Sunday, October 20, 2013

98. පොරොන්දුව Licked!


මේ ඔබ මේ බ්ලොග් අඩවියෙන් කියවන තුන්වෙනි පෝල් ජෙනිංස් කතාව. 

මතක ඇති ඔබට

හොර ඇල්ලීම Exposer

එතකොට...


ඈක්කා!!!!!!! A Mouthful!
 

ඒ එක්කම, ඔබ 'ඈක්කා!!!!!!!' කතාව කියවලා අප්පිරියා හිතුන කෙනෙක් නම්, කරුණාකරලා, මේ කතාව කියවන එක මෙතනින්ම නවත්තන්න. ඒක මතක නැතිනම්, ගිහින් කියවලාම එන්න. ඒ කොහොම වෙතත් ඔබ මේ කතාව කෑම කන ගමන් කියවීම නම් මම අනුමත කරන්නෙම නැති බව කියන්නම ඕනෙ.

 ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

පොරොන්දුව - Licked!


හෙට ඩැඩීගේ කේන්තිය ටිකාක්  නිවුනාම මම ඇත්තම කියන්නයි ඉන්නේ. එයා  මුලින්ම හිනාවෙයි. ඊට පස්සෙ අඬයි. ඊට පස්සෙ මගේ බෙල්ලත් මිරිකයි. ඒත් කමක්  නෑ. එයා මේ විඳින විඳවිල්ලෙන් එයාව මුදවන්නම ඕනෙ.

මම ඩැඩීට ආදරෙයි. 

ඩැඩී මාත් එක්ක මාලු බාන්න යන්න එනවා. සමහර සීතල දවස්වල 
රෑට ගිණි මැළේ ඉස්සරහ ඉඳගෙන අපි දෙන්නා ආම් රෙස්ලිං කරනවා. එයා (ඔය කොයි තාත්තත් කරන) ප්‍රවෘත්ති  බැලිල්ලත් අල්ලලා දාලා, මාත් එක්ක ස්ක්‍රැබ්ල් ගහන්නත් එනවා. මට එක එක විදියේ  ළණු දෙනවා. එයාගේ මම දකින හොඳම ලක්ෂණය තමයි හැම විටම දෙන පොරොන්දු රකිනවා.

නමුත් ඩැඩීගේ හදන්න බැරි වැරදි දෙකක් තියෙනවා.

එකක් මැස්සො සම්බන්ධව.


එයාට මැස්සො පේන්න බෑ. කාමරේ මැස්සෙක් හිටියොත්  ඩැඩීට ඌව ඉවරයක් කරලා දානකල් ඉන්න බෑ. එයා ඒකට ඔය මෝර්ටීන් ස්ප්‍රේ වගේ දේවල් පාවිච්චි කරන්නෙත්  නෑ අර කෙහෙල්මල් ඕසෝන් ස්ථරය හන්දා. ඒ හන්ද එයා මැස්සො පස්සෙ පන්නනවා අර මැස්සො  අල්ලන ෆ්ලයි ස්වොටර් එක අරගෙන. එයා ගේ පුරාම දුවනවා ඕක වන වන පිස්සු හැදිලා වගේ. මැස්සාව තලලා චප්පම  කරලම තමයි එයා පස්ස බලන්නෙ. සමහර වෙලාව
ෆ්ලයි ස්වොටර් එකේ ඇලිච්ච මැස්සො තවම නලියනවා..
ඩැඩීට මාරම එල්ලයක් තියෙන්නේ. එයාගේ ඉලක්කේ වරදින්නේ කලාතුරකින්. ඩැඩීගේ පරණ ෆ්ලයි  ස්වොටර් එක ගන්නම දෙයක් නැතුව ගියාම මම එයාගේ උපන් දිනේට අලුත්ම කහපාට  නියම භාණ්ඩයක් අරන් දුන්නා. හැබැයි ඒක වැඩි කාලයක් කහපාටට තිබුනේ නෑ. වැඩි  දවසක් යන්න කලින් ඒකත් මැසි අතුණු බහන් වලින් වැහිලා ගියා.

චප්ප කරපු මැස්සෙක්ගේ ඇතුලේ මොන තරම් පාට වර්ග තියෙනවද කියලා  විශ්වාස  කරන්නත් අමාරුයි. වැඩියෙම තියෙන්නේ කලු දුඹුරු තමයි, ඒවා මත රතු විසිරිලා  තියෙනවා අතරින් පතර නිල් පැල්ලම් එක්ක. උන්ගේ ත‍ටු එලියට අල්ලලා බැලුවාම  දියමන්ති වගේ දිළිසෙනවා. නමුත් ඔය පිහා‍ටු හැලෙනවා උගෙ අතුණු බහන් වලින් 
හරියට ස්වොටර් එකට ඇලවිලා තිබු
නේ නැතිනම්.

මැස්සෝ පස්සේ පන්නන එක ඩැඩීගේ පළවෙනි වැ‍රැද්ද.

දෙවෙනි එක තමයි කෑම මේසේ සිරිත්-විරිත්, ඒ කියන්නේ ටේබල් මැනර්ස්. එයාට පුදුම පිස්සුවක් තියෙන්නේ සිරිත්-විරිත් ගැන -  විශේෂයෙන්ම කෑම මේසේ සිරිත්-විරිත් ගැන.

අනික එයාට ප්‍රශ්ණෙ තියෙන්නෙම මගේ සිරිත්-විරිත් එක්ක.

"ඇන්ඩෲ," එයා කියනවා.

"මේසේ උඩ වැලමිටි තියාගන්න එපා."

"කටේ කෑම පුරවාගෙන කතා කරන්න එපා."

"ඇඟිලි ලෙවකන්න එපා."

"කෝපි එකේ කුකීස් ඔබලා කන්න එපා."

හැම කෑම වේලක්ම ඔන්න ඔයාකාරයි.

එයාට තියෙන්නේ මැසි පිස්සුවෙත් හොඳ එකයි, මැනර්ස්  පිස්සුවෙත් හොඳ එකයි.

හොඳයි, කතාවට ආපහු ආවොත්. ඔන්න දවසක් ඩැඩී අර්තාපල් සුද්ද කරනවා රෑ  කෑමට.  මම මේසේ යට ඉඳගෙන මීට සතියකට විතර කලින් මේසේ යටට රෝල් වෙලා  ගිය සත පනහක් හොයනවා. මමී, ඩැඩීත් එක්ක කතා කර කර ගෝවා ගෙඩියක්  හීනියට කපනවා.  ඒ දෙන්නා දන්නේ නෑ මම මේසේ යට ඉන්න බව.  ඩැඩීගේ ලොක්කා මිස්ටර්  ස්පින්ක්ස් රෑ කෑමට එන නිසා මේක වැදගත් කෑම වේලක්.  ඕවගේ කවුරු හරි කෑමට එනවානම් සිරිත් විරිත් ගැන තොර ‍තෝංචියක් නැතුව දේසනා කරන එක ඩැඩීගේ පුරුද්දක්.

"අනේ මේ ඔයා ඔය කෑම වෙලාවට ඇන්ඩෲගේ වැරදි හොයන එක නවත්තන්නකෝ  අප්පා,"මමී කියනවා.

"කවුද වැරදි හොයන්නේ?"

"කවුද තමයි," මමී කියනවා."ඔයා කොච්චරවත් අරක කරන්න එපා, මේක කරන්න  එපා කියනකොට කොල්ලට හීනමානයක් ඇතිවෙනවනේ."

හීනමානයක් ගැන මම අහලා නෑ. ඒක ඔය කුරුලෑ, අලුහම් වගේ බයානක දෙයක් කියලා මම හිතා ගන්නවා.

"ඔන්න අද නම් කෑම වේල ඉවරවෙනකල්ම ඇන්ඩෘට මොකූත්ම කියන්නෙපා හරිද?"

"එහෙම කොහොමද?," ඩැඩී විරුද්ධ වෙනවා.

"උත්සාහ කරලා බලන්න," මමී කියනවා. "මට පොරොන්දු වෙන්න අද කොල්ලත් එක්ක කේන්ති අරගෙන කෑගහන්නේ නෑය කියලා."

ඩැඩී මමී දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉන්නවා.

"හරි," ඩැඩී කියනවා. "එහෙනම් ඔන්න ඔට්‍ටුයි. මම එයාගේ මැනර්ස් ගැන කිසි දෙයක් කියන්නේ නෑ.  හැබැයි ඔයා කියන්නෙත් නෑ. මට හොඳ නැති දේ ඔයාට හොඳ වෙන්න බෑනේ."

"එහෙනම් ඔන්න ඔට්‍ටුයි. ඈ,"  දෙන්නා අතට අත දීලා එකිනෙකාට පොරොන්දු වෙනවා.

සත පනහ හොයා ගන්න මම, ඇඟිලි තුඩුවලින් ඇවිදගෙන කුස්සියෙන් පිටවෙනවා..

රෑ කෑමට ඉස්සෙල්ලා සත පනහ වියදම් කරන්න මම ටවුම පැත්තට යනවා. 

ඩැඩී පොරොන්දු වෙලා තියෙන්නේ මට කෑ ගහන්නේ නෑ කියලා.  මේ වගේ අවස්තාවක් ආයේ එන්නේ නෑ.  ඩැඩීගේ ඔට්‍ටුව බිඳින්න මම මොනවද කරන්නේ? 

ඒක එච්චර අමාරු වෙන එකක් නෑ. සුප් එක 'සොරෝස්' ගාලා සද්දෙට බොන්න ඕනේ.  ඒක එයාට  පේන්න බැරි වැඩක්.  එතකොට පොරොන්දුව අමතක වෙලා එයා මට බනින්න පටන් ගනී. සමහර විට කෑ ගහයි. මට හොඳටම විශ්වාසයි එයාට මට කෑගහන්නේ නැතුව කෑම වේලක්ම පහුවෙනකල් ඉන්න බෑ කියලා. 

