Monday, October 31, 2016

158. ටොම්පච, කෙබර, බේගල් සහ පම්පෝරි

පොඩි උන්ගෙ සාක්කියක් උසාවියෙදි පවා පිළිගන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ නීතිය නම් හදලා තියෙන්නෙ පොඩි උන් කෙලින බොරු ගැන නොදන්න බක  පණ්ඩිතයෙක් වෙන්න ඕනෙ. පොඩි උන් කියන සමහර ටොම්පච කොච්චර පුම්බලද කිව්වොත් ඒවට හිනා නොවී ඉන්න එක්කෝ ඕනෙම බොරුවකට අහුවෙන අමුම අමු මැට්ටෙක් වෙන්න ඕනෙ. නැතිනං, ඉතාම හොඳ වෙනත් හේතුවක් තියෙන්න ඕනෙ. පොඩි කාලෙ අපි අතෑරපු ටොම් පච කීපයක් මට තවම මතකයි.


රත්වත්ත බෝයිගෙ අහස්යාත්තරාව වර්ෂන් 2.0


ඔය සමහර පම්පෝරි වලට තිබුනා කියන වාරයක් ගානෙ ඇඩොන්, ප්ලගින් වගෙ අලුත් කෑලි එකතු වෙලා, බග්ස් ‍ෆික්ස් වෙලා, වර්ෂන් එක අලුත් වෙන ගතියක්.  ඔව්, ඔව්. අර කියන වතාවක් ගානෙ ප්‍රමාණෙයි බරයි ඉහල යන, සීයා අල්ලපු මාලුව වගේ තමයි.  මගෙ පංතියෙ හිටිය 'රත්වත්ත බෝයි'ගෙ සෙල්ලං අහස්යාත්තරා කතාවත් අන්න ඒවගෙ එකක්.  රත්වත්ත බෝයි සල්ලිකාර, වළව්කාර, රදළ පරම්පරාවකින් පැවත ආපු නිසාමදෝ එයාලා අතාරින පචවල  විස්වාස කරන්නත් හිතෙන ගතියක් තිබුනා.

ඒ ඔක්කොටම වඩා, රත්වත්ත වලව්වට ගිහින් තිබුනා කියන අපේම පංතියෙ හිටිය තවත් කොලුවෙක් මේ කතාවල්වලට ඇහින් දු‍ටු සාක්කිකාරයෙක් බවට පෙනී හිටියා.

මුලින්ම, ඔය කියන සෙල්ලං අහස්යාත්තරාව බැටරි බලෙන්, බිම දිගේ දුවන සාමාන්‍ය එකක්. රත්වත්ත බෝයි මේ අහස්යාත්තරාවෙ වරුණෙ, කටට වෙට්‍ටු දමා අපිත් එක්ක, කියන ගානෙ මේකට අලුතෙන් කෑලි එකතුවෙලා, මේක දුරස්ත පාලකයකින් පාලනය වෙන, ඇත්තටම උඩ යන එකක් බවට යාවත් කාලීන වුනේ බලා ඉන්දැද්දි.  එදත්, අදත්, කවදත්, අහස්යාත්තරාවලට පෙම් බැඳපු මට, මේක ගැන ඇතිවුනේ පුදුමාකාර ලෝබකමක්.  මම මේක ගැන අපේ අම්මට කිව්වාම අම්මා කිව්වේ, ඔය වලව්කාර, රත්වත්තෙලට තියෙන සල්ලිවල හැටියට ඔයිට වැඩිය දේවල් වුනත් පිටරටින් අරං එන එක එයාලට මහ දෙයක් නෙවෙයි කියලා. ඒවගෙ අහස්යාත්තරාවක් අයිති කරගැනීමේ හීනයක හිමිකාරයෙක් වෙන්න මට ඒකෙන්ම පුලුවන් වුනා.

කොහොම හරි, ඒ අවුරුද්දෙ අවසානෙට ලංවෙනකොට, මේ සෙල්ලං අහස්යාත්තරා කතාවට  කෑලි-බෑලි එකතුවෙලා-වෙලා, රත්වත්ත බෝයිට ඇත්තටම මේකෙ නියමු කුටියට නැගලා, එයාලගෙ විශාල වත්තට ඉහලින් එහාට මෙහාට පදවගෙන යන්න හැකි යානාවක් බවට මේ යානාව යාවත්කාලීන වෙලා තිබුනා. එහෙට යනවා කියලා කියපු අර මිත්තරයත් මේ හැම කතාවකටම යටින් අත්සන් කරලා සනාත (endorse) කලා.  මේ කතාවල් අහන්න-අහන්න, මේ වගේ එකක් අයිති කර ගැනීමේ , නැතිනම් පැදලා බැලීමේ, එහෙම නැතිනම් අඩුමගානෙ තරබාරු රත්වත්තබෝයි මේකෙ නැගලා පදින හැටි දැ
ගැනීමේ නොසංසි‍ඳෙන දොළ දුකකින් මම පීඩා වින්දා. මේ වගේ අහස්යාත්තරාවක නැගලා ඉස්කෝලෙ පිට්ටනියේ සීසෝ, ඔංචිල්ලා, මැට් ස්ලයිඩ් වලට උඩින් එහාට මෙහාට පියාඹනවා මම හැමදාම හීනෙන් දැක්කා. සමහර හීනවල මට අහස්යාත්තරාව නැතුව, නිකම්ම අත්ත‍ටු ගහලා පිට්ටනියට උඩින් පියාඹන්න පුලුවන් වෙච්ච දවසුත් තිබුනා.


Biker Dad බයිකර් ඩෑඩ්

ඒ හතරෙ පංතිය.  මම ඉඳගෙන හිටියේ ඔලුව ඉදිමිච්ච, කයිවාරු කාර, දම්මිකයත් එක්ක එකම පේලියෙ. දම්මිකයි මායි  අපි දෙන්නට මැද්දෙන් ඉඳගෙන හිටපු කෙලි පැටික්කිගෙ අත පතා නොනවතින, සනාතන අරගලයක නිරත වෙලා හිටියේ. කෙල්ලගෙන් හිනාවක් බැල්මක් ලබාගන්න අපි නොකරපු දෙයක් නැති තරම්.


දම්මිකගෙ පවුලට මට මතක විදියට පත්තර හෝ ලොත‍රැයි හෝ ඒ දෙකටම නියෝජිතකමක් තිබුණා.  ලොත‍රැයි නියෝජිතකම මට මතක, ධම්මිකයා නිතර කයිවාරු ගහන වෝක්ස්වාගන් බීට්ල් කාර් එකේ ජනේලෙකින්  එලියට දාපු ලොත‍රැයි පොල්ලේ, ටින්ටැක්ස් වලින් හයිකරපු ලොත‍රැයි හුළ‍ඟෙ සට සට ගා ත‍ටු ගසමින්, ධම්මිකයගෙ අම්මයි තාත්තයි නගරෙ සැරි සරන මනෝ චිත්‍රයක් මගේ හිතේ ඇඳිලා තිබුණ නිසා.  මේක හුදෙක්ම මනෝ චිත්‍රයක් මිසක් මම කිසිදාක දැකපු දෙයක් නොවෙන්න හොඳටම ඉඩ තියෙනවා.  අනිත් කාරණාව මේවා පස්සෙ කාලෙක ආව සූරණ ක්ෂණික ලොත‍රැයි නෙවෙයි. පළවෙනි දිනුමට ලැබෙන කාර් එකේ පින්තූරයක් හෙම තිබුන, සාමාන්‍ය ලොත‍රැයි මණ්ඩලේ ඒවා.
(පලි: මේ කතාව ලිව්වට පස්සෙ මට හිතෙනව ඇත්තටම ලොත‍රැයි ඒජන්සිය තිබුනේ දම්මිකලටද කෙල්ලගෙ පවුලටද කියලා. සමහරවිට කෙල්ලට ඒජන්සියයි, කොළපාට මොරිස් මයිනර් එකකුයි තිබුනා වෙන්න පුලුවන්. අර ලොත‍රැයි පොල්ලෙ  මනෝ චිත්‍රයට සම්බන්ධ මේ කාර් එක වෙන්නත් පුලුවන්.)

මට මුල ඉඳංම දම්මිකයගෙ කැටයං සහ උගේ ගොංපාට් දිරෙව්වේ නෑ.  ඒකට ලොකුම හේතුව උගේ කටේ නිතර තිබ්බ උදාන වාක්කිය. ඌ උගේම පැන්සල දෙකට කඩලා, එහෙම නැතිනම් උගේ මක්කෙ කටින් දෙකට හපලා, එහෙමත් නැතිනම් සරාස් බරාස් ගාලා පොතෙන් කොල ඉරලා බෝල කරලා කුණු භාජනේ දිහාට එල්ල කරන ගමන්, “අපි නාස්ති කාරයෝ. අපිට සල්ලි ප්‍රශ්ණයක් නෑ," කියලා කට ඇද කරල, නිකට උඩට හරවල, උඩඟු තාලෙට අර උදාන වාක්කිය කිව්වා. ඌ මේක කලේ අර කෙල්ල ඉස්සරහ 'පොර වෙන්න' වුනත්, අපි දෙන්නටම වඩා පොළොවේ පය ගහලා ජීවත් වුනා කියලා දැන් මට හිතෙන කෙල්ල ඒක හපන්කමක් හැටියට දැක්කෙ නෑ.


