Monday, October 29, 2012

17. අලි මංකඩක අතරමංව! / Yala Adventure.

සපත්තු පාලම මැදදි  මම සුක්කානම වමට කැපුවෙ,  පාලම මැද්දෙ කොන්ක්‍රීට් එක පාත් වෙලා වතුර පිරිලා තිබ්බ නිසා වම් පැත්තට බරව යන්න . එක පාරටම  මහා හඬක් නඟමින්  වෑන් එක වමට ඇල වුනා . වෑන් එක ඇතුලෙ ඉන්න සමහරු කෑගැහුවා යටි ගිරියෙන්. මම දොර ඇරගෙන බහින කොටම මට තේරුනා, මම ඉන්න පැත්ත අනිත් පැත්තට වඩා සෑහෙන්න උස බව. ඉස්සරහ දකුණු පස රෝදෙත් අසාමාන්‍ය විදියට පිටතට නෙරලා තිබ්බ බව මම දැක්කා. 



මම වාහනේ ඉස්සරහින් ගිහින් බැලුවා වෙලා තියෙන හානිය. බම්පර් එකේ  වම් පැත්ත කොන්ක්‍රීට් එකට හේත්තු වෙලා. වම් පැත්තෙ ඉස්සරහා රෝද කොන්ක්‍රීට් එකෙන් කුට්ටියක් කඩාගෙන පහලට වැටිලා. ලෝවර් සස්පෙන්ෂන් ආර්ම් එක  උඩ තමයි වාහනේ සමබරව තියෙන්නෙ.  කඩාගෙන වැටෙනකොට අර මම ඉස්සරහට දාලා තිබුන, අමාරුවෙන් ලබා ගත්ත අලුත් බ්‍රිජ්ස්ටන් ටයර් එක පුපුරලා. ටයර් එකේ හැදිලා  තියෙන හිල ඇතුලට මගෙ අත රිංගවන්න පුලුවන්. ටයර් එක පුපුරන සද්දෙයි, කොන්ක්‍රීට් එක කඩාගෙන ගිහින් වෑන් එකේ සස්පෙන්ෂන් ආර්ම්  එක කොන්ක්‍රීට් එකේ වදින සද්දෙයි එකතුවෙලා තමයි, අර බෝම්බයක් ගහනවා වගේ සද්දෙ ඇවිත් තියෙන්නෙ.වාහනේ ගානට  කොන්ක්‍රීට් එකේ හිරවෙලා. ඊ ලඟට දැක්ක දෙයින් මගෙ කටේ කෙළ හිඳුනා. මම හිටගෙන හිටියෙ දුම් දාන අලි බෙට්ටක් උඩ. අපි මේ හිරවෙලා ඉන්නෙ යාල කැලේ අලි පාර හරහා යන අලි මංකඩක මැද්දෙ. මේ වන අලි සහ වල් අලි පාර පනින වෙලාව.

මම ඉස්සෙල්ලම කට්ටිය සන්සුන් කලා. එදා අපේ පවුලේ අයට අමතරව, මගෙ නංගිගෙ පවුලේ අයත්, අපේ අම්මත්, තව පුතාගෙ යාලුවෙකුත්, අක්කා කෙනෙකුත් දාගෙන ගිය නිසා, මෑන් පවර් එකේ නම් අඩුවක් තිබ්බෙ නැ, වුමන් පවර් එකත් එහෙමයි.

මම කට්ටියට සංසුන් වෙන්න කිව්වට වෑන් එකත් එක්ක  අපි  මේ හිරවෙලා  ඉන්නෙ අලි මංකඩක බවත්, මේ අලි එන වෙලාව බවත් මගෙ හිතා කෑගහලා මතක්කලා.


 
මට මේ සිද්ධිය මතක් වුනේ, මේ දවස්වල අපේ බ්ලොග් ලෝකෙ ලියන්නෙකුත් යාල ගිහින් ඉන්න නිසයි. මීට හරියට අවුරුදු දෙකකට කලින් අපි කට්ටියත් ගියා යාල. යාල ගියා කිව්වට ගෙදරින් පිටත් වෙනකොට යාල යන්න හිතාගෙන හිටියෙ නෑ. අපි යන්නෙ රෝඩ් ට්‍රිප්. සැලසුම හදන්නෙ මගදි වරින් වර, එන එන හැටියට.


 



 ඔන්න අපිත් ඉතින් කතරගම ඉඳන් ඇවිත් යාලට ගියා කියමුකො.





යාල ගිය අය දන්නවා ඇතිනෙ. උද්‍යානය ඇතුලට ගෙනියන්න පුලුවන් වාහන වර්ග තියෙනවා. ඕකට ගැලපෙන්නෙ නම් ඇත්තෙන්ම, 'ෆෝර් වීල් ඩ්‍රයිව් වාහන' විතරයි. වාහන දහයක විතර කන්ඩායම් හදලා, එක මාර්ගෝපදේශකයෙක් යටතෙ තමයි උද්‍යානය ඇතුලට යවන්නෙ. අපි ගියෙ දෙසැම්බර් අග නිසා, වැහි කාලෙට පාරවලුත් හොඳටම අබලන් වෙලා තිබ්බෙ.  ඇත්තෙන්ම පාරවල් මැද්දෙ අලි නාවන්න හැකි වතුර වලවල්. 





 ඇත්තෙන්ම එදා අපිට හිතේ හැටියට බලන්න සත්තු හිටියෙත් නැති තරම්.



 තනියෙම යනවා වගේ නෙවෙයිනෙ. පේලියෙ මැදට අහුවුනාම තව වාහන දහයක් එක්ක යන්න ඕනෙ. ඒ කියන්නෙ අපි තනියෙම ඒ වගෙ පාරක යනව නම්, තමන්ගෙ වාහනේ දඩාස් ගාලා එකපාර මඩ වලට දාන්නෙ නෑනෙ. හෙමිහිට සීරුවෙන්නෙ යන්නෙ. මේක එහෙම නෑ. ගයිඩ් නැගලා ඉන්න ඉස්සරහින් යන සැහැල්ලු ෆෝර් වීල් ඩ්‍රයිව් වාහන 'දඩ බඩාස්' ගාලා වතුර වලවල් වලට දාලා, ඇරලා දාලා යනකොට පිටිපස්සෙන් එන අපේ වගෙ සාමාන්‍ය වාහන, ලෝක අමාරුවක වැටෙනවා.  අපිට උපදෙස් දීල තියෙන්නෙ කොන්වෝයි එකත් එක්කම එන්න කියලානෙ. ඉතින් අපිටත් අර වලවල් උඩින්, ෆුල් ලෝඩ් එකත් එක්ක, අර වේගෙට ආසන්න වේගෙකින් යන්න වෙනවා. ඉතින් වාහනේ සෑහෙන දුකක් විඳිනව. මගෙ වාහනේ යට තියෙන ෆයිබර් එන්ජින් ගාඩ් එක ගැට්ටක වැදිලා එක පැත්තකින් ගැලවිලා බිම දිගේ ඇදෙන්න ගත්තා. නමුත් හෝන් ගහන්නවත්, නවත්තන්නවත් බෑනෙ. ඒක බිම ඇදිලා ගන්න දෙයක් නෑ පස්සෙ බලනකොට.







පස්සෙ, අපි ආපහු වනජීවී කාර්‍යාලය ලඟට එනකොට අඳුරු වැටිලා. මම යට රිංගලා ගාඩ් එක ගලවලා, වාහනේ ඇතුලට දාගත්තා. ඉන් පස්සෙ ආපහු ප්‍රධාන පාරට වැටෙන අබලන් මාර්ගය ඔස්සෙ එන්න පිටත් වෙනකොට අනිත් වාහන ඔක්කොම ආපහු ගිහින්.  මේ පාරෙ සපත්තු පාලම් කීපයක් තියෙනවා.





එක  සපත්තු පාලමක් මැදදි,  මම සුක්කානම වමට කැපුවෙ  පාලම මැද්දෙ කොන්ක්‍රීට් එක පාත් වෙලා වතුර පිරිලා තිබ්බ නිසා . එක පාරටම  මහා හඬක් නඟමින්  වෑන් එක වමට ඇල වුනා . වෑන් එක ඇතුලෙ ඉන්න සමහරු කෑගැහුවා යටි ගිරියෙන්. මම දොර ඇරගෙන බහින කොටම මට තේරුනා මම ඉන්න පැත්ත අනිත් පැත්තට වඩා සෑහෙන්න උස බව. 

මම වාහනේ ඉස්සරහින් ගිහින් බැලුවා වෙලා තියෙන හානිය. බම්පර් එකේ  වම් පැත්ත කොන්ක්‍රීට් එකට හේත්තු වෙලා. වම් පැත්තෙ ඉස්සරහා රෝද කොන්ක්‍රීට් එකෙන් කුට්ටියක් කඩාගෙන පහලට වැටිලා. ලෝවර් සස්පෙන්ෂන් ආර්ම් එක  උඩ තමයි වාහනේ සමබරව තියෙන්නෙ. කඩාගෙන වැටෙනකොට අර මම ඉස්සරහට දාලා තිබ්බ අමාරුවෙන් ලබාගත්ත අලුත් බ්‍රිජ්ස්ටන් ටයර් එක පුපුරලා. ටයර් එකේ හැදිලා  තියෙන හිල ඇතුලට මගෙ අත රිංගවන්න පුලුවන්. ටයර් එක පුපුරන සද්දෙයි, කොන්ක්‍රීට් එක කඩාගෙන ගිහින් වෑන් එකේ සස්පෙන්ෂන් ආර්ම්  එක කොන්ක්‍රීට් එකේ වදින සද්දෙයි එකතුවෙලා තමයි අර බෝම්බයක් ගහනවා වගේ සද්දෙ ඇවිත් තියෙන්නෙ.

වාහනේ ගානට  කොන්ක්‍රීට් එකේ හිරවෙලා. ඊ ලඟට දැක්ක දෙයින් මගෙ කටේ කෙළ හිඳුනා. මම හිටගෙන හිටියෙ දුම් දාන අලි බෙට්ටක් උඩ. අපි මේ හිරවෙලා ඉන්නෙ යාල කැලේ අලි පාර හරහා යන අලි මංකඩක මැද්දෙ. මේ අපි පාර පනින වෙලාව.

දැන් සපත්තු පාලම් කියන්නෙ මොනවද කියා නොදන්න අයගෙත්, 'යකෝ, සපත්තු පාලමක් කොහොමද කඩා වැටෙන්නෙ?' කියලා හිතන සපත්තු පාලම් දන්න අයගෙත් කුතුහලය සංසිඳවන්න මෙහෙම කියන්නම්. 


සපත්තු පාලමක් කියන්නෙ මහ පාරකුයි, ජල පාරකුයි එකිනෙක හරහා යන තැනක්. නමුත් වෙනත් පාලම් වගෙ නෙවෙයි දෙකම එකම මට්ටමෙන් යන්නෙ. මහපාර ජල පාර හමුවෙන්න කොන්ක්‍රීට් රෑම්ප් එකකින් - ඒ කියන්නෙ ආනතව හදපු කොන්ක්‍රීට් තට්‍ටුවක් දිගේ - පහලට ගමන් කරලා ඉන් පස්සෙ ජලය හරහා ගමන් කරලා නැවත කොන්ක්‍රීට් රෑම්ප් එකකින් පාරට නගිනවා. පැතලි සමතලා හරියත් කොන්ක්‍රීට් තට්‍ටුවකින් වැහිලා තියෙන්නෙ. මේ වතුර පාරත් සාමාන්‍යයෙන් හැම විටම ගලන එකක් නෙවෙයි. බොහෝ විට පිටාර පාරක් හරහා තමයි සපත්තු පාලමක් යොදා ගන්නෙ.
 

