ගුරු පුහුණුවෙන් පස්සේ අපිව ආපහු දැම්මේ, අද කාලෙ සමහර දෙනෙකුට මොනවගේ දෙයක්ද කියලා හිතාගන්නත් අමාරු. අනිවාර්‍ය දුෂ්කර සේවයටයි. ලොකු ලොකු අතු අල්ලන්න අත දිග උන් බොහොම උජාරුවෙන්, පොරත්වයෙන්, ඒ වගේම ආත්ම විශ්වාසයෙන් කිව්වෙ උන් නම් ඕක කියලා හදවා ගන්නවා මිසක, මොන ජාතියෙන්වත් දුෂ්කර , සේවෙට නම් යන්නේ නැති බවයි. එහෙම ලොකු අතු අල්ලන්න හයියන් නොතිබුන, එහෙම තිබුනත් එහෙම කරන්න හිත නොදුන්න අපි වගේ අසරණ, අපතයෝ ටික කලේ, වෙන දේකට මූණ දෙන්න මරණ වරෙන්තුව බාර ගන්න එකයි. ඇරත්, මුලින්ම රජයට තියෙන මේ බැඳීම ඉවරයක් කරලා දැම්මාම, පස්සේ කාලෙක ආයෙ දුෂ්කර සේවෙට එන්න වෙන්නේ නැති බව කියලා අපි හිත හදා ගත්තා.
අපි නොදන්න කමට එහෙම හිතුවත්, මම දන්නා තරමට එහෙම බලපෑම් කරලා කොළඹ නුවර 'සැප' ඉස්කෝලෙකට හදාගත්තවුනට මම දැනුවත්වමනම් ආයෙ කවදාවත් දුශ්කර සේවය කරන්න සයිබීරියාවකට යන්න වුනේ නෑ අපි බයවුනු විදියට. ඒකෙන් ඇත්තටම වුනේ නිර්දේශිත අවුරුදු තුන කට්ට කාලා, අන්තිමේදි ගිවිසුමෙත් තියෙන විදියට තමන්ගෙ ගම් පළාතට මාරුවීමක් ගන්න ගිය අපි වගේ අසරණයන්ට මෙන්න මේ වගේ මරාගෙන මැරෙන්න හිතෙන කතාවක් අහන්න සිදුවීමයි.
"කණගාටුයි. අපිට ඔයාලව/ඔහේලව නිදහස් කරන්න/කරන්ඩ/ කරන්ට බෑ අනුප්‍රාප්තිකයෙක් නැතුව. මෙහෙට එන්න/එන්ඩ/එන්ට කවුරුවත් කැමති නෑනේ."
ඉතිං අපිට ඉතුරුවෙලා තිබ්බේ විකල්ප තුනක් වගෙ සුළු ගාණයි. එක්කෝ ලෝඩ් බකිංහැම් කියන පොර කලා කියලා රවී කියන විදියට රස්සාව දමල ගහලා ආපහු යන එක. එහෙම නැතිනම් මේ මනුස්සකම් නොතේරෙන, පූචානං කතා දොඩවන නිලධාරිවාදයෙන් ඔලුව උදුමවාගත්තු එකෙක් දෙන්නෙක් බාවන එක. නැතිනම් කට්ට කාගෙන දෙන දේ කාලා, වෙන දේ බලාගෙන ඔහේ ඉන්න එක. අන්තිමට කොහොම හරි අවුරුදු තුනකට දුෂ්කර සේවය කරන්න ආපු අපි මෙතනින් නිදහස් වුනේ අවුරුදු හයක්ම මෙතන කට්ට කෑවට පස්සේ. ඒ කතාව මම දැනටමත් කියලා තියෙන්නේ.
බත්තරමුල්ලේ පැළවත්තේ පිහිටලා තිබුන, නමින් ඉසුරුපාය වුනත් 'අපාය' යන සුරතල් නමින් කවුරුත් හඳුන්වන ගොඩනැගිලි සංකීර්ණයේ මහේශාක්‍ය ලීලාවෙන් වැඩ හිටපු ඔලමොට්ටල අධ්‍යාපන ලොක්කන්ගෙ සුපිරි මොළගෙඩි වලින්ගන්න තීරණ අනුව,මට ලැබුනේ (උතුරු) නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, දෙහිඅත්තකණ්ඩියේ, මහවැලි C කලාපයට අයිති අලුතෙන් කැලෑ එලි කරලා ඉදිකරගෙන යන ජනාවාසක්. මගෙ ගැබ්බර බිරිඳට ලැබුනේ දකුණු පළාතේ හම්බන්තොට වීරවිල පැත්තේ පන්නෙගමුවෙ ඉස්කෝලයක්.
දැනට ලංකාවෙ පාසැල්වල සේවය නොකලත්, නිවාඩුවට ලංකාවට ගිය වතාවක දෙකක අපේ මුළු පවුලම අපි ඔය අපා දුක් විඳපු දුෂ්කර ගම්මාන බලන්න ගියා කිව්වොත් ඔබ විශ්වාස කරයිද දන්නේ නෑ. පුදුමෙකට වගේ මට දැනුනේ අතීතකාමයක් වගේම ගෙදර ගියාවගේ හැඟීමක්. මටම පුදුමයි. අර ඉස්සර තිබුණ ගිණි අව්වේ කැකෑරෙන, දූවිල්ලෙන් වැහුණු නරකාදිය වෙනුවට දැන් තියෙන, කොළ පැහැයෙන් වැසුනු සිසිල් ගම් පියස ඔස්සේ හෙමිහිට රියපදවද්දි මට අර සුපුරුදු මං සළකුණු අඳුනාගන්නත් අමාරු වුනා එක පාරටම.
හරි, ඉතිං මම වැඩ බාර ගන්න නරකාදියට බලා පිටත් වුනා කොහොමින් හරි. තාර දාපු පාර බදුල්ල දිස්ත්‍රික්කෙට අයිති ගිරාඳුරුකෝට්ටෙ පහුවුන ගමන්ම දැනුම් දීමකින් තොරව හදිසියෙම නිම වෙනවා. එතනින් එහාට හරියටම ඕස්ට්‍රේලියාවේ අවුට්බැක් කියන ජනශූන්‍ය ලඳු කැලෑවක් වගේ. මහවැලි ව්‍යාපාරෙට අයත් මෝටර් ග්‍රේඩර් යන්ත්‍ර වලින් කැළෑව මැද්දෙන් කපපු, දූවිල්ලෙන් වැහුණ, වල ගොඩැලි බහුල රතු දුඹුරු පැහැති පාරවල් එතැන සිට අනන්තය දක්වා විහිදුනා. සුලබවම දක්නට ඇබුණු පොදු ප්‍රවාහන මාධ්‍යය වුනු, දයාවිරහිත සැඩ අවුරශ්මියට පාන් පෝරණු වගේ ගිණියම් වන, ඉසුසු එල්ෆ් රූට් වෑන් වගේ කසිකබල් බට්ටෝ වෑන්රථ ඇතුලත, පාරෙන් නගින රතු දුහුවිල්ලෙන් පිරුනා. හුස්ම ගැනීම සනාතන අරගලයක් වුනා. කට කාරවන දුහුවිලි රස දිවට උගුරට දැනෙද්දි, පෙනහලු දුවිල්ලෙන් අවහිර වුනා. අන්තිමේදි ගමනාන්තයෙන් වෑන් කටුවෙන් බහින මඟීන් ඝන රතු දූවිලි තට්‍ටුවකින් වැහිලා හිඳීම සාමාන්‍ය දෙයක්. ඇත්තෙන්ම මම දැනටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ මහවැලි ව්‍යාපාරයේ සාදර අනුග්‍රහයෙන් පීඩා විඳින ශ්වසන ආබාධය පටන් ගත්තේ ඔන්න ඔය ආකාරයටයි.
දහඩිය මුගුරු දාගෙන, දූවිලි කාගෙන, අමුවෙන් බාබකියු වෙවී දහ දුක විඳගෙන, ඔතනට ගිහින් ගත කරන්න වෙන ජීවිතයත් ලේසි පාසු එකක් නෙවෙයි. අනිත් හැමදෙයක්ම වගේ කෑම බීම සපයා ගන්න එකත් අභියෝගයක්. ලඟ පාත තිබුණු යන්තමින් අටවාගත්ත කඩවල තිබුන බඩු ගිණි ගනං. පාං හරියට තුනී ලෑලි වගේ. එළවලු කියන්නේ සුඛෝපබෝගී දෙයක්. ඔය කලටියට කඩලා, අව්වේ වේලලා පාට කරලා 'පොල් ගෙඩි' නමින් විකුණපු දේට අපි අද පොල් ගෙඩියකට ගෙවන මිලට ආසන්න මිලක් ගෙව්වා ඒ කාලෙත්.
