Sunday, April 28, 2013

68. මාරක කේක් වට්ටෝරුව 2 - Cake of Doom 2


මේ කතාව කියවනකොට, ඔය තියෙන උපදෙස් අනුව එක පාරක විතරක් යන්න ඕනෙ නෑ. ඔය තියෙන විදියට කියවාගෙන යන්න. එතකොට මොකුත් මිස් වෙන්නෙත් නෑ. අනික එහෙම කියෙව්වාම තමයි ගතිය. රතු පාට කොටස කියවලා ඉවර වෙනකොට අමතක වුනොත් විතරක් උඩ තියෙන හයිලයිට් කරපු තැනට ගිහින් බලන්න. මම හිතන්නේ නෑ එච්චරටම අමතක වෙන අය ඉඳී කියලා. :D

ඔයා අන්තිමට කලේ, ඔලුව අත් දෙකෙන්ම බදාගෙන, හොල්මං වෙලා , ඉබේ පිපෙන පිටි කෝප්ප දෙකක්, බේකින් සෝඩා තේ හැඳි බාගයක්, ලුණු තේ හැඳි කාලක්, කොකෝ පව්ඩර් කෝප්ප බාගයක්, සීනි කෝප්පයක්, බටර් ස්ටික්ස් එකයි තුන්කාලක්, කිරි කෝප්ප එකක්, වැනිලා තේ හැන්දක් සහ බිත්තර දෙකක්, හරියට පුපුරණ ගිණිකන්දක් වගේ, කුස්සිය පුරාම සී සී කඩ විසිවෙන හැටි බලා ඉන්න එක.

මතක නෑ? එහෙනම් මෙතන ඔබලා පළවෙනි කොටස කියවලාම එන්නකෝ.



ඉතින්...

*ඔයා පැනලා දුවන්න තීරණය කරනවා නම් යන්න 10 ට.
*ඔයා කොහොම හරි කුස්සිය පිරිසිදු කරලා අස්පස් කරලම ගොඩ යන්න තීරණය කරනවා නම්, යන්න 11ට.

 
 10.

ඔයා ගෙයින් එලියට පැනලා, පිස්සා වගේ පාර දිගේ දුවනවා,  මෙලෝ සිහියක් නැතුව. ආයේ හෝදන්න දෙයක් නෑ, අම්ම දැක්ක ගමන් ඔයා කුස්සියට කරපු අපරාදේ, අම්මා ඔයාව මරණ බව  ඔයා දන්නවා. ඔයා කොහෙද මේ දුවන්නෙ කියල හිතන්නවත්, එහෙම හිතන්න කරදර වෙන්න ඕනෙ කමක්වත් ඔයාට නෑ. ඔයා දුවලා, දුවලා, දුවලා, පැය ගානකට පස්සෙ, මහන්සියටම නවතිනවා. දැන් ඔයාගේ  දිව ඇදිලා, කට ඇරිලා, ඔල්මොරොන්දං වෙලා  ඉන්නේ. ඒ මදිවට බල්ලට වගේ හති. ඒත් මදිවට අතරමං වෙලා. නන්නත්තාරයි!

Friday, April 26, 2013

67. මාරක කේක් වට්ටෝරුව 1 - Cake of Doom 1

මාරක කේක් වට්ටෝරුව. Cake of Doom

A choose your own baking adventure





කේක්  එක බේක් කර ගැනීම: 
ඔබට අවශ්‍ය සාර්ථකව අවසන්වන වට්ටෝරුවක්ද? නැතහොත් විනාශයෙන් අවසන් වන වට්ටෝරුවද? මේ කතාවෙදි එය  තීරණය කරන්නේ වෙනින් කවුරුවත් නෙවෙයි . 
ඔබමයි.

ඔබේ නම ඇන්ඩි. හෙට මව් වරුන්ගේ දිනය. 
හෙට උදෙන්ම අවදි වී, ඇයට කේක් එකක් ඔබම සාදා, ඇයව විශ්මයට පත් කිරීමට ඔබ අදහස් කරනවා. 
එකම ගැටළුව ඔබ මින් පෙර කිසිදා කේක් එකක් සාදා නොමැති වීමයි. 
නමුත් එවැනි සුළු කරුණකින් සැලෙන්නෙක් නෙවෙයි ඔබ.

එසේ නම්, සුබ පැතුම්!
Good Luck! Happy Baking 

අනේ මොනවා කලත් 'පරිස්සමෙන්' මයේ දෙයියෝ!


෴ Cake of Doom ෴ + ෴ Cake of Doom ෴+෴ Cake of Doom ෴



Thursday, April 25, 2013

66. Disclaimer අහවල් එක.




මතකද පොඩි කාලේ? එක යුගයක් තිබුනා අපි කතා කරන්නම ආසා කක්කා කතා, චූ කතා. 

ඈක්කා! 

නමුත් ඒ ළමා මනස සංවර්ධනයේ එක අවස්ථාවක්. එහෙම නෙවෙයි කියනවා නම්, එක්කෝ ලැජ්ජාවට, නැතිනම් කුහක කමට, නැතිනම් ඇත්තටම අතීතය අමතක වෙලා.

Tuesday, April 23, 2013

65.තාත්තගෙ ඉස්කෝලෙ කාලේ



පාර මැනපු හැටි

තාත්තගෙ ගමට යන පාරෙ වෙල අයිනෙ තියෙන දැවැන්ත මාර ගස් පේලිය පහු කරගෙන යන හැම විටම මට මතක් වෙන්නෙ, එයින් ලොකුම මාර ගහ පෙන්නලා තාත්තා අපිට කියපු කතාවක්. 

