Friday, April 12, 2013

63. මළා හා සමානයි. / Playing Dead.

වෙලාව උදේ 8.15යි. මම තාම ඇඳේ. හරි නම් මට  නැගිටින්න තිබුනේ මීට පැයකට කලින්. නමුත්, මම නෙමෙයි නැගිට්ටේ. දැන් ඔයාලට කුතුහලය නේ  ඒ ඇයි කියලා දැන ගන්න? දන්නවද ඇයි කියලා?
 

වෙන මොකුත් නෙවෙයි.

මම මැරිලා.


ම්ම්ම්ම්... ඇත්තටම නෙවෙයි. මම ඉස්කෝලෙ  කට් කරන්න ඕනෙ නිසා මැරිලා වගෙ රඟපානවා. විතරයි.

මට පුලුවන් වුනොත්, මොන ජාතියෙන්  හරි, මම මැරිලා කියලා අම්මටයි තාත්තටයි ඒත්තු ගන්නාගන්න, ඒක ඉතිහාසයේම කෙනෙක් දාපු ලොකුම පානිය වෙනව, කෙළපු ලොකුම බුල වෙනවා, අන්දපු ලොකුම ඇන්දිල්ල වෙනවා, නාගත්තු ලොකුම නෑම වෙනවා.

වැඩේ ලෙසටම පත්තු වුනොත් , මම මේ  ශත වර්ෂයේ ආතල්ම, පට්ටතම වංචාව කලාට අමතරව, මුලු අවුරුද්දම, සමහරවිට ආයෙ කවදාවත්, ඉස්කෝලෙ නොගිහින් සිටීමේ චාන්ස් එකත් ලැබෙන්නෙ ඉඩ තියෙනවා. 

මට මේ අදහස දුන්නෙ අපේ බල්ලා. මම ඉරිදා උදේට සූටියව ඔබීඩියන්ස් ක්ලාස් අරං ගියානේ. ඇත්තෙන්ම වැඩි  කාලයක් නෑ, සති කීපයයි ගියේ. මූ ඉගෙනගත්තා ඉඳගන්න, දෙයක් ඉල්ලන්න, පෙරලෙන්න.   ඊයෙ
මූ ඉගෙන ගත්තා මැරිලා වගේ ඉන්න හැටි. ඉතින් මම කල්පනා කලා "යකෝ මගෙ බල්ලටත් පුලුවන් දේ ඇයි මට බැරි," කියලා.

මට කරන්න තියෙන්නෙ හුස්ම නොගෙන ඇහි පිල්ලන් නොගහා නිදාගෙන ඉන්න එක විතරයි.  ඒ කියන්නෙ මේ මේ ඇහි පිල්ලං නොගහම නෙවෙයි. කාටද එහෙම ඉන්න පුලුවං? ඇහි පිල්ලං ගහනවා කවුරුත් නොබලන වෙලාවට. අනික,  හුස්ම නොගෙනම නෙවෙයි - ඒක මොන මෝඩ කමක්ද? මම කියන්නෙ, වරින් වර, යන්තම් නොමැරී ඉන්න හැකි පමනින්, පොඩී හුස්මවල් අරගෙන.

මට පොඩි බයකට තියෙන්නෙ, මම  මේ වගෙ තක්කඩි වැඩ කොච්චර හොඳට කරනවද කිව්වොත්, මමම ‍රැවටෙන්න පුලුවන් මම මැරිලයි කියලා. එහෙම වුනොත් නම් මළා හා සමානයි!  මැරෙනවා කියන එකේ කිසි ගතියක් ඇතියි කියලා මම හිතන්නෙ නෑ, ඉස්කෝලෙ නොගිහින් ඉන්න හැකි වීම ඇරෙන්න.

ඔන්න අම්ම එනවා කාමරේට කඩාගෙන බිඳගෙන.

"මොනවා?  ඔයා තවම ඇඳේද?  හා, හා, නැගිටින්න, නැගිටින්න. 

පරක්කු වෙයි දැන් ඉස්කෝලේ යන්න."

මට ඇහෙනවා අම්මා ජනෙල් තිර අරින සට සට හඬ.

එකවරම කාමරයට වැටෙන එලියට ඇස් රිදෙනවා. නමුත් මට වෙලාවට මතක් වෙනවා ඇස් පිල්ලං නොගහා ඉන්න ඕනෙ බව.

දැන් කොයි මොහොතෙ හරි අම්මා මාව දැකලා විලාප තියන්න ගනීවි. ඔන්න දැන් මා ගාව හිටගන්නවා.

"හ්ම්හ්, මේ කාමරේ ගඳ! කවද්ද ළමයො මේක අන්තිම වතාවට පොඩ්ඩක් අස් කරලා පිරිසිදු කලේ?  මේක ඌරු කො‍ටුවක් වගේනෙ. කිලු‍ටු මේස්, අන්ඩවෙයා හැම තැනම. ඇයි අර අක්කා වගෙ කිලු‍ටු ඇඳුම් ලොන්ඩ්‍රි බාස්කට් එකට දාන්න බැරි ඔයාට?"

"හ්ම් ඒකෙන් කමක් නෑ. විනාඩි දහයෙන් නැගිටලා, ෂවර් එකක් දාලා, ඇඳගෙන එලියට බැස්සෙ නැතිනම්, බස් එක මිස් වෙනවා . මම නං කාරෙකෙන් ගිහින් දාන්නෙ නෑ ඕං."

අම්මා යනවා කාමරෙන් එලියට.

මම සීලිම දිහා බලාගෙන කල්පනා කරනවා. ඇත්ත මලකඳක් කරන්නෙත් ඒකනේ. නැතුව එක පාරටම, "කරුණාකරලා, මට ඉන්න දෙනවද මගේ පාඩුවේ? මම අද ඉස්කෝලෙ යන්නේ නෑ, මොකද මම මැරිලා  නිසා. මට මගේ පාඩුවේ සමාදානයේ කුණුවෙලායන්න දෙනවද?" වගේ දෙයක් කියන්න පුලුවනෑ එක පාරටම?  හැබැයි මැරිලා නිසා කියන්න බැරුවා මිසක් නැතිනම්  පට්ට වාක්‍යය ඒක! ලොවෙත් නෑ!  ඉතින් මම සීලිම දිහා බලාගෙන උඩුබැලි අතට බෑවිලා  ඉන්නවා.

එක පාරටම මේං තාත්තා ඇඳ ගාවා හිටගෙන ඉන්නවා.

"ඇන්ඩි."

මම උත්තර දෙන්නේ නෑ.

"මොකද දැන් මේ වෙලා තියෙන්නෙ?" තාත්තා අහන්නේ තරමක් ගොරෝසු හඬකින්.

මම හුස්ම අල්ලගෙන ඉන්නවා, අතපය දරදඬු කරගෙන. තාත්තා නැවිලා, උරහිසෙන් අල්ලලා මාව හොලවනවා.

