Thursday, August 15, 2013

89. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

Dude the Superstar
 “අඩේ හෙන්රි උඹ කිව්ව බං සින්දු ටිකක් එදා රෑ…, අපේ ඉල නෑ හිනාවෙලා.” මාත් එක්ක, අම්පාරෙ නගරෙට මහියංගන පදියතලාව මාර්ගය සම්බන්ධ වෙන තැන, බාගෙට හිඳුනු ජලාශය ගාවා තිබ්බ දිග බංකුවක් උඩ වාඩිවෙලා හිටපු උමේෂ් කිව්වා.

“මොන සින්දුද? මම කියන්නෙ මේ … කාගෙ සින්දුද?” දුම්වැටියක් උරමින් කකුල් දෙකම බංකුව උඩට අරං පහසු ඉරියව්වකින් හිටපු මම ඇහුවා.

“ජෝතිපාලගෙ සින්දුලු බං.”

“අනේ පලයං. මම ජෝතිපාලගෙ සින්දු එකක්වත් හරියට දන්නෙ නෑ.”

“හහ්, ඒ වුනාට බං ජෝතිපාලගෙ සින්දු කියන්නෙයි කිව්වාම තමයි උඹ පටං ගත්තෙ .උඹ කියනවා, කියනවා, නොන් ස්ටොප්”

“ඇත්තටම  මට මතක නෑ බං.”

“උඹව නවත්තන්නම බෑ. අනිත් එක ඒ සින්දු මොන බාසාවද කියලා කියන්නත් බෑ. උඹ කියාගෙන, කියාගෙන යනවා. හරිම අමාරුවෙන් අන්තිමට නවත්තා ගත්තෙ උඹට වැඳලා වගේ”



අර නංගිලාගෙ ජීවිත වලින් ඉවතට ඇවිදගෙන ගිය මම නුහුරු නුපුරුදු අම්පාරෙ ගතකල පළමු අවුරුද්ද අත්දැකීම් බහුල එකක්. මම දැනටමත් පළකරලා තියෙන ඒවායින් සමහරක් මෙන්න.

පැඩිඩිලියන්ලා
පිංසිබොල්ගෙ ගොං කේස් එක.
“ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”
“මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.”
දළ පූට්‍ටුවා සහ ණයට ගත් සෙරෙප්පු කබල.
කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල

ගම්පහ වගේ ජනාකීර්ණ දිස්ත්‍රික්කයක පදිංචිව සිට කොළඹ සුලෝහිත පාසලකට ගිය මටත්, මහනුවරින් ගිය උමේෂ්ටත්, අම්පාර නගරය ජනශූන්‍ය නගරයක් වගෙ පෙනීම අරුමයක් නෙවෙයි. පේරාදෙණියෙ තිබ්බ පූර්ව සේවා පුහුණුවෙදි මුණ ගැසුනු අපි දෙන්නා, නාඳුනන නගරයක, යාබද පාසැල් වලට පත්වීම අපිදෙන්නගෙම සැනසීමට හේතුවුනා. හැම හවස් යාමෙකම එකතුවෙන අපි නගරයේ පාරක් පාරක් ගානෙ ඇවිදිමින් කල නගර ගවේශනය පාරවල් ඉවර වීම නිසා ඉක්මනින්ම නිමා වුනා. හවසට කරන්නෙ මොනවද, යන්නෙ කොහෙද කියන එක ප්‍රශ්නයක් වුනා.

අපි දෙන්නා උමේෂ්ගෙ ඉස්කෝලෙ ගුරු නිවාසයෙ හවසට, හවසට සෙට් වෙන්න ගත්තෙ ඔය තත්වය යටතේ. උමේෂ්ගෙ විදුහල්පති සුපිරිපාල, නමේ හැටියටම විනෝදකාමී සුපිරි බුවෙක්. තව ඩයස්, නාරද වගෙ තව ඩයල් කීපයකුත් සමහර දිනවල අපිත් එක්ක අනුමත වෙන්න සැදී පැහැදී හිටියා. මුලදී කාන්සියට පටන් ගත්ත මේ වැඩේ තරමක් කල් යද්දී සීමාව පන්නන බවත් මට නොහිතුනාම නොවෙයි.

“මේ විදියට යද්දී අපි බේබද්දො වෙලා නතර වෙයිද දන්නෑ බං.” මම දවසක් උමේෂ්ට කිව්වා.

“ඒක තමයි බං මාත් කල්පනා කලේ.” උමේෂ් කිව්වම මගෙ හිතටත් තරමක චකිතයක් දැනුනා.

ඒ වගේම තමංගෙ බීමේ හැකියාව ගැන කයිය ගහන අනිත් උන්ට වඩා ඇල්කොහොල් වලට ඔරොත්තු දීමේ ගතියක් මගේ ඇ‍ඟේ ඇති බව කලකට ඉහතදීම තේරුම් අරන් හිටි මට, උමේෂ්ගෙ උත්තරෙන් දැනුනෙ අස්වැසිල්ලක් නෙවෙයි.

එදා අපි සෙට් උනේ “කටට බ්‍රේක් නැති” වි.ප. සුපිරිපාලතුමාගෙ උපන්දින සාදයටයි. විශාල ඇලුමිනියම් භාජනයකින් කට කපලා එකක් නූඩ්ල්ස්, පරිවාරක දීසි සමග, අපි වෙනුවෙන්ම සැදී පැහැදී හිටියා. ගල්, පොල්, බියර්, කෝක්, සෝඩා, බයිට්, සාලේ කෑල්ලෙ අපි එනකල් ආයාචනාත්මක දෑසින්, ‘අනේ මගෙන් වැඩ ගනිව්, ගනිව්, හඬ, හඬා,’ බලා හිටියා.

“එහෙනම් දෙකක් ඇනගෙන ඉමු නේ?”, ඩයසා තොල් පොටවල් දිවෙන් පොඟවමින් කිව්වා.

“චියර්ස්!!” බීම පිරවූ වීදුරු එකට ගටා සුපිරිපාල ලොක්කාට සව්දිය පුරලා කවුරුත් වැඩ ඇල්ලුවා. බීමත් සමග ඇදිලා එන රසකතා, මඩ කතා, හපංකම්, මෝඩකම්, පුරසාරම් හැන්දෑව වර්ණවත් කලා. බොනකොට, කලින් බීලා කරපු කෙලි ගැන කතා අනිවාර්යයිනෙ. මුලදිම සුපුරුදු විදියට ‘සංගීතයා’ නොහොත් ‘චූනා’ නොහොත් නාරදයව බයිට් එකට ගත්තත්, මුං කවුරුත් “අද අපි හෙන්රියාව වට්ටමු” කියන තේමාව යටතේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් දියත් කරලා තිබ්බ් බව මම දැනගත්තෙ සති ගානකට පස්සෙ.

බිව්වම නටන එක අනිවාර්ය අංගයක්නෙ. ඉතින් අපි කවුරුත් වීදුරු එහෙමම තියලා නටලා එනවා. වීදුරුව තනිකරන්න එපා කියලා අර බ්ලොග් සහෘදයෙක් ලියලා තිබ්බෙ ඔන්න ඕකයි. බීමට මුසුකරන්න මම පාවිච්චි කලේ Coca Cola වීම කුමන්ත්‍රණයට තවත් පහසු වුනා. මම නටලා එන සෑම විටකම, අඩක් හිස් කර තබා ගිය  සෑම බීම වීදුරුවකටම මුන් බියර් වත් කර ස්පයික් කර ඇල්කොහොල් සාන්ද්‍රනය ඉහල නංවා තිබූ බව මට තේරුනේ නෑ. ඒ වගෙම මා ලඟ තිබූ අඩක් හිස් කල Coca Cola බෝතලයත් බියර් වලින්ම නැවත පුරවා තිබූ බවත් මට තේරුනේ නෑ.

“යකෝ අද වදිනවානෙ අම්බානක. මේ බඩු හොඳයි වගෙ” මම තවත් වීදුරුවක් පුරවාගන්න ගමන් කිව්වා.

“ඕව කවලං නොකරපු හොඳ බඩු බං. නුවර කාගිල්ස් එකෙන් ගෙනාපුව. මම උඹලට බාල බඩු දෙනවද?” මස් කුට්ටියක් ‍තෝරමින් සිටි සුපිරිපාලතුමා කිව්වා.

“ඒක තමයි බොසා මේ නස්පුක් වෙන්න වදින්නෙ.” කියූ මම දැනටමත් අකීකරු දෑතින්, අසීරුවෙන් දුම් වැටියක් දල්වන්න උත්සාහ කලා.

“මටත් තේරුනා ඒක. මේ බාර් කාරයො කවලං කරනවානෙ බං කෂියා දාලා” කියපු උමේෂයා, අනිවා ඇහැක් ගහන්න ඇති අනිත් උන්ට මෙහෙම කියලා. මම නම් දැක්කෙ නෑ.

“ඒයි හෙන්රි කියාපං බං සින්දුවක්.”

“මොන ෂින්දුවක්ද?”

“උඹ දන්න එකක්.”

“දැං ගායනා කරන්න නං බෑ බොෂ්, ඕන්නං ෂිංදුවක් කියන්නං ඈ…”

“නෝ වොරීස්. කියාපං.”

“මං කියන්නං ‘ඇබා’ගෙ ‘නෝවිං මී නෝවිං යූ’? නැත්නං…, ‘තැංක්යූ ෆෝද ම්යූෂික්’? නැත්නං…, ‘බොනී එම්’ගෙ ‘මදලෂ් චයිල්ඩ්’? ‘මයිකල් ජැක්ෂන්’ගෙ ‘බිලී ජීන්’? ‘බීජීෂ්’ලගෙ…?

“අඩෝ හෙන්රියො, අපි ඉංග්‍රීසි සින්දු දන්නෙ නෑ බං. සිංහල එකක් කියාපිය.” 

ඒ නාරද, පෙරදිග සංගීතයේ මුර දේවතාවා!

“නාරද @#$, ෂංගීතය කියන්නෙ විෂ්ව බාෂාවක් @#$!”

එතකොටම බර්ත්ඩේ බෝයි මැද්දට පැන්නා.

“හෙන්රි, උඹ කියාපං ජෝතිපාලගෙ එකක්.”

“යකෝ ෂර්, මං දන්නෑනෙ බං ජෝතිපාලගෙ ෂිංදු…මං ඔන්නං ක්ලැරන්ෂ්ගෙ එකක් කියලා දාන්නං… දිල්හානී දුවනී” මං කිව්ව.

“අඩෝ, ඒක කියන්නෙ ක්ලැරන්ස්ද බං?” ඩයසා හිනාවෙලා ඇහුවා.

“මේ ඩයසො, උඹ දෙන්නැතුව හිටපං.”

“මේ හෙන්රියෝ. උඹ කියාපං ජෝතිපාලගෙ එකක්. අද මගෙ බර්ත්ඩේ එකනෙ.”

“අම්මට හුඩු!  ෂර්ගෙ බර්ත්ඩේ එක???? යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

හිනා හඬින් ගුරුනිවාසෙ වහලෙ උලු උඩයන්න ඇති.

“උඹට වැඩිද මන්දා.”උමේෂ් කිව්වා.” මේ අපි ඒ ගැන මොනවහරි කරන ගමං තමයි මේ.”

“නයි කයිද රෝෂ් පාං!! අඩේ එහෙනං ෂිංදුවක් කියන්නම එපෑ.” 

ජෝතිපාලගෙ මෝරා ෂිංදුව කියමු. (මට ඒකත් මතක් වුනේ ඒ සම්බන්ධ ජෝක් එක නිසා). නාරදයා උඹ ඔෂ්තාද්නෙ. උඹ ගානට අල්ලලා දියං මුල, හරිද?… මං දෙන්නං ඇට්ටි හැලෙන්ඩ…”

ඔන්න ඔහොමලු බටහිර සංගීත ලෝලයෙකු වුන බ්ලොග්වෝකර්, නොදන්න ජෝතිපාලගෙ සින්දු, නොනවතින රිද්මයෙන් කියන්න ගත්තෙ.

පස්සෙ නූඩ්ල්ස් කන්න ඉඳගෙන ඉන්නවා මතකයි.

වරින් වර අනිත් උන් “ඒයි කාපං බං තව” කියනවත් මතකයි යන්තමට…

හීනයක් වාගෙ….



