Tuesday, July 15, 2014

117. ප්ලාස්ටරේ / Band-Aid

යාලා කවදාහරි ඇ‍ඟේ ප්ලාස්ටරයක් අලවගෙන ඉඳලා තියෙනවද, ප්ලාස්ටරේ ඉවරවෙන තැනයි, හම පටන් ගන්න තැනයි අඳුනාගන්න බැරුව යනකල්?

මම ඉඳලා තියෙනවා.
ම්ම්ම්… ඇත්තෙන්ම මේ දැනුත්!


අද වෙනකොට, මම මේ ප්ලාස්ටරේ ගහන් ඉඳලා තියෙනවා එක දිගටම මාසම හයක්!

කොහොමද වැඩේ?


බොරු කියන්නෙ මොකටද, ප්ලාස්ටරේයි, මමයි අතර දැන් අන්‍යෝන්‍ය බැඳීමක් ඇතිවෙලා. සංසාරගත බැඳීමක්!


ඕං මම කලා පොඩි ගණනය කිරීම් ටිකක්, මේක තවත් පැහැදිලි වෙන්න.
මම මේ ප්ලාස්ටරේ අලවං ඉඳලා තියෙනවා:


දවස් 182 1/2ක් . ඒ කියන්නෙ පැය 4380ක්. නැත්නම් විනාඩි 262,800ක්.
හෝ තප්පර 15,768,000ක්. තවත් නිවැරදිව කිව්වොත් …,
හ්ම්ම්, ඒකට නම් පු‍තෝ ටිකක් වෙලා යයි, මොකෝ ඕං කැල්කියුලේටරේටත් කෙල වුනා වගෙ, බින්දුවලට ඉඩ නැතුවද කොහෙද, මම තප්පරේකින් දාහෙන් පංගු බලන්න ගියාම!


හරි ඒකෙන් වැඩක් නෑ. දැන් කොහොමින් හරි, ප්ලාස්ටරේට මාව දරුණු විදියට ග්‍රහණය කරගන්න මේ කාලය හොඳටම ඇති කියලා ඔයාලට පැහැදිලියිනෙ?

මම මේ ප්ලාස්ටරේ මෙච්චර කල් අලවං හිටියේ කාගෙ වැ‍රැද්දෙන් කියලද ඔයාලා හිතන්නෙ?

ඒක තනිකරම අපේ අම්මගෙ වැ‍රැද්ද!

අපේ අම්මා නිකං බර බර ගාන්නෙ, හරියට මේ ප්ලාස්ටරයක් කියන එකක් ඩොලර් මිලියන් තුනක් විතර වටිනවා වාගෙනේ. ආන්න ඒකයි, මට මෙච්චර කට්ටක් කන්න වෙලා තියෙන්නෙ, එකම ප්ලාස්ටරේ අලෝගෙන. අම්මා ප්ලාස්ටර් හංගලා අරන් තියලා තියෙන්නෙ, මට ගන්න බැරිවෙන්න. මම තුවාලයක් කරගත්ත වෙලාවට, තුවාලෙ කොච්චර දරුණු වුනත් කමක් නෑ, එයා දෙන්නෙ එකම ප්ලාස්ටරයයි. එච්චරයි.

ඒ කියන්නෙ එකමයි, ඒකමයි!

මම බැරිවෙලාවත් ඕක ගලවලා දාලා වෙන එකක් ඉල්ලුවොත්, ඕං කියනවා:

“හුහ්! මම ගෙදර ප්ලාස්ටර් හදනවා කියලා හිතුවද?”

“ප්ලාස්ටර් ගස් වලින් කඩනවා කියලා හිතුවද?”

“මෙතන මේ ප්ලාස්ටර් දන්සැලක් දාලා කියලා හිතුවද?”

කොච්චර ඉල්ලුවත් නෙවෙයිනෙ තව එකක් දෙන්නෙ. අනේ ඉතින් මමත් ප්ලාස්ටරයක් අලවාගත්තම ඔහේ තියෙන්න අරිනවා. හැබැයි මෙදා පාර නම් මම ටිකක් ඕනෙවට වඩා වැඩිපුර තියෙන්න ඇරියාය කියලයි මටත් හිතෙන්නෙ.

දැන්නම් මේක ගලවන්නත් ලේසි වෙන එකක් නෑ.
ඒ වුනාට දැන් මේක ගලවන්න වෙලා තියෙන්නෙ. ඇයි දන්නවද?
අද ඉස්කෝලෙ අපේ ගෲප් ෆෝටෝස් ගන්නවා.

මේ ප්ලාස්ටරේ තියෙන්නෙ මගෙ මූණෙ. හරියටම වම් ඇහැ යට .
මූණෙ ප්ලාස්ටරයක් අලෝගෙන ෆෝටෝ එකට හිටියෑකිද, ගොබ්බසේන වගෙ?




ගිය අවුරුද්දෙ ෆෝටෝ එක ගන්න කොටම, ගානට වෙලාවට ඇහි පිල්ලමක් වැදුනා . ඕං ඒකෙ මම ඉන්නවා නිදාගෙන.

ඊට කලින් අවුරුද්දෙ ගෲප් ෆෝටෝ එක ගන්න කොටම, මම හිටගෙන හිටපු බංකුව හරියටම, ඒ වෙලාවටම, පෙරලෙන්න වගෙ ගිය හන්දා, බය වෙච්ච පාර කට ඇරිලා, ඕං මම ඒකෙ ඉන්නවා යකෙක් දැකලා වගෙ කට ඇරගෙන!

මේ පාර ගනිංකො ප්ලාස්ටරයක් මූණෙ අලෝගෙන ! එතකොට, මුංට තව අවුරුදු ගානක් යනකල්, මාව මතක තියෙන්නෙ අර උනුත් එක්ක හිටපු හෙන මීටරේ හැටියට නෙවෙයි, අර ප්ලාස්ටරයක් මූණෙ අලෝගෙන ඉන්න මොංගල් ඩයල් එක හැටියටයි.

මටමනෙ වෙන්නෙ!

මේක මාර පජාත වැඩක්නෙ! මට හම්බ වෙන්නෙම නිකම්ම නිකම් ප්ලාස්ටර්! අනිත් උන්ට, හැම එකාගෙම අනුකම්පාව, අවධානය ලැබෙන, අර හැම එකාම අස්සන ගහන්න පොරකන, P.O.P කාස්ට් එක අත පය වලට දාගෙන ෆුල් ආතල් එකේ ඉන්න ලැබෙන, පට්ට ආතල් ඇක්සිඩන්ට් වෙනකොට මට මාර ජෙල. සික්! මට වෙන්නෙ නෑනෙ ඒ වගෙ ආතල් තුවාලයක් ආසාවටවත්. මට මාර ආසයි අර මගෙ ඇ‍ඟේ හැම ඇටයක්ම කැඩිලා, ඉස්පිරිතාලෙ නැවතිලා, අර කාස්ට් එකත් දාගෙන, මුළු දවසම ෆුල් ආතල් එකේ, අයිස් ක්‍රීම් කකා, ටීවී බලබල ඉන්න ලැබෙන ඇක්සිඩන්ට් එකක් වෙනවා නම්. මට නම් තියෙන්නෙ පුදුම නොලැබීමක් අප්පා.

ඕං මට එහෙම ඇක්සිඩන්ට් එකක් වෙලා, ඇ‍ඟේ ඇට ඔක්කොම කැඩුනයි කියලා හිතමු. එතකොට ඩොකා මා දිහා බලලා කියයි, “මෙයාට එච්චර අමාරුවක් නෑ. ඔන්න ඔය ප්ලාස්ටර් දෙක තුනක් ගැහුවාම ඕක හරියයි,” කියලා.

එතකොට අපේ අම්මා අත් දෙක ඉනට තියාගෙන, ඩොකා දිහා ඔරවලා බලලා කියාවි,


“මොනවා? ප්ලාස්ටර් දෙක තුනක්?”

“හුහ්! මම ගෙදර ප්ලාස්ටර් හදනවා කියලා හිතුවද?”

