Sunday, November 11, 2012

21. කැරපොත්තා / Cockroach 2

මම මගේ ඇඳුම් ගොඩම හොඳට පරීක්ෂා කරලා බලනවා. කැරපොත්තා මගේ ජීන්ස් එකේ අඩියෙන් මතුවෙලා වම් කකුල දිගේ උඩට නගිනවා. මම හෙමීහිට සපත්තුවක් අහුලා ගන්නවා. ඊට පස්සෙ සපත්තුව උස්සනවා ඔලුවට උඩින්...දැන් කැරපොත්තා මගෙ සිzප් එකේ යට කොනේ.


මුල් කොටස කියෙව්වෙ නැතිනම් මෙතන ඔබන්නකො.

මම ගැඹුරු හුස්මක් ගන්නවා.

නමුත් මොකක්දෝ නොපෙනෙන බලවේගයක් මාව නවත්තනවා.  මම කැරපොත්තව මෙතනම චප්ප කලොත්, සුදු පාට, මැලියම් වගෙ දියර පැල්ලමක් මගෙ කලිසමේ සිzප් එක ඉවරවෙන තැන  තැවරෙනවා. එතකොට...විස්තර කරපල්ලකො ඒක වුන හැටි! ඒකත් ඒ ගැන  ඇහුවොත්නෙ.

Not Cool!


විලි ලැජ්ජා සන්තෝසෙ බැරුව යයි ! කැරපොත්තා ආපහු රිංගනවා ජීන්ස් එක ඇතුලට.

මූව චප්ප කරනවට වඩා හොඳ ක්‍රමයක් ඇත්තෙම නැද්ද?

මම වට පිට බලනවා උපක්‍රමයක්, අදහසක්  බලාපොරොත්තුවෙන්.

ටොයිලට් එකට ඉහලින් තියෙනවා පොඩි කවුලුවක්. අර ෆෑන්ලයිට් එකක් කියන්නෙ.  ඒක පොඩි උනාට මේ වැඩේට සෑහෙනවා. මට පුලුවන් එතනට නැගලා ජීන්ස් එක ජනේලෙන් එලියට දාලා කැරපොත්තව එලියට ගසන්න.

No sweat!

පැල්ලමුත් නෑ, කැරපොත්තත් නෑ, ලොවෙත් නෑ!

මම, කැරපොත්තට එලියට එන්න බැරිවෙන්න,  කකුලුයි, ඉනයි, පොඩ්ඩක් රෝල් කරලා  අල්ලගෙන ජීන්ස් එක අතට ගන්නවා. ඊට පස්සෙ,  ටොයිලට් සීට් එකේ පියන වහලා ඒක උඩට අඩියක් තියල නගිනවා සිස්ටන් එක උඩට. දැන් මගෙ ඔලුව කවුලුවට උසයි.

මම බිත්තියට හේත්තු වලා සමබරව ඉඳගෙන ජනෙල් පියන තල්ලු කරනවා පුලුවන් තරම් ඈතට.

ඊට පස්සෙ ජීන්ස් එක ජනේලෙන් එලියට රිංගවලා, ඉනෙන් අල්ලගෙන, පුලුවන් හයියෙන් ගසනවා.

එක පාරටම මෙන්න කැරපොත්තා මගෙ අත දිගේ දුවගෙන එනවා උඩට. මම කලබල වෙන  පාරට ජීන්ස් එක අත හැරෙනවා. ඒ එක්කම සම
රතාවය බිඳිලා, පය ලිස්සන  මම,  ඇදගෙන වැටෙනවා බාත් ටබ් එක ඇතුලට.

මට හිතෙනවා මෙතනම වැටිලා ඔහේ ඉන්න ඇස් පියාගෙන, මේක නම් මම දැකපු නරක හීනයක් විතරයි කියලා හිතාගෙන. නමුත් එහෙම ඉඳල හරියන්නෙ නෑ. ආයෙම හැංගෙන්න කලින්, කැරපොත්තව හොයාගන්න තියෙනවා. මම බාත් ටබ් එකෙන් නැගිටලා කන්නාඩිය ඉස්සරහට ගිහින් හිටගන්නෙ මගෙ ඇඟ පරීක්ෂා කරලා බලන්න.
 

කැරපොත්තා ඉන්නවා මගෙ ඔලුව මුදුනට වෙලා!

මේ වතාවෙ මම දන්නවා කරන්න ඕනෙ මොකක්ද කියලා. ඒක එච්චර සුන්දර අත්දැකීමක් නොවෙන්න පුලුවන්, නමුත් වෙන විකල්පයක් නෑ. මූ වගෙ කෛරාටික, වෙට්ටපිත්තල, මස්තබාල්දු, අපතයෙක් එක්ක මට ආයෙම අවදානමක් ගන්න බෑ.

මම ටොයිලට් එක ලඟ දණ ගහගන්නවා. පියන අරිනවා, සීට් එකත් එක්කම.   ඊට පස්සෙ දෑතින්ම ටොයිලට් එක අල්ලගෙන, ඔලුව ටික ටික පාත් කරනවා බෝල් එක ඇතුලට. දැන් මගෙ ඔලුව සම්පූර්ණයෙන්ම ටොයිලට් එක ඇතුලේ. මම ගැඹුරු හුස්මක් අරගෙන අතක් උස්සලා ෆ්ලෂ් කරනවා ටොයිලට් එක.

ඈක්කා...!

ඈ..ආඇහ්ග්. ග්බ්ල්ග්ක්හ්ජ්ක් බ්ල්ර්බ්ල්ර්ර්ප්!

ටොයිලට් වතුර මගේ නහයේ!

ටොයිලට් වතුර මගේ කන්වල!!

ටොයිලට් වතුර මගේ කටේ!!!

අන්තිමේදි වතුර නතරවෙනවා. මම ඔලුව අහකට ගන්නවා.
 

OH YEAAAH!
 

ඌ නෑ!
 

ඒ වුනාට..
 

ඌ විතරක් නෙවෙයි, මගෙ කලිසමත් නෑනෙ!

මට දැන් ආපහු මේසෙට ගියෑකියැ කලිසමත් නැතුව?
 

මම මොකද කරන්නෙ?

මට හිතා ගත්තෑකි මම දැන් ආපහු මේසෙට ගියොත්  ඇතිවෙන සංවාදය.



මිසිස් බේයින්ස්බ්‍රිජ්: කෝ ඇන්ඩි ඔයාගෙ කලිසම?


මම: ආ! ඒක වැරදීමකින් මගෙ අතින් බාත් රූම් එකේ ජනේලෙන් එලියට වැ‍ටුනනෙ මිසිස් බේයින්ස්බ්‍රිජ්.


මිස්ට බේයින්ස්බ්‍රිජ්: අයියෝ, ඕක මාර අප්සෙට් වැඩේ තමයි. මටත් කොච්චරවාත් වෙන වැඩක් තමයි ඕක. ඇන්ඩි ඇයි ඔයා ගිහින් මගෙ අල්මාරිය අවුස්සලා බලලා ඔයාට හරියන ඇඳුමක් හොයලා ඇඳගන්නෙ නැත්තෙ?

හ්ම්ම්... මට පුලුවන් ඔය විදියට හීන ලෝකෙම ජීවත් වෙන්න. නමුත් සැබැ ලෝකෙ, මම ඉනෙන් පහල අමු හෙලුවැල්ලෙන්!