නිතර බර බර ගාන ඇඬියෙක් වුන දම්මිකයාගේ හැසිරීම කෙල්ල ඉවසාගෙන හිටියේ අමාරුවෙන් බව පේන්න තිබුනා.  පුදුමේ කියන්නෙ මට දම්මිකයගෙ නම මතක තිබ්බට, ඒකිගෙ නම මතක නැති එකයි. ඒක නිකම් හඳට සම්බන්ධ නමක්. නිකං සඳමාලි වගේ, නමුත් ඒකම නෙවෙයි.


මුලදි, මම මේ දෙන්නට මැද්දෙ ඉඳගෙන හිටියත්, දම්මිකයයි මායි අතර නිතර ඇතිවෙන ගුටිබැට හුවමාරු නිසාම හෙම්බත් වෙලා හිටපු ගුරුතුමිය කෙල්ලව අපි දෙන්නට මැද්දෙන් ඉන්දන්න තරම් උපායශී වුනා.  කෙල්ල දම්මිකයාටත් මටත් මැද්දෙන් ඉඳගෙන ඉන්න ගමන්ම සාමදූතිකාව හැටියටත් ක්‍රියාකලත්, අපි දෙන්නා කෙල්ලගෙ ඔලුවට උඩින් හෝ පු‍ටුවට පිටිපස්සෙන් මුෂ්ඨි ප්‍රහාර, පා පහර හුවමාරු කරගැනීම කොණ්ඩාවලින් ඇද ගැනීම සම්පූර්ණයෙන් නතර කර ගැනීමට ඇයට හැකි වුනේ නෑ.  අපි සමහරවිට පැන්සල් වලින් ඇනගෙන පැන්සල් කූර කැඩිලා, හම යට ‍රැඳිලා හිටපු වෙලාවලුත් තිබුනා. ඉඳහිට එල්ලය වැරදුනු ගුටියක් සාමදූතිකාවටත් නොවැදුනාම නොවේ.


තාත්තගේ සුපිරි වෝක්ස්වාගන් බීට්ල් එකේ ඇදහිය නොහැකි බලයත් එකත් ඒක එලවපු තාත්තගේ විශ්මිත රිය පැදවීමේ හැකියාවත් ගැන දම්මිකයාගේ පම්පෝරි අපිට නිතර අහන්න ලැබුනා.

"අපේ තාත්තා රිනවාරිල්ලක්
අපේ ෆොක්සැගන් එකේ...."

"මොනවා? අර කසිකබලේ? පිටගැස්ම හැදිලා මැරෙන්නේ ඒකෙ හැපුනොත් නං."

මේ කතාවට කෙල්ලට හිනා ගියාට අමතරව, බෝනස් දීමනාවක් හැටියට, දම්මිකයට තද වුන නිසා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිම.  මගෙ හිත සතුටින් පිම්බෙනවා මට  දැනුනා.

"තමුසෙලෑ තාත්තගෙ අර කෑලි හැලෙන හුචක්කු BSA මෝට සයිකල් කබල  වගේ නෙවෙයි."

"හරි හරි.  කොච්චර වේගෙන්ද ඔය යනවයි කියන්නෙ?"

"හැටට," දම්මිකයා කිව්වා. (මේ පැයට කිලෝමීටර් නෙවෙයි, හැතැප්ම.)

"හැට? හික් හික්. හැටත් ස්පීඩ් එකක්ද ඕයි?  හරි හරි. ඕක 'ෆොක්සැගන්' ඉබ්බෙකුට මහලොකු ස්පීඩ් එකක් වෙන්න ඇති. නමුත් අපේ තාත්තා කොහොමත් බයික් එක පදින්නෙ හැත්තෑවට . මම ටැංකිය උඩනෙ යන්නෙ, ඉතිං මට  මීටරේ පේනවා."

"අලේ යලව ඕයි. තමුසෙලෑ BSA කබල  හැත්තෑවකට යයි කියලා තමයි බය! තමුසෙලෑ තාත්තා කෑලි අහුලනවා මග බැහැ බැහැ."

"අනේ තමුසේ දන්න බම්බුව! BSA එකකට ඊට වඩා යන්න පුලුවං.  හැත්තෑව කියන්නෙ නිකං සාමාන්නයෙං යන ගාන.  තාත්ත කියන්නෙ ඊට හෙමිං යනකොට එන්ජිම මිස් කරනවා කියලා. හැත්තෑව කෲසිංලු."

"හරි. දැං ඕකෙ කීයට යන්ඩ පුලුවං කියලද කියන්නෙ?" දම්මිකට කුතුහලේ.

"ස්පීඩෝමීටරේ අසූවට තියෙනවා. ඕව හදලා තියෙන්නෙ ඇරලා යන්න තමයි." මේ කතාව මගේ කටින් පිටවුනු වහාම මම පසුතැවිලි වුනා. අපරාදේ මට තව  MPH විස්සක් එකතු කරන්න තිබුනේ.

"හෙහ් හේ! ෆොක්සැගන් එකේ මීටරේ තියෙනවා අනූවට."

නාගත්ත බව තේරුණත්. මම නෙවෙයි සැලුනේ. මම වහාම damage control mode එකට මාරු වුනා.

"ඒ වුනාට දැං ඒකට සීයට යන්න පුලුවන්."

"හම්බෝ  තමුසෙ කෙලින පච. හරි.  කොහොමද කියනවා."

"දම්මික, තමුසෙ දන්න බම්බුවක් කතා කරනවා.  ස්පීඩෝමීටරේ අසූව ලඟ තියෙනවා චූටි ඉඳිකට්ටක් වගේ කණුවක්, කට්ටට ඊට එහාට යන්න බැරි වෙන්න.  ගිය සුමානේ තාත්තයි මායි ගමනක් ගිය වෙලාවේ තාත්තා කැරකෙව්ව ඇක්සලරේටරේ ලෙල්ලටම යන්ඩ. මීටරේ කට්ට අර කණුවට තදවෙලා ඒ කණුව කැඩිලා ගියානෙ ටකස් ගාලා.  දැං යන්න පුලුවං සීයට කිසි කතාවක් නැතුව කණුව නැති නිසා.

මේ කතාව කොයිතරම් අල්ලෙ පැලවෙන දේශපාලන මට්ටමේ කෙබරයක් වුනත්, අපි දෙන්න වගේ වාහන පිස්සුවක් හෝ දැණුමක් නොතිබුන කෙල්ල විතරක් නෙවෙයි, සියල්ල දත් දම්මිකයාවත් ඒකට අභියෝග නොකරපු එක මට පුදුමයක් වුනා.  මම ජයග්‍රහණය නිහඬව, හැකි තරම් නිහතමානීව විඳ දරාගත්තා.


එදා හවස තාත්තත් එක්ක බලංගොඩ නගරයට ගිය වෙලේ දු‍ටු කොළ පාට වෝක්ස්වාගන් එක දම්මිකලගේ එක විය යුතුයැයි මට හිතුනා.  දම්මිකයාත් ඉන්නවාදැයි මම එබී බැලුවත් එහි සිටියේ සිග‍රැට්‍ටුවක් තොල් අතර සිරකරගෙන රිය පැදවූ දම්මිකගේ තාත්තා විය හැකියයි මම අනුමානකරපු පුද්ගලයා විතරයි. පසුව තාත්තා ටැංකියට පෙට්‍රල් පුරවාගනිමින් සිටිද්දී මේ කොළපාට වෝක්ස්වාගන් රිය වෝක්ස්වාගන් වලටම ආවේනික මිහිරි හඬ නගාගෙන ඕලුගන්තොට පැත්තට වේගයෙන් යන හැටි මම බලා හිටියේ ඊර්ෂ්‍යාවකින්.


පසුදාත් පන්තියේදී දම්මිකත් මාත් සුපුරුදු ලෙස අං පටලාගත්තා.


"ඊයෙ අපි දැක්කා තමුසෙලගෙ මහ ලොකු කාර් එක. තාත්තයි මායි."

"ආ, අපිත් දැක්ක තමුසෙලගෙ තාත්තගෙ බයික් එක කරත්තෙකට ඉස්සර කරන්න මාර  ට්‍රයි එකක් දෙනවා."

මේ කතාවට මට මාරාවේශවුනත් මම ඒ බව පෙන්නුවේ නෑ. වැඩේ තවත් අන්දොස්  වුනේ කෙල්ලත් ඒ කතාවට 'හිකි-හිකි' ගාන්න ගත්ත නිසයි.  මම පසු බැස්සේ නෑ.

"මොනවා? තමුසෙලෑ තාත්ත විතරනෙ ඒ හුචක්කුව ඇතුලෙ හිටියෙ.  වෙන කවුරුත් හිටියෙ නෑ."

"හරි හරි. තාත්තා අම්මවයි මාවයි කඩේ ලඟ බස්සලා ඕලුගන්තොට ගියා."

"ආහ්-හා. ඒ වෙලාවෙ තමයි ඒ වැඩේ වුනේ."

"මොන වැඩේද?" දම්මිකයා ප්‍රශ්ණාර්ථයක් මුහුණට නගාගෙන  මං දිහා බලලා  ඇහුවා.

