Wednesday, April 17, 2013

64. මළා හා සමානයි. / Playing Dead. Part 2




පළමු කොටසට මෙතනින්.

තාත්තා කාමරෙන් එලියට යනවා.

අම්මා ඇඳ ලඟ බිම දණ ගහගෙන, මගේ කම්මුලට හාදුවක් දීලා, එයාගේ අතින්
මගෙ ඇරිලා තියෙන ඇස් පිහා‍ටු වහනවා.  හරියටම අර චිත්‍රපටිවල කරනවා වගේ.  මේක කොච්චර හැඟීම්බර මොහොතක්ද කිව්වොත්, තව පොඩ්ඩෙන් මට අමතක වෙලා ආයේ ඇස් අරිනවා.

"ලෝකයා මොනවා කිව්වත්, ඔයා හොඳ දරුවෙක් වුනා මට," අම්මා කොඳුරනවා.

ටිකකින් අම්මත් එලියට යනවා.


දැන් මට ඇස් අරින්න බයයි, අම්මා එක පාරටම කාමරේට ඇවිත්, මම ඇස් ඇරගෙන ඉන්නවා දැකලා හොඳටම බයවෙයි කියලා. එයා අදට බය වෙලා ඉන්න ටික හොඳටම ඇති.

මට වෙලාවකට හිතෙනවා අම්මට ඇත්තම කියලා දාන්නත්.

නමුත් එයාව තවත් බය නොකර කොහොමද  එහෙම කරන්නේ? අම්මා මම මැරිලයි කියලා හිතාගෙන ඉන්න වෙලාවේ, මම එක පාරට නැගිටලා, කුස්සියට ඇවිදගෙන ගිහින්, "අම්මේ මම මැරිලා නෑ. මම ජොලියට එහෙම කලේ," කියලා කියන එක්ක එච්චර ඇඟට ගුණ වැඩක් කියලා මම  හිතන්නේ නෑ.

හැබැයි මම ඇත්ත නොකීවොත් මට වෙන්නේ, අපේම ගේ පිටිපස්සෙ සීතල මඩ වලක වැලලෙන්නයි.

ලෝක විනාසෙ වෙනකල්, පණුවෝ තලු මර මර මගේ ඇස් බෝල සූප්පු කරයි. මේක කොච්චර පට්ට ආතල් විහිලුවක් වුනත්, ලැබෙන්න යන  රිටර්න් එක නම් සෙල්ලං  නෑ වගේ.  ඕන්නැති සෙල්ලං දාන්න ගිහින් සල්ලං වෙන්න වෙයිද මට?

ලෙමන් ගහ තියෙන්නේ මගේ කාමරේ ජනේලෙ ලඟමයි.  මට ඇහෙනවා තාත්තා විස්ල් එකක් හෙම ගහ ගහ වල හාරන සද්දේ.

විස්ල් එකක් ගහ ගහ?

මම මෙහෙ මැරිලා. තාත්තා සින්දුවක් විස්ල් කරනවා! තාත්තට මොනවා වෙලාද? තාත්තට ඇත්තටම පිස්සුද? සාමාන්‍ය මිනිස්සු විස්ල් කරනවායැ තමන්ගේ පුතා මලාම? ඔක්කොටම ඉස්සෙල්ලා, සාමාන්‍ය මිනිස්සු ගේ පිටිපස්සෙ මිනී වලදානවායැ ?

මම තාත්තගෙ විස්ල් එක අහගෙන ඉන්නකොට මට දැනෙනවා ඒකෙ අමුත්තක්...

 
මේක සාමාන්‍ය විස්ල් එකකට වඩා වෙනස්.
මේක ඊට වඩා සද්දයි.
මේක ඊට වඩා නැටවෙන ටියුන් එකක්.
තාත්තට නැව ගිලුනත් බෑන්චූන්ද?

දැන් මට තේරෙනවා. 

මේ දෙන්නා මගේ ලණුව ගිලලා නෑ. මේ දෙන්නා හදන්නේ  මට ලණුවක් ගිල්ලවන්න. ඒ දෙන්නට ඕනෙ, ඒ දෙන්න මගේ ලණුව කාලා ඉන්නෙ කියලා, මාව අන්දවන්න. මේ මාව ලෙමන් පළදාවට හොඳ කතාවල් ඔක්කොම නිකං මේ බුලක්.

මේ ඔක්කොම කරන්නේ මාව මට්‍ටු කරන්න.

මාව මට්‍ටු කරන්න එයාලාට ලේසි වෙන්නේ නෑ. අනික, මේ අර ඌරගේ මාලු ඌරගේ පිටේ තියලා කපන්න
නේ හදන්නේ? හුහ්, හිතුවා මදි මාව තම්බන්න!

මට හිතෙන හැටි - මගේ ඩෙනිම - මට හිතෙන හැටි - මගේ ඩෙනිම

මුළු උදයක්ම උඩ බලං ඉඳලා මට ඇති වෙලා.

ඇති යාන්තං, තාත්තා වල හාරලා ඉවරයි වගේ.

අම්මයි තාත්තයි කාමරේට එනවා. මට හිතා ගත්තෑකි ඊ ලඟට වෙන්න යන දේ.

මම හුස්ම අල්ලාගෙන, නොසෙල්වී ඉන්න උත්සාහ කරනවා.  තාත්තා මාව කිහිලි වලට යටින් අත දාලා උස්සද්දි, අම්මා මගේ කකුල් වලින් උස්සනවා. මම නියම මළ මිනියක් වගේ, බෙල්ල කඩා වැටිලා පැද්දෙන්න අරිනවා. එයාලා මාව ගේ පිටිපස්සට ගෙනිහින් ලෙමන් ගහ යට බිමින් තියනවා.

තාත්තා වලට බහිනවා මට ඇහි පිහා‍ටු අතරින් පේනවා. තාත්තා ආයෙම මගේ කිහිලි වලට යටින් අත් දාලා, මාව අදිනවා වල ඇතුලට. මගෙ විලුම් දෙක බිම දිගේ ඇතිල්ලිලා ගිහින්, වලේ ගැට්ට පැනලා  වලේ අඩියෙ වදිනවා 'දොහ්' ගාලා.

වල අඩියේ මඩ පසේ  සීතලයි, තෙතමනයයි මගේ පිජාමා එක විනිවිද යනවා මොහොතකින්. තාත්තා දැන් බලාගෙන ඇති මම පරාජය බාර අරගෙන ඇස් ඇරලා  'මම විහිලුවක් කලේ,'  කියලා කියනකල්.

බලාගෙන ඉන්න  මම කියයිද කියලා!