ඒ කාලෙ ඉස්කෝලෙ දැනට වඩා ප්‍රායෝගික අධ්‍යාපනයට තැනක් තිබිලා තියෙනවා. දවසක් ගුරුතුමා පන්තිය කණ්ඩායම් දෙකකට බෙදලා කිව්වලු, පාර කොච්චර දිගද කියලා මැනගෙන එන්න කියලා. හැබැයි කණ්ඩායම් දෙක මැනීම පටන් ගන්න ඕනෙ, පාරෙ කොන් දෙකේ ඉඳලා. (මම දන්න විදියට කිලෝමීටර් දහයකට වැඩියි.) 

කට්ටිය ටේප්, අඩිකෝදු අරගෙන වැඩේට බැස්සලු. ඉස්සෙල්ලම, කණ්ඩායම් දෙක කඩේට ගිහින් කඩචෝරු කාලා තේ බීල, ඊට පස්සෙ ඇලට බැහැල නාලා, ජල ක්‍රීඩා හෙම කරල, ගඩා ගෙඩි, පළවැල කාලා, නැග්ගලු, අර මුලින්ම කිව්ව මාර ගහට.  නැගල ගණන් හදනවලු.

“දැං ඉස්කෝලෙ ඉඳල මෙතෙන්ට හැතැම්මක් ඇති, එතකොට මෙතන ඉඳලා අහවල් තැනට අච්චර ඇති…”

“එතකොට එතන ඉඳලා ..”

“පොඩ්ඩක් හිටපංකො. මම ඉන්නෙ පාරේ එහා කොනේනෙ. අපේ තාත්තා ඩ්‍රයිවර් කෙනෙක්නෙ බං. තාත්තා කියන්නෙ මේ පාර හැතැප්ම මෙච්චරයි කියලා.”

“ඒයි බලපං ඔය පොත පිටිපස්සෙ හැතැප්මට අඩි කීයද කියලා..”

“5280 යි? හරි වැඩි කරපං හැතැප්ම ගානෙං, ආ ඔය තියෙන්නෙ. දැන් ඕකට තව අඩි එකසිය පහහක් විතර අතිං දාමු. හා ඔය තියෙන්නෙ. හරි.”

කණ්ඩායම් දෙකම, අවසාන අගය අඩි හය හතකට වඩා වෙනසක් නොවෙන්න දත්ත පොතට ඇතුල් කරගෙන. ඊට පස්සෙ ගහට වෙලා කයිය ගගහ ඉඳලා, ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කිට්ටු කරලා කණ්ඩායම් දෙකම වෙන වෙනම ඉස්කෝලෙට ගිහින් වාර්තා කලාලු.

ගුරුතුමා අවසාන වාර්තා දෙක අතට අරගෙනෙ සංසන්දනය කරල බලල, පන්තියට නිවේදනය කලේ හරියට චන්ද ප්‍රතිඵලයක් දෙන තරං බැරෑරුම් විදිහටලු.

ඊට පස්සෙ ප්‍රායෝගික අධ්‍යාපනයේ වටිනාකම ගැන දේශනයකුත් කරලා.

තාත්තා පස්සෙ ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවෙ, සංඛ්‍යා ලේඛණ නිලධාරියෙක් හැටියට වැඩ කලා විශ්‍රාම යනකල්. හැබැයි මම දැකලා තියෙන අවංකම රජයේ නිලධාරියෙක්.



ඉංග්‍රීසි ගුරුතුමාගේ ජ්‍යාමිතිය පාඩම

තව දවසක ගණිත ගුරුවරයා නැති නිසා ඉංග්‍රීසි ගුරුවරයා රිලීෆ් ඇවිත්. ළමයි නැගිටලා ආචාර කලාට පස්සෙ ඇහුවලු,

“දැන් මොනවද තියෙන්නෙ?” ("What do you have, now?") කියලා.

ළමයි කිව්වලු,  "ජ්‍යාමිතිය, සර්" ("Geometry, sir") කියලා.
 
"මොකක්ද?" ("What?")
 
"ජියොමට්‍රි, සර්" ("Geometry, sir")
 
"මොකක්ද?" ("What?")



ඔය දෙබස ඔය විදියට, කැඩිච්ච රෙකෝඩ් එකක් වගෙ ටිකක් දිගට ඇදීගෙන ගියාම, අන්තිමට ගුරුතුමාම කිව්වලු geometry උච්ඡාරණය කරනවා වැරදියි කියලා.

එතකොට එක බුවෙක් අහලා, එහෙනම් මොකක්ද හරි, කියලා මොකද දැං මේක මහ වාතයක් වේගන එන නිසා.

ගුරුතුමා කිව්වලු “Geometry නෙවෙයි Geometry” කියලා .
 
දැං එකෙකුටවත් තේරෙන්නෙ නැහැලු මේ අන්ඩර දෙමලෙ මොකක්ද කියලා.

පස්සෙ පැහැදිළි කලාලු ඕක හරියට උච්ඡාරණය කරන කොට ස්ට්‍රෙස් (Stress) කරන්න – ඒ කියන්නෙ බර කරලා කියන්න ඕනේ /ඉ/ නෙවෙයි /ඔ/ ස්වරය කියලා. ඉතින් එවෙලෙ ඉඳලා පීරියඩ් එක ඉවර වෙනකල්ම මෙහෙමලු.

ගුරුතුමා: geOMetry

ලමයි: GEometry

අන්තිමේදී ගුරුතුමා: geOMetry

ලමයි: geOMetry

ගුරුතුමා: geometry හරියට හරි. අද ඉගෙන ගත්තෙ geometry නෙවෙයි නමුත් geometry කියන වචනෙ හරියට කියන හැටි. ඉගෙන ගන්නවල වචනයක් හරියට කියන හැටි.

එහෙම කියපු ගුරුතුමා බෙල් එක ගැහුවම පිටවෙලා ගියාලු.