එතකොට මේක කඩාවැටෙන්න විදියක් නැත්තෙ, පාලම තියෙන්නෙ බිම නිසාත්, වතුර ගලන්නෙ පාලමට උඩින් නිසාත්. මෙතනදි වුනේ නිසි නඩත්තුවක් නැති පාලමේ කොන්ක්‍රීට් එක හානි වෙලා තිබීම, මැදින් කොන්ක්‍රීට් එකේ වලවල්  හැදිලා විතරක් නෙවෙයි, ඓතිහාසික කොන්ක්‍රීට් එක කාලයත් සමගම දුර්වල වෙලා. ඒ මදිවට පිටාර පාර කොන්ක්‍රීට් තට්‍ටුව යටිනුත්  හාරගෙන ගිහින්. ඉතින් පොලොව මත ‍රැඳී හිටින්න සැලසුම් කරපු කොන්ක්‍රීට් එක දැන්  සමහර තැන්වලදි එල්ලිලා තියෙන්නෙ යටින් ආධාරකයක් නැතිව. මගෙ වම් පැත්තෙ රෝදෙ අවාසනාවට ඒවගෙ තැනක් පහු කරනකොටම තමයි කොන්ක්‍රීට් එක කඩාගෙන ගිලා බැස්සෙ.

මම ඉස්සෙල්ලම කට්ටිය සන්සුන් කලා. අපේ ගෙදර තුන් හතර දෙනා බොහෝ විට රෝඩ්  ට්‍රිප් යන්නෙ, 'අපි හෙට කොහෙ හරි යං', කියලා පටන් අරන්. බොහෝ විට අපි විතරයි. එදා අපේ පවුලේ අයට අමතරව, මගෙ නංගිගෙ පවුලේ අයත් ,  අපේ අම්මත්, තව පුතාගෙ යාලුවෙකුත් දාගෙන ගිය නිසා මෑන් පවර් එකේ නම් අඩුවක් තිබ්බෙ නැ, වුමන් පවර් එකත් එහෙමයි.
 

මම කට්ටියට සංසුන් වෙන්න කිව්වට වෑන් එක අපි ඉන්නෙ අලි මංකඩක බවත්, මේ අලි එන වෙලාව බවත් මගෙ හිතා කෑගහලා මතක්කලා.

"අපි ඉස්සෙල්ලම වෑන් එක වලෙන් ගොඩ ගන්න ඕනෙ.  ඉස්සරහට ගන්න  අමාරුයි රෝදෙ කොන්ක්‍රීට් එකේ හිරවෙලා තියෙන විදියට. අපි
වෑන් එක පස්සට ගමු," මම කිව්වා.
 

කට්ටියක් වෑන් එක උස්සන ගමන් තව කට්ටියක් පස්සටත් තල්ලු කලා. එන්නෙ නෑ.

පස්සෙ ක්‍රමෝපාය වෙනස් කලා.

"අපි එන්ජිම පාවිච්චි කරමු. පස්ස උඩ නිසා ඔය කීප දෙනෙක් නගින්න වෑන් එකේ පස්සට. "


"මම ෂ්වෝර්ට්සෙනගර් වගේ මසල් මෑන් නිසා මම රෝදෙ උස්සන්නම් කවුද වෑන් එක පස්සට ගන්නෙ?"

චූන්ජියා මගෙ මස්සිනා කිව්වා, "උඹ පලයං වීල් එකට අපි උස්සන්නම් කියලා."

ඔන්න දීපාත් මසල් මෑන්ගෙ බිරිඳ හන්දා දත්මිටි කාගෙන ගියා වෑන් එක උස්සන්න. දැන් කීපදෙනෙක් හීනියට පස්සට තල්ලු කරද්දි කට්ටියම වෑන් එක වම් පැත්ත, මඩ් ගාඩ් ගැට්ටෙන්, වැහි පීල්ලෙන්, ජනෙල් සහ දොර රාමු වලින්, අල්ලලා උඩට පද්දලා උස්සනකොට, මම රිවර්ස් ගියරයට දාලා, ගානට පෙඩල් වලින් අවශ්‍ය බලය දීලා වාහනේ එන්ජිමේ බලයෙන් පස්සට ගන්න උත්සාහ කලා..

වාහනේ මුලින් පොඩ්ඩක් ප්‍රතික්ෂේප කලත් ටිකකින් වලෙන් උඩට ඇදිලා රෝදෙ නිදහස් වුනා. මම ඉතාම කල්නාවෙන් හිටියෙ වලෙන් එලියට ආ ගමන් තිරිංග යොදන්න, මොකද අපි කට්ටිය
වාහනේ බඳේ ඇලිලානෙ ඉන්නෙ විවිධ ඉරියව්වලින්.  ඉන් පස්සෙ මම කට්ටියට අයින් වෙන්න කියලා වාහනේ කොන්ක්‍රීට් එකේ හොඳ හරියකට ගත්තා.

එක පියවරක් හරි. ඇති යන්තම්!

දැන් තියෙන්නෙ රෝදෙ මාරුකරන එක. මම අලුතෙන් අරන් තිබ්බ ඇලෝයි රිම් තමයි වාහනේ තිබ්බෙ. අදාල රෝදෙ රිම් එක පොඩ්ඩක් හීරිලත් එක්ක.
 

මම දැන් කොහොමත් ටෝච් එකක් අරන් යන්නෙ. ටෝච් එක ගහල බැලුවා වෙන වෙලා තියෙන හානි. බ්‍රේක් පයිප්ප, හෝස්  කැඩිලා නෑ. සම්ප් එකෙන් තෙල් වැක්කෙරෙන්නෙ නෑ. ලෝවර් සස්පෙන්ෂන් ආම් එක ඉස්සරහින් තැලිලා. අලයින්මන්ට් නම් ගිහින් ඇති. නමුත් ස්පෙයා වීල් එක (දෙකක් තියෙනවා ඔන්න) දාගත්තාම යන්න පුලුවන්.

දැන් ස්පෙයා වීල් එකක් පිටිපස්සෙන් අරගෙන ජැක් එකයි ලීවර් එකයිත් උස්සගෙන ආවා ඉස්සරහට.

ඔන්න එතකොටම ආවා ට්‍රැක්ටරයක්. බුවා අපරාදෙ කියන්න බෑ. ට්‍රැක්ටරේ නවත්තලා බැහැලා ආවා. මුලදි අපිට හරිම සන්තෝෂ හිතුනා බුවා ආපු එක ගැන අපිට පිහිට වෙන්න ආපු ඉ‍ටු දෙවියෙක් කියලා.. නමුත් ඒ සතුට වැඩි වෙලා ‍රැඳුනේ නෑ මොකද මේකා කරටි කැඩෙන්න ගහලා, කෙලින් හිටගෙන ඉන්නෙත් අමාරුවෙන්.

"මොකද ෂර් අප්ෂෙට් එක?"

ඉතින් මම එතනම තිබ්බ අලි බෙටි වලට පයින් පාරකුත් ගහලා දන ගහන්න ඉඩ හදාගෙන ඇක්සල් එකට ජැක් එක ගහන්න උත්සාහ කරන ගමන් විස්තරේත් කිව්වා.


පොර විස්තරේ අහගන්න ගමන්ම,  ඈත ගම්මානෙක ඉන්න පොරගෙ අම්මවත් වතාවක් දෙකක්  මතක් කලා  විරාම ලකුණු හැටියට..

"මොනවද ෂර් කෙරෙන්න ඕනෙ?"

"පොඩ්ඩකට ඉස්සෙල්ල ආවා නම් හුඟාක් දේවල් කරන්න තිබ්බා. අපි වාහනේ උස්සලා වගෙ වලෙන් එලියට ගත්තෙ. ඉස්සෙල්ලම පුලුවන්නම් ඔය ට්‍රැක්ටරේ ලයිට් එක මෙතෙන්ට වැටෙන්න නවත්තන්නකො."

මේකෙ ලයිට් එලිය නෑ ෂර්."

"හරි, එහෙනම් කමක් නෑ."

"අම්මට @%$# ෂර්,  මෙතන අලි මාරුවෙන තැන. ඉක්මනට ඕක දා ගම්මු."

"ඒක තමයි මේ කරන්න හදන්නෙ."

මම ජැක් එක ඇක්සල් එක යටට රිංගවන්න උත්සාහ කරන ගමන් කිව්වා.

"මෙහාට වෙන්න ෂැර්."

"නෑ නෑ අවුලක් නෑ මට පුලුවන් මේක ගහන්න."

"මෙහාට වෙන්න ෂෑර්. මම මෙකැනික්, ෂර් එලියට එන්නකො,   %$#^."

මෙකැනික් කිව්ව නිසා මම වැඩේ නවත්තල  බුවාට දුන්නා වැඩේ. කවුරු හරි කමක් නෑ වැඩේ කරන්නනෙ ඕනෙ.

බුවා  කරන්නෙ මොකක්ද කියලා මම  කල්පනාවෙන් බලා හිටියෙ බුවා ගානට අනුමත වෙලා හිටපු නිසා.

හොඳ වෙලාව, පොර ජැක් එක ගහන්න හදන්නෙ එන්ජින් සම්ප් එකට.

"එපා, එපා, ඕකට ගහන්නෙපා. සම්ප් එක ඩැමේජ් වෙයි. අර ඇක්සල් එක යටට ගහන්න."

"ඇක්සල් එක යටට ගහන්න ඉඩ මදි ෂර්."

"ඒ වුනාට සම්ප් එකට ගහන්න එපා, ඔය ජැක් එක පාත් කලෑකි. කෝ දෙන්න."

"සර් මම මෙකැනික්. මට ජැක් ගැන කියාදෙන්න එන්න එපා."

පොර ජැක් එක එලියට අරන්, වෑන් එකේ එල්ලිලා, ජැක් එක උඩ නැග්ගා ඒක බාන්න. ජැක් එක එහෙමමයි, කුණුහරප වැලයි.

"හරි ඒ වුනාට ඔය කෑල්ල කරකවලා ඕක උඩ නැග්ගට ඕක පාත් වෙන්නෙ නෑ, ඕක හයිඩ්‍රොලික් ජැක් එකක් නෙවෙයි, මෙකැනිකල් එකක්. ඕක බාන්නත් ගහනවා වගේම අතින්ම කරකවන්න ඕනෙ."

"මඤ්ඤංද ෂර්?  මේක කැරකෙව්වාම ජැක් එක බෑවෙන්න ඕනෙ. අපි නොදන්න ජැක්සන් කිව්වලු!"

පස්සෙ පොරව අමාරුවෙන් පැත්තකට කරලා චූන්ජියයි මායිම ජැක් එක ගහලා රෝදෙත් හයි කරගත්තා.

දැන් නම් උදව්වට ආපු එකා මලම ඇණයක් වේගනයි එමින් තිබ්බෙ. ඇත්තෙන්ම පොර නොහිටියා නම් මෙලහකට අපි පිටත් වෙලා.

"ෂර් කොහෙද, කොළඹද?"

"ම්ම්ම්... ඔව්, කොළඹ තමයි."

