ආන්සර් කළේ නැතුවට අර තරං බරපතල විදියට හිතුවෙ නැති උනත් දින ගාණක් ඒ තත්වෙ ඇතිඋනොත්තං කළබල වෙන එක සාධාරනයි.
    දැං ඔය ෆ්ලයිට් රෙඩාර් එක නොතිබ්බනං මොකක්ද වෙන්නෙ එතකොට. :D

    Air Crash Investigation ප්‍රෝග්‍රෑම් එක බැලුවට පස්සෙනං ජීවිතේට ප්ලේන් එකක යන්න බය හිතෙනව.

    ReplyDelete
    Replies
    1. Live Flight Radar නොතිබ්බා නම් කලබල වෙන්න දන්නේ නෑනේ ප්‍රසන්න. ඒක හන්දා හොඳට නින්ද යනවා.
      දැන් මෙහෙම හිතපංකෝ. මෝබයිල් ෆෝන් නැති කාලේ අපි කලබල වෙන්නේ නෑනේ ඔහොම. ලෑන්ඩ් ලයිනුත් හිඟ කාලේ, ඉතින් ලියුමක් හරි පෝස්ට් කාඩ් එකක් හරි එනකල් ඉන්න එපායැ ගිය බව දැනගන්න.

      මම Air crash Investigations ඔක්කොම වගේ බලලා තියෙනවා බං. නමුත් සුරක්ෂිතම ප්‍රවාහන මාධ්‍ය ඒක බව මම පිළිගන්නවා.

      Delete
    2. ආයේ ඔහොම දවසට ඔය රෙද්ද බලන්ඩ එපා

      Delete
  9. හෙන්රි
    මමත් ඔය වගේම තමයි ලමයින්ට ඇනයක් වෙනවා සමහර වෙලාවට.
    Air Crash Investiggations වල මම දැකපු ඒවයින් හොඳම එක බොයින් 737 හරි 757 හරි එයාක්‍රාෆ්ට් දෙකක් කඩා වැටෙනවා හිටපු ගමන් පයිලට්ට පාලනය කරන්න බැරිවෙන්න පිස්සු කෙලින්න පටන් අරගෙන.තුන්වෙනි එකටත් එහෙම වෙලා ආයිමත් පාලනය වෙලා ලෑන්ඩ් කරනවා.සැකකරන රඩර් කන්ට්‍රෝල් හයිඩ්‍රොලික් වෑල්ව් එක ටෙස්ට් කලහම කිසිම වරදක් නෑ.පස්සෙ ඇමරිකන් එයාෆෝස් එකේ කරන හැටියට නයිට්‍රජන් ගහලා කූල් කරල ටෙස්ට් කලහම තමයි වෑල්ව් එක සීතලට හිරවෙනබව හොයාගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක නම් ඇත්ත. ඇනයක් බව මටත් නොතේරෙනවා නෙවෙයි. නමුත් එහෙම නොසලකා හිටියොත් ඒකත් පුදුමාකාර විදියේ ගිල්ටි ෆීලිං එකකට මග පාදනවා.

      ඔය එපිසෝඩ් එක මම බලලා ඇති. දැන් මතක් වෙන්නෙ නෑ. ඔව්. උඩ මයිනස් 40 වලටත් අඩුවෙනවනේ.

      හැබැයි, එක දෙයක්. ඒ මිනිස්සු වැරදි වලින් ඉගෙනගන්නවා. වැ‍රැද්දක් හොයා ගත්තාම ෆ්ලීට් එකම ග්‍රවුන්ඩ් කරනවා. ඊට පස්සෙ ඒකට පිළියමකුත් හොයාගන්නවා. ඒවා අපේ කලාපයෙත් ඒ වගේම ක්‍රියාත්මක වෙනවා කියලා මම ප්‍රාර්තනා කරනවා. හැබැයි බිල්ලක් ගන්නම ඕනෙ එහෙම පියවරක් ගන්න. ඒ නිසාමනේ ගුවන් යානය සුරක්ෂිතම ප්‍රවාහන මාධ්‍යය හැටියට වැජඹෙන්නේ.

      Delete
  10. මේ දවස්වල අතුරුදහන් වෙලා ඉන්න අකමා (AKM) මගේ මේල් එකට එවපු කමෙන්ට් එක. කලින් මට මේකාව අඳුනාගන්න බැරිව ගියානේ.