“ප්ලාස්ටර් ගස්වලින් කඩනවා කියලා හිතුවද?”

“ප්ලාස්ටර් දන්සැලක් දාලා කියලා හිතුවද?”, කියලා.
ඩොකාත් එතකොට කියාවි,
“ඔව් ඔව්, ඔයා හරි. එක ප්ලාස්ටරයක් හොඳටෝම ඇති,” කියලා.

ඔය ඇක්සිඩන්ට් සම්බන්දයෙන් මගෙ නොලැබීම නම් ඔන්න ඔය වගෙයි.
වැඩිය ඕනෙ නෑ. හරි නම් පට්ට, ෆුල් ඔප්ෂන් ඇක්සිඩන්ට් එකක් වෙන්න තිබ්බ මට මේ අන්තිමට වෙච්ච ඇක්සිඩන්ට් එක බලන්නකො.

ඕං මම දවසක් ගෙදර එනවා ඉස්කෝලෙ ඇරිලා. මම දකිනවා කාගෙන්ද වැටිච්ච, රත්තරං පාට ෆ්‍රේම් එකක් තියෙන කන්නාඩි කුට්ටමක් පේව්මන්ට් එකේ දිලිසි දිලිසි තියෙනවා. මට කරුමෙට ඔය වෙලාවෙ, අර ලඟදී මම පත්තරේක කියවපු ‘කන්නාඩි දාන බුවාලා, නොදාන බුවාලට වඩා මීටර්’ කියන සමීක්ෂනයක ප්‍රතිඵලේ මතක් නොවුනා නම් මම ඕක දිහා බලන්නෙ වත් නෑ ඕං. මටත් හිතෙනවා මේ කන්නාඩි කුට්ටම දාගෙන ගියොත් , මගෙ ටීචර්ස්ල මම හෙනම මීටරයක් කියලා හිතලා, මට ලකුණු හෙම වැඩියෙන් දෙයි කියලා! මමත් මොකද කරන්නෙ, අර කන්නාඩි කුට්ටම අහුලගෙන දාගන්නවා.

හපෝයි! ඒක දාපු ගමන්, මුළු ලෝකෙම බොඳවෙලා යනව මදිවට, ඇස් වල දැල්ලක් බැඳලා වගෙ වෙනවා! කපලා දාපු ගහක් වගෙ මම ඇදගෙන්න වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි, මට ඇහෙනවත් කවුදෝ කෑ ගහනවා, “හා, හා, බලාගෙන බලාගෙන!” කියලත්. මම කොන්ඩෑරුමක් ගහලා නතර වෙන්නෙ අර පාර හදන එවුන් පාරෙ හාරලා තිබ්බ කාණුව පල්ලෙ.

අනේ ඒවුනාට :
 

කැඩියං කකුලක්වත්!
ම්හු! මොන?
 

අතක් කැඩියං!
ම්හු! මොන?
 

පැලියං ඔලුව, හිස් කබලට බරපතල තුවාල වෙන්න, මතකයටත් හානි වෙන්න!
මොන?
 

අඩුම ගානෙ හොඳ කැලලක් හිටින ආතල් තුවාලයක්වෙන්න තිබ්බ නේද?
නොදෝකිං! 


කැඩිච්ච එකම දේ කන්නාඩි කුට්ටම විතරයි. වෙච්ච එකම තුවාලෙ, මේ වම් ඇහැ යට පොඩ්ඩක් කැපිච්ච එක විතරයි.

කන්නාඩි දාලා, බුද්ධිමත් පෙනුමක් ගැනීම කෙසේ වෙතත්, මූණෙ ප්ලාස්ටරයක් අලෝගෙන ඉන්න මොංගල් පෙනුමක් නම් ලැබුනා.

හිටපංකෝ.

මේ ප්ලාස්ටරේ අද ගලවන්න ඕනෙ මොන ජාතියෙන් හරි.
තවත් නම් කල් දාලා හරියන්නෙ නෑ.
මම දත් මිටි කාගෙන, ගැඹුරු හුස්මක් අරගෙන, දෙන්න යන්නෙ වැඩේ.
ෆූ… දැවිල්ල!
පිච්චෙනවා වගේ!
අම්මෝ, රිදෙනවෝ!
ඉන්න බැරියෝ!
හයි යයියෝ!
කෝ මම තාම ප්ලාස්ටරේට අතවත් තියලා නෑ!!
ඒ ගැන හිතුවාමත් වේදනාව ඉවසන්න බෑ.
දෙයියනේ, හම ගැලවිලා ආවොත් මොකද කරන්නෙ?
ලේ නවත්තන්න බැරුව ගියොත්?


ලේ ගලලා, ගලලා, ගලලා නාන කාමරේ ලේ වලින් පිරුනොත්!
හැබෑටම මොනවා වෙයිද, මම නාන කාමරේ මගේම ලේ විලේ බැහැලා ඉන්නකොට, අම්මා ඇවිත් දොර ඇරියාම, නාන කාමරේ පිරිලා තිබ්බ ලේ, මුහුද ගොඩ ගලනවා වගේ ලොකූ ‍රැල්ලක් එක්ක එලියට ගහලා, අම්මයි මායි ලේ ගංගාවෙ පාරවල් දිගේ ගහගෙන ගියොත්?


එතකොට අම්මා කෑ ගහලා අහවි, 
“මොනවද ළමයො මේ වෙන්නෙ?”
මම කෑ ගහලා කියාවි,
“මම මේ ප්ලාස්ටරේ ගැලෙව්වා විතරයි, අම්මේ!” කියලා.

එතකොට අම්මා කියාවි,
“මොනවා ළමයො? ප්ලාස්ටරේ ගැලෙව්වයි කිව්ව?”

“හුහ්! මම ගෙදර ප්ලාස්ටර් හදනවා කියලා හිතුවද?”
“ප්ලාස්ටර් ගස්වලින් කඩනවා කියලා හිතුවද?”
“මෙතන මේ ප්ලාස්ටර් දන්සැලක් දාලා කියලා හිතුවද?”
“නෑ අම්මෙ,” මම කියාවි,”ඒ වුනාට එහෙම වුනානම් කොච්චර හොඳද? එතකොට එකම ප්ලාස්ටරේ මාස හයක් අලෝගෙන ඉන්න වෙන්නෙ නෑනෙ,” කියලා.

පිස්සු හැදෙන සඳ!

මේ වගෙ දේවල් ගැන හිතුවමත් පිස්සු හැදෙනවා තමා.
 

හොඳ නෑ හිතන්න.
 

මම දන්නවා කරන්න ඕනෙ දේ.
 

හිතිල්ල නවත්තලා වැඩට බහින්නයි ඕනෙ! වහ්…හාම!
ඉවරයක් කරලා දැම්මාම, ඉවරෙටම ඉවරයි.
මේ හුඟාක් මිනිස්සු නිකාං වේදනාව දික් ගස්සා ගන්නවා, මේ නිකාං බොරුවට ඒ ගැන ඕනෙවට වඩා හිතලාම.

මම නං එහෙම නෑ.
මම නම් යමක් කිව්වොත්, ඒක කරලම තමයි ආයෙ පස්ස බලන්නෙ.
ඕව්, ඔව්, ඔව්. මගේ හැටි එහෙම තමයි. මගේ නෑනෙ ඔය බයිලා. මම කිව්වොත් කෙරුවා.