බස්නාහිර පලාතේ ඕනෙම තැනක් කොළඹනේ. එක අතකට ඒක ලේසි උත්තරයක්. බස්නාහිර පළාතෙම කොළඹට කිලෝමීටර් විසි ගනනක ආසන්නයේ පිහිටපු අපේ ගමේ නම කිව්වාම සමහරු හිතන්නෙ ඒක පිහිටලා තියෙන්නෙ උතුරුමැද ප්‍රදේශයේ හරි බදුල්ලෙ දුෂ්කර ප්‍රදේශයක හරි කියලා.

මම හානි වෙච්ච රෝදෙ වාහනේ පිටිපස්සට දැම්මා.

"එලනෙ ෂර්. කොළඹ කොහෙද?"

"නාරාහේන්පිට ඇන්ඩර්සන් ෆ්ලැට්ස් වල."

"පට්ටයිනෙ ෂර්. මමත් මේ ලබන සතියෙ කොළඹ එන්න ඉන්නෙ. මට ෂර්ගෙ නොම්බරේ දෙන්නකො."

කාල වරෙංකො.

"456123," මම මේ වගෙ අවස්තාවල මේ වගෙ නොම්බර කියන්නෙ නැවත වතාවක් ඒකම කියන්න පුලුවන් රටාවක් ඒකෙ හැංගිලා තියෙන නිසා.

"මොකක්ද ෂර් ඒ නොම්බරේ? බොරු නේද කියන්නෙ?"

"මගුලටයැ බොරු කියන්නෙ. දැන් මෙතන ඇවිත් මේ ට්‍රැක්ටරෙත් නවත්තගෙන මට සප් එක දෙන මිනිහට බොරු නොම්බරයක් කියයිද මම?"

"හරි මොකක්ද ඕක මොබිටෙල්ද, ඩයලොග්ද."

මම ජැක් එකයි ලීවර් එකයි ආපහු දාලා පිටිපස්සෙ දොර වැහුවා.

"ඕක ටීගෝ 072"

දැන් පොර මොබයිල් එකක් අරන් නොම්බරේ සේව් කරන්න හදනවා.

"072 කෝ හු.. බින්දුව මේ මගුලෙ?"

පොර අපිට වැඩක් කරගන්න නොදී මල ඇණයක් වෙනවා මදිවට මෙතන ගෑණු අයත්, ළමයිනුත් ඉන්න බවවත් නොසලකා කුණුහබ්බත් කියනවා එකසිය ගානට.  ළමයිනුත් පැත්තකට වෙලා අලුත් වචන ඉගෙන ගනිමින් සිංහල භාෂා ඥානයේ නිම් වළලු පුලුල් කරගන්නවා.

"පොඩ්ඩක් ඉන්න. නංගි අර කොල කෑල්ලක ඕක ලියලා දෙන්න මෙයාට."

"කියන්නකො", නංගි කොලේ අරන් කිව්ව.

"ඇයි නංගි මගෙ නොම්බරේ ලියන්නකො 072 456123 කියලා."

ඔන්න නංගි ලියලත් දුන්නා.

"ෂෑර් දෙන්න බලන්න මිස් කෝල් එකක් මේක ඇත්තද කියලා බලන්න"

"මේක මාර වැඩක්නෙ. මනුස්සයො මගෙ ෆෝන් එකේ බැටරිය බැහැලා."

"හරි, මම කොළඹට ආපු ගමන් මේකට කෝල් එකක් දෙනවා, හරිය."

"දෙන්න, මම වාහනේ අරගෙන එන්නම් එක්ක යන්න"

අන්තිමේදි මම වටේම ඇවිදලා බැලුවා මොනවද දාල යන්නෙ කියලා.

යන්තම් වෑන් එකට නැගලා පොරට බායි කිවවාම තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.

"එහෙනම් ෂර් මම ආපු ගමන් කෝල් කරනවා. ඔන්න අපේ වැයික්කියට ආවාම අපි ෆුල් බැකප් එක දුන්නා වගෙ ෂෑර්ලගෙ වැයික්කියට ආවමත් අපිට ෂලකන්නෝනෙ හරිය?"

"නැතුව, නැතුව? බොහෝම ඉස්තුතියි එහෙනම්. අපි ගිහිල්ලා එන්නම්, එහෙනම්!"

මම එන්ජිම පණ ගන්වලා වාහනේ කොන්ක්‍රීට් රෑම්ප් එක දිගේ උඩට නැග්ගුවා.

"හම්මෝ බං චූන්ජියො. අරූගෙං බේරිච්ච එක පුදුම දෙයක්නෙ බං. වල් අලියා ගැහුවා ට එහානෙ. උඹ කියන්නෙ, මේ වැඩේ කරගන්න දුන්නෙම නෑනෙ."

"ඒකනෙ බං, අනික කුණුහරප කියන්නෙ මේ නිකං..."

කට්ටියම වක්කඩ කැඩුවා වගේ අර බුවාට පස් පඩංගුවෙ බනින හඬින් චූන්ජියාගෙ වචන යටපත් වුනා. අම්මා විතරක්  "අනේ අරවගෙ උදව් කරන මනුස්සයොත් ඉන්නවා නේද?" කිව්වෙ, අම්මට අර ඉයර්ෆෝන් නැතුව කන් නෑහෙන නිසාත්, ඒකා කරන්න හදපු ඔලමොට්ටලකං තේරුම් ගන්න තරම් කාර්මික ඥානයක් අම්මට නොතිබුන නිසායි. අපේ අම්මා ඉයර් ෆෝන් එක නොදා පවත්වන සංවාද හරියටම අර ටිංටිං කතාවල ප්‍රොෆෙසර් කැල්කියුලස්ගෙ සංවාද වාගෙමයි.

වෑන් එක තරමක් පැත්තකට අදින බව මට තේරුනේ ගමනාරම්භ කරපු ගමන්මයි.

නමුත් පස්සෙ බලනකොට පැත්තට අදින්න හේතුව, ඉස්සරහට එළ හරකයි, මී හරකයි වගෙ, ඇලෝයි වීල් එකයි, සාමාන්‍ය  එකයි හයි කරපු නිසයි කියලා තේරුනේ පස්සෙයි..
මගදිත් මම ස්පෙය වීල් එකට ඇලෝයි රිම් එක දාන්න උත්සාහ කලත් රෑ නිසා හැම තැනම ටයර් වැඩපොළවල් වහලා තිබ්බ.
 


පස්සෙ මට කල්පනා වුනේ, මට කරන්න තිබ්බෙ පිටිපස්සෙන් ඇලොයි වීල් එකක් ඉස්සරහට දාලා, ස්පෙයා වීල් එක පස්සට දැම්ම නම් හරි නේද කියලා. කොහෙද අලියා එයි කියන භීතිකාවට අමතරව, අර යකා මගෙ ඔලුව පිස්සු වැට්‍ටුවනෙ එතන ඉඳගෙන.

ඔය විදියට අපි 'කොළඹටම' ආවා. පාන්දර වෙද්දි. මම ඔය වාහනේට ඔය තරම් ආදරෙත් ඔය වගේ හේතු හන්දා.

අම්මා අන්තිමට කිව්ව කතාවට මට තාම හිනා.


"මොනවද ලොකු පුතේ, ඩීසල් ගහගෙන,  ඔච්චර වියදං කරගෙන, අච්චර දුර ගියා සත්තු බලන්න යාල. මම නං දැක්කෙ කොරවක්කෙක් විතරයි."

අදටත් අපේ චූටි පුතාගෙ හිට් එකක් ඒක. :D


අම්මා දැකපු කොරවක්කා ෂුවර් එකටම මූ වෙන්නැති. :D


ප ලි:
පස්සෙ මම ලෝවර් සස්පෙන්ෂන් ආම් එක දැම්මා අලුතෙන්. ඒ වගෙම ඒකට ඉන්ෂුවරන්ස් ක්ලේම් කලා. අර කවුරුත් බනින රක්ෂන සමාගම මම නැති අතරෙත් මගෙ ගිණුමට රක්ෂණ මුදල දාලා තිබුනා. මම ඊලඟ නිවාඩුවට ගිය ගමන්ම අලුතෙන් ටයර් ගත්තා ඒ සල්ලි වලින්.

මම ක්ලේම් එක දැම්මෙ ඉංගිරිසියෙන් වෙඩි වගෙ ලියුමකුත් ලියලා, අඳුරන එකෙකුට කියලා පොඩ්ඩක් මතක් කරලා හෙම තමයි. හෙඩ් ඔෆීස් එකට ගිහින් ලොරි ටෝක් එකකුත් දුන්නා හැබැයි අහගෙන හිටපු ගෑණු ළමයට නිකං අර NatGeo චැනල් එකේ පෙන්නන Seconds from Disaster බැලුවා වගෙ, ටිෂූ පෙට්ටියකින්ම කඳුලු පිහ දාන්න වෙන්න.

ප. ප. ලි: මේ කතාවෙන් ගන්න තියෙන දේ මම පහලින් ලැයිස්‍තු ගත නොකරන්නෙ කලින් බල්ලා කාපු මගේ පෝස්ට් එක කියවපු පොඩ්ඩි මෙහෙම කිව්ව නිසයි.

"ඔය පහලින් දාලා තියන ලිස්ට් එක අපට හිතන්ට කියලා දුන්නා නම් හොඳයි කියලා හිතනවා.:)"

ඔන්න දැන් එහෙනම් එහෙම කරන්ටකො. :)

නමුත් කට කහන නිසා අර ස්පෙයා වීල් දෙක ගැන මතක් කරන්නම්. :D

මෙහි පලවන ඡායාරූප මෙම සිද්ධියට අදාල දිනයේ ලබාගත් ඒවා වන අතර ඉන් සමහරක අයිතිය අප සමග ගමන් කල සෙනෙවිරත්න පවුල සතුවේ.

මේ ඒ ටයර් එක පුපුරන්න පැය කීපයකට කලින්
වෙනදට ඇයි බොල පෝස්ට් එක දෙකට කඩන්නෙ කියලා මගෙන් අහන උන් දැන් මේක දිග වැඩියි හෙම කියලා අහුවෙන්න එපා. :)

123 comments:

  1. හප්පේ ඩුඩ් අයියේ තමු පාරකදී එහෙම අහුවෙන්න එපා ඇඩ්වෙන්චර් පොස්ට් දාල හිටහන් මම ලංකාවට යනකන් බොක්ක රත්වෙන ඇඩ්වෙන්චර් දෙන්න. මම මුල ඉඳන්ම පොස්ට් ඒක බැලුවේ බොක්ක රත් වෙලා එකේ රිටන් ඒක මම දෙන්නම් පුතා. දැන් බැලුවම ඔයාගේ ඩ්‍රයියිවිනුත් අජපල් නේ

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඩ්‍රයිවර් කෙනෙක් ගන්න වෙයි වගේ. (උඹ වගෙ අල්මාරියක යතුරවත්... එක්කො ඕනෙ නෑ :D)

      Delete
    2. අයියෝ සල්ලි...... ඔක්කොමත් හරි ඔය අල්මාරි යතුරු කතාව ඇර. හම්මප මට වෙලාවකට පට්ට ඉරිසියයි. ලංකාවේ ඉන්නේ නැති එක ගැන. කමක් නැහැ විනය ගරුක රථාචාර්ය වරයෙක් තමයි මම මම එන්නම් ඩ්‍රයිවර් වැඩේට මොකද කියන්නේ

      Delete
    3. ඕවා ඉතින් මම හදපුව කතාවල් නෙවෙයි. හෙහ් හෙහ්. බං කෝරළේ, අපිත් මව් බිමේ නෙවෙයි බං ඉන්නෙ. මම හිතුවෙ උඹ ඒක දන්නවා කියලා. අපි ගෙදර යන්නෙ නොවැම්බර් අග නිවාඩුවට. මට ඉරිසියා කරන්න එපා බං. අපිත් මේ දූපතකට කො‍ටුවෙලා මේ ඇඟිලි ගැන ගැන ඉන්නෙ ගෙදර යන්න...

