Saturday, November 16, 2013

100. Ladies and gentlemen, we're cruising at 100 posts per 10.000 hours @ 80,000 hits...



"අනේ අගමැතියගේ කතා අහගෙන ඉන්න ගියාම..." මට එච්චරයි කියන්න ලැබුනේ. කලාතුරකින් කේන්ති යන තාත්තගෙන් වැදුන ටොකු පාර හන්දා වාක්‍යය එහෙමම දෙකට කැඩුනා.

"මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්නවා ඔක්කොටම ඉස්සෙල්ලා."

යුක්තියට ගරු කරන, ලොක්කන්ට කොන්ද නොනවන, නිදහස් මතධාරී තාත්තගේ මේ දෙපිටකාට්‍ටු කතාව මට පුදුමයක්.

"ඉතින් තාත්තෙ ඔයත් ඔය බනින්නේ ඔය යකාට."

"ඔයා තාම හැදෙන ළමයෙක්. පොඩි කාලේ ඉඳලම රටේ වැදගත්ම තනතුර දරන පුද්ගලයන්ට අරූ, ඌ, මූ, ඔය යකා කියලා කතා කරන්න හුරුවෙන්න එපා. මිනිස්සුන්ට නම්බු දීලා කතා කරන්න ඉගෙනගන්න. නැතිනම් ඒකෙන් පේන්නේ අපේ නොහැදියාව. නම්බු දෙනවා කියන්නේ යෙස් සර්  ගගා පස්සෙන් යන එකවත් වැඳ වැටෙන එකවත් නෙවේ. එහෙම කරන අයත් හුඟ දෙනෙක් පස්සට කතා කරන්නේ ඔයා කතා කරපු විදියට තමයි."

මට තවමක් තාත්තගේ ප්‍රතිපත්තිය ගැන සතුටක් නෑ.

"අනික ඔයා අහපු අනිත් ප්‍රශ්ණේ. මම අගමැතිට නෙවෙයි බැන්නේ. මම විවේචනය කලේ එයා කරන වැරදි ක්‍රියාව. මම අගමැතිට අරූ, මූ කියලා කතා කරනවා ඔයා අහලා තියෙනවද? අපි ඒ තනතුරට අගෞරව කරන්නේ නෑ. ඒ තනතුරට හොඳ මිනිස්සු නරක මිනිස්සු දෙගොල්ලම පත් වෙන්න පුලුවන්. ඒක වෙනම ප්‍රශ්ණයක්."

තාත්තගේ ප්‍රතිපත්ති ගැන මට හිතට නැගුනු සැකය පිට පාරෙන්ම ආපහු යන්න ගියා.

මේ ලඟදී හොඳම බ්ලොග් හිතවතෙක් එක්ක කරපු FB  සංවාදයකදි මට මේ පෝස්ට් එකේ ලියන්න හිටපු සමහර කරුණු පාවිච්චි කරන්න වුනා.

"මම සාමාන්‍යයෙන් පුද්ගලයන්ව විවේචනය කරන්නේ නෑ, ක්‍රියාවල් මිසක. මම පුද්ගලයන් ඔවුන් කරන ක්‍රියාවල් නිසා ලේබල් නොකර, ඔවුන්ගේ ක්‍රියාවල් විවේචනය කරන එකයි කරන්නේ සමාන්‍යයෙන්. මේක ලංකාවේ නැතත් විදේශීය රටවල උගන්නන්න ගියාම අනිවාර්ය දෙයක්.

නමුත් මම මේ මොහොතේ ඒ බව පොඩ්ඩකට අමතක කරලා උඹට උත්තර දෙන්නම්.

ඔව් උඹ හරි. මම බ්ලොග් ලියන්නේ සැහැල්ලුවට තමයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ මට දේශපාලන හෝ වෙනත් ඉසූ එකක් සම්බන්ධව මතයක් නෑ කියන එක. මටත් මතයක් තියෙනවා. නමුත් මම ඒක බ්ලොග් අවකාසේ වගේ තැනක කියන්නේ නෑ. නමුත් උඹයි, මායි ඩ්‍රින්ක් එකක් ගන්න වෙලාවක උඹට කියන්න අකමැති නෑ. උඹ මගේ පැත්තේ වුනත් නැති වුනත්, උඹ බ්ලොග් අවකාසේ සමහරු වගේ මගේ මැරිච්ච දෙමව්පියන්ටත් සාප නොකරන බව මම දන්නවා. හිතපං මම උඹත් එක්ක යම් ආගියුමන්ට් එකක් පටන් ගත්තා කියලා. ටිකකින්, ඕකට
අතර මැදින් සම්බන්ධ වෙනවා, අන් මත ඉවසීමේ පුරුද්ද  නැති, තමාගේ මතය පමණක් නිවැරදියයි කියන අදහසේ තරයේ එල්බගෙන සිටින වෙනත් පුද්ගලයින්. එතනින්ම ආගියුමන්ට් එක ඉවරයි. බලු පොරයක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ.

උඹට මතක ඇති, ප්‍රභාකරන්ගේ ළමයගේ කේස් එකට ගිය ආගියුමන්ට්. අන්තිමට සමහරුන්ගේ දරුවන්ටත්, සමහරු හෙණ ඉල්ලුවා නේද?

එක වතාවක් මම මහසොහොන් පිල්ලියත් එක්ක ආගියුමන්ට් එකක් ගියා එක බ්ලොග් එකක. අපි දෙන්නම මහත්මා විදියට ආගියු කරලා අන්තිමට, 'ඔන්න ඕවා අල්ලලා දාමු මචං' කියලා, අතට අත දීලා මහත්තුරු වගේ කතාව නිම කලා. ඒක කියවපු අයත් ඒක අගය කරලා තිබ්බා.

උඹ කිව්වා වගේ, මම කාගෙවත් හිත රිදෙන කමෙන්ට් කරන්නේ නෑ මචං. ඒ ජනප්‍රියතාවය උදෙසා නෙවෙයි. මම ඉස්සර ඉඳන්ම මගේ හිතට කාවැදුනු යම් යම් නීති - ඒවට නීති කියන්න පුලුවන්ද මන්දා - උපදෙස් කියමුකෝ- පිළිපදිනවා. මෙතනට, ඒ කියන්නේ කමෙන්ට් දානකොට මම පිළිපදින ප්‍රතිපත්තියක් තමයි If you don't have anything nice to say, don't say anything at all කියන එක. මේක මම ඉගෙන ගත්තේ කොහෙන්ද කිව්වොත් උඹ පුදුම වෙයි. ලෝකෝපකාරෙන්, සිදත් සඟරාවෙන්, නෙවෙයි මචං. වෝල්ට් ඩිස්නිගේ 'බැම්බී' කාටූන් එකෙන්. උඹට විශ්වාස කරන්න පුලුවන්ද, මං වගේ මැදිවියේ පොරක් කාටූන් එකක තිබ්බ උපදෙසක් ගුරුකොටගන්නවා කිව්වාම? :D
කොහේ තිබුනත්, හොඳ දේ හොඳයි මචං.

උඹ මා සමඟ එකඟ නොවෙන්න පුලුවන් මෙතනදි. නමුත් මෙතනදි මූලික ප්‍රතිපත්තිය If you don't have anything nice to say, don't say anything at all වුනාට, තව අතුරු උපදේශ මම අනුගමනය කරනවා ප්‍රතිපත්තියක් හැටියට.

මම වරදක් දැක්කොත්, ඒක පෙන්නලා දුන්නාම ඒක අගය කරලා වැරදි හදාගන්න එකෙකුට නම් වැ‍රැද්ද පෙන්නලා දෙනවා. ඒකත් කරන්නේ, 'මම උඹ නම්, මම මෙහෙමයි කරන්නේ' වගේ යෝජනාවක ස්වරූපයෙන් මිසක් අණ දීමක් හැටියට නෙවෙයි.

ඉංග්‍රීසි වල වැ‍රැද්දක් දැක්කොත් ඇත්තෙන්ම අපේ එවුන්ට කරන උපකාරයක් හැටියට ඒක කියලා දෙනවා. එතනදි මට රාජකාරිමයි වගකීමක් තියෙනවා කියලා මම හිතනවා. එහෙම නොකලොත්, මට එක්තරා විදියක වරදකාරී හැඟීමක් වගේ ඇති වෙනවා, මම මේක දැකලත් මූට මේක කියා දුන්නේ නෑ නේද කියලා.

දේශපාලන හෝ වෙනත් මතවාදයක් ගැන නම් මම කමෙන්ට් කරන්න යන්නේ නැත්තේ, ඒක පියවර එකකින් හෝ දෙකකින් ඉවරවෙන දෙයක් නොවෙයි වගේම මට ලේබලයකුත් වදින නිසා."

මේ හිතවතා කවුද කියලා අහන්න එපා. මට ඔහුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ වගකීම ඇති නිසා. මම හිතවතාගේ දෙබස් අයින් කරලා, මම කියපු දේවල් විතරක්, ඉතා සුළු සංශෝධන සහිතව මෙතන දැම්මා.

තාත්තගේ අවවාද වගේම, බැම්බී කාටූන් එකේ ආදර්ශ පාඨය වගේම තාත්තාම මට කියවන්න කියලා දීපු Dale Carnegie ලියපු සුප්‍රසිද්ධ How to Win friends and Influence People කියන පොතත් මගේ ගමන් මාර්ගය වෙනස් කරන්න සෑහෙන බලපෑමක් කලා කියලා නොකිව්විත් ඒක තාත්තාටත්, කානගීටත් දෙන්නටම කරන අසාධාරණයක්.

ඔය ඉහතින් කිව්වා වගේ මම ඔබේ ඉංග්‍රීසි නිවැරදි කිරීමට ඔබ අකමැතිනම්, කරුණාකරලා ඒ බව මට කිව්වොත්, මම ආයෙම කිසිදාක ඒ පුද්ගලයාගේ ඉංග්‍රීසි නිවැරදි කරන්න යන්නේ නෑ. නමුත් බොහෝ දෙනෙක් නිවැරදි වහර දැනගන්න ආසා බව මම උපකල්පනය කරනවා. මේක අර පොතේ තියෙන උපදෙසට විරුද්ධ දෙයක්. නමුත් මම පොත හැම විටම බයිබලයක් වගේ ගුරුකොට සලකන්නේ නැති බවත් කියන්නම ඕනෙ.

කොටින්ම මම මේ ලියලා තියෙන ලිපියත්, කිසි කෙනෙක් ගුරුකොට සලකන්න ඕනේ නෑ. මේ, මම ඇයි එහෙම කරන්නේ කියලා පැහැදිළි කිරීමක් විතරයි. මේක එක්තරා ස්වයං ප්‍රතිපත්ති ප්‍රකාශනයක්.

දේශපාලනය හෝ වෙනත් ජනප්‍රිය කාලීන නිමිත්තක් ගැන බ්ලොගයේ නොලියා සිටීම ගැනත්, එවැනි ලිපියකට කමෙන්‍ටුවක් නොදැනීම වගේම ඇතැමුන්ගේ  විවේචනයට ලක් වෙන දෙයක්.

ඇත්තෙන්ම
අනිත් හුඟක් දේ වගේ, බ්ලොග් සහ ඒවායේ රචකයන් වර්ගීකරණයකට යටත් කරන්න පුලුවන්. ආගමික. දේශපාලන, විනෝදාත්මක, සූප වේදී, ඡායාරූපකරණ, අත්දැකීම්, මිශ්‍ර, පෞද්ගලික, කාන්තා, අධ්‍යාපනික, ඔන්න ඔයවගේ අටෝරාසියකට.