සිරාවටම.
ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ. ඕන්න බලන්න එහෙනං.
මම මේක කරන්නයි යන්නෙ දැන්.
මේ දැන්.
තව මොහොතකින් පටන් ගන්නවා.
මේ දැන් ඉඳලා තව මොහොතකින්.
ඒ කියන්නෙ තව චුට්ටකින්.
එහෙම වෙන්නෙ, මම මේක හිතන්න ගිය අතරෙ, ‘මේ දැං’, ‘තව චුට්ටකින්’ බවට පත්වෙලා. මම ‘මේ දැං’, ‘තව චුට්ටකින්’ බවට පත්වෙච්ච එක ගැන හිතන්න ගිය අතරේ, ‘තව චුට්ටකින්’, ‘තවත් චුට්ටකින්’ බවට පත්වෙලා. අන්න ඒ නිසා තමයි මට තවත් චුට්ටකින් පටන් ගන්න විදියක් නැත්තෙ. මොකද ඒක දැනටමත් පහුවෙලා නිසා.
අන්න ඒක නිසා මම මේ දැන් පටන් ගන්නයි යන්නෙ.
තුනට ගැනපු ගමන්.
එක්..කා…යි!
දෙක්…කා…යියි!!
දෙකහමාරයි…
දෙකයි තුන්කාලයි…
දෙකයි පහෙන් හතරයි…
දෙකයි හයෙන් පහයි…
දෙකයි අටෙන් හතයි…
මේක හරියන මංගල්ලයක් නෙවෙයි.
ගණින වැඩේ හරියන්නෙ නෑ.
නිකම්ම අමුවටම කරන්න ඕනෙ.
මේක ගැන කතා කරන එකයි, හිතන එකයි දෙකම නවත්තලා, වැඩේට බහින්න ඕනෙ.
වැඩේනෙ කෙරෙන්න ඕනෙ.
ඕං එහෙනං!



 ඒ වුනාට මේ වැඩේට අර ඇහිබැම ගලවන ට්වීසර් එකක් ඕනෙ වෙනවා, ප්ලාස්ටරේ කොණේ ඇඟිල්ලට අහුවෙන්න දෙයක් නැති තරමට තදින් ඇලිලා තියෙන නිසා.
 
මම නාන කාමරේ කැබිනට් එක ඇරලා හොයනවා ට්වීසර් එකක්.
මගෙ අම්මෝ! මේකෙ තියෙන ජාති!

බේබි ෂැම්පූ, ඇපල් ෂැම්පූ, ඉස් හොරි වලට ගාන ෂැම්පූ (වෙන කාගෙවත් නෙවෙයි තාත්තගෙ), හෙයා ස්ලයිඩ්, බ්ලේඩ්, ඇන්ටි රිංකල් ක්‍රීම් බෝතලයක් (අම්මගෙ. වෙන කාගෙද?), සන්ස්ක්‍රීන්, කොට්න් බඩ්, කුරුළෑ ක්‍රීම් (ඒක ජෙන්ගෙ. දැන් ඕං ඔයාලා ඒක ගැන කල්පනා කරනවා නම්, ඒක වැඩක් නැති ක්‍රීම් එකක්, ඒකට කුරුළෑ වැඩි වෙනවා වගේ මට නම් පේන්නෙ), ඩිස්ප්‍රින්, විටමින් සී පෙති, පණුවන්ට දෙන පෙති, (මම හිතන්නෙ අපේ බව්වා, සූටියාගෙ වෙන්න ඕනෙ), තාත්තා සමහර වෙලාවට එයාගෙ කකුලෙ ඇඟිලි වල ගාන අමුතු ගඳක් තියෙන ක්‍රීම් ජාතිය. ඉවර වෙන්න ඔන්න මෙන්න නමුත් තව චූට්ටක් තියෙන, රෝල් කරපු ටූත් පේස්ට් ටියුබ් දහයක් විතර… කොටින්ම කිව්වොත් ට්වීසර් එක හැර අනිත් සෑම දෙයක්ම තියෙනවා.

දැන් ඔයාලා හිතනවා නම් මම මේ නාන කාමරේ කැබිනට් එකේ තියෙන හැම දේම ගැන ලැයිස්තුවක් හදන්නෙ නිකං කාලෙ මරන්න කියලා, ඒක නම් ලොකුම වැරදීමක් ඕං. ඒ මොකද මම තවම පර්ෆියුම්, මවුත් වොෂ් (ජෙන්ගෙ, හරි?), ලිප් බාම්, නේල් පොලිෂ්, ලිප්ස්ටික් ගැන සඳහනක් වත් කලේ නැති නිසා. මට ඇත්තෙන්ම, මේවා ගැනත් කියන්න තිබ්බා. නමුත් එහෙම නොකලේ, මට ඕනෙ කරන්නෙ ට්වීසර් එක හොයාගන්න මිසක්, නිකරුනේ වෙලාව නාස්ති කරන්න නොවන නිසා.

බලමු ප්‍රථමාධාර පෙට්ටිය ඇරලා.
ආහ්! මේ තියෙන්නෙ බඩුව.

මම ට්වීසර් එක එලියට ගන්නවා.
මට දැන් පුලුවන් ප්ලාස්ටරේ ගලවලා දාලා ඒ කරදරෙන් සදහටම මිදෙන්න.

පොඩී ප්‍රශ්නෙකට තියෙන්නෙ ට්වීසර් එක. ඇබීන්දක් විතර අපිරිසිදුයි වගෙ පේන්නෙ. මේක උණු වතුරෙ දාලා විෂබීජ මරලම ගත්තොත් මොකද? විෂබීජ ගැන කියන්න බෑනෙ!
මම උණුවතුර කරාමෙ ඇරලා ට්වීසර් එක හොඳට සෝදනවා.
දැන් ඔයාලා හිතනවා නේද නම් මම මේ කාලෙ ගතකරන්න විකාර කරනවා කියලා?

ඇත්තෙන්ම නෑ.
මට ඔය පුංචි වේදනාවක් කියන එක ගානක් නෑ.
ඇත්තෙන්ම මම කැමතියි වේදනාවට.
ඒකෙත් තියෙනවා යම් ආතල් එකක්.
ඇත්තෙන්ම මට නම් වේදනාව වැඩිවෙන තරමට තමා ගතිය.

සමහර වෙලාවට ලීයකට ඇණයක් ගහනකොට, මම කැමතියි ඕනැ කමින්ම ඇඟිල්ලටත් මිටි පාරක් ගහලා තලාගන්න. මොකටවත් නෙවෙයි, අර ඇදුම් කන වේදනාව විඳින්න.
මම A4 කඩදාසිත් එක්ක වැඩක් කරනකොට, මම කැමතියි කඩදාසියකට ඇඟිල්ලක් පොඩ්ඩක් කපාගන්න, මොකද ඒකෙන් මාර වේදනාවක් දැනෙන නිසා.
පිහියකින් වැඩක් කරනකොට මම පිහිය පොඩ්ඩක් ලෙවකනවාමයි, මොකද පිහියට දිව පොඩ්ඩක් කැපුනාම, අර A4 කඩදාසියට ඇඟිල්ල කැපුනට වැඩිය පට්ට ආතල් වේදනාවක් දැනෙන නිසා.
දැන් ඔයාලා හිතනවද මේවා මහා චාටර් වැඩනෙ කියලා?
 

හෙහ් හෙහ්හෙහ්! ඕවා මොනවද? මා ගාවා තියෙනවා පොතක්. ඒකෙ නම ‘මරණීය දණ්ඩණ විශ්ව කෝෂය‘ (Encyclopedia of Executions). අන්න පට්ට භාණ්ඩේ.! ඒකෙ තියෙන සමහර වධ ගැන ඇහුවොත්, ඔය මං කලින් කිව්ව ඒවා නිකං මොනවද කියලා හිතෙයි.
ඕං අහගන්නකො කීපයක්.
 

මිනිස්සුන්ව උණු වතුරෙ දාලා පණපිටින් තම්බනවා.
උලක ගහලා ගින්නට අල්ලලා පුච්චනවා.
කාන්තාරේ මැද්දෙ බිම දිගාකරලා අතපය හතර අතට ඇදලා කූඤ්ඤ වලට ගැට ගහලා තියනවා.
ඇඟ පුරාම මී පැණි තවරලා, කූඹි ගුලක් ලඟ ගැට ගහලා තියනවා.

