Friday, November 2, 2012

18. පිංසිබොල්ගෙ කොමෝඩ් බැක් අප් එක.

ගුරු පුහුණුවෙන් පස්සෙ අනිවාර්ය දුශ්කර සේවයෙ ඉතිරි ටික සම්පූර්ණ කරන්න, මටත් යන්න වුනා මහවැලි “සී” කළාපයට. මේ ප්‍රදේශය ඒ කාලෙ කොච්චර සනීපද කියල බලාගන්න පුලුවන්, මේ ගැන හොඳම අත්දැකීම විස්තර කරල තියෙන, මගෙ හොඳම නිර්මාණය හැටියට මම සලකන, “Deepa, Please Don’t Ask What Happened To The Tomatoes”  කියන මෙන්නෙ මේ ලින්ක් එකෙන්. කඩුවට කැමති අය ගිහින් එන්නකො.

මෙම බ්ලොග් සටහන මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුල් වරට පලවිය.

ඔන්න ඉතින් ගැබිණි බිරිඳත් ගෙදර තියලා, ගමන් මල්ලත් උස්සගෙන වංගු දහ අට, හසලක, මහියංගනය, ගිරාඳුරුකෝට්ටේ පහුරකගෙන,  මං ගියා දුෂ්කර සේවයට දෙහිඅත්තකණ්ඩිය පැත්තට. කැලෑ මැද්දෙන්, මෝටර් ග්‍රේඩර් වලින් හදපු දූවිලි පාරවල්. මයිලපිටිය, දිවුලපිටිය පැත්තෙන් ගෙනත් පදිංචි කරවපු ජනපදිකයො. අලුත්ම පාසැල් ගොඩනැගිලි නමුත් ජල විදුලි සැපයුම් මොකුත් නෑ. කිවුල් වතුරෙන් හදපු තේ  බොන්නෙ, යුතුකමක් හැටියට.



ඉතින් 'මේ මොන අපායක්ද යකෝ', කිය කියා, ඉසුරුපායෙ ගුණවත් පුත්තරයන්ගෙ මව්වරුන්ගෙ ගුණ ගයමින්, බට්ට වෑන් එකෙන් බැහැලා, බෑග් එකත් උස්සගෙන, පාර අහ අහ, ගෑ‍ටුව ඉස්කෝලෙ හොයාගෙන. 

ඉස්කෝලෙ වත්තෙමයි ගුරු නිවාසත් තියෙන්නෙ. විදුහල්පති බ‍ටුවන්ගල, මාව ඉතාම ආදරයෙන් පිලි අරගෙන දීපු කොච්චර බිව්වත් තිබහ නොයන කිවුල් වතුර එක, මම එක හුස්මට බීල දැම්ම.

කොච්චරවත් හපේ ගහගෙන ඉන්න බ‍ටුවන්ගල, කඳුකරෙන් ආපු ඩයල් එකක්. හවසට තමන්ගෙම ගෝලයන්ගෙ ගෙවල්වල පිල් කන්ඩි උඩ ඉඳගෙන, ගෝලයන්ගෙ තාත්තල ගරු සරු ඇතුව පෙරලා දෙන නැ‍ටුම් තෙල් ගහනවා. මම පස්සෙ දැනගත්ත දෙයක් තමයි, මේ ජනපදිකයො තමන්ගෙ ගම් බිම් අත හැරලා මෙහෙට සංක්‍රමනය වෙනකොට, සමහරු මොනවා නැතත් පෙරන්න අවශ්‍ය බඩු ටික නම් ලොරියෙ දාගෙන ඇවිත් තියෙන බව.

“මිස්ට බ්ලොග්වෝකර්, මූණ කට හෙම හෝද ගන්ටකෝ අර පිටිපස්සෙ තියෙන ටැංකියෙන්. ගමන් මහන්සියත් ඇතිනේ. පොඩි දුරක්යැ කොළඹ ඉඳන් එන්ට ගියාම” ලොක්කා කිව්වා.

මමත් ඒ කියන විදියටම  කරලා වෙන ටී ෂර්ට් එකකුයි, ලීවයි’ස්® එකකුයි, (ඇඩ් එකක් තමයි) ඇඳගෙන ගියා විදුහල්පති බ‍ටුවන්ගල එක්ක රටතොට බලන්න. ඔන්න ඇවිදල කරලා ගිහින් ඉඳගත්තා එක ගෙදරක පිල් කණ්ඩියක. කිව්වත් වගෙ මේ බුවා ගමේ සෑහෙන ජනප්‍රිය බව පෙනුනා.

ගෙදර මනුස්සයා ගෙනත් තියපු ක‍ටුකම්බි බෝතලෙන් ෂොට් එකක් වක්කරගන්න ගමන් ලොක්කා මගෙනුත් ඇහුවා,

“මිස්ට බ්ලොග්වෝකර් නම් ඉතින් ‘සුදුවා’ ගන්නෙ නැතුව ඇතිනෙ?” කියලා. 

මම නෑ කියලා, චප්ප වෙලා තිබ්බ පැකට් එකෙන්,  ක්‍රෑන්ක් ශාෆ්ට් එකක් වගෙ ඇදවෙච්ච සිගරට් එකක් අරන් පත්තු කරගත්තා.

රෑ, වැනි වැනි ගෙදර එන ගමන්, තවත් ළඟ ඉස්කෝලෙක ගුරු නිවාසෙකට රිංගුවාම බලාපොරොත්තු වුන ආකාරයටම කෑමටත් ආරාධනා ලැබුනා. ඒකත් කාල තව ටිකක් සතු‍ටු සාමීචියෙ යෙදිලා (බට්ටත් තෙල බෙදන්න දෙයියා) ආපහු ඉස්කෝලෙට එනගමන් පොර කියනවා,

“මිස්ට බ්ලොග්වෝකර්, මෙහෙ කලුවරේ නම් යන්ට එපා පු‍තෝ. මොකද මෙහෙ ඉන්නවා විෂකුරු සර්පයෙක් ‘හබරා’ කියලා.”

මම කොහොමත් සර්පයොත් එක්කවත්, උන්ට කැමති එවුන් එක්කවත්  ආශ්‍රයක් නෑ. කොටින්ම ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා එක්කත් මම තරහයි සර්පයො නිසාම. අර ගාමිණීගෙ විජිතය ලියන වයිල්ඩ් ලයිෆ් ගාමිණි  ආශ්‍රය කරන්නෙ, එදා ඉඳල බොක්ක නිසා. සර්පයෝ ගැන ලියන අන්තිම පේලියෙ 'කිරි සප්පයා', මම මේක ලියන කාලෙ දන්නෙ නැති නිසා ඌ බේරුනා.

 දැන් ඔන්න ආපහු ගුරු නිවාසෙටත් ආවා. ලයි‍ටුත් නැතුව පට්ට ආතල්. ලාම්පුතෙල් එලියට පුරුදු වෙන්නත් ටිකක්  අමාරුයි. ජල විදුලිය සැපයුමක්  නැති වුනාට, වයරින් කරලා ටැප් හයි කරලා තියෙන්නෙ, බඩු ආපු ගමන් දෙන්න. අනික තව අලුත් ගුරුනිවාස දෙකක් හදාගෙන යනවා. මේක ඇත්තටම විදුහල්පති නිළ නිවාසය. බට්ටා තනියෙම ඉන්නෙ වයිෆ් බබත් එක්ක ගමේ ගිහින් නිසාලු. ඒක හන්දම පොර දුක තුනී වෙන්න, කන් පාත්වෙන්න ගහනවා.

දැන් ඔන්න මමත් ශෝටක් හෙම ගහගෙන, මට දීපු කාමරේ ඇඳට වැටිලා නිදා ගන්න සෙට් වුනා. පෝය ලඟ නිසාද කොහෙද කාමරේටත් හඳ එලිය වැටිලා තිබ්බා. මාත් බට්ට දීපු මදුරු කොයිල් එකකුත් පත්තු කරගෙන ඇඳට වැ‍ටුනා.

ගමන් මහන්සියටම මටත් පෙරේතයා පොලොවෙ ගැහුවා වගේ නින්දත් ගියා.

මහ රෑ ඔන්න මම ඇහැරුනා, හොඳම චූ බරක් හැදිලා.  ඇ‍ඳෙන් බහින කොටම වැදුන නහය බිත්තියෙ තරු වීසි වෙලා, මුලු කාමරයම ඒකාලෝක වෙන්න. තරු එලිය ටිකෙන් ටික අඩු වුනාට පස්සෙ, මම බිත්තිය අත ගාල බැලුව ස්ව්ච් එක හොයන්න.  ඒක හම්බවුනෙත් නෑ. එතකොටම මතක් වුනා, මේ ගෙදර නෙවෙයි ඉන්නෙ කියලා.

ඇඳේ ඉඳගෙනම කල්පනා කලා කාමරේ පිහිටීම ගැන. හඳ එලියට යන්තම් පේනවා, දොරවල් දෙකක තියෙන බව. එකක් සාලෙට. ඒකෙන්නෙ ඇතුලට ආවෙ. ඒක ඇරගෙන ගියා සාලෙට. බට්ට ලී ඉරනව ඇහෙනව. ගැටයක් අහුවෙලාද කොහෙද.

සාලෙන් එලියට තියෙන දොරවල් දෙකම ලොක් කරලා. ඒ මදිවට වහාම ඔලුවට ආවෙ බට්ටගෙ අවවාදෙ, සර්පයො ගැන. යකෝ අර මදුරු කොයිල් එක ගාව තිබ්බ නේද, ගිණි පෙට්ටියක්? ආයිම බිත්ති අතගාගෙන, ගියා කාමරේට. ගිණිපෙට්ටිය හොයාගන්න කලින් දැක්කා අනිත් දොර.