ජනේලෙන් රිංගලා ගිහින් කලිසම ගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. පොකට් මනි නැතුව මාසයක් ජීවත් වෙන්නෙ කොහොමද? 


මම ආයෙම නගිනවා සිස්ටන් එක උඩට. ජනේලෙන් දානවා ඔලුව එලියට, බලන්න. මේක නම් හරි ගානට වගේ තියෙන්නෙ. නමුත් තාම මම කෑම කාලාත්, නැති නිසා මට මේකෙන් රිංගන්න පුලුවන් වෙයි කියලාමයි මට හිතෙන්නෙ. 

මම ජනෙල්  රාමුවෙ එල්ලිලා, උඩට ඇදිලා ඔලුව රිංගවනවා ජනේලෙන්.  හරියටම ඇ‍ඟෙන් බාගයක් එලියට දාගන්න පුලුවන්.

හම්මෝ, මෙතන ඉඳල බිමට සෑහෙන්න දුරයිනෙ. මට අමතක වෙලා තිබුනෙ මම බිම ඉඳලා මෙච්චර උඩින් ඉන්නෙ කියලා. නමුත් මට වැටෙයි කියලා නම් බය වෙන්න දෙයක් නෑ, මොකද මම දැන් ජනේලෙ හිර වෙලා ඉන්නෙ. ඉස්සරහට යන්නත් බෑ, පස්සට යන්නත් බෑ.
ඒ ඔක්කොමත් හරි ඕං කවුද දොරට තඩි බානවා.

"මේකෙ එක්කෙනෙක් ඉන්නවා," මම කෑගහනවා.

"පුතා, මොකුත් ප්‍රශ්ණයක්ද?" අම්මා අහනවා. "ඔයා ඕක ඇතුලෙ සෑහෙන වෙලාවක් හිටියනෙ දැන්."

"ඔව්," මම කෑ ගහනවා. "මම එනවා විනාඩියෙන්."

"එයාගෙන් සද්දයක් නෑ." ඒ අම්මගෙ කට හඬ. "අනේ මොනවත් වෙලාද දන්නෙ නෑ."

අම්මට මම කියන දේ ඇහෙන්නෙ නැත්තෙ මගෙ ඔලුව තියෙන්නෙ ජනේලෙන් එලියෙ නිසා.

එතකොටම මට ඇහෙනවා බේයින්ස්බ්‍රිජ් ලොක්කගෙ කටහඬ.

"හැමෝම පස්සට වෙන්න. මම දොර කඩන්න යන්නෙ."

පට්ටයි! පජාතයි!! කුජීතයි!!! මගෙ සුපිරි වීරයා!!!!

විලි ලැජ්ජා සං...

මට ඇහෙනවා විශාල සද්දයක්.

"ජර බරා...ස්...දඩාස්!!!"

බේයින්ස්බ්‍රිජ් ලොක්කා අයෝමය පුරුෂයෙක් නොවුනට, බාත් රූම් දොරේ තියෙන බාල අගුල කැඩිලා වීසි වෙන්න ඇත්තෙ හරියටම ආනෝල්ඩ් ෂ්වෝර්ට්සෙනගර්ම ඇවිත් වැඩේ දුන්න ගානට.

"ඕ මයි ගෝඩ්!" බේයින්ස්බ්‍රිජ් ලොක්කාගෙ හඬ.

සමහර විට ජීවිතේ පලවෙනි වතාවට බුවා දෙවියන් වහන්සේගෙ නාමය නිරපරාදේ පාවිච්චි කලා වෙන්නැති. නමුත් හීනෙකින්වත් නොහිතපු විදියට මගෙ  හෙලුවැලි පස්ස පැත්ත, එයාගෙම නාන කාමරේ ජනේලෙන්, එයා දිහා ඔරවාගෙන බලං ඉන්නවා දැක්කම. එහෙම වෙන එක වරදක්ම කියන්න බෑ.

"ඕ මයි ගෝඩ්!" ඒ මිසිස් බේයින්ස්බ්‍රිජ්

"ඕ මයි ගෝඩ්!" ඒ අම්මා.

"ඕ මයි ගෝඩ්!" ඒ තාත්තා.

"මම දන්නවා බැලූ බැල්මට මේක පේන්නෙ තරමක් අමුතු වැඩක් හැටියට බව," මම බෙරිහන් දීලා කියනවා."නමුත් මේකට ඉතාම සාධාරන, තර්කානුකූල පැහැදිලිකිරීමක් තියෙනවා. මේ අහන්නලකො. මම යාඥා කරද්දි  දැක්කා සැලඩ් එකේ කැරපොත්තෙක් ඉන්නවා. නමුත් මට හිතුනෙ නෑ ඒක කාටවත් කියන්න, මොකද..."


බීරන්ට කියනවා වගෙ. කිසිකෙනෙකුට ඇහෙන්නෙ නෑ මම කියන එක.

අම්මයි, තාත්තයි, බේයින්ස්බ්‍රිජ් ජෝඩුවයි, ඉණිමං ගැන, ගිණි නිවන හමුදාව ගැන, එතකොට අඩුම ගානේ ටොයිලට් සීට් එකේ හරි අතට ඉඳ ගනීද කියලවත් විශ්වාසයක් තියාගන්න බැරි තරුණ පරම්පරාව ගැන හෝ ගාලා කියවනවා ඇහෙනවා.

මම ඇස් පියාගෙන කල්පනා කරනවා, මට, මගෙ මේ කතාවෙ රූපවාහිණී, පුවත්පත්, සඟරා, චිත්‍රපටි, පොත් වල ප්‍රකාශන අයිතිය වත් මට ලබාගන්න පුලුවන් වෙන හැටියට  කවුරු හරි එක්ක කතාකරලා වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයිද කියලා. ඒ වගේම මට අහිමි වෙන්න යන පොකට් මනි වල ගානවත් ඒකෙන් ෂේප් කරගන්න පුලුවන් වෙයිද කියලා කවුද දන්නෙ?

එක දොරක් වැහෙනකොට, තව දොරක් ඇරෙනවා. 


බේයින්ස්බ්‍රිජ් ලොක්ක කියනවා වගේ,... 


"There's a world of opportunity out there"

"ඕනෙකම කියන එක තියෙනවා නම්, අද කාලෙ අවස්ථාවන් අසීමිතයි." 


නිමි.

 ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ලියූ Just Joking පොතේ පලවූ Cockroach කතාවේ සිංහල අනුවාදයයි.

124 comments:

  1. ඌ තාම ජනෙල්ලෙ හිර වෙලාද ? මම හිතුවෙ නෑ මිනිහට ඔය තරම් ලේසියෙන් ඔය කැර පොත්තගෙන් ගැලවෙන්න හම්බෙයි කියලා..

    වැඩේ නම් නියමයි..ඩූඩ්.. තව එකක් ලියන්න.. පුලුවන්නම් අර "දගය"ගෙ එකක්..