ඔය ඔක්කෝම, මාස හයක් ඇ‍ඟේ අලවාගෙන හිටපු ප්ලාස්ටරයක් ගලවනකොට දැනෙන වේදනාවට යටයි.
මේ වැඩේ කොහොම හරි කරන්න ඕනෙ.
ඒක කරන්න ඕනෙ මේ දැන්.
ට්වීසර් එක ලෑස්තියි.
මම උණු වතුර කරාමේ වහනවා.
ෆුල් ඩම් එක ගන්නවා.
ට්වීසර් එකේ එක අණ්ඩක් ප්ලාස්ටරේ කොනකින් ඇතුලට රිංගවලා, අඬු දෙකෙන්ම අල්ලලා, අදිනවා.
ආආආආආආආආආආආආආහ්හ්හ්!@%*!!!!!!!!!@ @##**@ $!$%#%#$%!!!!ඌඌඌඌඌඌඌඌඋයි!@##**@
@!@%#%#$ @@ ඈව්! ආආආආආව්ව්!#!!!!*!!!!! !!@@##**@ # %&^%# #@!!!#%#$% ආආආආආආආආආආආආආ හූඌඌඌඌඌඌඋ $!$%##$%@ @#හයියයියූඌඌඌඌ!%&^%#!! !!!!*!!!!! Grrrrrrrrrrrrr


මී ලඟ කොටසින් ප්ලාස්ටරේ ගලවා ගත්ත හැටි.


 පසු වදන:

ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියපු, Just Wacky! කියන පොතේ, BAND-AID කියන මුල් කතාවෙ මේ කෑගැහිල්ල තියෙනවා පි‍ටු තුනක්! හිතාගන්න පුලුවන්නෙ වේදනාව. පව් පොඩි එකා.

මේ ළමයෙක් හිතන හැටි. වරදවා තේරුම් ගන්න එපා. ළමයි අතිශයෝක්තියෙන් හිතන බව විතරක් මතක තියාගන්න.

දෙදාස් දොළහෙදි මම මට හිතෙන හැටි බ්ලොග් අඩවිය වෙනුවෙන් පරිවර්තනය කරපු මේ කතාව මගේ ඩෙනිමේ නැවත පළ කරන්නේ විශේෂයෙන්ම ඇන්ඩියාව නොහඳුනන මගේ අලුත් රසිකයන් වෙනුවෙන්මයි. මේ කතාව කියවලා තියෙන අය ඉවසා වදාරන සේක්වා. මේ කතාව ඉවර වුනු ගමන් අලුත්ම කතාවක් දාන්න තමයි මේ පෙර හුරුව. 






Originally published @ මට හිතෙන හැටි. in 2012.

89 comments:

  1. ඇන්ඩියා එක්කෙන් කාලෙකට පස්සේ අපේ ඩුඩ් අයියා පරිවර්තනයක් අරන් ඇවිත් සන්තෝසේ බැරුවා.y-)
    මේක කලින් කියවලා තියෙනවා වගේ මතකයි.පෙරහුරුව හොඳයි.දැන් එහෙනම් අලුත් කතාවක් පරිවර්තනය කරහන් එහෙනම්...:)

    ReplyDelete
    Replies
    1. මේ කරන ගමන් තමයි මනෝජ්. ස්තුතියි උඹට. කාලෙකින් කරපු නැති නිසා රිදම් එක ගන්නත් එක්ක පරණ ඇන්ඩි කතා උඩින් පල්ලෙන් බැලුවා. නැතිනම් අර consistency අහවල් එක නැතුව යනවනේ.

      Delete
  2. අම්මපා මෙහෙමත් ප්ලාස්ටර් කතාවක්.. එහෙනම් ඊලග එකත් දාමුකෝ බලන්න..

    ReplyDelete
    Replies
    1. දානවා දිනේෂ්. උඹට ප්ලාස්ටර් එච්චර නුහුරු දෙයක් නෙවෙයි නේ?

      Delete
  3. මම මුලින් හිතුවේ ඇත්තටම ඩූඩ්ට වෙච්ච දෙයක් කියලා. ඒත් හිත හිතා යන විදියෙන් තේරුනා මේ නම් එයා වෙන්ට බෑ කියලා. :-)

    මට ප්ලාස්ටර් දාන්ට බෑනේ. මට ඒ ගැන සෑහෙන දුකක් ආවා මේක කියවගෙන යනකොට. බාත්-රූම් එකේ තිබ්බ ඒවා දැක්කාම හිනාත් ගියා. වෙලාවට ලොකු වුනාම වෙනම බාත්-රූම් එකක් ලැබෙන්නේ. ඒකේ තියෙන ඒවා මේ ඇන්ඩියා දැක්කොත් එහෙම... :D

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ ඔයාට ප්ලාස්ටර් වලට ඇලර්ජික්ද? එහේ අය ඉන්නවා.

      බාත් රූම් එකක තියෙන දේවල්, ලාච්චුවක තියෙන දේවල් ඇදගෙන පොඩ්ඩක් කල්පනා කලොත් සෑහෙන දුර යන්න පුලුවන්.

      Delete
  4. විස්සයි දොළහේදී කියවල නැහැ මම.....
    අනිත් කොටසත් දාපන්කො මචෝ.....

    ReplyDelete
    Replies
    1. කෙන්ජි උඹේ මතකේ තමයි මතකේ. :))
      මේං බලහං උඹ විස්සයි දොළහේ මේක කියවලා දාපු කමෙන්ට් එක:

      Kenji @ Japan

      18/09/2012 at පෙ.ව. 5:55
      ලියල තිබෙන විදියට මහන්සියක්,කම්මැලිකමක් නැතිව කියවා රස විදිය හැකි ලෙසටම ලියල තියෙනවා.ඒකට කියන්නේ “එල” කියලද?”සුපිරි” කියලද?දන්නේ නැහැ.පසුගිය දවසක පාසලේදී වැටිලා දනිස් දෙකම සුළු සිරීම් ඇතුව ආපු මගේ පුතණ්ඩියගේ ප්ලාස්ටර් ගලවද්දී එයාගේ ඉරියව් මතක් උනා.සෑහෙන වෙලාවක් ඔට්ටු වෙන්න ඕන ගලවන්න.එයාටත් ඔය වගේ හිතෙන්න ඇති කියල හිතුන.

      Delete
    2. :) ... උඹයි....රයිගමයි ....දෙන්න කියල වැඩක්..... නැහැ....
      මම කමෙන්ට් කරපුව එහෙමම දානව ......... thnx ..... දෙන්නටම... හෙක්...හෙක්.... :)
      මට මුල අමතක වෙලා.... මම දැන් "තාරුණ්‍යට හොටක්" වෙලා ....... බේබි එක්ක..... :)

      Delete
  5. මං මේක කියවලා තිබ්බේ නැහැ බං... මරු තමා... බලං ගියාම අම්මලා කොහෙත් එකයි නේද? :)

    ReplyDelete
    Replies
    1. අම්මල වගේම කොල්ලො හිතන හැටිත් කොහෙත් එකයි නේද තිසර? මම මේ කතාවලට ආසාත් ඒ හේතුව නිසාම වෙන්නැති. මමත් හිතුවේ ඔය විදියටමයි.

      Delete
  6. ඇයි මං මෙච්චර පව් කරල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒ මොකද වැව් එහෙම කිව්වේ? :-?

      Delete
  7. ඇයි බන් උඹ මේක ඩෙනිමෙම එක පාරකුත් දැම්මා නේද ? නැත්නම් මට වැරදිලාද ?

    ReplyDelete
    Replies
    1. මේක අපිට පිළුනු බත් බෙදල සෙන්න.

      Delete
    2. :) නෑ බං. මේක දැම්මේ මට හිතෙන හැටි අඩවියේ. ඔය මං කියලත් තියෙන්නේ. ඔය ප‍ටුන ස්ක්‍රෝල් කරලා බලාපල්ලා.

      Delete
  8. අනේ අම්මේ සන්තේසේ බැරිවා.. පේලි දෙක තුන කියවන කොට වැඩේ මොකක්ද කියල ඔළුවට ආවා.. නියමයි බං.. උඹ කරන මේ පරිවර්තන වලට දෙන්න තියෙන එකම නම අර කිව්වත් වගේ හෙන්රියාවර්තන තමා..