මම සාමාන්‍යයෙන් දේශපාලනය, ආගම, වර්ගවාදය ඇතුලු විෂයයන් කීපයකට මනාපයක් නොදක්වනවා වගේම ඒ ගැන අදහස් ප්‍රකාශ කිරීමෙනුත් වැලකී සිටිනවා.

ඒ ඇයි කියලා තේරුම් ගන්න අමාරුම කෙනෙකුටයි මේ පුංචි පැහැදිළිකිරීම. හාඩ්වෙයා තියෙනවා. ෆාමසි තියෙනවා. සිල්ලර කඩ තියෙනවා. ඉන්ධන පිරවුම් හල් තියෙනවා.  එළවලු කඩ තියෙනවා, ආපනශාලා තීයෙනවා. අපි හාඩ්වෙයා එකකින් පාන් බලාපොරොත්තු වෙන්නේ නෑ නේද? හපොයි ඔව් පාන් විකුණන හාඩ්වෙයා ඉඳහිට තියෙනවා තමයි, ඇයි ඔය පෙට්‍රල් විකුණන සිල්ලර කඩත් තියෙන්නේ. ඒ වගේම, අතරින් පතර සුපිරි වෙළඳ සැලුත් තියෙන බව මම දන්නවා.

මගේ ඩෙනිමට පැමිණෙන ඔබට සරළ වින්දනයක් දෙන්න, හැකිනම් ඔබේ මුවගට සිනහවක් නංවන්න, මගේ රසවත් වගේම ක‍ටුක අත්දැකීම් ඔබ සමඟ බෙදාගන්න තමයි  මගේ අරමුණ. ඔබේ ජීවිතාශාව නැති කරන, ජීවිතය කොයිතරම් ක‍ටුකද කියන පණිවිඩයට වඩා,  ජීවිතාශාව ඇතිකරන, ලෝකය අපි හිතන තරම්ම නරක තැනක් නොවන බව කියැවෙන පණිවිඩය ඔබට කියන්නයි මගේ අරමුණ. උදේ සිට රෑ වන තෙක් ජීවන සටනේ යෙදී,  ජීවිතය සමඟ ගැටී, හෙම්බත් වන ඔබව තවත් වෙහෙස කිරීමට, කළකිරීමට පත් කිරීමට මම අදහස් කරන්නේ නෑ.

මගේ ඩෙනිමට පැමිණෙන ඔබ සිත රිදවාගෙන පිටව යනවට මම හුඟක් අකමැතියි. මගේ වහල යටට එන ඔබ කිසි කෙනෙකුගේ හිත නොරිදවා ඉන්න මම හැම විටම උත්සාහ කරනවා. ඒ වගේම මගේ වහල යටදී සන්ඩු සරුවල් ඇති කරගෙන, එකිනෙකාගේ හිත් රිදවාගැනීම, මම ඉතාම අකමැති දෙයක්. හිරුගේ කමෙන්ට් වලට යටින් දමන අහිංසක  'හිහි හිහි' ඇනෝගේ කමෙන්ට් වලට මමත් හිනාවී ඔහේ තියෙන්න ඇරියත්, පෞද්ගලික චරිතඝාතන, පරණ කෝන්තර පිරිමැහීම, අසභ්‍ය වචනයෙන් කරන බැණ අඬගසා ගැනීම් ඉවත් කරනවා.

මෙයිනුත් අදහස් වෙන්නේ ඔබ ඔබේ බ්ලොග් වලත් ඒ ආකාරයටම කලයුතුයි කියන එක නෙවෙයි. මම කරන ආකාරය පමණයි.

ඒ වාගේම මම අර මුලින් සඳහන් කල කරුණු සම්බන්ධයෙන් අදහසක් නොදක්වන නිසා මට මතවාදයක් නෑ කියන වැරදි නිගමනයට එළඹෙන්න එපා.

ඔබට වගේම, දූපත් මානසිකත්වය, පෞද්ගලික විශ්ව විද්‍යාල, විදෙස් උපාධි, විවෘත ආර්ථිකය, හැත්තෑ හතට පෙර සහ පසු ලංකාව, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය, දෙමළ ත්‍රස්තවාදය, මුස්ලිම් ව්‍යාප්තවාදය, සිංහලයා, ලිංගිකත්වය, ලිංගික අධ්‍යාපනය, නිරුවත, ලංකාවේ දේශපාලනය, මැර දේශපාලනය, විදෙස්ගත ලාංකිකයෝ, දූෂණය, වංචාව, ලිංගික නිදහස, නාස්තිය, සංවර්ධනය, අධිවේගී මාර්ග, ඒකාධිපති පාලනය, රාජ්‍ය භීෂණය, කොටට ඇඳීම, ප්‍රභාකරන්, පෙරදිග සංස්කෘතියට එරෙහිව අපරදිග සංස්කෘතිය, විජේවීර, අමෙරිකාව, අමෙරිකන් විරෝධය, ඉන්දියාව, හින්දි සිනමාව සහ සංගීතය, ඊශ්‍රායලය, අධ්‍යාපනය, ළමයි හැදීම, ලාංකික අපේ වැරදි මත, පොලිසිය, වාග් මාලාව, සිංහල භාෂාව, මිලිටරීකරනය, හමුදාව, ලෝකෙ හොඳම ඉංග්‍රීසි කතාකරන්නේ ලංකාවේ, ඉංග්‍රීසි, අන්තර්ජාලය, තාක්ෂණය, ලිංගික අධ්‍යාපනය,  ලංකාවේ මාධ්‍ය, ටෙලි නාට්‍ය, ලාංකික, බොලිවුඩ් හා හොලිවුඩ් සිනමාව, විනය, ලංකාවේ දේශපාලනඥයෝ, මැදපෙරදිග, අන්තවාදය, ජාතිවාදය, ආගම්වාදය, බුද්ධාගම, යටත් විජිතවාදය, සහ තවත් එකී නොකී මාතෘකා ගැන මගේ මතවාදයක් තියෙනවා.

මෙයින් සමහරක් ගැන මම විටින් විට යම් සීමාවල් යටතේ කතා කලත්, ඇතැම් දේවල් ගැන මම අදහස් ප්‍රකාශ කරන්නේම නැත්තේ, මගේ පෞද්ගලික අකමැත්තට අමතරව, අර අන් මත ඉවසීමේ පුරුද්ද  නැති, තමාගේ මතය පමණක් නිවැරදිය, එය පමණක් පැවතිය යුතුය කියන අදහසේ තරයේ එල්බගෙන සිටින අතලොස්සක් දෙනාගේ අවිචාරමත් ක්‍රියා කලාපය නිසාමයි.

ජනප්‍රිය මතය හැමවිටම මගේ මතයම නොවේ.
මගේ මතය හැමවිටම ජනප්‍රිය මතයම නොවේ

ඒ වගේම මට නිතර ඇහෙන දෙයක් තමයි, පාඨකයෝ නැතිනම් තව දුරටත්
බ්ලොග් නොලියන බව මගේ බ්ලොග් සහෘදයන් කරන  ප්‍රකාශය. ඇත්තෙන්ම ඔබ නොකියවා හිටියත් මම බ්ලොග් එක ලියනවා. බ්ලොග් එකක් යනු එකතරා විදියක දිනපොතක්. ඉතින් දින පොතක් ලිවීමට, පාඨකයෝ කියවනවද නැද්ද කියන එක, ඒ හැටි අදාලත්වයක් ඇති දෙයක් නෙවෙයි. මේක එක්තරා විදියකට මගේ හිතේ තෙරපෙන සිතුවිලි වලට පිටවීමට ඉඩහැරීමක් .

දැන් ඔබ මාව වරදවා තේරුම් ගත්තේ නෑ නේද? මම ඔබ මෙහි එනවට අකමැති බවක් නෙවෙයි මම කිව්වේ. අනිත් ඕනෙම බ්ලොග් රචකයෙක් වගේම මමත්, පාඨකයෝ වැඩි වෙනවට, මගේ ඩෙනිම ප්‍රචලිත වෙනවට, බ්ලොග් රචකයෙක් හැටියට මට පිළිගැනීමක් ලැබෙනවට, ඔබ කමෙන්ට් දමන තරමට, සංවාද ගොඩ නැගෙන තරමට කැමතියි. නමුත් ඒ කිසිවක් නොමැති වුන දවසකත් මම දිගටම බ්ලොග් ලියාවි. ඒ අර මම කියාපු දේවල් අත්‍යාවශ්‍ය දේවල් නොවන නිසා.

කාන්තා බ්ලොග් කාරිනියන්ගේ බ්ලොග් වලදීත්, ඔවුන්ගේ කමෙන්ට් වලට පිළිතුරු දීමේදීත් අනිසි ලිංගික ආරාධනාවක් හෝ ව්‍යංගයෙන් කරන වෙනත් ආරාධනාවක් සේ හැඟවීමක්, වැරදි වැටහීමක් ඇති නොවන ආකාරයට එසේ කිරීමට මම විශේෂ උත්සාහයක් ගන්නවා.

අවසාන වශයෙන්, මම ලියන මගේ ඩෙනිම, මට හිතෙන හැටි සහ මගේ මුල්ම බ්ලොග් අඩවිය වන HeyDude  යන බ්ලොග් අඩවි තුනම, මගේම ළමයින්ටත් කියවිය හැකි ආකාරයට පවත්වාගෙන යන්නට මම හැකිසෑම උත්සාහයක්ම දරනවා.

ඉතින් ලිපි සියයක් ලියන තුරා මෙහි සපැමිණි ඔබ දිගටම මෙහි දකින්නයි මගේ පැතුම.





146 comments:

  1. පළමුවෙන්ම ලිපි සියයට සුබ පැතුම් ප්‍රාර්ථනා කරනවා ඩූඩ්.. තවත් ලිපි සිය දහස් ගණනින් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ..

    ඩූඩ් ගේ බ්ලොග් ලිපි වලින් මම සරල වින්දනයක් වගේම බොහෝ ගැඹුරු දේවල් පවා ඉගෙන ගෙන තියනවා. ඇන්ඩිගේ කතා, තවත් බොහෝ කතා වලට කඳුළු එනතුරු සිනාසිලා තියනවා වගේම ඔබ කිහිප දෙනෙකුගේ දෘෂ්ටි කෝණයෙන් ලියා තිබූ දියණියක් සහ පියෙකුගේ කතාව කියවා මම ඉකිගසා හැඬූ බවත් මතකයි..

    ඔබේ ඩෙනිම මම ඉතා ප්‍රිය කරන බ්ලොග් එකක්.. තවත් බොහෝ කල් අපට ඔබේ ලිපි කියවීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතූ. මම කල්පනා කලේ මොකක්ද ඒ පියෙකුගේ සහ දියණියකගේ කතාව කියලා. ඒ කොයි හැටි වෙතත් නැවතත් ස්තුතියි.

      Delete
  2. ඩුඩ් අයිය දන්නැතුවට මම ඩුඩ් අයියාව තියාගෙන ඉන්නෙ මග් ප්‍රියතම බ්ලොග් කරුවන්ගෙ ලිස්ට් එකෙ ඉහලින්ම.. මම ඒක දවසක් කියල තිබුනා මගෙ බ්ලොග් පෝස්ට් එකක.. ඒත් ඒ පෝස්ට් එකෙ කියපු විදියට මට තාමත් බැරි උනා ඩූඩ් අයිය ලියපු හැම ලිපියක්ම පැත්තකට වෙලා ඉදගෙන කියවන්න.. මුල් කාලෙ එවයි මට මඟ ඇරුනු ඒවයි.. ඒත් ඉදිරියෙදි දවසක එකෙන් පටං අරං ආයෙ සියටම කියවනවා..