    ReplyDelete
    Replies
    1. බුවා කතාව කියන්නෙ ෆයර් බ්‍රිගේඩ් එකෙන් එනකල් පස්ස එලියෙ දාගෙන ජනේලෙ හිරවෙලා ඉන්න ගමන් ඇතිවෙන සිතිවිලි හැටියට තමයි. :D

      Delete
  2. අපොයි දෙයියනේ ඕකට ආසන්න සිදුවීමක් මොකක් හරි ෆිල්ම් එකක තිබුනා. මතක නෑ නෙ.කෙල්ල බලන්න ගෙදරට වොශ් රූම් ගියාම ජුන්ඩව කලිසමේ සිප් එකට හිර වෙනවා. පරක්කු මොකද බලන්න කෙනෙක් එනවා.ඒට පස්සෙ එක එකාට එන්න කියනව ඒක බලන්න :D

    ReplyDelete
    Replies
    1. අන්න ඒකත් ලෝකෙ තියෙන හොන්දම ආතල් වලින් එකක්. දන්නෝ දනිති.
      කෙහෙල් කොරොට්ටාටත් ඔහොම එකක් වුනා මතකද?
      පස්සෙ සෙල්ලම් බඩුවක් පිටින් දාලා ෂේප් කරලා තිබ්බෙ.
      ස්තුතියි නිසූ.

      Delete
    2. නිසුපා ඒ ෆිල්ම් එකේ නම There is something about Mary . ඒකේ තියෙන අනිත් සිදුවීම් නම් මෙහෙම කියන්න බෑ අප්පා...මිස්ටර් ෆොකර්ට (Mr.Focker) නෙ ඒක වෙන්නෙ !

      Delete
  3. පට්ට කතාව යාළුවා, නියමයි මල් හතයි. කොයි වෙලාවෙද වැටෙන්නේ කියලා බලාගෙන ඉඳලමයි කියෙව්වේ.ජයවේවා. ගෙහුං එඤ්ඤං...!

    ReplyDelete
    Replies
    1. සරත් බොහොම ස්තුතියි මාව දිරිමත් කලාට මේ තරම්.

      Delete
  4. //හ්ම්ම්... මට පුලුවන් ඔය විදියට හීන ලෝකෙම ජීවත් වෙන්න. නමුත් සැබැ ලෝකෙ, මම ඉනෙන් පහල අමු හෙලුවැල්ලෙන්!//

    හපොයි එයා යටට මුකුත් ඇඳලා තිබිලා නැද්ද? :D:D:D
    කතාව අපේ විදියට ලියලා තියන හැටි ලස්සනයි ඩූඩ්...

    ReplyDelete
    Replies
    1. අන්න අන්න නොසැලකිල්ලෙන් කියවලා. :)
      //මම සපත්තු දෙක පයින්ම පාගලා ඇදලා දාලා යට ඇඳුමත් එක්කම ජීන්ස් එක ඇදලා ගලවන්නෙ අධි වේගයෙන්. දැන් ඇ‍ඟේ ඇඳුමකට තියෙන්නෙ මේස් දෙක විතරයි.//

      Delete
  5. නියමයි අංකල් !! පරිවර්තනය අපූරුයි! :)

    ReplyDelete
  6. මලහත්ඉලව්වයි!!!! ඇයි අනේ ජංගි පොඩ්ඩක් අන්දල තිබුනෙ නැද්ද මූට????

    ReplyDelete
    Replies
    1. අන්න අන්න නොසැලකිල්ලෙන් කියවපු තව එක්කෙනෙක්. :)
      //මම සපත්තු දෙක පයින්ම පාගලා ඇදලා දාලා යට ඇඳුමත් එක්කම ජීන්ස් එක ඇදලා ගලවන්නෙ අධි වේගයෙන්. දැන් ඇ‍ඟේ ඇඳුමකට තියෙන්නෙ මේස් දෙක විතරයි.//

      ලකුණු අඩු කරන්න ඕනෙ.

      Delete
  7. මම මේ කමෙන්ට් එකක් ලියලා ආපහු මැකුවා. ඒක නොකිය ඉම්මු.

    ලිවීමක්‌ වුනාට මේවා ටෙලිකාස්ටින් හැටියට වර්ග කරන්න පුළුවන්.කියවන මන්සුසයට එතන හිටිය වගේ පේනවනේ..

    ReplyDelete
    Replies
    1. මන්සුසයට = මනුස්සයට :)

      Delete
    2. මොකක්ද දන්නෑ ඒ මකපු කමෙන්ට් එකේ තිබ්බෙ? :)
      ඔව් රාමා කියන එක ඇත්ත . මේක ඒ වගෙ වර්තමාන කාලයෙන් තමයි තියෙන්නෙ. කමෙන්ට්‍රි එකක් වගෙ. ඇන්ඩිගෙ හැම කතාවක්ම එහෙමයි රාමා.

      Delete
  8. ඩුඩ් කියල වැඩක් නැ. හිනා කාල පණ යන කතාව. ඒ වගේම මෙහි යටි පෙළත් මාරයි. ඔබ විශිෂ්ඨ ආකාරයට කතාව අනුවර්ථනය කර තියෙනවා.මේ උදාර සද් කාර්යයට අපේ සුබ පැතුම් අපේ ගුරු තුමාට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන්. උඹලගෙ වචන වලින් තමයි මේක ඇදගෙන යන්න මට දිරියක් ලැබෙන්නෙ. මගේ මුල්ම පරිවර්තනය මම නිකම්ම අහම්බෙන් කරපු එකක්.

      Delete
  9. අය්යෝ තව මොනවා හරි වෙන්න තිබුනේ කොල්ලට... :) නියමයි අදත්..

    ReplyDelete
    Replies
    1. හයියෝ, කැරළිකාරි, මූට මේ වුනා මදිද? පව් අප්පා! ඔයා හරි sadist! :D

      Delete
    2. හි...හි.... කොල්ලෝ සම්භන්ධයෙන් එහෙම තමා...

      Delete
  10. නියමයි යාලුව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයිබර් ලංකා.

      Delete
  11. කැරපොතෙක් ගිය දුරක්...!

    //එක දොරක් වැහෙනකොට, තව දොරක් ඇරෙනවා.// අන්තිමට බිස්නස් එකකුත් උනා...!

    ReplyDelete
    Replies
    1. ඇත්ත වීයා. මමත් කැරපොත්තෙක්ගෙන් මෙච්චර වින්දනයක් ලබන්න හිතුවෙවත් නෑ.:D

      Delete
  12. මොනා උනත් ඇන්ඩි ඔළුව කූල් එකේ තියාගෙන දුරදිග බලල වැඩකරන හාදයෙක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම පරිකල්පන, ඇන්ඩිගෙ අපි බලාපොරොත්තු නොවෙන ගති ලක්ෂණ තියෙනවා. මම එක කතාවක් කියෙව්වා Beat the Bomb කියලා බුවාගෙ අමුතුම පැත්තක් ගැන.

      Delete
  13. Replies
    1. ඒ මොකටද කවි කාරි මුට්ටිය බිඳලා බෙල්ල කපන්නද? :D

      Delete
  14. අර චිත්‍රේ... ඒකත් මරු!!! හයියෝ මේකට ටොයිලට් වතුරත් බොන්න වෙලා නේ.. :)
    මං හිතුවේ කොල්ල ජනේලෙන් වැටෙයි කියල.