දැන් නම් චූ බර ඩබල් ට්‍රිපල් වෙලා. ඒ දොර බලනවද, ජනේලෙන් එලියට චූ කරනවද කියලා සලකා බලන කොට, දැක්කා දැන් කලුවරට ඇස් පුරුදු වෙලා නිසාද කොහෙද, අර දොර යාන්තම් අඩවල් කරලයි තියෙන්නෙ කියලා. ඕනැ මගුලක් කියලා ඒ දොර ඇරලා බැලුවම පොඩි හත‍රැස් පැසේජ් එකක්. ලඟම තියෙන දොරේ බෝලෙ කරකවලා බැලුවා.

හහ්! මෙන්න යකෝ ඇරුනා! 

ඇරුනා විතරක් නෙවෙයි, චූ බරෙන් බොක්ක පුපුරන්න යන පොරකට දකින්න පුලුවන් ලස්සනම දර්ශනය දැක්කා. බාත් රූම් එකක්. ටොයිලට් එකක ඡායාවත් පේනව හඳ එලියට. පැන්න ගමන් ඉස්සුව ටොයිලට්  සීට් එක. පල් ගඳක් වගෙ නම් ආවා. කොහොමත් දැන් නම් නැවතිලි බොරු. ඔය #1 සහ #2 වැඩ වලට තියෙනවනෙ, පැය ගානක් හිරකරන් ඉන්න පුලුවන්, නමුත් ටොයිලට් එකේ අගුල දානකන් ඉන්න බැරි හිතුවක්කාර ගතියක්. හිර කරගෙන ඉඳල චූ කරනකොට තියෙන ආතල් එක, ඉතිං මම විස්තර කරන්න ඕනෙ නැහැනෙ. දන්නෝ දනිති.

චූ දාන ගමන් මට තේරෙනවා, ටිකක් අමුතු සද්දෙකටයි චූ පාර වැටෙන්නෙ කියලා.  ඇස් ටිකක් ලොකු කරලා බැලුවම යාන්තම් පේනවා සුදු පාට කොමෝඩ් එකේ කලු පාට මොනවා හරි තියෙන බව. ඒ වගේමයි සුවඳත්. යකෝ මේ බට්ටා හෙන බොගක් දාල ෆ්ලෂ් කරල නැතුව වත්ද? එතකොටම මතක් වුනා ඇත්තටම මේක ෆ්ලෂ් කරන්න වතුර තියෙනවද කියලා.

වැඩේ ඉවර කරලා, ෆ්ලෂ් හැඬල් එක පාත් කරලා බැලුවා.. ම්හු. හිතුව වගේම සද්දයක් වත් නෑ.  මේක ෆ්ලෂ් කරන්න ආයෙ ඉතින් ඡන්දයක් එනකල් ඉන්න වෙනවා. ඕනෙ මගුලක්. බට්ටට බොග දාල නිකන් ඉන්න පුලුවන් නම්, මම චූ කලාම මොනව වෙන්නද කියලා, සීට් එක පාත් කරලා, පියන වහලා දොරවල් දෙකම වහලා, මාත් ගිහින් නිදාගත්ත.
 
පහුවදා උදේ මම ඇහැරුනේ බට්ට තේ හදන සද්දෙට. මූණ කට නොසෝදම, බෙඩ් ටී එක බීල, ආයෙත් පත්තු කරගත්ත චප්ප වෙච්ච තවත් සිගරට් එකක්. දැන් ආයෙම කතාව.

“සර් බොන්නෙ නැත්ද තේ?” දුම් වලල්ලක් යවන්න උත්සාහ කරන ගමන් මම ඇහුවා.

“බොනවා. දැන්ම නෙවෙයි” කියලා පොර බුලත් කොලයක් අතට ගත්තා.

“මට ඉතිං ඔය උදේ පාන්දරම හපයක් ගැහුවෙ නැත්නම්, වැඩක් නෑ. කටත් අමි රහයි”

අමි රහ මොන රහ ඇත්ද කියලා මම කල්පනා කරකර ඉන්නකොට ලොක්කා,
 
“චෙහ්, පුවක් ඉවරයි,” කියලා නැගිට්ට.

“අහ්, ඉතින් මොකද කරන්නෙ?” මම ඇහුවෙ නිකමට.
 
“ඉන්ටකෝ,” කියල පොර රිංගුවා මම නිදාගත්ත කාමරේට.
 
මමත් තව තේ උගුරක් බීලා, දුම් උගුරකින් ඒක සීසන් කලා.

මට පේනවා බට්ට අරිනවා අර බාත් රූම් එකේ දොර. මට මතක් උනේ 
අර ෆ්ලෂ් නොකරපු, මම චූ කරපු බොග.
 
පොර දොර ගාව නැවතිලා මං දිහා බලල ජයග්‍රාහී හිනාවක් දාල, “බඩු හෑව්. එන්ටකෝ පෙන්නන්ට.” කිව්වා.
 
මාත් නැගිටලා ඒ පැත්තට ඇදිලා ගියා කාන්දම වගේ.
පොර ඉස්සුව ටොයිලට් සීට් එක. දැම්ම  ටොයිලට් බෝල් එක ඇතුලට අත. හොඳට අතගාල ගත්තා කලු පාට කෑල්ලක් අතට.
 
මට ඇස් අදහගන්න බෑ. කට වහ ගන්නත් මතක නෑ.
 
“මො… මො… මොකක්ද සර් ඒ?”

"හැහ් හැහ් හැහ්,” පොර හොඳට එන්ජෝයි කරනවා, මේ කොඩැක් මෝමන්ට්® එක. (තවත් ඇඩ් එකක්. මේවට මට ගෙවනවා.)

“දේසෙ හැටියට බාසෙ කියනව නොවැ මිස්ටර් බ්ලොග්වෝකර්.”
 
“ඒ කිවෙ සර්?”
 
“මේ කොමෝඩ් තිබ්බට, ඕවයෙ වැඩක් නෑනෙ වතුර නැතුව. අපි පාවිච්චි කරන්නෙ එලියෙ සර්වන්ට් ටොයිලට් එක. මේ කොමෝඩ් එකේ අඩිය මම රෙදි ගුලියක ගලක් ඔතලා බ්ලොක් කරලා තියෙන්නෙ. දැන් මම මේකෙ මඩ පුවක් දානවා, මේ සිස්ටන් එකෙත් කට  ලඟටම මඩ පුවක් දාල තියෙන්නෙ. හෙහ්, හෙහ්, හෙහ්”
 
මම ඇස් දෙක පීරිසි දෙක වගෙ හදාගෙන, කට ඇරගෙන, එතනම ගල් වුනා.
 
මම ගුරු සෙවයේ රස කතාත් කියවලා තියෙනවා. නමුත් මෙහෙම එකක් නම්, මගෙ ජීවිතේට අහලවත්, දැකල වත් නෑ. මම ඊයෙ රෑ චූ කරල තියෙන්නෙ, ලොක්කගෙ මඩ පුවක් බැක් අප් එකටනෙ! හොඳ වෙලාවට, මට ඊයෙ රෑ බොගක් සෙට් වුනේ නැත්තෙ. එහෙම වුනත්,  දැනුත් මේ බට්ට සුද්ද කරන පුවක් ගෙඩියෙන් එන ගඳේ හැටියට, පොර ඕක කොහොමවත් නෝට් කරන එකක් නෑ කියල මට හිතුනා.

පසු වදන:

එදා අහිංසක පරි පාලන බුවාලට HP (Hewlett Packard) ,WP (Western Province), BP (British Petroleum), වගෙ අන්තිම නරක වචන කියමින් පළමු වතාවට එහෙ ගිය බ්ලොග්වෝකර්,  මේ ලඟදි ලංකාවට ගිය වෙලාවක, මුළු පවුලම එක්ක එහෙ ගියානෙ, නොස්ටැල්ජියාව උත්සන්න වෙලා. දැන් ගස් වැල් පිරිලා පුදුම වෙනසක්  ‘කලකදි වස කලකදි රස’ කියන්නෙ ඔන්න ඕකයි. කාලය මැවු වෙනසක අරුමේ!

මෙම බ්ලොග් සටහන මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුල් වරට පලවිය.

මේ සපත්තු පාලම පහු කරන්න ඕනෙ, ඉස්කෝලෙට යන්න.


ඔය තියෙන්නෙ ඉස්කෝලෙ අද.
තව කෝණයකින්
 


චූටි එකා නම් ඔය ගියාමයි. වෑන් එකේ පිටිපස්සෙ දාගෙන යන එයාගෙ බයික් එක පදිමින්, පුදුම සතුටක් ලැබුවෙ.

මේ තියෙන්නෙ ඔය කියන ගුරු නිවාසෙ, අද.



ඔය යන්නෙ එදා බැන බැන හිටපු හෙන්රිබ්ලොග්වෝකර් the ඩූඩ් අතීත සැමරුම් අතරින්, අද. අනේද කියන්නෙ! කාලය මැවු වෙනසක අරුමේ!

අපේ සරළ ජීවිත රටාව. පිපාසයට දිය බිඳක්.

මේ ඉස්කෝලෙ පිටිපස්සෙ ඇලට යන පාර

1989 දි, මේ අපි හිටපු ගුරු නිවාසයට යන පාරේ මිදුලෙ,  ගල් වලින්, මගෙ බයික් එක එරෙන්නෙ නැතුව ගෙට ගන්න,  මේ පාත් එකක් හැදුවෙ මගෙ අත් දෙකෙන්. මේ පාර, මේක කියවන ඔබට වැඩිය වයස වෙන්න පුලුවන්. මට පුදුමාකාර නොස්ටැල්ජියාවක් ඇති වුනේ මේ පාත් එක දැක්කම.


113 comments:

  1. ඩුඩෙ මහ ජරා වැඩ නොවැ කරන්නේ. පට්ට කතාව බං. ඉංගිරිසි එකත් අනිවා බලනවා..

    ReplyDelete
    Replies
    1. ටොයිලට් එකකට චූ කරන එක ජරා වැඩක් වෙන්නෙ කොහොමද බං දේශකයො?