දැඩි ඔක්කාර ගතියකින් මම හදිසියෙ අවදි වුනා. හාත්පස අඳුර. සුපුරුදු විදියට ඇ‍ඳෙන් බහින්න කකුල් පද්දලා ඇලයට හැරනකොටම, කවුදෝ ඒ හදිසියේ පාර හරහා ඉදිකර තිබූ බිත්තියක් වැනි බාධකයක නහය වැදීමෙන් තරු මල් යායක් විසිර ගියා. තරු එලිය නිවී වේදනාව මදක් අඩුවූ විට, අනිත් ඇඳේ පැත්තෙන්, ප්‍රවේශම් කාරීව බිමට බැස්සත්, පා බිම ගැටෙන විටම පෘථිවිය පැත්තකට ඇලවීම නිසා නොවැටී බේරුනේ ඇඳ විට්ටම අල්ලාගෙනයි. කොහොමත් මේ මගුල අංශක විසිතුනහමාරක් ඇලයිනේ. බීලා ඉන්නකොට ඒක හොඳට තේරෙනවා
මං මේ කොහෙද ඉන්නෙ?

බාධක කීපයක ගැටෙමින් බිත්තිය අල්ලාගෙන අඳුරේම ඉදිරියට යද්දී හොඳ වෙලාවට විදුලි ස්විචයක් අත ගැ‍ටුනා. ආයාසයෙන් ස්විචය පහතට එබූ විට දැල්වුනු විදුලි බල්බය මගේ ඇස් මඳකට නිලංකාර කලා.
ටොයිලට් එක කොහෙද ඇත්තෙ?

ආලෝකයට දෑස හුරුවූ පසු, හාත් පසු බැලූ විට, මේ ඉන්නේ වෙනදාට නිදන කාමරයේ නොවන බවත්, මේ සුපිරිපාල තුමාගේ පාසැලේ, පාවිච්චි නොකරන ගුරු නිවාසයක් බවත්, ක්‍රමයෙන් වැටහුනා. එහි සිටියේ මා පමනක් බවත්, තව මොහොතකින් තව දුරටත් අවබෝධ වුනා. අධික මුත්‍රා බරකුත්, ඒ එක්කම පිපාසයකුත්, ඒ සියල්ල යටපත් කරමින් වමනය දැමීමේ ඉතා දැඩි අවශ්‍යතාවයකුත් දැනුනා.

කෝ මේ ටොයිලට් එක?

ඒ ප්‍රශ්නයට පිළිතුරක් වෙනුවට ආමාශය ක්‍රියාත්මක වුනා.
ඕවෑහ්හ්!……….ඕවෑහ්හ්!……… ප්තුහ්ක්!! හඬ නගමින් ආමාශයේ අන්තර්ගතය නිදහස් වුනේ කාමරයේ මැද.

පුපුරු ගහන හිසරදයත්, නැවත නැවත වමනය දැමීමත් නිසා දුර්වල වූ මම ඇඳේ අයිනක ඉඳගෙන අලාබය තක්සේරු කලා. කාමරයේ තත්වය ශෝචනීයයි. නූඩ්ල්ස් නම් බීලා කන්න හොඳ කෑමක් නෙවෙයි. වැරදි පාරෙන් පිටවූ නූඩ්ල්ස් ප්‍රිය උපදවන දර්ශනයක් නෙවෙයි. නෑ, ඒ ලේ වමනේ ගිහින් නෙවෙයි. ඒ සෝස්…කෙචප්! ෆූෆ් ! ඒ දර්ශනය නැවතත් ආමාශය කලඹන්න වුනා.


උඩින් උඩින් පැනලා කාමරෙන් පිට වෙලා වැසිකිලිය හොයාගත් මම තිබූ බරෙනුත් නිදහස් වෙලා ආපහු කාමරයට ආවේ වතුර බාල්දියකුත් කොස්සකුත් අරගෙන. මුං දැක්කොත් හෙම කබ්බා දාලා තියෙනවා හෙන නෝන්ඩිය! වදී කාඩ් එකක් ආයේ ජීවිතේට වලංගු වෙන්න!

කොච්චර අමාරුවෙන් හිටියත් වතුර බාල්දි පහලොවකට විතර පස්සෙ මුලු කාමරයෙම බිම සෝදා, මගේ රෑ කෑම වේල ඉදිරි දොරෙන් පිටතටත්, එතනින් ගේ වටා ඇති සිමෙන්ති කානුවටත්, කානුවෙන් ඉවතටත් සෝදා හරින්න හැකි වුනා. ඉන් පසුව සාක්කුව අතගා තැලී චප්ප වී ගිය සිග‍රැට්‍ටුවකුත් සොයාගත් මම එය දල්වාගෙන ඉදිරියට සැලසුම් කලා.
දැනටමත් වටින් ගොඩින් එලිය වැටීගෙන එමිනුයි තිබ්බේ. තවත් මඳ වෙලාවක් ‍රැඳී සිටි මම ගුරු නිවාසයේ දොර වසා දමා එලියට බැස්සේ මගේ පාසැල වෙත යන්නයි.

නගර මධ්‍යයේ උදේම විවෘත කර තිබූ ආපනශාලාවක් දු‍ටුවිට මගේ පිපාසයත් බඩගින්නත් දෙගුන තෙගුන වුනා. උණු උණුවේ බෑ ආප්ප දෙකකුත්, ආනමාලු කෙසෙල් ගෙඩියකුත්, දුම් දමන කලු කෝපි කෝප්පයකුත් බී, දුම් වැටියක්ද දල්වාගත් විට මෙතෙක් නොදැනුනු ප්‍රබෝධයක් ගතට දැනුනා.

මා මගේ පාසලේ ගුරු නිවාසය වෙත ලඟාවෙනවිට මගේ චමරි සගයන් වූ කලුතොටයාත්, විමලයාත් අවදි වෙලයි හිටියෙ..

“ආ මේ ඇවිත් ඉන්නෙ අකීකරු පුත්‍රයා!”

“හැබෑට… කොහෙද යකෝ රෑ තිස්සෙ යන්නෙ?”

මට වඩා අවුරුදු කීපයක් වැඩිමහල් නිසා මට බාල සොහොයුරෙකුට මෙන් සැලකූ විමලයාටත්, කලුවාටත් සුදුසු උත්තර දුන් මා, සීතල දිය නා, පාසැල් යාමට සූදානම් වුනා.

මේ පාසැලේ ගුරු විවේකාගාර දෙකක් තිබ්බා. ඇතුල්වෙන ගේට්‍ටුව අසලම ගොඩනැගිල්ලේ තිබූ නියම ගුරු විවේකාගාරයට අමතරව, පාසැලේ මැද හරියට වන්නට වූ කුඩා විද්‍යාගාරයේ ඇතුල්වන තැනම කබඩ් වලින් වෙනකල අනියම් ගුරුවිවේකාගාරයක් තිබ්බා. මා මේ දෙතැනේම කල් ගත කලත් වඩා ප්‍රිය කලේ වයසක ගුරුතුමියන් නිතර ගැවසුනු නිල ගුරු විවේකාගාරයට වඩා සම වයසේ සගයන් සිටි දෙවන ස්ථානයටයි. විශේෂයෙන්ම එකල මා පිළිබඳ සිතක් ඇතිකරගෙන සිටි රුවැත්තිය සමග හිඳගෙන, උකුසු ඇස්වලින් ගැලවී’ වල්පල් දෙඩීමටත්, කවට කම් කිරීමටත් ඔහේ දොඩමලු වීමටත් මෙය කදිම ‍තෝතැන්නක් වුනා.

හොඳ වෙලාවට එදා උදෙන්ම එහි සිටියේ මා පමණයි. දිය නෑමෙන් මදක් යටපත් වී තිබූ හිසරදයත්, ඔක්කාර ගතියත්, දැඩිවන හිරු රශ්මියත් සමගම මතුවී ආවා. ආමාශය නැවත විරෝධතා ව්‍යාපාරයක් අරඹලා. හදිසියේම කටට දැනුනු තිත්ත රසත්, උදේ ආහාරයේ සුවඳත්, ලඟ ලඟම එලැඹෙන හදිසි අවස්ථාව ගැන පූර්ව දැනුම්දීමක් වුනා.

විදුලි සැරයක් වැදුනාක් මෙන් වහා හුනස්නෙන් නැගී සිටි මා දොරෙන් එලියට දිවැවුනා.

වැරදි තීරණයක්!

පාසැලක හරි මැද වමනෙ දාන්නේ කෙසේද? ඒ පොඩ්ඩටත් ලඟම පන්තියේ කොලු කෙල්ලන් මා දෙස විමතියෙන් බලනු දු‍ටු මා වහා පසු බැස්සා. ඒ වනවිටත් ආප්ප, ආනමාලු, හා කෝපි වලින් සමන්විත උදේ ආහාරය ගලනාලය දිගේ ඉහලට වේගයෙන් සම්ප්‍රේශනය වෙද්දී මා විද්‍යාගාරය තුලට දිව ගියා. කාමරයේ කොනක වූ සින්ක් එක මා දු‍ටුවේ එවිටයි. උඩු අතට ගමන් කරමින් තිබූ අහාර වේලේ වේගයට වඩා වැඩි වේගයෙන් මා සින්ක් එක වෙත ලඟාවුනා. ඒ සමගම පාතරසය උගුර පසුකලා.

“ඔවෑ ආඅර්ර්හ්ක්” එල්ලය හරි ගියා. මඳ සතුටක් හිතට දැනුනත් ඒ සැනෙකින් සතුට අතුරුදහන් වුනා. කබ්බා බිඳක්වත් සින්ක් එකෙන් පිටට නොවැ‍ටුනත් සින්ක් එක තුල මා දු‍ටුවේ මා බලාපොරොත්තු නොවූ, රසායනික අවියකින් පහර කෑ මහ නගරයක සංකීර්ණ හැඩයක්. හේතුව පරීක්ෂණ නල හතලිස් අටක රාක්කයක් සින්ක් එක තුල තිබීමයි!  

සියලුම පරීක්ෂන නල තුලත් මතුපිටත් ආප්ප, ආනමාලු, කෝපි හා ආමාශයික යුෂ මිශ්‍රණය!

අසල කබඩ් දොරේ අලවා තිබූ විද්‍යාගාර කාලසටහනට මගෙ ඇහැ ගියේ ඉබේටම. තව විනාඩි දහයකින් නවයේ පන්තියක් එනවා විද්‍යාගාරයට. ඒ දු‍ටු ගමන් නැවතත් වමනය ගියා.

දැන් මොකද කරන්නේ? මේ ටෙස්ට් ටියුබ් මගුල නොතිබුනා නම් ටැප් එක ඇරලා සින්ක් එක හෝදලාදාලා ෂේප් වෙන්න තිබ්බා. ම්ම්ම්… වතුර තියෙනවද ටැප් එකේ? මම ගැහෙන හදවතින් කරාමය ඇර බැලුවා.
දෙයියනේ! වතුර තියෙනවා!

මම වැඩ පටන් ගත්තා. දෙවෙනි වතාවටත් සාක්ෂි අතුරුදහන් කිරීමට. මුලින්ම පරීක්ෂන නල රාක්කය සෝදා ගොඩින් තිබ්බා වතුර අවමයෙන් පාවිච්චි කරලා, මොකද සින්ක් එක අවහිර වී වතුර බැස යාමේ අවදානමක් තිබූ නිසා. ඉන් පසූ පරීක්ෂණ නල එකින් එක, ඇතුලත්, පිටත් සේදුවා, ඉතාම සීරුවෙන්, නමුත් උපරිම වේගයෙන් හා කාර්යක්ෂමතාවයෙන්. සේදූ නල රාක්කයේ තැන්පත් කලා. සීනුව නාද වුනේ තව නල දෙකක් සෝදන්න තියෙද්දී. ලමයි පන්තියෙන් එලියට ඇවිත් පෝලිම් ගැහිලා විද්‍යාගාරයට එකකොට මම අන්තිම නල දෙකත් සෝදලා සින්ක් එකත් සෝදලා වතුර බස්සලත් ඉවරයි. හොඳ වෙලාවට මේ සින්ක් වල අඩියෙ තියෙන කට ලොකුයි. දැල වගෙ කෑල්ල ඔන්නම් අතට ගන්නත් පුලුවන්.