"ඇන්ඩි," තාත්තා කියනවා. "මම මේ හොඳින් කියන්නේ. මේකත් ඔය වෙනද කරනවා වගේ ප්‍රෝඩාවක්නම්, දැන් ඔන්න සීමාව පන්නගෙන එන්නේ. තේරුණාද? දැන් ඔය හොඳටෝම ඇති!"

තාත්තා මාව හොලවද්දි, මම  තවත් දරදඬු වෙලා ඉන්නවා. ටිකකින් එයා හෙලවිල්ල නවත්තලා, මගේ මැණික් ක‍ටුව එයාගේ මාපට ඇඟිල්ලටයි, දබ‍රැඟිල්ලයි හිර කරගෙන මගේ නාඩි බලනවා.

ෂික්!  ඔන්න මට වංචා කරන්න බැරි එකම තැන. කොයිකටත් කියලා මම හිතින් හදවතේ වේගය පාලනය කරන්න උත්සාහ කරනවා.
මම කොහේදි හරි කියවලා තියෙනවා, කොහේ හරි ඉන්න, චිත්ත බලයෙන් නාඩි පාලනය කරන්න පුලුවන් මිනිස්සු වගයක් ගැන. මමත් කරන්න හදන්නේ ඒ වගේ දෙයක්.

මම හිතනවා මගේ හදවත

ගලක් වගේ නිශ්චල බව...

රතු ගලක් වගේ  නිශ්චල බව...

හිරිවැ‍ටුණු, රතු ගලක් වගේ  නිශ්චල බව...

මිදී, හිරිවැ‍ටුණු,  රතු ගලක් වගේ,  ගැඹුරු...ගැඹුරු...ගැඹුරු නින්දක බව.

කල්පාන්තරේකට පස්සෙ තාත්තා මගේ මැණික් ක‍ටුව අතෑරලා, අත ආපහු ඇඳ උඩින් තියන්නේ හෙමීහිට. ඉන් පස්සෙ එයා හරිම මෘදු හඬකින් මෙහෙම කියනවා.

"ඇන්ඩි, දැන් හොඳට අහගන්න මම කියන දේ, ඔයාගේ ඇඟ සීතල වෙලා.
ඔයා හුස්ම ගන්නෙත් නෑ.  සීලිම දිහා බලාගෙන ඔහේ ඉන්නවා. මට ඔයගේ නාඩි අහු වෙන්නෙත් නෑ.  ඔයා මැරිලා වගේ තමයි පේන්නේ. නමුත් ඔයා මෙතුවක් කාලෙකට කරලා තියෙනෙ තක්කඩි, මගෝඩි වැඩ ගැන කල්පනා කරන කොට මට නිකමට හිතෙනවා මේකත් තවත් අර ජාතියෙම නසරානි වැඩක්ද කියලාත්. ඔයා මේ කරන්නේ ඒ වගේ මෝඩ විහිලුවක්නම්, මම තුනට ගනින්නයි යන්නෙ, ඔයාට ඇ‍ඳෙන් නැගිටලා එන්න."

"එහෙම වුනොත්, මම මෙහෙම දෙයක් සිද්ධ වුන බව අමතක කරලා දාන්න ලෑස්තියි.  ආයේ අපි දෙන්න ඒ ගැන වචනයක් වත් කතා කරන්න ඕනෙත් නෑ කවදාවත්."

"හැබැයි වැරදිලාවත්, ඔයා ඇ‍ඳෙන් නැගිටින්නේ නැතුව හිටියේ ඇත්තටම මැරිලා නෙවෙයි කියලා මට දැනගන්න ලැබුනොත් නම් පු‍තෝ, ඔන්න එතකොට ඔයාට හිතෙයි මැරුණා නම් හොඳයි කියලා. මම කියන දේ පැහැදිළියි නේද?"

හියැක් හික් හූ! තාත්තා මේ මාව අන්දන්න හදන්නේ, මම ඔව් ඔව් කියලා ඔලුව හොල්ලයිද බලන්න. එව්වා හඳේ! තාත්තා කොහෙද මාව තම්බන්නේ?

තාත්තා ගනින්න පටන් ගන්නවා.

"එකායි..."

මට ෂුවර් නැත්තේ දැන් මම ඇත්තම කිව්වොත් වැඩේ ඇත්තටම ෂේප් කරගන්න පුලුවන් වෙයිද කියලයි. තාත්තා කතා කලේ නම් අන්තිම සිරා විදියට වුනාට, මාව සුමානෙකට ග්‍රවුන්ඩ් කරයිද කවුද දන්නේ?  අනික...ඉස්කෝලෙ යන්න නම් වෙනවාමයි.

"දෙකායි..."

මට මොනවද නැති වෙන්න තියෙන්නේ? අනික මම දැන් ගිහින් තියෙන දුර වැඩියි පස්ස ගහන්න.

"තුනායි!"

මම නිසොල්මනේ ඉන්නවා.

තාත්තා අම්මට කාමරේට කතා කරනවා.

"ඇයි, මොකුත් ප්‍රශ්ණයක්ද?" අම්මා අහනවා.

"මම මේක ඔයාට කියන්නේ කොහොමද කියලා මේ කල්පනා කලේ.  නමුත් නොකියා බෑ.  අන්තිම අසුබ ආරංචියක් තියෙනවා කියන්න." තාත්තා සුසුමක් හෙලනවා. "මම දන්නේ නෑ මේක කොහොමද සිද්ද වුනේ, මොකද හේතුව, කිසි දෙයක්.  නමුත් මම හිතන්නේ අපේ ඇන්ඩි ජීවතුන් අතර නෑ තව දුරටත්... ඒ කියන්නේ එයා... මැරිලා."

"අනේ!!!" අම්මට කෑ ගැස්සෙනවා. "අයියෝ!!!" එයා විලාප තියනවා.

මට ඇස් කොණට පේනවා, තාත්තා අම්ම වටේට අත් යවලා එයාව වත්තම් කර ගන්නවා. ඒ දෙන්නා අහක බලපු මේ වෙලාවේ මම ගැඹුරු හුස්ම කීපයක්ම ගන්නවා.

"අනේ එයා කාටවත් වැ‍රැද්දක් කරපු කෙනෙක් නෙවෙයි," අම්මා අඬා වැටෙනවා. "කොච්චර ගු
යහපත් දරුවෙක්ද! එයාගේ අඩු පාඩු තිබුණා තමයි. අනේ ඒ වුනාට එයා හිතලා මතලා කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි. එයා ඒවා නරක අදහසින් කරපුවා නෙවෙයි!"

"නෑ," තාත්තා කියනවා. "මමත් හිතන්නේ නෑ එයා නරක
අදහසින්දේවල් කලා කියලා. හැබැයි එයා දැනගෙන හිටියේ නැත්තේ සීමාව තමයි. අන්න එතනයි වැ‍රැද්ද."

මම හිතුවට වඩා හොඳට තාත්තා මේක හැන්ඩ්ල් කරනවානේ.  තාත්තා කොහොමත් නිකරුනේ කලබල වෙලා උඩ පනින්නේ නෑ තමයි.  නමුත් මම හිතුවේ එයා මීට වඩා තව පොඩ්ඩක් අප්සෙට් වෙයි කියලා. අනේ මම එයාගේ පුතානේ අප්පා!