    මං ඩූඩ් අයියව දන්නෙ බ්ලොග් කියන්නෙ මොකද්ද කියල ඩ්හැනගන්නත් කලින් මේ බ්ලොග් එක පටන් ගන්නත් කලින් .. අන්තිම පේලියෙ හොද රසිකයෙක් මම :) ඒ කාලෙ ලියපු ලිපි කියෝ කියෝ ඉදල තමයි මමත් මේ බ්ලොගේට ගොඩවුනේ

    හදවතින්ම සුභ පතනවා 100ට.. ඉක්මනටම 200 වෙනි කඩ ඉමත් ජය ගන්න ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. උඹේ ප්‍රියතම බ්ලොග් කරුවන්ගේ ලැයිස්තුවේ ඉහලින්ම වැජඹෙන්න ලැබීම මගේ භාග්‍යයක් සමී. බොක්කෙන්ම ස්තුතියි.

      Delete
    2. ඉතින් සීයෙන් නැවතිලාද ? කෝ 101 ? මේක දාලා දැන් සති දෙකක් නේ

      Delete
  3. හදවතින්ම සුභ පතනවා ඩූඩ් අයියේ.. බොරු කියන්න ඔන නැහැනේ අයියගේ ඉංග්‍රීසි එක නම් කියවෙන්නේ අඩුවෙන්.. ඒත් මේකනම් මඟ අරින්නෙම නෑ.. තව ලියන්න සුභ පැතුම් අයියේ..

    ReplyDelete
    Replies
    1. කමක් නෑ බං දිනේෂ්. ඩෙනිම අපිට! අපි ඩෙනිමට! බොහොම ස්තුතියි උඹටත්.

      Delete
  4. මේ දවස්වල බ්ලොගේ සෙන්චරි හිටු කියලා! ඩුඩ් ටත් මගෙන් සුභපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. මට නම් බ්ලොග් පළාතේ එන්න ලැබුනේ නෑ පහුගිය දවස් වල කැන්ඩියන්. බොහොම ස්තුතියි උඹටත්.

      Delete
  5. මුලින්ම පෝස්ට් සීයට සුබ පැතුම්!!!

    ඩූඩ් කියලා තියෙන දේවල් සම්පූර්ණ ඇත්ත. මගේ නම් ඕනිම වැරැද්දක් පෙන්නුවට කමක් නෑ. වැරදි තියෙනවා නම් හදාගන්ට බලනවා.

    පින්තූරෙන් පේන්නේ හොඳ කල්පනාවෙන් එලවන කෙනෙක් බව. ඔය විදියටම ඉදිරියට යන්ට. :-)

    ReplyDelete
    Replies
    1. හරි. ඒක හිතේ සටහන් කර ගත්තා, පොඩ්ඩි.

      පින්තූරෙන් පේනවා වගේ බොහොම කල්පනාවෙන් එලවන්න මම උත්සාහ කරනවා. නමුත් සමහර දුර්වලතාවයන් මටත් හොරෙන් මතු වෙනවා.

      බොහොම ස්තුතියි.

      Delete
  6. කිරි අප්පේ.... :ඔ

    එකට කමක් න. 100 ට සුබ පට්‍ර්හුම්

    ReplyDelete
    Replies
    1. කිරි බුදු අප්පච්චියේ, මගේ සන්තෝ, සීය නේන්නං!
      බොහොම ස්තුතියි සයුරි.

      Delete
  7. සුබ පැතුම් මචං. මා ලියුවේ මේක කියවලා නම් නොවේ. :) දිගම කොමෙන්ටුවක් ලියන්න පුළුවන් වුවත් උඹට නිසා අවශ්‍ය නැහැ. මොකද මා ලියන දේවල් දන්නවනේ.

    "අවසාන වශයෙන්, මම ලියන මගේ ඩෙනිම, මට හිතෙන හැටි සහ මගේ මුල්ම බ්ලොග් අඩවිය වන HeyDude යන බ්ලොග් අඩවි තුනම, මගේම ළමයින්ටත් කියවිය හැකි ආකාරයට පවත්වාගෙන යන්නට මම හැකිසෑම උත්සාහයක්ම දරනව" .
    මේක නම් ඉතා හොඳ ප්‍රතිපත්තියක් මා අනික් අයට කියන්නෙත් Don’t say anything online that you wouldn’t say in person කියා. යමෙක් කොමෙන්ටුවක් නමින් හෝ නොනමින් දමන කොට මෙය මට කෙනෙකුට ප්‍රසිද්ධියේ කියන්න පුලුවන්ද කියන සිතුවිල්ල එනවා නම් හොඳයි. හැංගි හොරා කුණුහරුප කීමෙන් යහපත් සමාජ ගොඩ නගන්න බැහැ මචං.

    ReplyDelete
    Replies
    1. උඹ ලියන දිග කමෙන්ට් වලට මම කැමති බව මම කලිනුත් උඹට කියලා තියෙනවා. එක දවසක් උඹ එහෙම කමෙන්ට් එකක් ස්වයං වාරණය කරලත් තිබ්බේ දිග වැඩිවෙයි කියලා හිතලා.

      බොහොම ස්තුතියි මචං.

      Delete
  8. උඹ යනු, මට මේ බ්ලොග් අවකාශයෙන් හම්බ්වෙච්ච ඉතාම සුළුතරයක් වුන අපූරු පුද්ගලයන්ගෙන් එකෙක්. මගෙත් බොහොමයක් බ්ලොග්කරණ ප්‍රතිපත්ති උඹේ ඒවා හා සැසදෙනවා. ඒවා සමහරුන්ගෙ විවේචනයටත් ලක්වෙලා තියනවා මම දැකලා තියනවා. ඒකට කමක් නෑ.

    හෙන්රි බ්ලොග්වොකර් සිංහල බ්ලොග් අවකාශෙට මේ දක්වා කරලා තියන සේවයනම් අනුපමේයයි.

    උඹට තව දීර්ග කාලයක් බ්ලොග් කෙරුවාව කරගෙන යාමට ශක්තිය හා ධෛර්යය පතනවා.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමම හිතනවා.

      Delete
    2. මේකට කොලර් එක උස්සන්නම ඕනෙ වුනත් මම ෂර්ට් එකක් ඇඳගෙන නෙවෙයි ඉන්නේ. අපරාදේ. හැකි වුනොත් මේ මාසෙදි හමුවෙමු ප්ලේන්ටියක් වත් ගහන්න.
      බොහොම ස්තුතියි සෙන්නා.

      Delete
  9. හෙහ් හෙහ් මේකෙත් සීයක් ගැහුවා නේද

    අන්න අර හමුදාවේ අංකලුත් වදංතදේ ඉදන් මෙහෙට එන්ටයි තනන්නේ

    http://wicharaka.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අටමා.

      මම උඹේ ෆෝන් නම්බර්ස් දෙකටම රිං කලා. ප්‍රතිකාරයක් නොමැත කිව්වා.

      Delete
  10. බ්ලොග් ලොව සරසන ඔබ වැදගත් මහත්මයෙකු බව මා තේරුම් ගත්තේ බ්ලොග් කියවන්නට පැම්ණි මුල්ම දින කීයයේදීමයි. මෙවන් වටිනා ප්‍රතිපත්තිවලින් පිරි අනගි අඩිවි තුනත් සමග බොහෝ දුර ගමනක යෙදෙන්නට ඔබට ශක්තිය ධෛර්ය නිති ලැබේවා.

    ReplyDelete
    Replies
    1. හලේ... මං එහෙම මහත්මයෙක්ද කියලා මටම සැකයි බං. උඹලා ඔහොම කිව්වාම ඒ විදියට ජීවත් වෙන්න වේවිද මට?

      බොහොම ස්තුතියි නලියා.

      Delete
  11. සුභ පැතුම් ඩූඩ් :)
    මම ගොඩක් ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමයි ඔබේ බ්ලොග් එක. ඒ වගේම ආධුනික බ්ලොග් ලියන්නියෙක් ලෙස, මේ ලිපිය තුල සහ ඔබේ අනිකුත් ලිපි තුල, මටත් ගත හැකි දේ බොහොමයි.
    මහත්මා ගතිගුණයෙන් යුතු බ්ලොග් කරුවෙක් ලෙස, දීර්ඝ ගමනක් යාමට ශක්තිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මානවිකාවෙනි. හැම උත්සාහයක්ම දරනවා.

      Delete
  12. උණුසුම් සුබ පැතුම් ! පාටිය මෙහෙට ආවහම දෙන්නම් !

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අපි බලාගෙන ඉන්නේ.

      Delete
    2. මේ වන විට මුල් අදියර පසුකර ඇති බව බුකියේ සාමජිකයෝද දන්නෝය. :D ස්තුතියි මචං.

      Delete
  13. මුලින්ම සුබ පැතුම් .බ්ලොග් එකක් පටන් ගැනීමට වඩා අමාරුයි පවත්වා ගෙන යාම .විශේෂයෙන් සිංහල බ්ලොග් අවකාශයේ'

    බැම්බි එකේ තම්පර් ගේ අම්ම නේද ඔය ටික කියන්නේ ..

    ඩුඩ් කියන්නේ සමබර මනුස්සයෙක් කියල මේ වෙනකොට තේරුම් අරන් තියෙන්නේ..ජය .

    ReplyDelete
    Replies
    1. හරියටම අර එක්සසයිස් ප්‍රෝගෑම් එකක් වගේ. පටන් ගන්න ලේසියි. කරගෙන යන්න තමයි අමාරු.
      හරියට හරි. තම්පර්ගේ අම්මා තමයි ඕක කියන්නේ.

      බොහොම ස්තුතියි බිම්බි.

      Delete
  14. හප්පට සිරි ගජ කිවුවලු. ඊයෙ සචින්ටවත් ශතකෙ ගහ ගන්න බැරි උනා. ඒත් ඩූඩ් අයියා අද ශතකෙ ගහලා.
    ඔන්න මුලින්ම ඩෙනිමෙ ශතකෙට හදවතින්ම සුභ පැතුම්!!!!!

    දෙවනි‍යට ලිපිය ගැන කියනවානම් ඔයාගෙ පුද්ගලයින්
    විවේචනය නොකර ක්‍රියාවන් විවේචනය කි‍රීම කියන එක ඇත්තෙන්ම අගය කරනවා ඩූඩ් අයියෙ. මොකද අපේ ගොඩක් මිනිස්සු කරන්නෙ තමන්ට දිරවන්නැති මත‍යක් දරන හෝ ක්‍රියාවක් කරන එකාගෙ මතය හෝක්‍රීයාව විවේචනය කිරීමට වඩා ඒ පුද්ගලයාගෙ පෞද්ගකිකත්වයට මඩ ගහන එකයි. විය නොයුත්තේද එයයි.
    අන්තිමට කියන්න තියෙන්නෙ අපේ වැරදි දැක්කොත් ඒ වැරද්ද පෙන්නලා දෙන්න. අර ඔයාගෙ ක්‍රමයෙන් හරි කමක් නෑ. මොකද අපි වගෙ පොඩි උන්ට (වයසින්, අත්දැකීම්වලින්) බ්ලොග් ලෝකෙට විතරක් නෙමේ සාමාන්‍ය ජීවිතටත් ඔයාලා වගෙ වැඩිහිටියන්ගෙ උපදෙස් වැදගත්.

    ReplyDelete
    Replies
    1. Okay චතුරංග. වැ‍රැද්දක් දැක්කොත් පෙන්නලා දෙන්නම්.
      බොහොම ස්තුතියි උඹටත්.

