Friday, July 11, 2014

116.හේයි ජූඩ් Hey Jude


දෙමව්පියො වගේම හුඟක් ගුරුවරුත් තමන් උගන්නපු ළමයි සමාජයේ උසස් තැන් වලට පත් වෙනවට ආසයි. නමුත් හැම තිස්සෙම ඒක එහෙම වෙන්නෙ නැහැනෙ. විශේෂයෙන්ම මම කොළඹදි වැඩ කරපු කොට අදින ඉස්කෝලෙ. ඒකට ඉස්කෝලෙ පිහිටපු පරිසරයත් බලපානවා මම හිතන්න. හැමෝම නැතිවුනත් ඒකට ආපු සමහර ළමයි, අපි කුඩු කාරයො, බෝම්බ කාරයො, පාතාලයො කියලා හඳුන්වන සමාජ ස්ථරයෙ ජීවත් වුනු 'වතු' වලින් ආපු ළමයි. මුළදිම මේ ඉස්කෝලෙ ගැන මගෙ තිබුන හැඟීම කෙසේ වෙතත්, අවුරුදු දහයක් මේකෙ උගන්නන කොට මම සහ මගෙ ආකල්පත් සෑහෙන්න වෙනස් වුනා. මේ ළමයිනුත් මාත් අතර ඇති වුනු බැඳීම, බොහෝ විට කොළඹ උසස් යයි සම්මත ඉස්කෝලවල වැඩ කරපු මගෙම සගයොයි ඒ අයගෙ ගෝලයොයි අතර ඇතිවෙච්ච බැඳීමට වඩා හුඟක් සමීපයි, අව්‍යාජයි.



මේ ළමයින්ගෙන් සමහරු පේව්මන්ට් එකේ රෙදි විකිණුවා. සමහරු මැනිං මාකට් එකේ එළවලු විකිණුවා. මම එක කාලයක් මේන් ස්ට්‍රීට් එකේ පයින් යන්නෙ නෑ. මොකද මගෙ ගෝලයෙක් ඉන්න නිසා රෙදි වෙළඳාම් කරකර. වැරදිලාවත් මම ගියොත් මේකා මාව දැක්ක ගමන් අතින් අල්ලා ගන්නවා. ඊට පස්සෙ රෙදි ගොඩ ළඟ ඉන්න තව වෙළෙන්දෙකුට බලා ගන්න භාර දීලා, මාවත් ඇදගෙන යනවා ලඟම තියෙන කූල් ස්පොට් එකට. ඊට පස්සෙ නොයෙකුත් කෑම ජාති ඕඩර් කරලා මට කන්න පෙ‍රැත්ත කරනවා. නොකෑවොත් තරහා වෙනවා. හැබැයි එයා කන්නෙ නෑ. ඒ මොකද සෑහෙන බිලක් එන නිසා වෙන්නැති. ඉතින් මම පුදුම අපහසුතාවයකට මුහුණ දෙනවා. ඔන්න ඒ ළමයා ගුරු ගෞරවය පෙන්නන හැටි.

මම ඉස්කෝලෙට ගියේ කිලෝමීටර් තිහක් විතර දුර ඉඳලා. මගෙ එක ගෝලයෙක් හිටියා ජූඩ් කියලා. ජූඩ් හිටියෙත් ඔය පාරෙමයි නමුත් කොළඹට කිලෝමීටර් 15. විතර දුරකින්. ජූඩ් වැඩකලේ මැනිං මාකට් එකේ. ජූඩ් පාන්දරම බස් එකේ කොළඹ ගිහින් අන්තිම බස් එකේ තමයි ගෙදර යන්නෙ. දවසක් උදේ නවයට විතර මම කොළඹ යන්න බස් එකකට නැග්ගා අපේ ගේ ගාවින්. සීට් එකකුත් තිබ්බ නිසා ඉඳත් ගත්තා. මට ඇහුනා පිටිපස්සෙ සීට් එකේ හිටපු කවුරු හරි “ගුඩ් මෝනිං, සර් ” කියලා කියනවා.
මම ඔලුව හරවලා බැලුවම මෙන්න ඉන්නවා ජූඩ්!

“ගුඩ් මෝනිං. ජූඩ් කොහේද මේ ගියේ?” මම ඇහුවා.

“ඒක දිග කතාවක් සර්.” ජූඩ් කිව්වා.

“මේ බස් එක කොට-කොට කොළඹට යන්න පැයක් හමාරක් ගත වෙනවනෙ. ඉතිං කියන්න බලන්න, ජූඩ්.”

“සර් විශ්වාස කරයිද දන්නෙ නෑ.”

“ආඩම්බර නැතුව කියපං, මිනිහෝ.”

ඔන්න ජූඩ්ගෙ කතාව. 

“මම සර් ඊයෙ රෑ ලාස්ට් බස් එකට නැග්ගා පිටකො‍ටුවෙන්. වෙනදට ෆුට්බෝඩ් එකේ එල්ලිල යන්න වුනාට ඊයෙ ඉඩ තිබ්බා. ඉතිං මාත් සීට් එකක් අල්ලාගන පොඩි නින්දක් ගැහුවා. ඇයි සර් මම උදේ පාන්දරනෙ එන්නෙත්.”

“ඉතිං ඉතිං?”

“ඉතිං සර් ඇහැරෙන කොට බස් එක පූගොඩ. කොන්දා තමයි කතා කලෙත්”

“මටත් ඔය වැඩේ වෙලා තියෙනවා ජූඩ්.”

“මං කවදාවත් පූගොඩට ගිහිල්ලත් නැ සර්. ඉතිං ඇරලා තිබ්බ නයිට් කඩේකින් කාලා, සිගරට් දෙක තුනකුත් අරගෙන, එකක් පත්තු කරගෙන ගියා බස් ස්ටෑන්ඩ් එකට, උදේ හතරයි කාල අල්ලන්න. හිටගෙන පොඩ්ඩ පොඩ්ඩ නිදත් ගත්තා.”

“මාර වැඩනෙ ජූඩ්ටත් වෙන්නෙ. ඉතිං ඊට පස්සෙ.”

“ඉතිං හතරයි කාලෙ නැගලා ටිකට් එකකුත් අරගෙන ටික දුරක් යනකොට ආයෙත් නින්ද ගියානෙ. ඇහැරිලා බලනකොට පිටකො‍ටුවෙ.”

"ඉතින් ජූඩ්ට වැඩට යන්න තිබ්බනෙ.”

“අද ඉරිදනෙ සර්.”

“ඉතිං ආයෙම නැග්ගා පූගොඩ බස් එකකට. නැගලා කොන්දටත් කිව්වා අහවල් තැන මං බහිනවා, නින්ද ගිහින් හිටියොත් හෙම මතක් කරන්න කියලා. ඒ වගේම කාපු කට්ට හන්දා ආයෙ නම් නිදාගන්නෙ නෑයි කියලා උන්නෙ. සර් විශ්වාස කරන්න මේ යන්තම් පොඩ්ඩක් ඇහැ පියවුනා විතරයි. ඇහැ ඇරලා බලනකොට ආයෙම පූගොඩ. කොන්දටත් අමතක වෙලා. ‘අනේ, සොරි මල්ලි’ කිව්වා.”

මම මේ පාර නම් හිනාව නවත්තා ගත්තෙ අමාරුවෙන්.


“ජූඩ් උඹටම වෙන දේවල් බං මේ.”

“ඊට පස්සෙ සර් මේ බස් එකේ නැගලා ගෙදර යන ගමන්. මට වැරදිලාවත් ආයෙ නින්ද ගියොත් සර් පොඩ්ඩක් කතාකරන්න ඈ.”

මේ කතාව අහලා මාත් හිනාවෙලා ආයෙත් ඉස්සර බලාගෙන යනවා. බස් එක ජූඩ්ලගෙ හෝල්ට් එක ලඟට එනකොට මම නිකං හැරිලා බැලුවා. අනේ මූ හොඳටම නිදි ආයෙත්.

“ඒයි ජූඩ් නැගිටපං නැගිටපං” කියලා මම කිව්වම මූ ගැස්සිලා ඇහැරිලා දඩි බිඩි ගාල නැගිටලා,
“හරි, තැන්ක් යූ සර්” කියලා බස් එකෙන් බැස්සා.