    අපේ ඉල්ලීම් ඉටු කරාට බොට උම්මා..

    ReplyDelete
    Replies
    1. මේක ඩෙනිමේ හම ගැහැව්ව කිව්වට මම කියවල නෑ...

      Delete
    2. බොහොම ස්තුතියි දේශකයා උඹ දෙන දිරියට.

      මේක ඩෙනිමේ දැම්මේ නෑ බං.

      Delete
  9. පට්ටයෝ....
    ඉතුරු ටිකත් දාන්ඩෝ...
    පරිවර්තනයක් කිවට ඒක ඇගට දැනෙන්න කරල තියේ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හරි මහේෂ්. ඉක්මනට දානවා.

      බොහොම ස්තුතියි.

      Delete
  10. Dude aiyata Andy mathak wenne A/L exam lan unahamada koheda.. Giya awruddeth oya kaalemane kathaa tika dunne..

    ReplyDelete
    Replies
    1. අඟහරුවාදා. ඒකත් එහෙමද? හැබැයි දැන් මෙහෙනම් O/L තමයි ඉස්සරහට තියෙන්නේ. ඒ කියන්නේ ඔක්තෝබර් නොවැම්බර්. A/L පහු වුනා. රිසල්ට්ස් එන්න තියෙන්නේ.

      Delete
  11. පට්ටයි!! මට හිතුනා පරිවර්තනයක් වෙන්න ඇති කියලා. මොනා උනත් ඒ පොඩි එකා මං වගේ ඩයල් එකක්. ඒ හින්දා පොත හොයන් කියවන්න ඕන

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ වැඩේ බස්සි. ඇත්තෙන්ම ඒක තමයි නියම රසය. ඔරිජිනල් එක කියවන එක.

      Delete
  12. පට්ට බං. මං හිතන්නෙ උඹට ආරංචි උනාද අර ප්ලාස්ටරයක් ගලවල කන තුවාලවුනු පොඩ්ඩ ගැන?
    දේශකය කිව්ව වගේ මේක හෙන්රියාවර්තනයක්ම තමයි. මේක බලපං,

    “හුහ්! මම ගෙදර ප්ලාස්ටර් හදනවා කියලා හිතුවද?”
    “ප්ලාස්ටර් ගස්වලින් කඩනවා කියලා හිතුවද?”
    “මෙතන මේ ප්ලාස්ටර් දන්සැලක් දාලා කියලා හිතුවද?”

    සාමාන්‍යයෙන් දන්සැල්, ගස්වලින් කඩන කතා තියෙන්නෙ සිංහලයෙනෙ. මෙතන තිබුනෙ මොන විදියටද? (නිකං දැනගන්න ඇහුවෙ)

    එක්..කා…යි!
    දෙක්…කා…යියි!!
    දෙකහමාරයි…
    දෙකයි තුන්කාලයි…
    දෙකයි පහෙන් හතරයි…

    ප්ලාස්ටර්එක ගලවන්න කොල්ලගෙ තියන මේ අකමැත්ත අපි කාටත් පොදුයි නේද බං. මට මතකයි මගේ කකුලෙ තුවාලයක් වෙලා බෙහෙත් දාන්න යන්න හිතාගෙන ප්ලාස්ටර් ගලවන්න ලැහැස්තියි. ඔන්න මම ගෙදර පඩිය උඩ වාඩිවෙනව.
    තුවාලෙ උඩ ගෝස් තියල ඊටත් උඩින් අර මොකද්ද පටිය නවල තියල, ඒක හරහට යකා ප්ලාස්ටර් තීරු හතරක් ගහල. ඒ කියන්නෙ කකුලෙ අට තැනකට වැදිල. ඔන්න මම හිතනව ඉස්සෙල්ල උ‍ඩ දකුණු පැත්තෙ ප්ලාස්ටර් කෑල්ල ගලවනව කියල. ඊට පස්සෙ හිතනව දකුණු පැත්තෙ උඩ එක ගලවන්න ඊට ලේසියි කියල...
    ඊටත් පස්සෙ.......
    ඊටත් පස්සෙ......
    ..............

    "තාම ඕක ගැලෙව්වෙ නැද්ද? ඉක්මනට ලෑස්ති වෙන්න" අම්ම කෑගහනව..... ඊට පස්සෙ කතා ගොඩයි. ලියන්න කම්මැලියි. හෙහ් හෙහ් හෙහ්......

    ReplyDelete
    Replies
    1. "...... ගස්වලින් කඩනවා.....?" නම් " ......... grow on trees? "වල අනුවර්තනයක් වෙන්න ඕනැ.
      දන් සැල් මොකක්ද?

      Delete
    2. මොකක්ද බං ඒ ප්ලාස්ටරේ ගලවලා කණ තුවාල වෙච්ච එක? මට ඒක ආරංචි වුනේ නෑ.

      උඹේ උනන්දුව නිසාම මම ආපහු අරං බැලුවා මොනවද මම එහෙම පරිවර්තනය කරලා තියෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ මම ඒ ත්යෙන දේම පරිවර්තනය කරලා පරිවර්තනයෙදි නන්නත්තාර වෙලා (lost in traslation) රසය මැරෙයි කියලා හිතන තැන් වලදි වෙනත් යෙදුම් පාවිච්චි කරන බව. මෙතනදිත් ඒක තරමක් දුරට වෙලා ඇති. හරි. කතාව ඇති. මේ ඒවායි.
      Do you thinkg we're made of made of Band-Aids?
      Do you think Band-Aids grow on trees?

      Do you thin Band-Aids are handed out free on street corners?

      ඉතින් මම ඒවා අපි කියන විදියට එක එක ප්‍රමාණවලින්න් වෙනස් කලා.
      (ප්‍රාජේගේ අනුමානය හරි.)

      උඹේ ප්ලාස්ටර් කතාව එලනේ බං රාජ්. :))

      Delete
    3. රයිට් දැං පැහැදිලියි. උඹේ අනුවර්තනේ සාර්ථකයි. grow on trees කතාව නං අපිට ටිකක් සමීප ගතියක් තියනව.

      Delete
    4. //දෙදාස් දොළහෙදි මම මට හිතෙන හැටි බ්ලොග් අඩවිය//
      ඒකත් අමාරු වැඩක් බං! මම ගියා උඹේ උමට හිතෙන හැටි එකට.
      ගත්ත දෙසැම්බර් ලිස්ට් එක නෑ
      ගත්ත නොවැම්බර් ලිස්ට් එක නෑ
      ගත්ත ඔක්තෝබර්
      ..........
      .........

      හා ඔය තියෙන්නෙ! කියෙව්ව දෙවැනි කොටස. බලමු පළවෙනි එකටත් ගිහිල්ල. යකඩෝ මම කමෙන්ටුවකුත් දාල ඒකෙ. මතක නෑ මෙලෝ හසරක්.

      Delete
    5. ඒකනේ උඹලට මෙලෝ මතකයක් නෑනේ බං.
      මම හවස යන්න ලෑස්ති වෙලා කලබලෙන් අර කමෙන්ට් එක ගැහුවේ. දැන් බැලුවාම ඒකේ වැරදි තියෙනවා දැක්ක නිසා මෙන්න අර වාක්‍ය තුන හරියට.

      Do you think we're made of Band-Aids?

      Do you think Band-Aids grow on trees?

      Do you think Band-Aids are handed out free on street corners?

      Delete
    6. ආ..... අමතක උනානෙ උඹේ පුරස්නෙට උත්තර දෙන්න.
      ලඟදි මාතර ඉස්පිරිතාලෙද කොහෙද පොඩි එකෙකුගෙ කණකට ගහපු ප්ලාස්ටරේ ගලවද්දි කණෙන් කෑල්ලකුත් කැපිල. රෝහල් සේවකය සමාව ගත්තලු. මේ නිව්ස් එක දවස් තුන හතරකට කලින්.

