Monday, February 4, 2013

42. අඩෝ උඹ චන්ඩියෙක්ද ඩෝ?


එදා තමයි මගේ පුංචි මස්සිනා එක්සත් රාජධානියේ  'සෑන්ඩ්හර්ස්ට් රාජකීය යුධ හමුදා අකැඩමියට' පිටත් වෙලා ගියේ. ඉතින් අපි නෑදෑයෝ පිරිසම ක‍ටුනායක යන්න ලේසි වෙන්න බො‍රැල්ලේ සර්පන්ටයින් තට්‍ටු නිවාසවල පදිංචිව හිටපු අනිත් මස්සිනාගේ ගෙදර තමයි ‍රැස් වෙලා හිටියේ.

මෙම ලිපිය WordPress වලින් කියවන්න මෙතන ඔබන්න.

ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ 'ඕවල් එක' කියලා හැඳුන්වූ නමුත්, පස්සෙ කාලෙකදි ඊට වඩා කට උල් කරලා කියන්න 'සරවනමුත්තු' කියලා නම වෙනස් කරපු ක්‍රීඩාංගනයෙ, එදා එක්තරා ඉස්කෝල දෙකක ක්‍රිකට් තරඟයක් තිබුනා. ආදි ශිෂ්‍යයෝ අල්ලපු වත්තෙ තියෙන සර්පන්ටයින් නිවාස බිමේ තැන තැන වාහන නවත්තාගෙන කරටි කැඩෙන්න අනුමත වෙමින් හිටියා.

අපි තුන්දෙනා ගිහින් හිටිය මෝටර් සයිකලය, මම මචං කාරයගෙ තට්‍ටු නිවාසෙ තිබුන බ්ලොක් එකේ පාතම තට්‍ටුවේ පඩි පෙල යට නවත්තලා තිබුනේ වැඩි ආරක්ෂාවට. වරින් වර එහෙ මෙහෙ දුවන්න මම මෝටර් සයිකලය ගන්න එන ගානේ, අර ආදි ශිෂ්‍යයො කවුරු හරි ඒක උඩ ඉඳගෙන, වීදුරුවක් අතින් ගෙන, බයිට් හපමින් හිටියා. මම ලඟට ගියාම, "ඔයාගෙද බයික් එක? සොරි ආ!" කියලා බැහැලා අයින් වුනා. ටිකක් හවස් වෙන්න වෙන්න. "අඩේ උඹේද මචං බයික් එක, ෂොරි ඈ!" දක්වාත්, අන්තිමේදි, "ඒයි මචං. වරෙං ෂොට් එකක් දාමු," දක්වාත් දියුණු වුනා.

රෑ ක‍ටුනායකට යන්න අපි වාහනවලට නගිද්දීත්  අතන මෙතන 'පාටි කොට' දකින්නට ලැබුනා. තවමත් පඩි පෙල යට තිබූ මෝටර් සයිකලය ලඟ, කන් සාක්කුවේ දමාගත් එකා දෙන්නා වැනි වැනී හිටියා.

කොහොම හරි, පුංචි මස්සිනාට සමු දීලා අපි කට්ටිය ආපහු බො‍රැල්ලට ආවේ මධ්‍යම රාත්‍රිය පහු වෙලා. සර්පන්ටයින් තට්‍ටු නිවාසවලට ගිහින් තියෙන කෙනෙක් නම් දන්නවා ඇති ඒවා  ප්‍රමාණයෙන්
කොච්චර කුඩාද කියලා. මමත් එහෙ ගියාම එලියට බහින කල් පුදුම අපහසුවකින් ඉන්නෙ. ඉතින් කොහොමත් පවුලේ කට්ටිය ඔක්කොටම නිදාගන්න නම් එහෙ ඉඩ නොතිබුන නිසා, අපි තුන් දෙනා ඒ රෑම මෝටර් සයිකලයෙ නැගලා ගෙදර ආවා.

ඔව්, ඔව්. බයික් එක පඩි පෙල යට යහතින් තිබුනා.

ඒ තවත් දිනයක්. අපේ ගේ ලඟම ඇති බස් නැවතුම් පොලේ  සිටි මම බසයක් ඈත  වංගුවෙන් මතුවෙන තුරු බලාගෙනයි හිටියේ. සාමාන්‍යයෙන් බසයේ හඬ මුලින්ම ඇසෙන නිසා කනුත් ඒ දිහාට යොමාගෙනයි
මම හිටියේ. හරියටම රේසිං කාරයක් එකක් එනවා වැනි හඬක් වංගුව පැත්තෙන් ඇහුන නිසා මම තවත් උනන්දුවෙන් ඒ දිහා බැලුවා. පැයට කිලෝමීටර් සීයක හෝ වැඩි වේගයකින් වංගුවෙන් මතුවූ පික් අප් රථය දු‍ටු විටම එය පොලීසියේ අලුත් නහරකාර OIC මේ දිනවල පදවන රිය බවට මම හඳුනා ගත්තා. වේගයෙන් මේ වංගුව ගන්නේ කොහොමදැයි මගේ හිතට නැගුන පළමු සිතුවිල්ලයි. එම සිතුවිල්ලම සිතට නැගුනු රියැදුරාත් බ්‍රේක් පෙඩලය මත නගින්න ඇති.
තිරිංග අගුල් වැ‍ටුනා.  රබර් ටයර  තාර පාරේ ඇතිල්ලෙමින්, කලු දුමක් සමග වාහනය රවුම් කීපයක් පාරේ බඹරයක් මෙන් අධි වේගයෙන් කර කැවෙමින්, වංගුවේ ඇතුල් පැත්තේ වූ පොදු නාන ලිඳ වෙත ඇදී ගියා. මග තිබූ පොල් ගසේ වැදීමෙන් අවසාන මොහොතේ ලිං බැම්මේ නොගැටී නතර වුනු පිකප් රිය දූවිලි වලාව නිසා මොහොතකට නොපෙනී ගියා.

මොහොතකින් රිය නැවත පණ ගැන්වූ රියැදුරා, දූවිලි වලාවෙන් මහ පාරට අධි වේගයෙන් පසු පසට ධාවනය කලා. නැවතත් පාරට වන් රථය පෙරටත් වඩා වේගයෙන් ගමනාරම්භ කරමින් මා දෙසට ආවා. මම වහාම පාරෙනුත් ඉවතට පැන්නේ දෙවරක් නොහිතා. ඇත්තෙන්ම මේ සිද්ධිය දු‍ටුවේ මා පමණයි. පිකප් එක මා පහු කරනවිට, OIC නහරයා රියැදුරු අසුනේ සිට මා දෙස ඔරවා ගෙන ගියේ හරියටම ඒ මම කල වැ‍රැද්දක් වගේ.

"හොඳ වෙලාවට පාරේ වෙන වාහනයක් ආවේ නැත්තේ. යකෝ පොලීසියේ උන් මෙහෙමනම් වාහන එලවන්නෙ..." මම මටම කියාගත්තා.

ඒ අපි නැගෙනහිර පළාතේ දුෂ්කර සෙවා කට්ට කාලා කාලා නොවිඳිනා දුක් විඳලා යන්තම් ආපහු ගෙදර වන බස්නාහිර පළාතට ආපු ගමන්මයි. ගමේ වුනත් මහ ගෙදර ඉන්න ප්‍රතික්ෂේප කරපු අපි, ගමේම කුළියට ගෙයක් සොයමින් හිටියේ.

ඈතින් අක්කා කෙනෙක් වන, ඊටත් වඩා පවුලේ හිතවතියක්  වන, ගමේ පොලීසියේ වැඩ කරපු උප පොලිස් පරීක්ෂක වරියක් කුළියට දීමට ඇති ගෙයක් ගැන දන්න බව මට දැන ගන්න ලැබුණ නිසා, ඊට දින කීපයකට පසු මම පොලීසියට ගියා. මෝටර් සයිකලය  පොලීසිය මිඳුලේ ගහක් යට නතර කල මම පොලීසිය ඇතුලට ගොස් අක්කා සමග කතා කලා.

පොලිසියේ ඇගේ මේසය අවට හිටි අනිත් නිළධාරීන්ටත් මාව හඳුන්වාදුන් අක්කා, ඔවුන් දන්නා කුලී ගෙවල් ගැනත් විපරම් කලා.

ටිකකින් කතාව නිමකල මම පොලීසියෙන් එලියට ආවා.

එතකොටමයි කොහේදෝ සිට ඉගිලී ආ නහරයා මහා හඬින් තිරිංග යොදමින් පිකප් රිය පොලීසිය මිදුලේ නතරකර එලියට බැස්සේ. නහරයා පොලීසිය දෙසට යද්දී මම මගේ බයිසිකලය දෙසට ඇවිදගෙන ගියේ මගේ සුපුරුදු ගමනින්. මගේ ඇස් මානයේ සිටි පොලිස් පොඩ්ඩන් සීරුවෙන් සිටගත් බවත් මහ ජනතාවගෙන් වැඩි දෙනෙක්ගෙ කොඳු හදිසියේ පණ නැති වී, බෙලි ඇලවී අත් නිකට වෙත හෝ හිස් මුදුන වෙත ගමන් කර, මුහුණට නෝන්ජල් බයාදු පෙනුමක් ආ බවත් මම දැක්කා. 




 

මෝටර් සයිකලයේ හැඬලය මත තිබූ හෙල්මට් එක හිසට දමාගත් මම එහි ගාංචුව සවි කරනා අතරතුර ඇසුනු කටහඬින් මගේ දෑස් පොලීසියේ ආලින්දය වෙත යොමු වුනා.

"ඒයි, අඩෝ! මොකද උඹ ඔය නිකං චන්ඩියා වගේ හිටගෙන ඉන්නෙ?"

නහරයා බලාගෙන හිටියේ මා දිහා උනත්, සැක හැර ගන්න මම ඔලුවා හරවලා පි‍ටුපසත් බැලුවා.

"අඩෝ උඹට තමයි කිව්වෙ. ඔය චන්ඩියා වගේ හිටගෙන ඉන්න එකාට."

මම කිසිවක් නොකියා හෙල්මට් ගාංචුව තද කර ගත්තා.

"ඒයි, කවුද බං අරූ?" යි ලඟ සිටි පොලිස් පොඩ්ඩාගෙන් අසමින්   OIC  මා වෙත ආවා.

"මොකටද උඹ ආවේ?"

ඉඳුරන් පාලනය කරගත් මම,

"මම ආවේ අර WSI 'අහවලී' හම්බවෙන්න ගෙයක් ගැන දැනගන්න."

"උඹ චන්ඩියෙක්ද? මට ඒ වගේ පේන්නෙ උඹ හිටගෙන ඉන්න විදියට?

"මම ගුරුවරයෙක්. මම සාමාන්‍යයෙන් හිටගන්න විදියට තමයි මම  මේ හිටගෙන ඉන්නෙ"

එතකොටම පොලීසියෙන් එලියට ආ  අක්කා ඉදිරිපත් වුනා.