"අපිත් ගියා ඕලුගන්තොට. මගක් යනකොට  තමුසෙලෑ තාත්තා ඇවිත් අපිට ඉස්සර කලා නිකං චැලන්ජ් කරන්න වගේ."

දම්මිකයගෙ මූණෙ ජයග්‍රාහී හිනාවක් මතුවුනා. මට පිස්සු හැදීගෙන එනවව වත්ද කියලා කෙල්ලත් ඇස් පුංචි කරලා මා දිහා බැලුවා.

"ඒක තමයි මං කිව්වේ.  තමුසෙලෑ BSA ක‍ටුවට අපේ බිට්ල් එකේ නැට්ටවත් අල්ලන්න බෑ කියලා."


"ඉතිං පොඩ්ඩක් ඉන්නවකෝ.  අපේ තාත්තට මේක ඇල්ලුවෙ නෑ. එයා කොහොමත් ඔය පුස් පාට් අල්ලන්නෙ නෑනෙ.
එයා "හයියෙං අල්ලගන්න පුතා" කිව්ව මට.
ගියර්ස් දැම්ම ටට්ටට් ගාලා,
කැරකෙව්ව ඇක්සලරේටරේ.
න්නගෙන ගියා.
තමුසෙලෑ තාත්තත් ලෑල්ලටම පාගනවා.
ඒ වුනාට අපි බොහොම ලේසියෙන් අල්ලගත්තා තමුසෙලෑ කාරෙක. දැං ඔන්න අපි තමුසෙලෑ කාරෙක පහු  කරනවා. එක පාරටම තාත්ත තමුසෙලෑ තාත්තගෙ ජනේලෙ ගාවා පොඩ්ඩක් ස්ලෝව් කලා.  මම බැලුවා ස්පීඩෝමීටරේ. හැත්තෑවයි අර වංගු වංගු පාරෙත්. දැං ඔන්න තව වංගුවක් ඉස්සරහ ලඟ ලඟම. අපේ තාත්තා කූල් පිට ගත්ත සිගරට් එකක් බයික් එක දකුණු අතින් පදින ගමන්. අරං  ‍ෆිල්ටරේ තමුසෙලෑ කාරෙකේ වහලෙ තුන් පාරක් තට්‍ටු කලා.

ඉන් පස්සෙ තමුසෙලෑ තාත්තගෙ දොරට තට්‍ටුවක් දාලා ඇහුවා, "යාලුවා, ගින්දර පොඩ්ඩක් දෙනවද?" තමුසෙලෑ තාත්තාට ෆුල් අප්සෙට්. එයා දුන්නා සිගරට් එක.  අපේ තාත්තා ඒකෙන් එයාගෙ එක පත්තු කරගෙන සිගරට් එක ආපහු දුන්නා. දීලා "
තෑන්ක්යූ. බායි!" කිව්වා.
කැරකෙව්ව ඇක්සලරේටරේ.
හ්ර්වෑංංංං ගෑවා.
අපි ගියා.
මීටරේ අනූවයි. 
මම තාත්තගෙ උරෙස්ස උඩින් ආපහු හැරිලා බැලුවා.  බීට්ල් එක හෙන ඈත බඩ ගානව පේනවා. වංගු දෙකක් පහුවුනා තමුසෙලෑ තාත්තාගෙ ලකුණක්වත් නෑ.  අපි ඕලුගන්තොටින් පත්තරේ අරගෙන ආපහු එනකොට තමුසෙලෑ තාත්තා හම්බවුනා තාම ඒ පැත්තට යනවා."


දම්මිකගෙ ඇස්  දොට්ට පැන්නා. කට ඇරිලා එල්ලුනා. පොර මං දිහා බලා හිටියේ අදහගන්න බැරුව. කෙල්ලත් අවශ්‍ය ප්‍රමාණයට, නියමිත මාත්‍රාවට හොල්මං වෙලා බව පේන්න තිබුනා.

"සවුසේ (තමුසෙ)  පච කෙලින්නෙ. තාත්තා ඔහොම කතාවක් කිව්වේ නෑ. සවුසේ මහ ටොම් පචයෙක්."

"හෙහ් හෙහ් හෙහ්! තාත්තා ඕක කියයි කියල තමයි බය! තමුසෙ හිතන්නෙ තාත්ත ඕක කියයි කියලද? කාටවත්? කවදාවත්?"

වැඩේ වකූරු වූ බව දැනගෙනදෝ  දම්මික කට පියා ගැනීමට තීරණය කරපු බව පෙනුනා. මට පුදුම ඉන් පස්සෙ දවසකවත් මං අතෑරපු මෙගා සයිස් ගජබින්නෙට අභියෝග කරපු බවක් මට මතක නැති හන්දයි.




Originally published @ HeyDude in English Language as

MY TALLEST TALES EVER

  Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

131 comments:

  1. හතරෙ පන්තියේ කෙල්ලගෙ නම චාන්දනී නේද?

    ReplyDelete
    Replies
    1. නැත්නම් සඳුනි? සඳනි? සඳලි? සඳලතා? චන්ද්‍රා?

      Delete
    2. වෙන්ඩ බෑ , හෙන්රි අයියලගෙ වයසෙනම් චන්ද්‍රාවතී, චන්ද්‍රලතා වගේ එකක් වෙන්න ඕනෙ 😁

      Delete
    3. බැන් කී මූන්ගේ කවුරුවත් නෙමෙයිද.....හඳ වගේ නමක් හින්දා ඇහුවේ.

      Delete
    4. උඹලා ෆුල් අප්සෙට් කලා වැඩේ. දැන් නම් මොන විදියටවත් මතක් කරගන්න බෑ.

      Delete
    5. චන්ද්‍රාවතී චන්ද්‍රාවතී, මට මතකයි. මමත් ඒ පන්තියේ හිටියේ.

      Delete
    6. චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ...
      ජීවිතේ අවපසයි මන් තවම සීතල කළුවරේ...

      මේ කුළු මතින් ඇදී ..
      ඔබ එන්න මා කෙරේ...
      ඔබ වේද මතු දාක මා ලබන රම්බරි....
      චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ...
      ජීවිතේ හිස් කමින්...
      තුන් යාමයේ හිත් පැරුණේ සත්තකින්..
      ඔබය හද රන්දු සුරඹුන් ...
      ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ..
      පවසම්ද සොඳුරේ......

      පෙම් හැඟුම් මතකයේ රංචු ගැසුනා...
      යටි හිතේ පොපියමින් හීන මැවුනා //
      සන්සුන් සුසුම්ද කැළඹී ...
      ඇයිද මොකදැයි ඇහුවා ...
      රාගයේ චන්ඩ හැඟුමන් රන්ඩු කෙරුවා
      මං කෙසේ කොයි ලෙසේ මුමුනම් මේ ශෝක ගීතේ....
      කවුරුවත් දන්නේ නෑ දැන් මේ . ..
      මන් ඉන්න හිරගේ.....

      චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ...
      ජීවිතේ අවපසයි මන් තවම සීතල කළුවරේ...

      යන්තමින් නුවනගින් කඳුල එබිලා ...
      දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා //
      දිවි ගිම් නිවෙන්න පැතුමේ ...
      මදුර ස්වරයි ඔබගේ .....
      ආදරේ හීනයක්දෝ හැබෑ නොවෙනා ???
      මන් කෙසේ දැවී දැවී ඉන්නේ
      මේ වේදනාවෙන්...
      ඇස් අගින් ඔබ ලියු කවි ගී
      මුමුනන්න මුවගින්....

      ඔය මන්දහසයෙන් සනහේවී ජීවිතේ...
      සෝතාප සඟවන්න ඔබ එන්න ආදරෙන් .........

      චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ...
      ජීවිතේ අවපසයි මන් තවම සීතල කළුවරේ

      - භාතිය සංතුෂ් -

      නව සංයෝජනය - (හෙන්රි ඩූඩ්) හැක්.හැක්

      Delete
    7. උඹලා ඔක්කොම එකතුවෙලා වැඩේ භක්ෂණය කරලා තියෙන්නෙ.

      වතීල හිටියෙ අපේ අම්මලා පොඩි කාලෙ වුනාට ඕක ප්‍රදේශය සහ මිනිස්සුන්ගෙ සමාජ තත්වය මත වෙනස් වෙනවා. අසූ නවයෙ හෝ අනූවෙත් දෙහිඅත්තකණ්ඩියෙ ඉස්කෝලෙ හිටියා සීලවතී කියලා ගෑණු ළමයෙක් මලිතිල දිල්රුක්ෂිලා අතරේ.

      Delete
    8. මම දන්න අවුරුදු 23ක ඉන්දුනීසියන් ගෑනු ළමයෙක් ඉන්නවා, සරස්වතී කියල. එයාගේ යාලුවෙක් ඉන්නවා අවුරුදු 25ක විතර, ඒ රටේම, නම කුසුමවතී.

      Delete
    9. ඇයි හිටපු ජනාධිපති මෙඝවති සුකර්ණොපුත්‍රි?

      Delete
  2. මේක ඊයේ කියවපු නිසා සහ කොමෙන්ට් එක එහෙ දාපු නිසා, කියන්න දෙයක් හිතාගන්න බැහැ :)
    සිංහල පරිවර්තනය ලස්සනයි, ඉංග්‍රීසි ඔරිජිනල් එක ගොඩක් ලස්සනයි ද මන්ද..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මානවිකාව. නමුත් අර එල්ටීටීඊ කතාව මෙතන දාන්න. ඒක මරු කතාව.

