Tuesday, May 13, 2014

112. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි



 කෝච්චි ගමනත් ඉවර වුනා. ඒ එක්කම කෝච්චි වලට, සංචාර වලට ප්‍රිය කරන, සමාන අදහස් දරන හුඟ දෙනෙක්ගේ අදහස් ප්‍රතිචාර වලින් දැනගන්නට ලැබුනා. 

කෙනෙක් කෝච්චි වලට හෝ වෙනයම් එවැනි දෙයකට දක්වන අසීමිත ආශාව තේරුම් ගන්න කෙනෙකුට අපහසු වෙන්න පුලුවන්. කෝච්චි ගැන වගේම ලංගම බස් ගැනත් බ්ලොග් අඩවියක් කිව්වාම සමහරු ඇහිබැම උඩදාලා අහන්නේ මොනවද බං ලංගම බං ගැන ලියන්න තියෙන්නේ කියලා.

කෝච්චි මගේ ජීවිතයට කොයි තරම් සමීපද කියලා මම  2012 ජූලි හත් වෙනිදා මගේම මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පළකල මේ  ලිපිය කියෙව්වොත් දැනගන්න හැකියි. මතක තියාගන්න එතකොට මේ බදුලු ගමන යන්න හීන බලනවා විතරයි. බදුලු ගමන සිහිනයක් සෑබෑවීමක් වුනේ ඒ නිසයි.

ඒ වගේම ලිපිය අගට, මම ඒ ලිපියට පළවූ ප්‍රතිචාර වලින් මම ඉතාම ප්‍රිය කරපු ඒවා
කීපයක් අමුනන්නත් කල්පනා කලේ ලිපියට ඒවායින් වැ‍ටුනු එළිය ගැන හිතලාමයි.

♥ ♥ ♥ ♥ ♥

 අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි



 අපේ ගෙදර තිබ්බ හැම ගෘහ භාණ්ඩයකම ගහලා තිබ්බා ලේබලයක්. ඒකෙ තිබ්බෙ තාත්තගෙ නමයි, අහවල් දුම්රිය ස්ථානාධිපති බාරේ, අහවල් දුම්රිය ස්ථානය, අහවල් නගරය, කියලා. ඒකෙන් අදහස් වුනේ රජයේ නිළධාරියෙකු වූ තාත්තා, ස්ථාන මාරුවක් ලැබෙන ගානෙ, තමන්ගෙ දරු පවුලත් අරගෙන බඩු මුට්‍ටු පොදි බැඳගෙන ලංකාවෙ විවිධ ප්‍රදේශ වල සේවයට ගියා කියන එකයි.

 රජයේ නිලධාරියාගේ බඩු භාණ්ඩ රජයේ වියදමින් ආසන්නම දුම්රිය ස්ථානයට ප්‍රවාහනය කරලා දෙනවා. ඉතිරි දුර ලොරියකින් ගෙනිහින්, බිල් ඉදිරිපත් කරලා ගමන් වියදම් ලබාගන්න පුලුවන්. මේක කොච්චර පිස්සු වැඩක්ද කිව්වොත් නවගමුවෙ ඉඳලා බලංගොඩ යන බඩු ලොරියකින් මරදානට ගෙනිහින් කෝච්චියට පටවලා, කෝච්චි පෙට්ටියක් කුලියට අරන් ඕපනායකට යවනවා. ඕපනායක ඉඳලා අච්චර දුර බලංගොඩට නැවත ලොරියකින් ගෙනියන්න ඕනෙ. ආපහු එන දවසකත් බඩු ගන්න මරදානට යන්න ඕනෙ.
 
තවමත් කෝපි කාලෙ සුද්දො කිව්ව විදියට වැඩ කරන අපට ඕක මහ පුදුමයකුත් නෙවෙයි. මේ මෑතක් වෙනකල් ගමන් ගාස්තු ඉල්ලන අයැදුම් පතේ ගමන ගියේ අශ්වයා පිටින්ද කියලා අහලා තිබ්බා මට මතකයි. මට නම් ඕක පුරවන්න වෙන්නෙ ඡන්ද රාජකාරි වලට ගිය වෙලාවටයි.

 මට මතකයි තාත්තා ලොරියකුත් කතා කරගෙන ලොරි රියැදුරාට ස්ටේසමට එන්න කියලා එයා යනවා ගල් පාන්දර එයාගෙ තඩි BSA මෝට බයික් එකේ Yale ඉබ්බන්ගෙ යතුරුත් අරගෙන. ඒකට හේතුව තමන් කුලියට ගත්ත කෝච්චි පෙට්ටියට වැඩි හොඳට තමන්ටත් ඉබ්බෙක් දාන්න පුලුවන් කැමතිනම්. ඉතින් පරක්කු වුනොත් කම්කරුවො ඉබ්බා කඩලා බඩු බානවා. බානවා කියන්නෙ වීසිකරනවාලු. තාත්තා දුවන්නෙ ඊට කලින්. මොකද ඒ අය බඩු බාන්නෙ හරිම විනාශකාරී විදියට කියලා අපි විශ්වාස කලා. විශේෂයෙන්ම අයිතිකාරයා ලඟ නැති වෙලාවට අල්ලලා විසි කරනවලු කකුල් කැඩිලා යන්න. මොකද තමන්ගෙ බඩු නොවන නිසා.
 
වෙනම බ්ලොග් පෝස්ට් එකක් ලියන්න මම හිතාගෙන ඉන්න මේ කාරණාව හුදෙක් කල්පිතයක් නොවන බව අපිට වැටහුනේ පහු කාලෙක ගුවන් තො‍ටුපල වලදී. විශේෂයෙන්ම අපේම ගුවන්තො‍ටුපලේදී. එක වතාවක් මම ගෙනාවා කෑලිගලවලා ලස්සනට පෙට්ටියට අහුරපු පොත් රාක්කයක්, අපේ ගමන් බඩුත් එක්ක. මේක carousel එකේ එලියට ආවේ කෑලි කෑලි, කවුද කාලකන්නියෙක් හිතාමතාම ඒක උස්සලා අතෑරලා. කෑලි ටික ඔක්කොම හොයාගත්තෙ හරිම අමාරුවෙන්. 

පදිංචිය වෙනස් කිරීම දුකත් සතුටත් මිශ්‍ර හැඟීමක්. අත්වලට කාඩ්බෝඩ් තියලා ගැට ගහපු පු‍ටුසෙට් වෙනම.ඇඳන් ගලවලා වියල් එකට කාඩ්බෝඩ් තියලා බැඳලා. ලෑලි එකේ සිට අංක යොදලා මිටි බැඳලා. අල්මාරිය කෑලිවලට ගලවලා කාඩ්බෝඩ් මැද්දට තියලා මිටි බැඳලා. කාඩ්බෝඩ් පෙට්ටි පෙට්ටි ගේ පුරාම. පිඟන් එකින් එක අතරට පත්තර කෑලි දාලා වෙනම පෙට්ටියක. පෙට්ටි වල ගමනාන්ත ලේබල් වලට අමතරව ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා හොයාගන්න ලේසිවෙන්න තවත් ලේබල් අලවලා. කුස්සි බඩු යටතේ සාස්පාන්, හැඳි, කේතලේ, යනාදී වශයෙන් විස්තර ඇතුලත්. තව පෙට්ටියක පුතාගෙ සෙල්ලම් බඩු කියලා ලියලා. මගෙ, (දැන් නංගිගෙ) ට්‍රයිසිකලේ හැඬල් එකේ ටැග් එකක් එල්ලලා. මිරිස් ගල ගෝනියකින් ඔතලා. එතකොට අරන් යන්නෙ මොනවද, දාලා යන්නෙ මොනවද කියලා තීරණය කරන්න නොයෙකුත් විවාද. 

“මේ ඔක්කොම මල් පෝච්චි ගෙනියන්නම ඕනෙද?.”

“මොකටද අනේ මේ කෙහෙල් පැලේකුත් අරන් තියෙන්නෙ, නැතුවට?”
බඩු ඇසුරුවට පස්සෙ කෑම බීම අසල්වැසියන්ගෙන්. ගමේදි නම් නෑදෑයන්ගෙන්. ගමනාන්තයට ලංවුනාමත් එහෙමයි.

බඩු අලුත් තැන්වල ස්ථානගත කරන එක වෙනම කලබලයක්.පින්තූර එල්ලන්නෙ කොතනද, ඔර්ලෝසුව එල්ලන්නෙ කොතනද, මේ කාමරේ කාටද, ඇඳ තියන්නෙ කොතනද, වාගෙ. එක ගෙදරක තාත්තා දිග බාගෙ බිත්තියකින් වටවෙලා තිබ්බ ඉස්තොප්පුවෙ එක පැත්තක් ලෑලි වලින් පාටිෂන් දාලා කන්තෝරු කාමරයක් හැදුවා මට මතකයි. 

අපිට ඒ කාලෙ බල්ලො නම් කොහොමත් හදන්න බැරි වුනත් පූසො, එතකොට කුකුලො රංචුවක් හෙම හිටියා.

කලින් කිව්ව වගෙ දුම්රිය සංක්‍රමණික ජීවිතයට තදින්ම බැඳී තියෙන දෙයක්. මගෙ හද බැඳගත්  වාහනයක් වගේම ප්‍රවාහන මාධ්‍යයක්. දුම්රියෙ හඬ, දුම්රිය ස්ථානයක දකින්නට අත්විඳින්නට ලැබෙන ඊටම ආවේනික ජීවන රටාව, ඈතින් මතුවෙන දුම්රියක් දු‍ටුවිට දැනෙන හැඟීම, දුම්රිය වේදිකාවෙ නැවතුන පසු ඇතිවන කලබලය, මොන භාෂාවෙන් කිව්වත් මෙලෝ යකෙකුට නොතේරෙන දුම්රියපලේ ශබ්දවිකාශන වලින් කෙකර ගාන නිවේදන වල දෝංකාරය කුඩා මගේ හිතේ ඇතිකලේ පුදුමාකාර චමත්කාරයක්. 