    ReplyDelete
    Replies
    1. ඇන්ඩියා ජනේලෙන් වැ‍ටුනා නම් බෙල්ලත් කැඩෙනවා. මේ බාත්රූම් එක තියෙන්නෙ උඩ තට්‍ටුවෙනෙ චන්දන. මම මේ ටික ටික කමෙන්ට් දාන්නෙ.
      ටීවී එකේ Captain America බලනවා,
      ප්‍රශ්නපත්තර ලකුණු කරනවා
      උඹලට රිප්ලයි කරනවා. වරින් වර.
      Multi tasking!:D

      Delete
    2. //Multi tasking!// තියන වැඩ ටිකේ හැටියට මේ වචනෙත් හරියන්නේ නැද්ද මන්දා..:)ඇයි අප්පා බ්ලොග් තුනක් නඩත්තු කරන්නයි,ඔය කියපු වැඩ ටික කරන්නයි, අපිට කමන්ට් කරන්නයි,ඒ විතරක් යැ, තව අනිත් දෛනික වැඩ.??. සිරාවටම, තව තව ශක්තිය ලැබේවා!!
      ඔන්න ආයේ මතක් කිරීමක්! ඉඩක් ලැබුනාම මාල දිවයින් ගැන, ජන ජීවිතය ගැන එහෙම ලියමුකො.
      ඒක මතක් වුනේ ප්‍රශ්න පත්තර ලකුණු කරනවා කිව්වම.

      Delete
  15. යකෝ මම කල්පනා කළේ අපිට බොඩි කාලේ වෙච්ච දේවලුත් කොච්චර රහට කියන්න පුළුවන්ද කියලා. ඒත් අපිට බෑනේ බන් උඹ වගේ ලස්සනට ලියන්න. හොහොම හරි ලිව්වයි කියමුකෝ. ඒත් කොහොමද ඔච්චර ලස්සනට අඳින්නේ. නැවත වරක් උඹ නම් පට්ට බන්.

    ReplyDelete
    Replies
    1. හුහ් මගේ චිත්‍ර මීට වඩා ලස්සනයි , තාත්විකයි, සජීවියි !

      Delete
    2. ඇයි තව වෙනී අයියගෙ චිත්‍ර සම්භාව්‍යයයිනේ. කෝ ... මාත් අර කම්මැලිකමේ ඉඳල ඉඳල අන්තිමට පැය දෙකක් කට්ට කාලා ඇඳල එව්ව මූණූ පොඩ්ඩ තාම දැම්මෙ නෑනේ වෙනී අයියා.

      Delete
    3. @මාතලන්: අනිවා මාතලන්. අපිට වෙච්ච දේවලුත් ඔයවගේම රසවත් වෙන්න එපායැ. ඇයි බං උඹ එහෙම කියන්නෙ? උඹ දන්නෙ නැතුවට මාතලං කියන්නෙ බ්ලොග් ලෝකෙ තරුවක්නෙ.
      උඹ ලියල බලහං පොඩි කාලෙ කරපු මැරෑටි වැඩක් දෙකක් වෙලාව අරං, කලබලයක් නැතිව, ලියවෙන්නෙ නැද්ද කියලා බලන්න.

      මචං මට මේ පෝස්ට් එකක් දාගන්න එක ඔච්චර අමාරු මේ චිත්‍ර අඳින්න යන නිසා තමයි. ඇත්තෙන්ම චිත්‍ර අඳින එකෙන් හිතට මාර සතුටක්, තෘප්තියක් දැනෙනවා බං. එතකොට උඹලා ඒවා අගය කරනකොට දැනෙන ෆීලිං එක සල්ලිවලට ගන්න බෑ.

      @වෙනී:නැතුව නැතුව මචං. මම උඹේ චිත්‍ර වල අංක එකේ රසිකයානෙ. උඹ DDTයාගෙ චිත්‍රෙ නැති කරගත්තානම් මේල් වල බලාපං.

      Delete
    4. ඕන් ලිව්වා එකක් ඇවිත් බලපන්කෝ....

      Delete
  16. හෆොයි ! මෙහෙමත් චාටර් වීමක්.

    ඔය බේයින්ස්බ්‍රිජ් ලොක්කට වඩා කොළුවගෙ තාත්තගෙ කට ඇරිලනේ. මගේ නම් හිතේ ඇඳිල තිබුනෙ බේයින්ස්බ්‍රිජ්කාරය පුදුම වෙල බලන්න ඉන්න හැටි, අනිත් චරිත මට මතක් වුනේ නෑ.

    ඒ කාලෙ ලංකාවෙ ඔහොම වැඩක් වුනානම් අර නලිය නලිය තියෙන සට්ටම් දෙකට හොඳවැයින් කෝටුපාර දෙකක් වදිනව, ආයෙ ෆයර් බ්‍රිගේඩ් එකෙන් ඕන නෑ, කොල්ල නිකන්ම එළියට පනිනව.

    මෙහෙම අකරතැබ්බවල් කියවද්දි මතක් වෙන්නෙ අර මවුස්හන්ට් එකේ අයියයි මල්ලියි මීයෙක් නිසා කන චාටරේ.

    ඇන්ඩි ග්‍රීෆිත්ස්ගෙ පොතේ තව කතා ඇති මම හිතන්නෙ අපි නොකියවපු. :)

    ReplyDelete
    Replies
    1. තාත්තගෙ කට ඇරෙන්නෙ නැතුවෑ බං. මේ බේයින්ස්බ්‍රිජ් ලොක්කා තාත්තගෙ බොසා වෙච්චිකොට. අනික මේකාත් එක්ක වැඩ කරන්න කොච්චර අමාරු ඇද්ද කියලා හිතලා බලාපං ඔෆීස් එකේ.

      ඔව් ඒක නම් හොඳ උපක්‍රමයක් තමයි. නමුත් ළමා අයිතිවාසිකම් නිසා දැන් ඒක කරන්න පුලුවන් තැන් හුඟක් අඩුයි.

      ඇත්තෙන්ම DDT කලින් කමෙන්ට් එකේ ඔය ගැන කිව්වාම මම ඇහුවෙ කොහොමද දන්නෙ කියලත්. සෑහෙන දුරකට හරි නේ අනාවැකිය?

      Delete
  17. //එක දොරක් වැහෙනකොට, තව දොරක් ඇරෙනවා.//
    ඒකනෙ අද අපි මේක කියවන්නේ..
    කියවනකොට මැවිල පේනවා.. චිත්‍රෙත් මරු..

    ජය..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බණ්ඩා. "There's a world of opportunity out there"
      කතාව ඇත්ත නේ? :D

      Delete
  18. පවු අප්පා කොල්ලට වෙන්න තිබ්බ හොඳම එක තමයි වෙලා තියෙන්නෙ ! ඒත් ඌ ඇරිච්ච දොරෙන් වැඩක් අරන් තියේ .. ඒත් මදැයි..

    ReplyDelete
    Replies
    1. ඌ ගන්නවා වැඩක්. වැඩේ මූ මීටර් වැඩියි. ඒකයි මේ හුඟක් ප්‍රශ්න වලට මුල.:)

      Delete
  19. උඹේ පරිවර්තනය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දිගටම කරගෙන යන්න කියල විතරයි කියන්න තියෙන්නෙ.

    ඇත්තටම මේ ජාතියෙ කතන්දර වලින් තමයි පුළුවන් සුපිරිම නාට්‍ය-චිත්‍රපටි-කාටූන් වගේ දෙවල් නිර්මාණය කරන්න. මේ ජාතියේ සාහිත්‍ය නිර්මාණ ටිකක් විතර අඩුයි නේද ඩියුඩ්. මම දන්න තරමින් ලංකාවෙ නම් කොහොමටවත් නෑ.