      Delete
    2. ඔව් නේද..
      මෙන්න මම ඩුඩ් ගේ "HeyDude" හි දමපු කොමෙන්ටුව.

      අපි 1 වසරේ ඉන්නකොට (වසර 1995), යුද්ධය ගොඩක් දරුණු විදියට ගලා යමින් තිබුණා, සහ ඒ නිසාම හැමෝම ඒ ගැන ගොඩක් අවධානයෙන් හිටියේ.

      එක දවසක් ඉස්කෝලේදී අපි 1 වසරේ පුංචි කෙල්ලෝ ටිකක් මොකක් හරි එකකට රණ්ඩු වුණා. ඔය අතරේදී එක කෙල්ලෙක් කිවුව, "ඔයාල කට වහගන්න, මගේ තාත්තා පොලිසියේ, හරිද?" කියල. ඒකට උත්තරයක් විදියට, තවත් කෙනෙක් කිවුව, "අපෝ අපි බය නෑ, හැමෝම කට වහගන්න, අපේ තාත්ත හමුදාවේ" කියල.

      අහිංසක රජයේ සේවකයෙක්ගේ දෙවෙනි දූ වුණු මම ගොඩක් අසරණ වුනා, කියන්න දෙයක් නෑ, එහෙමයි කියල කට වහගෙන ඉන්නත් බෑ, බැරිම තැන මම කිවුව, "ඔක්කොම කට වහගන්න එකයි ඇත්තෙ, අපේ තාත්ත කොටියෙක්" කියල.

      මේ විස්තරේ මම ගෙදර ගිහින් මුලින්ම කිවුවේ අම්මට. අම්ම ගොඩක් හිනා වෙලා හවස ගෙදර ආපු තාත්තටත් විස්තරේ කියල හොඳටම හිනා වුනා.

      Delete
    3. ඔය තියෙන්නෙ ලස්සනට නත්තල් ගහේ සැරසිල්ලක් වගේ. ස්තුතියි.

      Delete
    4. හෙහ් හෙහ් ... ඒ කතාවට නම් මට ඇත්තටම හිනහ ගියා මානවි.

      Delete
  3. BSA බයික් එක තාම තියනවද?

    ReplyDelete
    Replies
    1. නෑ බං. ඒක දෙදාස් තුනේ නැතිනම් හතරෙ වගෙ විකුණලා දාලා තිබුනා. දැන් තිබ්බා නම් ලක්ෂ හතරක් පහක් වෙනවා.

      Delete
    2. මෙහෙම දෙයක් වෙන්ඩ යනවා.

      http://www.foxnews.com/auto/2016/10/27/bsa-motorcycles-back-in-business.html

      Delete
    3. විචාරක >
      නියම ආරංචියක්.

      මද්ද වැඩියෙන් ආස පරන ඒවට.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. අපරාදෙදත් අහනවා. මැරිලම හිටියනම් එකක් ඉන්දියාවෙ හදන්නෙ නැතුව. පේනවනේ Renault වලට හෙම ගිය කල

      Delete
  4. පච චක්කරේ කියන්නද???

    අකුරු වැරදි අහු උනෝ.. හැක්

    ReplyDelete
    Replies
    1. අකුරු වැරදිත් කියාපං. පච චක්කරෙත් කියාපං. ඒක නිකං. බේගල් දෙක පච එකයි, පච දෙකබින්න එකයි වගේ එකක් නේද. ඒක දාහං ඒක දාහං මෙතන, ප්ලීස්.

      Delete
  5. මම පොඩි කාලේ අපේ තාත්තට ලේසර් කිරණ විදින පෑනක් තිබුණා .. ඒ වගේම අපිට රතු හාල් කුඹුරකුයි , සුදු හාල් කුඹුරකුයි තිබුණා ...

    සූටි කාලේ මාත් කොයිතරම් බින්න කෙලලා ඇතිද අම්මපා .. අඩේ එවුවා ආයේ එලියට ඇද්දාට තැන්කූ බං ..

    ReplyDelete
    Replies
    1. ඔය රතු හාල් කුඹුර සුදු හාල් කුඹුර මෙහෙ එකෙකුට කිව්වොත් නම් කෙලින්ම ගිලිනවා. හාල් එන්නේ කඩෙන් කියලා විතරයි උන් දන්නෙ.

      බොගේ පච ටිකක් අහගන්න පුල පුලා බලා සිටිමි.

      Delete
  6. මං පොඩි කාලෙ අපේ පංතියෙ හිටපු එකෙක් (නම මතක නැත)කිව්වා, ඇන්ටනාවේ කුරුල්ලෙක් වැහුවොත් ඌව T.V එකෙන් පේනව කියල , ඒ කාලේ TV එකේ ටියුනරේ හතර වටේට කරකවන්න විතරක් දැනගෙන හිටපු මං ඔය කතාව සෑහෙන්න විශ්වාස කලා, ඇන්ටනාවෙ කුරුල්ලො වහනවද කියල බලාහිටියා, වැහුවම TV එක ගාවට ගිහින් බැලුවා, හරියන පාටක් නෑ. අන්තිමට තාත්තට කිව්වම එයා තමයි පැහැදිලි කරල දුන්නේ. අද අහුවුනොත් අරූව කෑවහැකි ( එවුනාට නම මතක නෑනේ).

    ReplyDelete
    Replies
    1. ඔය කුරුල්ලෝ වහන ඇන්ටෙනාව ගැන මාත් අහල තියෙනවනෙ.
      මේව අහලා තියෙනවද>
      ගිහිං රබර් පොංචියක් ඉල්ලගෙන වරෙං.
      ගිහිං බැදපු අයිස් ටිකක් ඉල්ලගෙන වරෙං.
      ගිහිං රුපියලක තෙත්තියං ඉල්ලගෙන වරෙං.

      Delete
    2. ඒවනං ඇහුවේ අදමයි.

      Delete
    3. ඔය ඇන්ටනාවෙ වහපු කුරුල්ල ටීවී එකේ පේන සීන් එක ඉස්සර කාටුන් එකක තිබුන මට මතකයි. මම කිව්වෙ අනූ ගනන්වල මුල වගේ ටීවී එකේ පෙන්නපු කාටුන් එකක.

      Delete
  7. සවුසේ මාර පච මෝලක්නේ :D

    පොඩි එවුන් දෙන්නෙක්ගේ පාසැල් කාලයටම ගියා. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සවුසේ කියන එකේ සයන්න නෙවෙයි ඇත්තටම තියෙන්නෙ. ඒක nasal sound එකක්. ඒක ලියන්න අකුරක් නෑ.

      Delete
  8. ඕන්න හෙන්රි අයියෙ මම දවසක් අහස්‍ යාත්‍රාවකට නැගල ෆොටෝ එකක් මූනු පොතේ දැම්ම, එතකොට මගෙ යාළුවො කියපි , " මේ අර රත්මලානෙ කෞතුකාගාරෙ නවත්තල තියන එකක් නෙ කියල " මම "නැඃ ' ගාල කමෙන්ට් එක කොටනකොටම උඹ දේශපාලනය කරපං කියල උන්දැ කිවුවනෙ. ඇත්තටම ඒක තිබ්බෙ වීරවිල ....පොඩි ගානක් දීල ඇතුලට ගිහින් බලන්න පුළුවන්.
    අපිට ඉස්කෝලෙන් දුන්න බිස්කට් දෙකක් දුන්නම ලස්සන කතා කියන එකෙක් හිටිය, උන්ගෙ ගෙදර හිටපු හීලැකරපු වලස්සු , කොටි , අප්පේ මම ඉස්සර ඕව ගෙඩි පිටිං ගිලින්නෙ.
    අර BSA බයිසිකලේට ඇත්තටම VW එකක් එක්ක යන්න පුළුවන් ඇති

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. රත්මලාන ඒවට නම් අපිත් නැගලා බලලා ෆෝටෝ අරං තියෙනවා. ඒවා පරණ ලංගම බං වගෙ නැද්ද?

      උඹ කිව්වම මට මතක් වුනේ අරෙහෙම අලි කොටි ගෙදර ඉන්නවයි කියලා කියපු එකෙක් අපිත් එක්ක හිටිය තමා. රත්වත්ත බෝයිමද මතක නෑ.

      Delete
  9. උඹ හෙන බොරු කාරයෙක්නේ බං බලාගෙන යනකොට...

    ReplyDelete
    Replies
    1. පස්සෙ බොරු කියන එක අතෑරිය බං. මොකද ඇත්ත කියන එක ලාබයි කියලා තේරුනා. එක බොරුවක් වහන්න තව බොරු දාහක් කියන්න ඕනෙ. ඒ මදිවට කියපු බොරුව හොඳට මතක තියාගන්නත් ඕනෙ.

      Delete
  10. උඹේ ඔය පචේට ‍රැවටිලා එහෙම නෙමේ, ඒත් මට නිකමට වගේ හිතෙනවා BSA එකට වො/ෆොක්ස් වැගන් එකට වැඩිය වේගෙන් යන්න පුළුවන් ඇති කියලා..