 මේ අද පවා මට දුම්රියක් හරි ගුවන් යානයක් හරි පිටත්වෙලා යනවා දකිනවිට පුදුමාකාර පාලු ගතියකුයි හිතට බර ගතියකුයි දැනෙනවා. මට කිසිදාක දුම්රියක හඬ ගොරහැඩි ඝෝෂාවක් වගේ ඇහිලා නෑ. ගොරවන දුම්රිය එන්ජිම, පීලි වලින් නැගෙන ‘ටක -ටකස් – ටක ටකස්’ හඬ, දුම්රියේ ඇතුලට දැනෙන නැලවිල්ල, ගැස්සිල්ල, පැද්දිල්ල, තව දුම්රිය මැදිරියකටම ආවේනික සුවඳ මට වෙනම සුරංගනා ලෝකයක්. එතකොට දුම්රියේ ජනේලය 3D රූපවාහිණී තිරයක් වගේ නොවෙයිද? දුම්රිය ගමනකදි මම හැමතිස්සෙම පොරකෑවෙ අයිනෙ ඉඳ ගන්න. හුලං පාර මූනට වැදිලා එසවෙන අකීකරු හිසකෙස්, එක ප්‍රමාණයකට මුහුණ එසවූ විට ඇතිවන හුස්ම ගැනීමේ අපහසුව, කට ඇරිය විට කට තුලට හුලං පිරී පිම්බෙන දෙකම්මුල් සහ එවිට තරඟයට හුලං ගිල දැමීම, හුලං පහරේ සැරට දෑස් වලට නැගෙන කඳුළු අත් නොවිඳි දරුවන් ඇත්ද? දුම්රිය ජනේලයකින් පිටත බලා ඉන්නාවිට ලඟින් තියෙන දේ වේගයෙනුත් ඈතින් පිහිටි දේ ඉතා හෙමිහිටත් ආපසු ගමන් කරන හැටි මතකද? 

දුම්රියේ මැදින් ඇති කොරිඩෝව දිගේ මැදිරියෙන් මැදිරියට ඇවිදගෙන යෑම වික්‍රමාන්විත ක්‍රියාවක්. අලුත් අලුත් මුහුණු තම තමාගෙ ලෝක වල. මැදිරි දෙකක් එකතුවෙන තැන්වල තියෙන concertina joint එක තරණය කිරීම , ත්‍රාසජනක අත්දැකීමක්. එකක් මත එකක් වැටී පැද්දෙන දුම්රියේ චලිතයට අනුව එකට ඇතිල්ලෙමින් මැදෙන වානේ තහඩු දෙක මතින් අනතුරකින් තොරව මාරුවීම හැදෑරියයුතු කලාවක්.

කුඩාම කාලෙ අවසර නොලැබුනත් පසුව දුම්රිය පාපුවරුවේ ඉඳගෙන යාම මම ඉතාම ප්‍රිය කරන දෙයක්. කැලෑ මැදින්, පාලම් මතින් ගමන් කරන දුම්රිය එක වරම දුමරිය හරස් පාරක් හරහා ගමන් කරද්දි , ටිං ටිං ගා නාදවෙන හරස් පාරේ සීනු හඬත් සමගම, යකඩ යකාට යන්න දීලා නැවතිලා බලන් ඉන්න වාහන දැක්කම “රජ්ජුරුවෝ උඩයි උඩයි, චූ කොල්ලෝ බිමයි බිමයි”, තාලෙට හිතෙන් කියවෙනවා. 

 දුම්රිය නැවතුම්පලවල් වලදී නගින විවිධ වෙලෙන්දන් ඉස්සො වඩේ, තැම්බූ බඩ ඉරිඟු, රටකජු, පැලපී, තේ, කිරි තේ, කෝපි, පත්තර, ලොතරයි, පළතුරු, සිසිල් බීම, රසකැවිලි, සෙල්ලම්බඩු යනාදී එකී නොකී සියලු දේ මගීන්ට විකුනන්නට උත්සාහ කරනවා.පිරිසිදුකම ගැන නම් සහතිකයක් නැතිවුනත් අපි කොයි තරම් කඩචෝරු කාලා ඇත්ද ඔය වෙලෙන්දන්ගෙන්. ගෙදරින් හදාගෙන යන කෑමත් දුම්රිය මැදිරිය ඇතුලේ ඉඳන් කනකොට අමුතු රසයක් තියෙනවා. 
 
දවසක් අපි පවුලම බදුලු දුම්රියේ නිදන මැදිරියක යනවා. තාත්තයි මායි නිදා ගත්තෙ උඩ බංක් එකේ. ලයිට් ස්විච් එක මගෙ අත ගාවම. සීලිම අතින් අල්ලන්න පුලුවන්. මම කවදාවත් බලබ් එකකට මෙච්චර ලඟින් ඉඳලා නැතුව ඇති. මගෙ වැඩේ ටකස් ටකස් ගාලා ලයිට් එක දානවයි නිවනවයි. මගෙ කුඩා හිතට මේක පුදුමාකාර සතුටක් ලබා දුන්නා.  ලයිට් එකත් ගෙදරක බල්බ් එකක් තරම් රත් වෙන්නෙත් නෑ එච්චර එලියත් නෑ. පස්සෙ අන්තිමට තාත්තා කෑගහනවා මට මතකයි, “මොන කරදරයක්ද ළමයො, නිදාගන්නකො ඔය ලයිට් එකට තියෙන්න ඇරලා” කියලා. මේ සුලු සිද්ධිය අදත් මගෙ හිතේ මෙච්චරම ගැඹුරට කා වැදිලා තියෙන්නෙ ඇයි කියලා මමවත් දන්නෙ නෑ.

පසු කාලෙක පේරාදෙණියෙ ඉන්න කාලෙ නුවර කෝච්චියෙ එද්දි මම ගියා සුපුරුදු විදියටම අර දුම්රිය මැදිරියෙ ටොයිලට් දෙක තියෙන වංගුවෙ ඉඳන් දුමක් අදින්න. සිගරට් එක තිබ්බට ගින්දර නැති එක අපේ ලක්ෂනයක්නෙ. ඉතින් සිගරට් ‍ෆිල්ටර් එක අත් ඔරලෝසුවෙ තට්‍ටු කරන ගමන් මම ඉල්ලුව ගින්දර ටිකක් ලඟම ඉන්න සුද්දාගෙන්. තුන්වෙනි පන්තියෙ ටොයිලට් එකේ පිටපැත්තෙ බිත්තියට පිට දීලා බිම ඉඳගෙන දුමක් අදිමින් සිටි සුද්දා රත්තරන් පාට වටිනා ලයිටර් එකක් මට දික්කලා. මගේ දුම්වැටිය දල්වාගෙන ලයිටරය ආපසු දෙනවිට, මගේ වාගේම නිල් පැහැය දියවී ගිය ඩෙනිම් ජීන්ස් එකකුත්, ටී ෂර්ට් එකකුත් හැඳගෙන ගමන් බෑගයක්ද සමග සිටි සුද්දාගේ දුම්වැටිය දිහා මට බැලුනේ ඉබේටම. මේකා බොන්නෙ බීඩියක්නෙ! 

ටිකකින් දෙන්නම කතාවට වැ‍ටුනා. 

සුද්දා ජර්මන් කාරයෙක්. මම ගුරු ශිෂයයෙක් කිව්වාම සතුටින් හිනාවෙලා ඔලුව වනපු සුද්දගෙන් මම ඇහුවා එයා මොකද කරන්නේ කියලා. 

“I’m a judge”, සුද්දා කිව්වාම මම හිතුවෙ මට හරියට ඇහුනෙ නෑ කියලා. මම ආයෙම ඇහුවා. 

ඔව්!! මේ මම වගේම හිපි පෙනුමක් තියෙන ‍රැවුලකුත් වවාගෙන ඉන්න සුද්දා නඩුකාරයෙක් තමයිලු ජර්මනියෙ!!!

මගෙ මූණෙ මතුවුන විමතිය දිහා ටිකක් වෙලා බලන් ඉඳලා, බීඩියෙන් දුම් උගුරක් ඇදලා, කොරිඩෝවේ වහල දිහාට පිඹපු විනිසුරුතුමා කියනවා. 

“මම දන්නවා හෙන්රි ඔයගොල්ලන්ගෙ රටවල නඩුකාරයෙකුට රස්සාවත් එක්කම ලැබෙන ස්ටේටස් එක. නමුත් ජර්මනියෙදි, නඩුකාරකම තවත් රස්සාවක් විතරයි.”

 තවත් බොහෝ වල්පල් කතා කරමින් හිටි අපි පේරාදෙණියෙදි සතුටින් විසිර ගියා. නමුත් හිතන්න යමක් මගෙ හිතේ ඉතිරි කරලා.
 
බිංගෙයක් තුලින් කෝච්චිය යනකොට කවුරු හරි හූ කියනවාමයි. මම අදටත් ඒ වෙලාවට ජනේලෙන් ඔලුව එලියට දාලා හූ කියන්න ආසයි. අර එකෙක් හූව පටන් ගත්තම නලියන්න ගන්න නරි ජානය කොහොමත් අපි තුල තියෙනවානෙ. 


බිංගේ ඇතුලෙ පිරිලා තියෙන දුම දුම්රිය මැදිරිය තුලටත් එනවා. බිංගෙයින් එලියට එනවිට ඇතිවන ආලෝකයෙයි, හඬෙයි වෙනස
වින්දනය කලයුතු මිස, අසා දැනගත හැකි හැඟීමක් නොවෙයි. දුම්රිය පාලමක් තරනය කිරීමත් එසේමයි. මම හිතන්නෙ රේල්පාරත්, මහ පාරත් එකම මගේ ගිය එකම පාලම වුනේ මනම්පිටියයි. දැන් ඒක වෙනස් කරලා බව මේ පාර නිවාඩුවට ගියාම දැක්කා.

 එතකොට අපි සුද්දන්ට බැන බැන අදටත් පාවිච්චි කරන, සුද්දො තමන්ගෙ අවශ්‍යතාවයකට වුනත් හදපු ගල් ආරුක්කු පාලම්, පොලොව දෙදරවාගෙන යන දුම්රියේ බර දරාගෙන, අවුරුදු 100ක් 150ක් තිස්සේ තවම සේවය කරන බව අදහන්නත් අමාරු තරම්. 

රජයේ නිළධාරීන්ට ස්ථාන මාරු ලැබිලා යනවාට අමතරව වසරකට නිදහස් ගමන් බළපත් තුනක් හිමියි. තියෙන අවිවේකී බව නිසා සමහර විට මෙයින් ප්‍රයෝජනයක් ගන්න නොලැබෙන අවස්ථායි වැඩි. අවසන් වරට ලබපු හොඳම දුම්රිය අත්දැකීම දීපාගේ පාසලේ ගුරු මණඩලය සමග Hitachi සුඛෝපබෝගී දුම්රියේ බදුල්ලට ගිය ගමනයි. ගමන් බලපත් තුනම එකතු කර ගිය මේ ගමන ඇත්තෙන්ම chartered train trip එකක් කිව්වැකි. අපි අපේ දුම්රිය, දුම්රිය ස්ථාන වල නවත්තලා නැරඹිය යුතු තැන් නරඹලා එනවා, හරියට පෞද්ගලික  වාහනයකින් ගියා වගෙ. දුම්රිය, දුම්රිය ස්ථාන දෙකක් අතර නවත්තලා අපිට බහින්න දුන්නා අඹේවෙල කිරි පිටි කම්හල බලන්න යන්න. අපිව බස්සපු දුම්රිය ඊලඟ දුම්රිය ස්ථානයට ගිහින් නවත්තාගෙන හිටියා අපි එනකල්. ඉදල්ගස් හින්නේ එතකොට දෙමෝදර වගේ දුම්රිය ස්ථානවල නවත්තාගෙනත් හොඳට අවට ඇවිද්දා සිරි නරඹමින්. 