    >>ඔයාගෙ පොස්ට් එක කියවද්දි ඔයාට දැනුනු හැඟීමමම මටත් දැනුනා. දුවගෙ
    මේල් එක දැක්කම මටත් සතුටක් දැනුනා.

    ඉස්සර අපේ අයියා "ට්‍රින්කො, වාකරේ" පැති වල වැඩ කරද්දි රෑට ගෙදර
    එනව කිව්වම මට නින්ද යන්නෙත් නෑ. අපි දෙන්නම කතා කර ගත්තෙ
    නැතුවට එක්කෙනෙක්වත් ගෙදරට කියන්නෙත් නෑ අද එනව කියල.
    එයා ගොඩක් වෙලවට එන්නෙ රෑ 2ට 3ට විතර. ඔහොම ගෙදර ඇවිත් නිදා
    ගත්තම මං සැරින් සැරේ ගිහින් බලනව ඇත්තටම ආවද කියලත්.
    මොකද මං අහල තියෙනව හදිසි අනතුරකදි අනතුරට ලක්වුනු
    කෙනාගෙ "මනෝකා ය Astral body ගෙදර එනවා පේනව කියලා.
    ......
    මගේ නෙට් ඩිස්කනෙක්ට්. කරලා. ඒකයි පේන්න එන්න බැරි වුනේ. ඒත් ඔයාල හැමෝගෙම
    පෝස්ට් ෆෝන් එකෙන් බලනව. ඒත් කමෙන්ට් කරන්න බෑ. මේකෙ මෙමරි මදිද කොහෙද.<<

    @AKM:බොහොම ස්තුතියි අකමා කමෙන්ට් එකට. මම ඒක සිංග්‍රීසි එකේ අලවලා සිංහල යුනිකෝඩ් වලින් දැම්මා ලේසියෙන් කියවන්න හැකි වෙන්න. කමක් නෑනේ.

    අයියා ඇත්තටම ඇවිල්ලද කියලා බලන්න සැරින් සැරේ ගිහින් බලන එක නම් මගේ හිතට හොඳටම වැදුනා. ඉස්සර මම තාත්තා හුස්ම ගන්නවද කියලත් ඔහොම බලනවා අසනීපෙන් ඉන්නකොට.

    ReplyDelete
  11. මට මතකයි ඉස්සර ටෙලෙෆොන් නැති කාලේ හොස්ටල් එකට ගියාම අපි හොඳින් ආවා කියල ගෙදරට දැන්නුවේ පොස්ට් කාර්ඩ් එකකින්. එක අපි ගෙදරදීම ලියාගෙන ගිහින් බැස්ස තැනම තියෙන තැපැල් පෙට්ටියට දානවා.
    මේක ගෙදරට ලැබෙන්න පරක්කු උනොත් එහෙම ඉතින් ගෙදරින් හොයාගෙන උනත් එන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තට පෝස්ට් කාඩ් යුගයකුත් තිබ්බා නේන්නම්. ඇයි ඉස්කෝලවල පෝස්ට් චාඩ් එකක් ලියන හැටිත් ඉගැන්නුවේ. හැබැයි මම නම් ලියුම් මිසක පෝස්ට් කාව් වැඩිය යවලා නෑ.

      වැඩට යන්න බැරි වුනාම ටෙලිග්‍රෑම් නම් ගැහුවා.

      Delete
  12. අලුත්ම ආරක කථාවක්...කියවලා රසවින්දා..

    අවසානයට තියෙන චාට් එකේ දත්ත එක්ක මට නම් එකගබෙන්න බෑ...අපේ දෙමාපියො දුරකථනයට උත්තර දුන්නෙ නැති පමණින් තමන්ගෙ දරුවා පණ අදිනවා හෝ මැරිලා කියලා හිතන්න තරම් අනුවණ නෑ කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඕක මං කිවුව හෙන්රියට ඉංග්‍රීසි පෝස්ට් එකේ.

      Delete
    2. කොල්ලනේ. වචනාර්ථය විතරක් ගන්න එපා. පණිවිඩයක් ප්‍රභලව දෙන්න අපි අතිශයෝක්තිය භාවිතා කරනවනේ. මේක සමීක්ෂනයක් කරලා ඒ දත්ත වලින් හදපු එකක් නෙවෙයි. සිතුවිල්ලක් සාර්ථකව සන්නිවේදනය කරපු අවස්ථාවක් විතරයි. මෙතන කියන්නේ හුඟක් දෙමව්පියෝ හිතන්නේ මෙහෙමයි කියන එකයි. ඒක අණුවන කම නෙවෙයි. ආදරයයි. මේක හුඟක් දෙමව්පියන්ට පොදුයි. :)

      Delete
  13. ඩුඩ් අයියේ උඹ කියෙවවනේ මගේ කතාව.කොයි දෙමාපියොත් ඔහොම තමයි.