      Delete
  15. 1.බ්‍ලො‍ගේට සුභපැතුම්!
    2.අලුත් වර්ණනා ඕන නෑ දැනටමත් වර්ණනා කර ඇති නිසා.
    3.උ‍ඹේ බ්‍‍ලොග් එක උ‍ඹේ දරුවන් කියවන බව මතක් උනා දවසක් මම දාපු ‍දෙපැත්ත කැ‍පෙන ක‍මෙන්ටුවකින්. (දැං නං ‍මේ අඩවි‍යෙදි මම පුළුවන් තරම් අහිංසක විදියට ක‍මෙන්ට් දාන්‍‍‍නෙ:-)

    4.විවාදාත්මක කාරණා වලදි උ‍‍ඹේ මතයට ‍වෙනස් තැනකයි මම නං ඉන්‍නෙ. බ්‍‍ලොග් වලදි ම‍ගේ යාලුකම් නෑ. අමනාපකම්ද නෑ. වාද කලා එතනින් ඉවරයි. අකුරු වලින් ගැහුවට තුවාල ‍වෙන්‍‍නෙ නෑ‍නෙව! එකම එක අවස්තථාවක නං ‍පොඩි කනගාටුවක් ඇතිවුනා මතවාදීව ජයගන්න බැරිව ‍බොරු ‍චෝදනා කල පුද්ගල‍යෙක් ගැන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බං රාජ්. මමත් උඹව සෑහෙන දුරකට තේරුම් අරගෙනයි ඉන්නේ කවදාවත් දැකලා නැති වුනත්.
      අර අංක හතර ඒ විදියටම වෙනව නම් ලෝකේ සුන්දර තැනක්ද බං.

      Delete
  16. සුබ පැතුම් මගෙනුත්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිලිනි.

      Delete
  17. මුලින්ම ශතකයට සුබ පැතුම්,
    උඹේ බ්ලොගය පවත්වාගෙන යන්නෙ කාටත් ආදර්ශයක් වෙන විදියට කිසි කෙනෙකුගෙ සිත් නොරිදවායි.බ්ලොග් ලෝකයේ ඉතාම හිතහොඳ පුද්ගලයෙක් වෙන උඹේ බ්ලොගයට ගොඩ නොවදින කෙනෙක් නෑ හරියට උඹ අනික් බ්ලොග්වලට යනව වගේ.
    ඉතිං ඒ විදියට ආපු ගමනක එකතරා සන්ධිස්ථානයකට ළඟාවීම හිතට සතුටක්,200 ටත් ඔය විදියටම සීරුවෙන් ඩ්‍රයිව් කරමු.

    ReplyDelete
    Replies
    1. Thanks මචං. I don't drink and drive. :D Never DUI.

      Delete
  18. 100 ට සුබ පැතුම් ! තවත් ඉදිරියට ලියන්න ශක්තිය ධෛර්යය ලැ‍බේවා !!

    ආයෙ ඉතිං අමුතුවෙන් බ්ලොග් එක ගැනවත් ලියන මිනිහ ගැනවත් වර්ණනා කරන්න ඕන නෑනෙ. මෙතන කොමෙන්ට් කරන, පෝස්ට් බලන හැමෝම ඒ ගැන දන්නවනෙ. :D

    ReplyDelete
    Replies
    1. ඔය උඹ කලෙත් වර්ණනාවක් තමයි ප්‍රසන්න. බොහොම ස්තුතියි. හැකිවුනොත් හමුවෙමු. :)

      Delete
  19. / Ladies and gentlemen, we're cruising at 100 posts per 10.000 hours @ 80,000 hits…/

    ඉස්සෙල්ලම මචං පොඩි පැහැදිලිකිරීමක් අවශ්‍යයයි...මොකක්ද මේ 10 hours කතාව? තිතක සහ කොමාවක එහෙමෙහෙ වීමක් වත්ද?

    ඊළඟට ඩේල් කානගී ගැන..හෙන්රි, කානගීගෙන් ගන්න පුළුවන් හොඳ දේවල් බොහොම තියනව. ඒත් සමහර එයා කියල කරුණු වලට මට නම් එකඟ වෙන්න බෑ.

    කානගී කියන්නෙ මිනිස්සුන්ගෙ වැරදි පෙන්නල දෙන්න එපා..එයාලගෙ තියන හොඳ උලුප්පල තවත් වැඩි කරල කියල මිනිස්සුන්ව දිනාගන්න කියල.මේ කාරණේ ඇත්තටම මතභේදාත්මකයි.

    අනික කානගී ජීවිතේ පටන්ගෙන තියෙන්නෙ සේල්ස්මන් කෙනෙක් හැටියට. සේල්ස්මන් කෙනෙකුට නම් හරියටම හරි කානගීගෙ චින්තනය.කාටහරි මොනවහරි විකුණගන්න අපිට ඕන නම් ඒ මනුස්සය කියන කියන දේට හා කියල මුරුංග අත්තෙ තියල නම්මගන්න එක තමයි හොඳම ක්‍රමෝපාය. ඒත් ජීවිතේටත් එහෙම සේල්ස්මන් තියරි එකක් ආදේශ කරන්න පුළුවන්ද කියන එකනම් මට ප්‍රශ්නයක්. කානගීට වඩා මම කැමතියි නැපෝලියන් හිල්ට.

    හෙහ්,හෙහ් තව එකක්.... "If you don't have anything nice to say, don't say anything at all " අනුගමනය කලානම් අද මට කමෙන්ට් එකක් දාන්න වෙන්නෙ නැ. එහෙනම් කියන්නෙ වෙන්නෙ උඹේම තියරිය අනුගමනය කලෙමි. එබැවින් කිසිවක් නොපවසමි කියලයි...හෙහ්, හෙහ්

    / "අනේ අගමැතියගේ කතා අහගෙන ඉන්න ගියාම..." මට එච්චරයි කියන්න ලැබුනේ. /

    අඩේ මම නම් හරිම කැමතියි ඒ අගමැතියගෙ කතා අහන්න...

    / අනික ඔයා අහපු අනිත් ප්‍රශ්ණේ. මම අගමැතිට නෙවෙයි බැන්නේ. මම විවේචනය කලේ එයා කරන වැරදි ක්‍රියාව. /

    ඔන්න හැමදාමත් මට විසඳගන්න බැරිඋන දෙයක්..එහෙම වෙන්න පුලුවන්ද? යම් පුද්ගලයෙක් කරන ක්‍රියාවක් විවේචනය කරනව කියන්නෙ ඒ පුද්ගලයවත් විවේචනය කෙරෙනව නේද ඉබේම? නැත්තං එහෙම නැතුව පුලුවන්ද?...

    ඕන පට්ට හොරෙක් අද සිවුරක් දාගත්තම හෙට අපි දණ ගහන්නෙ අපි වඳින්නෙ පුද්ගලයට නෙවෙයි සිවුරට කියලනෙ..එහෙම හරිද?..මතභේදාත්මක කරුණු පිළිබඳ අදහස් පල කිරීමෙන් වැලකී ඉන්නවය කියල උඹ කියලත් තිබුන නිසා අවුලක් නෑ..මොකවත් කියන්නම ඕන නෑ......මම නිකං මට හිතෙන දේ කිව්ව විතරයි.

    පලි - පොඩ්ඩෙන් අමතකම වෙනව...සීයට සුබ පැතුම්!!!!!

    ReplyDelete
    Replies
    1. 10,000 hours බ්ලොගේ වයස පැය වලින් ගණය්නය කරලා ලැබුන දෙයක් මචං.

      උඹ අදහස් දක්වලා තියෙන අනිත් කරුණු ගැන නම් වෙනම පෝස්ට් එකක් ලියන්න වෙනවා. නමුත් ගුරුවරයෙකුට ළමයෙක් සම්බන්ධව ඔය කියාපු කරුණු අනිවාර්යයෙන්ම පිළිපදින්න වෙනවා මචං මෙහෙදි. අපි ළමයින්ව ලේබල් කරන්නේ නෑ. වැරදි ක්‍රියාවන් තමයි විවේචනය කරන්නේ, ළමයිව නෙවෙයි.

      ගුරුකමත් එක්තරා විදියක අළෙවිකරනයක් තමයි.

      Thanks Dude.

      Delete
    2. හරි බං , මට තේරුණා පැය කේස් එක බ්ලොග් එකේ වයස කියල. ඒත් උඹ දාල තියෙන්නෙ 10.000 hours කියලයි. It should be 10,000 hrs. ඒකයි මම ඇහුවෙ තිතක සහ කොමාවක එහෙමෙහෙ වීමක් වත්ද කියල... :)

      Delete
    3. ස්තුතියි මචං. උඹත් මේ සීත කාලේ මෙච්චර උදෙන් ඇහැරගෙන මොන මගුලක් කොරනවද, ඈ?

      Delete
  20. සීයට සුබ පැතුම්!!!!!

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදියට නම් ඔබ තුමා බොහොම සුහදව අන්‍යන් හා කටයුතු කරන කෙනෙක්...අන්තර්ජාලය තුළ ඕනෑම කෙනෙකුට අපහසුවකින් තොරව කියවීමට හැකි ,සරළ , වැදගත් ., ආදර්ශමත් ලිපි ලියන්නෙක්..මේ පිළිවෙලට පෞද්ගලිකව මම බොහෝ සෙයින් කැමතියි....ඒ නිසාමයි හැකි හැම විටකම ඔබේ ලිපි මග නොහැර කියවන්නේ...බ්ලොග් ලිපි කියවනවාද නැද්ද , ඒවාට කොමෙන්ට් කරනවාද නැද්ද කියන කාරණා කාටවත් ඇඟිලි ගහන්න චෝදනා කරන්න පුළුවන් කාරණා නෙවෙයි..මොකද ඒ දේවල් තමන්ගේ කැමැත්ත කාලය අනුව තීරණය කරන දේවල්...

      කොහොම උනත් මම ප්‍රාර්ථනා කරනවා ඔබට තව දීර්ඝ ගමනක් යාමට හැකි වේවා කියා මේ බ්ලොග් අවකාශය තුළ...!

      Delete
    2. ආ...................අමතක උනා අපේ ඉංග්‍රීසි වැරදිලා තිබුණොත් අනිවාර්යෙන්ම පෙන්නලා දෙන්න....අපි ඒකට අනිවාර්යෙන්ම කැමතියි.

      Delete
    3. බොහොම ස්තුතියි රෙහානි දිග කමෙන්ට් වැලටම. හරි මම එහෙම කරන්නම්.

      Delete
  21. පොස්ට් බලන්නවත් කොමෙන්ට් ලියන්නවත් පුළුවන් වෙලාවක නෙවි ඉන්නේ එත් ඔයාගේ 100ට සුබ පතන්නේ නැතුව පුලුවන්ද ...... එහෙනම් 100, 1000 කර ගන්නත් ඉක්මනින්ම පුළුවන් වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මැලේ රාළ. මමත් පට්ට බිසි බං.

      Delete
  22. නිතර යමක් නොකීවට නිතර කියවන බ්ලොගක්. ඒකට හේතුව අර කියන polite වීම අස්සෙත් තියෙනවා වෙන්න ඕනේ.
    Have a safe journey machan

    ReplyDelete
    Replies
    1. Thanks very much Rangi. It was a hectic but pleasant journey.

      Delete
  23. පෝස්ට් සීයක් ලියනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක්.. ඒ මදිවට ඒක බ්ලොග් දෙක තුනකම අප්ඩේට් කරන එකත් .... හි හි... නේද ඩූඩ් අයියේ...