මේ කතාවෙ හාස්‍ය රසය වගේම මගෙ සමහර ගෝලයන්ගෙ ජීවිත ඔහොමයි. උදේ පාන්දරම බස් එකේ ඇවිත් අන්තිම බස් එකේ ගෙදර යන ජූඩ්ලා, සතියෙ අග වෙනකොට නිදි එකවුන්ට් එකට සෑහෙන ණයයි. ඉතිං නින්ද යන එක අහන්නත් දෙයක්ද? 










Originally published @ මට හිතෙන හැටි.

129 comments:

  1. හෙන්රි අය්ය ට මූන දෙන්න වෙන්නෙ මාර අත්දැකීම වලටනෙ...
    මට දෙයියනේ කියල කවදාවත් හෝල්ට් එක පහුවෙනකං නින්ද ගොහින් නෑ...
    ඒ හිංද මට ඕ ගැන අත්දැකීම් නෑ...
    ඒත් මගෙ පෙඩෙක් ඉන්නව ඌ බස් එක්කට නැග්ගොත් නිදි...
    බුවාම කියනව කවදාවත් හෝල්ට් එක පහු නොකර බැහැපු කාලයක් මතක නැල්ලු...හැමදාම හම්බානක් දුර ගිහිං ආපහු එන එක තමා බුවාගෙ විනෝදාංසෙ

    ReplyDelete
    Replies
    1. ඒකට මට! මට බං බස් වල විතර සනීපෙට නින්ද යන්නේ නෑ ගෙදර ඇඳේවත්. ජීවිතේටම හතර පස් පාරකට වඩානම් බහින්න ඕනේ හෝල්ට් එක පහුකරගෙන ගිහින් නෑ.

      Delete
  2. මං හිතුවෙ හෙන්රි මල්ලිත් නින්ද ගිහින් අරූ එක්ක පූගොඩ යන්න ඇති කියල.ඒක නේද ඇත්ත ?

    ReplyDelete
    Replies
    1. මේ කොළඹ පැත්තට යන බස් එකක් බං. මට බස්වල නින්ද යන්නෑ කියලා මම කිව්වේ නැ‍තෝ.

      Delete
  3. ඕක මොකක්ද බං ජුඩ් හොදා.. මමත් ඔහොම තමා. එළිවෙනකං බස් වල ගියා.. ඔන්න බලහං..

    http://deshakaya.blogspot.com/2013/04/blog-post_23.html

    ReplyDelete
    Replies
    1. ඇයි බං මම ඕකට කමෙන්ට් එකකුත් දාලා ඇති අඩෝ බේබද්දෝ කියලා.

      Delete
  4. ටිකක් වැඩියෙන් ගහල මහා රෑ කෝච්චියෙ එද්දී ඔය වගේ දේවල් වෙන එක අපේ යාලුවන්ටත් හරියට වෙලා තියෙනව නමුත් මට නං කවදාවත් නින්ද ගිහිං ස්ටේෂන් එක පහුවෙලා නෑ.
    දැන් නං පාන්දර ඇහැරුණාම නින්ද යනව හොරයි වයසයිනෙ ඒක වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ටිකක් වැඩියෙන් ගහලා බස් එකේ කෝච්චියේ යන්න ගියාම මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නත් වෙනවා නේද බං?

      Delete
  5. අයියෝ සල්ලි .....=))

    ජූඩ් තමයි ජූඩ් ....නේද ඩුඩ් තුමා ....:))

    ගෝලයෝ ඔක්කොම එක වගේ හදන්ට බෑ නොවැ කොහොමත්...ගුරු ගෞරවේ ලැබෙනකොට නිහතමානී ආඩම්බරේකුත් දැනෙනවා ඇතිනේ... :-h

    ReplyDelete
    Replies
    1. මට දැන් නම් දැනෙන්නෙ රෙහානි කණගා‍ටුවක්.

      Delete
  6. ඔහොම අප් ඇන්ඩ් ඩවුන් නොගියත් ඔය වැඩේ මටත් වෙලා මහ රෑ කි.මි. දෙක තුනක් පයින් ඇවිත් තියනවා...

    ReplyDelete
    Replies
    1. Join the club Senna. මාත් එහෙමයි

      Delete
  7. //මේ ඉස්කෝලෙ ගැන මගෙ තිබුන හැඟීම කෙසේ වෙතත්, අවුරුදු දහයක් මේකෙ උගන්නන කොට මම සහ මගෙ ආකල්පත් සෑහෙන්න වෙනස් වුනා. මේ ළමයිනුත් මාත් අතර ඇති වුනු බැඳීම, බොහෝ විට කොළඹ උසස් යයි සම්මත ඉස්කෝලවල වැඩ කරපු මගෙම සගයොයි ඒ අයගෙ ගෝලයොයි අතර ඇතිවෙච්ච බැඳීමට වඩා හුඟක් සමීපයි, අව්‍යාජයි. //
    මට දැනුනු හැඟීම උඹට පෙන්නන්න මේ ටික කොපි නොකරම බැරි උනා. ඇයි බං මෙහෙම ලියන්නෙ...අමුතුම හැඟීමක් දැනෙන්නෙ. මම ආසම වෘත්තිය නිසා වෙන්න ඇති මට එහෙම දැනෙන්නෙ.
    ඩූඩ් කියවලා තියෙනවද "ඕලු" නවකතාව. කොටස් 5යි. ඔය ඉහලින් කියාපු හැඟීම මට දැනුනු තැන ඕය නවකතාව. කුමාර කරුනාරත්නගෙ.

    ReplyDelete
    Replies
    1. ඕලු මුලින්ම ලිව්වේ තරුණයා පත්තරේට. කුමාර කරුණාරත්න සූරින්. එදා පොතක් විදියට එකතුකරගන්නයි ඒ කතාව තරුණයා පත්තරේ දැම්මේ. එහි කවරයේ සේයාරුව නලින් දිල්රුක්ෂගේ.

      Delete
    2. නලින් දිල්රුක්ෂ..... ම්ම්ම්ම්.... ටිකක් අහල පුරුදුයි වගේ ඒ නම. කොහෙද තිබුනේ.... ම්ම්ම්ම්... :-?

      --------
      ඩූඩ්ට ගෝලයෙක් හම්බ උණා වගේ තමයි කලාකරුවෙකුට තමන්ගේ දේ ගැන කියන්න ලැබීමත්. එක නිහතමානී සතුටක්. නේද නලින් අයියේ?

      Delete
    3. ස්තුතියි වීයා. මගේ නම් කැමතිම වෘතිය මේක නෙවෙයි. ඕලු නවකතාව මට එච්චර මතක නෑ බං.
      ඇත්තද නලීන්? උඹ එතකොට ඡායාරූප ශිල්පයත් කලා. බලාපං අපි කොච්චර ටිකද අපේ යාලුවෝ ගැන දන්නේ කියලා.
      නැතුව නැතුව අකමා. උඹ දැන් කෝ බං?

      Delete
    4. AKM ම්ම්ම්ම්.... ටිකක් අහල පුරුදුයි වගේ ඒ නම. කොහෙද තිබුනේ.... ම්ම්ම්ම්... :-?

      :-f :D

      Delete
    5. අඩෝ ....වැරදි එමෝ එකක් වැටිලා තියෙන්නේ...

      Delete
    6. ඒ... අඩේ.. මටත් එකක් වැරදිලා වගේ....

      Delete
    7. නලින් අය්යා කොයි කොටසෙද පින්තූරෙ...ම්ම්..! හි‍ටු බලන්න..?
      යකෝ...කවර නිර්මානය 1,2,3ඉන්දික කුමාරගෙ.....4,5 චාමර කරුනාරත්නගේ
      1 ඉන්නෙ කාජල්
      2...නම දන්නෑ ඒත් හින්දි නිලියක්
      3..තාබු
      4...එයිශ්චර්‍යා
      5...එයිශ්චර්‍යා

      Delete
    8. තරුණයා පත්තරෙන් දුන් කොටස් එකතු කොට හදාගන්න පොතට වීයා

      Delete
    9. ඕලු ටෙලි නාට්ටියකුත් ගියා නේද? ඒ ඕලුම නේද ඔය?

      Delete
  8. මටත් ජූඩ් හමු වෙලා තියෙනවා. සමහරදාට මං කෝච්චියේ දී දකින හීනවල දී.

    දවස් දෙක තුනක් ම මං කෝච්චියේ කියවමින් ගිය පොත්වල පොර හිටියා.