      Delete
  13. අයියන්ඞි ගිය පාරත් කමන්ටුව කොටද්දි කියන්න හිතුනා පරිවර්තනයක් දාන්න කියලා.
    ඉවාන්ගේ කෙටි කථා ඔයාගේ පරිවර්තන කියවන්න මම බෝක්කේ්ම මනාපයි
    ඊ ලගට බනින කොටස... අඞේ අයියන්ඞි දාපිය ඉතුරැ ටිකත් ඉක්මනට.

    ReplyDelete
    Replies
    1. උඹ එහෙම කියලා තිබුනා මෙන්ඩා. මට මතක නෑ කොතනදිද කියලා.
      බොහොම ස්තුතියි.
      හිටහං මේ දානවා.

      Delete
  14. ඔන්න හෙන්රි ඇවිත්. ප්ලාස්ටරේ තාම ගැලෙව්වේ නෑනේ , ඊළඟ පොස්ට් එකේ තියෙන්නේ කෑ ගහන හැටි විතරද?
    කොහොම හරි ඔය "ගස්වලින් කඩනවද" වචනේ අම්මලාට ඔටෝ එන වචනයක්ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. නෑ මං ඒ කෑ ගහන එක කොට කරලා දැම්මා.
      ඇත්තෙන්ම ඔය ගස් වලින් කඩන කතාව අම්මලා කියන කතාවක්, ඒක මෙතනට ආවේ අපේ අම්මා ඒක කියලා හැටි මතක් වුන නිසා.
      සල්ලි ගස් වලින් කඩනවා කියලා හිතුවද?

      Delete
  15. හා බලමුකෝ ප්ලාස්ටරේ ගලවන හැටි... : :D

    ReplyDelete
    Replies
    1. මොනවද ඉතිං. චිරිස් ගාලා ඇදලා දායි.

      Delete
  16. කලින් එක කියෙව්වා මේ ලඟකදී අහම්බෙන් වගේ ...අදත් හිතුවේ මට වැරදිලා කියලා බැලින්නම් ඇත්තටම බැන්කුවටනේ වැරදිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙනං අතරමං වෙලා එහෙට යැවෙන්න ඇති. බැංකුවට වැරදිලා ගෙව්වේ මොනවද බං MONOPOLY සල්ලිද?

      Delete
  17. ඇන්ඩ් ග්‍රිෆිත් ගේ පොත් කට්ටලයක් ඕඩර් කළා මේක බලල ම. එනකං ඉන්නේ. එයිද ෂුවර් නෑ එත්.. ඒ තරං දෝහා කස්ටම් එක හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඇන්ඩි ෆ්‍රි‍ෆිත්ස් දන්නව නම් මම බුවාට මොන තරම් උදව්වක් ද කරන්නේ කියලා.

      උඹට ඒ පොත් කට්ටලේ ලැබේවා කියලා පතනවා.

      Delete
  18. Andy Griffiths කියවල නෑ නෙ.
    මොඩර්න් Just William එකක් වගේ ටිකක්.
    කැල්වින් (Calvin & Hobbs) සමානකම් තියනව වගේ?

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ Just Williams කියවලා තියෙන බුවෙක්ද? සං‍තෝසයි ආයෙම අඳුනගන්න ලැබීම ගැන. අර රවියත් Williams රසිකයෙක්.
      මගේ පුතා ඉස්සර මාර ආසයි Calvin & Hobbs ට.

      ප්‍රාජේ කියවලා තියෙනවද Paul Jennings, එතකොට Roald Dahl?

      Delete
    2. Just William 20ට වැඩි කලෙක්ශන් එකක් තාම තියනව.
      Calvin&hobbs මගෙ ප්‍රියතම Comic strip එක
      Dahl කියවල තියනවා. Jennings නෑ

      Delete
    3. උඹ Paul Jennings කියවලා නැතිනම් මම පරිවර්තනය කරපු කතා තුනක්ද කොහෙද මගේ ඩෙනිමේ තියෙනවා. ලින්ක් දාන්න ඕනේ නෑනේ. ඔය ද්කුණු පැත්තේ කොලම් එකේ ප‍ටුන ස්ක්‍රෝල් කරලා බලාපං. එතනිං කෙලින්ම ගියෑකි.
      මෙන්න මාතෘකා.
      71.ඈක්කා
      74.හොර ඇල්ලීම
      98.පොරොන්දුව

      රෝල්ඩ් ඩාල්ගේ
      11. රියට අත ඇල්ලූ මගියා

      Delete
    4. අපිනම් පොඞිකාලේ ඉදලා සිත්තර සත්සිරි, නවරස බැලුවේ.

      Delete
    5. ඇන්ඩි නම නිසා මතක් වුනේ.
      Handy Andy කියවල තියනවද?
      පරිවර්තනයකුත් ඉස්සර තිබුනා.

      Delete
    6. Handy Andy කියවල නෑනේ ප්‍රාජේ. ඒ කාගේ පොතක්ද/කතාවක්ද?

      Delete
    7. Samuel Lover පරණ ඇන්ග්ලෝ-අයිරිශ් ලේඛකයෙක්.
      පරිවර්තනය මතක නෑ

      Delete
  19. මරුනෙ. මරු කියන්නෙ මරේ මරු. මේකෙ ඊළග කොටස දාලා අළුත් පරිවර්තනෙත් ඉක්මනටම දාන්න ඩූඩ් අයියෙ.

    මට මතක් උනේ, මම පොඩි කාලෙ අත කඩන් ඉන්න මනුස්සයෙක් දැකලා මාර ආසාවෙන් හිටියා 'අනේ මගෙත් අත කැඩුනා නම් මටත් ඉස්කෝලෙ නොගිහින් කකා බිබී කාටුන් බල බල ගෙදර ඉන්න තිබුනා නේද' කියලා. :) :)

    ReplyDelete
    Replies
    1. දැනුත් පරක්කු නෑ බං,ඕනෑ නං දැන් කඩල දාන්නං රස්සාවට යන්නැතුව ගෙදරට වෙලා ටී වී බල බලා ඉන්න බැරුවයැ.

      Delete
    2. මමත් එහෙමයි බං. මාත් මාර ආසාවෙන් හිටියේ අර POP කාස්ට් එකක් දාගෙන ඉන්න.

      Delete
  20. ඇන්ඩියා තාම පොඩි එකෙක්නෙ බං.ලොකුවෙද්දී ප්ලාස්ටරේ ගැලවෙයිනේ.එහෙමද අර විට්ටර් අයිවන් උන්නැහේ අවුරුදු හතළිස්තුනක් තිස්සෙ අතට බැන්ඩේජ් එකක් දාගෙන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙමත් එකක්ද? මට ඒක එච්චර නෝට් වෙලා නෑ බං.

      Delete
  21. කාලෙකට පස්සේ පරිවර්තයක් කියවන්න ලැබුනේ. මූට කරන්න තිබුනේ කොහෙන් හරි ප්ලාස්ටර් එකක් හොයාගෙන උගේම කටට ගහගෙන අර ප්ලාස්ටර් එක ගලවන්නයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකත් හරි. මූට මේ බූත සිතුවිලි පහල වෙන එක නවත්තන්න කොහේටද ප්ලාස්ටරේ ගහන්නේ කියලා මාම් කල්පනා කලේ විචාරක.

      Delete
  22. කලින් බ්ලොගේ මේ කතාව හොදින්ම රස වින්දා ඩූඩ්..

    ReplyDelete
    Replies
    1. උඹේ කලින් කමෙන්ට් එකෙන් ඒ බව මට තේරුණා මචං. ස්තුතියි ආයෙම කියෙව්වට.

      Delete
  23. හැක්... නියමයිනෙ ප්ලාස්ටර් ගැලවිල්ල.
    අම්මප ඔය මයිල් තියෙන තැංවල ප්ලාස්ටර් ගහල ගලවන්න ගියාමනං ඒක එහෙමම තියාගෙන ඉන්න එක හොඳයි කියල හිතෙනව.