මේක ගැන, අද ඉන්න අධ්‍යාපන  විශාරදයො මොනව කියයිද මම දන්නෙ නැහැ. නමුත් පාඩම නම් තාත්තගෙ ජීවිත කාලයෙන් පස්සෙත් මතක තියෙන බව පේනව නේද? ඔනෑ නම් dictionary එකක් ඇරල බලාගන්නකො ඕකෙ ඇත්ත නැත්ත.


ගුරු ගෞරවය

ඊලඟ කතාව තමයි මගෙ ප්‍රියතම කතාව. ඒ කාලේ ගුරු ගෞරවය කියන එක උපරිමයටම පෙන්වපු කාලයක්නෙ. 

එක වැහි දවසක, එක බුවෙක් මොකක්ද මදාවි වැඩක් කරලා ගුරුතුමා වේවැල් කසාය දෙන්නලු ලෑස්තිය, තඩි වේවැලකින්. 

පාර දෙක වදින කොට මේකා “අම්මෝ” කියාගෙන පන්තියෙනුත් එලියට පැනල දුවලා. ගුරුතුමා කෑ ගැහුවත්, “ඔහොම නවතිනවා!” කියලා. මොන නැවතිල්ලක්ද. නැවතුනොත් ඩබල් ද පෝරියල් කියලා දන්න බුවා, දැන් ඉගිල්ලෙනවලු පිට්ටනිය හරහා. ගුරු තුමාත් වේවැල අමෝරගෙන මූ පස්සෙ පන්නන්න ගත්තලු වැස්සෙම.

ඔන්න බලන්න ගුරු ගෞරවය, ගුරුතුමා වැස්සෙ තෙමෙන නිසා පන්තියෙ මොනිටර් බුවා, ගුරුතුමාගෙ කුඩෙත් දිගෑරගෙන, ගුරුතුමාගෙ ඔලුවට උඩින් අල්ලන්න පස්සෙන් දුවනවලු.



තාත්තා ඇතුලු අනිත් කොල්ලො සෙට් එක විතරක් නෙවෙයි, මුලු ඉස්කෝලෙම  ලමයිනුයි, ගුරුවරුයි, පන්තිවල තාප්ප ගාවට වෙලා, හිනා කකා නරඹනවලු, මේ ‍ෆ්‍රී කොමඩිය.

තාත්තා මේ කතාව කියන ගානෙ තාත්තාගෙ ඇස් වලින් කඳුලු වැක්කෙරෙනව, හිනා වෙලාම. කතාවත් කියන්නෙ කැඩි, කැඩි. මොකද හිනා කන නිසා. 

එදා කොයි තරම් ජොලියක් ලබන්න ඇතිද කට්ටියම කියල මට හිතෙනවා.

ඔය චිත්‍රයෙ තියෙන්නෙ ඔය සිද්දිය මගෙ හිතේ ඇඳුනු හැටි. 


 


Originally published @ මට හිතෙන හැටි

Wednesday, April 17, 2013

64. මළා හා සමානයි. / Playing Dead. Part 2




පළමු කොටසට මෙතනින්.

තාත්තා කාමරෙන් එලියට යනවා.

අම්මා ඇඳ ලඟ බිම දණ ගහගෙන, මගේ කම්මුලට හාදුවක් දීලා, එයාගේ අතින්
මගෙ ඇරිලා තියෙන ඇස් පිහා‍ටු වහනවා.  හරියටම අර චිත්‍රපටිවල කරනවා වගේ.  මේක කොච්චර හැඟීම්බර මොහොතක්ද කිව්වොත්, තව පොඩ්ඩෙන් මට අමතක වෙලා ආයේ ඇස් අරිනවා.

"ලෝකයා මොනවා කිව්වත්, ඔයා හොඳ දරුවෙක් වුනා මට," අම්මා කොඳුරනවා.

ටිකකින් අම්මත් එලියට යනවා.

Friday, April 12, 2013

63. මළා හා සමානයි. / Playing Dead.

වෙලාව උදේ 8.15යි. මම තාම ඇඳේ. හරි නම් මට  නැගිටින්න තිබුනේ මීට පැයකට කලින්. නමුත්, මම නෙමෙයි නැගිට්ටේ. දැන් ඔයාලට කුතුහලය නේ  ඒ ඇයි කියලා දැන ගන්න? දන්නවද ඇයි කියලා?
 

වෙන මොකුත් නෙවෙයි.

මම මැරිලා.

Monday, April 8, 2013

62. ව්‍යායාම පිස්සෝ Health Nuts and Exercise Fanatics!


ඔන්න මේ දැනුයි මම ස්ටේඩියම් එකේ ඉඳලා ආවේ. දැන් මේක නයෙක් කියලා උඹලා හිතනවා නම්, මට කරන්ඩ දෙයක් නෑ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. මං ඔය පොඩි කාලෙ ඉඳං එක්සසයිස් කරනවා කිව්වම,  හැම එකාම අහන දේ තමයි, "ඉතිං යකෝ කෝ උඹ ඔච්චර නැහිලා හදා ගත්ත ඇඟ?" කියලා. මම ඉතින් ඔව්වට මොකුත් කියන්න යන්නේ නෑ බං, මෝඩයොත් එක්ක තර්ක කොරලා වැඩක් තියෙනවායැ? එදා අටමත් මාව දැක්ක ගමන් කිව්වේ, "අනේ අයියේ, මම හිතා හිටියේ උඹ හෙන උස මහත, හයේ හතරේ පොරක් කියලා."

දැන් උඹලටත් සැකයක් තියෙනවා නම් මෙන්න මේ පින්තූර දෙක තුන ඇස් දෙකෙන්ම දැකලා උඹලම තීරණය කරපල්ලා.