    ReplyDelete
    Replies
    1. ඇත්තට? බලං ගියාම ජූඩ් සිහින කුමාරයෙක්නේ. කකා ලියපු සමුගැනීමේ පෝස්ට් එක මට තවම අදහගන්න බැරුව ඉන්නේ. මොකුත් කියන්නවත් ගියේ නැත්තේ ඒ නිසයි.

      Delete
  9. මට නින්ද නොගියත් පාර නොදැන හොයන් ගිය ගමන් වලදි නම් දැපැත්තටම ඇති වෙන්න කටු කාලා තියෙනවා. සංසාරේ කියන්නෙ සමහර කොන්දොස්තරලත් "හා කියන්නම්" කියලා ඉදලා කිලෝමීටර් තුන හතරක් ගියාම කියනවා "ආ ඔයා බහින තැන පහු උනා නේද?" කියලා.

    හාස්‍ය රසය රස වින්ඳට කතාවෙ තියෙන කටුක යථාර්තයත් තේරුණා.
    බලන් ගියාම අපි හැමෝම ජීවිත තරඟෙ දුවන තරඟකාරයො… ඒත් එක් එක් අය තරඟෙ පටන් ගන්න තැන වෙනස්.

    ReplyDelete
    Replies
    1. කොන්දොස්තරලත් කීයක් දේවල් මතක තියා ඉන්නද? එයාලට නිතර එහෙම අමතක වෙනවා.
      ක‍ටුක යථාර්තය අපි නොදැක ඉන්න උත්සාහ කලත් ඒක පවතින බවට වරින් වර සිහිකැඳවීම් ලැබෙනවා.

      Delete
  10. කොටුවෙන් කෝච්චියට නැගල, නාගොල්ලගමදි ඇහැරුන එකෙක් මම. ආයෙ මොකටද එතනින් බහින්නෙ ඊලග එකටම ගියා මහව මංසන්දිය.
    කෝච්චි, බස් සීට් කියන්නෙ ඇදන්වලට වඩා නිදියන්න කියාපු තැන්.

    ReplyDelete
    Replies
    1. අනේ උඹ මේ මොනවා කියනවද කම්මල, මටත් ගෙදර ඇඳේවත් ඔහොම නින්ද යන්නේ නෑ. ඒකට හේතුව අර එන්ජිමේ සද්දෙට මත්වීමයි, වාහනේ පැද්දිල්ලයි හන්දා පොඩි කාලේ තොටිල්ල මතක් වීමද දන්නේ නෑ. ආයේ නෑ නිදිපෙති හැහුවා වගේ තමයි. සමහරුන්ට මේක අදහ ගන්න බෑ. උන් හිතන්නේ අපි බොරුවට නිදියෙනවා කියලා.

      Delete
  11. මම අහලා තියෙනවා කාර් එකේ ආපුබව අමතක වෙලා බස්වල ගෙදර ගිය අයගේ කතා... :D

    ReplyDelete
    Replies
    1. දයානන්ද ගුණවර්ධනයන් එහෙම කෙනෙක්...

      Delete
    2. මම මේ ලඟදි ජොග් කරලා ඉවර වෙලා බයිසිකලේ ලඟට ගිහින් ඒකේ බාස්කට් එකෙන් වතුර බෝතලේ අරන් බිව්වට පස්සේ තමයි තේරුනේ ඒ වෙන කාගෙද බයිසිකලයක් සහ වතුර බෝතලයක් කියලා.

      Delete
    3. මට වෙලා තියනවා ඔකේ අනිත් පැත්ත :D

      Delete
  12. බොරු කියන්න එපා බන් ඕක උනේ ඩුඩ් ට ඩුඩ් ව ඇහැරුවේ ජූඩ්.....

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාවේ මෙහෙම දෙයක් තියෙනවා. මේ බලපං මේ අවසානය දිහා.

      “ඊට පස්සෙ සර් මේ බස් එකේ නැගලා ගෙදර යන ගමන්. මට වැරදිලාවත් ආයෙ නින්ද ගියොත් සර් පොඩ්ඩක් කතාකරන්න ඈ.”

      මේ කතාව අහලා මාත් හිනාවෙලා ආයෙත් ඉස්සර බලාගෙන යනවා. ටිකකින් නොදැනිම මගෙත් ඇස් බර වෙනවා මට දැනුනා.

      “සර් සර් නැගිටින්න නැගිටින්න. පිටකො‍ටුව” කියලා ජූඩ් කිව්වම මම ගැස්සිලා ඇහැරිලා දඩි බිඩි ගාල නැගිටලා, “හුටා උඹත් ආයේම පිටකො‍ටුවට ආවා නේද” කියලා දෙන්නම බස් එකෙන් බැස්සා.

      මෙහෙම අවසානයක් කරන්න තිබ්බා මේක ප්‍රබන්ධයක් වුනානම් ඒක වඩා dramatic නේද?

      Delete
    2. අපරාදෙ එහෙම එකක් වෙන්න තිබ්බෙ එහෙනම් ලියනවනේ

      Delete
  13. ඔයාව හම්බුනේ නැත්තම් පොර තාම යනවා......හිකිස්....
    ඇත්තටම ගෝලයට වෙච්ච වැඩේනෙ කිව්වෙ නේද.නැත්තම් අනික් පැත්තද දන්නෙ නෑ.:D :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් පොර තාම එහාට මෙහාට යනවා තමයි.වෙල්කම් ‍ටු මගේ ඩෙනිම මල්ලියා.

      ඔය උඩින් තියෙන කමෙන්ට් රිප්ලයි එක පොඩ්ඩක් බලාපංකෝ.

      Delete
  14. මමත් ඔහොම ගිහිපු අය ගැන අහලා තියෙනවා . :D මං නම් නෙවෙයි ඒ ,වුඩ් ගුරුවරයෙක් කියලා අද නොවෑ හරියට මිටර් වුණේ ..තන්තොසයි ...

    ReplyDelete
    Replies
    1. උඹ තියන්න වටින්නේ නෑනේ බොල...

      Delete
    2. :D .... ඇත්ත ...මං හිතන් හිටියේ ගැරජ් එකක් කරන කෙන්ක් කියලා නොවෑ ,වාහන කෑලි ගැන කතා කියන කොට

      Delete
    3. :)) හෙහ් හෙහ්. ඒකට කමක් නෑ සහෝදර. මම බ්ලොග් ලෝකෙදි බ්ලොගර් කෙනෙක් විතරයි. ගුරුකම රස්සාවක් මිසක් පෞද්ගලික ජීවිතයට අදාල දෙයක් නෙවෙයි.

      Delete
    4. ඇයි සහෝදර.. ඩූඩ්ගේ පාට බැලුවහමත් ගැරේජ් එකක මජන් ගාගෙන ඉන්න බාසුන්නැහැ කෙනෙක් වගේ තමයි.

      Delete
    5. :))
      ඇල්බන් උඹ දන්නවද අපි අලුතෙන්මෙ ගෙනාපු ගෝල්ඩ්‍ෆිෂ්ෆේ නම ග්‍රීස් මංකි. මොකද උගේ ඇඟ පුරාම කලු පැල්ලම්.

      Delete
  15. ජූඩ් ඇන්ඩ් ඩූඩ්

    මාළු මාකට් එකේ මැනිං මාකට් එකේ උන්ගේ ජීවිත ඔහොම තමයි ආරම්බය. ඒත් ටැලන්ටඩ් එකෙක් ආවොත් නම්බර් ව්න් මුදලාලි කෙනෙක් වෙලා තමයි නවතින්නේ. කොච්චර සල්ලි තිබුනත් ඒක වෙනස්ම වූ සමාජයක්.

    ReplyDelete
    Replies
    1. ඊයේ අටං පහුරත් බස් එකේ දිගටම ගියා කියල ආරංචියි හැබෑද ඒ කතාව

      Delete
    2. එයාර්පොට්ද... මීගමුව්ටද.. හලාවතටද.. අනුරාධපුරේටද...?

      Delete
    3. අපි ගානට මහබාගෙන් බැස්සා හරිය

      Delete
    4. මාතලන්, ඒ එහෙමත් එකෙක් තමයි. ජූඩ්ගේ අම්මත් ඒකා ඉස්කෝලේ යනකල්ම කලේ මැනිං මාකට් එකේ ඇතුල්වෙන තැනම කරපිංච විකුණපු එක.

      අටමට වෙච්ච දේ ගැන මට හිතාගත්තෑකි.