    ඇන්ඩි ඉතා හොඳ ළමයෙක්. ඔහුට තිබුන ඕනනම් කෑම මේසයේදීම කැරපොත්තව පෙන්නන්න. ඒත් හිත හොඳ වැඩිකමට කිසිවෙකුටත් නොපෙනෙන්න ඌ ඉවත්කරන්න යනව. ඊට පස්සෙ විශාල කරදරයකට ලක්වෙලා අපවාද විඳින්නත් සිදුවෙනව. මේ කතාව (වගේම මේවගේ වෙනත් කතා) කියවන්නාට නිතරම හිතෙන දෙයක් තමයි 'අයියෝ අපරාදෙනෙ එහෙම උනේ' වගේ හැඟීමක් ඇතිවීම. අන්න එතන තමයි සුන්දරත්වය තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් අගය කිරීමට වෙනදා වගේම.
      ඔව් මටත් හිතුනා මේවා හරි සිනමැටික් කියලා.

      රාජ් කියන දේට අපේ රයිගම් නම් එක පාරක් උත්තර දීලා තිබ්බා මතකද?
      අපේ ළමා හෝ යොවුන් කතාවලයි මේවායෙයි තියෙන පැහැදිලි වෙනස තමයි මේවායෙ අන්තිමට පැහැදිළි ආදර්ශයක් දෙන්න උත්සාහ කරන්නෙ නැතිකම. මේවා විනෝදාත්මකයි. නිම් මාල වළලු පුලුල් කිරීමක් නෑ බැලූ බැල්මට. කියවීමේ රුචිය ඇති කරනවා. අපේ කතාවල පන්සිල් පද පහෙන් එකක් උලුප්පලා දෙන්න තමයි බොහෝ වෙලාවට හදන්නෙ. එහෙම නැතිනම් ජාතක කතාවක් වගෙ අගට ආදර්ශයක් දෙන්න උත්සාහ කරනවා. (රයිගම උඹට ස්තුතියි මචං උපුටාගැනීමට.)

      කෙසේ හෝ මම මේවගෙ කතාවලට ආසා නිසා මම හිතුවා මගෙ යාලුවොත් මේවට ආසා වෙයි කියලා. බැලුවම ඒ අදහස හරි නේද?

      උඹ ඇන්ඩි ගැන කියන කතාව ඇත්ත. අපිට බැලූ බැල්මට පේන පැත්තට අමතර තවත් පැති හුඟාක් ඇන්ඩියාගෙ තියෙනවා. ඒක වඩා හොඳින් පේන කතාඅවකුත් මම කියෙව්වා. ඒක පස්සෙ දාන්නම්කො.

      Delete
  20. ඩුඩ් අයියේ නියම කතාව. වැඩි හොඳ කරන්න ගියාම වෙන්නේ ඕකලු ඉක්මනට අනෙක් එකත් ලියන්න ගන්න

    ReplyDelete
    Replies
    1. හනේ ඔව් බං ඕනෙවට වඩා අනුන්ගෙ හිත් හදන්න ගියාමත් අමාරුවෙ වැටෙනවා. "මෙන්න කැරපොත්තෙක්!" කිව්වානම් හොඳයි කියලා හිතෙන්නෙනැද්ද දැන්? :D

      Delete
    2. අනිවා මම නම් කරන්නේ එහෙමයි

      Delete
  21. great dude. Now the english version for my word. :Henrylation.". Keep going I think I'm thirsty for that kind of stories.
    @ Mathalan - Well said

    ReplyDelete
  22. ගොඩක් ආසාවෙන් හිටියෙ මේ කතාවෙ ඉතුරු ටිකත් කියවන්න. මේ වගේ තවත් පරිවර්තන කරන්න ඩූඩ් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Chams. වෙලාව ලැබෙන හැටියට කරමු.

      Delete
  23. මම මේ කල්පනා කලේ මිනිහෙක්ට ඔයිට වඩා ලැජ්ජාවක් වෙන්න පුලුවන්ද කියලා...පව් අනේ ඇන්ඩි.... අනික බේර ගත්තයි කියමුකෝ....කොහොමද ගෙදර ගියාම අහන්න වෙන බැනුම් ටික.....

    චිත්‍රෙ වගේම කතාවත් හරිම ලස්සනට ලියල තියෙනවා....තව ඉක්මනටම ආයෙම ලියන්න ඩුඩ්.... :D :D :D

    ReplyDelete
    Replies
    1. ඇන්ඩියාට රෙදි ගැලවෙන වැඩ හරීයට වෙනවා. තික් ස්කින් එකක් තියෙන්නෙ.
      බැණුමට වඩා allowance එක කැපුවාම!

      බොහෝම ස්තුතියි අගය කිරීමට.

      Delete
  24. මම මේ කල්පනා කලේ මිනිහෙක්ට ඔයිට වඩා ලැජ්ජාවක් වෙන්න පුලුවන්ද කියලා...පව් අනේ ඇන්ඩි.... අනික බේර ගත්තයි කියමුකෝ....කොහොමද ගෙදර ගියාම අහන්න වෙන බැනුම් ටික.....

    චිත්‍රෙ වගේම කතාවත් හරිම ලස්සනට ලියල තියෙනවා....තව ඉක්මනටම ආයෙම ලියන්න ඩුඩ්.... :D :D :D

    ReplyDelete
  25. හික්ස්..... මරු කතාව... නියමෙට පරිවර්තනය කරල තියෙනව.... එල.....ස්...... :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සමනළීට.

      Delete
  26. කතාව කියවනකොට, මම එතන හිටියා දැනෙනවා..ඒ කතා රටාවල මහා පුදුම රසයක් තියනවා.... පරිවර්තන සීරිස් එකක් දිගටම ලියමු ඩුඩ් අයියේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි පැතුම්. මට එහෙමම සීරීස් එකක් ලියන්න වෙලාව හොයාගන්න අමාරුයි. ලැබෙන විදියට කොටලා දාන්නම් ස්වනිර්මාණ අතරට. මම නිකම්ම පරිවර්තකයෙක් වෙන්න ආසා නෑ, පැතුම්.

      Delete
  27. මේ ඇන්ඩිය හොඳ වැඩියි බාං ඒකයි ඌට මෙ හැම හෙණ පතයක්ම කඩා පාත් වෙන්නෙ....පව්...

    සලාදෙ කැරපොත්තෙක් නොහිටියනම් ඒකට කැරපොත්තෙක් දාන එකනෙ කරන්ට ඕනෙ......මුගෙ ඕනවට වැඩියි Good samaritan mentality එක :) :)

    ආන්න ඒකට Just William.....මම මේ දවස්වල ආයෙම කියවනව..අන්න පොර...නත්තලට අම්මට තාත්තට තෑගි දෙන්නෙ හොඳට ඔතල ගෙම්බො හැකරැල්ලො කුරුමිණියො...හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. ඔව් බං හිත හොඳ වුනාමත් වෙන දේ උඹට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. හැබැයි හැම තිස්සෙම එහෙම නෙවෙයි. මම එහෙම කියන්නෙ මම මේකගෙ කතා ඔක්කෝම වගෙ කියවලා තියෙන නිසා. මූ සමහර වෙලාවට මහා අපතයා.
      මම ආසම චරිතෙ ටොම් සෝයර්.

      Delete
  28. මේ කොලුවා නේද අර කාර් එකේ එන ගමන් ඒකෙ මැස්සෙක් එක්ක හරඹ කරන්න ගිහිල්ලා එළියට දැම්මෙ... මුගෙ පුංචි මොලේ තාම වැඩිලා නෑ වගේ...

    එක බොගකින් ඇතුල් වෙලා තවත් බොගකින් එළියට යන අලුත්ම තාලේ නව සංකල්පනාව ගැන මට මීට කලින් කථා කරන්න බැරි වුනා... හැබෑටම මේ වගේ සංකල්පනාවක් ආවෙ මොකද...