    //මොකද පිහියට දිව පොඩ්ඩක් කැපුනාම, අර A4 කඩදාසියට ඇඟිල්ල කැපුනට වැඩිය පට්ට ආතල් වේදනාවක් දැනෙන නිසා.// මම හිතන්නෙ මේක වැරදියි. පිහියකින් කැපුනට කොලේකින් කැපුන එකක් තරං වේදනාවක් දැනෙන්නෙ නෑ මම දන්න විදියට.

    හැමදාම වගේ චිත්‍ර ටිකත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ன අකුර දාල කමෙන්ට් කරන්නේ අපේ තෙබස් ප්‍රසන්නයා කියලා මම මුලින් හිතුවා. හැක් ගාලා තියෙනකොට හිතුවා මේ දේශකයද දන්නෙත් නෑ කියලා.

      මවිල් තියෙන තැන්වල ප්ලාස්ටරේ හැලෙව්වාම ආයේ නෑ සිනිඳු සුසිනිඳු සමක් ඉතුරු වෙනවා නිකම්ම ත්‍රෙඩිං වෙන නිසා.

      ඇත්ත කොලේකින් කැපුනම මාර වේදනයි තමයි.

      ඔය ඇනෝදීපු ලින්ක් එකෙන් ඒ ඇයි කියලා බැලුවෑකි.

      ලින්ක් එක දීපු ඇනෝට ස්තුතියි. මම ඒ සයිට් එක http://www.todayifoundout.com බුක්මාක් කරගත්තා. ඒක මරු සයිට් එක හරියට අර howstuffworks වගේ.

      Delete
    2. කොමෙන්ට් කරන්නෙ කවුද කියල වැඩිය හිතන්න යන්න එපා. ඒක අදාල අවස්ථාවෙදි එලිවෙයි. :D
      ඔය ලිංක් එක දුන්නෙත් උඩ කොමෙන්ට් කරපු එකාම තමයි.

      Delete
  24. නමෙන්ම පරිවර්තනයක් එන බව දැනගත්තා. හෙන්රිගෙ පාට ප්ලාස්ටර් කොහෙද තියෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඕනෙ skin tone එකකට ප්ලාස්ටර් තියෙනවා මච. deep tan, honey, exotic coffee, teak...etc.

      Delete
  25. මම උඹගේ මුලින්ම කියවපු කතාවලින් එකක් තමයි මේකත්..

    ReplyDelete
    Replies
    1. ඔව්. නමුත් උඹ ආසම කතාව රියට අත ඇල්ලූ මගියා, එහෙම නේද මචං?

      Delete
  26. අඩෙ බොගෙ ඔය දෙකේම යන්නෙ එකම එව නෙමෙයිද.ඩෙනිම නම් මම ඔක්කොම කියවල තියෙන්නෙ.මෙ කතාව කියවල නැ.දැන් අනිකත් කියවන්න වෙයි වගෙ

    ReplyDelete
    Replies
    1. කලබල නොවී හිටහං බං. මේකේ දාන්නම්.

      උඹ දන්නවද මට හිතෙන හැටි බ්ලොග් එකට අවුරුදු තුන සම්පූර්ණ වුනා.

      Delete
  27. මට එකපාරටම මතක්වුනේ අපි පොඩිකාලේ (ඒ කීවේ .... හැත්තෑ ගනන් අසූ ගනන් වල විතර) තුවාල වුණාම, ගමේ පුංචි ඉස්පිරිතාලෙට (........ ග්‍රාමීය රෝහලට) ගිහින් බෙහෙත් දාගත්ත හැටි. (පොඩි තුවාලයක් නම් ඉතින් කරල්හැබ කොල ටිකක් අබරලා තියාගන්නවා. ඉස්පිරිතාලේ යෑමක් නැහැ.)

    ඉස්පිරිතාලෙ ගියාම, අර කහට පැල්ලම් එහෙම තැවරිලා තියෙන, පිට පැත්තේ "x" අකුරක් වගේ පටි ගැටගහපු, දිග සුදු “ඒප්‍රන්” එකක් ඇදන් හිටපු කාගේත් ඇටෙන්ඩන් මාමා (අපේ අත්තම්මලා එහෙමනම් උන්දැට කීවේ කංකානම් මහත්තයා කියලා) තමා තුවාල වලට බෙහෙත් දාන්නේ.

    උන්දෑ කතුරට පටලවා ගත්ත පුලුන් “හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්” බෝතලේ ඔබලා, තුවාලේ වටේ පෙන දාද්දි සුද්ද කරනවා කියලා හොඳටම තුවාලේ පාරවලා; ඊගාවට පුලුන් කෑල්ලක් “බෙන්සොයින්” ද මොකක්ද කියන තද දුබුරු පාට දියරයක ඔබලා තුවාලය වැහෙන්න තියෙනවා.

    ඊළඟට ඔය පුලුන් කෑල්ල උඩින් ගෝස් කෑල්ලක් තියෙලා ප්ලාස්ටර් කෑලි තුනක් හරි (දනහිස වගේ තැනක නම්) ප්ලාස්ටර් කෑලි දෙකක් අලවනවා කුරුසයක් වගේ හිටින්න. ඊ ලගට කියනවා ඕක තෙමා ගන්න එපා පැසවයි කියලා.

    හැබැයි ඉතින් තෙමුවත් නැතත් ඕක කොහොමත් පැසවනවා.. මොකද මෑන්ස් ආය ඔය තුවාලේ සුද්ද කරන්න ගන්න කතුර විෂබීජ හරණය කරලා ගන්න එකක් කියලයි. (බාග වෙලාවට තියෙන ඔය එකම කතුර එකම දවසේ කීප දෙනෙකුගේම තුවාල සුද්ද කරන්නත් ගන්නවා ඇති කිසිදු පිරිසිදු කිරීමක් නැතිවම)

    ඊගාවට කියන්නේ අපි අහන්න අකමැතිම දේ.... "තව දවස් තුනකින් එනවා තුවාලේ සුද්ද කරලා අලුතෙන් බෙහෙත් දාගන්ට" කියලා.

    නැවත බෙහෙත් දාගන්න යනකොට ඉතින් මරන්න ගෙනියනවා වගේ පරාණ බයෙන් තමා දිස්පැන්සරියට යන්නේ. ගියපු ගමන් කිසිම අනුකම්පාවක් නැතිව සුපුරුදු කතුරෙන්ම. පැලස්තරේ ඇදලා දානවා රෝම කූපත් එක්ක සහමුලින්ම ඉගිල්ලිලා එන විදිහට. ඊළඟට තුවාලෙටම ඇලිලා තියෙන පුලුන් කෑල්ලත් අර කතුරින්ම ඇදලා ගන්නේ එක්කගෙන ගියපු කෙනාටත්, තුවාලේ තියෙන අත හරි කකුල හරි හොල්ලන්න බැරි වෙන්න අල්ලගන්න කියන ගමන් තමා.

    “දැක්කා නේද?? මම කීවා !! ඕක තෙමා ගන්න එපා කියලා. කොහේද කියන එකක් අහන එකක්යැ ... ඔන්න හොඳටම පැසවලා”.

    දැන් ඉතින් සුපුරුදු කතුරටම පටලවා ගත්ත පුලුන් කෑල්ල, අර තුවාලේ තැවරුවාම පෙන දාන බෙහෙත්... ඊලඟට කරන්නේ තුවාලේ පාරන එක; හැබැයි ඒකට කියන්නේ තුවාලේ සුද්ද කරනවා කියලා තමා .....:)

    අර උඩ වේලිලා තියෙන කබොලත් කඩලා - යටින් තියෙන සැරවත් අයින් කරලා ....අලුත ලියලපු හමත් අයින් කරලා... ලේ පනිනකං සුද්ද කරන්නේ තරු පිට තරු විස වෙද්දී.

    ඊළඟට ඉතින් සුපුරුදු බෙහෙත් ටිකම පුරුදු විදිහටම අලවලා තව දවස් තුනකින් විතර එන්න කියන්නේ... “ආය එහෙම ඕක තෙමා ගන්නවා නෙවේ !!! ..... දැක්කනේ මේ සැරෙත් පැසවලා තිබ්බ තරම්...” කියලා... :D

    තව චුට්ටෙන් අමතක වෙනවා.....ඩූඩ්, පරිවර්තනය සුපිරියි. බොහෝම ස්තුතියි... ආසාවෙන් කියෙව්වා. ඉතිරි කොටසත් ඉක්මනින් බලාපොරොත්තු වනවා.