      Delete
  16. ඩූඩ් ටත් ඉන්නෙ නියම ගෝලයොනෙ. හොඳ වෙලාවට ඩූඩ් හිටිය බස් එකේ ගෝලය සෙට් උනේ. නැත්තං ඩූඩ්ට වෙන්නෙ දවස් දෙක තුනක්ම පූගොඩටයි, කොටුවටයි මාරු වෙවී ඉන්න. :D
    මටනං කොච්චර උනත් වාහනවල යනකොට නින්ද යන්නෙ නෑ. වාහනේ අනතුරකට ලක්උනොත් වැඩිම හානිය වෙන්නෙ නිදාගෙන යන එවුවංට තමයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම්! මාත් හිතන්නේ එහෙනම් තාම ඌ කොළඹයි පූගොඩයි අතර ෂට්ල් වෙනවා.

      >>මටනං කොච්චර උනත් වාහනවල යනකොට නින්ද යන්නෙ නෑ. <<
      ඒකට මම! බස් වල නිදාගන්න සුවහසක් රසකාමීන්ගෙන් එකෙක් මම.

      >>වාහනේ අනතුරකට ලක්උනොත් වැඩිම හානිය වෙන්නෙ නිදාගෙන යන එවුවංට තමයි.<<
      වෙන්න පුලුවන්. අඩුම හානිය සපත්තු ලේස් ගැට ගගහා ඉන්න උන්ටලු.

      Delete
    2. //වෙන්න පුලුවන්. අඩුම හානිය සපත්තු ලේස් ගැට ගගහා ඉන්න උන්ටලු//
      මේ කතාව කලින් අහලා තියනවා වගේ හිතුනා..!! ;)

      Delete
  17. :D :D මටත් දවස් දෙකක් ඔහොම නින්ද ගිහින් තියෙනව.
    ඒකනම් මොකක්ද ? මගෙ යාළුවෙක් හොරණ-පිටකොටුව දෙපාරක් ගිහිල්ලා රෙකෝඩ් එකක් තිබ්බා. හැබැයි පාටියක් දවසක ;) ;)

    ReplyDelete
    Replies
    1. මමත් දවස් තුන හතරක් ඔහොම නින්ද ගිහින් තියෙනවා. එක පාරක් ඉස්පිරිතාලේ තාත්තා ලඟ ඉඳලා එනගමන්.

      Delete
  18. මටත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය වැඩේ වුනේ ඩූඩ් ටද ජූඩ් ටද කියන එක තමා . මැනිං මාකට් එකේ ජීවිතේට හරියට වැටුණු එකා කෝටිපතියෙක් තමා මාතේ හරි

    ReplyDelete
    Replies
    1. ඩූඩ්ටත් අම්බානක නින්ද යනවා බං බස් වල. අර උඩ අයිලාස්ට දීපු උත්තරේ පොඩ්ඩක් බලාපං, ඉවාන්.

      Delete
  19. අද අපේ මලයයි මායි දෙන්නම නැග්ගෙ එක බස් එකට.. මං ගෙදර එන්න.. උෟ වැඩට යන්න... එක්ට ඔය බස් වල එක සීට් එකක් මදි... මං ඉතිං උෟ ළඟින් වාඩි වෙන්නෙ නෑ, මුල්ලක් අල්ලගෙන නිදාගන්න ඕනෙ හින්ද.. ටිකක් දුරට ගිහින් මටත් හොඳට නින්ද ගියා.. ඇහැරිලා බලනකොට මහරගම... පිටිපස්ස බැලුව මලයා කෝ කියල.. මේ යකා සීට් දෙකක්ම අල්ලගෙන හොඳ නිදි කටත් ඇරගෙන.. බස් එකේ කට්ටිය හිටගෙනත් ඉන්නව.. ඒත් මූ ගාව කවුරුවත් වාඩි වෙලා නෑ... හි හි... මාත් ෂේප් එකේ බැහැලා ආව.. එයා නං ඉතිං බස් එක නවත්තන නැතටම යනවනෙ.. මට අපරාදෙ කියල හිතුන මගේ ෆොන් කට්ට කැඩිච්ච එක... නැත්තං ෆොටො එකක් ගහලා උන්දැගෙ කාඩ් කුඩු කරන්න තිබ්බ...

    ReplyDelete
    Replies
    1. බස් එකේ නිදාගෙන යන ෆෝටෝ එකක් දැම්මට එච්චර කාඩ් කුඩුවෙන්නේ නෑ හිරු. ඒක එච්චර අවුලක් නෙවෙයි. Achievement එකක්.

      Delete
  20. හිනායන කතාවක් ඇතුළේ ජිවන අරගලය කරන තැනැත්තෙකුගේ ශෝකාන්තයත් කියැවෙනවා ඩූඩ්. කිව්වට මොකද මාත් පොල්ගහවෙල රඹුක්කන ස්ටේෂන්වල නිදාගන තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ජීවන අරගලය තියෙනවා පේලි අතර.
      ඉතිං මොකෝ බං නින්ද ගියාට. ඒක නිරෝගී කමේ හෝ බේබදුකමේ ලක්ෂණයක්.

      Delete
  21. ...//සතියෙ අග වෙනකොට නිදි එකවුන්ට් එකට සෑහෙන ණයයි//.... මං ගිය ඉරිදා නිදා ගත්තු හැටි දැකල හෙම නෙවෙයිනේ කිව්වේ... :))

    මාත් එක දවසක් මහන්සියට නින්ද ගිහින් හෝල්ට් එක පහු කරන ගිහින් තියෙනවා. ආයෙමත් දවසක නිදිමතත් එක්ක වෙරිමත එකතු කරගෙන ඔහොම ගිහින් තියෙනවා. :))

    -----
    පරණ ගෝලයෙක් මගදී හම්බවෙලා කතා කරන එක තරම් දෙයක් ගුරුවරයෙකුට තවත් නැතුව ඇති. අපේ අම්මත් වෙලාවකට ඇවිත් කියනවා ටවුන් එක මැදදීම දන ගහලා වැඳලා යන ගෝලයෝ ගැන. එහෙම කියන කොට මූණෙ තියෙන හැඟීම් ගැනනම් කියලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. අකමා මොකක්ද ඒ ගිය ඉරිදා නින්ද ගිය කතාව? මම දන්නේ නෑ ඒක.

      අර පරණ ගෝලයන්ගේ කතා නිකම්ම හිත රිදෙන කතාවල් විතරයි අකමා. අනික ඒවා දිග කතාවල්.

      Delete
  22. එච්චරම තදට නින්ද යන්න ඇත්තෙ ගොඩක් මහන්සි නිසානේද? ඒ වුනත් ඒගොල්ලො ජීවිතේ හරිම යථාර්තවදීව ගෙවන අය.

    ReplyDelete
    Replies
    1. ඔව්. මහන්සියයි, ප්‍රමාණවත් නින්දක් නොලැබීමයි දෙකම, නිල් මානෙල්.

      Delete
  23. මටත් එකම එක සැරයක් ජූඩ් වැඩේ වෙලා තියනවා. අවිස්සාවේල්ලෙන් බස් එකට නැග්ගේ කිලෝමීටර් 8ක් එහායින් තියන දෙහිඕවිටින් බහින්න හිතාගෙන. නමුත් මම දෙහිඕවිට, කරවනැල්ල, රුවන්වැල්ල, අඟුරුවැල්ල, වරාවල, කන්නත්තොට, පහුකරලා කොටියාකුඹුරෙන් තමයි බැස්සේ. ඒ වෙලාවට ආපහු එන්න බස් නැහැ. යන්තම් ලොරියක එල්ලිලා කරවනැල්ලට ආවා. එතන ඉඳලා ඉතුරු කිලෝමීටර් තුන පයින් ගියා.

    ReplyDelete
    Replies
    1. :))
      ඔහොම වුනාම තියෙන ලොකුම අප්සෙට් එක තමයි, දන්න අඳුනන උන් කොහෙද මේ යන්නේ කියලා අහන එක. අනික මට නින්ද ගියානේ කියන එක කියවෙන්නෙත් තරමක ලැජ්ජාවකුත් එක්ක. පස්සේ ඒ ගැන හිතනකොට එහෙම නෑ.

      Delete
  24. ආඃ .. ඩූඩ්, ඒක නිකන් එකට බීලා අනිකව ඇරලවන්න උගේ ගෙදර ළඟට ගියපු වෙරිකාරයො දෙන්නගෙ කතාව වගේනේ. ඌ මූව ඇරලවන්න එනව, මූ ඌව ඇරලවන්න යනව. හෙහ් හෙහ් හෙහ් ......

