Sunday, September 20, 2015

140. මෙතෙක් කතාව සහ අද එතැන් සිට - තුන්වන (අවසාන)කොටස.




Promised Land: The Capital, Western Province, Parallel Universe.
පොරොන්දු දේශය, අගනුවර, බස්නාහිර පළාත, සමාන්තර විශ්වය.

ගොරවමින් කන්ද අදින බර වාහන පෙලින් බේරී පාර මැද  සුදු ඉරට සමාන්තරව මෝටර් සයිකලය පදවන මම කන්දේ පහලට වේගයෙන් ධාවනය වන විරුද්ධ පැත්තේ තීරුවේ වාහන වැලේ හිදසක් තුලින් දකුණට හරවා පදික වේදිකාවටම නග්ගා වාහනය නතර කරනවා.

මේ කතාවෙ අගක් මුල නොතේරෙනවා නම් මෙන්න මුල් කොටස් දෙක.
137. මෙතෙක් කතාව සහ අද එතැන් සිට - පළමු කොටස
138. මෙතෙක් කතාව සහ අද එතැන් සිට - දෙවන කොටස

යකඩ ග්‍රිල් ගේට්‍ටුව තුලින් බලන ගේට්‍ටු මුරකරු මා දිහා බලන්නේ සැකමුසු බැල්මක්.

"මට ප්‍රින්සිපල්ගෙ ඔෆීස් එකට යන්න ඕනේ. මට මාරුවීමක් ලැබිලා තියෙන්නේ."

මුරකරුගෙ නහය හරහා ක්ෂණිකව සිරස්ව වැටෙන රේඛාවක් නහය කේන්ද්‍රකරගෙන දක්ෂිණාවර්තව අංශක එකසිය අසූවක් භ්‍රමණය වෙලා සැකමුසු බැල්ම මිත්‍රශීලී බැල්මකට පරිවර්තනය වෙනවා.

"එන්න සර් ඇතුලට. අන්න අතන ඔෆීස් එක තියෙන්නේ. ඔහොම ඉස්සරහට ගිහින් අර පඩි පෙලෙන් නැගලා අර කොණට යන්න."

"බොහෝම ස්තුතියි. මම හෙල්මට් එක මෙතන තියලා යන්නද?"

"මෙතන තියලා යන්න සර්. හුටා! සර් බයික් එකකද ආවේ? පට් ගාලා දාන්ඩ ඇතුලට." පොර ගේට්‍ටු පලුව ඇරලා වහාම ඔලුව එලියට
දාලා බලන්නේ බයික් එක තාම තියෙනවද කියලා සැක හැරගන්න වෙන්න ඕනේ.

අවුරුදු තිහට අඩු උපාධිධාරියෙක් වන වන විජයකුමාරතුංග දැකපු ගමන් මට සිහිවෙන්නේ කැරිකේචර් එකක්.

තනි සුදු කමිසය සහ කලිසමත්, කෙසඟ ශරීරයත් නිසා, බලෙන් විදුහල්පති පු‍ටුවේ ඉඳගෙන ඉන්න උසස්පෙල පන්තියක කොල්ලෙක් සිහි ගන්වන විජයකුමාරතුංගගේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ  විළුඹ ඉදිරියට හෝ පැත්තට සිටින සේ කරකවා මේස් පැළඳීමයි.

"ගුදවංශ මහත්තයා නේද ඔබතුමාව එව්වේ? මම එයාට විශේෂයෙන් කියලා ඉල්ලලා තිබ්බේ අපිට කොහොම හරි ඉංග්‍රීසි ගුරුවරයෙක් දෙන්න කියලා."

විජය කුමාරතුංගත් එක්ක කතාවෙ යෙදිලා ඉන්න මට මෙයා මොනවගෙ කෙනෙක්ද කියලා හරියට හිතාගන්න අමාරුයි.

"මිස්ට කුමාරතුංග, ඇත්තටම මෙතන වැඩ කරන්න පුලුවන් තැනක්ද? මට ඇත්තම කියන්න."

"ම්ම්ම්. අපි ඔය ඉන්නේ. මමත් මෙතනට අලුත්.  තවම තැනට අනුවර්තනය වීගෙන එන ගමන්."

"මේකයි මිස්ට කුමාරතුංග. මම දුෂ්කර සේවයට ගිහින් කට්ටෙත් හොඳම එක කාල ඉන්නේ. මේ ඉස්කෝලෙ ගාවින් මම අනන්ත ගිහින් තියෙනවා නමුත් හිතේ ඇඳිලා තියෙන්නේ එච්චර හොඳ පින්තූරයක් නෙවෙයි. හෙහ්, හෙහ්, මට මතක් වෙන්නේ මායි යාලුවෙකුයි දවසක්..."  මොනවද මම මේ කියන්නේ. මම කතාව වෙන පීල්ලකට මාරු කරනවා.

විජයකුමාරතුංගට අනුව, මට ඉක්මනින්ම හිත හදාගන්න වෙනවා. එක්කෝ අතේ තියෙන ලියුම බාර දීලා, ලොග් සටහන එහෙම ගහලා වැඩ බාරගන්න ඕනෙ. නැතිනම් මගෙ හිතේ තියෙන විදියට ආපහු බස්නාහිර පළාතේ  ඉස්කෝලයක් ගානේ ගිහිල්ල ඉඩ තියෙන තැනකින් ලියුමක් අරං ආපහු කප්රුකට යන්න ඕනෙ.

මේක ජීවිතේ ගන්න තවත් වැදගත්ම තීරණයක් වෙනවා.

කලින් වගේම වැරදි තීරණයක් ගත්තොත්, ජීවිතේ ඉතුරු ටිකත් දුකම විඳින්න වෙනවා. 

දුකම විඳින්නට,
දුක උහුලන්නට,
දුකට උපන් දරුවෝ - ඕ - ඕ - ඕ,
මිහි මව-ගේ දරුවෝ...
තාලෙට කිය කියා දිගටම ඉන්න මගෙ කැමැත්තක් නෑ.  


මෙච්චර කට්ටක් කාපු මම, හොඳයි කියලා සම්මත ඉස්කෝලෙකටම යන්න උත්සාහ නොකරන්නෙ ඇයි?  වම් උරහිසේ වැඩ ඉන්න සර්ව සුභවාදියා එහෙම කියද්දි දකුණු උරහිසේ වැඩ ඉන්න සර්ව අසුභවාදියා ඒ එක්කම මතක් කරන්නේ, වැඩි කල් බලා හිටියොත්, මෙතනත් නැතිව යන්න පුළුවන් බවයි. අර ගුලි තුනේ වරමෙන් තියෙන ගුද මාර්ගයත් නැති කරගත්තා වගේ වැඩක් වෙන්නෙ එහෙම වුනොත්.

මම කොරිඩෝවට ඇවිත් අහස පොළොව ගැට ගහන්න කල්පනා කරනවා. අතීරණය මොට්ට පිහියක් වගේ. කැපෙනවට වඩා තැලෙනවා.

වහාම තීරණයක් ගතයුතු වෙනවා.




මැදිවියේ පසුවුන, මල්ලවපොර සූරයෙක් වගේ ඇවිදින, නමටම ගැලපෙන හැඩිදැඩි යකඩ ගෑණියක් වුන ආයෝමා අකරුණාවන්ත චරිතයක් කියලා කියන්නත් බෑ. බේකරියකින් හරි මල් ශාලාවකින් හරි දැම්ම වගේ පේන මේක් අප් එකක් දාගෙන ආවත්, ලාලිත්‍යය කියන එක නිකං වැඩකට නැති කාලෙ නාස්තියක් හැටියට දකින අයෝමගේ කතාබහ පොල්ලෙන් ගහනවා ගහනවා වගේ. එකට වැඩ කරන කෙල්ලෝ ඉන්න තැන ව්‍යංගයෙන් දෙපැත්ත කැපෙන කුණුහබ්බ විහිළුවක්  කියලා සමහර උන් ගෙ මූණු රතුවෙනවා දැකලා සතුටක් ලබපු අපි, කුණු හබ්බ කෙලින්ම කියලා, ඒක එලියට අරගෙන විශ්ලේෂනය කරලා, විහිලුව ඝාතනය කරලා දාන අයෝමා ඉන්න තැන, කට අරින්නෙත් පරිස්සමෙන්.

අයෝමගෙ ලොකුම අවුල, තැනක් නොතැනක් නොබලා, හැම එකාටම, හැම එකටම, මහා හයියෙන්, යටි ගිරියෙන්, ප්‍රසිද්ධියෙ අණදීම සහ බැණ වැදීමයි.  රළුකම, ගොරහැඩිබව අයෝමගෙ ජීවන විලාසිතාවක්.

"මට දුක මේ ගෑණිගෙ හස්බන්ඩ ගැන බං. අපිට ඉවසන්න තියෙන්නේ පැය කීපයයි. ජීවිත කාලයක් මේ ගෑණි එක්ක ඉන්න ඒ යකාට කොහොම දැනෙනවා ඇද්ද!" මම කියලා තියෙන්නේ වරක් දෙවරක් නෙවෙයි.

"අඩේ  උඹලා මේ අපි ඉන්න තැන්වල සෙක්ස් ගැන විහිළු කරාට, උඹලා අයෝමා ඉන්නකොට පූසෝ වගේ නේද?"