"මාර ආතල් එකක් ගන්න පුලුවන් වැඩක් වෙන්න යන්නේ." මම මටම කියාගන්නවා.



 ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙


එදා රෑ මමී කෑම මේසෙට අලුත් රෙද්දකුත් දානවා. ගෙදර තියෙන හොඳම හැඳි ගෑරුප්පු සෙට් එක මේසෙන් තියනවා.  මට වෙනදට අල්ලන්නවත් නොදෙන සෙට් එකේ පිඟනුත් එක්ක.  අත්පිස්නාවල් තියන්නේ අර වළලු ඇතුලට දාලා. මේ හැම දෙයින්ම කියවෙන්නේ මේක ඉතාම වැදගත් කෑම වේලක් බවට බවයි. අපි සාමාන්‍යයෙන්  රෙදි අත්පිස්නාවල් පාවිච්චි කරන්නේ නෑ.

මිස්ට ස්පින්ක්ස් එන්නෙත් ඉස්තරම්ම ඇඳුම් කට්ටලයක් ඇඳගෙන, රත්තරන් රාමුවක් තියෙන කණ්නාඩි කුට්ටමක් දාගෙන. කෝච්චරවත් ‍රැවුමක් මූණේ තියෙනවා.  මිනිහා ළමයින්ට වැඩිය කැමති නැතුව ඇති කියලා මට හිතෙනවා.  ඔය ළමයින්ට අකමැති වැඩිහිටියෝ කවුද කියලා කියන්න පුලුවන් දැක්කම.  එයාලා හිනාවෙන්නේ කටින් විතරයි, ඇස් වලින් නෙවෙයි.

කොහොමින් කොහොමින් හරි අපි හැමෝම කෑමට ඉඳගන්නවා.  මම මගේ රහස් ආයුධය මේසේ යට හංගනවා. මට හොඳටම විශ්වාසයි ඒක පාවිච්චි නොකරත් මට ඩැඩීව පරද්දන්න පුලුවන් කියලා. නමුත් හැම දෙයක්ම අසාර්ථක වුනොත් ගන්න ඒක සූදානමින් තියෙනවා.

පළමු වටය සුප් සහ පාන්. මම  මහ හඬින් 'සුරුස් - සුරුස්' හඬ නගමින් සුප් එක බොනවා.  කිසි කෙනෙක් කිසි දෙයක් කියන්නේ නෑ. මම 'සුරුස්' සද්දේ දිගත් හඬත් වැඩි කරනවා. දැන් හරියට අර බාත් ටබ් එකේ ප්ලග් එක ගැලෙව්වාම එන සද්දේ වගේ ඇහෙන්නේ. ඩැඩී උගුර පාදනවා, නමුත් මොකුත් කියන්නේ නෑ.

මේ වැඩේ අසාර්ථක නිසා මම වෙනත් උපක්‍රමයක් හොයා ගන්නවා. මම සුප් එකේ පාන් කෑල්ලක් පොඟවනවා. ඉන් පස්සේ උඩ බලාගෙන කට ඇරගෙන පෙඟුනු පාන් කෑල්ල උඩ ඉඳන් කටට අතාරිනවා. පාන් කෑල්ල කටට වැටෙන කොට හව් ගාලා හපන්නේ කෑලි ටිකක් එලියට ඉහිරෙන විදියට. 


මම ඊලඟ පාර ඊටත් වඩා ලොකු පාන් කෑල්ලක් සුප් එකේ  පොඟවනවා. මේ පාර පාන් කෑල්ල කටෙන් අහකට වැටෙන්නේ.  ටිකක් මගේ ඇහැටත් යනවා. කවුරුවත් කිසි දෙයක් කියන්නේ නෑ. ඩැඩී මා දිහා බලනවා. මමීත් මා දිහා බලනවා. මිස්ටර් ස්පින්ක්ස් මා දිහා නොබලා ඉන්න උත්සාහ කරනවා.  එයාලා කතා කරන්නේ ඩැඩීට ලැබෙන්න ඉඩ තියෙන උසස්වීමක් ගැනයි.  මගේ  කෑම දැකලා අප්පිරියාවක් ඇති නොවෙච්ච බව හඟවන්න හැම උත්සාහයක්ම එයාලා ගන්නවා.

ඊ ලඟ වටය කුකුල් මස්,  මේ පාර නම් ඩැඩීගේ සීමාව  පනින බව මම දන්නවා. එයා මොනවා හරි කියාවි.  එයාට පේන්න බෑ මම ක‍ටු සූප්පු කරන එක. "ආ, ඔන්න මට කුකුලගේ කක්කා පැත්තම හම්බ වුනා," මම මහා හයියෙන් කියනවා. ඩැඩී ඔරවලා බැලුවත් මොකුත් කියන්නේ නෑ.

මම ඇඟිලි වලින් ඔබමින් කටට කුකුල් මස්  පුරවනවා.  රෝස්ට් කරපු අර්තාපල් ගෙඩියක් අරන් දෙකට කඩන මම ඇඟිල්ල ඔබලා මාගරීන් තලියක් අරන් අර්තාපල් පලු උඩට හලනවා. මාගරීන් දියවෙලා හැම තැනම ගලනවා.

මම කවදාවත් දැකලා නෑ කිසි කෙනෙක් ඩැඩී මා දිහා බලන තරම් කේන්තියෙන් මා දිහා බලනවා.  ඩැඩී රවනවා, ඔරවනවා, උගුර පාදනවා. නමුත් පරදින්නේ නෑ.  මාරම චරිතයක් ඩැඩී!  මම මොනවා කලත් ඩැඩී පොරොන්දුව කඩන්නේ නැති විදියයි.

මම කුකුල් ක‍ටුවක් අරන් ටකාස් ගාලා දෙකට කඩලා ඇට මිදුළු උරනවා. ක‍ටුව ඇහැට තියලා බැලුවාම මැද හිස් නිසා එහා පැත්ත පේනවා.  මම තවත් සද්දෙට අනිත් කටුත් උරලා ඇට මිදුළු ගිලිනවා. ඩැඩීගේ මූණ රතුම රතුයි. නහයෙත් පුංචි නහර මතුවෙලා පේනවා.  නමුත් ඩැඩී පරදින්නේ නෑ.

අන්තිම වටය බේක් කරපු ඇපල් සහ කස්ටර්ඩ්. මේ වටේදි නම් කොහොම හරි ඩැඩීව බිම දාන්න වෙනවා.  දැන් මිස්ට ස්පින්ක්ස් තාත්තගේ උසස්වීම ගැන කතා කිරිල්ල නවත්තලා,  දැන් කියවන්නේ විනය ගැන. සීමාවල් පැනවීමක් ගැන.  ප්‍රමිතීන් පවත්වගෙන යාමක් ගැන. ඔන්න ඔය වගේ දේවල්.  මම උරලා මැද සිදුර පාදාගත්ත කුකුල් ක‍ටුවක් ස්ට්‍රෝ එකක් හැටියට පාවිච්චි කරලා කස්ටර්ඩ් එක කුකුල් ක‍ටුව හරහා උරලා බොනවා.

ඩැඩී උගුර පාදනවා. මූන බීට් රූට් අලයක් වගේ රතුයි.  "ඇන්ඩෲ," ඩැඩී කියනවා.

"ඇයි ඩැඩී,?" මම කටේ කස්ටර්ඩ් පුරවාගෙන අහනවා.

"මොකුත් නෑ," ඩැඩී මුමුණනවා.

ඩැඩී නම් මාරයි.  මෙච්චර පීඩනයක් යටතෙත් පුපුර හැලෙන්නේ නැතුව ඉවසගෙන ඉන්න! තව එක දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ. මම මේසේ යටට අත දාලා මගේ රහස් ආයුධය - අන්තිම තුරුම්පුව - එලියට ගන්නවා.





 ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙



මම කහ පාට ෆ්ලයි ස්වොටර් එක මේසේ උඩින් තියනවා මගේ පිහිය ලඟින්ම. සුදු පාට මේස රෙද්ද උඩ කැපිලා පේන ෆ්ලයි ස්වොටරය දිහා හැමෝම ඇස් ලොකු කරගෙන  බලනවා ඉවරයක් නැතුව. නමුත් කිසි කෙනෙක් මොනවත් කියන්නේ නෑ.

මම ෆ්ලයි ස්වොටර් එක අතට අරගෙන අයිස් ක්‍රීම් කෝන් එකක් වගේ ලෙවකන්න ගන්නවා.  ෆ්ලයි ස්වොටර් එකේ දුඹුරු පාටට ඇලවිලා තියෙන මැසි තලි ගැලවිලා දිවට ආ ගමන් මම  ගිලලා දානවා.  කර කර ගාලා හැපෙන වියළි කලු කෑලි ඊ ලඟට.

මිස්ට ස්පින්ක්ස් නැගිටලා කුස්සියට දුවනවා. 

ඕර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ක්, ඕර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ක් !


ඊ ලඟ ඇහෙන්නේ එයා  කුස්සියේ සින්ක් එකට වමනේ දාන හඬ.

ඩැඩී නැගිටිනවා. එයාගේ ඉවසීමේ සීමාව පැනලා. 

"ආආආආආආආආආආආආර්ග්හ්ක්!" ඩැඩී කෑගහනවා.

ඩැඩී මා දිහාට පනින්නේ මාව අල්ලා ගන්න කොටියෙක් වගේ අත් දෙක දික් කරගෙන.