    හෙන්රි අයියා... මගේ සිත්තරේ වැඩේ....

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා. මූ තමයි කාර් එකෙන් එලියට දැම්මෙ. එතකොට අර ප්ලාස්ටරේ ගලවගන්න ගිහින් ඇහැ ගලවාගත්තෙ තව පොඩ්ඩෙන්.

      මොකක්ද බං එක බොගකින් ඇතුල්වෙලා තව බොගකින් එලියට එන එක? මට බට ලයිට්.

      අනේ සිරා අර වැඩේ අමතක නෑ. මම ඒක කරනවා. මේ දවස් වල විභාගෙ ඩෙඩ් ලයින් තියෙනව, ඒකයි. මට තව පොඩ්ඩක් විස්තර කරනවද. එතන තියෙන්නෙ ඕනෙ ජාති. උඹ කර කර ඉන්න දේ වගෙ. නැතිනම්, උඹ බලි කුරුට්ටක් ඇඳලා එවපං මම ඒ විදියට කරන්න.

      Delete
    2. බොගේ හුටපටේ තමයි... මට හිතෙන හැටි එකෙන් ඇතුල් වෙලා එළියට යන්නෙ මගේ ඩෙනිමෙන්... ඒ ගැන මම කිව්වෙ... මම කටු සටහනක් ගහලා එවන්නම්... ඔබේ විවේකී වෙලාවක කරන්න... හදිස්සියක් නෑ... ප්‍ර‍තිචාරයට නොවක් තුති !

      Delete
  29. කතාවට වඩා ආසයි චිත්‍රෙට . චිත්‍රෙට වඩා ආසයි කතාවට. අනේ ඇත්තමයි රෝල් ඩාල්, ඇන්ඩි වගේ කෙනෙක් ආයෙ ඉඅපදුනොත් ඔයාව ගනියි පොත් වල චිත්‍ර අඳින්න.

    ReplyDelete
    Replies
    1. සිඳු කොහොමත් චිත්‍ර වලට මනාපයිනෙ. මම සිඳුගෙ ටැලන්ට් දැක්කෙ අර චිත්‍ර ප්‍රදර්ශනෙන් ඇන්ඩිගෙ චිත්‍ර ශිල්පියාගෙ නම Terry Denton. දෙන්නා ගජ යාලුවො.

      Delete
  30. චිත්‍ර ඇන්දේ duda මාම ම ද ? ඒ ටික සිරා , පරිවර්තන යත් ඉතා හොදයි පොත් ටිකක් පරිවර්තනය කොරල පබ්ලිෂ් කොර ගත්තොත් මොකෝ ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉමල්ක. මමතුමා තමා. ඒකනෙ බය නැතුව මගෙ හංවඩුව ගහන්නෙ.
      අර වැඩේට වෙලාව හරි හිඟයි ඉමල්ක.

      Delete
  31. හෙහ් හෙහ්. මරු කතාව. නරකද Carl Muller ගේ The Jam Fruit Tree වගේ පරිවර්තනය කලොත්?

    ReplyDelete
    Replies
    1. මුහුදු, Carl Mullerගෙ Jam Fruit Tree, යකඩ යකා හෙම මගෙ ෆේවරිට් පොත් ලැයිස්තුවෙ තියෙන්නෙ. නමුත් ඒවා පරිවර්තනය කරන්න අමාරුයි කුණුහබ්බ ලියනවා කියලා අහගන්නෙ නැතුව. සනාබෝයිව අඳුනනවා නේ? :)

      Delete
  32. හයියෝ අම්මෝ... මේකේ අවසානය මෙහෙම නොවුනානම් තමයි පුදුමේ අප්පා.. හිකිස්‌...
    අනේ මට හිතෙනවා ඩුඩ් ලෑ ගෙදර ඇවිත් මේ වගේ කතා ගොඩාරියක් අහගන්න.... සෝයි අප්පා....
    තව තව ලියමු ඈ....
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්න හරි. මේකෙ අවසානම මෙහෙම නොවුනා නම් තමයි පුදුමෙ.
      හහ්, මම මෙහෙම හිටියට හරි සැරයි. :D
      තව ලියන්නම හෙමිහිට පණු.
      ස්තුතියි ප්‍රාර්ථනාවට. මාත් හරි ආසයි හිනාවෙන්න.

      Delete
  33. සුපිරියි! ඩූඩ් අයියේ සුපිරියි! ඩූඩ් අයියා වගේම කලින් ලේඛකයාත්.. මට හිතුනා ඉංග්‍රීසි කතාව කියවන්ට.

    ReplyDelete
    Replies
    1. ඔව් හරී. මම නෙවෙයි ඇත්තටම පොර. ඇන්ඩි ග්‍රි‍ෆිත්ස්. මම හරිම ආසයි ඒකාගෙ ලියවිල්ලට. මේ හුඟක් කතා සත්‍යය සිද්ධීන් මත පදනම් වෙච්ච ඒවාලු.

      Delete
  34. ඔනෑවට වඩා ආචාරශීලී විමත් වාතයක් නේද.....?

    ReplyDelete
    Replies
    1. ඇණයක් සුමිත්. ඒකනෙ අපි එහෙම නැත්තෙ. හෙහ් හෙහ්

      Delete
  35. හපොයි ඇන්ඩියට වෙච්ච දේ ... !

    පින්තූරෙ එල මචං ... ඇන්ඩියගෙ කක්ක පැත්ත වට්ටක්කා ගෙඩියක් වගේ.

    ReplyDelete
    Replies
    1. පව් නේද බං.
      හැබෑටම උඹ කිව්වට පස්සෙ මම දැක්කෙ. වට්ටක්කා ගෙඩියක් තමයි.

      Delete
  36. පට්ට යාලු...නියමයි....

    ReplyDelete
    Replies
    1. උමාට බොහොම ස්තුතියි.

      Delete
  37. මේක නම් කියලා නිම කරන්න බැරි වටිනා වැඩක්. පේලියෙන් පේලියට ආශාවෙන් කියවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බූරු බබා කිව්වාම රංගිට තරහ යන්නෙ නැත්තෙ ඇයි?
      ස්තුතියි බූරු බබා.

      Delete
    2. well its my pet name. its not that donkey version its simple buru babe.

      Delete
    3. Is it in Italian? Well, babe I understand. What's buru?

      Delete
  38. රෝල් ප්ලග් දෙකකින් නවත්වල තියෙන සිස්ටන් එක උඩ මේ වගේ ඇම්ඩෙක් නැගල හිටියෙ කොහොමද මචං ?මෙම කතාවේ අවසානය [පොතේ ලියල තිබෙන හැටි හින්දද මන්ද ]ඔබ ලියාගෙන ආපු රසවත් භාවය අඩු වෙලා කියලයි මට හිතෙන්නේ.මම මෙහෙම් කියන්නේ කැරපොත්තත් "කුරහන් පාට"හින්දද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි. මචං ඒක නම් ඔරිජිනල් එකේ තිබ්බ විදියමයි. ඔය ක්ලෝස් කපල් ටොයිලට් සිස්ටන් එක බිත්තියට විතරක් නෙවෙයිනෙ හයිවෙලා තියෙන්නෙ. ටොයිලට් බෝල් එකේ පස්ස පැත්ත උඩ හොඳට සෙට් වෙලානෙ තියෙන්නෙ. ඔය මූවීස් වලත් මම දැකලා තියෙනවා ඕක උඩ නගිනවා.
      වැඩේ කියන්නෙ කෙන්ජි, මූවීස් වල තියෙන්නෙ ඔය ටොයිලට්සීට් එකට උඩින් ලිඩ් එක දාලා ඔය අපූරුවට ඉඳගෙන ඉන්නෙ. මමත් මේ අපි ඉන්න ගෙදර ටොයිලට් එකේ ඒ විදියට ඉඳගත්තා ටොයිලට් එක ස්ක්‍රබ් කරන ගමන්. පහ්ක් ගාලා පැලුනනෙ ලිඩ් එක. ඒ මදිවට සීට් එකත් පැලුනා මේ ලඟදි. දැන් එකක් ගෙනත් දාන්න වෙනවා. නමුත් ඔය සමහර හොඳ ප්ලාස්ටික් ඒවා උඩ හිටගන්නත් පුලුවන්.