අපි 2008දි ඔන්න යනවා රෝඩ් ට්‍රිප් එකක්, අනුරාධපුර පාරේ. මග හිතට අල්ලන දෙයක් තිබ්බොත් ඉතින් නතර වෙලා බලනවනේ. එක තැනක තිබ්බ මෙන්න මේ ගල වැටෙන්නෙ යනවා. මම ටක් ගාල පැනලා යන්තම් උස්සලා හරිගස්සලා තිබ්බා. අපරාදෙ තව පොඩ්ඩෙන්.




මේ ඒ  සිද්ධිය බලාගෙන හිටි නරඹන්නො තුන් දෙනෙක්. පේනවා නේද? විමතිය, ආඩම්බර කම සතුට ඔක්කොම තියෙන හැටි ඒ මූණු වල?




ඔය අපේ බ්ලොගර් කෙනෙකුත් (අහන්ඩෙපා කවුද කියලා, කියන්නේ නෑ. හරි නෑනෙ) එක පාරක් දොස්තර ගාවට ගිහින්, කියලා මෙන්න මෙහෙම.

"ඩොක්ටර්, මම නැවිලා,  අත් දෙකේ ඇඟිලි, කකුලේ මාපට ඇඟිලි ගාවා ඉඳලා උඩහට අත ගාගෙන ඉණ ගාවට එනකොට,  මේ තුණටිය රිදෙනවනෙ."

"ඉතින් මිස්ටර් ලියන්නා, ඇයි ඉතින් ඒ වගේ අමාරු එක්සසයිස් කරන්නේ? තමන්ට ගැලපෙන ලේසි එකක් කරන්නකො," දොස්තර කිව්වලු.

"මගුලක් කතාකරනවා. නැතුව කොහොමද  ඩොක්ටර් මම කලිසම අඳින්නේ?"

හරි ඉතින් කවුද බ්ලොගර් කියලා වැඩක්නෑ. කතාව රස විඳපල්ලකෝ. උඹලටත් කාගේ හරි ඕපයක්මයි ඕනෙ!




උඹලා අහලා නැද්ද අර ධනචින්තනගේ කතාව? මේක හැබැයි මේ ලංකාවෙවත්, මේ ලෝකෙවත් වෙච්ච එකක් නෙවෙයි. ලොවෙත් නෑ කියන්නේ ඒකයි! මේක සමාන්තර විශ්වයක වෙච්ච එකක්. පොරම තමන්ගේ නම වෙනස් කරගෙනත් තියෙන්නෙත් ඔය ධනාත්මක චින්තනය ගැන තදින් විස්වාස කරපු හන්දලුනෙ.

ඔන්න ධනාට හැත්තෑ පහකුත් වුනාම, පොර පටන් ගත්තලු දවසකට කිලෝමීටර් පහක් ඇවිදින්න. වැඩේ කොච්චර කැපවීමෙන් උනන්දුවෙන් කලාද කිව්වොත්, වැඩි කාලයක් යන්න කලින් පොරට ආවලු අවුරුදු පනහක බුවෙක්ගෙ පෙනුම. දවසක් ධනාගෙ යාලුවෙක් ධනාව සුපර් මාකට් එකේදි දැකලා කියනවලු,

"යකෝ මේ ධනානේ! මට උඹව අඳුනාගන්නත් බැරි වුනානේ මචං.  පට්ටයිනෙ බං උඹ!"

පොරට මේක කොච්චර හිතට වැදුනද කිව්වොත්, පොර ජිම් එකකට බැඳිලා, අර කිලෝමීටර් පහ ඇවිදිනවට අමතරව, සතියට දවස් හතරක් වර්ක් අවුට් කරන්න ගත්තලු, ජිම් එකේ. වැඩි දවසක් ගියේ නෑලු , පොරට ආවලු අවුරුදු හතලිහක පෙනුම. දවසක් ධනාගෙ පරණ කැච් එකක් ධනාව දැකලා කියනවලු,

"ධනා, මට ඔයාව අඳුනාගන්න බැරු වුනානේ. ඔයා මාරයිනේ අනේ!"

මේකෙන් තව දුරටත් ෆෝර්ම් වෙච්ච ධනා එයරොබික්ස් ක්ලබ් එකකට ජොයින් වුනාලු, එයරොබික්ස් කරන්න. දැන් පොර දිනපතා කිලෝමීටර් පහක් ඇවිදිනවා, සතියට දවස් හතරක් ජිම් එකේ වර්ක් අවුට් කරනවා, සතියට දවස් තුනක් ක්ලබ් එකේ එයරොබික්ස් කරනවා.

මාස හය යනකොට පොරට තියෙන්නේ අවුරුදු තිහක පෙනුමලු. ඒ මදිවට ධනාට අවුරුදු  විසි එකක කෙල්ලෙකුත් සෙට් වුනාලු එයරොබික්ස් ක්ලාස් එකෙන්. පොර අහලා බඳින්න කැමතිද කියලා, කෙල්ලත් හා කියලා.

ඔන්න බැඳලා හනිමූනුත් ගිහින් නුවර එලියේ හෝටලේකට. "
අද මගේ ජීවිතේ ප්‍රීතිමත්ම දවස.  ඉන්න ඩාලිං මම ෂැම්පේන් බෝතලයක් ගේන්නම්," කියලා පොර යන්න හදලා. 

මනමාලි කිව්වලු, "ඇයි අනේ රූම් සර්විස් එක තියෙන්නෙ," කියලා. 

"නෑ ඩාලිං.  මේවයේ තියෙන්නෙ කවලං බඩු. මම අර ටවුන් එකේ තියෙන කාගිල්ස් එකට දුවලා ඔරිජිනල්ම බඩුවක් ගේන්නම්." කියලා, පොර අර තට්‍ටු හතම එලවේටර් එකේ යන්නෙත් නැතුව පඩි පෙල දිගේ දුවලා පාරට දාපු හැටියෙම, ඇමති ආරක්ෂක වාහනයක් මේකාව යට කරන් ගිහින්.