සතියට අවශ්‍ය කලමනා ගන්න අපි ගියේ ඊලඟ ගමේ තිබුන සුප්‍රසිද්ධ ළිහිණියාගම පොලට. විවාහ වෙච්ච අලුතම අපිට ඒ කාලේ බයිසිකල් කටුවක්වත් තිබුනේ නෑ. පොළටත් අපේ නිල නිවාසේ ඉඳලා කිලෝමීටර් පහ-හයක් තිබුනා.. ළිහිණියාගම පොල දවසට විතරක්, කොස් ගහක කොට්ටෝරුවෙක් හාරපු බෙනයක ඇති තරම්ම පහසුකම් තිබුන, ඒ නිසාම 'කොස් බෙනේ' යන අනවර්ත නමින් හැඳින්වුන, පිටිපස්සේ ලොරි තට්‍ටුව දෙපැත්තේ පිටපලු වලින් ගහපු බංකු දෙකක් අටවලා තිබුන, කෑලි හැලෙන ලොරි කබලක් ආවා ගියා. උදෙන්ම ඇවිත් මේ පිටපලු බංකුවක් අල්ලාගන්න වාසනා ගුණයක් තිබුනොත්, සී කලාපේ වල ගොඩැලි පාරේ උඩ පනිමින් පෙරට ඇදෙන ලොරි කබලේ මැද්දේ අතපය, ගෝනි, මලු, පටලාගෙන එකට කැලතෙන මිනිස් පොදියේ කොටසක්ව, විසිවෙමින්, පෑගෙමින්, පාගමින්, ශාපකරමින්, ශාප ලබමින් යන අවාසනාවන්තයන්ගේ විසූක දස්සන දෙස අනුකම්පාවෙන් බලා ඉන්න පුලුවන් කම ලැබෙනවා. කඩියන් මෙන් නිරන්තරයෙන් එහාට මෙහාට දිවූ මහවැලි සී කලාපයේ සාමාන්‍ය නිල වාහනය වුනු වායු සමනය කල මිට්සුබිෂි පැජෙරෝ ජීප් රථවලින් නැගෙන රතු දුඹුරු දූවිලි වලාකුලෙන්, කොස් බෙනේ ගමන් කරපු පීඩිත ජනතාව නොහොත්, මහවැලි නිලදරුවන් 'සෙට්ටන්' නමින් හැඳින්වූ ජාන පදිකයන් නැහැවුනා. (ජාන පදිකයන් මම සිතෙන් හැඳින්වුයේ 'gene riders' නමින් )
ඒ නම් හොදි අනවශ්‍ය, කට්ටෙත් කැල්සියම් බහුලම කට්ට විය.
කොස්බෙනෙත් ආපු දවස්වලට වඩා නාපු දවස් වැඩිය. එවන් තවත් බියකරු දවසක පොලෙන් ගත් බර බඩු මලු දෙකක් කර ඔසවාගත් මා, දරාගත නොහැකි ගිණි පූටක අව්වේ, කරවල වේලන දාහයේ ඉහින් කණින් දහඩිය පෙරමින් ගෙදර දිහාට ගාටමින් හිටියා. ඔවැනි වෙලාවට මම, කරන්න බැරි වගේ පෙනෙන මහා විශාල දුෂ්කර කාර්යයන් , කරන්න පුලුවන් පුංචි කොටස් වලට මනසින් කඩාගෙන කරන්න පුරුදු වෙලා හිටියා. මෙතනදිත් මම ළිහිණියාගම පොලේ සිට මාවනාගම ඉස්කෝලෙට ඇති මුලු දුර ගැන හිතුවෙ නෑ, මොකද එහෙම කලොත් ඉච්ඡා භංගත්වයට පත්වෙන්න මානසිකව වැටෙන්න පුලුවන් නිසා. මම කලේ මේ කිලෝමීටර් පහක පමණ ගමන මීටර් සීයේ වගේ පොඩි කොටස් වලට කඩාගෙන ඒ මීටර් සීය ගැන විතරක් හිතන එක. ඒ වගේ කොටසක්, එන්න එන්න බර වැඩි වෙන බඩු මලු දෙකත් ඔසවාගෙන තරණය කරන මම, වැයවුනු ශක්තිය නැවත ලැබෙන තෙක් පොඩි පොඩි විවේක ගත්තා. සමහරවිට මටම සිගරැට්‍ටුවකින් සංග්‍රහ කරගත්තා. මග විවේක ගන්න මාව පසු කරගෙන මහවැලියේ වායු සමනය කරපු 4WD පැජෙරෝ ජීප් ඉගිල්ලුනේ ඉන් නැගුනු දූවිලි වලාකුලෙන් මාව තවත් පීඩාවට පත්කරමින්.
ඒ ඇස් නිලංකාර කරවන සැඩ අවු කූටකෙත් මගේ ආත්මය වසාගෙන පැතිරිලා තිබුනේ මූසල අඳුරක්. මම මාවනාගමට, දෙහිඅත්තකණ්ඩියට, අම්පාරට විතරක් නෙවෙයි, මුලු වියලි කලාපයටම වෛර කලා. වියලි කලාපයෙත්, මිටි පඳුරු සහිත ශුෂ්ක ශාඛ වලට, පසට, දේශගුණයට,අව්වට ඇතුලු මාව පීඩාවට පත්කරපු මේ හැමදෙයකටම ශාප කලා. මාව පහුකරගෙන ගිය සැප වාහන වලට සහ මාව නොදැක්ක ගානට ඒවායේ ගිය උන්ට මම හෙන ඉල්ලුවා. මාව පණපිටින් දවා හලුකරන්න උත්සාහ කරන ඉරට මම සාප කලා. (පුදුමෙකට වගේ මේ මොහොතේ, ඒ ගිණිගහන අවුවේ මට සීතලක් දැනෙන්න පටන් ගත්තා. සමහරවිට ස්වයංක්‍රීය ආරක්ෂක උපක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ගත්තා වෙන්න ඇති.)
මේ ඔක්කොටම වඩා මම වෛරකලේ ඉසුරුපායේ වායු සමනය කරපු කුටිවලට වැදී, තමන්ගේම මොළගෙඩි මත සැපට අසුන්ගෙන, අපේ ඉරණම හසුරවපු ගුදවංශලට සහ භගමනීලට. මගෙ හිතට නැගුනු කුණුහරුප වරුසාව මහා හඬින් කටින් පිටවෙන්න නොදී රඳවගන්න ගත්ත උත්සාහයට මට දත්කූරු හැපුනා. ඊ ලඟට වුන දේ ඇසුවාම ඔබ අනිවාර්යයෙන් කියාවි ඒක එක්කෝ මායා දර්ශණයක් කියලා අර අවුවේ වැඩි වෙලා හිටියාම හැදෙන සන්ස්ට්‍රෝක් වගේ අමාරුවක් කියලා.
කොහෙත්ම මගෙ 'ස්ටයිල් එක' නොවුනත්, මම බැරිම තැන එක බඩු මල්ලක් උරහිසක් උඩට ගත්තා. හරියටම නිලනිවාසෙට කිලෝමීටරයක් විතර තියෙද්දි මට එක්වරම ඇහුනේ කවුදෝ මහ හඬින් කොක් හඬලා සිනාසෙන හඬ, හරියටම වූඩි වුඩ්පෙකර්ගෙ හිනාව වගේ.
"හි-හි-හි හී-හෝ !"
"හි-හි-හි හී-හෝ !"
මම ආපහු හැරිලා බැලුවා. කවුරුවත් නෑ පේන තෙක් මානෙක. ගිණිඅව්වේ කැකෑරෙන ඉරිතැලූ ගුරුපාර හිස්. ඔන්න එතකොටම මට ආයෙම ඇහුනා ඒ හඬ. ඒ එක්කම මම දැක්කා හඬේ මූලාශ්‍රය.
පොලේ වෙළෙන්දගෙන් බැණුම් අහගෙන මම පරිස්සමෙන් තෝරාගත්ත තක්කාලි වලට මූණු ඇවිත්. නිකං මූණු නෙවෙයි, සමච්චල් මූණු. කෝචොක් මූණු! උන් මට හිනා වෙනවා! මගෙම කර උඩ නැගලා යන ගමන්, මටම කෝචොක් කරනවා විනිවිද පේන ප්ලාස්ටික් මල්ල හරහා.