      ඔන්න උඹලා වගෙ ඔය තාප්ප වලටයි, බස් ටයර් වලටයි අල්ලන එකනම් ඕස් ජරා වැඩක් කිව්වෑකි. :D

      ඉතින් ඉංගිරිස් එක බැලුවද?

      Delete
    2. ඔන්න ඩුඩෙ මට යකා වැහෙනවා. තෝ හිතන්නේ අපි එහෙම කොරයි කියලද?අඩේ ඔය ටිකක් පානය කරපු වෙලාවට ස්ටැන්ඩ් එකේ තියෙන නවත්තපු බස් එකක් අස්සට ගිහිල්ල චූ කරල ඉවර වෙලා ඔළුව උස්සල බලන කොට බස් එක ගිහිල්ල තියෙන වගේ වැඩ උනාට ටයර් රත් කරන්නේ නං නෑ බොල. හහ්.. හහ්... ජරා වැඩේ කියන්නේ උඹ බැක්අප් එකට වැඩේ දීපු එක. ආයි කියන්න එපා උඹ ඒක දන්නේ නෑ කියලා හරිය.
      ඒක අද කියවන්න තමා ලැහැස්තිය. ඕකට බං ශබ්දකෝෂ දෙකක්ම තියාගන්න එපායැ.. සෙල්ලං කෙලියක්ද ඩුඩෙ..

      Delete
  2. කතාව නම් ඇත්තටම හරිම රසවත් ඩූඩ් අයියේ.... ( මඩ පඅවක් නෙවෙයි හොඳේ...)

    ඒ ඔක්කොටම වැඩිය අන්තිය ෆොටෝ එකයි, ඒකේ කැප්ෂන් එකයි හිතට වැදුනා... ඇත්තමයි... මම ඉපදිලා අවුරුදු 5යි...

    ReplyDelete
    Replies
    1. මඩ පුවක්වල රසයේ නම් වෙනසක් නැතුව ඇති හිරුවා. මඩ පුවක් කොහොමත් එකයිනෙ. :D

      ඔව්. මට බලන්න හරි ආසාවක් තිබ්බා මම එතන හිටවපු චෙරි ගස්, ඔය පාර වගේ හුඟක් දේවල් අද කොහොමද කියලා දකින්න.

      Nostalgia කියන්නෙ පුදුම හැඟීමක්...

      Delete
  3. මේක කියවලා තුබුනේ නෑ.. හිනා වෙලා මැරෙනවා බන්. බොරි නෙමෙයි ඇස් වලට කඳුළුත් ආවා. උඹේ ලිවිල්ලනම් සුපිරියි.. නෝ කතා නෝ සිනා.. මාත් ලීවයිස් ප්‍රොමෝටර් කෙනෙක් අනෙක් එකක්වත් හරියන්නේ නෑ...

    ReplyDelete
    Replies

    1. මට නම් එදා හිනා ගියේ නෑ මාතලන්. ඇත්තටම බුවා ඒක කනවා දැකලා මට ඇති වෙච්ච හැඟීම කලාතුරකින් පහල වෙන විස්තර කරන්න බැරි සංකීර්ණ හැඟීමක්.

      Nice to meet another Levi's fan, dude) :)

      Delete
    2. මට හිතා ගන්න පුළුවන් උඹ වගේ සංවේදි කෙන්ක්ගේ හැඟීම. නමුත් මුත්‍රා කියන්නෙත් හොඳ බෙහෙතක්. මට ඕකට හිනා ගියේ අපේ සීයා පුවක් දාලා තියෙන වලටත් ඉස්සර අපි චූ කරාම පොඩ්ඩක් යන්න ඇති. ඇයි එතකොට සීයගෙම හරක් දාපුවා ඒවත් යන්න ඇති. ඒ නිසා එච්චර හිතන්න එපා.

      Delete
  4. කතාවනම් නියමයි බං...අතීත මතක .

    ReplyDelete
    Replies

    1. ඔව් බං චමී. මේවා ඉතින් Drama in Real Life තමයි. කියලා කරවාගන්න බැරි ආයෙ වෙයි කියලා හිතන්න බැරි කතා.:)

      Delete
  5. හික් හික් ..... මඩපුවක්. ජෝ අබේවික්‍රම විකට චරිතයක් රඟපාපු පරණ ෆිල්ම් එකක් මතක් වුනා.

    ඒ පරිසරය අද හරි ලස්සනයි හෙන්රි අයියා. දැන් දුෂ්කර සේවයට යන අයට වැඩි කරදරයක් නැතුව ඇති.

    ඇත්තෙන්ම අපේ ජීවිතයෙ එක කාල පරිච්ඡේදයක අපිට සමීපවෙල තිබිල ඉන්පස්සෙ කාලයක් දුරස්වෙච්ච දේවල් නැවත හමුවුනාම දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි.

    ෂෙහ් ... දුෂ්කර පළාත්වල රජයෙ සේවයත් ඒ කාලෙ මරුවට තියෙන්න ඇති. ඔය වගේ පළාත්වල සේවය කරපු පරිපාලන නිලධාරීන් වගේ කීප දෙනෙක් ලියපු ස්වයං චරිතාපදාන එහෙම මම කියවල තියෙනව. ඒ අව්‍යාජ ගැමියොන්ගෙ දුෂ්කර ජීවිතත් එක්ක බැඳුනු සත්‍ය ජීවන ප්‍රවෘත්ති නවකතාකරුවෙකුගෙ පරිකල්පනයෙන් ගොඩනගන්නකට වැඩිය සුන්දරයි, රසවත්.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං DDT, ඒ ජෝ රඟපාපු මඩපුවක් කතාව? ආසයි දැනගන්න.

      හනේ බං අදනම් ලස්සනයි තමයි. දීපත් මග දිගට කියන කතාවක් තමයි එදා කොහොමද, අද කොහොමද කියන එක. එදා බං ඕක මිහිපිට අපාය. අනික බං අද වගෙ මෝබයිල් ෆෝන්, ඉන්ටනෙට්, ලැප්ටොප්වත්, එතකොට වාහන තියා මුලදිම අපිට පුෂ් බයිසිකලයක් වත් නොතිබිච්ච කාලෙ ඕක නරකාදියක්. අද වගෙ නම් ආපහු එන්නවත් එච්චර මහන්සි වෙන එකක් නෑ.

      අනික මිනිස්සු පදිංචි කරපු අලුතම නිසා ගමක ලක්ෂණත් තිබ්බෙ නෑ. කොටින්ම පොල් ගහක්වත් නෑ පලාතෙම. ඩෝසර් කරලා පාරවල් හදපු ශුෂ්ක කැලෑවක් විතරයි.

      Delete
  6. නියමයි ඩූඩ්...උඹ ගුරුවෘත්තියද කරන්නෙ..! දැනුත්.

    ආයිත් ගියාම එතැනට පුදුම සතුටක් ඇතිවෙන්න ඇතිනේද..මචං.
    කොච්චර දුශ්කර උනත් මම හරිආසයි බං ඔය පලාතට...
    වටේටම ඈතට පෙනෙන තැනිතලා පොලව...විශාල මිදුල් තියෙන...මිදුලෙ විශාල ගස්තියෙන ගෙවල්.ඈතට පේන මැටිපාරවල්...
    ලස්සන විස්තර ටික ...ලොකුතැන තාම ඉන්නවද..!

    ReplyDelete
    Replies
    1. ඔව් බං වීයා. අපි දෙන්නම ඉංග්‍රීසි ගුරුවරු අදත්. මෙහෙත් කරන්නෙ ඒකම තමයි.
      අදනම් දුශ්කර නෑ වීයා, අද මාර කූල් පැත්තක්. දැක්කනෙ ගස් ටික විතරක්. එදා දැක්කනම් උඹට එහෙම හිතෙන එකක නෑ. අනික බං, දුශ්කර සේවයට බලෙන් දැම්මාම ඇතිවෙන හැඟීමයි, ජොලියට ගිහින් එන එකයි අතර පුදුම වෙනසක් තියෙනවා. අනික මම අර උඩ කමෙන්ට් එකේ DDT ට කිව්වා වගෙ, ගමකට ගියා කියල හැඟීමක් ඇති වෙන්නෙ නෑ, එදා. ඒක මැලේරියා බහුල, දූවිලි නගින පාරවල් තිබ්බ, ඇස් බොර පාට කෙසඟ මිනිස්සු හිටපු, කිසිම ඉච්ඡා භංගත්වයේ දේශයක්.

      ලොකු තැන අපි ඉන්දැද්දිම දුශ්කර සේවය හමාර කරලා ගමට ගියා. පොරගෙ ඇත්ත නම ඕක නෙවෙයි.

      Delete
  7. හහ් හහ් හා........අපොයි දෙයියනේ....... අර මනුස්සයට ලෙඩක් එහෙම හැදුනේ නැද්ද???? හික්ස්.......

    ReplyDelete
    Replies


    1. මඩ පුවක් කන එකාට කොහෙද ලෙඩ හැදෙන්නෙ සමනළී? මඩ පුවක් කියන්නෙ ගඳ ගහන, බැක්ටීරියා ගුලියක්, කොහොමත්.

      Delete
    2. ඕව මොනවද සමනලී.......
      හවසට.ගමේ බඩු... ලඟ නවන අයට...:))))

      Delete
  8. ලොක්කා කිව්වේ නැද්ද ඒ මඩ පුවක් වෙනදට වැඩ වෙනස් රහක් එනවා කියලා...

    ReplyDelete
    Replies

    1. මඩ පුවක් මම හිතන්නෙ නෙල්ලි ගෙඩිය වගේ සියළු රස ඇති එකක් වෙන්න ඕනෙ.
      කොහොමත් කුණු ගඳක් නම් තියනවා, චූ නොකලත්!
      බුවා කිසි දෙයක් කිව්වෙ නෑ.:D

      Delete
  9. මේක කියවපු දවසෙ නං හොඳටම හිනාවුනා ඔහොම ඉඳිං බ්‍රාන්ච් එකේ අනිත් එවුන්ට කියන්න.