පොර කෙලින්ම දිවිය ලෝකෙ. පොර දෙවියන්වහන්සේට කිට්‍ටු කරලා ඇහුවලු. "ඇයි දෙවියනේ මෙහෙම කලේ? ඇයි මාව මේ අදම ගෙන්න ගත්තේ?  අද මගේ ජීවිතේ ප්‍රීතිමත්ම දවස වෙන්න තිබුනකොට! ඇයි ඔබ වහන්සේ මෙහෙම දෙයක් කලේ?

දෙවියන්වහන්සේ ධනා දිහා හොඳට බලලා කියනවලු,

"ධනා!! මේ ධනාද? මට අඳුනාගන්න බැරි වුනානේ. නියමයිනේ!"



මේක මේ ලංකාවෙවත් මේ ලෝකෙ ලෝකෙ වත් වෙච්ච එකක් නෙවෙයි. මේක සමාන්තර විශ්වයක වෙච්ච එකක්!


Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers

Thursday, April 4, 2013

61. අපායේ ගතකල හොඳම විනාඩි විස්ස!



මේ දැන් මාරම වැඩක් වුනානෙ බංස්ලා. මම දැන් පැයකට කලින් ගියා අපායට. අපාය කියන්නෙ මම උගන්නන එක පන්තියක්. දැන් උඹලා කියන්න එපා එහෙම කියන එක අසාධාරණයි කියලා.   සීමිත විෂය මාලාවක් උගන්නන පන්ති (Limited curriculum classes) හදලා තියෙන්නෙ ඉස්කෝලෙ ඉන්න එපාම කරපු යමපල්ලො ටික දාලා. මේවායේ ඉන්නෙ ඇත්තටම ඉස්කෝලෙක තියාගන්න බැරි, නමුත් ළමා අයිතිවාසිකම් කේස් එක නිසා එලියට වීසි කරන්නත් බැරි ජීවී විශේෂයක්. මේ පන්තිවල උගන්නන්නෙ ආගම, මව් භාෂාව , ඉංග්‍රීසි, විත්‍ර සහ ගණිතය විතරයි. උදේ ඉඳලා පීරියඩ් හතරයි වැඩ. ඉන්ටවල් එකට ගෙදර  ගියාම ආයෙ එන්න ඕනෙ නෑ අනිත් සාමාන්‍ය ළමයි වගේ.  ලිමිටඩ් කරිකියුලම් කියන ඒකට යන,  ගිය ආත්මේ ගෙවාගන්න බැරි පාප කර්ම කරලා තියෙන අවාසනාවන්ත ගුරුවරු කවුරුත් ඒකට කියන්න අපාය තමයි. අපායට යන්න කලින් මම රවියගේ වාංපතුල් ගැනත් ජනුවගේ තාත්තගේ කිරි බෝතලේ ගැනත් කියවලා මූඩ් එක හදාගෙන ගියේ.

මම කලිනුත් කියලා තියෙනවා වගේ, අර යාඥාවක් එහෙම කරලානේ ඔය පන්තියට යන්නේ. මේකට ඇතුල් වෙන්නෙත් ඔය සාමාන්‍ය පන්තියකට ඇතුල් වෙන විදියට නෙවෙයි මම නම්. දොර ලඟට ගිහින් ඉස්සෙල්ලම
දොරබෝලෙ කරකවලා බලනවා. ලොක් කරලා නම් එහෙමම ඉන්නවා කවුරුහරි ලොක් එක අරිනකල්.  නැති නම් බෝලෙ කරකවලා, අඟලක්  දොර අතින් තල්ලු කරලා අත ගන්නවා. ඒ එක්කම අඩියක්  පස්සට අරගෙන, සපත්තුවේ ටෝ එකෙන් දොර තල්ලු කරලා තව අඩියක් පස්සට අරන්, බලා ඉන්නවා දොර මුල්ලක් ඉතිරි නොවී දොර සම්පූර්ණයෙන් බිත්තියට ගිහින් හේත්තු වෙනකල්. මේ ඔක්කොම කරන්නෙ දොර බූබිට්‍රැප් කරලා තියෙන්න පුලුවන් නිසා. ඊට පස්සෙ උඩ සහ වම හොඳට බලලා සැක හැරගෙන තමයි පන්තියට ඇතුල් වෙන්නෙ.

ඉතින් වෙනද වගේම මම හිල් කලේට වතුර අදිමින් විනාඩි විස්සකට වඩා වැය කලා. මතක තියාගනිල්ලා. මේ පන්තියෙ විනාඩියකට තප්පර හයසීයක් තියෙනවා. වෙන පන්තිවලට ගුරුවරු ගියාම ළමයි නිතර ඔරලෝසුව දිහා බලනවා ඒක නැවතිලාද කියලා දැනගන්න. අපායට
ගියාම, නිතර ඔරලෝසුව දිහා බලන්නෙ ගුරුවරු, ඒක නැවතිලාද කියලා දැනගන්න.

මාත් ගිහින් තනියෙම පාඩමක් කරනවා. මම හිතන්නෙ මේ අපාය කියන පන්තිවල වැඩ කෙරෙන හැටි පොඩ්ඩක් විස්තර කලොත් හොඳයි, කොයි ගුරුවරයා ගියත්, හොඳ හෝ නරක.