හැම නිවාඩුවටම ගෙදර ගියාම කෝච්චියේ කොහෙ හරි යන්න හිතා හිටියත් පහුගිය අවුරුදු දහයටම ඒක බැරි වුනා.

මේ පාරවත් බලන්න ඕනෙ.


♥ ♥ ♥ ♥ ♥

ඒ ලිපිය මෙතනින් අවසානයි. ඉතින් පේනවනේ බදුලු ගමන සිහිනය සැබෑවීමක් වුනා කිව්වේ ඇයි කියලා. 


♥ ♥ ♥ ♥ ♥

 නමුත් ලිපිය සර්ව සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ ප්‍රතිචාර වලින්.

hiruni 07/07/2012 at පෙ.ව. 3:31
 ඇත්තටම මේක කියවද්දි වෙනමම සුන්දර ලෝකයකට ගියා වගේ….මාත් හරිම ආසයි කෝච්චි වලට…ඒත් ෆුට් බෝඩ් යන්නෙ පරිස්සමෙන්…අර හිතාචි චාරිකාව නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ…තව මතකද එක දවසක් අම්මා අපිට ඉස්කෝලෙ අරන් යන්න සැන්ඩ්විච් ටෝස්ට් හැදුවා…ඒත් අම්මා ඉස්කෝලෙ ගියාට අපිට කොළඹට යන්න හොදටම පරක්කු වෙලා නිසා ඉස්කෝලෙ නොගිහින් කෝච්චියේ නැගලා සැන්ඩ්විච් ටෝස්ට් කකා ගම්පහට ආවා…

රූ 07/07/2012 at ප.ව. 1:30
 මේ කතාව නම් සහතික ඇත්ත..සාමාන්‍යයෙන් හොඳ තැන්පත් ළමයෙක් වුනු මමත් බිංගෙවල් ඇතුලෙදි ඇති තරම් හූ කියලා තියනවා..මම නම් දුම්රිය ගමනෙදි ආසම කෑල්ල ඒක..විශේෂයෙන් කඩුගන්නාවට ළඟ පාතදි හම්බවෙන බිම් ගෙවල්වලදි..
ඒ ඇරෙන්න කොච්චියේ පා පුවරුව උඩ වාඩිවෙලා කකුල් දෙක තියාන හුළං වදිමින් ගියපු ගමන් තාමත් මතකයේ තියනවා..
ස්තුතියි ඩූඩ්..ඒ මතක සුවඳ අරගෙන ආවාට..



මම පොඩිම කාලේ ඉඳන් අවුරුද්දට දෙසැරයක් නුවර යනවමයි.ඒ යන්නෙත් කෝච්චියෙන්.මෑතක් වෙනකන්ම නුවර යන්න හැමෝම ලෑස්ති වෙද්දි මට රෑට නින්ද යන්නෙත් නෑ.සමහර වෙලාවට නින්ද ගියාම හීනෙන් පේන්නෙත් කෝච්චි… මම ඒ තරම්ම කෝච්චි වලට ආසයි…
මේක හරිම අපූරුවට ලියලා තියෙනවා අපිත් ඔයත් එක්ක ඒ ඒ තැන්වල හිටියා වගේ.ඒක නෙමේ අර රේල් පීල්ල අල්ලගෙන ඉන්නේ පොඩි ඩූඩ් වගේ….
පහුගිය අවුරුදු දෙක තුනේ නම් කෝච්චියේ නෙමෙයි නුවර ගියේ… කෝච්චියේ නගින්න තියෙන අමාරුවත් ගෙදරට හොරෙන් නුවර ගිහින් රෑ වෙන්න කලින් යහතින් එන්න ඕනෙත් නිසා බස් එකේ යන්න පුරුදු වුනා…
අන්තිම පාරට පෙරහැර බලන්න යාළුවෝ එක්ක කෝච්චියෙ යද්දි තමයි අම්මලා තාත්තලාගේ ඇස් වලින් මිදිලා කෝච්චියේ පාපුවරුවේ ගියේ… කඳු උඩින් යද්දි පල්ලෙහා ප්‍රපාත වල ලස්සනට කුඹුරු කොටලා තියෙන හැටි බලන්න වෙන කිසිම තැනක් නෑ…. පුදුමාකාර ලස්සන දර්ශනයක්
ඒ අන්තිම සැරේ යාළුවො කට්ටිය යද්දි තරඟෙට හූ කියලා සිංදු කිය කිය ගියෙ අපරාදේ කියන්න ඕනේ නෑ සිංහල සිංදු වලට සුද්දෝ පවුලක්ම සපෝට් එක දුන්නා…. ඔය අතරේ තමා අපේ එකෙක්ට අදහසක් ආවේ ෆුට් බෝඩ් එකේ ඉඳලා එලියට චූ කරන්න… මම ඌට කිව්වා මොක කලත් ඕක නම් කරන්න එපා හුළං පාරෙ සැරට පිටිපස්සේ පෙට්ටි වල ඉන්න එවුන්ට නාන්න වෙයි කියලා ම්හු මූට ඒක කරන්න ඕනෙමයි…. මම කිව්වා අඩු ගානේ කෝච්චි පාර කෙලින් තියෙද්දි කරහං කියලා…. පරහකට හිට්ටෙ අපිත් එක්ක සෙට් වෙච්චි පොඩි සුද්දියෙකුයි ලොකු සුද්දෝ ඩබලයි ඉද්දි මේක කරන්න බැරිකම….
ඊළඟ බිංගේ පටන් ගන්නකොටම ඌ කිව්වා හරි මචෝ මාව අල්ලගනින් බිංගෙයි කළුවර වැටුනාම මම චූ දානවා එතකොට මොකාටවත් පේන්නැ කියලා…. බිංගෙට එනකොටම මූ දාන්න ගත්තා
මල සේකරයි විනාඩියක් යන්න කලින් බිංගේ ඉවරයි…. *&(%&_)(


DDT 07/07/2012 at ප.ව. 2:23 

සුන්දර මතකයක් අයියා අවදිකළේ. ස්තූතියි ඒකට. ළඟදි මාරය අයියත් කෝච්චි ගමන් ගැන ලියල තිබුණ. අපිත් පොඩි කාලෙ හැම ඉස්කෝල නිවාඩුවකටම දුර ගමනක් යනව කෝච්චියේ. අපේ තාත්තටත් අවුරුද්දකට නිදහස් ගමන් බලපත් තුනක් තිබුණ. ඔය ජනේලෙ ළඟ සීට් එකේ වාඩි වෙන්න අයියයි මමයි පොරකනව මට මතකයි. අපි වාඩිවුනේ එකිනෙකට මූණදාල තියෙන සීට් දෙකක නිසා අයින් දෙකක් තිබුණ. පොරකන්නෙ නම් ඉතිං පුරුද්දට. අනෙක ගාල්ලෙ ඉඳන් කෝච්චිය යන්නෙ අනිත් පැත්තට නිසා සීට් දෙකෙන් එකක් තමයි හුඟක් වැදගත්. දෙන්නටම ඕන ඉස්සරහ බලාගෙන යන්න. ඔය ගමන් යන්න කලින් දවසෙ අම්ම මොනව මොනව හරි කෑම ජාති එහෙම හදනව. අපිටත් අමුතු සතුටකින් හිත පිරිල. එදා රෑට හරියකට නින්ද යන්නෙත් නෑ. උදෙන්ම යනව ස්ටේෂන් එකට. අඩ අඳුරෙ තියන කෝච්චිය දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ. බඩු ඇතුලට දාල අම්මල අක්කල වාඩි කරල කෝච්චිය යන්න වෙලා තියෙන නිසා අයියයි මමයි තාත්තත් එක්ක යනව එන්ංජින් එක බලන්න. පාන්දර මීදුමේ දුම දාගෙන සද්දෙ දාගෙන ඉන්න එන්ජිම බලන්න වටිනව. මමත් 2 වසරෙ ඉද්දි, තාත්තලගෙ ඔෆීස් එකේ වැඩකරපු අයගෙ පවුල්වල අය ට්‍රේන් එකක් වෙන්කරන් පොසොන් එකට අනුරාධපුරේ ගියා මතකයි. ඒක අපි වෙනද යන ට්‍රේන්වලට වඩා ගොඩක් සුඛෝපභෝගී එකක්. මගේ හිතේ විශේෂ ගමන්වලට වෙන්කරපු එකක්. ඒ දවස්වල වැඩි තේරුමක් නෑ ඒගැන. අනුරාධපුරේදි ඇවිදින්න ලංගම බස් දාල තිබුණ. චාරිකාව ඉවරකරල දවස් දෙකින්ද කොහෙද ආයිත් ඒකෙම ගෙදර ආවා. තව නුවර, ගම්පොල එහෙම කීප පාරක් ගියා. උඩරට මාර්ගෙ තමයි මම නම් කැමතිම. වටේට පේන කඳු, මිටියාවත් තේ වතු මීදුම ඒ වගේ සුන්දර දර්ශන බලන්න ඉතිං කෝච්චියෙම යන්න ඕන.
අර ජර්මන් සුද්ද කියන සමාජ ක්‍රමේට ඇත්තටම මම කැමතියි. එහෙම බැළුවම අපේ රටවල්වල මිනිස්සු ආකල්ප අතිනුත් ගොඩක් දුප්පත් තවමත්. පාර පිරිසිදුකරන මිනිහත් වෛද්‍යවරයෙක්, නීතීඥයෙක්, ඉංජිනේරුවෙක් වගේම වෘත්තියක් කරන්නෙ. ඒ වෘත්තීන්වල උස් පහත් බවක් නෑ. ඒක මිනිස්සු හිතින් හදාගන්න දෙයක්. හැම වෘත්තියකම යෙදෙන අය එකිනෙකා මත යැපෙනව. එකිනෙකා කෙරෙහි බැඳිල ඉන්නව.