      අපි ඔක්කොම බලං ගියාම පව් බං!:(

      Delete
    4. ඒ නොවැම්බර් අග ඇවිත් යන ටිරිප් එකට මමයි වෙනී මාමයි දැනටම රෙඩී... අරිද ?

      Delete
    5. හප්පේ දූපතක් කිව්වේ මාලේද? මම උපකල්පනේ කළා දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි කිව්වා නිසා. දූපතක් උනත් සැපයි ඩුඩ් අයියේ මේ කාන්තාරෙට වඩා. අවුරුදු 21 මෙහෙ ගෙවල මට දැන් එපා වෙලා ඉන්නේ. මේ දෙසැම්බර් යන්න හිටියේ මමත් ඒත් කෙල්ලගේ ඔපරේෂන් එකට ඕනේ ගැන සෙට් උනේ නැති නිසා අප්‍රේල් මැයි විතර යන්න වෙන්නේ ඒ වෙද්දී ආවොත් අපි එන්නම් ඒ පැත්තේ ඩුඩ් අයියගේ ටවුන් එස් එකෙත් යතුර උස්සන්න හිකිස්.............

      Delete
  2. කොහොමද ඔය අල්ලපනල්ලේ අලියෙකුත් ආවානම් එහෙම
    මදි අයියේ උඹලා අරන් යන බෑග් කැටිය.
    දවස් කීයක් නවතින්නද ගෙදරම තියන ඔක්කොම බැදන් යන්නේ

    ReplyDelete
    Replies
    1. අලියාට එහා බං අර බුවා. පුදුම වදයක් දුන්නෙ,
      උඹ ඔය හරියට දැක්කෙ නෑ, සමහර දවස්වල අපි හතර දෙනා විතරක් යනකොට ඔතන චූටි පුතාගෙ බයිසිකලේත් තියනවා,මදුරු දැල් වලට අමතරව, හෙහ් හෙහ්!

      Delete
    2. අලි එන්නේ කොහෙද අර වල් අලියෙක් සෙට් වෙලා ඉද්දි? අලිත් මාරුවෙනවා ඇති ඌව දැක්කම ඔය කියන විදියට පට්ටම ඇණයක් කියලා.

      Delete
  3. //"මොනවද ලොකු පුතේ, ඩීසල් ගහගෙන, ඔච්චර වියදං කරගෙන, අච්චර දුර ගියා සත්තු බලන්න යාල. මම නං දැක්කෙ කොරවක්කෙක් විතරයි." //

    මේ ටික තමා උපරිම...පව් අප්පා...ඩූඩ් අම්මව යාලම එක්ක ගිහින් කොරවක්කො පෙන්නන්න..

    ඩූඩ් ඔය කියාපු වාහනවල පාර්ට්ස් ගැන මම නම් මෙලෝ කුණු හබ්බයක් දන්නෙ නෑ...හි හී...මගෙන් කවුරු හරි මේ මොනාද ඇහුවනම් විනාසයි... :P

    ඔය යාල යද්දී අපටත් අලි අකරතැබ්බයක් වෙලා තියෙනවා. එදා නම් තම පොඩ්ඩෙන් අලියා ගහලා ළිහිණිය පරලොව යන්නත් තිබ්බා.ඔය සමහර ගෑණු උදවිය ඉන්නවා ඩූඩ් සද්දෙ දාගෙන අලි බලන්න කැලේ ගිහින් යන්තමටවත් අලියෙක් වාහනය ලඟට ආවොත් යටි ගිරියෙන් කෑ ගහලා නිකම් ඉන්න අලි කුලප්පු කරන ඈයො...අපි එක්ක ගිය නඩෙත් උන්න ඔය වගේ ඇන්ටි කෙනෙක්.එදා එයා හන්ද තව පොඩ්ඩෙන් අලිය ගහන්නෙ මටයි...

    ReplyDelete
    Replies
    1. ළිහිණිගෙ අතපය දිග වැඩි හන්දා අලියා ගැහුවොත් ඉස්සෙල්ලම වදින්නෙත් ලිහිණිට තමයි. ඔයාට කියන්න ළිහිණි, මේ රටේ හරියට බෝට්‍ටු ගමන් තියෙනවනෙ. අපි නම් මෙහෙ එන්න කලින් වැඩිය බෝට්‍ටුවල ගිහිල්ලත් නෑ. මෙහෙ ඉන්න උපන්දා ඉඳලා බෝට්‍ටුවල ගිය ගෑණු ඔය මුහුද රළු දවසට බෝට්‍ටුව පැද්දෙන කොට කෑ ගහන තරමක්! අපිත් බයවෙනවා. :O

      Delete
  4. කුතුහලේ නැතුව දිගටම ලියාගෙන ගිය එක ගැන මං පනුච්චිගේ ප්‍රණාමය (හත්තිලවුවේ මේකේ මුල ඉඳන් අගට යන්ට ත්‍රීවීල් එකක් එපැයි ;))
    අර ආපු උදව් කාරයා තමයි දවසකටවත් මෑන් ...
    ෆොටෝ ටික නම් නියමයි ඩුඩ්..
    ජය වේවා!!!
    සිනා බෝ වෙවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පණුච්චි, ත්‍රී වීල් වල යන්න එපා, පයින් යන්න. ඒක ඇඟටත් හොඳයි පරිසරයටත් හොඳයි. හැබැයි ඔයාට ටිකක් වෙලා යයි බඩ ගාගෙන යන හන්දා, නේ? :O
      මගෙ උරෙස්සයි, වැලමිටයි, මැණික් ක‍ටුවයි ඔක්කොම තවම රිදෙනවා වචන දෙදාස් දෙසිය ගානක් එක දිගටම කොටලා... :)

      Delete
  5. මේ ලිපියේ ඉහලින්ම තියන පින්තූරය 1 වශයෙන් ගත්තොත් 19 වැනි පින්තුරයේ තියනවා අද්භූත ආකාශ වස්තුවක්. අපරාදේ ඒ පින්තූරය අද නොදමා වෙනම දවසක දාලා හොඳට මාකට් කරන්න තිබුණා.

    අම්මපා තමුන්නාන්සේගේ ලග්නේ මගේ ලග්නේමද? මමත් දුර ගමනක් ගියොත් වාහනේ කැඩේන්නෙම නෑ :D

    පින්තූර ටිකත් කතාවත් රසවත්. යාල ගියාම මටත් ඔය ගයිඩ්ඩුවන්ට කිහිල්ලට හිර කරගෙන හොම්බට හැටක් අනින්න හිතුන අවස්ථා තියනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම විචාරක මට ඒකට ප්‍රසිද්ධියක් දෙන්න තිබ්බා තමයි. ඕක මගෙ මස්සිනාගෙ සැම්සුං කැමරාවෙ pixel burnout එකක්.
      මගෙ ලග්නෙ සිංහ. හෙහ් හෙහ්. හැබැයි, විචාරක කාරෙක ගිණි ගත්තෙ අනූ ගනන්වල මැද. මේක 2009 දෙසැම්බර් 26.

      ඒකත් අර ගුවන් ගමන් වගෙ තමයි, කිසිම කරදරයක් නැතුව , ගිහින් එන සිය ගනනක් ගමන්වලට නැති ප්‍රසිද්ධිය, ඉඳලා හිටලා වෙන කරදරයකට ලැබෙන නිසා එහෙමත් හිතෙන්න පුලුවන්. ඇත්තටම සමහරු ගුවන් ගමන් ගැනත් හිතන්නෙ එහෙමනෙ. :)

      හපොයි, මට නම් දුකයි විචාරකගෙ ගයිඩ් ගැන. :D

      Delete
  6. කැලේ ඇවිදින්න. අප්පා මගෙත් ආසම දෙයක් තමයි. අනික රෝඩ් ට්‍රිප්. ඒකෙ අමුතුම ගතියක් තියෙනවා නේද?

    දවසක් සේරුවිල ගිහිං 7.00ට විතර අයියයි මායි වෑන් ඒකෙ වහල උද ඉඳන් බඩු බාද්දී අලියෙක් ආවා. (සොරි ඈ වන අලියෙක්) අපි දෙන්නටනම් ගානක්වත් නෑ. ඒත් අම්මලා.....

    තව දවසක් කල්තොට හේනක රෑ පහන් කළා. එදා රෑ අලි හොයන්න කැලේ ඇවිද්දා තියෙන ගොන් කමට.

    ඔයාගේ භාෂාව නම් ඇති විශිෂ්ඨයි. මාත් එතන හිටියා වගේ ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. රෝඩ් ට්‍රිප් කියන්නෙ අපේ අංක එකේ විනෝදාංශය. තේමාව තමයි ගමනාන්තයට වඩා ගමන රස විඳීම.
      AKM මෙහෙම යාල ගිහින් කැලේ ඇවිදින්න බෑ ඇත්තෙන්ම. මම ඇත්තටම් කැලේ ඇවිද්දා මගෙ යාලුවා ගාමිණී (ගාමිණීගෙ විජිතය) එක්ක. එදාත් අපි පාරෙ හෙන සද්දන්ත දල ඇතෙක් පැන්නුවනෙ. ඒක මම බ්ලොග් පෝස්ට් එකක් හැටියට ලියලත් තියෙනවා, 'දළ පූට්‍ටුවා සහ ණයට ගත් සෙරෙප්පු කබල' කියලා. ගාමිණී එයාගෙ පොතෙත් සඳහන් කරලා තියෙනවා.

      ඒත් අම්මලා... හීඊඊඊඊඊඊක් බුදු අම්මෝ...!!! ද? :D

      ස්තුතියි AKM.

      Delete
  7. අපි නං ඔය වගේ සත්තු බලන්න ගියාම කැලේට වැඩිය සත්තු වාහනේ ඇතුලෙ ඉන්න නිසා සත්තු දැක්කෙ නෑ කියල දුක් වෙන්න දෙයක් නෑ. :D :D

    ඔය වගේ ටයර් කටු මාත් කාල තියෙනව සෑහෙන්න. යාල යන්න හිතුන මේක දැක්කම. අර උඩම ලියපු කෑලි ටික ආයෙම repeat telecast වෙලා නේද පහල?

    ReplyDelete
    Replies
    1. ඔය යාල ගියාම මුහුදු, අපිට සත්තු බලනවට වඩා, සත්තුන්ට අපිව බලන්න, අපේ හැසිරීම් නිරීක්ෂණය කරන්න අවස්ථාවක් ලැබෙනවා, මම හිතෙන්නෙ.
      මුහුදු අරක එක්තරා උපක්‍රමයක් හැටියට මම පාවිච්චි කලේ. කතාව මැදින් පටන් අරන් ආපහු එතනටම ගිහින් එතන පහු කරන් යන එක. හොඳයි නේද?

      Delete
  8. අපි දැකපු දේවල් එමම තියෙනවා..අම්මෝ වාහනෙ කැඩිච්ච එක නම් මාර ඇඩ්වෙන්චර් වගේ..අපි නම් සෆාරි ජිප් වගයක් ගත්තා...ලක් එකට කොටියෙක්ව ද්
    ඇක ගෙන ෆොටෝ ගන්න කම් මේක ගහ උඩ හිටියා..ෆොටෝ පෝස්ට් එකක් ලියන්න වෙනවා..හැබැයි හෙන් රිට වගේ ත්‍රාසජනක සිද්ධීන් නම් උනේ නෑ..