"සර් මේ මගෙ මල්ලි කෙනෙක්. මාව හම්බවෙන්නයි ආවේ."

"ආ තමුසෙගෙ මල්ලි කෙනෙක්ද? මෑන් නිකං හිතට අරං චන්ඩියා වගේ හිටගෙන හිටියේ, ඒකයි මට ඇල්ලුවේ නැත්තෙ."

"මම හිට ගන්නෙ එහෙම තමයි කොහොමත්." මමත් කිව්වා

"ආ එහෙමද? ගන්නවා බලන්න තමුසෙගෙ ලිය කියවිලි."

මම දුන් ලියකියවිලි ඒ මේ අතට හරවා බැලුවත් වරදක් සොයා ගන්නට බැරිවුන පොලිස් ලොක්කා, මෝටර් සයිකලය වටේ රවුමක් ගියා.

"අහ් මේ තියෙන්නෙ!" පසුපස අංක තහඩුව ලඟ නැවතුන ලොක්කා ජයග්‍රාහී ලීලාවෙන් ගෙරෙව්වා. මමත් ඒ දිහා බැලුවා. ඊයේ වෙනතුරු අගේට තිබුන අංක තහඩුවේ පොඩි කෑල්ලක් අතුරුදහන්වෙලා තිබුනේ අංකයකින් බාගෙකුත් එක්ක.

මේක වෙලා තියෙන්නෙ අර
මෝටර් සයිකලය ලඟ අනුමත වෙමින්  හිටපු ආදි ශිෂයයෝ අතින්.

"දැන් මොකද කියන්නෙ?" ලොක්ක කට කොනක නලියන සමච්චල් හිනාවත් එක්ක මගෙන් ඇහුවා.

"ඕක වෙලා තියෙන්නෙ ඊයේ රෑ. බිග් මැච් එක වෙලාවේ..."

මගෙ විස්තරය පොලිස් චන්ඩියාගේ කිසිම ආකල්පමය වෙනසක් වෙනසක් කලේ නෑ.

"හරි. ගන්නවා මෙයාගෙ ලයිසන් එක. අරන් ටෙම්පරරි එකක් ලියලා දෙනවා." ලොක්කා ලඟ හිටපු අක්කා අතටම රියැදුරු බලපත්‍රය දුන්නා. "මේක  ලුමිනස් වලින් හදාගෙන ඇවිත් පෙන්නුවෙ නැත්නම් නඩු දානවා."

මම ගෙදර ආවේ කේන්තියෙන් වෙව්ලමින්. මට ඒ වෙලාවෙ කරන්න දෙයක් නොමැති කමෙන් මට දැනුනෙ පුදුම අසරණකමක්. මම තුන්වෙනි ලෝකයේ රටක කොන්ද පණ නැති නිව‍ටුන් ‍රැලක් මැද ඉපදීම ගැන මටම සාප කරගත්තා. ඇත්තෙන්ම මේ කාලකන්ණියා මට චෝදනා කලේ සමාජයේ වරද නිසා. කොඳු පණ නැති, කකුල් වෙවුලන, ඔලුව කසමින් විරිත්තන  නිව‍ටුන් අතර, සෘජුව හිටගෙන, හිස කෙලින් තියාගෙන හිටි මා කැපිලා පෙනුන නිසයි මේ හිත් වේදනාව.

පස්සෙ මම අංක තහඩුව හදාගෙන ගිහින් පෙන්නලා, මගේ රියැදුරු බලපත්‍රය ගන්නා විට  අක්කාත් කිව්වේ මූ මහා තිරිසනෙක් බව. ඒ වගේම කිසි කෙනෙක් මේකාගේ ක්‍රියාකලාපය අනුමත නොකලත්, කරන්න දෙයක් නැති කමින් නිහඬව ඉන්න බව.

ඇත්තෙන්ම මේකා සමග රාජකාරි කරන මේ මිනිස්සුන්ට කොයි තරම් පීඩනයක් ඇතිද කියලා මට පස්සෙ කල්පනා වුනා.

එදාම මේ කාලකන්ණියා  මගේ හිට් ලිස්ට් එකේ ඉහලම ස්ථානයට ගමන් කලා. දැන් වරදවා තේරුම් ගන්න එපා. හිට් ලිස්ට් එකෙන් අදහස් වෙන්නෙ වෙඩි තබා මරා දැමීම හෝ වෙනත් වද බන්ධනයකට ලක් කිරීම නෙවෙයි.  කාලයාගේ ඇවෑමෙන් සංශෝධනය වූ වද දීම් වලින්,  "අදාල  '@#$% *&'  වතුර ටිකක් ඉල්ලමින් පාරේ වැටිලා හිටියොත්, කානුවට වැටෙන්නෙ පුකට පයින් ගහලා මගේ ගමන යාම" තමයි ඌට දැන් ලැබෙන ලොකුම දඬුවම. මේ හිට් ලිස්ට් එකේ ගුරුවරුන්, පොලිස් කාරයන්, පිරිස් කළමනාකරුවන් විතරක් නෙවෙයි, මාව සපා කෑ බල්ලන් දෙතුන් දෙනෙක් හිටියා.. සමහරු ප්‍රමුඛතාවයෙන් පහලට ගමන් කරලා ලැයිස්තුවෙන් අයිනුත් වුනා. නමුත් අලුතෙන් කට්ටියත් ඇතුල් වෙනවා. ඒත් මේකා තවම ඉන්නෙ මුදුනේ.

ප ලි. එදා සෑන්ඩ්හර්ස්ට් ගිය,  කිසිදා තම නිලයෙන් හිස උදුම්මා නොගත් මා දැක ඇති අන්තිම නිහතමානී එකෙක් වූ පුංචි වීරයා, මගේ මස්සිනා, උතුරේදී දිවි පිදුවේ ඔහු මෙහෙයවා ජයග්‍රහණය කල තවත් මෙහෙයුමක් අවසානයේ, ඔහු ගමන් කල සන්නද්ධ රථයෙන් armored car එලියට පැමිණි විට,  වෙඩි නොවදින කෙව්ලාර් ජැකට්‍ටුව පවා  ඇඳ සිටියදීත්, ගෙල තුලින් ඇතුලු වී පපුව පසාරු කරගෙන ගිය අවාසනාවන්ත ස්නයිපර් උණ්ඩයකින්.

මේ අදාල නහරයා දැන් උගේ හොඳ යාලුවෙක් බව මගේ හිතවතෙක් මේ මෑතකදිත් කීවේ මගේ හිත රිදවමින්.

කාලකන්ණියා යහතින් සිටියදී හොඳ මිනිසුන් දුක් විඳ මියයාම, මා අදහන ආගමේ කර්මය ලෙසත්, මා නො අදහන අනිත් මැවුම්කාර ආගම්වල දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙසත් අර්ථ දැක්වුවත්, ඒ පිළිතුරු දෙකම ගැන මට නම් කිසිදා සෑහීමට පත් වෙන්න බැරි වුනා.

කෙසේ හෝ මේ කොඳු පණ නැති නිවට කම් අපේ සමාජයෙන් තුරන් කිරීමට නම් අපි සියල්ලන්ටම යම් භූමිකාවක් තියෙනවා.

සේවයක් ලබා ගැනීමට කොඳු නවමින්, හිස කසමින්,  දණ්ඩ නමස්කාර කරමින් සර් කියමින් පස්සෙන් යෑම ලැජ්ජා සහගත දෙයක් වගේම සේවයක් ලබා දීමට තමන් වෙත එන ජනයාගෙන එවැනි කොඳු නැවීම්, හිස කැසීම්, දණ්ඩ නමස්කාර කිරීම්, සර්/මැඩම් කීම්, බලාපොරොත්තු වීමද ලැජ්ජා සහගත දෙයක්.

ඔබ පොලිස් නිලධාරියෙක් වුවත්, ආයතන ප්‍රධානියෙක් වුවත්, ගුරුවරයෙක් වුවත්, කාර්‍යාලයක ලිපිකරුවෙක් වුවත් ඔබත් අපේම සමාජයේ කොටසක්.   නිවට නොවන අභිමානවත් මිනිසුන්ගෙන් යුත් සමාජයක ජීවත් වීමට මා මෙන්ම ඔබත් කැමතිනම් ඔබටත් ඒ ගැන යමක් කල හැකියි. 


තමන් ගැන හීනමානයක් තියාගන්න එපා. අනිකාගේ හීනමානය වර්ධනය කරන වැඩ කරන්න හෝ හීනමානය අනුබල දෙන්නත් එපා. අපි හැමදෙනාම යම් වටිනාකමක් තියෙන මිනිස්සු බව හැම විටම මතක තියාගන්න.

මේ දේවල් එකින් එක ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා නොදුන්නත්, මේ නිදහස් දිනයේදී ඔබම සිතා බලන්න මෙයට දායක වන්නේ කොයි අයුරින්ද  යන වග.


 

127 comments:

  1. තමන්ගේ ව්ඇඩ කොටස හරියට කරනවනම් මිනිසත්කා තියෙනවා නම් ගෞරවය නිකම්ම හම්බෙනවා. එහෙම නායකත්ව ගති නැති,වැඩකොටස හරියට කරන්නෙ නැති හීනමානයකින් පෙලෙන උන් තමයි නිලය බලය තාඩන පීඩන දීලා බලෙන් ගෞරවය ලබා ගන්න හදන්නේ.
    අපේ ඉස්කෝලෙ සමහර ගුරුවරු හිටියා කවහාවත් අපි පිටිපස්සෙන් විහිලු කරන්නෙ නැති. ඒ අපි ඇත්තටම ගරු කරන හින්දා. තව සමහරු හිටියා පංතියෙන් යනකම් ඉඳලා කියුම් කියපු. තමන් වපුරන දේ තමයි නෙලා ගන්න වෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සාබිත්. ඒක එහෙම වෙනවා නම් හොඳයි. නමුත් අනුන් වපුරපු දේ මට නෙලාගන්න වුන එකයි දුක.

      Delete
  2. හිතන්ඩ යමක් තියන නිදහස් දින පණිවිඩයක් ඩූඩ්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, සෙන්නා.

      Delete
  3. එවන් තිරිසනුන් අප සමාජයෙ කොතනත් සිටී.
    ඔබ දුන් පනිවිඩයත්, අවවාදයත් ඉතාම වටිනව.
    අපේ වැරදිත් හදාගෙන සැබෑ නිදහස අත්විදිමු එහෙනම්.

    ReplyDelete
    Replies
    1. හොඳම හොඳ අධිශ්ඨානයක් දේෂ්.