මාරයාගේ හෝරාව...07/07/2012 at ප.ව. 5:02 
මුලින්ම සුද්දා…
අපේ රටේ නඩු කාරයෙක් උනත් වෙන රටකට ගියාමනං ඔය විදියටම නැතත් ටිකක් විතර පොළවේ පය ගහලා හිටී.. ඒත් උන්නාන්සේලාට මේ රටේ එහෙම කරන්න වරං නැහැ… ඇඳ ගත්ත ගමන්ම ඉන්න ඕන…
අර බීඩිය ඒ ඔක්කෝටම වඩා මට හිතට ඇල්ලුවා… රෝමෙට ගියානං රෝමන්කාරයෙක් විදියට හිටු කිවුවා වගේම වවුලගේ වෙඩිමේ කතාවත් අදාලයි… මොන ආතල්ද හෙන්රි අයියා… හැමදාම බොන සිගරට් එක වගේද තමන් නොදන්න රටක..නොදන්න පරිසරයක..ඔහේ ඉබාගාතේ යන ගමන්..ඒ රටේ පොඩි මිනිස්සු දීලා ඇදින බීඩියක් උර උර… අම්මපා… මට අර සිරිපාදේ යද්දි ගහන මලුවට එකයි සිහි උනා… මං සිගරට් සුරුට්ටු බොන එකෙක් නොවුනත් අනිවාර්යයෙන්ම මලුවට එකනං ගහනවමයි.. ඒ තමා එතනදී තියෙන උපරිම සතුට… සුද්දා ජීවත් වෙන්න දන්නවා…
උඹලනං දැන් සංචාරක ජීවිතේ අවසන් කරලා ඇති..මංනං තාමත් එහෙමයි..ඒත් කෝච්චියෙන් නං නෙවෙයි කොහෙන් හරි හොයා ගන්න පොඩි ලොරියකින් ගෙනියන්න ඇහැකි දේවල් තමා තාමත් තියෙන්නේ.. මේ ලගකදී අර සීත පෙට්ටියක් ගන්න ගිය වෙලෙත් මං සිය පාරක් හිතුවේ මේක තවත් මට බරක් නේද කියන කාරණාව..මොකද මං ගාව තියෙන කිසිම දෙයක් ඒ හැටි වියදං කරලා හදපුවා නෙවෙයි..දෙකේ දෙකේ ලී වලින්..රීප්ප වලින් නිම කරපු බඩු මුට්ටු.. ඕන වෙලාවක තියෙන තැනක දාලා ලොකේ කොහේ හරි යන්න ඇහැකි… ඒත් අර වගේ පවුලක් ඉතිං මං වගේ එක කකුලක් එළියට තියන්න බලං ඉන්න ජාතියේ නෙවෙයිනේ.. ඉතිං බඩු මුට්ටු තියා ගන්න වෙනවා… අමා දුකකි..ඔව්වා අස් කරන්න ගියාම…
කෝච්චි ගැන කියන්න ගියොත් මේක කොමෙන්ට් එකක් නෙවෙයි පෝස්ට් එකක් වෙනවා… කොහොම උනත් සෑහෙන දවසකින් මට කමෙන්ට් එකක් ඔහේ ලියං යන්න හිතෙන්න තරං මේ ලිපිය හිතට ඇල්ලුවා…


R.p. Susantha 07/07/2012 at ප.ව. 3:23
කතාව නම් ඉතාමත් සාර්ථකයි. ඔය හැම දෙයක්ම ඇත්ත. ඒක නෙමේ අර කෝච්චියෙන් යත්දි බිංගෙවල් ඇතුලෙදි හූ කියන එක ලෙඩක්ද මන්ද? දැන් මම එහෙම යනකොට කට පියාගෙන ඉන්නේ බොහෝම අමාරුවෙන්. ඉස්සර මමයි මල්ලියි බිංගේ ලංවෙද්දි පෙට්ටි දෙකකට ගිහින් කොහොම හරි ජනේලෙකින් ඔලුව දාල හූ කියනවා. ඒ එක්කම බොහෝ හූ ඇහෙනවා.

බුද්ධි 07/07/2012 at ප.ව. 3:51
මගේ දුරම දුම්රිය ගමන බදුල්ල. මුහුදු මාර්ගයේ නං ගාල්ල. අනික්වා පොඩි පොඩි ගමන් වාර කොළඹ බදලා ගෙදරට වගේ……..
ඒක නිසා වැඩිපුර බිංගෙවල් සීන් අහුවෙන්නැ… අහුවුනු දෙක තුනෙ දී ආපහු නොලැබෙන බව දන්න හන්දා නරි ජාන නෙමේ ටොකු ජානත් ඉස්මතු කර ගත්තා….

Kandyan 07/07/2012 at ප.ව. 2:16
ඇත්තටම මේක කියවන ගමන් මමත් අතීතයට ගියා කියලා දැනුනා. කෝච්චි කියන්නේ අපේ ජීවිතවල කොටසක්. අපි හැමෝම ‘කෝච්චි පිස්සෝ’. අපේ මහ ගෙදර තියෙන්නේ නුවර – මාතලේ රේල්පාර ලඟ. අපි පොඩිකාලේ නැගිටින්නේකෝච්චිය ගේ ඉස්සරහින් යන වෙලාවට. අම්පාරේ ඉන්න කාලේ නුවර ඉඳලා මඩකලපුවට කෝච්චියේ ගිහින් එතනින් බස් එකේ යනවා. පස්සේ කාලෙක නුවර බණ්ඩාරවෙලත් සෑහෙන්න ගමන් ගියා. අදත් ගෙදර ගියාම ඒ පුරුද්දට ඇහැරෙනවා. තාමත් ලංකාවට ගියාම මගේ ගමන කෝච්චියෙන්මයි. බස් වල යන එක හරිම අඩුයි. දැනුත් බොහෝ වෙලාවට ගමන කෝච්චියෙන්මයි – Great North Eastern Railway එහෙම නැත්නම් Transpenine එකෙන්.

~ChAnDiKa~ 07/07/2012 at ප.ව. 5:08 
 ඉතාම සුන්දර සටහනක්. ඉතාම ආසාවෙන් කියවූවා. මගේ මවු පාරශවයේ නෑයන් රැසක් රේල්ලුවේ සේවය කල අය. එනිසා දුම්රිය කුඩා කල පටන් මගේ ජීවිතයේ සුමිත්‍රයෙක්! අදටත් දුම්රියක හඬ ඇසෙද්දි පොඩි එකෙකු සේ ඒ ගැන අවධානය යොමු කරන්නේත් කුඩා කල පටන් බැඳුනු ඒ ලෙංගතු කම නිසාමයි. නිවාඩුවක් ලද සැනින් මගේ ජීවිතය ගෙවෙන්නේ මේ සුවිසාල යකඩ යකුන් සහ ඔවුන් නිරන්තර ඔබ මොබ දිවෙන මංමාවත් වලයි. ඒ නිසාම තමා මට කෝච්චියා කියලත් නමක් පට බැදී තියෙන්නේ. මට නම් මේ මිහි පිට තියෙන සුන්දරම වාහනය කෝච්චිය තමා. :)

කලුවා 07/07/2012 at ප.ව. 9:17
මමත් ආසම දෙයක් තමා කෝච්චි ගමන…වැඩියෙන්ම ආස උඩරට කෝච්චි පාරට…. තාමත් හිතින් මවගෙන ඒ කෝච්චි පාරේ යනවා(මීදුම, පිරිසිදු වාතය, කෝච්චියෙ ඩිසල් දුම….)…..ඉස්සර අපි හැම අවුරුද්දකම බන්ඩාරවෙල යනවා(ඉස්කොලේ අගෝස්තු නිවාඩුවට )…. පැටියා කලෙය් මගේ හීනය වෙලා තිබුනෙ උඩරට කෝච්චියේ ඩ්‍රයිවර් වෙන්න….
නමුත් දැන් ඉතින් මොන කෝච්චි ඩ්‍රයිවර්ද….හික් හික්….


Sammani 09/07/2012 at පෙ.ව. 10:04
නුවර කොළඹ 10.30 කෝච්චියට නුවරින් 9ට විතර ගොඩ වෙලා එහාට මෙහාට පැද්දි පැද්දී, සීට් එකක් හොයාගෙන ජනේලෙට ඔලුව තියාගෙන අනන්තය හොය හොයා කොළඹට අනේක වාරයක් ආපු එක්කෙනෙක් මං.. ගොඩක් වෙලාවට කඩිගමුව හරියට එනකොට ජනේලෙ උඩම මං නිදි, රාගමට කිට්‍ටු කරල තමයි ඇහැරෙන්නෙ.. බලන, කඩුගන්නාව, කඩිගමුව ස්ටේශන් මොන හේතුවටද මන්දා මගෙ ජීවිතේටම බද්ධ වෙලා වගේ.. කොච්චර ගියත් එපාවෙන්නෙ නෑ.. අවට සුන්දරත්වය බල බල යනවා.. . බදුලු ගියේනම් තාමත් එක පාරයි ..
ඒත් ගාලු මාතර පැත්තෙ යනකොටනම් මට ඇතිවෙන්නෙ එකම එක සිතුවිල්ලයි.. ඈත මුහුද පේනකොට මට හිතෙන්නෙම අපි අපේ රට හුදකලා වෙලා කියලා.. මහ පිස්සු සිතුවිල්ලක් උණාට තාමත් කෝච්චියේ මුහුද පේන විදියට ගියොත් මට හිතෙන්නෙම ඕක

Kaushi Ariyabandu02/08/2012 at ප.ව. 1:54
හප්පේ කෝච්චි කතාවක්… කෝච්චියේ කොහෙ ගියත් ඒක මාර ඇත්දැකීමක් නේද? ඇත්තටම මගෙත් ජීවිතේ වැඩි හරියක් කෝච්චියේ තමයි ගෙවුනේ. ලවු කළෙත් කෝච්චියේ නෙවැ.
මේ කාටවත් නොකිවු කතාවක්… හැමදාම කොල්ලෝ ටික ෆුට්බෝඩ් එල්ලුනාම අපිට යන්න හම්බුවෙන් නෑ නොවැ. ඕලෙවල් තිබුන නිවාඩු කාලේ අපි ගිය හැම කෝච්චියකම සෙනග අඩු නිසා කාටවත් බය නැතුව කාගෙන්වත් බැනුම් අහන් නැතුව හිතේ හැටියට ෆුට්බෝඩ් එකේ අන්තිම පඩියට බැහැලා ආවා මතකයි.. ගෙදරට කේලම් කියන්න ඇන්ටිලා අංකල්ලා නෑ නොවැ.
උදේට කෝචිච්යට එන්නේ ඒක ඉස්සරහින් රේල්පාර දිගේ දුවගෙන නිසා මං එනකං කෝච්චිය නවත්තගෙන හිටපු වාර අනන්තයි. ප්ලැට්ෆොම් එකට එනකොට ස්ටේෂන් මාස්ටර් ඉක්මණට නගින්න කියලා මාව නග්ගගන්නවා හරියට ස්කූල් වෑන් එකක වගේ…. එය මාරැ වෙලා යන දවසේ උදේම මට කතා කරලා කිව්වා රේල් පාර දිගේ එනවනං වේලාසනින් එන්න කියලා. හැබැයි ඊළගට ආපු ස්ටේෂන්මාස්ටරැත් මගෙන් ඇහුවා ආ මෙයාද මේ හැමදාම කොච්චිය පරක්කු කරන ගෑනු ළමයා කියලා…… ලැජ්ජාවේ බෑ…..
අපේ මහත්තයව ඇදගෙන කොච්චියේ කොහෙහරි යන්න ඕනෙ කියන ආසාව අලුත් වුනා මේක කියවලා...