    //සතියෙ අග වෙනකොට නිදි එකවුන්ට් එකට සෑහෙන ණයයි.//

    අන්න ඒකනේ, මම නම් ඔය එකවුන්ට් එක පුරවන්නේ නෑ, ආයෙ මොකටද ඉරිද වෙනකන් ඉන්නෙ, ඍන අන්තෙටත් පයින් ඇනලයි නවතින්නෙ, උදේට තේක බීල ආයෙත් නිදා ගන්නව පස්සට අව්ව වැටෙනකන්. රෑට නම් ඕන තරමක් අවදියෙන් ඉන්න පුළුවන්, උදේට බෑ. ඒ අතින් බැලුවම අපි එකවුන්ට් එකට ණය තියන්නෙ නෑ. :)

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද DDT අම්මලා තාත්තලා කොච්චර බැන්නත්, ඔය ඕන තරම් නිදාගන්න පුලුවන් කමත් මානසික නිරෝගිත්වයේ සහ තරුණ කමේ ලක්ෂණයක් කියලා. අර හැලපයත් උඩ කමෙන්ට් එකකදි කියලා තියෙනවා වගේ මැදි වයසට එනකොට උදේම ඇහැරෙනවා නිකම්ම.

      Delete
    2. //මැදි වයසට එනකොට උදේම ඇහැරෙනවා //

      හපොයි මොන දුකක්ද ඒ? :0

      ඔය DDT ගේ ලෙඩේට අපේ තාත්තා කියන්නේ "බකමුණු තියරිය" කියලා. මටත් ඒක තියනවා.

      Delete
  25. මචං ඩූඩ්...උඹ කියන්නේ ජූඩ් ගැන නෙමේ. එක්තරා සමාජ පැතිකඩක්. ඒ පැතිකඩ තමන්ගේ කරගැනීම අව්‍යාජ ලේඛකයෙකුගේ නිර්ව්‍යාජ මනස එලියට පෙන්වීමක්. ඩූඩ්...මේ කතාව , කතාවකට වඩා කියවනා අයට..ලෝකය, සමාජය දෙස නිරුවත් දෑසින් බලන්න පුලුවන් නම්, ලියපු උඹට වඩා...කියවපු එකෙක් ලෙස මම මහත් සතුටක් ලබනවා.

    ReplyDelete
    Replies
    1. උඹ මගේ මේ හෑල්ල කියවලා යම් සතුටක් ලැබුවා නම් මට ඒක ලොකුම සතුටක්.

      නමුත් උඹේ වර්ණනාව භාරගන්න මම හෝ මගේ ලිවිල්ල සුදුසුද කියලා මට විචිකිච්චාවක් දැනෙනවා.

      උඹට ස්තුතියි මචං.

      Delete
  26. .හි.. හි...
    හිනා ගියාට ඇතුලෙන් අමුත්තක් දැනුන. දන්නේ නැහැ ඇයි කියල.
    බස් වල නිදාගනිල්ල සහ මනෝ ගැහිල්ලද? හුහ්... ඒවාට මම හපනි ! නින්ද ගිහින් බහින තැන නම් පහුවෙලා නැහැ තාම. මොකක් හරි දෙයක් හින්ද මට අඩුම තරමේ හෝල්ට් එක ගාවදි හරි ඇහැරෙනවා.

    මේ.. කියන්නද ජොලි වැඩක්... මම මෙහෙම නම් කරලා තියෙනවා
    ඔන්න බස් එකට නැගල යන්න අවශ්‍ය තැනට ටිකට් එක ගන්නවා.. මගදී එනවා මොකක් හරි කෝල් එකක්.. එක්කෝ ගෙදරින්, නැත්තම් යාළුවෙක්ගෙන්. බහින තැන වෙනස් කරන්න වෙනවා, ගොඩක් වෙලාවට බහින තැන පාස් කරගෙන යන්න වෙන්නේ.. කොන්දට ඕක විස්තරේ කියල, ඌ බස් එකටම ඇහෙන්න මොරදෙයි කියල බයෙන්... හොර නින්දකට වැටෙනවා... හොරෙන් හොරෙන් ඇස් ඇරලා බලනවා. දැන් මම දොයි වගේ ටිකට් ගත්ත තැන පාස් කරලා යනවා. ඕනේ තැනට ආවම, හදිස්සියේ නින්දෙන් ඇහැරුනා වගේ නැගිටලා බැහැගන්නවා....

    අත්හදාබැලීමෙන් වන අනතුරු ගැන වගකියනු නොලැබේ.

    ReplyDelete
    Replies
    1. හිනා ගියාට ඇතුලෙන් අමුත්තක් දැනුනා නම් ඒක අර අරූ අදහස් කරපු දේමවත්ද?
      නෑ නෑ. අත් හදාබලන්න යන්නේ නෑ.
      මට මෙහෙම සීන් එකක් තියෙනවා උපේක්ෂා. අවුරුදු පහළොවකින් මෙහා බස් වල නිදාගෙන ගිහින් නැති වුනාට බස් එකේ වැඩට යන දවස්වල කොච්චර නින්ද ගියත් ඉන්ටර්නල් ටයිමර් එකක් සහ GPS එකක් හෝ ගාලා වැඩ. ඇහැ ඇරලා බලන ගානේ මම හිතන් ඉන්න තැනට ආසන්න තැන් තමයි පහුවෙන්නේ. තව අපේ ගෙදරට හෝල්ට් එකක් කලින් තියෙන බෝක්කුව උඩින් බස් එක යනකොට දැනෙන සුලූ බම්ප් එක සිස්ටම් එක අඳුනනවා. පට් ගාලා කෙලින් වෙලා නැගිටිනවා. ඕක වරදින්නේ කලාතුරකින්

      Delete
  27. දවසක් අපි යාළුවො තුන්දෙනෙක් රෑ වෙනකං පබ් එකේ බීලා බැස්සා එළියට, ගෙදර යන්ට. තුන්දෙනා තුන් පැත්තකට යන්ට ඕන. වින්ටර් එකේ මැද්දෙ. පට්ට හීතල. අවුලක් නෑ ඉතිං නයිට් බස් තියෙනවනෙ. අපේ බුවෙක් නැග්ගා බස් එකට. ඒක ඩබල් ඩෙකර් එකක්. මූ නැග්ගා උඩ තට්ටුවට. ජාමෙ රෑ 12ට විතර නිසා ‍සෙනගත් නෑ. හොඳට සීට් එකක් උඩ ගුලි වුනා. බස් එක ඇතුළෙ හීටර්ස් දාලා නීසා දැන් හීතලත් නෑ. ලාවට ඇස් දෙකත් පියවුනා. අවුලක් නෑ බහින්ට තව දුර යන්ට තියෙනවනෙ. බුවා තව ටිකක් හරි බරි ගැහුනා...

    ... ටික වෙලාවකට පස්සෙ දැන් ඉතින් බහින තැන කිට්ටු වෙලා ඇති කියලා හිතලා ඇස් දෙක ඇරලා බැලුවා. ‍වෙලාව උදේ 7යි. මූ මුලු රෑම අර බස් එකේ එහා මෙහා ගිහින්!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කොන්දොස්තරටත් නින්ද ගිහින්ද ? නැත්නම් ඔහෙ එහෙම අය නැද්ද ? අරූගෙ (අවුල් එකා නෙමේ ඕන්.. :D ) බිල කීයක් විතර වෙයිද දන්නෙ නෑ නේද ?

      Delete
    2. මේ බස්වල කොන්දොස්තරලා නෑ නෙවැ බං. ඩ්‍රයිවර්ට සල්ලි දීලා ටිකට් එක ගන්ට ඕන, නැත්තං කාඩ් එක ටච් කරන්ට ඕන.

      සමහර ඩ්‍රයිවර්ලා ඕක එච්චර ගනන් ගන්නෙ නෑ. මොකද වින්ටර් එකේදි ඔය හෝම්ලස් එවුන් පුරුදුවෙලා ඉන්නවා නයිට් බස්වලට නැගලා නිදාගන්ට. උණුහුමත් තියෙනවා, සෙනඟත් වැඩිය නෑ නෙව. ඔය පස්සෙ සීට් එකක් අල්ලගත්තහම කාටවත් කරදරේකුත් නෑ.