විදුලි වේගෙන් පු‍ටුව පස්සට ඇදලා නැගිටින මම පැනලා දුවනවා පණ බේරාගන්න. මම කෙලින්ම නතර වෙන්නේ මගේ කාමරේ. මම කාමරේ දොර දඩාස් ගාලා වහලා අගුල දානවා. ඩැඩී කෑ ගහනවා, දොරට පයින් ගහනවා. මම සද්ද නැතුව ඉන්නවා.


හෙට එයාගේ කේන්තිය ටිකාක් නිවුනාම මම ඇත්තම කියන්නයි ඉන්නේ.

මම එයාට කියනවා මම ඊයේ ටවුමට හිහින් සත පනහකට අලුත් ෆ්ලයි ස්වොටර් එකක් ගත්ත බව. මම එයාට කියනවා මම ඒකේ මුද්දරප්පලම් කෑලි චොකලට් හේසල් නට්  පේස්ට් එක්ක අනලා අතුල්ලලා තිබ්බ බව.

මම කියන්න හදන්නේ මම ඇත්තෙන්ම මැරිච්ච මැස්සෝ කීයටවත් කන්නේ නැති බව...මේ නොවැලැක්විය හැකි කරුණකට ඇර.



Picture of fly swatter from peacefulwife.com
 


 ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

මට හිතුනා මේකට තව කෑල්ලක් එකතු කරන්න.

මිස්ටර් ස්පින්ක්ස් ගෙදර ගියාම එයාගේ බිරිඳ ජේන් අහනවා මෙහෙම.

ජේන් ස්පින්ක්ස්: ඩෙවිඩ්. මොකද අනේ ඔය ඔයාගේ හැටි? මොකද වුනේ?

ඩේවිඩ් ස්පින්ක්ස්:.....................................................


මිස්ටර් ස්පින්ක්ස් මොනවා කියන්න ඇද්ද? :D



 Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

125 comments:

  1. ඔන්න ඔය පොත මට දීපං බං කියවන්න.. හැක්..

    උඹ ඒවා දානවා මම ඇන්ඩර්සන් දානවා. හොදයි වැඩේ.. හැක්

    Naughty Boy

    ReplyDelete
    Replies
    1. දේශකයා, මේ එක පොතක් නෙවෙයි බං.

      ඇන්ඩර්සන් කිව්වාම මට එක පාරට මතක් වුනේ ඕනයා. ඊ ලඟට ඇම්ඩා. අන්තිමට තමයි හාන්ස් ක්‍රිස්ටී ඇන්ඩර්සන් මතක් වුනේ. :))

      Delete
    2. දේශක යා
      //උඹ ඒවා දානවා මම ඇන්ඩර්සන් දානවා//
      උඹ දැං ඇන්ඩසන් කීයක් දාල තියනවද? මේක හරියට "අලින්ගෙයි අපෙයි වැඩ" කතාව වගේ

      Delete
    3. උඹලා දෙන්නා ඔය දෙජාතියෙන්ම දාපල්ලා...සැර ජාති වීදුරුවට දාපුවාම සැර අඩු කරන ඒවත් දාපල්ලා...හැබැයි පොත පෙරලන්න නම් හදන්න එපා පුතෝ....

      Delete
    4. @ රාජ්

      දෙකයි බං. (දුකෙන්)

      @ සිරා

      හැන්රියා කැමති නෑ ඇන්ඩට.. බං

      Delete
  2. // මාත් එක්ක ස්ක්‍රැබ්ල් ගහන්නත් එනවා. මට එක එක විදියේ ළණු දෙනවා. එයාගේ මම දකින හොඳම ලක්ෂණය තමයි හැම විටම දෙන පොරොන්දු රකිනවා. එයාට මැස්සො පේන්න බෑ. //

    මේ ටික කියවද්දි නම් මට අප්පච්චිත් මතක් උණා. :-)

    මාර නරක ළමයෙක්නේ මේ ඇන්ඩියා. හැබැයි පොඩ්ඩි නම් එහෙම නෑ. මේක අර මුලින් කතාව තරම් ඈක්කා නෑ...හී හී...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිගේ අප්පච්චිටත් මැස්සෝ පේන්න බැරිද?

      මේ කතාව අර තරම් ඈක්කා නෑ? හ්ම්ම්ම්... ඔව්. තරාදියට දාලා බැලුවාම ඔව් නේ? ඒ කතාව මතක් තිබ්බද, නැතිනම් දැන් ගිහින් බලලා ආවද?

      Delete
  3. එලම තමා....ඩඩීගේ උසස්වීමට බඩු බනිස් වෙන්නැති

    ReplyDelete
    Replies
    1. එහෙමත් නැතුව ඇති හස‍රැල්. සමහරවිට ස්පින්ක්ස් ගේ කොල්ලත් ඔයිට එහා ඇති.

      Delete
  4. මටනං හිතෙන්නෙ ඩැඩීට ඩබල් ප්‍රමෝෂන් හම්බවෙන්න ඇති ඊට පස්සෙ.

    ඇන්ඩියට අච්චර රසවත් කෑමක් පරණ ෆ්ලයි ස්වොටර් එකේ තියෙද්දිනෙ අලුත් එකක් අරගෙන මුද්දරප්පලං කෑලි අලෝල කාල තියෙන්නෙ.

    අර කොටිය හිනාවෙනව වැඩියි වගේ මට පේන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඩබල් ප්‍රමෝෂන් දෙන්න ඇති මූත් එක්ක ඉහගහගෙන ඉන්නවට.

      ප්‍රසන්න. ඒක වියරු හිනාවක් බං. වියරු හිනාවක්.

      Delete
  5. T56 කට වඩා භයානක ආයුධයක්නෙ හංගන් ඉදලා තියෙන්නෙ. ප්‍රොමෝශන් කෙසේවෙතත් ඩැඩී ගෙ රස්සාව වත් බේරුනාද දන් නෑ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ, එහෙම අවුලක් වෙන්න නැතුව ඇති ප්‍රියා.

      Delete
  6. හම්බෝ ඒක නං මරු ඩුඩ් ,,, උඹට ගොඩක් පින් මේ වගේ රස වෑහෙන කතා අපිට කියනවට....
    මගේ නෝනත් උඹට තැන්කු කියන්න කිව්ව....

    උඹට මතකද ඔය වගේම පජාත කතාවක් ගියා ඕස්ට්‍රේලියන් tv සීරිස් එකක.ඒක ඉස්සර රුපවාහිනියේ ගියා... ආහ් මතක් වුනා ,, උඹට මතකද "රවුන්ඩ් ද ට්විස්ට්" . එකෙත් ඔය මැස්සෝ අල්ලන මෙව්වා එකක් ලෙවකන්නෙ...
    ඒක ඉස්සර මම වරද්දන්නෙ නැතිවම බලන කතාවක් :)

    ReplyDelete
    Replies
    1. බොල ෂැගියො, තෝ බැන්දෙහිද ?

      Delete
    2. ඇයි බං විදුර ඒ Round the Twist series එක ලිව්වේ Paul Jennings මනේ. එයා ඒකට එයා ලියපු හුඟක් කෙටි කතාවල කෑලි යොදාගෙන තියෙනවා මාත් දැකලා තියෙනවා.

      >>බොල ෂැගියො, තෝ බැන්දෙහිද ?<<
      Yeah?

      Delete
    3. //ඇයි බං විදුර ඒ Round the Twist series එක ලිව්වේ Paul Jennings මනේ//
      අපොයි !!

      @ සෙන්න & ඩුඩ්
      එහෙමයි :)

      කලිනුත් බැඳලා හිටියේ බං හැබැයි නිත්‍යානුකුලව නෙවේ :) ගිය මාසේ රෙජිස්ටෝර් වුනේ , මුකුත් වෙඩින් , හඳේ යෑම් [කලින් ගියා] අරව මෙව්වා නෑ ....
      හැබැයි මට දැන් කනක් ඇහිල ඉන්න නෑ ආපහු වෙඩිමක් ගමු කියල :| ,

      Delete
    4. එහෙනම් අපේ උණුසුම් සුභ පැතුම් පිළිගනිල්ලා දෙන්නම.
      :-f :-f

      Delete
  7. මරු බන්... මූ ඇන්ඩියට හපන්නෙ බලන් ගියාම.. වෙනදා වගේම උඹේ පරිවර්තන මෙව්වා එක සුපිරියි, උපරිමයි, ලගන්නා සුළුයි..

    ඇන්ඩෲගෙ තාත්තව තියන්න ඕනා ඉන්දියන් කාරයෙක් එක්ක කෑම මේසෙට. අනිවා පොර එල්ලිලා මැරෙනවා.. :D

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඇන්ඩිගේ nickname එක තමයි ඇන්ඩි. උගෙත් නියම නම ඇන්ඩෲ ග්‍රි‍ෆිත්ස්. මේ නමේ අවුලක්ද දන්නේ නෑ නේ බං මෙහෙම වසවර්ති වැඩ කරන්න?
      ඔව්ම් බං ඒ කතාව ඇත්ත. අපේ ඉන්දියන් සෙට් එකත් පාං ගෙඩිය ගෙනත් කෝපි එකේ ඔබ ඔබ කනවා බං. මම අහක බලං ඉන්නවා දැක්කේ නැති ගානට.

      Delete
  8. සෑහෙන්න ඉවසීමක් තිබිල තියෙන තාත්තෙක්. අපරාදේ පොරගේ උසස් වීමට කෙල උනාද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. උඹත් ලෑස්ති වෙලා හිටපං ඔහොම කොල්ලෙක් ලැබුනාම ඉවසන්න පුරුදු වෙන්න.

      Delete
  9. ඕක්... ඈක්ක්.. හික්ස්.. ලස්සනට ලියලා ඩූඩ්..