"අනේ උඹට කියන්න අහවල් අක්කේ, අයෝමා ලිංගික විහිළුවක් කරපු ගමන් අපිට ලිංගිකාශාව කියන එක එහෙම පිටින්ම නැතුව යනවනේ."

"ඒක ඇත්ත මචං. මාත් කල්පනාකලේ මට නශ්ටකාමය හැදෙයිද කියලා මේ ස්ටාෆ් රූම් එකේ වැඩි කල් හිටියොත්."

ලිංගිකත්වය ගැන කියනකොට අයෝමා තුල අපි දැකපු එක විශේෂ කාරණයක්  නම්, එයා ඉතාමත්ම ලිංගික ආකර්ෂණයකින් යුත් කෙනෙක් හැටියට තමාවම දැකපු එකයි.

විශේෂයෙන්ම මේ ඉස්කෝලෙ යන කොල්ලෝ පවා, තමන්ව දු‍ටු පමණින් පිස්සු වැටෙන ඉතාම ආකර්ෂණීය ලිංගික භාණ්ඩයක්  හැටියට දකින බව ඒත්තු ගනවන්න අයෝමා කියන කතාව
ල් අපි අහං හිටියේ හරිම අමාරුවෙන්.

ඉස්කෝලෙ යන කොල්ලෝ අයෝමට දිනපතාම බස් එකේදි ලිංගික පීඩා කරන බව ඈ කියනවා හැමදාම වගෙ.


'අද මං එනකොට අර රතු ඉස්කෝලෙ කොල්ලෙක් මට ජැක් එකක් ගහගෙන  ආවනේ."

"අනේ ඔය සෙනග වැඩි වෙලාවට ඌව තල්ලු වෙලා එන්න ඇති ඔයාගෙ ඇඟට."

"නෑ නෑ. මම දන්නෙ නැද්ද ඕකෙ වෙනස?"

"මම නං හිතන්නේ නෑ.  පිරිමින්ට කොහොමත් එල්ල වෙන චෝදනාවක්නේ ඕක."


"මම වෙලවකට ඔය හේත්තුව දාන කොල්ලන්ට කෙලින්ම කියනවා ඔයාගෙ වයසෙ දරුවෝ මට ඉන්නවා කියලත්."

"මමත් කියන්නේ ඕක වැරදීමක්. ඔන්න වයසක ඩෑල් එකක් නං හිතන්න පුලුවන්."

"යකෝ මම නං වයසට යන්න කලින් එක්කෝ කාර් එකක් ගන්නවා. නැතිනං වෙඩි තියාගෙන මැරෙනවා. අංකල් කෙනෙක් වෙලා  බස් එකේ යනවට හොඳයි..."


අයෝමගෙ කතාවට එහා  පැත්තෙ ඉඳගෙන ඉන්න නිරෝෂා හිනා වෙන්නේ මූණ අතින් වහගෙන. ඔන්න ඒක කොච්චර වැරදි වැඩක් වුනත්, අපි කවුරුත් හිතෙන් කරනවා වගේ සංසන්දනය කරනවා නම්, නිරෝෂා බැලූ බැල්මටම අයෝමගේ සම්පූර්ණම විරුද්ධ පැත්ත.

අයෝමා 'අඩෝව්. චන්ඩි ඉන්නව නම් වරෙව් ඩෝව්' කියන්න වගේ උරහිස් දෙපැත්තට පද්දමින් ඇවිදිදිදි, නිරෝෂා ඇවිදින්නේ මිහිකත නලවාලා, බලාගෙන ඉන්න ඉන්න ආසා හිතෙන විදියට. 

ඔය විදියට ලැයිස්තුවක් හදනවා නම්:

ගැඹුරු වොට් විසිපන්දාහෙ මරහඬට එරෙහිව කණට පවං සලන ලගන්නාසුළු හුරතල් කටහඬ,

ටකරමකට ගහන්නා වැනි කං අඩි පැලෙන  හිනාවට
එරෙහිව පපු කැවුතු වලට සමන් මලෙන් පවන් සැලෙන මිණිකිංකිණි හිනාව,

ඈත එනවා දැක්කොත්  ලඟම තියෙන කඩේකට රිංගලා හෝ පාරෙ යන බස් එකක එල්ලිලා මග අරින්න හිතෙන පෙනුමට එරෙහිව, දැක්කාමට වේල් තුනක් නොකා ඉන්න හැකි හිත පිරෙන  පෙනුම...

ඔය විදියට
ලැයිස්තුව නොනැවතී ගලාගෙන යනවා.

ඒ වගේම ඔය දෙන්නටම ගැලපෙන  පරිවාර ජනතාවත් ඔය ගුරු මණ්ඩලේම ඉන්නවා. ඒ කියන්නේ උප අයෝමලා සහ උප නිරෝෂලා.

යකා හිතන තරම් කලු නෑ. යක් ඉස්කෝලෙ මම ජීවිත කාලයක් හිතා  හිටිය තරම් නරකත් නැති බව මට ටික කාලෙකින්ම තේරෙන්න ගන්නවා.

සමාජෙ පහත් යයි සම්මත ස්ථරයකින් එන බහුතරයකින් සමන්විත මේ ඉස්කෝලෙ උන්, අර උසස් යැයි සම්මත ඉස්කෝලවල උන්ට වඩා මට ලංවෙනවා වගේම, හිතට අල්ලලා යන වෙලාවල් තියෙනවා.  දුරුවෙලා
යන්න කාලයක් ගියත් අර මුලින් තිබිච්ච සැක සංකා ටික ටික නැතුව යනවා.  නමුත්, එහෙමයි කියලා, ජීවිතය සහ ‍රැකියාව වඩා පහසු වන සැප ඉස්කෝල වලට අපි වගේ උන්ට දොර වැසීම සාධාරණීකරණය වෙන්නේ නෑ.

මේ ප්‍රදේශයේදි මම දකින තවත් කිසිසේත්ම බලාපොරොත්තු නොවියහැකි දෙයක් තමයි ලිං මැඩි මානසිකත්වය.  දුර ඈත පළාත්වල නම්, අගනුවර, හෝ ගාන පොකුණ , දැකලා නැති ළමයි සහ මිනිසුන් ගැන කවුරුත් ඇතිවෙන්න කතා අහලා ඇතිනේ. නමුත් අගනුවරත්, ඒ වගේම, තමන් පදිංචිවෙලා ඉන්න සීමාවෙ
න් මීටර් පන්සීයක් එපිටට නොගිය ලිංමැඩියෝ ඉන්න බව මම දැනගන්නේ මේ ඉස්කෝලෙන්. නගර සීමාව ඇතුලත කිසිදා පදිංචි වී නොඉඳ, තදාසන්න ප්‍රදේශයක ඉඳලා දිනපතා අගනුවරට එන මට, මුළු නගරෙම ගැන තිබිච්ච හුරුබව සහ දැනුම, නගරයේම උපන් එහිම හැදී වැඩුණු මේ ළමයි වැඩි දෙනෙකුට නැතිවීම අදහගන්න බැරි දෙයක්. මුං තමන් උපන් නගරෙම අතරමං වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මම මේ ගැන ඇහුවාම එකෙක්ගෙ උත්තරේ මේකයි. "ඔව් සර්. ඒකට අපි කරන්නේ අගනුවර කියලා ගහලා එන බස් එකක් බලලා නගින එක. ඒවා නවත්තන තැන ඉඳලා වත්තට/ෆ්ලැට් එකට එන්න පාර අපි දන්නවා."

අයෝමා වගේ චරිත එක්ක ඉහ ගහගෙන ඉන්න බැරුවම යන්නේ නිවාස වලට බෙදිලා නිවාසාන්තර ක්‍රීඩා උත්සව පවත්වන කාලෙට. මගෙ කරුමෙට, මාව අයෝමගෙ නිවාසෙට වැ‍ටුණ බව දැනගත්ත අනිත් උන් උඩ පැන පැන හිනා වෙනවා.  ඒ එක්කම මාව දිරිගන්නන්න මියුරු වදන් තෙපලනවා.
යකෝ මටම වෙන හැටි!
 
"මම නං කියන්නේ තොට හොඳම වැඩේ!"

"අනේ සාදු!"

සාදු සාදු සාද්!

සාධූ. - සාධූ. - සාධූ.

"කියලවත් කරගන්න බැරි වැඩක් වුනේ යකූ!"

"පව් බං මූ!"

"දැන් ඔය ගෑණි උඹව ඇහේ ඉඳලා පට්ට ගහයි."

"උඹ කොට්න් නාස්ලණුවක් ගණිං මචං. කැපෙනවා  අඩුයි."

ඒකාධිපති අයෝමා නිවාස නායිකාව හැටියට නිවාසය පාලනය කරන්නේ අයෝමය හස්තයකින්. මට තද වෙන්නේ ළමයින්ට කෑ ගහන විදියටම මටත් කෑ ගහන්න ගත්තාම.  මේ නිසාම, නිරන්තරවම, මගෙත් අයෝමගෙත් අතර ඇතිවෙන්නේ ගැ‍ටුම්. ඒ විදියට කතාකරනවට මම කොච්චර අකමැති බව පෙන්නුවත්, කිව්වත්, ගෑණි ඒකට සංවේදී වෙන්නේ ඒ මොහොතට විතරයි.