      Delete
    2. අපේ ගොබිලෙක් ඔය විදිහට පුවක්ගස් ක්‍රමේට නැගලා වැඩේ කරන්න ගිහින් කොමොඩ් එක දෙකට පැලිලා ඌ ඒක උඩට වැටිලා පුකත් හතර බෑයකට පැලිච්චි.. (ඌ නම් කිවුවෙ උගෙ බරට ඒක කැඩුනා කියලයි හැබයි ඒ කතාව පත්තරේට රස මදි හින්දා අපේ උන් ඔහොම හැදුවාද දන්නේ නෑ. ) අනේ පවු ඌ බලන්න ගිය හැම එකාටම හිනාව නතර කරගන්නයි බැරි උනේ ඌ පුක පැත්ත උඩට දාගෙන ඇඳේ බාවලා තියෙනවා දකිනකොට. එතකොට කතාව උගෙන අහනකොටම බකස් ගාල හින යනවා.. පස්සෙ ඌ අමුත්තන්ට ඒම තහනම් කල..

      Delete
    3. හිහ් හිහ්හිහ්
      හරි නරකයි සරත් ඌට හිනා වෙච්චි එක ඈ.
      මගෙ යාලුවෙක් ගර්ල් ෆ්‍රෙන්ඩ්ලගෙ ගෙදර ගිහින් කතාකර කර ඉන්නකොට මාලු ටැංකියට හේත්තුවෙලා මල් කඩන සිහියෙන්. අර වීදුරුව කැඩිලා මූ ඒක උඩ ඉන්දවෙලා ‍රැල් වෙන්න කැපිලා අහවල් ප්‍රදේශය. හයියෝ හරි අමාරුවෙන් බේරා ගත්තෙ.

      ඊට කාලෙකට පස්සෙ මේකා ඇක්සිඩන්ට් එකකින් නැතිවුනා.

      Delete
  39. කියව ගෙන යන කොට මට හිතුනේ මෙය හෙන්රිටම සිදු වූ දෙයක් කියල. ඒත් එක්කම හිතුන ඔබ කෙල්ලක් උනා නම් කොහොමට හිටීද කියලත්. :) අන්තිමටයි දැක්කෙ පරිවර්තනයක් කියල. කියවන්න ආස හිතෙන පරිවර්තනයක්.

    ReplyDelete
    Replies
    1. හප්පා නිහාල් නිතන දුර! Let your imagination run wild කියන්නෙ ඕකටනෙ.
      එහෙම වුනානම් බේයින්ස්බ්‍රිජ් ලොක්කා මොනවා කියයිද දන්නෙ නෑ නේහ්?:D

      Delete
  40. හයියෝ ඇන්ඩි!

    පෙර, "රියට අත ඇල්ලූ මගියා / The Hitchhiker"

    දැන්, "කැරපොත්තා / Cockroach"

    මීළඟට, සිතුවම් පෙළ සමඟ "Beat the Bomb"

    ReplyDelete
    Replies
    1. ම්ම්..
      ඉස්සෙල්ලම දැන් ලඟයිද තාත්තෙ/Are We There Yet?
      ඊලඟට ප්ලාස්ටරේ / Band Aid
      දැන් කැරපොත්තා / Cockroach
      ඊ ලඟට Beat The Bomb????

      ඇත්තට? :D

      The Hitchhiker, Roald Dahlගෙ.
      ස්තුතියි අකමා.

      Delete
    2. හයියෝ......

      ඔක්කොම දාලා නෑ නොවැ. සොරි ඈ.

      Delete
  41. දවස් ගානකට පස්සෙ ගෙදර ආවා විතරයි..අයියෝ ඩූඩ්...මේකනම් නියමයි..මට හිතෙන්නෙ මුල් කතාවට වඩා ඩූඩ්ගෙ පරිවර්ථනය උපරිම ඇති කියලා..

    ReplyDelete
    Replies
    1. කොහෙද ළිහිණි ගියේ? අක්කා බලන්න ගියාවත්ද? දැන් ඔලුවෙ බැන්ඩේජ් ගලවලාද?

      මම ඒත් කල්පනා කලා මොකද මේ පැත්තෙ නාවෙ කියලා.

      Delete
  42. අය්යෝ පව් කොලුවා ජනේලේ හිර වෙලානේ... මුගේ කතා මාර ලස්සනයි බං දගයා කාර්ටුන් එක මතක් වෙන්නේ...

    The Hitchhiker වගේ කතා නැද්ද බං... අන්තිම වෙනකන් මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි (කුතුහලය ඇතිවෙන කතා )

    ReplyDelete
    Replies
    1. මේකනෙ බං චමී, ඔය කතා තරමක් කෙටි වෙන්නත් ඕනෙ කෑලි දෙකකින් වත් දාන්න.

      ඔයවගෙ කතාවලට ප්‍රසිද්ධ රෝල් ඩාල් තමයි. නමුත් අපේ බ්ලොග් යාලුවොමයි කිව්වෙ රෝල් ඩාල්ගෙ කතා වෙන කවුද සිංහලට පරිවර්තනය කරපු පොත් ලංකාවෙ තියෙනවයි කියලා. කිසිම කෙනෙක් ඇන්ඩි ග්‍රි‍ෆිත්ස්ගෙ පරිවර්තන කියවලා නැති බවයි මම දැනගත්තෙ.

      Delete
  43. පලවෙනි කොටස නිදිමතේම කියවලා එක උනා. දෙවන කොටසනම් දැනුයි කියෙව්වේ පහු ගිය දවස්වල අන්තර්ජාලය නෑ ටීවී නෑ ටෙලිෆෝන් නෑ අකුනක් ගහලා කෙලවෙලා.
    …අදත් ලස්සනට පරිවර්තනය කරලා. චිත්‍රයනම් කියන්න වචන නෑ ලංකාවේ අපේ මෝස්තරේටම ඇඳලා තියනවා

    … …..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. හප්පා. ඉතින් දැන් මොකද කර ගත්තෙ ජෝනා. අහා උඹ අර පියෝ ටීවී, ඉන්ටනෙට් කනෙක්ෂන් එක පාවිච්චි කරන්නෙ නේද?

      ඇඳපු චිත්‍රයක් ගැන අනිත් අයගෙ අදහස් දැනගන්න එක තමයි වටිනාම දේ. ස්තුතියි ජෝනා.