      Delete
  4. මචං ඩූඩ්,
    මමත් අකමැතිම දේ තමයි ඔය ලොකු ලොක්කන්ට සර් කියන එක.... මම කාටවත් සර් කියන්නෙ නෑ... මම සර් කියන්නෙ මට උගන්නපු මිනිස්සුන්ට විතරයි... මම කොච්චර ඉහළට ගියත් මට ඒ කාලෙ දහම්පාසැලේ උගන්නපු මනුස්සයටත් මම තවම කතා කරන්නෙ සර් කියලා... නමුත්, රාජකාරියෙන් ඉහළට ගිහිපු කාටවත් මම සර් කියලා කතා කරන්නෙ නෑ...
    ඒ වගේම මම කියලා තියෙන්නෙ මම උගන්නපු උන්ටත් මට තවම නයිට් පදවියක් ලැබිලා නෑ කියලා... නමුත්, ලංකාවෙ තියෙන යටත්විජිත මානසිකත්‍වය නිසා හැම බල්ලටම සර් කියන්න වෙනවා...
    කියවන්න වටින, තේරුම් ගන්න මනසක් ඇති අයට තේරුම් ගන්න වටින ලිපියක්....
    හැබැයි ඉතිං අන්තිම ඡේද කීපය කියවන කොට මට හිතෙන්නෙ නං අර බේබද්දා කිව්වා වගේ බුදු වෙන්න ඕන එවුන් කුරුසියේ තියලා ඇණ ගහලා කුරුසියේ ඇණ ගහන්න ඕන එවුන් බුදු වෙන යුගයක් මේක...

    ReplyDelete
    Replies
    1. අපේ, ඉන්දියාවේ හෙම තාම තියෙන ඒ යටත් විජිතවාදී මානසිකත්වය අපේ උන් අඩු නැතුවම නූපන් පරම්පරාවටත් දේවි.
      ඔය බේබද්දො කියන සමහර දේවල් වල මාර ජීවන දර්ශනයක් තියෙනවා මචං.

      Delete
  5. මම මේ ගැන මොකුත්ම නොකියා ඉන්න එක හොඳයි නේද මචෝ?

    ReplyDelete
  6. මම 2013 පෙබරවාරි 04 වන අද දින අපේ රටේ නිදහස සැමරීම සඳහා අළුත් වැඩක් පටන් ගත්තා. එයට ඔබ සැමගේම සහයෝගය ඉතසිතින් ලැබෙන බව මට සහතිකයි.

    එයයි මගේ ශක්තිය!

    http://530661504v.blogspot.com/ බලන්න.

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ ගියා. නමුත් මේ පෙබරවාරි 13යැ බං?
      උඹ ඒ කමෙන්ට් වලට උත්තර දෙන්න හෙම අදහසක් නැද්ද?

      Delete
  7. ඔය වගේ කාලකණ්නී කාලයක් ජීවත් වෙන්නෙත් හොද මිනිස්සු ඉක්මනින් යන්නෙත් මටත් අදටත් විසදගන්න බැරි ප්‍රශ්නයක් කිසිම ආගමකින්.. ඔය වගේ එකෙක් මම දැක්කා පෙන්ශන් ගිහින් අද රෝද පුටුවක දුක් විදිනවා කකුලකුත් කපලා

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි ඩිලාන්. උඹේ ආගමෙන් දීලා තියෙන හේතුවවත් මගේ ආගමෙන් දීලා තියෙන හේතුවවත් මට කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න පුලුවන් ඒවා නෙවෙයි.

      Delete
  8. ඔයා භාෂාව හසුරුවා තියන හැටි හරි ලස්සනයි ඩූඩ්. සමහර තැන්වලදි නොදැනීම හිනාගියා අර hit list එක කියවද්දි.:)

    ඔය වගේ මිනිස්සුන්ගේ ගණන් බස්සවන්ට, හැම කෙනාම ඔයා විදියට හිටියා නම් හරි. කීවත් වගේ හැම එකටම කොන්ද නමන, හැම කෙනාටම සර් කියන සමාජයක ඔය වගේ දේවල් අපිට බලාපොරොත්තු වෙන්ට බෑ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි. හිට් ලිස්ට් එක බොක්කෙන්මයි ලිව්වේ. හැබැයි සෙන්සර් කරලා.

      මොනවට කියනවද!

      Delete
  9. ඩුඩ් ඔහොම කිව්වට ගොඩක් අය ඔය සම්බන්දකම් රැහැනේ කොහෙන් හරි ඇමිණිලා (connections.) නැත්නම් එකම හොරු , ගම්සභා , පළාත් සභා , පාර්ලිමේන්තු යන්නේ කොහොමද?
    ඉතින් මේ ක්‍රමය බිඳනවට අකමැතියි

    ReplyDelete
    Replies
    1. ඔව්, ක්‍රමය ‍රැකගන්න ඇප කැප වෙච්ච උන් ‍රැලක්ම ඉන්නවා.

      Delete
  10. ඇත්තටම ගොඩක් වටින පෝස්ට් එකක් ඩුඩ්.....මටත් කවුරුවත් ඉස්සරහ දෙකට නැවෙන්න බැරි කම තියෙනව, සමහර වෙලාවට ඒක අවාසියටත් හිටිනව, ඒත් මම විශ්වාස කරන දෙයක් කරල පැරදෙන එක මගේ ප්‍රතිපත්ති වලට එරෙහිව ගිහින් දිනන එකට වඩා වටිනවා.....

    මේ ලෝකෙ හොද මිනිස්සු ඉක්මනට නැති වුනත්, එයාලා මීට වඩා හොද තැනක සතුටින් ඉන්නව කියලයි මම විශ්වාස කරන්නෙ....හැමදේම වෙන්නෙ හේතුවකට කියල තමයි මම හිතන්නේ......

    නිදහස් දවසෙ වැදගත් අදහසක් ඩුඩ් කියල තියෙන්නෙ....ඔයයි අම්මයි, මල්ලිවයි මාවයි කොන්ද පන තියෙන මිනිස්සු කලාට ස්තුතියි.....ඒකයි අපි අද මෙහෙම ඉන්නේ

    නිදහස්ම නිදහස් නිදහස් දවසක් වේවා ඩුඩ් පවුලට!!!!!!!!!!!! [ මාත් ඇතුලුව :D :D :D :D]

    ReplyDelete
    Replies
    1. ජයෙන් ජයම වේවා ඩූඩ් දෝණි!!! මට බය මේවගේ රටක් වටින දූවරුන් අපේ රටේ කරුම නිසා ලංකාවට එන්නට මැලිවෙයි කියලා හිතෙනකොට තමා.

      ඩූඩ් ගෙ පුංචි මස්සිනාටත් ඒ වගෙ අනිත් අයටත් අපි ණයයි.

      Delete
    2. මම නං අන්තිමට කලකිරුනෙ ජනවාරි 16 රෑ මොරටුවෙ බස් 4ක් පුරෝලා මැරයෝ ළමයින්ගෙ ඔලු පලලා, පොලිස් ආරක්ෂාව පිට ලස්සනට ගෙවල් වලට ගිය හැටි අහපුවාම තමා

      Delete
    3. @හිරූ: නමුත් ඒවා එච්චර ප්‍රබල නිදහස්ට කරුණු නොවේ. ඒ මිනිස්සු දිවියලෝකෙට වඩා අවශ්‍ය මෙහෙට.

      @කවිකාරි: මම ඒ කතාව දන්නෙ නෑනෙ.

      Delete
  11. දැන් තියන තත්වේ අනුව කොන්ද තියාගෙන ලංකාවේ ජීවත් වෙන්න බෑ මචං.. පහුගිය කාලේ ලාවට හරි කොන්ද තියන බව පෙන්නපු කස්ටියට මොකද උනේ? කොන්ද තිබීම මේ කාලේ සෞඛ්‍යයට අහිතකරයි... ඒත් ඉතිං සමහර වෙලාවට මමත් ඔය වගේ කේස් වලට වලි දාගන්නවා... වචනයට කපලා කොටලා මරලා යන සමාජයක, කොන්ද නෑ වගේ පාඩුවේ ඉන්න එක හොඳයි කියලා හිතෙනව ගෑනි, ළමයි ගැන කල්පනා කරද්දි...

    ReplyDelete
    Replies
    1. >>වචනයට කපලා කොටලා මරලා යන සමාජයක, කොන්ද නෑ වගේ පාඩුවේ ඉන්න එක හොඳයි කියලා හිතෙනව ගෑනි, ළමයි ගැන කල්පනා කරද්දි...<<


      කතාව ඇත්ත මචං. නමුත් කොන්ද කෙලින් තියාගෙනත් යා හැකි දුරක් තියෙනවා. සෑහෙන දුරක්. අතනට එන්න කලින්.

      Delete
  12. තමන්ගෙ අතේ වැ‍රැද්දක් නැත්තන්, අනුන්ගෙන් යැපෙන්නෙත් නැති ස්වාධීන මිනිහෙක් නම්, කාටවත් අතපොවන්නෙ නැතිව ජීවත්වෙන්න පුලුවන්. ඕන කෙනෙක්ට ඒ නිදහස තියෙන්න ඕන.
    සමහර ඉහල නිළධාරීන්ගෙ හැසිරීම ඇත්තටම ඛේදණීයයි. ගොඩක් වෙලාවට ඔය බලු විදිහට හැසිරෙන්නෙ ලොක්කන්ගෙ පතුල් ලෙවකකා උඩට ආපු උන්. ඒත් අපි මතක තියා ගන්න ඕන දෙයක් තියෙනවා. මේක බොහොම පුංචි රටක්. ඕනම මිනිහෙක්, ඕන වෙන වෙලාවක් එනවා. ඒක නිසා හැමෝමත් එක්කම සුහදව ඉන්න එක තමා වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩි සිලවා. කුකුල් බෙටිත් බේතට ඕනෙ වෙනවා කියනවනෙ. Every dog has its day.

      Delete
  13. ඉස්සර කාලෙ පුන්චි පන්තිවලට තිබුන කියවීම් පොතක තිබ්බා මතකයි කුදු මනුස්සයෙක් ගැන කතාවක් එයා කුදුයි එයාගෙ පවුලත් කුදුයි එයා වවපු ගස් වගේම ආපු ගෙඩිත් කුදුයි..
    ඔන්න ඔය වගේ අපේ මිනිස්සු දෙකට නැමීල ඉඳලම දැන් ජාන වල වෙනසක් වෙලාද කොහෙද .. දකින්න ඉන්නෙම දෙකට නැමිච්ච උන්මයි අපෙ රටේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අපේ කුදු ජානයකුයි, නිවට ජානයකුයි තියෙනවා කියලා මටත් හිතෙනවා.

      Delete
  14. ඔය බල්ලන්ට වතුරවත් දෙන්ඩ හොද නැ තමයි

    ReplyDelete
    Replies
    1. එහෙම කියුවට පව් නැ

      Delete
    2. උඹ මේකට අහිංසක බල්ලො ගාවගත්තට මගේ විරෝධය.