"ආ, හරි, හරි," තාත්තා කියනවා. "දැන් මෙතනට වෙලා උඩ බලා ඉඳලා හරියන්නේ නෑ. දැන් කරන්න වැඩ ගොඩක් තියෙනවා."

"අනේ , ඒ වුනාට ඔයා දැන් වැඩට යන්න නෙවෙයිනේ හදන්නේ?"

"ම්ම්ම්, වැඩට ගියානම් හොඳයි තමා,"  තාත්තා කියනවා. "නමුත් කවුරුහරි වල කපන්නත් එපායැ."

"මොන වලද?"

"අපිට එයාගේ මිනිය මෙහෙම ගේ ඇතුලේ තියාගෙන ඉන්න බෑනේ. මේක වලලන්න වෙනවා."

"ඒකත් ඇත්ත තමයි," අම්මා කියනවා. "දැන් කොහෙද වල හාරන්නේ?"

තාත්තා අම්මට එයාගේ ලේන්සුව දෙනවා කඳුළු පිහදාගන්න.

"මම හිතුවේ අර ලෙමන් ගහ යට හොඳයි කියලා. අනික ඒක ලෙමන් පළදාවටත් හොඳයි."

"ඔව්, " අම්මා කියනවා. " ලෙමන් ගහටත් පෝර මදිව කේඬෑරි වෙලා තියෙන්නේ."


"මම ගිහින් ෂවල් එකත් හොයාගෙන වල හාරන්න පටන් ගන්නම්. දවල් කෑමට කලින් ඇන්ඩිව වලදාගන්න බැලුවොත් හොඳයි, මේ... මේ... ගඳ ගහන්න පටන් ගන්න කලින්."

"හා, එහෙනම්." අම්මා කඳුළු පිහදාමින් කියනවා. "ඔයා වල කපන අතරේ, මම කේතලේ ලිපේ තියන්නම්. අපි දෙන්නටම හොඳ කහට සැරට තේ එකක් බිව්වානම් හොඳයි නේද?"

මට අදහාගන්න බෑ මේ වෙන දේවල්. අම්මගෙයි තාත්තගෙයි මොලේ කචල් වෙලාද? යකෝ, මේ මාව මේ ගේ පිටිපස්සෙ නිකම්ම වලලලා දාන්න හදන්නේ? ඇයි හත්තිලව්වේ මේ රටේ මේවට නීතියක් කියලා මොකුත් නැද්ද? යකෝ මාර  කෙලියක්නේ මේක!!!

මීලඟ කොටසින්...

තාත්තා ඇන්ඩිව ඇත්තටම වල දායිද?


ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ලියූ Just Joking කෙටිකතා එකතුවේ Playing Dead කෙටි කතාවේ සිංහල අනුවාදයි.




Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.


 මගේ ඩෙනිම, මට හිතෙන හැටි සහ HeyDude  කියවන රසික ඔබටත්, සයුරෙන් එතෙර සේවය කරන, වෙසෙන අප වැනිම මවුබිමේ අලුත් අවුරුදු අසිරිය අහිමි  ඔබටත්, සයුරෙන් එතෙර ජීවත් වන ඔබ සැමටත්, සකල ලංකාවාසී ඔබ සැමටත් ශුභ අලුත් අවුරුද්දකට ආසිරි, ඩූඩ්ගෙන්.

105 comments:

  1. හරිම රසයි අයියේ, එක හුස්මට කියවගෙන ගියා... මේක කියවද්දි මට කතාවක් මතක් උනා.. හෙට උදේට ඇවිත් දාන්නම් දැන් නිදිමතයි,..

    ReplyDelete
    Replies
    1. මමත් මාර නිදිමතේ මේක දැම්මේ. අනිත් අය ඔක්කොම නිදාගන්න ගිහිල්ලා. සුභ පරණ අවුරුද්දක්. :)

      Delete
  2. බොරු කියන්නේ මොකටද මාත් ඔහොම මැරිලා වගේ ඉන්න ට්‍රයි කරලා තියනවා. හපෝ ඒක මහා පන යන වැඩක්

    ReplyDelete
    Replies
    1. සාර්ථක වුණා ද?

      Delete
    2. ඇත්තටම සයුරි වැඩේ සාර්ථක වුනාද? මම කිව්වේ අනිත් අය ‍රැවටිච්ච එක? :) මම ඔහොම කරලා තියෙනවා මට වැඩිය බාල පොඩි උන්ව රට්ටන්නනම්. විශේෂයෙන්ම උන්ගෙ වෙඩි වැදිලා. :D

      Delete
    3. වැඩේ සාර්ථක වෙච්ච හින්දනෙ මේ සැරේ ඉපදිලා තියෙන්නෙ.. :D

      Delete
    4. මොන සාර්ථක වෙනවද එක විනාඩි පහක් ඉන්න බෑ :)

      //වැඩේ සාර්ථක වෙච්ච හින්දනෙ මේ සැරේ ඉපදිලා තියෙන්නෙ//

      ඒකත් හැබෑව

      Delete
  3. //ම්ම්ම්ම්... ඇත්තටම නෙවෙයි. මම ඉස්කෝලෙ කට් කරන්න ඕනෙ නිසා මැරිලා වගෙ රඟපානවා. විතරයි.//

    මෙතන දක්වා කියවනකොට මට හිතුනේ; අර අපාය වගේ පංතියට යන්න වෙන එක මගහරින්න කරපු පොඩි පහේ උප්පරවැට්ටියක් නිසා ඩූඩ්ටම වෙච්චි අලකලංචියක් ගැන තමා මේ කියන්න යන්නේ කියලා...:D

    දැන් ඉතිං ඊලඟ කොටස වැටෙනකල් මඟ බලාගෙන ඉන්නේ. "ඇන්ඩි" ඉතිං කොහොමත් අපි ආශා කරන රජ භාන්ඩයක්නේ..:P

    ඔබ සියලු දෙනාටම ශුභ අලුත් අවුරුද්දක් කීවා....

    ReplyDelete
    Replies
    1. ඔව් බං. මටත් එහෙම කරන්න හිතෙනවා.

      උඹ එහෙම කිව්වම මටක් වුනේ අර අම්මා කෙනෙක් පුතාව ඇහැරවන්න කරපු සුප්‍රසිද්ධ කතාව.

      "පුතා නැගිටින්න, නැගිටින්න. දැන් ඔයාට පරක්කු වෙනවා. මේ අහන්නකො හොඳ පුතා වගේ. ඉස්කෝලෙ වැඩ නීරස තමයි. ගුරුවරුන්ටත් ඔයාව පේන්න බැරි එක ඇත්ත තමයි, ළමයි ඔයාට කැමති නැති එකත් ඇත්ත තමයි. ඒ වුනාට මගේ පුතා ජීවිතේ අපි කැමති දේවල් හැමතිස්සෙම ලැබෙන්නේ නෑ. මයෙ පුතාටත් ලෝකෙ පේන්නම බැරි තැන ඉස්කෝලෙ වුනත්, ඔයාට ඉස්කෝලෙ යන්නම වෙනවනේ පුතේ ඔයා ඉස්කෝලෙ ප්‍රින්සිපල් නිසා. :((

      ස්තුතියි ගමේ හිතව‍තෝ.