අසරණයා 08/07/2012 at ප.ව. 10:52
රජයේ සේවකයෝ ස්ථාන මාරු කරනවා කියන්නේ කොච්චර අමාරු දෙයක් ද. . හැමෝම වගේ මමත් කෝච්චියට ගොඩාක් ආසයි කෝච්චියේ ට්‍රිප් ගියා බදුල්ලට ගිහින් බස් හොයාගෙන අනිත් ඒවා බලන්න ගියේ. 2010 අවුරුද්දේ අපේ සෙට් එකම වෑන් එකක් අරන් යන්න කතා කරද්දී මම බෑ කියල තනියෙන්ම නානුඔයට කෝච්චියේ ගිහින් බස් එකේ නුවර එලියට ඇවිත් අනිත් කට්ටියත් එක්ක එකතු වුනා.

ක්සැන්ඩර් | Xander 08/07/2012 at පෙ.ව. 8:01 
මොන්ටිසෝරි යන කාලේ ඉඳලා මමත් එක්තරා කෝච්චි පිස්සෙක් තමයි. ඉස්කෝලේ යන කාලේ ඒ නිදහස වැඩි උනා. උදේ හවා කෝච්චියේ යන්න ගියාම ඉතින් ෆුට්බෝඩ් එකේ එල්ලිලා යන්න, පෙට්ටි දෙකක් අතර ෆුට්බෝඩ් වලින්ම මාරු වෙන්නේ එහෙම කෝච්චිය යද්දීමයි. ඒ කාලේ ඉඳලා තිබ්බ ආසාවක් තමයි කෝච්චි එන්ජිමේ යන එක. දැන්වත් ඒ ආසාව ඉටුකරගන්න ඕනේ..


Buru 09/07/2012 at ප.ව. 9:30
ආශාවෙන් සටහන කියෙව්වා මතක පාර දිගේ සුසුම් එක්කම.
අන්තිමට නුවර එලියේ රෑ කොච්චියේ යාළුවෝ එක්ක ගියේ 2003 විතර. ඒ ගමන් නම් තාමත් මතක් වෙනකොටත් හීන් හිනාවක් ගේනවා. ෆූට් බෝඩ් එකේ ඉඳන් සිගරට් එකක් බිබී ගිටාර් එකක් සෙල්ලම් කර කර අපි මෙහේ යාළුවෝ ටිකක් ලංකාවේ සෙට් වුනේ නියම ෆන් එකකට.
නානු ඔයට යද්දි මගෙ යාළුවෝ එක්ක මටත් වඩා කෝච්චියේ හිටපු මිනිස්සු යාළුවෝ වෙලා.
කොටින්ම මගේ ඒ යාළුවෝ දැන් නිතර මුනගැහෙන්නෙත් නෑ අපි රස්සාවල් අරවා මේව හින්දා බිසි වීම අස්සේ. ඒත් ටෙලිෆෝන් කෝල් එකකින් හරි අපේ ආගිය කතා මතක් කරද්දි මම ලංකාවට ගිහින් ආවා කීව ගමන්ම ඉබේම අපේ කෝච්චියේ නුවර එලි ගමන මතක් කරලා අනේ දැන් කොහෙද පවුල් පිටින් ඔය වගේ ගමන් යන්නේ කියලා හූල්ලන්නත් අමතක කරන්නේ නෑ.
දැන් ඉතින් මම වැල්ලවත්ත බම්බපිටිය ගල්කිස්සේ කෝච්චි පාර දිගේ යනවා. හිටි ගමන් කවුරු හරි ළඟ හිටියොත් අඩෝ මාවත් කෝච්චියේ එක්ක පලයන් කියලා පුරුද්දට තාමත් කියවෙනවා.
මෙහේ නම් ඉතින් මගේ ඩේලි ට්‍රාන්ස්පෝට් වල කෝච්චිය තියෙනවා. ඒත් ඒකයි ලංකාවේ කෝච්චි ගමන් සමානයි කියලා මට කවදාවත් හිතිලා නෑ.

DeeJay 09/07/2012 at ප.ව. 9:42 
ඉස්සර අපි දෙන්නා ගෙ විනෝදාංශ වලින් එකක් නෙ නිවාඩු දවස් වල උදේට පේරාදෙණියෙන් කෝච්චියකට නැගලා නුවර ගිහිල්ලා එතනින් ආයෙමත් තවත් කෝච්චියකට නැගලා, පිලිමතලාවට නැත්නම් නාවලපිටියට එහෙමත් නැත්නම් කඩුගන්නාවට, මීරීගම වගෙ ඒ වෙලාවට හිතෙන තැනකට ගිහින් බැහැලා ඊලගට තියෙන කෝච්චියෙන් ආපහු පේරාදෙණියට එන එක.
සමහර දවස් වල හවසට ඔහේ කෝච්චි පාර දිගේ නිදහසේ මොනවා හරි කකා කතා කර කර ඇති වෙනකන් ඇවිදලාත් තියෙනවාත් මතක් වුනා.
ඔව්, මෙ පාරවත් බලමු කොහොම හරි කෝච්චියෙන් කදුකරයේ රවුමක් ගිහිල්ලා එන්න ගෙදර ගියාම.

 ♥ ♥ ♥ ♥ ♥
 තවත් ප්‍රතිවාර කීපයක්ම තිබුනත්, ඒ ඔක්කොම මෙතන ඔබන්න ගියොත් ලිපිය දිග වැඩි වෙනවා. නමුත් ඕනෙ නම් පහත සබඳතාවය ඔස්සේ මට හිතෙන හැටි වෙත ගිහින් ඒ ඔක්කොම කියවන්න පුලුවන්.



Originally published @ මට හිතෙන හැටි on 7th July 2012



86 comments:

  1. කොච්චියට සමාන අශ්වාදයක් ලැබෙන වෙන වාහනයක් නෑ ,එකේ තියෙන වින්දනය ගැන ලිපියෙන් කියලා තියෙනවා,හොදම කොච්චියේ බිම වාඩිවෙලා යන එක තමයි ...

    ReplyDelete
    Replies
    1. හුඟක් රටවල ඒක නීතියෙන් තහනම් වුනත් මමත් ආසම ෆුට්බෝඩ් එකේ බිම වාඩිවෙලා යන්න තමයි සහෝදර.

      Delete
    2. ෆුට් බෝඩ් එකේ යන එක ආතල් තමයි ඒත් මගේ පරණ සිද්ධියක් කියන්නම්. මේ සිද්ධිය උනේ 80 මුල. ගල් ඔය ඉගෙන ගන්න කාලේ නිවාඩුවකට ගෙද එනකොට. මඩකලපුවෙන් උදය දේවී එකේ මමයි යාළුවෙකුයි එනවා. එදා සෙනග හරි අඩුයි. ඉතින් මනම්පිටිය පහුවෙලා ෆුට් බෝඩ් එකේ ඉඳගෙන කයියක් දාගෙන අලි ඉන්නවද බල බල එනවා. මගේ යාළුවා ෆුට් බෝඩ් එකේ ඉඳගෙන යන්ට එචචරම ආස නෑ ඒ මොකද උගේ තාත්තා මූට කියලම තියෙනවාලු ඒක කරන්ට එපා කියලා. මූ කියනවා දනගත්තොත් මූට් ආය කෝච්චි ගමන ඉවරයි කියලා. ටිකක් වෙලා යනකොට වයසක අන්කල් කෙනෙක් අපි ලඟට ඇවිත් අපෙන් විස්තර එහෙම අහලා කියනවා ' පුතාලා ..ෆුට් බෝඩ් එකේ යන එකනං අනතුරු දායකයි... මග ස්ටේෂන් දෙක තුනක් තියෙනවා, ඒවායේ ප්ලැට්ෆෝම් එකයි කෝච්චියයි අතරේ තියෙන ඉඩ හරි අඩුයි..ගිය සතියේ ඔහොම ඉඳගෙන ආපු කෙනෙක්ගේ දනිහ ප්ලැට්ෆෝම් එකේ වැදිලා හොඳටම තුවාල් උනා. ඉස්පිරිතාලෙන් නතර උනේ' කියලා. අපි දඩි බිඩි ගාල නැගිට්ටා...එදායින් පස්සේ ආය ෆුට් බෝඩ් ගියේ නෑ. අර අන්කල් නැත්නං අපේ කකුලුත් කපුට්!!

      Delete
  2. සාමාන්‍ය මිනිස් ස්ව්භාවය අනුව වෙන්න ඕනා උඹට කෝච්චි එපා වෙන එක. ඒත් වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත..ඒ කියන්නේ ??

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට එහෙම හිතුනේ? අමිහිරි අත්දැකීම් ලැබුනේ කෝච්චි සම්බන්ධව නෙවෙයි මාරු වෙලා ගියාම අලුතෙන් ජීවිතයට හැඩ ගැහෙන්න වෙනෙ එකේනේ.

      Delete
    2. අමිහිරි දේකට සම්බන්ධ හැම දෙයක්ම අමිහිරියිනේ.. ඒකයි මට එහෙම හිතුනේ....

      Delete
  3. කෝච්චි කතා කවදාවත් කියලා ලියලා ඉවර කරන්න බැහැ. කෝච්චිය ඒ තරම් මුළු ලෝකය පුරාම ජන ජීවිතයට සම්බන්ධයි. මේ කෝච්චි කතා පෙළ බොහොම ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක. ඔව්, කෝච්චි කතාත් කෝච්චි වගේ දිගයි.

      Delete
  4. ඔය තාත්තා බෝඩ් ගහපු බඩු අපේ ගෙදරත් තිබුනා. මොකද ඒ කාලේ උඹ වගේම තමා අපි රට වටේ. ඒ පිහිටෙන් මම ඉපදුනේ අනුරාධපුරේ.. අපි රජරට කොල්ලෝ හරී.

    ඒක නෙමෙයි බං අර කිව්වත් වගේ ජර්මන් ජජ්ගේ කතාව ලොකු හිඩැසක් ඇති කලා නෙව මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. මායි නංගියි නං ඉපදුනේ බො‍රැල්ලේ, නමුත් මල්ලි ඉපදුනේ බලංගොඩ.

      තවත් ඔහොම කතාවක් තියෙනවා ඩොයිට්ෂ්මන් කෙනෙක්ගෙම. පස්සෙ කියන්නම්.

      Delete
  5. කෝච්චි කතා මටත් හරිම සමිපයි. මගේ ජිවිතෙන් භාගයක්ම ගෙවිලා තියෙනනේ කෝච්චියේ. 1980 ඉදන් මේ දක්වාම නොකඩවා සිසන් එක අරන් තියනවා එදා 15.75යි අද 1200යි. අවමය දිනකට පැය 4ක් කෝච්චියේ.