    මම මේ වගේ කතාවක් කියෙව්වා. ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු නමක් ගැන. උන්වහන්සේගේ නායක හාමුදුරුවෝ මිදුල අමැදලා නෑ කියලා බනිනවා. හෙට උදේම උඹ මිදුල අතු ගෑවේ නැත්නම් බල්ලන්ගේ " (.....) මම උඹට කවනවා කියනවා. :D .පොඩි නම කියනවා හොදයි අපේ හාමුදුරුවනේ කියලා. පස්සේ පොඩි නම තල කැරලි වගයක් හොයාගෙන බල්ලන්ගේ අසූචි විදියට හදලා පාන්දර නැගිටලා පන්සල් මිදුලේ දානවා. ලොකු හාමුදුරුවෝ උදේම නැගිටලා කෑ ගහනවා " මෙහේ එනවා පොඩි නම මම මොකක්ද කිව්වේ ඊයේ. අදත් මිදුල අතුගාලා නෑ. කනවා මේවා කියලා

    පොඩි නමත් කිසි ගානක් නෑ අරවා අහුලන් කනකොට ලොකු හාමුදුරුවෝ පුදුමෙන් බලන් ඉදලා යනවා. ඊට පහුවෙනිදා ලොකු හාමුදුරුවෝ පාන්දර නැගිටලා හොරෙන්ම ගිහින් බල්ලන්ගේ ඇත්තම අසූචි ටිකක් කටේ ගාලා බලනව පොඩි නම කොහොමද මේක කරේ කියලා. පස්සේ බොහොම අප්පිරියාවෙන් කියනවා " පොඩි නමට පුළුවන් දේවල් ලොකු නම්ට බෑ" කියලා.. :D :D

    ReplyDelete
    Replies
    1. ඊයා ! බලන් ගියාම පිළිකුල් රසයෙනුත් රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න පහර දෙන්න පුළුවන්නේ. :D

      Delete
    2. පුංචි කුමාරිහාමි, ඕන්න ඔයා මට මතක් කලා අපේ තාත්තා ඉස්සර අපිඅ කියාදීපු, නමුත් මට අමතක වෙලා තිබ්බ කතාවක්. බොහොම ස්තුතියි.

      තව කතාවක් තියෙනව කහයි සුදුහඳුනුයි එකට අනලා අරවා වගේ හදලා බෝල හද හද ඉන්න කතාවක්. ඒක මතක් නෑනේ අප්පා.

      Delete
  10. ෂෙහ් ! අර ඇන්ඩියා කැරපොත්තෙක් අල්ලන් නටපු පිස්සුව තව හොඳයිනේ.

    අනේ මන්දා, අම්මල තාත්තල හැම තිස්සෙම ළමයිගෙ නැති වැදගත්කමක් ලෝකෙට පෙන්නන්න ඔය තරම් මොකට මහන්සි වෙනවද කියල, ඔය වයසෙ වැරැද්ද නෙව. එපා කියන එක කරනව තරම් ජොලියක් තවත් කොහෙද.

    අර පෑන තවම හදාගත්තෙ නැත්ද, මේ පැන්සල්වලින් කොළවල කුරුටුගාන්නෙ.

    ReplyDelete
    Replies
    1. DDT උබ කොහිද මෙච්චර කල් ගිහින් හිටියේ ?

      Delete
    2. මෙහෙමනේ නං ඩීඩීටී. උන්ට ඕනෙ විදියට හැදෙන්න දුන්නාමත් වල් සත්තු වගේ වෙනවනේ. ඉතින් පස්සේ දවසක උන් ලොකු වෙලා උන්ගේ ළමයින්ට කියා දෙන්න හරි මැනර්ස් උගන්නන්න ඕනේ.

      පෑන හදාගන්න නිවාඩු කාලේ ලංකාවට ආවාම බලන්න ඕනෙ. ඒකට lifetime warranty එකක් තියෙනවා මම හිතන්නේ.

      ඇත්තට උඹ අතුරුදහන් වීමට හේතුව කිම?

      Delete
  11. හපොයි මේ වගේ ළමේක්!!
    ඩූඩ්ගේ පරිවර්තන හැකියාව නම් අති විශිෂ්ඨයි..
    කිසිම වෙහෙසක් නැතිව දිගටම කියවං ගියා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රූ. කියවලා වචනයක් දෙකක් ලියලා යන එක මට ලොකු ධෛර්යයක්..

      Delete
  12. මල් හතයි ඩූඩ්.....උඹ දක්ෂ පරිවර්තකයෙක් මචං. හැම සිදුවීමක්ම තිතටම ඩිටේල්ස් සහිතයි. මූ චිකන් බටෙන් කස්ටඩ් උරන තැනදී නම් මටත් මල පැන්නා බං.බොහොම ඉවසීමෙන් කියෙව්වේ ....මොකද තාත්තාගේ දෙවෙණි පිස්සුව මටත් තියෙනවා. ඒ නම් මම Hospitality Industry එකේ දීර්ඝ කාලයක් හිටපු නිසා වෙන්න ඇති. බොහොම ඉවසීමෙන් කියවන්න වීමම උඹේ ලිවිල්ලේ සාර්තකත්වයයි.

    Pencil Sketches..........superb!!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේකා කරන වැඩ වලට මල නොපැන්නොත් බේත් ගන්න වෙනවා මචං. කුකුල් කකුලක් හරහා කස්ටර්ඩ් උරලා බොනකොට නිකං හිතහං.

      දැන් පැන්සලෙන් තමයි අඳින්න වෙලා තියෙන්නේ මචං. මේක ඇන්දේ ස්ටාෆෲම් එකේ මේසේ උඩ තියාගෙන. ළඟින් යන හැම එකාම ඒකට හොට දාලා බලලා මොනවා හරි කියලා යනවා. එතකොට හරි අමාරුයි,

      බොහොම ස්තුතියි මචං.

      මම අර කුද්දටි ප්‍රශ්ණෙට දීපු උත්තරේ උඹ දැක්කද?

      Delete
    2. දැක්කා ඩූඩ් ..තැන්ක් යු...මගේ නහර කැපුවාට පස්සේ කුද්දැටියක් ආවා. ගිහිල්ලා කියන්න වචණේ නැති නිසා ගලවලා පෙන්නන්න උනා. සීතල නිසා මෙහේ ....තුන හතරක් ගලවන්න ගියාම පුෂ්ප ඩබල්.

      Delete
  13. ඔය තාත්තලව කෑම මේසවලදී මලපන්නන එක කොල්ලන්ට සහජයෙන්ම එන උරුමයක් වෙන්න ඇති...... උබේ ලියවිල්ලනම් එල..... ලින්කුව යැව්ව බලන්නම ඕන කෙනෙක්ට.... දැන් අහගෙන ඉන්නේ ලංකාවේ ඉදන් ඔක් ගාල සද්දයක් ඇහෙනවද කියල

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් කමෙන්ට් එක දාලත් දවසක් ගිය නිසා, ලංකාවෙන් ඇහුනද 'ඕක්' සද්දේ? :D

      Delete
  14. මු මාර දක්ශයෙක් නෙ.මු නිර්මන කරපු ආයුදෙ මරු නෙ.හැමදාම වගෙ අදත් උබෙ පරිවර්තනෙ මරු.මොර්ටින් දැම්මෙ උබ වෙන්න ඔන

    ReplyDelete
    Replies
    1. හොඳ අනුමානයක් මචං. ඇත්තෙන්ම මේකේ තිබ්බේ fly spray කියලා. ඕක ලියන්න හොඳම විදිය මෙහෙමයි කියලා මට හිතුනා.
      උඹ අහපු නිසා මම කියන්නම්.
      The first course is soup and bread rolls.
      මම bread roll එක නිකම්ම පාන් කලා. බ්‍රෙඩ් රෝල් එක ඇත්තෙන්ම බනිස් ගෙඩීයක් වගේ හදපු පොඩි පාන් ගෙඩියක්. ඕක කියන්න ගියා නම් චොර වෙනවා.

      එතකොට මම කතාවේ අන්තිමට මමයි ෆ්ලයි ස්වොටර් එකේ ඒකේ මුද්දරප්පලම් කෑලි චොකලට් හේසල් නට් පේස්ට් එක්ක අනලා ඇතිල්ලුවේ. ඔරිජිනල් එකේ තියෙන්නේ I’ll tell him about the currants and little bits of licorice that I smeared on the fly swatter.
      licorice ලිකරීස් විස්තර කරන්න ගිහින් කතාවේ ආතල් එක කනවට වැඩිය චොකලට් හේසල් නට් පේස්ට් එක්ක අනලා ගෑවා.
      කවුරුත් මොකුත් වරදක් කිව්වේ නෑනේ.

      Delete
    2. එක තමයි මචන් උබෙ දක්ශතාවය.ඔය ටික නිකල නම් ඇත්තටම මෙක ටිකක් බොරින් වෙනව

      Delete
  15. මටනම් අප්පිරියාවක් ඇතිවුනේ නැහැ. මොකද මේ වගේ දේවල් නෙවෙයි පුහුණුවේදී අපිට මුහුණදෙන්න වෙන්නේ. ඇත්තටම එවෙලේ අල්ලලා හමගහලා තෙලෙන් බැදපු ගැරඬි මස් සමග පාන් හරිම රසයි.

    මමත් කෑම මේසයේ සිරිත් වලටනම් ගරු කරනවා. ත්‍රී කෝසස් මෙනු එකක් හදලා සර්ව් කරන හැටි, විවිධ හැඳි ගෑරෙප්පු ඒ ඒ අවස්ථාව සහ කෝසස් අනුව පාවිච්චි කරන හැටි, විවිධ වයින් වීදුරු තියන හැටි ඇතුළු කෑම මේසයේ සිරිත් සියල්ල මට අදත් උගන්වන්න පුළුවන්. ඒ ඒ තැන්වලදී ඒ ඒ තැනට ගැලපෙන්න ඉන්නහැටි ඉගෙනගැනීමත් කලාවක්.

