හායි, හෙන්රී!
හායි, අමාලි!
මම ඔයාගෙ නම ස්කයිප් එකේ නිකමට සර්ච් කරලා බැලුවා. මෙන්න ඉන්නවා යාලුවා!
ස්කයිප් දෙවියන්ට ස්තුති වේවා! හෙහ්, හෙහ්…කොච්චර කාලෙකින්ද, නේ?
ඉතින්, කොහොමද හෙන්රි?
ඉන්නවා, අමාලි. වරදක් නෑ. ඔයා කොහෙද ඉන්නෙ? මේ කැනඩාවෙ ඇඩ්‍රස් එකක් වැටෙන්නෙ?
ඔව් අනේ. මම කැනඩාවල තමයි ඉන්නෙ. ටොරොන්ටෝ වල, යූ එස් බෝඩර් එකේ වගෙ. ඔයාලත් එක්ක ටීචිං කලානෙ ලංකාවෙ. ඊට පස්සෙ ඔයා ට්‍රාන්ස්ෆර් උනානෙ.
ඔව්, ඔව්. මම ගියානෙ එතනින්, ඉතින්?
ඊට පස්සෙ හුඟක් දේවල් උනා. කෙටියෙන් කිව්වොත්, මට ඩේවිඩ් මුණ ගැහුනා.
ඒ කියන්නෙ, ඔයා දැන් බැඳල හෙම ඉන්නෙ?
අනේ ඔව්, හෙන්රි. ඩේවිඩ් කැනේඩියන්.
අහා. ඉතින් හොඳයිද ඔහේ ජීවිතය?
හපොයි ඔව්, හෙන්රි. මම ආසම, මේ ෆ්‍රීඩම් එකට. මෙහෙ කැමති ඇඳුමක් අඳින්න පුලුවන්. ගෑණියෙක් කියලා නෑ, කැමති දිහාවක, කැමති වෙලාවක, යන්න එන්න පුලුවන්. ලංකාවෙදි වගේ, අනිත් උන් රබර් ඇහැ දාන්නෙ නෑ. අපේ ලංකාවෙ උන්ගෙ ඇටිටියූඩ් නම් ඉතින් හදන්න බෑනේ, හෙන්රි. හරියට ලිං ගෙම්බො වගෙ ඔහේ ඉන්නවානෙ!
හ්ම්ම්… ඒ කතාවෙ නම් ඇත්තක් තියෙනවා තමයි.
ඔව් අනේ. මේ කපල්ස් පාරෙ යන ගමන්, නැවතිලා කිස් කලාට, කවුරුවත් බලන්නෙවත් නෑ, කැත විදියට. දැක්කෙ නෑ වගෙ යනවා. කොහොමද ලංකාවෙ හෙම එහෙම කලොත්? ඕකනෙ කොල්ලො, කෙල්ලො චාන්ස් එකක් ලැබිච්ච ගමන්, ගෙස්ට් හවුස් වලට රිංගන්නෙ. ඕකනෙ ධර්මද්වීපයෙත් කාම අපරාධ වැඩි.
ඕවා කතාකරල වැඩක් නෑ, අමාලි. ඉතින් ඔයාට බබාල හෙම ඉන්නවද?
හි… හි… හි…!
ඇයි හිනා වෙන්නෙ? මම හිනා යන දෙයක් කිව්වද?
දෙන්නෙක් ඉන්නවා. කෙල්ලයි කොල්ලයි. උන් දැන් බබාලා නෙවෙයි, අනේ . මහ උන්. ඇයි අනේ, ඒ දෙන්න මගෙ කලින් මැරේජ් එකේනෙ. ඔයා අර ඉස්කෝලෙ ඉන්නකොට, ස්ටාෆ් එකත් එක්ක, බර්ත්ඩේ වලටත් ඇවිල්ල තියෙන්නෙ!
හුටා, හුටා, ඇත්ත නේන්නම්. එතකොටත් එයාලා සෑහෙන ලොකුයිනේ?
ඒකනෙ. දෙන්නම බැඳලා දැන්.
හප්පට සිරි! අපි දන්නෙම නැතුව වයසට ගිහින් නේ? එයාලත් ඔහෙන්ද බැන්දෙ, නැතිනම් ලංකාවෙ අයද?
මෙහෙන් මෙහෙන්. දෙන්නම බැන්දෙ කැනේඩියන්ස්ලා.
ආහා!
දූට නම්, අපරාදෙ කියන්න බෑ, හරීම ෂෝක් හස්බන්ඩ් කෙනෙක් හම්බවුනා හෙන්රි. ඔයාට කියන්න, උදේට ඉස්සෙල්ලම ඇහැරෙන්නෙ, ඒ කොල්ලා, බ්‍රයන් තමයි. ඊට පස්සෙ කිචන් එකට ගිහින් බ්‍රෙක්ෆස්ට්, කොෆී හෙම හදාගෙන, ට්‍රේ එකේ තියාගෙන ඇඳට ගෙනල්ලාලුනේ කෙල්ලව ඇහැරවන්නෙ.
ෂෙහ්.. මොන සැපද, ආ?