    ReplyDelete
    Replies
    1. ඉතිං රාජ් බ්‍රාන්ච් එකේ උන් මොකද කිව්වෙ සම්පත් පරිභෝජනය ගැන හෙම? :)

      Delete
    2. "ඉතිං පුවක් කනකොට කියල නැද්ද?", "මාර ගුරුවරු තමයි" වගේ දේවල් කියකිය කස්ටිය හොඳටම හිනාවුනා. බාගෙට කියාගෙන යද්දි මුහුණුවල ඇතිවෙච්ච වෙනස්කම් අකුරෙන් ලියන්න බෑ බං.

      Delete
  10. හි හී...ඔය වගේ පැත්තකට දාන්නෙත් ඔය අත්දැකීම් ටික ගන්න වෙන්නැති මගෙ හිතේ..

    // කිවුල් වතුරෙන් හදපු තේ බොන්නෙ, යුතුකමක් හැටියට//

    අපරාදේ...තේ එකේ වරුණාව අහන්න තිබ්බේ අර සඳරුවන්ගෙන්...එයත් ඒ පැත්තෙද කොහෙද නේ..ඒ තේ එක උඩ සුදු පාටට මොනවත් පාවෙන්ඩ එහෙම නැතිව ඇති නේද...

    අයියෝ සල්ලි...අර මඩ පුවක් වලට ඔහොම කරන්න හොඳද මං අහන්නේ හි හී

    ඇත්තටම මෙහෙම හිනස්සන්න හොඳයිද ....

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් නම් ඉතින් ඕනෙ තරම්. නමුත් අද ඒවයෙ තියෙන රසය එදා තිබ්බෙ නෑ ළිහිණි. එදා ඒක දඬුවමක්.

      තේ එකනම් හයියෝ බොන්න බෑ. මලම ජරා රහක් තියෙන්නෙ, අම්පාරෙත් එහෙමද කියලා මට මතක නෑ.

      මට ඒ මඩ පුවක් කියලා නම් මට හීනෙකින් වත් හිතුනෙ නෑ ඒ වෙලාවෙ.

      මේක ගෙදරා ආපු ගමන් කියලා මලා හිනාවෙලා. දැන්වුනත් අර චුන්ජියා උනත් අහන්නෙ අර කොමෝඩ් එකේ මඩ පුවක් දාපු පොර කොහොමද දන්නෙ නෑ දැන් නේද? කියලා.



      Delete
  11. හපොයි දෙවියනේ.... මෙයා මාරු වැඩ තමයි කොරන්නේ.. මේ හැබෑටම "නොස්ටැල්ජියාවක් " කිවුවේ මොන වගේ එකක්ද ඈ.. ???
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අයියෝ මම කලේ පණුච්චි ලෝකෙ තියෙන අන්තිම ස්වභාවික දෙයක් ස්වභාවික විදියට, නියමිත තැන. මේ බුවා තමයි අන්තිම අස්වාභාවික දෙයක් එතන කරලා තිබ්බෙ.

      Nostalgia කියන්නෙ පණූ අපේ අතීතයට සම්බන්ධ කෙනෙක්, තැනක්, දෙයක් ගැන සිහිවෙලා ඇතිවෙන සතුටත් දුකත් මිශ්‍ර අපූරු හැඟීමක්. ඔයා ඉස්සෙල්ලම ඉස්කෝලෙ යනකොට දාගෙන ගිය සපත්තු, වතුර බෝතලේ හෙම දැක්කොත් ඔයාට එහෙම හිතේවි. ළමා කාලෙ ගත කරපු නගරයට ගියාම, ඉස්සර ඇවිදපු පාරක් දැක්කාම ඔයාට එහෙම හිතේවි. ඒක හදවතින්ම එන ලස්සන හැඟීමක්.

      Delete
  12. ඇයි අර සරපයි එක්ක ඔයි තරම් තරහ ???

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං වෙනී,. ඒක මේ අනියත බියක්. එකක් මට උන්ව අප්පිරියයි. අනික බයයි.

      Delete
    2. හොඳ පොයින්ට් එකක් ...වරකො තග දාලා අපිව බය කරන්න මීට පස්සෙ එහෙම ! සරපෙක් අල්ලලා කමිසෙ හරි කලිසම හරි ඇතුලට දානවා ! :-D

      Delete
  13. අඩේ මම ගිය ආත්මේ. පට්ට ආතල් අප්පා මේ කතාව, මට ඔක්කොම මැවිලා පෙනුනා, බිත්තියේ නහය හැප්පිලා නිදිමරගාතේ කොමඩ් එක හොයාගෙන යනකොට හෙහ් හෙහ් හෙහ් , චු මිශ්‍ර මඩ පුවක් රහ ඇති නේද ඩුඩ් අයියේ.

    ReplyDelete
    Replies
    1. උඹ ගිය ආත්මෙ නාකිත් ඇති. ඔව් බං බිත්තියෙ නහය වදින එක නම් පට්ට සනීපයි බං. හිතලා බලාපං සාමාන්‍ය විදියට ඇ‍ඳෙන් බහින කොට, කවුරු හරි එකෙක් ඇඳ අයිනෙ තාප්පයක් බැඳලා තිබ්බොත් ඇතිවෙන තත්වය.

      Delete
  14. හික් හික් හික්... ඉල ඇට දෙකකුත් පැන්නා යාළුවේ මේක කියවලා. අම්මපා සුමානෙකට ඇති මට නම් මතක් වෙනකොට හිනා යන්න. ජය..!!

    ReplyDelete
    Replies
    1. හනේ බං සරා ඉල ඇට සෙට් එක නම් පරිස්සම් කරගනින්.
      අහලා නෑ නේද කොමෝඩ් එකක මඩ පුවක් දාන කතාවක් ජීවිතේට?
      මමත් ඔහොම කතාවක් අහපු පළවෙනි සහ අවසාන අවස්ථාව මේක.

      Delete
  15. අහ් අහ්... නියම චූ කථාව.. ලොක්කා ලුණු රහට හොදට පුවක් කන්න ඇති.. හයියෝ...

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල චූ කතා හරියට නේ? මල්සරා බැලුවෙ නැත්ද සිරාගෙ කාමරේ චූ කතාව?
      මඩ පුවක් වල හැම රසයම ඇති නිසා මම හිතන්නෙ වැඩි වෙනසක් නැතුව ඇති.

      Delete
  16. හය්යෝ සල්ලි....

    ReplyDelete
  17. 1. කසිය ගහලම තමයි එකේ දෙකක් නෑ. නැත්තම් මොකෝ හද එලිය තියෙද්දිත් අත ගගා ගියෙ.
    2..හුජ්ජ බෑග් එක හදන්න වස්තු බීජය මේක වෙන්න ඇති . නෑ... නෑ බඩු ෂුවර්, හවසට කසිය ගහල ඇද තෙමෙනවට හුජ්ජ බෑග් එක දාගෙන ඉන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ගහනවානම් කසියා තිබ්බා බං නැවකට.
      නෑ බං මේක නෙවෙයි වස්තු බීජය. ඒක කණගා‍ටුදායක එකක්.
      උඹ ගිහින් බලාපං මම තොටියට දාලා තියෙන රිප්ලයි එක.

      Delete
  18. පට්ට ස්ටෝරිය... හිනා වෙලා හිනා වෙලා බඩත් කොර වෙන්න ආවා. ඉතින් ප්‍රින්සිපස් සෑර් විට කන ගමන් කිව්වේ නැද්ද " අදනම් මේ විට වල මොකක්දෝ අමුතු ලුණු රහක් එනවා" කියලා... හෆොයි ඩූඩ් නම් මාරම කට්ටක් එක්ක හැබෑම දුෂ්කර සේවයක්නේ කරලා තියෙන්නේ. අපි කරන්නේ මොනාද කියලා හිතුණා...

    ReplyDelete
    Replies
    1. කිසි දෙයක් කිව්වෙ නෑ තොටියා, අගේට කෑවා.
      ඇත්තෙන්ම තොටියාස්, අපිට ඉන්ටනෙට්, ලැප්ටොප්, සෙල්ෆෝන් තිබ්බා නම් ඒ කාලෙ ඒක දුශ්කර සේවයක් වෙන්නෙ නෑ. අර මම කිව්වා වගෙ අපිට බයිසිකලයක් වත් තිබ්බෙ නෑ. ජීවිතේ පටන් ගත්තා විතරයි.

      Delete
  19. පුවක් පලවෙන්න දාපුවම ඒවායේ ගඳත් එක්ක බොග දාල තිබුනත් වෙනසක් නම් දැනෙන එකක් නෑ. අනික මෑන් ගහන සුදුවත් එක්ක බලපුවම ඕක මොකක්ද ...:)
    අතීත සැමරුම් ටික නියමයි.

    ReplyDelete
    Replies
    1. අන්න මඩ පුවක් දැකලා තියෙන බුවෙක්. ඇත්ත චන්දන. ඒකෙන් එන ගඳත් මම දන්න හැම ගඳකම සංකලනයක්. කොහොම කනවද මන්දා.

      Delete
  20. අඩේ තනියම හිනාවෙනකොට ඔපීසියෙ කට්ටිය අහනවා මොකද හිනාවෙන්නෙ කියලා ඒපාර කියුවා මේ හෙන්රිගෙ බ්ලොග් එකේ කතාවක් කියවලා කියලා. සමහරු ඉන්නවා ඔය බ්ලොග් කියවන අය. මම නම් ආස ආයෙම ඒ අතීතය මතක් වෙලා ගිය එකට.

    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. ජෝනා ඒක මගෙ විනෝදාංශයක්. අපි මේ ගිය අවුරුද්දෙ ආයෙ ගියා බං ඔතනට.