    ReplyDelete
    Replies
    1. මට උඹ ගිය ගමන මතක් වෙලා තමයි මේක ලිව්වෙ වෙනී. උඹ ගත්ත පින්තූර දාපං වෙනී. අපිට නම් ඔයවගෙ හොම්බ දිග කැමරාවක්වත් ටෙලි ෆෝටෝ ලෙන්ස් වත් තිබ්බෙ නෑ. අර වලවල් වල වැටි වැටි ඔය ගානට ෆෝටෝ ගත්තත් ඇති බං.

      අඩේ හෙන්රි කොතනද, ත්‍රාසය එතනයි කියලා දන්නෙ නැත්ද? පුවත් මවන්නෝ!

      Delete
    2. වෙනී මාමා සූටි දැරිවියො ටිකක් වට කරගෙන ඉන්න දර්ශනේ ත්‍රාසජනක නැද්ද එතකොට ?

      Delete
    3. හෙන් රි හි හි හී.....

      Delete
  9. මේක කියෙව්වෙ පු‍ටුවෙ අගිස්සටම ඇවිත්...එච්චරටම ඇග රත් වෙලා හිටියෙ ඉවර වෙනකල්....

    අපරාදෙ එදා මම හිටියා නම් එක අතින් උස්සලා තියෙනවා වාහනේ උඩින්... :D

    ආච්චි පව් අනේ...එයාට හිතෙන්න ඇත්තෙ අර මනුස්සයා ලොකු උදව්වක් කලා වගේ....

    "අපේ අම්මා ඉයර් ෆෝන් එක නොදා පවත්වන සංවාද හරියටම අර ටිංටිං කතාවල ප්‍රොෆෙසර් කැල්කියුලස්ගෙ සංවාද වාගෙමයි."

    මේක නම් ඇත්තම තමා අපේ ආච්චියා මෙහෙම තමා

    අර මනුස්සයව ආයෙම හම්බුනොත් ඉවරයි බොරු නොම්මර දීලා.... :D

    ReplyDelete
  10. ෆෝටෝස් ටිකත් හරිම ලස්සනයි .... :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. ඔයා ගියේ නෑනෙ. ඒ වුනාට දැන් නම් ගියා වගෙ තමයි.
      ෆෝටෝස් තව තියෙනවා. පෝස්ට් එක දිග වැඩි නිසා දැම්මෙ නෑ. මේකත් දවස් කීපයක ගමනක්.
      අර බුවාට ආයෙම අපිව අඳුනන්න තරම් සිහියක් නෑ, ඒ නැතත් අපිත් ඒ වෙලාවෙ මිනිහට මොකුත් කිව්වෙ නැත්තෙ එකක් ඒක එයාලගෙ වැයික්කිය, අනික ඒක අමතර කරදරයක්.

      Delete
  11. දිග වැඩී...හී හී....(කියන්ට එපා කීව හන්දයි කීවේ)

    මටත් කාලෙකට ඉස්සර යාල ගිය ට්‍රිප් එකක් මතක් උනා.දැකපු සතෙක් නම් මතක නෑ. 'අන්න කොටියෙක්...කොටියෙක්...' කියලා කවුදෝ කෑගැහැව්වා මතකයි. ඒත් දැක්කේ ගහක මුලක් විතරයි.:D

    //මෑන් පවර් එකේ නම් අඩුවක් තිබ්බෙ නැ, වුමන් පවර් එකත් එහෙමයි.//
    ඩූඩ් ලස්සනට ලියනවනේ...:)

    සපත්තු පාලම්ක් කියන්නේ මොකක්ද කියලා දැනගත්තා. ඒකටත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. //'අන්න කොටියෙක්...කොටියෙක්...' කියලා කවුදෝ කෑගැහැව්වා මතකයි. ඒත් දැක්කේ ගහක මුලක් විතරයි.:D//
      ඒක තමයි හුඟක් වෙලාවට වෙන්නෙ, ඇත්තටම. සමහර දවස් වලට හරියට සත්තු ඉන්නවා ඒ වගේම.

      අන්න අදාල කොටස වෙන්කර ගත්තා. වුමන් පවර්. :D

      සපත්තු පාලම කියන්නෙ causeway, පොඩ්ඩි.

      වතුර අඩු වෙලාවට වතුර පාර උඩින් නොගිහින් පාලම යටින් යන්නත් බෝක්කු කටවල් කීපයක් තියෙනවා.

      Delete
  12. අර ස්පෙයාර් වීල් එකෙ සයිස් එක ගෙන කීවාම මට මතක් උනේ ගිය අවුරුද්දෙ මට වෙච්ච දේ.. අනුරාදපුරේ ගිහින් කැකිරාව පාරේ; එනකොට තලාව පාරෙන් ආවා කට්ටියට ඒ පැත්ත පෙන්නන්න. හෆොයි. පාර කඩාගෙන හදනවා. ඒකෙ ඔයවගෙ තැනක වලක් මග හරින්න ගිහින් ම්ගෙ වම් පැත්තෙ ටයරයට කෙල උනා. ඔන්න ඉතින් ස්පෙයාර් වීල් එක දිහා බැලුවෙ එතකොටයි. මල මඟුලයි.. ඒක හරිම පුන්චි එකක්. කුරුනැගලට එනකල් ඒ මඟුල දාගෙන එලවනකොට කාර් එක හරියට අර ඔවර්ලොඩ් කරපු ප්‍රයිවට් බස් වගෙ පැත්තක් බරවෙලා තමයි ගියේ.. හැම වලක් ගානෙම සස්පෙන්ශන් වදින හඬට ඔන්න කැඩුනා මෙන්න කැඩුනා කිය කිය තමයි ආවෙ..

    ReplyDelete
    Replies
    1. ඒ මගුල සරත්, ටයර් එක ඒක දාපු තැන ඉඳලා ආසන්නම ටයර් වැඩපලට යන්න විතරක් ඩිසයින් කරපු එකක්, නේ? ඒක ඇත්තෙන්ම තියෙන්නෙ අර කාර් ට්‍රන්ක් එකේ අඩියට ලේසියෙන් ‍ෆිට් වෙන්න බර , විශ්කම්බය අඩු කරලා හදලා. ඇත්තෙන්ම ඒක දැම්මම ඒ පැත්ත පාතයි නේ? ඕක දාගෙන සති ගනන් දුවන කම්මැලියොත් ඉන්නවා පේනවා. :D

      Delete
  13. නියමයිනේ...අම්මා පව් හැබැයි...මුල කෑල්ල දෙපාරක් පෙන්නේ මට විතරද???

    ReplyDelete
    Replies
    1. හම්මෝ කැරළිකාරියක් නේද? බයෙත් බෑ. සාදරයෙන් පිළිගන්නවා මගේ ඩෙනිමට.
      අරක එක්තරා උපක්‍රමයක් හැටියට මම පාවිච්චි කලේ කැරළිකාරි. කතාව මැදින් පටන්ගෙන් ආපහු මුලට ගිහින් අර තැන පහු කරන් යන විදියට.

      Delete
  14. ඩූඩී ඔයා ඇයි ඒ මිනිහා එක්ක ලව් කරකර හිටියේ , උඹේ අට නොකා යනවද පොන කැයා කියලා එලවලා දානවා මම නං ටික වෙලාවක් බලලා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මට ඒක නම් හිතාගන්න අමාරු නෑ.
      මේකනෙ බං අටමා. දැන් මේ බ්ලොග් ලිව්වට ඒ වෙලාවෙ බොක්ක රත් වෙලා හිටියෙ.
      අනික ඒක උන්ගෙ වැයික්කිය. අනික පොර මොනවා වුනත් ට්‍රැක්ටරේ නවත්තලා ආවනෙ. අනික ඒ වෙලාවෙ මට අලුතෙන් සතුරෙක් හදාගන්න ඕනෙ කමක් තිබ්බෙ නෑ, තිබිච්චි ප්‍රශ්ණ හොඳටම ඇති.

      Delete
  15. පිංතුර ටික පන්කාදුයි. කතාව හොදට ගලා ගියා. අම්ම කිව්ව එක නං ඇත්ත එහෙම බැලුවොත් යටින් ලිස්ට් එකේ තියෙන්ට ඕන එකක් තමයි “යාල යන්න එපා“ කියලා.. හික්.. ඒක නෙමෙයි යාල හරි උඩවලවේ හරි යනවා නං යන්ට ඕන ඔය 4 වීල් ජිප් එකක තමයි, ඒකේ හොද වින්දනයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. "යාල යන්න එපා" කියලා? :O හපොයි!
      වෙන වෙන?
      ඒක ඇත්ත බං. අනුන්ගෙ 4X4 එකකයි යන්න ඕනෙ, ට්‍රයිපොඩ් හොම්බ දිග කැමරා හෙම අරගෙන. වාව්!

      Delete
    2. උඹට කව්ද ඕව ගේන්න කිව්වේ.. එනවා මෙතන ට්‍රයිපොඩ් හොම්බ දිග කැමරා අරගෙන.. (ආ එකත් ලිස්ට් එකට දාපිය)

      Delete
  16. කූල් එකේ අව්රුදු ගානකට පස්සේ යාල යනවා වගේ පින්තුර ටිකත් බලල රසවිදලා,වෙච්ච කරදරේ ගැන කණගාටුවෙන් කියවද්දිනේ "වෙල් ෆැන්ට බෝය්"වින්දනේ ට්‍රිබල් කලේ.වෙල් ෆැන්ට වල ඉමිහිරි සුවද දැනුනේ නැද්ද?ඇයි අර පින්තුරවල ඉන්න සත්තු අම්ම දැක්කේ නැද්ද මචන්?

    ReplyDelete
    Replies
    1. වෙල් ෆැන්ටා සුගන්ධයෙන් ඔකඳ වෙලා මචං හිටියෙ කට්ටියම. :)
      ඔය අලියා ඇරෙන්න අනිත් උන් ඈතනෙ හිටියෙ කෙන්ජි. අම්මා කොහොමත් ඔය sense of humor? කියන එක උපරිමේට තිබ්බ කෙනෙක්. අම්මට කියන්න ඕනෙ වෙන්න ඇත්තෙ අපි බලාපොරොත්තු වෙච්ච තරම් සත්තු දැක්කෙ නෑ කියන එක වෙන්නත් ඇති. ඒ නැතත්, අම්මා කොහොමත් හියරිං ඒඩ් එකයි කන්නාඩි කුට්ටමයි දෙකම හරියට දාගෙන හිටියෙ නැතිනම් හරියට සම්බන්ධීකරණය වෙන්නෙ නෑ තමයි. :)

      Delete
  17. මේක මාර සීන්කෝන් එකනෙ ෂෑර්.... අලි මදිවට හරකෙකුත් බලල තියෙන්නෙ...
    හැබැයි ඔතන මෑන් පවර් එක තිබුන නිසා හොඳයි... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ලකී, මෑන් පවර් එක තිබ්බ එක වාසියට ගියා. ඒ වගෙම මෙහෙමත් පුලුවන්, අලියා එයි කියලා බයක් නැතිනම්. ජැක් එකෙන් ඔය පැත්ත උස්සලා රෝදෙ යටට ගල් පුරවන්න ඕනෙ. ඊට පස්සෙ රිවස් කරනවා.