අවසාන මහා තර‍ඟේ දවසේ ස්ටේඩියම් එකේදි, මෙච්චර කාලයක් ලාවා පිටකරමින්, දුම් රො‍ටු නංවමින් හිටි ගිණිකන්ද පුපුරලා යනවා. මම කොච්චර වැඩ කරත් හොඳක් නොදකින අයෝමා මට කෑ ගහන්නේ ළමයි ඉස්සරහමයි. හැබැයි මෙහෙමත් එකක් මම කියන්න ඕනෙ. ඔය ගෑණි එහෙම කෑගැහුවට ඒ අනාදරයකින් නෙවෙයි, කපන චේතනාවකින් නෙවෙයි. ඔය ගෑණි මොන වැරදි තිබ්බත්, පිටිපස්සෙන් පිහියෙන් අනින, කේලාම් කියන, බෙලි කපන මොඩල් එකක් නෙවෙයි. රළුකම, ගොරහැඩි බව ගෑණිගෙ ජීවන විලාසිතාව. ප්‍රශ්ණේ මට ඒකට අනුගත වෙන්න බැරිකම.

මාරාවේෂවෙන මම කරන්නේ, අයෝමට ඕනෙ මගුලක් කරගන්න කියලා, නැගිටලා ස්ටේඩියම් එකෙන් පිටවෙලා ගිහින් බස් එකක නැගලා ගෙදරම යන එක. ඇත්තෙන්ම මම කරන්නේ රාජකාරිමය වශයෙන් ලොකු වරදක්. නමුත් එතන හිටියනම් මම ඊට වැඩිය ගැ‍ටුමක් ඇති කරගන්නවා.

පහුවදා ඉස්කෝලෙ ගියාම අනිත් උන් මාව දැක්ක ගමන් මාව බයිට් කරන්න ගන්නවා.

"අඩේ උඹ  ගියා කියලා අන්න අයෝමා පොළොවේ පස් කෑවේ නැති ටික විතරයි."

"යකෝ උඹ මාර පොරක්නේ. මොකෝ උඹ පැනලා ගියේ?"

"ඒයි උඹලා දන්නවද මම මේ ඉස්කෝලෙට ආපු  කතාව?"මේ වෙනකොට ආපහු හොඳ මූඩ් එකකට ඇවිත් ඉන්න මම කියනවා.

මම මුලින්ම කියන්නේ අර පර්ෆියුම් ගහගෙන බස් එකේ ආපු කතාව. කතාවට ලැබෙන ප්‍රතිචාර වලින් ඒ කතාව යොවුන් ආදර කතා නොහොත් The Most Romantic Tales හිට් ලිස්ට් එකේ ඉහලටම නගිනවා.

ඉන් පස්සේ මම කියන්නේ දුෂ්කර සේවය කරලා මෙහෙට පත්වීම ගන්න කාපු කට්ට, අර ඇප්ලිකේෂන් පන්සීය සහ පොලිස් බැ‍රැක්කෙ නිදාගත්ත කතාවත් එක්ක කෙටියෙන්. ඒක වැඩියම අනුකම්පාවක් ලබන ගුරු සේවයේ රස කතා නොහොත් Epic Stories ලිස්ට් එකේ මුල් තැනට නගින්නේ බලා ඉන්දැද්දි.

ඉන් පස්සේ මම කියනවා ක්ලිටරස් ගුදවංශගෙ කතාව.  ඒ කතාව ප්‍රේක්ෂකයව කුපිත කරන Outrageous Stories හිට් ලිස්ට් එකේ මුදුනටම ගමන් කරනවා.

"...ඉතිං මම අතන කොරිඩෝවෙ හිටගෙන කල්පනා කරනවා තීරණයක් ගන්න බැරුව. මොකද මං කරන්නේ? "

"ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තා නසී වගේ." එකෙක් යෝජනා කරනවා.

"අන්න හරි. පස්සෙ මම හිතනවා ඕනෙ ගුද මාර්ගයක් කියලා තව ටිකක් ඇවිදලා බලන්න. එහෙම හිතලා මම ලියුම නවලා සාක්කුවට දාගන්නවා."

"ඉතිං ඉතිං උඹ ආපහු ගියාද?"

"නෑ. එතකොටම තමයි නිරෝෂා කොරිඩෝවෙ කොනෙන් මතුවෙලා මිහිකත නලවාගෙන, පද්ද පද්ද එන්නේ."

අනිත් උන් අනිත් උන් හිකි හිකි ගාන්න ගන්නවා. නිරෝෂා කර ඇරගෙන මං දිහා බලා ඉන්නවා.

"ඉතිං මම කල්පනා කරනවා. යකෝ මෙච්චර ආතල්-කී-බනානා-කෑලිත් මේ ඉස්කෝලෙ වැඩ කරනවා නම් මට බැරි මොකෝ.  එතකොටම නිරෝෂා මාව දැකලා අර ලා හිනාව දානව."

මේකට කතාව අහගෙන ඉන්න නිරෝෂයි යෙහෙලියොයි, ඒ ඉස්කෝලෙම වැඩ කරන
නිරෝෂගෙ අම්මයි පවා කැකිරි පලන්න ගන්නවා.

"ඉතිං මම ලියුම අරං කෙලින්ම ඇතුලට ගිහින් විජයකුමාරතුංග අතට දීලා කියනවා මම වැඩ බාර ගන්න හිත හදාගත්ත බව."

"ඒක මිසක්. ‍තෝ එහෙම කරපු එක ගැන අපිටත් සතු‍ටුයි මල්ලි. නැත්තම් තොගෙ මේ ඩ්‍රාම ඔක්කොම අපිට මිස් වෙනවනේ."

"ඉතිං. ප්‍රින්සිපල් කාරයා ලොග් සටහන් ගහලා මට අත්සන් කරන්න පොත දීලා හෙම ඔක්කොම කරනවා පට් පට් ගාලා. පොරටත් සතු‍ටුයි. පස්සේ පොර කියනවා පල්ලෙහා ස්ටාෆ් රූම් එකට ගිහින් ඉඳගෙන ඉන්න  කියලා."

"ඉතිං? ඔන්න ඔහොමලු උනේ නේද?"

"නෑ යකෝ. මම ඔන්න මම ඔෆීස් එකෙන් එලියට එන්න හැරෙනකොටම ඔන්න කාමරේම එක පාරටම අඳුරු වෙනවා.මම ඔලුව උස්සලා බලනවා ලයිට් ගියාද, නැතිනං කුණා‍ටුවක්වත් එනවද  කියලා. පුලුවන්නම්  කවුද කියහං හිටගෙන ඉන්නෙ දොර හරස් කරගෙන.."

"කවුද?"

"අයෝමා."

හිනා හඬට කන්ද නගින බර වාහනවල හඬත් මොහොතකට යටපත් වෙනවා.

"ඉතිං මොකද උඹ කලේ? යකෝ මේ කතාව අපි දන්නේ නෑනේ."

"මොනව කරන්නද බං. එතකොට ලොග් සටහන් ගහලා වැඩ බාර අරන් ඉවරයි. Past the point of no returning. මට එක පාරටම ආපහු හැරිලා විජයකුමාරතුංගයගෙන් ලියුම උදුරගෙන, ලොග් සටහනත් ඉරාගෙන, පැනලා දුවන්න නොහිතුනා නෙවෙයි. ඒත් මං අර විචාර බුද්ධිය පාවිච්චි කරලා හැඟීම් වලට ඉඩ  නොදී නිකා හිටියා. ඉතිං, මම ඒ නැවතිච්ච පාර තමයි මේ."

එතකොටම කාමරේට කඩා වදින්නේ අයෝමා. බෑග් හැටහුටහමාරක් එල්ලගෙන.

"අම්මෝ, මෙයාලගෙ සද්දෙ අර ගේට්‍ටුව ගාවට ඇහෙනවා. ඉතිං කොහොමද ළමයිට කියන්නෙ කෑ ගහන්න එපා කියලා," අයෝමා කියන්නෙ හිනාවකුත් එක්ක.

ඒකට කවුරුත් මොකුත් නොකිව්වත් කට්ටියම නිශ්ශබ්ද වෙනවා.

බෑග් මේසෙ උඩට අතාරින අයෝමා පු‍ටුවක් උඩට වැටිලා ලේන්සුවකින් පවන් ගහගන්න ගමන්  සුහද කතාබහ පටං ගන්නවා.

"අද මං සීට් එකක් ලැබිලා ඉඳගෙන එනකොට අහවල් ඉස්කෝලෙ කොල්ලෙක් පොට්ටනිය තියං ආවනෙ මගෙ උරෙස්ස උඩ."


නිමි.

පසු සටහන්:

සැබෑ ජීවිතේදි මේ කතාව ඉවර නොවුනත් මෙතනින් මේ කතාව නිමවන එක හොඳයි කියලා මම හිතනවා.