එකෙක් ගුරුවරයට  කුණුහරපෙන් බනිනවා මව් භාෂාවෙන්. තව එකෙක් කඩදාසි බෝල විසිකරනවා. එක කඩදාසි බෝලයක් ගුරුවරයගේ කණ ගාවත් වදිනවා. භැමෝම හිනා වෙනවා. ගුරුවරයා මොකුත් නොවුන ගානට ඉන්නවා. නැගීගෙන එන, පහළ අපායේ පන්තියෙන් එලියට දාලා ඉන්නවුන් මේ පන්තියෙ උන්ට, ජනේලෙන් කෑ ගහනවා. මේ පන්තියෙ උන් පැනලා ජනේලෙන් අත දාලා අරුන්ගෙන් එකෙක්ව අල්ලාගෙන ජනේලෙන් ඇතුලට අදින්න හදනවා, කෙල්ලො, කොල්ලන්ව වට කරගෙන අතේ පච්ච කොටවා ගන්නවා. තව එකෙක් චිත්‍ර අඳිනවා. තව එකෙක් ඔහේ බලාගෙන ඉන්නවා. එකෙක් පාර පැත්තෙ ජනේලෙ ගාවට දුවලා පාරෙ යන ගෑණියෙක්ගෙ පස්ස වැනෙන හැටි දැකලා කෑගහලා, අනිත් උන්ටත් කියනවා. කට්ටියම ජනේලෙ ගාවා. ගුරුවරයා එතනට ගිහින් අරුන්ට කෑගහනවා, 'ගිහිල්ල ඉඳගනිල්ලා' කියලා. අරුන් ගුරුවරයට අර 'පස්ස' පෙන්නලා කියනවා, 'පට්ට කෑල්ලක් යනවා සර්, අර බලන්ඩකො, මට ම්ම්ම්ම් හිතෙනවා...', කියලා. ගුරුවරයා ආයෙම බලනවා ඔරලෝසුව නැවතිලාද කියලා.

ඔන්න  ඔයාකාරයි.

දැන් ඔන්න නිතරම සින්දු කියන බෙර ගහන එකෙක් ටොයිලට් එකට ගියා. ටිකකින්, පන්තියෙ අද ඇවිල්ලා ඉන්න උන්ගෙන් ජරාම එකා වගේම, පන්තියෙ ජරාම උන්ගෙන් එකෙකු වන සිරිමත් මගේ සකි, යහපත් ළමයෙකි තව එකෙකුත් එක්ක ජනේලෙ ගාවට දුවනවා. මේ  හදලා මාස දෙකක්වත් නැති අලුත්ම බිල්ඩිමේ පන්ති කාමරයේ එක පැත්තක එලියට ඇරෙන ඇලුමිනියම් ජනේලත්, කොරිඩෝව පැත්තට පීල්ල දිගේ ලිස්සන ඇලුමිනියම් ජනේලත් දාලායි, හදලා  තියෙන්නෙ.

ජනේලෙ ගාවට ගිය මේ දෙන්නා, මුලින්ම මොකක් හරි වාදයක් ගියා මව් භාෂාවෙන්.  ඊට
ටිකකට පස්සෙ පස්සෙ දෙන්නම ජනේලෙ වීදුරු දෙකකට අත් තියලා තල්ලු කරනවා මම බලාගෙන. 'මේ ඕක නවත්තනවා!' කියලා කෑ ගහල කට ගන්න හම්බවුනේ නෑ, වීදුරු ජනෙල් පියන් දෙක දඩාස් ගාලා පීල්ලෙන් පැනලා කොරිඩෝව පැත්තට පෙරලුනා. මුන් දෙන්න දඩිබිඩි ගාලා ජනෙල් පියන් දෙක යන්තම් අල්ලා ගත්තා. දැන් දෙන්න එක්ක මේක ආපහු දාන්න හදනවා, හරියන්නෙ නෑ. මොකද ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි , පියන දෙන්නෙක්වත් දෙපැත්තෙන් අල්ලන්නෙ නැතුව. 

දැන් දෙන්නගෙම මූණු අර ගලේ පහරපු බළල්ලු වගේ. අතෑරලා දුවන්නත් බෑ, ජනේලෙ පෙරලෙනවා, අල්ලගෙන ඉන්නත් බෑ මාට්‍ටු වෙනවා. අපරාදෙ කියන්න බෑ වෙන එකෙක්වත් මුන්ට උදව්වක් කරන්න ආවේ නෑ. 'හක හක' ගගා බඩවල් අල්ලගෙන හිනා වෙනවා. මම කෙලින්ම පන්තිය දාලා ගියා සුපවයිසර්ට කියන්න. සුපර්වයිසර්ට කලින් මෙන්න ප්‍රින්සිපල් එනවා කොරිඩෝව දිගේ. මම ප්‍රින්සිපල්ව දැනුවත් කරලා ආවා.

මෙහෙම නීතියක් තියෙනවා. දැන් කවුරුහරි ඩෙස්ක් එකක් පොඩි කලොත්, කුණුහරපයක් ලිව්වොත්, අතේ පච්චයක් කොටා ගත්තොත්, පරිපාලනය ඉස්සෙල්ලම ඇඟිල්ල දික් කරන්නෙ හිටපු ගුරුවරයාටයි. වැ‍රැද්ද කරපු එකාට දඬුවම් දෙන එකට වඩා ප්‍රමුඛතවයක් දෙන්නෙ ගුරුවරයට ලෙඩේ අදින්නයි. ඒක නිසා මට අනිවාරයයෙන්ම ඒක කරන්න වෙනවා.

ප්‍රින්සිපල් එනකොටත්, පොරවල් ජනෙල් වල එල්ලිලා අල්ලගෙන ඉන්නවා. පන්තිය ඇතුලේ උන් මහා හයියෙන් හිනාවෙනවා. මටත් හිත ඇතුලෙන් මැරෙන්ඩ හිනා වුනත්, මමත් සීරියස් මූණක් හදාගෙන ඉන්නවා.