      Delete
  4. වෙනදා වගේම පරිවර්තනේ හරිම රසවත්. ඔය මුලු පොතම පරිවර්තනය කරලා ඊට පස්සේ ඒක පබ්ලිෂ් කරලා දාන්ට. :)

    පොඩ්ඩි, පොඩි කාලේ අඬන්ට මූන හදාගන්නේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින්. ඊට පස්සේ බොරුවට අඬන්ට උනාම, ඒ මූන තමයි මතක් කරගන්නේ. කවුරු හරි ඒක ට්‍රයි කරලා තියනවද? හිතට මාර දුකක් දැනෙනෙනේ ඒ වෙලාවට. ඇස්වලින් කඳුලු බේරෙනවා. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි.

      මමත් කන්නාඩිය ඉස්සරහා එක එක විදියට රඟලා, මූණවල් හදලා, කොයි විදියට හිනා වුනාමද වැඩියම ගති කියලා බලපු එක්කෙනෙක් තමයි. :))

      Delete
  5. ඉතිං බලං හිටිංකො සතියක් අරූ වලදැම්මද නැත්තං .. අපෙ ගෙදර නං ඕකට හොඳ බෙහෙතක් තිබ්බ. පොල් කෙන්දක් නහයට දාල අඹරන එක.. මැරිච්ච එකා හූ තියාගෙන නැගිටිනවා. ඩුඩ් අර අටමා කොපි කරලා උගෙ කතාව වගෙ මේකත් සති ගනන් අදිනවා එහෙම නෙවෙයි ඕං..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සරත්. මේක එහෙම අදින්න දෙයක් නෑ.

      ඉතින් බලාපංකො මේකලාව සතු‍ටු කරන්නේ කොහොමද කියලා. මුළු කතාවම දැම්මොත්, යකෝ දිග වැඩියි මාගල වගේ , මේ කියවලා නෙවෙයි කමෙන්ට් කරේ, පස්සෙ කියවන්න ඕනෙ කියනවා. කඩලා දැම්මාම කොට වැඩියි, උඹ අපිව රස්තියාදු කරනවා කියලා බනිනවා. අර 'අලුත් මාලු මෙහි විකිණීමට තිබේ' කියලා බෝර්ඩ් එක ගහපු බුවාට වෙච්ච වැඩේ තමයි මට වෙන්නේ. :((

      පොල් කෙන්ද කනට දැම්මත් බඩු ෂුවර් තමයි.

      Delete
  6. ෂා නියමයි මචන්, වෙනදා වගේම සුපිරි, මට උඹේ "කැරපොත්තා" පරිවර්තනය මතක් වුනා.

    තවත් දෙයක් මතක් වුනා මචන්, ඉස්සර ඉස්කෝලේ කට් කරන්න හිතුනම රතු ලුණු ගෙඩියක් සුද්ද කරලා කිහිල්ල අස්සේ ගහගන්නවා, මෙන්න ටිකකින් ඇඟ රත්වෙලා, හරියට උන හැදිලා වගේ. වැඩේ ගොඩ එදාට ගෙදර තමයි.

    ReplyDelete
    Replies
    1. මචං ඒක රතු ලූණුද, සුදු ලූණුද? මාත් අහලා තිබබ්ට ඕක කවදාවත් කරලා නෑ.

      Delete
    2. ඕක කොල්ලෝ ඉස්කෝලෙන් වේලාසන පනින්නත් පාවිච්චි කරනවා ලු. සර් මට උණ...!!

      Delete
  7. ඇන්ඩියා අර 'රොමා'ගේ යාලුවෙක්ද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. රොමාගේ වාසනාවත් ඇත්තෙන්ම අර චාල්ස් ඩිකන්ස්ගේ Great Expectations පොතේ සිංහල ඡායානුවාදයක්නේ. මට තාම මතකයි අර කැරකෝප්පුවෙ සිද්ධියයි, කරෝලිස් අයියත් එක්ක ඉඳගෙන රොටි කන එකයි. අන්න කතා! :)

      Delete
    2. අර කුරුතඤ්ඥ වෙයන් කොළුවො කියන්නෙ...ඒක නේද ? මම හිතන්නෙ චන්ද්‍රා අනගිරත්න අසංක්ශිප්ත පරිවරතනයක් කළා ඔය පොතේ.. මම ආසම චරිතයක් තමා "වෙමික්".. කොහොමද මිනිහගෙ වෙඩින් එක ? :D

      Delete
    3. රොමාගේ වාසනාව කියන පරිවර්තනය නම් කලේ මම හිතන්නේ ආර්. එරත්න.
      කුරුතඤ්ඤ වෙන්නේ ඒකෙ තමයි.

      Delete
  8. අඩේ මේක මරුනෙ බන්...

    ReplyDelete
    Replies
    1. සාතන් උඹ කියෙව්වේ නැත්ද මේකාගේ අනිත් කතාවල්?
      දැන් ළඟද තාත්තේ?
      ප්ලාස්ටරේ.
      කැරපොත්තා.
      සුභ අලුත් අවුරුද්දක් උඹටත් පවුලේ සැමටත් බැචාලටත්.

      Delete
  9. එළ එළ එළ.. එළම එළස්.. නියම රස.... :D

    ඔය ඇන්ඩිගෙ තාත්තා, අම්මා කාමරේට එනකොට ඇහැක් ගහපු බව මටනම් හොඳටම ශූර්...

    ඇන්ඩියට දැන් කරන්න තියෙන්නෙ, එඩ්මන්ඩ් දාන්තේ ප්ලැන් කළා වගේ වලලපුවම පස් හාරන් උඩට එන විදිහක් ගැන හිතන්න..

    ReplyDelete
    Replies
    1. තැංකෝ තැංකෝ සෙන්නා.

      මාත් හිතුවා ඇහැක් ගහන්න ඇතිය කියලා. :)

      ඔව් නේ. හුඩිනිත් ඕවගේ වැඩ කලානේ.

      Delete
    2. http://en.wikipedia.org/wiki/Harry_Houdini

      Delete
  10. අඩේ මිනියක් උනත් ඔහොම වළලන එක ගස් යන වැඩක්නෙ.

    අර අයිලාෂ් කියල තියෙනව වගේ රතුලූණු වැඩේ තමයි ගොඩ දෙනෙක් කරන්නෙ.

    [co="red"]ඩූඩ්ටත් සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පතනව.[/co]

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බං මේක වගා සංග්‍රාමේට සපෝට් එකක් නිසා ගොඩ දාගන්න පුලුවන් වේවි. :))

      ස්තුතියි ප්‍රසන්න.