"These are the best years of your life, hey dude..."මම පණ ඇරගෙන ප්‍රියකරපු බ්‍රයන් ඇඩම්ස්ගෙ "Summer of 69" ගීතයේ පේලියක් එක තක්කාලියෙක් කණ බීරි වෙන හඬින් ගායනා කලේ වචන පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා, මගෙ ප්‍රියතම ගීතයක් දූෂණය කරමින්. ඒත් එක්කම කණ පසාරු කරගෙන යන රොක් තනුවක් ඉලෙක්ට්‍රික් ගිටාර්වල වාදනය වුනා ඔලුව ඇතුලෙම, ඒ එක්කම ඩ්‍රම්ස් වාදනයත් පපුවට පයින් ගහන්න ගත්තා.
"උඹේ ජීවිතේ හොඳම කාලෙ මේ කාන්තාරෙ අපා දුක් විඳින්නේ හියැක් හූ..." රතු පාට තක්කලියෙක් කොක්හැඬලෑවා.
"යකෝ අපි නම් කොළඹ ඉස්කෝලවල ආතල් එකේ ඉන්නවා. ඇත්තම කිව්වොත් මචං, මම දැං වැඩ කරන්නේ උඹ ඉගෙනගත්ත සුලෝහිතේ, හීක් හූ" රතු තර තක්කාලියෙක් කෙකර ගෑවා.
මට මේක තවත් නම් දරාගන්න බෑ.
"කට වහපියව් @&%ගෙ පුතාල. උඹලා මායාවල්. උඹලා ඇත්ත නෙවෙයි, ආත්මානුකම්පාව සහ කෝපාග්නිය ඉහවහ ගිය මම බෙරිහන් දුන්නා,
“We won’t give you a transfer back home till you rot in this hellhole in your own juice!!” නිලධාරිවාදයෙන් ඉදිමුණ ඉසුරුපා මූණක් ඇති තක්කලියා තර්ජනය කලා.
"බොහෝම කණගාටුයි නමුත් අනුප්‍රාප්තිකයෙක් නැතුව අපිට ඔයාව නිදහස් කරන්න බෑ කොහෙත්ම," පුදුමෙකට වගේ කළාප අධ්‍යාපන කාර්යාල මූණක් තිබුන මේ තක්කලියගෙ කටහඬ ඇහුණේ මරදානෙ දුම්රියපොලේ මහජන ඇමතුම් පද්ධතිය තුලින්, නමුත් තේරුම් ගන්න හැකි ආකාරයකට.
"උඹ කවදහරි මෙතනින් නිදහස් වෙලා යනකොට මචං, උඹ චමින්දකෙනෙක් වෙලා ඉඳී. හැට පැනලා, හොට බිම ඇනිලා...." මට මූණ හරියටම අඳුනාගන්න බැරු වුන පරපීඩාකාමුකතක්කාලියෙක් නියෙව්වා.
ඔන්න ඔය මොහොතේ මට තේරුණා 'දොහ්ක්-දොහ්ක්' හඬින් වදින ඩ්‍රම් හඬත්, විලාප දෙන ගිටාර් හඬත් මට නොදැනිම "Hotel California" ගීතයේ හැඳින්වීමට මාරුවී ඇති බව.
“'Relax,' said the night man,
We are programmed to receive.
You can checkout any time you like,
but you can never leave.. (ගිටාර් විලාප දෙමින්)
Welcome to the Hotel California
Such a lovely place
Such a lovely place (පසුබිම් හඬ -අත්වැල් ගායනය )
Such a lovely face
They livin' it up at the Hotel California
What a nice surprise
what a nice surprise (පසුබිම් හඬ -අත්වැල් ගායනය)
bring your alibis..!”
මේ තක්කලි "&^*ගෙ පුතාලගෙ අම්මලට @%&&&..."
මගෙ අත කිටි කිටියේ මිට මෙලවෙනවා මට දැනුනා. මිට මෙලවුනු මගේම අත, නැවත නැවතත්, තක්කලි මූණවල් එකකින් එකක් හඳුනාගත් නොහැකි තරම් විරූපීව, තක්කාලි ඉස්ම ලේ විලක පාවෙන තෙක් ප්ලාස්ටික් මල්ලට පහර දෙනු මම බලාහිටියේ සන්ත්‍රාසයෙන්. මගේ ඇස් කඳුලින් බොඳවෙලා තිබුනා. කඳුලු වැල් කම්මුල් දිගේ ගලාගෙන බැස්සා. සමච්චල් හිනාව අඩුවෙලා නැවතිලාම ගියා. නිහැඬියාව ආයෙත් රජකරන්න ගත්තා. මහවැලි රිසවේෂන් ඉඩමේ තිබුණු ලඳුකැලෑව හරහා වැටුණු කෙටි පාරෙන් නිල නිවාසය පැත්තට ගමන් කල මා, කටු කම්බි පොට ඔසවා, ඉස්කෝලෙ වත්තට පැන්නා. දීපා දරුපැටියත් එක්ක පෝර්ච් එකේ ඉඳගෙන බලාගෙන හිටියා. මොකක් හරි වරදක් වෙලා ඇති බව ඇයට වැටහුනා මම හිතන්නේ.
"දීපා," මම කිව්වා. "තක්කාලි වලට මොකද වුනේ කියලා නම් දැං අහන්නෙපා. මම ෂුවර් එකටම පස්සේ කියන්නම්."
කිව්වත් වගේ ඈ තක්කාලි ගැන ඇහුවෙම නෑ. මම පස්සේ දවසක කතාව කියලා දානකල්ම
පසු වදන:
එදා මෙදා අතරතුර මම මේ කතාව සිදුවුනු හැටියෙන්ම කිහිපදෙනෙකුටම කියලා තියෙනවා, නමුත් කිසිකෙනෙක් ඒක විශ්වාස කල බව මම හිතන්නේ නෑ. කතාව අහන වුන්ගෙ මූණේ මුලින්ම මතුවෙන්නේ අවිශ්වාසය මිශ්‍ර හාස්‍යයක්. ඉන් පස්සේ අනුකම්පාවක් වගේ දෙයක්. ඉන් පස්සේ හැමෝම වගේ මගෙ ඇස් මග අරිනවා. මම මේ උඹලට කියන්නේ, මාව විශ්වාස කරපල්ලා. මේ කතාවෙ වචනයක් වචනයක් පාසා, සහතික ඇත්ත. මේ දේ ඒ විදියටම සිද්ද වුනා.
henryblogwalker on The Nightmare Years.
මෙය 2011 වසරේ අගෝස්තු 9වන දින HeyDude ඉංග්‍රීසි බ්ලොග් අඩවියේ “DEEPA, PLEASE DON’T ASK WHAT HAPPENED TO THE TOMATOES!!!" (THE TEASING TOMATO DUDES WITH AN ATTITUDE)නමින් මුලින් පළවූ බ්ලොග් ලිපියේ සිංහල අනුවාදයකි.
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.
Tuesday, March 22, 2016
148. දීපා, තක්කාලි වලට මොකද වුනේ කියල නං අහන්නෙපා.
Labels:
Ampara,
Drama In Real Life,
The Nightmare Years
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
Show Emoticons
77 comments:
වැඩ දාලා කමෙන්ට් කරන්න:
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
නා ගන්නෙ නැතුව HTML දාන්න.
ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>
Subscribe to:
Post Comments (Atom)
ඇත්තම කියල හිතා ගන්නං. මොකද මටත් ඔය ආකාරයේම ඒත් වෙනස් සංතෑසි දෙක තුනක් වෙලා ත්යෙනව හැබැයි අමුර්තය වගේ සත්තලං පාට සෝක් සුවිස්තියක් ගහල හිටපු අවස්තාවල. බොලාත් අවිදං ආපු පාරෙ අහල පහල සුවිස්ති ගස් තිබ්බද දන්නෑ... අර සිදුහත්ට උනා වගේ...
ReplyDeleteනෑ බං. මේ අමුම අමුවට. (නිකටීන් නොසලකා හැරියොත්)
Deleteනිකටීන් ද නිකොටින්ද
Deletenicotine /nɪk.ə.tin/ නිකටීන්.
Deleteඔය සුද්දගෙ බාසාවේ බං අකුරු තියෙන විදියටම කියවන්නේ නෑයි කියලා උඹ දන්නවෙනේ. :D
ළමයින්ට නොගහ තක්කාලි වලින් පමණක් පළි ගත්ත එක බොහොම හොඳයි.
ReplyDeleteගුරුවරු ළමයින්ට ගැහුවේ කොයි කාලෙද බං, ළමයිනුයි දෙමව්පියොයි ගුරුවරුන්ට ගහනවා මිසක?
Deleteහරි ඩූඩ් අයිය කියන නිසාම විෂවාස කරන්නම්.