      Delete
    2. සුලෝහිතේ පැත්තේ හෙම ගියේ නැතේයි ?

      Delete
    3. අනේ නෑ බං ජෝනා. එතන දැන් අඳුනන කවුරුවත් නෑ, අඩුගානෙ ඇඩ්ඩිං අයියාවත් නෑ මම හිතන්නෙ. ඒ නැතත් අපි ගියාම මුං බලන්නෙත් හොරු නැතිනම් ත්‍රස්තවාදියො දිහා බලනවා වගේන.

      Delete
    4. ඇඩ්ඩිය කොහෙද බොල තාම ඉන්නෙ...ඒ කාලෙ, ඒ කියන්නෙ දැනට අවුරුදු 37 වගෙ කලිනුත් ඒකට අඩු ගානෙ හතලිහක් විතර වෙන්ට ඇති ...එතකොට බලාපන් දැන් ඉන්නවනම් ඌට අසූවක්වත් වෙන්න ඕන...

      Delete
    5. ඇඩ්ඩිං තාම ඉන්නවා. බිග් මැච් එකට එනවා පවු දැන් හරි කෙට්ටුයි. එදාට කොල්ලො හොඳ Hat collection පාරක් ඇඩ්ඩිං අය්යට දෙනවා. (කොච්චර වයසට ගියත් ඇඩ්ඩින් අය්යා තමයි තාම කියවෙන්නේ) පොර මහනාම, ගුරුසිංහ ධර්මසෙන, මහෙල වගේ පොරවල් බිහිවෙන්න ලොකු දායකත්වයක් දුන්න කෙනෙක්

      Delete
  21. පට්ට කතාව හෙන්රි.හිනාකාල පණ යනවා.ලොක්ක පුවක් අද ලුනු රහයි කිය කිය කන්න ඇති නේද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන්. සමහර වෙලාවට සත්‍යය ප්‍රබන්ධය අභිබවා යනවනෙ.
      ලොක්ක කිසි දෙයක් කිව්ව බවක් මට මතක නෑ බං.

      Delete
  22. උබ ඒ පුවක් කැවද නැත්තම් අරූ මලාද???

    //මාත් බට්ට දීපු මදුරු කොයිල් එකකුත් පත්තු කරගෙන ඇඳට වැ‍ටුනා.// සිගරට් එකක්පත්තු කරන් බිව්වා වගේ කොයිල් එකපත්තු කරන් ඇදට වැටිල තියෙන්නේ :ඩී

    පිපිසයට දිය බිදක් කියලා අර වතුර බූලියක්ම බොන්නේ ඇයි බං ??

    ජය සහෝ.. මරු කතාව !

    ReplyDelete
    Replies
    1. කොයිල් එකේ දුමත් ඉතින් අරිට දෙවෙනි නෑ!

      මම මඩ පුවක් කාල නෑ බං. මම විට කන්නෙ නෑ කොහොමත්. මට අරකෙ ගඳ ඉවසගෙන ඉන්න බෑ. මම ඔය සුද්ද කරපු මඩ පුවක් ගෙඩියක් ඉඹලා බලලා තියෙනවා. අම්මෝ බං ගඳ?

      සරළ ජීවිතනෙ බං, ඒකයි කෙලින්ම ලීටර් පහෙන්ම බොන්නෙ.

      Delete
  23. මාරු වැඩ නොවැ duda මාමටත් වෙන්නේ ,duda මාමේ මඩ පුවක් කියන්නේ මක්කද ?

    ReplyDelete
  24. මාරු වැඩ නොවැ duda මාමටත් වෙන්නේ ,duda මාමේ මඩ පුවක් කියන්නේ මක්කද ?

    ReplyDelete
    Replies
    1. ඉමල්ක, මොකෝ බොල දෙපාරක් එබුවෙ බටොං එක?

      මඩ පුවක් කියන්නෙ කොල්ලෝ, පුවක් කල්තබා ගැනීමේ ක්‍රමයක් අවාරෙට කන්න.
      එකක් වේලලා කරුංකා කියලා කනවා.
      අනික මඩේ දාලා තියලා මඩ පුවක් හැටියට කනවා.:)
      ටැංකිව් ආ පාර හොයං ආවට.

      Delete
  25. හැබැයි ඩුඩ් අයියේ මම ඔයාගේ පොස්ට් කියවන්න ගත්තා දවසේ ඉඳල නෝට් කරලා තියෙන දෙයක් අපි දෙන්නගේ රුචි අරුචි කම් ගොඩක් දුරට සමානයි කියලා. මටත් සර්පයෝ සම්බන්දව කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. දුෂ්කරත්වයේ උනත් තියෙනවා යම් සුන්දරත්වයක්.

    ReplyDelete
    Replies
    1. ඒක මාත් නෝට් කරලා තියෙනවා කෝරලේ මහත්තයා. වාහන සම්බන්ධයෙන් වුනත් නේ? උඹත් මම වගේ යකඩ ගොඩවල් වලටත් කැමතියි නේ?
      දුෂ්කර සේවය ගැන එදා නම් එහෙම සුන්දරත්වයක් එදා දැක්කෙ නෑ අපි.
      උඹ දන්නවද මෙතන ඉඳගෙන අපි මේ අදත් කරන්නෙ එදා වගේම දුෂ්කර සේවයක් කියලා. මෙතනින් එලියට එන්නෙ කවදද කියලා බලාගෙන ඉන්නෙ. අනිත් උන් නිවාඩුවට මෙහෙ ආවත් අපිට නම් මෙහෙ පේන්න බෑ. උඹ කියන්නෙ මට මුහුද අප්පිරියයි.
      කෝරලේ මහත්තයත් එහෙම තමයි නේ?

      Delete
    2. මට මුහුද අප්පිරියා උනේ සුනාමියෙන් පස්සේ. දැනටත් මම ජීවත් වෙන්නේ ජුමෙරා වල ඒ කියන්නේ මුහුදට මීටර් 200 ක් ඇති අපේ ගෙදර ඉඳන්. බනියා නිතරම කරදර කරනවා මුහුදේ යන කියල මම ඒ වෙලාවට කියන්නේ. අනේ ඕනේ නැහැ ජෙවිතෙටම ඇතිවෙන්න මුහුදෙන් නෑවා සුනාමියේදී ඇවිදින්න ඕනෙනම් මේ ගොඩබිමේ කොහේ හරි ඇවිදිමු කියල. අනිත් එක මගේ මේ නාකි හැමටත් හොඳ නැහැ මුහුද. මමත් මේ බලන් ඉන්නේ බනියගේ ඔපරේෂන් එකේ සල්ලි ටික හොයාගෙන ඩුබායි වලට බායි කියන්න සදහටම. ලංකාවේ බස් කොන්දොස්තර වැඩක් හරි කරනවා ඒක මීට වැඩ සැපයි. ඒක ඒක පක්කලි යටත් වැඩ කරනවට වඩා. :D

      Delete
  26. හෙන්රි සර් නිසා අර මනුස්සයා කෑවා නේද මුත්‍රා පුවක්.:)

    අර ගල් පාත් එක දැක්කම පුදුම හිතෙනවා තමා ඒක තාමත් තියෙන එක ගැන.

    ReplyDelete
    Replies
    1. ඉතිං බොල කොමෝඩ් වල මඩ පුවක් දාන උන් ඉන්නෙ කොහෙද?

      ඇත්තෙනම් පුදුමයි මටත් ඒ ගැන. නමුත් අපි 2011හේ නිවාඩුවට ආයෙ ගියාම ගල් හුඟක් අඩුවෙලා තිබ්බා. ඉන්න පුද්ගලයගෙ හැටියට තමයි නිශාන්. අපි ඉන්නකොට් ඕකෙ හෙන නීට් එකට තිබ්බා. දැන්නම් ජයාවාස වෙලා, අපාය වගේ තමයි.

      Delete
    2. "ජයාවාස" අපේ මාමණ්ඩිය දැක්කොත් නඩු දාවී මේක මෑන් ගෙදරට දාල තියෙන නම ජයවාස. හිකිස්....

      Delete
  27. හෙන්රි අයියේ ඇත්තමයි මචං උඹ නියමෙට ලියනවා. එක තැනක්වත් මග අරින්න හිතුණේ නෑ මචං. මචං මඩ පුවක් වල ගඳ හැටියට උඹ හැමදාම ඔය වැඩේ කරත් ලොක්කට ගාණක් යන එකක් නෑ ..මමත් දෙහිඅත්තකණ්ඩියේ සෑහෙන්න කරක් ගහලා තියෙනවා. ඔය පැත්තෙ ගොඩක් ඉන්නේ මචං මහවැලියට ඉඩම් යටවුණු උඩරට පැත්තෙ මිනිස්සු. බණ්ඩාරලා වැහි වැහැලා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, රතූ,

      මඩ පුවක් වල ගඳ දැනිලා තියෙන තව එකෙක් මෙන්න. ඇත්තටම පුරුදු වුනාම මොනවද කන්න බැරි නේද? මට නම් මඩ පුවක් ගඳට වමනෙ යන්න එනවා. කෑවම කට ගඳ නැද්ද දන්නෙ නෑ.
      අඩේ රතූ, උඹ දෙහිඅත්තකණ්ඩියෙ කොයි හරියටද ගියේ?

      ළිහිණියාගම, මාවනාගම, සඳුන්පුර, ලත්පඳුර, සිරිපුර, නවමැදගම මට අනිත්වා අමතකයි.

      Delete
  28. මඩ පුවක් නෙවෙයි. මට දැනගන්න ඕනි දැන් කාලෙ ටීච කෙනෙක් වෙලා ජීවත් වෙන්න පුලුවන්ද? මමත් පීඨෙ දාන්න හදලා නිකම් ඉන්නෙ ගුරු කමෙන් හරියට ජීවයත් වෙන්න බැරි මතයක් තියෙන හින්දා(ටියුෂන් කස්ටිය හැර)

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ නම් ගුරුකම නෙවෙයි මොනවා කරලාවත් ජීවත් වෙන්න බැරි තත්වයක්නෙ තියෙන්නෙ නේද හොරකම නොකර?