      Delete
  11. ඉංගිරිස් කතා කතා සිංහල අපේ උරුවට ලියා අපව සතුටු කරන බ්ලොග් ලෝකයේ මා මිත්‍ර ශ්‍රේෂ්ට පරිවර්තකයානන්ට ප්‍රණාමය..!!
    ඔබට සුභ පරණ අරක්....මොන මගුලක්ද මන්ද වැරදුන.
    ඔබ පවුලේ සැමට සුභ පරණ අවුරුද්දක් වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. කෙන්ජි දෙවරන් පර... ආ මටත් වැරදුණා... ඔබටත් සුබ නව වසරක් වේවා කෙන්ජි.....

      Delete
    2. මොකද අවුරුද්දට ලිපියක් ලියල සුභ පැතුම් අහගන්න කැමති නැතිවද කලින්ම මගදී හමුවෙලා සුභ පතන්නෙ?ඒවා ඔට්ටු නැහැ.අවුරුද්දට වචන දෙකක් හරි ලියන අයට තමයි මගේ සුභ පැතුම් ලැබෙන්නෙ :) :) කන්තෝරුවෙ අවුරුදු පාටිය අද නේද?

      Delete
    3. අඩේ කෙන්ජි මාව නග්ගලා කරටියටම. ස්තුතියි මචං. උඹටත් ප්‍රියම්බිකාවටත් දරු පැටවුන්ටත් සුබ අලුත් අවුරුද්දක්.

      පරණ නං අරක්.. නැද්ද? d-)

      Delete
  12. මුලින් කියවද්දි හිතුණේ ඩුඩ් පොඩි කාලේ කළ මගෝඩි වැඩක් කියලයි.. නියමයි....ඔබට දීපාට දරු දෙදෙනාට සුබ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. මාත් ඉස්කෝලෙ යන්න කැමැත්තක් තිබ්බේ නෑ මචං, එදත්.

      ස්තුතියි මචං.

      නලියාගේ පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා.

      Delete
  13. යස වැඩේ කම්මැලියට...

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට කම්මැලියාට දිවැස් තිබේ කියනවනේ අමිල. :)

      Delete
  14. අනේ හැන්රි, ඇන්ඩි ආයේ හෙන්රියාවර්තනේට අහුවෙච්චි එක කොච්චර සෝයිද!!1

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බං දේශක. දැන් මේ නියම දේශකයද? නැතිනම් අරූ උඹව හැක් කරලද?

      Delete
  15. කතාව අපේ කතාවක් වගේ පරිවර්තනය කරලා.

    //මම ඉරිදා උදේට සූටියව ඔබීඩියන්ස් ක්ලාස් අරං ගියානේ. ඇත්තෙන්ම වැඩි කාලයක් නෑ, සති කීපයයි ගියේ. මූ ඉගෙනගත්තා ඉඳගන්න, දෙයක් ඉල්ලන්න, පෙරලෙන්න. ඊයෙ මූ ඉගෙන ගත්තා මැරිලා වගේ ඉන්න හැටි.// සමහරු නම් හරි මෝඩලු කියලා මම අහලා තියනවා. :)

    මේ පොත US, වල පබ්ලිෂ් කරලා තියෙන්නේ Just Kidding! කියලද?

    ReplyDelete
    Replies

    1. Just Tricking! is the first volume in the Just! series written by Andy Griffiths. Around the world, the book was released with different titles: Just Kidding! for the United Kingdom and Just Joking! for North America.
      Wikipedia,

      ස්තුතියි කතුවරී.

      Delete
  16. ඔන්න, ඔන්න, ඉතින් ඩූඩ් වැඩ කනවා.ඉතුරු ටික කවදද එන්නේ? මටත් නම් ෂුඅර් තාත්තා අම්මට ඇහැක් ගහල දෙන්නම රඟ පාන බව.

    ලැන්ග්වේජ් තමා ලැන්ග්වේජ්.


    මම සීලිම දිහා බලාගෙන කල්පනා කරනවා. ඇත්ත මලකඳක් කරන්නෙත් ඒකනේ. නැතුව එක පාරටම, "කරුණාකරලා, මට ඉන්න දෙනවද මගේ පාඩුවේ? මම අද ඉස්කෝලෙ යන්නේ නෑ, මොකද මම මැරිලා නිසා. මට මගේ පාඩුවේ සමාදානයේ කුණුවෙලායන්න දෙනවද?" වගේ දෙයක් කියන්න පුලුවනෑ එක පාරටම? හැබැයි මැරිලා නිසා කියන්න බැරුවා මිසක් නැතිනම් පට්ට වාක්‍යය ඒක! ලොවෙත් නෑ! ඉතින් මම සීලිම දිහා බලාගෙන උඩුබැලි අතට බෑවිලා ඉන්නවා.

    ලොවෙත් නැ, පට්ට,

    "යකෝ මගෙ බල්ලටත් පුලුවන් දේ ඇයි මට බැරි,"


    ඒක ඉතිහාසයේම කෙනෙක් දාපු ලොකුම පානිය වෙනව, කෙළපු ලොකුම බුල වෙනවා, අන්දපු ලොකුම ඇන්දිල්ල වෙනවා, නාගත්තු ලොකුම නෑම වෙනවා.


    මන් දන්නව. මම නම් කොච්චර ට්‍රයි කලත් ඔය වගේ නම් ට්‍රාන්ස්ලේට් කරන්න බැ. මේ ඔබේ සහජ හැකියාව.

    ( මට අර සින්හල ඇතුලෙ ඉන්ග්‍රිසි ලියන එක තාම බැ. ට්‍රයි කලා. හරි ගියෙ නැ.)


    ReplyDelete
    Replies
    1. @Blue Lotus;
      පරණ ලියපු එව්වත් කියෙව්ව නම් හිතාගන්න පුළුවන් හැකියාව කොහොමද කියල.

      Delete
    2. ඔයාටත් පුලුවන්. ස්තුතියි බ්ලූ ලෝටස් වර්ණනාවට. Very much flattered.


      මෙන්න මෙහෙම ගහන්නකො ඔයාගෙ සිංග්‍රීසි යුනිකෝඩ් එකේ.

      මගේ නම |Blue Lotus.| මට නිල් මානෙල් කියලත් කියනවා.

      This key is on the left hand side of the Enter key.

      Delete
  17. නියමයි . ලස්සනට ලියල . මන් හිතුවේ කොලුවම වල කපන තැන යෝජනා කරයි කියල . පින්තුරේ පොටෝ ෂොප්ද . නැත්නම් ඇත්තම ලෙමන් ගෙඩියක පින්තරුවක් කරලද . ලස්සනයි

    ReplyDelete
    Replies
    1. MS Paint වලින් ඇන්ඩියගේ මූණ ලෙමන් ගෙඩියක පින්තූරෙක ඇලෙව්වෙ අර හිරූස් තියරීස් කියලා තියෙන අදහස දෙන්න. ස්තුතියි බින්දි. ඔයාලට ඉක්මනින්ම දැනගන්න පුලුවන් මොකද වුනේ කියලා.