      ලකී මම දැක්ක උඹ කමෙන්ට් එකක දාලා තිබ්බා, උඹ දැන් වැලි කතරෙ හිටියට බස්නාහිට පලාතෙ සියනෑ කෝරළේ කියලා, ගමේ එකෙක්නෙ බං.

      Delete
    2. ආ...එහෙමද..සන්තෝසයි සන්තෝසයි..

      අර බිත්තර ඔම්ලට් හදන බ්ලොග් ලියන මාරය ඉන්නෙ අපේ ගමේ තමයි.. :D

      Delete
    3. "බිත්තර ඔම්ලට් හදන බ්ලොග් ලියන මාරය " :D :D :D :D

      Delete
  18. ෂික් මං තාම ගිහින් නෑ නේ....

    ReplyDelete
    Replies
    1. කොහේද??? සපත්තු පාලමකද

      Delete
    2. ඉතින් මේ වීකෙන්ඩ් එකේ යන්නකො. නැතිනම් මාසෙ අන්තිමට. බයික් එකේ නැග්ගා. ගියා. ඔයිට වැඩිය හොඳ තැන් තියෙන්නෙ.

      Delete
  19. හප්පේ දිගදත් අහනව. පොල්ගහවෙල ඉදන් කුරුණෑගලට යනකල්ම මේක කියෙව්ව. හැබැයි නියමයි. මෙහෙම ගමනක් යන්න තිබ්බ නම් කියල හිතුනා. රසවත් තැන් ගොඩයිනෙ. ෆොටෝ ටිකත් සුපිරි!

    ReplyDelete
    Replies
    1. ඔන්න, කියවන්න ගියාම එහෙමනම්, මේක ලියන්න ගියාම කොහොම තියෙන්න ඇත්ද කියලා හිතාගන්නකො ගිමන්!
      ඉතින්, කාලෙකින් දැක්කෙ ගිමන්. වැඩ අධිකද?

      Delete
    2. රාජකාරී වැඩම නොවුනත් විවිධාකාර වැඩ කටයුතු නිසා කාලය සීමා වෙලා Dude අයියා!

      Delete
  20. සුපිරිම පින්තූරටිකක් සුපිරිම කතාවක් සමකය වටේ යාම නවත්තලා ආයි ලංකාව වටේ යන්න හිතෙනවා මේ ලිපිය කියවපුවම.නියමෙටම නියමයි ඩූඩ්.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං, උඹ සමකය වටේම පලයං අපිටත් එක්ක. අපි ලංකාව වටේ ගිහින් බ්ලොග් කරන්නම්. :D
      දැන් කවද්ද වියට්නාම් යන්නෙ?

      Delete
  21. එවැනි අකරතැබ්බයකදී මොකද්ද කරන්න ඕන කියලා තේරුම් බේරුම් කරගත්තා.

    //"මොනවද ලොකු පුතේ, ඩීසල් ගහගෙන, ඔච්චර වියදං කරගෙන, අච්චර දුර ගියා සත්තු බලන්න යාල. මම නං දැක්කෙ කොරවක්කෙක් විතරයි."//

    අපිත් හෝටන්තැන්නෙ ගිහින් එක වතාවකදි දැක්කෙ බත්කූරෙක් විතරයි. ගෝන්නු තියා ගස්ගෝනෙක්වත් දැක්කෙ නැ.


    ReplyDelete
    Replies
    1. ඔව් සුමිත්, කලබල නොවෙන එක තමයි පළවෙනි දේ.

      මේ බලන්න හිතාගෙන යන සත්තු නොදකින එක නිතර අත්විඳින්න වෙන දෙයක් වගෙ බලං යන කොට. දෙහිවල ගියානම් ෂුවර්ම තමයි.:D

      Delete
  22. වැස්ස කාලෙට සත්තු බලන්න අමාරුයි උන්ට වතුර සෑහෙන්න කැලේ ඇතුලෙම හොයාගන්න පුලූවං නිසා එළියට බහින්නෙ නෑ නෙව.. ඒක නෙවේ.. බොස් මින්නේරිය පැත්තෙ අලි බලන්න එනවනං අනිවා කෝල් කරන්න.. පුල් බක්තිය දෙන්නං.. ඕං නොම්බරේ.. --- 567234 1 ඕක සිරාම එක ඈ...

    ReplyDelete
    Replies
    1. හික් හික්, නරකයා ඕං මං චෙක් කරලා බලනවා මේකට කෝල් එකක් දීලා මේක බොරු නොම්බරයක්ද කියලා ඈ. මෙන්න කට්ටියම නරකයගෙ නොම්බරේ සේව් කර ගනිල්ලා.:D

      Delete
    2. හූ හූ මුල කෑල්ල නෑ ෙන්....

      Delete
    3. 072 ටීගෝනෙ බං හුටා එටිසලාට් නේ? :D

      Delete
    4. 567#### එන්නෙ ලංකාබෙල් වලනේ...ඒරියා කෝඩ් එකත් එක්ක ගහල බැලුවනං හරි..:D

      Delete
  23. හප්පේ අර වාත කේස් එක. මට නම් මල ඔහොම එවුන් එක්ක.
    අර මොණරට පිටිපස්සෙන් මොකක්ද තියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම චන්දන ඒ තව මොණරෙක් වැටිලා ඉන්නවා වගේ පේන්නෙ නේද? මට නම් පේන්නෙ එහෙමයි.

      Delete
    2. මොකෙක් හරි සතෙක් වැටිලා ඉන්නවා වගේ තමයි පෙන්නේ නම්.

      Delete
  24. මුලින්ම දාල තියන ටික(ඊට පස්සෙත් දාල තියන) වෙන විදියකට දැම්මනං හරි බං. බෝල්ඩ් කරල හරි වමට දාල හරි!
    අරවගේ ඩයල් නං සෙට් වෙනව ඕන තරම්. උදව් කරන්න ඇවිල්ල ඇනයක් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න රාජ් කියන එකත් කරලා දැම්මා. රතු කරලා, බෝල්ඩ් කරලා, ඉටැලික් කලා.
      ඔව් බං රාජ්. උදව් කරන්න ඇවිල්ලත් ඇණයක් වෙනවා.

      නමුත් මොන හේතුවකට හරි පොරත් බැහැලා ආවානේ? :)

      Delete
    2. බොහොම තැන්කූ කිව්ව විදියට කරල තියනව.(ඇත්තටම මම හිතුවෙ නෑ එහෙම කරයි කියල). මේ විදියට කොටසක් මුලින් දැමීමේ වැදගත්කම තමයි විශේෂයෙන් සින්ඩියක දර්ශනය වන සීමිත ඉඩකඩ තුල වඩාත් කුතුහලය සහිත කොටස එක්වීම. ඒක කියවන්නා ඇදගන්න පොලඹවනව. පෝස්ට් එක තුලදි නං විශේෂයක් කරල තියනකොට ටක්ගාල හිතාගන්න පුළුවන් මේ තියෙන්නෙ ඒවගේ කෑල්ලක් කියල. පත්තර වල තමයි මේක සාර්ථකව කරන්නෙ.

      Delete
    3. ඇයි බං රාජ් උඹ හිතුවෙ නැත්තෙ මම එහෙම කරයි කියලා. කවුරු හරි දෙන උපදේසෙක වැදගත්කමක්, ගතයුත්තක් තියෙනවා කියලා තේරුනොත් ඒක පිළිනොගෙන ඉන්න තරම් පුහු අහංකාරයක්, උද්දච්චකමක් මං ගාවා ඇතියි කියලා උඹට හිතුනද බං?

      උඹ කිව්ව දේ ඇත්ත. ඒකෙන් පෝස්ට් එකට එලියක් වැ‍ටුනා. උඹට ස්තුතියි රාජ්. ඒක constructive comment එකක්.දෙඤ්ඤං බැටේ කමෙන්ට් එකක් නෙවෙයි.

      Delete
    4. නෑ බං මම හිතුවෙ පහුවෙලා කිව්ව නිසා එඩිට් නොකරයි කියල. උඹ අහංකාර එකෙක් නෙවේ කියල මම දන්නව :)
      බ්ලොග් කියන්නෙ අපිට අලුත් දෙයක් නිසා පබ්ලිෂ් කලාට පස්සෙ එඩිට් කරනව අඩුයි මම නම්. ඒ පොත්-පත්තර වලට කාලයක් තිස්සෙ පුරුදු වෙච්ච නිසා වෙන්නැති.

      Delete
  25. ඇත්තටම හෙන්රි අයියේ අපි යන ගමනක ඔය වගේ චාටරයක් සෙට් උනේ නැත්නම් එකේ කිසිගතියක් නැහැ ,පස්සේ හෙමින් සීරුවේ ඔය කාපු චාටර් ගැන පොඩි සෙට් වීමකදී මතක්කරන කොට දැනෙන ආතල් එක කියලා වැඩක් නැහැ ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං රොබින්. ඕවට කියන්නෙ war stories කියලනෙ. වෙනකොට ජොලි නැති වුනාට පස්සෙ අරවගෙ කියනකොට තමයි ආතල් එක. ඕවගෙ චාටර් නැත්නම් නැතිනම් වැඩකුත් නෑ තමයි.

      Delete
  26. ආතල් සිද්ධියක් නොවැ හෙන්රි අයියට වෙලා තියෙන්නෙ... හදිසි අවස්ථා වල ඔබ බොහොම කල්පනාවෙන් වැඩ කරන බව පේනවා... අර පයින් ගහපු අලි බෙටි වල දිවුල් එහෙම තිබ්බෙ නැද්ද ?

    අන්තිමට අම්මා කියපු කථාව නම් පස්ට... අපේ තාත්තත් ඔය වගේ කථාවක් කිව්වා වතාවක්, ඩියුටි ෆ්‍රී එකෙන් ඩොලර් වියදම් කරලා ගෙනත් දුන්න විස්කි බෝතලේ එහෙම තව කිප දෙනෙක් එක්ක සප්පායම් වෙලා මට කිව්වෙ ඇයි බන් මෙච්චර වියදම් කරලා මේක ගෙනාවෙ... ගල් බෝතලේක තරම් කික් එකක් නෑ කියලා...

    ReplyDelete
    Replies
    1. දිවුල් තිබ්බෙ නෑ බං. මට ෂුවර් ඒක නම්.

      තාත්තා කිව්ව කතාවත් ඇත්ත තමයි බං. ගල් වගෙ වදින් නැතුව ඇති විස්කි. :)

      Delete
  27. ඩූඩ්ටත් වෙන වැඩ.. ඔහොම ගොඩ දාගත්තු එකම මදෑ..

    නිකම්ම ගිනුමටසල්ලි දැම්මලු නේද රක්ෂණ සමාගමෙන්.. අනේ කොච්චර හොඳ සමාගමක්ද ඒක..මම හිතන්නෙ ලංකාවෙ විතරමයි ඔය වගේ රක්ෂණ සමාගම් තියෙන්නෙ..

    ගන්ඩ තියන පාඩම්නම් ලයිස්තුවක්ම තියනවා මේකෙත්. මේකෙ විතරක් නෙමේ ඩූඩ්ගෙ හැම පෝස්ට් එකකම හොඳ ආදර්ශ තියනවා..

    සත්තු නොදැක්කත් අවට සිරිය කොහොමද.. ෆොටෝ ටික මාරයි !