    මෙවැනි පරිවර්තන කතා අපිට අපේ ජීවිතයේ අතීත ජවනිකා නැවත මතක්කර දෙනවා.

    ReplyDelete
    Replies
    1. ආමි කාරයෙකුට අප්පිරියා හිතවන එක දේශපාලනඥයෙකුට අප්පිරියා හිතවනවටත් වඩා අමාරුයි. අපෙත් ඔය ඉන්නවා ඔය ට්‍රේනිං එක තියෙන කට්ටිය කීප දෙනෙක්ම පවුල් සංකීර්ණයේ.

      විචාරකගෙන් මට පොඩි උදව්වක් ඕනෙ එහෙනම්. ත්‍රී කෝස් මීල් එකක් ගැන සිංහලෙන් කියනකොට ලියන්න වචනයක් නැතුව මාම් පළමු වටය කියලා ලියලා ෂේප් වුනා. කෝස් එකට කියන්න පුලුවන් සිංහල වචනයක් හෙම තියෙනවද විචාරක?

      Delete
    2. මටත් උත්තරයක් හිතාගන්න අමාරුයි හෙන්රි. එක්කෝ වට තුනේ ආහාර වේලක් කියන්න ඕනේ. එහෙම නැත්නම් තුන් වරකට පිරිනමන ආහාර වේලක් කියන්න ඕනේ. හැබැයි බටහිර 'සූප සෑත්තරේ' දන්නා කෙනෙක්ගෙනුත් අහලා බැලුවොත් හොඳයි.

      Delete
    3. ඩූඩ්&විචාරක........ courseකියන්නේ මොකක්ද කියලා සිංහලෙන් කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම සිද්ධියක් කියන්නම්. ඒ කාලේ මොකක් හරි State Banquet එකකට විජමු ලොකුබණ්ඩාර ඇමති ආවා. එදා 12 course menu එකක්. වාඩිවෙන්න ඉස්සෙල්ලා එයා මගෙන් ඇහුවා....ඈ ළමයෝ අද වට 12ක කෑමක් කියන්නේ ඇත්තද කියලා.....ඒ නිසා විචාරක කියනවා වගේ මේකට වට කියන වචණේ සුදුසුයි වගේ.

      Delete
    4. මේකට මම අලුත් වචයක් යෝජනා කරනවා "තෙමං" කියලා.

      Delete
    5. සුදීක ඒක හරියන්නේ way කියන එකට. Three way speaker System වගේ.

      Delete
  16. ඇත්තටම මිස්ටර් ස්පින්ක්ස් මොනවා කියන්න ඇත්ත.. කතාව දෙයියනේ කියලා කියවන් ආවම අන්තිමේ කුතුහලයක් එන ප්‍රශ්ණේකුත් දාලානේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඒ වුනාට උඹලා ඔක්කොම ගානට ප්‍රශ්ණේ මග ඇරලා තියෙන්නේ. :D

      Delete
  17. අපොයි තාත්තාගේ උසස් වීම..:(

    අපි පුංචි කාලේ නිදාගන්න කලින් කාමරේ කොටුවෙලා ඉන්න මදුරුවෝ අල්ලනවා; යාන්තමට පොල් තෙල් ගාපු බෙලෙක් පිගානකින්. රෙද්දක් හෙලෙව්වාම ඉගිලෙන මදුරුවන්ට පිගාන යන්තම් "ටච්" කරන්න විතරයි ඕනෑ, පට් ගාලා උන් ඇලෙනවා පිගානට.

    (පහුවදා උදේට පිගානේ ඇලිල හිටපු පණ තියන මදුරුවන්ට පුන්චි හැන්දක් අරන් විසම විස වස ජාතියක් ලේත් එක්ක කවලම් කරලා චුට්ට-චුට්ට කවනවා :D )

    ReplyDelete
    Replies
    1. වරහන් ඇතුලේ අන්තිමට කියලා තිබ්බ එක නම් මට මීටර් වුනේ නෑ.

      ඒ පොල්තෙල් පිඟානේ ගාපු වැඩේ කරන්න ඕනෙ මාත්. මම ඕක අහලා තියෙනවා විතරයි.

      Delete
  18. කියන්න දෙයක් නැහැ අදත් සුපිරි.
    ඔබටත් පුත්‍රයෙක් ඉන්න නිසා තවත් රසට ලියන්න හැකි වෙන්න ඇති.
    අපේ කෙනත් ඉස්සර ඔහොම කියද්දී තව වැඩියි.
    දැන්නම් බොහොම චාරෙකට කනව.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්! උඹට කියන්න කෙන්ජි, අපේ එකත් හරිම කැමතියි කාලා හයියෙන් Burrrrp!!! කරන්න. මම මූණ ඇඹුල් කරලා මොකුත් නොකියා ඉන්නවා. ඒ අර මාව අවුස්සන්න. දැන් අලුතෙන්ම කරන්නේ කිලු‍ටු රෙදි ලොන්ඩ්‍රි බින් එකට නොදා කාමරේ බිම මුල්ලක ගොඩ ගහන එක. :D

      Delete
  19. ඔය තියෙන්නෙ පිළිකුල් රසය උපරිමයට වචන වලට හරවලා ! නියමයි හෙන්‍රි..

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹම නේද මට නව නළු රසය කියන්නේ මොකක්ද කියලා දවසක් කියලා දුන්නේ (ටොක්කකුත් ඇනලා)? :-?
      ස්තුතියි වෙනී.

      Delete
  20. මැස්සෝ මැරීමේ රෝගය මටත් තිබේ... මේක ටිකක් ස්ට්‍රේට් ෆෝවර්ඩ් වැඩියි අනිත් කතා එක්ක ගත්තහම.... මම හිතුවා මේක කැරකිලා කොහොම හරි ඇන්ඩියාටම එයි කියලා....

    ReplyDelete
    Replies
    1. ඒ රෝගය අපිටත් තිබේ. මැස්සෙක් මදුරුවෙක් හිටියොත් නිදා ගන්න බෑ.
      අර straightforward ගතියට කරන්න දෙයක් නෑ බං. මේ මගේ නිර්මාණයක් නෙවෙයිනේ. :)

      මේ ඇන්ඩියා නෙවෙයි බං. මේ ඇන්ඩෲ, පෝල් ජෙනිංස්ගේ කතාවක්. උඹලෑ ගමේ පොරක්.

      Delete
  21. මේ කතාව වාගේම කතාවක් මම කාටුන් එකක දැක්කනේ ඩූඩ්

    ReplyDelete
    Replies
    1. කා‍ටුන් එකක් නම් මම දන්නේ නෑ අටම්, Round the Twist කියන මෙයාම ලියන ටෙලි සීරීස් එකේ නම් මේක තිබ්බා කියලා ඔය උඩ කමෙන්ට් එකේ ෂැගියා ලියලා තියෙන්නේ.

      Delete
  22. මු නම් ඇම්ඩේක්ම තමයි ..

    ReplyDelete
    Replies
    1. මූ ඇන්ඩෲවෙක් චමී.

      Delete
  23. අඩේ මේ මැස්සො එක්ක අවුලක් මටත් තියනව. මම මැස්සො අල්ලන්නෙ නිකංම අතින්. ඒක ටිකක් අමාරු උනත් මේ වෙනකොට මැස්සන් ඇල්ලීමේ ප්‍රවිණයෙක්. තදවෙච්ච වෙලාවට අත්ලට ගුලි කරගත්ත මැස්ස බිත්තියෙ වැදිලයි නවතින්ාන.

    කතාව එළ! චිත්‍රෙත් හොඳයි. නමුත් මේක වෙන පෝස්ටුවකට ඇඳපු චිත්‍රයක්ද?
    මේක නං බත් කත ගමන් උනත් කියවන්න පුළුවන් කතාවක්. අප්පිරියාවක් ඇත්තේම නෑ

    ReplyDelete
    Replies
    1. මැස්සෝ එක්ක අවුල අපි කාටත් තියෙනවා වගේ.

      අපිට මොටද අපි දසසිල් උපාසක
      ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට

      ඔය මැස්සා අතින් අල්ලනකොට මැස්සා මේසේ වැහුවාම උගේ ඉස්සරහ පැත්තේ ඉඳන් ගැහුවාම ඌට පස්සට ටේක් ඕෆ් කරන්න බැරි හන්දා කෙලින්ම අතට කො‍ටුවෙනවා. පිටිපස්සෙන් ගැහුවොත් මූ ලස්සනට ඉගිල්ලිලා යනවා.

      අපිට මොටද අපි දසසිල් උපාසක
      ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට

      නෑ බං මේකට ඇඳපු චිත්‍රයක්. මෙතනම තියාගෙන පට් පට් ගාලා ඇන්දා.

      >>මේක නං බත් කත ගමන් උනත් කියවන්න පුළුවන් කතාවක්. අප්පිරියාවක් ඇත්තේම නෑ<<
      දේශපාලන පෝස්ට් කියවන එකාට ඕක මොකක්ද? (විහිළු ඈ)

      Delete
    2. ඔන්න උඹ අප්පිරියාව දේශපාලනයත් එක්ක ගෑව්වම තව කතාවත් මතක් උනා.
      අපේ පැත්තෙ හිටිය මෑන් කෙනෙක්. භීෂනය කාලෙ. තද වාමාංශිකය(ජවිපෙ). හැබැයි උපන්ගෙයි මෝඩය, "මාක්ස්වාදියට කැත කියල දෙයක් නෑ" කියල මූ පෙන්නනව. අත්ලට කෙල ගහල බීල පෙන්නනව. ඒ කාලෙ කස්ටිය එක්ක කැලේ නිදාගන්න ගිහිල්ල ගැරඬියෙක් අමුවෙන් කාල පෙන්නුවලු. කන්න නැතුව නෙවේ, කැත නෑ කියල පෙන්නන්න. :-)

      Delete
    3. මමත් ඔය අල්ලන වැඩේට දක්ෂයි.