      බිල කිවුවෙ? බුවාගෙ බස් ගාස්තුව ද? එක පාරක් ගෙවුවට පස්සෙ බස් එකෙන් බහිනකං එච්චර තමා. බස් හෝල්ට දෙකක් ගියත්, ගමනාන්තයටම ගියත් ගාන එකයි.

      Delete
    3. බුරා මටත් හිතුනේ බං ඕක ඔය හෝම්ලස් එවුන්ට කරන්න මරු වැඩක්නේ කියලා. පස්සේ උඹ ඒක කියලා. ඒක ඇයි ඔහොම මූවී තියටර් වල නිදාගන්න උනුත් ඉන්නවා නේද? අර ටිකක් එකක් අරන් ගියාම නොන්ස්ටොප් පෙන්නන ඒවායේ?

      අනේ කොන්දොස්තරලා නැති බස් වල යන එක ශ්‍රී ලාංකික මගී ජනතාවගේ හැබෑ නොවූ හීනයක් බං. එනේ එහෙම දවසක් කවදා එයිද? අනිත් එක කණට තියෙන සනීපේ!

      Delete
    4. ඇයි බන්ස්ලා අර කෙටි කතාවක් තියෙන්නෙ උඹලා කියවලා තියනවද ? පොරක් මුලු සීත කාලෙ පුරාම උත්සහා කරනවා පොඩි වරදක් කරලා හිරේට යන්න. ඇයි හිරෙ කෑමයි, සීත ඇඳුමුයි ඔකොම නිකන්ම හම්බෙනවනෙ.. මූ ට්‍රයි කරණවා කරනවා හරි යන්නෑ.. අල්ලන අල්ලන පොලිස් කාරයා මූව නිදහස් කරලා යවනවා.. අනේ අන්තිමට සීත කාලෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා මූ හය මාසෙකටද කොහෙද හිරේට නියම වෙනවා... මට මතක නෑ ඔය කෙටි කතාව කවුරු ලියපු එකක්ද කියලා.. රශියන් හරි ප්‍රංශ හරි එකක් වගේ පොඩි මතකයක් තියනවා.. බූරාට මතක ඇති...

      Delete
    5. මම කියවලා නෑ බං එහෙම කතාවක්. කියවලා තියේනං ලාවට හරි මතකයක් තියෙන්ටෝන. :-(

      Delete
  28. මට නම් වාහන වල යද්දී නින්ද යන්නේ නැති හන්දා කවදාවත් ඔහොම දෙයක් නම් වෙලා නෑ වාසනාවට වගේ..

    ReplyDelete
    Replies
    1. උඹව තියන්න වටින්නේ නෑනේ දිනේෂ්. වාහනවල යද්දි නින්ද නොයන උනුත් ඉන්නවද ඈ?

      Delete
  29. ඔය බස්වල නිදියන එකනම් මටත් හොදට පුලුවන්.රොදෙ රවුම් දෙක යනකොට මම නිදි දෙවුදුවගෙ තුරුල්ලෙ.එක සැරයක් මම එග්සැම් ඉවර වෙලා සති දෙකක් විතර නිදි මරල ඉවරවුන දවසෙ එලිවෙනකන් පාටි දාල උදෙ ගෙදර යන්න ඇවිත් පිට කොටුවෙන් ඒසි බස් එකක නැග්ග.මට මතක නගිනව විතරයි ගල්ලෙදි කොන්ද නැගිට්ටල කියනව මහත්තය සල්ලි දිල බහින්න කියල.මිනිහ ටිකට් ගන්නවත් මට ඇහැරවල නැ නිදියන හැටි දැකල.

    ReplyDelete
    Replies
    1. ඇති කොන්දා හිතුවේ නැතුවා උඹ වංචාවක් කරනවා කියලා. උඹ ජෙන්‍යුඉන් විදියටම නිදා ගන්න ඇති. ඌ හොඳට මනුස්සකම් දන්න, නින්දේ රස හඳුනන, ඉරිසියාවකින් තොර කොන්දෙක් නෙවෙයිද?

      Delete
  30. //සතියෙ අග වෙනකොට නිදි එකවුන්ට් එකට සෑහෙන ණයයි.//
    මමත් ඔහෝම නිදි එකවුන්ට් එකට සැහෙන ණය ඇති.අර බැංකුවලින් ණය අය කර ගන්නවා වගේ අපෙනුත් මේ නිදිණය මුදල් කරලා අය කරගත්තොත් කී බෝඩ් එක විකුණලා තමයි ණය ගෙවන්න වෙන්නේ....:D

    ඩුඩ් අයියාගේ ගෝලයන්ගේ විතරක් නෙමේ ගොඩක් අයගේ ජිවිත එහෙම තමයි තරගෙකට දුවන්න වෙලා තියෙන්නේ විවේකයක් නැතිවම.

    ReplyDelete
    Replies
    1. නිදි අකවුන්ට් එකට ණය වීම සෞඛ්‍යයට ලොකු තර්ජනයක් කියලයි කියන්නේ.
      ගෝලයන්ගේ විතරක් නෙවෙයි මනෝජ් මේ අපේ ජීවිතත් එහෙමයි. අමාරුවෙන් අටවාගත්ත ගෙදර වැටිලා ඉන්න පින නෑ.

      Delete
  31. සිරාවටම පව් කියලා හිතුනා ජූඩ් අයියා.. !!

    ReplyDelete
    Replies
    1. අනේ බං සමාවෙයං ප්‍රින්ටින් මිස්ටේක්.. ඩූඩ් අයියා ..

      Delete
    2. ගණං ගන්ඩෙපා බං, පත්තර මල්ලියා.
      ඇත්තෙන්ම ජූඩ් උඹට අයියා වෙන්නත් පුලුවන් පත්තර මල්ලි. අනූවේ විතර ඕ ලෙවෙල් කරපු එකෙක්නෙ.

      Delete
  32. ඇත්තට මට බස් වල යද්දි නින්ද යන්න පටන් ගත්තෙ මේ ළඟදි ඉඳන්. නැත්තම් මට බස් වල යද්දි නින්ද යන්නෙම නෑනේ.... ඉතින් අර බස් සින්දු අහන්න වෙනවා... නින්ද යන්නේ නැති එක වෙලාවකට මහම මහ කරදරයක්...
    ඒත් ඉතින් ඒ නිසාම මට ජූඩ්ට වගේ බහින තැන පහු වෙලා නම් නැහැ...

    පහුගිය දවස් වල වැඩ වැඩි නිසා මට ඩෙනිම පැත්තට එන්න බැරි වුණා. ඒකට සමාව බාජනේක දාලා දෙන්න!

    ReplyDelete
    Replies
    1. බස්වල නින්ද නොයන චරිතත් තියෙනවා තමයි. ඒ අයව තමයි බස් රියැදුරෝ කරන්න ඕනේ.

      සිතූ දන්නවද මම දන්න බස් ඩ්‍රයිවර් කෙනෙක් හිටියා, එයා බස් එක එලෙව්වේ නැතිනම්, වංගු දහ අටේදි වමනේ දානවාමයි.

      Delete
  33. අපේ අසල්වැසියෝ දෙන්නෙක් සහ මම වැඩ කරන්නේ එකම තැන. අපි තුන් දෙනා වැඩ ඇරිලා කොටුවෙන් කොට්ටාව බස් එකට නගින්නේ එකට. නැග්ගට පස්සෙ හුලන් ටිකක් වැදෙන්න ඕනෙ නිසා තුන්දෙනා වාඩි වෙන්නෙ සීට් තුනක.

    ඔහොම දවසක් වාඩි වෙලා යනකොට මම හිටියෙ අන්තිමට. යන්තම් මතකයි කොන්දා තට්ටුවක් දාලා කියනව "බහින්න" කියලා. බලන්කොට අපි තුන්දෙනා විතරයි බස් එකේ. අරුන් දෙන්නත් හොදටම නිදි. මමයි උන් දෙන්නව ඇහැරෙව්වෙ.

    හැබැයි උන් දෙන්නා තාම දන්නෙ නැහැ මටත් නින්ද ගියා කියලා. (අද නම් දැන ගනියි )

    ReplyDelete
    Replies
    1. අද නම් දැනගනියි. :)) කොන්දා හරි හොඳයිනේ ඇල්බන් ළමයා. බලාපං කොච්චර උදව්වක්ද කරලා තියෙන්නේ බහින තැනදි ඇහැරෙව්වා මදිවට උඹේ නම්බුවත් බේරලා .