තාත්තා වලෙන් ගොඩ වෙනවා. අම්මා අර පුංචි නිල් පාට බයිබලය දිගෑරගෙන හරිම පහත්, නමුත් ශාන්ත හඬකින් යාඥාව කියන්න ගන්නවා.

"...Ashes to ashes...dust to dust..."

තාත්තා, බිම හිටවලා තියෙන ෂවල් එක ලඟම සීරුවෙන් හිටගෙන ඉන්නවා.


දැන් නම් මට හිතෙනවා මම කලේ ගොං වැඩක්ද කියලත්. තාත්තා වලට පස් දාන්න පටන් ගන්නවා. ආයෙ හිතන්න දෙයක් නෑ. ගොං වැඩක් තමයි.

පලවෙනි පස් ටික වැටෙන්නේ මගේ පතුල් දෙක උඩට.  ටිකකින් කකුල්  පස් වලින්  වැහීගෙන යනවා.  ඊ ලඟට බඩ. පපුවට වැ‍ටුන පස් කුට්ට්යෙන් විසි වුන පස්, මගෙ මූණේ කටේ හැම තැනම.

මොකක් හරි අවුලක් තියෙනවා. මගේ රඟපෑමෙ සුපිරි කමට අම්මයි තාත්තයි ඇත්තටම ‍රැව‍ටුනා වෙන්න බෑ.  ම්ම්ම්... එහෙම වෙන්න පුලුවන්ද භැබෑට?

ඒක වෙන්න බෑ. දැන් කොයි වෙලේ හරි දෙන්නා මේක නවත්තලා, 'බක-බක' ගාලා හිනා වෙන්න ගනී.

ඊ ලඟ පස් කුට්ටිය කෙලින්ම මගේ මූණෙ.

තව එකක්.

දැන් නම් මට මොකුත් හිතාගන්නත් බැරි තරම්. මොකද මම දැන් සම්පූර්ණයෙන්ම වැලලිලා වගේ මට දැනෙන නිසා. හුස්ම ගන්නත්  බැරි විදියයි. දැන්නම් බඩුම තමයි.

"හරි හරී, ඔයාලා දිනුම්. මම පරාදයි!" කියන්න මම කට අරිනවා. මොන! ලොකු පස් කුට්ටියක් කට ඇතුලට රිංගන නිසා සද්දෙ පිටවෙන්නේ නෑ.


කලුවරයි.

නිශ්ශබ්දයි.

සීතලයි.

කම්මැලියි.

මම කොච්චර කල් මෙහෙම ඉන්න ඇත්ද?

බඩු පැකට් වුනාවත්ද?

මම මැරිලද?

මම මැරිල නම්, මට තාමත් දේවල් හිතෙන්නෙ කොහොමද?

එක දෙයක් පැහැදිළියි.  මට මේකෙන් ගැලවෙන්න ලැබුනොත් - ඒක නම් දැන් කියන්න අමාරුයි - ආයෙ පණ තියෙන කල්, මේ වගේ ගොං ආතල් නම් ගන්න යන්නෙ නෑ, නෑමයි!

ඈ! මොකක්ද ඒ? මගේ බඩ උඩ  මොකෙක්ද දඟලනවා දැනෙනවා. මෙන්න ඒකා  පහුරු ගානවයි හාරනවයි වගේ දැනෙනවා, එකසිය ගානට!

ටිකකින්, මගේ බඩ උඩ තිබ්බ පස් වල බර සැහැල්ලු වෙලා යනවා. දැන් මෙන්න ඒකා මගේ පපුව හරිය පහුරු ගානකොට මට තේරෙනවා, මේ මොකාද කියලා.

සූටි ඇවිත් මාව බේරා ගන්න!  ඌට විතරයි තේරෙන්නෙ මම මැරිලා  නැති බව! ඌට  ඉව වැටිලා මගේ ඇ‍ඟේ උණුසුම!

පස් වල බර අයින් වෙච්ච ගමන් මම තීරණය කරනවා, වහාම ක්‍රියාත්මක වෙන පරිදි, මේ මැරුණු පාට් එක අතෑරලා දාන්න. මේක මාර කට්ටක් වුනානේ. කොටින්ම  ඉස්කෝලෙ යන්න වෙන එකත් මෙච්චරම චාටර් නෑනේ!

මම දුන්න වගේ නැගිටලා, වලේ ඉඳගෙන කෑ ගහනවා.

"හරි, මම වැ‍රැද්දක් කලා තමයි. මම ඒක පිළිගන්නවා. ඔයාලා දිනුම්! මම විහිලුවක් කලේ!"

මම මූණෙ ගෑවුණු මඩ පිහදාලා ඇස් දෙක පාදගෙන,  උඩ බලනකොට, මම දකින්නේ අම්මයි තාත්තයි මා දිහා හොල්මනක් දැක්කා වගේ බලං ඉන්න හැටි.

ඒ දෙන්නා ඇත්තටම බය වෙලා. මම මළවුන්ගෙන් නැගිටිනවා දැකලා ඒදෙන්නගේ ඇස්බෝල නළලෙ, කටවල් ඇරිලා නිකටවල් බිම ගෑවෙන සයිස්.

ඔන්න අම්මා යටි ගිරියෙන් කෑගහන්න ගන්නවා.  තාත්තා ෂවල් එක උස්ස ගන්නවා මට ගහන්න, හරියටම මම අර සොzම්බී කෙනෙක් වගේ.

"තාත්තේ, බය වෙන්න එපා තාත්තේ!" මම තාත්තව කූල් ඩවුන් කරන්න හදනවා. "මම කලේ මෝඩ විහිළුවක්.  සොරි, තාත්තේ."

ෂික්! මම කියන දේ තාත්තට ග්‍රීක් වගේ.  මෙලෝ වැඩක් නෑ. තාත්තා තවම, මම ලඟට ආවොත් ගහන්න ෂවල් එක උරුක් කර ගත්ත ගමන්, අම්මත් එක්ක අඩියෙන් අඩිය පස්සට යනවා, වලෙන් ඈතට.

පිස්සු ඩබල් වෙනවනේ!  මගේ ජෝක්  එක  චාටර්ම වෙච්ච හැටි! දැන් ඒක මගේ පස්සෙම පන්නනවා හි‍ටු කියලා! මාව දැකලා සතු‍ටු වෙන එකම එකා සූටියා විතරයි. ඌ වලේ ගැට්ටේ ඉඳගෙන මගේ මූණ ලෙවකන්න හදනවා. මම ඌව අහකට තල්ලු කලත් ඌ ආයෙම, ආයෙම එනවා මූණ ලෙව කන්න. ඌට ඒක සෙල්ලමක් වෙලා. අඩු ගානේ ඌවත් සාමාන්‍ය විදියට හැසිරෙන එක ලොකු දෙයක්.