ReplyDeleteඅර ඉසුරු පායේ ඉන්න මැටි හරක් තවමත් ඔය වගේමයි. මං හිතන්නේ ඉන්න මැට්ටො ටික දාන්න වෙන තැනක් නැතුව වෙන්නැති මෙතනට එවන්නේ.
කසුන්, ඒක හදන්න පුලුවන් තැනක් නෙවේ. ඒක මම හිතන්නේ භූමි දෝශයක්.
Deleteකතාව නම් ඉතින් උඹම කියනනිසා විස්වාස කරන්න වෙනවනේ.දීපාගෙන් තක්කලි ගැන නෙමෙයි අහන්න තියෙන්නේ මේ හොඳට ලියලියා හිටපු හෙන්රිට මොකද වෙලා තියෙන්නෙ කියලයි.86 විතර ගිරඳුරුකෝට්ටේ ගිහින් තියනවා .
ReplyDeleteපද්මකුමාර
දැන් එහෙම ලියන්න බෑ මචං මේ පොලිටිකල් කරෙක්ට්නස් නිසා. අනික stereotype වෙන නිසා. දැන් බලහං, බ්‍රසල්ස්වලට ගහපු එකට දුක් වෙන්න කලින් අපි ලෙබනන් ගහපු එකට දුක් වෙලා තිබුනේ නැතිනම් අපි යුරෝපයට කත් අදින බැලයො හැටියට හංවඩු ගැහෙනවා. ඒ නිසා සද්ද නැතුව ඉන්න ඕනෙ. දැං හිතහං අපි සිරියාවෙ ගහපු එකට දුක් වුනා කියලා. එතකොට අපිම බලන්න ඕනෙ එදා අරංතලාවෙ ගහපු එකට අපි FB status දාලා දුක්වුනාද කියලා. ඉතිං මචන් ඊට හොඳයි සද්ද නැතුව නිකං ඉන්නවා.
Deleteමම 86 ගිරාඳුරු කෝට්ටේ දැකලාවත් නෑ. මේ ඊට පස්සෙ. ඒක නෙවෙයි උඹ මොකද එහෙ ගියේ?
මම ගියේ රස්සාවකට නම් නෙමෙයි.මගේ මස්සිනා මහත්තයා ගිරාඳුරුකෝට්ටේ ඔය මහවැලියෙම හිටිය.ඉතින් එයයි නංගිවයි බලන්න තමයි ගියේ.අන්තිමට මිනිහ නුවරගල I.E වෙලා හිටිය. ඒ ගියාට මම වැඩිය ඇවිදල නම් නෑ ඔය පලාතේ.ඔය කියන මහවැලියේ පැජෙරෝ වගේම වැඩ කරන අය්ට රුපියල් 15000 කට දීල තිබුන CG 125 බයිසිකල් මතකද? මස්සිනා මහත්තයා මෙච්චර කල් ඒක තියාගෙන ඉඳලා අවුරුද්දකට විතර කලින් විකුනලා තිබුන මම එපා කියද්දී.
Deleteඅනේ මේ ඔය පොලිටිකල් කරෙක්ට්නස් හොයන එවුන්ගේ ආච්චිලාට රයිස් ගරන්න කියලා ලියපං බං.ඕවට සෙන්සිටිව් වෙන්න ගියොත් වෙන්නෙ වෙද මහත්තයා පොලට ගිහිං පතෝලයි වැටකොලුයි විතරක් අරගෙන ගෙදර ආව එකේ අනික.
Deleteමට තාම හිතා ගන්න බෑ උඹ මේ අවුරුදු හයේ කට්ට කෑවේ කොහොමද කියල. සමහර විට මේ වගේ සින්දු කියන තක්කාලි තිබ්බ හින්දම හිටිය වෙන්නත් ඇති
ReplyDeleteයකෝ එතකොට අපි විතරක්ද මේ කට්ට කාලා තියෙන්නේ? උඹ කට්ට කාලා නෑ කියනකොට ඉරිසියාවේ බැරුවා.
Deleteළමයින්ට අඩංතේට්ටං කරේ නැනේද
ReplyDeleteඋඹත් දැන් ඉසුරුපායෙද බං වැඩ? ඒකෙ උන් අහන්නෙත් ඔය වගේ ප්‍රශ්ණ?
Deleteඋඹ දන්නවද අයියේ ඔය බිල්ඩිමත් දෙකට පැලිලාලු තියෙන්නේ ( පැලැස්තර දාල වහල )
Deleteඅම්මපා කියහං. ඒකනං වෙන්න පුලුවං බං. :D
Deleteසමහරවිට අව්ව, ආත්මානුකම්පාව, කේන්තිය එක්ක මැවුණ මනෝ විකාරාත්මක දර්ශනයක් වෙන්න පුලුවන් කියමුකො. ඒත් හෙන්රි අය්ය ඔයිට සමීප අත්දැකීම් නැති අයට ඕව කියද්දි අර වගේ ප්‍රතිචාර සාමාන්‍යයි.
ReplyDeleteඇත්ත අපිටත් නෑ. ඒත් එහෙම නොවුඛය කියන්න යන්නෙ නෑ. මොකද අවස්ථාව හැමදේම වෙනස් කරන හිංද..
දිගාමඬුල්ලේ ආශ්චර්යය කියවල තියේද. ඒක ඇවිල්ල ලංකාවට නිදහස හම්බෙලා අවුරුදු තුනකටපස්සෙ අම්පාරට යන ගුරුවරයකු ට මුහුණ දෙන්න වුණ සත්‍ය සිදුවීම් ඇතුලත් පොතක්. මේ වෙද්දි න ං වනවිත්ති සාහිත්‍ය ට ඇතුලත් වෙලා ඉවරයි. කියවල බලන්න කර්තෘ මායාරංජන්
මම ඒ පොත කියවලා තියෙනවා මහේෂ්. පියසේන කහඳගමගේ ලියපු දේ උඹ කියවලා තියෙනවද ඔය පැත්ත ගැනම, ගුරු සේවයේ රසකතා ඇතුළුව?
Deleteඋඹ ඔච්චර පරසක්වල ගහලා කියන එකේ විශ්වාස නොකර ඔහොමද ? ඔහොම ඒවා වෙනවා කියලා අහලා තිබුනට ඒ වගේ අත්දැකිමක් විඳපුම එකෙක්ගෙන් ඔය ඇහුවමයි..
ReplyDeleteඇත්තටම අර කාන්තාරෙට ගිහිල්ලවත් අපි ඔච්චර කට්ටක් කෑවෙ නෑනෙ බන්... සමස්ත පද්ධතියෙම මොකක් හරි අවුලක් තියනවා.. නිළධාරිවාදය ඒක ගානට ඔද්දල් කරනවා....
ඔය තත්වේ තාමත් ඔහොමමද බන් ? අලුතෙන් යන ගුරුවරුන්ටත් ඔය කට්ට ඔහොමම කන්න වෙනවද ?
එහෙම නොවුනානම් මම අච්චර අමාරුවෙන් ගෙනා තක්කලි ටික තලයිද බං?
Deleteඔය තත්වෙ තාමත් ඔහොමද කියලා මගෙන් නම් ඇහුවට වැඩක් නෑ සෙන්නෝ. ඒක අහන්න ඕනෙ ඔහේ ඉන්න කෙනෙක්ගෙන්මයි. හැබැයි දැන් දෙහිඅත්තකණ්ඩිය එහෙම නෙවෙයි කියලා නම් මම හොඳාකාරව දන්නවා.
මත්තල අළුත් පාරවල් හදන කාලෙ නිවාඩු දවසක තට්ට තනියෙන් ගිණි අව්වෙ,පාළු පාරෙ ඈත කොණක තනි උන වෙලාවෙ ඔය වගේ උනා.පාට පාට පෙනිල ඇස් වලින් එලි පිට වෙනවා වගේ උනාම ෆයිල් එක ඔලුව උඩින් අල්ලගෙන බිම ඉඳගත්තා මතකයි.ඒ රස්නෙ මැද සිගරට් එකක් බොන්න ගිහින් භාගයක් බොනකොට කැරකිල්ල හැදුනා කියන්නෙත් බොරු නෙමෙයි....
ReplyDelete(මේ පෝස්ට් එක කලින් දැක්ක නම් මගෙ 'හිස්තැන' පෝස්ටුව වෙනස් වෙනවා.)
ජයවේවා..!!
අන්න ඒ අත්දැකීම ලබපු එකෙක්. උඹට අව්වේ එක පාරටම සීතල දැනිලා නැද්ද?
Deleteමහවැලි කලාපෙට හැඩගැහෙන්න බැරි උනොත් අති දුෂ්කරයි තමයි. මහවැලි ජනපද හදන කාලෙ දූවිලි පාරවල් වල මමත් පොඩි එකෙක් විදිහට ඇතිවෙන්ඩ ගිහින් තියනව පජරෝ එක වගේම L200 කැබ් එකයි තව 4DR5 ජීප් එකයි වැඩිය තිබ්බෙ.