      ස්පයිඩර් මම දන්නෙ නෑ ලංකාවෙ ගුරුවරයෙකුට කීයක් පඩි හම්බවෙනවද කියලා. අපි උගන්නන්නෙ ලංකාවෙ නෙවෙයි 2002 ඉඳලා. මොකක්ද ස්පයිඩර් උගන්නනවා නම් කරන්න හිතාගෙන ඉන්න සබ්ජෙක්ට් එක?

      Delete
    2. සයන්ස් තමයි. මම සයන්ස් කාරයෙක්.

      Delete
  29. කිව්වත් වගේ හොඳ වෙලාවට බොගක් සෙට් නොවුනෙ..

    ඔය දුශ්කර සේවෙ කොච්චර කල් කරන්ඩ ඕනද ඩූඩ්. මටනම් ඒ ළමයි ගැන පුදුම දුකක් තියෙන්නෙ. බලෙන් තල්ලු කරලා එවන ගුරුවරු මිසක් ආසාවෙන් ඇවිල්ලා ඒ ළමයින්ට උගන්වන කවුරුවත්ම නැතුව ඇති නේද ? එහෙම ඉතින් හිටියත් එක් කෙනෙක් දෙන්නෙක් ඉඳලා වැඩකුත් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. සෙන්නා දුශ්කර සේවය අවුරුදු තුනයි. නමුත් අපිව බලෙන් තිබ්බා අවුරුදු 5ක් බලෙන්. අපි කලේ අති දුශ්කර. එහෙ වැඩ කරන්න දාන්න ඕනෙ ගමේ මිනිස්සු. කොළඹ කිට්‍ටුව ගෙවල් තියෙන මිනිස්සු එහෙ දැම්මාම, ආපහු එන්න හදන එක පුදුමයක් යැ.

      අපි මේ දැන් මෙහෙ කරන්නෙත් දුශ්කර සේවයක් තමයි.

      Delete
    2. හැහ් හැහ්... ඒක නම් පට්ට ඇත්ත.. මාත් දැන් අවුරුදු හතරක් තිස්සේ දුශ්කර සේවේ...

      Delete
  30. වැඩේ කැතයි වගේ පෙනුනනට මඩ පුවක්වල කොලිටි එක ඉහළ දාගන්න ඒ චූ ස්වල්පයත් උදව් වෙන්න ඇති.
    බුලත්විටේ තියෙන මළ දහජරාව අතරට චූ කියන්නෙ දැනෙන දෙයක් නෙවෙයි.

    ඒ නොස්ටැල්ජියාව නරක එකක් නෙවෙයි හෙන්රි....(මම කිව්වෙ ආයේ ඒ ඉස්කෝලෙ බලන්න ගිය එක)

    ReplyDelete
    Replies
    1. වෙන්නත් ඇති සුමිත්! මඩ පුවක් වලට චූ පොඩ්ඩක් එකතු වුනාට වැඩි වෙනසක් වෙන්න නැතිව ඇති.

      මම ගිය දෙසැම්බර් වලත් රෝඩ් ට්‍රිප් එකක් ගිහින් එහෙ ගියා සුමිත්. මමත් සෑහෙන රායක් විඳිනවා ඒකෙන්. අනිත් එක ඉඳලා ගිය කෙනෙක්ගෙන් ආපහු එතැන බලන්න ආවෙ මම විතරයි කියලා ඒ අය කිව්වා.

      Delete
  31. ඩූඩියෝ මම පුංචිකාලේ හිටපු අනුරාධපුරේ අතුපැල හොයාගන ගිය ගමන මතක් උනා

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියමුකෝ එක ගැන. ඒක හරිම ප්‍රබල හැඟීමක් නේද අටම් මලයා?

      Delete
    2. “මිස්ට බ්ලොග්වෝකර් නම් ඉතින් ‘සුදුවා’ ගන්නෙ නැතුව ඇතිනෙ?

      මෑන් කතා කලේ බ්ලොග්වෝකර් කියලමද

      චප්ප වෙලා තිබ්බ පැකට් එකෙන්, ක්‍රෑන්ක් ශාෆ්ට් එකක් වගෙ ඇදවෙච්ච සිගරට් එකක් අරන් පත්තු කරගත්තා

      ඔය පැකට් එක ඉවර වෙලා සිකරට් හොයන්ඩ කාපු කට්ට ගැනත් ලියහං

      Delete
    3. නෑ බං අටමා, පොර කතා කලේ මගේ නියම වාසගම කියලා. මේක ඉතින් බ්ලොග් එකක් නිසාත් මම බ්ලොග්වෝකර් නමින් ලියන නිසාත් මගෙ නමත්, බුවාගෙ අනන්‍යතාවය රකින්න බුවාගෙ නම බ‍ටුවංගල කියලත් වෙනස් කලා. එච්චරයි අනිත් ඒවා 100% ක් ඇත්ත.

      එහෙ පොඩි කඩවල් තියෙනවා බං, සිගරට් තියෙනවා. ටිකක් එහාට ගියාම ටවුමක් දෙකක් හෙමත් තියෙනවා. සුදුවා නම් හැම පඳුරක් අස්සෙම වගෙ තියෙන්න ඇති.

      Delete
  32. කතාව නං මරු...
    මමත් මාස හයේ ඉඳලා අවුරුදු 3 වෙනකල් ඉඳලා තියෙන්නේ මොණරාගල... අපේ තාත්තා දුෂ්කර සේවයෙ යෙදිලා ඉන්න කාළෙ... ඒ කතා කිවුවොත් නම් ඉතිං මම ඉඳලා හමාරයි....
    දැන් නම් ඒ පළාත් බොහොම වෙනස් වෙලා....
    ජර්මනිය වුනත් මෙහෙත් තියෙන්නෙ අමු කිවුල් වතුර... උණු කරලා නිවෙන්න තිබ්බාම කැල්සියම් කාබනේට් තට්ටුවක් භාජනයෙ පතුලෙ අවක්ෂේප වෙනවා (රසායන විද්‍යාවෙන්ම කිවුවොත්) ඒ නිසා ඒක නිවලා ෆිල්ටරේට දාලා තමයි බොන්නෙ... තව අවුරුද්දක් හිටියොත් මුත්‍රාශයෙ ගල් කිලෝ එකක් විතර හැදිලයි නවතින්නෙ...
    ඒ වගේම අර හෙන්රිට වගේ තනියම ඉන්න නිසා ආදරේට ලඟ ඉන්නෙ බෝතලේ... අපරාදෙ කියන්න බෑ මෙහේ බෝතල් නං හරිම ලාබයි... මේ මාස එකහමාරට සෑහෙන්න එකතු වුනා... ඇල්කෙමිච්චියි පැටියයි ඉක්මනට නාවෙත් එක්කෝ මගේ ලිවර් එක ගේන්න වෙනවා... නැත්තං ලියලා ලියලා මගේ ඇඟිලි ගෙවෙනවා...
    හැබැයි ඒ ගැන සුබදායක ආරංචියක් තියෙන නිසා බීමයි ලිවීමයි ඉක්මනටම අඩු වෙයි කියලයි හිතෙන්නෙ...

    Nostalgia කියන්නෙ සාංකාව වගේ හැඟීමක්....

    ReplyDelete
    Replies
    1. ඇල් අපේ තාත්තත් මොණරගල වැඩ කලානෙ Statistical Investigator කෙනෙක් හැටියට, අපි හිටියෙ බිබිලෙ. පස්සෙ බලංගොඩ.

      ජර්මනියෙ හැමතැනම ඔහොම වෙන්න බෑ නේද ඇල්. මුළු ජර්මනියම හුණුගල් තට්‍ටුවක් වෙන්න බෑනෙ. එතකොට වතුර ගන්නෙ ගඟකින් නෙවෙයිද? ඇත්තටම ඇල් ඉන්නෙ කොහෙද? ඔන්න අපිනම් ඉන්නෙ තනිකට කොරල් වලින් හැදිච්ච රටක. ගල් වැලි මොකුත් නෑ.

      මට හරිම සන්තෝෂයි අර සුභාරංචිය ගැන නම්. මාස තුනකින්ද එයාලට එන්න පුලුවන්? ටික වෙන්න බීපියෝ.

      ඔව් නේද නොස්ටැල්ජියා කියන්නෙ සාංකාව වගෙ හැඟීමක් තමයි. මම උදාහරණ වගයක් දුන්නෙ වඩා හොඳට තේරුම්ගන්න.

      Delete
  33. හපොයි..පින්සිබොල්ට මාර අසාධාරණයක් නෙව වෙලා තියෙන්නෙ..ඇමෝනියා වලින් පුවක් පදම් කරගන්න..හික්ස්..

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? මේ එකෙකුට නවාතැන් දෙන්න ගිහින්. වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටිච්ච බව බුවා නොදන්න එක හොඳයි, නැද්ද?