      Delete
  15. අර පොලිස් හිපාටුවා ගැන කියෙව්වහම මතක් වුනේ මාරයාට ගහපු බඩා. උසස් පොලිස් නිලධාරියෙක් වුනත් අර වගේම මුග්ධයෙක් තමයි. උගේ වලිගෙ, අස්සේ ගහ ගන්න එක බලා ගන්න තිබුන මගෝඩිසෙක්‌ වැඩ්ඩනම්.. අඩුම තරමේ ටෙලිෆෝන් කෝල් එකක් ආවනම්... අන්තිමට ඉතින් ඕක බැලුවහම ආහාර දාමේ වගේ තමා.. උඩ ඉන්න එකා තමන්ගේ අසහනේ ආසාව පිට කර ගන්නවා..

    ReplyDelete
    Replies
    1. තනිකර ආහාර දාමෙ තමයි. ඇයි රාමාට අමතකද මම කිව්ව බය සූත්‍රය?

      Delete
  16. මට මතක් උනේ උඹේ කලින් පෝස්ට් එකට මම දාපු කවි කොටස.

    ලියවිල්ල නම් නියමයි ඩූඩ්..මට හිතටම වැදුන.

    මම ඊයෙ ගෙදර උන්දැටත් කිව්වෙ..ජාතික කොඩි ලෙල දෙවන්න තරම් කෝ අපිට නිදහසක්...සුද්දො ගියා තමයි...
    කලුසුද්දො ඇවිල්ලා අපේ ලේ මාංශ උරාබොනව..?

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං. ඒ ඔක්කොම ප්‍රශ්න අස්සෙ හරි තවම අපිට කොඩියක්වත් ඉතුරු වෙලා තියෙන එක ගැන සතු‍ටු වෙමු. කවුරුවත් කියන නිසා ලෙලවනවා නෙවෙයි. අපිට ඉතුරු වෙලා තියෙන්නෙ එච්චර නිසා.

      Delete
  17. මේක කියවලා ඉවර වූ ගමන්ම මට ආපු කාලකින්නි සිතුවිල්ල තමා පොල් ගහේ වැදුණු වෙලාවේ ...අර යකාගේ ; කැඩුනා නම් අතක් පයක්..... ටිකක් කල් විදවන්න කියා...(මටත් ඔයවැනි නීරස අත්දැකීම් කීපයක් පොලිසිය හා සම්බන්ධයෙන් ඇතිනිසා එභෙම හිතුනා වෙන්න ඇති) ඒත් ඉතිං මනුස්සයෙක්නේ අප්පා...

    මම ප්‍රථිචාරයක් ලියන්න කල්පනා කරන කොට මට කල්පනාවුනේ මටත් අර විදිහට හිතුන එකේ නිතරම අපරාධකාරයන් එක්ක නොයෙකුත් අඩව් කස්තිරම් අල්ලන මේ අයගේ ඔඵ ගෙඩි කොහොමට නම් කචල් වෙලා ඇද්ද...

    මම කියන්නේ දවසකට පැය අටකට වඩා පොලීසියේ රාජකාරි කරන මේ ඇත්තන්ට ගනුදෙනු කරන්න වෙන්නේ හොරු, මිනීමරුවන්, තක්කඩියන්, කුඩුකාරයින් වගේ අසුන්දරම කොට්ඨාශයක් එක්කනේ. ඒ විතරක්ද විරාමයකදී තේකක්-ප්ලේන්ටියක් බොන්න ගියත්, කෑමට ගියත් යාඵ-මිත්රදයෝ එක්ක කථා කරන්නෙත් කරන්න වෙන්නෙත් මොකක් හරි අන්ජි-බජල් කේස් එකක්ම තමා බොහෝ වෙලාවට.

    ඊට පස්සේ දවසේ වැඩ රාජකාරි අහවරක් කරලා ගෙදර ගියාට පස්සේ අඹුදරුවන් එක්කත් බොහෝ විට කථා කරන්නේ සේවාස්ථානයේ කරපු තක තීරු ගොන් වැඩක් හරියට වීරකමක් කලා වගේ බොහෝමත්ම උජාරුවෙන්...එහෙමත් නැත්නම් අහිංසකයකුට තඩි ගහපු එකක්..... නැත්නම් දේශපාලුවෙකුගෙ හෝ පෝසත් කාලකන්නියෙකුගේ සිත (නිවට වෙලා) දිනාගත්ත එකක් බොහෝම ඉහලින්....සමහර විට මේ ඇත්තන්ට නිදාගත්තාම හීනෙන් පේනවා ඇත්තෙත් ඔය වගේම අසුන්දරම දේවල්ම වෙන්ටත් බැරි නැහැ.

    හිතන්නකෝ රාජකාරියෙන් බැහැරව මළගෙදරක මඟුල් ගෙදරක හරි වෙනත් ගෙට්ටුවකට හෝ ගියා කියලා. එතනදිත් ඉතිං එම පන්දුවම.....එම පහරමයි....... හරියට නිකන් කට අරිනකොට මොලේ ඕෆ් වුණා වගේ......අහන් ඉන්න ඉන්න එවුන්... බකන් නෙලාගෙන ගෙන හිටියත් රාළහාමිගේ තකතීරු පම්පෝරිය.....සුපුරුදු ලෙසම.

    ඉතිං ඔය ඇත්තන්ගේ හිස් කබල කොහොම වැඩ කරනවා ඇද්ද.....

    මම මේ කියන්නේ පොලිසියේ ඉන්න සෑම කෙනෙක් ගැනම නෙමේ.....අර ඩූඩ්ට කීප වතාවක්ම රජ (ගොන්) පාට් දාපු කීපදෙනා... ඊළඟට අපි කොයි කාටත් අඩු-වැඩි වශයෙන් ලෙඩ දාන සහ දමමින් සිටින බොහෝම අතලොස්සක් ගැන. ඔය විදිහට අම්බානක් පිස්සු කෙලින්නේ බොහෝම සුඵතරයක් කියලා අවධාරණයෙන්ම කියන්න ඕනෑ. මොකද ටිකක් වැඩිපුර එහෙම හිටියා නම් තත්ත්වය අපිට යන්තමින් ඔය ආකාරයට අනුමානයක්වත් කරන්න බැරි වෙනවා. හැබැයි ඉතිං ඔය ලැජ්ජාවක් නොමැති සුඵතරය (ඉහලම සිට පහලට සෑම මට්ටමින්ම නියෝජනය වන පරිදි සිටින බැවින්) හොදටෝම ප්‍රමාණවත් මුලුමහත් දෙපාර්තුමේන්තුවේම නම්බුව පරම්පරා ගනනාවක් ඉදිරියටම ආරක්ෂා කරගෙන අරන් යන්න.

    මම මේ කල්පනා කලේ ඔය ආයතනයේ නැද්ද මන්දා ඔය විදිහට ඔද්දල් වෙච්ච නොවිච්ච ඇත්තන්ගේ (ලොකු පොඩි භේදයකින් තොරව) ඔඵ ගෙඩි ටික, මානසිකව සුවපත් කරන්නාවූ වැඩපිලිවෙලක් ... කිසියම් නිස්චිත කාලසීමාවකදී ක්‍රිරයත්මක වන්නාවූ..කියලා.

    සමාවන්න ඕන ටිකක් වැඩිපුර ලියවුණා.

    - ස්තුතියි !

    (මම මේ කොමෙන්ට් දාන්න උත්සහ කරන තුන්වෙනි වතාව. බලමු මේ පාරවත් හරියයිද කියලා.. මොනව වුනත් ප්‍රසංගය නවත්තන්න බැහැනේ..:D)

    ReplyDelete
    Replies
    1. දිග වැඩි වුනාට මොකෝ. අත රිදෙන්නෙ නැතිනම් කොටන එකයි තියෙන්නෙ. අර සිතුවිල්ල මටත් ඇති නොවුනාම නෙවෙයි.

      ගමේ එකා කියන එකේ ඇත්තක් තියෙනවා. නමුත් ඒකම නිදහසට කරුණක් නොවෙයි.

      අර ඔලුගෙඩි සුවපත් කරන යෝජනාව නම් ක්‍රියාත්මක කරන්න කාටවත් නොහිතෙන්නෙ අපේ අවාසනාවටද කොහෙද.

      Delete
  18. පොලිස් බල්ලො ඔයිට හොදයි..

    ReplyDelete
  19. ඔය ගම වනාත කිට්ටුවනම් ඕ අයි සී "දේසේ හැටියට බාසේ" දැම්ම වෙන්නත් පුලුවන්. :D

    පොලිසිය පාවිච්චි කරන අපහාසාත්මක වචන වලට විරුද්ධව පැමිනිලි කරන්න බැරිද? ඉරිදා දවසක නොදැනුවත්කමින් MC එකේ ඉඳලා ගාලුපාරට වන් වේ එකේ වැරදි පැත්තට ඇවිල්ලා වයසක රාලහාමි කෙනෙක් මහා ගෝරනාඩුවක් කලා මට. මම අතේ වැරැද්දක් තියන නිසා මම වාහනේ හරවගෙන සී සයිඩ් පාරෙන් දාල ආවා. මිනිහා මට නවත්තන්න කිව්වෙවත් දඩ ගහන්න ගියෙවත් නෑ පොර හිටියෙ තනියම හින්දා වෙන්න ඇති. වැරැද්දකට දඩයක් ගෙවන එක ප්‍රශ්නයක් නෑ නමුත් ඒ මදිවට කුනුහරපත් අහන්න වෙනවා කියන්නෙ එකම වැරැද්දට දඬුවම් දෙකක්!

    මේකත් කියන්න ඕනෙ. වෙනත් මහා මාර්ග වැරදි දෙකකදීම මාව නවත්වපු පොලිස් නිලධාරීන් මගේ පැහැදිලි කිරීම් වලින් පසුව මට යන්නට දුන්නා දඩ (හෝ පගාව ) නොගසා. මම ඔවුන්ට ආචාර්ශීලී වුනා, ඔවුනුත් එහෙමම වුනා. ඒක නිසා පොලිස් නිලධාරීන්ගේ හැසිරීමත් අනිත් හැමෝගෙම වගේ subjective කියලා තමයි කියන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෑ ඇනෝ. වනාතෙ කිට්‍ටුව නෙවෙයි ගම. කොළඹ ඉඳලා කිලෝමීටර් විසි ගානක් ඈත.

      ඔය වගේ කේස් අඩුයි. සුහදව කතා කරන පොලිස් නිලධාරීන් මට හම්බවෙලා තියෙනවා. දැන් දැන් එයාලා මිනිස්සුන්ට කතා කරන්නෙ ඉස්සරට වඩා ආචාරශීලී විදියට බව මටත් තේරිලා තියෙනවා.