    මේක ඇවිල්ලා ටොම් සෝයර් පන්නයේ කතාවක්.. ඒ තත්ත්වයටම තියනවා... ( අර කියන්නේ අපේ අයියා, තමුසෙලෑ අයියට වඩා ලොකුයි කියලා... )

    නියමයි ඩූඩ් !

    ReplyDelete
    Replies
    1. පූවං ඇති බං අර පොඩි කණුව කැඩිලත්නෙ තියෙන්නෙ. :D

      මම කල්පනා කලේ අපේ තාත්ත හෙම දන්නවනම් එයාව සම්බන්ධ කරලා ගොතපු මේ බොරුව ගැන එයා මොනව කියයිද කියලා. මට ඒක පස්සෙ කාලෙකවත් කියන්න බැරිවුනානේ.

      ටොම් සෝයර් මගේ ප්‍රියතම චරිතය කියලා උඹ දන්නවද? මම ඒ කතාව කටපාඩං වෙන්න කියවලා තියෙනවා.

      And thanks Senna.

      Delete
    2. මට මතකයි උඹ කොහෙද හරි එහෙම කියලා තිබුනා... උඹට කියන්න ටොම් සෝයර් කියන්නෙ මම එක සැරයක් කියවලා ඉවර වෙලා ඒ ගමන්ම මුල ඉඳන් ආයෙ කියවපු එකම පොත...ඇයි කියලා ඉතින් උඹ දන්නවනේ...

      ඇත්තටම මේ කතාවේ ඒ ගතිය උතුරන්න තියනවා බන්.. උඹ ඒක නියමෙට දීල තියනවා...

      Delete
    3. උඹ දන්නවද ඩූඩ්.. මටත් තාම ටොම් සෝයර් පොත කටපාඩමින් කියන්ට පුළුවන්..

      උඹලා ගෙදර තිබුන පොත අර පරණ මුද්‍රණය ද? සූරසේන ආටිගලගෙ පරිවර්තනය, පොතේ ටයිටලය ‍'දඟකාරයා'.. ඒකෙ මෙන්න මෙහෙම කවියකුත් තිබුනා..

      නැග පුටු ජනෙල් උඩ කරමින් පුරුදු හබේ
      ඇඟ පත කඩාගෙන හිටියත් නැටෙන ඉබේ
      ළඟ සහ ඈත ඇති හෙලදිව ඇතුළෙ ඔබේ
      දඟකාරයින් වෙත මෙය පිරිනමනු ලැබේ

      Delete
    4. එච්චර හොඳ පොතක්ද?

      Delete
    5. @Buratheno මේ මං ආසම කමෙන්ට් එකක් බුරා. අර හොඳ බෝලයක් හම්බ වුනාම උඩ පැන පැන ගහන්නෙ. අන්න ඒවගේ බෝලයක්. උත්තර දෙන එකත් සතුටක්.

      මම ඉස්සෙල්ලම කියෙව්වෙ අකුරු ගැට ගගහා English abridged version එකක්. සංක්ෂිප්ත. ඒකෙන් තමයි පොතට වහ වැ‍ටුනෙ. ඉන් පස්සෙ උඹ ඔය කියන දඟකාරයා පොතත් හම්බවුනා. මම හිතන්නෙ තාත්තා ඒක කොහෙන් හරි මිලට ගත්තා. ඒ පොත අද අතුරුදහන් වෙලා. මට සාමාන්‍යයෙන් පරිවර්තන දිරවන්නෙ නෑ. මම කියවන්නෙම ඇති තරම්. නමුත් මේක මම කියවපු හොඳම පරිවර්තන පොත. හරියට පිස්සු පූසා මම බලපු හොඳම පරිවර්තන කාටූන් එක වගේ

      ඔය පොත ගැනත් මට සංසාර බැඳීමක් තිබුබා. ඔය පොත උස්සපු එකාට මම තවම සාප කරනවා. ඕක පරිවර්තනය කලේ කවුද කියලා උඹ කියනකල් මට මතක තිබුනේ නෑ. මේ අනිත් උන් කියන ඒවා අහලා මම හිතා හිටියේ අනගිරත්න කියලා.

      අර කවිය ඇහුවම මට මාර අතීත කාමයක් දැනුනා. (මම කවි වලටත් එච්චර ප්‍රිය නොකරන එකා වෙච්චි) උඹට ස්තුති කර්න්න වදන් නෑ බුරෝ.

      ඉතුරු ටික තව කමෙන්ට් එකක දාන්නම් යටින්.

      Delete
    6. @ ටොම් සෝයර් ගැන කියපු උඹලා හැමෝටම:
      ටොම් සෝයර් කටපාඩම් කියන එකෙන් බුරා අදහස් කරන දේ ඒ වගේම අත්දැකීම් තියෙන මටත් දැනෙනවා ලස්සනට. ඒකෙන් කියන්නෙ එක තැන හිටගෙන මුලු කතාවම ලියලා තියෙන විදියට කියන්න පුලුවන් කියන එක නෙවෙයි. පොත කියවනකොට ඊලඟ වාක්‍ය මොකක්ද කියලා මතක් වෙන එක. එහෙම වෙනකල් එකම පොත කියවන්න පුලුවන් වෙන්න ඒක මාරම පොතක් වෙන්න ඕනෙ.

      උඹලට කියන්න මම ජර්මන් ටිකක් (චූට්ටක් ඈ) ඉගෙන ගත්තට මම ඒ භාෂාවෙන් කියවපු එකම පොත ටොම් සෝයර්. ඒකට හේතුව මගෙ ජර්මන් දැනුමට වඩා මම කියවන්නෙ මොනවද කියන එක මම කතාව කටපාඩම් නිසා දන්න නිසයි. මෙන්න බලා පල්ලා බොරුනම්...

      මේ ඉංග්‍රීසි මුල් කතාව

      "TOM!"

      No answer.

      "TOM!"

      No answer.

      "What's gone with that boy, I wonder? You TOM!"

      No answer.

      The old lady pulled her spectacles down and...


      අමුතු හඳුන්වාදීමක් අවශ්‍ය නෑ මේ සිංහලෙන් (ඇත්තෙන්ම පරිවර්තනය මගෙන්)

      "ටොම්!"

      පිළිතුරක් නැත.

      "ටොම්!"

      පිළිතුරක් නැත.

      "මේ කොලුව කොහේ මකබෑවිලාද මන්දා? ටෝම්!"

      පිළිතුරක් නැත.

      මුලින්ම කණ්නාඩි කුට්ටම පහත් කල මහලු කත...


      මේ ජර්මන් වලින්. කියවලා බලාපල්ලා උඹලටත් තේරෙන්නෙ නැද්ද කියලා

      >>Tom!<<

      Keine Antwort.

      >>Tom!<<

      Keine Antwort.

      >> Wo steckt der Junge bloß, frag ich mich? Du Tom!<<

      Keine Antwort.

      Die alte Dame zog die Brille...

      Delete
    7. අඩෝ බුරා උඹ අර කඩේ වැහුවට මේ පොළේ තාම ඉන්නව දැකීම පට්ට සතුටක්

      Delete
    8. ජර්මන් වලින් අනිත් ටික හිතා ගත්තත් මේක තේරුම් ගන්නේ කොහොමද? Die alte Dame zog die Brille...

      Delete
    9. @ Pra Jay. Tom Brown is not bad, but not in the same league of Tom Sawyer.

      @Pathum: The okd lady pushed down her spectacles... Yes, you need to have some knowledge of German to proceed.

      Delete
    10. //ටොම් සෝයර් මගේ ප්‍රියතම චරිතය කියලා උඹ දන්නවද? මම ඒ කතාව කටපාඩං වෙන්න කියවලා තියෙනවා. //

      ඔයා අර පැඩිඩිලියන් - කණ්ඩාලෙ ගැන ලියපු කතන්දරේට ඇඳපු චිත්තරේ කොලුවා ටොම් සෝයර් වගේ කියල මම කිව්වමත් ඔය කතාව කිව්වා මට මතකයි අවුරුදු කීපයකට කලින්. මතක් උන නිසා (අද වෙන කරන්න වැඩක් නැති නිසාත් :)) මම මේ දැන් ආයෙත් ගිහිල්ලත් බැලුවා ඒ කමෙන්ට් එක.

      Delete
    11. Hi can anyone help me to contact Buratheno?
      My email address is copyright.cientiam@gmail.com

      Delete
    12. Buratheno is not a person.. either he is a robot or a ghost.. don't even think about to contact him... :D

      Delete
    13. @සෙන්නා,

      ඇත්තෙන්ම කිවුවොත් මම cyborg කෙනෙක්.. :-D

      @©,

      Dude, you can contact me here, in this blogosphere..

      Delete
    14. Buratheno,
      Actually I wanted to talk with you about somethimg personal.
      But there was no way to contact you.
      Anyway it's gone into unreachable past now.

      Delete
    15. Btw if you wish to talk with me, send an email to abracad953@gmail.com

      Delete
    16. මේක කියවගෙන යත්දී හිතට එන්නෙම ටොම් සෝයර් කියවනවා වගේ හැඟීමක් තමයි. මට මතක තිබුණේ චන්ද්‍ර අනගිරත්න පරිවර්තනය කළා කියළා. මම බැලුවේ මගේ අක්කගේ දුවලාගේ එකතුවේ තිබුණ එකක්.