    If you don't have anything nice to say, don't say anything at all ///

    ජීවිතේට අමතක වෙන්නෙ නෑ.. ඒ මදිවට ඒක කියන විදිය... හි හි

    ඩූඩ් ඉංග්‍රීසි හදන එක හොඳයි... සිංහලේ වැරැද්දක් පෙන්නුවාම කියන ලස්සන කතා ටික ඉංග්‍රීසියට කියන්නෙ නැතුව ඇති නේද ඩූඩ්.. හි හි

    අර රයිගම් කියනවා වගේ කෙනෙක්ට කෙලින්ම කියන්න බැරි දේවල් ඔන්ලයින් උනත් නොකියා ඉන්න එක හොඳයි උනත් මට ඒ වැඩේ බෑම තමයි.. මොකද මගෙ ලොකුම දුර්වලතාවය හින්ට් ගැහිල්ල... ඒකත් තෝරාගත්ත සුළු පිරිසකට විතරයි ඉතිං.. මොකද එයාලට කිසි දෙයක් කියන්න බෑ.. කිව්වොත් අලි විනාසයක්.. ඒත් මගේ ෆ්‍රස්ට්‍රේෂන් එකත් නැති කරගන්න ක්‍රමයක් එපැයි.. හි හි... කොහොමත් මගේ බ්ලොග් එකෙ තනිකරම තියෙන්නෙ පුද්ගලිකව මං වටේ ඉන්න අය, මගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැති, ඒත් මට කරන්න අවශ්‍ය, කියන්න අවශ්‍ය දේවල් විතරයි... කවදහරි මගේ දරුවෙක් බ්ලොග් එක කියෙව්වොත් දැනගනියි එයාලගේ අම්මා අනිත් අය ඉස්සරහා කට වහගෙන හිටියට තමන්ගේ කියලා අදහස්, මතවාද නැතුව ඔහේ ඉන්නංවාලේ හිටපු කෙනෙක් නෙවෙයි කියල... හැබැයි මං එයාලට මං වගේ වෙන්න ඉඩ තියන්නෙ නෑ... එයාලා මං වගේ තමන්ගෙ අදහස් හංගගෙන ඉන්න ඕනෙ නෑ...

    ReplyDelete
    Replies
    1. උඹ හින්ට් ගහන්න ‍තෝරාගත් සුලු පිරිසට අයත් වීම මම වරප්‍රසාදයක් හැටියට සලකනවා. මම හිරූ ගැන දරන්නෙත්, අම්මෝ අර අම්මණ්ඩිට ඇහුනොත් ඔය කතාව මගේ ඔලුවත් කයි වගේ හැඟීමක්. ඒ කියන්නේ පැත්ත ගියත් ඇත්ත කියන අම්මණ්ඩි කෙනෙක් හැටියට හරි? :D

      Delete
  24. මමත් 100 % ක් එකඟයි ඩුඩ් ගේ කතාවට.මගේ බ්ලොග් එකෙත් මං මගේ මතයන් එළිදක්වන්න යන්නේ නෑ.හැබැයි මුල් කාලේ එකක් දෙකක් ලියවුනා.හැබැයි ඒවාට ලැබිච්ච සමහර ප්‍රතිචාර නිසාම මම මගේ අදහස් කියන එක නැවැත්තුවා.මං දැන් ලියන්නේ මගේ ජීවිත කතාවේ කොටසක්නේ.වැඩේ කියන්නේ මං බුත්තලට යන පාරේ වලවල් තිබුනා කියලා කිව්වා කියලා එකෙක් අපේ මැරිච්ච අම්මටත් කුණුහබ්බ කියලා කොමෙන්ට් එකක් දාල තිබුනනේ.උගේ තරම අනිත් උන්ට දැනගන්න ඒක අයින් නොකර ඉන්නත් හදලා පස්සේ මං අයින් කරා.

    එනිවේ ....100 ට සුබ පැතුම්...ඔහොම යන්..ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ! ඔව් අපි ඔහොම යං බං. :D

      Delete
  25. යම් යම් පරස්පරතා තිබුනත් ලිපියේ සමස්තය හා එකඟයි :-)

    අයියේ ඉස්සරහ ට්‍රැෆික් ඉන්නවා..
    500 /= කොලයක් එලියෙන් තියාගන්න.

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලියගේ කමෙන්ට් එකක් දැක්කමයි මගේ හඩු ඩෙනිමේ. වෙල්කම් කිව්වා ඕං.

      පරස්පරතා තියෙන්නේ ඕනෙ බං. ඒක තමයි හරි ක්‍රමය.

      මේ දවස්වල ඔය අන්තිමට කියපු අත්දැකීම ලබනවා.

      Thank you!

      Delete
  26. ලිපි සියයට සුභ පැතුම් ඩූඩ්... මම උඹගේ බ්ලොග් එක කියවන්න පටන්ගත්තේ ගොඩක් පරක්කුවෙලා මම හිතන්නේ... මට මතක හැටියට අර bullying ගැන ලියපු ලිපියේ ඉඳන්... හැම එකටම කමෙන්ට් නොකලත් එදා ඉඳන් හැම ලිපියක්ම නොවරදවා කියෙව්වා... ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බං, බීටල්. එහෙනම් දිගටම එනවා නේද?

      Delete
  27. Replies
    1. බොහොම ස්තුතියි විශ්ව.

      Delete
  28. මගෙ බොක්ක....පාට්නර්ට සුභ පතන්න එන්න පරක්කු වීම ගැන අයදිමි සමා....තමන්ගේම මාවතක...තමන්ගේම හැඩයකට...බ්ලොග් අවකාශයේ හොද රසයක් පාඨක අප වෙත ලිපි 100 පුරා බෙදා දීමට ගත් අගනා උත්සාහය අගය කරමින් ලිපි 100 ලියූ මේ අවස්ථාවේ මාගේ හෘදයාංගම උණුසුම් සුභ පැතුම් පුද කරමි. තවත් චිරාත් කාලයක් ලිපි ලියන්නට වගේම මේ හිතවත් කම පවත්වාගෙන යන්නටත් අපිට හැකි වේවා.

    ලංකාවේදී මෙතෙක් කටහඩ පමණක් අසා තිබුනාට වතාවක අපි නොවැරදීම මුණ ගැහේවි. මමත් 100 සමාජය කිට්ටුව දැන් ඉන්නෙ...අදින් පස්සෙ මාසෙකට ලිපි 1 ක් හෝ ඔබේ වෘත්තීය වගකීම කරට ගනිමින් පාඨක අපේ ඉංග්‍රීසි දැනුම වැඩි කරන්නට හැකි ආකාරයේ ලිපියක් ලියනවා නම් මම ඉතාමත් කැමැත්තෙමි....

    හැමදාමත් වගේම ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. මගෙ බොක්ක....පාට්නර්ට ස්තුතියි කරන්න එන්න පරක්කු වීම ගැන මමත් අයදිමි සමා.

      ඔය උඹ කියනවා වගේ ලිපි දෙක තුනක් මම ලිව්වා. ඒක දිගටම කරන්න ඕනේ තමයි.

      උඹටත් ජයම පතනවා පාට්නර්.

      Delete
  29. උඹලා හැමෝටම බොක්කෙන්ම තුති. වෙන වෙනම උත්තර දෙන්නම් පස්සේ. මේ අවුරුද්දකට පස්සේ නිවාඩුවට ගෙදර යන්න ලෑස්ති වෙන්වා බංස්ලා. පට්ට බිසි. :)

    ReplyDelete
  30. 100 වෙනි පෝස්ට් එක මතක හිටින දේවල් ගොඩක් කියලා දීපු එකක් මට නම්

    ReplyDelete
    Replies
    1. උඹ එහෙම හිතනවා නම් ඒක මට ආඩම්බරයක් ප්‍යූමා. :-h

      Delete
  31. වරදක් තියෙනවා නම් හදපන් ඩූඩ්.......වෙන මුකුත් නොකිය.....සීයට සුභ පතනවා!!!!!!

    Have a safe journey & enjoy your holiday!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. Okay boss. Point taken.

      Thank you very much, dude.

      Delete
  32. මගෙන් සුබ පැතුම් ,, ඔයා මට ලෙන්ගතු මිතුරෙක් ඒ වගේම බ්ලොග් ලෝකෙට අළුත් අපි වගේ අයගේ පෝස්ට් වලදී නිහතමානීව ඇවිත් කොමෙන්ට් කිරීම ගැන සතුටුයි ඔබ ගැන ,එසේම මගේ වැරදි තැන් දැක්කොත් දෙවරක් නොසිතා කියාදෙන්න හොදේ ,,, සතුටින් ඉන්න , තව දහසක් ලියන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. නිහතමානීව ඇවිත් ! අපූර්වි. එහෙම බැලුවොත් මමත් වයසින් වැඩි වුනාට බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුදු දෙක තුනකට වඩා නෑ.

      හරි, එහෙම කරන්නම්. බොහොම ස්තුතියි.

      Delete
  33. ඊයේ රෑ තමයි දවස් 2 කට පස්සේ බොග පැත්තේ ආවේ.පසුව කියවනවා.

    ReplyDelete
    Replies
    1. හැමතැනම මෝඩයෙක් වගේ ඔය රෙද්ද කොට කොටා යන්න එපා බොල...උඹ ආවෙ නෑ කියලා මිනිස්සු බ්ලොග් ලියන්නෙ නැද්ද ? උඹ මොන කබ්බෙක්ද කෙන්ජි....

      Delete
    2. සීයට සුභ පැතුම් මචං.
      දැනුයි ලිපිය කියෙව්වේ.

      Delete
    3. මම නම් වැරැද්දක් පෙන්නලා දෙනවට ආසයි.
      හුග තැනක එක එක දේවල් කියවපු මම දැන් දෙගිඩියාවෙන් ඉන්නෙ මචං.
      මම නිසා ලොකු අවැඩක් වෙනවද කියලා.
      ඒ මම කොටන කට කැඩිච්ච කතා නිසා.

      Delete
    4. හරි මචං. වැ‍රැද්දක් දැක්කොත් පෙන්නලා දෙන්නම්.
      අවැඩක්? මම එහෙම හිතුවේ නෑ කවදාවත්.
      උඹට බොහොම ස්තුතියි කෙන්ජි.

      Delete
  34. වුඩ් හදවතින්ම සීයට සුබ පතනව.උබට හොද ප්‍රතිපත්තියක් තියෙනව කියල දැනන් හිටිය.මිනිහෙක් විදියට ජිවත් වෙන්න උබ දරන් උත්සාහයට මම හැමදාම හරි කැමතියි.එත් මචො වැරද්දක් දැක්කොත් කියලදෙන්න පොඩි ට්‍රයි එකක් දාපන්.නැත්නම් දැනගන්නෙත් නැ නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දමිත්. ඒ වගේම, ඩෙනිම කියවලා, කමෙන්ට් කරලා, මට දෙන සපෝට් එකටත් ස්තුතියි.

      Delete
  35. ආ එල එල.... අපිත් ලගදිම ඩබල් සෙන්චරියක් ගහන්න බලාගෙනලු ඉන්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා රජතුමනි. ඔබේ බලාපොරොත්තුවද එයාකාරයෙන්ම සඵල වේවා.

      Delete
  36. අනේ අම්මෝ මේ පැත්තේ ආපු කල් හැබෑට.. ඕෆ් ට්‍රැක් ගිහින් හිටියේ මම. එල එල සුභ පතනවා.!!