ReplyDeleteඑහෙ දුෂ්කර ජීවිතේට හුරු වෙච්චි අපේ මාමෙක් දැන් ලක්සෙට කොඩි දාගෙන ඉන්නව. තව එක්කෙනෙක් බේතක් වැරදිලා මැරුණ .
ඔව පැජෙරෝ වලට අමතරව අර මිට්සුබිෂි ජීප් එක තිබුනා තමයි 4DR5 එන්ජිම එක්ක.
Deleteහැඩ ගැහෙන එකත් මෙහෙමයි කම්මලේ. සමහරු පොඩි කාලෙ ඉඳම්ම බිස්නස් මයින්ඩඩ්. අපි ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෝ ගැන හිතනකොට තව එකෙක් හිටියා ඌ හිතුවේ දෑවැද්ද ගැන. ඌ හෙව්වේ කෙල්ලගෙ තාත්ත කෙරුමෙක්ද නැද්ද, වාහන ගෙවල් දොරවල් තියෙනවද වගේ දේවල්. තව එවුන් හිතුවේ බිස්නස් පටන් ගන්න හැටි, ලක්ෂපතියෙක් වෙන හැටි වගේ.
එතකොට දුෂ්කර ගියාම ඒක ඉල්ලමක් කරගන්න එවුනුත් හිටියා. අපි පන දාගෙන ළමයින්ට උගන්නද්දි කුඹුරු වැඩ කරපු උන් මිරිස් වගා කරපු උන්, වගා නොකරන උන්ගේ ඉඩම් වල මිනිස්සු දාලා වැඩ කරවපු උන්, ළමයිව ගෙන්නගෙන ඒ කුඹුරුවල අස්වැන්න නෙළපු උනුත් හිටියා. ඒවගේම ඒ පැත්තෙන්ම කසාද කරගෙන බින්න බැහැපු උනුත් හිටියා.
මට එහෙම වෙන්න හරි එහෙම හැඩ ගැහෙන්න හරි ඕනෙ වුනේ නෑ. අපි ඒකට ප්‍රතිරෝදයක් දක්වගෙන හිටියේ.
දැන් මම හරිද උන් හරිද කියන එක උඹම තීරණය කරපං. :D
අඩෝ කම්මලයා , කනපාගන්ඩ එපා හරි , හෙන්රියා හරියි කියාපිය
Deleteමහවැලි වල් කලාපය කියා ප්‍රදේශවාසීන් හඳුන්වන, මහවැලි එල් කලාපයේ දුෂ්කර සේවයේ යෙදෙන ගුරුවරුන් විඳින දුක මම දෑහින් දැක්කා. වෙන කිසිම රාජ්‍ය සේවයකට වඩා, (මොනවාහරි ප්‍රතිලාභයක් දෙනවා නම් ගුරුවරයා රාජ්‍ය සේවකයෙක් නෙවෙයි. පඩියෙන් මොනවාහරි කපාගන්නවා නම් ගුරුවරයා රාජ්‍ය සේවකයෙක්) දුක්විඳිම වැඩියි දුෂ්කර ගුරු සේවයේදී.
ReplyDeleteහැබැයි මහවැලි කලාපවල පැලපදියම් වෙලා, පුංචි එළවලු වගාවකින්, කුඹුරකින්, හේනකින්, කඩයකින්, ගොඩගිය අය, අද ගුරු වෘත්තියෙන් ඉවත්වී, ලොකු ව්‍යාපාරිකයන් වෙලා ඉන්නවා.
>>මොනවාහරි ප්‍රතිලාභයක් දෙනවා නම් ගුරුවරයා රාජ්‍ය සේවකයෙක් නෙවෙයි. පඩියෙන් මොනවාහරි කපාගන්නවා නම් ගුරුවරයා රාජ්‍ය සේවකයෙක්<<
Deleteමේ කතාව හරියට හරි.
අනිත් කරුණ ගැන නම් ඔය කම්මලයට දීපු උත්තරේම තමයි මට දෙන්න තියෙන්නේ.
කණගාටුයි. අපිට ඔයාලව/ඔහේලව නිදහස් කරන්න/කරන්ඩ/ කරන්ට බෑ අනුප්‍රාප්තිකයෙක් නැතුව. මෙහෙට එන්න/එන්ඩ/එන්ට කවුරුවත් කැමති නෑනේ."////// අපිටත් ඔය කතා කිව්වා .
ReplyDeleteමුල් පත්වීම ගෙන ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ලෙස කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට පැමිණි මා හට විශාල දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු විය. කොලොන්ගොඩ යනු මිනිපේ දිස්ත්‍රික්කයේ තිබූ නොදියුණු ගමකි. රෝහල ගරා වැටී තිබේ. දුරකථන පහසුකම් නැත. පිරිසිදු වතුර නැත. බෙහෙත් හිඟය. හරි හමන් කඩයක් හෝටලයක් නැත. පාරවල් චන්ද්‍රයාගේ ආවාට වැනිය. However වර්තමානයේ සියළු සැප පහසුකම් සමග පළවන ලෝකයේ ජීවත් වූවද දුරකථන පාරවල් නොතිබූ නොදියුණු ගමක ඒ ගත කල කාලය මම මහත්සේ අගය කරමි.
ReplyDeleteදීපා ඔය මිණිපේ ඉස්කෝලෙත්, පාර අයිනේ තිබිච්ච හසලක ඉස්කෝලෙත් දෙකේම වැඩ කලා. අර ඉස්කෝලෙ විදුහල්පති වෙලා හිටියේ නාරම්පනාව කියලා වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්.
Deleteමහවැලි කලාපයේ වැඩ කරද්දි ලැබුනු තෑග්ග නිසා ඩූඩ් තවමත් දුක්විදින බව දකිනකොට දුකයි.ඒ දූවිල්ල එසේ මෙසේ දූවිල්ලක් නෙවි කියලා මමත් අත්දැකලා තියනවා..
ReplyDeleteකොහෙම වුනත් ඒ කාලේ ළමයි ගැනත් මොනවා හරි ලියන්න පුළුවන් නම් වටිනවා ඩූඩ්...සමහර වෙලාවට කොච්චර දක්ෂ වුනත් අවස්ථාව නොලැබීමේ අවාසනාව නිසා අසරණ වුනු ළමයි ගැන..
ඩූඩ් මොකද කියන්නේ..
ඔව් රූ. ඒ මදිවට මේ ආයුර්වේද හොරෙක් ඒ අමාරුව අමාරුම අඩියකට ගෙනාවා. ඌ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න ඕනෙ.
Deleteඒ කාලෙ ගැන මම තව කතා කීපයක් ලියලා තියෙනවා. අර මඩපුවක් බැකප් එක, අපේ ඉංගිරිසි සර් වගේ කතා දෙක තුනක්ම.
එහෙ ළමයින්ට තිබුනේ අවස්තාව නැති නිසා අසරණවීමට වඩා, පුදුම මන්දෝත්සාහී කමක්. ඒකිව්වේ දෙමව්පියන්ට උවමනාවකුත් නෑ, ළමයින්ටත් ලොකු හීන තිබුනෙත් නෑ.
ආයෙ ලියන්නම්.
නොලියන එකනේ හෙනේ
Deleteඑකෙන්ම විස්වාස කරනවා.... මට ඔය ජාතියේ එව්වා පේන එක තියෙන හින්දා විස්සාස නොකර කොහොමද?
ReplyDeleteනොදකින් මේ සිස්ටම් එක නම්.
පිස්සු තේරුම් ගත හැක්කේ තවත් පිස්සෙකුටම පමණි.
Deleteසිස්ටම් එකනම් නොදෝමකින්
ලංකාවෙ මේව විස්වාස කරන්න බැරි කතා නෙමෙයි. ඔච්චර දුර යන්න ඕන නෑ මේ සූරියවැව පැත්තෙන් උනත් පොඩ්ඩක් ඇතුලට ගියාම තත්වෙත් ඔයිට කිට්ටුයි.
ReplyDeleteහැබැයි ඉතිං ඒ කාලෙ ඒ කට්ට කාගෙන ඒ පැතිවලම ජීවිතේ ගෙවුව උන් දැන් හොඳ තත්වෙක ඉන්නව.
මම හිතන්නෙ ඩූඩ් ට ප්‍රශ්නෙ උග්‍ර වෙලා තියෙන්නෙ ඒ වෙනකොටත් කසාද බැඳල හිටපු එක වෙන්න ඇති. නැත්තං අර රවී අයිය වගේ ඔය කැලෑ වලට වෙලා ආතල් ජීවිතයක් ගතකරන්න තිබුණ.