      Delete
    17. Btw Buratheno since you didn't reply my last email, I'm your Praveenas last victim (not your friend).
      ©

      Delete
  11. මම ගමේ ඉස්කෝලේට යන කාලේ රාජා කියලා එකෙක් උන්නා... ඒ කාලේ කඩත් එච්චර නෑ නේ... මම ගොඩ පහු වෙලා තමයි දැනගත්තේ සමූපකාරේ උන්ගේ නෙමෙයි කියලා.. ඌත් දෙන්නේ පන පිහිටුවලා...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සමූපෙ උංගෙ වෙන්න පුලුවං මචං. උගේ තාත්ත ඒ කාලේ සමූපකාරෙ මැනේජර් වෙලා හිටියනං සමූපෙ උංගෙ වගේ තමයි.

      එදත් අදත් කවදත් බොරු වලට ‍රැවටෙන්න සැදී පැහැදී ඉන්න කට්ටියක් ඉන්න නිසා බොරුවට අනාගතයක් තියනව බං.

      Delete
    2. නෑ බං ඌ කෙලපු තරම් කෙලියේ කෙප්ප කියලා දැන ගත්තේ පස්සෙ කාලෙක.

      Delete
    3. //උගේ තාත්ත ඒ කාලේ සමූපකාරෙ මැනේජර් වෙලා හිටියනං සමූපෙ උංගෙ වගේ තමයි// සහතික ඇත්ත. මෙහෙත් හිටිය එහෙම ඩයල් එකක්.

      Delete
    4. පොර සම්පකාරෙ ලොරි ටික වික්කෙ නැති එකට අපේ රෙෂ්පට් එක :D

      Delete
  12. උඹලගේ පන්ති කාමරේ බිම පිපුරු වේ නැද්ද

    ReplyDelete
    Replies
    1. එහෙනං බං පාර්ලිමේන්තුවේ, උසාවිවල බිමක් තියෙන්න විදියක් නෑනේ.

      Delete
    2. ආමො.දැංනෙ තේරුනේ බිත්ති පුපුරන්නෙ ඇයි කියල :D හැක් හැක්

      Delete
    3. මං මේ කල්පනාකලේ රෝමෙ හා අවට බූමිකම්පා මේතරම් මොකද කියල.
      අවුරුද්දකට දෙපාරක් විතර හලාවත පැත්තෙත් බිම පැලෙනවලු

      Delete
  13. උඹගෙ පච ටික නං කීයත් වටී. උඹලෑ තාත්ත චේතිය රජ්ජුරුවොද බං?

    ReplyDelete
    Replies
    1. අනේ පව් බං තාත්තා. තාත්තා මම දැනුවත්ව බොරු කිව්වෙම නැති පුද්ගලයෙක්. තාත්තා දන්නවනම් මේව ගැන මොනව හිතයිද දන්නෙ නෑ.

      Delete
  14. ඉස්සර පොඩි එවුන් තව හොදයි. දැන් ඉන්න එවුන් තමයි ටොම්පච අත අරින්නේ නිකන් වැල බානවා වගේ. කිසි ගානක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්තට? දැන් මං පොඩි එකා හොඳයි කියලද ඒ කිව්වෙ?

      Delete
  15. අපේ කොල්ලා නසරි යන කාලේ කිව්වා නසරි එක උඩින් හෙලිකොප්ටරයක් ගියාය ඒකට නසරියේ ලමයි ගල් ගැසූ විට එය කඩාගෙන නසරි වත්තට වැටුණාය කියා. මෙය ළමයා කියූ බොරුවක් නොව ඔහුගේ ෆැන්ටසියකි. හෙලිකොප්ටරයක් කඩාගෙන වැටීම ඔහු ෆිල්ම් එකක දකින්න ඇති , එය ඔහු ෆැන්ටසියට බද්ද කලා

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මෙතනත් තියෙන්නේ ෆැන්ටසියක් මත ගොඩ නැගුනු බොරුවක් තමයි? අර සිගරට් එක තුන්පාරක් කාර් එකේ වහලේ තට්‍ටු කරන එක හෙම මම නැවත නැවත දැකපු ෆැන්ටසියක් වෙන්න ඕනෙ.

      Delete
  16. ප්ලේන් ගැන කතාකරනකොට මට තවමත් හරිම දුකයි. මගේ හොඳම යාලුවෙක් මැරුනේ ගුවන් අනතුරකින්. ඒ යකා රත්මලානේ එයාපෝට් එකේ වැඩකලේ. මිනිහා, මිනිහගේ ලයිට් නැති පරණ BSA බයික් එක හදලා, ට්‍රයල් බලන්න මහ රෑ එයාස්ට්‍රිප් එකේ පැදගෙන යද්දී, නවත්තලා තිබුන ප්ලේන් එකක හැප්පිලා මළා.

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ. මම දන්න තරමිං යාලුවො මැරෙන්නෙ ඇනෝ එනකොට විතරයි. හැක්..

      Delete
    2. හප්පට සිරි, විචා මාව අතුරුදං කරන ලිස්ට් එකට දාල නේද තියෙන්නෙ හිටං.

      Delete
    3. හැක්. බිම නවත්තල තිබ්බ ප්ලේන් එකක හැප්පිලා.. සංසාරේ මාර කරුමයක් නෙවැ :D

      Delete
    4. කිව්වත් වගේ ඒකත් ගුවන් අනතුරක් තමා නේද... හැක් හැක්....

      Delete
    5. යකඩෝ ප්ලේන් එකේ රෝදේ අස්සෙත් ගිය උන් බේරිලා තියෙනවා මේකේ.

      Delete
  17. ප්ලේන් ලයිසන් තියන උන්,අලි බිත්තර ගේ පිටිපස්සෙ තියන උන් එහෙමත් ෆෝම් වෙලා ආවෙ හතර වසරෙදිම තමයි.හෙහ් හෙහ්
    නියමයි ඩූඩයියෙ.රහ බේරෙන්න තියනවා හොඳේ.
    ජයවේවා..!!

    ReplyDelete
  18. නියම කතා දෙක ඩූඩ්.

    හැබැයි උඹලැයි තාත්තටයි දම්මිකයගෙ තාත්තටයි ඔය සෙල්ලං ටික දාන්නනං බලංගොඩ ඉඳල ඕලුගංතොටට යන කාලෙ මදි. අඩුම ගානෙ පඹහින්න හරියටවත් යන්න වෙනව. හැක්..

    ReplyDelete
    Replies
    1. ඩූඩයියලගෙ BSA එකේ පවර්වෑල්ව් ඔන් වෙලා ..ඊට පස්සෙ ඉතිං යෑමක් තමා.හැක්

      Delete
  19. මම හතට ගියේ වෙන ඉස්කෝලෙකට. ඒකෙ හිටිය බුද්ධික කියල එකෙක්. මූ දවසක් මට කියනව උගේ නම බුද්ධික වුනාට තව සෑහෙන්න දිගට තියනවලු. කොච්චර දිගද කියනව නං ඌට පහේ ශිෂ්‍යත්වෙ ලියන්න බැරිවුනාලු නම දිගයි කියල.

    මම කිව්ව මුල්ම බොරුව විදියට මට මතක තියෙන්නෙ අසූ හතේ, මම දෙකේ පන්තියෙදි, දවසක් ආමි එකෙන් ඉස්කෝලෙට ඇවිල්ල ගුරුවරු එක්ක වලියක් දාගෙන ආපහු ගියා කියල ගෙදරට කියපු එක. ඊට පස්සෙ දවසක තාත්ත මේ ගැන කඩපොලේදි ප්‍රින්සිපල් මුනගැහිල අහල. ඉතිං මට පොලව පලාගෙන යන්නයි හිතුනෙ.

    පහුගිය කාලෙක ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ගේන්න යනව කියල කිව්ව බොරුව මතකද?

    ReplyDelete
  20. ඩූඩ, අර සඳරුවගෙ එකට පස්සෙ රහට පෝස්ට් එකක් අන්තිම වෙනකල් කියෙව්ව.

    මේ ලඟදි බුකියෙන් පරන යාලුවෙක් හම්බුවෙලා අපි කතාකලෙත් කියපු බොරු ගැන. ඇත්තටම ඔය නීති හදන්න ඇත්තෙ ළමා කාලයක් නැතුව එක පාරටම ලොකු වෙච්චි කවුරු හරි වෙන්න ඕන.

    ReplyDelete
  21. මට ඔහොම බොරු කියපු සීන් එකක් නම් මතක් වෙන්නේ නෑ.. හැබැයි හතර වසරේදී ලස්සන පුංචි කෙල්ලෙකුට හිත වැටිලා ඒ කෙල්ලට ට්‍රයි කරපු තව එකෙක් එක්ක තරහ වුන හැටි නම් හොඳට මතකයි.. මට නම් කෙල්ලගේ වාසගම සහිතව නම තාම මතකයි.. කොල්ලගේ නමේ මුල කෑල්ල විතරයි මතක.. හෙහ් හෙහ්.. කොටින්ම මට තාමත් ඌත් එක්ක මොකක්දෝ නොරුස්නා ගතියක් තියෙනවා හෙහ් හෙහ්..