ළමයි විද්‍යාගාරයට ඇතුල්වෙනකොට මම වැනි වැනී ගිහින් අපේ කොටසෙ ඉඳගෙන පත්තරේ සිරස්තල කියවනවා කවදාවත් නැති උනන්දුවකින්. හොඳ වෙලාවට මට ඊලඟ පීරියඩ් එකත් ඕෆ්. ලඟම තියෙන කඩේට ගිය මම තැඹිලි ගෙඩියක් බිව්වම ආමාශය පොඩ්ඩක් සන්සුන් වුනා. ආපහු ඇවිත් අතන ඉඳගත්තාම අර හිත හොරාගත් රුවැත්තියත් ඇවිත් හිටියා. මම වෙනදාවගෙ ඈ ලඟින් ඉඳ නොගෙන අනිත් පැත්තෙ වාඩිවුනේ මගෙ ලඟ තිබ්බ සුගන්ධය ගැන වැඩි විශ්වාසයක් නොතිබුන නිසා.

ටිකකින් කබඩ් පේලිය අතරින් මතුවුනු විද්‍යාව උගන්නන ගුරුතුමී මගෙ මූණ දිහා ප්‍රශ්ණාර්ථ ලකුණක් එක්ක ටිකක් වෙලා බලා ඉඳලා ආපහු ගියා. මම “ඇයි අක්කා?” කියලා අහන්න ගියේ නෑ.

පස්සෙ මම ගනං හදලා බැලුවා. තප්පර හයසීයකින් පරීක්ෂන නල හතලිස් අටක්. එකකට තප්පර දොළහයි ගානක්. නමුත් රාක්කයයි සින්ක් එකයිත් සෝදන්න ගිය කාලයත් අඩු කලාම නරකම නෑ.

ඊට පස්සෙ මම බිව්වත් අරවගෙ සිහිය නැතිවෙන්න බීලා නෑ කවදාවත්. දැන්නම් ඉඳහිට බිව්වත් බොන්නෙ ඔය බියර්, වයින් වගෙ අහිංසක බීම විතරයි. ඔන්න කෂ්ටිය ලකුණු කරගනිල්ලා ඈ!
Originally published @ මට හිතෙන හැටි



133 comments:

  1. මොකද ඒ පාර අරකෙන් මේකට එක දිගටම.

    මේක කියන්නකෝ හෙන්රි අයියා, බිව්වම ගරුත්වය නැතුව යාළුවගෙ ප්‍රින්සිපල් නිකන්ම උඹ, මචං ගානට වැටුනට, අර ‘ෂර්‘ කෑල්ල හැලුනෙ නැත්තෙ, දිග නලේක එහා කෙළවරින් මෙහා කෙළවරට යාන්තමට වැටෙන ආලෝක පුංජය වගේ සිහිය පොඩ්ඩක් විතර තිබුනු නිසාද, නැත්නම් ඒ පුරුද්ද නිසාද.

    ReplyDelete
    Replies
    1. DDT,එකක් මේක කලින් පෝස්ට් එක ගාවට නියමෙට ගැලපෙනවා. අනික මේ දවස්වල බේබදු පෝස්ට් වල ට්‍රෙන්ඩ් එකකුත් තියෙනවා. අනික මේ දවස්වල තියෙන ප්‍රශ්ණ වලට සෑහෙන බොන්න හිතෙනවා.
      ඒ වගේම මේ දවස්වල අලුත් පෝස්ට් එකක් ලියන්න කරුණු හිතේ පොර කෑවත්, එහෙම හිතට විවේකයක් නෑ,
      අරක නම් මරු උපමාව බං. මම ඒක සිංහලෙන් ඇහුවේ උඹෙන්. ඕක The light at the end of the tunnel වෙන්න ඕනෙ. හැබැයි ඒක නම් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ දිගටම කට්ට කාපු එකේ ප්‍රතිඵලය යාන්තමට පේන්න ගන්නකොට.

      Delete
    2. මචං දැන් නම වෙනස් කරගනිං DCD කියලා, මේ දවස් වල වැඩියම ජනප්‍රිය ඒකනේ

      Delete
    3. මොකද හෙන්රි අයියා හිතට විවේකයක් නැත්තෙ, ඒ තරමට වැඩද. අර ග්‍රැෆික් ටැබ්ලට් එකේ පෙන් එකට කෙළවුනාට පස්සෙම හරියකට චිත්තරයක්වත් ඇඳල දැම්මෙ නෑනේ.

      අනේ ඔය නිදිමතේ දෙසාබාන උපමා ගැන වැඩිය හිතන්න එපා ඩූඩ්.

      @ඉවාන් පව්ලූශා,

      ඉතිං බං එතකොට මගේ උප්පැන්නෙ නමත් වෙනස් කරන්න වෙනවනේ, ඔය ඩීඩීටී කියල කෙටි කරල තියෙන්නෙ මගේ නම බං. අපි ඩීසීඩී නම තියෙන එකෙකුත් හොයා ගමු.

      Delete
    4. හුටා එහෙමද ..? කව්ද බොල දන්නේ ....! සොරි වෙන්න ඕන.

      Delete
    5. මළා,මම හිතන් හිටියේ DDT කියන්නේ අර මදුරු නාශකය කියලයි..

      Delete
    6. හික්..හික් ... ඕනෙ එකක් හිතාගන්ලා, ඒක තමයි මේක, මේක තමයි ඒක. :))

      Delete
    7. අයියෝ ඩි.ඩි.ටි යා කියනකන් මම මේ පොස්ට් එක දැක්කේ නෑ බං ඩුඩ්
      අපොහියි ඩි.ඩි.ටි යා රෑ 12.36 ටත් අහරිලානේ !!!
      ඇයි අපේ නෝනත් මෙයාට "කෘමිනාශක මහත්තය" කියලනේ කියන්නේ :පී

      Delete
  2. කට්ටිය කුමන්ත්‍රණකාරී මෙහෙයුම අති සාර්ථකව අකුරටම ක්‍රියාත්මක කරලා තියෙනවානේ...:D

    //ගල්, පොල්, බියර්, කෝක්, සෝඩා, බයිට්, සාලේ කෑල්ලෙ අපි එනකල් ආයාචනාත්මක දෑසින්, ‘අනේ මගෙන් වැඩ ගනිව්, ගනිව්, හඬ, හඬා,’ බලා හිටියා//

    එහෙම නම් ඉතින් කුමන කථාද ... මම මේ කල්පනා කලේ අනිත් අයට මොකුත් වුනේ නැද්ද කියලා? එහෙම නැත්නම් අනිත් උන්ට පහුවදා වෙච්ච දේවල් වෙනම පෝස්ටුවකින් ඉස්සරහට ලියවෙනවද ?


    මට හරියට දුක හිතෙන කථාවකුත් මතක් වුණා ඩූඩ් .... අපි A\L කරන කාලේ අපිත් එක්ක අධ්‍යාපන කඩයකට ආපු යාලුවෙක් නැති වෙලා තිබුණා කබරයා අතින් තද කරගන්ට ගිහින් වැරදි නාලයට ගමන් කරලා. මෑන්ස් යාලුවො එක්ක කීප ජාතියක් කවලම් කරලා අරන් ගෑනු ළමයාගේ ගෙදර අලුත් අවුරුද්ද දා දවල් කෑමට ගිහින්. මේ දෙන්නා හම්බවුනෙත් ඒ අවුරුද්දේම ඔය Tuition class එකේදිමයි. කරුමේ කියන්නේ ගෙදරට ගිහිල්ලත් සෑහෙන වෙලාවක් හොඳින් හිටපු මෑන්ස්ට කබරයා ඇවිත් තියෙන්නේ කෑම මේසෙට වාඩි වුණ ගමන්මලූ. ඉතින් (ගෑනුළමයාගේ ගෙදර ගිය පලමු දවස....වැඩිහිටියෝ ඉස්සරහා.....) අතින් තද කරන් නැගිටින්න හඳලා තියෙනවා...... :(

    ReplyDelete
    Replies
    1. හයියෝ බං, ඒ කතාව නම් හරිම අප්සෙට්. සමහරු කෑම හිරවෙලා මැරිලා තියෙනවා. ඇත්තෙන්ම කිඹුහුමක් නවත්තන්න යන එකත් සෑහෙන භයානක දෙයක් කියනවානේ.

      අනිත් උන්ට එහෙම අවුලක් වෙච්ච බවක් ආරංචි වුනේ නෑ. උන් ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ මාව වට්ටන එකටනේ. ඔය උමේෂ් කවදා හරි මේක දැකලා කමෙන්ට් එකක් දැම්මොත් ඒක දැනගන්න පුලුවන්.

      Delete
  3. වයින්, බියර් වගේ අහිංසක බීම? හී හී...
    බීම කොහොමත් අහිංසක නෑ :-)

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ පොඩ්ඩි මේ දවස්වල සෑහෙන බොන්න ඇති කියලා වයින් ෂැම්පේන් හෙම. බිව්වා නේද? d-)

      Delete
  4. මමත් කුමණ්ත්‍රණ දෙකකට මාට්ටු වෙලා තීයෙනවා. එකක් බර්ත් ඩේ පාටි එකක, අනික ක්‍රිස්මස් පාටියක. ඒ කාළේ රටේ තත්වේ හොඳ නැති නිසාත්, අපි නිශාචරයෝ නිසාත්, යන තැන ගෙදරට කියලා යන්නේ. මොකෝ පොලෝසියට කියන්න හරි අම්මලා තාත්තලට කතාවක් තියෙන්න එපාය. බර්ත් ඩේ පාටියේදි නම් පොවපු උන් නියම කට්ටක් කාලා තියෙනවා. මටත් කිසි අවුලක් නැතුව බුදු වෙන්න පුළුවන් ඒ කාළේ. වෙන මොකකටවත් නෙමේ මෝඩ කමට හා ලිකු කමට. උඹගේ සිස්ටම් එකටම මුන් මට දීලා. එක තැනක ඉඳන් මට මතක නෑ. පට්ට පරිප්පුව කියන්නේ මම කබරයා ඇදලා ඇරලා තියෙන්නේ මේසේ උඩ. එහෙමම දොයි. අරුංගේ අම්මට මලලු. කවදාවත් වෙන්නේ නැති දෙයක් නේ යකෝ මේක කිව්වම. තවත් වැඩි එකෙක් ඉඳලා පාපෝච්චරනය කරලා. අරුංගේ අම්මා කියලා තොපි පෙව්වනම්. ඉතුරු ටිකත් බලාගනිව් කියලා. අරුං ට මුළු කෑම කාමරේම සුද්ද කරන්න වෙලා. ඒ විතරක් නෙමෙයි මාවත් සිද්ද කරන්න වෙලා. නියම පරිප්පුව කියන්නේ. අරුංගේ අම්මා කියලා ආයෙත් මුකුත් හදන්නේ නෑ. කඩෙන් කාලා වරෙන් කියලා. ඒ පාර නයිට් කඩේකින් කෑම ගෙනත් කාලා තියෙන්නේ. මම ඇහැ ඇරුනේ. ඊළඟ දවසෙ උදේ තාත්තා ඇවිත් තට්ටු කරපු වෙලාවේ. යාලුවගේ අම්මා, අම්මමෝ නැතුව දීලා අනිත් උං ටිකට. මොකෝ මම අම්මටල පන වගේ ආදරේ නිසා. මේ අම්මත් පුතාටත් වඩා මට ආදරෙයි. තාත්තත් මුකුත් කිව්වේ නෑ..

    අනිත් එකත් ඔය වගේමයි. එද මේ යකා වයිට් ඇරක් කියලා දීලා ටියෙන්නේ ස්පිරිට්. දෙන්නෙක් ඉස්පිරිතාලෙත් ගියා. මම නම් ගෙදර නිදාගෙන ඉඳලා, තාත්තා එන්න කලින් වැනි වැනී ටෙන් ස්පීඩ් එකත් තල්ලු කරන් ගෙදර ගියා. ඒ යන ගමන් ආමී ජිප් එකකටත් අහු උනා. උන්ට හිනා. ඇයි ඉහින් පාටි ඩ්‍රෙස් එකෙන්නේ.. අනික ක්‍රිස්මස්...

    තව එකක් තියෙනවා. ඒකත් කියලම දාන්නම්. එක ආයතනයක වැඩ කරද්දි, එකෙක්ගේ බෝර්ත් ඩේ එකට අපි සෙට් උනේ. ෆලවර් ඩ්‍රම් එකේ. මම එපා කියද්දි, අනික් උන් එකෙකුට පෙව්වා ඔය වගේම. අරූ කාපට් එක උඩම ඇදලා ඇරියා කබරයා. අරු එකසිය ගානට ගැරැප්පුවක් අරගෙන කබරයා අවුස්සනවා. බැලින්නම් ඌගේ දාපු දත් දෙකක් ගුහින්. ඒත් බඩු හම්බ උනේ නෑ.. මාරම් අප්ෂට් එක. බැලින්නම් ඌ එක ගෙදර දාලා ඇවිල්ලා..