ඔන්න එක පාරටම තාත්තා ෂවල් එක අතෑරලා, පපුව අල්ලගෙන පාත්වෙනවා. එයාගේ කට තාමත් ඇරිලා. මුලින්ම, එයාට දණ ගැස්සෙනවා.  ඊට පස්සෙ මුනින් අතට බිම වැටෙනවා...

එක පිම්මට වලෙන් එළියට පනින මම නතර වෙන්නේ තාත්තා ලඟ. මම තාත්තව අනිත් පැත්තට පෙරලලා බලනවා, එයාට හුස්ම වැටෙනවද කියලා.

තාත්තා හුස්ම ගන්නේ නෑ!!!!

අර ප්‍රථමාධාර පන්තියේදි කියලා දුන්න විදියට, මම මගේ අත් දෙක තාත්තගේ පපුව උඩ තියලා, මගේ මුළු බර දාලා තෙරපනවා. තුන් පාරක් පපුව තෙරපලා, එයාගේ නහය ඇඟිලි දෙකකින් මිරිකගෙන, ඔලුව බෙල්ලෙන් පස්සට නවනවා.  මම කටට කට තියලා කෘතිම ශ්වසනය දෙන්න හදනකොටම, අම්මා බෙරිහන් දෙනවා.


"අහකට පලයං සොZම්බී!  එයාව අතෑරපං... මල පිල්ලිය උඹ!"

"මම සොZම්බී කෙනෙක් නෙවෙයි අම්මේ.  මම මැරිලා නෑ. මම  විහිලුවක්නේ කලේ!"

"උඹ එයාව අල්ලන්නේ නෑ, ලේ උරා බොන වැම්පයර්!"

"මට ඔයත් එක්ක වාද කරන්න වෙලාවක් නෑ අම්මේ! තාත්තව බේරගන්න ඕනෙ. එයාට වෙන පිහිටක් නෑ මේ වෙලාවේ මා හැර."

මම ගැඹුරු හුස්මක් ගන්නවා. අම්මා ඒ ගමන හිනාවෙන්න ගන්නවා, හිටි හැටියෙම.  මේ වෙච්ච දේවල් වලට එයාගේ මොලේ අප්සෙට් වෙලා වගේ. මමයි මේ ඔක්කොටම වග කියන්න ඕනෙ. අම්මට කලින් තාත්තව බේරාගන්න ඕනෙ.  ඒක තමයි ඉස්සෙල්ලම කරන්න ඕනෙ.


මම තවත් ගැඹුරු හුස්මක් අරගෙන මගේ කට තාත්තගේ කටට තියන්න හදනකොටම,  තාත්තා එක පාරටම පොඩ්ඩක් දඟලලා, මොනවදෝ කියමින් කෙඳිරි  ගන්නවා. ඉන් පස්සෙ  එයා අමාරුවෙන් කීස් හඬින් හුස්ම ගන්නවා. ඊට පස්සෙ බිම පෙරලමින් හිනා වෙන්න ගන්නවා.

තාත්තා ඇස් ඇරලා බලනවා. ඒ ඇස් කඳුලු වලින් පිරිලා, හිනාවෙලාම.

"මටත් කියනවද මොකක්ද මෙතන තියෙන විහිළුව කියලා," මම අහන්නෙ බැරිම තැන.

"ආ, නැතුව, නැතුව?" අමාරුවෙන් හිනාව නවත්තාගන්න තාත්තා කියනවා. "අපිත් මේ විහිළුවක් කලේ!"


එහෙම කියලා දෙන්නා එක්කම බිම පෙරලි පෙරලි  හිනා වෙන්න ගන්නවා, කලින්ට වඩා හයියෙන්. දෙකට නැමිලා, බඩවල් අල්ලාගෙන හිනා කනවා. හරියටම, පිස්සු හැදිච්ච ජෝඩුවක් වගේ.  සූටියාත් බිම පෙරලි, පෙරලි හති හලනවා. හති හල හල බිම පෙරලෙනවා. 

මට සිද්ධියෙ බරපතල කම තේරෙන්න ටික වෙලාවක් යනවා.

දෙයියනේ, එයාලා දිනුම්!

මමයි චාටර් වුනේ!

මමයි ඇදගෙන නෑවේ!!

මමයි ලණුව කෑවේ!!!

ඔන්න මගේ ධනාත්මක අහවල් එක මතුවෙනවා.

පෙරළුණු ඔරුවේ මේ පැත්තත් නරක නෑ. කකුල් දෙක දෙපැත්තට දාලා ආතල් එකේ ඉඳගෙන ඉන්න පුලුවන්නේ!

මීට වඩා නරක යමක් වෙන්න තිබ්බා.

වෙච්ච දේ නරකම නෑ,

මම තෙමිලා සීතලේ වෙව්ල වෙව්ලා ඉන්න බව ඇත්තයි.

මම ඔලුවේ ඉඳන් පතුල් දෙකටම මඩ නාගෙන ඉන්න බවත් ඇත්තයි.

මමම කරපු මෝඩ ජෝක් එක මටම පත්තු වෙලා, මගේ වැඩෙන් අම්මට පිස්සු හැදිලා, තාත්තා මැරුණා කියලා මමම  ‍රැව‍ටුන බවත් ඇත්තයි.

හරි හරි ඒ ඔක්කොම ඇත්ත තමයි, මම නෑයි කියන්නේ නෑ.

මගේ ජෝක් එකෙත් මෙලෝ රහක් නෑ තමයි!

ඒ වුනාට, අද මට ඉස්කෝලෙ නොගිහින් ඉන්න ලැබුනනේ. හික් හික්!

ඒකම මදිද?


 නිමි.

 

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ලියූ Just Joking කෙටිකතා එකතුවේ Playing Dead කෙටි කතාවේ සිංහල අනුවාදයි.



Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.
 

98 comments:

  1. පළවෙනි කොටස දෙවෙනි කොටසට වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. මට මේක දෙකට කඩන්න සිද්ද වුනාට මේක ඉතින් එකම කතාවනෙ, හැලපේ.

      Delete
  2. අය්යෝ ඩූඩ්.අර වලට පස් දාන හරිය කියවද්දි හුස්ම නැති වුනා.මම හිතුවෙ ඒ හරියෙදි, තාත්තා තමන් කලේ විහිලුවක් කියල එලි කරයි කියල.දිගටම වෙද්දි මම හිතුව තාත්තා ‍රැවටිලා කියල. හරි ලස්සනයි. ගොඩක්ම ලස්සන ඔයාගෙ අමුතුම භාෂාව තමා.