      Delete


  18. මේ ටිකේම උසස් නිර්මාණ ටිකක් ඵල වෙනවා බොහෝ
    බ්ලොග් වල ..නැවතත් ස්වර්ණමය යුගය කරා ඇවිත් තියෙන්නේ
    හෙන්රි අයියේ...මාත් මේ පිය පුතු බැඳීමක් අතර හැගීම් ගැන
    කියවෙන දෙයක් draft වල තියන් ඉන්නේ ..තාම දැම්මේ නැහැ ..
    මම මේ දවස් වල ඉන්නේ සංක්‍රාන්ති සමයක ..

    මේ දවස් වල මම වෙඩි කාපු ඌරා වගේ දෙයක් හොයනවා
    හොයනවා හොයනවා ....

    ඒක නෙවේ දැන් අපේ ඒරියල් එක පැත්තේ එන්නේ නැත්තේ
    ඇයි ..?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන්.

      ඉතින් ඩ්‍රාෆ්ට් වල තියං ඉන්නෙ මොකටද පබ්ලිෂ් කරන්නේ නැතිව?

      එනවා එනවා. මේ දවස් වල ඉන්ටනෙට් එකට එන්නෙ ටිකක් අමාරුවෙන්, අර FUP එක ඔන් කරාම හෙන ස්ලෝ. ඉස්කෝලෙ ඔය ‍ෆ්‍රී පීරියඩ් හම්බවුනාම තමයි තරමක ස්පීඩ් එකක් තියෙන්නෙ.

      Delete
  19. පට්ටයි අයියණ්ඩි :D

    මට මතක් වුණේ චීනේද කොහෙදෝ කෙල්ලෙකුත් මැරුණා වගේ මේ ඊයේ පෙරේදා රඟපෑමක් කරලා තිබුණා.

    එහෙනම් අයියාටත් පවුලේ සැමටත් සුභ අලුත් අලුත් අවුරුද්දක්

    ReplyDelete
    Replies
    1. එහෙම දේවල් වෙනවා. මම ගිය අවුරුද්දෙ පත්තරේකත් කියෙව්වා ලංකාවේ එහෙම දෙයක් වුනා කියලා ලෝක වාර්තාවක් පිහි‍ටුවන්න ගිහින්.

      හසිත ඇතුලු පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක්!

      Delete
  20. මේ කතාව ගැන ඉවර වුනාම කියන්නම්. එහෙනම් උඹලාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. උඹලාටත් සුබ අලුත් අවුරුද්දක් තිසර. :)

      Delete
  21. ලොවෙත් ඈ.... මම නං හිතන්නේ අරූ නැගිටියි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හරි බලමුකෝ මොකද වෙන්නේ කියලා රජා.

      සුබ නව වසරක් රජ පවුලටම. :)

      Delete
  22. සුපිරි කතාවක්නෙ.. පුදුම රහයි.. මේ කතා ටික පොතක් කරන්ට..

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
    2. බොහෝම ස්තුතියි හරී.

      සුභ අලුත් අවුරුද්දක් වේවා. :)

      Delete
  23. බ්ලොග්වෝකර් පවුලේ සැමට සුබ අළුත් අව්රුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. සෙන්නා ඇතුලු පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා. :)

      Delete
  24. පණ පිටින් වලලන්න තියෙන්නෙ.

    මට මතක් වුනේ ඉස්සර අපි හොරට නිදන් ඉන්නකොට වැඩිහිටියෙක් ඇවිත් කියන්නේ.. “මෙයා නිදි නම් දැන් කකුල වැනෙන්න ඕන..“

    එතකොට මොලේ නැති එකා සටස් ගාල කකුල හොලවනවා..

    නව වසර ඔබට සහ සිය පවුලටම ෂුභම සුබ වේවා !!

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක තමයි මම කියන්න හදපු කතාව,
      ඉස්සර මම පොඩි කාලේ මම හිතන්නෙ අවුරුදු 3, 4 ක් ඇති. ඒ කාලේ ටීවී එක තිබුනෙ කාමරේ. මම නිදාගත්තෙ අම්මි තාත්ති මැද. ඉස්සර ගියා ඩිනාස්ටි කියල (මට මතක විදිහට) පොඩ්ඩක් විතර Adults only කතාවක්... ඉතින් අම්මි තාත්ති මාව ඒක යන්න කලින් නිදි කරවන්න ට්‍රයි කරනවා.. මට ටික දවසකින් තේරුනා මේක තමයි රහස කියලා.. පස්සෙ මම නිදි වගේ ඉන්නවා. ඉතින් තාත්ති කියනවා අම්මිට, අනේ බලන්නකෝ අපේ පුතාට හොදටම නින්ද ගිහින්නේ කියලා. (තාත්ති කියන්නෙ පුතා කියලා නංගිටයි මටයි දෙන්නටම) ඉතින් අම්මිත් කියනවා ඔව්නෙ හොදටම නිදි කියලා.. තාත්ති කියනවා නිදි බබාල කකුල හොලවනවා නේද කියල. මමත් ඒක ඇහෙන පරක්කුවට කකුල හොල්ලන්න ගන්නවා. ඉතින් දෙන්න එක්ක ටීවී එක ඕෆ් කරල නිදාගන්නවා... තාත්ති තාම එහෙම පොඩි එකෙක් දැක්කම කියනවා මෙයා ඔය වැඩේට හොදට අහු උන එක්කෙනෙක් කියලා

      Delete
    2. ඔය 3/4 කාලේ නෙමේ 7/8 කාලේ වෙන්න ඇති.මෙයා අපිව අංකල්ල නැතිව සීයලා කොරන්න ලියල.3/4 කාලේ කියන්නෙ යක්කු ඉන්නව කියල බුරි උල් වෙන්න කැව්වම කොට්ටෙ ඔලුව තියල හතර සැරයක් හෙලෙව්වම නැට්ට පුකේ ගහන් නිදාගන්නෙ පොඩි එව්වෝ. මෙකි පන්ති කාමරෙ තාප්පෙන් පනිනව මදිවට අම්ම/තාත්තටත් මොත්තෙ දාන්න ගිහිල්ලනෙ.

      Delete
    3. ඔන්න ඔන්න ඉතින් අයියා එක්ක බෑනේ.... :D නැහැ මම 3, 4 කාලේ කිව්වේ නංගි ලැබෙද්දි මට අවුරුදු 6 යි. ඊට අවුරුද්දක ඉදන් නැන්දත් හිටියා අපේ ගෙදර. ඉතින් ඊට කලින් තමයි මේ සිද්ධිය...

      Delete
    4. කකුල වැනිල්ලට අමතරව අපේ තාත්තා කියාපු තව දෙයක් තමයි ඇත්තටම නිදා ඉන්න එකාට ඇහැරවන්න පුලුවන් උනත් බොරුවට නිදා ඉන්න එකාව මොන ජාතියෙන්වත් ඇසැරවන්න බැරිලු. අනික ඇස් වහගෙන හිටියත් ඇස් පිල්ලම් ඔන් වෙලාලු තියෙන්නෙ.