    අර කොරවක්කනම් යෝධ කොරවක්කෙක්ද කොහෙද ! යාල විතරමයි ඔවුන් ඇත්තෙ මගෙ හිතේ.. :-)

    ReplyDelete
    Replies
    1. සෙන්නා, ඔය රක්ෂන සමාගමටම කට්ටිය අම්බානක බැනලා තියෙනවා මම දැක්කා බ්ලොග් වලම මේ මාසෙ. නමුත් පුදුමෙකට වගෙ මට නම් උන් ගෙව්වා. හැබැයි මම අර විදියට ක්‍රියා කලා. අනික රක්ෂන සමාගම් පිළිගන්න බාස්ලා ඉන්නවා. මම අන්න ඒ එක්කෙනෙක්ගෙන් එස්ටිමේට් එකක් අරන් ගියා.

      ඇත්තට වියළි කලාපෙ වගෙ නෙවෙයි සමහර ෆෝටෝස් නේ, සෙන්නා?

      Delete
  28. " මම නං දැක්කෙ කොරවක්කෙක් විතරයි" ඩුඩ් අයියාගේ අම්ම තමයි නියම කතාව කියලා තියෙන්නේ, තැන නොතැන අමතක වෙලා මට බකස් ගාල හිනාවක් ගියා. අර පින්තුර ටිකත් පට්ට ඈ....!

    ReplyDelete
    Replies
    1. අම්මා ඔයවගෙ ජොලි කතා හරියට කිව්වා, අප්පා. :)

      Delete
  29. Replies
    1. වෙන්න පුලුවන්.
      සංක්‍රමණික කුරුල්ලා මොකාද, දේශීය එකා මොකාද කියන්න තරම් මට දැණුමක් නෑ ස්පයිඩර්.

      Delete
    2. ඔන්න ඔතන ඉන්නවා කොරවක්කෙක්.:)

      Delete
  30. අලි මන්තරයක් පාඩම් කරල තියාගන්ඩ්.එතකොට ඒ බයත් නැති වෙනව. ඔය වගේ වාහන පෙරහරකින් ගිහින් සත්තු බලන්නෙ කොහොමද උන් බයට දුවනව ඇති

    ReplyDelete
    Replies
    1. අලි මන්තර වැඩ නොකරන වෙලාවක් මම ඇස් දෙකෙන්ම දැක්කා කම්මල. අර සමකය වටේ එකේ අප්‍රිකාවෙ යනකොටත් ඔයවගෙ තමයි නේ?

      Delete


  31. එල උදව් කාරයෙක් හම්බ වෙලා තියෙන්නේ . පරාල ඇණයක්. වල අලියා තව හොඳයි.
    අන්න අරහේ මාරස් ලොකාන්තේ ගිහින් ඇස කඩන් යන පින්තුර ටිකක් දාලා . මෙහෙ යාල . අපිත් ආවම කොහේ හරි යන්න ඕන .

    මට නිකමට මෙන්න මෙහම හිතුනා ..
    '''
    අලි යන මගක වලවල් වල වැටීගෙන
    ආවලු ගොහින් කොරවක්කෙක් බලාගෙන ...''මන් නෙමේ ඔන්න අම්ම තමයි කිව්වේ .

    දැන් මෙන්න සීරියස් කොමෙන්ට් එක. ලස්සන පින්තුර ටික . මාගලකට පොඩියක් වැඩියෙන් මේවා ලියලා පින්තුරත් එක්ක අපට පෙන්නනවට ගොඩක් ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. නියමයි කවිය බින්දි. අම්මා හිටියා නම් හරි සතු‍ටුවෙයි ඒක කියවලා.

      ඔයාටත් ස්තුතියි බින්දි මේ මාගල් කියවනවට.

      Delete
  32. අම්මගෙ පින්තූරෙ දැකලා දුක හිතුනා මචං ...

    අර ට්‍රැක්ටරේ ඇවිත් තියෙන්නෙ ෂුවර් එකටම අපේ එකෙක්.

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමයි බං ගාමිණී.

      ආ වෙන්න ඇති බං. ඒත් මම හිතුවෙ පොර නිකං කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක බුවෙක්ද කියලා.

      Delete
  33. අලි බෙටි කතා දැම්මට අපි නං බයවෙයි.. මොකෝ මේක ලියන්න ඩූඩ් කොහොමහරි යහතින් එන්න ඕනනෙ...

    අරූගෙ අම්මට $##%$#% කවුද ඒකා? නොම්මරේ දුන්න එකත් නියම වැඩේ.. හැබැයි ඉතින් මේක කියවන එවුන්ගෙන් දැන්නම් ආත්මෙකට නොම්මරයක් ඉල්ලාගන්න වෙන්නෙ නෑ.. මමත් නොම්මරේ ඉල්ලන හා මම දෙන්න අකමැති අයට කරන්නෙත් ඔයිට සමානම වැඩක්.. මගේ නොම්මරේට එකක් එකතු කරලා දෙනවා.. ආයෙ ආත්මෙකට හොයන්නයැ.. හැබැයි ඔය මිස් කෝල් එකක් දෙන්න කීවාම තමයි වහ කන්න වෙන්නෙ..

    ඔය හෙන් රි අයියා මොලේ කල්පනා කරලා වැඩ කරන එක නම් හරිම අපූරුයි.. අර කොරවක්කාගෙ කතාව කිව්වාම මතක් වුනේ.. අපිත් යාලදි ඒ හැටි සත්තු දැක්කෙ නෑ.. හුඟක් වෙලා සත්තු නොදැක නොදැක ඇවිල්ලා යානතම් තඩි ගැරඬියෙක් පනිනවා දැක්කා පාර හරහා.. අපේ සීයා කෙනෙක් මෙහෙම කියනවා.. "ගැරඬියෙක්..? කෝ මොන ගැරඬියෙක්ද? ඒ පිඹුරෙක්නෙ.. පුළුවන් නම් ගමේ ගිහින් කියපල්ලා අපි යාලදි ගැරඬියෙක් දැක්කා කියලා.. එහෙ වුන් අහයි උඹලා ගැරඬි බලන්නද ඔහේ ගියෙ කියලා"

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් හරි. නැත්නම් එකම අංකයක් වෙනස් කරලා දුන්නත් හරි.

      හරී කියන්න හෙම එපා කාටවත් යාලදි ගැරඬි දැක්කා කියලා.

      ඇත්තටම යාල ගැරඬි නැද්ද? :O

      Delete
  34. මම යාල ගිහින් නැහැ අන්කල්..නියම ෆොටෝස් ටික..
    මේ ටිකේ නිතර බ්ලොග් වලට එන්න වෙන්නෙත් නැහැ විභාගේ..
    උදව්කරන්න ආපු කෙනා තමා..හි හි..:)
    ජයෙන් ජයම වේවා අන්කල්!

    ReplyDelete
    Replies
    1. විභාගෙ ඉවරවෙලා කට්ටිය සෙට් වෙලා යන්නකො.
      විභාගය හොඳට කරගන්න හිරු, බ්ලොග් අමතක කරලා හරි.
      ජයවේවා හිරුටත්!

      Delete
  35. //"072 කෝ හු.. බින්දුව මේ මගුලෙ?"//
    මැරෙන්න හිනාබං...උඹනන් නියම රචකයෙක් බං එලටම හිනා...!!! :))))
    කතරගම කොච්චර ගියත් යාල පැත්තක ගිහින් නෑ බං..!
    ලැජ්ජත් එක්ක..!!!

    ReplyDelete
    Replies
    1. ඉතිං පලයංකො වී පොකුරිගෙ උපන්දිනෙත් අල්ලලා යාල හරි කොහෙ හරි. අන්න මම උඹ වෙනුවෙන් දිවි පරදුවටතියලා කමෙන්ට් එකකුත් දැම්මා.

      පස් මහ බැලුම් බල බල නම් යන්න බෑ බං.

      Delete
    2. දිවි පරදුවට තබා මා වෙනුවෙන් කමෙන්ට් කිරීම පිලිබඳ තුති..!:)))))
      ඔව් බං හිතුන ගියා...!(සල්ලි..???)

      Delete
  36. අලියෙක්ට සැට් වුනා නම් දුක නැහැ බොල. අරූ තමා අලියාට වඩා හපං එකා.. :)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං. අරූ මද කිපිච්ච වල් අලියෙක් වගෙ. :D

      Delete
  37. ශිකේ....යාලේ ගිහින් නෑනේ මම....කියවන්න ආස හිතෙන විදියට ලියල තියෙනවා..... :)
    මම අද තමා මේ පැත්තට ආවේ.....

    ReplyDelete
    Replies
    1. ඉතින් යන්නකො අප්පා. සමනළියක් නම් යන්නම එපායැ.:)

      Welcome to my blog.

      Delete
  38. මදැයි වෙච්ච දේ
    කොහොම කොහොමින් හරි ඔයින් ගියා ඇති කරදරයක් නොවී.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් නිශාන්. නිකං හිතපං අර අතනදි එන්ජින් සම්ප් එක වැදිලා හිල්වෙලා ඔයිල් ටික බිමට වැක්කෙරුනා නම් හෙම කොහොමද චාටර් එක?

      Delete
  39. අද නම් හොඳටම පරක්කු වෙලා. පහුගිය දවස්වල නෙට් භාවිතය සීමා සහිත වෙල තිබුණෙ, ඒ නිසා හදිසියෙන් ඇවිත් පොඩි පෝස්ට් එකක් කියවලදාලා දිව්ව.

    මාර කට්ටක්නේ කාලා තියෙන්නෙ, ඒ මදිවට ඝොර ඝොර සද්දෙන් ගොරවන රේඩියෝ එකකුත් ළඟින් තියන්. මට නම් ඔහොම උනාම යක්‍ෂයා ආරූඪවෙනවා.

    අර වතුර පිරිල තියෙන කැලේ ලස්සන ෆොටෝස් දැක්කම මට හිගින් පැලක් අටවන් නවතින්න හිතෙනව. :)

    ReplyDelete
    Replies
    1. අපේ DDTයාගෙ අඩුව අපිට දැනුනා. උඹ යක්කු ගස් නගින වෙලාවටත් කමෙන්ට් දාන එකානෙ.
      අර වගෙ ඩයල් එක්ක ජීවිතේම ගත කරන්න වෙන උන්ට කොහොම ඇද්ද?

      ඇත්තෙන්ම ඒ පින්තූර වියළි කලාපෙ කැලෑවක කියලා හිතෙන්නෙ නෑ නේද DDT?

      Delete
  40. වල්ම වල් අලියෙක්ට නේ මාට්ටු වෙලා තියෙන්නේ.. කොහොමත් ටයර් එක හයිකරනකන් දුන්න ආතල් එකට ඒ මනුස්සයට ස්තූතී කරල නම් මදි... මම නම් ඔය වගේ වෙලාවට මාරම ආතල් එකක් ගන්නේ.. රත්තරන් මිනිස්සු මොනවා කරත්.. අලියෙකුත් ආවනම් පට්ට..

    ReplyDelete
    Replies
    1. ඔව් බං. අර bull in the china shop කියන්නෙ. අන්න ඒ මොඩල් එක.
      අපිත් අර අලි භීතිකාව නොතිබ්බා නම් ආතල් එකක් ගන්නවා.

      Delete
  41. ඔක්කෝටම වඩා ජැක් එක හරියට ගහන හැටි ඉගන ගත්තා.. ඇලෝ වීල් එක හිරුනාට නම් අයියට ටිකක් දුත හිතෙන් ඇති නේද..?