    කොල්ලා හරි කට්ටයා වුනාට හරි ලොජිකල් නේද? මටත් ආසයි එයාගෙ කතා කියවන්න. ඊ-බුක් එකක් නැද්ද?කන්ග්‍රැ‍ටුලේෂන්ස්! (මට බැනෙ තාම සින්හල වචන මැද ඉන්ග්‍රිසි වචන දාන්න.)

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තෙන්ම මගේ භාෂාව නෙවෙයි. අපි සාමාන්‍යයෙන් කතා කරන නූතන භාෂාව.

      හයියෝ මේ ඉංග්‍රීසි ටයිප් කරන එක ගැන නිල් මානෙල් අහපු හැම තැනකම මම උත්තරේ දීලා තියෙනවා යටින්. ඔන්නම් බලන්න ආපහු ගිහින්. අතර | | ටයිප් කරන්න.

      Delete
    2. මේක ඇත්තෙන්ම මගේ භාෂාව නෙවෙයි. අපි සාමාන්‍යයෙන් කතා කරන නූතන භාෂාව.

      no offence.That is what I too meant.

      Delete
  3. ඩුඩ් මේ කතාවට කියන්න මට එකම එක ඉන්ග්‍රීසි වචනයයි එන්නේ... Splendid!!!!

    ඇත්තටම ඩුඩ්ගෙ පරිවර්තන ඔක්කොම අතරින් මම කැමතිම මේකට....මේ දවස් ටිකේම මේල් එකේ බල බල හිටියෙ දෙවනි කොටස ඇවිත්ද කියල..... :D :D :D

    චිත්‍රෙ හරිම තාත්විකයි....

    ඩුඩ් මල්ටිටැලන්ටඩ් කියල අම්ම කියන්නෙ නිකන් නෙමයිනේ...ඇත්තටම අද මට හොදට නින්ද යයි...මේක කියෙව්වනෙ....:D :D

    මේ කතාවේ අපි හිතාගන්න එක සැරෙන් සැරේට වෙනස් වෙනවා.....මුලින් හිතුවෙ අම්මල ‍රැවටිලා කියලා...පස්සේ දන්නව කියලා....ආයෙම හිතුනා ‍රැවටිලා වත්ද කියලා....

    ඩුඩ් මේක උපරිමයි :D :D :D

    ReplyDelete
    Replies
    1. පුදුමේ කියන්නේ යවුවනයෙක් නොවීත්, මමත් මේ කතාවල් වලට පුදුම ආසයි. ඊයේ රෑ අනිත් අය නිදා ඉන්නවෙලේ මම කියෙව්වා මේකගේ කතාවක් Cake of Doom කියලා. හයියෝ, මම හිතුවේ මම හිනා වෙනකොට අනිත් අය ඇහැරෙයි කියලා.

      Delete
  4. මම හිතුවෙ පස් දාන හරියෙදි The End.වැටෙයි කියල.නියමයි.මරු.තව...................... :).

    ReplyDelete
    Replies
    1. මචං මම The End කතාව මැද විසි වතාවක් විතර එන කතාවක් ඊයේ කියෙව්වා. හිටිංකෝ ඒකත් දාන්න උඹලගේ රසාස්වාදයට. :))

      Delete
  5. වර්ණනාවිෂයාතික්‍රාන්ත පරිවර්තන හැකියාවක් පෙන්නුම් කරන මේ ලියන්නාට මේ දින වල වෙනත් ලියන්නෙක් මෙයාකාරයෙන්ම පස් යට වැළලීමට සිත් වී තිබේලු.

    ReplyDelete
    Replies
    1. බොලා මේ අයිඩියාස් නොදී හිටින් රාමා...මන් මේ දත කන්නෙ හැලප ටිකක් දීලා ශේප් කර ගන්න.... එනවා මෙතන !

      Delete
    2. @රාමා: හක්ක පැන්නා බං. ඒකයි කිසි කෙනෙකුට රිප්ලයි නොකලේ විංකලේට ගිහින් හක්ක ආපහු දාගන්නකල්. හැබෑටම මොකද්ද බං වර්ණනාවිෂයාතික්‍රාන්ත කියන්නේ? (කොපි පේස්ට් කොලා වචනේ)

      @වෙනී: උඹ බය නොවී ඉඳිං වෙනී. මගේ කිසිම අදහසක් නෑ ලියන්නෙක්ව වලලන්න. ඔය වෙන වෙන ප්ලෑන් වගෙයක් තියෙන්නෙ. ඒක නෙවෙයි. උඹ දත කන කතාව කිව්වාම මතක් වුනේ, උඹ බැලුවද මඩිස්සලේ නිසාන් කැවුම් එක්ක දතක් කාපු සීන් එක?

      Delete
    3. වර්ණනාවිෂයාතික්‍රාන්ත කියන එකේ සිංහල තේරුම ineffable කියන එකයි. :)

      Delete
  6. එලකිරි වගේ.. මට මං හොර ලෙඩ අරං ඉස්කෝලෙ නොගිහින් ඉන්න හදපු හැටි මතක් උනා. හැබැයි අම්මා විතරයි ‍රැව‍ටුණේ.. තාත්ත ගෙදර නැති හින්දයි ට්‍රයි කලේ.. ඒකටත් හරියන්න අපෙ අක්කා පොඩ්ඩ..මං බඩේ අමාරුවෙන් පෙරලි පෙරලි ඉන්නකොට මෙන්න මෙහෙ එනව යන්න බොරු නොකර කියල මාව ඇ‍ඳෙන් ඇදල දැම්මා. උන්දෑ එක්ක කවදාවත් බැරි උනානෙ හොර ලෙඩක් ගන්න..

    ReplyDelete
    Replies
    1. අනේ පව්. අම්මා විතරයි ‍රැව‍ටුනේ? අම්මා උඹේ මායං වලට අහුවෙලා ඉන්න ඇති ගෑණු කෙනෙක් වෙලත්. ඒ කියන්නේ උඹේ මායම් අර 64ම override කරලා? :))

      Delete
  7. //මගේ ජෝක් එකෙත් මෙලෝ රහක් නෑ තමයි!

    ඒ වුනාට, අද මට ඉස්කෝලෙ නොගිහින් ඉන්න ලැබුනනේ. හික් හික්!

    ඒකම මදිද?//

    කොල්ලා දිනුම් තමයි.

    ReplyDelete
  8. අන්තිම වෙනකල් හිතාගන්න බැරිවුනා විහිළුව කවුද කරන්නෙ කියල. නියමයි ඩියුඩ්

    ReplyDelete
    Replies
    1. ඔව් බං වමට සිග්නල් දාල දකුණට හරවනවා ඇන්ඩියා.

      Delete
  9. නියම කතාවක් ඩූඩ්. අන්තිම මොහොත වෙනකල්ම මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බෑ.