      මෙතනදි ඔය විදියට හැසිරෙන්න මිනිහට කිසිම සාධාරන හේතුවක් නෑ. මට පොලිස් කාරයෙක් ඔය වගේ කැත විදියට කතා කලාමයි ඔය. මේ කතාව මම ඊට පස්සෙ පොලිස් සේවයේ ඉන්න හුඟ දෙනෙකුට කියලා තියෙනවා. හැමෝම කියන්නෙ ඔයවගේ කාලකන්නි ඉන්නවා තමයි කියලා.

      Delete
  20. ලස්සන නිදහස් පණිවිඩයක් !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මින් විසිතුරු.

      Delete
  21. කාලකන්ණියා යහතින් සිටියදී හොඳ මිනිසුන් දුක් විඳ මියයාම, ඕක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ ඩූඩ්.

    ඩූඩ්ව හපාකාපු බල්ලො වෙන්න ඇති ඉස්සෙල්ලම ලැයිස්තුවෙන් අයිං උනේ.

    ReplyDelete
    Replies
    1. හික් හික්! Praසන්ன හරියටම හරි. උන් තමයි බං ඉස්සෙල්ලම හැලුනේ. පව් අහිංසකයො එක අතකට.

      Delete
  22. නිලතල නිසා හිස උදුම්මා ගැනීම අපේ වගේ ආසියානු රටවල වැඩිපුර දකින්න තියෙන දෙයක්. ඕවා අදක ඊයෙක තිබ්බ දේවල් නෙමෙයි. ඉස්සර ඉදන්ම තිබ්බ කුල මල බේද වගේ දේවල් නිසා ඕයවගේ හැසිරෙන්න අපේ මිනිස්සුන්ගේ ඔළු හැදෙනව ඇති කියලයි මට හිතෙන්නේ. මම කියන්න යන අනික් කාරණේ මටත් වඩා හොඳට ඩූඩ් අයියා දන්නවා ඇති. ඒ තමයි යුරෝපයේ රටවල මිනිස්සු තව මිනිහෙක්ට බොහොමයක් වෙලාවට ආමන්ත්‍රණය කරන්නේ ඔහුගේ නමින් මිසක් වෘත්තියෙන් නෙමෙයි. අපේ මිනිස්සු තව කෙනෙක්‍ට කතා කරන්නේ වෘත්තිය කියලා.(අපි දන්න අඳූනන හිතවත් අයට හිටන් කතාකරන්නේ ටීචර්, ලෝයර්, ඩොක්ටර්.....) ඒත් යුරෝපා රටවල ගුරුවරුන්ට පවා කතා කරන්නෙත් ඔවුන්ගේ නමින්. ඔවුන් කියන්නේ ටීචර් කියන්නේ මගේ රැකියාව මිසක් නම නෙමෙයි. මට නමක් තියෙනවා ඒ නමින් කතා කරන්න කියලයි. ඔන්න ඔය තැන ඉදන්ම අපේ මිනිස්සුන්ට තමන්ගේ වෘත්තිය ගැන අධිමානයක් හෝ හීනමානයක් ඇතිවෙනවා ඇති කියලයි මටනම් හිතෙන්නේ!

    ReplyDelete
    Replies
    1. උඹ දැක්කද පූස්, මම ලියපු "කෝච්චි සහ අපේ සංක්‍රමණික ජීවිතය" කියල පෝස්ට් එකේදි මට හමුවුන ජර්මන් නඩු කාරයා? අන්න බං මිනිස්සු!

      Delete
  23. හ්ම්ම් අයිය අලුත්ම විදියක් හොයන් වගේ නිදහස සමරන්න අනේ අප්පේ අර මීහරකවනේ මැරෙන්න තිබුනේ අම්මපා.

    ReplyDelete
    Replies
    1. පව්කාර සිතිවිල්ලක් වුනාට මටත් එහෙම හිතුනා බං පස්සෙ.

      Delete
  24. ඔහොම වල් බල්ලෝ ඉන්නවා! :)

    ඩූඩ් මාමාට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ රජ පැටියො උඹ බල්ලො මේකට ගාවගන්නවට මම විරුද්ධයි.

      Delete
  25. As usual you have written an article which is an eye opener.but I also feel helpless as there is nothing we can do against them since they have power over us to do injustice and go scot free.I too don't like to demean before people and that has made my work difficult to get done in an office or any other government institute.I have to argue all the time to get a work done and sometimes I am highly frustrated.

    ReplyDelete
    Replies
    1. I hate this feeling of helplessness.

      And if you complain about these things the procedure to get the justice done is a long one, which makes you regret it.

      Delete
  26. නියමයි ඩූඩ්, පිටකොදු බිද දමා තියෙන ජාතියකට මෙවනි ලිපි වැඩි වැඩියෙන් කියවන්න දෙන්න ඕනෙ. මේ ලිපිය අපේ දරුවන්ගේ පාසල් පෙළපොතකට ඇතුළ් කරන්න පුළුවන් නම් කොයි තරම් නම් දෙයක්ද කියලා ලිපිය කියවන අතරවාරයේ අනේක වාරයක් මට සිතුණා. අද ජාතික නිදහස් දවසේ මෙවනි නිදහස් සිතුවිල්ලක් කියවන්නට ලැබීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රතු. ජාතියේ බිඳ දමන ලද කොන්දට පත්තුවක් බඳින එක තමයි පොලිස් කතාවටත් වඩා මගේ හිතේ තියෙන්නෙ.

      Delete
  27. මුලින් කියවන විට පරිවර්තනයක කෑල්ලක්ද කියලත් හිතුනා ඒත් ඉංග්‍රීසි පරිවර්තනවල කොහෙද ඔදු නාන ලිං.

    …නිදහසේ හිතන්න යමක් තමයි අද සටහන.

    ReplyDelete
    Replies
    1. ඇයි බං වනාතමුල්ල, ක‍ටුනායක.

      පොදු නාන ලිං රෝමෙ තියෙනවා බං. :D

      Delete
  28. ඒ වෙලාවෙ එතන ඩූඩ් වෙනුවට හයේ හතරෙ ඇමති ආරක්ෂකයෙක් එහෙම හිටියනං ඔය හිපාටුව ඔච්චර සද්දෙ දාන්නෙ නෑ. කතාවට කියනවනෙ The biggest bully is the biggest coward කියල. ඔවුනුත් හරියට කකළුවො වගේ. හයිය පිට පොත්ත විතරයි. ඇතුලෙ ඉන්නෙ නිවටයෙක්. කටුව ගැලවිච්චදාට නිකංම පොඩිකරතැහැකි. ඒකනෙ විශ්‍රාම ගියාට පස්සෙ පොලිස් කාරයන්ව, සමහර ආයතනවල ලොක්කන්ව එහෙම පාරෙ ඉන්න බල්ලෙක්වත් ගණන් ගන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි පරිකල්පන. පෙන්ෂන් ගිය පොලිස් කාරයා වගේ කියන්නෙ නිකංයැ! :)

      Delete
  29. අම්මප ලංකාවේ හැටිනේ... පොලෝසියේ උන්දැලා දැක්කම කකුල් වෙවුලලා,, හීන් දාඩිය දාල අන්තිමේ සුළු දිය පහ වෙනවා අපේ සමහර උන්දැලට.... මම නම් ලයිසොන් එහෙම ගන්ට කලින් පොඩ්ඩක් විතර සෑර් කියල එහම කතා කොලා..දැන් නම් ගණන් ගන්නේ නෑ... අපි වගේම උනුත් මිනිස්සු නොවැ..අමනුෂ්‍යයෝ යැ...

    අද නිදහස් දිනේ දවසේවත් ඩූඩ් කිව්වා වගේ කොයි කවුරුත් හිතට ගන්න ඕන මෙහෙම දෙකට නැමිලා **************** න්නේ නැතිව ජීවත් වෙන්න...

    ReplyDelete
    Replies
    1. ඒ බය තමයි එයලා පාවිච්චි කරන්නෙ මිනිස්සුන්ව බුලී කරන්න.

      Delete
  30. මේක නම් නියම ලිපියක් අයියේ..දැන් වෙලාව නැහැ ..අනිවා පස්සේ එන්නම්..
    අර හිට් ලිස්ට් එක ගැන නම් කතාව සිරා මට හොදටම හිනා ගියා...

    \\\\එදාම මේ කාලකන්ණියා මගේ හිට් ලිස්ට් එකේ ඉහලම ස්ථානයට ගමන් කලා. දැන් වරදවා තේරුම් ගන්න එපා. හිට් ලිස්ට් එකෙන් අදහස් වෙන්නෙ වෙඩි තබා මරා දැමීම හෝ වෙනත් වද බන්ධනයකට ලක් කිරීම නෙවෙයි. කාලයාගේ ඇවෑමෙන් සංශෝධනය වූ වද දීම් වලින්, "අදාල '@#$% *&' වතුර ටිකක් ඉල්ලමින් පාරේ වැටිලා හිටියොත්, කානුවට වැටෙන්නෙ පුකට පයින් ගහලා මගේ ගමන යාම" ////

    ReplyDelete
    Replies
    1. ලිපිය කියෙව්වා මන් ඔක්කොම , කතාව ගැන වාදයක් නැහැ ..
      මගෙත් පැහැදීම අඩුයි මේ හැම දේ ගැනම .රට පටලන්නෙ නැතුව
      මන් මෙහෙම කියන්නම්කො ..මිනිස්සුන්ගේ තියෙන පහත්
      උවමනාවන් එලියට එනවා බලය එක්ක...ඒ දේවල් තමයි පාරට
      බැස්සම වෙන්නේ ...

      නිලය, බලය, හැකියාව එක්ක බලු කම අඩු වැඩි වෙනවා..
      හදවතේ ගුණ සුවඳ එක්ක නිහතමානී කම අඩු වැඩි වෙනවා...

      පෝස්ටුවෙන් ඉවත් වෙමි.

      Delete
    2. ඇත්ත සහන්. ඒ ඔක්කොමට අමතරව ඒකටම හරියන ක්‍රමයක් තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නෙ. ඔය යුනිෆෝර්ම් එක වෙනස් කරන්න යෝජනා කලාමත් ඒකට විරුද්ධ වෙන්න එක හේතුවක්ලු එතකොට මිනිස්සුන්ගෙ 'බය' නැතුව යන එක. කාටද මේවා කියන්නෙ?

      Delete
  31. 90%ක්ම හොඳ උනත් ඔහොම එකෙක් හිටියම ඇති සම්පූර්න දෙපාර්තමේන්තුවටම...නියම පණිවිඩයක් දීලා තියෙන්නෙ ඩූඩ්..ඇත්තටම මේකට වග කියන්න ඕනි දෙකට නැමිලා ඉන්න වටයො තමයි

    ReplyDelete
    Replies
    1. ඔව්. මේකට පොලිස් කාරයා වගේම, අපේ සමාජයත් වගකියන්න ඕනෙ.