      Delete
  44. හෙන්රි මේ කතාවේ කතා නායකයා නම් අර ඩොන් ක්වික්ශොට් ඩි ලා මන්චා වගේ .. ඇයි යකෝ ඌ ඔලුවෙ හිටි කැරපොත්තා එලියට දාන්නාතින් නොගහා කොමොඩ් එක ඇතුලට ඔලුව දානවා නෙව. හරියටම අර හෙජින් ඩීල් එක වගෙයි..
    අපේ ඔබා හිටියනම් හොඳ එකක් කියාවි මේකට..

    ReplyDelete
    Replies
    1. පොරත් ඔයවගෙ වැඩ තමයි කරන්නෙ නේ. මම ඉස්සර කියවලා තියෙනවා පොරගෙ වික්‍රම.

      ඔය ටොයිලට් එක ගැන ඇටිටියුඩ් එක අපෙයි බටහිරයන්ගෙයි වෙනස්. අපි අතින් ටොයිලට් එකේ වතුර හෙම හැලෙන නිසාද මන් දන්නෙ නෑ එහෙම වෙන්නෙ. අරුන්ගෙ ටොයිලට් ෆ්ලෝ එක හැමතිස්සෙම හොඳටම වියලියිනෙ කඩදාසි පාවිච්චිය හෙම නිසා.

      දැකලා නැද්ද ඔය මූවීස් වල මුච් ටොයීලට් එක බදාගෙන ඒක ඇතිලට මූණ ඔබාගෙන් වමනෙ දාලා ඊ ලඟට ගැට්ටට ඔලුව තියාගෙන රෙස්ට් කරනවා. :D

      Delete
  45. ෆටේ ෆට්ට ඩූඩ් අයියේ... කැරපොත්තෙක් කළ හරියක්.. මුලින්ම දැක්ක වෙලාවේ කියලා දැම්ම නම් ඉවරයිනේ...

    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මල්සරා. හැබැයි එහෙම කලානම් අපිටයි පාඩු නැද්ද?
      හැබැයි අනිවා මුගෙ පෙර වැරදි හන්දා තාත්තත් හිතනවා ඒකව මූ දැම්මෙ කියලා.

      Delete
  46. සැක් මට පේන්නම බැරි සතෙක් කල මඟුලක්....

    ReplyDelete
    Replies
    1. කැරපොත්තාව පේන්න පුලුවන් මිනිස්සු හරි අඩුයිනෙ තරුවා.
      මම දැනුවත්ව ඉන්නෙ අර රවියා විතරයි.
      අර කැරපොත්තා එක කොටසෙ රවියාගෙ කමෙන්ට් එක බලාපං. හෙහ් හෙහ්. :D

      Delete
  47. හපොයි..හොඳටම හිනාවුනා..සිත්තරේ නම් හරිම අපූරුයි..

    ඇයි උපමා ටික ඊට එහා..

    ඊළඟ කතාව කවද්දෝ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ. සිත්තරේ කීප විදියකට හිතෙන් මවාගෙන, අන්තිමට හිතුනා ඔය ඈන්ගල් එක තමයි හොඳම කියලා. කිසි අප්සෙට් එකක් නෑනෙ සභ්‍යත්වයට හෝ සංස්කෘතියට. :D

      ඊ ලඟ කතාව බලමු ඈ.

      Delete
  48. මදැයි කරපොත්තෙක් නිසා වෙච්චි දේ? :)
    කතාව නම් සුපිරි සර් කතා රසයේ කිසි අඩු පාඩුවක් නැතිව එක ගානට පරිවර්තනය කරලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන්.
      අර රහස් පරීක්ෂක කතාවත් නැගලා යයි වාගෙ නේද?

      Delete
  49. මරු !
    මමත් හිතුවෙ ඩූඩාට වෙච්චි අකරතැබ්බයක් කියලා... ඒ තරම් සජීවියි....
    තව ලියන්න... ආසයි කියවන්න....

    ReplyDelete
    Replies
    1. මටත් වෙනවා එක එක අකරතැබ්බ. ඔය මම ලියන්නෙ බ්ලොගේ.
      ඇයි ඇල්ට වෙන එව්වා නොලියන්නෙ වෙනසකටත් එක්ක? :D

      Delete
  50. වෙලාවට ඕක වුනු රටේ ලයිව් ඇට් එයිට්, අටපට්ටම එහෙම තිබුනේ නැත්තේ.. දැන් කොල්ලට මොකද වුනේ ? ගිනිනිවන හමුදාවක් එනකම් ඒකා හිරවෙලාද තාම?

    // මම ටොයිලට් එක ලඟ දණ ගහගන්නවා. පියන අරිනවා, සීට් එකත් එක්කම. ඊට පස්සෙ දෑතින්ම ටොයිලට් එක අල්ලගෙන, ඔලුව ටික ටික පාත් කරනවා බෝල් එක ඇතුලට// - මේක දැක්කාම නම් මට මැවිලා පෙනුනේ කොලඹ සන්නිය චිත්‍රපටියේ අර ජෝ අබේවික්‍රම මහත්තයා ඉන්න ජවනිකාවක්. ඩූඩ් ඒක බලලා තියනවද?

    ReplyDelete
    Replies
    1. මෙහෙත් එහෙම තියෙනවා තොටියා. ඒකනෙ මූ ඒවයෙ ප්‍රකාශන අයිතියවත් ලබාගන්න එක ගැන හීන මවන්නෙ පොකට් මනි වලට හිලව් වෙන්න.

      මම කොළඹ සන්නිය බැලුවා ඉස්සර ටීවී එකේ පෙන්නනකොට. ඒකත් පිස්සු ලෝකයක් නේ?

      දැන් ඔය නිවාඩුවට ගෙදර ඇවිත් ආපහු ගිහින්ද ඉන්නෙ තොටියාස්?

      Delete
    2. යා යා... බ්ලොග්වල කමෙන්ට් වැටෙන ශීඝ්‍රතාවයෙන් මගේ ලොකේෂක් එකත් කියන්න පුළුවන් වගේ :P

      Delete
  51. මේ ටිකේ බ්ලොග් මිස් වෙනවා හිටු කියලා. ඒත් ප්‍රමාදය පසුතැවීමට හේතු නොවේ කියන්නේ මෙහෙම වෙලාවට තමා. :)

    ReplyDelete
    Replies
    1. "උපාය දන්නෝ අපායේ නොවැටෙති", "කම්මැලියාට දිවැස් තිබේ" වගේ යෙදුම් බර ගානක් තියෙනවා ඕකට :D
      දැන් ගෙදර ඇවිත්ද ඉන්නෙ ඇලෙක්ස්?

      Delete
  52. මෙයා ගාව හිටියොත් ඉතිං අනික් අය අමාරුවෙ වැටෙනවා ෂුවර් එකටම,මොකද මොනවා හරි අණ්ඩපාල වැඩක් කරනවානේ අනිවාර්යෙන්ම.

    ReplyDelete
    Replies
    1. මම නම් මූ ලඟ ඉන්නෙ හෙල්මට්, ලයිෆ් ජැකට් හෙම ඇඳලා.

      Delete
  53. මේක මම කියවල නෑනෙ බොල.
    අපරාදෙ ඇන්ඩිය අර කැරපොත්තට පිඟානෙ ඉන්න දෙන්නෙ නැතුව අහක යන කැරපොත්තොනෙ රෙද්ද අස්සෙ දාගෙන තියෙන්නෙ. කොහොම උනත් කතාවනං නියමයි.
    ඒ වගෙම චිත්‍රෙත් උපරිමයි.

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>