    ReplyDelete
    Replies
    1. ජැක් එක ගහන්න ඉස්සෙල්ලා අනිත් රෝද වලට අඩ තියලා ඉන්න ඕනෙ මල්සරා. ඊට පස්සෙ ඇක්සල් එක යටට, නැතිනම් දුනු මිටියක් යටට වෙගේ ශක්තිමත් තැනකට ගහන්න ඕනෙ. එරෙන පොලොව්ක් නම් යටට ලෑල්ලක් වගේ එකකුත් ඕනෙ වෙයි. සමහර කාර් වල නම් ජැක් එකේ තියෙන කූරක් රිංගවන්න සිදුරු තියෙනවා.

      හනේ ඕව් බං. ඔය ඇලෝයි සෙට් එක්ක හොයාගන්නත් සෑහෙන කාලය සහ ඩීසල් පිච්චුවා. ඒක තවකතාවක්.

      Delete
  42. දැන් නම් මෙ පොස්ට් එක කියවනකොට නම් හිතට දැනෙන්නේ කූල් ගතියක්, ඒ වුනාට එදා නම් අම්මෝ හොදටම බය හිටියෙ යාලෙන් එලියට එනකල්! ඊට පස්සේ කිසිම කරදරයක් නැතුව ඔයා අපිව පරිස්සමෙන් ගෙදර එක්ක ගෙන ආවාම තමයි, ඔන්න ඒ බය සම්පුර්ණයෙන්ම නැති වුනේ. :D

    ReplyDelete
    Replies
    1. මතකද මම පාන්දර පානදුරයි වාද්දුවයි අතරෙ, මදුරුවො පිරිච්ච තැනක, වාහනේ කඩේක මිදුලකට දාලා නිදාගත්තා ටිකක්, නිදිමතයි, වාහනේ පැත්තකට අදින නිසා උරෙස්සත් රිදෙනවා කියලා?
      අපරාදෙ අර රෝදෙ පස්සට දාන්න මතක් වුනේ නෑනෙ.

      Delete
  43. අපට නං දෙයියනේ කියලා ආණ්ඩුවෙන් දන්න කියන කෙනෙක් ගයිඩ් කෙනෙක් එක්ක වාහනයක් එවලා තිබුණා. (පොඩි පොඩි සම්බන්ධකම් තියෙන එකේ හොඳ සමහර වෙලාවට දැනෙනවා) ඒ නිසා හොඳ 4X4 ඩිෆෙන්ඩරයක ෂපාන් එකේ ගිහින් අලියි, වඳුරොයි, මුවොයි, මොණරුයි, කිඹුලොයි, වලහෙකුයි බලාගන්න පුළුවන් වුනා... පාට පාට කොරවක්කො නං ගොඩක් හිටියා....
    ඕන ඕන තැං වල නවත්තන්නත් ඉඩ හම්බ වුනා... කොටියෙක් ගලක් උඩ ඉන්නවා කියලා ආරංචියක් ඇවිත් යනකොට වාහන දෙසීයක් විතර ගල වටකරලා... අන්තිමට ගල් බලලා ආවා...
    නමුත් වැඩේ පාඩු නෑ.. දවල් 10 ට විතර ගිය එක රෑ හත විතර වුනා කතරගමට එනකොට... සෑහෙන වෙලාවක් කැලේ හිටියා.. බිමට බහින්න දුන්නෙ නැති එක නං ලොකු දුකක්.... මොනවා කළත් ඒක නං කරන්න එපා කියලා ගයිඩ් මුලදිම කිවුවා... ඒක ඉතිං කාටවත් කොම්ප්‍රොමයිස් කරන්න බැරි නීතියක්... ඒ නිසා සද්ද වහලා ලැබුණ සත්කාර අරගෙන ආවා..
    මතක ඇතුව මම නම් කට්ටියටම මුව වැසුම් අරන් ගියා... ඒ නිසා වැඩිය දූවිලි කෑවෙ නෑ... කැමරා ආම්පන්න නං ටිකක් වෙන්න දූවිලි වැදිල තිබුණා.. ඇවිත් හුලං සර්විස් එකක් දෙන්නත් වුනා....
    මට නං ඉතිං රෝද ගලවන එක ගැන වැඩිය අත්දැකීම් නැහැ... හැබැයි ඇතිවෙන්න ටයර් අතගාල නං අත්දැකීම් තියෙනවා ඕං.....

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ අත්දැකීම්. ඇත්තෙන්ම බහින්න නොදෙන්නෙ අපේම ආරක්ෂාවට. ඔය නීතිය එකම එක වතාවක් මට බල පෑවෙ නෑ මගෙ යාලුවෙක් එක්ක මම කැලේ ගිහින් නිවාඩුවක් ගතකල නිසා ඔය කැලේම අනිත් පැත්තෙ කුමණ. ඇල් ගිහින් නෑනෙ? ඒ බ්ලොග් එකට ගිහින් බලන්න වටිනා බ්ලොග් එකක් මෙන්න පාර.
      http://gaminievijith.blogspot.com/

      ඇල් ඔය ක්ෂේත්‍රයේ එක්ස්පර්ට් කෙනෙක් වගේම ගාමිණී ඒ ක්ෂේත්‍රයේ එක්ස්පර්ට් කෙනෙක්.
      ටයර් අතගාලා තියෙන එක ගැන මම වැඩි විස්තර අහන්න යන්නෙ නෑ ඇල්, හිතාගත්තා. හික්ස්.

      Delete
    2. ශා... මරු බ්ලොග් එකක්....
      බෝම ටැංකූ... රෝලට දාගන්න ඕන....
      ටයර් කිවුවාම ඉතිං එක එක පාට ටයර් තියෙනව නේ... අන්තර්ජාතික නිෂ්පාදන නේ ඕවා...
      දේශාඨනයේ මතක සටහන් තමයි ඉතිං.....

      Delete
  44. ඔන්න ඉතින් අපේ වැයිකියට ආවම ෆුල් බැකප් එකක් දුන්නා වගේම ෂර්ලෑ පැත්තේ ආවමත් ෂප් එක දෙන්නෝන හරිය....!!

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා සරත් ඒ මට දුන්නා වගේම බැකප් එකක් දෙන්නත් වෙලාවකට . :)

      Delete
  45. මමත් මේවගේ ට්‍රිප් යන්න හෙනම කැමතියි එත් කොහෙද වෙලාවක්. ඔන්න ලබන සතියේ ලංකාවට යනවා. ඒත් සතියකට. ඒ ගියාම ඩුඩ් ගේ රික්වෙස්ට් එකත් ඉටු කරන්නම්.

    ReplyDelete
    Replies
    1. Happy safe journey, Alex.
      My request? Ah Parakrama?
      Thanks!

      Delete
    2. මේ වතාවේ හවුවුනොත් එවන්නම් මාලේටම.

      Delete
  46. අනේ පව් ඩූඩ් සර් යාල ගිහින් කොරවක්කෙක් බලලා.. :D කමක් නෑ ඒ වගේද ඇඩ්වෙන්චොර් එක? හැමදාම නෑ හැමතැනම නෑ. අලිමංකගේ අලි හිටියේ නැද්ද ඉතින්? .. අර ෆෝන් නොම්මර දෙන්න ගිහින් වෙච්චි සීන් එකක් මටත් වුනා නේ.. ඒකා රින්ග් කරන්න හැදුවානේ. එතකොට තමා හිතුනේ ඩුවල් සිම් ෆෝන් එකක් වත් ගත්තා නම් කියලා... සමහරු ඉන්නවා නොම්මර දීලත් බෑ නොදීත් බෑ..

    ReplyDelete
  47. කොහොමද අර වෙලාවේ කකුල් වෙවුලන්නේ නැතුව හිටියේ. අනිත් එක අරු ගෙදර මිනිස්සු ඉස්සරහ කුණුහරුප කියද්දී. මොනවා වුනාත් හොඳ වින්දනයක් තියෙන්න ඇති එතන.

    ReplyDelete
  48. ලස්සන පින්තූර ටිකක්..මේ වගේ වෙලාවක වාහනේ කැඩුනම ඇතිවන සන්තෑසිය කියලා වැඩක් නෑ..ස්තුතියි ඩූඩි අත්දැකීම බෙදාගත්තට.

    ReplyDelete
  49. කෝච්චි පාරක් උඩ වාහනේ හිටියා වගේ තමා :D

    ReplyDelete
  50. කොමෙන්ටුව දාන්න පරක්කු වුනා , මං නම් ගොඩාක් අකමැතියි යාල ඇතුලට බස් , වැන් වගේ ඒවාට යන්න දෙනවට ( මේක ඇතුලට මහා විසාල leyland බස් වලටත් යන්න දෙනවනේ ) , ඊට වඩා දවසකට යන වාහන ගාන ලිමිට් කරනවානම් තමා හොද , ගොඩක් වාහන වලින් සත්තුන්ට කරදරයි ( සෆාරි ජීප් වල සද්දේ නම් සත්තුන්ට හුරුයි ගොඩාක් දුරට but අනික්වා ටිකක් අවුල් ) ,ගොඩක් අය කතරගම ගියාම ඔහේ යනවා යාලේ යනවා කියල මෙලෝ වැඩක් නෑ , ඇත්තටම පරිසරය ගවේෂණය කරන්න ගිහින් ඉන්න අනෙක් අයට ත් මහා ඇනයක් ඒ වගේ අය ,මොකද මට ඔය අත්දැකීම් වලට මුහුණ පාන්න වුනා , සමහරවිට duda මාමත් මගේ අදහසට එකග ඇති ,,, duda මාම ගේ කලබල නොවීමේ ගතිගුණය මගේ life එකටත් එකතු කර ගත්තනම් හොදයි වගේ

    ReplyDelete
  51. ඩූඩ්ගෙ අම්මා වගේ අපේ ආච්චිත් ඔහොම සෑහෙන්න හිට් වෙන වාක්‍ය කියලා තියෙනවා. ඒවට හිනා උනොත් තව හොඳැවැයින් අහගන්නත් පුලුවන්.

    ReplyDelete
  52. අම්මේ හඃ හඃ....ටිකක් ති වගේ මේ ඩෙනිමේ ඇවිදලා..පට්ට ආහ්......කොම්මෙන්ට් කොරන්න තැනක් හොයලා හොයලා මෙතන කොරා..කමක් නැනේ නේද....?

    ReplyDelete
  53. මරු අත්දැකීම, ස්පෙයාර් වීල් දෙකේ සීන් එක ගොඩක් වටිනවා කැලේ යද්දී
    ඒ වගේම අපිටම කියල ගයිඩ් කෙනෙක් නැතුව පාර්ක් එකක් ඇතුලට යන එක තේරුමක් නැහැ සහ භයානකයි.
    අර උදව්වට ආපු එකානම් නියම ජොකියෙක්.
    හැබැයි මචං සමහර වෙලාවට නියම ඩයල් ඇවිත් බලෙන්ම උදව් කරන වෙලාවලුත් තියෙනවා

    සත්තු දැක්කේ නැතත් කැලේකට යන එකම ආතල් එකක්නේ බං.
    උඹල ගිහින් තියෙන්නේ සෙනග වැඩි දවස්වල, ඒ වගේම බොහෝ දුරට පාන්දර නෙමෙයි වෙන්න ඕනේ
    එහෙම ගියාම සත්තු දකින්න ටිකක් අමාරුයි.
    උඹ අර ඇක්සිඩන්ට් එක ක්ලේම් කරපු විදිහ මටත් කියපන්, අනාගතයේදී වැදගත් වෙයි.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>