මොනව උන් බොලා අර දුප්පත් ළමයින්ගෙන් පලිගන්නෙ නැතුව තක්කාලි වලින් පලිගත්ත එක අගය කරන්න වෙනව.
ප්‍රසන්න, උඹ අද එතනට ගූගල් ස්ට්‍රීට් ව්‍යු එකෙන් ගිහින් බැලුවොත් උඹට පුදුම හිතෙයි මම මේ කතාකරන්නේ එකම තැන ගැනද කියලා. ලැප්ටොප් එකක්, ස්මාට් ෆෝන් එකක්, ඉන්ටනෙට් කනෙක්ෂන් එකක්, වාහනයක් තියෙනවා නම් දුෂ්කර කියලා දෙයක් නෑ අද. නමුත් එදා මුල්ම දවස්වල අඩුගානෙ ලයිට් වත් නෑ. පෙට්‍රල් විකුණන්නේ කඩවල්වල. මදුරුවෝ සූ ගාලා. ඔන්න ඕකයි පුල්මුඩේ තත්වේ.
Deleteමම නම් මේ කතාව අකුරක් නෑර විශ්වාස කරනවා. ඔහොම කතා දෙක තුනක්ම මම කලින් අහලා තියෙනවා. අධික තෙහෙට්ටුව, කෝපය, ආත්මානුකම්පාව වගේ දේවල් කිහිපයක් එකට එකතු උන වෙලාවක මෙහෙම දේවල් වෙන්න පුළුවන් මම හිතන්නේ.
ReplyDeleteවිශ්ව විද්‍යාලෙට තේරුණ මුල් දිනයේ සිටම මම නම් සිටියේ රාජ්‍ය සේවයට නොබැඳෙමි කියන ප්‍රතිපත්තියේ. මොකද ඔය ගුදවංශලා සහ භගමනීලා ගැන මගේ වැඩිහිටියන් කියපු කතා නිසා. රාජ්‍ය සේවයේ ගුදවංශලා සහ භගමනීලා භංග වේවා !
පොඩි අදහසක් ආවා. ඩුඩ්ටයි රවීටයි දෙන්නට පුළුවන් නම් සෙට් වෙලා ලියන්න පොතක් ඔය මහවැලි මතක වගේ නමක් දාලා. මහවැලි කලාපවල කටුක අත්දැකීම් බොහෝ අයට නැති උනාට ඒවා කියවන්න නම් හරිම රසවත්. අතීතකාමය මෙච්චර ලස්සනට විස්තර කරන්න ඩුඩ් සහ රවී තරම් වෙන කාටවත් බෑ මම හිතන්නේ.
ReplyDeleteවැඩේනං හොඳයි ඒත් අර රවී අයියව එක ට්‍රැක් එකක තියාගන්න එක කරන්න නං මිනිහව රටේ ලෝකෙ වෙන දේවල් පේන්නෙ ඇහෙන්නෙ නැති කාමරේකට කොටු කරන්න වෙනව. හැක්..
Deleteසැටිපිකේට් ටෘ. රවී ලොක්කව ට්‍රැක් එකේ තියාගන්න එක බාරදෙන්න ඕනේ උඹට :)
Deleteස්තුතියි උදය. හැබෑටම රවියා ට්‍රැක් එකේ තියාගන්නේ කොහොමද කියලා මාත් කල්පනා කලේ.
Deleteඋදය, ප්‍රසන්න සහ ඩූඩ්,
Deleteමගෙ නම් ඇත්තම කිව්වොත් ඒ කාලවකවානුවෙ කටුක අත්දැකීම් කියල වර්ග කරන්ට සුදුසු එව්ව ඇත්තෙම නැති තරං. එක අතකට ඒ ලාබාල වයසෙ කටුක අත්දැකීම් වගෙ වෙන කෙනෙකුට පෙනෙන එව්වත් මම ජීවිතේට රසවත් අත්දැකීම් කියල සැලකුව හින්ද වෙන්නත් පුලුවන්.
අම්මෝ! මෙව්වා නම් වෙන්න පුළුවන්!!!!!
ReplyDeleteඅන්න ඒකනේ නාඩියා.
Deleteමම සතියට දවස් 2 ක් දෙහිඅත්තකන්ඩියේ දවස් 3ක් මහියංගනේ දැන්නම් ටිකක් විතර ඉස්සරට වඩා හොදයි පාරවල් හැදිලා එත් ඇතුලට වෙන්න ගම්මාන වල ලොකු වෙනසක් නැහැ අය්යන්ඩි. රැ වැඩ මුරයට ඇවිත් දවලට ගොයන් කපන ළමයි ඕන තරම් ඉන්නවා. අපි අරක නැහැ මේක නැහැ කියලා අඩන්කොට ඒ ළමයි ජිවත් වෙන්න දරන උත්සාහය හිතාගන්න බැහැ. එඅ වගේ දුෂ්කර පලතක ඔයා උගන්නපු කලේ රාජකාරියකට වඩා ලොකු පිනක් අය්යන්ඩි.
ReplyDeleteටිකක්? ටිකක් නෙවෙයි හොඳටම හොඳයි. අඳුනගන්නවත් බෑ එදා හිටපු එකෙකුට. දැන් කොස් බෙන මොකටද? අර ත්‍රීවීල් තියෙන්නේ කොස්බෙනේ පටං ගත්ත ගහ ගාවම නවත්තලා. හැබැයි උඹ කියන අනිත් කතාව ඇත්ත. ගොයම් කැපිල්ල ගැන. මම ඊ ලඟට ඒ කතාව දාන්නම්.
Deleteපිනක් වෙන්න පුලුවන් නියමිත කාලෙ විතරක් ඉඳලා ආපහු යන්න දෙනවා නම්. මේක බලෙන් පින් කරවීමක් වෙනකොට මරාගෙන මැරෙන්න හිතෙනවා.
X ෆයිල් වලට ගිය කථාවක් වගේ, මමත් ඉස්සර ගිරාදුරුකෝට්ටේ ඉදලා තියෙනවා.
ReplyDeleteX-Files අපිත් කාලයක් නිදිමරාගෙන බැලුවා. ස්කලීට දේපල ප්‍රශ්ණයක් තිබ්බා දන්නවද මෙඔ නිට්ටඹුව පැත්තේ ලාංකිකයෙක් එක්ක?
Deleteඩුඩයියා ලබපු අත්දැකීම් එක්ක වියළි කලාපයට ශාප කෙරුවත් මම නම් වියළි කලාපයට කැමතියි.හැබැයි ඔය රස්සා කරන්න එහෙම නෙමේ සංචාරය කරන්න.හැබැයි මම ඔය මහවැලි කලාපවල නම් ඇවිදලා නැහැ.සමහර විට ඒ පළත් බොහෝම කටුක වෙන්න ඇති මම කියන වියළි කලාපයට වඩා.
ReplyDeleteඅපේ නිලධාරීන් හිතන්නේ උන් ගැන විතරයි.සීතල කාමර අස්සෙන් ඉඳන් තීන්දු තීරණ ගන්න නිලධාරින්වත් ඔය දුෂ්කර පළාත් වලට යවන්න ඕනේ කටුක අත්දැකීම් විඳගන්න.අනෙක් අතට ඔය ජනාවස පිහිටුවන කොට අවම පහසුකම්වත් නැතුව මිනිස්සු ගිහින් පදිංචි කරවන්න නිලධාරීන්,දේශපාලකයෝ කටයුතු කරන්නේ මොකද?
යකෝ සංචාරය කරන්න නම් මාත් ආසයි ගෝබි, සහරා, ඇටකාමා වගේ කාන්තාරවල පවා. ඒවයේ ඉන්න ගියාම ඒක වෙනම ප්‍රශ්ණයක්.
Delete>>ඔය ජනාවස පිහිටුවන කොට අවම පහසුකම්වත් නැතුව මිනිස්සු ගිහින් පදිංචි කරවන්න නිලධාරීන්,දේශපාලකයෝ කටයුතු කරන්නේ මොකද? <<
උඹේ කටේ මසුරං දාන්න ඕනෙ ඒ කතාවට. මටත් හැමදාම තිබිච්ච ප්‍රශ්ණයක් ඕක? ලයිට් දීලා, පාරවල් හදලා මිනිස්සු පදිංචි කරවන්න බැරි මුන්ට හෙන ගහලද? මිනිස්සු අරතරම් දුක් විඳින්නම ඕනෙද?
කතාව අවිස්වාස කරන්න හේතුවක් නැහැ...