      Delete
  24. මේ ඈක්කා කතා සෙට් එක මරු,
    මමත් පොඩි කාලේ ගෑනු ළමයින්ට පේන්න, දබරැඟිල්ල නහයේ ඔබලා කරකවලා, ටක් ගාල මැදඟිල්ල කටේ ඔබා ගන්නවා,

    ReplyDelete
    Replies
    1. කතාවට කෙසේ වෙතත් ඔන්න මේකගෙ කතාවට නම් අප්පිරිය හිතුණා :D

      Delete
    2. uwiniran උඹ එහෙම එකක් නොකරොත් තමයි මම පුදුම වෙන්නේ.
      (ඕං බලහං මිනිස්සු අපි ගැන මවාගෙන තියෙන චිත්තරූප නේ?)
      :))

      Delete
  25. "ඒ හන්ද එයා මැස්සො පස්සෙ පන්නනවා අර මැස්සො අල්ලන ෆ්ලයි ස්වොටර් එක අරගෙන." මේ කාල කියෙවවම මතක් වුනේ අපේ ඔෆිස් බෝයිටත් මැස්සෝ පෙන්නේ බෑ . මිනිහත් අර ඉලෙක්ට්‍රික් ශෝක එකක් වදින බැඩ්මින්ටන් රකට් එක වගේ එක අරන් ඔෆිස් එක පුරාම දුවනවා මැස්සෝ පුච්චන්න

    ReplyDelete
    Replies
    1. ඌට කුරුතඥඥ වෙයං. ඌ මැස්සො බදින නිසා තමයි උඹලට ඔෆීස් එකේ කටවල් ඇරගෙන නිදාගන්න, කටවල් ඇරගෙන කෙල්ලො දිහා බලා ඉන්න, කටවල් ඇරගෙ මැච් බලන්න (තව තියෙනවා) පුලුවන් වෙලා තියෙන්නේ. :D

      Delete
  26. හොඳ වෙලාවට උදේ වරුවෙ මට මේක කියවන්න වෙලාවක් නොතිබ්බෙ. කියෙවුවානං අර ඉන්දියන් හෝටලේ කෑම එක කනවා බොරු.. ඒ උනත් ඇත්තම කියන්නං අර මැස්සොන්ගෙ අතුනුබහන් කතාවෙ එනකොට මං ඒ ටික මඟ ඇරල අන්තිමට ගියා කෙලින්ම..

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වම මතක් වුණේ. අර සොගෝ ප්ලාසා එකේ උඩ තියෙන කෑම සපෝට් එකේ ඉන්දියන් කඩේ තියෙනවා, නියම අපේ වගේ කෑම වේලක්.

      Delete
    2. අම්මෝ මතක් කරන්න එපා අපේ හාමිනේ මේක නොදකින හින්දා හොඳයි. නැත්නම් ඉන්දියන් කෑම කන්න ගිහින් ලාබ වෙන්නෙ සෝගෝ එකටයි..

      Delete
    3. වස වැ‍රැද්දයි, මට සරත්ව මග ඇරිලනේ.

      ඔය කොහේ තියෙන සෝගෝ එකක් ගැනද බොලා දෙන්නා කතා කරන්නේ? ක්වාලාලම්පූර්ද?

      Delete
  27. ගති කතාව උබේ සිතුවම් හැකියාවත් ඊට දෙවනි නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. මොරබ්බා ඩි බොරබ්බා. මම නිකං ඉන්න වෙලාවට කියලා කෑ ගහන්න කැමති නමක් තමයි මොරබ්බා ඩි මොරබ්බා. :))

      Delete
  28. [ma]නියම පරිවර්තනය.[/ma] [ma+]පොඩ්ඩක් වත් දැනෙන්නේ නැති විදියට ලියලා තියෙනවා.[/ma+] මට හිතෙනවා තාත්තා මේකා තියපු එක අරන් තියලා අනිත් එක මෙතනින් තිබ්බා කියලා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සුදීක.
      අඩේ ඒකත් මරු අදහස.
      හැබැයි එතකොට ඒකත් අර ඈක්කා කතාවෙම rip off එකක් වෙනවා නේද?

      Delete
  29. අනේ මචං ඔහොමත් තාත්තල ඉන්නවද

    ReplyDelete
    Replies
    1. අනේ පව් බං ඒ තාත්තා. ඔහොමත් පුතාලා ඉන්නවද කිව්වා නම් තව කමක් නෑ.

      Delete
  30. හරිම ලස්සන කතාව ඩුඩ්! පරිවර්තනය ශෝක්. චිත්‍රෙත් හරිම ලස්සනයි. :-h මේ කතාව අර ඈක්ක කතාව තරම් අප්ප්‍රසන්න නෑ. :))

    මිස්ටර ස්පින්ක්ස් මිසිස් ස්පින්ක්ස්ට කියන්න ඇති ” මේ ලෝකේ ඉන්න ජරාම ලමය ඉන්න අප්‍රසන්න කෑම වේලකට ගිහින් ආව” කියල. =D>

    ReplyDelete
    Replies
    1. ඈක්කා කතාව තරම් අප්‍රසන්න නෑ? :))

      මම හිතන්නේ ඊට වැඩිය වැඩ දාලා කියන්න ඇති, අර 'කාලකන්නි පෙරේත කොල්ලෙක්' කියලා වගේ

      Delete
  31. මේ කථාවල ඒවාටම ආවේණික ආකෘතියක් තියෙනවා....හැමදාමත් වාගේ...අන්න ඒකට තමයි මම වඩාත්ම කැමති. සිංහල බ්ලොග් අවකාශයේ හෙන්රි අයියා විතරයි ඉතිං..ඒ රසය අපට බෙදන්නෙ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පාට්නර්.

      ඒ ආවේනික අකෘතියට පොදු එක දෙයක් තමයි අර අපි හුඟක් කියවලා තියෙන ළමා කතාවල තියෙන යම් කිසි උපදේශයක්, නැතිනම් සිල්පදයක්, නැතිනම් ආදර්ශයක් හැම කතාවකම තිබිය යුතුයි කියන සම්මතයෙන් ඔබ්බට ගිහින්, කියවීම රසවත් ඒවගේම ඇබ්බැහියක් ඇති කරන දෙයක් බවට පත් කරලා තියෙනවා කියලා මම හිතනවා.

      Delete
  32. මේකනම් අපූරුයි..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චමින්ද මේ පැත්තේ ආවට.

      ඔයාගේ අර්බුදයට විසඳුමක් ලැබේවායි කියලා පතනවා.

      Delete
  33. පටන් ගත්තෙම මාර ගති චිත්‍රයකින්... මම හිතුවේ ඩ්‍රැකියුලා කෙනෙක් කියලා... අර ප්ලේන් එකක රෝද තියෙන තැනක ආපු කොල්ලාගෙ කතාවේ පරිවර්තනේට පස්සෙද කොහෙද මම මේක කියවන්නේ... පොඩි එකා ලියන විදියට නියමෙටම ලියලා තියෙනවා ඊටත් එහා හිනාව නවත්තගන්න සෑහෙන උත්සහයක් දෙන්න උනා... හැබැයි අරක ලෙවකෑවා කියලා තමා මාත් හිතුවේ... ඇයි ඉතින් තාත්තගෙ තරහා අවුස්සන්න ඕන දෙයක් කරන්න බලාගෙනනේ කොල්ලා හිටියේ...

    ස්ක්‍රැබල් කියන්නෙ වචන අමුන අමුන කරන සෙල්ලමක්නේ... ඕක ෆිල්ම් වල විතරයි දැකලා තියෙන්නේ ගහන විදිය ගැන කිසිම දැනීමක් නෑ... මං හිතන්නෑ මෙහෙ ඉන්න වැඩි දෙනෙක්ට ඒක කරන්න පුළුවන් ඇතියි කියලා...

    අපේ තාත්තවත් ඔහොම තරහා ගස්සවන්න මම කොච්චර නම් මගඩි වැඩ කරලා ඇත්ද... හෑන්ඩ් ෆයිට් එකයි රෙස්ලිං වගේ පොර ඇල්ලිල්ලකුයි තමා මම කරලා තියෙන්නේ ඊට අමතවර දාම් තමා... රෙස්ලිං ගහන්න ගිහින් මම 6 විතර ඉද්දි මට මතකයි පොරයක් අල්ලලා තාත්තව බිමට දැම්මා එදායින් පස්සෙ ඒ සෙල්ලම් දෙන්නම නැවැත්තුවේ සතියක් විතරම තෙල් ගාන්න වැඩ සිද්ද වෙච්චි නිසා...

    බිස්කට් තේ එකේ පොඟවන එක නම් මම අනිවාර්යෙන් කරනවා කවුදැයි දන්නෙ ඒක අප්සට් වැඩක් කියලා...

    චිත්‍ර නම් මාර සජීවි ගතියක් තියෙනවා කොහොම අඳිනවද අප්පා...

    ReplyDelete
    Replies
    1. Actually I missed your comments very much.
      Writing in English just because you said you want to improve your English.
      Even my home folks sometimes ask me where you are now. Even they were happy to hear that you were working hard on your academic work.
      So now you are back.
      Welcome!