    ReplyDelete
    Replies
    1. දත් දෙක තිබිලා බඩට ගියානම් තමයි ආතල් එක. පහුවදාට මිදුලේ රීලා ගූ ගොඩ අවුස්සන්න වෙනවා එහෙනං.

      Delete

    2. උඹ ටෙන් ස්පීඩ් එකත් තල්ලු කරං වැනි වැනී යන හැටි මට මැවිලා පේනවා. උඹ ඒ කතාවේ ඕනෙම ටික හලලනේ.

      ඉතිං ආමි කාරයෝ සහ මාතලං අතර දෙබස මෙහෙමලු.

      කොහෙද මල්ලියා මේ යන්නේ උදේම වැනි වැනි ?

      හදිස්සියකට අයියේ යන්නේ.

      ඉතින් එහෙනං බයික් එක තල්ලු කරං යන්නේ මොකෝ හලෝ? නැගලා යනවකො ඕකෙ.

      අයියෙ, බයික් එකට නැග නැග ඉන්න වෙලාවක් නෑ. ඒ තරං හදිස්සියි.

      ඒකලු ආමි කාරයෝ හිනා වෙලා තියෙන්නේ. :))

      ඉවාන්, මටත් ඕකම හිතුනා. :D

      Delete
    3. //අයියෙ, බයික් එකට නැග නැග ඉන්න වෙලාවක් නෑ. ඒ තරං හදිස්සියි.//

      පව් ඕයී........!

      Delete
  5. අතීසාර මිත්තරයො එක්ක බොන්ඩ ගියහම ඔහොම අන්තර්ජාතික කුමන්ත්‍රණ වලට අහුවෙනවා අනිවාර්යෙන්ම බන්..මම කබ්බා දැම්මෙ බිව්ව පලවෙනි දවසෙමයි..අන්තිමේ අපේ වත්තෙ ගහෙන්ම හොරෙන් දෙහි කඩන් ඇවිත් ඔළුවෙ අතුල්ලලා තමයි දවස් දෙකක් යනකම් විතර ස්ප්‍රයිට් බෝතලයක් දුටුවත් ඔවෑක් තමයි..
    අදට නම් ඉතින් දවසක් ගියත් පාටිය එක ශොට් එකක් අරන් ඕකෙන් ශේප් වෙනවා..ඔය කතාව දන්න උන් හිනා වෙන්නෙ පුකෙන්...

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත බං. ඊට පස්සෙ ස්ප්‍රයිට් බෝතලයක් දැක්කත් ඔවෑක් තමයි. මචං මම නූඩ්ල්ස් කෑවේ නෑ අවුරුදු ගානක්ම.

      Delete
  6. //ඒ වගේම තමංගෙ බීමේ හැකියාව ගැන කයිය ගහන අනිත් උන්ට වඩා ඇල්කොහොල් වලට ඔරොත්තු දීමේ ගතියක් මගේ ඇ‍ඟේ ඇති බව කලකට ඉහතදීම තේරුම් අරන් හිටි මට//

    මචෝ... මටත් ඔය ප්‍රශ්නේ තියනවා. අපි සෙට් වෙන අය හැමෝම වගේ දවසක් වත් නස්පුක් වෙන්න වැදිලා තිබ්බත්, තාම මාව එහෙම බීල වැටිලා නැහැ. කොච්චර හරි මචං අපේ ගෑනිත් දවසක් කිව්වා... අනිත් අය නම් ඔක්කොම වගේ වෙරි වෙලා ඉන්නවා දැකලා තියනවා... ඒත් ඔයා වෙරි වෙලා ඉන්නවා දැකලම නෑ කියලා. හරියට නෝක්කාඩුවට වගේ බං කිව්වේ.... ඔන්න බලාපං ඒකෙත් හැටි...

    ඒ කාලේ මොබයිල් ෆෝන් එහෙම වැඩිය තියෙන්න නැතුව ඇති නේද? අපරාදෙ නැත්තං උඹේ ජෝතිපාල නොන්ස්ටොප් එක අහන්න තිබ්බා....

    ReplyDelete
    Replies
    1. >>අනිත් අය නම් ඔක්කොම වගේ වෙරි වෙලා ඉන්නවා දැකලා තියනවා... ඒත් ඔයා
      වෙරි වෙලා ඉන්නවා දැකලම නෑ කියලා. හරියට නෝක්කාඩුවට වගේ බං කිව්වේ....
      ඔන්න බලාපං ඒකෙත් හැටි...<<

      ඇත්තෙන්ම, බලාපං ඒකෙත් හැටි ! ඔන්න ඕකයි කියන්නෙ ඔය ජාතිය මොන
      විදියකටවත් තේරුම් ගන්නා බෑයි කියලා. ඉතිං මොකද බං අපේ ඔය සම්බන්ධයෙන්
      කරන්නේ ඇත්තටම?

      මොන මෝබයිල් ෆෝන්ද මචං? යූ ටියුබ් නෑ. ඩිජිටල් කැමරා නෑ.‍ෆිල්ම් කැමරා
      විතරයි. වීඩියෝ කැමරා තිබ්බේඋ අර VHS, Betamax වගේ. ඒවා. අපි ලඟ කොහෙන්ද
      ඒවා? හැබැයි හොඳ වෙලාවට, ඈ.

      අර උඹ ලංකාවේ පිරිමි නමක් තියෙන එකම කෝච්චිය වන ඉන්ද්‍රසිරි එක්ස්ප්‍රස් ගැන
      කිව්වාම මට නිකම් feeling of déjà vu ආවා. පස්සේ ඕන්න මතක් වුනේ. මමත් දන්න
      පොරක් කිව්වා, පොර නම් වැඩට යන්නේ සෙමි ලක්සිරියේ කියලා.

      Delete
    2. හා හා ඔය මතක් වෙන්නේ.....

      Delete
  7. යකෝ මුං මරු යාලුවොනෙ.. උඹව අර පාළු ගුරු නිවසෙ දාල උං ඔක්කොම යන්න ගියා ? ..
    මමත් බොහොම අඩුවෙන් පානය කරන්නෙක්.. මුල් කාලෙ බියර් එකක් දෙකක් නැත්නම් බ්‍රැන්ඩි පාරක් විතරයි.. වීදුරුව අමතක කරල යන්න එපා කියන පාඩම මට දුන්නෙ මගෙ වෙන්ඩ මචංලා කල්පෙකට ඉස්සර..ඒ කාපු චාටර් එක අපෙ බෙටර් හාෆ් එක තාමත් කියනවා. ඒක මං ලියන්නංකො බ්ලොග් එකේම..

    ReplyDelete
    Replies
    1. නෑ මචං, ඒක සුපිරිපාල ලොක්කගේ ක්වාර්ටර්ස් එකේම වහලේ යට මැද බිත්තියෙන් බෙදලා තිබ්බ ක්වාර්ටර්ස් එක. ඒව එන්නේ ඩබල්නේ.

      අම්මෝ, වීදුරුව නම් තනි කරන්න හොඳ නෑ මචං. මම කොහොමත් දැන් හිතුනොත් බොන්නේ නිවාඩුවට ගෙදර ගියාම විතරයි බං. ඒත් අරවගේ අහිංසක බීම විතරයි. මෙහෙදි බොන්න නෑනේ. ඒ නැතත් මට එහෙම ඇබ්බැහියක් නෑ.

      Delete
  8. //"කොහොමත් මේ මගුල අංශක විසිතුනහමාරක් ඇලයිනේ. බීලා ඉන්නකොට ඒක හොඳට තේරෙනවා"//
    හිනාවෙලා මලා ඕයි. අපේ ලැබ් එකේනම් සින්ක් ගොඩක් drain line එක මගින් කැඩිලා වැරදිලාවත් ටැප් එකක් ඇරියොත් වතුර සියල්ලම ලැබ් එක පුරාම. එහෙම සින්ක් එකක් එකක් තිබ්බනම් ඩූඩ් ලොක්ක තාම ලැබ් එක හෝදනවා,එල නේ

    ReplyDelete
    Replies
    1. ඒ කතාව බොරුවක් නෙවෙයි නේද ඉවාන්? ඔය ඇලේ තේරෙන්න බොන්නම ඕනේ. අනික ලෝකෙ කැරකෙන බව, ගුරුත්වාකර්ෂණයේ බලපෑම, වගේ දේවලුත් හරියටම වැටහෙන්නේ ඔය වෙලාවට.
      ඇයි මේ ලඟදි බුකියේ තියෙනවා දැක්කා, හැම උදෑසනකම ඇඳ අවට ගුරුත්වාකර්ෂණය දහ ගුණයකින් ප්‍රභල වෙන බව.

      Delete
  9. පිස්සු හැදෙනවා..බං..!

    ගුරු වෘත්තිය කරන කොට හවස්යාමය නිදහස් නිසා කාලය ගතකිරීම අපහසු තමා. ඒත් උඹට තිබුනෙ ක්‍රීඩාවකට හිත යොමු කරන්න.(කවදහරි...මේ වගේ උපදෙස් දරුවන්ට දීම හරි වැදගත්) මම ටෙක් යන කාලෙ හවස් වරුව නිකන්හිටි නිසා....වොලිබෝල් කෝඩ් ,ක්‍රිකට් ගහන තැන් හොය හොයා ගිහින් සෙල්ලම් කලා. ගමේදි නම්..අනිවා හවසට වොලිබෝල්,ක්‍රිකට් ගහන්න යනවාමයි.(හොඳ කතා ටිකක් තියෙනව පෝස්ට් එකක් ලියාගන්න වෙලාව ගලප ගන්න බැරිව ඉන්නෙ)

    ඒත් දැන්නම් ගම් වල ඉන්න කොල්ලො සෙල්ලම් කර්න්නෑ බං..ඉස්සර අපි ප්‍රමුඛත්වය අරන් ඕව කලාට දැන් බැහැනෙ.නැත්නම් දැනුත් සෙල්ලම් කරන තැනක්දැක්කම සෙල්ලම් කරන්න ආසයි.

    මටත් වමනෙ ගිහින් තියෙන්නෙ එකපාරයි.!පුදුමලැජ්ජාවක් ඇති උනේ..මිදුලක නිසා අරන්දාල..වැලි දාල වහල තමයි සැනසුමක් ලැබුනෙ.
    හැබැයි කුමන්ත්‍රන වලට නම් අහුවෙලා නෑ..!

    කොල්ලෙක් උනාම ජීවිතේට ඔහොම දෙයක් එක් වතාවක් හරි වෙලා අත්දැකීමක් ලබන්නම ඕන.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ මචං. මම පරමාදර්ශී චරිතයක් කියලා මම කවදාවත් කියලා නෑ. මමත් ඒ ඒ වයසට ඒ ඒ දේවල් මිශ්‍රව කරලා තියෙනවා. දැනුත් එහෙම තමයි. ඇරත් මට ජීවිතේ රිවයින්ඩ් කරලා ආපහු ජීවත් වෙන්න ලැබුනත් සමහර දේවල් මම ඒ විදියටම කරයි. මේවගේ කතා අපි හුඟදෙනෙකුගේ ජීවිතවල තිබ්බත් ඒවා එලි කරන්නත් නොයෙකුත් සාධක බලපානවා.

      කිසිම දෙයක් ඕනෙවට වැඩිය සිරාවට ගන්න හොඳ නෑ මචං.

      Delete
  10. අවුරුදු 25/28 ට පෙර සිදුවීමක් වගේ. මමත් උමේෂ් විශ්වජිත් සර්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙනවා අම්/ගාමිණී විදුහලෙන්.
    අජිත්.

    ReplyDelete
    Replies
    1. අජිත්, ඇත්තෙන්ම සං‍තෝසයි හඳුනාගන්න ලැබීම ගැන. මට තාම උමේෂ්ව කන්ටැක්ට් කරගන්න බැරි වුනානේ ෆේස්බුක් එකේවත්. ඉතින් අජිත්දැන් කොහෙද ඉන්නෙ? අපි එහෙනම් මුණගැහිලා ඇති පාරවල් වලදි.

      Delete
    2. දැන් මම ඉන්නේ දංඕවිට. මගේ තාත්තා අම්පාර CEB එකේ හිටියෙ.1987 අම්පාරෙන් ගම්පහට මාරුවීමක් ලැබුනා.
      අජිත්

      Delete
  11. මොකද කියන්නේ බොමුද

    ReplyDelete
    Replies
    1. දැන් බොන්නේ අහිංසක බීම විතරයි අටං. ඔය කියලා තියෙනවා වගේ.