    ReplyDelete
    Replies
    1. අඟහරුවා ඕෆ් ට්‍රැක් යන්නෙපෝ. මේ අවට ඉන්න අපිත් අමාරුවේ. ඒත් බොහොම ස්තුතියි.

      Delete
  37. සීයක් ලියනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.

    දරු ලද අඟනුන්මැ මිස පසවෙහි වෙහෙස
    වඳ ලඳ ළඳඟනෝ දැනගත හෙති කවර ලෙස

    කියලා කිව්වේ ඒ නිසයි.

    ශතකයට උණුසුම් සුබ පැතුම්

    නොදන්නා පුකවල් ගැන කමෙන්ට් ගහන සූකරයන්ට උන්ගේ වසුරු වලම ලගින්න ඉඩදෙමු

    ReplyDelete
    Replies
    1. මේ බරසාර කෙමෙන්‍ටුවට බොහොම ස්තුතියි විචාරක.

      Delete
  38. ඩුඩ්
    සුභ පැතුම් .
    ඔබේ ලිපියෙන් ගොඩක් දේවල් හිතන්න ඉතුරු වුනා. ලියන දේවල්., කමෙන්ට් කරන හැටි..අපි ඉතිරි කරලා යන දේවල්.
    මුනට කියන්නෙ නැති දෙයක් නොලියා ඉන්න එකනම් දැනටත් ක‍රමි. ඒත් තව ගොඩක් දේවල් තියෙනවා හිතන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි JP. මූණට කියන්න බැරි දේ ලියන එක කැලෑපත්තර ගහනවා වගෙයි කියලා මට හිතෙන්නේ.

      Delete
  39. සුභ පැතුම් හෙන්රි නම් බ්ලොග් සැරිසරන්නාට..
    තමන්ව සතුටින් තියන්න පුළුවන් පෝස්ටු තවත් ලියැවෙන්න සුභ පතනවා ඉතසිතින්ම..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රූ. සතුටින් ඉඳීම අමාරු දෙයක් ඔය කිව්වට.

      Delete
  40. අර පනා පුත්‍ර කුහුඹු පැණියා වර්ගයේ මගේ නම් කිරීම වැඩි දෙනෙකුගේ දැන ගැනීම පිණිස මෙතනත් දාන්නම්...

    HENRY BLOG WALKER
    HEN-RYB-LOG-WALKER (පොඩ්ඩක් එහෙ මෙහෙ කිරීමෙන්)
    HEN-RIB-LOG-WALKER (නොසලකා හැරිය හැකි කුඩා වෙනසක්)

    [co="red"]කිකිළි සැකිළි කොට මගියා[/co]

    ReplyDelete
    Replies
    1. ඩූඩ්... මුලින්ම් සීයට සුභ පැතුම්... මේක අර ගුරුසිංහ ගහනවා වගේ බොහොම පරිස්සමෙන් හිතලා මතලා ගහපු ටෙස්ට් සෙන්චරියක්.... ලකුණු වැඩි ප්‍රමාණයක් දුවලා අරගෙන තියෙන්නේ... හයේ හතරේ ඒවා අඩුයි...

      උඹේ ලියලා තියන කාරණා වලට පක්ෂව හෝ විපක්ෂව දේවල් ලියන්න මම පැකිලෙන්නේ නෑ.... හේතුව තමයි මම මොනව ලිව්වත් මම දන්නවා උඹ එක මගේ පැත්තෙන් තේරුම් ගන්න බව. ඔය මරා ගැනීම් වලට හේතුව තමයි තව කෙනෙකුගේ කෝණයෙන් යමක් දිහා බලන්න උත්සාහ නොකිරීම... තමන්ගේ මතය ගැන නම්‍යශීලී නොවීම, තමන් අතින් වැරැද්දක් සිදුවුණා යැයි පිළිගැනීම ලැජ්ජාවට කාරණයක් බව සිතා සිටීම.... තර්කානුකූල බවක් නැතිවීම.... කොටින්ම "එකඟ නොවීමට එකඟවෙන්න" බැරිකම. මගේ මතය මොකක් උණත්, අනෙකාගේ මතය මොකක් උණත්, සුන්දර විදිහට අදහස් හුවමාරු කරගත හැකි බොහෝ දෙනා මෙහි ඉන්නවා, බැරි අය ටිකයි ඉන්නේ... ඒ නිසා ඒ ගැන වැඩිපුර හිතන්න අවශ්‍ය නෑ මම හිතන්නේ... හැබැ‍යි බලු පොරයට අහු වුණාම අපිත් බලු වීමේ රිස්ක් එකක් තියනවා....

      බ්ලොග් ලිවීම ගැන මට තියන අදහස උඹේ අදහසට සමානයි (අදහස විතරයි සමාන, ක්‍රියාත්මක කිරීමේ හැකියාව පැහැදිලි ලෙසම වෙනස්). හැබැ‍යි පාඨකයෝ ඉලක්ක කර ගත්තේ නැති උණාට, ලියන්නේ "කියවන්නෙකු" වෙනුවෙන් කියලා මම හිතනවා... අපේ ලියමන පැහැදිලි, නිරවුල්, හැකි තරම් නිවැරදි අක්ෂර වින්‍යාස සහිතව ලිවිය යුත්තේ ඒ කියවන්නා වෙනුවෙන්.

      Delete
    2. henryblogwalker පරිවර්තනයට නැවතත් ස්තුතියි තිසර. මගෙත් පරම විනෝදාංසයක් තමයි ඔය.
      තිත්තපත්තර > Bitterpapers
      William Shakespeare > විලියොං හෙල්ල හොලවන්නා
      David Copperfield > දාවිත් තඹකුඹුර

      අර කලින් වතාවක් උඹම කියලා තිබුනා වගේ උඹේ කමෙන්‍ටුවට මුළුමනින්ම එකඟවෙනවා හැර වෙන විකල්පයක් මට පේන්නේ නෑ. උඹට ස්තුතියි, මෙච්චර ලස්සනට වචන ගැලපුවට.

      Delete
  41. උණුසුම් සුබපැතුම් හෙන්රි.. මගෙ බ්ලොග් එකත් මං ලියන්නෙ අර අන්තිම පෙලියෙන් කියල තියෙන විදිහට මගෙ දරුවෙකුට උනත් කියවන්න පුළුවන් විදිහටයි.. මමත් අර කී විශේශ කරුණු ගැන මත පල නොකරන්නෙ මට මතයක් තිබුනත් වාද විවාද වලට වැය කරන්න කාලයක් මට නැති නිසයි..

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ තව කට්ටිය. සරා, උඹත් එනවා කිව්වා නේද ලංකාවට? දැන් ඇවිත්ද ඉන්නේ?

      Delete
  42. සුබ පැතුම් හෙන්රි,

    උඹේ බ්ලොග් ගැන කියන්න තියෙන්නේ තවමත් මම ඉතාම ආසා කරණ බ්ලොග් කරුවා ඔබ බවයි. මම ඉස්සෙල්ලම කියවුවේ උඹ ලීයපු "රියට අත ඇල්ලු මගියා" නම් පරිවර්තනය. එදා ඉඳන් උඹේ හම පොස්ට් එකක්ම නොවරදවා කියවලා තියෙනවා. (පසුගිය මාස දෙකේ තමයි කියවන්න බැරි උනේ.)

    ReplyDelete
    Replies
    1. උඹ ඉතාම ආසා කරන බ්ලොග් කරුවා වීම මා ලද භාග්‍යයක් කොට සලකනවා අයිලාස්. ඒක ලේසියෙන් ලබන්න පුලුවන් තත්වයක් නෙවෙයි. ඇත්තෙන්ම මම ඔය පරිවර්තන දිගටම කරන්න ගත්තෙත් උඹලා නිසාමයි. ඒ මිසක්, ඒක මම එච්චර කැමති වැඩක් නෙවෙයි.

      බොහොම ස්තුතියි මචං.

      Delete
  43. මුලින්ම මගේ උණුසුම් සුභපැතුම්. ඩුඩ් අයියේ ඔයාගේ ඩෙනිමෙන් ලද දැනුම විනෝදය ගැන කතා කළහොත් කොමෙන්ටුවකට වඩා පොස්ටුවක් වෙන නිසා ඒ ගැන කාතා කිරීමේන් මම වලකිනවා. මම බ්ලොග් ලියන්න අආව දවස් වල ඉඳන්ම මට ගුරුවරයෙක් වැනි වූ ඔබ මාගේ අඩු ලුහුඬු කම් පෙන්වා දෙමින් කරනා උපකාර වලට මාගේ උපහාරය පුද කරන අතරම පොස්ට් 500යේ කඩ ඉමත් විගසින් පසුකිරීමට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් වගේ කමෙන්ට් හොඳයි බං. ඔය රවියත් ලියන්නේ ඒ වගේ ඒවා.

      ඉතින්, බොහෝම ස්තුතියි ඒ කමෙන්‍ටුවට.

      Delete
  44. සියවැන්නට හඳවතින්ම ශුභපැතුම් !!!!!

    කියවූ පළමු ලිපි කිහිපය තුලදීම, ඔබ වැදගත් ප්‍රතිපත්ති ගරුක මහතෙකු බව මෙන්ම මෙම ලිපියේ සඳහන් කොට ඇති ඔබගේ සුවිශේෂී ගුණාංග බොහෝමයක්ම හදුනා දැන ගැනීමටත් මා සමත් වුනෙමි.

    සියලු දෙනාගේ හිත සුව පිණිස ලියවෙන්නාවූ ඔබගේ හරවත් රසවත් ලිපි; ..... එලෙසින්ම... තවත් දහසක් වත් අකුරු කිරීමට ශක්තිය, දිරිය මෙන්ම ඒ සඳහා අවශ්‍ය කාලයද ඔබට තව තවත්‍ ලැබේවා යැයි පතනෙමි. {ආත්මාර්ථකාමී පැතුම තමා දෙවැන්න...:D}

    (පසුගිය දිනවල අරහේ/මෙහේ සිටී නිසා ශුභ පතන්නට ටිකක් පමාවුණා ඩූඩ්....:))

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඒ වර්ණනාවට සහ සුභ පැතුමට. මම ආපහු හැරිලත් බැලුවා මේ මං ගැනද කියන්නේ කියලා.

      පිළිතුරු දීමට පමාවීම ගැනත් සමාවෙයං.

      මගේ ලැප්ටොප් එක අප්සෙට්. මේ දීපාගේ එකෙන් ජාලෙට ආවේ මගේ ෆෝන් එක ටෙදර් කරලා.

      Delete
  45. සියවෙනි ලිපියට හදවතින්ම සුභ පතනවා ඩුඩ්..වෙනදට සද්ද නැතිවම කියොල ගියාට අද නම් එහෙම යන්නෙ නෑ. මන් මේ බ්ලොග් එක කියවන්න අරන් ලොකු කාලයක් නැතුවට ඉඩ ලබෙන හැම වෙලේම පරන ලිපි කියොනවා..පරිවර්තන ටික නම් උපරිම රස විඳිනවා.කමෙන්ට් කලත් නැතත් අනිවර්යෙන් දිගටම එනවා..

    ReplyDelete
    Replies
    1. mekuwi කියන නම මෙගේ ඩෙනිමේ කමෙන්ට් තීරුවේ දකින්න ලැබීමත් ජොලියට කරුණක්. අනේ දිගටම එන්න. බොහෝම ස්තුතියි mekuwi.