    මේක නියම කතාවක් බං.:-h

    ReplyDelete
    Replies
    1. උඹත් එහෙම වෙයි.

      තාක්ෂනය දියුණු වෙනවත් එක්ක කලබල වෙනවත් වැඩියි.

      Delete
  14. සිරා කතාවක් ඒ වගේම නොදන්නා දේවල් ටිකකුත් ඉගෙන ගත්තා ඔන්න ...

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් මඟියා. මොනවද උඹ නොදැන හිටි දේවල්? ෆ්ලයිට් රේඩාර් එකද? ඒක ට්‍රයි කරලා බලාපං. දවසේ ඕනෙම වෙලාවක යුරෝපයයි උතුරු අමෙරිකාවයි උඩින් තියෙන ෆ්ලයිට් ගාන දැක්කම පිස්සු හැදෙනවා බං. අර උඩම පින්තූරේ දැක්කනේ.

      Delete
  15. අපේ කෙල්ලෝ දෙන්න ගෙදරින් පිටත්වෙලා දෙන්නගේ බෝඩිමට යනතුරු හෝ ගෙදර එන දවසට ඔන්න මම කෝච්චියට/බස් එකට නැග්ගා කිව්ව මොහොතේ සිට පැය බාගයකට වරක් බලනවා උන්දෙන්න ඉන්නවද මැරිලද කියලා. එක කෝල් එකකට හරි උත්තර නැත්නම් 'ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි' නටනවා. මට තද වුනාම හමුදාවෙ ලස්සන වචන කීපයක් කියවෙනවා. ඔන්න එතකොට තමයි අර 'දිෂ්ටිය' අයින් වෙන්නේ. මම හිතන්නේ උන් දෙන්න කවදා හරි පිට රටකට ගියොත් මෙයා සැටලයිට් එකක් සල්ලි දීලා ගන්නවා පණිවිඩ හුවමාරුව සඳහා.

    ReplyDelete
    Replies
    1. මම ගැන නෙවෙයි අපේ උන්දැ ගැනයි කිව්වේ.

      Delete
    2. විචාරකගේ යාතිකාවටත් දිශ්ඨිය අයින් වෙනවා එහෙනම්? සැටලයිට් එකක් අඩුගානට කුලියට ගත්තෑකි චීනේ හොඳින් තියාගත්තොත්. :D

      Delete
  16. මට ඇත්තටම කියන්න වචන නැ. :O මට මේක ඔය තුන් දෙනාගෙන් කවුරුත් කිව්වෙත් නෑ. මම හොදට එකේ දීපු කෑම ඔක්කොම කාල සනීපෙට නිදන් ඉන්දද්දි ඔයාල කොච්චර දුකෙන් ඉදලද කියල මම දැනන් හිටියෙ නෑ. මේක මම කියෙව්වෙ අඩන ගමන්. ඇත්තටම මාව මෙච්චර ආදරෙන් ‍රැක බලාගන්නවට තැන්ක්යු කියන එක මදි උනාට දැනට මට කරන්න පුලුවන් එච්චරයි. :X :-f

    ඔය තුන්දෙනාට කොච්චර බය වෙන්න එපා කිව්වත් අහන්නෙ නෑ. මුලින්ම මුලු Male' වලම තියෙන බඩු බාන්ඩ බෑග් වලට එබුව. :Oබර එක්සෙස් වෙයි කියල කෑ ගහද්දිත් රසම රස කෑම ජාති හදලා තවත් මලු වලට පිරෙව්ව. ඒ බෑග් පුපුරන්න ඔන්න :)) මෙන්න. සිය වතාවකට වඩා බෑග් ඔක්කොම ගන්න, ට්‍රන්සිට් එකේදි එලාම් තියාගන්න කියල කිව්ව. මාලෙදි මම අර waiting lounge එකේ ශොප් එකෙන් කෑවයි කියල අහල ඔයාල සතු‍ටු වුන තරම්. ඒ සතුට ඔයාලගෙ කටහඩවල් වල හොදට ඇහුන. ඒත් මේක මට අලුත් දෙයක් නෙමෙයි. මතකද අර 2009 මම පල්වෙනි වතාවට මෙහෙ එද්දි අම්මයි තාත්තයි නිදි නැතුව ඇහැරිලා හිටියා. :-f මගෙ ට්‍රාන්සිට් එකේදි නින්ද ගිහිල්ල නොදන්න රටක අතරමන් වෙයි කියල බයේ ඔයාල නිදාගෙන නෑ. මෙන්න මේ ආදරේට තමා පවුලක් කියන්නෙ. මේ බැදීම තමා අපි කොහෙ හිටියති අපිව එකට තියන්නේ. :X