      Delete
  12. තූ... නොදෝකින්, අද උලේම කියවුවේ මේක. මටත් වමනෙට එන්න වගේ බන් උඹේ විස්තරේ කියවලා.

    දැන් බොන්නේ අහිංසක බිමලු, නේ මගේ කට.

    ReplyDelete
    Replies
    1. පොඩි ෂොට් එකක් ගමුද....?

      Delete
    2. ඉතිං උඹම කල්පනා කරලා බලාපං අයිලාස්, උඹට මේක කියවලා මෙච්චර අප්සෙට් වුනා නම් උදේට දෙපාරක් කබ්බා සුද්ද කරපු එකාට කොච්චර අප්සෙට් වෙන්න ඇද්ද කියලා. :))

      Delete
  13. ඩුඩෙ කාරයා සුපස්ටාර් වෙචිච හැටි නං නියමයි.. අපේ එකෙක් දවසක් ඔපිස් එකේදි බීල කෑම යවාගන්න තැනක් නැතිව සින්ක් එකට දැම්මා. ඒ වෙනකොට ඌ දවල්ට කාලා තිබ්බේ බනිස් ගෙඩි දෙකක්. ඒ පාර අර බනිස් කෑලි සින්ක් එකෙන් බහින්නැති හින්දා අතිත්ම කඩලා බස්සල ඇරල තිබ්බා.. උඹ කොහොම හරි බේරුන එක ලොකු දෙයක්...බයානක අන්තරාවක් නැතිව..

    ReplyDelete
    Replies
    1. මට මේ කතාව නැවත මේ වෙලාවෙ ප්‍රචාරය කරන්න හිතුනු එක සාධකයක් උඹේ බේබදු දේශනය.

      ඔව්, ටැප් එකේ වතුර නොතිබුනානම් බලන්න තිබ්බා ආතල් එක. බනිස් කෑලි අතින් කඩලා බස්සනකොට ආයෙ කබ්බා සෙට් වෙන්න ඇති.

      Delete
  14. හිකිස් ..මැවිලා පේනවා..ඩුඩ් සුර් පිට ජෝති පාලගේ සිංදු කියනවා ..
    මමත් දවසක් ඔය වගේ උතුර දකුණ මාරු වෙන්න ඇල්කොහොල් අරගෙන නන්ස්ටොප් නැටුමක් නැටුවලු .. මම දන්නෙත් පහුවදා... හීනෙන් වගේ නටන්න නැගිටිනවා වගේ මතකයක් නම් තිබුනා .. ඔන්න ඔහොමලු ජරාව බිව්වම ඈ ..කටේ තියන්න එපා දුඩ් ආයේ ඕවා ..ක්රාක් තුක් ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං, ඇත්ත.
      කටේ තියන්න හොඳ නෑ ආයේ ඕවා ..ක්රාක් තුක් ...!

      Delete
  15. තවත් බේබදු, වමනේ කතාවක්... ඈක්කා... ඒ මදිවට උදේ පාන්දර... මුන්ට බීම අමතක වෙන වෙලායක් ඇත්තමෙ නැද්ද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට පාන්ද???

      Delete
    2. ඔඳ වැඩේ හිරුවට....!

      එහෙමත් අමතක වෙනවද..බීම..නේ..බං දේශො..!

      Delete
    3. මට මේක පබ්ලිශ් කරනකොටම හිරු ළමයා මතක් වුනයි කිව්වාම පිළිගන්නවද?

      ඉතිං බං උදේ පාන්දරම වෙච්ච සීන් එකක් උදේ පාන්දරම කියෙව්වාම මොකද, සියළු රස සමඟින්?

      Delete
  16. සර්, යකෝ ෂර් වෙලා තව ටිකක් වෙලා ගියාට පස්සෙ මොකා උනාද දන්නෑ.
    කතාව ලියල තියෙන විදියටනං හිනාවෙලා ඉවර කරන්න බෑ. ඇත්තටම අර වෙලාවෙ ලැබ් එකේ සින්ක් එකේ වතුර නොතිබුණානං ඇතිවෙන තත්වය තමයි මට මැවිල පේන්නෙ. එහෙනං නමයෙ පංතියෙ ළමයින්ට ආහාර ජීර්ණ පද්ධතිය සහ එහි රසායනික ප්‍රතික්‍රියා ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න ලැබෙන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. එහෙම 'අප්ෂෙට්' එක වෙන්න නැතිව ඇති බං.

      ලැබ් එකේ සින්ක් එකේ වතුර නොතිබුනා නම් රෙදි නෑ, බං. අනික වදින කාඩ් එකත් ගලවන්න ලැබෙන්නේ නෑ. මම මේ කතාව කාටවත් කිව්වේ නෑ ඔය හේතුව නිසාම.

      Delete
  17. අනේ ඔය බීම ටික මේ ලෝකෙන් අතුරුදහන් වේවා මාගේ එකම පැතුම එයයි අප්පා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.

      මට හිතෙන්නේ කියාස්ටත් මොකක්හරි අමිහිරි අත්දැකීමක් තියෙනවා වගේ ...

      Delete
  18. අපි ඔය විදිහට බීලා තියනවා ඒත් එකෙක්ව වත් ඔහොම දාලා ගිහින්නම් නෑ....
    බොන්න දීලා අමාරු උනාම කාමරෙකට දාලා මූ මළාද කියලවත් හොයන්නෙ නැති එවුන් එක්ක බොනවට වඩා හොදයි නිකන් ඉන්න එක......
    අපේ එකෙක් හිටියා ඌ කටේ තිබ්බෙ නැතත් අනිත් උන්ගෙ වමනෙත් ඇදලා දෙහිත් පොවලා ඇදටත් දාලා තමයි නිදා ගන්නෙ....

    ReplyDelete
    Replies
    1. මේවා එකටම අල්ලපු ක්වාර්ටර්ස් ඇනෝ. හැබැයි කිව්වත් වගේ ඒකෙ යම් රිස්ක් එකකුත් තියෙනවා තමයි.

      Delete
  19. මට නූඩ්ල්ස් කන එකත් එපා උනා මේක කියවලා.
    මමත් ළඟදි බොන්නෙ නැතුවම බේබදු අත්දැකීමක් ලැබුවා බේබද්දො ටිකක් එක්ක වෙඩින් එකකට ගිහින් එනකොට. බීපු එවුන් ටිකගෙ වෙරි හිඳෙනකල් ඉඳලා අපි වෙඩින් එකෙන් එනකොට කපල් එකත් පිටත් වෙලා වෙඩින් එකට ආපු ඔක්කොම ගිහින්. කොටින්ම බෑන්ඩ් එකේ බඩු පැක් කරනවා එයාලත් යන්න. කෙල්ලෙක්ට හිටියෙත් මම විතරයි. සජිත් හිටපු හන්දයි ගියෙ. හපෝ මම මුන් ටික හන්දා කාපු කට්ටක්. ඉන්නකො විස්තර ඇතුව බ්ලොග් පෝස්ට් එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. මේ දැන්නැති හින්දා අහන්නේ සජිත් කිව්වේ සජිත් ප්‍රේමදාසද ???

      Delete
    2. ඉතිං ඉඳුනිල් මමත් නූඩ්ල්ස් කෑවේ නෑ කාලයක යනකල්. :D

      අනේ, ඒ කතාව දාමුකෝ ඉක්මනට.

      Delete
    3. Extremely Sorry, පිණිබිඳු. මේ 'ඳු' නිසා පොඩ්ඩක් ප්‍රොසෙසිං අප්සෙට් වෙලා. :-O

      Delete
  20. හප්පච්චියේ . . ඔයින් ගියා ඇති යකෝ . . .

    ළමයි එහෙම දැක්කා නම් වහ කනන් වෙන්නේ ... . .

    අන්න අපේ සර් කබරයා දානෝ කියලා ළමයි කෑ ගහගෙන යනකොට කොහොමද ආතල් එක . . හික් හික් හික් . . .

    කාලයක් මාත් බ්ලොටින් පේපර් එකක් . . .

    ඔය වගේ කරටි කැඩිලා නස්පුක් වෙන්න ගහපු පලවෙනි දවස මගේ උපන් දිනය දවසක් . .

    තාම යාලුවෝ මතක් කර කර හිනාවෙනවා . .

    සෙට් වුනේ යාලුවෙක්ගේ ගෙදරක . .

    චූ බරයි කියලා එකෙක්ගේ කරේ අතදාගෙන ගේ පිලිකන්නට යමු කිව්වලු . .

    වැටෙන්න ගිහින් අල්ලලා තියෙන්න කම්බි වැටලු . .

    පස්සේ තව එකෙක් ඇවිත් අනිත් පැත්තෙන් අල්ල ගත්තලු . .

    චූ බරයි කිව්වට එතනින් එහාට වැඩේ කර ගන්න සිහියක් නෑලු . .

    තනියෙන් කර ගත යුතු වැඩ ටික යාලුවෝ තමයි කරලා තියෙන්නේ . .

    හෆෝයි මතක් වෙද්දිත් නෝන්ඩියි බන් . .

    ReplyDelete
    Replies
    1. හයියෝ බං. ඒ කතාවේ චිත්ත රූප මවාගන්න ගියාම වෙන දේවල්... අනික ටයිමිං එහෙම එහෙමෙහෙ වෙන්නත් ඇතිනේ. උඹ බැලුවද අර ටොයිලට් එකක බ්‍රිට්ටො තුන් දෙනෙක් චූ දාන. යූ ටියුබ් වීඩියෝ ක්ලිප් එක. මට ඒක මතක් වුනේ. =))

      Delete
  21. //‘අනේ මගෙන් වැඩ ගනිව්, ගනිව්, හඬ, හඬා,’ බලා හිටියා.//
    නියම කුමන්ත්‍රනේ බං,මාත් ඔයවගේ ඒවට අහුවෙලා තියෙනව.දැන් නං එහෙම්පිටින්ම අමද්‍යපනේ,අච්චර නස්පුක් වෙන්න වැදුණු වෙලාවට තියෙන්නෙ පහුවදාට චූට්ටක් දාගන්න එක.ගල ගැහුව වගේ කබරයා නවතිනවා

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කියන රෙමඩි එක මට වැඩ කරන්නේ නෑ මචං. මට අත්හදා බලලා තියෙනවා. අනික ඒ වෙලාවට බීම මතක් වුනත් අප්පිරියයි.

      Delete
  22. මේක ලිය වුණේ අහිංසක විදියට පොඩි ෂොට් එකක් දාගෙන එන්න වෙලාවක ද මන්දා :D පව් අෆ්‍‍ෆා!

    ReplyDelete
    Replies
    1. නෑ රාධා. මම ඔය අන්තිමට කියලා තියෙන කතාව ඇත්ත. අනික මෙහෙ බොන්න ඇත්තෙත් නෑ.

      Delete
    2. වෙරි වැඩිකමට අකුරුත් ටැපළිලා .."රාධා"... හෙක් හෙක්... අතේ මාට්ටු

      Delete
    3. :-O මට මේක ධාරා කියලා කියවුනේම නෑ කවදාවත්. ඇත්ත නේන්නම්. ඇයි පිණිබිඳුට ඉඳුනිල් කියලත් නාගන්නේ මම...

      Delete
  23. අර දෙබෂ් ටික තමයි ෂිරා..

    බියර් එක්ක කලවම් කලාම ඔළුවෙ කැක්කුම කොහොමත් හැදෙනව නේද.. අනිත් උන් ටික ඩූඩ් අයියව කාමරේ දාල ගිය එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. නැගිටින්න ගිහිල්ල ඇදගෙන වත් වැටුන නම් හෙම කාට කියන්නද..

    ReplyDelete
    Replies
    1. දෙබස් recreate කලේ මට මතක ඒවයි, අනිත් උන් මට කාඩ් ගහපුවයි එකට එකතු කරලා. ඇත්තෙන්ම ඔහොම තමයි දෙබස ගලාගෙන ගිහින් තියෙන්නේ. තව කෑලි අඩු මිසක් වැඩි නෑ.

      ඔව් බං. ඔහොම ස්පෛක් කලාම වදිනවා උන්න මළා නොපෙනෙන්න.

      ඔව්, ඒ කතාවෙත් ඇත්තක් නැත්තේ නෑ තමයි.

      Delete
  24. ඔන්න මම කලින් කියවපු කතාවක් හම්බුනා... දැන්නම් අහිංසක බීම විතරයිලු නේද. ඒ කියන්නෙ ඇල්වතුරත් නිවලද බොන්නෙ දැන් ? :D

    ReplyDelete
    Replies
    1. ඔව්. දැන් එහෙම තමයි. මගේ මතකය සති දෙකකට වඩා වැඩියි කියලා ඒකෙන්ම ඔප්පු වෙනවනේ.