      Delete
  32. අනේ අරකා අච්චර දෙයක් වෙලත් ඉතුරු උනානෙ... ඒකා බලාපොරොත්තු උනේ ඌව දැක්කම ඩූඩ් දණ ගහල වඳියි කියලද දන්නෑ... ජාතික දිනය දවසෙ හරිම ලස්සන දෙයක් ගැන කතා කරල තියෙන්නෙ... අර දේසපාළුවන්ගෙ උත්සව එහෙම ටීවී එකේ පෙන්නනකොට සමහර මිනිස්සු උන් ඉස්සරහ ඔළුව පොලවෙ වදින ගානට දෙකට නැවෙනව දකිනකොට නම් ඇතිවෙන්නෙ වස අප්පිරියාවක්...

    මට ඩූඩ්ගෙ පොස්ටුව කියවනකොට මතක් උනේ අපේ මනූව.... එයා ලංකාවෙ වැඩ කරපු තැන සේවය කරපු කාලෙ ඔය කොන්ද නොනැමීම නිසා ඇතිවූ ප්‍රශ්ණ හේතුවෙන් හිටියෙ හරිම ආතතියකින්... ඉහළ නිලධාරීන් වැඩි දෙනෙක් තරහයි එයා එක්ක, කියන හැම දේටම එහෙයි කියල දෙකට නැමෙන්නෙ නැති නිසා... ඒ තරහා පෙන්නන්නෙ නෑ... වැඩක් කරගන්න ගියාම තමයි පලිය ගන්නෙ.... එයා එතැන වැඩ කරද්දි නිතරම සුළු සේවකයින්ට පවා කිව්වෙ උඹල එක එකාට දෙකට නැමෙන්න යන්න එපා කියලා... ඒවායින් ඇතිවුනු ප්‍රශ්ණ ගැන හිතාගන්න පුළුවන්නෙ... දැන් මෙහේ ආවට පස්සෙ වැඩ කරන්නෙ හරිම සතුටින්... මං කලින් වැඩ කරපු තැනකත් හිටියා සර් කිව්වෙ නැත්නම් කතා කළාට ඔළුවවත් උස්සලා බලන්නෙ නැති උන්...

    ReplyDelete
    Replies
    1. අනිවා, ඇත්තෙන්ම මමත් පට් ගාලා කොන්ද නවලා ඔලුව කැසුවා නම් මේ කිසිම අවුලක් නෑ. ඇත්තෙන්ම මිනිස්සුන්ට මිනිස්සු වගේ සලකන රටක වැඩ කරන්න ලැබෙන එකත් පිනක් බං.

      Delete
  33. මෝඩයෙක් තමන්ගේ මෝඩකම පෙන්වීම.

    ReplyDelete
    Replies
    1. ...සහ අහක හිටි මට සදාකාලික සිත් වේදනාවක් උරුම වීම.

      Delete
  34. සමහර උන්ට පොඩ්ඩක් ගරු කරාම හිතන්නේ උන් තමයි ලෝකෙන්ම ලොක්කෝ කියලා.රාගම පොලිසියේත් ඔහොම එකෙක් හිටියා.අනේ මන්දා මේවට මොනවා කරන්නද කියලා.

    ReplyDelete
    Replies
    1. ඕවට කරන්න වැඩ තියෙනවා නිශාන්, කාලය ශ්‍රමය වැය කරන්න ලාව්ස්තිනම්. ඕවට විරුද්ධව පැමිණිළි කරන්නත්, සමහරවිට දිනන්නත් පුලුවන්.

      Delete
  35. duda මාමේ පොලිස් ලොක්කෝ කෙසේ වෙතත් ගොඩක් පොලිස් පොඩ්ඩෝ ඉන්නේ ලොකු පීඩනයකින් [පොලිස් ලොක්කොන්ගෙන් / දේශපාලුවෝන්ගෙන් ] ඒ පීඩනය තමයි බොහෝ වෙලාවට අපේ පිටින් යවන්නේ , ඔය මිනිස්සු පාරේ දූවිලි වැදි වැදි , අව්වට කරවේවි , වැස්සට තෙමි තෙමි කරන සේවයත් අපි අගය කරන්න ඕනේ , මේ මිනිස්සුන්ගේ මානසික තත්වය හොද විදියට පවත්වාගෙන යන්න වැඩ පිළිවෙලක් තිබුනොත් මේ මිනිස්සු මීට වඩා ප්‍රියමනාපව ඒ ගොල්ලන්ගේ රාජකාරිය කරාවි

    ReplyDelete
    Replies
    1. menna hisa nama achara kala yuthu kament eka....
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඉමල්ක, කතාව ඇත්ත. පාර මැද්දෙ රාජකාරි කරන කාකි සූට් දැක්කම මටත් දුක හිතෙනවා. නමුත් ඒක අනිත් මිනිස්සුන්ගෙ පිටින් අරින එක සම්පූර්ණයෙන් වැරදියි. දැන් ඉමල්ක දැක්ක නේද මගෙ පහුගිය පෝස්ට් දෙකේ මම ලියලා තිබ්බා අපි ගුරුවරු හැටියට කන කට්ට. ඉතින් අපිත් අනිත් උන්ව මරාගෙන කන්න එපායැ.

      ඔව් එහෙම වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍යයි

      Delete
  36. භාෂාව හසුරන විදිය කියල වැඩක් නැහැ. ලසන ලියවිල්ල.

    මේ වගේ සතෙක් අපේ ගමටත් ඇවිල්ල තියෙනවා.ඌ නිකන් නීති හදලා මිනිසුන්ව කුඩු කරන්නව. මම මේ සැරේ ලංකාවට ගියපු වෙලේ පාරේ මනුස්සයෙක් පෙන්න නැහැ. මොකද පාරේ හිටියත් අරගෙන යනවා. ගම හවස 6න් පස්සේ පාළුයි ඒ නිසා ඒ අවට තියෙන කඩ හිටන් හොරු කඩලා. මොකද කලින් මනුස්සයෙක් හරි හිටියා ඒ අවට දැන් එහෙමත් නැති නිසා හොරුන්ට නිදහසේ වැඩක් කරගෙන යන්න පුළුවන්.

    බීපු මනුස්සයෙක් ත්‍රිවිල් එකක පිටිපස්සේත් යන්න බැහැ. බිවුවා කියලා දඩ ගහානවා ඒ වගේ මානසික ලෙඩෙක් ඇවිල්ල ඉන්නේ. මේ මම කියන එකත් ඔය කියන එකත් එකෙක්ද කියල දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසරණයා ප්‍රසංශාවට. :)
      මේ නැතිවෙන්නෙ මානව හිමිකම් බව කාටවත් තේරෙන්නෙ නැති හැටි. හැබැයි අපේ පැත්තේ පොරක් නම් ඔහොම පොලිස් ලොක්කෙකුට චැලේන්ජ් කරලා ගහගත්තා. පොලිස් කාරයා එක පාරින් බිමලු. "D

      Delete
  37. මේ ලිපිය අද උදේම වැඩට යන ගමන් 4න් එකෙන් කියෙව්වත් කමෙන්ටුවක් දාන්න බැරිවුණා. ඔය අස්සේ තමා කෝරලේ මලයගේ පෝස්ටුවත් කියවන්න ලැබුණේ. දෙකම එකම විදියේ තමා. ඔබ එයට ලුණු ඇඹුල් හොදින් දමා ලියල ඇති නිසා බොහොම රසයකුත් තියනවා.
    පොලිසිවල ඉන්නවා සමාජයෙන් ඇරියස් ගන්න ආ මොඩ තකතිරුවන් ටික දෙනෙක්. උන් නිසා තමයි මේ අපකිර්තිය ඇතිවන්නේ . ඒ වගේම ඉතාම නිහතමානී රාජකාරිය දේවකාරිය සේ කරන නිලධාරීන් ද නැතුවා නොවේ.
    කොහොමත් කොන්ද කෙළින් තබා සාමාන්‍ය මිනිසා සිටිය යුතුයි යන දේ ඉස්මතුව තිබිම මෙය කියවන කාටත් ආදර්ශ්‍යට ගත හැකි දෙයකි.

    ReplyDelete
    Replies
    1. එහෙම සමාජයක ජීවත් වෙන්න ලැබෙන එක තවම නම් හීනයක් විතරයි, නලීන්.
      ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ.

      Delete
  38. මචන් ඔය පොලිසියේ #### පුතාල ගැන නම් කතා කරලා වැඩක් නැහැ.



    //සේවයක් ලබා ගැනීමට කොඳු නවමින්, හිස කසමින්, දණ්ඩ නමස්කාර කරමින් සර් කියමින් පස්සෙන් යෑම ලැජ්ජා සහගත දෙයක් වගේම සේවයක් ලබා දීමට තමන් වෙත එන ජනයාගෙන එවැනි කොඳු නැවීම්, හිස කැසීම්, දණ්ඩ නමස්කාර කිරීම්, සර්/මැඩම් කීම්, බලාපොරොත්තු වීමද ලැජ්ජා සහගත දෙයක්.//



    සම්පුර්ණ ඇත්ත මචන්.

    ReplyDelete
    Replies
    1. එකෙක්ගෙවත් ඔලුවට ඔය පණිවිඩය ගියොත් ඇති මචං, අයිලාස්

      Delete
  39. නිදහස් දිනයේ හිතන්නට බොහෝ දේ ඇති පෝස්ටුවක්...

    ReplyDelete
  40. ලංකාවේ පොලීසිය තරම් දූශිත කිසිම ආයතනයක් ලෝකයේ කොහේවත් නැතිව ඇති. අන්තිම මාස හය හතේ ඔවුන්ගේ තරම හොඳහැටි දැක බලාගත්තා. කොටින්ම මට ලංකාවත් ලංකාවේ ඉන්න මිනිසුන්වත් එපා වුනා විතරක් නෙමෙයි වෙනදා අවුරුද්දකට කිහිප පාරක් යන සංචාර මින් ඉදිරියට ලංකාවෙ වන එකක් නෑ. වැරදි කරලා නම් හිත හදාගන්න පුළුවන් කියමුකෝ. ඒත් දුල් මහන්සි වෙලා හොයන සල්ලි මෙහෙම මිලියන් ගණන් කාලකන්නින්ට දෙන්න වුනාම මීට වඩා වෙන දෙයක් කාටවත් හිතෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා රංගිත් පොලිස් ප්‍රචන්ඩතාවය අත් වින්දද? මේ පාර මම නම් කිසිම සිද්ධියකින් තොරව ආපහු ආවා.