    ReplyDelete
  22. අම්මට සිරි!! මගේ ජාතියේ තව එකෙක්.. මාත් ඒ කාලේ බොරු පණ පිහිටුවල ඇවිද්දවනවා... කොච්චරද කියුවොත් වතාවක් දුංහිඳ ඇල්ල බලන්න ගිය වාර ගානට අක්කලාට සෙකන්ඩ් වෙන්න බැරුව ඉස්කෝලෙං එක්ක ගියා ගමනක්‍ කියල ඒකේ විස්තර කරපු කිරිල්ලට අද වෙනකං ගෙදර ප්‍රස්තාපිරුලක් තියෙනවා 'මල්ලී දුංහිඳ ගියා වගේ' කියල.. හැක්.

    ReplyDelete
  23. කොග්ගල බේගල් ගේ නෑදෑයෙක් ද කොහ්ද! හෙහ් හේ..

    ReplyDelete
  24. බොරු කියන එක නම් පොඩි කාලෙ මම හිතන්නෙ හැමෝම වගේ කරනවා, හැම එකාටම වගේ තමන්ගෙ හීන ලෝකෙ තියන බොරුවක් මවල අනිත් උන්ට කියන්න පුළුවන් උනාට ඒ ඒ අය කියන්නෙ බොරුවක් කියල වටහා ගැනීමේ හැකියාව තරමක් අඩුයි නෙව ඒ කාලෙ. වැඩිම උනොත් ‘උඹ කියන්නෙ බොරුවක් ද කොහෙද‘ කියල කිව්වට ඒකත් ඒ හැටි විශ්වාසෙකින් කියන එකක් නෙවෙයි. අන්තිමට ඉතින් බොරුව සභා සම්මත වෙනව. බොරුව කියපු එකා පොඩි පොරත්වයක් එක්ක අනිත් එවුන්ගෙ හිතේ තමන් ගැන ඊර්ශ්‍යාව මුසු වෙච්ච හැඟීමක් ඇති කරවනවා. ඉතින් එකෙක්ට එකෙක් පරදින්නෙ නැතිව බොරුව ඉස්සරහට යනව, එතනදි තමයි ඉතිං ඔය බොරු චක්කරේ ක්‍රියාවට නැඟෙන්නෙ. කාලයත් එක්ක ඉතිං ඕක අඩුවෙල යනව, මොකද ළමයින්ගෙ වටහා ගැනීමෙ ශක්තිය වැඩි වෙන්න වෙන්න සුපිරි බොරුකාරයෙක්ට ඇරෙන්න අනිත් උන්ට පල්ලම් බහින්න වෙනව. අනික ඉතින් ඒ වයස් වෙනකොට බොරුවෙන් විතරක් තත්ත්වය නඩත්තු කරන්න බැරි වෙනව, තවත් දේවල් ඒකට අවශ්‍ය වෙනව. :)

    කියන්නත් ලැජ්ජයි, පොඩිම කාලෙදි නෙවි, අපි 6 පන්තියෙ විතර ඉද්දිත් මම අපේ පන්තියෙ හිටපු එකෙක්ගෙ බොරුවකට වහ වැටිල හිටිය. ඒ දවස්වල රූපවාහිනියෙ පෙන්නුව මයිකල් ෆ්‍රෙඩ්, ජේසන් කොනරි එහෙම රඟපාපු රොබින් හුඩ් කතා මාලාව, ටයිමාමගෙ සිංහල උපසිරැසි එක්ක. අපි ඉතින් ඔය කතාවට පුදුම විදියට වහ වැටිල හිටියා. අපේ පන්තියෙ එකෙක් හිටියා උන්ගෙ ගෙවල් එහෙම තිබුනෙ ටිකක් පාරෙන් ඇතුළට වෙන්න. ගෙදරට එහා පැත්තෙ පන්සලේ ලොකු ඉඩමක් තිබුන කැලේ වගේ. යාළුවගෙ ගෙවල් තියෙන්නෙ ඒ පැත්තෙ කියල දැනගෙන හිටියට මම ඔය පැත්තෙ එහෙමට ගිහිල්ලත් නෑ. ඉතින් අරූ මට මවල කියනව උන් ඔය කැලේ රොබින් හුඩ් සෙල්ලම කරන හැටි, කට්ටිය පිල් දෙකට බෙදිල දුනු හදන් පේර කෝටු උල් කරල ඊතල හදාගෙන කැලේ රැකල ඉඳල ගිස්බන්ගෙ සෙබලු යනකොට කකුල් හිල් වෙන්න ‘පේර කෝටු‘ ඊතල විදින හැටි සටන් කරන හැටි මූ මවල පෙන්නුව. ඒ පැත්තෙ ඉඳල ඉස්කෝලෙ ආපු තවත් උනුත් ඒ යුද්දෙට උන්ගෙ සහභාගිත්වය ස්ථිර කළා, මං හරක අහුවුනා. ඌ ඒ කාලෙ මට දුන්නකුයි ඊතලයි ගෙනත් දෙනව කියල ඇරපු කෙබර, දැන් මතක් වෙනකොටත් හිනහයි.

    කොහොම උනත් පොඩි කාලෙ ලස්සන මතකයන්, ස්තූතියි හෙන්රි අයියා.

    අර උඩම ‘ලෝගෝ දෙක අස්සෙ තියන‘ ෆිල්ම් එක මම ආසාවෙන් බලපු එකක්. තවමත් මගේ හාඩ් එකේ ඒකෙ කොපියක් තියනව.

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙද අර කෙහෙල්කොටුවෙ එකා හිටියෙ. හැක්..

      Delete
  25. යකෝ ඉබ්බාගේ කීර්ති නාමයට කැළැල් ඇතිකරන්න එපා :D

    ReplyDelete
  26. හතර වසරේ එව්වා මෙහෙමත් මතකයි කියන්නේ එක නම් ටොම් පචයක්ද කොහෙද :D

    ඔය පොඩි කාලේ බොරු කියන ගොඩක් අය ලොකු වුනාම බොරු නොකියනවා වගේම පුළුවන් තරම් බොරුවෙන් ඇත්වෙන්නත් බලනවා.හැබැයි සමහරු ඉන්නවා බොරුව ඇඟට බද්ධ වෙලාම තියෙන උන්.අපෙත් ලග ඥතියෙක් ඉන්නවා මිනිහාගේ විනෝදාංශය තමයි බොරු කීම.හැමෝම දන්නවා මේ කියන්නේ බොරුවක් කියලා.පොරත් ඉතින් කතාව කියලා අමතරව කියනවා "ඔයගොල්ලෝ හිතනා ඉන්නේ මේක බොරුවක් කියලානේ.මේක බොරුවක් නෙමේ ඇත්තක්"කියලාත්.

    ReplyDelete
  27. මේක පොඩ්ඩක් කියවන ගමන් මම හිටියේ ධම්මිකයාගේ මානසික මට්ටමේ,දෙන්නම් මම පොඩි කාලේ කියපු බොරු ටික කොමෙන්ට් එකකින් ඩූඩ්ව කුඩු වෙන්න කියල . යකෝ පස්සේනේ තෙරුනේ උඹ එක්ක හැරෙන්නවත් බෑ අපිට . හෙහ් හේ

    ReplyDelete
  28. පොඩි ළමයි බොරු කියන්නේ නැති බව නම් බොරුවක් තමා... ළමා වාට්ටුවලනේ වැඩ කරන්නේ ඒක ගැන නම් අත්දැකීම් බොහොමයි. අපි හැමෝම ඉමෑජිනේෂන් එකේ උපරිමේට ගිහින් බොරු ගොතලා තියෙනවා නේද හැබැයි ඩූඩ්ගේ කතාවේ නම් ඒක ඊටත් එහා !

    ReplyDelete
  29. උඹල ගන්න ආතල් එකගැන ඊරිසියයි බං. මල්ලි උඹ ලංකාවට එනව නං ඊයක් දාපන්

    ReplyDelete
    Replies
    1. අය්යන්ඩ් ලියන්නේ නැතයි

      Delete
    2. This blog is open to invited readers onl
      ඔයාගේ බ්ලොග් එකට ගියහම දෙන උත්තරේ

      Delete
  30. අඩේෂ් අප්පා...
    පට්ට පච ටිකනේ...
    යට පච ටික හොඳයි උඩ පච ටිකට වඩා...

    ඒ වගේම තව දෙයක් තියෙනවා...
    පොඩි අය වුණත් තැනට ගැළපෙන විදිහට පච හදලා කියනවා... උසාවියේ බොරු සාක්කි පරාදයි ඒවාට...

    ReplyDelete
  31. මගේ පංතියේ හිටියා නිම්මි කියලා කෙල්ලෙක් ඒකිට ගෙදර පිහිනුම් තට්කයක් තිබුණා ..කාර් 3 ක් තිබුණා ..තට්ටු 5 ගෙදර
    මෙන්ඩ සෙකන්ඩ් වෙන්නේ නැහැ මම කියපු බොරු උබගේ පොස්ට් ඒක නිසා මතක් වෙලා සුන්දර ළමා කාලය ආයමත් මතක් උනා

    ReplyDelete
  32. මගේ බොරුව නම් බොහොම පොඩි එකක් ,අපේ ගෙදර ඉන්න රොබෝ මාළු ටැංකියේ ඔරු පදිනවා ,
    ඔකේ හොදම වැඩේ මගේ රොබෝ
    ඔරු පදිනවා දැකපු එකෙක්කුත් හිටියා ,එකා බොරු කිව්වේ මොකද කියලා තාම දන්නේ නැ :)

    ReplyDelete
  33. කමෙන්ට් වලට උත්තර නොදුන්නට සමාවෙයල්ලා. මේ දවස්වල විභාග වැඩ වල එරිලා ඉන්නෙ කරවටක්.