    මාව මෙච්චර ආදරෙන් ඇහැක් වගේ බලාගන්නවට ගොඩක් ස්තුතියි. :-f මමත් ඔයාල තුන් දෙනාට ඒ වගේම ආදරෙයි :X

    ReplyDelete
  17. අපේ ගෙදර කට්ටියත් ඉස්සරම මේ වගේ. දැන් නං ඉතින් එච්චර ගානක් නෑ (මම හිතන්නෙ). මම ඔය 'Air Crash Investigations' බලන එක නැවැත්තුව. නැත්තන් හැමදාම ප්ලේන් එකකට නැග්ගම මොකක් හරි එකක් දකිනව ඕකෙ ගියපු එකක් මතක් වෙන. ඊට පස්සෙ ඉතින් බොක්ක කූල් කරන් ගමන යන්න ඕන නෑනෙ! :))

    ReplyDelete
    Replies
    1. ඒක බලාපං මුහුදු. ඒ නිසාම තමයි ගුවන් ගමන් ඔච්චර සුරක්ෂිත බව මම දන්නෙත්. අනික ඔය පෙන්නන්නේ ඉඳලා හිටලා වරදින ඒවා විතරනේ කියන එක හිතේ තියාගත්තාම හරි. අනික දවසකට කිසි අනතුරක් නැතුව ගමන්වාර කීයක් සිද්ද වෙනවද, ඒ වගේම කිසිම අනතුරක් වාර්තාවෙන්නෙ නැති දවස් අවුරුද්දකට කොච්චර තියෙන්වද කියලා හිතුවාම පුදුම සනීපයක් දැනෙනවා.
      Advertisement paid by the NTSB. National Transportation and Safety Board. :))

      Delete
  18. //බැලූ බැල්මට මේ ගුවන් ගමන් ගැන කතාවක් සේ පෙනුනද, මේ සැබැවින්ම දෙමාපිය සෙනෙහස පිළිබඳව වූ කතාවකි//

    උඹට කියන්න හෙන්රි අයියේ මේ කතාව කියවගෙන යද්දි මට මතක් උනේ අපේ අම්මල තාත්තල ඒ කාලෙ (ඒ කාලෙ කිව්වට තාම එහෙමයි) කොච්චර අපි ගැන හොයනවද අපේ පස්සෙන් හිටියද කියල. මට මතකයි මම ඇලට/ඔයට නාන්න ගිහිං පරක්කු උනත් අම්ම දුවගෙන එනව. ඇත්තටම ඒක ඒ කාලෙ මට මාර කරදරයක්. ඒත් දැන් ඒ ගැන හිතද්දි......

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම හොයන්නේ නැතුව හිටියොත් හොඳයි කියලා අපිට ඒ වෙලාවට හිතුනට, අපිටත් ළමයි ඉන්නකොට තමයි තේරෙන්නෙ ඒකේ වටිනාකම.

      උඹ දන්නව ඇති රාජ් දරුවෙකුට වයස අවුරුදු දහය පන්නා ගන්න සෑහෙන කට්ටක් කන්න ඕනෙ.

      Delete
  19. තාක්ෂණය දියුණු වුනහම තියෙන කරදර නේ ....ඔහොම බලන්න බැරි වුනානම් ඔච්චර කලබල වෙන එකක් නැහැ ..

    ඔය ඉතින් තාත්තලාගේ හැටි තමයි. ...D

    ඉංග්‍රීසි සයිට් එක දැකල අපේ පොඩි අහනවා මේ අන්කල් සිංහල බ්ලොග් එකක් ලිව්වොත් ''මචං '' කියල නම දැයි නේද කියල . දවසක් තාත්ත මචන් කියල කාටද කතා කරද්දී අක්ක එයාට කිව්වනේ ඔය ඩුඩ් වගේ එකක් කියල
    මන් කිව්වා එයාගේ සිංහල බ්ලොගේ ඩෙනිමක් කියල

    ReplyDelete
    Replies
    1. තාක්ෂණය දියුණු වෙන්න ප්‍රධාන හේතුවක් අපිට තියෙන කලබලේ තමයිනේ බින්දි.