    ReplyDelete
    Replies
    1. කොහොමද මුදලේ වටිනාකම බාල්දු වීමේ තරම නේද?
      Rs15.75 > Rs1200.00

      Delete
  6. බොලා පොඩි කාලෙ ඔච්චර කට්ටක් කාලත් කෝච්චි ගැන වෛරයක් ඇති නොවී ආසාවක් ඇති උනා කියන එකෙන්ම පේනවනෙ ඔය මහාර්ඝ රථයෙ තියෙන අනුහස.
    මටනං හිතෙන්නෙ වාහනේ සයිස් එක සහ ඕන ඕන තැන්වල යන්න බැරි එකත්, ඕන කෙනෙකුට ගන්න බැරි එකත් වෙන්න ඇති ඕකෙ වටිනාකම වැඩිවෙන්න හේතුව.

    ReplyDelete
    Replies
    1. කෝච්චිය හරිම රොමෑන්ටික් වාහනයක් ප්‍රසන්න.

      Delete
  7. // මම හිතන්නෙ රේල්පාරත්, මහ පාරත් එකම මගේ ගිය එකම පාලම වුනේ මනම්පිටියයි. //

    නෑ, තව එකක් තිබ්බ, හැබැයි ඒකත් දැන් නෑ. ඒ තමයි වාලච්චේන පාළම. මනම්පිටියෙ එක ජනප්‍රියයි, මොකද දිග නිසා සහ නිතර සිංහල අය දකින පාළම ඒක නිසා.

    ReplyDelete
    Replies
    1. :D යෑස්, ඕඩ්ඩමාවඩි පාළම. දැන් මොකද ඒක නැත්තෙ ? මම 2008 එහෙ ගියා. :)එතකොට මනම්පිටියෙ පාළම වැඩ ඉවර නෑ.

      Delete
    2. see this. now there are two bridges.

      https://www.google.com/maps/place/Valaichchenai/@7.9220389,81.5155611,374m/data=!3m1!1e3!4m2!3m1!1s0x3afad885d097165d:0x24fa4fa11205e0aa?hl=en

      IU.

      Delete
    3. හ්ම්ම්ම්, :)
      ස්තූතියි ඇනෝ, (Y)

      Delete
    4. ඔන්න මම දැනුයි ඒ බව දන්නේ. ස්තුතියි කට්ටියටම.

      Delete
    5. ඇනෝත් මමම තමා. හාමිනේගෙ දුරකතනෙන් කෙටුවෙ. දැක්කෙ නැද්ද IU ගහල තීනව. අනේ බොලාගෙ නිරීක්ෂන සත්තිය.

      Delete
    6. හහ්හා, දැන් දැක්කෙ, :D

      Delete
  8. වැඩිය නොගියත් මාත් ආසම ප්‍රවාහන සේව‍යක් තමා දුම්රිය (මොන අඩු පාඩු තිබුනත්).

    මම ගිහින් තියෙන වැඩිම දුර කොළඹ- අනුරාධපුරය.

    ඔක්කොමත් හරි අර නඩුකරතුමාගෙ බීඩි කතාව. එහෙම තනතුරෙන් ඔළුව උදුම්මවා නොගෙන පොළොවෙ පය ගහලා ජීවත් වෙන මිනිස්සු හදුනා ගන්න ලැබීමත් සතුටක්.

    ReplyDelete
    Replies
    1. >>මොන අඩුපාඩු තිබුනත්<< ඒක ඇත්ත.

      ලඟදිම ඊට වඩා දුර යන්න පුලුවන් වෙනවා ප්‍රියා. අපි දැක්කා දිගටම උඩහට හදනවා.

      Delete
  9. සුන්දර මතකයක්. මගේ සිතත් ඒ ඔස්සේ මගේ ළමා කාලයට දිව ගියා. අපි අනුරාධපුරේ ඉදං කළුතර ගිය හැටි මතක් වුනා. උඹට ජය!

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි මටත් ඕනේ. මතකයන් අවදිකරවලා ඒවා බෙදාගන්න.

      ස්තුතියි චන්දන. උඹටත් ජය.

      Delete
  10. Replies
    1. අර කෝච්චි බ්ලොග් ලියන උන් තරහ වෙන්න පුලුවන්. අනික ඔය උඹ දැක්කේ මගේ එක පැත්තක් විතරයි. :)

      Delete
  11. දැන් දුම්රියේ ගමනක් නැති වුනත් 2001 -2008 වගේ කාලෙදී නිතර ගමන් ගියා. දුම්රිය යන විට දුවලා එල්ලීම, දුම්රියෙන් පැනීම මෙන්ම ෆුට් බෝඩ් එකේ එල්ලිලා ගියපු ගමන් මතක්වෙන විට දැන් නම් ඇග හිරිවටෙනවා. එක දවසක් ස්ට්‍රයික් එකක් තියන විට දුම්රිය අඩු නිසා නගින්න තැනක් නැහැ අන්තිමට ගියේ එන්ජිමේ(මෙන්න මේ වගේ එන්ජිමක http://locolanka.blogspot.com/2011/05/w3-w1.html ) පිටත වේදීකාව වගේ එකේ ගොඩවෙලා.

    ReplyDelete
    Replies
    1. උණුසුමට යන්නැති.

      ඔව්, සමහර දේවල් භයානක බව ඒක කරනකොට එච්චර හැඟීමක් නෑ.

      Delete
  12. හේ හේ කොච්චි පිස්සෙක් වගේ ඇ, මාත් එහෙමම තමාම්, ඉතින් ගිහින් නැද්ද රේල් හයික් එහෙම, අන්න කෝච්චියට වඩා පාරට තමා මන් නං ලව්, කොච්චියටත් ලව් තමා, මගේ ආදරේ M2c එන්ජින් එක එක තමා, අයි අන්න නියම පොඩි මැණිකේ, උඩරට මගේ සද්දන්තයා, කොච්චි ගැන අස නම් මෙන්න දුම්රිය ගැන A to Z

    Yakada Yaka - Sri Lanka Railways

    ReplyDelete
    Replies
    1. රේල් හයික් එකක් යන්න මාර ආසයි සොමියා. විශේෂයෙන්ම ඔය ගිය උන් බ්ලොග් වල දාලා තියෙන විස්තරයි පින්තූරයි දැක්කාම.
      ම්ම්ම්, මං මේක කියවනවා. නමුත් හැම තිස්සෙම කරන්න කමෙන්ට් එකක් හිතාගන්නයි අමාරු.

      Delete
  13. කෝච්චි ගැන මමත් ලියලා ඇති. මම උඹේ බදුලු පෝස්ට් වල පළවෙනි එකේම කිව්වේ කෝච්චියෙන් බදුල්ලෙ නොගිය සිරි ලංකිකයෙක්ගෙන් වැඩක් නැතෙයි කියලා. හැබයි ඊට පස්සෙ මම උඹට කොටපු කොමෙන්ටුව අදටත් වලංගුයි. මම බලාගෙන හිටියේ උඹ සනසන්න කී දෙනෙක් නම් අමු මුසාවාද ලිව්වද කියලයි. ඒ මචෝ අපේ මිනිස්සුන්ගේ මනුස්ස කම. බාල්දියයි සබන් කෑල්ලයි තුවායයි අරගෙන කොන්ඩෙත් කඩාගෙන තනපටේ ගහලා ළිඳ ගාවට යද්දිත් නාන්න යනවා වගේ කියන්නේ අපේ මනුස්සකම. ඒක මචෝ බොරුවක් උනත් මාර වටිනවා.

    ReplyDelete
    Replies
    1. මම ඒ උඹේ කමෙන්ට් එකට දීපු රිප්ලයි එකත් ඒ වගේම වලංගුයි.

      වෙනසකට තියෙන්නේ උඹ කමෙන්ට් කරපු හැම එකාම මාව සනසන්න අමු මුසාවාද ඇදබෑවද කියන එකෙන් උන්ට අපහාසයක් වෙන එකටයි.

      මාව සනසවලා උන්ට මගෙන් මොන දෙයක් ලැබෙනවටද?

      උඹට විශ්වාස කරන්න අමාරු වුනාට කෝච්චි වලට කැමති මිනිස්සු හුඟාක් අපි අතර ඉන්නවා. දේශාඨන වලට, දේශාඨන සටහන් වලට/ඡායාරූප වලට කැමති මිනිස්සුත් අපි හිතනවට වඩා ඉන්නවා. ඒ වගේම මේ කෙහෙල්මල් බ්ලොග් එක පැත්තක තිබ්බොත් මට එහෙම මිනිස්සු ඕනෙ තරම් මුණ ගැහිලා තියෙනවා. ඒ මිනිස්සු මාව සනසවන්න ඕනෙ නිසා කෝච්චි ගැන, රෝඩ්ට්‍රිප් ගැන, සංචාර ගැන කතාකලා කියන එක නම් මම කවදාවත් විශ්වාස කරන්නේ නෑ.

      අනික බ්ලොග් එකම් කියන්නේ දිනපොතක් වගේ දෙයක්නේ බං. ඒකෙ අපි ලියන්නේ අපි කැමති දේවල්. I'm a man of many layers and many tastes. මේ මම කතාකරන්න බෙදාගන්න විඳින්න කැමති දේවල්වල එක පැත්තක්. අනිත් උනුත් ඒකටම කැමතිවෙන්න ඕනේ කියලා එකක් නෑ. නමුත් common interest එකක් දැක්ක ගමන් කෙනෙක් ආසාවෙන් ඒකට අදහස් දක්වනවා. දැන් උඹ ලියන දේශපාලන පෝස්ට් ගැන මට ඉන්ටරෙස්ට් එකක් නැති නිසා මම උඹට ඒවා ලියන්න එපා කියලා නොකියන්නේ, ඒක උඹ ඒකෙන් ආස්වාදයක් ලබන බව සහ ඒ වගේම interest එකක් දක්වන උඹේ සුවහසක් ප්‍රේක්ෂකයෝ එතනට ඇවිත් අදහස් දක්වනකොට උඹ එයිනුත් රසයක් ලබන බව මම තේරුම් ගන්න නිසායි. මම රෙස්ටොරන්ට් එකකට ගියාම ඒකේ හදලා තියෙන්න ඕනෙ මම කැමති කෑම විතරක් නෙවෙයි කියලා මම පිළිගන්නවා.

      Delete
  14. අපේ පළාතේ නං ගාණක් නෑ ඒ වුනාට බදුල්ල වගේ දුර පළාතක පවර්සෙට් යද්දී අර ඉස්සර එන්ජිං කෝච්චිවල තිබුණු තේජාන්විත ගතිය හෑල්ලුවෙලා කියල හිතෙනවා.බිංගේ වලදී හූ කියන එක මෝඩ සොමියක් නෙවෙයිද,මට නං හිතෙන්නෙ එහෙමයි මචං.

    ReplyDelete
    Replies
    1. බිම්ගෙයි කළුවර සදාචාරයේ සළු පිළි ගලවනවා.. ඒකයි ඔය.. පිට රටවලත් ඔහොමද හැලපේ...?