      Delete
  34. මාර කතාවක්...! ජූඩ් විතරක් නෙමේ අපි ගොඩදෙනෙක් ඔහොම ගුරුවරයෙක් ඇහැරුවේ නැතිනම් එහාටයි මෙහාටයි යනවා... :)

    ReplyDelete
    Replies
    1. I don't take your sayings at face value. I have discovered that Beetle's wisecracks have a deeper meaning, so I tread carefully, sometimes giving them a wide berth...
      -Dude's wisecrack.

      Delete
    2. දවසේ කමෙන්ටුව :)

      Delete
    3. බීටලේගේ කොමෙන්ටුව මේ ලිපියගුන් හරි මුලින් හරි දැම්මනම් ලිපියෙයි, කොමෙන්ටුවෙයි අගේ තවත් වැඩි වෙනවා ආයෙ දෙකක් නැ.

      Delete
  35. හෙහ් හේ ඩුඩ්ගේම ගෝලයා ජූඩ් . මගේ සගයෙක් හිටියා මාතර සයිට් එකක වැඩ කරද්දී . ගම හික්කඩුව . රෑ කීයට හරි ගෙදර යන්න ඕනි මිනිහට. අපේ සයිට් වල සමහර දාට වැඩ ඉවර වෙන්නේ රෑ දොළහලට විතර. මිනිහා දවසක් ඔහොම නින්දෙන් දෙපැත්තට ගිහින් වාත වෙලා වාත වෙලා පහුවදා පාන්දර වැඩටම ආවා ගෙදර නොයා.

    ReplyDelete
    Replies
    1. පව් බං. මම නම් කරන්නේ ගෙදර ළඟින් බහින්න පුලුවන් වෙච්ච වෙලාවක ගෙදර ගිහින් නිවාඩු දාලා නිදා ගන්න එක.

      Delete
  36. අපි නම් ඔය බස් වල කෝච්චි වල නිදාගන්නේ නෑනේ. ඒ වුනාට ගෙදර නම් එහෙම නිදියනවා. ඊයේ රෑ දොලහට නිදාගත්ත ගමන් උදේ හතට විතර නැගිටලා ආයේ දහයට නැගිටලා ආයේ එකට තමයි අපි ඇහැරෙන්නේ. මගේ හිටිගමන් ස්ලීපින් සෙසන් තියෙනවා සෙනසුරාදා ඉරීදාට හා බලෙන් නිවාඩු ගන්නදාට.
    ඉස්සර එක කාලයක් මම හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්දෙදි ඩබල් ජොබ් කලා. උදේ පහට හයට නැගිටලා එකට වැඩ ඉවර වෙලා ආයේ තව තැනක හවස හයේ ඉඳන් එක විතර වෙනකම් වැඩ කාලේ. (ඒ කාලේ මම බයික් එකේ නිදියගෙනත් තියෙනවා.) එක දවසක් නින්දෙන්ම පට්ට සීතල වින්ටර් එකේ බෙරි ගාලකට විසි වෙලා අඬු කඩාගත්තම තමයි තේරුනේ කොයි තරම් භයානකද කියලා ඒක. දැන් නම් පුදුමයි එහෙම එනර්ජි එකක් මට තිබ්බේ කොහෙන්ද කියලාත්. දැන් මේ මේස පුටු රත් කරලත් හිටිගමන් නිදාගන්න ඕනේ කියලා නිවාඩු දාන කම්මැළියෙක් වුනේ ඒ මමද කියලාත් මටම පුදුමයි.

    ReplyDelete
    Replies
    1. බයික් එකේ නිදියගෙනත් තියෙනවා කිව්වේ බයික් එක පදින ගමන්? දෙයියෝ සාක්කි!
      මම හිතන්නේ නිවාඩු දාලා නිදාගන්න එක නිදිමතේ වැඩ කරලා වැඩ අවුල් කරනවට වඩා හොඳ දෙයක්.

      Delete
  37. කියෙව්වේ නම් ඊයේ.. ඒ උනාට එක පාරට හබක් ගාල කරන්ට් එක ගිය නිසා කමෙන්ට් කරන්න උනේ නෑ.. මෙන්න ඒ නිසා අද ආවා!
    ඔව් ඔය වගේ ජීවිත සෑහෙන්න මේ රටේ තියනවා.. මමත් දහම් පාසලක උගන්නන කෙනෙක් හැටියට ඒ වගේ එක එක විදියේ පරිසර වලින් එන එක එක ජාතියේ ළමයි දැකල අඳුරගෙන කතා කරලා තියනවා.. මට නම් බස් වල නින්ද ගිහින් නෑ.. (මොකෝ ඉතින් ඕවල යනවා කියලය) හැබැයි ඉතින් යන එකේ නින්ද ගියොත් නම් ඔහොම ලේසියෙන් බේරෙන්න වෙන්නේ නෑ.. එක්කෝ හැටන් නැත්තම් බදුල්ලෙන් තමා බහින්න වෙන්නේ.. ටිකට් නැතුව ආවට හොඳ දඩේකුත් කන්න වෙනවා ආය දෙකක් නෑ..

    ReplyDelete
    Replies
    1. අඟහරුවාදා දහම් පාසැලක උගන්නනවද? දැනුයි දන්නේ. අපි අඟහරුවාදාලගේ ගෙවල් පහු කරගෙන ගියානේ පහුගිය දෙසැම්බරේදි.

      Delete
  38. මමත් ඔයා වගේම ඇත්ත කතා ලියන කොට ඇත්ත නමට ලගින්ම යන නමක් තමයි දාන්නේ ( ඩුඩ් = ජූඩ් වගේ)

    ReplyDelete
    Replies
    1. මැලේ, ජූඩ්ගේ නම මම වෙනස් කලේ නෑ. උගේ නම් ඇත්තටම ජූඩ් තමයි.

      Delete
  39. මට මතක් විදිහට ඩුබායි මෙට්‍රො එකේ නීතියක් ආවා නිදා ගන්න තහනම්.. නිදා ගත්තොත් ෆයින් කරනවා...

    ReplyDelete
    Replies
    1. ඔහොම නීතියක් සිංගප්පූරුවේ හරි හොංකොං වල හරි තියෙනවා කියලා මම අහලා තියෙනවා. කෑම කන්නත් තහනම් නේද කෝච්චියේ? බලු නීති බං ඒවා නම්. කෝ මේ මානව හිමිකම්?

      Delete
    2. ඔවු. සිංගප්පූරුවෙ කෝච්චිවල කෑම බීම තහනම්.

      කෑම බීම කමක් නෑ කියමුකො, කොහොමද බං නිදාගන්න එක තහනම් කරන්නෙ? බැරිවෙලාවත් නිදිමරලා නිදිමරලා එන එකෙකුට නින්ද ගියොත් මක්කැයි කරන්නෙ!?

      Delete
  40. ස්තුතියි ඇනෝ ලින්ක් එකට (ලින්ක් එක වැඩ). කියෙව්වා. ඒක තනිකරම එයාලයින් එකේ නොසැලකිල්ල. වැග්නර් කියනවා වගේ එයාට හාට් කන්ඩිෂන් එකක් හෙම තිබුනනම් කොහොමද!

    ReplyDelete
  41. අනේ අපේ හෙන්රි අයියා නොහිටියා නම් ජූඩාට එදා වහ කන්න හිතේවී ෂුවර් එකටම...ඔය ගුරු ජීවිතය හරිම තෘප්තිමත් කියලා සමහරු කියන්නෙ තමන්ගෙන් ඉගෙන ගත්ත ගෝලයො පස්සෙ කාලෙක හමුවුනාම ලෙංගතුව කථා කරන ඒ වටපිටාව නිසා...නමුත් ඔබ ගුරුවෘත්තියට වඩා කැමති වෙනත් වෘත්තීන් තිබෙනවා. මේ ගැන යම් අදහසක් එකතු කලොත්....

    ReplyDelete
    Replies
    1. සිරා ඇත්තෙන්ම කිව්වොත් මම ගුරු වෘත්තියට වඩා ප්‍රිය කරන වෙනත් වෘත්තීන් තියෙනවා කියන එක නෙවෙයි ඇත්ත. ගුරුකම කියන්නේ මම අකමැතිම, අප්‍රසන්නම වෘතියක් කිව්වොත් වඩා හරි.