      සෙන්නා. උඹට සුබ අනාගතයක්. මට ඊ මේල් එක ලැබුනා. රිප්ලයිත් කලා. ඔටමැටික් රිප්ලයි එකකුත් ආවා.

      Delete
    2. අඩේ උඹ යවපු ඒ මේල් එක, මම ඒකෙ දීලා තියන මගෙ ප්‍රයිවට් මේල් එකට එවහන්. මට ඒක බලන්න ඕනා..

      Delete
  25. බීපු කතාව හරි කියමුකෝ .... අර කතාවට අල්ලගන්නවා කියපු රුවත්තිට මොකද උනේ අන්තිමට ...... මම කියන්නේ අම්පාරෙන් මාරු වෙලා එනකොට වගේ කාලේදී ....????

    ReplyDelete
    Replies
    1. රළේ මමත් මේ අහන්න හිටියේ ඩුඩ් අයියාගෙන් ඕකම තමයි බං...:D

      Delete
    2. මම අම්පාරේ හිටියේ හරියටම අවුරුද්දයි. උඹලා අහන කතාව මම බ්ලොග් පෝස්ට් එකක් හැටියට ලියන්නම්. ඒක ඒ තරම්ම ලස්සන කතාවක්. පොඩ්ඩක් ඉවසලා ඉඳිල්ලා.

      Delete
    3. අන්න එල කොල්ලා.... අපි කැමති අන්න ඒ වගේ සැගවිච්ච කතා වලට තමයි ..... දැන්ම ඉදන් ඇඩ්වටයිසින් පටන් ගන්න කියහන්කෝ අය්යේ එක 18+ ද ඇ ?????

      Delete
    4. මැලේ ඕනේ නැති ඒවා නහා හිටින්..
      මේ ඩුඩ් අයියේ එක 21+ වෙන්න ඇති මයේ හිතේ...:D

      Delete
    5. ඒක එහෙම කතාවක් නෙවෙයි බං. අමුතුම කතාවක්. මම පස්සේ දාන්නම්.

      Delete
  26. උබට බිල වෑඩිවෙලා පස්සෙන්ද උදෙට සිගරට් බොන්න පුලුවන්ද බන්.මටනම් එ වෙලාවට පෙන්නන්න බෑ.ඔක හරි යනව උදෙන්ම ග්ලුකොස් ටිකක් කෑවනම්.මටත් දුන්නනෙ එකසෑරයම මමම දුන්න පටියකදි සෙට් එක .මගෙ පලවෙනි කෙල්ල සෙට් උනු වෙලෙ එක දුන්නෙ.මුන් ඔක්කොම ෆිට් එකට කියකිය උන්ගෙ විදුරුවෙන් පෙවුව.මට කෙල වුනා

    ReplyDelete
    Replies
    1. මට නම් ඒ දවස්වල සිගරට් එකට කටේ අප්පිරියාව යනවා. ඒකට දැං. දැන් වෙන එකෙක්ගේ සිගරට් ගඬහ් ආවත් වමනේ යන්න එනවා.

      මට කෙලවුනා, ඈ? ඒක කියලා තියෙන හැටි! සරළයි සුගමයි! :D

      Delete
  27. යාලුවො ටික හොඳ ගේමක් දීලා තියන පාටයි... හලේ හලේ :D

    බීම නං හොඳ නැතෝ....

    ඔය ටිකක් වැදිලා ඉන්නකොට සිංදු කියන්න ගත්තම ඉබේ ම නන්ස්ටොප් වෙනවා.. හික් බලෙන් කියන්න ගන්නේ

    ReplyDelete
    Replies
    1. රෙහානිත් බලා ඉඳලා තියෙනවා වගේ බේබදු ගී සරණිය!:D

      Delete
  28. ඔන්න ලකුනු කරගත්තා ඈ..ඈ

    ReplyDelete
  29. ඔය තියෙන්නේ කතා, ඔහොම බේරුනා ඇති.මචන් මේ බීල වමනේ දැම්මම අපහු බොන්න එපා වෙනවා නේද බන්.මටත් ඔය ගතිය පය කීපයක් තියනව.වැඩේ කියන්නේ අපහු බොනකල්.:)/..
    උඹ හොද කලවන් බිමක් තම බිල තියෙන්නේ එකයි ඔච්චර අවුල් උනේ.

    මටත් හොඳටම වැඩි වෙලා තියන්නේ ඔය වගේ පාටියකදී.මගේ ජිවිතේ ඒ දවස් දෙක අඳුරුයි.බොන්න ඒ දවස් වල තුන්සියයයි.බෙහෙත් ගන්න දෙසිය පනහයි.



    ReplyDelete
    Replies
    1. ජීවිතේ ඒ දවස් දෙක අඳුරුයි! හාහ් හාහ්, නියම කතාව. මටත් එහෙමයි. උඹ කියන්නේ මට තවම ඒ අප්පිරියාව මතකයි බං. එදා ඉඳලා මම හාඩ් ලිකර් වල රසයට කැමති වුනේ නෑ, ඉඳලා හිටලා බිව්වත්. දැන් බොන්නෙ අර අන්තිමට කිව්ව දේවල් විතරයි ඒත් බොහොම කලාතුරකින්. හාඩ් ලිකර් වලට යන්නේ වෙන කරන්නම දෙයක් නැතිවුනොත්.

      Delete
  30. අද හිනා වෙලා පණ ගියා!
    මං හිතුවේ දේශකයා තමයි හොඳම බේබද්දා කියලා.
    ඩූඩ් අයියා අද ඒ වාර්තාව කැඩුවා!

    ආ ඒක නෙවෙයි! ඔබෙන් HTMLවල මුලකුරු හැදෑරූ මම එහි පරතෙරටම ගියා. මේකෙ වැඩ බලන්න!

    ReplyDelete
    Replies
    1. මොනවා බං. ඒ කියන්නේ මම බේබද්දෙක්? අම්ම ගහයි කී බෝඩ් එකෙන්!

      මම ගිහින් බැලුවා. ඔය දාන්නේ ලින්ක් ලස්සනට. :)

      Delete
  31. හොරට නැතිව තිතට ගත්ත/ගන්න එව්වන්ට එහෙම වෙලා නැහැ කිව්වොත් තමා පුදුමෙ.
    මට අර කකා කිව්ව කිරිපණු ගාය පොඩි කාලේ නොතිබ්බට බොන්න සෙට් වෙලා මද බාගයේදී විතර,සින්දු ගායනා නොකර සින්දු කියන "ෂර්"ල වගේ අය කියන ඒවට පරම්පරාවෙන් එන ඔරු ඩාන්ස් දාන්න ගිය වෙලාවට(ඔරු ඩාන්ස් ගැන හොදටම දන්න පුතය තමා අපේ රවී පුත්‍රයා)කබ්රාල් ල එලියට දාල තියෙනව.
    හැබැයි ප්‍රසිද්ද ස්ථාන වල නොවේ.හැබැයි ඉතින් පහුව දාට ලක් හඩේ හඩ නගා කිව්වට හපන්.
    මාතලන්ගෙ රා කතාවකට මම කොමන්ට් කලා එක ලියන්න ගියොත් අද බොන්න වෙලාවක් නැතිව යනවා.අනේ ගස් හෙවනේ බීල/කාල ඒ පැදුරු මතම සුලං පහරෙ සුවය විදිමින් නිදි දෙව් දුවගෙ රුව දකිමින්ම ක්ෂණික කබරාල් මෝචනය වී,කට ලගම බැදපු හුරුල්ලන්/උගේ පිටේම තියල කපන මම ආසම මාළු සමග වශ විෂ නැති බත් තලාපෙ හෙලපු උන් දෙන්න ලගම පුක බිම තියන් අත් දෙකට ඔලුව බර කරගෙන කට ඇරගෙන බලාගෙන ඉන්නව වත්තෙ වල බල්ලො දෙන්නෙක්.
    මම ඇහැරෙද්දි දැක්ක දේ.මම නැගිටිද්දීම බල්ලො දෙන්න දුරට ගියා.
    කබිරාලලගේ කට ලග ඉතුරු වෙලා තිබුනෙ කරවිල කැබලි ටිකකුයි පැදුරට ඇලිච්ච මැල්ලුම් රැලි ටිකකුයි විතරයි.

    ReplyDelete
    Replies
    1. හයියෝ කෙන්ජි. ඒක කියෙව්වාම මට ආයෙම ඒ දවස මතක් වුනා.
      ඔරු ඩාන්ස් එක මටත් මතකයි. හැබැයි සරමක් ඕනේ නේ? :))

      Delete
  32. ආමාශයේ පතුලේ සිට මහ පොලවට පතිත වන අවස්තාව දක්වා වමන ගමන් මාර්ගය අති සුන්දරාත්මකව විග්‍රහ කර ඇත.රාත්‍රී භෝජනයෙන් පසුව පරිසරයට මුදාහරිනලද ද්‍රාවනයේ අඩංගුව තිබු කොටස් නොඅඩුව විස්තර කර තිබු නිසා පාඨකයාට චිත්ත රූප ඇති කර ගැනීම එතරම් අපහසු නොවේ.එතුලින් පාඨකයාට ඒ මොහොත තුල අවට ඇතිවු ඒ නැවුම් සුවඳ විඳදරා ගැනීමට ලබාදීමද විශේෂත්වයකි.වඩාත් සුවිශේෂීවන්නේ දෙවැනි වර කථානායකයා විසින් මුදාහරින ලද ද්‍රාවණය ,කතුවරයා විසින් පාඨකයාට රස විඳින්නට සලස්වන්නේ වඩාත් චමත්කාරවු අකෲතියක පිහිටා සිටය.එහි අඩංගු වු ද්‍රව්‍ය නැවත කියවා බැලීමෙන් ඔබ එය වටහාගනු ඇත.
    අඩෝ නියමෙට ලියලා තියෙනවා.හොඳ පොතක් කියෙව්වම හොඳ විචාරයක් ලිව්වැහැකි.උඹලා කවුරුහරි බෙල්ල ඇඹරෙන්න බීලා ,හවුස් ෆුල් ෆිල්ම්හෝල් එකක ,මැද පේලියක,මැද සීට් එකක,ෆිල්ම් එක යන අතරවාරේ වමනේ දාලා තියෙනවාද?

    ReplyDelete
    Replies

    1. ඔය දීලා තියෙන්නේ අරූ ඇට්ටි හැලෙන විචාරයක්. මම ආයෙම කියවලා බැලුවා පෝස්ට් එකේ අදාල කොටස් ටික. :))

      ‍ෆිල්ම් හෝල් එකේ කබ්බා දාපු එකෙක් ගැන නම් අහලා නෑ. දැන් මට ඒ කතාව අහනකල් ඉන්න බෑ බං. කතා නායකයා අරූ නේ?

      Delete
    2. මචං කතානායකයා නම් අරූම තමයි.කතාව හා සබැඳි සටන් ජවනීකාත් තියෙනවා.ඒ කතානායකයා ගුටි කෑම සහ ලිඩෝ සිනමාහල අරූට තහනම් වීම සම්බන්ධව.ගුටි කෑම සහ වමනයට සම්බන්ධ නොවු කතාවක් තියෙනවා දෙහිවල පර්ලින් තුල සිදුවූ.ජීවිත කතාව වමනේ දාන්න අයිඩියා එකක් තියෙනවා.ඒක කරන මැද්දේ උඹ තව වමන කතාවක් ගෙනාවොත් අරක දාමු.බ්ලොග් ලියනවාට වඩා මම ආසයි බ්ලොග් කියවන්න.උඹලා තරම් මට රසවත්ව ලියාගන්න බැහැ.

      Delete
  33. ඕකනෙ බුදුහාමුදුරුවොත් සුරාමේරය මද පමණ ගන්න කියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මැද මාවත කොහොමත් හොඳයි, ඉන්දික. :)

      Delete
  34. ඕවගේ දේවල් නං මටත් ඕන පදං වෙලා තියනවා.. ඒත් දැන් නම් බොහොම කල්පනාවෙන් තමා මේ වගේ තැන්වල ඉන්නේ. ඒ කොහොම වුණත් ඔබේ දැන් ක්‍රමයට අවතිර්ණ වීම ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඕනෙ පදං වෙලා නැතිනම් තමයි පුදුමේ. ස්තුතියි නලීන්.