      ඔය Dynasty තිබ්බේ 1987 - 1990 වගේ කාලේ. අනේ ඒකෙ ඔය කියන තරම් ඇති ඇඩල්ට්ස් ඕන්ලියක් නෑ බං. :)

      Delete
  25. මම හිතුවෙ ඇත්තටම උඹ කරපු වැඩක් කියල ඉස්කෝලෙ යන්න හොරට.කොහොමත් පරිවර්තනේ ලස්සනයි.
    ඔබටත් දරු පවුලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. මමත් ඔහොම තමයි බං ඉස්කෝලෙ යන්න හොරයි.

      හැලප පවුලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා. d-)

      Delete
  26. මම මුලින් හිතුවේ මේක ඩුඩ් අයිය කරපු මගඩියක් කියලා

    ReplyDelete
    Replies
    1. මට නම් හැදෙන තරමක් හැදුනේ බඩේ අමාරු බං. :-O


      Delete
  27. ඔය අවුරුදු කීයක විතර පොඩි එකෙක්ද? ඉතුරු ටික එනතෙක් සිටිමි

    ReplyDelete
    Replies
    1. අවුරුදු දොළහක් වගේ ඇති නේද බං? හරි, ඉක්මනටම දාන්නං, උකුස්සා.


      සුබ නව වසරක් . :)

      Delete
  28. ඔබටත් පවුලේ හැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!

    පුංචි එකා හිතුව මදි අම්ම තාත්ත අන්දන්න..හිහිහි

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඔය නසරානි කමත් ජානවලින් උරුම වුනා වෙන්නැති.


      උඹලාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා. :)

      Delete
  29. තාත්තගේ ඇන්දිල්ලට පුතා අහුවෙනවා ෂුවර්.මම ආසම ශෛලියේ කතාවක් නිසා අනිත් කොටසත් ලියනකම් බලන් ඉන්නවා.

    එහෙනම් අපේ හල්ක් තුමා ඇතුළු හල්ක් පවුලේ සියලු දෙනාටමත් සුභම සුභ නව වසරක් වේවායි පතනවා :)

    ReplyDelete
    Replies
    1. ඔව් බලමු බලමු කෞද අහු වෙන්නේ කියලා.

      නිශාන්ටත් අම්මාටත් සුබ නව වසරක් පතනවා. :)

      Delete
  30. scrolling effect in right side: [ma+].....කියන්න වචන නෑ…ඒ තරමටම එක හුස්මට කියවන් ගියා…හරිම ලස්සනයි….

    ඉක්මනට ඉතුරු ටිකත් දාන්න ඩුඩ්….අපි ඉන්නෙ හරිම නොඉවසිල්ලෙන්….

    චිත්‍රෙ පෙන්නන්නෙ ඇන්ඩිගේ මුන තියනෙ ලෙමන් නේද…ඒ ගහ යට වල දැම්මම හැදුන? හිහ්හිහ් හිහ් චිත්‍රෙත් ශෝක්

    හරිම සරල හරිම ඉහල පරිවර්තනයක්…

    ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්න…….

    ඩුඩ් සහ පවුලටත් සතුට සාමය පිරි සුබම සුබ නත්තලක් වේවා!!!!! ලැබුවාවු අලුත් අවුරුද්දේ සිතුම් පැතුම් සියල්ල ඉ‍ටු කරගන්න ලැබේවා!!!! .................[/ma+]

    ReplyDelete
    Replies
    1. scrolling effect එක වමට නොදැම්මොත් කියවන්න අමාරුයි.

      චිත්‍රෙ ගැන ඔයා කියන දේ හරියටම හරි. මම අදහස් කලෙත් ඒකමයි. ලෙමන් ගෙඩිවලත් ඇන්ඩිගේ මූණුවර පේන්න.


      ඔයාටත් අධ්‍යාපන කටයුතු සාර්ථක වන සුභ නව වසරක් පතනවා. :-f

      Delete
  31. තාත්තගේ ඇන්දිල්ලට කොල්ල අහු වෙන්නේ නෑ. ඕකා මොකක් හරි ජල්බරියක් කරයි. මොකද ඌ ඇන්ඩි නේ.!! :)

    ඩූඩ් අයියණ්ඩි ට සහ පවුලේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. බලමුකො චන්දන.

      චන්දන ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් පතනවා. :)

      Delete
  32. ඇන්ඩියට මේ පාරනම් බබා හම්බෙයි වගේ.
    වෙනදා වගේම translation එක පට්ටයි ඩූඩ්.
    ඔයාල සේරටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මනින් ඉතිරි කෑල්ල දාන්නම් ඉමල්ක.

      සුභ අලුත් අවුරුද්දක් වේවා. :)

      Delete
  33. විශිෂ්ටයි....!

    සාමාන්‍යයෙන් සිංහල පරිවර්ථකයො බොහො දෙනෙක් භාවිත භාෂාවෙ තියෙන වචන (නසරානි වැනි)පාවිච්චි කරන්න කැමති නෑ,බස නැසෙනවා කියලා.ඒ වුනත් එහෙම බස රැකගෙන කරන පරිවර්ථන මෙලෝ රහක් නෑ.
    මේ විදේශීය ප්‍රබන්ධය අපට දැනෙන්නෙ, ඒක භාෂාව නියම විදියට භාවිතා කරලා අපේකරණය කරලා තියෙන නිසයි.

    ReplyDelete
  34. [ma]හෙන්රිටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....![/ma]

    ReplyDelete
    Replies
    1. ඔව් සුමිත්, ඇත්තෙන්ම බ්ලොග් එකකට කරන පරිවර්තනයේදී සෑහෙන නිදහසක් භුක්ති විඳින්න පුලුවන්. අනික එක එක පරිවර්තනයට ගැලපෙන්න ශෛලිය වෙනස් කරන්න පුලුවන්. සුමිත් දකින්න ඇති Clean Sweep Ignatius ට යොදා ගත්ත ශෛලිය මීට වඩා හාත් පසින්ම වෙනස්. එතකොට රියට අත ඇල්ලූ මගියා මේ අන්ත දෙක අතරේ තිබ්බෛ.


      සුමිත් ඇතුලු පවුලේ හැම දෙනාටමත් සුභ නව වසරක් පතනවා. :)

      Delete
  35. හපොයි! මේ පාර නම් ඇන්ඩිට ලේසි වෙන එකක් නෑ වගේ...
    ලඟදි බ්ලොගර් ප්‍රොෆයිල් එක හදා ගත්තට, ඉස්සර ඉඳන්ම ආසාවෙන් කියෙව්වා ඔබ පරිවර්තනය කරපු ඇන්ඩි ගේ කතා. හැමදාම වගේ, මේකත් ආසාවෙන් කියෙව්වා..
    ඔබටත් පවුලේ සැමටත්, සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කමෙන්ට් එකට.