      Delete
  34. කතාව බාගයක් කියෝන කොට ඇස් දෙක තෙත් උනා බං....මමත් බැඳලා ඉස්සොරෝම ගියේ ඔය ජාතියෙ ක්වාටස් එහෙකට තමයි. හැබැයි ඔයිට සුට්ටක් ලොකුයි ඒක.එව්වයෙ බෙඩ් රූම් තුනයි.මහවැලි ජාගන් එහෙන් කියනවනම් Graade IV Quarters, යුනිට් වල හැදුවෙ Grade III Quarters තුනයි තව හැදුව Bachelors Quarter කියල එකක් කම්බි දැල් ගහල බෙඩ් රූම්ස් හතරයි.මම හිතන්නෙ උඹ ඔය ඉඳල තියෙන්නෙ ග්‍රේඩ් ත්‍රී ක්වාටර්ස් එහෙක.හෙහ්, හෙහ්,

    ඕකෙ සාලෙං එලියට ගිහිල්ල එතනම තියන දොර ඇරගෙන යන්න ඕන කුස්සියට.එතන පිලේ ඉඳගෙන තමයි ඒ දවස්වල අපි දෙන්න තේ බොන්නෙ Air Biscuit එකක් එහෙම හපමිං...හෙහ්, හෙහ්,....ඇතුලෙ ඉන්ට බෑ බං ගින්දර වගෙ රස්නෙ...වහලෙ උඩ සිංහල උළු හෙවිලි කරල තිබ්බට වඳුරු හැත්තගෙං බේර ගන්ට බෑ..උං දෙපාර පයිනකොට රූටල ගිහිල්ල උළු ඔක්කොම බිම....

    Thanks Henry my dear..... it was really nice seeing all those photographs....that made my heart go into overdrive with so many memories flooding up at once...hoping to write something about them in very near future time permitting...Insha Allah!!!!

    ReplyDelete
    Replies
    1. මටත් Grade එකනම් මතක නෑ මචං. ඉස්සරහම car porch එකක් තියෙනවා. එතනින් සාලෙ. සලෙන් නිදන කාමර දෙකයි ඒ දෙක අතරෙ තමයි අර පැසේජ් එකෙන් බාත් රූම් එකට යන්න තියෙන්නෙ. සාලෙ අනිත් පැත්තෙන් එලියට පැසේජ් එකක් තියෙනවා. එතනින් ස්ටෝර් රූම් එකයි චූටි L හැඩේ කුස්සියයි. එලියෙන් සර්වන්ට් ටොයිලට් එකයි.

      අර උඹ කියන්නෙ අර මං අන්තිමට කිව්ව පැසේජ් කෑල්ල ගැන. අපේ වහලවල් නම් ඇස්බෙස්ටෝස් ගහලා උඩින් සිංහල උලු දාලා තිබ්බා. මෙහෙ නම් වඳුරො හිටියෙ නෑ මචං.

      ලියමු, ලියමු මචං.

      Delete
  35. චිකේ අර මනුස්සයා ඔය කතාව නොදැන තව කොච්චර කල් ඔය පුවක් ටික කන්න ඇත්ද?...දන්නවා නම් වහ කයි හිහ් හිහ් හිහ් :D :D

    අර ෆෝටෝස් දැක්කම නම් හරිම ආසයි අප්පා...ආයෙම ඒ කාලේ එනවනම්...

    මතකද ඔය වෙලේ මී හරක් අපිව පැන්නුවා ගග ගාවදි?

    ReplyDelete
    Replies
    1. පැන්නුවා නේන්නම් මී හරකා. ඌ ඔය ෆෝටෝ එකේ ඉන්නෙ අර. ඔයාගෙ පොඩිම කාලෙ ගෙවුනෙ ඔතනනෙ. මතකද ඉදුනු ගහ? රොජර් ද රෝබොට්?

      Delete
  36. පරණ කතා එක දිගට කියවපු අපිට තමා මේකෙන් පාඩු

    ReplyDelete
    Replies
    1. ඇත්ත හසිත. නමුත් මේකෙ අලුත්ම ඒවත් යනවා. අනික මේ පෝස්ට් අරකෙ අතෑරලා එන්නත් දුකයි මම මේවා ලියන්න කාපු කට්ට මතක් වුනාම.

      Delete
  37. Your article reminded me of my first appointment.I was sent to Wadaththa first.(a very rural village in Anamaduwa electorate.I too feel nostalgic when I remember those sweet memories. Can you imagine!I used to take a bath with just one pot of water. but that is all we have from the past. I too want to write about my difficult area service.
    By the way I forgot the most important thing. What an article!
    I don't know how you find the exact word to describe that specific sensation or feeling.The economy of words and the gist of the article make the reader drawn to it.What a story teller.I will give you eleven out of ten.

    ReplyDelete
    Replies
    1. So everybody's have had his/her own share of difficult area service, huh?
      Here we had a canal at the back, for us to swim. And one huge well in the school yard.

      Oh thanks very much for appreciating my writing. You are too kind.

      Delete
  38. මමත් හෙන්රිගේ පෝස්ට් කියෙව්වට කොමන්ට් ලියන කෙනෙක් නෙමෙයි.
    ඒත් මේ වගේ නොස්ටැල්ජික් කතා ලීවම කොහොමද එහෙම කරන්නේ?

    මටත් මහවැලි සී කලාපේ හා බී කලාපේ අත්දැකීම් තියෙනවා. දැන් නම් කාලෙකින් ගිහින් නෑ. ගියත් ඉස්සර තරම් දැන් සුන්දර නෑ වෙන්න ඕනේ. අපි පොඩි කාලේ එතකොට මට තනියම බයිසිකල් පදින්නත් බැරිද කොහෙද ගිරාදුරුකෝට්ටේ ඉඳන් උල්හිටියාව වැවට බයිසිකල් පදින එක ලොකු මිනිහා වගේ වැව් වල නාන්න යන එක වගේ දේවල් නිවාඩු කාලෙට නිතර වුනා. ඒ කාලේ සී කලාපේ ස්ටාර්ට් එක වෙන්න ඕනේ. පුදුම ලස්සනට හදලා තිබ්බා. ඒත් එක්කම අපේ ඉඩම් වගයක් බී කලාපෙත් තිබුනා. දෙහිඅත්තකන්දිය පැත්තේ අරලගංවිල හෝ මොනා හෝ නමක් තියෙන පැත්තකට යන පාරක් අයිනේ. ඒ පාරේ අලියොත් ඉන්නවා. දවසක් අපි එහෙ ගිහින් කැලෑවක් මැදින් පයින් යන්න ඕනේ අපේ ඉඩමට යන්න. මෙන්න අපිට පාර කියපු මිනිස්සු කියනවා ඒ පාරෙන් නම් යන්න හිතන්නත් එපා ඒකේ දැනුත් අලියෝ ඉන්නවා ඇහුනා කියලා. මාත් ගෙම්බා වගේ හොඳටම බය වුනා. මෙන්න එතකොට ඒ මිනිස්සුම අපිට තේත් හදලා දීලා මම හිතන්නේ මට නම් ඔය වෙනස් රහක් දැනුනේම නෑ අර අලි බයෙ හිටපු හින්දා. අපිව වෙන හොඳ පාරකින් ඉඩමටම එක්ක ගියා. මම හිතන්නේ අසූ අටේද මන්දා. එක රෑයි එහේ නිදාගත්තේ මොනරු ඇවිත් පාන්දර අපිව ඇහැරෙව්වා මදිවට මදුරුවෝ මාව උස්සගෙන ගියා. අපේ ඉඩමේ අයිනේ ලොකු ඇලක් හෙම තිබුනා. කොහෙද මදුරුවන්ට බය වෙච්ච පාරට පහුවදාම එන්න ආවා. ආයේ කවදාවත් ඒ ඉඩමට ගිහින් නෑ. අපරාදේ නාන්නත් බැරි උනා.
    දැන් මේ දේවල් මතක් වෙද්දි හෙන්‍රි ට වගේම මටත් නොස්ටැල්ජියාව. ඒත් මම 2007 විතර ෆිරාදුරුකෝට්ටේ ගියාම නම් අර ඉස්සර තිබ්බ සුන්දරත්වය මොකුත් තිබුනේ නෑ. ගාමිනි දිසානායක හා අතුකෝරල මහත්තයලත් එක්කම ගරා වැටිලා කියලයි මට හිතුනේ.

    ReplyDelete
    Replies
    1. හනේ මේ බූරු බබානෙ. බූරු බබා මගෙ පෝස්ට් කියවන බව මම දන්නෙත් නෑ. මට හිතෙන හැටි පැත්තෙ ආවට මගේ ඩෙනිමට ඇවිත් තියෙනවද?

      ඔව් අර අරලගංවිල තමයි. එහෙ මොනවද කලේ?

      මේත් අසූ හතේ ඉඳලා අනූ එක වෙනකල් අත්දැකීම් තමයි.

      සන්තෝෂයි මේ පැත්තෙ ආවට. කොමෙන්ට් නොදා හොරෙන් යන්න එපා අප්පා. :)

      Delete
  39. ඒ කාලෙත් කට්ටිය කතා කරලා තියෙන්නේ 'මිස්ට බ්ලොග්වෝකර්' කියලා නේද? :)

    හරිම අපූරුයි ලියවිල්ල ඩූඩ්. සරල, ඒ වගේම කටුක ජන ජීවිතයේ ලස්සන පැත්තක් පෙන්නලා දීලා.

    අපි පොඩ්ඩක් බිසිවෙනකොට කට්ටිය ඔක්කොම අලුත් පෝස්ට් දාලානේ. ඉතින් අපි එනකොට අන්තිම වෙලා.
    ඔයාගේ මේ කතා කියවනකොට මට ඔබාවත් මතක් වෙනවා.:(

    ReplyDelete
    Replies
    1. බිසි වෙලා හිටියයි කිව්වෙ පොඩ්ඩි ආයෙම ගියාද කොහෙ හරි? පරක්කු වෙලා හරි ආව එකයි වැදගත්.

      ආ මම කියනවගෙ සිරාගෙ කාමරේටත් පොඩ්ඩක් ඔලුව දාලා බලන්නකො.

      //ඒ වගේම කටුක ජන ජීවිතයේ ලස්සන පැත්තක් පෙන්නලා දීලා.//
      ඒ ක‍ටුම ජන ජීවිතය මම දැකපු හැටි කියවන්න පොඩ්ඩි අර ඉංග්ලිෂ් ලින්ක් එකටගිහිල්ලා. ඒ කතාව සිංහලට පරිවර්තනය කරන්න මම හිතුවත් ඒකෙ තියෙන සමහර කොටස් ගන්න අමාරුයි ඒ විදියටම. ඒකයි ඒක මේ වෙනතෙක් ඉංග්ලිෂ් වලින් විතරක් තියෙන්නෙ.