      Delete
  35. ඩුඩ් අයියේ එක පාරක් ම‍ටත් මෙහෙම සින් එකක් උනා නොව.එක පාරක් ඔය අපේ ඔපිසියේ එකකුගේ මගුලකට ගිහින් අර උඹ කිවා වාගේ අයියේ බිව්වම නටන අනිවාර්ය අංගෙට ගිහිං ඇවිල්ලා.එයින් පස්සේ මගේ බල්ලාවත් බලන්නේ නැහැ ඔය ජරාව දිහා...:D

    මේ අර සුපර් ස්ටර්ගේ චිත්‍රයනම් මල් හතයි බං අයියේ.. :-f

    ReplyDelete
    Replies
    1. අන්න අන්න උඹ සිද්ධිය යට ගැහුවා. ඔය මං කිව්වා වගේ පාපෝච්චාරනය කරපං වහාම.

      චිත්‍රය දැකපු එකෙක් කිව්වනේ ඒ මයික් එක පේන්නේ බෝතලේ කටේ තියාගෙන බොනවා වගේ කියලා. මට එතකොටයි මතක් වුනේ එදා පහුවෙන කොට මම නටලා ඇවිත් බෝතලේ කට තියාගෙන බීපු බව. :))

      Delete
  36. මේ සුපිරි (අප්පිරි?) අත්දැකීම් මගේ ළඟ තියන කන්දරාව ලියන්න ගියොත්, ලියන්න වෙන්නේ ජාතක පොතක්. ඒ නිසා නියමයි හෙන්රි නියමයි කියලා නවතිනවා. එකම එකක් කියන්නම්. අප්පිරියා ළමයි යන්ඩ අහකට. අපේ එකෙක් ඔයවගේ පාටියක් ඉවරවෙලා පහුවදා පාන්දර බස් එකේ අයිනේ සීට් එකක ඉඳගෙන යනගමන් දැම්මා ජනේලෙන් එලියට කබරයා. බස් ඒකෙ පසසම සීට් ඒකෙ හිටිය මිනිහෙකුගේ පොල් සයිස් උඩු රැවුලේ රැඳුනනේ අරූ දාපු පරිප්පු ඇට.

    ReplyDelete
    Replies
    1. බොන ප්‍රමාණය හොයාගන්න බැරි මෙස් එකේ ගැහැව්වම. සීය සීය ගේනවා කීයක් ගැහුවද කියලා ජීවීතේට දන්නෙ නෑ...

      Delete
    2. මෙන්න මෙහෙමයි හමුදාවේ කියන්නේ.

      Officers are suppose to be drink, but they are not suppose to be drunk.

      Delete
    3. Officers are suppose to be drink, but they are not suppose to be drunk.

      ඕක නං සහතික ඇත්ත කියල මාත් දැනගත්ත කීප අවස්ථාවකදීම. “බේබදු විචාරකගේ චාරයක් නැති කතා“ කියල බ්ලොග් කටුවක් පටන් ගමුකෝ අනේ.. ප්ලිස්...

      Delete
    4. බ්ලොග් එකට යෝජනා කරලා තියන නම වැරදියි බං. නියම නම 'චාරයක් නැති බේබද්දෙකුගේ විචාරක කතා' :D :D

      Delete
    5. ස්තුතියි විචාරක. හයියෝ මට පරිප්පුත් අප්පිරියා වුනා අප්පා ඒක අහලා. මගේ ප්‍රියතම කෑමක්! ඔය බ්ලොග් එකට යෝජනා කරපු නම නම අපි හෙම නෙවෙයි කිව්වේ ඕං. :-O
      Officers are supposed to drink වෙන්නැති නේද?

      Delete
  37. ඩූඩ් අයියගේ කතාව මැවි මැවී පෙනුනා... ඇදේ කොනක වාඩි වෙලා අලාභය තක්සේරු කරන ඩූඩ්ව මට මැවිලා පෙනුනා...
    සැමි අයියා කොහේහරි ගිහින් බොනවානම් බොන්නේ ආපු වාහනේ තරමට... බයික් එකේ නම් එක විදිහක්, කාර් එකේ නම් තව විදිහක්..මම එක්ක ගිය තැනක නම් තව විදිහක්... හොදම දේ තාත්තගේ කාර් එකේ ගියාම වෙනමම විදිහක්...හැබැයි මම දැකල තියෙන්නෙ නම් වැඩිවෙලා වමනේ දාපු එක සැරයක් විතරයි...

    ReplyDelete
    Replies

    1. නදිනි, දැන් කොහොමත් වාහනේක ගියොත් බොන්න වෙන්නේ නෑ. මොකද පොලෝසියට මාට්‍ටු වුනොත් හෙන කේස්. ඒ නැතත් බීලා වාහන එලවන එක නොකල යුතුම දෙයක්. :)

      Delete
  38. අම්මෝ කබරයා ගිහින් සතියක් විතර අමාරුව තිබ්බා මට.. ජීවිතේටම ආයේ වැටෙන්න බොන්නෑ කියලා එදා හිතා ගත්තා.

    "දැඩි ඔක්කාර ගතියකින් මම හදිසියෙ අවදි වුනා..........කොහොමත් මේ මගුල අංශක විසිතුනහමාරක් ඇලයිනේ. බීලා ඉන්නකොට ඒක හොඳට තේරෙනවා" මේ ටික සුප්පා. මට තවම හිනා.මැවිලා පේනවා අප්පා

    ReplyDelete
    Replies
    1. උඹට සතියක් විතරනේ අමාරුව තිබ්බේ. මට දසක ගානක් ගිහිල්ලත් තවම ඒ අප්පිරියාව තියෙනවා බං.

      ඔව්නේ බං. උඹට කවදාවත් තේරිලා තියෙනවද ඔය අංශක විසිතුනහමාරේ ඇලේ නොබීපු වෙලාවක?

      Delete
  39. හිනා කාලා මැරෙනවා ඩූඩ්.... මටනම් හිතෙන්නෙම ෂොට් එකක් දාලම ලියලා වගේ
    :p

    ReplyDelete
    Replies
    1. පිස්සුද ඉමල්ක, මෙහෙ බොන්න බෑ සහ බොන්න නෑ.

      Delete
  40. අපේ බැච් එකේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් එහෙම ගියොත් අපිට වැඩිම ආතල් එකක් ලැබෙන්නේ බොන අය කරන විගඩම් නැරබීමෙන් තමයි...

    ReplyDelete
    Replies
    1. බීමට විරුද්ධ වුනත් බේබදු සාහිත්‍යය මටනම් රසවත්.

      Delete
  41. ගෙදර ඉන්ටනෙට් එකට කෙලවෙලා. මම මේ ඉස්කෝලෙට ආවා පේජ් ලෝඩ් කරගෙන යන්න. කියවලා කමෙන්ට් කරන්න ඕනෙ.

    ReplyDelete
  42. මං මේක පොස්ට් කරපු දාම ඇවිල්ල කියවල ගියා.පස්සෙ පොස්ට් එකක් දාන්න හිතාගෙන. ඔන්න අදයි ඉඩ හම්බවුනේ.
    මුලින්ම කියන්න ඕනෙ මම හරියට හිනා වුනා. හොඳ වෙලාවට ගෙදර කවුරුවත් හිටියෙ නෑ.මේකට තමා ගොඩක් හිනා ගියෙ. “අම්මට හුඩු! ෂර්ගෙ බර්ත්ඩේ එක???? යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”
    මේ වාක්‍යයත් හරිම ලස්සනයි.
    " විශාල ඇලුමිනියම් භාජනයකින් කට කපලා එකක් නූඩ්ල්ස්, පරිවාරක දීසි සමග, අපි වෙනුවෙන්ම සැදී පැහැදී හිටියා. "

    මට මැවිල පෙනුන නූඩ්ල්ස් එක අනිත් දීසිත් එක්ක හිටගෙන ඉන්න හැටි.

    මේක නම් කොහොම මතක් වුනාද මන්ද?
    " ‘අනේ මගෙන් වැඩ ගනිව්, ගනිව්, හඬ, හඬා,’ බලා හිටියා."


    හැම වාක්‍යක්ම හරිම විචිත්‍රවත්ව ලියල තියෙනව. I was spellbound. "

    මාත් දැකල තියෙනව බීපු අය සින්දු කියන හැටි. අකමැත්තෙන් එන්නෙ. පස්සෙ නවත්තගන්න බෑ.

    පුදුම වාසනාවක් තිබිල තියෙනව ඉස්කෝලෙදි ලැජ්ජාවෙන් බේරෙන්න

    මං කියෝපු ලස්සනම පොස්ට් එක කිව්වෑකි. අර පරිවර්තන ඇරෙන්න. පස්සෙ දවසක මගේ ජීවිතේ රස කතා කියල පොතක් ගහන්න. ඔයා නොහිතපු විදියට විකිනෙයි!

    ReplyDelete
    Replies

    1. ස්තුතියි බ්ලූ ලෝටස්. මගේ ජීවිතේ රස කතාවලින් ලියන්න පුලුවන් සීයට විසිපහක් වගේ විතරයි. මම කොහොමත් මගේ බ්ලොග් එකේ නමට යටින් දාන්න හිතාගෙන ඉන්නේ ඒ බව සඳහන් වෙන පොඩි කෑල්ලකුත්. :)

      Delete
  43. This comment was published in the tread of an abusive comment by some lowlife and was deleted with the thread. Sorry about that Mr Anonymous. Here's your comment:
    ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය - 77 වගන්තිය

    'සිහි විකලත්වය නිසා කරන කිසිවක් වරදක් නොවේ'

    ReplyDelete
  44. Replies
    1. ඇයි අක්ක ‘මටද කිව්වෙ?‘ කියල ඇහැව්වෙ. අක්කා දැක්කෙ නැද්ද අර බූරුවෙක් ඇවිත් කරල ගිහින් තිබුනු හරියක් ඊයෙ හවස බ්ලොග් කීපෙකම. එයාට දීපු රිප්ලයි එකක් ඩුඩ් ආයෙ දාලා තියෙන්නෙ, මුල් කමෙන්ට් එක මකන කොට ඒකත් මැකිච්ච නිසා වෙන්න ඕන.

      Delete
    2. හපොයි බ්ලූ ලෝටස් ඔයාට නෙවෙයි කිව්වේ. මගේ බ්ලොග් එකට ඇවිත් කමෙන්ට් කරන අමුත්තන්ට මම එහෙම කියනවද? ඔය DDT කිව්ව දේ තමයි වුනේ. ස්තුතියි DDT. :)

      Delete
  45. මොකක්ද මන්ද අවුලක් බං..උඹෙ අලුත් පෝස්ට් මගෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන්නෙත් නෑ ඊ මේල් එකෙං එන්නෙත් නෑ :(

    කමක් නෑ පරක්කු වෙල හරි ආවනෙ නැද්ද?...මත් වතුර පානය සහ ඒ හා සම්බන්ධ පශ්චාත් ක්‍රියාකාරකම්..හප්පච්චියේ කීයක් නං තියනවද? තුන්වන සිල්පදය උල්ලංඝනය කිරීම සහ ඒ හා සබැඳි අනේක ආශ්වාදජනක අත්දැකීම් කියල ලියන්ට ඕන ඒ මතක සැමරුම් ....

    ReplyDelete
    Replies
    1. මෙයත් බිලද කොහෙද තුන නෙමෙයි පහ තමයි මත් වතුරට සම්බන්ධ වෙන්නේ ..

      Delete
    2. උඹ නම් ලඟ නවාගෙන තමයි මචෝ ඉන්නේ. බ්ලොග් රෝලේ අප්ඩේට් වෙනවා තියා මට බ්ලොග් එක වත් හොයාගන්න බැරුව ගියා උඹලගේ බ්ලොග් රෝලේ. ඉස්සෙල්ලම ඒක එල්ලපංකෝ.

      බින්දි, රවියා බීලා හිටියත්, තර්ක කරලා වට්ටන්න අමාරුයි. ඔන්නම් බලන්න මූ කියන්නේ නැද්ද කියලා මෙහෙම.

      >>හෙහ් හෙහ්, බින්දියෝ, උඹටනේ කල්පනාව නැත්තේ. උඹ මම ලියපු එක තේරුම් අරන් නෑ. පස්වෙනි සිල්පදය උල්ලංඝනය කරහම තමයි තුන්වන සිල්පදය ප්‍රධාන කොටගත් ඒ හා සබැඳි අනෙකුත් අනේක ආශ්වාදජනක අත්දැකීම් වලට මඟ පෑදෙන්නේ. හෙහ් හෙහ්.<<

      Delete
    3. අපි නොදන්නා රවී නේද ...