      දැන් කොහොමද අපි එක් මිනිසෙක්ට අමතන්නේ? එක් මිනිසෝ කියලද, මිනිහෝ කියලද? :D


      සුභ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හි හි ඔන්න මගේ නම පොඩ්ඩක් වෙනස් කළා. දැන් මට පොඩ්ඩි කියල කතා කරන්න පුළුවන් හැමෝටම...

      Delete
  36. [im#]http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/535750_4036191322096_908010658_n.jpg[/im]

    ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් කෙන්ජි.

    ReplyDelete
  37. මමත් මැරිලා වගේ ඉන්න හදල තිබුනා.ඒත් මොන කරුමයක්ද මංදා අම්ම ආපු ගමන් දෙකක් දෙනවා උඩ ගිහිල්ල නැගිටින්නේ ඇඳෙන්.
    කතාව නියමයි ලියපු විදියත් හොඳම සරල ලියවිල්ල මචං.

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!..

    ReplyDelete
    Replies
    1. හික් හික්, එලොව ගිහින් ඉන්න එකා මෙලොව එන්න දෙනව ඇති අම්මා...

      බ්ලොග් රචකයාටත්, චිත්‍ර ශිල්පිණියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  38. මමත් පුංචිකාලෙ දි තාත්තා රවට්ටන්න බෑ කියලා ඉගෙන ගත්තු අවස්ථා එමටයි මචං.

    උඹටත්, නංගිටත්, දරු පැටවුන්ටත් ලැබුවා වූ නව වසර වාසනාවන්ත එකක්ම වේවා කියලා පතනවා ...!

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි කියන එකත් අපිට හරි පුදුමයක් වුනා නේද බං? :)

      උඹලාගේ පවුලටත් සාමය සතුට පිරි නව වසරක් වේවා.

      Delete
  39. පොළුකාරයන් (කාරියන් ), මුදල් වංචාකරුවන්, රැවිටිලිකරුවන්ගෙන් තොර සුභ අළුත් අවුරුද්දකට සියළු බ්ලොග් රචක පාඨක සැමට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. හික් හික්!

      ඉන්දිකටත් පවුලේ සැමටත් සාමය සතුට සපිරි නව වසරක් වේවා.

      Delete
  40. ඔරිජිනල් පොත් හම්බ වෙලා කියවන්න ගත්තා..මුල පරිච්ඡෙදය කියෙව්වා..මෙච්චර රහ නෑ අයියෙ ඇත්තටම..විසික් කරලා දැම්මා..කොයිතරම් කල් ගියත් කමක් නෑ..මෙහෙම ලස්සනට පරිවර්තනය කරලා දාන කම් බලන් ඉන්නම් ඕන්..
    හෙන් රි අයියා ඇතුළු පවුලේ සියළුම දෙනාට ඉතින් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කියන්න එපා බං. ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් මාර ගතියට ලියනවා. උඹට කම්මැලි ඇති කියවන්න, ඒකයි.

      වෙනියාටත් සියළු පැතුම් ඉ‍ටුවන වාසනාවන්ත නව වසරකට ආසිරි අපේ මුලු පවුලෙන්ම.

      Delete
  41. ඩුඩ්, මේ බ්ලොග් ලිවිල්ල අල්ලල දාල පරිවර්තකයෙක් උනා නං, සෑහෙන ගානක් හොයන්න තිබ්බ. මුල් කතාවෙ තිබ්බ රසය ඒ විදිහටම එන්න ලියල තියෙනව.

    ඩුඩ්ටත්, පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මුහුදු. අතාරිනවා නම් අතාරින්න ඕනෙ උගන්නන එක බං. නැතත් මම පරිවර්තනය කරන්න එච්චරට ආසා නෑ, මගෙම යාන් හෑලි ලියනවා තරම්.

      මුහුදුටත් සිතුම් පැතුම් ඉ‍ටුවන වාසනාවන්ත නව වසරක් වේවා. )

      Delete
  42. මම හුඟක් පරක්කුවෙලානේ කියවන්න ඇවිත් තියෙන්නෙ.

    හික් හික් .... පුතාගෙම තාත්තනේ. අනිවාර්යෙන්ම වෙන්ටෝන ඔය විදියට තමා. ඉතුරු ටිකත් දාන්ටකෝ..... මොකද අර ප්ලාස්ටරේ ඇන්ඩිගෙ ඉමේජ් එකම දාලා.

    හෙන්රි අයියටත් පවුලේ සියළුදෙනාටත් සතුට සැනසුම රජයන බත බුලතින් සරුවුනු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඔය විදියට තමයි වෙන්න ඕනෙ.

      ප්ලාස්ටරේ තියෙන එක දැම්මේ, පස්සෙ ඔය ගහේ ලෙමන් වල ඇන්ඩිගේ මුහුණුවර තියෙන්නත් ඒ ලෙමන් දකින කෙනෙකුට ඇන්ඩි කරපු නසරාණි වැඩ මතක් වෙන්නත්. ප්ලාස්ටරේ හ්ඳම සංකේතයක් කියලා මට හිතුනා.

      ඩීඩීටීගේ පැතුම අංගසම්පූර්ණයි. මමත් ඩීඩීට ඒ වගේම සතුට සැනසුම රජයන බත බුලතින් සරුවුනු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් පතන ගමන්ම, මේ අවුරුද්දේ වත් උඹට බ්ලොග් එකක් ලියන්න සිත් දේවා කියලා පතනවා.

      Delete
  43. ඩුඩ්,

    මේ ඇන්ඩි ලෙමන් බොන අයත් ඇන්ඩියා වගේ අණ්ඩ වැඩ කරයිද දන්නෑනේ. :o එයාටත් මේ වගේම චිත්‍රයක් මැවෙන්න ඇති කිව්වේ නැති වුනාට. :)

    ReplyDelete
    Replies
    1. අනේ ඒ මූණ බලාගෙන කොහොම ඒ ලෙමන් බොන්නද! :(( ගෝනියක් කඩලා දඹුල්ලට යවන්න තියෙන්නෙ.

      Delete
  44. මේක දාපු හැටියෙ කියෙව්වත් කමෙන්ටුවක් දාන්න බැරිවුනා. මං හිතාගෙන ආවෙ දෙවනි කොටස කියවන්න කෝ?

    ReplyDelete
    Replies
    1. දානවා බං දානවා. අවුරුද්දට උඹලට නිවාඩු වුනාට අපි අවුරුදු දවසෙත් වැඩ.

      Delete
  45. පට්ට... ඇන්ඩිගෙ තව එකක්.. මේ තමයි මචෝ නියම ජීවීතය. අනේ අපිත් ඔය වගේ දේවල් නම් කොච්ච්‍රක් කලාද...?

    ReplyDelete
  46. ඇන්ඩිගේ තාත්තා ඇන්ඩද කොහෙද? තාත්තව තම්බන්න ඌට ලේසි වෙන්නේ නෑ වගේ.

    දැන් ඉතින් දෙවෙනි කොටසත් බලන්න එපැයි...

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>