      Delete
  46. සීයට සුබ පැතුම් හෙන්රි සීයේ ......:D
    පරක්කු වුනා හොඳටම කියවන්න .... ජය ජය ජයම වේවා.
    "ජනප්‍රිය මතය හැමවිටම මගේ මතයම නොවේ.
    මගේ මතය හැමවිටම ජනප්‍රිය මතයම නොවේ

    ඒ වගේම මට නිතර ඇහෙන දෙයක් තමයි, පාඨකයෝ නැතිනම් තව දුරටත් බ්ලොග් නොලියන බව මගේ බ්ලොග් සහෘදයන් කරන ප්‍රකාශය. ඇත්තෙන්ම ඔබ නොකියවා හිටියත් මම බ්ලොග් එක ලියනවා. බ්ලොග් එකක් යනු එකතරා විදියක දිනපොතක්. ඉතින් දින පොතක් ලිවීමට, පාඨකයෝ කියවනවද නැද්ද කියන එක, ඒ හැටි අදාලත්වයක් ඇති දෙයක් නෙවෙයි. මේක එක්තරා විදියකට මගේ හිතේ තෙරපෙන සිතුවිලි වලට පිටවීමට ඉඩහැරීමක් . "

    මේ පොස්ටුවේ මම කැමතිම කොටස සහ බ්ලොග් ලියන්නෙකු සතුවියයුතු උපේක්ෂා සහගත භාවය කියන්නේ මේකට තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක උපේක්ෂාසහගතභාවයද කියලා මට ෂුවර් නෑ බං. මටත් සමහර වෙලාවට කිසි තේරුමක් නැතිව මල පනිනවා.

      බොහොම ස්තුතියි ඉවාන් මුණුපුරෝ!

      Delete
  47. බ්ලොග් ලිවිල්ල විතරක් නොවේ බ්ලොග් කරුවෙකුගේ වගකීම කමෙන්ට් කිරීමත් ඊට ඇතුලත්,අනෙක් බ්ලොග් කරුවන් දිරිමත් කිරීමට ඒක වැදගත්. මම ඩූඩ්ගෙන් දකින තවත් හොඳක් තමා හරිමසුහඳශීලී කමෙන්ට් දම්න්නෙක් විදියට.
    සත්තකින්ම මම උඹෙන් ඉගෙන ගත් දේවල් තියෙනවා.
    ඒ නිසා උඹලිවිල්ල නතර කලත් ඉස්සර ලියපු දේවල් හෝ නැවත බලනවා.

    සුබ පැතුම් මචං..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වීයා.

      මනුස්සයෙකුට හොඳින් කතාකරන්න මහ වියදමක් යන්නේ නෑනේ බං.

      Delete
  48. මට මතකයි මම මුලින්ම ඩූඩ් ගෙ බ්ලොග් එකට අවෙ සිඳු ගෙ බ්ලොග් එක හරහා. මුලින්ම කියෙව්වෙ පැඩිඩිලියන් ලගෙ කතාවක්. (english version) එක. ඒ writing style එකට මට හරි ආස හිතුනා. ඊට පස්සෙ මම දිගටම ඒ බ්ලොග් එක කියවන්න ගත්තා.

    එදා ඔබේ බ්ලොග් වල තිබුන ආකර්ශණය තවම නොනැසි පවතිනවා. ඩුඩ් ගෙ බ්ලොග් පොස්ට් වල මම දැකපු විශේශයක් තමයි එකිනෙකට වෙනස් පොස්ට් දාන එක. හැමෝටම මොනව හරි කමෙන්ට් කරන පුලුවන් මාතෘකාවක් හරි කුතුහලය අවුස්සන කතාවක් හරි ඒ පොස්ට් එකේ තියෙනවා.

    මෑතකදි කියෙව පොස්ට් වලින් ' ෂර්ගෙ .......මොනව හරි කරන්නෙපැයැ' එකට මම හරි කැමතියි.කුතුහලය, ත්‍රාසය, උපහාසය, පිලිකුල් රසය නෝඩුව ඒවායේ තියෙනවා.
    ඒ වගේම ඩූඩ් කීව දේ මම නොටිස් කරල තියෙනවා. ඩූඩ් දේශපාලන මාතෘකවලට කමෙන්ට් කරනෙ හරි පරිස්සමින්. විවාදාත්මක මාතෘකවලට සූක්ශමව කමෙන්ට් එකක් දානවා. එහෙම මද්්‍යස්ත වෙන්න හරි අමාරුයි.මම හිතන්නෙ දැනටම මම ප්‍රසිද්දියෙ මගෙ කමෙන්ට් එකකින් කිප දෙනෙකුට චෝදනා කරල තියෙනවා. ඒ අය මගෙ බ්ලොග් එකට එන්නෙ නෑ. මම පෙන්නන්න හදන්නෙ මද්්‍යස්තව ඉන්න එක කොච්චර අමාරුද කියල.

    ඉතින් ඔබට හැකිතාක් කල් බ්ලොග් ලෝකයේ සැරි සැරීමට වරම් ලැබේවා. තවත් රස කතා ලියවේවා කියා ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
    Replies
    1. Blue Lotus නොහොත් නිල් මානෙලුත් මම ඉංග්‍රීසි බ්ලොග් කාරිනියක් හැටියට හඳුනාගෙන ඉඳලා පසුව ක්‍රමයෙන් සිංහලට හැරුනු කෙනෙක්නේ.

      ඉතින් බොහොම ස්තුතියි වර්ණනාවට සහ කමෙන්‍ටුවට.

      Delete
  49. 100 ට හදවතින්ම සුභ පතනවා.

    ඩූඩ් කියලා තියන දේවල් නම් ජීවිතේ ට ගොඩාක් වටිනවා. ඒ අතරින් If you don't have anything nice to say, don't say anything at all වාක්‍යය මමත් මගේ ජීවිතයේ කොටසක් කර ගත්තා. ඒ වගේම Dale Carnegie ලියපු How to Win friends and Influence People පොත කමෙන්ට් එක දාන්න කලින්ම ඔන්ලයින් ඕඩර් කළා.

    ස්තූතියි අදහස් වලට, ඒ වගේම ආයෙත් සුභ පතනවා 100 ට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිහාන් සුභ පැතුමට. සමහර පුංචි කියමන් වල ජීවන දර්ශණයක් තියෙනවා. තව මට මතක තියෙන එකක් තමයි ගෙයි ගිණි පිටතට දෙන්නත්, පිට ගිණි ගෙට ගන්නත් එපා කියන බෞද්ධ සාහිත්‍යයෙන් ඉගෙන ගත්ත කියමන.

      ඉතින් පොත ලැබුනද? ඒක ගුරුවරයෙක් හැටියට මට හුඟක් උදව් වෙච්ච අදහස් තියෙන පොතක්.

      Delete
    2. ඔව් පොත ලැබුනා. ටික ටික වෙලාව තියන විදිහට කියවනවා.

      Delete
  50. Dude කියන්නෙ මම ආසම කරන පුද්ගලයෙක් බ්ලොග් ලිය්ස්න්නෙක්. එ වගෙම හොන්ද මනුස්සයෙක් විදියට තමය් මම ඔබව බ්ලොග් තුලින් අදුරගෙන තියෙන්නෙ. එ වගෙම ඔබ ඉතමත් අදර්ශවත් ජීවිටයක් ගත කරන කෙනෙක් විදියට මම හුන්ගක් ගරු කරන කෙනෙක්. මම ඔබෙ බ්ලොග් 2 ම මුල සිට අවසාන ය දක්වම කියවල තියෙනවා. එත් කොම්මෙන්ට් කරන්න බරි වුනේ මම underground train එකේ යන ගමන් කියවන නිසය්( කලින් load කරපු pages) මට සින්හලෙන් type ක්ස්‍රන්න අමරුය්. එක නිසා ඔබට දිගටම ලියන්න සුබ පතනවා. English බ්ලොග් එකත් දිගටම ලියන්න.

    -wish-

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබටත්.
      මම එච්චර හොඳ පුද්ගලයෙක්ද කියලා නැවත හිතලා බලන්න ඕනේ මමත්. :)
      මගේ ඩෙනිම උමං දුම්රියේදීත් කියවනබව දැන ගැනීමත් සතුටක්. ඇත්තෙන්ම.

      Delete
  51. [co="red"]ඉතින් ඩුඩ් ඔන්න මගෙන් උණුසුම් සුබපැතුම්[/co]
    මම දකින විදිහට ඩුඩ් අපුරු රචකයෙක්.මම ඉතින් මේ පැත්තට අලුත් උනාට මෙතෙක් කාලෙකට අපුරු රසයක් ඔබගෙ බ්ලොග් එකෙන් වින්ද... මම පුද්ගලිකව ප්‍රියකළේ ඩුඩ් ගේ අපුරු පරිවර්තන වලට.අන්තිමට කියවපු "පොරොන්දුව" වෙනකන්ම ඔබ පරිවර්තනය කරපු හැම කතාවක්ම (& හැම පෝස්ටුවක්ම) මම පරණ අර්කිව් ටික අවුස්සලා කියෙව්ව. එව්ව හැම එකක්ම අපුරු අමතක වුනහම නැවතත් කියවන්න ආස හිතෙන ජාතියේ එව්ව.

    [ce]ඉතින් ඩුඩ් තව චිරාත් කාලයක් ඔබට මේ බ්ලොග් එක ලියන්න හැකියාව ලැබෙන්න ; අලුත් පරම්පරාවට ඔබගේ දැනුම බෙදීයන්න කියල ප්‍රර්ථනා කරන්නම්.....[/ce]
    [ce]ඒ වගේම නිවාඩුවට යන ගමන ආරක්ෂා සහිතව , කිසිම ගැටලුවකින් තොරව යන්න ලැබෙන්නත් කියල ප්‍රර්ථනා කරනව......[/ce]

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි විදුර.
      මුලින්ම අපි යහතින් ගෙදරට ලඟාවුනා.
      ඉන් පස්සේ ගෙදර අස්පස් කිරිලි සහ නිතරම කොළඹට සය අවට වෙනත් තැන් වලට යෙදෙන දෛනික ගමන් නිසා විවේකයක් නැතිවම ගියා.මේ තව ටිකකිනුත් කන්න දෙයක් අරන් ඇවිත්, ඊට පස්සෙ කොළඹ යන්න ඕනේ වැඩ කීපයකටම.

      Delete
  52. 100 වෙනි පොස්ටුවට සුභ පැතුම් හෙන්රි... :)

    මමත් නම් අර දේශපාලනය, ආගම වගේ මිනිස්සුන්ගේ හිත්වලට කාවැදිලා තියෙන මාතෘකා ගැන විරුද්ධ මත තියෙන අය එක්ක කතාකරන්න යන්නෙම නැති තරම්.. නැත්නම් වෙන්නේ තියෙන හොඳ හිතත් නැති වෙන එක විතරයි....

    හොඳ පොස්ටුවක්.. හොඳ අදහස් ගොඩාක්...:)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සඳා. දිගටම එන්න ඩෙනිම කියවන්න.