      Delete
    4. හෙන්රි,

      හෙහ්, හෙහ්..යකෝ මේක මාර කෙලියක් නෙව..උඹ දැං උඹේ බ්ලොග් එකේ අපි දාන කමෙන්ට්ස් හිටං උඹම උපකල්පනය කරල දාන්ට පටං ගත්තද?....:)

      බින්දි,

      එතන වැඩේ වෙන්නෙ මෙහෙමයි...ඕක කොහොම කිව්වත් එකයි ලමයා...ඉස්සෙල්ල තුන බිඳුනොත් පස්චාත්තාපය මකා ගන්ට පහත් බිඳින්ටම වෙනව..හරිය?....ඉස්සෙල්ල ටිකක් යහමිං පහ බිඳුනොත් අනිවා ඩෙෆා ඒ අනුයාත ඊලඟ පියවර ඇවිල්ල තුන බිඳෙන එක...ඊට පස්සෙ ආයෙම දුක තුනී කරගන්ට පහ බිඳිනව...

      Delete
  46. පට්ට ඩුඩ් පට්ට , ඔන්න කොල්ලො :)
    උඹ නියමෙට කියලා තියෙනව බං , ඇත්තමයි පට්ට හිනා කාල මැරෙනව :)

    ReplyDelete
    Replies
    1. මේවා අපි උඹලා කාටත් වෙලා තියෙන, වෙන, වෙන්නට නියමිත (waiting to happen) අත්දැකීම්. හුඟ දෙනෙක් ඕවා කියන්නේ නෑ, හංගනවා. :)) මට මෙච්චර බොන්න පුලුවන් කියලා කයිය ගහන එවුන් මිසක්, අනේ මට බීලා වමනේ ගියා කියලා පිළිගන්න උන් බොහොම අඩුවෙන් තමයි මටත් හම්බවෙලා තියෙන්නේ. :D

      Delete
    2. අනිවා අනිවා ඩුඩ් .....:)

      Delete
  47. අපොයි දෙය්යනේ වෙලා තියෙන අලකලංචි ගොඩ..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා ෆුල් පැකේජ් එකම ලැබුනා ඔක්කොම දීමනා එක්ක.

      හැබැයි යන්තම් ගොඩ දාගත්තා රෙදි ගැලවෙන්නේ නැතිව.

      Delete
  48. බලාගෙන යද්දි ඩූඩා අපේ තාත්තගෙ වයසට කිට්ටුයි නොවැ!!! හෙහ් හෙහ් හෙහ්! :))

    ReplyDelete
    Replies
    1. ඊට වැඩිද දන්නෙත් නෑ බං. :D

      Delete
  49. වෙලාවට මම කෑම කන්න කලින් කියෙව්වෙ නැතිනම් මේක කියවලා බඩ කොරවෙනකං හිනාවෙලා මගෙත් ඔය කිව්ව විදියට බඩේ කෑම ටික ඉහලට ප්‍රක්ෂේපණය වෙන්න තිබුණා...
    විද්‍යා මිස් අමුතු විදියට ප්‍රශ්ණාර්ථ මුහුණින් බලපු හේතුව හිතාගන්න පුළුවන්. බාහෙට හෝදපු ටෙස්ට් ටියුබ් වල ඉතිරිවෙලා තිබුණ ඇල්කොහොල්, ආමාශ HCl,කෝපි ආනමාලු සමඟ ආප්ප මුසු "අමුතුම කබර ජූස්" නිසා නළ වල pH අගය වෙනස් වෙලා ළමයි එදා කරපු පරීක්ෂණ වල වෙන වෙන ප්‍රතිඑලලු එන්නෙ. රෝස පාට වෙන්න ඕන ද්‍රාවණ නිල් පාට වෙනවළු. නිල්පාට වෙන්න ඕන ඒවා කොළ පාට වෙනවලු. ඔක්සිජන් වෙනුවට ඇමෝනියා පිට වෙනවලු. ඇමෝනියා වෙනුවය හයිඩ්‍රජන් එනවලු.. සමහර නළ වලින් දුම දානවලු හැක් හැක්... ටීචර් නිකං මොලේ කොලොප්පන් වෙලා වටපිට බලද්දි තමා වූඩ්ව දකින්න ඇත්තේ :D
    ෆයිනල් ඉයර් එකේ අපේ එකෙට්ටත් ඔහොම එකක් වුනානෙ. දවසක් බීලා වෙරිවෙලා බයික් එකේ යද්දි වැටිලා දත් කඩාගෙන Xray ගන්න ගියාම Xray මැසිම උඩම දැම්මෙ නැද්ද කබරයා. ඒ මදිවට අතහරින පොර ටෝක් කන්දරාව... ඌව වත්තං කරං ගිය එවුන්ගෙත් කාඩ් කුඩු පට්ටම්...

    ReplyDelete
    Replies
    1. අයියෝ, ඉතිං ඇයි නොලියන්නේ ඒවා? ලුණු ඇඹුල් අජිනොමොටෝ දාලා ලියන්නෙපෑ, තොටියෝ.

      ඔය තියෙන්නේ විද්‍යාත්මක පැහැදිළි කිරීමක්, විද්‍යා ගුරුතුමීගේ ප්‍රශ්ණාර්ථය පිළිබඳව.

      Delete
  50. මගේ නං උපදේසෙ බීල වැඩි ම උන දවසට පස්සෙ දවසෙ උදේ කෑම භයානකයි. කෑවට කමක් නෑ ඕන දේකට රෙඩි‍පිට ඉන්න පුළුවන් තැනක ඉන්න ඔන. උඹ දැං හිනාවුනාට යම් අවදානමකින් බේරිලා කියෙන්නෙ. නිකමට හිතපං ළමයි ඉස්සරහ වමනෙ ගියානං.....

    ReplyDelete
  51. මොනවා වුනත් අනූනමයයි දශම නමයෙන් බේරිලා තියෙනවා වගේ. මට හිතෙන්නේ විද්‍යා ගුරුතුමීට නිකමට වගේ මොනවා හරි තේරිලා තියනවා වගේ. මොකද එදා 9 වසරේ පරීක්ශණ සේරම වැරදිලු. :P

    ReplyDelete
  52. මමත් හොඳ හොඳ සෙල්ලං කොරල තියේ බීලා.. එකපාරක් බීලා (කැම්පස් යන කාලේ) ගෙදර යද්දී අප්පච්චි ඉන්නවා පාරේ.. මල සේක.. මං පාරේ සුදු ඉරක් අල්ලන කෙලින් ඇවිදිනවා.. ඒ ගිහිං ගෙදර ගියාම මට පේන්නේ ගෙදර පඩිපෙළ එස්කලේටර් එකක් වගේ නිකම්ම කැරකෙනවා. පඩිපෙළේ හිටගෙන ටිකක් වෙලා හිටිය ඒත් මේ මගුල යන්නේ නෑ.. කොහේදෝ ඉඳල අපේ අම්ම ඇවිත් "පල යන්න කාමරේට, කොහෙද ගිහිං ජරාවක් බීල ඇවිත් මෙතන.. " කියල මොනවදෝ දෙසන්න ගත්ත විතරයි මතක කොල්ල කාමරේ.. අදටත් දන්නේ නෑ බඩගාගනද ඇවිදගෙන ද ගියේ කියල.

    මෙහෙ ඇවිත් බීල අපේ එවුන් මට කසිය පොවලා. මං සාමාන්‍ය විදියට ඕවා බොන්නේ නෑ. හොඳ බෝතල් විතරයි මං බොන්නේ. එදා මුන් හොඳ බෝතලයක් කියල කසිප්පු බ්ලැක් කරන්ට් එකකට මික්ස් කරලම ගෙනත් මට දුන්නේ. දෙක තුන හතර වෙද්දී මං නටන්න අරගෙන. ඒ දවස්වල කාමරේ තිබ්බ යකඩ ඇඳක ඉණිමග ගලවලා කෙලින් කරලා ගිටාර් ගහල. මට මතක නෑ මොකක්ද උනේ කියල. පස්සේ පාන්දර කබ්බා සෙට්වෙලා අමාරුවෙන් නැගිටලා මං බාත්රුම් ගිහිං දොරත් ඇරගෙනම කබ්බ දැම්ම. මං සාමන්යෙන් සද්දෙට කබරයා දන්නේ. සද්දෙට අනිත් එවුන් නැගිටලා ඇවිත්.. පස්සේ කට හෝදලා වතුර ටිකක් බීලා යෝගට් දෙකක් කෑවා. නිදාගත්තා.

    ඔය ඇරුනාම මට වැඩි වෙන්න මං බීල නෑ කවදාවත්. ලිමිට් එකට එද්දී නිකම්ම මං ශේප් වෙලා යනවා. ගොඩක් වෙලාවට කෝක් එකට වතුර දාල මික්ස් කරලා ගහනවා ඒ වෙලාවට. ඒ එක්කම පුළුවන් තරම් වතුර බොනවා. විජලනය නවත්තගන්න. හිතන්නකෝ මං කොහොම මීටරෙන් ඉන්නවද කියල.

    බැංකුවේ ඉන්න කාලේ බොනවා ඇට්ටි හැලෙන්නම. ඒ බීලා ඩේ එන්ඩ් ප්‍රොසෙස් එක දානවා. (මේවා නඩු යන කතා..!!) කිසිම අවුලක් නෑ. ඒත් දැන් ගොඩක් කොන්ට්‍රෝල්. බිව්වත් ගානට. බියර් නම් බොන්නෙම නෑ, මට අවුල් බියර්. වයින් නං ඉතිං බොනවා බෝතලේ කබඩ් එකේ දාගන රෑට ෂොට් එකක් විදියට.

    ReplyDelete
  53. අරක්කු වලට සිගරට් අළු මික්ස් කරලා දුන්නම ඔයිට එහා කොක්ටේල් ඈ!!!
    මං පොඩිකාලෙ දැකපු එකක් ඒක!!

    අපෙ තාත්තත් ලේසියකට වට්ටන්න බෑ ඒ කාලෙ. ගැලුමක් ගැහුවත් කොල්ලා කෙලිං අැවිදිනවා!!
    (හැබැයි එකපාරක් නං, බජාජ් CT100 එකකින්, අම්මත් එක්කම, පාර අයිනෙ තිබුණ පොල්ගහක් දිගේ අඩි දහයක් විතර නැග්ගලු. කාගෙ වාසනාවටද මංදා, සීරීමක්වත් නැතුව, යහතිං ලෑන්ඩ් කරලා! පෙරලිලා වත් නෑ!! ඊට පිටිපස්සෙං අාපු අනිත් බෙබාලා සෙට් එක, සීන් එක දැකලා වෙරි හිඳිලා!!!)

    දවසක් ගෙදරදිම සෙට් වුණ වෙලාවක, බයිට් පොඩ්ඩක් දාගෙන එන්න තාත්තා අැතුළට ගිය ටිකට, එතන හිටපු එකෙක්, තාත්තගෙ වීදුරුවට සිගරට් අලු කඩලා දාලා මික්ස් කලා මං දැක්කා. (මික්ස් කරන්න වෙන මුකුත් තිබුණේ නෑ. එකම බ්‍රෑන්ඩ් එකෙන් බෝතල් දෙකයි, කෝක් ස්ප්‍රයිට් සෝඩා අනං මනං ටිකකුයි විතරයි තිබුණේ!!
    තාත්තා බීලා ඉවර වෙච්ච නිසා අහක දාන වීදුරුවට මොනා දැම්මත් මට මොකෝ කියලා මාත් කට පියං හිටියා. (එයාලා සෙට් වෙන දිහා මං බලං ඉන්නවා කියලා එයාලා දන්නවනං මාව කනවා!! ^_^  ^_^  )
    කරුමෙ කියන්නෙ, තාත්තා අලුතෙං ගෙනාපු බයිට් ප්ලේට් එක තියපු ගමං අර ශොට් එක අාමාශගත කරගත්තෙ නැතැයි!! 
    ඊට පස්සෙ තව වීදුරුවක් ඉවර කරන්න හම්බුණේ නෑ, එතැන් පටන් කට්ටිය යනකල්ම තාත්තා කානුවෙ!! උනුත් බලාගෙන හිනා වෙවී අාතල් ගන්නවා!! මට නං එදා එපා ම වුණා!!!

    පස්සෙ දවසක උන්ට තාත්තා සනීපෙට කියලා දුන්නා, මං ජීවිතේට අහලා නොතිබුණ අමුතුම සිංහලේකිං ඈ!!

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>