මේ කතාව පොලිටිකලි කරෙක්ට් නොවෙන්න පුලුවන්. ඒ වගේම චරිත ගැන, ස්ථාන ගැන අසාධාරණ ඒක පාක්ෂික විනිශ්චයන් ඉදිරිපත් කිරීමක් හැටියට කෙනෙකුට පේනවා වෙන්නත් පුලුවන්. නමුත් මිනිසුන් විවේචනය නොකර චරිතත්, සැබෑ ස්ථාන විවේචනය නොකර ඒ ඒ තැන්වල ගති ලක්ෂණත්, කතා රසය නොමරා, කතාවේ ජීවමාන ගුණය රඳවාගෙන,  විවේචනය කරන්න ගත්ත උත්සාහයක් හැටියටයි මේ කතාව සමාන්තර විශ්වයක වෙන කතාවක් හැටියට ඉදිරිපත් කලේ.

ඒ එක්කම මේ මම ඒ ඒ අවස්ථාවල සිතූ පැතූ හැටියි.  ඒක පිටින් බලන කෙනෙකුට, ඒ ඒ අවස්තාවලට මුහුණ නොදීපු කෙනෙකුට  හිතාගන්න අමාරු දෙයක්.  ඒ වගේම මම වුනත් එකම කරුණ සම්බන්ධව අද වෙනස් මත දරනවා වෙන්න පුලුවන්.

අයෝමා චරිතය ගැන කිව්වොත් මම මුලින් කිව්වා වගේ, අයෝමා රළු, ගොරහැඩි, මතුපිටක් තිබුනත්, කැපී පෙනෙන, ඇතුලතින් හොඳ චරිතයක් කියලා මම අද විශ්වාස කරනවා. අයෝමා ආශ්‍රය කරන එක මතු පිටින් වේදනාවක් වුනත් ඈ, මා දැනුවත්ව පරිපාලකයන්ට කේලාම් නොකියන, අනුන්ගේ විපතේදී උණුවන, අනුන් වෙනුවෙන් කතාකරන චරිතයක්.

දුෂ්කර සේවය සහ දුෂ්කර පළාත්. මේකත් සාපේක්ෂයි. මේ ලියන මම කොළඹ නගරසීමාව ඇතුලත කිසිදා පදිංචි වී නොසිටියත් කොළඹ ප්‍රදේශය සහ බස්නාහිර පළාත මගේ උපන්ගම. කොළඹ නගරය අපට හරියට හික්කඩුවේ කෙනෙකුට ගාල්ල වගේ. කොළඹ කොච්චර ක‍ටුක වුනත් මම කොහේ ගියත් ආපහු එන්න කැමති තැන  එතැනයි. නුවර කෙනෙකුට නුවර ගැන ඇති හැඟීමමයි අපිට අපි උපන් බිම ගැන තියෙන්නෙත්. කොළඹට බැණ බැණ, කොළඹ දාලා නොයා, කොළඹම ඉන්න මාතර කෙනෙක් ගැන හිතන්න. වෙලාවකට කොළඹ ගෙන්දගම් පොළොවට ඔවුන් බනින විදියට, බස්නාහිර ප්‍රදේශය ගම්බිම් කරගත් අපට හිත රිදෙනවා. ඔවුන්ට ඇත්තෙන්ම කොළඹ දුෂ්කර තැනක් වගේ පේනවා ඇති. මේ අපේ ගෙදර කියන හැඟීම ඇති වෙන්නෙම නැතිව ඇති. ඔබට මාතරට ඒ තියෙන බැඳීමමයි අපටත් අපේ ගමට තියෙන්නේ. ඔබට ගෙන්දගම් පොළොව අපිට අපේ ගම. මෙන්න මේ තත්වයමයි දුෂ්කර සේවය ගැන කියන්න තියෙන්නෙත්. දුෂ්කර සේවයට ගිය රජයේ සේවකයා ආපසු එන්න උත්සාහ කරන එක අපරාධයක් නොවන්නේ ඒකයි. ඒ ඔහුගේ ගෙදර නෙවෙයි.

දැන් අද තියෙන පහසුකම් එක්ක ඔය පළාතක ඉන්න කෙනෙකුට මම කියන දේ වටහාගන්න අමාරු වෙන්න පුලුවන්.  එදා ඒ දුෂ්කර ක්‍රියා කරපු තැන්වල අද භෞතික දියුණුව අදහාගන්නත් බැරි තරම්. අද මට ඔය දුෂ්කරක්‍රියාව කැමැත්තෙන්ම කරන්න පුලුවන් ඕනෙ නම්.  ඇත්තෙන්ම වාහනයක්, ස්මාට් ෆෝන් එකක්, ලැප්ටොප් එකක්, අරන් අන්තර්ජාල සබඳතා ඇති තැනක  වැඩකරන්න හැකි අද දුෂ්කර සේවා සංකල්පය විහිළුවක් වෙන්න පුලුවන්.

මේ කතාව කියවලා දුෂ්කර පළාතක් ගම්බිම කරගත්ත කෙනෙක්ගෙ හිත රිදුනනම් මම ඉතාම ඕනෑකමින් සමාව අයදිනවා. මම අදහස් කලේ ඔබේ පළාත අපායක් බව කියන්නවත් අපේ පළාත් සුරවිමනක් බව කියන්නවත්  නෙවේ. එදා මට හිතුන හැටියි.  එහෙම වෙන්න ප්‍රධාන හේතුවක් රජයේ වැරදි, දරදඬු ප්‍රතිපත්තියි. ආයෙ කවදාවත් ඒ පැත්ත පළාතේ පස් පාගන්නෙ නෑයි කියා පිටවෙලා ආපු මම නිවාඩු කාලවලට එහෙ යනවා අතීත මතක නිසාම.

යක් ඉස්කෝලෙ ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. ඒ මම හිතා හිටි හැටි. ඒ මිසක් ඒ ඉස්කෝලෙ, ජනතාව, ළමයි ගැන කිසිම අහිතක් මගේ හිතේ නෑ. මම තවදුරටත් ඒ පැත්තේ නොයන්නේ දැන් මා දන්න කවුරුවත් එහි නැති නිසා. එහෙම නොවෙයිනම් මා දැනුත් ඒ බොක්ක හොඳ උන් බලන්න යනවා ඉඩලැබෙන විදියට.

ඒ වගේම එකම කතාවේ කොටස් තුන එකිනෙකට වෙනස් genreවලට අයත්වන සේ ලියන්න මා ගත් උත්සාහය ඔබ දු‍ටුවාද?

 Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

 

78 comments:

  1. මගෙන් :-f

    ReplyDelete
  2. දුෂ්කර ප්‍රදේශ වලට දුෂ්කර කියන්නම ඕනෙ.ඒ ප්‍රදේශයකට දවසට දෙවාරක් යන ලොරි බාගෙ නැත්තං කුබෝට එක වෙනුවට සීට් තියෙන බස් එකක්,විස මදුරුවො කාලා අව්වට පිච්චිලා උණෙන් ගැගෙන ළදරුවාට බෙහෙත් උගුරක්,මරණයක් මඟුලක් කියන්න ටෙලිෆෝන් එකක් වගේ දේවල් දිගටම සිහිනයක් වෙනවා.ඒ ඉන්නෙත් මිනිස්සු.
    ගස්ලබ්බා මවු කුසේ ඉන්න සහ එලියට ආපු මුල් කාලෙ ගස්ලබු මව මොලේ මැලේරියාවෙන් පෙලුනා.ඒවගෙ විපාක තාමත් ගස්ලබ්බ අත්විඳිනවා.මේ එකක්විතරයි කිව්වෙ ඩූඩ්ට ගිල්ටි හිතන්න දෙයක් නෑ කියන්න.ආයෙත් යනව මුල ලිපි දෙකත් එක්කම එක දිගට කියවන්න..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹ කඩ්ඩට හොර නැත්තං මේක බලහං.

      මේක මම සිංහලෙන් ලිව්වා කියලා මගෙ පාඨකයෙක් මේ දැන් කිව්වා. මට එහෙම මතකයක් නෑ. මට ඒක හොයා ගන්නත් බෑ.

      නමුත් මේ කතාවේ තියෙනවා දුෂ්කර සේවයේ උඹ ඔය කියන පැත්ත.

      “DEEPA, PLEASE DON’T ASK WHAT HAPPENED TO THE TOMATOES!!!"(දීපා, තක්කලි වලට මොකද වුනේ කියලා නං අහන්නෙපා.)

      Delete
  3. අර හොටු කතාව ලිවුවෙ මේ ඉස්කෝලෙ ළමයෙක් ගැන නේද?
    ///අයෝමා රළු, ගොරහැඩි, මතුපිටක් තිබුනත්, කැපී පෙනෙන, ඇතුලතින් හොඳ චරිතයක්/// ගොඩක් වෙලාවට පිටින් පේන මනුස්සයාට වඩා ඇතුලේ ඉන්න කෙනා සම්පූර්ණයෙන්ම වෙනස්. සමාජෙන් නරකයි කියලා හංවඩු ගහලා ඉන්න කෙනා ළඟ හොඳයි කියන කෙනාට වඩා ගුණ ධර්ම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. නෑ බං. හො‍ටු කේස් එක ලංකාවෙ ඉස්කෝලෙක එකක් නෙවෙයි.

      ඒකනෙ කියන්නේ පච්ච ගහපු එකාට වඩා ලොකු අපරාධකාරයෝ තමයි ටයි දාන්නේ කියලා.