      Delete
  41. අඩේ මාරයි ඩූඩ් අයියේ. ඔයාගේ පහුනු ලිපිය කියෙවුවට පස්සේ මම හොඳට කල්පනා කරලා පිටපතක් ලිවුවා. නම් ගම් සඳහන් නොකර මම සම්බන්ධ වුන සිදුවීමක් ගැන. ඒකත් පොලිස් කතාවක්. ඒ අතරේ ඔයා මේ ලිපිය ලියලා. මොනා කරන්නද මම ලියමින් හිටපු ලිපියක් ලියලා ඉවරවුනේ දැන් නිසා ඒක තව දවස් කීපයකින් දාන්නම්. බැළුවම ගොඩදෙනෙකුට මෙවන් අත්දැකීම් තියෙනවා නේද? අනේ සරාලා ඔයාලා වගේ ගුරුවරු නොවුන නිසා පොතිචාරනම් වෙනස් ඕං ඈ.....හැක්

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං සරා, ඒක දාපං. මොකද අපි අතාරේ තරඟයක් තියෙනවායැ. අන්න අන්න උඹ මට ඔලුව අතගාලා ටොක්කක් ඇන්න අන්තිමට. :)

      Delete
  42. හිනා ගියා ..දුක හිතුනා පුංචි මස්සිනා ගැන ..යකා නැග්ග අර යකා ගැන ..මාර ලිපියක්නේ .

    මටත් එපා කරපු වැඩක් තමයි එක එකාට සර් කියල කොන්ද නවන එක . අපි වැඩ කල ආයතන වල ප්‍රධානියාට සර් කිව්වා තමයි . ඒ වුනාට ඒ මිනිස්සු මල් තියල වඳින්න ඕන තාත්තලා වගේ අය .හරියට තමන්ගේ වැඩේ කරනවා නම් දෙකට නැවෙන්න ඕන නැහැ . අපිමයි මුන්ව නරක කරන්නේ . හැමෝම කොන්ද කෙලින් නම් ඔක්කොම එල්ලන්නද .

    එක පාරක් මට පොලිසියට යන්න වුනා . මගේ විශ්ව විද්‍යාලිය හැඳුනුම් පත නැති වෙලා පොලිස් රිපෝර්ට් එකක් ගන්න . අපේ අම්මගේ කකුල් වෙවුලනවා . ජීවිතේට පොලිසියකට ගිහින් නැහැලු . මන් කිව්වා මොකටද බය වෙන්නේ අපි වරදක් කරලද කියල . හැබැයි අපි එතන ඉන්න කොට ලොක්ක කොහෙද ගිය ගමන් අපිව දැකල ඉක්මනට වැඩේ කරලා දෙන්නයි කියල ගෝලයින්ට කියා ගියා . කිසිම ඇඳුනුම් කමකට නෙමේ . පසු කලෙක ආරංචි වුනා ඔහු සැහෙන්න සාධාරණව යුක්තිය ඉටු කරන්නෙක් බව . එහෙම මිනිස්සු නිහතමානියි .

    ඔය ආකාරයේ වාහනය වටේ ගිහින් වරදක් සොයලා දඩයක් ගහලා කියක් හරි සොයා ගන්න පොලිස් මාමලා ඉන්න තව රටවල් දන්නා නිසා මන් මුකුත් කියන්නේ නැහැ ඒ ගැන ..හික්

    ඒ නම් තව මදැයි අපේම චන්දෙන් අපිටම සේවය කොරන්න ගිය කට්ටියට සර් කියන එක තමයි මට නම් එපාම කරපු එක . ඕනෑම නම් සුද්දගේ තාලෙට මිස්ටර් කියමු . ඒ ඇති

    ලොක්කන්ට දෙකට නැවීම වගේම තමයි ඉංග්‍රීසි පොඩ්ඩක් කට ගාගත්තම සර් කියෝ ගන්න පුළුවන් ලංකාවේ ඕනෑම තැනකින් . අපේ කෙල්ලන්ට සිංහල උගන්නන මන් මහන්සි වෙද්දී උන්ගේ තාත්තා කියන්නේ මොකට කරදර වෙනවද සිංහල බැරි ගානට කතා කලහම වැඩිය සලකයි මෙයාලට කියල මට නිකන් සවුත්තුව දානවා .

    ඔය ඕන උලව්වක් උනාට නිදහස් දවසේ කොඩිය දැක්කම නම් අපිට රටක් තියෙන එක ගැන පුදුම සතුටක් ඇති වුනා .

    ඔව් අපි කොන්ද කෙලින් තියන් ඉන්න අපේ ළමයින්ට කියල දෙමු .

    ReplyDelete
    Replies
    1. බින්දි ඔයා මට කියන්න වියට්නාමේ පොලීසිය කොහොමද? ඔය රටේ ආයතනයකට ගියාම වැඩක් කරගන්න දෙකට නැමෙන්න ඕනෙද? එතකොට සර් කිය කියා දෙකට නැමෙනවද ලොක්කන්ට?

      Delete
  43. //සේවයක් ලබා ගැනීමට කොඳු නවමින්, හිස කසමින්, දණ්ඩ නමස්කාර කරමින් සර් කියමින් පස්සෙන් යෑම ලැජ්ජා සහගත දෙයක් වගේම සේවයක් ලබා දීමට තමන් වෙත එන ජනයාගෙන එවැනි කොඳු නැවීම්, හිස කැසීම්, දණ්ඩ නමස්කාර කිරීම්, සර්/මැඩම් කීම්, බලාපොරොත්තු වීමද ලැජ්ජා සහගත දෙයක්.//

    මුළු පෝස්ට් එකමත් හරි මෙන්න මේ ටිකත් හරි..නියම කතාව

    ReplyDelete
    Replies
    1. ළිහිණි, ඇත්තෙන්ම මට ඒ දේ තමයි මතු කරන්න ඕනෙ වුනේ පෝස්ට් එක ලියලා.

      Delete
  44. දැන් හුඟක් තැන්වල තියෙන්නේ ඔය හීනමානයෙන් හිස උදුම්මවගත්තු එවුන්ගෙන් පිරිලා ...පොලීසිය ගැන මට කොහොමත් පැහැදීමක් නෑ ..දකින දකින පොලිස් නිලධාරියා කරන්නේ මහා අලජ්ජ වැඩ ..ඉතිං හොඳ අය ඉන්නවා ඇති කියල හිතෙන්නේ නෑ . අපි ඔලුව පාත් කරන කනහිල්ලු වගේ ඉන්නවනම් උන් හරි කැමතියි ..ඒ වුනාට උන් යුනේෆොර්ම් එකටවත් සාධාරණයක් කරන එවුන් නෙවෙයි ..කොන්ද කෙලින් තියාගෙන ඉන්න බයවෙන්න ඕනි අපි වරදක් කරලා තියනවනම් විතරයි .

    ReplyDelete
    Replies
    1. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනෙ රෙහානි.

      Delete
  45. පස්ටයි ඈ. උඹ ඔය චන්ඩි පාට් අපිත් එක්ක තියාගන්න එපා.. හරිය.. ඒක නෙමෙයි බං උඹේ නිදහස් පණිවිඩේ හොදයි... ඒත් කරුමෙට කොන්දක් නෑනේ බං.. නිදහස් නිසා නිදහසේ හිටියේ අද ආවේ.. හිරගෙට...

    ReplyDelete
    Replies
    1. දේශකයො, මමද බොල චන්ඩි පාට් දැම්මෙ. මම නිවට පාට් නොදාපු එක විතරයි කලේ.

      Delete
  46. මම ඒකයි හැම තිස්සෙම කියන්නේ. සුද්දා හරි කැත වැඩක් අපිට කලේ. අපිව දාලා ගෝත්‍රිකයන් පිරිසකට රට දීලා ගියපු එක ගැන. නිදහසෙන් පසු එජාප පාලනය තුල යම් කිසි විනයක් තිබුනා ඒත් බන්ඩගෙ 56 විප්ලවෙන් ආපු කබ්බෝ රට පාලනයට ඇවිත් පෙර රජ දවසට අපිව ගෙනිහින් එවරයි. දැන් ඉතින් අපිත් එල්ලිලාම ඉමු. වවුලගේ ගෙදර ගිය උන් වගේ...

    ReplyDelete
    Replies

    1. අනේ බං මාතලන් ටැමිල්නාඩුවෙත් පොලෝසිය ඔහොමමයි නේද? ඔය තියෙන්නෙ ජන මාධ්‍ය වල.

      Delete
  47. This comment has been removed by the author.

    ReplyDelete
  48. මොනවා කියන්නද? මේක කියෙව්වාම එස්.මහින්ද හාමුදුරුවෝ ලියපු කවි පෙළ මතක් වුනා...
    "උස් තැන් දැක හැකිළෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගෙ පුතා ලොකු වෙන්නේ...."

    ReplyDelete
    Replies
    1. ටිබෙට් ජාතිකයෙක් වුනත් අපේ සංස්කෘතියෙ දුර්වලකම් විනිවිද දැකපු ප්‍රාඥයෙක්නෙ ඔය.

      Delete
  49. මට සැකයි මේ කියන්නෙ සුමිත් එදිරිසිංහ ගැන ද කියලා (සුසන්ත පුංචිනිලමේ එක්ක එජාප පාලන කාලයේදි "සෙල්ලං" දාපු එකෙක්) උගේ හැසිරීමත් ඔය විදියමයි.

    හැබැයි දැන්නම් පොලීසියේ තත්ත්වය එච්චරටම නරක නෑ.අලුත් නිලධාරීන් බොහෝ දෙනෙක් ඔවුන් කරන්නෙ සේවයක් බව අවබෝධකරගෙන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. නෑ සුමිත්. එයා නෙවෙයි. ඔව් දැන් දැන් වඩා හොඳට මිනිස්සුන්ට කතා කරන්න දන්න මිනිස්සු පොලීසියෙ ඉන්න බව පේනවා.

      Delete
  50. අනේ ඕව ගැන කතා කරල ලේ රත් කරගන්නවට වැඩිය හොඳයි පාඩුවෙ ඉන්න එක. මට වෙලාවකට එපා.....ම වෙනව.

    ඒක නෙවි, ඩූඩ් මොකද මේ දවස්වල මල අතේ තියන් ලියපුවම දාන්නෙ එකදිගට.

    ReplyDelete
    Replies
    1. ඊගාවා පෝස්ට් එක DDT, උඹ වෙනුවෙන්මයි.

      Delete
  51. සමහර උන් බනිනව පොලිස් බල්ලො කියල. ඒ උනාට පොලිස් බල්ලෝ හොදයි පොලිසියේ නිලදාරීන්ට වඩා. උන් රාජකාරී වේලාවේදී කාටවත් කන්ඩ පැන්න කියල අහල නෑ.

    ReplyDelete
    Replies
    1. කම්මල. සමහර හොස්පිටල් වලත් තත්වය ඔහොමමනේ. ඇයි බං RMV එක?