    ReplyDelete
    Replies
    1. මහා භයානක සිද්ධියක් ගැන වුනත් බඩ පිරෙන, හිත පිරෙන කමෙන්ට් එකක්.

      ඔය කතාව සහතිකම ඇත්ත. අර ඇටෙන්ඩන්ට්ලගේ කතිරේ තියෙන ඒප්‍රන් එක. ඒකේ තියෙන ලා කහ පැල්ලම්, එතකොට තුවාල සුද්ද කිරිල්ල, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, , ඇඳේ දාලා තියෙන දුඹුරු පාට රෙක්සින් කවරේ, නහය කාගෙන යන බෙහෙත් සැර, කංකානමගේ, නර්ස්ගේ හිත් පිත් නැති සැර පරුෂ හැසිරීම, කතාබහ, ඉන්ජෙක්ෂන් ගහන්න සිදුවීම (ඇත්තෙන්ම ඇයි ඔය ඉන්ජෙක්ෂන් එක නොරිදෙන්න ගහන්න බැරි? සමහරුන්ට පුලුවන් එහෙම කරුණාවෙන් කතා කරලා නොදැනෙන්න ඕක ගහන්න. හැබැ ඒකටත් එක්ක සමහර යකින්නියෝ ඉන්නවා, ඊට හොඳයි කියලා හිතෙනවා අසනීපෙන් මැරිලා යන එක...)

      බොහොම ස්තුතියි ඇනෝ මේ සුපිරි කමෙන්‍ටුවටත්. මේක අර බත් කනකොට අන්තිමට කන්න පිඟානේ ඉතුරු කරගන්න බිත්තර කෑල්ල, ඔම්ලට් කෑල්ල වගේ එකක්.

      Delete
    2. ඇඟ හිරිවැටෙන විචාරයක්නෙ බං ඒක. :D

      Delete
    3. මේක නම් හරියටම හරි... ඔහොම බෙහෙත් දාන්න ගිහින්ම මගේ කකුලේ තුවාලයක් එන්න එන්න වැඩි උණා. දණිස්සට පොඩ්ඩක් පහලින් තිබ්බේ. සයිස් එක නිසා තාත්තා නම දාලා තිබ්බේ රුපියල් දෙක කියලා. තාමත් රුපියල් දෙකේ කැලල තියනවා. අර කතුරෙන් පුළුන් කැල්ල අල්ලලා තුවාලේ හාරනවා මතක් වෙනකොට දැනටත් බය හිතෙනවා.

      Delete
    4. මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් ඇනෝ බ්ලොගක් ලියමුකො..

      Delete
  28. මේ ප්ලාස්ටර් කථාව කියවන්න ගත්ත ගමන්ම මට මතක් වුනා මේක කලින් කියවපු කථාවක් කියලා...මොනවා උනත් මේ වගේ රහට පරිවර්ථනය කරන්න බ්ලොග් අවකාශයේ කාටවත් හැකියාවක් නෑ කියලයි මට හිතෙන්නෙ...ඒ රසයෙන් බිදක් නැවත අප අතර බෙදා දෙනු මැන...

    ReplyDelete
    Replies
    1. :-h බොහොම ස්තුතියි සිරා. ලඟදීම එනවා.

      Delete
  29. මමත් ආසයි අෆ්ෆා ප්ලාස්ටර් එකක් එහෙම ගහගෙන වැඩට යන්න. කලින් එන්න හිතුනු දවසට නම් බැන්ඩේජ් එකක් තමයි දාගෙන යන්නෙ , :D :D

    ReplyDelete
    Replies
    1. මමත් ඔය ප්ලාස්ටර් එකක් අලවගෙන ඉන්න කැමතියි ඉස්සර. වෙන මොකකටවත් නෙවෙයි, අවධානය ගන්න. දැන්නම් ප්ලාස්ටර් එකක් දාන්න වුනත් ඒක හංගගෙන යන්නේ මොකද එකම ප්‍රශ්ණෙට උත්තර දීලා එපා වෙන නිසා.

      Delete
  30. බොට පිස්සු...

    මම හිතුව මේක මොනා හරි කරගෙන කියල..

    ReplyDelete
    Replies
    1. අපි කරගන්න දේවල් වලට සමාන දේවලම තමයි මූ කරගන්නෙත් සෑමා. ඒකයි කවුරුත් ඇන්ඩියාව ප්‍රියකරන්නේ.

      Delete
  31. ඊයෙ දවල් ‘ප්ලාස්ටරේ‘ දැක්ක ගමන් මට මතක් උනා මේක කලින් කියෙව්ව නේද කියල. ඒත් එක්කම ඔන්න මතක් උනා ආ ... එයා අරකෙ තියෙන එව්ව ටික ටික මේකට උස්සගෙන ඇවිත් දානව නේ කියල. ඊයෙ දැක්කට කමෙන්ට් එකක් කොටන්න වෙලාවක් ලැබුනෙ දැන් තමා ඉතිං. ඔය චිත්තරේ කොණ්ඩෙ දැකපු ගමන් ඒ ගැන කලින් අහපු බව මතක් වෙල මේ දැන් ගිහින් ඒ කමෙන්ට් එකයි රිප්ලයි එකයි ආයෙ කියවලත් ආවා. අර අහවල් එකේ පෙන් එක තවම හදාගත්තෙ නැත්ද ඩූඩ්, ඔයාගෙ අළුත් චිත්තරයක් දැකපු දවසක් මතක නෑ දැන්.

    හරි හරි ... කොහොමහරි ඔන්න හෙන්රි අයියගෙ අළුත් පරිවර්තනයක් එක්ක පුළුවන් නම් චිත්තරේකුත් අරන් එන්නකෝ.

    ReplyDelete
    Replies
    1. මෙන්න ආයෙම DDT ඇවිත්. උඹේ කමෙන්ට් එකක් දකින්න මම හරි කැමතියි. ඒ පෑන හදාගන්න බැරිවුනා බං. උඹෙන් තමයි මේ චිත්‍ර සම්බන්ධව බේරෙන්න බැරි. කතාව අමාරුවෙන හරි පරිවර්තනය කරගත්තත් චිත්‍රයක් ඇඳගන්න එකත් හෙන ගේමක්බං. අතින් වත් ඇඳලා දාන්න බලන්නම්. නැත්තම් උඹයි සෙන්නයි මගේ ඔලුව කයි. තව ඉන්නවා කීප දෙනක්ම. :D

      Delete
  32. අපේ මල්ලි මතක් වෙනවා අයියේ , ප්ලාස්ටර් පිස්සෙක් එයත්

    ReplyDelete
    Replies
    1. පොඩි උන් කොහොමත් ප්ලාස්ටර් අලවගෙන ඉන්න ආසයි නේද අපූර්වි? ඒකනේ කාටූන් ප්ලාස්ටර් හෙමත් ආවේ.

      Delete
  33. හක් හක් ඊලඟ කොටසත් කියවන්න දාන්න එහෙනම්ං ...

    ReplyDelete
    Replies
    1. දානවා දානවා. පොඩ්ඩක් හිටිං. කලබල උනාම කොරස් කටෙත් අත දාගන්න බැරුව යනවා කියනවනේ.

      Delete
  34. ඔන්න ඉතින් පාඨකයන්ව පිස්සු වට්ටන කතාවක් අරගෙන ඩූඩ් ආයෙත් ඇවිල්ල.කතාව හා සමාන රසයක් නෙ කමෙන්ට්ස්වල තියෙන්නෙ. අපිට නම් ලැබෙන්නෙ "ලස්සනයි, හොඳයි, රස වින්දා' වගේ කමෙන්ට්ස්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බ්ලු ලෝටස්. ඉතින් එහෙම කමෙන්ට්සුත් නරක නෑනේ. :)

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>