      ඔබා අයියා හිටියානම් මොනවා කියයිද කියලා පෝස්ට් එකක් දාන ගානෙ මට හිතෙනවා.

      Delete
  40. ඔන්න ඩෙනිමෙනුත් කියෙව්වා. මේක අනිකෙන් කොපි පේස්ට් එකක් නෙවෙයි නේද? අලුත්ම එකක් විදියට තමයි රස වින්දේ. කමෙන්ට් කියවලාම එන්න හිටපු හින්දා දවස් දෙකක් විතර පහු උනා. හි..හි..

    ට්‍රිප් වලදී ඇරෙන්න ඔය පැත්තෙ ගිහිං නැති උනත් ඒ පැත්තෙ කාලයක් හිටපු කෙනෙක් වගේ දැනුනා පොස්ට් එක ඉවර වෙනකොට.

    මාත් ආසයි ඔය වගේ පැත්තක ගුරුවරයෙක් වෙන්න. සඳරු, වෙනී, සිරාලගේ ගමනේදීත් ඕක හිතුනා. මේ ඔක්කොම අත ඇරලා ආයෙත් ජීවිතේ පටන් ගන්න ඇත්නම්....

    ReplyDelete
    Replies
    1. මේක මට හිතෙන හැටි වලින් මාරු කරපු එකක් තමයි අකමා. මේ පෝස්ට් නිකං කම්මැලිකමට ඔහේ ලියපුවා නොවන නිසා ඒ තියෙන ඒවත් මම මේකට සංක්‍රමනය කරනවා අලුත් ලිපි අතරෙම. කලින් කියවලා තියෙන අයට පාඩුවක් වුනත්, මට පේනවා ඒවා නොකියවපු අයගෙ සංඛ්‍යාව කියවපු අයගෙ සංඛ්‍යාව වගෙ කීප ගුනයක් බව. ඉතින් ඒකෙ යහපතක් තියෙනවා. නමුත් මට අර මුල් ලිපියෙ කමෙන්ට්ස් නම් ආපහු ගන්න බෑ.

      මෙහෙමයි අකමා, අපි කවුරුවත් අපි කරන ‍රැකියාවෙන් තෘප්තියට පත්වෙන්නෙ නෑ. ඒක නිසා ඒක ආවට ගියාට නෙවෙයි, හොඳට හිතලා මතලා ගත යුතු තීරණයක්. ඒක නිසා ඉක්මන් වෙන්න එපා.

      Delete
  41. තවමත් ගඩොල් ටික තියෙනවා නේ. උඹට වෙලා තියෙන වැඩ හා කරපු නොසන්ඩාල වැඩ මාරු බං..

    ReplyDelete
    Replies
    1. අපි මේ ගිය නිවාඩුවට බැටී ගිහින් ඔය පැත්තෙන් ආවා. පරංගියා කෝට්ටෙ ගියා වගෙ ගමන් යන්න අපි හරි ආසයිනෙ. :D එතකොට තව ගල් හුඟාක් අඩුවෙලා තිබ්බා බං.

      හනේ බං. චූ කරන එක නොසන්ඩාල වැඩක්ද? :D

      Delete
  42. මචන් අදයි කියෙව්වේ. අර ගුරු සේවයේ රස කතා කියවල තියනවා. ඒත් මේ වගේ නම් නැහැ. අර කන් පාත් වෙන්න ගහන්නේ කොහොමද? ඒ වගේම ගැටයක් අහු උනාම ඉරෙන්නේ කොහොමද? ඒ වගේම චප්ප උන සිගරට් එකක් අදින විට දැනෙන්නේ කොහොමද? දන්නේ නැති නිසා මචන් අහන්නේ.

    ReplyDelete
    Replies
    1. රයිගම ඇරෙන්න වෙන කවුරු හරි ඇහුවා නම් ඔන්න එකයි තුනයි කියා දෙන්න තිබ්බා. අර දෙවෙනි එක නම් මිසිස් රයිගම් ගෙන් අහගන්න පුලුවන් වෙයි.:D

      Delete
  43. නියම කතාව අංකල්.. ඒක නෙවේ..අර වාහනේට මම හෙන කැමතියි අප්පා :)අංකල් ෆොටෝස් එඩිට් කරලා දාන විදිහටද මන්ද..කලින් පෝස්ට් එකකත් ආස හිතුනා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. හිරු. වාහනේට කිව්වෙ වෑන් එකටද? පුදුමයි කෙල්ලො වෑන් වලට කැමතියි කිව්වා. :O
      මම කොල්ලා කාලෙ නම් කාර් වලටයි බයික්ස් වලටයි විතරයි ආසා. කවදාවත් වෑන් ගැන හිතුවෙ නෑ. දරු පවුල් වුනාට පස්සෙ තමයි අදහස් වෙනස් වුනේ.
      මම එඩිට් කිරිල්ලකට කලේ හංවඩුව ගහන එක විතරයි හිරු.:)

      Delete
  44. හදිසියේ හෙන්රිට මහ වැඩේ කරන්න උනානම් ඉතින් .. ෆ්ලශ්වෙන්නේ නැතිකොට කොහොමද කියන්නේ ලොක්කට මහ රෑ මැද ඇහැරවලා ඒක ? අත දාල රෙදි ගුලිය අරන් දාන්න තමයි වෙන්නේ.. !

    ReplyDelete
  45. ඔහ්.. ඒක වෙන්නේ කොහොමද ? එතකොට බට්ටගේ බොගත් ඒක ඇතුලේ.. එක මනුස්සයෙකුට මේතරම් විසාල බොගක් කොහෙද ? කියල ලොක්කාට හිතෙන හින්දා අත දාන්නම වෙනවා..

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මහ වැඩේ සෙට් නොවුනෙ. හිතන කොටත් භයංකාරයි.
      සරත් ඒ ආලෝක තත්වය යටතෙ පෙනුනෙ සුදුවට හුරු ටොයිලට් එකක අඳුරු පාට යමක් විතරයි. සද්දෙන් තමයි වඩා හොඳට දැනුනෙ මෙතන මොකක් හරි අවුලක් තියෙන බව. වතුරට වතුර වැටෙන සද්දෙයි, මේ සද්දෙයි හාත් පසින්ම වෙනස්නෙ. ඔන්න ආයෙම සරත්ට සිද්ද වුනා කීයවපු පෝස්ට් එකක් ආයෙ කියවන්න නේද?

      Delete
    2. මටත් හිතෙනවා පරන ගහපු කොල අරන් ආයිත් ගහන්න මේකට එන ප්‍රතිචාර දැක්කාම. එකම කතාව දෙපාරක් ලියලා වැඩිම කමෙන්ට් ගත්ත එකා හටියට ගීනස් පොතට යයිද මන්දා.

      Delete
    3. "පරණ වයින් රස වැඩියි" සරත් ලංකාප්‍රියගේ "ලංකාප්‍රියගේ සිතිවිලි" බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදි.:)

      ගිනස් වාර්තාවකුත් නරක නෑ නේ?

      Delete
  46. ඒතකොට එතැන අපායක් වගේ දැනුනේ ඒහෙ එතකොට තිබුන හරිම ක‍ටුක පරිසරයත් ඒවගෙම අපි පුරුදු වෙලා තිබුන ජිවන රටාවත් බලපැවා එහෙට හුරුවෙන්න.නමුත් දැන් නම් ඇත්තටම ආසා හිතෙනවා ඇත්තටම දියුණු වෙලා තියෙන හැටි දැක්කම.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අද ඒ වගේ තැනක වැඩ කරන එක ගේමක් නෙවෙයි. ස්මාට් ෆෝන්, ලැප්ටොප්, තියෙන මේ යුගයේ ඔය ඕනෙ තැනක ඉන්න පුලුවන්නෙ ඕනෙ කාලයක්. එදා ෆෝන් එකක් තිබ්බේ පෝස්ට් ඔෆීස් එකේ විතරනේ. මතකනේ ප්‍රවාහනය?

      Delete
  47. ෆට්ට කතාව මම මෙකට ආවෙ අදමයි සිරා කතා ටිඅක්ක තියෙනවා අයියා කියන්නද සර් කියන්නද
    මල්ලි කියන්නද කියලා දන්නෙ නැහැ ඔයාට නමුත් අපෙ සබැ ජිවිතෙ මෙ කාතා වලින් අපුරුවට නිරුපනය වෙනවා
    අද ඉදාන් මමත් මෙකට ගොඩ වෙනවා රස කතා කියවන්න
    මම ගයාන්කුවෙට්

    ReplyDelete
    Replies
    1. ගයාන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ ඩෙනිමට. (බැද්දෙවිතාන කියන්නේ ලස්සන වාසගමක්!)

      මට සර් නම් කියන්න එපා ගයාන්. මම කැමතිම ඩූඩ් කියනවට. ඒක සර්වකාලීනයි.

      ගයාන් කුවේට් වල කට්ට කන අතරේ, අපිත් මේ මාලදිවයිනේ ඉඳන් මාර කට්ටක් කන්නෙ මේ දවස්වල. කතා තියෙනවා නැවකට.

      Delete
    2. ඉතින් දාමු දාමු අපිත් ඉතින් ඉවරයක් තියෙන වෙලවට ගොඩ වෙන්නම් ඩුඩ්
      කොහොම උනත් ඔයාගෙ කතා වල අර මම මුලින් කිවුවා වගෙ ජිවිතය කියන දෙ තියෙනවා
      ඔබට ජය

      Delete
    3. ස්තුතියි ගයාන්. ඇත්තෙන්ම මේ වගේ ප්‍රතිචාර වලින් මට පුදුම දිරියක් ලැබෙන්නෙ. ආයේ එන්න ගයාන්. :-h

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>