    ReplyDelete
  34. දෙන්නකෝ අපිට කතාවක් ..හුග කාලෙකින් එකක් කියෙවේ නැහැ

    ReplyDelete
  35. මීට අවුරුදු 7කට ඉස්සෙල්ල මට තිබ්බ නියමුවන් රහිත ප්‍රහාරක ඩ්‍රෝන් යානාවක්.එතකොට මම 4වසරේ..දවසක් මම මිහිර පත්තරේ ඩ්‍රෝන් ගැන ආර්ටිකල් එකක් කියෙව්වා ....පහුවෙනිදා ඔය ඩ්‍රෝන් එකක් ඇමෙර්කානු හමුදාවෙන් සල්ලි දීල අරගෙන ඉස්කෝලෙ ගෙනිච්ච...😂කොටින්ටත් ඕකෙන් ගැහුවයි කිව්ව..ඒ වෙද්දි ප්‍රභාව මරලත් ඉවරයි..මට ඕක දවසින් දවස අප්ග්‍රේඩ් කරන්න දෙයක් තිබ්බෙ නෑ..ඒ වෙද්දි මන් දන්න ඔක්කොම තාක්ෂණය ඕකෙ තිබ්බ..ඉතින් මට තිබ්බෙ යුද්දෙදි මන් ඕකෙන් හමුදාවට උදවු කල හැටි කියන්න..දවසට එක ගානෙ මන් කරපු මිෂන් ටික වටේ හිටපු උන්ට කිව්වා..ඕකට සාක්ෂියට හිටියාොය ආටිකල් එක කියවපු තව එකෙක්..මට ඔය ප්ලේන් එක තිබ්බද නැද්ද කියල ඌ දන්නෙ නෑ . ඒත් එහෙම ප්ලේන් එකක් තියෙනව කියලා ඌ දන්න හින්ද මන් කියන්නෙ ඇත්ත කියල ඌ අනිත් උන්ට කිව්ව..
    මොනවා උනත් ඔය වැඩෙන් මගෙ පරිකල්පන හැකියාව වැඩි උනා..ඕක ඇත්ත කියන්න මට සෑහෙන්න එක එක තාක්ෂණ හද්න්න උනා..
    අපේ ගෙදර වත්ත ඒ කාලෙ සෑහෙන පොඩියි..ඕක දන්න හින්දා අනිත් උන් ඇහුවා උබ කොහෙද ඔය ප්ලේන් එක නවත්තන්නෙ කියල..මන් කිව්ව අපේ වහලෙ උඩ කියල(මන් එතකොට හෙලිපෑඩ් ගැන දන්නවා)...එතකොට උන් කිව්ව ප්ලේන් බාන්න දිග පාරක් ඔනෙනෙ කියලා(රනර් වේ කියන්න දන්නෙ නෑ අපි)..හම්මට හුඩු..ඔතන හරියට උත්තරේ දුන්නෙ නැත්නම් මගෙ රෙදි ගැලවෙනව..ටිකක් වෙලා හිතලා මන් කිව්ව ප්ලේන් එකේ තිරස් අතට තියෙන රූනා(propeller එක) සිරස් අතට හරවලයි ගානට වහලෙට බාන්නෙ කියල.(අතින් ඇක්ෂන් දාල පෙන්නලඔය ටික කිව්වෙ😂) වැඩි දුරටත් කිව්වා මදුරුවෙක් වගේ උඩට නග්ගලා කොකෙක් වගේ පියාබලා ආයෙත් මදුරුවෙක් වගෙ බිමට බාන්නෙ කියලා...මන් මීට අවුරුදු දෙකකට කලිනුයි දැන ගත්තෙ මෙහෙම තාක්ෂණයක් සිරාවට මේ ලෝකෙ තියෙනවා කියලා(VTOL තාක්ෂණය)..
    මන් හතරෙ වසරෙදි ඒ දේ ගැන හිතුවෙ ඔය VTOL තාක්ශනය ගැන පොඩ්ඩක්වත් දැන ගෙන නෙවෙයි..ඔය වගෙ මගෙ මන්ඃකල්පිත තාක්ෂණ කීපයක් මන් පස්සෙ සිරාවට දැක්ක...
    මගෙ යාලුවො ගැන කිව්වොත් එකෙක්ට තට්ටු සීයක ගෙයක් තිබුනා..තව එකෙක් කසාද බැදලත් හිටිය(එතකොට අපි පහ වසරෙ😂) තව එකෙක් හිටිය යුද ටැන්කි එලවපු එකෙක්(හැබැයිඋගෙ තාත්ත සිරාවට යුද ටැන්කි සම්බන්ධ සොල්දාදුවෙක්)ඔය වගෙ බොහොම සුන්දර මතක එදා තිබ්බෙ.අදත් තාමත් ඔය වගෙ එව්වා ඉදලා හිටලා වෙනවා...😂😂😂😂

    ReplyDelete
  36. දැන්නං මට පේන්නෙ ඩූඩගෙ නහයෙටත් උඩිං විභාගෙ එරිල වෙන්න ඇති. හැක්..

    ReplyDelete
  37. Replies
    1. මෙන්ඩා. ගෙදර ඇවිත් බං ඉන්නෙ, නමුත් කඩිය වගෙ වැඩ. ගෙදර ඇත්තෙම නෑ බොහෝ විට

      Delete
  38. නිවාඩු දෙන්නත් ලගයි එන්නේ නැද්ද

    ReplyDelete
  39. ඇවිත් ගියා..
    සරත් අය්යියා ගැන ටිකක් හොයලා බලන්නකෝ

    ReplyDelete
  40. අපේ පන්තියේ හිටිය එකක් කිව්වේ ගෙදර සිංහයෙක් ඉන්නවා කියලා! :D

    ReplyDelete
    Replies
    1. ඌ ඇති කරන එකෙක්ද ?
      උබලා බලන්න එන්න ඇහව්වෙ නැද්ද

      Delete
  41. උබ ලියනවද නැත්නම් උබව මහ බැංකු අදිපති කරන්නද ?

    ReplyDelete
  42. motor show එක ගැනවත් ලියනවද පොඩි එකගේන්වත් අහගෙන

    ReplyDelete
  43. බොරු අවිද්දන උන් කොතැනත් ඉන්නවා. අපේ ගමේ හිටිය වැඩිහිටියෝ කිහිපදෙනෙක් මේ වගේ. එක මිනිහෙක්ගේ ගෙදර තිබුණ තම්පලා ගහේ අතු වල නැගලා තමයි පලා කඩන්නේ.

    පොඩි වයසේ බොරු කියන උන්, ටිකක් යමක් කමක් තිබුණ අය. නැතිනම් තරමක් ලොකු උන්ගේ ආශ්‍රයට වැටුන අය. මේවා ඔක්කොම නැති වුණා ටී.වී. එක ආවට පවස්සේ. දැන් නම් ඉතිං අන්තර්ජාලය තියෙන නිසා කිසිම විදියකින් බොරු කරන්න ලේසි වෙන්නේ නෑ.

    ReplyDelete
  44. උබ ලියන්නේ නැද්ද අයියන්ඩි

    ReplyDelete
    Replies
    1. වැඩ බං. නමුත් මම මේ පාර මොකක්හරි ලියනවනම් ලියන්නෙ උඹ වෙනුවෙන් මෙන්ඩා.

      Delete
    2. ඇයි අපි කළුද.......

      Delete
    3. ඇයි අපි මල්ටිකරල් ද?

      Delete
  45. මේ බ්ලොග් එක මෙහම පලු කරන්න එපා

    ReplyDelete
  46. ටොම්පච, කෙබර, බේගල් සහ පම්පෝරි (ලියනවා කියලා අපිව රවට්ටන )

    ReplyDelete
  47. බුකිය වහනවා උබ ඕකට වෙලා හිට්යොත්

    ReplyDelete
  48. ඇත්තටම ඩූඩේ උඹත් දැන් බුකියට සින්න වෙලා ද නැත්නම් වැඩ වැඩි ද ?

    ReplyDelete
  49. මම ඔයාගේ බ්ලොග් එක හරහා අනිත් බ්ලොග් වලට යන්නනේ ඒක නිසා ටික්කගේ බ්ලොග් එක මේකේ එල්ලන්නකෝ

    ReplyDelete
    Replies
    1. http://tikkatalks.blogspot.com නේද මෙන්ඩා? කෝ බං ඒකට This blog has been removed කියලා වැටෙන්නෙ? උඹ ගිහින් බලපං. යන්න පුලුවන්නම් මෙතන ඒක දාපංකො

      Delete
  50. ආ.... හැංරි ලොක්කා.. තාම උම්බලකඩ ෂිප්මන්ට් එක දාගන්න බැරි උනාද? ඔය එ.ද.බ්‍රා. මෙන්ඩගෙන් උපදෙස් ගත්තනං හරි. මිනිහට ශිප්මන්ට් දාල හොඳ පළපුරුද්දක් තියේ.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>