      Even though we call it hand fighting, the real term is arm wrestling.

      About scrabble, we have scrabble boards and we play it when we have a free time. It is a very nice game which gives you both entertainment and language skills. If you don't have a scrabble board, buy one. It isn't very expensive and you won't regret it. If you have one more person, you can play it.

      And also there is a computer version also. Here you can play against the computer.

      Thank you for coming to visit my blog. Take care Gamiya.

      Delete
    2. I missed your comment replies more than you do... Never thought commenting in English will be this much harder....

      Say Hi for Mrs.Dudi , Mr. Dudu for me...

      after all i understood without proper qualifications there will be no respect for me... they don't care about how good i am...

      so.... i'm done doing jobs till my studies ends... but i'm trying few things that could work for me... If i get lucky the lights will go green...

      the word "arm wrestling" reminds me a movie that was about arm wrestler... i can't remember the actor may be van damm if my memory was good....

      scrabble hmm as i'm watching a tv series called "big bang theory" seen they do play that game often.. but i'm sure none of my friends would love to do such a game... for me i love chess and cricket but all of my friends know only one game... you know it's cricket...

      I'm going to visit regulary from now on soo save the best for the last.... take care Dude...

      (mercy on me cause i know lot of mistakes may waving there hands for you...)

      Delete
    3. Your English is superb, now.

      Delete
  34. ලස්සනට උසස්වීම හම්බුවෙන්න ඇති නේද?

    මමත් ගෙදර මැස්සෝ මරනවා අර රැකට් එකෙන් කරන්ට් වද්දලා. ඒක නම් ඔය තරම් ගූ නෑ මයේ හිතේ.

    //මම කියන්න හදන්නේ මම ඇත්තෙන්ම මැරිච්ච මැස්සෝ කීයටවත් කන්නේ නැති බව...මේ නොවැලැක්විය හැකි කරුණකට ඇර.//
    මෙන්න මෙතන පොයින්ට් එක මොකක්ද? එක්කෝ මේකා මැස්සෝ කාලා බොරුව දානවා, එහෙම නැත්නම් ඩුඩ් ඉස්සරහ කතාවකට පුර්විකාවක් තිබ්බ්වත්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ‍රැකට් එකෙන් එච්චර චොර වෙන්නේ නෑනේ. අර පිච්චෙන ගඳ එනවා විතරයි.

      //මම කියන්න හදන්නේ මම ඇත්තෙන්ම මැරිච්ච මැස්සෝ කීයටවත් කන්නේ නැති බව...මේ නොවැලැක්විය හැකි කරුණකට ඇර.//
      මෙන්න මෙතන පොයින්ට් එක මොකක්ද?

      මේ පොයින්ට් එක, මම හිතන විදියට (එහෙම කිව්වේ මේක මගේ කතාවක් නොවන නිසා) මූට තාත්තව ඔරොප්පු කරන්න හරි, කාට හරි ළණුවක් ගිල්ලවන්න හරි වෙනත් ආතල් එක පිනිස කරන practical joke එකක් ක්සාර්ථක කරගන්න ඕනේ වුනොත් ඌ මැස්සෝ වුනත් කයි කියන එකයි.

      ඇයි උඹට මතක නැද්ද, ඇන්ඩියා එක පාරක් වැලලුනා පණ පිටින්? මූත් ඊට දෙවෙනි නෑ.

      Delete
    2. මම අළුත ආපු එකා වෙච්චි. අන්දියා වැලලුන කේස් එක දන්නේ නෑ. ලින්ක් එක දෙනවද තරහ අවසර?

      Delete
    3. http://bluejeansntshirts.blogspot.com/2013/04/63-playing-dead.html

      ගලපාත, ඔය දකුණු පැත්තේ ප‍ටුන කියලා ස්කෝල් බොක්ස් එකක් තියෙන්නේ. අන්න ඒකෙන් කෙලින්ම යන්නත් පුලුවන්.

      Delete
  35. සිරාවටම මම හිතුවේ අර ගොයියා මැසි බොකු කෑවා කියලා.

    මම හිතන්නේ මිස්ටර් ස්පින්ක්ස් තවම වමනේ දානවා ඇති

    ඩුඩ් අයියගේ පරිවර්තන ගැන ඉතින් කවර කතාද...සුපිරියි

    ReplyDelete
    Replies
    1. මේක ඉස්සෙල්ලම කියවනකොට මමත් හිතුවේ මූ මැසි කෑලි ලෙව කෑවා කියලා. මටත් මාර අප්පිරියාවක් හිතුනා, බං.

      Delete
  36. අද තමයි හෙන් රි අයියගේ බ්ලොග් එක කියෙව්වේ.... ෂා මරු නෙව අයියේ... හෙමින් හෙමින් පරණ පෝස්ට් ටිකත් කියවන්නම්

    ReplyDelete
    Replies
    1. :-h එහෙනම් ගන්දරයව සාදරයෙන් පිළිගන්නවා. එතකොට අන්තිම පේලියේ සෙට් එකේ සෑහෙන දෙනක් ගොඩ බැස්සා මේ පැත්තට. උඹ අනිත් උන්ව දන්නවා ඇතිනේ. ඔය උඩ ඉන්න ගලපාතයා, එතකොට විදුර වීරසිංහ නොහොත් ෂැගියා, එතකොට සරත් ලංකාප්‍රිය නොහොත් ජයියා, එතකොට මේ මම...

      ගන්දරයා උඹ බ්ලොග් එකක් ලිව්වා නේද මේ මෑතක ඉඳන්?

      හරි හරි, පරණ ඒවා කියවනවා නම් ඔය දකුණු පැත්තේ යටම එල්ලලා තියෙන ප‍ටුන හරිම ලේසියි.

      Delete
    2. විදුර වීරසිංහ නොහොත් ෂැගියා - මේ අන්තිම පේලියේ එකා නෙවෙයි. වෙන එකෙක්..

      Delete
  37. පට්ටයි හෙන්ඩ්‍රි අයියා... කට ඇරගෙන හිනා වෙලා මගේ කටෙත් මැස්සො ගියා.. සුපිරි කතාව...

    අනිත් එක තමයි ආර්ට් එක නම් මැක්සා...මං මුලින්ම කතාවටත් කලින් ගොඩක් වෙලා ආර්ට් එක දිහා බලාගෙන හිටියා.. නියමයි...පොඩි එකාගෙ දඟකාර මූණ, තාත්තාගෙ යක්ස මූණ කොමිටල් කරලා ඇඳලා තියන විදිය සුපිරි.. කියන්න වචන නෑ.. නියමයි.. (කලාබර)

    ReplyDelete
    Replies
    1. හාහ් හා! කලාවට බර ජානකයව සාදරෙන් පිළිගන්නව මගේ දුප්පත් පැලට. :-h මම උඹව අඳුනාගත්තෙත් ගලපාතයගේ බ්ලොගේ චිත්‍ර වලින්. මතකද මම අර ෆෑන් එක ඇඳලා තියෙන්නේ අරූට විතරක් හුලං වදින්න කියලා පොඩි කින්ඩියක් දැම්මා?

      දිගට එනවනේ මේ පැත්තේ?

      Delete
    2. අනිවා.. ආයෙ මොනාද.. දිගටම එනවා..

      Delete
    3. මෙන්න කලාබරත් ඇවිත්. උඹ මැරෙන්නේ නෑ. අදත් ලිව්වා උඹට වෙච්ච දෙයක්.

      WORDS HERE

      Delete
  38. මට මිස් උනාද මංදා....... කාලෙකින් රියල් ඩූඩ් ආයෙත් ඇවිත්...

    මැස්සෝ වගේම රහයි....

    නෝනට කියපු කතාව මෙතන ලියන්න බෑ..

    ReplyDelete
    Replies
    1. උඹ මිසිං වෙලා හිටියේ ගොංපීතරේ කැඩිලා කියලා ආරංචි වෙච්ච හන්දා පොලිස් බල්ලො දාලා හොයන්න ගියේ නෑ.

      >>මැස්සො වගේම රහයි!<< අපිත් ඔය කඩවල් වලින් බොන ප්ලේටී වල හෙම ඔය මැස්සො ඉන්නේ හිටපු ගමන්.

      Delete
  39. මම නම් හිතන්නේ මේ සිද්ධියෙන් පස්සේ ඩබල් ප්‍රොමෝෂන්ම හම්බෙන්න ඇති. මොකද ලොක්කා හිතන්න ඇති මේ මනුස්සයට මෙච්චර ඉවසන්න පුළුවන් නම් රස්සාවත් හොඳ ඉවසීමෙන් කරන්න පුළුවන් වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ගිහාන් ඔය ළමා අයිතිවාසිකම් වලට සලකන රටවල් වල දෙමව්පියන්ට, ගුරුවරුන්ට පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනෙ.

      ඒ කතාවේ ඇත්තක් තියෙන්න පුලුවන් තමයි.

      Delete
  40. අපේ කොල්ලත් ඔයවගේ වැඩ කරන්නෙ මාව අවුස්සන්න වෙන්න ඇති. හිටුකො අද ඉන්නව නොදැක්ක වගේ.D
    හැමදාම වගේ සුපිරියි කියල තමයි කියන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්! උඹේ කොල්ලත් ඔය වගේ වැඩ කරනවද?

      ඇත්තෙන්ම ගනං නොගෙන හිටියොත් හරි. හුඟාක් දඟ ළමයි කරන වැඩක් තමයි අපේ ඉවසීමේ සීමාව කොතනද කියලා ටෙස්ට් කරලා බලන එක.

      අපිත් එහෙමනේ නැද්ද? :))

      මොකෝ කම්මල උඹ පහුගිය කාලේ පේන්න නොහිටියේ කොතැනකවත්?