ප්‍රින්සිපල්ට මුන් දෙන්නත් එක්ක මල පැනලා මදිවට, පන්තියෙ ඉන්න උන් එකිනෙකාට ගහ ගහා, බිම පෙරලි පෙරලි, හිනාවෙන එකට කරන්න දෙයක් නෑ.

ටිකකින් ආවා අර ටොයිලට් ගිහින් හිටපු එකා. මූ ප්‍රින්සිපල් ලඟ නැවතිලා කටවල් ඇරලා ඇස් රවුම් කරලා බැලුවා සීන් එක. බලලා එතනම ඉඳන් ඇතුලෙ උන්ගෙන අහනවා මොකද යකෝ වුනේ කියලා. මුන් කියනවා විස්තරේ, අතිනුත් දාලා මහා හයියෙන්. ඒක අහපු බුවා, ප්‍රින්සිපල් ගාවම බිත්තියට මිට මොලවලා ගහ ගහ, උඩ පැන පැන, හිනාවෙනවා. 


ප්‍රින්සිපල් කෙනෙකුටත් පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනෙ.


ටිකකින්, ප්‍රින්සිපල් කිව්වා ඔය ජනෙල් දෙක හෙමීහිට උස්සලා අහකට අරගෙන බිත්තියට හේත්තු කරන්නය කියලා, එකෙක් නම් එහෙම කලත්, අර සිරිමත් ඒක එහෙම්මම හිර කරලා, තර්ක කරනවා ප්‍රින්සිපල් එක්ක. ටිකකින් බුවාත් ජනෙල් පියන බිම තියලා ප්‍රින්සිපල් එක්ක එකට එක කියාගන්න පටන් ගන්න කොටම බෙල් එක ගැහුවා. ඔව්! සීමිත විෂයමාලා පන්තිවලට යන ගුරුවරු කවුරුත් අර ආසාවෙන් බලා ඉන්න සද්දෙ. මම මාකර් දෙකත් සාක්කුවේ දාගෙන එලියට එ
කොට එක කොල්ලෙක් දුවගෙන ආවා මාත් එක්කම.

"සර් මාත් එනවා."

"කොහෙද යන්නෙ?"


"මම යනවා ටොයිලට් එකට."

"දැන් එක පාරක් ගියානේද?"

"දැන් යන්නෙ හොඳට  හිනාවෙන්ඩ."

"හම් යං. මාත් මේ ස්ටාෆ් රූම් එකට යනකල් ඉන්න බැරුව ඕයි ඉන්නෙ මේක කාට හරි කියලා හිනාවෙන්න."

ඒක අහලා, ඒකා කොරිඩෝවෙ ඉඳගෙනම හිනාවෙන්න පටන් ගත්තා.

Simulblogged @  මට හිතෙන හැටි for WordPress Lovers.

Monday, April 1, 2013

60. මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ?

මේක ජෙනියා කිව්ව කතාවක් කිව්වට වැඩක් නෑ මොකද කොමෙන්ට් දාන බුවාලා අනිවා කියන්නෙ ඕක මට වෙච්ච වැඩක් කියලනෙ. 'අනික, උඹ කොහොමද ඔච්චර විස්තර දන්නෙ, ඕක උනේ උඹට නෙවෙයි නම්' කියලා කියන්න කී දෙනෙක් කටවල් මැදගෙන බලාගෙන ඇත්ද?
කමක් නෑ ඕනෙ එකක්.

මෙන්න කතාව.

කට්ටිය ෂොපිං පාරක් දාලා, ‍තෝසෙ කඩයකුත් වන්දනාමාන කරගෙන, කො‍ටුව හරහා ඇවිදගෙන යනවා. මේ ‍තෝසෙ වලත් තියෙනවනෙ ආවේනික ගති ලක්ෂණ. තිබහ වෙන එකේ ඉවරයක් නෑ. වතුර බොන්න බොන්න පිපිලා එනවා. ඉතින් අන්තිම කෝක් බෝතලේ අන්තිම උගුරත් කටට හලාගෙන, වටේ යන කැහි කූරකින් දුම් උගුරකුත් ඇදපු ටින්ටිනාට තේරුනා බඩ දැන් ටික වෙලාවක ඉඳලා අමුතු විදියට ගුරු ගුරු ගාන බව. තවත් සෑහෙන වෙලා ඇවිදිනකොට තත්වෙ එන්න එන්නම භයානක වෙන බව තේරුන ටින්ටිනා, බැරිම තැන මේක අනිත් උන්ටත් කිව්වා.

දැන් කවුරුත් බැලුවේ ටොයිලට් එකක් හොයාගන්නෙ කොහොමද කියලා. මිලර්ස් එක ඉස්සරහ පොලොව යට තියෙන එකට නම් කලිසමේ බඩු ගියත් යන්න බැහැ කියලා ටින්ටින් අවධාරණය කලා. දැන් කට්ටියම ටින්ටිනාට බොගක් දාන්න තැනක් හොය හොය ඇවිදිනවා. ටින්ටින් දැන් ඇවිදින්නෙ ඇදේට ඇදේට. කකුල් දෙක බයිසිකල් ස්ටැන්ඩ් එකක් වගෙ උඩින් ලං
වෙලා, යටට යන්න ඈත්වෙලා!
ජෙනියා කියනවා,  “මචං, මම නං ඔයවගෙ වෙලාවට කරන්නෙ අත මිට මොලවලා පු*# හොඳවයින් පාරක් දෙන එක. කොරලා බලපං. බෙ$# බය වෙනව ටික වෙලාවකට.”
ජෙනියා කිව්වෙ ෆුල් සිරාවට. මාත් පස්සෙ ඕක අත් හදා බලල තියෙනව. (Copyright © Jeniya’s Theory Of Stunning, Intimidating And Temporary Forced Retreating of Shit/බොගක් ෆුල් හොල්මං කිරීමේ, බිය වැද්දීමේ හා තාවකාලිකව බලෙන්  පසු  බැස්සවීමේ ජෙනියාගේ න්‍යාය.). අනේ, විශ්වාස කරපල්ල ටින්ටිනා අත මිට මොලවලා තමන්ගෙ පශ්චාත් භාගයට දුන්න පාරක් කොර වෙන්න.