    එක දවසක් හරි කොල්ලට ඉස්කෝලෙ නොගිහිං ඉන්න පුලුවං උනානෙ. ඒ හින්ද මිනිහ දිනුම්.

    ReplyDelete
    Replies
    1. එක දවසක් හරි කොල්ලට ඉස්කෝලෙ නොගිහිං ඉන්න පුලුවං උනොත්, මටත් හිතෙන්නෙ ඔය විදියටමනේ බං.

      Delete
  10. ප්‍රෙඩේටර් 2 ෆිල්ම් එක වගේ.... මුල් කෑල්ල මැක්සා ඒත් දෙක අෆ්සැට්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ. ඒ මට මේක දෙකට කඩන්න වුන නිසා. නැතිනම් මේක තනි කතාවනේ.

      Delete
  11. කියවන් යද්දි එක පාරට හිතුනා අම්මයි තාත්තයි රැවටිලාද කියලා අනේ අම්මෝ බබෙක් එහෙම හම්බවෙන්න ඉන්න කාලෙට කියවන්න නරකයි මේ ඇන්ඩි ගැන මේ වගේ කොල්ලෙක් හම්බවුනොත් එහෙම.. :O

    ReplyDelete
    Replies
    1. ඔෆීස් එකක යාලුවො දෙන්නෙක් කතාවෙනවලු. මේ දෙන්නගෙම වයිෆ්ලා පලවෙනි බබා හම්බවෙන්නලු ඉන්නෙ.

      මචං මගේ වයිෆ්ට ඇරෝමියෝ 'න් ජුලියට් පොත හොයාගෙන යන්න කිව්වා කොහොම හරි. එයාට ඕනෙ ඒ වගේ ලස්සන කෙල්ලෙකුයි කොල්ලෙකුයි නිවුන්නු දෙන්නෙක්ලු.

      මචං එහෙම පොත් කියෙව්වාම හම්බවෙන්න ඉන්න බබාට ඒකෙ බලපෑමක් තියෙනවද?

      එහෙම කියනවා මචං ඔය මනෝ වෛද්‍යවරු. ඒයි ඒයි, උඹ කොහෙද ඔය ගාල දඩි බිඩියේ දුවන්නෙ?

      මල @#$%$# යකෝ. මම ගෙදර දුවනවා. මගේ වයිෆ් කියවන්නේ අලි බබා සහ හොරු හතලිහ මේ දවස් වල.

      Delete
  12. හරිම අපුරුයි....:)
    හැබැයි "clean sweep ignatius"තාම මං ආසම කථව.
    මොකෝ ඒ වගේ "දේශප්‍රමින්" අපේ රටේ ඕන තරම් ඉන්නවනේ....:P
    මේ නොදන්නා නිසයි අහන්නේ පරිවර්තනය,අනුවර්තනය අතර වෙනස මොකක්ද...?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මනෝජ්.

      පරිවර්තනය සහ අනුවර්තනය වෙනස ගැන උත්තරයක් දෙන්න මට වඩා සුදුසුකම් තියෙන අය ඕනෙ තරම් මේ බ්ලොග් එක කියවනවා ඇති.

      නමුත් මට හිතෙනවා මෙහෙම. පරිවර්තනය කියන්නේ හැකිතාක් දුරට මුල් පිටපතේ ඇති දේම වෙනත් බසකට නැගීම.

      අනුවර්තනය ඊට වඩා ලිහිල්ව වඩා ගැලපේ යයි හැ‍ඟෙන යම් යම් වෙනස් කම් ඇතිව වෙනත් බසකට නැඟීම.

      මම හිතනවා මම සත්‍යයට තරමක් ආසන්න ඇතිය කියලා. :)

      Delete
    2. බොහෝම ස්තුතියි,පැහැදිළි කිරීමට....:)

      Delete
  13. නියමයි මචං...අන්තිමයි.....ඒ කිව්වෙ අන්තිම ඉහළයි..

    මේ පොඩි වැඩක් කරපංකො තරහ නැතුව...මගෙ මේ අල්ලපු මේසෙ ඉන්න එකා... ඌ ඉන්දියන්..අනේ බං ඒත් උගෙ අම්මට බණින්න එහෙම එපා..ඌ හරිම හොඳ එකා මම දන්නව උඹට Bharathphobia ලෙඩේ තියනව කියල ඒත් මා වෙනුවෙන් මේක කරපං හොඳ එකා වගෙ...

    වැඩේ මේකයි...අර ඉන්දියානුවා අහනව මොකද හිනාවෙන්නෙ කියල ඒ පාර මම විස්තරේ කිව්වම ඌට ඕනලු ඒක කියවන්න...ඒ නිසා අනේ බාං මේක ඉංග්‍රීසියට පරිවර්තනය කොරල එවහංකො හොඳ එකා වගෙ....

    ReplyDelete
    Replies
    1. @Ravi,
      මේ කොමෙන්ටුවට නම් තෑග්ගක් දෙන්නම ඕන අප්පා..!!

      Delete
    2. හික් හික්.

      මේ කතාව ඕනෙ නම් පණ පිහි‍ටුවලා ඌට කියන්න උඹටම පුලුවන් බව උඹම දන්නවා වුනාට, බුවාලා සහ බුවාලගේ sense of humor එක ගැන අතැඹුලක් සේ දන්න උඹ, ඉන්දියානුවෙක්ව සිනහ ගැන්නීම ගැන එච්චර විශ්වාසයක් නැති නිසා ඒකත් මගේම ඇ‍ඟේ ගහන්න හදන්නේ නේද?

      අපි නම් අහුවෙයි ඕවට. හැක් හැක්. :))

      ඔයිට ලේසියි ඔතන කෙසෙල් ලෙල්ලක් දාල තියාපං බිම. :)

      Delete
  14. තැන්කියු තැන්කියු....

    අපේ කෙලිටත් මන් කිවා ඔය Andy Griffiths ගේ පොත් තියේ නම් ගේන්න කියලා .

    ReplyDelete
    Replies
    1. මෙන්න උදව්වක්,

      Just Wacky
      Just Stupid
      Just Annoying
      Just Joking
      Just Disgusting
      The Day My Butt Went Psycho
      Zombie Butts From Uranus

      Delete
  15. මේකා නම් මේ තාත්තගෙම පුතෙක් තමයි කතාවෙ හැටියට... නියමයි හෙන් රි...

    ReplyDelete
    Replies
    1. ළමයින්ට අමතක වෙන දෙයක් තමයි, තාත්තා අම්මාත් ළමා කාලයක් තිබුන බව මෑත අතීතයේ. :)

      Delete
  16. නියමයි මචං... කතාවේ අවසානය එක එක පැත්තට යොමුවෙනවා, ආයෙත් වෙනස් වෙනවා, අන්තිම වෙනකං ෂුවර් නැතුව හිටියේ මොනවා වෙයිද කියලා. කතාව සහ පරිවර්තනය එල.