      Delete
    2. වැඩ, වැඩ බිසී, බිසී ඒකයි නාවේ.

      Delete
  41. තාත්තාට රස්සාව ලැබෙන්න ඇති, දෙයියනේ මේ තරම් ඉවසන මිනිස්සු කොහෙන් හොයන්නද...
    නිතරම මේ පැත්තේ ආවට, අදයි කාලෙකින් කොමෙන්ටුවක් දැම්මේ, සිංහල ලියාගන්න බැරුව හිටියා :)

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ඉවසන්න මටත් බෑ ඉස්සරනම්. දැන්නම් සෑහෙන හොඳට ඉවසනවා. ඒත් මේ රටේ උන් තරම් ඉවසන්න නම් අපි කවදාවත් හුරු වෙන එකක් නෑ.

      නැවත පැමිණීමද සතුටකි මානවිකා. :)

      Delete
  42. Scenario 1

    මිස්ටර් ස්පින්ක්ස් ගෙදර ගියාම එයාගේ බිරිඳ ජේන් අහනවා මෙහෙම.

    ජේන් ස්පින්ක්ස්: " ඩේවිඩ්.... මොකද අනේ ඔය ඔයාගේ හැටි? මොකද වුනේ? "

    ඩේවිඩ් ස්පින්ක්ස් : " අර පෝල් ජෙනිංස් කියන එකා එක පාරක් මං ගැන ලියල මට පාරට බහින්ට නැතිකලා. යාන්තං ඒ වැඩේ එකලාසයක් වෙලා කට්ටියට මාව අමතක වෙලා යන්ට ගත්ත විතරයි. අර ************* අසමජ්ජාතියා…"

    ජේන් ස්පින්ක්ස්: " මොන ? "

    ඩේවිඩ් ස්පින්ක්ස් : " වෙන මොකාද අර හෙන්රිය කියන එකා..ඒකා ආයෙම පාරක් මං ගැන ලියල..ආය නෑ...හොදි ඕන නෑ...පෝලා ලිව්වට හපං...මාව නැති කරලම දාල...වහ ටිකක් කාල කැලේ රිංගනව ඇරෙන්ට මට ආය වෙන කරන්ට දෙයක් ඉතුරු වෙලා නෑ…"

    ***************************************

    Scenario 2

    මිස්ටර් ස්පින්ක්ස් ගෙදර ගියාම එයාගේ බිරිඳ ජේන් අහනවා මෙහෙම.

    ජේන් ස්පින්ක්ස්: " ඩේවිඩ්.... මොකද අනේ ඔය ඔයාගේ හැටි? මොකද වුනේ? "

    ඩේවිඩ් ස්පින්ක්ස් : " ඒකෙං වැඩක් නෑ..මේ…. අපේ අර ෆ්ලයි ස්වොටර් එක තියනව නේද? ගේන්ටකො ඒක මෙහාට."

    ජේන් ස්පින්ක්ස්: " ඒ මොකටද අනේ ෆ්ලයි ස්වොටර් එක? "

    ඩේවිඩ් ස්පින්ක්ස් :" ගේන්ඩකො කියන්න..ආ..මේ ඔයා රෑට කාලද ඉන්නෙ? "

    ReplyDelete
    Replies
    1. පට්ටම කමෙන්ට් එක මචං. දාපං පහක්! :-h

      උඹගේ නිර්මාණාත්මක හැකියාව ගැන මට කිසිම සැකයක් නෑ, මචං. නමුත් දුක උඹ මේක අන්තිමට දාපු හන්දා මේක දැකලා ගන්න තිබ්බ ආතල් එක හුඟ දෙනෙකුට අහිමි වෙනවා. සංවාදයක් ගොඩ නගන්න තිබ්බ අවස්තාව නැතුව යනවා. උදෙං වරෙංකෝ බං කම්මැලිකම නැතුව.

      Delete
  43. ඈක්කා........හිහි

    මුද්දරස්පලම්නම් අවුලක් නෑ ඉතින්

    ReplyDelete
    Replies
    1. ayyo me subscribe ekata monawa welada manda...mama nathi tikata

      Delete
    2. මුද්දරප්පලම් වල කිසි අවුලක් නෑ. අවුල සබ්ස්ක්‍රයිබ් කලාට අප්ඩේට් නොවෙන එකේ. එහෙම ප්‍රශ්ණයක් තියෙනවා කියලා මම දන්නෙත් නෑ.

      Delete
  44. මේක නම් එච්චරම හිරිකිත නෑ වගේ....

    කෑම මේසෙ හිටපු අයට උන වැඩේ නම් පව් ඉතිං...

    කතාව නියමයි...!

    ReplyDelete
    Replies
    1. එහෙනම් කමක් නෑ.
      ස්තුතියි රෙහානි.

      Delete
  45. ඩූඩ්......ඔන්න අලුත්ම Asterx පොත එනවා හෙට අනිද්දා. අලුත් Author කෙනෙක්. Asterix ස්කොට්ලන්ඩ් එනවා.පොතේ නම Asterix And The Picts!!!!!!

    ReplyDelete
  46. නිදහසේ අදයි කියෙව්වේ... පරණ කතා වගේම අදත් මරු...

    මම මැස්සන්ගෙන් බේරෙන විදිය කියන්නද... මැස්සෙක් ආවොත් කොහොම හරි කට්ට කාගෙන රෑ වෙනකල් ඉන්නවා... කරුවල වැටුනට පස්සේ ගෙදරම ලයිට්, ටීවී සේරම ඕෆ් කරලා එලියේ ලයිට් දානවා.. ඊට පස්සේ මැස්සා ඉන්න කාමරේ ජනේලෙයි කර්ටන් එකයි ඇරලා ජනේලේ ගාවට වෙලා බලාගෙන ඉන්නවා... එතකොට එලිය තියෙන තැන හොයාගෙන එන මැස්සා ජනේලෙන් එළියට යනවා... ඊටපස්සේ ක්ෂණිකව ජනේලේ වහන්න ඕනේ... එක මැස්සෙකුට මෙච්චර මැරෙන්නේ මූට පිස්සුද කියලා අහන්න එපා... :D

    ReplyDelete
    Replies
    1. බීටලේ, උඹ විස්වාස කරපං මාත් ඕකමයි කරන්නේ. මැස්සාව ගයිඩ් කරන එක.
      මැස්සා සීලිං ලයිට් එකට ආවට එච්චර ගානක් නෑ. මම කියවන්න ඇඳේ හෙඩ්බෝඩ් එක උඩ තියාගෙන ඉන්න රීඩිං ලෑම්ප් එකට මේකා ආවාම චා වෙනවා. මම කරන්නේ දොර පොඩ්ඩක් ඇරලා සාලේ ලයිට් එක දාලා රෙඩිං ලෑම්ප් එක ඕෆ් කරනවා. දොර ගාවට වෙලා බලාගෙන ඉන්නවා. මූ එලියට ගියාම, සාලේ ලයිට් එකත් ඕෆ් කරනවා මූ අර එහාපැත්තෙ පාරේ ලයිට් එකට ඇදිලා යන්න. ඒ කියන්නේ මැස්සා ගයිඩ් කරනවා.

      මම මෑතකදි හොයාගත්තා මේ සරළ ක්‍රමය.කෙලින්ම LEDටෝච් එක අරන් දොර ගාවට ගිහින් ඒක දොර ක්‍රැක් එකක් ඇරලා එලියට දාගෙන ඉන්නවා. මූ සිං ගාලා ඇදිලා ආවාම ටෝච් එක නිවලා දොර වහගෙන රීඩිං ලෑම්ප් එක දානවා.
      Welcome to the club, beetle.


      Delete
  47. මේක කියෙව්වා. කමෙන්ට් එකක් දාන්න පස්සෙ එන්නම්. සමාව බජනය කරත්වා. :( (මේක හරිද මන්දා?)

    ReplyDelete
  48. හප්පටසිලි සිලි අදෝමැයි..මාව ප්‍රෙග්නන්ට් උනා වගේ..ඔක්කාරෙට ආවා.
    අදේ කාලෙකින් මේ පැත්තට ආවේ. මාස ගානකින්. මාත් ඈත් වෙලා නොවැ උන්නේ. අර පරණ කතා ටිකත් කියෝලා බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ඈත්වෙලා උන්නයි කිව්වේ තරුවා? පාඩම් වැඩ නිසාද?

      Delete
  49. මුලින්ම ඇවිල්ල කියවපු වෙලාවෙ නම් මට හරි අප්පිරියාවක් ආවා. අර මැරිච්ච මැස්සො ඇලිල තිබුනු හැටි හා මැස්සන්ව මැරුවම උගෙ කෑලි ඒකට ඇලිල තියෙන හැටි විස්තර කිරීම නම් කියල වැඩක් නෑ.වචන භාවිතය නම් ඉතින් superb.

    මට කියවද්දිත් තරහ ආපු එකේ කොල්ලගෙ තාත්ත කොහොම ඉවසුවද මන්ද?මම නම් දොර කඩගෙන හරි ගිහින් කනට දෙකක් දෙනවා මාව අර අමුත්තා ඉදිරියේ අපහසුවට පත් කිරීම ගැන හා අමුත්තව එසේ අපහසුවට පත් කිරීම ගැන.

    ඔය කතාව කියන්න සුදුසුම ලිවීමේ ශයිලිය ඩුඩ් භාවිතා කරනව කියල මට හිතෙනව. මොකද, කතා කරන බාසාව තමා සුදුසුම පාඨකයට සමීප වෙන්න. ඒ වගේම වචන බාවිතය. හැමදාම වගේ අප්පිරිය රසය උපරිමයි.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>