“මචෝ ඕනෙවට වඩා හයියෙන් ගහන්න එපා. බෙ*ටෙ ඔලුව තැලෙයි.”

“ඔලුව තැලෙන්න තමයි ඩෝ ඕනෙ. එතකොට ප්ලග් එක ගැහුව වගෙ ටිකක් වෙලා අල්ලන් ඉඳී!”

“ඒ වැඩේ හරියන්නෙ නෑ, දැනටම දිව දාල නම් තියෙන්නෙ. ටින්ටිනෝ දිව දාල වගෙද දැනෙන්නෙ?”

ප්‍රබුද්ධ අදහස් ගොන්නයි.

“මෙහාට දිය ඔය සිගරට් එක,” එකෙක් ටින්ටිනාගෙ සිගරට් එක උදුරගන්න ගමන් කියනවා. "යකෝ සිගරට් බොන්න එපා බොගක් ටයිට් වෙලා තියෙන වෙලාවට, පු# ‍රැවටෙනවා.”

දැන් ටින්ටිනාගෙ තත්වය එන්න  එන්නම භයංකාර වේගනයි එන්නෙ. මූට දාඩිය දාලා. කොන්ඩෙ එකට ඇලිලා, තොල කට වේලිලා, මූණ  සුදුමැලි වෙලා.

“Desperate measures for desperate times” කිව්වලු.
ඔන්න එතකොටම ජෙනියට මතක් වුනා මූ කාලයක් ජුඩෝ ක්ලාස් ගිය අකුරු හතරෙ බිල්ඩිම!!

“හුරේ , ආබාදයක් නෑ. උඹ බයවෙන්න එපා ටින්ටින්. වරෙල්ල යන්න අකුරු හතරෙ බිල්ඩිමට. ඒකෙ තියෙනව නියම ටොයිලට්. මං දන්න සෙක්කොත් ඉන්නවා.”

කට්ටියම ඕවර් ඩ්‍රයිව් එකට දාල විද්දා අකුරු හතරෙ බිල්ඩිමට. ඔන්න ඉන්නවා ඉස්සරහම මේසයක් තියාගෙන සිකියුරිටි අයියලා දෙන්නෙක්ම. කට්ටිය බෑගුත් එල්ලගෙන දඩි බිඩි ගාලා ඇතුලට යන්න යනවා දැක්ක ගමන් එක සිකියුරිටි පොරක් ආචාර කලා.

“ඒයි මල්ලිලා, කොහෙද යන්නෙ ගෙදර  යනවා වගේ?”

ජෙනියා දන්න සෙක්කා නම් නෑ වගේ. කොහොමත් මූ දක්ෂයි සම්බන්ධීකරණ කටයුතු වලට.

“අයියෙ මේකයි. ටොයිලට් එකට යන්නයි බැලුවෙ.”

එතකොට එතන හිටපු වයසින් වැඩි, සීනියර් සිකියුරිටි බුවා  කියවන්න ගත්තා. “මේක පබ්ලික් ටොයිලට් එකක් නෙවෙයි. පාරෙ යන හැමෝටම මේකට යන්න බෑ. මහත්තුරු අපිටයි බනින්නෙ”

දැන් ටින් ටිනා අධි වේගයෙන් ලොබියේ එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා වයින් කරපු සෙල්ලම් බඩුවක් වාගෙ.

“හරි අයියෙ අපි ඔක්කොටම යන්න ඕනෙ නෑ. අපේ අර යාලුවට විතරක් පොඩ්ඩක් ගිහිල්ල එන්න දෙන්නකො, පව්නේ!”

දැන් තරුණ සෙක්කා කිව්ව, "මල්ලි මට තේරෙනවා, නමුත් මේ ටොයිලට්ස් මෙම්බර්ස්ලට විතරයි. ඒකයි ප්‍රශ්නෙ.”

එතකොටම ටින්ටිනා බ්‍රාස් ගාල ගැහුවා බ්‍රේක්.
“මොනාද අයියා”, ටින්ටිනාගෙ උච්ච, ඇඬි බර, කටහඬ වෙවුලුවා. “මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ?”

කාටවත් හිනා ගියෙ නෑ.සෙක්කගෙ ගල් හිත උණු වුනා.

“ම්හ්, මල්ලි එහෙනම් ටක් ගාල ගිහිල්ල එන්න. අනිත් අය මෙතන ඉන්න..”

ටින්ටිනා එකතැන පික් අප් කරලා ටොයිලට් දිහාට අතුරුදහන් වුනේ පත්තු කරපු අහස් කූරක් වගෙ. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න ඔය ඔක්කොම කලබලේ අස්සෙ  මූ ලයිටර් එකකුයි සිගරට් එකකුයිත් ලෑස්ති කරගෙන ඉඳලාලුනෙ ඔය වැඩේ නියමෙට කරන්න.

 ෴ *DISCLAIMER* ෴
 මේ කතාවට හෙන්රිබ්ලොග්වෝකර් ද ඩූඩ් ගේ කිසිම සම්බන්දයක් නොමැති බව ලෝකවාසී ජහමනයාට ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කර සිටිමි.

මෙය මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුලින් පළවූ ඇබැද්දියකි. (මට නෙවෙයි බං!) කියවා ඇත්තෝ කමත්වා!