      Delete
  4. හැහ්...මැටිල්ඩා ෆිල්ම් එකේ අගතා, ජෙනිෆර් කියන චරිත දෙක තමා මට මැවිලා පෙනුනේ.
    මෙන්ඩා, ඩ්‍රැකියා, කැමා, දිලා, පාද්රේ, අච්චු කන්තෝරුවා, කසුනා, පීකුදු මන්දිරයා කොල්ලනේ වරෙල්ලා. මෙන්න ඩූඩයියා මේකට නිමි දාලා. එහෙම කොහොමද නිමි දාන්නෙ? වරෙව්, නගින්න වතුර ටැංකිය උඩට.

    සමහර විදුහල්පතිවරු වහලා තියෙන පාසැල් ඇරලා මහා විප්ලවයක් කරනවා ගිය සතියෙ දැක්කා. ඒ ගැන ලියන්න ඕනි වෙලාවක.

    ReplyDelete
    Replies
    1. Roald Dahlගෙ කතාවනෙ ඔය. පොතයි මූවී එකයි දෙකම කම්මුතු කොලා.

      උඹලා ටැංකියට නැගපල්ලා. නමුත් ඒකෙ නාන්න හෙම එපා උපවාස කරන ගමන්.

      මොකක්ද බං ඒ අන්තිම කෑල්ල? මම දන්නේ නෑ ඒ කතාව.

      Delete
  5. මං කැමතිම උඹ ගියපාර ලියපු පෝස්ට් එකට. හැබැයි මං ඒකට කමෙන්ට් කළේ නෑ. මට ඒක පට්ට බරට දැනුනා බං. මොනව කියල කමෙන්ට් කරන්නද? හෝස් ගාලා හූල්ලලා නිකා හිටියා. රාජ්‍ය සේවකයෙක් හැටියට මං කොයිතරම් වාසනාවන්තද කියලා මටම හිතුණා බං උඹල කාපු කටුත් එක්ක බලද්දි. (අපි නිකං හාල්මැස්සො කටුවක් වත් කාලා නෑ බැලුවම)

    ReplyDelete
    Replies
    1. එහෙමද ඩිල්ෂාන්? මම ඔය ලියලා තියෙන්නේ අංශු මාත්තරයයි බං. උඹත් කියවහංකෝ අර මං උඩ ගස්ලබ්බට දාලා තියන ලින්ක් එකෙන් ගිහින් අර තක්කාලි කතාව.

      උඹේ අනිත් බ්ලොගට ගියාම මටත් ඒ වගේම හිතට පොඩි බරක් දැනුනා.

      Delete
  6. ගුරු වෘත්තියේ දුෂ්කර සේවය අද කරන්නේ ඩ්‍රිල් එකක් හැටියට. මුලින්ම බලනවා එතන කොච්චර කල් ඉන්න වෙනවද, ඒ කාලය ඇතුළත ගතහැකි උපරිම නිවාඩු ගණන කීයද, ඒ අනුව නියමිත කාලසීමාව තුළ ඒ පැත්තේ ඉන්න ඕනේ මාස කීයද, ටියුෂන් එකක් කරගන්න පුලුවන්ද, ඉස්කෝලේ බාහිර වැඩවලට සම්බන්ධ නොවී සිටීමට අති ඉඩකඩ කොහොමද, විදුහල්පතිත් ඈත පලාතක කෙනෙක්ද, (එහෙනම් ඩ්‍රිල් එක කරන්න ලේසියි) වැනි තොරතුරු. මේ ටික මට කියලා දුන්නේ එහෙම කරන කෙනෙක්ම තමයි.

    අද, ලංකාවේ ප්‍රධාන පාරවල් අයිනේ තියන පාසල් බොහොමයක ඉන්නේ, නීතියෙන් ගැලවෙන්න සේවය කරන, ලොකු ලොක්කන්ගේ බාරියාවෝ සහ බලපුළුවන්කාර දේශපාලුවන්ගේ හෙන්චයියලා හෝ එවැනි අයගේ බාරියාවෝ. ඉස්කෝලේ පිලේ ඉඳලා, ගෙදර යන බස් එකට ගොඩවෙන්න පුළුවන් තැනක් තමයි අල්ලගන්නේ. දවසපුරා ඔරලෝසුව බලමින්, මොකක්හරි පාඩමක් කියාදීමයි කරන්නේ.

    අයෝමා වැනි අයගේ ඇතුලත තිබෙන්නේ සදාකාලික ඉච්ඡාභංගත්වයට පත්වීමක්. ඒ ආවේග තමයි අරවගේ පිටවෙන්නේ. ඇත්තටම ඔවුන්ව ඉතා පරෙස්සමෙන් උපදේශන සේවයකට යොමුකළ යුතුයි.

    ලංකාවේ ගුරුවරුන් අතරින් 10% ක් වත් පරිගණක සාක්ෂරතාව ඇති අය කියලා හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. එදත් එහෙම තමයි විචාරක. කැලේ පැත්තට වැටෙන සමහරු උන් මිරිස් වවාගෙන කුඹුරු වැඩ කරගෙන ආතල් එකේ ඉන්නවා. සමහරු එහෙන්ම තාවකාලික කසාදෙකුත් කරගන්න වෙලාවල් තියෙනවා. එහෙම අනුවර්තනය වෙන්න, අනුගත වෙන්න බැරිවුන අපි වෙන්න ඕනෙ මෝඩයෝ.

      අර අන්තිම වාක්‍ය ගැන මම එච්චර දැනුවත් නෑ විචාරක. ඇයි ඒක මතක් වුනේ එක පාරටම?

      Delete
    2. අන්තිම වාක්‍යයේ තේරුම මේකයි. ගුරුවරුන්ට පරිගණක පුහුණුවකුත් දුන්නා. බොහොමයක් ගුරුවරුන් අත ඔඩොක්කු පරිගණක තිබෙනවා (අමාරුවෙන් ගෙවන්න ගත්ත ඒවා) ගෙදරදී ළමයි ඒවාගෙන් ක්‍රීඩා කරනවා. ගුරුවරයා තමන්ගේ කාලසටහන, පන්තියේ ළමයින්ගේ විස්තර, විදුහලේ වාර්ෂික සැලැස්ම ඒකේ දාගෙන ඉන්නවා. අන්තර්ජාල පරිහරණය බොහොම සීමිතයි. පාඩම් සඳහා බාහිර කරුණු සෙවීමට අන්තර්ජාල පරිහරණය සිදු කෙරෙන්නෙම නැති තරම්. පරිගණක යතුරුලියනය අතිශයින් දුර්වලයි. සිංහල ටයිප් කරන්න දන්නේ ඉතා ටික දෙනයි. අන්තිමට හිතා බැලුවොත් පරිගණකයක් ගත්තේ ඇයි කියලා පිළිතුර වෙන්නේ රැල්ලට ගිහින් ගත්තා ප්‍රචාරණයට රැවටිලා ගත්තා කියන එකයි.

      Delete
  7. අයෝමා කියද්දි හිතේ මැවෙන්නෙම මිස් ට්‍රන්ච්බුල්ව අප්පා. (RoalD Dhal - Matilda) :D

    ඔයා නම් මාරයි ඩූඩ්. නිකම් හරියට ජෙරී ඩරල්ගෙ කතාවක් කියෙව්වා වගේ. උපහාස රසය උපරිමයි. අපේ ගොඩක් ලේඛකයො ලියන්නෙ කිචිකවාගෙන හිනාවෙන්න ඕනෙ විහිලු නිසා මේවගෙ ඒක බොක්කටම වදිනවා. අනික මුලින් හිනාවෙලා පස්සෙ සද්ද නැතුව වැඩිදුර හිතන්න තරම් ගැඹුරකුත් ඔයා වචන පේලි අතරෙ හිස් ඉඩ ඇතුලෙ පුරවනවා.

    ReplyDelete
    Replies
    1. ට්‍රන්ච්බුල් අපේ ගෙදරත් ජනප්‍රිය චරිතයක් වෙලා හිටියා අපි ඔය මූවී එක බලපු අලුත.

      තවත් ප්‍රවීන බ්ලොග්කාරිනියකගෙන් මෙහෙම ප්‍රසංසාවක් අහන්න ලැබෙන එක කොයිතරම් ලොකු දෙයක්ද?

      මම ජෙරී ඩරල් තාම ජීවතුන් අතර ඉන්නවද කියලා පට් පට් ගාලා ජාලෙ සර්ච් කරලා බැලුවා. මොකද නැතිනම් අනියම් මිනීමැරුමකට වග කියන්න වෙයිද කියලා හිතලා මේක දැකලා උන්නැහෙ වෙඩිතියාගෙන මැරුනාම.

      Delete
    2. එයා මැරිලා අවුරුදු විස්සක් විතර වෙනවා. මම ආසම රචකයෙක්.

      Delete
  8. මම හිතාගෙන හිටියෙ අර කලින්ම කතාවෙ බස් එකේ හම්බුන කෙල්ලව ආයෙ හම්බෙයි කියලා

    ReplyDelete
    Replies
    1. නෑ බං නෑ. It's a small world කියන්නේ පට්ටපල් බොරුවක් කියලා මම කිව්වේ ඒකයි.