      Delete
    2. පිස්සුද බං,ඒ මිනිස්සුන්ට එහෙම උණක් නෑ.

      Delete
    3. ඔය බින්ගෙ අස්සෙදි කලුවර උනාම කොස් කිරල වෙච්චි කතාන්තර එක දෙකක් තීනව දන්නව නේද?

      Delete

    4. බිංගෙවල් වල හූ කියන එක ගැන එහෙම අදහසක් දරන දෙන්නෙක් මට මේ පෝස්ට් එකෙන්ම හම්බවුනා. අනිකා අරූ. මටනම් කවදාවත් එහෙම හිතිලා නෑ බං.

      එහෙම බැලුවාම අපේ ජීවිත කාලවල කරන දේවල් වලින් හතරෙන් තුනක්ම එහෙමනේ බං.

      ඇත්තෙන්ම උන්ට හැංගිලා කිස් කරන්න දෙයක් නෑ. සිප වැලඳ ගන්න එක සාමාන්‍යයෙන් එලිමහනේ කරන අනිත් අය නොදැක්කාවගේ අහක බලාගන්න ගමන් ඒ ගැන සුභවාදීව සිතන රටවල ඕකා බිංගෙයක් එනකල් ඉන්න ඕනෙ නෑ මම හිතන්නේ.

      අනික බං දැන් ලංකාවේ කෝච්චි වලත් ලයිට් දාලා තියෙන්නේ බිංගේ හරහා යනකොට.

      ඉන්දික, මම නම් ඒ පෲස් චටාස් කතාව දන්නවා. නමුත් උඹම කියහං ඒක ලුණු ඇඹුල් දාලා.

      Delete
  15. ඒ තරම්ම ගමන් ගිහින් නොතිබුනත් කෝච්චී ගමනට මාත් ආසයි.. මේ ගිය සෙනසුරාදත් නොමිලේම කොච්චී සවාරියක් ගියා මාත්..

    ReplyDelete
    Replies
    1. නොමිලේ ගියා කිව්වේ දිනේෂ්?

      Delete
  16. මම ආසාවෙන් කියවපු පෝස්ට් එකක් මේක. හැබැයි උඩ තියෙන විදියේ ලස්සණ කමෙන්ට්ස් දාන්ට තරම් අත්දැකීම් තිබ්බේ නෑ.

    අද නම් කමෙන්ට් එක හරි තැන වැටෙයි නේද? :-)

    ReplyDelete
    Replies
    1. ඒ කමෙන්ට් එක හරි තැන නොහොත්, ඔයා දාපු තැන වැටිලා. අන්න මම එතැනත් ඒ බව කිව්වා. ඔයා ඒක දැම්මේ කලින් පෝස්ට් එකට.

      Delete
  17. නියම කතාවක්නේ... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධනුෂ් කොල්ලා.

      Delete
  18. කෝච්චිවල මට නම් ඒ තරම් ආතල් එකක් නැහැ.ඒ වැඩිය ගිහින් නැති නිසා වෙන්න ඇති.
    ඉස්සර කොළඹ කොටුවෙන් උදේ 5.55 ගිය "යාල්දේවි"කෝච්චියේ නම් කිහිප විටක් අනුරාධපුරේ ගිහින් තියෙනවා.
    ඉස්සර එහෙම යනකොට කරපු වැඩක් තමයි මමයි,මල්ලියි එකතු වෙලා පොඩි පොතක් අරන් ඕකේ ලියනවා අපිට හම්බ වෙන ස්ටේශම් වල නම්.එත් ඉතින් ඕනෙනම් 5,6 වගේ තමයි ලියන්නේ.ඊට පස්සේ හම්බ වෙන ඒවායේ නම් ලියන්න මල්ලිට මතකත් නැහැ,මට මතකත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ආ තව එකක් කොච්චර කොච්චි වල යනවාද කිව්වොත් අන්තිම පාරට කෝච්චියේ ගිහින් අවුරුදු එකාමාරකටත් වඩා වැඩියි දැන්...:)

      Delete
    2. බොලා අවාරෙට කෝච්චියෙ ගිය උන්,එනව මෙතන පණ්ඩිත කතා කියන්න.

      Delete
    3. කෝච්චියෙ යන්නේ මොකටයි බං අයියේ ඕනේ තරම් බස් තියෙද්දී?
      දැන් බලපාන් ඔච්චර කෝච්චියෙ ආව ගිය මිනිහා වෙච්චි හැලපයියා උඹට ස්ටේශම ගාවට යන්න පිහිටට එන්නේ බස් එක නෙමේද?මොකෝ ගෙයි දොරකඩට කොච්චි එනවා කියලායැයි:D

      Delete
    4. ගෙයින් එළියට අඩිය තියන්නෙ බස් එකට බං,අපේ පාරෙ යන එකම එක ප්‍රයිවෙට් බස් එකට කියන නම දන්නවැයි, කැලෑ කුමාරි.

      Delete
    5. මෙහෙමයි, දිනේෂ්. දිනපතා කෝච්චියේ ගියත් නැතත්, කෝච්චි වලට තියෙන ඇල්ම ලේ වල තියෙන එකාගේ ඒක තියෙනවා. අර චන්දික නොහොත් කෝච්චියා එහෙම එකෙක්. අපිත් එක්ක ලංගම බස් වල ගිය එකෙක් හිටියා ඌට තිබ්බේ ලංගම බස් උණක්. ඌ ලංගම වැඩ කරන කෙනෙකුට වඩා බස් ගැන දන්නවා. හැමදාම බස් එකෙත් යනවා. නමුත් මට එහෙම බස් ගැන විශේෂයක් තිබුනෙම නෑ. අර ලංගම බස් බ්ලොග් එක ලියන එකත් එහෙම එකෙක් වෙන්නැති.

      කැළෑ කුමාරි කියලා බස් එකක් අපේ පැත්තෙත් තිබ්බා කැළෑ පාරක යන.

      Delete
    6. දිනේෂ්...?
      යකෝ මම මනෝජ් බං ඩුඩ්අයියේ,මට පේන්නේ උඹට අපිව ඉන්විසිබල් වෙලා වගේ...:(

      Delete
  19. දුම් රියෙන් ගමන් කිරීමට මමත් කුඩා කළ සිටම ඉතා කැමතියි. මටත් දුම් රියෙන් ගමන් යෑමේදී ලත් සුන්දර අත්දැකීම් බොහොමයක් තිබෙනවා. මේ වගේ අත්දැකීම් බෙදාහදාගැනීම ගැන ඔබට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies


    1. අජිත් වගේම හිතන අය තව කොච්චර ඉන්නවද! ඒ ඇයි කියලා හිතන්න ගිහින් ආතල් එක කාගන්න ඕනෙ නෑ මම හිතන්නේ. යකඩ ගොඩක් රොමෑන්ටික් වාහනයක් වෙච්ච හැටි පුදුමයි, ඒ වුනත්.

      Delete
  20. හැබැයි මචෝ කෝච්චිවල හැමදාම ගමන් කරන බස් මාර්ග ලඟ ජීවත් නොවෙන අයගෙ හැසිරීම වෙනස්. උන්ට වෙලාව ගැන හැඟීමක් නෑ. ඒ මොකද උන් වැඩ කරන්න පුරුදුවෙලාතියෙන්නෙ කෝච්චි යන එන වෙලාවලට..

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත. ඉස්සර අපේ අම්මගෙ අම්මා නිතරම වෙලාව කියුවේ කෝච්චියෙනුයි පල්ලියේ සීනුවෙනුයි තමා..

      Delete
    2. එහෙම වෙන්න එපායැ. ඒක කාලයක් යනකොට ජීවිතයේ කොටසක් වෙනවනේ.

      Delete
  21. ඇත්තටම මේ කෝච්චි ගමනට නම් මමත් ආසයි. දැනට ගිහිල්ලා තියෙන වැඩිම දුර කොළඹ ඉදන් නුවරටයි.

    ReplyDelete
    Replies
    1. රඹුක්කනින් එහාටත් මාර ගතියක් තියෙනවා නේද ගිහාන්?

      Delete
  22. මටනම් ඔය බිංගෙවල්වලදි හූ කියනකොට කේන්ති යනවා. ඒ මගේ වරදක් වෙන්න ඇති. බීඩි නඩුකාරයා කොච්චර සැහැල්ලුද කියලා බලපන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තට? මට නම් කවදාවත් කේන්ති ගිහිල්ලත් නෑ, එහෙම කාටහරි කේන්ති යයි කියලා හිතිලත් නෑ.

      බීඩි නඩුකාරයා!!! හෙහ් හෙහෙ.

      Delete
  23. මම නම් අළුත් පවර්සෙට් වලට වඩා කැමති පරණ කෝච්චි වලට.ෆුට්බෝඩ් එකට වෙලා එන්ජිමෙන් එන ජලවාෂ්ප, තෙල්, මිශ්‍ර කළු දුම්වළා ගුලියක් එහෙම පපුවට ඇදගෙන පාඩුවෙ යන්න පුළුවන්. :D පවර්සෙට් වලට පරණ පෙට්ටි අමුණල ආවම දුවගෙන ගිහිල්ල නගින්නෙ පරණ පෙට්ටියටම තමයි. :D :D

    ReplyDelete
    Replies
    1. ගොළුබෙල්ලා වැරදි කාලෙක ඉපදිලා තියෙන්නේ. ඇත්තෙන්ම උඹට ඉපඩෙන්න තිබ්බේ ගල් අඟූරු කෝච්චි තියෙන කාලේ එහෙමනම් ඔය එන්ජිමෙන් එන ජලවාෂ්ප, තෙල්, මිශ්‍ර කළු දුම්වළා ගුලිවලට අමතරව අලු පවා විඳින්න තිබ්බා.

      Delete
    2. හහ්හා, ඉස්සර කෝච්චි පාරෙ වැටිල තියෙන ගල් අඟුරු අපි ඇහිඳගෙන එනවා, :P

      Delete
  24. නැවත කියවීමත් රස වින්දෙමි.

    ReplyDelete
  25. කෝච්චියෙන් නුනත් අපිත් ග්වන්නේ එවැනිම සංක්‍රමණික ජිවිතයක් කියල මට මතක් වුනා . අපි ප්ලේන් එකෙන් යනවා . බඩුටික නැවෙන් එනවා D

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙමනේ බින්දි. ඔයාලා හැම අවුරුද්දෙම ලංකාවට යනවද අපි වගේ?

      Delete
  26. හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
    මෙය ඇඩ් එකකි.
    http://premalathaa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. පොල්ලෙන් ගැහුවා වගේ මේක ඇඩ් එකකි කිව්වට ස්තුතියි.