      Delete
  42. ඩූඩ් අයියෙ, ඔක්කොටම වඩා මට දුක හිතුනෙ මේකෙ දෙවෙනි ඡේදයට. ගුරු ගවුරයට පිදෙන උපහාර එහෙම්පිටින්ම තියෙනවා.ගුරුවරුන්ට විතරක් නෙමේ කාලෙකින් යාළුවෙකු හමුවුණත් ඇතැම්විට එහෙම කරන්න සිදුවෙන අවස්ථා එමටයි.නිර්ධන පන්තියේ මිනිහෙක් විදියට මාත් ඔය දේම කරල තියෙනවා. හැබැයි ගුරුවරයෙකුට ඒ දේ කරන්න මට තාම අවස්ථාවක් උදාවෙලා නෑ. ඒත් මගෙ ගුරුවරයෙකු ඉස්සරහ කිසිම දිනක ඔය සිගරට් කතා නම් කියල නෑ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැව්. මොකද දැන් මොකුත් ලියන්නේම නැත්තේ?

      Delete
  43. මට මතක් උනේ To sir with love පොතේ ගුරුවරයාට හම්බවෙන නසරානි ගෝලයො සෙට් එක.

    ReplyDelete
    Replies
    1. මම පොත නම් කියවලා නෑ බස්සි. නමුත් මූවී එක නම් බැලුවා. ඒක හැට ගනං වල එකක්.

      Delete
  44. ඉස්සර මගෙත් විද්‍යා ගුරුවරයෙක් හිටියා ඔය වගේම.. එතුමා කියනවා. "කොල්ලනේ මට දැන් මේ නුවර ටවුමේ යන්න පුළුවන් මගේ පර්ස් එක නැතුව.. ඔන්න බලපං මම මෙතනින් බැහැල මාකට් එක පැත්තට ගිහින් බස් එකට නැගල ගෙදර යනකං එකෙක් මට සතයක් වියදම් කරන්න දෙන්නේ නැති හැටි, මොකද පල්ලෙහා වීදියේ තැඹිලි කපන එකා මගේ ගෝලයා.. ඌ කට්ටි පැන්න මගෙන් ගුටිත් කෑවා, ඒ වුණාට ඌ කියන්නේ ඌ මිනිහෙක් වෙන්න ඉගනගත්තේ මගෙන් කියල.. ඉතිං ඔතනින් ගියොත් තැඹිලි නිකං.. බිව්වේ නැත්තං පිහිය උළුක් කරයි කියල බයට මං බොනවා බං.. ඔන්න මාකට් එකේ ඉන්නෙම මගේ ගෝලයෝ.. උන් විද්‍යාව ඉගනගත්තේ නැතත් මට හරි ආදරෙයි. දැක්කොත් ඇවිත් කතා කරලා යන්නේ. උන් ඉන්න හින්දා මට මාකට් යන්න බෑ.. බඩු වලට සල්ලි ගන්නේ නෑ උන්. වෙන කඩේකින් ගන්න දෙන්නෙත් නෑ. මේ අපේ සර් යකෝ කියල ඇවිත් ඇදගෙන යනවා. එතනින් ගියාම අපේ බස් එකේ කොන්දා ඌත් මගේ ගෝලයෙක් නෙව..".... "ඉතිං සර් සර් විද්‍යාව උගන්නපු ඔක්කොමල ඔහොම රස්සා ද කරන්නේ??" පලයන් බූරුවෝ යන්න.."

    නමුත් ඇත්තටම එතුමා හරි හිත හොඳ ගුරුවරයෙක්. ඉස්කෝලෙදි වුනත් කොල්ලෙක් වැරදිලා හරි බොරුවට හරි බඩගිනි කිව්වොත් එක්ක ගිහින් කන්න බොන්න පවා අරගෙන දෙනවා. පොත් පත් දෙනවා. ඒ නිසා ඇත්තටම එතුමාට කොල්ලෝ ගොඩක් ආදරේ කළා. මං හිතන්නේ ඔබටත් ඒ දේ එහෙම ම ඇති..

    ReplyDelete
    Replies
    1. ඒක නම් මරුම කතාවක් සැන්ඩරේ. අනේ මටත් එහෙම කාලයක් තිබුනා තමයි. නමුත් දැන් නම් කෘතීම දියාරු ගුරු ජීවිතයක් තියෙන්නේ බං.

      Delete
  45. මමත් කාලයක් රෑ 11 ඉඳලා උදේ 7 වෙනකං කරන රස්සාවක් කලා. මට තියන ලෙඩක් තමයි අනාගත ආයෝජනයක් විදිහට නිදාගන්න බැරි එක. වැඩට ගිහින් ආවට පස්සෙ තමයි මහන්සියට නිදාගන්න පුළුවන්. මගේ කතාව ජූඩ් ටත් වඩා හපන් මම හිතන්නේ. වැඩ ඇරිලා ගෙදර යන්න කොච්චියක් එනකං ඉන්නකොට ස්ටේෂන් එකේ නින්ද ගිහින්, කෝච්චියක ගාඩ් කෙනෙක් මාව ඇහැරෙව්වා.. බලනකොට කෝච්චි 3, 4 ම ගිහින්. අනික මම මේක කලේ සිකුරාදා, සෙනසුරාදා දවස් වල. පහුවදා නිවාඩු දවස් නිසා කෝච්චි අඩුවෙන් දුවන්නේ. ඊට පස්සෙ කොච්චියෙත් නින්ද ගිහින්, දෙපැත්තටම එක වතාවක් ගානෙ ගියා. ගෙදර යනකොට 11යි.

    මේක නම් මම කලිනුත් කොහේ හරි කිව්වා වගේ මතකයි. කුමාර තිරිමාදුරගේ පොතක තිබ්බේ. සැරයක් ජයලත් මනෝරත්න බස් එකකට නැගලා කොන්දොස්තරට කිව්වලු "මල්ලි, මට නින්ද ගියොත් වජිර ලීබඩු එක ලඟදි ඇහැරවන්න" කියලා. කොහොම හරි මනෝරත්නට නින්ද ගිහින්, ඇහැරිලා බලනකොට තේරුණාලු බහින්න ඕනෙ තැන පහු කරලා සෑහෙන දුරක් ඇවිත් කියලා. පොර ඇහුවලු "මල්ලි, වජිර ලීබඩු සාප්පුව පහුවෙලා නේද?" කියලා. කොන්දා කිව්වලු "මහත්තයා, ඔය වජිර ලීබඩු සාප්පුවේ බඩු එච්චර හරි නෑ... ඉස්සරහා තියනවා නියම ලීබඩු කඩයක්, මම එතනින් බස්සන්නම්" කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ අත්දැකීම්!
      ඒක නෙවෙයි තිසර. මම ඔය කතාව මනෝම කියනවා අහලා තියෙනවා.
      ඒ කතාවේ තිබ්බේ බියගම පාරේ තියෙන විජය උලු එකයි නෙලුම උලු එකයි.

      Delete
  46. Replies
    1. ස්තුතියි දිලිනි.

      Delete
  47. හිනා ගියත් මේ කතාව ඇතුලේ හැංගිලා තියෙන්නේ දුකක් කියලා හිතෙනවා. මටනම් නිදි මත ඇකියුමිලේට් උනාම පොලියත් එක්ක ගෙවන්න වෙනවා. පැයක් නිදි මැරුවොත් පැය දෙකක්වත් නිදාගන්න ඕන ඒක අල්ලන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්. හිනා ගියත් ඇතුලේ හැංගුන දුකක් තියෙනවා.
      සයුරි, මගේ යාලුවෙක් හිටියා. ඌ කෑම වේලක් මිස් වීම ගැන හිතන්නේ ඔයා නින්ද ගැන හිතන විදියට.
      "හයියෝ මචං. මම නං කෑම වේල මිස් කරගන්නේ නෑ මොන හේතුවක් නිසාවත්. මොකද ඒක ආයේ කවදාවත් අල්ලන්න බෑනේ." ඌ මේක කියන විදියට මට අදටත් හිතා ගන්න බෑ මූ මේක කියන්නේ සිරාවටද නැද්ද කියලා.

      Delete
  48. සමහරුන්ගේ ජීවිතේ මගේ ජීවිතේට වැඩිය ගොඩක් බරයි කියලා හිතුනේ මේ කතාව කියවද්දී..
    ජූඩ්ගේ වගේම ඩූඩ්ගෙත්...

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>