    මට යෝජනා දෙකක් තියනවා.. එක. zසොම්බී නමට සිංහල නමක් හොයා ගනිං... මල පෙරේතයා? දෙක. කතාවේ කික් එක මාතෘකාවේ නෑ. "පණ යන සෙල්ලම"?

    ReplyDelete
    Replies
    1. මධුර ඩික්ෂනේරියේ නම් තියෙන්නේ පිල්ලිය කියලා..ඒත් ඒක මෙතනට ගැලපෙන්නෑ..භූතයා කිව්වොත් හරි මම හිතන්නේ..

      Delete
    2. පිල්ලිය වඩා හොඳයි වගේ. තේරුම 'භූතයා' කියන එකම තමයි.

      Delete
    3. පිල්ලිය කියන්නේ කවුරු හරි විනාශ කරන්නට ජප කරලා යවන භූතයෙක් නේද...? බල්ලෙක්, සර්පයෙක්, මනුස්සයෙක්... ඕන එකෙක් ගේ වෙසින් එන්න පුළුවන් ලු. වැරදි නම් දන්නා කෙනෙක් පහදන්ටෝ...

      Delete
    4. චන්දන කියන දේ හරි කියලා හිතනවා, පිල්ලිය සත්තුන්ටත් අදාලයි, හැබැයි zසොම්බි කියන එකත් සත්තුන්ට අදාලයි මං හිතන්නේ. zසොම්බී කියන්නෙ, ආත්මයක් නැති ශරීරය ට මන්තර බලෙන් පණ දීමක් වගේ එකක් කියලා තමයි කියන්නෙ. පිල්ලිය, zසොම්බී කියන අර්ථයට වඩා සමීපයි කියලා හිතනවා. පිල්ලිය, zසොම්බී දෙකම (මැරුණු ) ශරීරයක් මන්තර බලයෙන් නැගිට්ටවලා පාවිච්චි කිරීම සඳහා තමයි ගන්නෙ.

      Delete
    5. ස්තුතියි තිසර, උඹ යෝජනා කරන නමත් ඇත්තෙන්ම නියමයි. මට කලින් මතක් වුනා නම් දානවා. මළා හා සමානයි කියන්නෙත් එක්තරා කාලෙක හිට් වෙච්ච කෑල්ලක්. උඹ ඒකිගෙ තාත්තට මාට්‍ටු වුනොත් මළා හා සමානයි වගේ. ඒකයි මම ඒක දැම්මේ.

      Zombie ගැන උඹලම ඔය කියල තියෙන්නේ ඇතිවෙන්න. උඹ කිව්වාට පස්සෙ මම අර නාමල් ඩික්ෂනරි කියන එකේ බැලුවා. ඒකෙ තියෙනවනේ සොම්බි කියලා වචනෙකුත් සිංහලෙන්. :-O

      Delete
  17. මරේ මරු ඩූඩ්. පරක්කු වුනා වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉමල්ක, මේ දවස් වල පස්ස පැත්තට පෙට්‍රල් ගහපු බල්ලා වගේ තමයි. බිසි. අනික චිත්‍රයක් ඇඳගන්නත් දවසක් දෙකක් පරක්කු වුනා. :(

      Delete
  18. පළවෙනි කොටස වගේ නෙමේ, මේ කොටසේ අන්තිම වෙද්දි විහිලුව මොකක්ද කියලා තේරුම් ගන්නත් බැරුව ගියා. :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇන්ඩිටත් වුනා, කතුවරී. විහිළුව කොයිකද කියලා හිතාගන්න එක මම කියන්නේ.

      Delete
  19. ඊළඟ පරිවර්තනය කවද්දෝ?

    ReplyDelete
    Replies
    1. හයියෝ! :-O

      ඇයි දැන් මගේ ඔරිජිනල්ස් වලට ආසා නැද්දෝ? :))

      Delete
  20. මේක හරියන්නෑ ඩූඩ් අයියේ... දැන් මං කමෙන්ට් කළේ මොකේ තිබ්බ කතාවටද... ? හි හි

    ReplyDelete
    Replies
    1. අනිකට. ඇයි බං ෆෝම් පුරවනකොට මතක් වුනේ නැද්ද ඒක WordPress කියලා? :D

      Delete
  21. මේක බලලා මගෙ පිස්සුත් ඩබල් උනා. :D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ 50% අඩු වුනා!!! :D

      Delete
  22. පට්ට පට පට...

    කතාව අපේ එකක් කලාට.. ආයේ ආයෙම වර්ණනා කරන්න ඕන නෑ නේ. කියන්න තියෙන ඔක්කෝම කියලා ඉවරයි. මේවා ආශ්‍රයෙන් අනාගතේ නම්බර් වන් පොත් ලියන්නෙක් බිහිවන එකනම් ඒකාන්තයි.

    ReplyDelete
    Replies
    1. තැංකූ මචෝ. :)

      මම මේ දීපාටත් මේ දැන් කිව්වේ, හැලප ලොකු අයියගේ පටන්, ඉස්කෝලෙ යන ඉමල්ක කොලුවා දක්වාම, ගෑණු පිරිමි බේදයකින් තොරව, මේ (යොවුන්) ළමා කතාවලට දක්වන ආසාව පුදුමයි නේද? :)

      Delete
  23. නියමයි. කුතුහලයෙන් පිරිලා. කියවන්න ආස හිතෙන විදියට, නියමෙටම ලියලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිපුනි. අන්න ඒ ගමන අමතන්න ලේසියි. :)

      Delete
  24. ඇන්ඩි කොල්ලා කෑවා නේද ටොපිය.. ආයේ ඉතින් හිතන්න දෙයකුත් නෑ. ඒකාගේ තාත්තාගේ ගැටේට නේ ඌ අහු වුනේ. :)

    මරේ මරු..

    ReplyDelete
    Replies
    1. තාත්තත් පොඩි කාලේ ඔය ජාතියෙම වෙන්න ඇති. ආයෙ ඒකෙ අහන්න දෙයක් නෑ.

      ස්තුතියි චන්දන. :)

      Delete
  25. තාත්තයි පුතයි ජාඩියට මූඩියට වගේ :D

    ReplyDelete
    Replies
    1. නැත්නම් මූත් එක්ක ජීවත් වෙන්න බෑ හසිත. :)

      Delete
  26. මේ පොත ලංකාවේ ගන්න තියේදෝ ....එළ හොදේ ....

    ReplyDelete
    Replies
    1. අනේ ඒක නම් දන්නේ නෑ හස‍රැල්.

      ආ.අර බින්දිට දීපු උත්තරේ බලන්න හස‍රැල්. ඒ තමයි එයාගේ පොත්.