ReplyDeleteඒ නිලධාරිවාදය ඩුඩ් ට ඔය තරම් ගැහැටක් උනේ, වියළි කලාපේ වියලි බව වැඩිපුර දැනුනේ, අවුරුදු 6 ඔය තරම් දිග බව දැනුනේ ඩුඩ් සහ වයිෆ් දෙතැනක හිටි නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ...
මමනම් වියළි කලාපයට කැමතියි. අන්ඩාපුරේ තිරප්පනේ ට්‍රේනින් හිටපු මාස හයට මම අදටත් ගොඩක් ආදරෙයි. ඒ වගේම ඉස්සර අර්ධ ශුෂ්ක කලාපයක් විදිහට අපි ඉගෙන ගත්තු බුන්දල, හම්බන්තොට කියන්නේත් මගේ ආසම තැන්...
(දැන්නම් ඒ පැති වියළි කලාප ඝණයට අයිති මිසක් අර්ධ ශුෂ්ක ගතිගුණ නැහැ කියලයි මගේ අදහස)
ලොකු පුතා කතාව කියවනකොට උඹේ අවධානය පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහින් තියෙනවා. උන් අපිව තැන් දෙකකට දැම්මට අපි එහෙම උන්ට ඕනෙ විදියට වැඩකලේවත්, උන්ගෙ තීරණයට ඔලුව නවලා වෙනම හිටියේවත් නෑ. අපි එකට හිටියේ. ඒක දිග කතාවක්. ඒකනෙ බං මම පොළේ ගිහින් එනකොට දීපා ගෙදර ඉන්නෙ.
Deleteමම කොහොමත් තෙත් කලාපය ප්‍රිය කරන්නෙ. මුහුදුකරයට වඩා කඳුකරය ප්‍රිය කර්න්නෙක්. ශුෂ්ක ලඳු කැලෑ වලට වඩා වියන් ස්ථර සහිත තෙත් කලාපීය වැසි වනාන්තර ප්‍රිය කරන්නෙක්.
ඔතන වෙනසක් තියනවා මට හිතෙන විදියට.
Deleteමගේ අක්කත් ඔය විදියටම දුෂ්කර සේවා කරපු ඉංග්‍රීසි ගුරුවරියක්. දේශපාලන සම්බන්ධකම් තිබුණු අය මාරු වීම් හදාගෙන යනකොට, කාගේවත් පස්සෙන් යන්න අකමැති පියෙකුගේ දරුවෙක් වූ අපේ අක්ක ආපහු කවද එන්න වෙයිද නොදැන එහෙ හිටිය. දුෂ්කර ගමක් වුනත් ඩූඩ් හිටපු පළාත තරම් ඒ ප්‍රදේශය දුෂ්කර උනේ නැහැ, නමුත් ඒ වන විට අවිවාහක අපේ අක්කව විවාහ කරගන්න, ගොඩක් ප්‍රපෝසල් වලින් ආපු තරුණයෝ අකමැති වෙච්ච ප්‍රධාන හේතුව තමයි අපේ අක්ක ඈත පලාතක වැඩ කරපු එක.
තුන් අවුරුද්දක සේවය කින් පසුව ගෙවල් කිට්ටුවට එන්න ලැබේවි කියල මුලින් කිවුවත්, හතරවෙනි, පස්වෙනි අවුරුද්ද වෙනකම් කිසිම ආකාරයකින් මාරුකිරීමක් ගැන අහන්න වත් ලැබුනේ නැතුව, අක්ක එහෙ කට්ට කන කාලේ තමයි මම ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් වලට මඩකලපුවේ නව කල්ලඩි පාලම තෝරාගෙන මගේ කැමැත්තෙන් මඩකලපු ගියේ. ඒ වෙලාවේ අක්කට මම පොරක් වගේ කිවුව "ඔයා විතරක් නෙවෙයි, මමත් කට්ට කනවා දැන්" කියල. ඒ වෙලාවේ අක්ක කියපු දේ තමයි, "ඔයා දන්නවා ට්‍රේනින් ඉවර වෙලා මාස 6 කින් ඔයා ආපහු කැම්පස් එකට එන බව, ඒත් මම දන්නේ නැහැ මට කවද වෙනකම් මේ කට්ට විඳින්න තියනවද කියල" කියල. ඇත්තටම එදා ඉඳන් මම ඔය කට්ට කන දුෂ්කර සේවයේ යෙදෙන අය එක්ක කට්ට ගැන කතාවට යන්නේ නැහැ. ඒ කට්ට ඉවර වෙන දවසක් ගැන දැනගෙන එහෙම ඉන්න එකයි, එහෙම නොදැන එහේ ඉන්න එකයි, අහසට පොලව වගේ.
ගමේ මිනිස්සු හරි සුන්දරයි අවංකයි නිහතමානි කිවුවට, දරුවෙක් ඉන්න බඩක් උස්සගෙන හිටගෙන හැමදාම බස් එකේ ගිහින් අපේ අක්කගේ යාලුවෙක් ගේ දරුවා නැති උනා. කල්ලිවාදය තිබුණු ගුරු කාමරේදී ගැමි අහිංසක ගුරුලියන් අතින් අපේ අක්කලාගේ හිත පෑරුණු වාර අනන්ත ඇති. ඉංග්‍රීසි විතරක් නෙවෙයි ඉංග්‍රීසි සාහිත්යත් උගන්නලා ඒ දරුවන්ට නොපෙනෙන ලෝකයක දොරටු විවර කරන්නට උත්සාහ කරපු අපේ අක්කලාගේ සේවය කිසිවෙකුත් අගය කලේ නැහැ. ප්‍රින්සිපල් සර් නුත් ඒ දිහා බලන්, අනිත් ගුරුවරු ඔක්කොම රිලීස් කරල, අක්කව රිලීස් නොකර තියන් හිටිය.
ඉතින් ඔය ඔක්කොම විඳගෙන ආපහු එන්න ලැබෙන දවසක් නොදැන, හොඳ වයස පහු වෙනකම් කසාද නොබැඳ අපේ අක්ක කාපු කට්ටයි,
සුදු තොප්පිය දැක්කම ගොඩක් ගරු කරන මිත්‍රශීලී ජනතාවක් එක්ක, "පොඩි මිස්" කියල මට අමතන බාසුන්නැහේ ල ගොඩක් එක්ක, ඕනෑම අවශ්‍යතාවක් එක පාරක් කියපු ගමන් ඉටු කරලා දෙන පියෙක් සොහොයුරෙක් වගේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් එක්ක, ආපහු මාස හයකින් එන්න බලාගෙන මම කාපු කට්ටයි,
කොහොමද මම සමාන කරන්නෙ?
මේක මාරයිනේ. මට අහන්න ප්‍රශ්ණ මහ ගොඩක් ඔලුවට ආවත් ඒකෙන් වෙන්නේ තවත් හිත පෑරෙන එකයි කියලා හිතුනා. ඔය අව්‍යාජ ගැමි සුන්දරත්වය තියෙන්නේ පොත්වල විතරක්මද මන්දා. මගෙ දීපත් බඩත් උස්සගෙන බස් එකේ හිටගෙන ඇවිත් ඇති අනන්ත. නොදැක්ක ගානට ඉඳගෙන එන උන් පස්ස උස්සලා කැළණි විහාරෙට වන්දනා කරලා අහක බලාගන්නවා.
Deleteඅපි ගියේ තවම කැලෑව කපලා හදන ගම්මාන නිසා අර පැවතුනු ගම්මානෙක තිබුන ගතිය තිබුනේ නෑ. මිනිස්සු ගෙවල් අතෑරලා ජනපදේ පදිංචි වෙන්න යනකොට කසිප්පු පෙරන දඟර හෙම නං අරං ගිහින් තිබුනා මොනවා නැතත්. :D
/නොදැක්ක ගානට ඉඳගෙන එන උන් පස්ස උස්සලා කැළණි විහාරෙට වන්දනා කරලා අහක බලාගන්නවා./
Deleteඔවුන්ට කියන්නෙ පුක් බෞද්ධයො කියල.
හෙන්රි අයියා හුඟ කාලෙකින්...