      Delete
  53. හප්පේ හොඳටම පරක්කුවෙලා තමා මම ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම සුභ පතනවා ශතකයට.. ඒ විතරක් නෙවි නෙ හිට් 80000කුත් දාලනෙ.. එල එල.. මම ඩූඩ්ගෙ බ්ලොගේ දැකපු එකක් තමා ගොඩාක් අය කමෙන්ට් දැම්මත් හැමවෙලේම ඒ ඔක්කෝටම රිප්ලයි කරනවා ඉතාම ඉක්මනටම. ඇත්තටම ඒක එච්ච්ර ලේසි දෙයක් නෙවි. ඉස්සර මම බ්ලොග් එක ලියන කාලෙ මට මහගොන්නක් කමෙන්ට් ආවෙ නැතත් ආපු ඒවට අනලස්ව රිප්ලයි කරනවා කියන එක එසේ මෙසේ දෙයක් නොවෙන බව නම් හොඳටම තේරුනා. ඒවිතරක් නම් මදෑ.. කඩ්ඩ බ්ලොග් එකකුත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකකුත් ඊට සමඟාමීව කරනවා කියන්නෙ සුළුපටු දෙයක් නෙවි.. තව කවර කතාද! වැඩේ දිගටම කරගෙන යන්න බොක්කෙන්ම (නෑ නෑ වචනෙ හරි ගියේ නෑ. බොක්ක කිව්ව්ම මට anatomy කරන කාලෙ දැකපුබොකු බඩවැල් තමා පේන්න ගන්නේ)... ඒ නිසා හදවතින්මම සුභ පතනවා

    ReplyDelete
    Replies
    1. මේ පාර නම් හැම කමෙන්ට් එකටම උත්තර දෙන්න බොහොම ප්‍රමාද වුනා තොටියා. මේ දැන් හරි ඒක කරන්න හිතාගෙන බිරින්දෑගේ පරිගණකයට ආවා. මගේ එකට කාර්මික දෝශයක්. අර කියනවා වගේ මේ දවස්වල පට්ට බිසි ඒ මදිවට.

      ඒ වුනාට කමක් නෑ තොටියා, බොක්ක හොඳ අවයවයක්. ( මම මූවීස් වල හෙම දකිනවා, pathology කට්ටිය morgue එකේ වැඩ කරන ගමන් හැම්බර්ගර්, හොට් ඩෝට් හෙම කාලා කෝපිත් බොනවා.)

      Delete
  54. මමත් අපේ පොඩි එවුන් දෙන්නා සහ දුසිමක් විතර වූ කියවන්නෝ ටිකක් සඳහා ලිය ලියා ඉද්දි තමයි උඹ හම්බ උනේ. ඉතින් උඹ අර හෝඩි පන්තියේ යාළුවො සෙට් එකෙන් එකෙක් වගේ හිතෙන් හැලෙන් නෑ කවදාවත්. උඹට ජය.!!

    ReplyDelete
    Replies
    1. පේලි තුනක් වුනාට බොක්කටම වැදුන කමෙන්ට් එකක් මචං. උඹවත් හඳුනාගන්න මෙච්චර පරක්කු වෙච්ච එකයි මට දුක.
      උඹටත් ජයම පතනවා.

      Delete
  55. ඩූඩ් කියන්නේ බ්ලොග් ලෝකේ ඉන්න සුන්දර හදවතක් තියෙන බ්ලොග් කරුවෙක් බව ඕනෑම කෙනෙක් පිලි ගන්න කියමනක්. මම උඹගේ කැමතිම දේ තමයි සරල බව. ඩෙනිම සහ ටී ෂර්ට් එකෙන් කියන්නෙත් ඒකම නේද ? කෙනෙකුගේ හිත නොරිදෙන්න කටයුතු කරන්න හරි අමාරුයි. උඹ ඒක හරියටම කරනවා. මගේ අඩුපාඩුත් පෙන්නලා දීලා තියෙනවා. ඉදිරියේදීත් කරපං. උඹගේ පරිවර්ථන හැකියාව විශේෂයෙන්ම අගය කරනවා. සීයක් ලියන එක පහසු කාරියක් නොවෙන බව දන්නේ ලියන්නෙක්ම තමයි.

    එහෙනම් 100ට උණුසුම් සුභ පැතුම් !!!!

    හමුවෙමු බ්ලොග් ගෙට්ටුවෙදී :)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඩෙනිම සහ ටී ෂර්ට් එකෙන් හැඟවෙන්නේ සරළ බව නේන්නම්. උඹට ස්තුතියි.
      හරි මචං. හමුවෙමු හැකිවුනොත් ගෙට්‍ටුවෙදි.

      Delete
  56. අඩේ හෙන්රියෝ සුබ මෙව්වා එකක් ඈ !!!! පාඩම් ඉඟි ගොඩක් තියනවා මේ ලිපියේ එව්වත් එක්කහු කොරා ගත්ත එහෙනම් මමත් . . . ලොකු මාතෘකා නම් මගෙත් නැහැ බන් සරල ආතල් කොටස් විතරයි ලියන්නේ . පොඩි සොට් එකක් දැම්මම නම් මමත් ඔය ලොකු කතා කීවට නිකන් ඉන්නකොට නම් ආතල් පමණි . . .

    ReplyDelete
    Replies
    1. පොඩි ෂොට් එකක් දැම්මාම නම් අපි හුඟ දෙනෙක් ලොකු මාත් ඔය ලොකු මාතෘකා ගැන කතා කොරනවා බං.

      බොහොම ස්තුතියි මගියා.

      Delete
  57. Dude...ඉතින් සුබ පැතුම් මගෙනුත්....දිගටම ලියන්න ඔබට දිරිය සවිය පතන්නම් නොඅඩුවම ...

    ReplyDelete
    Replies
    1. Thanks for saying that in Black and White!

      Delete
  58. කෝ මේ හෙන්රි ඩියුඩ් බ්ලොග්වෝකර්? බ්ලොග් අමතක වෙලාද?

    ReplyDelete
    Replies
    1. රාජ්, එක හේතුවක් මගේ ලැප්ටොප් එක නැගිටින්නෙම නෑ. හදන්න දීලා තියෙන්නේ. අනික මේ දවස්වල පාරෙමයි. ගිය සිකුරාදා පු ලි දෙපාර්තමේන්තුවේ ලැගලා හිටියා. අද දවල් දවසම පාස්පෝර්ට් ඔෆීස් එකේ.
      ඉස්තුතියි හොයලා බැලුවට.

      Delete
  59. This comment has been removed by the author.

    ReplyDelete
  60. මගේ සුභ පැතුම්. Bit late isn't it? Sorry, I read the post only now. I visit as many blogs as work and time allow me. But, I don't comment in most of them because some people resent comments in a different language and I seem to be incapable of mastering (I'm very far from even bacheloring !! :-D ) this unicode business. Hope I will be tolerated here! Anyway, congrats again.

    ReplyDelete
    Replies
    1. Pra Jay. No matter what the language is, it's what you say that is important. Your comments are welcome in any language I can understand. And thank you very much for comment.

      For unicode stuff, try downloading the small app called SIngreesi Unicode 1.8.1.
      I use that. It's so easy.

      Delete
  61. සුභපැතුම් හෙන්රි. මේ දිනපොතේ පිටුවක් හරි කියවන්න ලැබුනා කියලා මං සතුටු වෙනවා. විශේෂයෙන් අර පරිවර්තන කතා ටික. ඒවා නම් ඉස්තරම්. ඊට අමතරව ඉතිං අනිත් ලිපි.. ඒවත් ඉස්තරම්. මං බොහොම සන්තෝසයෙන් මතක් කරන්න කැමතියි අර මං මගේ බ්ලොග් එකේ හිට්ලර් ගැන ලියද්දි ඒ ජර්මන් වචන නිවැරදිව ලියන්න මට කරපු උදව් ටික වගේම එහෙම බැරි වචන වලදී කරන්න ඕනේ මොකක්ද වගේ උපදෙස් ටික ගැන. ඒ දේවල් වලින් හැදුනේ බ්ලොග් එක විතරක්ම නෙවෙයි. මං ඒ දේවල් මගේ අනිත් වැඩ වලදීත් යොදා ගත්තා.

    එහෙමනං තවත් දිග කාලයක් ලියන්න ලැබේවා. ලියන දෙයින් සතුටක්ම ලැබේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ක්සැන්ඩරයා. ඒ වගේම සතු‍ටුයි මේ විස්තරය අහලා. පිළිතුරු දෙන්න මෙච්චර පමා වුනාට සමාවෙයං.

      ඒ වුනාට දැන් උඹ ලියන්නේ නැතිම තරම් නේද?

      Delete
    2. ලියන්න වෙලාව හොයාගන්නවා කියන්නේ මේ කාලේ පුදුම ගේමක් දෙන්න ඕනේ වැඩක් වෙලා හෙන්රි. රස්සාව එපා වෙන තරමටම වැඩ. කවදාහරි දවසක විවේක ලැබුනොත් ලියන්න හිතාගෙන ඉන්නවා. මොකද දෙතුන්ගමනක් උත්සාහ කරලා බැරි නිසා ඒ වැඩේ නතරම කරලා දාලා ඉන්නේ.

      Delete
  62. මම ප්‍රොෆයිල් එකකින් කමෙන්ට් කරන්න පටන් ගත්තෙ ලගදි ඉදලා. ඒත් සිරාගේ කාමරෙදී මම කියපු මගේ කකුල කැඩිච්ච කතාවක්, ඊට පස්සෙ දවසක වෙන බොලොග් එකකදී මතක් කරන්න තරම් ඩුඩ්ට මතකයක් තිබ්බා. "ඩුඩ්" කියන්නෙ මිනිස්සු හදුනාගත්ත, මිනිස්කම තියෙන මනුස්සයෙක් කියන්න වෙන උදාහරන ඕනෙ නැහැ.

    පොස්ට් සීයට සුබ පැතුම්.

    පහුවෙලා ආවට සමාවන්න. (මේ පෝස්ට් එක මට මිස් උනේ කොහොමද කියල මම තාම හිතනවා )

    ReplyDelete
    Replies
    1. ආ තව දෙයක්. අපේ ගෙදර හිටිය නමක් තිබ්බෙ නැති පුසාගෙ නම දැන් "ඔටෝජිල්බාවා". පුතාට ඔය කතාව කිව්ව වෙලාවෙම නම රෙජිස්ටර් කලා.

      Delete
    2. මනුස්සකම කෙසේ වෙතත් උඹ බස් එකට යට වෙනවා මට මැවිලා පෙනුනා. උඹ පුදුම බේරිල්ලක්නේ බේරිලා තියෙන්නේ. ඒක හරි විශේෂ දෙයක් වගේම අර කකුල සනීප වෙච්ච ආකාරයත් හරිම හිත කම්පාකරවන දෙයක්. ඒ ඔක්කොටමත් වඩා උඹ ඒ ගැන දැන් දරන ආකල්පයත් වැදගත්.

      නියමයිනේ. පුතාටත් ඉස්තුතියි ඔටෝජිල්බාවා පරපුර ඉදිරියටත් පවත්වාගෙන යෑමට සහයෝගය දැක්වුවාට.

      බොහොම ස්තුතියි සුභ පැතුමට. සමාවෙයං මෙච්චර ප්‍රමාද වුනාට. මගේ ලැප්ටොප් එක ස්ටාට් වෙන්නේ නෑ.

      Delete
  63. Congratulations Dude!!!!!!!!!!! W-) :-h

    I am typing in english because i lost the singreesi. And also the new blogs dont update on my mail so I missed this Dude, so sorry for the late comment. We are always your number one fans. And I can say anywhere without fear that your blog is the best ever! It is so simple and makes people relax as you expect it to. Once you read it you find yourself laughing or even looking at life in a different angle. :-f

    You always manage to create something new. A blog should be a place like that. Not a place to fight. So Dude, we wish you all the best and Blessings to continue writing these awesome posts and keep people happy! :X :-g y-)

    ReplyDelete
    Replies
    1. Remember how Amma always tells malli and me the same " if you have nothing nice to say, say nothing at all".... malli follows it more than me too i think....this is the reason we are like this today and we thank you two for that.. :D d-)

      Delete
    2. Awesome comment. Good girl!!!

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>