      මොකෝ බං මේ ‍රැල් වෙන් වෙලා? හස‍රැල් එක වචනයක් නෙවෙයිද? :-O

      Delete
  27. පිස්සු ෆැමිලි එකක්නේ :D

    ReplyDelete
    Replies
    1. ඉතින් හොඳයිනේ, නිශාන්. :)

      Delete
  28. නියම කතාව අනිතිමට එක දවසක් ඉස්කෝලේ නොගිහින් ඉන්න පුළුවන් උනා නේ.

    කිහිප දෙනෙක් කියපු වගේ පලවෙනි කොටස ගොඩාක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙන්නෙ මට කතාව දෙකට කඩන්න වෙච්ච නිසා. නැතිනම් උඹලට එහෙම හිතෙන්න විදියක් නෑ.

      ස්තුතියි අසරණයා. මොකද බං සද්දේ වහලා. :(

      Delete
    2. මාර කම්මැලි කමක් ගහල තියෙන්නේ.හැම දාම හිතනවා මොනවා හරි ලියන්න.එත් වෙන්නේ නැහැ.

      Delete
  29. හපෝ අර කටට පස් වැටෙන හරියේදී මට හිතුනෙම කොල්ලට බඩු හම්බ උනා තමයි කියලා. තාත්තයි අම්මයි මරු වැඩනේ කරන්නේ. මොනවා උනත් අර කිව්වා වගේ ඉස්කෝලේ නොගිහින් ඉන්න ලැබුනානේ :)

    ReplyDelete
    Replies
    1. මමත් බය වුනා මූව වලලනකොට. නමුත් තුනී පස් තට්‍ටුවක් දාල තියෙන්නේ මූණට. :)

      Delete
  30. කොහොමහරි ඇන්ඩිට ඕනෙ වැඩේ වෙලා නේ. :D

    ReplyDelete
    Replies
    1. මොන කැපවීම කරලා හරි, අරමුණ ජය ගත්තා, නැද්ද? :)

      Delete
  31. eka husmata kiywa..kutuhalyan pirila..max..a.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංජීව. මම ඊයේ රෑත් මේකගෙ කතවක් කියවලා කඳුළු එනකල් හිනාවුනා. ඒකත් දාන්න ඕනෙ.

      Delete
  32. මගේ පෝස්ට් අප්ඩේට් වෙන්නේ නෑ. :(

    ReplyDelete
  33. මාර තාත්තෙක්නෙ ඇන්ඩිගෙ තාත්තා.. මටනම් හිතුනෙ එදා මිනිහටත් වැඩට යන්න කම්මැලි හිතිලා කියලයි.. :D

    අනුවාදය උපරිමයි.. තව ඕනා..

    ReplyDelete
    Replies
    1. තාත්තගෙ විතරක් කොන්ඩෙ කළු වුනේ මොකෝ ?

      Delete
    2. තාත්තටත් වැඩට යන්න කම්මැලි හිතුනද දන්නේ නෑ තමයි බං උඹ කිව්වත් වගේ. මම අර ඔයා කවුරු වෙන්නද ආසා කියන පෝස්ට් එකේදිත් කිව්වේ අර ගිටාරිස්ට්, "වත්තේ කානුවක් කපන එක හොඳයි කියලා වැඩට යන්නේ නැතිව," කිව්වයි කියලා. :)

      ඇයි බං තාත්තගෙ කොණ්ඩෙ කලුවෙන්න පුලුවන්නේ. එයා, අම්මට සම්බන්ධතාවයක් නැති නිසා ජානමය වශයෙන්. :)

      Delete
    3. ඩූඩ්,

      නෑ මම කිව්වෙ, බහුතරයක් සුද්දන්ගෙ කොන්ඩෙ තඹ පාටනෙ.. ඒකයි..

      Delete
  34. මම කල්පනා කළේ මචං ඔහොම දෙයක් පුංචි කාලේ මම කළානම් අපේ තාත්තා මොනවා කරයි ද කියලා ... කෝ‍ටුවක් අරගෙන පස්ස පැත්තට දෙකක් දීලා 'පල ඉස්කෝලෙ ..' කියලා පන්නනවා ෂුවර්.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා නම් මට ගහලම නෑ බං. අම්මා ඒකටත් එක්ක. ඒක නිසාම අපි අම්මට බයම නෑ මොකද එයාගේ ගුටි වල ප්‍රොපර්ටීස් දන්න නිසා. :D

      Delete
  35. හත්තිලවුවට ගහපු කලාබරේ කිවුවලු... ඔහොමත් විව්හිලු කරනවද මං අහන්නේ... අම්මියෝ.. මාව නම් බයටම මැරිලා තියෙයි..
    මරු කතාව ඩූඩ්... ඔයාගේ පරිවර්තන මෙවුව එක නම් සුපිරිම සුපිරි...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. Different strokes for different folks කියනනේ පණූ. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි.

      ඌට තේරෙන බාසාවෙන්ම තමයි තාත්තයි අම්මයි රිටර්න් එක දීලා තියෙන්නෙ.

      ස්තුතියි අගය කිරීමට.

      Delete
  36. හෙන්රි
    සිංහලෙන්ම කියනවනම් මාවලස්.ඇන්ඩි ලොක්කා දන්නවනම් කතාව අපේකරලා කියලා සියදිවි හානිකරගන්නවා.කොහොමවුනත් පරන ඉල්ලීම නැවතත්.පොතක් ගහන්නපටන් ගන්න.
    පද්මකුමාරහෙන්රි
    සිංහලෙන්ම කියනවනම් මාවලස්.ඇන්ඩි ලොක්කා දන්නවනම් කතාව අපේකරලා කියලා සියදිවි හානිකරගන්නවා.කොහොමවුනත් පරන ඉල්ලීම නැවතත්.පොතක් ගහන්නපටන් ගන්න.
    පද්මකුමාර

    ReplyDelete
    Replies
    1. කුමාරව දැක්ක කල්. හරිම සන්තෝෂය. :-h

      සමහරවිට ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් සතු‍ටු වෙයි මම වාණිජ පරමාර්ථයකින් තොරව, අතින් කයිට් කරගෙන ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් කියන ලේඛකයව සහ නිර්මාණ සිංහලෙන් කියවන පාඨක සමාජය අතරට ගෙන යාම ගැන.

      ස්තුතියි යෝජනාවට කුමාර.

      Delete
  37. මේක ළමයින්ටත් කියවන්න දෙනවා. :)

    ReplyDelete
    Replies
    1. එයාලා මොකද කිව්වේ කියලත් මට කියනවා නේද සුමිත්?