ReplyDeleteමොකට අවිශ්වාස කරනවද අනේ. දැන් රෑ දොළහටත් කිට්ටුයි. ෆෑන් එකත් දාගෙන කාමරේ ජනේලෙත් ඇරගෙන ඒක අයිනට වෙලා සැපට පුටුවක පත බෑ වෙල ඉඳලත් හුස්ම ගන්න අමාරු තරම් රස්නයක මම මේ ඉන්නෙ. (හරි.. හරි... ඉතිං-රෑට පොඩ්ඩක් වැඩිපුර කැවුනත් එක්ක. :)) ඉතින් ඔයාකාර දූවිල්ලක ඉරට හැතැප්මක ගිනිමද්දහනෙ අතින් කටින් බර එල්ලගෙන, අඩිය සෙන්ටිමීටරවලට බෙද බෙද හැතැප්මගානක් පයින් කොටද්දි - හිතේ අමාරුවෙන් දකින දකින දේට ශාපකරන තරම් මානසිකත්වයක හිටිය ඔයා පත්වුන තත්ත්වෙ ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්වේවි. හැබැයි හොඳ වෙලාවට ඔය ‘තක්කලි "&^*ගෙ පුතාලගෙ අම්මලට @%&&&‘ උනේ - වට්ටක්ක "&^*ගෙ පුතාලගෙ අම්මලට @%&&& උනා නම් බඩුම තමයි. එහෙනම් ගිහින් කියන්න වෙන්නෙ "දීපා, අත් දෙකට මොකද වුනේ කියලා නම් දැං අහන්නෙපා. මම ෂුවර් එකටම පස්සේ කියන්නම්." කියල තමා.
මම නම් කවදාවත් ඔය තරම් කට්ට කාලා නෑ ඩූඩ්. ඔය වගේ තත්වයකට පත්වුනා නම් තොපි ඕන මඟුලක් කරගනිල්ල කියල දමල ගහල එයි. මම හිතන්නෙ රාජ්‍ය සේවෙ අදටත් ඔහොමම තමා, කිසිම දේකට නිවැරදි සාධාරණ ක්‍රමවේදයක් තවමත් නැහැ. ඉන්න එවුන් එහෙම එකක් ඇතිවෙන්න දෙන්නෙත් නැහැ.
මහවැලි කලාපවල පදිංචිකරවූ මිනිස්සුන්ගෙ දුෂ්කර ජීවිත ගැන කතා ලියපු ශාන්ති දිසානායකගෙ පොත් තුළින් නම් මම ඒ පරිසරයෙ අමුතු ලස්සනක් අත්දුටුවා. ඒත් ඔයාලත් තමන්ගෙ අත්දැකීම් මෙහෙම අකුරුකරල තියෙන එක නම් ඇත්තටම වටිනවා.
මෙහෙම හරි DDT යාව දකින එක සතුටක් , අනිකා අර එක්සැන්ඩර් කොලුවා
Deleteඅටමා කියපු දේම තමයි මටත් මුලින්ම කියන්න ඕනෙ වුනේ.
Deleteඋඹෙ කමෙන්ට් නැති මගේ බ්ලොග් පෝස්ට් එකක් හරියට ලුණු නැති පොළොස් කරියක් වගේ.
උඹ බ්ලොග් නොලිව්වත් ඊට වඩා සේවයක් කරනවා කමෙන්ට් වලින් අර ප්‍රසන්නයා වගේ. ඇත්තෙන්ම ඔම්ලට් එකේ රස දන්නේ බිත්තරේ දාපු කිකිළිට වඩා ඒක කාපු එකා. කෑමක රසගුණ කියන්න කෝකියෙක් වෙන්න ඕනෙ නෑ.
ගිරාඳුරුකෝට්ටේ අපේ නෑදෑයෝ ඉන්නවා.. අපේ ලොකු තාත්තා .. විලියම් බණ්ඩාර කියල සිංහල ගුරුවරයෙක්... මම දන්නා විදියට ගිරාඳුරුකෝට්ටේ ඉස්කෝලේ ඉගැන්නුවා..සමහරවිට හම්බවෙලත් ඇති..
ReplyDeleteඔය වගේ දුෂ්කර ජිවිතයක් නම් මම අත්විඳලා නෑ.. හැබැයි ඔය ලොකු තාත්තලාගේ ජිවිත හැමදාම ගෙවුනේ ඔය වගේ ...
පැතුම්ගෙ ලොකු තාත්තා හම්බ වෙච්ච මතකයක් නම් නෑ. සමහරවිට දැකලා ඇති.
Deleteදැන් එහෙම දුෂ්කර නෑ පැතුම්.
ඩූඩේ,
ReplyDeleteනෙළුම් යාය සම්මාන උළෙලෙදි උඹව සම්මානයට පාත්‍ර වීම පිළිබඳ හද පිරි සතුට සහ සුබපැතුම් පිළිගනින්. උඹ මේකට උපරිම සුදුස්සෙක්...වැඩි වැඩියෙන් ලිවීමට, හොඳ නිර්මාණ එළිදැක්වීමට මේක උත්තේජනයක් හා ආශිර්වාදයක් වේවා යි පතමි.
ජයම වේවා !!
අපි කොච්චර වයසට ගියත් අගය කිරීමක් ලබන්න, හොඳක් අහන්න හිත කෑදරයි. උඹට ස්තුතියි සෙන්නා. උඹ මේක කිව්වේ බොක්කෙන්ම කියලා මම දන්නවා.
Deletecompletely agreed with ur story. Both of us are suffering the same way. i'm still suffering. history repeats itself.
ReplyDeleteDear Anonymous, Do you mean the things are the same even now? I was very sorry to hear that. In time when no Wi-Fi, internet, laptops, smart phones and proper transport was there this was natural. But is it like this even today?
Deleteyes. Public transport is still unavailable as required. For ur information i'm working in dehiattakandiya and my home town is in hambantota distrct. My wife works in Ampara. Every weekend we meet at ampara or hambantota and in monday morning i'm travelling to dehiattakandiya from Ampara via Mahaoya- Aralaganwila. Lack of transport service i've to use the bike. Even in rainy days i've to travel through Maduruoya sanctuary around 7 a.m. Nobody around but Sanctuary and Dark due to rain. During the ride i feel as you did. Bitter taste of tears are tasted mixing with rain water. Happy to say i can cry and scold loudly with every word i know to the person on top management of sri lanka public service.
DeleteCorrection - ( person -> people)
DeleteThis actually made me speechless for some time. When I visited Dehiattakandiya, Mavanagama and places recently and saw the greenery and the vehicles I thought everything would have changed for better. I wouldn't ask the stupid question didn't you try to get the transfer to the same place. I know the answer for that. If you are there for a specific period, I do hope that time would be over soon and you two will be together. Don't
Deleteපට්ට කට්ටක් නේ අයියේ කාල තියෙන්නේ හප්පේ මට වුනානම් මගම මැරිලා
ReplyDeleteමේ සුනාමියටත් අහුවෙච්ච එකෙක් කියන කතාවක්. :D
Deleteඔය පළාතෙ වැඩිපුරම දකින්න තියෙන ඉර අනුව නේද එහෙනම් දුවටයි පුතාටයි නම් දාල තියෙන්නෙ?
ReplyDeleteඋඹ ඒක නෝට් කලා නේද? අපි දෙන්නා හුඟක් මිනිස්සු කියන විදියට හිතුවක්කාරයි. අපේ ළමයි දෙන්නට දාන නම් ළමයි ඉපදෙන්නත් කලින් හිතාගෙන හිටියේ. ඒ නම් වල මුල් අකුරු අපේ නම් වල මුල් අකුරුම එන විදියට. ඔව්. ඉර තමයි ජිවයේ පැවැත්ම. ඒකයි ඒ නම්. එහෙම නැතුව උපන් වෙලාවට අකුරු වලට එන නම් නෙවෙයි. නමුත් පස්සේ එහෙම බැලුවාමත් අපි දාපු නම් හරි.
Delete:D
හම්මේ...අයියා කාපු කට්ට. මම මේ කල්පනා කරේ අපේ අම්මා ගැන. එහෙම බලනකොට අම්මා ජිවිත කාලෙන් බාගයක්ම දුෂ්කර කරලා තියනවා බයි චොයිස් :D තිස්සමහාරාම, හම්බන්තොට එහෙම ගියාම මටත් අර දැනෙනවා කියපු අතීත කාමය කියන එක හොඳට දැනෙනවා.
ReplyDeleteබයි චොයිස් ???
Deleteසයුරිලෑ අම්මව අදහන්න වටිනවනේ.
හිතන්නත් අමාරුයි.ඒත් ඩූඩ් කියන නිසා බොරුවක් වෙන්න බෑනෙ.
ReplyDeleteමම නම් ඔච්චරම කට්ටක් කාල නෑ.ඒත් වෙනස් කට්ටක් කාල තියෙනවා.ඒව ලියන්න බෑ.
ගුරු ජීවිතේ දැනුත් කට්ට කනවා. ඒ සේරම මැද්දෙ ලමයින්ට උගන්නන කොට ගොඩක් වෙලාවට ඒව අමතක වෙනවා. (මේ අවුරුද්දෙ මට 6,7 පන්ති දෙකක් දීල තියෙනවා.එයාල හරි ජොලි කතා කියනවා.)