      Delete
  27. ඉදල්ගස්හින්න , හපුතලේ, දියතලාව හා බණ්ඩාරවෙල අතරේ කෝච්චිය යන්නේ වෘත්ත චාපයක වගේනම් අපි හිටියේ චාපයේ සෙන්ටර් එකේ වගේ .කෝච්චියක් මේ මුළු දුරම පහු කරනකන් තැනින් තැන අපට පේනවා . හෝන් සද්දේ ගුජු ගුජු සද්දේ ලාවට ඇහෙනවා. ඉතින් උඹේ මේ කෝච්චි කතාව එක්ක මගේ නොස්ටැල්ජික් මතක ඇවිස්සුනා. රසබර ලියවිල්ලක් හෙන්රියෝ

    ReplyDelete
    Replies
    1. උඹ හිටපු තැන කිව්වාම ඒක කොයි තරම් ආතල් තැනක් වෙන්න ඇද්ද කියලා මට හිතුනා. දවසක අපි යමුද උඹලගේ ගෙදර දවසක් දෙකක් ගත කරන්න, සිරාවටම?

      Delete
  28. ඇත්තම කියන්න ඩුඩ්, මට හරිම ලජ්ජා හිතුනා කෝච්චිපාරක් ලඟින්ම පදිංචිවෙලා ඉඳලා ජීවිතේට බදුල්ලේ ගිහින් නෑ කියන්න කෝච්චියේ.. දෙයියනේ බදුළු කෝච්චිය යන්නේ ගේ ඉස්සරහින් වෙච්චි මම කවදාවත් ඔය කෝච්චියක නාවලපිටියට එහායින් ගිහින්ම නෑ. උතුරු මාර්ගයේ අනුරාධපුර වෙනකම් ගිහින් තියනවා. දකුණු මාර්ගයේ ගාල්ලට.. එත් ගේ ඉස්සරහ තියන පාරේ හඃ...

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් ඔබ හුග කාලෙකින් දුටුවේ නෑ...මොනවද තොරතුරු...

      Delete
    2. සිරා මම හොඳින්. බොහොම ස්තුතියි.. මගේ රස්සාව ටිකක් බරපතල වගේම වගකීම් වැඩි වුණා.. ඒ නිසයි ගොඩක් නොපෙනී ඉන්නේ. ඒ එක්කම මේ ටිකේ අලුත් වැඩක් කරනවා. අපි ඉක්මනින් මගේ බ්ලොග් එකේදී හමුවෙමු

      Delete
    3. එතකං අපේ ඒවා බලන්න එන්න.

      Delete
    4. වෙලාවක් ලැබුන ගමන්ම පලයං ඇලෙක්ස්. උඹ කියන දේ එච්චරම ලැජ්ජා වෙන්න දෙයක් නෙවෙයි. ගේ ඉස්සරහ තියෙන පාරේ කොයි වෙලේ යන්න බැරිද කියලා හිතෙන එක සාමාන්‍ය දෙයක්. අනික අපේ ගෙවල් කිට්‍ටුව තියෙන කඳුබොඩ විපස්සනා මධ්‍යස්ථානෙට මම ගියේ මේ මෑතකදි. ඒකට ලෝකෙ හැම තැනින්ම වගේ ජනතාව එනවා. මටත් ලැජ්ජයි.

      Delete
  29. ඉතාම සුන්දර සටහනක්.....අපේ මිනිස්සු සුද්දට දිගට හරහට බැන්නා මිසක ඒ අයගෙන් ගත යුතුව තිබූ හොද දේ ගත්තෙ නෑ....ඒවා රටේ ජන ජීවිත වලට අපේ රට කරවපු පාලකයන්ගේ පුරුදු වලට එකතු කරගත්තා නම්...අද වගේ රට කන හැතිකරයක් නූපදින්න ඉඩ තිබුනා. බලන්න මේ දුම්රිය පාලම් කෙතරම් විශිෂ්ඨ ලෙස ඉදිකරලද කියලා...අද මේ පාලම් ඉදිකරන්න ටෙන්ඩර් කැදවීමේ ඉදලම වෙන්නෙ බොරුව...ඊට පස්සෙ ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම්...ඊටත් පස්සෙ ජරාව කාලා ප්‍රමිති සහතිකය ලබා දීම...ඊටත් පස්සෙ මහා දුම්රිය අනතුරක්....

    මමත් ආශ්‍රය කරන ජර්මන් සුද්දෙක් ඉන්නවා ජාකොබ් කියලා...මිනිහා වතාවක් අපේ නිවසට ආව වෙලේ එක්කගෙන ගියා ගම්පහ මල්වත්ත බලන්න...ඒ දවස් වල දේශීය ටිකට් එක රුපියල් 30/- විදේශීය රුපියල් 900...දේශීය වගේ 30 ගුණයක් වන විදේශීය ටිකට් එක අරගෙන මල්වත්ත බැලීම මිනිහා දැඩි සේ ප්‍රතික්ෂේප කලා...මම කිව්වා ඕක ඔයාට සුලු ගානක්නෙ කියලා...ජාකොබ් කිව්වා...සුලු ගාන නෙමෙයි මේක හරිම අසාධාරණයි...උඹ වරෙන් දවසක ජර්මනියට...මට පෙන්නපන් උඹලට සහ අපිට වෙන වෙනම් මිළ ගනන් දෙකක් කොහොද තියෙන්නෙ කියලා....මිනිහා එහෙම කියලා ආපහු වාහනේට නැගුනා...

    මට ඇත්තටම දුකයි හෙන්රි අයියා ගැන...මේච්චර දුම්රියට ආශා කරන මිනිහෙක්ට ...දුම්රිය ගාඩ් කමක් වැනි රැකියාවක් නොලැබීම ගැන....ඊලග ආත්මයේදීවත් එහෙම රැකියාවක් ලැබෙන්නට කියා ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඒ ඉදිකිරීම් නම් built to last. හොර කරලාම නෑ. Time tested.

      සුද්දට මීට පස්සේ ජාකොබ් නොකියා යාකොබ් කියලා බලහං, ඌ සතු‍ටුවෙයි නිවැරදි උච්චාරණය ගැන.

      යාකොබ් හරි. ඔය සීන් එක දෙහිවල සත්වෝද්‍යානයෙත් තියෙනවා.

      අන්තිම කරුණ ගැන නම්. I am a man of many layers and tastes . මේ කෝච්චි ගැන විතරනේ උම කියෙව්වේ. මම ගුවන් යානා වලට තියෙන ආසාව උම දන්නවනම්. එතකොට මොකද කරන්නේ?

      Delete
  30. දිගටම ප්‍රතිචාර දක්වන්න බැරිවීම ගැන කණගාටුයි....හතරවෙනි කොටසේ එකොළහයි පනස්පහ පින්තුරේ පේන්නේ...කොටගල නව මහාමාර්ග උමගේ වැඩ කටයුතු...යක්දෙස්සාගල අඩවියට යන්න...ඉංජිනේරු මහත්තය එතන ඉන්නවා.... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයාල් සිත්. යක්දෙස්සාගල අඩවියට යන්නේ කොහොමද?

      Delete
  31. ඔබේ අත්දැකීම් අපේත් අත්දැකීම් වෙනවා මේ පොස්ට් එකෙන්. ස්තූතියි.

    (කෙටි පොස්ට් දන්නෙ pages load වෙන්න වෙලා යන නිසා. නෙට් එක හරි අවුල්. Gmail යන්නම බෑ.)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිල් මානෙල්.

      කෙටි පෝස්ට් ද කමෙන්ට්ස් ද?

      Delete
  32. කෝච්චියෙ කැන්ටිමේ සින්දු කියල මුදලාලි එක්ක රණ්ඩු වෙලා තියෙනව. මගෙ ජීවිතේට කෝච්චිය මාරම බැඳීමක් තියෙන්නෙ. හැමදාම වැඩට යන්නෙ කෝච්චියෙ. ඒත් ටිපක් යනවනම් මගෙ පලවෙනි ඔප්ෂන් එක කෝච්චිය. අව්රුද්දට පාරක් සිරිපාදේ යද්දි යන්නෙම කෝච්චියෙ, යන එක නෙමේ අතල් එක එන එක මොකද චක බ්ලාස් වෙලානේ එන්නෙ එහෙම ඇවිත් සීතලේම නයිට් මේල් එකේ ෆුට් බෝඩ් එකේ ඉඳන් ඇවිත් තියෙනෙව අනන්තවත්.
    අමතක උනානෙ ඕලෙවල් කරන කාලෙ එක ක්ලාස් එකක් ඇරිලා අනිකට පැය 3ක් තිබ්බ සෙනසුරාදට ඉතින් අපි කරන්නෙ ගම්පහින් නැගල අඹේපුස්සට ගිහින් එනව මොකටවත් නෙමේ බිංගෙ බලන්න එක දවසක් බැලුවට හිත හැදුනෙ නෑ දවස් 4ක් නැත්නම් 5ක් ගියා. අන්තිමට ගිය පාර කෝච්චියෙන් බහිද්දී තාත්ත අඹේපුස්සේ එහ් කියන්න බැරි උනානේ අපේ තාත්තත් දුම්රිය දෙපාර්තුමේන්තුවෙ වැඩ. දුන්න කන කළු වෙන්න එතෙන්දිම.

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ ලහිරුට මගේ ඩෙනිම හිතට අල්ලලා තියෙනවා. ඒකනේ මේ පරණ පෝස්ට් බල බල කමෙන්ට් දාන්නෙත්. මමත් මගෙ හිතට අල්ලන බ්ලොගක් අහුවුනාම කොනක ඉඳන් කියවන්න ගන්නවා. මෙතනදිත් වුනේ ඒක නම් කාටද ආඩම්බර.

      ලහිරු, මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් නේද කට්ටිය රේල් පාර දිගේ ඇවිදින එක? Rail hike කියලා එයාලා කියන්නේ. මාත් මාර ආසයි ඒත් තාම බැරි වුනා.

      Delete
    2. හ්ම්ම් ඔව්. ඔයා ගුරුවරයෙක් නේද මගෙ සමහර වචන වලට මල පය්නව ඇති සමව බජනෙකට දාල දෙන්න.

      හ්ම්ම් එහෙම මෙව්වා එකක් තියෙනව නේද? මගෙත් අදහසක් තියනෙව ඉදල්ගස්හින්නෙ යන්න. එත් මේ දවස්වල වත මිලින වෙල තියෙන්නෙ අප්ප. ලෝන් වලට පඩියම කැපෙනව ඉතුරු ටිකෙන් මාසේ ගෙවගන්නෙත් අමාරුවෙන්.

      Delete
  33. පොඩි කාලේ ඉස්කෝලේ ගියේ කෝච්චියේ ,දැන් වැඩට යන්නෙත් ඒ කොච්චියෙමයි :) වෙනදා මන් වගේ අයට අය්යා කිව්වට දැන් ඉන්නේ උන් කියන්නේ uncle කියලා :)

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>