ඔව් අනේ, බ්‍රයන් ගෙදර ලොන්ඩ්‍රි ඔක්කොම කරන්නෙ හරිම සතුටින්ලු. මගෙ කෙල්ලට ඇඟිල්ලක් උස්සලා කරන්න වැඩක් නෑලු. අන්න ඒකයි මේ රටවල තියෙන ලිබරල් ඇටිටියූඩ් එකේ වෙනස. ගෑණු පිරිමි වෙනසක් නෑ. සමාන අයිතිවාසිකම්. කෙල්ල ඉතින් ලන්ච් එක හදලා, ගේ පොඩ්ඩක් අස් පස් කරලා ඉන්නවලු. අනේ බ්‍රයන් හවස වැඩ ඇරිලා ගෙදර ඇවිත්, ඩිනර් එකත් ප්‍රිපෙයා කරනවලු. ඊට පස්සෙ කැන්ඩල් ලයිට් ඩිනර් එකක් සෙට් කරනවලු, අනේ. බලන්න හෙන්රි, කොච්චර රොමෑන්ටික්ද කියලා.
මට මොකුත් කියන්න වචන මතක් වෙන්නෙ නෑ අමාලි.
ඔයාට කියන්න, ඩිනර් එකට පස්සෙ, මේසෙ ක්ලියර් කරලා, ඩිෂස් සෝදලා තියන්නෙත් බ්‍රයන්ලු. මගෙ කෙල්ල නම් හරිම ලකී. දාහකින් හොයාගන්න බැරි කොල්ලා අනේ, සුද්දෙක් වුනාට.
එතකොට පුතා?
පුතා ගැන නම්, මම කතා කරන්නවත් කැමති නෑ, හෙන්රි.
ඇයි අමාලි, මොකද අප්සෙට් එක?
ඉහි… ඉහි…! අනේ මගෙ කොල්ලා ගැන තමයි මට දුක. ඌ අමාරුවෙ වැටුනා මේ කොහේවත් යන කැනේඩියන් මළ හෝන්තුවක් කරේ එල්ලාගෙන.
ඇයි ඉතින් එහෙම කියන්නෙ?
අනේ හෙන්රි ඔයාට කිව්වාම මොකෝ, අර මල හෝන්තුව, මූසල කමට පස්ස පැත්තට අව්ව වැටෙන කල් දපනවා, මළකඳ වගෙ. අපේ එකාට තමයි, වහලා වගෙ, උදේම නැගිටලා ගිහින්, බ්‍රෙක්ෆස්ට් එකයි, කොෆී එකයි හදලා, අරකිට ඇඳට ගිහින් දෙන්න වෙලා තියෙන්නෙ. මල විකාර! ඉතින් ගේකට ශ්‍රියා කාන්තාව වඩීද? ඌ තමයි ගෙදර රෙදි ඔක්කොම හෝදන්නෙ, මදින්නෙ ඔක්කොම, ඩෝබි වගෙ. අරකිගෙ අතපය වලට හෙන ගහලද මං අහන්නෙ!
ඒ ඔක්කොමත් හරි. අපේ ගොනා, ඔෆීස් එකේ අච්චර මැරිලා, මැරිලා, ගෙදර ආවම අර නෝනා මහත්තයට කෑම ටිකත් හදලා දෙන්න ඕනෙලුනෙ. ඒ ඔක්කොමත් හරි ඉටිපන්දං එලියෙන් කෑවෙ නැත්නම්, අරකිට ගිලෙන්නෙත් නෑලුනෙ. අනේ මගෙ කට! අපි නොදන්න රොමෑන්ටික් ඩිනර්! මට නම් හොඳ කුණුහබ්බ කටට එනවා ඕවා ඇහෙනකොටත්, හෙන්රි! අනේ ඒ කරලත්, අපේ හරකා තමයි වලං ටික හෝදන්නත් ඕනෙ.
අනේ මගෙ අහිංසක කොලුවා අහුවුනා පරට්ටියෙකුට! ඉහි ඉහි …හලෝ හලෝ හෙන්රි, හෙන්රි! ඔයාගෙ නෙට් කනෙක්ෂන් එක ස්ලෝද මන්දා ඔයාගෙ පික්චර් එක ෆ්‍රීස් වෙලා…හි… හි… ඔයාගෙ කටත් ඇරිලා…! හි… හි…හරි කැතයි හෙන්රි ඔයාගෙ කට ඇරිලා තියෙන විදිය නම්! හි… හි…!
මෙය මා අසා ඇති විකට කතාවක් මත පදනම් වූ නිර්මාණයක් පමණි.
Originally published @ මට හිතෙන හැටි.
අනිත් බ්ලොගේ පල කරපු එව්වා හිමීට මේ බ්ලොගට ඇදලා මකුළු දැල් කැඩීමෙන් ශේප් වීම පිලිබඳව ඇගේ බලවත් මෙව්වා එක පල කල මෑතදී විවාහප්‍රාප්ත බස්සි Y.A.S.Hon. මැතිණිය ලියූ හතරරියන්ගේ කින්ඩි හිනාවේ අන්තර්ගතය සහ ප්‍රතිචාර දැකීමෙන් දෛවයේ සරදමකට මෙන් එම වැරැද්දම නැවත කිරීමට සිත් වූ වගයි.