      ඔයාලගේ පොඩී හරියට හරි. හේයි ඩූඩ් > ඒයි මචං!

      එයාට කියන්න මම දැක්කය කියලා ලංකාවේ මචං කියලා රෙස්ටෝරන්ට් චේන් එකක් තියෙනවා. එකක් කඩුවෙල පාලම ලඟ තියෙන්නේ.

      Delete
  20. වැඩ අධික වෙලාවක වුනත් දෙපාරක් කියෙව්වා. ඇත්තටම දෙමාපියන්ගේ ආදරය ගැන අලුත් විදිහක කතාවක්. මේක ඇත්ත කතාවක්. මේ වගේ සයිට් ගැන දන්නෙ නැතුව වුනත් නංගි එද්දි අහසේ ඉන්න පැය 8 ගැන අපි නිකං වද වෙනවා. අම්මලා බය වෙයි කියලා සද්ද නැතුව හිටියට, පැය 8 මුහුද උඩ කිසිම ආධාරකයක් නැතුව පැද්දි පැද්දි තියෙන යකඩ ගොඩක් අස්සේ පොඩි කාලේ ඉදං ගෙදර හිටපු නංගි ඉන්නවා කියලා දැනෙද්දි සරුවාංගෙම පණ නැති වෙලා යනවා. ඉතිං අම්මලාට කොහොම ඇද්ද?

    ReplyDelete
  21. පලි කෑල්ල නං ඕනෙත් නෑ....., ඒක තේරුං ගන්ඩ බැරිනං කොහොමත් මේ කතාව කියවලා වැඩැක් නෑ...

    ReplyDelete
  22. ඇත්තෙන්ම බුද්ධියෝ. aviation කියන්නේ automobile වගේම මගේ සිත් ගත් ක්ෂේත්‍රයක්. වඩාත්ම සුරක්ෂිත ප්‍රවාහන මාධ්‍යය ගුවන් ගමනයි කියලා පිළිගන්න එකෙක්. මෙතනදි වුනේ රෙඩාර් තිරයෙන් ගුවන් යානාව අතුරු දහන් වීමට අමතරව අනිත් සියලු වෙබ් අඩවි වලත්, යානාව අයිති සමාගමේ වෙබ් අඩවියෙත් යානාව පිළිබඳ යාවත් කාල කිරීම නැතුව යාම. මේකට දරු සෙනෙහසත් දාලා පත අට එකට සිඳුවලා ගත්තාම බය වෙන එක අහන්නත් දෙයක්ද?

    ReplyDelete
  23. ඔයා දන්නව ද ඕකෙ අනිත් පැත්තත් ඔහොමම තමයි... මට මතකයි ඉස්සර තාත්තා කාලයක් වැඩ ඇරිලා පැය 1 හමාරක් දෙකක් බස් එකෙ එනවා.. හැමදාම සාමන්‍යෙන් 7.30 වෙද්දි එන්න ඕනි... එත් එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන දවස් වලට මාත් පොඩි කාලෙ බය වෙන්නෙ ඔහොම්ම ම තමයි... හිතෙන්නම නරක් දෙවල් ඇක්සිඩන්ට් ඔවමයි... ගෙදර වැඩ ටික සිහියෙන් කරන්නෙත් නැ කන්නෙත් නැ ඔහෙ ඉන්නව ඉතින් බයෙ ගැහි ගැහි...අම්මට කියන්නෙත් නැ බය..
    ඒ කාලෙ ආයෙ ඔහොම හැන්ඩ් ෆොන් තිබ්බ එකක් යැ...

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. නියම ලිපියක්. මම දැනගෙන හිටියේ නැහැ ගුවනේ තියෙන ගුවන්යන්වක් ඒක තියෙන තැන , වෙලාව, අපිට බලාගන්න විදිහක් තියෙන බව. මට එක ගැන වැඩි විස්තර දන ගන්න කැමතියි . එහෙම දැන ගන්න තියෙන ලින්ක් ඒවාඉන් විස්තර ගන්න විදිහ. pls help me kasungm@gmail.com

    ReplyDelete
  26. this is really nice and touching bappi. well done! enjoyed reading this sitting next to you :) hehe

    ReplyDelete
  27. මන් මුලින්ම රට ගිය දවසේ ගිහින් කතා කලාම අම්මා අඩුවේ ඇයි කියන එක දැන් තේරෙන්නේ :)

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>