      Delete
  9. මරු කතා තුන ඩූඩ්. අපිට මරු උනාට ඩූඩ්ට නං ඒ කාලෙ මරු පෙනිල තියෙන්න ඇත්තෙ.
    ඇත්තටම ඔය කියන දේවල් මූණටම කියන උං කවදාවත් පස්සෙන් ඇවිල්ල පිහියෙන් අනින වැඩේ කරන්නෙ නෑ.


    ඔය යක් ඉස්කෝ‍ලෙ මොකද්ද, අර පින්සිබල් ගෙ මඩ පුවක් බැක්අප් එක තිබ්බ ඒවනෙ ඉස්කෝල කියන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. මේ දැනුත් මාර කට්ටක් බං කන්නේ.

      අන්න ඉස්කෝල. අන්න ප්‍රින්සිපල්ලා. යක් ඉස්කෝලෙත් ඉස්කෝලයක්ද බං!

      Delete
  10. උඹේ උත්සාහය අති සාර්ථකයි මචං... සිරාවටම පරිවර්තන වලින් වැහිලා, හරියට පෙනී නොපෙනී හිටපු ඩූඩ් කොච්චර කලුද කියලා හැබෑවට පේන්න ගත්තා වගේ... මීට කලිනුත් උඹ ඔය වගේ ලියපු එකකට මම සප්‍රයිස් වුණා... මේ වතාවේ උඹ තව දුරටත් මාව සප්‍රයිස් කලා කිව්වොත් හරි. උඹේ සාකෑස්ටික් යෙදුම්, හ්‍යුමර් එහෙම පට්ටයි.... ඒ එක්කම ඒ තුල වුණත් උඹේ හැඟීම් උඹ කියවන එකාට දනවනවා කිසි අඩුවක් නැතුව... ටොප් ක්ලාස් ෆොර් මී....

    ReplyDelete
    Replies
    1. බොක්කෙන්ම ස්තුතියි තිසර. මට එක දෙයක් කියාපං. මීට කලිනුත් උඹ සර්ප්‍රයිස් වෙච්ච මං ලියපු පෝස්ට් එක කොයි එකද? ඒක දැන ගන්න ආසයි.

      මම ඉඳහිට පරිවර්තනයක් කලාට පරිවර්තකයෙක් වෙන්න ආසා නෑ. මාව එහෙම හඳුන්වනවා අහන්න ආසත් නෑ. මම මුලින්ම එහෙම දෙයක් කලේ මම කියවලා ආසා හිතිච්ච කතාවක් අනිත් උන්ටත් මව් භාෂාවෙන් කියවලා රසවිඳින්න සලස්වපු එක විතරයි.

      අපි කොච්චර වයසට ගියත් ප්‍රසංසාවක් අහනකොට හිතට ඇතිවෙන සතුට නැතිවෙන්නේ නෑ බං පොඩි කාලෙ වගේම.

      Delete
    2. Thanks Thisara. This helps me to self assess.

      Delete
  11. කතාව විතරක් නෙමෙයි පසුසටහනත් විශේෂයෙන්ම කියෙව්වා. ගොඩක් ලස්ස්නට සහ හිතට වදින විදිහට ලියල තියෙනවා මචෝ...
    පව් අප්පා අයෝමා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොක්කා පුතා,

      ඒයි මොකෝ බං අයෝමා ගැන උඹට දුක හිතුනේ. බලපංකො ඒකෙත් හැටි!

      Delete
    2. අයෝමා කියන්නේ එයාගේ ගතිගුණ නිසාම ප්‍රතික්ෂේප වෙච්ච චරිතයක් බව පෙනෙන නිසා...
      සමහර විට ගෙදර මනුස්සයෙගෙනුත් ලැබිය යුතු දේ නොලැබෙන නිසා ඒවා හිතෙන මවාගෙන තමන්ගේ චරිතයට හානියක් නොවෙන පරිදි කියවිය හැකි බස් ජැක් ගැසීමක් ගැන කියවමින් මානසික වින්දනයක් ලබන තැනැත්තියක් ලෙස මට හිතුන නිසා බං පව් කිව්වේ...

      Delete
  12. අයෝම පලවෙනි දවසෙම අලුත් ඉංග්‍රිසි සර් දැක්ක වෙලේ මොකක් හිතුනද දන්නෙ නෑ , අනේ උන්දැටත් බ්ලොග් එකක් තිබ්බනම් අහගන්න තිබ්බ වරුනාව. බලපල්ල ගුරු විවේකාගාරෙ තියන කෝලං ..හෙක්.

    ReplyDelete
    Replies
    1. හැබෑට අයෝමට බ්ලොග් එකක් තියෙනවනම් මොනවා ලියයිද කියලා උඹ කිව්වට පස්සෙ මටත් හිතුනේ.

      ස්ටාෆ් රූම්වලත් උඹලා ලන්ච් රූම් වල කියන කුණුහබ්බම තමයි බං කියන්නේ.

      Delete
  13. හප්පා,අර කෙල්ලගේ ඉස්කෝලේ මෙතනට එහෙමයි සම්බන්ධ වෙන්නේ එහෙනම්.
    ඩුඩයියාගේ තිත්ත ගුරු සේවයේ කතාව අපි රස කරකර කියෙව්වත් කට්ට කාපු එකානේ එකේ තරම දන්නේ.

    ReplyDelete
    Replies
    1. කට්ට සාපේක්ෂයි බං. ඒක ඒ ඒ අවස්ථාවට (circumstance) අනුව වෙනස් වෙනවා. මම මේ දවස්වල කන කට්ට තව පස්සේ කාලෙකදි මට මහ ලොකු ඩීල් එකක් නෙවෙයි කියලත් හිතෙන්න පුලුවන්

      Delete
  14. මචෝ මේ කතා තුනේම මම පුදුම රසයක් වින්දේ... මම කලිනුත් කිව්වේ උඹ මල්ටි ටැලන්ටඩ් පොරක් කියලා...උඹලා වගේ උන් නොලියන එක තමයි එකම දුක.. උඹෙන් දරුවෝ ඉතරක් නෙමෙයි.. අපිත් සෑහෙන දේවල් ඉගෙන ගන්නවා.. ගොඩක් උන් අදත් කියවන "කූඩැල්ලා" ලිව්වේ උඹට පින් සිද්ද වෙන්න...

    වාර්ථාකරනයකට. ඔහේ කියවාගෙන යාමකට වඩා මොකක්දෝ අමුතු රසයක් මේවයෙ තියෙනවා.. ඒ කිව්වා වගේම ඉට්ටැයිල් තුනක් කියලත් අපූරුවට තේරෙනවා.. එහෙම ලියන්න ලේසී නෑ බං..

    මම හිතනවා මාත් අයෝමා වගේ පොරක් කියලා.. ඔය මල පනින උන්, හිත හොඳ, බොක්කෙ කුණු නැති උන් කියලයි මම නම් අහලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. තැංකූ වේවා මචෝ. මමත් උඹෙන් අහන්න හිටියේ ඇයි උඹ ඊට පස්සේ ඒ කූඩලු මොඩල් කතා නොලිව්වේ කියලා. උඹට inspiration එකක් වෙන්න පුලුවන් වුනානම් ඒක මගෙ ජයග්‍රහණයක්.

      උඹට අයෝමා වගේම වෙන්න බෑ බං. එකක් මම උඹේ පින්තූර දැකලා තියෙනවා. අනික උඹත් හිතනවද අර ගෑණි වගේම බස් එකේ යන උන් ඔක්කොම උඹට ලිංගික අඩන්තේට්ටම් කරන්න බලා ඉන්නවා කියලා? අන්න එහෙම නම්... ඒක වෙනම කතාවක්! :))

      Delete
  15. නැවතීමට විරුද්දත්වය..

    මෙහෙම ඇඩෙන්න ඕනි කතාවක් හිනා වේවි බැලුවමද කොහෙද? අයෝමා ලා වගේම නාලක මල්ලිලා, නිරෝෂා ලා, විජයකුමාරතුංග ලා මේ ඔක්කොම අපේම ජීවිතවල අපි අත්දැකපු චරිත නිසා දැනෙනවා වැඩියි.. අඩුම තරමින් රට අතැරලා යනකන් වත් මේක ඇදගෙන යන්න තිබ්බ අප්පා.. අවුලක් නෑ සමාන්තර විශ්වයක නේ.. :/

    ReplyDelete
    Replies
    1. මේ trilogy එක ඉවර වුනාට කතා ඉවර නෑ. මම එහෙම මුල ඉඳලා සිදුවෙච්ච පිළිවෙලට කතා ලියන පොරකුත් නෙවෙයිනේ. ඉතින් අනිත් දේවල් පස්සෙ ලියන්නම්. හැබැයි මෙහෙම මිනිස්සු depress වෙන කතා ලියන්න මට හිතෙන්නේ නෑ බං වැඩිය. ඒකයි මේක මැද්දටත් antidepressant දාලා ලිව්වෙ. මම ආසා මිනිස්සුන්ට ජීවිතාශාවක් ඇතිවෙන විදියෙ කතා ලියන්නයි.

      ඔව් සමාන්තර විශ්වයෙනේ.