      Delete
  52. අපේ රටේදී ඕවා නම් මේ කපේට වෙනස් කරන්න පුළුවන් ඒවා නෙමෙයි.... මෙහෙම දේකුත් තියෙනවා කිසි දෙයක් නැතුව ඉදලා පොඩි තනතුරක් ලැබුනම මුල අමතක වෙලා ඔලුව උදුම්මවා ගන්න මිනිස්සුත් ඉන්නවනේ. ඒගොල්ලෝ හිතන්නේ එයාලට වඩා කෙනෙක් නෑ කියලා. හැම මනුස්සයම නිහතමානිව කොන්ද කෙලින් තියන් ඉන්නවනම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ....

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න හරිම අමාරුයි සමනළී. ඒක මම අත් දැකලා තියෙන දෙයක්. ගතානුගතිකත්වයෙන් මිදෙන්න අකමැතියි. ඕවෑ හැටි ඔහොම තමයි කියලා ක්‍රමයට අනුගතවෙලා ඔහේ ඉන්නවා.

      Delete
  53. ඔන්න ඔය වගේ දේවල් සිදුවෙනවා දැක්කාම හිතෙනවා බන් මැරිලා වැටෙන්න ඔන්න මෙන්න වෙනකම් මේ කාන්තාරේ ම රස්සවක් කරගෙන ඉන්න.

    අපේ ගෙදර උන්දෑලටත් ඔය වගේ සීන් එකක් උනා. පොලිසි ගියාම පැමිනිලි කාරයා විත්තිකාරයා කරලා මොකද විත්තිකාරයා පොලිසියේ උන්ට බොන්න අරන් දෙන එකක්.

    මම කිව්වා ඕකට කියන්නේ ගුරා හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරනවා කියල. උඩ දාගෙන මහරජාට කඩේ ගිය කට්ටිය ඕන් දැන් ඉන්නවා හැම එකාවම එපා වෙලා . .

    ReplyDelete
    Replies

    1. දුකා, ඔය වගේ සීන් එකක් අපිටත් වුනා බං පාරක කේස් එකකදි.

      අනේ මෙහෙව් රටක්, මෙහෙව් සඟිස්කුරුතියක්!

      Delete
  54. පුද්ගලයාට වඩා තනතුරට වටිනකමක් දෙන ලෝකේ එකම රට ලංකාව වෙන්න ඇති. ඒ ලංකාවෙ අය පුරුදු වෙලා ඉන්න විදිය නෙ. සර් කියලා ගරු නම්බු දීලා කතා කරාම සහ පගාවක් දුන්නාම ඕනෙම වැඩක් කරගන්න පුළුවන් තත්වෙකට අද ලංකාව පත් වෙළා.
    ගරු කළ යුත්තන්ට ගරු කළ යුතුයි. ඒත් නුසුදුස්සන් නිසා හැම ක්ෂේත්‍රයක්ම අද පහළටම වැටිලා.

    ReplyDelete
    Replies
    1. මේ එකෙකුට හරි නුවණැස පහල වෙයිද කියලා බලන්නත් එක්ක තමයි මේ උත්සාහය සිතූ.

      Delete
  55. කමෙන්ට් බලන්න පස්සේ වෙලාවක එන්නම්. හෙන්රි අයියගේ අතිජාත මිත්‍රයින් බවට පොලෝසියේ උත්තමයෝ පත් උණේ එහෙමයි ඈ. :D

    දැන්නම් ඔය තැන දේශපාලුවෝ අරගෙන. ඔය එකෙක්වත් ගැන කියෝලා හිත නිදහස් කරගන්න බෑ අප්පා. ඊට වඩා හොඳයි වෙන දෙයක් ගැන කියලා හිත හෑල්ලු කරගන්න එක. ඒත් ඒක එහෙමයි කියලා මේ ගැන කතා නොකර හිටියොත් අපි ඇත්තටම කොන්දක් නැති එව්වෝ බවට පත් වෙනවා. අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. ඊගාවා පෝස්ට් එක කුපිත වූ ලේ සිසිල් කරන එකක් කරනවා. බලාපං ඔන්නම්.

      Delete
    2. එක්කො ඕන්නෑ අප්පා.....

      Delete
  56. මමත් අවුරුදු 35 ක් විතර කාලයක් නිල ඇඳුමක් ඇන්ද මිනිහෙක් නිසාත්, ලොකු පොඩි පොලිස්කාරයන් රාශියක් එක්ක රාජකාරි කරලා තියන නිසාත්. මාත් එක්ක එකට ඉගෙනගත්ත එවුන් අද නියෝජ්‍ය පොලිස්පතිලා ලෙස ඉන්න නිසාත්, මගේ ගෝලයෝ ස.පො.අ. සිට පහල නිළ වල ඉන්න නිසාත්, උන් ගැන කිසිවක් නොකියමි. හැබැයි හිතේ තිබෙන දේවල් වැස්සට පිරුන මහා වැවක් තරම් බව පමණක් කියමි. උන්ගේ නිල ඇඳුමේ ගෞරවය වෙනුවෙන් නිහඬ වෙමි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක මගෙත් ගෝලයෝ, යාලුවෝ, නෑදෑයො හුඟක් ඕකෙ ඉන්නවා. මේ කතාව මං ඔය හුඟ දෙනෙකුට කියාඅ තියෙනවා. උන් කියන්නෙ එකම කතාවයි. මේකෙ ජරා එවුන් ඉන්නවා බං කියලා. ඒ විතරක් නෙවෙයි. පොලිසියේ වැඩ කරන හුඟ දෙනෙකුගේත් පොලීසිය ගැන තියෙන ආකල්පය යහපත් එකක් නෙවෙයි කිව්වාම පුදුම හිතෙන්නෙ නැත්ද?

      Delete
  57. මේ කමෙට් සියල්ල නොකියවාම දෙන උත්තරයක්. මමත් බොහෝ අවස්ථා වල ඔහොම. මම හරි ආඩම්බරයි කියලා තමයි උසස් නිලධාරීන් පවා විශ්වාස කරන්නේ. ඒත් බොරුවට නැවෙන අය එහෙම කරන එකෙන් තමයි, කෙලින් ඉන්න මිනිහව කැපිලා පෙනෙන්නේ. ඔහොම අයට දෙන්න පුළුවන් ලොකුම දඬුවම තමයි "බ්‍රහ්ක්ම දණ්ඩනය". ඒ කියන්නේ කතා නොකිරීම. මම බොහොම ලොක්කන්ට ඔය දඬුවම දීල තියෙනවා. මුනවත් බලන්නේ නෑ. හැබැයි ඔය වගේ නීතිය අතට ගත්ත එකෙකුට එහෙම කලත් දඬුවමට හේතුවක් වෙන්න පුළුවන්. අපේ අම්ම එක පාරක් ඉහල නිලධාරියෙකුට ලිපියක් ලියලා ඔය වගේ ඕ.අයි.සී. කෙනෙක් මට්ටු කළා. එතනදී උන් බලු කුක්කෝ. පස්සේ හොදටම සැරැන්ඩර් වුණා.

    ReplyDelete
    Replies
    1. මට මතකයි සුදීකගෙ බහ්ම දණ්ඩනය කතාව. එහෙම කරන්න පුලුවන් තමන් එක්ක එකට ඉන්න මිනිහෙකුටනෙ. මේකලත් එක්ක අපි යාලු මිත්තරකං පවත්වන්න යන්නෙ නෑනෙ.

      Delete
  58. හෙහ්. මටත් තියෙනවා ඔහොම හිට් ලිස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. Is that poor හස්බන්ඩා already there? :D

      Delete
  59. අනේ ඩූඩ් උඹ ඕක ඔච්චර ගණං ගන්න එපා,උඹ ඉන්නෙ ලංකාවෙනෙ.ඔය ඉතාම සාමාන්‍ය දෙයක්.
    උඹගෙ ආත්ම ශක්තියට මම ගරු කරනව.

    ReplyDelete
    Replies
    1. අපිට කොච්චර ගොරෝසු පිටකට්ටක් තිබ්බත් මචං සමහර දේවල් වලට පුදුම විදියට හිත රිදෙනවා.
      ස්තුතියි බං.

      Delete
  60. ඔය වගේ නහරකාර පොලිසියෙ එකෙක්ට මගේ යාලුවෙක් ගැහුවා උසාවියක් ඇතුලෙ ලේ පෙරාගෙන වැටෙන්න...මට ඔය වැඩේ උනානම් හෙන්රි අයියා තරමට මට නම් ඉවසගෙන ඉන්න අමාරුයි...මැරුනත් කමක් නෑ කියලා ගහන එක ගහනවා...

    පුංචි මස්සිනා ගැන අවංකවම දුක් වෙමි...හොද මිනිසුන් ඉක්මනින් මැරෙද්දී මේ වගේ කාලකණ්නි ජීවත් වෙන බව ඔබ දක්වලා තිබුනා...එසේ වන්නේ ඉදිරිදිනයක පණ ඇද, වද විදිමින් මැරෙන්නට උන්ට නියමිත නිසයි....

    ReplyDelete
  61. පුංචි මස්සිනා ගැන කියවද්දි නම් ගොඩක් දුක හිතුනා..
    මේ වගේ මෝඩ තකතීරුවන්ට හොඳ පාඩමක් උගන්නන්න ඇත්නම්..

    ReplyDelete
  62. අර පොටෝව නම් පංකාදුයි ඈ නියමෙටම ඒ චරිත ලක්ෂණ පෙන්නුම් කරනවා....

    මේ කතාව කියවද්දි අනික් පොලිස් කතා කියවනකොට දැනුනා වගේම සෑහෙන්න තරහක් හිතට ආවා... ම‍ට එක පාරටම මතක්වුනේ මම ඩුඩිගේ මුලින්ම කියවපු පෝස්ට් එක.‍නිදහස් දවසට කොන්දක් ගමුද වගේ මාතෘකාවකින් තිබ්බේ ගිය අවුරුද්දේ නිදහස් දවසට ලියාපු පෝස්ටුවක් වෙන්‍න ඕනේ ඒක....

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා නිදියන්නේ

    කියන කවිය තමා මතක් වෙන්නේ මේ වෙලාවට... මේ ලිපිය කියෙව්වට පස්සේ පොඩි හරි නිවට ගතියක් තිබ්බනම් ඒකත් නැතිවෙනවා ෂුවර්

    ReplyDelete
  63. ඩුඩ්,

    කොන්ද නමාගෙන
    ඔළුව කසාගෙන
    නිවට කමින් ඉන්නේ.............

    ReplyDelete
  64. ඩුඩ් අයිය මේ කමෙන්ට් එක කියවන එකක් නෑ මොකද මේක පරණ පොස්ට් එකක් නිසා, ඒත් මේ පොස්ට් එක කියවල ලියල තියන විදියට රසවිදලා කමෙන්ට් එකක් නොදාගියොත් මමත් අර OIC වගේ අමනුස්සයෙක් වෙනවා, සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. නෑ මම බලනවා ලලිත්. මොකද මට Mail Notification එන නිසා. බොහොම ස්තුතියි ලලිත්.

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>