      Delete
  38. ඩුඩ්,

    මේ අම්මයි, තාත්තාටයි, අක්කටයි , බලු පැටියාටයි, මෙ චුටි පිස්සාගේ මේ විදිහේ වැඩ හොදට පුරුදු නිසා හොදයි. :-SS

    මෙයාව නැනි කෙනෙක් එක්ක හරි ගාඩියන් කෙනෙක් එක්ක හරි දවසක්වත් දාලා ගියොත් අර මිනිස්සු එක්කෝ පිස්සෝ වෙනවා, එහෙම නැත්නම් ලෙඩ වෙනවා, එහෙමත් නැත්නම් හිරේ ඉන්න වෙනවා. D>

    ReplyDelete
    Replies
    1. ඇයි දවසක් ඇන්ඩිට සිද්ද වෙලා නිවුන්නු දෙන්නෙක්ව බලාගන්න. මතකද? :D

      Delete
  39. මං හිතුවේ මූව වලට දාලා බෙල්ලෙන් පාත ටික වළලලා තියයි කියලා දවසක්. බලාගෙන යනකොට තාත්තා ගේම දීලා තියෙන්නේ මොළෙන්නේ......

    මමනම් ඇක්ට් කරලා තියෙන්නේ නිදි වගේ ඉන්න. තව ඔලුවේ කැක්කුම්, බඩේ කැක්කුම්, etc......

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත අකමා. තාත්තා ගේම දීලා තියෙන්නෙ මොළෙන්,.

      ඇයි අපිත් එහෙම තමයි. ලේසිම බඩේ අමාරුව. :)

      Delete
  40. දැන් ඉන්න අන්ඩපාලයන්ට මෙච්චර දෙයක් කරන්ඩ බැහැ. උන්ගේ හිත එච්චර හයිය නැහැ. හැබැයි මේ වගේ ඇට්ටර කොල්ලෝ තමයි ජීවිතයේ අබියෝග කලින්ම හඳුනාගෙන ඒවාට නොබියව මූණ දෙන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අන්න විචාරක අලුත්ම පැත්තක් දැකලා. ඔව්, ඒක එහෙම වෙන්න පුලුවන් කියලා මටත් හිතෙනවා.

      Delete
  41. අදත් මම හොඳටම පරක්කුයි, දවස් කීපෙකින් ඊයෙ තමා බ්ලොග් බලන්න ආවෙ. හිතේ තියාගෙනම හිටිය ඇවිත් දෙවෙනි කොටස බලන්න ඕන කියල. කොහෙද, කට්ටියගෙ අවුරුදු උත්සවේ පෝස්ට් නිසා ඊයෙ එහෙම්මම වැඩේ අමතක වෙලා ගියා. ඕං අද ආවා.

    හුඟක් වෙලාවට වෙන්නෙත් ඕකම තමා, කාව හරි බයිට් කරන්න ගියොත් අන්තිමට ඌම තමා බයිට් වෙන්නෙ.

    මම හිතන්නෙ වැඩිහිටියොන්ට වඩා ළමයි ඇත්තටම හරියට හිතනව, දේවල් හිතෙන් මවා ගන්නව. ඒ අතින් ලේඛකයින්ට වඩා හොඳ පරිකල්පනයක් ළමයිට තියෙනව. ඉතිං ළමයින්ගෙ දෘෂ්ඨියෙන් කියන කතාවක් වෙන ඕනම කතාවකට වැඩිය මටනම් රසවත්. ඒක හරි අපූරු අත්දැකීමක්. මගේ හිතේ හුඟක් අය මේ වගේ කතාවලට ආසකරන්නෙ ඒක නිසා වෙන්න ඇති.

    මට මතක් වෙනව මමත් ඉස්කෝලෙ නොගිහින් ඉන්න කරපු වැඩ. අම්මලට හොයාගන්න බැරි වෙයි කියල මම තාත්තගෙ ඇඳ යට හැංගුනා මම එකවසරෙ ඉද්දි. ඒ දවස්වල මට උදේට නිතරම ඇඟට පන නැති ගතිය, අතේ පයේ අමාරු, ඔළුවෙ කැක්කුම් හරියට තිබ්බා. :D අපේ අයියා එකපාරක් සුදු ලූණු අතයට තියාගෙන නිදාගෙන අහුවුනා. කවුද කියල සුදු ලූණු අත යට තියන් නිදාගත්තම උදේට උණ ගන්නව කියල.

    අර ඇන්ඩිගෙ තාත්තව නම් ඇඳල තියෙන්නෙ ඔයා කණ්ණාඩියෙන් බලන්ම වෙන්න ඕන ඩූඩ්. බලන්නකෝ ඔය උඩ තියෙන ඔයාගෙ ෆොටෝ එකයි ඒකයි දිහා.

    ReplyDelete
    Replies
    1. ළමයිගෙ පරිකලපනය ගැන DDT කියන කතාව සහතික ඇත්ත. මතකද අර ප්ලාස්ටරේ කතාව. ප්ලාස්ටරේ අල්ලන්නත් ඉස්සෙල්ල මූට රිදිලා ඉවරයි. මමත් හිතනවා මේ කතා කාගෙත් ආදරය දිනාගන්න ඔය අපි කවුරු තුලත් තවම සැඟවිලා ඉන්න ළමයා හේතු වෙනවා කියලා.

      කොණ්ඩේ එහෙම එන්න ඇත්තේ අහම්බෙන් වෙන්නැති DDT මතකද මම එක පාරක් අර කණ්ඩලේ කියන කතාවට ඇඳපු චිත්‍රෙට නොදැනිම මගේ පුතා ඒ වයසෙදි ඉඳපු හැටියට ඇඳිලා තිබ්බා. ඇයි අර මඩපුවක් බැකප් කතාවෙ චිත්‍රෙත් විශ්වාස කරන්න බැරි විදියට පොරගේ නියම රූපේ ඇඳිලා තිබ්බා. මේවා වෙන්නේ යටි සිත ක්‍රියා කරන විදියට මම හිතන්නේ.

      Delete
  42. හෙහ් හෙහ්! කතාවෙ අවසානය වෙනස්ම විදිහක් නෙ. මේ පොත හොයාගෙන කියවන්න ඕන. පුළුවන්නන් අනික් කතා ටිකත් දාන්න.

    ReplyDelete
    Replies
    1. මේක හොයාගන්න අමාරු පොතක් නෙවෙයි මුහුදු.
      Scholastic මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ. :)

      Delete
  43. ඔන්න අන්තිමට අන්ඩියට වෙච්ච වැඩේ..

    බලාගෙන ගියාම ඌ දිනලා.....

    ReplyDelete
    Replies
    1. Heads - I win. Tails - you lose කියලා කියන්නේ ඕකනේ ගලපාතයෝ.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>