      Delete
  16. ගුරු සේවයේ කතා අහන්නට ලැබෙන්නෙ උඹෙන් විතරයි.අපි නොදන්න ගොඩක් දේවල් ඒ කතාවල තියෙනවා.අර ඉස්කෝලෙ බොරැල්ලෙ තියෙන එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තට කෝ බං අර පියසේන කහඳගමගේ හෙම ලියපු ගුරු සේවයේ රස කතා සෙට් එක? අපරාදේ ඒවා ලියන්නේ නැත්තේ.

      දෙවෙනි ප්‍රශ්ණෙට උත්තරේ 'නෑ' කියන එකයි.

      උඹටත් අමතක වෙන හැටි මේ සමාන්තර විශ්වයක් කියලා.

      Delete
  17. ලංකාවෙ එක එක පැති එක එක විදිහයිනෙ. ඉතින් මොනම පැත්තත් කොයි වගේද කියල තේරුම් ගන්නනං ටික කාලයක් ඒ පැත්තෙ ජීවත් වෙලා බලන්න ඕනි.

    දැන් උදාහරණෙකට නුවරඑළිය අරන් බලන්න. පිටින් යන ගොඩ දෙනෙක්ට නුවරඑළිය ගැන තියන ආකල්පෙ තමයි “ෂා.. හරි සනීප පළාතක්නෙ“ කියන එක. ඒත් මීදුමටයි, මල් තුහින වලටයි යටින් තියන කටුක ගතිය පේන්න ටිකක් හොඳට බලන්න ඕනි. අනිත් හැම පැත්තක් ගැනමත් කියන්න තියෙන්නෙ ඒ ටිකමයි. “යින්“ සහ “යන්“ හැම දේකම තියනවනෙ. හරියටම අයෝම වගේ.

    මට මේක කියවද්දි මතක් වෙන කතා දෙකක් තියනව ඩූඩ්. එකක් තමයි බ්‍රෙත්වේට් සර්ගෙ To Sir, With Love. අනිත් එක රෝල් ඩාල්ගෙ මැටිල්ඩා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත පරිකල්පන. ඒකම තමයි අපිට ගෙදර වන බස්නාහිර පළාතතව කෙනෙකුට දුෂ්කර වගේ දැනෙන්නේ.

      අර To Sir WIth Love මම ගාවා තියෙන වර්ෂන් එක එක පාරටම හදිස්සියෙ ඉවර වෙනවා. කොච්චරක් කැපිලා ගිහින්ද කියලා බලාගන්න ඒක ආයෙම බාන්න වෙනවා. ඒකත් මරු කතාව නේද?

      Delete
  18. Replies
    1. Hey, thanks Senna. BTW, why this cyber silence of yours? Got fed up?

      Delete
    2. no, not at all...too much work load..hardly reading few randomly selected posts. hope to back to normal soon... thanks !

      Delete
  19. අයෝමා කියන චරිතෙ වගේ ඒව නං මුණ ගැහිගම ෑ අපි ඉස්කෝලෙ යන කාලෙ වුණත් ඔය තරං සද්ද දානෙකෙනෙක් හිටියෙ නෑ.. ඒත් හෙන්රි අය්ය කියල තියෙනව වගේ ඔය මිනිස්සු කැපිලි කෙටිලි දන්නෑ සමහර විට ඩෝං ගාල මූනටම කියල දැම්මත් පස්සෙං අනින්නැ...
    අර ජැක් පොට්ටනි කතා නං තමන්ට නැති ආකර්ශනක් මවල පෙන්නන කෙනෙක්ගෙ පොදු මානසික තත්වන් කියලයි මට නං හිතුනෙ

    ReplyDelete
    Replies
    1. පුදුමයි උඹට කට සැර අම්මන්ඩි කෙනෙක් හම්බවෙලා නෑ කිව්වාම. අපිත් එක්ක paper marking එන එක චරිතයක් හිටියා. එයාගෙ අනවර්ත නාමය මරහඬ. හිතාගත්තෑකිනේ වොට්ම කීයක් ඇද්ද කියලා?

      Delete
  20. කතා තුනම මරැ
    මම පුද්ගලිකව මේවට කැමතියි පරිවර්ථන වලට වඩා

    ඒ අයෝමා අපිටත් ඉගැන්නුවද මන්දා :)

    නිලියෙක් බැඳ ගත්තනම් කොහොමද වගේ තිබ්බ කුතුහලයක් තමා ස්ටාෆ් රෑම් වල මොනවද කතා කරන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි JP.
      >>මම පුද්ගලිකව මේවට කැමතියි පරිවර්ථන වලට වඩා<<
      මමත්. පරිවර්තයෙක් කියන අනන්‍යතාවයට මම කැමති නෑ. ස්වතන්ත්‍ර නිර්මාණකරුවෙක්, ලේඛකයෙක්, බ්ලොග්කරුවෙක් කියන අනන්‍යතාවයට මිසක. පරිවර්තන කතා අහඹු සිදුවීමක්. නමුත් ඉඳහිට එහෙමත් කරන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නවා.

      >>ඒ අයෝමා අපිටත් ඉගැන්නුවද මන්දා<<
      අයෝමා? ජාලියගෙ කණ ඇහෙනවා අඩුයි කියලා වයිෆ් කියනවා නම් කතාව ඇත්ත වෙන්න ඇති.

      "නිලියෙක් බැඳ ගත්තනම් කොහොමද" මරු උදාහරණෙ. :))

      Delete
  21. ඔබේ ජිවන ගමන ඇසුරින් ගුරුවරයාගේ චර්යාව ගැන අපුරුම චිත්‍රණයක් සිත් තුළ ඇති කළා. අයෝමා හරහා ලොකු ඛේදවාචකයකුත් ඔබ අප අපට ගෙන හැර දක්වනවා. මේ සියල්ල තුළ හිතන්න බොහෝ දේ තියනවා. අනේ අපි කවදාක හිනැහෙමුද හිටං.

    ReplyDelete
    Replies
    1. ගුරුවරයාගෙ චර්යාව මගෙන් හෝ මෙතන මම සඳහන් කරපු චරිත වලින් විතරක් මනින්න එපා නලීන්. ගුරුවරුත් සමාජෙ පැතිකඩක් නිසා විවිධයි. විෂමයි.

      Delete
  22. ජීවිතේ ගොඩ දාගන්න මොන තරම් නම් කටු කනවද. ඉතින් ඩූඩ් යක් ඉස්කෝලෙන් පස්සෙ ලංකාවෙ ඉස්කෝල එපා වෙලා ගිහින්ද රට පැන්නෙ?

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ගොඩදාගන්න කට්ට කන එක හරියට දියේ නොගිලෙන්න උඩු අතට පීනමින් ඉන්නවා වගේ. නැවැත්තුවද ගිලුනා. මේ දැනුත් එහෙමයි.

      නෑ පිණිබිඳු. අවංකවම කිව්වොත් ආර්ථිකය නිසා. යක් ඉස්කෝලෙන් ආපු දවසේ මට ඇඬුනා. මගෙ සමහර සගයො සහ සගියොත් ඇඬුවා.

      Delete
  23. සමනල විප්ලවේ ගතියක් මේකේ තියෙනවා. මම හිතුවා අර මිහිකත නලවාලා ආවේ, බස් එකේ ගිය නංගි කියලා. බලාගෙන ගියාම කබලෙන් ලිපට වැටීමක් තමයි.

    ReplyDelete
    Replies
    1. උඹට එහෙම හිතෙන්නේ සමාන්තර විශ්වය නිසා. නැතිනම් දේශපාලන කතා එහෙම ලියන්න පරිචයක් මට නෑ ඒ වගේ. මමත් ඒ කතා ඔක්කොම කියෙව්වා.

      උඹලා ඔක්කොම ඒ නංගි එනකල් බලං ඉන්න හැටි!

      Delete
  24. අද මුලින්ම ආවෙ.මෙහි කලින් ලිපි කියවලාම එන්නමි.නැත්තමි මුල මැද නැතිව අග කියවලා දාන කොමන්ටුවෙයි පශු වෛද්‍යවරයාගේ මලගමට ගිහින් දේශපාලඥයකු කරපු කතාවෙයි වෙනසක් නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. ඒත් මට පේන්නේ මනෝ මන්දිරට ෂෝට් කට් එකක් හම්බවෙලා එහෙන්ම යන්න ගිහිල්ල වගේ.

      Delete
    2. හ්මි හ්මි ඒකෙත් පොඩි ඇත්තක් තියනවා.හැමෝම කියන්නේ මනෝ කියලා හින්දා එහෙම කීවම හොදටම ඇති.තවම මුල ටිකක් කියවනවා වෙලාවෙ හැටියට.බිලොග් රෝලට දාගෙන තියෙන්නේ.අපි එනවා මෙ පැත්තට දිගටම.

      Delete
  25. කහඳගමගේ මහත්තය මලා .... එතුමාගේ අවසන් ඉල්ලීම සිගරට සුරුට්ටු බොන්න එපා කියන එක...
    ඒ උනාට දැන් ඩූඩ් ඉන්නව කියල හිත හදාගන්ඩ පුලුවන් ....
    කතා ටික වෙන වෙන style වලට ලියල අන්තිමට එකතු කරපු හැටි නං පට්ට.... ඒක පට්ට යුනික් .....
    අර කව්ද කිව්ව වගේ පරිවර්තන ලිය ලිය ඉන්නෙ නැතුව මේවම ලියන්ඩකො .......


    කැලණිය පැත්තෙ ඉඳල කොලඹ එනකොට ඔයවගේ කන්දක් තියෙන්නෙ ආමර් වීදියට හැරෙන තැන ඉඳල ගෑස් පහට යන පාරෙ .... ඒපාරෙත් තියනව දෙමලයි සිංහලයි ඉස්කෝල දෙකක්ම ....
    එහෙම නැත්නං ග්‍රෑන්ඩ්පාස් පාරෙ.....
    ඒ පාරෙත් ගෑණු පිරිම ඉස්කෝල දෙකක් තියනවා....
    මට හිතෙන්නෙම අර ළමය SJB එකේ කියල ( මම කිව්වෙ ලම්බක විශ්වයේ හොඳේ )
    මං හරිද ඩූඩ් ...???

    ReplyDelete
    Replies
    1. ඇත්තට අනෝපිලිස් එහෙම කියනකල් මම දැනගෙන හිටියේ නෑ.
      අපෝ . කහඳගම කියන්නේ නව කතා, තීරු ලිපි විතරක් නෙවෙයි ඉස්කෝලවල පෙළපොත් පවා ලියපු කෘතහස්ත ලේඛකයෙක්නේ. මං මොකෙක්ද බං.

      ෂර්ලොක් හෝම්ස්, උඹේ ප්‍රශ්ණෙට උත්තර දීම මම ප්‍රතික්ෂේප කරනවා.

      Delete
  26. රළුකම, ගොරහැඩි බව ගෑණිගෙ ජීවන විලාසිතාව - මේවගේ අපූරු චරිතත් අප අතර ඉන්නවා

    ReplyDelete
    Replies
    1. මට හමුවූ අමුතුම චරිත කියලා ටැග් එකකුත් මම පාවිච්චි කරනවා.

      Delete
  27. එල එල.. මල්ලි උඹෙ කතන්දර තුන ඒ අදාල මාර්ග අංක යටතේ ධාවනය වෙන බස් සේවා වගේ එකිනෙකට වෙනස්.

    137 - පිටකොටුව - මොරටුව

    138 - පිටකොටුව - මහරගම

    140 - කොල්ලුපිටිය - වැල්ලම්පිටිය.

    ReplyDelete
    Replies
    1. රවීයියා පිටකොටුව - මොරටුව මාර්ග අංක 100

      Delete
    2. ස්තුතියි රවි සහ මනෝජ්. :D

      Delete

  28. ඔබට වෙලාවක් ඇතිවිට ඉයන්ගේ අඩවියට ඇවිත් යන්න.

    ReplyDelete
  29. මේක කියවන්න් එන්න පරක්කු වුනා, එත් මේ කතාව "අකාලික" කතාවක්. ඩූඩ්.... ඔබ නොලියන එකනම් මහා පාපයක්. මේ ආකාරයේ ලිවීමක් දකින්නට ලැබෙන තාක් ගැන මතක් කරන්නට මට නම් පුළුවන් කමක් නෑ. ඉතාම මනරම්. ලියන්න ඉගෙන ගන්න ඩූඩ්ගෙන් , ස්තුතියි මේ රසය බෙදා දුන්නාට,

    මං නම් පුද්ගලිකව හිතන්නේ දියරෙද්දෙන් බෙල්ල කපන උන්ට වඩා අයෝමලා දහස්වාරයක් හොඳයි කියලයි

    ReplyDelete
    Replies
    1. ඉවාන් වගේ මම ඉතාම ප්‍රිය කරන කෙටිකතාකරුවෙක්ගෙන් එහෙම අහන්න ලැබෙන එක ලොකු දෙයක්.

      ඉවාන්. උඹේඅන්තිම ඡේදය බොහෝ දුරට හරි. නමුත් කට සද්දේ ඔක්කොම වුන් හොඳත් නෑ. නිහඬෞන් ඔක්කොම භයානකත් නෑ.

      Delete
  30. තුනම එක හුස්මට කියවල ඉවර කරා....
    හරිම රසවත්

    ReplyDelete
  31. යන්න කලින් කොක්කත් ගහගෙනම ගියා ඕන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වාකා. මාර වාසනාවන්තයෙක්. මාර කාලකණ්නියෙක්. මාර නමක්. මට ඒනම කියන්නත් මොකක්ද වගේ නිසා උඹට වාකා කියලා කියන්නම්

      Delete
  32. බලාගෙන යනකොට ඔය සේවයෙත් අපූරු රස කතා ගොඩයි.... ඒත් ඉතින් ටීචර්ස්ලා අපිට පෙන්නන්නේ හෙන සීරියස් චරිත කියලනේ...

    ReplyDelete
    Replies
    1. ගුරුවරු කියන්නෙත් වරදවාවටහාගැනීම් වැඩිම සංඛ්‍යාවකට භාජනය වෙන ජීවීන් කොට්ඨාශයක්. මම නම් ගුරුකම ඉස්කෝලෙ ගේට්‍ටුවෙන එලියට ගේන්නේ නෑ.

      Delete
  33. ඩුඩ්.. විස්වාස කරනවා විස්වාස කරන්න. පොස්ට් එක දාල පැයක් ඇතුලත දැකපු එකෙක් වෙලත් මම තාමත් මේකට කොමෙන්ටුවක් හිතනවා. මොකද හැම පේලියක් පේලියක් ගානෙම මට ලියන්න අදහස් ජේද තුන ගානේ එනවා. කතා තුනේ තිබ්බ genreඑක නම් මටත් මීටර් උනා එක පාරටම.

    කොමෙන්ටු දානවා කියල පෝස්ටු කොටන්න බැරි නිසාත් මේ දවස්වල මානසික මට්ටම අවුල් නිසාත් කටපියාගෙන ඉන්න හිතුවේ. මට හිතෙන්නේ කිව්වට මම නුදුරු අනාගතේ මේකට re-reply එකක් දාවි .

    අවසාන කොටසයි කියල දැක්කම එකපාරටම දුකකුයි, සතුටකුයි දැනුනා. සතුට දැනුනේ තුවාලේ අඩු තරමින් වේලිලා ( අලුතෙන් ආපුව නෙවෙයි, මුලික තුවාලේ) කියල හිතුන නිසා. දුකක් දැනුනේ මේ ජාතියෙන් අත්දැකීම් පෝස්ටු තව ලියනවානම් කියල මගේ නරුම හිත නිතර කියන නිසා. මොකද ඔහෙට වෙලා ඉතින් අලුත් ජාතියේ කට්ටක් කනවා කියල මම උපකල්පනය කරන හින්ද. ( හරි හරි ඔබේ කට්ට මගේ ජොලිය වගේ පෙනුනට එහෙම්මම නැහැ හරිද?)

    ඇති නේ...?

    ReplyDelete
    Replies
    1. ඔය දේම මට වෙනවා උපේක්ෂගෙ අර කතාව කියවනකොට. ඒ නිසා මම මොකුත් නොකියා නිකං ඉන්නවා. සමහර දේ එකඟව. සමහර දේ විරුද්ධව.

      ඔව් උපේක්ෂා. දැන් කන්නෙත් මාරම කට්ටක් තමයි.

      ස්තුතියි හිතලා හිතලා දාපු කමෙන්‍ටුවට.

      Delete
  34. හැමෝම අයෝමා ගැන දුක හිතිලා ප්‍රශ්ණ අහල තියෙනවා. මම නම් කැමතියි ඩූඩ් සහ අර නිරෝශා කෙල්ල අතර සිද්ධි තව තිබුණද කියන දැනගන්න. එක්කො ඕන නැහැ ඔයාගෙ ලමයිනුත් මේක බලන එකේ නේද? :)

    ReplyDelete
    Replies
    1. ඉයන්. ස්තුතියි මේ ප්‍රශ්ණෙට. මගෙ පවුලේ අය හරිම අන්ඩස්ටෑන්ඩිං. ඒක නිසා කිසි අවුලක් නෑ. නිරෝෂා කියන්නේ ඉතාම ප්‍රියජනක චරිතයක්. නමුත් ඈ මගෙ හොඳම යාලුවෙක් විතරයි. සමහර චරිත තියෙනවනේ ගැහැණු පිරිමි බේදයකින් තොරව, විවෘතව ඕනෙ දෙයක් කතාකරන්න හැකි චරිත. මේ අන්න ඒවගේ චරිතයක් විතරයි. එහෙම චරිත හුඟක් මගෙ ජීවිතේ හිටියා. ඒ නැතත් ඒ වෙනකොට මම විවාහකයෙක් නිසා මම කිසිදාක එහෙම සම්බන්ධයක් ඇති කරගන්න උත්සාහ ගත්තෙ නෑ. නමුත් ඔය වගේ මිතුරුකම් කෙනෙකුගෙ වරදවා වටහා ගැනීම් වලට ලක්වෙන්න ඇති අර ගැහැණු පිරිමි බව ඉක්මවාගිය මිත්‍රත්වය නිසා.

      Delete
  35. This is the link for the WWII story you mentioned in අනිත්කොණ site.

    ReplyDelete
    Replies
    1. Ian. Wow. Thanks, dude. I really appreciate it.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>